Monday, January 26, 2015

ඔබේ කැමතිම ක්‍රීඩාව කුමක්ද ? What is your favorite sport ?

මගේ දියණියට මගේ ජාන වලින් පැමිණ ඇති එක පුරුද්දක් නම්, කලයුතු වැඩ අන්තිම මොහොත තෙක් කල් දැමීමයි. මේක මම වෙනමම ලියන්න හිටපු මාතෘකාවක්.  මෙය වරදක් විදියට ලෝකය දකිනවා. අන්තිම මොහොතේ අන්තිම තප්පරයේ වැඩ කරන පුද්ගලයන්ට මම නම් බොහොම කැමතියි. සමහරු ඉන්නවා වැඩක් කරන්න ගියාම පැය ගණන් සැලසුම් කරලා අන්තිම මොහොතේත් වැඩ කරන. නමුත් මම, මගේ දියණිය සහ ලොව නමගිය බොහෝ දෙනෙක් කරන්නේ අන්තිම මොහොතේ ඉසිඹුවක් නැතිව වැඩ කිරීම. සමහරුන්ට මේක අමුතු වෙන්න පුළුවන්. නමුත් මෙහෙම මිනිසුන් ලෝකේ ඉන්නවා. ඒ වගේම මේක ලෝකයේ මතභේදයට තුඩු දුන් මාතෘකාවක්. මම ඒ ගැන ඊළඟ සටහන තබන්නම්. 

මේ අන්තිම මොහොතේ වැඩ කිරීම මට ඔරොත්තු දුන්නත්, සමහර දෙමව්පියන්ට මේක මහා ඉසරදයක්. දවසක් ඉස්කෝලේ ගෘහ විද්‍යාවට අවශ්‍ය අඩුම-කුඩුම ඇය මට කිව්වේ අදාළ දිනයේ උදෑසන. ඉතින් මේ වගේ දේවල් වලට ආශා කරන පියෙක් ලැබීම ඇයගේ වාසනාව. මම ඒ දවසේ උදේ වරුව නිවාඩු දාලා ඇගේ ඉංග්‍රීඩියන්ට් හොයලා උදේ දහයට කලින් පාසලට ගෙනගොස් දුන්නා. ඒ අතරට තම්බන ලද කුකුළු මස් සහ බිත්තරද ඇතුලත්. මම ඒ වගේ අභියෝග වලට ආශා කළා. මගේ නිවාස තනන්නට බහිරව පූජාව තබන්න කලින් දිනයේ විශාල සංඛ්‍යාවක් වැඩ මම තනියම ඉටු කල බල පිළිගන්න මගේ සහෝදරිය මැලි වුණා. මේ වගේ කලබල අවස්ථා වල බොහොම සංයමයෙන් කටයුතු කරන්න මට පුළුවන්. ඒක මගේ රාජකාරියෙදීත් මා පෙන්වා තිබෙනවා. මගේ පම්පෝරිය එතනින් ඉවරයි. 

මගේ දියණිය සුපුරුදු පරිදි පාසලෙන් ලබා දී තිබු දැනුවත් කිරීමේ පත්‍රිකාවක් (පිටු 5 ක පමණ) මගේ අත තැබුවේ රාත්‍රී අටට ආසන්නව. එහි සඳහන්ව තිබුණේ, සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට අමතරව සියළුම සිසුවියන් ක්‍රීඩාවක් කල යුතු බව. මා වැනි පියෙකුට එවැනි නිවේදනයක් ත‍රම් සිත් ඇද ගන්න්නා වෙනත් දෙයක් නෑ. මගේ දියණියගෙන් ඇය ක්‍රීඩා කිරීමට කැමතිම ක්‍රීඩාව කුමක්දැයි ඇසුවහොත් "ෆුට්බෝල්" යනු ඇය මෑතක් වනතුරු ලබා දුන් පිළිතුරයි. නමුත් ශ්‍රී ලංකාවේ එය යථාර්ථයක් කර ගැනීමට අපහසු ඉලක්කයක්. ක්‍රීඩාවක් කෙනෙකු සමග බද්ධ වන්නට් බොහෝ කරුණු හේතු වුවත්, ඔබ ක්‍රීඩාවක් තෝරා ගන්නවානම් දෙවරක් සිතිය යුතු කාරණාවක් වන්නේ, අවුරුදු 50 දීත් ඔබට ඒ ක්‍රීඩාව කල හැකිද යන්නයි. උදාහරණයකට මා වැඩියෙන්ම ඇලුම් කරන ක්‍රිකට් ක්‍රීඩාව එහි මූලික ස්වභාවයෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා කල නොහැකියි. නමුත් අපි මාතෘකාව දෙස නැවතත් සිත යොමු කළහොත් මගේ දියණිය කලයුතු ක්‍රීඩාව කුමක්ද ? 

එය මා පිළිතුරු දිය යුතු පැනයක් යයි මා කිසිවටකත් සිතන්නේ නැත. එයට පිළිතුරු ලබාදිය යුත්තේ මගේ දියණියයි. දෙමාපියන්ගේ කැමැත්ත අනුව එය සිදු විය යුතුද ? මගේ විශ්වාසය නැත යන්නයි. ක්‍රීඩාවක් වැනි දෙයකදී කෙනෙකුගේ කැමැත්ත අවාසාන ඉලක්ක කරා ඔවුන් රැගෙන යන බලවේගය වශයෙන් ක්‍රියා කරන බැවින්, එහි තේරීමද අදාල පුද්ගලයා විසින් සිදු කල යුතුය, යන්න මගේ විශ්වාසයයි. නමුත් වයස 10 කට ආසන්න මගේ දියණිය මේ පැනය මා වෙත යොමු කලේ මා මවිතයට පත් කරමින්. එහෙත් එහි සඳහන් සියලු ක්‍රීඩා ඇයට කල නොහැක. හේතුව සවස් කාලයේ ඇති අමතර පන්ති මග හැරෙන නිසාය. නමුත් මා වැනි පියෙක් එය කල යුතුද ? මගේ සිත නැවත දෙගිඩියාවක පැටලිණි. වරක් පිහිනුම් සඳහා ඈ යොමුකලද එහිදී ඇයගේ නළලට සිදු වූ තුවලායේදී පාසල හැසිරුණු ආකාරය පිළිකුල් සහගතය, නමුත් ඇගේ පන්ති භාර ගුරුවරිය ඒ වෙනුවෙන් කල කැපවීම අගය කලයුතුය. එය වෙනමම බ්ලොග් සටහනක් තැබිය යුතු කතාවකි. 

පිටු කිහිපයකින් සමන්විත පත්‍රිකාව කියවා ඇය සඳහා සුදුසුම ටේබල් ටෙනිස් බව වටහා ගතිමි. අනෙක් සියළුම ක්‍රීඩා එක්කෝ අධික ලෙස කය වෙහෙසන ඒවාය, නැතහොත් මොලය වෙහෙසන ඒවාය. ඒ දෙක අතරමැද තබන්නට හැක්කේ පිං-පොං නොහොත් ටේබල් ටෙනිස්ය. එමගින් කය මෙන්ම මනසද එකලෙස වෙහෙසවයි. මා ඇයගෙන් කැමැත්ත විමසා සිටියෙමි. අවසානයේ අප දෙදෙනාටම එකට ගතහැකි තීරණය වුයේ ටේබල් ටෙනිස්ය. නමුත් එමගින්ද ඇගේ ටියුෂන් පන්තියක් මග හැරේ. නමුත් ක්‍රීඩාව පුද්ගලයෙකුට අත්‍යාවශ්‍ය අංගයක් බව මා ඉතසිතින් පිලිගනිමි. මේ පත්‍රිකාව මා පුරවන්නේ, ඉතා කැමැත්තෙනි. නමුත් ඉදිරියේදී ඇය මෙම ක්‍රීඩාව වෙනස් කිරීමට ඉල්ලා සිටියොත් ඒ සඳහාද, නොපැකිලිව ඇයට අවස්ථාව ලබා දෙන්නෙමි. තවමත් තමන් ගැන තනිව තීන්දුවක් ගත හැකි වයසක ඇය නැති බව මගේ විශ්වාසයයි. 

අප කුඩා කල අපට එක ක්‍රීඩාවක් තිබුණේ නැත. අහු වූ දේ කල ළමා කාලයක් අපට තිබුණි. ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, එල්ලේ, කැරම්, දාම්, පමණක් නොව චක්ගුඩු, හොරා පොලිස්, වල කල්ලි, ටින් කැඩීම ඉන් කොටසකි. එකල අපේ ක්‍රීඩා වරු ගණන් පැවතිනි. හොරා පොලිස් වැනි ක්‍රීඩා නිවාඩු කාල වල දවස් ගණන් දිගට පැවතිනි. අවුරුදු කාලයට කැට ගැසීම, පංචි දැමීම අපගේ ප්‍රධාන විනොදාන්ශයන්ය. මැරතන්, සහ බයිසිකල් රේස්ද අමතක කල නොහැක. පසුකාලීනව බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් සහ ටෙනිස්, රගර්ද අත්හදා බලන්නට අවස්ථාව ලැබුණි. නමුත් මා දිගු කාලීනව කරන්නට තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩාව මට වයස පනහා ඉක්ම යන මොහොතේදී කල නොහැක. දැන් මා වෙනත් ක්‍රීඩාවක් කෙරේ සිත යොමු කලයුතු කාලය එළැඹෙමින් පවතී. වරෙක ටෙනිස් ක්‍රීඩා කලයුතු යැයි මා විශ්වාස කලද, එයට හොඳ ශාරීරික යෝග්‍යතාවක් අවශ්‍ය බව නොකිවමනාය. ඒ සඳහා ඇවිදීම හෝ දිවීම කල යුතු වේ. බිලියඩ් වැනි ක්‍රීඩාවක් අප වැනි කය වෙහෙසා ක්‍රීඩා කිරීමට පුරුදුව හුන් කෙනෙකුට ගැලපෙන ඒවා නොවේ. අවසානයේ අතීරණයක පසු වන්නේ මගේ දියණිය නොව මා බව පසක් වී මට ආත්ම අනුකම්පාවක් ඇතිවේ. 

නමුත් මෑතකදී දෙහිවල නගරයේ අත හැර දැමු කාර් සේල් පලක ගැටව් කිහිපදෙනකු ෆුට්සාල් (Indoor Football) ක්‍රීඩා කරනු දැක මා තුල ඇති මැරඩෝනා එලියට එන්නට සැරසිණි. නමුත් ගෘහස්ථ ක්‍රීඩා මට නොගැලපෙන බව මා පසක් කොටගෙන දැන් සෑහෙන කාලයකි. ඒ එවැනි ස්ථාන වල ඇති අඩු ඔක්සිජන් මට්ටම මට ඔරොත්තු නොදෙන නිසාය. ඇත්තටම මා කැමති එළිමහනේ කෙරෙන ක්‍රීඩාවකටය. මා කුමක් තෝරා ගත යුතුද ? දැනට මා බයිසිකල් පැදීම සහ ඇවිදීම විනෝදාංශ කොට ගෙන ඇත්තෙමි. නමුත් වැසි දිනවලදී මේවා අඩාල වේ. දැනට නූලක එල්ලන ලද පන්දුවකට පහර දීම අතුරු විනෝදාංශය කොට ගෙන ඇත්තෙමි. නමුත් ඒවා දිගුකාලීන  නොවේ. 
Basketball, Cricket Ball, Volleyball, Hockey, Netball
පින්තූරය ගත්තේ : www.sodahead.com

Monday, January 19, 2015

අර්ජුන වෙනුවෙන් අපි ගඩොල් බිත්තියක වුණත් දුවන්න සුදානමින් ...... මුරලිදරන්

පින්තූරය ගත්තේ : http://www.wisdenindia.com
ලෝක පූජිත ක්‍රීඩකයන් බිහි කරමින්, අඛණ්ඩව ප්‍රධාන ක්‍රිකට් තරගාවලි වල ගෞරවයන් සඳහා අභියෝග කරමින්, අද ශ්‍රීලංකාවේ ක්‍රිකට් තිබෙන තත්වයට හේතුවන එකම සරල කාරණය වන්නේ 1996 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානයයේදී අප ලැබූ සාර්ථකත්වයයි.

එම තරගාවලිය සහ ඉන් ක්‍රීඩාවට රටේ ලැබුණු අරුත වැල්ලේ ඇඳි ඉරක් මෙන් විය. 1996 ට පෙර ක්‍රිකට් ක්‍රීඩාව ආධුනික මට්ටමක පැවතිණි.එය ප්‍රසිද්ධව පැවති නමුත් කිසි අයුරකින් එය රොදබඳින බලයක් නොවිණි.

 නමුත් 1996 දී ලාහෝරයේදී අප දිනු විට සියල්ල වෙනස් විණි. සාර්ථකත්වය අනාගත  පරම්පරා වලට ලඟා වූයේ, මුදුන් පමුනුවාගත හැක්කේ මොනවාද යන්න පෙන්වා දෙමින් වූ අතර ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට පත් වීමටද එය ඉවහල් විය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝක සිතියමේ තැබූ අතර ඉනික්බිතිව අප වර්ධනය වන්නට පටන් ගති.

 එම තරගාවලිය සඳහා පසුබිම් වූ කාරණය සමහරු  අමතක කරති. පාකිස්තානය සහ ඉන්දියාව සමග එම තරගාවලියේ සත්කාරක රටක් වුවද, එකල මෙහි පැවති සිවිල් යුද්ධය නිසා අගනගරයේ සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අප සමග ක්‍රීඩා කිරීමට මෙහි නොපැමිණියහ. 

එහි ප්‍රතිඵලයක් ලෙස අපට එම ප්‍රසාද ලකුණු ලැබුනද,  ඉන්දියාව සමග ඉන්දියාවේදී දෙවරක් ක්‍රීඩා කිරීමට සිදු වූයේ ඉන් එකක් අවසාන පූර්ව තරගයක් ලෙස කල්කටාවේ ඊඩන් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරන්නටද සිදු වෙමිනි. නමුත් සියළු අහේතූන් අපසැම  කණ්ඩායමක් ලෙස පමණක් නොව රටක් වශයෙන්ද එක්සත් කිරීමට සමත් විය. ක්‍රිකට් තුල අප අනාවරණය කරගත්, අයි.සී.සී. ලෝක කුසලානයකදී ලැබිය හැකි ඵලයද එයයි.

 ඇත්ත වශයෙන්ම මේ දැක්ම තිබුණේ අපගේ නායක අර්ජුන රණතුංග සහ පුහුණුකරු ඩේව් වට්මෝර් දෙදෙනාටයි. මා අසා තිබෙනවා ක්‍රීඩා කොට බොහෝ කාලයක් ගත වුවද, සමහර බටහිර ඉන්දීය ක්‍රීඩකයින් දැනුදු ක්ලයිව් ලොයිඩ්ට නායකයා("ස්කිපර්") ලෙස අමතන බව, අපටත් අර්ජුන එවැනි චරිතයක්. ඔහුට ඉන්දියානු අර්ධද්ද්වීපික තත්වයන් තුල  අප ගැන තිබුණේ ඉමහත් විශ්වාසයක්, අපද ඔහු වෙනුවෙන් ගඩොල් බිත්තියක වුවද දිවීමට සූදානම්ව උන්නා. හෙතෙම ප්‍රතිවාදියාට ආක්‍රමණ එල්ල කිරීමේ අපගේ ක්‍රමවේදයේ ගාමක බලයද වුණා.

අර්ජුන දුටුවා සනත් ජයසුරිය සහ රොමේෂ් කලුවිතාරණ මැදපෙළ තුල සැඟවී පන්දු ඕවර කිහිපයකට පමණක් මුහුණ දීම ඔවුන් සතු ශක්තිය අපතේ හැරීමක් ලෙස.

අයි.සී.සී. ලෝක කුසලාන තුලදී ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන් මින් පෙර-1992 දී ඉයන් බොතම් සහ මාර්ක් ග්‍රේට්බැච් යොදවාගනු දැක තිබුනද, මෙය සහමුලින්ම වෙනස් යෙදවීමක් වුණා. තරගය මුලදී  දැවී ගියද ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදීමට,  කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ විශ්වාසය ඔවුන් කෙරේ ඇති බවත්, එහි දිගටම නිරත වන ලෙසටත්  සනත් සහ කලුට බලපත්‍ර ලබා දී තිබුණා. එය ඔවුන්ට විශාල පිටුවහලක් වූ අතර ඔවුන් එයින් උපරිම ඵල නෙලා ගත්තා.

ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් මාසයක් ගිය තැන වයස 24 ලැබූ නවකයෙකු වූ මා හට මුළු තරගාවලියම සිහිනයක් මෙන් විය.  සියල්ලෝම අතිදක්ෂ ලෙස ක්‍රීඩා කල අතර, අරවින්ද ද සිල්වා ක්‍රීඩා කල ඉනිම දෙක, අවසාන පූර්ව තරගයේ කඩුළු දෙකක් පළමු ඕවරයේම දැවී ඇති විටෙක පන්දු 47 ක දී ලබාගත් ලකුණු 66 සහ අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 107 ඉන් විශේෂ තැනක් ගන්නවා.  දැඩි පීඩනයක් සහිත මොහොතක ක්‍රීඩා කිරීම පමණක් නොව කණ්ඩායමට අවශ්‍ය ආකාරයෙන් ප්‍රදර්ශනාත්මක ලෙසින්  ප්‍රතිඵල ලබාදීම, මේ විශිෂ්ට මිනිසා පිලිබඳ සලකුණක්  වුවා.   

ජයග්‍රාහී ලකුණ ලබා ගැනීම දක්වා අර්ජුන රැඳී සිටීම ඔහුට ශක්තියක් වූ අතර, මගේ කීර්තිය පිලිබඳ ඉලක්කය වුයේ, ක්‍රීඩාගාරයේ සිට ඔවුන්ට සුබපැතීම  දක්වා වූ දිවීමේ තරගය  ජය ගැනීමය !
 ඔබ මටකීවොත්, මා ලෝක කුසලාන අවසන් තරග දෙකක් ක්‍රීඩා කර ජය නොගත් බව, මට විශ්වාසයි මා ඒ පිලිබඳ පසුතැවෙන බව, නමුත් මට අතීතය දෙස  තෘප්තිමත්ව බැලිය හැකියි. ලෝක කුසලාන අවසන් තරග තුනක් සඳහා ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ ක්‍රීඩකයින් අතලොස්සකට වන අතර, ඉන් අයි.සී.සී. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභීන් අතර ග්ලෙන් මැක්ග්‍රාත්ට  පමණක් දෙවෙනිව රැඳී සිටීමට හැකි වීම  විශේෂ සාඩම්බර හැඟීමක් වන්නේ මා දිගු කලක් දක්ෂතා අතර රැඳී සිටි බව ඉන් කියැවෙන නිසාය. 

එම පරාජිත අවසන් තරග දෙක අතීතාවර්ජනයක යෙදුනු විට මට සිත්තැවුලක් හෝ අසතුටක් ඇති නොවේ.2007 දී බාබඩෝස් හිදී අප පරාජයට පත් වුයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ඇදහිය නොහැකි ඉනිම නිසා වන අතර ඔස්ට්‍රේලියාව පැහැදිලිවම එම තරගාවලියේ හොඳම කණ්ඩායමද විය. හතර වසරකට පසු මා  මුම්බායිහිදී පරාජිත වූවද - වඩාත් වේදනාකාරී වූ මාගේ කලවේ මස්පිඩු ආබාදයකට ප්‍රතිකාර ලබමින් සිටියද, අප ලබාගත් ස්ථානය පිලිබඳ මසිතේ ආඩම්බරයක් ඇත. අප පරාජිත වුයේ එම්. එස්. දෝනිගේ අතිදක්ෂ භාවය නිසා සහ පින්න නිසා වන අතර අපට අප වෙත දොස් නගා ගැනීමට කාරණා නොවීය.

මාගේ ප්‍රධානතම ලෝක කුසලාන පසුබැස්ම 1999 යි. අප එංගලන්තයට ලඟා වුයේ ශූරයන් මෙන්ම ඉතා හොඳ සහ පළපුරුදු කණ්ඩායමක් ලෙස  වුවද, සරලවම අප බලාපොරොත්තු ලෙස දස්කම් දක්වන්නට නොහැකි විය. අප ඉන් වසරකට පෙර එහිදී එක්දින තරගාවලියක් ජයගෙන තිබුනද, අපට එවර හරි ගියේ නැත. එය වේදනාකාරීය.

අපට දෙවන වතාවටත් ජය 2015 දී ලබා ගත හැකිද ? මම කියන්නේ "ඇයි බැරි ?" පසුගිය දශකය පුර  ප්‍රධාන තරගාවලීන් වල වැඩිම ස්ථාවර මට්ටමක සිටි කණ්ඩායම අප වූ අතර,  නිරතුරුවම අවසාන හෝ අවසාන පූර්ව තරගයට සුදුසකම් ලැබූ අපේ ක්‍රීඩකයින්ට, බංග්ලාදේශයේ පැවතී විස්සයි20 ජය ලැබූ නිසා විශාල ආත්ම විශ්වාසය ඇත. 

1996 දී අර්ජුන සහ අරවින්ද තුල තිබූ ගුණාංග, ශක්තිය සහ ගෞරවයට සමකම් දක්වන, අපට සිටින ජේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනා වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න දිල්ශාන් ඉතා ඉහළ මට්ටමකින් සහ අධිෂ්ඨානයකින් මෙවර තරගාවලියට අවතීර්ණ වනු ඇත.

ඔබ ලෝක කුසලානයක් දිනාගන්නේ, ඔබේ රට වෙනුවෙනි, ඔබේ කණ්ඩායම් සගයන් වෙනුවෙනි ඉන්පසුව ඔබ වෙනුවෙනි, එයයි අනුපිලිවෙල. මේ කණ්ඩායම ගැන මට විශ්වාසයක් ඇත, මා බලාපොරොත්තු වනවා ඔවුන්ටත් එම විශ්වාසය ඇතිය කියා.

මෙය මුත්තයියා මුරලිදරන් විසින් අයි.සී.සී. වෙනුවෙන් සම්පාදිත ලිපියකි. පසුව එය විස්ඩන් ඉන්දියා හී "We would run through a brick wall for Arjuna" නමැති ලිපියේ පරිවර්තනයකි. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...