බෙන්තොට සහ අලුත්ගම අතර තිබෙන කිලෝමීටර් දෙකකට ආසන්න දුර පයින්ගමන් කිරීම අදටත් මට මහා ලොකු දෙයක් නොවේ. ඒ මා දිගුකාලීනව ඇවිදීම පුරුද්දක් කරගෙන් සිටීම නිසාය. නමුත් මේ කතාවට පසුබිම් වන කාලයේ කෙසඟ සිරුරකට හිමිකම් කී මට එය අතිශය සාමාන්ය දෙයකි. බෙන්තොට යනු සංචාරක පුරවරයක් මිස, වෙළඳ නගරයක් නොවේ. එනිසා එදිනෙදා ජීවිතයට අදාළ වන ආහාරපාන හැරුණු කොට වෙනත් දේ එහි වෙළඳාමට නොමැත. මේ කියන සිද්ධියට පසුබිම් වන්නේ වෙසක් දිනයක් බැවින්, මා අලුත්ගම බලා පයින් ගමන් ගත්තේ, එදින නිවාස අලංකරණය අවශ්ය කුමක් හෝ මිලදී ගැනීමටය. ඒ කුමක්ද යන්න අද මගේ මතකයට නොනැගේ.
හේමචන්ද්ර මුදලාලිගේ කඩය එකල අප නිතර ආගිය තැනකි. ඒ එහි වැඩියෙන්ම වෙළඳාම් වුයේ පොත්පත් සහ පාසල් උපකරණ වූ බැවිනි. නමුත් මේ කියන කාලය වනවිට මා, මගේ දෙවැනි රැකියාවේ නිරත වෙමින් සිටියෙමි. නමුත් නිවැරදිව ගතහොත් එය මගේ තෙවැනි රැකියාවයි. දෙවැනි සහ තෙවැනි රැකියාවන් ගැන මා පවසා ඇතත්, මගේ පළමු රැකියාව ගැන සටහනක් කලේ නැති බව මගේ මතකයයි. එය පසු සටහනකින් ඔබ වෙත ගෙන එන පොරොන්දුව සමග කියාගෙන ආ කතාවට සිත යොමු කරමු.
ඒ කාලයේ මා පාරේ ගමන් කරන්නේ බිම බලාගෙනය. ඒ මගේ පුරුද්දය. බිම බලාගෙන වේගයෙන් ගමන් ගැනීම අපේ පවුල් වල පිරිම් උදවිය කාටත් පොදු ලක්ෂණයකි. මගේ පියාද, ඔහුගේ සොහොයුරන් සියල්ලද අනුගමනය කලේ මේ ක්රමයය. මෙකී වෙසක් දිනය 1992 යයි මගේ සිත මට පවසයි. එය එසේ විය යුතුය. ඒ මා රිවරිනා හොටෙල් රැකියාවේ ස්ථිර සේවකයෙකු වූ වසරයි. එම ස්ථිර වීම සහ මේ කතාව අතර සම්බන්ධය කුමක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් කතාවේ අවසාන කොටසේදී ඒ කෙසේද යන ගැටලුවට පිළිතුරු ලැබෙනු ඇත.
හේමචන්ද්ර මුදලාලිගේ කඩය තිබෙන්නේ, අද අලුත්ගම සුපර්මාර්කට් ගොඩනැගිල්ලේ ප්රවේශ වන දොරටුවට හරියටම ඉදිරිපසින් පාරේ අනෙක් පසය. හරිටම පැවසුවොත්, ගාලු පාර සහ වැලිපැන්න(මතුගම බලා යන පාර. අදනම් අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දෙසට ගමන් කරන මාර්ගය) බෙදෙන්නට අරඹට ස්ථානයේය. එම ස්ථානය දෙපසින් තිබෙන අනෙක් වෙළඳ සැල් වන්නේ රන්ජනාස් ඉලෙක්ට්රොනික් වෙළඳ සල සහ නිවැරදිව නම මතක නැති චයිනීස් වර්ගයේ රෙස්ටෝරන්ට් එකය.
මේ රෙස්ටෝරන්ට් එක ගැනද වචනයක් පැවසිය යුතුය. රිවරිනාවේ මා හා සේවය කල ප්රබාත්, පාලිත, සෙනෙවිකුමාර සහ තවත් බොහෝ දෙනා සවසට බියර් බෝතලයක් බොන්නට පැමිණෙන්නේ මෙතනටය. මෙහි යාම අමධ්යපයන් වූ මමත් මගේ අතිජාත මිතුරු සේනාරත්නත් ප්රතික්ෂේප කළෙමු. ඒ සඳහා මට ඉතාමත් සාධාරණ හේතුවක් විනි. ඒ මෙය මාගේ අසල්වැසි නගරයයි. එහි මා සිටි බව මගේ දෙමව්පියන් දැන ගත්තේ නම් රැකියාවෙන්ද ඉවත් වී විවේක සුවයෙන් නිවසේ ගත කල හැකි නිසාය. ඇත්ත වශයෙන්ම පවසනවා නම් මගේ පියාට එය ගැටළුවක් නොවුනද, මගේ මව ඒ සම්බන්ධයෙන් දැඩි නීති රීති අනුගමනය කළාය.
හේමචන්ද්ර මුදලාලිගේ කඩය තුලට ගමන් කිරීමට පාසල් වයසේදී අප බිය වීමු. ඒ එහි පැවති අඳුර නිසාය. අප අවශ්ය දේ මිලදී ගත්තේ කඩේ එළිපත්තේ ඇති, රෙදි වලින් තැනූ වියන වැනි සෙවනේ සිටගෙනය. මේ කියූ වෙසක් දිනයේද, සැලකිය යුතු සෙනගක් අතර මාද පසුවූයේ අඳුර වැටෙන්නට පෙර අවශ්ය දේ මිලදී ගෙන පිටව යාමටය. එතැන සිටින ගමන් වම් පැත්ත බැලු මට මගේ හොඳම මිතුරෙකු දකින්නට හැකි විය. ඔහු සිටින්නේ තනිවම නොව තවත් පුද්ගලයෙකු සමගය. නමින් රොහාන් වූ මගේ මිතුරා සහ මම පාසල් කාලයේ එකට ස්කූල් බසයේ ගමන් ගත්තෝ වෙමු. එහි සොඳුරු මතක කෙතරම් ඇත්ද ? නිතර තම ලේන්සුව අතේ තබාගෙන සිටීම රොහාන් අයියාගේ සිරිතයි. එසේ ලේන්සුව තබාගෙන සිටින්නේ තොරක් නොමැතිව ඔහුගේ අල්ලට ගලාගෙන එන දහදිය පිසදා ගැනීමටය. මට වඩා අවුරුද්දක් පමණ වැඩිමල් ඔහුට අයියා යයි එකල ඇමැතුවද, පාසල් අධ්යාපනයෙන් පසු අප දෙදෙනා මචං ලා විය. එකල අප නිතරම ඔහුගේ නිවසට ගොඩ වැදුනේ කැරම් ගැසීමටය. එහි ගිය අවස්ථාවක ඇසු කතාවක් "විජේ අංකල්ගේ ඉංග්රීසි" නමින් ලියා තැබුවෙමි. සමහරවිට ඔබ එය කියවන්නට ඇත. එය මා ලියන "ලොල් කතා" මාලාවේ තවත් එක් සටහනකි.
පෙනෙන ආකාරයට ඔහුගේ මුහුණෙන් දිස් වන්නේ අපේක්ෂා භංගත්වයකි. ඔහුගේ මිතුරාගේ මුහුනේද සිනා පොදක් අහලක වත් නැත. ඔවුන් සිටින්නේ කුමක් හෝ කලබලයක බව පැහැදිලිය. අනෙක ඔවුන් සිටින්නේ එතැන තිබෙන රෙස්ටෝරන්ට් එක එලිපත්තේය. හනික මට ලබා ගැනීමට තිබූ දෙය ලබා ගත් මා ඔවුන් සිටින දෙසට පිය මැන්නේ නිරායාසයෙනි. මෙකල මා රිවරිනාවේද, ඔහු බෙන්තොට බීච් හොටෙලයේද සේවයේ නිරත වීමු. ඇත්ත වශයෙන්ම ඔහු මට වඩා වයසින් අවුරුද්දක් වැඩි වුවද, ඔහුට වඩා වසර දෙකකින් වැඩිමහල් ඔහුගේ සොයුරු ඇන්ටන්ද හෝටල් ක්ෂේත්රයේ රැකියා වලදී මට වඩා කනිෂ්ඨයන් විය. හේතුව මට රැකියාවක් දීමට මෙම හෝටල් වල සිටි බලධාරීන් මග බලා සිටීමය. ඒ එකල මා ප්රදේශයේ සිටි දක්ෂම ගෝල් රකින්නා වීමය. අඩි පහකුත් අඟල් හතරක් යනු ගෝල් රකින්නෙකුට කිසිසේත් උචිත උසක් නොවේ. බෙන්තොට බීච් හෝටලයේදී පසුව හමු වූ තම්මිට නමැති ගම්පහ ප්රදේශයේ ගෝල් රැකීමේ දක්ෂයා අඩි හැකයට ආසන්න වූවෙකි. ඔහුගේ ආගමනයත් සමග මා අමතර ගෝල් රකින්නා වූවද, ඒ වනවිට රාජකාරියේදී දැක්වූ නිපුනතාව සහ ක්රිකට් ක්රීඩාවට දැක්වූ දක්ෂතාව නිසා මගේ රැකියාවට අනතුරක් නොවීය.
මා දෙදෙනා අසලට යනවාත් සමග රොහාන් මා වෙත කඩා පැන්නේය.
"මොකක්ද බං මේ වැඩේ තේරුම උඹලාගේ බුදු හාමුදුරුවෝ බුදු වුණා කියලා අපි පලිද ?"
"හරි උඹලා පලි නෑ තමා. ඉතිං මමත් පලි නෑ. ඒ වුණාට අපි බුද්ධාගම නිසා අපේ ගෙවල් වල පානක් හරි පත්තු කරනවා. ඒත් උඹලට එහෙම කරන්න කියලා කවුරුත් බල කරන්නේ නෑනේ"
එසේ පවසන විට මුහුණෙන් මුහුණ බලාගත් දෙදෙනා හිස එක් පසකට ඇල කරමින් මද සිනහවක් නැගීය.
"නෑ බං උඹට අපි කියන දේ තේරෙන්නේ නෑ"
"මට තේරෙනවා වෙසක් පෝය අපේ, ආගම් කාරයොන්ට එකෙන් වැඩක් නෑ"
"වැඩක් නං නැත්තෙත් නෑ. දැන් දන්සලක් තිබ්බොත් අපි යන්නේ නැද්ද ? යනවනේ"
එය ඇසු විට මගේ මතකයට ආවේ ටුටූ අයියාත් රෝහානයාත් මගුල් යෝජනවාක් බලන්නට ගොස් කල මගඩි වැඩකි. එදින ඔවුන් දෙදෙනා ගමන් ගත් නිවසේදී බුලත් හෙප්පුව ගෙන ආ තරුණිය ටුටූ අයියාගේ හිතට අල්ලා නොමැත. කලින් කතිකා කරගත් පරිදි එම නිවසේ අයට ඔවුන් එපා වෙන තරමට මේසය පුරා තිබූ ආහාර සියල්ලට දෙදෙනා විසින් වග කියා ඇත. ඒ සිනහවද සමග මා නැවතත් ඔවුන් දෙසට හැරී
"ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ. උඹ ආගම මාරු කරන්නද හදන්නේ. හරි මට දැන් මතක් වුණේ. අරයා බුද්ධාගමනේ"
"අනේ නිකං පලයන් බං රැවුල පත්තු වෙලා ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු නොකර. අද බාර් ඔක්කොම වහලා උඹලාගේ බුදු හාමුරුදුවන්ගේ බර්ත්ඩේ කියලා. අපි බියර් එකක් ගහනවා කියලා මෙතනට ආවා. ඒකත් වහලා. මොකක්ද බං මේකේ තේරුම. බලපන් කාලෙකින් ගෙදර ආව යාලුවට අරක්කු උගුරක් දෙන්න විදියක් නෑ"
"හරි උඹලට අරක්කු බෝතල් කීයක් ඕනද ?"
ඔන්න එතකොට රොහාන්ගේ මූනට පුන්සඳ පෑව්වා වගේ එළියක් ආවා. යාලුවාගේ මූණටත් ලේ ටිකක් ඉනුවේ ඒ වෙලාවේ.
"මේ... මේ... උඹ හදන්නේ අපිව අන්දන්නද ? ජීවිතේට අරක්කු මුඩියක් කටේ තියන්නේ නැති උඹ කොහොමද අපි නොදන්නා හොර පොළවල් දන්නේ. ඒවා සේරම පහු කරන් තමයි මෙතනට ආවේ"
"හරි ඒ කථා උඹලට වැඩක් නෑ. උඹලට ඕනේ අරක්කු නේ. බෝතල් කීයක්ද?"
"උඹ හිතුවේ අපි ගුදම් කියලද ? යකෝ එකක් හොඳටම ඇති"
"හරි උඹලා කීය ගානේද ගන්න කැමති ?"
"වයින් ස්ටෝර්ස් එකේ 140යි. උඹට පුළුවන් නම් තුන්සීයක්, හාරසීයක් වුනත් කමක් නෑ"
දැන් දෙදෙනා සිටින්නේ මා වැළඳ ගන්නවාද ? නැතිනම් මා දෙදෙනාට මගෝඩි වැඩක් කරනවාද ? යන දෙගිඩියාවෙන් බව පැහැදිලිය. මා වැනි ළදරුවෙක්ගෙන් මෙවැනි දේවල් බලාපොරොත්තු වීමට තරම් ඔහු බොළඳ නොවීය. මම සාක්කුවට අත දමා එහි තිබෙන මගේ කබඩ් එකේ යතුර අල්ලා සොලවන ගමන් මෙසේ පැවසීමි.
"හරි. දැන් එහෙනං දෙන්නත් එක්ක මගේ පස්සෙන් එන එකයි ඇත්තේ. මම දන්නවා බඩු තියෙන තැනක්. බෝතල් දෙක මම දෑහින් දැක්කා. එතැන අරක්කු විකුණන තැනක් නෙවෙයි. ඒ වුනාට බඩු ෂුවර්"
"අනේ මචං වඳින්නං බොරු නම් කරන්න එපා. තව වැඩි වෙලාවක් නෑ"
ඔවුන්ගේ මුහුණෙන් දිස් වන්නේ විඩාපත් බවකි, තරමක් තරබාරු සිරුරු වලට හිමිකම් කී මේ දෙබෑයෝ දැන් මගේ පසුපසින් නමුත් ආසන්නයේ ගමන් ගනිති. එහෙත් මා වේගය වැඩි කරන හැම වෙලාවකම
"යකෝ අපිට නැති හදිස්සියක්නේ මූට තියෙන්නේ. පොඩ්ඩක් හෙමින් පලයන් බං"
"උඹලා අහලා නැද්ද ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ කියලා"
අප බෙන්තර පාළම පසු කර ඒ අසලින්ම මගේ නිවසට ආසන්නයෙන් කෙලවර වන පහල වත්ත පාර නමැති ගුරු පාරට පිවිස ගමන් ගතිමු. පොහොය දිනය නොවුනත් තරමක මඩ වලවල් ප්රමාණයක් මෙහි ඇත. හේතුව මෙය ගඟ ආසන්නයෙන්ම පිහිටා ඇති අතර, තුරුලතා සෙවන සහිත ගුරු පාරක් වූ බැවිණි. මිනිත්තු දහයක පමණ කාලයකදී අප නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් ඇති රවුම් පාරට පිවිසුණු විට.
"මචං පිස්සු නම් කෙලින්න එපා. උඹ ඔය ගෙදර නේද යන්නේ"
"හරි මොකෝ අපේ ගෙදර උඹ නොගිහින් තියෙන තැනක්ද ? වරෙන් පොඩ්ඩක් ඇවිල්ලා තේ එකක් එහෙම බීලා ඉමු. ඊට පස්සේ බඩු ටික ගමු"
"මං උඹට කිව්වනේ"
මේ වනවිට අරක්කු මාන්දම උත්සන්න වී සිටි මිතුරා පැවසීය. කිසිවක් නොකියා මා කෙලින්ම ඇතුළු වුයේ මගේ කාමරයටය. එහි ඇති වීදුරු සහිත දොරවල් හැරගෙන කෙලින්ම කාමරයට පිටතින් ඇතුල් විය හැකිය. නිතර දෙවේලේ එහෙ මෙහෙ ගමන් කරන මා හට එය අස්වැසිල්ලකි. දැන් මිතුරන් දෙදෙනා මේ දොර අසල හිටගෙන සිටී. දෙදෙනාට ඉඳගන්නට මාගේ ඇඳ පෙන්වූවත්, ඇතුලට විත් ඉහල පහළ බලමින් සිටින ඔවුන් ගැන ඇත්තටම මට අනුකම්පාවක් ඇති විය. මා රැගෙන ආ දේ මේසය මතට දැමූ මා සාක්කුවෙන් යතුරු කැරැල්ල ගෙන හනික මගේ කබඩ් එක ඇර රොහාන්ට අතින් සන් කලේ මා අසලට එන ලෙසය. ඔහුගේ දෑස් බිත්තර බුල්සායි දෙකක් මෙන් විය. සිදු වන්නේ කුමක්දැයි මිතුරා විමසිලිමත් දෑසින් බලා හිඳියි. එම දසුන ඔහු ජීවිතයේ දකින්නට ලැබුණු පුදුමාකාරම දසුනක් වනු නොඅනුමානය. ඔහු මා වැලද ගනු ලැබුණි. පසෙක හුන් මිතුරාද මොහොතකින් අප අසලය. ඔහුගේ මුවේද ජයග්රාහී සිනහවක් මතුවිණි.
"මචං උඹ නම් දෙයියෙක්. මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ අද අරක්කු ටිකක් බොන්න හම්බෙයි කියලා. උඹට මේකට කීයක් ඕනෙද ?"
| මුල් පින්තූර ගත්තේ : |
"මට වැඩිපුර සත පහක් වත් එපා. උඹ මේ දෙකම හරි ගනින්. මේ ඕල්ඩ් අැරක් බෝතලේ ගත්තේ ආතර් අංකල් ගෙන්. මියුසිකල් ෂෝ එකේ ඉතිරි එකක්. ඒක මට එයා 120ට දුන්නේ. මේ බෝතලේ අපි ගත්තේ 120කට වගේ මතක"
ඒ විගසම පන්සීයේ කොළයක් ඇදගත් රොහාන් මා අත තබා බෝතල් දෙක අතට ගත්තේය. මම ඉතිරි සල්ලි දෙන්න උත්සාහ කලත් ඔහු ඊට ඉඩක් නොතබාම නිවසෙන් පිටව මිදුලට පැන්නේය. මා ලබාදුන් බෑගයේ ඒ බෝතල දෙක ඔබාගත් ඔහු මදෙස බලා ස්තූති පූර්වක සිනහවක් ඵල කර වේගයෙන් ඔවුන්ගේ නිවාස තිබෙන දිසාවට ගමන් ගති. කිසිදා අරක්කු බිඳක් කටේ නොතබන මගේ කබඩ් එකට අරක්කු බෝතල් දෙකක් කෙසේ එන්නට ඇතිද ? ඒවා ලැබුණු සහ මිලදී ගත ආකාරය ඉහතින් පවසා තිබුණත්, අරක්කු වල අවශ්යතාව කුමක්දැයි ඔඅ සිතනවා ඇත.
මගෙත් සේනාරත්නගේත් සේවාව ස්ථිර කලේ එක ළඟ මාස දෙකකදීය. ඒ පෙබරවාරි සහ මාර්තු මාස වලදීය. සංචාරක හෝටලයක පර්මනන්ට් වනවා යනු මගුල් ගෙයක් ගන්නට තරම් විශේෂිත අවස්ථාවකි. එවැනි පර්මනන්ට් පාටි කිහිපයකට මේ වනවිට අපද සහභාගී වී ඇත. සංචාරක හෝටල් වල ඇත්තේ සොච්චම් වැටුපක් බව අරූගේ අඩවිය සමග එක් වන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. සර්විස් චාජ් හෝ සේවා ගාස්තුව පඩිය මෙන් හතරපස් ගුණයක් වන මාසද කිහිපයක්ම අවුරුද්දට ඇත.
අප දෙදෙනාගේ පාටියට අරක්කු මිලදී ගැනීම සඳහා ගණන් හැදු ආකාරය සිනහව උපදවන අකාරයේ එකක් වෙයි. අරක්කු හෝ බීම ගැන කිසි අවුබෝධයක් නොවූ අප දෙදෙනා, හොඳින් බොන ශාන්ත, මයිකල්, ප්රේමදාස, පාලිත සහ වික්රම ඇතුළු තවත් කිහිප දෙනෙකුට එක් අයෙකුට බෝතලය බැගින්ද, ගානකට බොන අය වූ බැසිල් අයියා ෂර්ලි, ආනන්ද වැනි ය සඳහා භාගයක්ද වන්න ගණන් සාදා බෝතල් විස්සක් පමණ මිලදී ගතිමු. අවසානයේ අපේ නිවාස පිටුපස පිට්ටනියේ සංගීත සැඳෑවක් පැවැත්වූ දිනක් ඒ සඳහා තෝරා ගතිමු. එදින අපේ නිවසට ගොඩ වූ සියළු දෙනා හොඳින් සප්පායම් වී ගිය අතර, ඉතිරි බෝතල් දෙක මා ප්රවේසමෙන් ඉතිරි කර තබා ගත්තේ, එදින නොපැමිණි අය සඳහාය. ඊළඟ මාසයේ පොහෝදින තවත් මිතුරෙකුට එය මාහැඟි වස්තුවක් වී ඇත.
