Showing posts with label ව්‍යායාම(Excercises). Show all posts
Showing posts with label ව්‍යායාම(Excercises). Show all posts

Sunday, November 24, 2013

යාල සහ කුමන රක්‍ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ...... II කොටස Two Nights in a Thick Forest

කිසියම් ස්ථානයක් හෝ පුද්ගයෙකු ගැන අප හිතිං මවා ගන්නා රූපයට සහමුලින් වෙනස් එකක් එහි යථාර්ථයෙදී මුණ ගැසෙයි. විශේෂයෙන්ම අන්තර්ජාලයේදී ඔබ නොදුටු කිසිවක් හෝ පොතපතින් ඔබ නොදුටු කිසිවක් සැබැවින් දකින විට මෙය සිදු වේ. අප හේනට ලඟා වත්දීද සිදු වුයේද එයමයි. මේ වනවිට මා පමණක් නොව ඔබද මවා ගත් හේනක් ඇත. එය මා බලාපොරොත්තු වූ තරම් කැලයට සමීප නැතත්, හතරවටෙන් රූස්ස ගස් අප වට කරගෙන සිටියි. එහි බියකරු බවක් නිරතුරුව ඇත. හාත්පස පෙනෙන්නේ ඉමක් නොපෙනෙන කැලෑව එළි කර තනාගත් වගා බිම්ය. සතියක් පමණ කාලයක් ඇතුළත යම් ප්‍රමාණයක වැස්සක් ලැබී ඇති බව මේ වගා බිම්ද, හාත්පස පරිසරයද සාක්ෂි දරයි. එහෙත් අපගේ ගමනේදී ට්‍රැක්ටරය මත තබන ලද බෑග් සහ අනෙකුත් ද්‍රව්‍ය මත එකතු වී ඇති දුහුවිල්ල එහි තිබෙන කර්කශ බව කියා පායි.
පින්තූරය : www.google.com/maps/preview
සිතියම තුල මෙම ස්ථානය නිවැරදිව සොයා ගන්නට මා පැය හය හතක්ම වැය කලේ සාවද්‍ය තොරතුරක් ඉදිරිපත් කිරීමට ඇති අකමැත්ත නිසාය.

පින්තූරය : www.google.com/maps/preview
අපගේ ට්‍රැක්ටරයේ ගමන් ගත් නව දෙනාට අමතරව මෝටර් සයිකලයෙන් ආ දෙදෙනෙකුද වේ. මේ අනුව සම්පූර්ණ ගණන එකොළහකි. එයින් දෙදෙනෙක් අහාර පිළියෙල කිරීම සහ අපගේ සහයට ආ අයවලුන්ය. අනෙකා දක්ෂ වෙඩික් කරුවෙකි. රූපයා නොහොත් රූපරත්න එම හේනේ හිමිකරු සහ වගාකරු වේ.

"අද නම් වහිනවා. මේ බලන්න හොඳටම කළු කරලා, රෑ වෙනකොට දෙයි ඇට්ටි හැලෙන්න. අද තියෙන්නේ නෑමක් තමයි"

අපගේ චාරිකාවේ රියදුරු වගකීම භාර ගත් කටකාර කොලුවා රසික පව්සත්දී අප සියලු දෙනාගේ හිස් නිරායාසයෙන් අකාශය දෙස යොමු විය. මෙම වැහි වලාකුළු බරිත බව අපගේ ගමනද යම් තාක් දුරට පහසු කරවීය. ගිනි අව්වේ මේ ගමන පැමිණියා නම් අපට මීට වඩා විඩාවක් දැනෙනවා නොඅනුමානයි. එසේ වුවද කොළඹ සිට පැමිණි කවුරුත් සිටින්නේ පස්ස පැත්ත අල්ලා ගත් ගමන්ය. හේතුව ට්‍රැක්ටරය ගමන් ගන්නා විට ඇති වූ ගැස්සීම නිසා ඉහළ ගොස් පහළ වැටෙන විට පශ්චාත් භාගය ට්‍රැක්ටරයේ තහඩු තට්ටුව මත ගැටීම නිසා ඇති වූ තැලීම්ය. මේ වනවිට තිලකයා සහ පිරිවර අපගේ සියලු බෑග් බා ඒවා ඔවුන්ගේ වාඩියේ මැස්ස මත පිළිවෙළකට තබා ඇත. වතුර මුට්ටියක් ලිප මත රත් වේ. මේ ප්‍රදේශයේ දර ලබා දෙන අධික තාපය නිසා වතුර මුට්ටිය රත් වීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බව ගමන් අවසන් වනවිට මා අත්දුටු දෙයකි. වතුර රත් වනතුරු තවත් දෙදෙනක් යුහුසුළුව යමක් කරයි. අපේ දලුවා සහ සම්පා ඒ දෙස බලා සිටී. ඔවුන්ගේ සුදානම තණමල්විල අමුද්‍රව්‍ය යොදාගෙන රොකට්ටුවක් ගුවන්ගත කිරීමටය. මා යාබදව ඇති ගල් කන්ද නැගීමට පටන් ගත්තේ මගේ කැමරාව සහ දුරකථනය යන අවශ්‍යතා දෙකම පිරිමහන ජංගම දුරකථනයද සහිතවය. එම ගල්කුළට ගොඩ වීමේදී එක අවදානම නැග්මක් ඇත. මොහොතකින් මා ගල් කුල මුදුනට ළඟා වී හාත්පස නැරඹුවේ, ඩිස්කවරි වැඩසටහනේ බෙයා ග්‍රිල්ස් අනුව යමිනි.


මේ එම හේනේ වාඩිය අසලම ඇති ගල් කුලයි. මෙතන ඉහලට පවා අලින් පැමිණ ඇත. 
ඔහුගේ චාරිකා වල වැඩ කරන එක අනුපිළිවෙලක් ඇත. පළමුව රාත්‍රිය ගත කරන්නට තැනක් සොයා ගනී. එයට පදනම් වන්නේ ගලායන හෝ හිරවූ ජාල මූලාශ්‍රයක් අසල, එහෙත් තරමක් ඈතින්ය (ජලය ඇති තැන් වලට වනසතුන් නිරතුරැ පැමිණෙයි. එහි වාසි මෙන්ම අවාසිද ඇත). බොහෝවිට ගල් තලාවක් හෝ උස බිමක් තෝරා ගනී. දෙවනුව කරන්නේ රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය සෙවණක් තනා ගැනීමයි. ඉන්පසු රාත්‍රී ආහාරයට යමක් සපයා ගනී. අවසානයේදී වටපිටින්ම එකතු කර ගන්නා දර සහ සුහුඹුල් ද්‍රව්‍ය යොදා ගනිමිනි ගිනිගොඩක් ගසා ගනී. ගිනිගොඩෙන් වන වාසි දෙකක් ඇත. වනසතුන් ගින්නට දක්වන බිය සහ ඕනෑම පරිසරයක රාත්‍රියේ ඇතිවන අධික සීතලට මුහුණ දීමේ හැකියාවයි. මෙම චාරිකාවට එක් වනවිට අපගේ නඩේ ගුරා කාරියට උර දුන් සුභාෂ් එවන ලද කෙටි පණිවුඩයක ගෙන අයුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් සටහන් කර තිබුණි. ඔබත් එවැනි ගමනක් යන්නේ නම් එය වැදගත්ය. එහෙත් මතක තබා ගත යුතු වැදගත්ම කාරණය, එම සියලු දේ බරෙන් අඩු ඒවා විය යුතු වීමය. අපගේ වාසනාවකට ට්‍රැක්ටරය අදාළ ස්ථානය වෙතම ළඟා විය හැකි වුවද, බොහෝවිට ඔබට මේ සියල්ල කර ගහගෙන කඳු නැගීම, බැසීම හෝ ඝන වනය, දිය පාරක් තරණය කිරීමට සිදුවනු ඇත. එවැනි විටෙක බර ඉතාම වැදගත් සාධකය වනු ඇත. ඔබගේ පහසුව තකා එම ලැයිස්තුව මෙහි සඳහන් කරන්නම්

  • කොට කලිසම්/ටී ෂර්ට්/බොටම් එකක් සහ සපත්තු /සෙරෙප්පු (කුට්ටම් එක බැගින්)
  • සීතලට අඳින ජැකට්ටුවක්
  • ඉටිපන්දම් දෙකක්/ ටෝච් එකක්
  • බෙඩ් ශීට් දෙකක්
  • ප්ලාස්ටික් පැදුරක්
  • බිස්කට් වැනි කෙටි ආහාරයක්
මීට අමතරව අප පොදුවේ රැගෙන ගිය කෝප්ප සහ ප්ලාස්ටික් පිඟන්ද මෙයට අයත් විය යුතුය. ඔබ සතුව තිබිය යුතු අනෙකුත් ද්‍රව්‍ය නම් කැලෑ පිහියක්(හෝ මුවහත් සහ බර පිහියක්), ප්‍රථමාධාර කට්ටලයක්(අප රැගෙන ගිය ප්‍රථමාධාර පෙට්ටිය අංග සම්පූර්ණ එකකි. එහි පැනඩෝල්, සමහන්, ඊනෝ, සිද්ධාලේප, සැලෝන් පාස්, තුවාල වලට බෙහෙත් කිරීමට අවශ්‍ය සියලු දේ අඩංගුය), ඉටි රෙදි යාර කිහිපයක්, ලණු කැරලි කිහිපයක් විය. එවැනි ද්‍රව්‍ය සොයාගත හැකි  තැන් කැලයේ නැත. නමුත් සමහර ද්‍රව්‍ය වලට ආදේශක ඇත. ඉටිපන්දම් වලින් ලබන ආලෝකය ගින්දර මගින් ලබා ගත හැක. ටෝච් එකක් වෙනුවට හුළු අත්තක් පිළියෙල කර ගත හැක. සීතලට අඳින ජැකට්ටුව වෙනුවට ගින්දර මගින් ලබා දෙන තාපය යොදා ගත හැක. පැදුරක් වෙනුවට වනයේ කොළ අතු සහ වැල් වලින් අවශ්‍ය නම් මෙට්ටයක් වැනි ඇතිරිල්ලක් නිර්මාණය කර ගත හැක. ඒ සඳහා පළපුරුද්ද සහ යම් නිර්මාණශීලීත්වයක් අවශ්‍ය වේ. කැලයේ දකින දෙය තුළින් ඔබට අවශ්‍ය දේ දැකීමේ හැකියාව තිබිය යුතුයි. කැලෑවේ ඇවිදීමේදී අඩි හයක හතක ඉන්නක් වැනි යමක් භාවිතා කල යුතුය. එහි ඉදිරි කෙළවර කැටපෝල් කරුවක් ආකාරයේ විය යුතුය(Y අකාරයේ). හේතුව කැලෑ ප්‍රදේශ වල සතුන් දඩයම් කිරීම සඳහා අටවන උගුල් හෝ බඳින ලද තුවක්කු තිබෙන්න පුළුවන. අඩුම තරමෙන් ඉදිරියෙන්ම ගමන් ගන්නා එය රැගෙන යා යුතුය. මෙම ඉන්න තවත් කරුණකදී වැදගත් වේ. ඔබ අසලම නොදැක සර්පයෙකු සිටියහොත්, ඌ අල්ලා ගැනීමට හෝ පලවා හැරීමට එම "වයි"  හැඩති මෙම ලීය උපකාරී වෙයි. අපේ ගමනේදී සර්පයින් හමු නොවීම භාගයකි. 

තේ කහට  සමග  බීමට නඩේ ගුරා සපයන ලද කිතුල් හකුරුද, ඔහු රැගෙන ගොස් තිබූ පොල් කේක් අහාරයට ගැනීමට පෙර කපා ගැනීමට අවශ්‍ය විය. කිසිවකු සතුව ඊට සරිලන පිහියක් නොවීය. වහලට හෙවිලි කර තිබෙන මානා වැනි කෙන්දක් ගත් මා එය යොදාගෙන කපන්න පටන් ගත්තද, තමන්ගේ පොකට්ටුවෙන් කාඩ් පතක් ගත් රත්නපාල මට පෙර එය කැපීම අවසන් කළේය. තවත් මිනිත්තු කිහිපයකින් තේ පානය අවසන් කොට අප ඔබ මොබ සැරිසරද්දී කුස්සිය භාර ගත් දෙදෙනා නගරයෙන් රැගෙන ආ කුකුල් මස් කැපීමේ නිරත විය. එය රාත්‍රී ආහාරය සඳහා නොව කටගැස්ම සඳහායි. දිවා ආහාරයෙදී වල්\ඌරුමස් තිබුණි. මීට අමතරව මඤ්ඤොක්කාද තම්බන සුදානමක් ඇත.

පැය දෙකක පමණ ට්‍රැක්ටර් ගමනකින් අප හෙම්බත් වී උන්නෙමු. නගරයේ ඒ.සී. කාමර වල පුටු රත් කරනා අපට මේ ගමන ඉතා රසවත් මෙන්ම අසීරු අත්දැකීමක් විය.

පතහා යනුවෙන් ඔවුන් හඳුන්වන ගල මත හිරවූ දිය පොකුණ.
තේ බී අවසන් වනවිට පස්වරු හතර පමණ වන්නට ඇත. අපගේ මෙහෙයුමේ මීළඟ අංගය වුයේ, දුහුවිල්ලෙන් සහ අව්රශ්මියෙන් පීඩිත ශරීර වලට වතුර බිංදුවක පහස ලබා දීමය. එහෙත් එය එතරම් පහසු කාර්‍යයක් නොවේ. අවුරුද්දේ වැඩි කාලයක් ගිනිගෙන දැවෙන මෙන් පළාතක සිතූ-සිතු තැන් වල වතුර නැත. වතුර තිබෙන තැන් සොයා අප යායුතුය. දියපොදක් මේ හේනට ආසන්නයේම තිබෙන්නේ කිලෝමීටරයක් පමණ ඈතිනි. ඒ අසල ගල්පර්වතයක ඇති පොකුණක් වැනි තැනකය. ඔවුන් මෙය හඳුන්වන්නේ පතහා යනුවෙනි. පතහා සොයා යාමටයි දැන් අපේ සුදානම. අහර පිසින දෙපල හැරෙන්නට ඉතිරි නව දෙනාම මේ ගමනට සහභාගී විය. ඉදිරියෙන්ම ගමන් ගත්තේ කදිරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාය. ගල්-කටස් තුවක්කුව කර තබා දෑත් දෙපසින් දමාගෙන ඔහු ඉදිරියෙන්ම ගමන් ගනී. ඉන් පසු අපේ අය එකා පසුපස එකා ඔහු අනුගමනය කරමින් ගමන් කරන්නේ පෙරහැරක විලාසයෙනි. දැන් අප සිටින්නේ කැලය තුළය. සම්පත් අත වයි හැඩයේ කෙළවරක් ඇති ලී කැබැල්ලකි. රත්නපාල අත කුඩා බාල්දියක් ඇත. සෙසු සියලු දෙනා ළඟ තිබෙන්නේ තුවායක් පමණි. වනය තුළ දැඩි කරුවලට හේතුව මේ වනවිට අහස්කුස අරා සිටින වැහි වලාකුළුය. විටෙක ඉතා ඈත ප්‍රදේශයක වන හෙණ ගැසීමක් සහ ගිගුරුමක් යාන්තමට දැනේ. නමුත් අප සිටින්නේ ගැහෙන හදවතිනි. වියලුණු කොළ තට්ටු මත හෝ දර අත්තක් මත කෙනෙකු අඩිය තැබුවහොත් නැගෙන ශබ්දයට අපගේ හදවත් නතර වෙයි. හේතුව එය අපගේ කෙනෙකු ඇති කල හඬක්ද නැතිනම් වනසතෙකු නිසා ඇති වන හඬක්දැයි වෙන් කර හඳුනා ගැනීමට යම් කාලයක් ගත වන බැවිනි. මා නිරතුරුවුවම වනයේ දෙපස දෙස තියුණු බැල්මක් හෙළමින් ගමන් ගත්තේ අන් බොහෝ දෙනා ඉදිරියටම යොමු වූ දෑස්ව ගමන් ගත් බැවිනි. එක් තැනකදී කුමන හෝ සතෙකුගේ භාහුවක ඇට කැබැල්ලක් දුටිමි. මා මෙන්ම අනෙක් අයද මෙය දකින්නට ඇත. එහෙත් කිසිවකුගේ මුවින් වදන් පිට නොවේ. එක් දැවැන්ත ගසක කඳක් අලීන් විසින් තම කය කසා ගැනීමට ඇතිල්ලීම කල ලකුණු පෙන්වයි. නොනැවතී ඉදිරියට ඇදෙනු විනා සිරි නරඹන්නට හෝ ඡායාරුප ගැනීමට කාලයක් නොවේ. ඒ සඳහා වෙලාවක් ගත හොත් වනයේ අතරමං වීම වැළකිය නොහැක.
මෙම ඡායාරූපය ඊට පසුදින ගන්නා ලද්දකි.

 තවත් විනාඩි කිහිපයකින් අප යම් විවෘත පෙදෙසකට ලගා විය. එය යම් තරමකට අස්වැසිල්ලකි. එම කොටස වනයට වඩා යම් තාක් දුරකට එළියකින් පවතී. මෙතන තිබෙන්න අලි ඇතුන් මෙන්ම වෙනත් සතුන් තම පිපාසාව සංසිදුවා ගන්නා දිය කඩිත්තකි. එය වැසි ජලය එක් රැස් වූ තැනක් නොව ස්වාභාවික උල්පත් සහිත මඩ ගොහොරුවකි. මීට සුළු වෙලාවකට පෙර මෙහි අලියෙක් ගමන් ගත් පා සටහන් පැහැදිලිව දක්නට ඇත. එය අප තුළ යම් භීතියක් උපදවයි. තණ පිට්ටනියක් සහ නිදිකුම්බා සහිත පෙදෙසක් පසුකර ගල්තලාව හරහා ගල්පර්වතය තරණය කර එහි මුදුනට වන් අප හාත්පස අසිරිය නැරඹීමට යම් කාලයක් ගත් අතර, සම්පාට වැසිකිළි අවශ්‍යතාවක් ඇති වී ගල් තලාවේ පහළට ගමන් ගත්තේ එම කණ්ඩායමේ තවත් කෙනෙකු සමගයි. අප සමග පැමිණි සමන් නොහොත් සුද්දා එම පතහාට කට තබා වතුර බී පෙන්වීය. මෙහි නාන්නට හැකිදැයි බොහෝ දෙනාට සැක පහළ වූ බව පැහැදිලිය. මේ හතරවටද අලිබෙටි තිබීමෙන් ඔවුන් නිතර ගැවසෙන තැනක් බවට සාධක සපයයි. පළමුව රත්නපාලා වතුර බාල්දි කිහිපයක් නාගන්නා අයුරු බලා සිටි අප අතරින් මුලින්ම බාල්දිය ගත්තේ මමය. ගෙම්බන් සහ ඩින්ගන් ගෙන් පිරී පැවතුනද එම වතුර ටික නාගත් විට විඩාව පහ වී අමුතුම සිසිලසක් දැනිණි. සම්පා වැසිකිළි අවශ්‍යතාවට පසු වතුර බාල්දියක් රැගෙන නැවතත් පල්ලමට බැස ඈතටම ගියේ අපගේ නඩයේ කැමරා වලින් ආරක්ෂා වීමටය. 

හේනේ හිමිකරු වන රූපයා නොහොත් රුපරත්න මේ හිනැහෙන්නේ වහිනවා යයි අපේ අය සහතික කර කී පසු ඇති වූ සතුට නිසාය.
මේ සියලුම කාලයේදී එක් අයෙක් ඉහළට වී අප දෙසත් කැලය දෙසත් නිරතුරු යොමා ගත් දෑසින් සිටියේය.
ඒ කදිරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාය. කෙතරම් වාර ගණනක් පොලීසියට හසු වුවද ඔහු මේ කර්මාන්තය අත් නොහරින බව අන් අයගේ කතා වලින් පැහැදිලි විය. රුපයා අහස දෙස යොමා ගත් දෑසින් සහ අපේක්ෂා බංගත්වයෙන් බලා හීදී. ඔහු බලා සිටින්නේ කොයි මොහොතේ හෝ වැසි දෙවියන් පොළොව සිප ගන්නා තුරුය. එසේ නැතිනම් රුපියල් දහස් ගණනක ආයෝජනය වතුරේ යන බව ඔහුගේ අදහසයි. අප පිටත් වන ගමන ආ මගට වෙනස් එකක් බව අපට පැහැදිලි විය. අප සිටින හේනට යා යුත්තේ යාබද අත් හැර දමා තිබෙන හේන හරහාය. අප එතනට පිවිසෙනවාත් සමග පිටුපස හැරුණු කදිරා තම මුවට දබරැඟිල්ල තබා නිශ්ශබ්ද්ද වන ලෙස සන් කළේය. ඔහුට පිටුපසින් මම හා සමපා විය. අප සිටින තැනට මීටර් දෙසීයක් පමණ දුරින් අලියෙකු සිටී. මා ජංගම දුරකථනයද, සමපා කැමරාවද මානා ගත් විට පිටුපස හැරී සියුම් කුන්චනාදයක් කරමි ඒකා තරමක් ඉදිරියට දිව ගොස් හැරී අපදෙස විමසිලිමත්ව බලා සිටී.
අලියා සහ අප අතර පරතරය මීටර දෙසීයක් වන්නට ඇත. 

 අපි හෙමින් සීරුවේ ඉදිරියටම ගමන් ගතිමු.  මේ අතර කොලුවෙක් මෙහා හේනේ මැහිතෙල් ඉසින යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩේ යෙදේ. අප ඔහුද පසුකර ගමන් ගතිමු. ගමේ අය මදක් නැවතී ඔහු සමග කතාබස් කල අතර අප නවාතැන් ගන්නා හේනට ඇදෙමින් සිටියෙමු. එක් වරම නැගුණු "ෆූස්" හඬින් කලබයට පත් සමපා ඉදිරියට දිවීය. නමුත් ඒ අර කොලුවා මැසිතෙල් යන්ත්‍රයේ අන්තිම කොටස කිහිප වරක් පැඩ්ල් කොට ගැසූ හඬය. එම කාරණය කාගේත් සිනහවට හේතු විය. 
අහම්බෙන් ගන්නා ලද මෙම ඡායාරූපයේ දකුණු පසට වන්නට අලියෙකු සිටින බව දුටුවේ පසුව කරන ලද සමීප නිරීක්ෂනයකිනි.

අප තෙත් වූ රෙදි වනා අවසන් වන විට පස්වරු පහ වන්නට ඇත. දැන් කෑම පිසින සුවඳ අප තුළ බඩගින්නක් ඇති කරයි. උණු උණුවේ බෙදූ මඤ්ඤොක්කා පිරවූ ප්ලාස්ටික් හා බෙලෙක් පිඟන් කිහිපයක් ට්‍රැක්ටර් ටේලරය මත එලූ ප්ලාස්ටික් පැදුරු මත තබා, බදින ලද කුකුල් මස්ද පිඟන් කිහිපයක තබා ගෙනෙන ලදී. සෝදා ගත් පුංචි වීදුරු ටිකද එතනට එක් විය. දැන් යම් සිසිලසක් දැනේ. වැහි වලාකුළින් බරිත වී තිබුණද වැස්ස ළඟා වන පාටක් නැත. අප ගෙනෙන ලද සුදු රම් බෝතල්ද, ගමෙන් එක් වූ අය වෙනුවෙන් ගෙනෙන ලද ගල් බෝතල්ද ටේලරය අරා සිටී. දර්බුකාවද එතනට ළඟා විය. සිහින් ගීත ගායනයත් සමග කට්ටිය ටිකෙන් ටික සප්පායම් වන අතර තවත් අමුත්තෙක් එතැනට ළඟා විය. ඔහුගේ නම කුමක්දැයි කිසිවකු කීවේ නැත. යාබද හේනේ සිටින දරු පවුල් කාරයෙකු වූ ඔහු සැන්ඩෝ යනුවෙන් කවුරුත් හඳුන්වන ලදී. ඔහුටද සංග්‍රය ලැබුණ අතර ගීත ගායනටද ඔහු එක් විය. මොහොතකදී අතුරුදහන් වූ ඔහු නැවත පැමිණියේ වේලන ලද ගෝන මස් කැබලි කිහිපයක් සහිතවය. අපේ අය ජැකට් පැළඳියද එතරම් සීතලක් නොවීය. ටික වෙලාවකින් කදිරා කට් වූ අතර, සංගීත සාජ්ජය නැගලා යනවිට ගායනයට මෙන්ම නර්තනයටද කදිරා සහ සැන්ඩෝ එක් විය. දර්බුකාව වාදනයට ඔවුන් උත්සාහ කළද එතරම් සාර්ථක නොවීය. අපටම එය වයන්නට සිදු විය. ටික වෙලාවකින් කදිරා වෙරි මතින් කියවන්නට පටන් ගති. 
සැන්ඩෝ ඉතා හොද ගායකයෙකි. ඔහුගේ මෙම ඡායාරුපය ගන්නවාට විරුද්ධ විය.
  කැලයේ මේ ගෙවා දමන්නේ තුන් වන මාසයයි. මේ වනවිට වලහෙකු පත බාවා ඇත. 

"කිරිපුතා(රන්තපාලට) උඹලා හිතාගෙන ඉන්නේ සල්ලි ලොකුයි කියලද ? . මට ඔය එකෙක්වත් ලොකු නෑ. "
ප්‍රදේශයට ආවේණික හඩකින් ඔහු කියාගෙන යයි. මෙවැනි කියුම් වලින් රාත්‍රී දෙක වනතුරුම පිරී පැවතින. අපගේ සංගීතය නවතින මොහොතක එය වඩා තීව්රව ඇසේ.  එවිට ඔහු නිහඬ වෙයි.  ඔහු පසු වන්නේ යම් හීනමානයකින් බව වැටහේ. විටෙක අපගේ කෙනෙකු සමගද කතාවට ආවද, රත්නයාගේ හඬින් ඔහු පල්ලම් බසී. තවත් පැයකින් පසුව ඔහු කබරයා දමන හඬ ඇසිණි. රාත්‍රී දහය වනවිට නිදියන ආකාරයක් අපට සිතා ගැනීමට අවශ්‍ය විය. මේ වනවිට රාත්‍රී අහාරයට බත් සහ පරිප්පු සමග සප්පායම් වූ අපේ බොහෝ දෙනෙකු එම පරිප්පුවේ රස වර්ණනා කරන ලදී. එය එතරම් රසවත් වීමට හේතුව ලෙස මා දකින්නේ එම දර වලින් නැගෙන රශ්නයයි. මේ පළාත් වල අය ලිපට දමන්නේද ඉතා වටිනා මෙන්ම හොඳ අරටු ඇති ගස් වල අතුය. බුරුත, නැදුම් වැනි ලී බඩු කර්මාන්තයට වැදගත් දැව මෙහි තිබුණද, ඒවා ගින්නෙන් අළු වනවා හැරෙන්න ලී ඉරීමක් සිදු නොකරන්නේ, එසේ වුවහොත් මේ අහිංසක මිනිසුන් කොටසට 2009 සිට රක්ෂිතයක හේන් කර ගන්නට ලැබුණු අවස්ථාවද ඇහිරෙන බැවිනි.  අප මදුරුවන් බලාපොරොත්තු වුදව, එසේ නොවීම සහනයකි. නමුත් ඊට වඩා කරදරයක් අපට සිදු කළේ කෝඳුරුවන්ය. ඔවුන් විත් මුව වටා කැරකෙන විට අපේ අයගේ කටවල් වලින් කුණුහර්ප පවා පිට විය. මගේ යෝජනාවකට අනුව, ට්‍රේලරේ දෙපස බඳින ලද කණු දෙකක, ඉහළින් අදින ලද තවත් ලණුවක් මතින් අප ගෙනෙන ලද ඉටිකොළ දමා තනන ලද පියස්ස පින්නෙන් ආරක්ෂා වීමට ඉවහල් විය. අප ඉතා සුව නින්දක් ලබා ගත්තේ මේ ට්‍රේලරය මතය. සමන් ඒ වනවිටත් වාඩියේ ලී මැස්ස මත නිදන්නට විය.
එම රාත්‍රීන් දෙක අපට සුව නින්ද සැපයූ ටේලර් තට්ටුව සහ අප නිමවා ගත් පියැස්ස.
අප ගෙනෙන ලද බෙඩ්ශීට් රැගෙන ඒ මතට වී නින්දත් නොනින්දත් අතරේ කතාබහක කාලය ගත කළෙමු. නමුත් ටික වෙලාවකින් දළුවත්ත සහ සමපා ගොරවන හඬ ඇසිණි. සුභාෂ් නිදන්නට පැමිණියේ රාත්‍රී දොළහට ආසන්න වෙලාවකය. රසික ගම්වැසියන් සමග සාකච්ඡාවක යෙදී රාත්‍රී දෙකට පමණ ට්‍රේලරයට ගොඩ විය. ඉටි කොළ දෙකක් අතරින් හැමූ ශීත සුළඟ සහ පෝයට පෙරදින නිසා එබී බලන සඳ ආවරණය තුළින් අප වෙත ඒ. එය සකසන්නට මට සිදු විය. 
අවසන් පැය කිහිපයේදී අඩු මට්ටමක ගින්නක් ඇතත්. මුල් පැය කිහිපයේදී දැඩි රස්නයක් විහිදුවයි. 

උදෑසන හතර වන විට එකවර හූ, හඩක් සහ කෑ ගැසීමක් නිසා අප සියලු දෙනා අවදු වී සිටියද, කිසිදු හැල හොල්මනක් නොවීය. විටෙක මෙය අප රවටන්න කරන විහිළුවක්ද යයි සිතේ. හතර වනවිට ඔවුන්ද නින්දට වන් නමුත් මා ඉස්සි ට්‍රේලරයෙන් පිටත හාත්පස දෙස බලා යළිත් නිදියාමේ අරගයලක යෙදුණි. යම් හෙයකින් මා සිට ගත්තා නම් එසැනින් වැසිකිළි අවශ්‍යතා ඇතිවන බව මා අත්දැකීමෙන් දන්නා නිසා නිසොල්මනේ වැතිර සිටියෙමි. මේ වනවිට අපගේ ගිනිගොඩ නිවී යන්නට ආසන්නයේ තිබේ. රත්නපාල සහ කදිරා නිදන්නේ බිමය. කදිරාගේ කන්දොස්කිරියාව නවත්වන්නට ඇත්තේ රාත්‍රී දෙකට පමණ බවද, ඉන් පසුව ඔහු කෑම කෑ බවද පසුව දැන ගන්නට ලැබිණි.
_____________________________________________
තුන්වන කොටසින් ඊළඟ දිනය සහ රාත්‍රිය බලාපොරොත්තුවන්න. දඩයක්කුරු අලි මන්තර දන්නා මුත් ඒවා පාවිච්චි නොකළේ, එසේ කළානම් අලියා දුවන හැටි දැක අප හිනා ගැස්සෙන බව පවසමිනි.  ඔහුගේ රාත්‍රී අඬහැරය හැරෙන්නට, මේ ජනතාව තුල පුදුම සමගියක් ඇත. එක් අතකින් ඔවුන් එකම පවුල් වල නෑදෑයන් වේ.
ප.ලි.: මෙහි පතහා වෙත ගිය කොටස තුන්වරක් ලීවද, බ්ලොගර් වෙත සේව් වී නොතිබිණි. හතරවෙනි වතාවේ යන්තම් සාර්ථක විය. 

Wednesday, October 2, 2013

පාර හොයා ගත්තාද ? .......

පහුගිය පොස්ට් එකෙන් මම ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක තිබෙන, ඉතා අඩුවෙන් ජනයාට විවර වූ පාරක් ගැන කතා කළා මතක ඇති. ඒ පාර ජපන් මිත්‍රත්ව පාර වශයෙන් බොහෝ දෙනා නම් කර තිබුණා. තවත් කෙනෙක් එය නිපොන් මාවත ලෙස හඳුනා ගත්තා.  ඇත්තටම මේ පාරවල් සියල්ල තියෙන්නේ කිට්ටුව. ඒ කිව්වේ දියවන්න ඔයාට යාබදව. මේ පාර හරියට හඳුනා ගත් දෙදෙනක් තිදෙනෙක් හිටියා. ඒ RAJ, Dr.Alban  සහ harshana1985 . රාජ්ගේ සහ ඇල්බන් දොස්තර මහතාගේ කමෙන්ට් මම සඟවා ගත්තා ඔබට තවත් වතාවක් උත්සාහ කරන්න. මෙන්න ඒ තිදෙනා  ලබා දුන් නිවැරදි පිළිතුරු.

පිටකෝට්ටේ බැද්දෙගාන සිට බත්තරමුල්ලෙ පාර්ලිමේන්තු වට රවුමට ඇති විකල්ප මාර්ගය. නම අමතකයි. ඔය පාර්ලිමේන්තු වට රවුමට අලුතින් කියන්නේ "බ්‍රෙසියර් හ0දිය" කියල. දියත උයනේ ඇති සුදු පාට වහලවල් බලන්න මොනවද මතක් වෙන්නෙ කියල. on මේ පාර කොහේදැයි කියන්න ......
Dr. Albanon 10/1/13



මෙක තියෙන්නේ පාර්ලිමෙන්තු පාරේ යකොට අර විදුලි බල මන්ඩලේ බිල්ඩිම ගාවින් අස්සට යන පාර නේව රාජගිරිය පැත්තේ ඉඳල් එනකොට දකිනු පැත්තේ පිරිවෙන හම්බෙනව නේව ඉට ටිකකට ඉස්සරහින් දකුනට නේද on මේ පාර කොහේදැයි කියන්න ......Rajon 10/1/13
අර හදන පාලම ලඟින් ඇතුලට යන්න තියන පාර නේ, හැමදාම ඔතනින් එහෙට මෙහෙට යනවා ඒ පාර දකිනවා කොහෙටද වැටෙන්නෙ කියල බලා ගන්න ඕන නිස ගියා ඒක දිගේ, සුපිරි ගෙවල් 2-3ක්, පොඩි ගෙවල්, නාන ළිඳක්, පොෂ් පංසලක්, වගුරු බිමක්...ඒ ඔක්කොම තියනවා,
ඒ දෙදෙනා නිවැරදිව හඳුනා ගත් පරිදි මෙය බැද්දගානේ බංගලා හන්දිය අසලින් පටන් ගෙන, ඇතුල් කෝට්ටේ විදුලිබල මණ්ඩල කාර්යාලය අසලින් කඩුවෙල කොළඹ මාර්ගයට එකතු වනවා. ඇත්තටම පැරණි කොටු බැම්මට පිටතින් මේ පාර නිමවා තිබෙනවා. මෙහි එතිහාසික පසුබිමක් තිබෙන්නත් පුළුවන්. තවමත් කබොක් ගලින් තැනූ ඒ කොටු බැම්ම තැනින් තැන දකින්න පුළුවන්. නමුත් එම කොටු බැම්මත් මෙම මාර්ගයත් අතර තීරුවේ ගෙවල් තනා තිබෙනවා. එකම එක ස්ථානයක පුරා විද්‍යා සංරක්ෂණ පුවරුවක් තිබුණා.

මා ලබා ගත් පළමු ඡායාරුපය මා ඔබට ඉදිරිපත් නොකළේ, එහි කෙලින්ම එම මාවතේ නම සඳහන් වන මේ ඵලකය අඩංගු නිසා. හැබැයි නිපොන් මාවත කියලා හඳුවන්නෙත් මේකම තමා(මට හිතෙන්නේ ඒක කලින් පාවිච්චි කරපු නම හෝ ඇතුල්කෝට්ටේ පැත්තේ තියෙන නම). ඒ නිසා ඒ අයත් නිවැරදියි.

මෙන්න මම ගිය සිතියම. 
මේ මගේ ජංගම දුරකථනයේ තිබෙන SportsTracker නමැති මෘදුකාංගය භාවිතා කරමින් ලබාගත් ගමන් මගේ සිතියම.

Sunday, March 31, 2013

බඩ අඩු කර ගන්න කැමතිද ?

බ්ලොග් ලියන අපේ තරියා, ඒ කියන්නේ තරිඳු අබේසිංහ මේ දවස් වල ඇඟ අඩු කර ගන්න පුදුම උත්සාහයක යෙදෙනවා කියලා එයත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙලා ඉන්න කවුරුත් දන්නවා. බඩ අඩු කර ගන්න නම් කෙනෙකුට අන්න ඒ වගේ උනන්දුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් දවසක් චැට් කර ගමන් තරියා මගෙන් ඇහුවා බඩ අඩු කර ගන්න මොනවද කරන්න ඕනේ කියලා. මම කිව්වා ඕක වචනෙකින් දෙකකින් විස්තර කරන්න බෑ. මම පොස්ට් එකක් දානම් කියලා. තරියටත් මේක අමතක වෙලාද මන්දා ? ඇහුවේ නෑ ඊට පස්සේ. මටත් අමතක වුනා. 

මටත් මේ කාලේ ශාරීරික ව්‍යායාම කරන්න බැරි වුණා. අද උදේ කාලෙකට පස්සේ කරන්න හිතුනා. ඒ වගේම මගේ දුවත් නැගිටලා හිටියා. එයාට පින්තුර ගන්න ඕන විදිය කියා දීලා මම පටන් ගත්තා. ආ එක දෙයක් කියන්න තියෙනවා. මේවා කරන්න කලින් ඇඟ උණුසුම් කරන (Warm Up) ව්‍යායාම කරන්න ඕනේ. මතකනේ තරියා ගම්පහදී ඇඟ උණුසුම් කරගන්න කියල ස්ලෝ මෝෂන් එකේ ආව විදිය.


මේ ව්‍යායාමය හැම කෙනෙක්ම දන්නවා ඇති. කුඩා කාලේ කරලත් ඇති. මේක මම කරන්නේ ටිකක් වෙනස් විදියයකට. මෙතනදී තමන්ගේ පස්ස පැත්ත විතරයි බිම තියෙන්නේ. හිස සහ පපුව කොටසත් අඟල් හයක් විතර උස්සනවා. අමාරු නම් මුලින් පිට බිම ගාවගෙන ඉන්න.  දෙපා එකිනෙක ලං කරලා(පාදයේ සිට ඉහලට තද කරගෙන) පින්තුරයේ පේන ආකාරයට දෑත් හිස මත තබාගෙන, දෙපා අඟල් හයක් විතර උසින් තබාගන්න ඕනේ. විනාඩියක් ඉන්න පුළුවන් වෙනකොට ඔයාලගේ බඩ අඩු වෙලා තියෙන්න ඕනේ. හැබැයි මේ ව්‍යායාම කරත්දී තමන්ව රවටගෙන වැඩක් නෑ. හරියට කරන්න ඕනේ. හිත අරෙහෙ-මෙහෙ යවන්නේ නැතිව බඩටම යොමු කරන්න ඕනේ. මුලින් නම් තප්පර දහයක් හිටියත් ඇති ක්‍රමයෙන් දරාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙයි. හැබැයි දිනපතාම කරනවා නම් තමයි හොඳ. අඩුම ගානේ එකදිගට දවස් හතරක් වත්. ඉතාම වැදගත් දේ තමයි දනිස් වලින් දෙපා නවන්නේ නැතිව ඉන්න ඕනේ.


දෑත් හිස මත තබාගෙන ඉන්න අමාරු නම් මේ විදියට ඉන්න. 


යෝග ව්‍යායාමත් මේ අතරට කරන්න මම එක්තරා කාලයකදී පුරුදු වුනා. මේ කරන එක ඔයාලට තේරෙනවනේ. යටිපතුල් දෙක එකිනෙක තදකරලා දෑතින් පුලුවන් තරම් ලං කර ගන්න ඉකිලි ප්‍රදේශයට.  පිට කොන්ද සෘජුව තබාගෙන හිස මදක් උස්සලා සාමාන්‍ය විදියට හුස්ම ගන්න. මේකෙන් හුඟාක් අසනීප හොඳ වන බව පිලි ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට හුඟාක් හොඳ එකක්. 


 ඊළඟ ව්‍යායාමය පහසු එකක්. පලවෙනි එකේදී වගේ දෙපා අඟල් හතරක් විතර උස්සගෙන එකක් ඉහළටත් එකක් පහළටත් යවන්න ඕනේ. පුළුවන් තරම් වෙලා කරන්න. බඩ ටිකක් රිදෙයි ගණන් ගන්න එපා.
 බඩට එක දිගට ව්‍යායාම කලොත් බඩේ මස් පිඩු පෙරලෙන්න පුළුවන්. ඒ අතරට කරන තවත් ව්‍යායාමයක් තමයි මේක. මේ වෙලාවේදී බඩ සැහැල්ලු(Relax) කරගෙන කරන්න. නැත්තම් අමාරු වෙයි. කකුලේ ඇතුල් ප්‍රදේශයේ තිබෙන පේශි වලට මේකෙන් හොඳ ශක්තියක් ලැබෙනවා. පුළුවන් තරම් වෙලා ඉන්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න. දිග අරින කකුලේ ඉහලටම අනිත් කකුල නවලා මේ පේන ආකාරයට තබාගන්න. නවාපු කකුලට බර දීල ඉන්න. 

 මේ තුන්වෙනි එක. මේකෙදී දෙපාඅඩියක් විතර උස්සලා පහල පින්තුරේ විදියට චලනය කරන්න. පුළුවන් තරම් වෙලා කරන්න. මේකේ වීඩියෝ එකක් ගන්න තිබුනම් තමයි හොඳ. කාට හරි පැහැදිලි නැතිනම් එකක් අරන් දාන්නම්.
පින්තුරය ගත්තේ : careertalk.ou.edu


මේකෙන් මට හිතෙන්නේ කලින් වතාවේ නොපෙනෙන නවන පාදය තබාගන්න ඕනේ අකාරය පේනවා. මෙහෙම පුළුවන් තරම් වෙලා ඉන්න. මමත් කාලෙකින් කරන නිසා ටිකක් ඇඟ හොර වෙලා. වම් ඇත තව අඟල් හතරක් විතර ඉදිරියෙන් තියලා තව පොඩ්ඩක් නැවෙන්න පුළුවන් නම හොඳයි. 

අනිත් ඒවාට මම වීඩියෝම  ගන්න හිතුවා. මේකෙන් තව එක දෙයක් මම ඉගෙන ගත්තා. ඒ මොබයිල් එකෙන් වීඩියෝ එඩිට් කරන්න. මගේ දුව තවත් දිගට මේවා අරන් තිබුණා. අනික එකම දේ මම කරපු මුළු කාලයයම දැම්මොත් ඔයාලගේ දත්ත ප්‍රමාණයට තමයි තට්ටු වෙන්නේ. 




මේක ගැන වැඩි විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මෙහෙම කරන්න පහසු වෙන්නේ දෑත් මත ඔබේ පසුපස කොටස තබන්න ඕනේ. නැත්නම් එහා මෙහා යනවා. අනිත් එක බඩට දැනෙන ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවන්.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 




මේ එකේම අනිත් පැත්ත මෙතදී වඩාත්ම හොඳ දනිස් වලින් දෙපා නොනමා මේ ව්‍යායාමයේ යෙදෙනවානම්. ඒත් මේ දවස් වල මගේ ශරීරයේත් බර වැඩි නිසා පොඩ්ඩක් දනිස් වලින් නැවෙනවා.  මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේක තමයි බඩට හොඳටම දැනෙන ව්‍යායාමය. පුළුවන්තරම් වේගය අඩු කරමින් තමයි මේක කරන්න ඕනේ. මම මේක 15 වතාවක් විතර කරනවා. එය හොඳ ගණනක්. මුලින්ම අමාරු නම් 5කින් හරි පටන් ගන්න. 

මේ ව්‍යායාම දෙකක් අතර තප්පර 30 කට වඩා විවේක (Rest) ගන්න එපා. 

මේ සේරම වැඩ ටික කරේ Nokia N8 කියන මගේ ජංගම දුරකතනයෙන්. එහි HD වීඩියෝ රේකොඩින් සහ 12mp කැමරා එකක් තිබෙනවා. මේ තරම් පැහැදිලිව ඡායාරුප ගන්න පුළුවන් වුනේ ඒ නිසා. 

මේ තියෙන්නේ පහසුවෙන්ම කර ගන්න පුළුවන්, ඉතාම මුලික මට්ටමේ ව්‍යායාම ටිකක්. තව අමාරු ඒවා තියෙනවා. ඔබේ දෙපා වලින් ඔබේ නම ලියනවා වගේ ඒවත් පුළුවන් නම් කරන්න. 

මතක තබා ගන්න මේ ව්‍යායාම කල පසු මද වෙලාවක් විවේක ගන්න. ඔබේ ශරීරයේ උෂ්ණත්වය තිබෙන විට ඇඟ සේදීම කරන්න හොඳ නෑ. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...