Friday, May 25, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 8 - වෛද්‍යවරයෙක් ලෙඩ කරවූ x-රේ කොපිය

පින්තූරය ගත්තේ  http://www.proofeng.com/blog/?p=29
මේ කතාවේ ඉතිහාසය තරමක් ඈතට දිව යනවා. ඒ කියන්නේ 1989-90 අඳුරු යුගයට. මේ යුගයට අඳුරු යුගය කියල කියන්නේ ඇයි කියන එකත් කියන්න ඕනෑ. ඒ කාලයේ නිසවසක රාත්‍රියට පොල් තෙල් පහනක් වත් දැල්වුනේ නෑ. දවල් කාලයේ නම තරමක් දුරට සාමාන්‍යයි. ඒත් කුඩා කොළු ගැටයෙක් ගෙන එන පුංචි ලියුම් කෑල්ලකින් මුළු නගරක් හෝ කඩමංඩියක් ජන ශූන්‍ය කරවන්න ගත වන්නේ විනාඩි කිහිපයයි. ඒ කාලයේ ජනතාව රජයේ හමුදාව අතින් හා නිල නොවන දේශප්‍රේමී ආණ්ඩුවෙන බැට කෑවා. අද පම්පෝරි ගහන ගොඩක් අයියල ඒ කාලේ හිටියේ කට්ටට රිංග ගත්ත ඉබ්බෝ වගේ නැත්නම් ඒ කාලේ නොහිටි අය තමයි. ඉතිං පහුගිය කාලේ කොළඹ රැකියාවට ගමේ ආපු අයට ගෙදර යන එකේ තිබ්බ අවිනිශ්චිත බාවයට සමාන දෙයක් ඒ කාලයේ සිදු වෙමින් තිබුනා. නමුත් වෙනත් ආකාරයකින්. ඒ කාලයේ මුළු ලංකාව පුරාම ප්‍රවාහණය අඩාල වුනා. මමත් මේ යුගයේ දවස ගානේ කොළඹ බඩ ගෑවේ හුදෙක් අධ්‍යාපන  ලබන්නම නෙවේ, ජීවත් වීමේ ආසාව මෙතනදි ඉස්සරහට ආව. හැබැයි කතාව මට අදාල එකක් නෙවෙයි. 



කතාව කියන්න කලින් සඳහන් කල යුතු දෙයක් තියෙනවා. ඊළාම් යුද්ද්යේදී කොටි පාළන ප්‍රදේශ උතුර ලෙසත්, රජයේ සෙසු පාළන ප්‍රදේශ සියල්ලත් දකුණ ලෙස යොදා ගනිමින් ප්‍රවෘත්ති වාර්තා කලත්. නියම දකුණ ලෙස එකලත් අදත් හඳුනාගෙන තිබෙන්නේ බෙන්තර/බෙන්තොට ගඟෙන් එහා ප්‍රදේශයයි. ඉතිං මේ දකුණු ප්‍රදේශයේ ඉන්න කොළඹ රාජකාරි කරන බෝහෝ දෙනෙක් බස් එකෙන් නැත්නම් කෝච්චියෙන් කොළඹ එනවා අද වුනත් එහෙමයි. එහෙම දකුණේ සිට ආපු කෙනෙක් මුහුණ දීපු සිද්දියක් තමයි මේක. කඩ-සාප්පු වහල, ප්‍රවාහණය අඩාල වෙලා තිබුන ඒ යුගයේ හරි හමන් කෑමක් කන්න තැනක් අගනුවර වෙච්ච කොළඹ වත් තිබුනේ නෑ. සමහර දින වල උදේ වේල කාපු අය ආයි තේකක්වත් බොන්නේ ගෙදර ගිහින්. ඉතිං පාර අයිනේ තියාගෙන විකුණන සීනි සම්බල් පාන් කාලක් අරන් හරි කන එක සාමාන්‍යක්. බඩේ අමාරුවක් හැදුනත් ඉතිං කලතුරකින් මොකද ඒ තරමට මිනිස්සු ඔරොත්තු දෙනවා. ඒත් අපේ කතානායකයාට කාලා කට ගන්න කලින් හැදුනා ඉතාම දරුණු බඩේ අමාරුවක්. ඔෆිස් එකේ ලොක්කට කියල මහ ඉස්පිරිතාලෙට ගිය මේ මනුස්සයා වෛද්‍යවරයා හමු වන විට දෙකට නැවිලා බඩ් අල්ලාගෙන ඉතා අමාරුවෙන් තමයි හිටියේ. 

මේක ගත්තේ කුරුවිට කඩයක් ගාවදී

මොනවද උදේට කෑවේ කියල වෛද්‍යවරය ඇහුවාම බොහොම අමාරුවෙන්
"වා...න්...ඩු....   කෑ....ල්....ල...ක් කෑ..වා.. කියල මේ පුද්ගලයා කියලා(වන්ඩු කියන්නේ අර බණ ගෙවල් වල එහෙම රෑට දෙම පොල් දාල හදන කේක් වර්ගය. සමහරු මේවට පුස් ලොඩං කියලත් කියනවා. දාල තියෙන පිංතූරය බලන්න )

ආහ් ... ! එහෙම වෙන්නේ කොහොමද ? වංඩු වලට කාටවත් බඩේ අමාරු හැදිලා නෑ මීට කලින්.

ආ..නේ... අ...ම්...මෝ.... මා...ට... ඉ...න්...න... බැ...රි...යෝ.... බ...ඩ... ඌ..යි ම...ගේ බ...ඩ අ..නේ දො..ස්..ත..ර ම...හ...ත්..ත..යෝ ඔ..බ තු...මා..ට බු..දු බ...ව අ...ත් වෙ...යි මේ..ක...ට මො..න..වා හ..රි ක...ර...න්..න ක...තා ක..ර ක..ර ඉ..න්..නේ නැ...තු..ව.

ඒ වුනාට එහෙම එක පාරට බෙහෙත් කරන්න බෑනේ. ආයෙත් වතාවක් දොස්තර මහත්තයා අර මනුස්සයාගේ බඩ මිරිකලා බලනව, නලාව තියනවා. බලලා කියනවා

අපි ගමු x-රේ එකක්. ඊට පස්සේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කතාව ඇහුවම නම් මෙ මනුස්සයට පොඩ්ඩක් හිතට සහණයක් දැනිලා. යාන්තමට කෙඳිරි ගගා දොස්තර මහත්තයා දුන්න තුංඩු කෑල්ල අරගෙන x-රේ කාමරයට ගිහින්. හොඳ  වෙලාවට වැඩිය සෙනග ඉඳලත් නෑ. x-රේ එක ගත්තා. දොස්තර මහත්තයා ඒක හදිසියි කියල සටහන් කරලා තිබුන නිසා විනාඩි කිහිපයකදීම අපේ මිත්‍රයාට x-රේ කොපියත් හම්බ වෙලා. ඒක අතට ගත්තාම මිනිහගේ අමාරුව තව පොඩ්ඩක් අඩු වෙලා. ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. එක පාරට ඉඳි කටුවකින් අනින්න වගේ වේදනාවක් එනවා. ටික වෙලාවක් යනකොට අඩු වෙනවා. මිනිහටත් හිතා ගන්න බෑ මේ මොකද කියලා. මිනිහට එක පාරටම දරු දෙන්නයි ශ්‍රියාලතාවයි මතක් වුනේ. අනේ මං මලොත් උන් තුන්දෙනා පාරට වැටෙයි. අමාරුවෙන ගාට ගාට ආපු සමරසිරි බලෙන්ම වගේ දොස්තරගේ කාමරයට කඩා වැදිලා අර x-රේ එක දොස්තර මහත්තයගේ අතට දීලා පොඩි කෙඳිරිල්ලක් දැම්මා. දොස්තර මහත්තයා ආකාසෙට අල්ලලා x-රේ එක බැළුවා.  oh ! god. කියලා කණ්නාඩිය ගලවලා ඇස් දෙක පිහදාලා කණ්නාඩිය ලේන්සුව අරන් පිහ දැම්මා. ආයෙත් බැළුවා. wh..a...a..a..t කියාගෙන නැගිට්ටා, නළාවයි, බෑග් එකයි බොහොම කලබලෙන් අරගෙන දිව්වා. සමරසිරිට හිතා ගන්න බෑ. මිනිහා මේසේ උඩට අත ඇරපු x-රේ එක අරගෙන බැළුවා. මොනවද ඉතිං බොකු බඩවැල් වැදිලා නැහැ.  ඉරණං කූඩුව විතරයි පේන්න තියෙන්නේ. සමරසිරිට මේ මොන හරුපයක්වත් තෙරෙන්නෑ. දැන් ඒ තරමටම අමාරුත් නැති නිසා x-රේ එකත් අරන් ආපහු ඔෆිස් එකට ගියා. ලොකු මහත්තයාට බටර් පාරක් ගාලා ගෙදර යන්න  සෙට් වුනා. යාන්තමට බස් එකකට නැගල වාඩි වෙලා නින්දක් දාගෙන ගෙදර ගියා. ගිහින් ශ්‍රියාලතා දීපු කෝපි කෝප්පයත් බීලා ඒ ඇඳුමෙන්ම ගමේ වෙද මහත්තයා ගාවට ගිහින් බෙහෙත් ටිකක් අරගෙන ආවා. සමරෙට බෙහෙත් ටික දෙන ගමන්ම කිව්වා 


"සමරසිරි මහත්තයා කොයි එකටත් අර ඇක්ස්-රේ කොලේ පොඩ්ඩක් අරං එන්නකෝ" 

වෙද මහත්තයට පිං දි දී බෙහෙත් වෙල් දෙක තුනක් බීපු සමරසිරිට හොඳටම හොඳ වුනා. සෙනසුරාදා උදේ අර x-රේ කොපියයි, හොර්ලික්ස් බෝතලයකුයි අරගෙන සමරසිරි ගියා වෙද මහත්තයා හමු වෙන්න. බෙහෙත් ගන්න ආපු අය යන්න ඇරලා හෙමිහිට රිංගලා අරක තිබ්බ වෙද මහත්තයාගේ අතේ තිබ්බා. ආහ්! මේ අර කියපු ඇක්ස් රේ එකද මහත්තයෝ. වෙද මහත්තයා ගාව තියෙන උත්තල කාචේ අතට අරන් ජනේලේ ගාවට ගිහින් බලලා වෙද මහත්තයා හොඳටම හිනා වෙලා මෙහෙම කිව්ව 

"මේක බලල උන්දා නොදිව්වනම තමයි ප්‍රශ්ණේ. මේ බලන්නකෝ සමරසිරි මහත්තයා හක් .. හක්... හක්..."

සමරසිරිට මේ හතරබීරි කතාව තේරුණේ නැති වුනත්. තියෙන්නේ මොකක්ද කියල බල්ලන්න හිතුනා. වෙදාගේ කාචෙ x-රේ එකට ලන් කලා. සමරසිරිට හිතා ගන්නත් බෑ. මොනවා මගේ බඩේ කොහොමද මේක තියෙන්නේ. එහෙම කල්පනා කරනකොට වෙදා අහනවා 

"සමරසිරි මහත්තය මක්කැයි කෑවා කිව්වේ ?" කියලා

"එදා කන්න කිසි දෙයක් තිබුනේ නෑ. මම වැඩට ගියෙත් පරක්කු වෙලා බස් නෑ නෙව. මං උන්නේ හොඳටම බඩගින්නේ. ඇයි මහ පාන්දර නෙව මම් වැඩට යන්නේ. කැන්ටිමේ ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුනේ වංඩු කෑල්ලක් ඉතරයි. මං ඒක කාලා කහට එකක් බිව්ව." 

"හක්.. හක්.. හක්.. මහත්තයා මේව පත්තරේ දාන වටිනවා. ඔහේ වංඩු කෑල්ල ගිලල තියෙන්නේ යට තියෙන පත්තර කෑල්ල ගලවන්නැතුවම"

ඔන්න එතකොටයි සමරසිරිට වෙච්ච හරුපේ ගලප ගන්න පුළුවං වුනේ. x-රේ එකේ චූටි අකුරෙන් තිබුනේ 


"කොළඹ කලබල දකුණ සංසුන්

කියල. සමරසිරි ගිලපු වංඩු කෑල්ලේ යටට ඇලවිලා තියෙන පත්තර කෑල්ලේ තිබුන දෙයක් තමයි x-රේ එකට වැදිල තියෙන්නේ. අර ටියුබ් ලයිට් අය වෙනුවෙන් තමයි මෙහෙම විස්තර කලේ. 




Wednesday, May 23, 2012

50 වැනි පියවරේදී ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමක්

2012 ජනවාරි මාසයේ පළමුවෙනිදින ආරම්භ කල ඇවිද්ද පය ...... බ්ලොග් අවකාශයෙහි මේ වන විට පොස්ට් 49ක් ලියා පල කර අවසන්. ඒ සඳහ ඔබ ලබා දුන් ප්‍රතිචාර සංඛ්‍යාව ආසන්න වශයෙන් 15000ක්. මේ වන විට 36 දෙනෙක් මෙහි සාමාජිකත්වය දරනවා. කමෙන්ට් 210ක් ලභා දී තිබෙනවා. ඒ අතරින් 70 මවිසින් පිලිතුරු සපයන්න දමන ලද ඒවාය. මේ අනුව බැලූ විට දල වශයෙන් පොස්ට් පණහක් ලෙස ගත හොත්. එක් පෝස්ට් එකක සඳහ ලැබී තිබෙන දල පිවිසුම් සංඛ්‍යාව 30ක් පමණ වෙනවා. පෝස්ට් එකකට සාමජිකයින් 1.38 ක වනවා. තනි පොස්ට් එකක් සඳහා ලැබුනු උපරිම ප්‍රතිචාර සංඛ‍යාව 458ක් "කෙටිම කෙටි ලොල් කතා අංක 4 - සාරියයි - කාරයයි " වෙත ලැබී තිබුනා. පෝස්ට් එකකට කමෙන්ට් සංඛාව 4.2 ක්ද වනවා. මේය  සෑහීමකට පත් විය හැකි සංඛ්‍යාවක්දැයි මම නොදනිමි. එහෙත් ලැබුනු පොස්ට් ප්‍රමාණය පිලිබඳ මා සිටින්නේ උපරිම තෘප්තියකිනි. මාස පහක් වැනි කෙටි කාලයකදී මෙවැනි ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබීමට මා කිසිසේත් බලාපොරොත්තු නොවුනි. එහෙත් මා ලියනා දේ ඔබ අගය කර තිබෙන බව මට හැඟේ.  මේ කාල සීමාවේදී සිදු වූ වැදගත්ම සිදු වීම සයිබර් සිහින සැණකෙලියට සහබාගි වීමයි. එහිදි ම නමින් පමණක් දැනගෙන සිටි සහ කිසිදින නොදුටු/නොඇසූ අපූරු මිනිසුන් කොටසක් හඳුන ගන්නට හැකි වුනි. මෙ කාල සීමාවේදී සිදු වූ දුක්කදායකම සිදුවීම ඔබා මාමා යන සුරතල් නමින් කාගේත් ජනාදරයට පාත්‍ර වූ ඔබා මාම අප අතරින් වියෝ වීමයි.

කෙනෙකු බස් රථයකට මගින්  ගොඩ වූ මොහොතක ඉතාම කැලඹිලි ස්වරූපයක්කින් හැසිරේ. එහෙත් සමහරු ටික වෙලාවකින්ද, තවත් සමහරු බොහෝ වේලාවකින්ද තමන්ට ගැලපෙන තැනකට ගාල් වේ, බස් රථයේ වේගයට අනුගත  වේ. කොටින්ම සාමාන්‍ය මගියකු ලෙස හැසිරේ. මා සිතන්නේ බ්ලොග් ලියන්නට පටන් ගත් මොහොතේ මා හැසිරුනේද මේ බස් මගිය හැසිරුණු ආකාරයටමැයි කියාය. ඒත් පෝස්ට් 50 වෙත ලඟා වීමේදී මාද අනෙකුත් බ්ලොග් කරුවන් මෙන් මෙහි ගමනට අනුග ත  වී ඇතැයි මට සිතේ. එහෙත් බස් රථය බ්‍රේක් පාරක් ගැසුවහොහ් සියළුම මගීන් කලබලයට පත් වේ. සමහරුන්ට එයද ගානක් නොවේ. සමහරු නිදිබරිතව ගමන් ගනී. මේ බ්‍රේක් ගැහිල්ල මා සමාන කරන්නේ ඔබා මාමාගේ වියෝවටය. එහිදී කලබලයට පත් වූවෙක් නැති තරම්ය. 


මේ ගමන් මගේ සැතපුම් කණු නොහොත් මා ලියනා ලද පොස්ට් පිලිබඳ කෙටි සමාලෝචනක් ලිවීම හොඳ යයි මා සිතුවා. 


පලමු පොස්ටුව ලෙස මා ලියන ලද්දේ ආරම්භක සටහන  එමගින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ අරමුණ වූ මාගේ රාජකාරි දිවියේ ලද අත්දැකීම සහ එයට මා තැබූ නමට හේතුවූ කරුණු කෙටියෙන් සඳහන් කොට තැබීමි. පොස්ට් 50 ලිවූ තැන ආපසු හැරී බැලූ මට වැටහුනේ එහි සඳහන් කල ලෙස රාජකාරි දිවියේ අත්දැකීම් කොයි හැටි වෙතත් විවිධ තැන් වලදී අසන්නට දකින්නට ලැබූ දේ මා ලියා ඇති බවයි. මාගේ රාජකාරිය කුමන ආකාරයේ එකක්දැයි එම පොස්ට්ටුවෙහිම සඳහන් කලානම් කෙතරම් වටිනවාදැයි අද මට සිතේ. මා රාජකාරි කරන්නේ මහජන බැංකුවේ බව ඔබ සැම දන්නවා යයි සිතමි. මා මහජන බැංකුවට එක් වූයේ දත්ත ප්‍රවේශකයකු ලෙසයි. "බැංකුවකට යනවා නම් පියන් කමක් හරි වුනත් මොකෝ" යන කියමන සනාත කරමින් මාද එයට එක් වීමි. මක් නිසාද ලැබෙන පහසුකම් දෙස බැලූ විට එවකට බැංකු ජොබ් එකකට ගහන්න එකක් නැතැයි සමාජයේ පිලිගත් මතය වී තිබූ නිසාය. නැත්නම් පරිඝණක වැඩසටහන් කරුවකු වීමට තරම් අධ්‍යාපන සුදුසුකම්ද අවශ්‍ය දැනුම හා අත්දැකීම්ද සපුරා තිබූ මට පුද්ගලික අංශයේ රැකියාවකට යා හැකිව තිබුනි. තරග විභාගයේන් සමත් වී බොහෝ කලක් ගිය පසු අප සම්මුඛ පරීක්ෂණයට කැඳවූ අතර කුමාරපතිරන මහතා (එවකට දෙපාර්ථමෙන්තු ප්‍රධානී) අපගෙන් විමසා සිටියේ ලංකාවේ ඔනෑම තැනක වැඩ කිරීමට කැමතිද යන්නයි. එක පයින් එයට පුළුවන් යයි කීවේ පුළුවන් කමටම නොව මෙම රැකියාවට තිබූ ආශාව නිසයි. මා එකල සිතූවේ අපව කුමන හෝ එක් ශාඛාවකට අනුයුක්ත කරනවා යයි කියාය. එහෙත් අප එකතු කර ගනු ලැබ ඇත්තේ 100 කට වඩා වැඩි පිරිසක් සිටින දෙපාර්ථමේන්තුවකට බව වැටහුනේ රාජකාරියට වාර්ථා කිරීමෙන් ටික කලකට පසුවය. ඉන් අනතුරුව හතේ අටේ කණ්ඩායම් සාදා පරිඝණක ගත කිරීමට සූදානම් ශාඛා වෙත පිටත් කර යැවිනි. මෙවන් ගමන් වලදී කෙනෙකුට ලෙහෙසියෙන් ලඟා වන්නට නොලැබෙන දුර්ලභ ස්ථාන බොහෝමයකට යාමට අවස්ථාව උදා විය. එහි අත්දැකීම් කිසිවක් මා මේ වනවිටත් ඉදිරිපත් කර නැති බව වැටහුනේ මෙලෙස ආපසු හැරී බැලූ විටය. එක් අතකට එය ඔබගේ වාසනාව විය හැක. මන්ද මේ බ්ලොග් අඩවිය බොහෝ දෙනා බලන්නට පටන් ගෙන තිබෙන්නේ දැන් නිසාය. මා කලින් ඒවා ලියා තැබුවානම් ඔබට  මා ලියූ ඒවා පීරා බලන්නට  සිදු වේ.  හොඳ - හොඳ සෙල්ලම් එලි වෙන යාමෙට කිව්වා වගේ ඉදිරියට එන්න තිබෙන දේ වඩා රසවත් වේ යය මා සහතික කර කියනේ ඔබ මෙහි එන්නට උනන්දු කිරීමේ අදහසින්ම නොවේ. අනික  මගේ ලිවීමේ රටාවද දැන් යම් තරමකට ඔපමට්ටම් වී තිබෙන නිසා එහි වාසියද කියවන ඔබටමය. 


දෙවන පොස්ට් එක ලෙස මා ලියන ලද්දේ මා කුඩා අවදියේ සිදු වූ ත්‍රාස ජනක අත්දැකීමක් වන දැක්කාම හිරිගඩු පිපෙන වතුර ටැංකිය ය. ඇත්තටම මේ වතුර ටැංකිය පසුකර යන සෑම මොහොතකම මගේ ඇඟ සලිත වී යයි. මෙහි ඇත්ත ජායාරූපයක් ගැනීමට කෙතරම් අවස්ථා තිබුනද මා එසේ නොකලේ මන්දැයි මා නොදනිමි. එදා බාප්පට ආපසු එන්නට අමතක වූවනම් ඔබට බ්ලොග් ලියන්නට අද දිල්රුක් කෙනෙක් නැත. ඒත් මගේ ඒ අත්දැකීම බොහෝ දෙනා බලා තිබුනත් කිසිවකු කමෙන්ට් එකක් ලියා නොතිබීම මට කණගාටුවට කරුණකි. 


1998-99 කාලයේ සිට අන්තර්ජාලය පරිහරණය කල මා හට බ්ලොග් වලට පිවිසෙන්නට මෙතරම් කාලයක් ගත වුයේ, "බ්ලොග්" යන වචනයට මා පුද්ගලිකව දක්වන ලද අකමැත්තය. එම වචනය "බොග් " යන්නට සමාන හඬක් නිකුත් කරන නිසා එය මට අප්‍රිය මාතෘකාවක් විය. මගේ හිතට එන ඔනෑම දෙයක් මෙලෙස ලියා තබන්නට තැනක් තිබෙන බැව කලින් දැනන් නොසිටියේ කුමන අවාසනාවකටදැයි නොදනිමි. එම වචනයට මා දක්වන අකමැත්ත මාගේ තුන්වන පොස්ට් එකෙන්ම එලියට දාන්න වන්නේ එනිසාය. එයට හොඳ මට්ටමක ප්‍රතිචාර ලැබී තිබුනි. මෙන්න ඒ පොස්ට් එක බ්ලොග් යන්නට සිංහල තේරුමක් (තිබිය නොහැකිද) ? මෙතනින් බලන්න. ඔබ සැම දෙනාගේ අදහස් දැන ගැනීමට කැමත්තෙමි. 




ඒකට ලැබුනු ප්‍රතිචාර ඒ කියන්නේ කමෙන්ට් කියවාගෙන යද්දී මට තේරුනා මං වගේම හිතපු තවත් කෙනෙක් ඉඳල තියෙනවා නේද කියලා. ඒ "කතාන්දර" බ්ලොග් අඩවිය ලියන අපේ සහෘදයා. එයා බ්ලොග් එකට නමක් හොයද්දි තමයි එහෙම හිතිලා තියෙන්නේ එම කොටස උපුටාගෙන මෙහි සටහන් කරන්නම් 

"කවුරුත් දන්න විදියට බ්ලොග් කියන්නෙ වෙබ් ලොග් කියන එකේ කෙටි යෙදුමයි. එනිසා, මට මුලින් හිතුන මගෙ බ්ලොග් එක "ජාල සටහන්" කියල හඳුන්වන්න. ඒත්, පස්සෙ හිතුන "කතන්දර" කියන නම වඩාත් ගැලපෙනව කියල".


සමහරවිට ඔබටත් මේ වගේ අදහස් ඇවිත් ඇති. ලියලත් ඇති. එහෙම මොනවා හරි තියෙනවනම් මගේ පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. 


එතකොට බ්ලොග් ලියන්න අරගෙන දවස් කීපයයි. මට ඒ කතාව මතක් වුනු ගමන් ලියන්න පටන් ගත්ත. මම ජීවිතේදි මුහුණ දීපු හාස්‍යජනකම සිදුවීම් වලින් එකක්. මගේ දහම් පාසල් ජීවිතය මාසයකට සීමා වුන හේතුව උදාර ගුණදම් සිත දැරුවෝ කියන මාතෘකාවෙන් ලියන්න හේතුව දහම් පාසල් වලට යන අයට වඩා මම සංවර බව පසක් කරන්න. බොරු කියල හිතෙනවනම් කියවල බලන්න. 


මා ගැන සඳහන් කරන්න තියෙන හොඳම වචනය අර සුගතපාල ද සිල්වා මහත්මය ටික කාලෙකට කලින් පරිවර්ථන කරපු පොතට දාල තිබුන නම "අමුතු ඉලංදාරියා" කියන නම කියලා මට හිතුනා. මගේ ප්‍රොෆයිල් එකෙත් කියලා තියෙන ආකාරයට මම ටිකක් වෙනස් විදියට හිතනන පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තිබුනා. අදටත් මම මොනවා හරි දැක්කාම මේක මේ විදියට වෙලා තියෙන්නේ, මෙහෙම පිහිටලා තියෙන නැත්නම් මෙහෙම හදලා තියෙන්නේ ඇයි කියල ටිකක් හිතල බලනවා. හොඳයි මේක කියවන කවුරුහරි ඉන්නවාද සිගරට් පෙට්ටිය ඒ ආකාරයට නිෂ්පාදන කරලා තියෙන්නේ ඇයි කියල හිතපු. ඒක සම්පූර්ණයෙන්ම දිග ඇරලා බලපු. නොබලපු කෙනෙක් ඉන්නවානම් ගලවලා බලන්න. සිගරට් කොයි තරම් අහිතකර දෙයක් වුනත් ඒකේ පෙට්ටිය නිෂ්පාදන කරන්න කොයි තරම් මහන්සි වෙලා තියෙනවද කියල. ඒ වගේම තමයි අද අපි මේ පාවිච්චි කරන පරිඝණකය නිෂ්පාදනය කරන්න හේතු වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්දය. මාතෘකාවෙන පොඩ්ඩක් පිට වුනත් මට කියන්න ඔන වුනේ මම ඔනෑ දෙයක් දිහා වෙනස්ව බලනවා කියන එකට උදාහරණයක් දෙන එක විතරයි. මම ඔහොම දේවල හිතල ස්වභාවදර්මයට වැරදුන තැනකුත් හොයා ගත්ත කිව්වොත් ඔබ හිතයි මම මහ විහිළු කාරයෙක් කියලා. ඔබ දන්නවා අපේ අඟ පසඟ අපට දීලා තියෙන්නේ බොහෝ විට විරුද්ධ පාර්ශවය ආකර්ෂණය කර ගන්න නැත්නම් ස්ව්භාවික විපත් වලින් බේරෙන්න. ඉතිං ඔය දෙකෙන් මුලින් කියපු එකට දීපුවා වයසට යත්දී ටික ටික අවලස්සන කරනවා. ප්‍රමාණය වෙනස් කරනවා. කොන්ඩය, හම, පෙනීම. ඒත් සමහර වයිවෘද්ධ කාන්තාවන් දැක්කහම මට හිතෙනව වයසට යත්දී කාන්තාවන්ගේ පියයුරු ක්ෂය නොවන්නේ මන්ද කියල. එය විශාලව පැවතීමෙන් එම කාන්තාවන්ට වන්නේ මහත් හිරිහැරයක් කියලයි මට හිතෙන්නේ.  මම එහෙම හිතපු තවත් කාරණයක් ගැන තමයි මගෙ පස් වන පොස්ට් එකෙ ලියවෙන්නේ මෙන්න මෙහෙම ගරුතර හාමුදුරුවෝ .... දැන් මේ පොස්ට් එක ලිය ලිය ඉන්න ගමන්ම මට හිතුනා මා ගැන හන්දුන්වන්න හොඳම නම අර කලින් කිව්ව වගේ "අමුතු ඉලංදාරිය" කියන එක නේද කියල. ඇත්තටම මගෙත් අකමැත්තක් නෑ. ඔයාලගෙත් අකමැත්තක් නෑ නේද ? එහෙනම් ඔන්න මං අද ඉඳල "අමුතු ඉලංදාරියා". හැබැයි පොඩි ප්‍රශ්ණෙකට තියෙන්නේ කවුරු හරි මේ වෙනකොට මේ නම භාවිතා කරනවාද කියන එක. එහෙම නම් කරුණාකරල මට දන්වන්න. 


මෙහෙම ලියාගෙන යද්දී මට මතක් වෙන විදියට කතා එකතු කරන්න පටන් ගත්තා. මං අහල තියෙන කතා ප්‍රමාණයෙන් මෙතන පොස්ට් එකක් විදියට භය නැතුව දාන්න පුළුවන් ඒව ගැන දෙපාරක් හිතන්න මට සිද්ද වුනා. බොහෝ කතා 18+ ඒවා. එවැනි දේ මෙතන දාන එක ඒ නුවණට හුරු නැති නිසා යම් තෝරා ගැනීමක් සිදු කරන්න වුනා. ඉතිං මේ විදියට දාන්න පුළුවන් අහිංසකම විහිළුවක් තමයි මම මුලින්ම තෝරා ගත්තේ පෝෂණයෙන් අනූන බිත්තර ආප්ප.


මෙහෙම ලියාගෙන යද්දි මට හිතුනා වෙච්චි දේවල්, ඇහුව දේවල්, වලට අමතරව මොකක් හරි කථාවක් ගොතලා දාන්න ඔනෑ කියල. මගේ අර අමුතු ඉලංදාරියා කම මෙතනදි පාව්චි කලා. අනිත් අය මතට තිත කිව්වහම හිතන පැත්තට වඩා වෙනත් පැත්තක් කල්පනා කරන්න මට හිතුනා. මේ හිස් බෝතල් වලින් තම ජීවිකාව ගෙන යන අයට විය හැකි හානිය මම පෙන්වා දුන්නා. ඇත්තටම මේක විහිළු කතාවක් වගේ පෙනුනට එක් වෙලඳ භාන්ඩයක් මත යැපෙන තවත් ජන කොට්ඨශයක් ඉන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුනොත් සිදු විය හැක්කක් තමයි මම මෙතනදි පෙන්වා දුන්නේ. කෙසේ නමුත් මේක හාස්‍යට බරයි. මම ඒක නම් කලේ අරුම - පුදුම වර්ජනේ .... කියලා.


මේ අතරෙදි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය කියල එකක් තියෙන බව මම අහම්බෙන් දැන ගත්තා. ඊට පස්සේ එතන සාමජිකත්වය ඉල්ලලා ඊමේල් එකක් යැව්වා. කිව්ව වගේම දවස 10කට වඩා ගියා මගේ බ්ලොග් එක එතනට ඇතුලත් කර ගන්න. එතන තියෙන බ්ලොග් ටික ටික මමත් කියවන්න පටන් ගත්තා. එහෙම කියවද්දී මා යායුතු ගමන් මග ගැන මට දල රූපයක් මවා ගන්න පුළුවං වුනා. මේ වෙනකොට මගේ බ්ලොග් එක පටන් අරං මාසයක් වත් නෑ. මගේ බ්ලොග් එක එතනට ඇතුලත් කරාට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයක් දවසකට මගේ බ්ලොග් එක කියවන බව දැනුනාම මට හීන් සතුටක් ඇති වුනා. ඊලඟට ලියන්න දේ බොහෝ තිබුනත් මා දුටු අනුවේදනීය කතාවක් මෙතනට එක් කරන්න මගේ හිත මට බල කලා. දියණියක් සිටින පියෙක් වශයෙන් මේ දේ මෙතනට එක් කල යුතු බවම මගේ හිත මට කිව්වා. මගේ ෆේස්බුක් මිතුරියක් දාල තිබ්බ කවියක් යන කාරණා දෙකම එකතු කරලා තටු සිඳි සුරංගනාවිය ලෙස මගේ හිතේ අවංකව ඇති වූ වේදනාව පිට කලා. 


මම ලියපු මුල්ම පොස්ට් කීපය ගැන දීර්ග විස්තරයක් කරන්න හිතුවේ ඒ කාලයේ මාතෘකා තෝරා ගන්න මා කල අරගලය පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඉන් පස්සේ ලියපු බොහෝ මාතෘකා සඳහා ඉතා ඉහල ප්‍රතිචාර ලැබුනා. සින්ඩිකේටර් හතරකින්ම කියවන ඔබ පැමිණීම නිසා දිනක සමාන්‍ය කියවන්නන්ගේ ගණන 300 ඉක්මවා ගිය අවස්ථා සුලබ වුනා. මුල් මාස තුන ඇතුලතම 5000 කට අඩු කියවීම් ගණනක් සටහන් වූ මේ බ්ලොග් අඩවිය ඉතිරි මාස දෙකකටත් අඩු කාලයකදී තවත් 10,000කින් නොසිතූ ලෙස ඉහල දමන්න කියවන ඔබගේ ප්‍රසාදය සමත් වූවා. මෙයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ ඉතාම මෑතක්දී මා විසින් ලියන්නට වූ "කෙටිම කෙටි ලොල් ක තා" සඳහා ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලැබීමයි. එය ඒව සඳහා ලැබුන කියවීම් සංඛ්‍යාව සහ කමෙන්ට් ප්‍රමාණය මගින සනාත වෙනවා. තවත් එක සුවිශේෂී මාතෘකාවක් යටතේ මා ඉතා කුඩා පොස්ට් එකක් දමනු ලැබුවා. ඒ බ්ලොගර් තීම් සොයන්නට ගොස් අතරමං වූයෙමි. කියන කුඩා ලිපිය. ඇත්තටම ලිපිය කුඩා වුවත් සිදු වූ සිද්දියෙන් මා ඉතා කැලඹීමකට ලක් වුනා. එම දින කිහිපයේ පැය කිහිපයක් ඇතුලත් දිස් වන බ්ලොගර් තීම් එකකට එකක් වෙනස් කරන්න මට සිදු වුනා. අවසානයේදි සිටිය තැනටම කැරකී එන්න සිදු වුනා. මේ සේරටම මුල් වූයේ මා අමුතු ඉලංදාරියෙකු වීමයි. සමාන්‍ය ජනවහරේ එන යෙදුමකින් මෙය හඳුන්වන්න මටම සිදු වූයේ මාගෙ රසිකයන්ට සිදු වූ අපහසුතාවය පිලිබඳ මා තුල ඇති වූ කලකිරීමයි. ඒ "වලං කඩේට ගොනා පැන්නා වගේ" කියමනයි. මෙතනදීත් පැහැදිලි වනවා මා අර කලින් සඳහන් කල බස් රථයකට ගොඩ වූ මුල් විනාඩි කිහිපයේදී මගියා හැසිරෙන ආකාරය. ඊට ටික කාලයකට පසුව වත්මන් බ්ලොගර් තීම් එක හමු වූ අතර එහි එක්ස් එම් එල් එක සංස්කරණය කර අද තිබෙන තත්වයට පත් කර ගතිමි. 


ඉන් පසු මා ලියන්නට යෙදුනු පොස්ට් අතර විශේෂිත ඒවා කිහිපයක් මෙහිල සඳහන් කරනු වටී. ඔබට ගී ගයන මා ....යන මාතෘකාව යටතේ ලියන්නට යෙදුනේ මටම ආවේනික ලක්ෂණයක් පිලිබඳ විස්තර කිරීමටය. ඒ ඔනෑම වචනයක් පදනම් කරගෙන ගීතයක් මිමිණීමේ මාගේ පුරුද්දයි. මගේ විජට් බොහොමයක් සඳහාද මා යොදා ගත්තේද රසවත් ගීත කණ්ඩය. එහෙත් එසේ දැමිය හැකි ගීත කණ්ඩයක් හොයා ගන්නට බැරි අවස්ථාද නොතිබුනා නොවේ. ඒ භාෂා SETT DECO සඳහාය. මේ සඳහා ගැලපෙන ගීත කණ්ඩයක් යෝජනා කිරීමට ඔබට අවස්ථාව ලැබෙන අතර, ජයග්‍රාහකයාට ලැබෙන තිලිණය ඔහු හෝ ඇය සපයන මාතෘකාවක් ඔස්සේ මා පොස්ට් එකක් ලිවීමයි. මා ලියූ ලිපි අතරින් ඉතාම ජනප්‍රිය ලිපියක් වූයේ වැල්ලෙන් අහුලාගත් පිට සක්වල වස්තුව (UFO). සැබවින්ම මෙය මාගේ පුද්ගලික අත්දැකීමක් වූ අතර ඒ තුලින් මා තවත් දෙයක් ඉස්මතු කර පෙන්වන්නට උත්සාහ ගත්තා ඒ මගේ දෙමව්පියන් පිරිමි දරුවකු වූ මා අපචාර වලට ලක් නොවීමට වග බලා ගත් ආකාරය. ඇත්තටම එය පැසසුම් සහගතය. ඔවුන්ට මාගේ භක්ති ප්‍රණාමය හිමි විය යුතුමය. 


බල්ලෙකුටත් වඩා පහතට වැටුන හෝරා දෙකක් කියන ඊලඟ මාතෘකාවටත් හොඳ ප්‍රතිචාර ලැබුනා. "දැන් ඉතිං මං මොනවා ලිව්වත් ජනප්‍රිය වෙයි" කියන අභිමානයක් මට ඇති වුනත්, ඒක් එහෙමම වෙන්නේ නෑ කියන එක ඊට පසු ලියන ලද සමහර ලිපි වලට ලැබුන ප්‍රතිචාර වලින් මට වැටහුනා. මොනවා වුනත් හාස්‍ය මුසු වුනු දේවල් වලට බොහේ ජනප්‍රසාදයක් ලැබෙනවා. ඒක එක්තරා අතකින් ලොකු අඩුපාඩුවක්. වෙනත් මාතෘකා ඔස්සේ ලිවිය හැකි අය මේ මගින් මන්දෝත්සාහී වනවා. මෙහි ලියන මා වුවත් හාස්‍යෝත්පාදක ලිපි වලට වඩා මා වැඩි අධ්‍යනයක සිටින ක්‍රිකට් වැනි වෙනත් මාතෘකා ඔස්සේ නොලියන්නේ මෙහි පැමිණෙන ඔබ දෙන ප්‍රතිචාර වලට සාපේක්ෂව. මා කුමක් ඔස්සේ ලිවිය යුතුදැයි යන්න මට තවමත් ප්‍රහේලිකාවක් ? මෙහි පැමිණි පසු වෙනත් අයගේ කවි වලට කවි වලින්ම පිලිතුරු දෙන්න යාමෙන් නොදැනුවත්වම මට කවි ලිවීමේද නිපුනතාවක් ඇතැයි මට වැටහුනා. අන්තිමේදී මම මට තේරෙන ආකාරයට නිස්ඳැස් ස්වරූපයේ පොස්ට් එකක් 077 යි...අම්මා... කියන පොස්ට් එක ලිව්ව. ඇත්තටම එය ස්ව‍යං විවේචනයක්. කොළඹට වෙලා කර්‍ය් බහුල දිවියක් ගෙවන මා අම්මාට නිතර නො-අමතන්නේ මන්දැයි මටම ප්‍රහේලිකාවක්. කෙනෙක් මොන යමක් හෝ කරන විට එය තමා අදහන ශාස්තෘ වරයන් වහන්සේ පිලිබඳ කරන ආකාරයක් මා දැක තිබෙන. එයට හොඳම උදාහරණය සපයන්නේ නන්දා මාලනී මහත්මියයි. ඇයගේ මුල් ගීතය වශයෙන් "බුදු සාදූ - බුදු සාදූ" ගීතය නිමවෙන්නේ මෙන්න මේ කාරණය මත. මමත් තෝරා ගත්තේ අම්ම ගැන ලියන්න. ඒ කියන්නේ ගෙදර බුදුන්  ගැන. ඒකටත් යම් සැලකිය යුතු ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුණා. ඊට පස්සේ බ්ලොග් අවකාශයේ ආදරණීය ජ්‍යේෂ්ඨයාගේ වියෝව ගැන මෙන්න මේ වගේ කවි පන්තියක් ලිව්වා ඔබා මාමාට ලියූ කවි - සිටිනා තැනක සිට අප දෙස ඇස් යොමපන්...


දැනුම උදෙසා මා ලිවූ බ්ලොග් පොස්ට් දෙකටම ඒ හැටි ප්‍රතිචාර නොලැබීමෙන් මා තේරුම් ගත්තේ දැනුම පිලිබඳ උණන්දුවක් බ්ලොග් කියවන්නන් තුල නොමති බවයි. නැතහොත් ඔවුන් සියල්ලම දැනුමෙන් පරිපූර්ණ අයයි. කෙසේ වෙතත් මා ලියූ මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු සඳහා තරමක ප්‍රතිචාරයක් ලැබුනා. හිතට එන මාතෘකා සියල්ල ලියන්න හිතා ගත්තත් බොහේ විට අමතක වෙනවා. වරක් මම එලෙස එන සිතුවිලි කොල කෑල්ලක ලියා තබන්න පටන් ගත්තා. එහෙත් කාලීන සිදු වීම් හෝ මතකයට එන වෙනත් රසවත් කතා ඒවාට හිමි තැන උදුරා ගන්නවා. 




මෙහි තිබෙන බොහොමයක් බ්ලොග් අඩවි වලට ගොස් එක් වතාවක් හෝ මා කියවා තිබෙනවා. ඒ තුලින් දැනුම වැඩි වූ බව නම් කිව යුතුයි. සිංහල බ්ලොග් කරුවන්ගේ එකතුව ගැන නම් මා සිටින්නේ අපමණ සතුටකින්. එවැනි දෙයක් තිබීමෙන් රචකයා මෙන්ම පාඨකයා රැකගන්න යමක් කලහැකි බවයි මගෙ විශ්වාසය. මගේ දුක කියන්න මිනිසුන් 1000 ක් සිටිනවා යන්න දැන ගැනීමත් සතුටක්. ඉතින් කිව යුතු දේ බොහෝ තිබුනත්, ඔබගේ රන් හා වටිනා කාලය කැප කරමිනි මගේ බ්ලොග් අඩවියට එක්වරක් හෝ පිවිස මා ලිවූ දේ රසවිඳි ඔබසැමට මගේ හෘදයාංගම ස්තුතිය සහ ආදරය පිරිනමන ගමන් ශතකය කරා මා යන ගමනට අත්වැලක් වෙන්න ආරධනා කරනවා.මාගෙ බ්ලොග් අඩවිය බලන්නට කියවන්නන් සඳහ මග පෙන්වූ සියළුම සින්ඩිකේටර් (සිංහල බ්ලොග් කියවනය, සින්ඩි, කොත්තු, හත්මාළුව, අපි අපිට, ලාංකීය සිතුවිලි, අඹගහයට, මාතලන්ගේ සින්ඩිය) වෙත මාගේ හෘදයාංගම සිතූතිය හිමි විය යුතුයි.  මා ලිවිය යුත්තේ කුමන ආකාරයේ බ්ලොග් පොස්ට් යන්න පිලිබඳ අවුබෝධයක් ඔබට ආවානම් එයත් කමෙන්ට් එකක් ලෙස එකතු කරන ලෙස ඉල්ල සිටින ගමන් අදට සමු ගන්නම්. 




පිංතූරය ගත්තේ : planetminecraft.com

Friday, May 18, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 7 - යසපාල සහ කාන්තිගේ ව්‍යාපාරය



කතාව ලියන්නට කලින් ලිවිය යුතු දෙයක් ඇත. ඒ අද මට දඟයා හමු වීමය. මේ දවස වල කොළඹ කොටුවේ තිබෙන ට්‍රැෆික් එක අතරේ, ගිණි අව්වෙන් බේරෙන්නට ඔෆිසිය කරා දුවද්දී මම  දඟය දැක නැවතුනෙමි. මුනගැසී කථාබස් කල දේ හෝ අපි දෙදෙනා අතර ඇති වූ කුළුපග කම මෙහි සඳහන් කිරීම වැදගත් නොවුනත් මා සයිබර් සැණකෙළියේදී රත්ගමයා යයි පටලවා ගත්තේ මේකා නෙවේදැයි සිහි වී හිතිං ඇති වන්න සිනාසුනෙමි. සයයිබර් සැණකෙළිය ගැන මා ලිවූ ලිපිය [මෙතනින් සයිබරයේ සිහින සැණකෙලිය 2012 - මා දුටු හැටි.(සවිස්තරව )  කියවන්න].  අපේ මිතුරු මිතුරියෝ කීප දෙනෙක්ම චෝදනා කල කතාවේ හොඳම හරිය නොලිය ඉන්න එක කෙටි කතාවකට ගැලපෙන්නේ නෑ කියල. ඉතිං පොරොන්දු වුන විධියට කතාව සම්පුර්ණයෙන් ලියන්න මම තිඉරණය කලා. මෙන්න කතාව.

මේ‍ක මට කිව්වෙත් අර කෙටිම කෙටි ලොල් කතා 3 [මෙතනින් ආරේ ගුණ බලන්න ] කියපු ගුරු මහත්මියමයි. ඒ ගුරු මහත්මියගේ ගෙවල් පැත්තේ ඒ කියන්නේ බලන්ගොඩ පැත්තේ වුන දෙයක්. ඇත්තටම වුනාද කියන්න නම මන දන්නෑ. දැන් මෙතන ඉන්න ත 18 ට අඩු නංගිලා - මල්ලිලා හොඳ ළමයි වගේ මේක ක්ලොස් කරලා 18 පැන්නට පස්සේ බලන්න හොඳ ළමයි වගේ. 

කමලාවතී කියන්නේ ටිකක් දඟකාර කෙල්ලක්. ගමේ බොහෝ පිරිමින්ගේ හිත සොරා ගන්න මේ කෙල්ල, ගැටිස්සි වේගෙන එද්දීම හැකි වුනා. මේකට කෙල්ලගේ දෙමව්පියෝ බය වෙලා හිටියේ. මොකද මේ වගේ ඇහැට කණට පේන එකියකට ලේසියෙන් බේරිලා ඉන්න ලැබෙන්නැති බව තම අත්ද්කීමෙන්ම ඔවුන් දන්න නිසා. ඉතිං මේ අම්මයි තාත්තයි මේ කෙල්ලට ඉක්මනින් කසාදයක් කරලා දෙන්න ඕනෙයි කියල හිතලා හොයන්න පටන් ගත්ත. අපේ කෙල්ලට හරියන්නේ ටිකක් සැර පරුෂ මිනිහෙක් හාමිනේ. මෙහෙම කිව්වේ කෙල්ලගේ තාත්ත. ඒ කෙල්ලගේ ආරක්ෂාව ගැන හිතලා. එහෙම හිතලා හිතලා හොයා ගත්ත අපේ රත්ගමයගේ ගමට අල්ලපු ගමෙන් යකෙක් වගේ කොල්ලෙක්. හැබැයි බින්න බහින්න වුන නිසා මේ කොල්ල ඒ කියන්නේ යසපාල ඒ ගමේ  ජීවත් වුනේ දෙකට ගණින්න බෑ වගේ.  යසපාල ගමේදී කලේ හුණු පෝරණුවක්.  ඉතිං මිනිහා දන්නා රස්සාව හින්දා කෙල්ලගේ ගමට ඇවිල්ලත් කලේ හුණු බිස්නස් එකක්. ගමෙන් හුණු අරන්  ඇවිත් මෙහෙ පොඩි කඩයක් දාගෙන විකුණන එක. දෙන්න බොහොම මහන්සියෙන් හුණු කඩේ කරගෙන ගියත් ඒ හැටි ආදායමක් තිබුනේ නෑ. හේතුව මේ කඩේට කවුරුවත් එන්න කැමති නොවුණු එක. එකට හේතුව මොකක්ද කියන එක තාමත් නොවිසඳුනු රහසක්. සමහරවිට අර හිමිජ්ජා වගේ හිටිය යසපාලය දරුණු එකෙක් කියල මිනිස්සුන්ට හිතුන නිසා වෙන්න පුළුවන්. එත් උගේ දරුණු කමින් අනිත් අයට ඇති ප්‍රශ්නයක් නැහැනේ. සල්ලි දුන්නොත් බඩු දෙයි. යපලත් බලාගෙන ඉන්නේ කොහොම හරි කල්ල හුණු ටික විකුණා ගන්න. ඇයි දෙයියනේ මේවට ගිය සල්ලි ටික හොයා ගන්න එපැයි. 

මේකනම් කෙරෙන වෙළඳාමක් නෙවෙයි කියල යසපාලට හිතුනා. බැරිමතැන ගමේ ඉන්න ජෝතිෂ වැඩ කරන උන්නැහේ කෙනෙක් ගාවට යසපාලයි, කාන්තියි අම්ම තාත්තයි උදේ පාන්දරම ගියා. වැඩිය කට්ටිය හිටියෙත් නැති නිසා මේ ජෝඩුවට ඉක්මනින්ම ජෝතිෂ උන්නැහේ මුණගැහෙන්න හම්බ වුනා. දෙන්නගේ මූණු දිහා හොඳ විපරමක් දාපු සියදෝරිස් අප්පුහාමි (ජෝතිෂ උන්නැහේ) ඇහුවා 

මො..ක..ද... දරු සම්පතක් වත බලා ගන්නද ආවේ? මට වෙලාවල් නොබලාම කියන්න පුළුවන් මේ දැරිවිට හොඳට දරු සම්පත් තියෙනවා. 

නෑ අයිබෝවන්ඩ මේ අපේ දැරිවි පෙලවහට ගත්ත යසපාල හුණු කඩයක් දැම්ම. හරි හමන් වෙළඳාමක් නෑනේ. අපිට මේකට මොනවා හරි කරලා දෙන්න බැරිද.

දැන් මොකක්ද මේ කඩේ නම ?

අනේ, නමක් කියල දැම්මේ නෑ ආයිබොවන්ඩ

එහෙම හරි යනවද අපි දාමු මේකට හොඳ නමක්. මොනවද දෙන්නගේ නම්?

කොල්ල "යසපාල" කෙල්ල "කාන්ති" එහෙම කිව්වේ කෙල්ලගේ අම්ම.

ටිකක් උපහාසාත්මක හිනාවක්‌ මුහුණට අරගෙන සියදෝරිස් අප්පුහාමි කිව්වා නමක්. පොඩි අවවදයකුත් දුන්න ඒ යසපාලට වැඩිය කඩේ ඉස්සරහ පෙන්න ඉන්න එපා කියල. කාන්තිට නිතරම ඉස්සරහට වෙලා පේන්න ඉන්න කිව්වා. ඉතිං මේ දෙන්න දෙමහල්ලොත් ගෙදර ගිහින් කාඩ් බෝඩ්  පෙට්ටියක් ඉරල අරගෙන අඟුරු කෑල්ලකින් යන්න්තමට බෝඩ් එකක් ඇඳගත්ත වැඩේ හරිගියොත් හොඳ බෝඩ් එකක් පස්සේ ඇඳගන්නවා කියල.  පුදුමේ කියන්නේ බෝඩ් එක ගැහුවා විතරයි කඩේට පොලිමේ සෙනග එන්න ගත්ත. ගෙදරින් ලණු ගෙන්න ආව අයත් හුණු අරගෙන ගෙදර ගිහින් තමන්ගේ බිරින්දාවරුන්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගෙන තියෙනවා. යටින් තියෙන බෝඩ් එක බලන්නකෝ. මොකක්ද මේකේ තියෙන විශේෂෙ කියල. 


පින්තූරය ගත්තේ : http://fashion-new-line.blogspot.com

ප:ලි: මේක ලිව්වේ බොහොම දෙගිඩියාවක ඉඳල. ලියනවද, නැද්ද කියල. හුදෙක් හාස්‍ය රසය වෙනුවෙන්ම ලියපු එකක්. 

Tuesday, May 15, 2012

කෙටිම කෙටි ලොල් කතා - අංක 6 වෙත්තමුණිගේ සෙල්ටෙල් එක සහ දිවාගේ අකුර


කෙටිම කෙටි ලොල් කතා අංක 5 හේ කතා දෙකෙන් එකක් වෙත්තමුණි මහියංගණේ ගිය හැටි කියවන්න ඇතිනේ නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න කෙටිම කෙටි ලොල් කතා අංක 5 - වෙත්තමුනි හා කන්ටිබල්  ඒ කතාවෙදි කිව්ව වගේ වෙත්තමුණි මහත්තයා නිතර නිතර මේ වගේ කරදර වල පැටලෙනවා. ඒකමත් නෙවෙයි කාරණය වෙත්තයාව බයිට් එකට ගන්න අනිත් අය කැමතියි මොකද වෙත්තය නිතරම අනිත් එවුන් දෙන ගුලි කන නිසා. කාගෙද බ්ලොග් එකක පහුගිය කාලේ තිබුනා අර සෙල්ටෙල් ආව කාලේ කතන්දරයක්. අර ලව් ලෙටර් පලහිලව්වක් ගැන තිබුනේ. මේකත් අන්න ඒ වගේ කතාවක්. අපේ වෙත්තමුණි මහත්මයා බැංකුවේ රස්සවට අමතරව පොඩි පොඩි බිස්නස් කරා කියල මම පහුගිය කතාවෙදි කිව්ව මතක ඇතිනේ. ඒ දවස් වල ඉතිං ඔෆිස් වල කෝල් එකක් ගන්න ගියහම ලොක්කන්ගෙන් නොයොකුත් ප්‍රශ්ණ කිරීම් වලට ලක් වෙනවා. තමන්ට අවශ්‍ය රහස් දෙයක්වත් කථා කරගන්න බෑ ලොක්ක අහගෙන ඉන්න නිසා. අනිත් එක ප්‍රයිවෙට් එකේ කරගෙන යන බිස්නස් ඔෆිස් එකට මාට්ටු වෙන්නත් බැරි නෑ. අන්න ඒක නිසා අපේ වෙත්තයත් ගත්ත සෙල්ටෙල් එකක්. දැන් ඒකට මොබයිල් එක, හෑන්ඩ් ෆෝන් එක අරක මේක කිව්වට ඉස්සර කියන්නේ සෙල්ටෙල් එක කියල. මොකද ලංකාවට මුලින්ම ආවේ සෙල්ටෙල් නිසා මොබයිල් වලට හැමෝම වගේ කිව්වේ සෙල්ටෙල් කියල. සමහරු අර කන්ටේනර් ගෙනියන ස්කැමල් එකට කියන්නේ කන්ටේනර් එක වගේ. 

ඉතින් මේකට සෙල්ටෙල් එක කිව්වට මෙයාගේ එක මොබිටෙල් කනෙක්ෂන් එකක්. ඒ කාලේ අර මිනිත්තුවකට රුපියල් 13ක් ගෙවපු කාලේ. එන ඇමතුමකට එක විනාඩියයි නොමිලේ. ඊට පස්සේ රුපියල් 10ක්. මාසෙකට කොහොමට් රුපියල් දාහක් හමාරක් ඉවරයි. සමහර මගෝඩි කොල්ලෝ ඉතිං අර විනාඩිය යවන්න බස් එකේ යන වෙලාව බලල ඔෆිස් වලින් කෝල් කරනවා. තියන්න හැදුවට තියන්න දෙන්නේ නෑ. බස් එකේ යන අයත් පොඩ්ඩක් කැමතියි කෝල් එනවට, පොඩක් කට්ටියට පේන්න ෆෝන් එක ඇදල ගන්න පුළුවං නේ. අපේ වෙත්තමුණි මහත්තයටත් මේ වගේ දේවල වෙච්ච වාර අනන්තයි. ඒත් කවදාවත් කිසි කෙනෙක් එක්ක තරහක් තියා ගන්න වෙත්තමුණි මහත්තයගෙ හිත ඉඩ දුන්නේ නෑ. කොයි දේත් සිනා මුසු මුහුණින් පිලිගන්න එක මිනිහගේ සිරිත. ඒකම හේතුවක් වුනා මේ විදියට මිනිහව අමාරුවේ දාන්න. 

කලින් කතාවේ කිව්ව වගේ අපේ වෙත්තය භොහොම පිලිවෙලට ඇඳල, කොන්ඩේ පීරල බැංකු නිළධාරියෙක් කියල දැක්ක පමණින්ම කෙනෙකුට හිතා ගන්න පුළුවං විදියට තමයි මිනිහා වැඩට එන්නේ. අපේ යාළුවත් ඉතිං අර කාන්තාවෝ ඔෆිස් එකෙන් පිටත් වෙන්න කලින් වොෂ් රූම් එකට ගිහින් හැඩ-වැඩ වෙනවා වගේ හතරයි තිහට විතර හිමිහිට රිංගනවා වොෂ් රූම් එකට. ඔෆිස් එකේ අනිත් කොල්ලොත් මේක නොදැක්ක ගානට හිටියේ වෙන මොනවත් හින්ඳ නෙවෙයි වෙත්තයාගෙ බෑග් එකට මොනව හරි දාන හරි මොනව හරි තියෙන දෙයක් උස්සන්න හරි මේ වෙලාවට පුලුවන් නිසා. 



එහෙම මිනිහගේ බෑග් එකට කොල ගුලි, පේපර් වේට්, ස්ටෙප්ලර් මැෂින් වගේ දේවා අනන්ත අප්‍රමානෙට දාල තිබුනත් පහුවදා පාන්දර ගෙන්ත් තියනව මිසක කවදාවත් කාටවත් වචනෙකින්වත් බැන-අඬ්ගහන එක මිනිහා නොකරපුම දෙයක්. 

මේ කියන දවසේ හවස වැඩ කරන කොල්ලේක් අපේ වෙත්තයගේ ෆෝන් එක රිංග් කරලා. යාන්තමට සද්දේ ඇහිච්ච ගමන් බෑග් එක ඇරල ෆෝන් එක ගන්න අත දැම්මත් ෆෝන් එක හොයා ගන්න බැරිම තැන වෙත්තයා බෑග් එකට එබිලා බලලා. ඒ තිබුන විදියට ෆෝන් එක ආන්සර් කරනවා බොරු. මිනිහා හිමිහිට බෑග් එක වහලා වටපිට බලලා ඉන්නකොට මිනිහගේ සීට් එකේ ඉන්න අනිත් කෙනා කියනවලු මහත්තයා ඔන්න කෝල් එකක් කියල. ඒ කාලේ තිබ්බ අර ගඩොල් බාගේ කියල කියන මෝටොරෝලා ෆෝන් තඩිය රින්ග් වෙනකොට පළාතම දෙදරුම් කනවා. ඒත් වාසනාවකට ෆෝන් එක තිබ්බ විදියට සද්දේ එන්නේ අඩුවෙන්. 
"මේ යක්කු කරන වැඩ වලට කිසිම ඉවරයක් නෑනේ. මේ එන්නේ බිස්නස් කෝල් එකක්නම්. ඒ මිනිස්සු හිතයි බිල යන නිසා මම ආන්සර් කරන්නෑ කියල."

වෙත්තය හිතින්ම කියා ගත්තා. එක අතකට මේක දැකල වෙත්තයට හිනහත් එක්ක. ඒත් වටපිට අය බලනකොට මොකද ආන්සර් කරන්නැත්තේ කියල. හරියට ෆෝන් ගැන දන්නැති කෙනෙක් වගේ. නැත්නම් ෆෝන් එකක් උස්සගෙන යන එකෙක් වගේ. වෙත්තමුණි මහත්මයට හීන් දාඩිය දැම්ම. කොහොමද ෆෝන් එක තියෙන්න ඇත්තේ ?

මේ වැඩෙ කරපු මගෙ මිතුරෙක් වන අකිල පස්සෙ මට කරපු විදිය කිව්ව. ඉස්සෙල්ල කමෙන්ට් කරන්න පස්සේ මම කියන්නම්. 

පින්තූරය ගත්තේ : http://www.techdigest.tv
--------------------------------------------------------------------------



දිවාකරන් කියන්නේ දක්ෂ පද්දති විශ්ලේෂකයෙක්. අපේ බැංකුවේ බොහෝමයක් පරිඝණක පද්දති වල මූලික අඩිතාලම දැම්මේ දිවා. ඒ කාලේ පද්දතිය සැලසුම් කරලා, සංවර්ධනය කරලා, පුහුණු කලේත් එකම කණ්ඩායමක්. නිමල් මේ කණ්ඩායමේ හිටිය තවත් කෙනෙක්. දවසක් උදේ පාන්දර ඇල්පිටිය බ්‍රාන්ච් එකෙන් ආවා කෝල් එකක්. ෆෝන් එක ඉස්සුවේ දිවා. දැන් ගාමිණී අහගෙන ඉන්නවා දිවා කථා කරන දිහා. 

දිවා : "මොකාක්ද ගාපු අකුර ? අකුරක් ගාලා සිස්ටම් කැඩෙනවා කෝමද ?"

අනිත් පැත්තෙන් : " නෑ මාහත්තයා, මේක අපි ගහපු එකක් නෙවෙයි"

දිවා : "හරි මට කියාන්ඩ් මොකාක්ද ගාපු අකුර, එස්කේප් අකුරද ?, ඩිලීට් අකුරද ?"

අනිත් පැත්තෙන් : මට හිතෙන්නේ මහත්තයට  තේරුනේ නෑ"

දිවා : "නෑ මට ඔඳට දන්නවා. ඔයා ලොගින් වලට කන්ට්‍රොල් ඩී ගැවුවද ?" (යුනික්ස් මෙහෙහුම් පද්දතියේ ආරම්භයේ දෙන කී කම්බිනේෂන් එක )

අනික් පැත්තෙන් : "නෑ මහත්තායා මොනවත් වැඩ කරන්නැතුව කොහොමද අකුරක්වත් ගහන්නේ. යූ පී එස් එක පිච්චිලා. ඊයේ රෑ අකුණක් ගහලා"

දිවා :"අකුණාක්....අකුණාක්......"(තමාටම වට් ඉස් අකුණක්,අකුරක්) 
මේ අතර වාරයේ නිමල් පැමිණේ. 

දිවා : "නිමල් වට් ඉස්  අකුණාක් ?"

නිමල් : "තන්ඩර් මචං තන්ඩර්"

දිව : "ඔහ් ! අයි සී. සොර්‍රි මාත්තයා. සොරි සොරි මම හිතුව අකුරු තමයි ගාල තියෙනවා කියල"

මෙතෙක් කතාව දෙස බලා සිටි ගාමිණී බඩ අල්ලාගෙන සිනාසෙයි. 




පින්තූරය ගත්තේ : http://www.superstock.com



Monday, May 14, 2012

ඔබා මාමාට ලියූ කවි - සිටිනා තැනක සිට අප දෙස ඇස් යොමපන්...


එදා ඇවිත් හිටියත් සයිබර් සැණකෙළියේ
ඔබා මාමා නැත මා හට හමු වූයේ
වරද මගෙ බව දනිමී අද දිනයේ
පිරිවර වට කරන් නෙව මාමා හිටියේ
  
දුටුවෙමි ඔබෙ සිනා යනෙනාවිටදී
හිතුනද දොඩන්නට මාමේ ඔබලඟදී
දිරියක් නොම වීය මේ ළදරුව හටඑහිදී
හිඩැසක් තිබේ මගෙ හිත තුල ඇත අදදිනදී
  
ඔබා කවුරුන්ද යන බව මම අදදනිමී
ලැබ තිබු ගෞරවය හැම තැනදීම මමදුටිමී
කමෙන්ට් දමා හැම දෙන හට නොමඉදිමී
නිහතමානි ඔබහට මම හිස නමමි
  
ඉන්නා තැනක සිට අප දෙස ඇසයොමපන්
කොලු-කෙලි පැටව් ටික නුබගේ යයිසිතපන්
යනවා නම සිත් තොසින් ඔබ ලැබ පුරටනිවන්
එය සතුටකී පතනෙමු ඔබහට  අමානිවන්
  
අප්‍රේල් 22 දින පවතී සයිබර් සිහින සැණකෙළියේදී දුටු සයිබරයේ  සක්විති රජු වෙත  භක්තියෙන්.

2012.05.14

Friday, May 11, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 5 - වෙත්තමුනි හා කන්ටිබල්



අපේ නැන්දාගේ පුත්තු අර කසින්ස් කියන්නේ,  පස් දෙනෙක් ඉන්නවා. ඉන්නවා කිව්වට හිටිය කියල කියන්නත් වෙනවා මොකද එගොල්ලන්ගෙන් වැඩිම්හළු අයියා අවුරුදු කිහිපයකට උඩදි මියැදුනා. දැන් ඉන්නේ හතර දෙනයි. නම් වශයෙන් කිව්වොත් ජයතිස්ස, රංජිත්, පියසිරි, විජේසේන සහ සුනිල්. අපේ තාත්තා මෙගොල්ලන්ගේ මාමා. මේ මාමාට මේගොල්ලෝ අපිටත් වඩා ආදරෙයි. මේ පස් දෙනා පලාතම හොල්ලගෙන ඒ කාලේ හිටියේ. පස් මහ යෝධයෝ කියල කියන්න තරම් වටිනවා. බාලයා වෙච්ච සුනිල් අයියා ඇරෙන්න අනිත් අය සද්දන්ත අය.  රංජි(ත්) අයියා සම්බන්ද කතාවක් මේ වෙනකොට ලිව්වා. ඒක නොබලපු අය ඉන්නවනම් මෙතනින් බලන්න (වෙසක් දොහේ අවසන් වූ කල්‍යණ මිත්‍ර සම්පත්(තිය )).   ලොල් කතා එකක් ලියනවට වඩා කතා දෙකක් එකට ලිව්වාම අමුතු ගතියක් තියෙනවා කියල මට හිතුනේ ලොල් කතා 4ට ලැබුන ප්‍රතිචාර නිසා. කොහොමත් මේ ලෝකේ බොහේ දේවල් යුගල වශයෙන තමා ජනප්‍රිය ආටක-නාටක, තොම්සන් ඇන්ඩ් තොම්ප්සන්, භාතිය සන්තුෂ්, එතුමයි මෙතුමයි. අනික ජනප්‍රිය දෙයක් හා ජනප්‍රිය නොවන දෙයක් එකට දුන්නාම දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අත්දුටුවයි - ප්‍රක්ත්‍යක්ෂයි. හරියට FM  වගේ. ශක්තිය වැඩියි. බොරු නම් ට්‍රයි කරල බලන්න. 

මෙන්න කතා දෙකෙන් පලවෙනි එක.



අපේ විජේසෙන අයියා හරි විහිළු කාරයා. වැඩ කලේ කෝකියෙක් විදියට බෙන්තොට මුහුදු තීරයේ තියෙන හෝටල් සමූහයේ. දැන් නම් චෙෆ් කෙනෙක්. ඔය කියන කාලයේ කෝකියා. හෝටලේ ඉන්න නිසා මිනිහා ඉංග්‍රීසි වචන කිහිපයක් දන්නවා. අපි ඉගෙන ගන්න කාලේ දවසේ ඉගෙන ගන්න අපේ ඉංග්‍රීසි පොත් බලන්න සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න කිහිප දෙනෙක් එනවා. ඒ එන්නේ අපේ වයසේදී ඔවුන්ට අතපසු වූ ඉංග්‍රීසි දැනුම කුඩා අපේ පොත් වලින් උකහා ගන්න. එහෙම අපේ පොත් බලපු කෙනෙක් අද දැවැන්ත ව්‍යපාරිකයෙක් වෙලා. මේ අය අපිත් එක්ක ඉංග්‍රීසි කථා කරනකොට එතනට එන විජේසේන අයියා දානව මොකක් හරි බාල්දියක්. බාල්දියක් කිව්වට විහිළුවක් තමයි. ටික කාලයක් යත්දී මේ අයත් අපත් එක්කම යම්කිසි ඉංග්‍රීසි දැනුමක් වැඩිදියුනු කර ගත්තා. හැබැයි විජේසේන අයියා මේ වැඩේට එකතු වුනේ නෑ. මිනිහා ඉතිං හොටෙල් එකේ ඉන්න එකේ අපෙන් මොන ඉංග්‍රිස් දැනගන්නෙයි. ඔය වගේ එක දවසක අපි වචන තේරුම අහ-අහ ඉන්න තැනට ආපු මිනිහා මෙහෙම ඇහුවා


"හරි දැන් තමුසෙල ඔක්කොම මහ ලොකු ඉංග්ලිෂ් කාරයෝනේ. එහෙනම් කියනවා බලන්න කන්ටිබල් කියන වචනේ තේරුම"


මුලින්ම අපි තුෂ්නිම්භූත වෙලා මුණෙන්-මූණ බලාගෙන හිටියා. මාර ලැජ්ජාව අපි මාස ගාණක් එකතු වෙලා හදා ගත්ත ඉංග්ලිෂ් සංගමය විනාසයි. ජයවර්ධන අයියා කිව්ව උත්තරයක් 


"කන්ටිබල් කියන්නේ උඹට වැර්දිලා. ඕක කන්ට්‍රි-බල් වෙන්න බැරිද?"


"නෑ, නෑ කන්ටිබල්ම තමයි" මිනිහ අත් අරින්නේ නෑ. ඒ කාලයේ ඩික්ෂනරියක් අපි පරිහරණය කරලා තිබුනේ නෑ. අනිත් එක අන්තර්ජාල හෝ දුරකථන පහසුකම් තිබුනේ නෑ. මම මගේ යාළුවා සම්පත්ගෙන් අහල බැලුව. ඌත් දන්නේ නෑ. තාත්තාගෙන් අහන්න කිව්ව (අම්මයි තාත්තයි දෙන්නම ඉංග්‍රීසි ගුරුවරූ). උත්තර නෑ. අන්තිමේදි මේක අපේ ගමේ අයගේ මුවග රැව්දුන් වචනයක් බවට පත් වුනා. කටින්-කට  යද්දි වචනය වෙනස් වෙලා සමහරු "කන්සිබොල්","කාන්සිබල්", "කාන්තිබං" වගේ ඒවත් කියාගෙන ආව. ඒව අහල නම් අපි බඩ අල්ලගෙන හිනා වුනා. ඒත් හරි උත්තරය හොයා ගන්න කාටවත් බැරි වුනා. සම්පත්ලගේ  තාත්ත ඩික්ෂනරිය බලලත් නෑ කිව්ව. ඒ කාලේ අපේ පන්තියට ඉංග්‍රීසි උගන්වපු එල්මෝ ප්‍රනන්දු සර්  එකහෙලා කියා සිටිය මේක වෙනත් භාෂාවකින් ඉංග්‍රීසියට එක් වූ වචනයක් කියා. අපට එය පැවසූවේ සංචාරක හෝටලයක වැඩ කරන අයිය කෙනෙකු බව පැවසූ විට, එල්මෝ සර් තමාගේ නිගමනය හරි බව පවසා සිටියා. මමත් චන්ඩියා වගේ ගෙදර ආපු ගමන් ගියා විජේසෙන අයියා හම්බ වෙන්න. ඒත් මිනිහා හවස හයට ගෙදර එන බව දැන් ගත් පසු මට ඉස්පාසුවක් තිබුනේ නෑ. එදානම් විභාග දවසේ වගේ නෙවෙයි ඔරලෝසුවේ කටු බඩ ගානවා වගේ මට දැනුනේ. අන්තිමට ඔරලෝසුව ගැන් විශ්වාසය අත් ඇරල මම රේඩියෝව ලඟට වෙලා හිටියා. හයේ ප්‍රවෘත්ති පටන් ගන්නවත් එක්කම මම පාරෙන් පැනල විජේසෙන අයියගෙ ගෙදරට දිව්ව. 


"ආ දැන් මග එනව ඇති. හයට හෝටලෙන් එන්නේ" අක්ක කීවේ සිනාසෙමින්. මම එතනම පඩි පෙලේ වාඩි වෙලා බලාගෙන හිටිය. ඔන්න එනව. උත්තරෙ හරියට කිව්වොත් බයිසිකලේ රවුමක් යන්න ඉල්ල ගන්න පුළුවන්.


"ම්ම දන්නව කන්ටිබල් කියන එකේ තෙරුම අපේ සර් කිව්ව ඒක ජර්මන්, ප්‍රංශ, ඉතාලි, පෘතුග්‍රීසි, ලන්දේසි වගෙ භාෂාවකින් ආපු එකක් වෙන්න ඕනේ කියල (පෘතුග්‍රීසි ලන්දේසි කියන එක මම අතින් දාල කිව්වේ.). හරි නේ. මට බයිසිකලේ  ඕනේ රවුමක් යන්න"


ඒක අහල මිනිහා බඩ අල්ලගෙන හින වෙන්න පටන් ගත්ත.


"තමුසෙලාගේ සර් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? හහ්...හහ්, හහ්. හා. .හා. හා. වැරදියි. කන්ටිබල් කියන්නේ ..." 


නෑ  මේක එක පාරට කිව්වොත් හරි නෑනේ. මම මගේ පාඨක මිතුරුකැලටත් දෙනවා අවස්ථාවක් පොඩ්ඩක් සර්ච් පාරක් දාල බලන්න. එහෙනම් බලල කමෙන්ට් කරන්නකෝ. දෙවන කතාවට ඒක සම්බන්ද නිසා ඒක් ලියන්න වෙන්නේ ඔයාලගෙ උත්තර බලල. 



මෙන්න දෙවෙනි කොටස. වෙත්තමුනි මහත්තයා වැඩ කරන්නේ අපේ බැංකුවේ. එයාටත් මට වගේ නිතරම අකරතැබ්බ වෙනවා. අපේ මේ යාළුවාට මීට කලින් ශාඛාවකදි එයත් එක්ක එකට වැඩ කරපු යාළුවෙක්ගේ වෙඩිං එකට යන්න වුනා මහියංගනයේ. ඒක හරිම ප්‍රීතිමත් ගමනක්. හැබැයි යන්න වුනේ තනියම. ගියහම නම් යාළුවෝ ඕන තරම්. ඉතිං වෙත්තයත් සැදී පැහැදී ගියා මහියංගනේ. මිනිහාගේ බ්‍රීෆ් කේස් එකේ අවශ්‍ය කරන ඇඳුම සියල්ල දාගෙන උදේ පාන්දරින්ම පිටත් වුනා. මිනිහා හොඳ නින්දක් දාගෙන ගිය හින්ඳා වැඩිය ගානක් නැතුවම මහියංගණයට ගියා. පරණ යාලුවොත් එක්ක ආගිය කතා කතා කරල හවස් යාමයේ යාළුවෝ කට්ටියත් එක්ක සෙට් වෙල, අර යාලුවාගේ ගෙදර හොඳ නින්ඩක් දාල උදෙම අවදි වෙලා. යාළුවාගේ වෙඩිං එකේ ඉතිං කියන්න විශේෂයක් නෑ. සාමන්‍ය විදියට ගියා. අපේ යාලුවා පොඩි පොඩි බිස්නස් කරපු නිසා මහියංගණයේ හිටියට මිනිහගේ හිත තියෙන්නේ කොළඹ. දනි-පනි ගාලා කාලා දවල් එකේ බස් එකට නැග්ගා. අපේ යාලුවාට හොඳ සීට් එකකුත් හම්බ වුනා. හොඳ කියන්නේ  ඒ සීට් එකේ හිටිය අනිත් මගිය ලස්සන ගෑණු ළමයෙක්. වාඩි වෙද්දිම අපේ මිත්‍රයට පොඩි කේමල හිනාවක් දාල. අපේ මහත්තයත් පොඩි හිනාවක් දාගෙන ඉඳ ගත්තා. බස් එක හරියටම වෙලාවට පිටත් වුන්න. ටිකට් ගත්ත. අපේ යාළුවත් මොණර කොලයක් ඇදලා. ඉතිරි සල්ලි පස්සේ දෙන්න ටිකට් එක අනිත් පැත්තෙ ලියල දීලා.  දැන් ඉතිං බස් එක තාලෙයකට පැද්දි - පැද්දි කොළඹ බල යනව. අපේ යාලුව දැන් අර කෙල්ලත් එක්ක ටිකක් කුලුපග වෙලා අර මුලින්ම කවුර් හරි මුණ ගැහුනාම අහන ප්‍රශ්ණ ටික අහල. බස් එක ද-අට වංගුව පහු කරා විතරයි අපේ මිත්‍රයා එහෙන්-මෙහෙන් ඇඹරෙන්න පටන් අරන්. අර ගෑණු ළමය අහලා ඇයි අයියේ ප්‍රශ්ණයක්ද කියලා. නෑ මොකුට් නෑ කියල අපේ යාලුව ආයෙත් බොහොම අමාරුවෙන හරි-බරි ගැහිලා එක විදියකට ඉඳගෙන. අපේ යාලුවාට කාපු කෑමක් වැරදිලා බඩ එතුල නිකන් සුනාමියක් වගේ කරකැවීගෙන එනව. කරන්නම දෙයක් නැති තැන අපේ යාළුවා අර ගෑණු ලමයට තමන්ට වෙලා තියෙන අකර්තැබ්බය කියල. දැන් ඉතින් අයියට හුන්නස්ගිරියට යනකම් ඉන්න වෙනවා කියල අර ගෑණු ළමය කියලා. ඉතිරි කාලයත් අපේ මිත්‍රායා දත් මිටි කාගෙන ඉඳලා. හුන්නස්ගිරියෙදි බස් එක නවත්වන්නත් ඉස්සෙල්ලා බ්‍රීෆ් කේස් එක අර ළමය අතට දීලා දුවගෙන කඩේට ගිහින් ටොයිලට් එක තියෙන තැන අහගෙන කෙලින එතනට ගිහින්. මිනිහාගේ වාසනාවට වෙන කවුරුත් ඉඳල නෑ. එතන තිබ්බ බාල්දියකට වතුර එකක් පුරවගෙන අඩියට දෙකට ඇතුලට රිංගල. ඇඳුම් ගලවන්න තව තප්පර දහයකට වඩා ගිහින් නෑ. තිබ්බ බඩේ අමාරුවේ හැටියට ඒවා කොහොම සිද්ද වුනාද කියල මිනිහට අදවත් හිතා ගන්න බෑ. තවත් විනාඩි දෙකකින් බඩ සැහැල්ලු කරගෙන හෝදන්න කියල වතුර බාල්දිය ලං කර ගන්න යනකොට බාල්දිය උඩින්ම ඇවිත් මිනිහා ලඟට. වතුර පුරවල තිබ්බ හින්දා මිනිහත් බර දාල උස්සල අරං ඒඩ්ත් එක පාරටම ආවාම මිනිහා බාල්දිය දිහා බලල, අඩියේ යන්තමට වතුර චුට්ටක් විතරඉ තියෙන්නෙ. මිනිහට දවල් තරු පෙනිල. කරුමෙක මහත බාල්දියෙ හිලක්. මිනිහට එක පාරටම සිහියට ඇවිත් තියෙන්නේ අර "මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය" කියන කවිය. ටිකක් මොඩිෆයි කරල මෙහෙම ලිව්වා.


බෑගය ඇය අතේ නොගියොත් එය නෑය
එලියේ මහ සෙනග හෙළුවෙන් නොම යාය
අතකින් බාල්දිය අතකින් ජෝ-කාය
කරුම තුනක් ඇති මිනිහෙක් වැසිකිලියේය


මේ වෙලාවේ මිනිහට ගණදෙවි නුවණ පහල වෙලා.ඉතිරි වෙලා තිබ්බ වතුර ටිකෙන් අර යට ඇඳුම තෙමල අරන් පිහ දාගෙන, දනි පනි ගාල ඇඳගෙන එලියට ගිහින් අත පය හෝදාගෙන. උන්න විදියට මලා මදිද කියල ගිහින් අසරණ හිනාවක් දාගෙන් ඇය ලඟින ඉඳ ගත්තාලු. බෑග් එකේ තව යට ඇඳුම් තිබුනත් ඒවා අදින්නේ කොහොමද? ඇත්තටම මෙතනට ගැලපෙන්නේ මරණ තුන ඇති මිනිහෙක් පැනි කෑය කියන පදය තමයි. 


තවමත් කට්ටිය කන්ටිබල් හොයනව වගේ. හොඳයි බලමු.

පින්තූරය ගත්තේ :  http://solidrockincorporated.com

මුදල් ප්‍රතිචක්‍රීයකරණය - අප දැන ගත යුතු කරුණු

බැංකුවක සේවය කරන කෙනෙක් වෙලත් ඔබගේ දැනුමට යමක් නුදුන්නොත් ඒක ලොකු අඩුපාඩුවක් කියල මට හිතුනා. අනිත් අතින් හැමදාම විනෝදාශ්වාදය මුල් වෙච්චි දේම ලියන්න ගියොත් මේක විනෝදාශ්වාදයම මුල් වෙච්චි බ්ලොග් එකක් බවට ඔබේ සිතේ සටහන් වන  එක නවත්වන්න බෑ. ඒත් මට සහජයේන් උරුම හැකියාව තමයි ඒක. ඉතිං මොනවා කරන්නද? හොඳයි අද මම ලියන්න යන්නේ මුදල් ගැන යමක්. මේ ලියන දේ සමහරවිට ඔබ සියළු දෙනා දන්නව වෙන්නත් පුළුවං. ඒත් මගේ විශ්වාසයක් තියෙනවා යම් මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කලාම ඒ පිලිබඳ බොහේ දේ ඉගෙන ගත හැකි බව. ඉතිං මටත් ඔබටත් වැදගත් මුදල් ප්‍රතිචක්‍රීයකරණය ගැන තමයි මම ලියන්න යන්නේ.

අයියෝ මූ මොනවද මේ ලියන්න යන්නේ කියලා දැනටමත් "බැක්" ක්ලික් කරන්න හිතුවා නම් මොහොතකට නවතින්න. ඔබට වැදගත් ඔබ නොදන්න එක් වචනයක් හෝ උකහා ගන්න හැකි වේ යයි මම විශ්වාස කරනවා. මුදල් ප්‍රතිචක්‍රීයකරණය කිව්වහම ඔබේ හිතට යම අදහසක් එන්න ඇති. බොහෝ අයට හිතෙන්න ඇති "ඔව බැංකු වලට අයිති වැඩ අපිට මොකටද ඒවා ?" කියල. නමුත් මහජනතාව විදියට අපටත් මේ වෙනුවෙන් කල හැකි යමක් තිබෙනවා. "රුපියල සතේ වෙන්න බාල්දු වෙලා තියෙද්දි මූ සල්ලි ගැන කථ කරනවා" කියල කාට හරි හිතුනද ? බාල්දු වුනත් නැතත් මම කියන්න යන එක වැදගත්. හොඳයි, බස් කොන්දොස්තරලා "මේක ඉරිලා, මේකේ සෙලෝ ටේප් ගහලා", හරි" වෙන එකක් දෙන්න" කියල ඔබට කී වතාවක් කියල තියෙනවද ? උත්තරය නෑ නම්, ඔබ ඉන්නේ ලංකවෙන පිට, නැත්නම් ඔබ ප්‍රයිවෙට් බස් වල නොයන (ලංගම සීසන් හෝ කෝච්චි සීසන්) කෙනෙක් වෙන්න ඔනෑ. හැබැයි ලංකාවේ ඉන්නවනම් රුපියල් හයේ නවයේ දුරක් හරි ප්‍රයිවෙට් බස් එකේ යන්න වෙන්නම ඔනේ. එතකොට දහයේ කොලයක් අතට ගන්න හරි දෙන්න හරි වෙනවනේ. එහෙනම් මේක වෙන්නම ඕනේ. දැන් හැමෝටම තේරෙනවා නේද මම කියන්න යන කාරණය. 

මේක ලියන්න නිමිත්ත උනේ මගේ ත්‍රී රෝද රථ මිත්‍රයා (මා ඔහු මිතුරෙකු ලෙසින් සලකමි. තොරතුරු සපයාගැනීමේදී ඔවුන් තරම වැදගත් තවත් කොටසක් නැහැ කියලයි මගේ විශ්වාසය ) මා අත තැබූ රුපියල් 2000 හේ නෝට්ටුව. බැලූ බැල්මට එය හොර මුදල් නෝට්ටුවක්ද නැත්නම් හොඳ මුදල් නෝට්ටුවක්ද කියා පවසන්න තරම දැනුමක් මට තිබුනේ නෑ. මුදල් පිලිබඳ යම් දැනුමක් මා සතු වුවත් මෙවැනි නෝට්ටුවක් හඳුනා ගැනීමට නම් එක්කෝ මුදල් ගනින යන්ත්‍රය වෙත යොමු කල යුතුයි නැතහොට් ඒ පිලිබඳ විසේසඥ දැනුමක් ඇති නිතර මුදල් සමග ඔට්ටු වන කෙනෙකුගේ අතේ එය තැබිය යුතුයි. ඇත්තටම එම විසේසඥයි ඇසින් බලා තීරණය ගන්නවා වෙනුවට තම ඇඟිලි තූඩු වලට ස්පර්ශ වන ආකාරයෙන් ඒවා අඳුනා ගනියි. එහෙත් මේ කියන මුදල් නෝට්ටුව ඉතාම තුනී ඒ වගේම බොහේ තැනකින් ඉරී(අඩුම තරමේ 20 පලකින්වත්) අල්ලන අල්ලන වතාවට ඉරෙන මට්ටමේ එකක්. එය දුටු විට මා අනුමාන කල දේම අර විසේසඥයාද පැවසීම මගේ සතුටට කරුණක් වුනා. එය දුටුවිට මට පසක් වූයේ එය සාක්කුවක් තුල තිබියදී රෙදි සෝදන යන්ත්‍රයකින් සෝදා පසුව එම කමිසය අයන් කර තිබෙන බවයි. සත්තකින්ම සිදු වී ඇත්තේද එයයි. එහෙත් මේ මුදල් නෝට්ටුව ඔහුට ලැබුන ආකාරය විමසා සිටීමට මා අමතක කලේ නෑ. "සර් ඕක මට දුන්නේ මෝල්ඩිව් කාරයෙක්. මෑන්ට දීල තියෙන්නේ මනි එක්ස්චෙන්ජ් එකකින්. ඒත් පස්සෙ උන් කියල මේක අපි දුන්න එකක් නොවෙයි" කියලා. මම ඉදිරිපත් වුනා ඔවුන්ට උදව් කරන්න. එක් අතකින් එහි අවදානමක් තිබෙනවා. අද කාලයේ බැංකුවක් වෙත ව්‍යාජ මුදල් නෝට්ටුවක් අරගෙන යන්නාව අත් අඩංගුවට ගන්න තරම් මේ ප්‍රශ්ණය බැරෑරුම් වෙලා. එතනින් ආරම්භ කර මූලය වෙත යාම තමයි සිදු වන්නේ. ඉතිං මා ගැන ශාඛා ජාලයේ අය දරන විශ්වාසය මත තමයි මා මේ නෝට්ටුව අරන් යන්න ඉදිරිපත් වුනේ. අනෙක් අතින් පිටරටකින් මෙහි ආ අයෙකුට එවැනි අත්දැකීම්කට මුහුණ දෙන්න වූ විට ඔවුන්ගෙන් අපේ රට ගැන කටින් කට පැතිරෙන වැරදි චිත්‍රය රටට හිතකර වන්නේ නෑ. වාසනාවකට එය හොඳ මුදල් නෝට්ටුවක්. හරි දැන් ඔබට මේ වගේ මුදල් නෝට්ටු කීයක් ලැබිල තියෙනවද ? උත්තරය ඕන තරම් කියන එක නේද. දැන් අපි බලමු මුදල් නෝට්ටු වලට ආයාසයෙන් හෝ නිරායාසයෙන් සිදුකර හෝ සිදුවී තිබෙන හානි මොනවද කියලා

  1. කුණු තැවරීම. මේය බොහෝ විට සිදුවන්නේ නිරායාසයෙන්. විවිධ ක්ෂේත්‍ර වල නිරත අය අපිරිසිදු දෑතින් මේවා භාවිතා කිරීම නිසා මෙය සිදු වනවා. කොහොමත් ඒවා නිෂ්පාදන කර තිබෙන කඩදාසි/රෙදි මිශ්‍රණය මෙයට  හේතු වනවා. 
  2. ඒ මත විවිධ දේ ලිවීම (ගණන්, නම සහ ලිපිනය, දුරකථන අංක යන දේ).    ඒ සඳහා කිසිදු අවසරයක් නෑ. 
  3. ස්වභාවිකව හෝ අස්වභාවිකව සිද්ද වන ඉරීම්. බොහෝ විට මෙයට හේතු වන්නේ අපේ මුදල් නිෂ්පාදනය කර තිබෙන අමුද්‍රව්‍ය වල තිබෙන දුර්වලතා. සාමාන්‍යන් ඩොලර් කොලයක් ඉරීමට අපහසුයි.
මෙවැනි වෙනස්කම් සිදුවී තිබෙන හෝ සිදුකර තිබෙන මුදල් නෝට්ටු ප්‍රතිචක්‍රීයක්‍රරණයට අපට දායක විය හැකි වුවත්, අප බොහෝ විට සිදු කරන්නේ එක්කෝ ඒවා ලභා ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි නැතහොත් ඒවා පිලිසකර කරන්නට යාමයි. එසේ පිලිසකර කරන්නේ සෙලෝටේප් වලින් ඇලවීම, මුද්දර වාටි ඇලවීම, කුඩා කඩදාසි කැබලි ඇලවීම වැනි ක්‍රියාවන්ය. මෙය කිසි සේත් සිදු කල යුතු ක්‍රියාවක් නොවේ. ඉරී, දුර්වර්ණ වූ, පැල්ලම් සහිත, ඉහත ආකාරයට පිලිසකර කර ඇති නොට්ටුවක් ඔබට හමු වුවහොත් ඔබ කල යුත්තේ ඒවා පහත පිංතූර වල දැක්වෙන ආකාරයට සුදු කදදාසියක අලවා (අංකය පැහැදිලිව තිබිය යුතුයි ) නෝට්ටුව පැහැදිල්ව ඉතිරි වන ආකාරයට කපා ගැනීමයි.


පහත රූපයේ තිබෙන්නේ එලෙස අලවා කපා ගන්නා ලද නෝට්ටු කිහිපයක්.



මෙහෙම අලවලා නෝට්ටුව වේලෙන්නට තැබූ විට ඒවා ඇතුල් පැත්තට නැමෙන බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවං. එහෙම වෙන්නේ එම කඩදාසි වර්ග දෙක ප්‍රසාරණය වනා අනුපාත අතර තිබෙන වෙනස නිසා. හැකිනම් එක දිනක් දෙකක් ටිකක් ලොකු පොතක පිටු අතර තබන්න. එවිට එහි නැමෙන සුළු ගතිය අඩු වනවා දකින්නට ලැබෙයි. ඊට පස්සේ එහි පිටුපස ඔබගේ ගිණුම් අංකය ලියා ඔබ ගණුදෙනු කරන බැංකුව වෙත භාර දෙන්න. එවිට ඔවුන් ඒවා ඔබේ ගිණුමට බැර කරනු ඇත නැතහොත් ඔබට මුදල් ලබා දෙනු ඇත. මා දන්නා අන්දමින් මේ සඳහා කිසිදු මුදලක් අය නොකරයි. 


එසේ එකතු වන මුදල් අදාල බැංකු ශාඛා මගින් එම බැංකුවේ මුදල් ඒකකයකට යවනු ලබන අතර ඉන්පසු ඒවා ශ්‍රී ලංකා මහා බැංකුවට යවයි. එසේ එක්වන මුදල් වෙනුවෙන් මහා බැංකුව නව මුදල් නෝට්ටු මුද්‍රණය කරයි. 

මෙම ක්‍රියාවලිය මා සිදු කරනු දුටු මැලේසියානු ජාතිකයෙක්(අප ආයතනයට මෘදුකාංග සංවර්ධනය කරනා ආයතනයක සේවකයෙක්) මගෙන් විමසා සිටියේ මා කුමක් සිදු කරනවාද යන්නයි. මා කරන දේ විස්තර කල පසුව ඔහු පැවසුවේ ඔවුන්ගේ රටේ මහ බැංකුව 2001දී නිවේදනයක් නිකුත්කර එවැනි වෙනස්කම් වලට භාජනය වී ඇති සියළුම නෝට්ටු අවලංගු කල බවයි. ඉන්පසු මුදල් වලට වන හානි බොහෝසෙයින් අඩු වූ බවද ඔහු පවසා සිටියා. ශ්‍රීලංකාවේද එවැනි දැන්වීමක් කලේ 1970 අණ්ඩුවේ මුදල් ඇමතිව සිටි ආචාර්‍ය ඇන්. ඇම්. පෙරේරා මහතායි. ඇත්ත වශයෙන්ම ඔහුට අවශ්‍ය කර තිබුනේ නිවෙස් වල රඳවාගෙන සිටින මුදල් බැංකුව වෙත අද්දවාගැනීමයි. එය ඉතා සාර්ථක වූ බව මගේ පියාගෙන් මා දැන ගත්තා. 

ශ්‍රීලංකාවේ කාසිද වෙනත් නිෂ්පාදන සඳහ යොදා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයක්. ඇත්තටම රුපියල් දහයේ කාසියක නිෂ්පාදනය කිරීමට එයට වඩා වැඩි මුදලක් වැය වේ. 

Tuesday, May 8, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 4 - සාරියයි - කාරයයි


ලොල් කතා ගොඩක් තිබ්බත් කොයි එක මුලින් ලියන්නද කියල හිත හිතා ඉද්දී මම මුහුණ දුන්න අකරතැබ්බයක් ඔෆිස් එකේ මගේ මිතුරු/මිතුරියොත් එක්ක කිව්ව. එතකොටම අපේ ඔෆිස් එකේ යෙහෙලියක් එයාට වෙච්චි මරු සිද්දියක් කිව්වා. මේ යෙහෙලිය හොඳට ස්ටයිල් එකට අඳිනවා. මේය දවසේ වැඩිම වෙලාවක් ගත කරන්නේ ස්ටයිල් වලට. ඉතින් මොකක් හරි අලුත් විලාසිතාවක් දැක්කොත් දෙපාරක්  හිතන්නැතුව ඒක ට්‍රයි කරල බලනවා. කොයි තරම හොඳට මැච් වෙන්න අඳිනවාද කිව්වොත් හැම ඇඳුම් සෙට් එකටම ගැලපෙන බෑග් හා සපත්තු එයාට තියෙනව. අනිත් ඒවත් ඒ වගේමයි කියලයි රට්ටු කියන්නේ. ඉතිං හිතා ගන්න පුළුවන් නේ මොන වගේ කෙනෙක්ද කියලා. අපිටත් හැමදාම එයාගේ විලාසිතා බලල කමෙන්ට් කරන්න තියෙනවා. ලස්සනට ඇඳල ඉන්න එකෙන් තමන්ට වගේම සෙසු සමාජයේ අයගේ ඇස පිනවීම නිසා පිනකුත් සිද්ද වෙනවා.

එයාගේ නංගි කෙනෙකුගේ  වෙඩිං එක තිබිල තියෙනවා අළුත්ගම පැත්තේ. ඒකට ගිහින් ඉන්නකොට එයාගේ හස්බන්ඩ් එයාට මෙහෙම කියල තියෙනවා

බලනවකො ඕයි අර කෙල්ල කළු වුනාට ඇඳන් ඉන්න සාරි එක කොච්චර ලස්සනද කියලා ?

කෝ කොයි කෙල්ලද ?

"අර..අර.. අතන, අර පීකොක් බ්ලූ කලර් සාරිය" කියල අපේ මිත්‍රය ඇඟිල්ල දික් කරල පෙන්නල තියෙනවා.

ආ.. ඔව් නේන්නං. ෂාහ් ! බලන්න කෙල්ල කළු කැත වුනාට සාරිය නියමයිනේ. ලොකු ගාණක් ගිහිනුත් නෑ. ඒ වුනාට ලස්සනයි. මමත් මහනවා ඔය වගේ එකක් ඔෆිස් අඳින්න.

හපෝ ... තමුසෙටත් ඉතිං. දකින්නේ මොකක්ද ඒ   ඕන.

අනේ මං කියන්නෑ.

කොහොමින්, කොහොමින් හරි ඔය වෙඩිං එක ඉවර වෙලා අපේ මිතුරිය ආවා ගෙදර. එදාම හවස එයාලගේ ගෙවල් ගාව ඇඳුම් මහන ඇග්නස් අක්කලාගේ ගෙදරට ගියා දුවගෙන. දැන් එයාට මේක ඇග්නස් අක්කත් එක්ක කියන කං ඉවසුමක් නෑ. ඇග්නස් අක්කත් මෙයා කියන ඕනෑම එකක් ඒ විදියටම මහල දෙන හින්දා අවුරුදු ගානක ඉඳන් දෙන්න ගජ මිතුරියෝ. 

ඇග්නස් අක්කේ මම අද උදේ මම ගියා වෙඩිං එකකට අළුත්ගම. කළු කැත කෙල්ලෙක් ඇඳගෙ ආව පීකොක් බ්ලූ මාර සාරි එකක්. අනේ මටත් ඒ වගේ එකක් මහ ගන්න ඕනේ. අපි වගේ එක්කෙනෙක් ඇන්දනම් හොඳටම ලස්සනයි.

අනේ නංගි ඒ සාරිය ඇඳගෙන ආවේ මගේ දුව. ඔයාලගේ නංගිත් එක්ක එකට සෞන්දර්‍ය විශ්ව විද්‍යාලේනේ මගෙ දුවත් ඉගෙන ගත්තේ.

මේක අහල අපේ මිතුරියට ඉහින් කනින් දාඩිය දාලා. 

අනේ සොරි ඇග්නස් අක්කේ මම හිතල නෙවෙයි කිව්වේ. අනේ සෝ සොරි මෙයා. අනේ මොනවත් හිතන්න එපා

හයියෝ මට ඇඳුම ගලවල එන්න හිතුනා ඒ වෙලාවේ. ඒත් වැඩේ තියෙන්නේ ඒ මනුස්සයාට ගානක් වත් නෑ. අර සාරිය මහපු රෙදි කෑල්ල අරගෙන ඇවිත් මට පෙන්නනවා. මට මොන සාරි මැහිලිද. මම පස්සේ එන්නම් ඇග්නස් අක්කේ කියල එන්න හදනකොටම ඇග්නස් අක්කා කියනවා.

නංගී ... අපේ දුව ඉතිං ඔයා වගේ කොහොමත් සුදු නෑනේ. ඒත් දැන් ඉස්සර තරං කළුත් නෑ. කියල.

පින්තූරය ගත්තේ :  http://www.sareetimes.com



දැං මට වුන ඒවගෙන් එකක්. කෙටිම කෙටි ලොල් කතා අංක එක කවුරුත් වගේ බලන්න ඇතිනේ (නොබැළුව අය මෙතැනින් බලන්න  ). ඒ කතාවෙදී මම කිව්ව මතකද මම කිව්වා මම කොළඹ බෝඩිමකට ආව කතාව. මතක නෑ. එහෙනම් අර ලින්ක් එක ක්ලික් කරන්නකෝ. මොනවද ? ආ.. වෙලාව නෑ. ඒකත් එහෙමද. කෙටි එකක් අනේ. ඉතිං ඔය බෝඩිමේ ඉන්න කාලේ ඒ අක්කත් එක්ක එක බ්‍රාන්ච් එකේ වැඩ කරපු තව ලේඩි කෙනෙකුයි එයාගේ මහත්තයයි (දෙන්නම මමත් අඳුරනවා මමත් ඉතිං ඒ බැංකුවේම නොවැ වැඩ කරන්නේ) එයාලගේ දුවයි පුතයි එනවා පාටීස් වලට. දුව හරිම ලස්සනයි. මට එයා ගැන පොඩි හිතක් පහල වෙලා තිබ්බ ඒ කාලේ. මමත් ඉතිං හිරි මල් යෞවනයේනේ හිටියේ ඔය කියපු යුගයේදී. හැඃ. ඒ වුනාට එතන පොඩි පරහකට හිටිය කාරණයක් තිබුනා. ඒ කෙල්ල ඒ දවස් වල ඉස්කෝලේ යනවා. දැන් හිතයි මූ වගේ මෝඩයෙක්. ඉස්කෝලේ ගියාම මොකද බහින්නනේ තිබ්බේ වැඩේට කියල. ඒකත් එහෙමයි කියමුකෝ. මම හිතුවා ඉතිං ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා. අක්කට කියලම වැඩෙ කොර ගන්න බැරියැයි ඒලෙවල් ඉවර උනහම. මම හිතුවේ එහෙම. බොහොම ඩීසන්ට් විදියට වැඩේට බහින්න. කොහොමින්, කොහොමින් හරි මේ ළමයා ඒ ලෙවෙල් කලා. ඇඩ් එකකටත් හිටියා. සම්පත් බැංකුවේ ජොබ් එකකටත් ගියා. බෝඩිමේ අක්ක මේ දේවල ගැන මට නිතරම අප්ඩේට් කලා. හරියට මගේ හිත කියවන්න පුළුවන් වගේ. අර කෙල්ල දිහා මම බලනවා අක්ක දැක්ක වත්ද කියලා මට හිතුනා. දැක්කත් මොකෝ "හැංගි-හැංගි වෙස් මූණු බැඳල කොහොමෙයි" මමත් ගත්ත හිතට වීරිය. ඔහොම ඉන්නකොට එක දවසක් අක්ක කිව්ව අන්න මිස්ට අබේපාලගේ දුව බඳින්න යනව කියල. මදැයි කොලා. මාව එතනම කඩාගෙන වැටුනා.  

ඉතිරි කොටස ලබන සතියේ දාන එක හරි නැති හින්ද දිගටම ලියන්නම්. ඔහොම කාලය ගෙවිලා ගියා. මම පස්සේ ඒ බොඩිමෙන් ආවා. අවුරුදු ගානකට පස්සේ මෙන්න අර ගර්ල්ගේ තාත්තා කථා කරනව මට. අපි දන්නෑනේ ඉතිං ඔය කම්පියුටර් ගැන. ඔගොල්ලෝ ඉතිං කම්පුටර් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න අයනේ. අපේ පුතාට ඕන වෙලා තියෙනව කම්පියුටර් එකක් ගන්න. මල්ලිට පුළුවන්ද අපිත් එක්ක එන්න ලබන සෙනසුරාදාට. හරි හරි මම එන්නම් මිස්ට අබේපාල. අන්තිමේදී මිනිහයි පුතයි මායි ගිහින් බැළුවා යුනිටි ප්ලාසා එකේ. මම ගත්ත තැනින්ම. ඒ කන්ෆිගරේෂන්ම. මමත් අරං දවස් ගානයි. ඒ නිසා මමත් කට්ටිය අඳුරනවා. එහෙනං මල්ලි ඊලඟ බදාදා හවස අපි මේක ගමු. හොඳයි නේද. ඔන්න ඔයාව විශ්වාස කරලයි මම ගන්නේ. මෙහෙමයි මිස්ට අබේපාල කම්පුටර් කියන ඒවත් මිනිස් ජීවිත වගේ තමයි. අද හොඳට ඉන්න මිනිහා හෙට මැරෙනවා. එතකොට ඔයා කියන්නේ මේක දවසින් දෙකෙන් කැඩෙයි කියලද ? නෑ නෑ මම එහෙමම කියනවා නෙවෙයි දන්නැද්ද අද කැඩෙන්නත් පුළුං. සමහරවිට තව අවුරුදු හතර පහකින් කැඩෙන්නත් පුළුවං. ආහ් ! එහෙමද මම හිතුවේ. කියල මිනිහා හිනා වුනා. ඔන්න ඔය කියන බදාදා හවස මිනිහා අපේ ඔෆිස් එක ගාවින්ම මාවත් අරගෙන ගියා නවම් මාවතට. එයාගෙ දුවවත් එතනින් දාගෙන (ඔව් ඔව් අර කෙල්ල තමයි ) ගියා බම්බලපිටියට. චෙක් එක දුන්නා. බලනකොට අර ගර්ල්ගේ ලෝන් එකක් විදියට තමයි මේක ගන්නේ. දැන් අපි එයාලගෙ නුගෙගොඩ ගෙවල් පැත්තට යනව. ඒගොල්ලේ ඉන්නේ ඇඹුල්දෙනිය පැත්තේ. ඔන්න නුගේගොඩින් ජුබිලිකණුව පැත්තට යන පාරේ අපි යනවා. මිස්ටර් අබේපාල බොහොම පරිස්සමට වාහනය එලවගෙන යනව. දුව ඉස්සරහ, පුතයි මායි පිටිපස්සේ මැද්දේ කම්පුටර් එක. දැන් එක පාරටම අපේ කාර් එක පහු කරගෙන මොඩිෆයි කරපු කාර් එකක් ගියා නද දීගෙන, හෝන් ගහගෙන. මේක දැකල මට නහුතෙට නැග්ගා. මම කිව්වා


ඔය යන්නේ නයිට් රයිඩර් කෙනෙක්, වැඩි දුරක් යන එකක් නෑ. කියල. මෙහෙම කිව්වහම අර කෙල්ලයි, මලයයි. මිස්ට අබේපාලයි හොඳටම හිනා වෙනාවා. මම කල්පනා කලා මගේ අතින් මොකක් හරි වැරදි වචනයක් වත් කියවුනාද කියල. නෑනේ. එතකොට අර කෙල්ල කියනවා. 


ඒ මගේ හස්බන්ඩ් කියල. මට තරු පෙනුනා. 


අනේ මො...න...ව....ත් හි....ත...න්...න එපා. ම...ම නි...ක...ම..ට ත...ම...යි කි...ව්...වේ. 


අපෝ නෑ ... අපෝ නෑ... කියල ආයෙත් එගොල්ලො හිනා වෙනව. 


පින්තූරය ගත්තේ :   http://3dwallpaperzone.com

ප:ලි: මේ පින්තූරේ තියෙන කාර් එක වගේම එකක් තමයි ඒක. 


Monday, May 7, 2012

077 යි...අම්මා...




විනාඩි දාහක් නොමිලේ
දුන්නත් ඩයලොග් එක මට
කරන්න කිසිවක් මට නැත
අමතන්නට කෙනෙකුත් නැත

කලෙමි කල්පනා දසතේ
හෙව්වා අංකත් හැමතැන
සිහිවී බිව් කිරි කඳුලක්
කථා කරමි ඇයට උතුම්

ඇයටත් ඇත්තේ ඩයලොග්
එනමුත් ගන්නෙ නැත මං
කුමක් වුනාදැයි නොදනිමි
කාර්‍ය බහුල වුනා නොවෙද

මතක් වුනත් මගෙ කරුමෙට
ඇය නිදනා මේ යාමෙට
ගත්තොත් ඇගෙ දැහන බිඳෙයි
කියනා මුත් මගේ පුතේ

හිතා ගතිමි දහස් වරේ
අමතන්නට ඇය නිරතුරු
තිබුනත් දහසක් කටයුතු
එනමුත් වරදී බොහො විට

නොසැලකිල්ල නොසැලකිල්ල
කරතී චෝදනාව ඔබ
නෑ වන්නේ මා එරෙහී
අනේ මගේ නොසැලකිල්ල

පින්තූරය : http://www.webmd.com

ප: ලි: මෙය ඩයලොග් වෙලඳ දැන්වීමක් නොවේ.

Friday, May 4, 2012

වෙසක් දොහේ අවසන් වූ කල්‍යාන මිත්‍ර සම්පත්(තිය )



මගේ ඔෆිස් එකෙන් ඉන්න යාළුවෝ නිතරම කියන දෙයක් තමයි

"උඹට ඉතිං හැම දේකටම කියන්න එකක් තියෙනවනේ, එක්කෝ සිංදුවක් කියයි නැත්නම් ගොතල හරි කතාවක් කියයි" කියලා. 

දැන් මේක කියවන මගේ හිතවත් රසික-රසිකාවියොන්ටත් එහෙම හිතෙන්න ඇති. මම ඔනෑම තැනක දිවුරන්නම් මම මෙතන ලියන කතා එකක්වත් (එකක් හැර අර හීනයක් ගැන ලියපු එක මෙතනින් කියවන්න) ගොතපු කතා නම නෙවෙයි. ඇත්තටම මම මුහුණ දීපු අත්දැකීම්. මේවාට සාක්ෂි ඒ ඒ කාලයේදී හිටිය මගේ මිතුරන්ම තමයි. වෙසක් එකට මොනවා හරි ලියන්න ඔනෑ කියල හිතමින් ඉන්නකොට මගෙ මේසේ උඩ තියෙන පොඩි මෙවලමක් දැකලා තමයි එක පාරටම මගේ ඔළුවට මේක ආවේ. ඒ මෙවලම මොකක්ද කියල මම දැන්මම කියන්නේ නෑ. එත් අද ඒක පත් වෙලා තියෙන දියුණුව දැක්කාම නම් පුදුමත් හිතෙනවා. ඒකට ඒ කාලේ තිබ්බ ඒවා. 

මොන්ටිසෝරි යන්න කලින් තමයි කෙනෙකුගේ ජීවිතේ නිදහස්ම කාලය කියලා මම කිව්වොත් කවුරුවත් ඒකට විරුද්ද වෙන එකක් නැහැ. අනිත් හැම කාලයකදීම ඉස්කෝලේ යනවට අමතරව දෙමව්පියන් අපිව මහතැන්ලා කරවන්න හිතාගෙන යවන ටියුෂන් පංති නිසා කිසිම නිදහසක් නැතිව යනවා. මම ඒ අතින් ටිකක් විතර වාසනාවන්තයි. මම අමතර පංතියකට කියලා ගියේ ගණිතයටයි, විද්‍යාවටයි විතරයි. මගෙ අනිත් කාලය ගත වුනේ අපේ අල්ලපු වත්තේ තියෙන පිට්ටනියේ නැත්නම් පාරේ එහෙමත් නැත්තම් පාළුවට ගිය වතුවල තියෙන ලඳු කැලෑ අස්සේ. අපි වැඩියෙන්ම මේවාට රිංගන්නේ අර බට තුවක්කු වලට දාන දං කියන ගෙඩි ජාතිය කඩා ගන්න. ඒ කාලේ බට තුවක්කු වලින් "වීර පුරන් අප්පු" චිත්‍රපටිය රඟපාපුව මතක් වෙද්දි අහිංසක සතුට හිතට ගලාගෙන එනවා. ඒ එක්කම දුකකුත් එනවා. මගෙ දුවට මේවා කරන්න, අඩුම ගානේ එක දිගට විනාඩි පහක් දුවන්න තැනක් නැති හැටි. අපි මේ කොළඹ පර්චස් ගාණක  කොටුවකට සීමා වෙලා තියෙන පුංචි ගෙදරට වෙලා ගෙවන ජීවිතේ මොකක්ද කියල හිතුන වෙලාවට කෙල්ලවත් කිහිලි ගන්නං ගමට දුවන්න හිතෙනවා . මට මතකයි මගේ දුවට අවුරුද්දක් විතර කාලෙදි. එතකොට යංතමට ඇවිදින්න පුලුවං. බදුල්ලේ තිබුන ක්‍රීඩා උත්සවයකට මම ඇයත් කැඳවාගෙන ගියා. ග්‍රවුන්ඩ් එකේ එක කොණක ඉඳන් අනිත් කොණ වෙනකං කාක්කෙක් පිටිපස්සේ දිව්වා. මටත් ඒ පස්සේන් දුවන්න සිද්ද වුනා ඇය වැටෙන වෙලාවට අත දෙන්න. ඒ වෙලාවේ ඇයගේ මුහුණේ තිබූ සතුට, හීන් දාඩිය බිංදු කීපය මට අද වගේ මතකයට එනවා. මම කියාගෙන ආව කාරණය මේ නිදහස ලැබෙන තවත් කාළයක් ගැන. කෙනෙක් ඕලෙවල් නැත්නම් සාමන්‍ය පෙල විභාගය කරල ඉන්න කාලෙත් මේ වගේ නිදහසකින් ගෙවන්න පුලුවං. ඒත් අද සමහර බොහෝ දෙමව්පියන් ඒ මාස කීපයේදීත් තමන්ගේ දරුවන්ට නිදහසක් දෙන්නේ නෑ. ඊලඟ යුද්දයට ඔවුන් සූදානම් කරවනවා. යුද්දේ මොකක්ද කියලා මම කියන්න ඔනෑ නෑනේ. 

මේ කතාවත් ඔය කියන නිදහසින් ගෙවූ කාලයේදි සිදු වෙච්චි එකක්. මට යාළුවෝ කොට්ඨාශ දෙකක් හිටියා. කුලක දෙකක් කිව්වොත් වඩාත් නිවැරදියි. එක කුලකයක් (වැදගත් යයි සම්මත ), ජනප්‍රිය පාසල් වල අධ්‍යාපනය ලබන, හොඳ නිවසක් තිබෙන, වැදගත් රැකියා කරන දෙමව් පියන් සිටින උදවිය. අනෙක් අය ඊට හාත්පසින්ම වෙනස්. අධ්‍යාපන කඩාකප්පල් වූ හෝ කැඩි කැඩී ඉගෙන ගන්න (කාලෙකට යනවා කාලෙකට යන්නෑ), සුළු රැකියා කරන දෙමව්පියන් සිටින, සමාජයේ ඇවැදගත් යයි සම්මත (බොහෝ විට සංඩු සරුවල් වල පැටලෙන දෙමව්පියන්) මෙකී නොකී සියයි විෂමතාවන්ට ගොදුරු වූ එහෙත් මගේ සිත් ගත් මිතුරන් පිරිසක්. මට මේ කුලක දෙකම එක වගේ වැදගත්. සම්පත්, දනුෂ හා ලකී වැදගත් කුලකයේ අය වූ අතර මහින්ද, මහේෂ්,කුමාර, මිල් රෝයි, අනුර, සුසන්ත ඇතුළු තව බොහේ දෙනෙක් ඇවැදගත් කුලය ලෙස සම්මත වී තිබුනි. එක් දවසක අර වැදගත් කියන ගෙදරක මිතුරකු සමග අධ්‍යාපනය සම්බන්ධ දෙයක් හෝ ක්‍රීඩා කරන මම තවත් දිනක ඇවැදගත් ගෙදරක පොල්-අතු වහල හෙවිල්ලන විට හරි-හරියට වැඩ කර කොතරම එපා යයි ගෙදරින් කීවද එම නිවෙස් වලින් දෙන ආහාරයක්ද කෑමට මැලි නොවූයෙමි. ඇත්තටම එහි වරදක් මා දුටුවේ නැත. මා මේ දෙකටම මැද තිබෙන අර උත්තල කාචය වන් කුලකයට අයිති වූවෙකි. මා පමණක් නොව මගේ සහෝදර සහෝදරියන්ද මේ කුලකය නියෝජනය කල අය වෙති(එයට කියන්නේ මිශ්‍ර කුලකයදැයි මට හරියට නිනව්වක් නැත ). මොකක් කිව්වත් මා එතනය. මා තවමත් එතනය. ඇත්තටම එය බුදුරදුන් නියෝජන කල කුලකයය. එනිසා එහි වරදක් තිබෙන්නට බැරිය. මේ ඇවැදගත් කුලකය ඇසුරු කිරීමෙන් මා ලද අත්දැකීම් මට අද ඔනෑම තැනක සිටීමට මහත් ඉවහල් වී තිබේ. ජරාවට සිටින්නට මගේ උත්සාහයක් තිබේ යයි මින් හැඟේද ? නැත, ඔබ එසේ සිතා ගත්තානම් මහා වරදකි. මා උත්සාහ කරන්නේ කොතනත් සිටින්නටය. මා මේ පොඩි කුලකය ඇසුරු කරනවාට විරුද්ද මගේ ඥාති පරම්පරාවට අමතරව තවත් කොටසක් හිටියා, ඒ තමයි මා ඇසුරු කල අනෙක් කුලකයේ වැදගත් දෙමව්පියන්. ඇයි දෙමව්පියන් විතරක් ? ඒත් මේ ළමයින්ට ඒ ප්‍රශ්ණය ඒ තරම බැරෑරුම් නැත. දනුෂ හා ලකීද මා තරම් නැති වුවත් අර නිවෙස් වල ලමයින් යම් තරමකට ආශ්‍රය කලෝය. මගේ ඥාතීන්ගෙන් මා ඉතා විශේෂයෙන් සැලකූ ජයසේන බාප්ප තදින්ම මට මේ ගැන අවවාද කලේය. අහල නැද්ද පිරිත් වල තියෙනවා "අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනං" කියල. ඒ මොකක්දැයි මා ඇසූ විට "නිතරම තමන්ට වඩා උසස්, බුද්ධිමත් අය තමයි ඇසුරු කරන්න ඕනේ" කියන එකනේ. ආ ඒකද ? මම හිතුවේ කියනකොටම අම්ම පැන ලොකු පුතා වැඩිහිටියොත් එක්ක එකට එක කියන්න හොඳ නෑ කියා මා නැවැත්වූවාය. 

නමුත් අපේ ගෙදරට ආ වඩු බාස් කෙනෙකු මේ පිරිත් කොටස පිලිබඳ අමුතුම කතාවක් මා සමග කීවේය. ඔන්න දවසක් යාළුවෝ දෙන්නෙක් පල්ලියක වත්තක හොර කුරුම්බා කඩන්න ගිහින්. දෙන්නගෙන් එක්කෙනෙක්   ගහ උඩ්ට නැග්ග අතර අනිකා ගහ යට හිටියේය. 


යට හිටි කෙනා : "අසේවනාච බාලානං" කීවේය එහි තේරුම (බාසුසුන්නැහේට අනුව ) - පොඩි ගෙඩි කඩන්න එපා.
උඩ හිටි කෙනා : "පණ්ඩිතානංච සේවනං" - පණ්ඩිතය නොවී හිටපං
යට හිටි කෙනා : "පූජාච පූජනීයානං" - (පල්ලියේ) පූජකයා ආවොත් ?
උඩ හිටි කෙනා : "බෲහි මංගල මුත්තමං" - බෲස් ගාලා පහලට බහිනවා.


බාස් උන්නැහේද මේ කතාව කීවේ හාස්‍යට මිසක් බුදු දහමට තිබෙන අගෞරවයට නොවේය. අප බුදු දහම මේසේ එක්-එක් තැන් වල විහිලු තහලු වලට යොදා ගත්තද අන්‍යාගමිකයන් තමන්ගේ ආගමේ වැකි කිසි විටකත් එසේ හාස්‍යාට ලක් නොකරති. වරද අපේමය. මා මේ කොටස මෙහි සඳහන් කලේ ඒ පිලිබඳ දැනුවත් කරන්නටමය. 

ඕලෙවල් කරල හිටපු කාලේ තමයි මගේ ජීවිතේ සතුටින්ම ගෙවපු කාලේ. අනිත් කාලවල් වලදීත් අඩු වැඩි වශයෙන් කැලේ පැන්නා ඒත් පලමු තැන අධ්‍යාපනයට, දෙවනුව ක්‍රීඩාව ඊටත් පස්සේ තමයි මගඩි වැඩ. සම්පත් කියන්නේ අර වැදගත් යයි සම්මත පවුල් දෙක තුනට අයිති ගෙදරක හිටිය කීකරු පුත්‍රයෙක්. මිනිහා අපි වගේ නෙවෙයි දෙමව්පියන්ට හරි කීකරුයි. අපේ ගෙවල් දෙක තිබුනේ ඉස්කෝලෙ පිට්ටනිය දෙපැත්තේ. පොඩි කාලේ ඉඳලා මිනිහගේ හොඳම යාළුවා මම. අපි දෙන්නා තමයි එකට ක්ලබ් එකේ ක්‍රිකට් ගහන්න ගියේ. අපි දෙන්නටම හොඳ අනාගතයක් තිබෙන බව අපිට ක්‍රිකට් ඉගැන්වූ අයියලා කිව්වේ. ඒක නිසා මොන බාධාවල් ආවත් මම දිගටම ක්‍රිකට් ගහන්න ගියා. සම්පත් එයාගේ දෙමව්පියන් කියන විදියට බොහොම කීකරුව අධ්‍යාපනය කලා. සම්පත් ඉස්කෝලේ ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝකෙට මම ගියේ කළුතර. අපි දෙන්නාම එකම අවුරුද්දේ ජනවාරි හා පෙබරවාරි මාස වල ඉපදුනත් මිනිහා ජනවාරි වුන නිසා මට වඩා උඩ පන්තියේ තමයි මිනිහා ඉගෙන ගත්තේ. අපි දෙගොල්ලන්ගේ ගෙවල් වලින් අපි දෙන්නා එකට සෙල්ලම් කරන එකට ගමන් බිමන් යන එකට කිසිම තහනමක් තිබ්බේ නෑ. හැබැයි සම්පත් මහ කුකුල් කේන්ති කාරයා. මම ඕලෙවල් කරල ඉන්නකොට මිනිහා ඒ ලෙවෙල්  පටන් ගත්තේ. එයාගේ අම්මා ඒ දවස් වල අපේ ගේ ගාවටම ඇවිත් කථා කරනව අපෙ අම්මත් එක්ක. ඉතිං එයාලා ගුරුවරු නිසා වැඩිපුරම කථා කරන්නේ අපි දෙන්නගේ අධ්‍යාපනය ගැන තමයි. පොඩි කාලේ සම්පත්ගේ මාම කෙනෙක් ගෙනාවා මූනිස්සම් තුවක්කුවක්. ඒත් මූනිස්සම් දෙක තුනකට වඩා දුන්නේ නෑ අපිට. ඒවා දාලා වෙඩි තියන්නේ මම. සම්පත් බයයි කොකාට ඇඟිල්ල කැපෙයි කියල. මට පොඩි කාලේ තුවාලයක් නැත්තං මොකක්ද වගේ නිසා මමම තමයි ඒකේ අයිතිකාරයා වෙලා හිටියේ. පස්ස්සේ-පස්සේ අපි හොයා ගත්තා මේකට මුං ඇට දාලත් වෙඩි තියන්න පුලුවන් කියල. ඊට පස්සෙ අපි ග්‍රවුන්ඩ් එකේ වේලෙන්න දාලා තියෙන පොල් ලෙලි වලින් බංකරයක් හදලා ඒකට මුවා වෙලා අර තුවක්කුවට මුං ඇට දාල වෙඩි තියනව. එතකොට එතනට එන කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි, තරමක් තෙතබරිත මෙම ක්‍රීඩංගණයට පණුවේ කන්න එන කොක්කු, කාක්කෝ, පොල්කිච්චෝ ඇතුළු සියළු කුරුල්ලොත් මහ හඬ දීගෙන ඉවතට පියඹනවා. එතකොට අපි දෙන්නාට පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා. එක කාලෙකදි අපි දෙන්න පොඩි දේකට තරහා වෙලා කාලයක් කථා නොකර හිටියා. පස්සේ සම්පත්ලගේ අම්මම මට කථා කරල කිව්ව ඔය දෙන්න තරහා වෙලා ඉන්න එක හොඳ නෑනේ සෙනසුරාදට අපේ ගෙදර එන්න කියල. මමත් ගියා ඒත් සම්පතය මහ ආඩම්බර කාරයා කථාකලේ නෑ මාත් එක්ක. මට දැන් ගෙදරම එන්න හිතෙනවා. ඒත් දවල්ට කාලම යන්න කියලා සම්පත්ගේ අම්ම කියපු එක මට අහක දාන බෑනේ. ඔන්න ඔහේ ඉන්නවා. මට මූ කථා කලත් එකයි නැතත් එකයි. සම්පත්ගේ අම්ම ඇවිත් කිව්ව දෙන්නත් එක්ක අළුත්ගමට ගිහින් අන්නාසි ගෙඩියක් ගේන්න කියල. දැන්නම් ඉතින් කථා කරන්නම වෙනවා. සම්පත් බයිසිකලය පදිනව මම පොල්ලේ වාඩි වෙලා යනවා. යන ගමන් එක පාරටම මම දැක්ක කහ කුරුල්ලේක්, දැකල "අන්න කහ කුරුල්ලෙක්" කියල කියවුනා. "ෂික් මාර සවුත්තුව මම මුලින්ම කථා කලානේ" කියල මට හිතුනා. "මාර ලස්සනයි නේද සුභේ මං ගාව පිහාටු ගොඩක් තියෙනවා එකතු කරලා. ආවහම පෙන්නන්ම්". හැං ! එතකොට මූත් ඉඳල තියෙන්නේ මගෙත් එක්ක කථා කර ගන්න විදියක් නැතුව. මුලින්ම වචනය දාන්න බැරුව.  අපි දෙන්නගේ යාළුකම ඒ වගේ බොහොම ගැඹුරින් තිබුන එකක්. අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න බෑ ඒ කාලේ. මටනම් තවත් යාලුවෝ ඉන්න නිසා ගානක් නෑ. 

මේ කියන කාලේ සංචාරක හෝටලයක වැඩ කරපු අපේ රංජි අයියාට හම්බ වුනා සුද්දෙක් දාල ගිය වෝක්මන් එකක්. මිනිහා ඕක රුපියල් 200යක්ට විකුනනවා කියල කිව්ව. මම එතකොට පොඩි ටෙම්පරි ජොබ් එකක් කලා. දවසක පඩිය රුපියල් 31යි. මාසේ අන්තිමට මට රුපියල් හයසිය ගානක් හම්බ වෙනවා. ඒ දවස් වල මට ගෙවල් ලඟ කඩේ එකවුන්ට් එකකුත් තිබුනා. මම රස්සාවක් කරන නිසා දයානන්ද අයියා මට ණයට දුන්නා. මම හැමදාම හවසට යාළුවොන්ටත් දීලා කඩයප්පන් කන්න පුරුදු වෙලා හිටියා. මාසේ අන්තිමට සල්ලි දෙන්න පොරොන්දුවට මම ඒ වෝක්මන් එක ගත්තා. ඒකට හෙඩ්ෆෝන් එකකුත් තිබ්බ. ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි. මෙන්න මේ පහලින් තියෙන එක වගේ. 



ඒ කාලේ මම හම්බ කරන සල්ලි වලින් වැඩි හරියක් ගියේ ඕකට බැටරි දාන්නයි. කැසට් රෙකොර්ඩ් කර ගන්නයි. දැන් කාලේ නම් ඉතිං රීලෝඩ් දාන්න නේ. :D. ඒ කාලේ මයිකල් ජැක්සන්, රිචී රිචඩ්සන්, ලයනල් රිචී, පිල් කොලින්ස්, ඇලන් ටර්නර්, ටිනා ටර්නර්,ස්ටීව් වොන්ඩර්, නිකී ලවුඩා, බොබ් මාර්ලි වගේ ගායකයන්ගේ සිංදු තමයි මම වැඩිපුරම ඇහුවේ. ඒ කාලේ අපේ තාත්ත හොඳටම බය වෙලා දවසක් කිව්ව "මූ කුඩුත් ගහනවද දන්නෑ" කියල. සිංදු ඇහුවා විතරක් නෙවෙයි ඒවාගේ ලිරික්ස් ඒ කියන්නේ වචනත් එකතු කරන්න පටන් ගත්තා. සම්පත් මට මේකට ගොඩාක් උදව් කරා. ඒ කාලේ මේ හෙඩ් ෆොන් සෙට් එක කනේ ගහගෙහ බයිසිකලය පැදගෙන යන්නේ හරියට පයිලට් කෙනෙක් වගේ. ගෙදරට යන එන අයගෙන්, යන ගෙවල් වල අයගෙන් ඉංග්ලිෂ් කැසට් තියෙනවද කියලා. සමහර අය තියෙනව කියල මට දෙන්නේ හිංදි කැසට්. මට මතකයි එහෙම එකක් හම්බ වුනා කුර්බානි කියලා. අන්තිමට මගේ ලට්ට ලොට්ට ගොඩට මේවාත් එකතු වුනහම අපේ ගෙදර නිකං  පුදුමාකාර ලස්සනක් තිබුනේ. හිතා ගන්න පුළුවං නේ. මගේ මේ ඉංග්ලිෂ් සිංදු මාන්දමට ඒ කාලේ තව උදව් කරපු කෙනෙක් හිටියා.ඒ අල්ලපු ගෙදර කුලියට හිටිය විරාජ් අයියා. එයාගෙන් තමයි මම "රෙඩ් රෙඩ් වයින්" කියන සින්දුවේ වචන ඉල්ල ගත්තේ. එයාත් මම ගහගෙන එන සිංදු අහන්න ඉල්ල ගන්නවා ඒ කාලේ මොකද එයාගේ රස්සාව වෙලා තිබුනේ සංචාරක හෝටල් වල බෑන්ඩ් ගහන එක නිසා. 
මේ වැඩේට උපරිම සහයෝගයක් දැක්වූවේ ඉස්සරහ ගෙදර මහේෂ්-මහින්ද අයියා මලෝ ජෝඩුව. මගෙ ගාව තියෙන කැසට් ඉල්ලාගෙන ගමටම ඇහෙන්න දානව ගෙදර සෙටප් එකේ. දැන් මම මේක කනේ ගහ ගත්තු ගමන්මයි. ඒ කාලේම තමයි ලන්කාවේ බ්‍රේක් ඩාන්ස් ජනප්‍රිය වුනේ. අපිත් එක්ක හිටිය කුමාර මේවාට සහභගි වෙනවා. ඇයි ලසන්ත පෙරේරා සුසන්තගේ මල්ලි. මුන් දෙන්නගේ අත් කකුල් ඕනෑම තැනකින් නවන්න පුළුවං. මම හිතන්නේ හන්දි නැති තැන් වලිනුත් නවන්න පුළුවං. අපි ඉතිං යන්නේ සහයෝගහයට. ඔය කියන අවුරුද්දේත් අපි කට්ටිය සෙට් වෙලා තුන්දුව කියන් පැත්තේ වෙසක් දවසේ තියෙන බ්‍රේක් ඩාන්ස් තරගයකට යන්න සෙට් වුනා. හැමෝම එකතු වෙන්න කතා වුනේ ඒ කාලේ අපේ හරියේ තියෙන හොඳම රස්තියාදු පල වෙච්චි අපේ ඉස්සරහ ගෙදර මහේෂ්ලගේ ගෙදරට. එහෙනං හැමෝම රෑ 7.00ට එහෙට එන්න. එහෙම කිව්වේ වැඩේ සංවිධානය කරපු කුමාර. මමත් දැන් තාත්තගේ බයිසිකලය ගේ ඉස්සරහා නවත්වලා, වෝක්මන් එකත් කනේ ගහගෙන පාරට වෙලා ඉන්නවා. හැම ගෙදරකම මොනවා හරි එල්ලලා. මගෙත් එක්ක හිටියේ සුසන්ත/ලසන්ත දෙබෑයෝ. මෙහෙම ඉන්නකොට මෙන්න ටිකක් ඈතින් සම්පත් අම්මත් එක්ක එනවා වෙසක් බලන්න. දැන් මම කල්පනා කරනවා, මූ නම් මහ පුදුමාකාර පව් කාරයෙක්. මේ වගේ දවසකවත් ගෙදරින් එලියට බැහැලා තනියම යන්න නැති හැටි. වෙසක් බලන්න යන්නෙත් අම්මත් එක්ක. අපේ ගෙවල් ඉස්සරහින් යත්දී පිටිපස්සට අත් දෙක බැඳගෙන බිම බලාගෙන යන්වා හරියට උපාසකයෙක් වගේ. ඒක දැකල මම සුසන්තයත් එක්ක කිව්ව 

"බලපංකො අරූ යන හැටි හරියට උපාසකයෙක් වගේ

කියල. එහෙම කිව්වහම මගෙ වටේ එකතු වෙලා හිටිය කට්ටිය හොඳටම හිනා වුනා. සම්පතුයි අම්මයි දෙන්නම මගේ දිහා දෙතුන් ගමනක් හැරිලා බැලුවා. සුසන්තයා මොනව හරි අහනව මට මොනවත් ඇහෙන්නෑ. මට එතකොටයි මතක් වුනේ මම හෙඩ් ෆෝන් එක දාගෙනයි ඉන්නෙ කියලා. 

"ඇයි උඹ මහ හයියෙන් කිව්වේ අරූ උපාසකයා වගේ කියලා?"

"මම කිව්ව මහ හයියක් නෑ. මම උඹටනේ කිව්වේ"

"ඇයි යකෝ, එතකොට ඔය කණේ ගහගෙන ඉන්න මල මගුල නිසා උඹ මොනවද කියන්නේ කියලා උඹටවත් ඇහෙනවද? යටිගිරියෙන් කෑ ගහන්නේ"

එතකොටයි මට තේරුණේ. දැන් ඉතිං මූ ආයෙත් මගෙත් එක්ක තරහා වෙනවා. එතකොටම කුමාර ආවා. 

"අන්න අරූට හොඳටම තද වෙලා උඹත් එක්ක. උඹ ඌට උපාසකයා වගේ කියලා කිව්ව කියල" 

"හෑං ඌට ඒක ඇහිලාද ?"

"ඌට විතරක් නෙවෙයි උංගේ අම්මටත් ඇහිලා. ඌ මට පැත්තකට අඬගහල කිව්වේ. ඌගේ ලව් කෙස් එකක් අම්මට මාට්ටු වෙලා.  දැන් අම්ම හිතයිළු උඹ ඒ සේරම දැනගෙන තමයි එහෙම කිව්වේ කියලා."

"හත්වලාමයි. මම උගෙන් සමාව ඉල්ලන්නම්"

"සමාව නෙවෙයි. ඌ කිව්ව උඹට අඬු කැඩෙන්න ගහනව කියලා. අපි යමං යන්න ආපු ගමන."

මමත් ආයෙත් හෙඩ් ෆෝන් එක ගහගෙන බයිසිකලයට නැග්ගා.

ප:ලි: මේකට දාන්න රූප හොයද්දි හම්බ වුන මේ ඇඩ් එකත් බලන්න. 













ගිය අවුරුද්දේ බස් එකකදී හමු වෙලා මම කථා කරනකං සම්පත් ආයේ මගෙත් එක්ක කථා කලේ නෑ. එයාලගේ අම්ම ඉදිරිපත් වුනෙත් නෑ අපි දෙන්නා යාළු කරන්න. 

ඔන්න ඔහොමයි වෙසක් දවසක් කල්‍යාණ මිත්‍ර සම්පත්(තිය ) නැති වුනේ. සියළු දෙනාට චතුරාර්ය සත්‍ය අවුබෝධ වේවා. 

රූප ගත්තේ : 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...