Showing posts with label මගෝඩි වැඩ (Humours). Show all posts
Showing posts with label මගෝඩි වැඩ (Humours). Show all posts

Monday, May 19, 2014

ගල් වගේද රෙඩ් ලේබල් ? ...... Red Label is better than Extra Special.


මේ පින්තූරේ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ ? ඉබ්බෙක් ඇරියොත් සාමාන්‍යයෙන් මෙහෙම තියන්නේ නෑ. මෙහෙම තිබ්බම කාට හරි මේක උස්සන් යන්න පුළුවන්. ඒ වගේමයි ඉන්න කෙනාව ඇතුලේ තියලා ලොක් කරන්නත් පුළුවන්. තවත් නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මේක දැක්කම මටනම් අපේ ශාඛාවක අසූවේ මුල් දශකයේ වුණු කතන්දරයක් මතක් වුණා. ඇත්තටම මේක මම අත්දුටු දෙයක් නොවුනත්, අද ජීවතුන් අතර නැති ගාමිණි නමැති පැරණි සේවකයෙක් මගේ කනේ තිබ්බ කතාවක් . එක පාරට සිහියට ආවා. 

කලින් කිව්වා වගේ මේ වැඩේ වෙලා තියෙන්නේ අසූව දශකයේ මුල් කාළයේ. ආර්ථිකය විවෘත කරලා අවුරුදු කිහිපයයි ගියේ. ඒ වෙනකොටත් පැවතී සංවෘත ආර්ථිකය යටතේ තිබුණ විදියමයි. සමහර දේවල ලංකාවට ආවේ බොහොම මන්දගාමීව. විස්කි කියන මත්පැන් වර්ගය ඒ කාලේ සුඛෝපබෝගී භාණ්ඩයක්. ඉතිං බාර්/වයින් ස්ටෝර්ස් වල මේවා සුලභව තිබුණේ නෑ. කෙනෙකුට මුදලට ගන්න නැති තරම්. ඒ කාලේ ඉතිං බොහෝ දෙනෙක් කියපු මන්තරේ තමයි "කොටියා පොල් ගහ යට ඉන්නේ පොල් වීරයා - දාන් ලෑල්ල වගේ ඉන්නේ ගල් මාරයා" කියන නිහාල් නෙල්සන්ගේ ජනප්‍රිය ගීතය. මට මතකයි තැඹිලි පාට මූඩියක් තියෙන බෝතලයක් තාත්තලා ඒ කාලේ පාවිච්චි කළා. මම කරන්න ආවේ අරක්කු පිලිබඳ විග්‍රහයක් නොවෙන නිසා කියන්න ආපු කතාව කියන්නම්.

බැංකුවක සෙකන්ඩ් ඔෆිසර් කියන්නේ ඒ කාලේ බොහොම බලවත් චරිතයක්. දෙවෙනි නිලධාරියා අතේ තමයි බොහෝ ශාඛා වල පාළනය තිබුණේත්. ඒ කළමනාකාර තුමාට වඩා වැඩිමල් බොහොම අත්දැකීම සහිත අය මේ තනතුරේ හිටි නිසා. හරියට පොලීසියේ සාජන් මහත්මයා වගේ. බොහෝ නවක සේවකයා බොහොම බියක් දැක්වූවා මේ වගේ අයට. අපේ හිතවතා ගාමිණි මහත්මයා කොළඹ එක්තරා ශාඛාවක වැඩ කරන කාලේ, ඉතිං කොත්තමල්ලි පානයට වුණත් බොහොම  නවක සේවකයන් පෙළඹෙනවා බොහොම අඩුයි. ඒ වුණත් එහෙම නොවුනෙත් නෑ. ඒ කාලේ ඉතිං රටබීම බෝතලයක් කියන්නේ මහා අරුමයක්. 

දවසක් ඉහළ පෙළේ ගනුදෙනු කරුවෙක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතාගෙන යම් භාණ්ඩයක් මේ දෙවෙනි නිලධාරියාගේ මෙසේ උඩින් තියලා ගියාළු. එහෙම කළේ තමන්ගේ සුහදත්වය පෙන්වන්න. ගනුදෙනු කරුවා විශ්වාස කලේ ශාඛාවේ ඔහුත් සමග ගැටෙන අයවත් එකතු කරගෙන මේක දෙවෙනි නිලධාරියා අනුමත කරාවි කියලා. එහෙම වුණාම රස්තියාදුවක් නැතිව වැඩ කර ගන්න පුළුවන් නේ. ගනුදෙනු කරුවාට යන්න ඇරලා, දෙවෙනි මහත්තයා කෙලින්ම තමන්ගේ මෙසේ පිටිපස්සේ තිබෙන කබඩ් එකට මේ මාහැඟි වස්තුව ප්‍රවෙසමට යවලා. දැන් ඉතින් කට්ටිය සුදානමේ ඉන්නවා අද හවසට මේකෙන් අනුමත වෙන්න. ඒ නිසා බොහෝ දෙනා කලින්ම තමන්ගේ වැඩ කටයුතු එහෙමත් හමාර කරලා. මේක ලැබෙනවා දැකපු අය අනිත් අයව ඉතා වේගයෙන් දැනුවත් කලේ, හවසට වැඩ ඇරිලා තමන්ගේ පෙම්වතිය එක්ක ජෝඩු දාලා යන්න බලන් ඉන්න අයට එහෙම බොරුවක් ඇද බාලා වැඩේට සෙට් වෙන්න ඉඩකඩ සලසා ගන්න.

මුළු බ්‍රාන්ච් ඒකෙම ඉන්න පිරිමි කට්ටිය රට කොත්තමල්ලි වලින් සන්තර්පණය වෙන්න සුදානමින් ඉන්නකොට, තමන්ගේ කබඩ් එක ලොක් කරපු සෙකන්ඩ් ඔෆිසර් කඩිමුඩියේ මැනේජර් උන්නැහේගේ කාමරයට දුවනවා කව්රුත් බලාගෙන. බොහෝ දෙනෙක් විශ්වාස කලේ අද වැඩේ වේලාසනින්ම පටන් ගනී කියලා. මැනේජර් මහත්තයත් එක්ක සුළු මොහොතක් කතා කරලා, එලියට ආපු දෙවෙනියා බෑග් එක අතට ගන්නකොට කට්ටියට දවල් තරු පෙනුණා. 

"මම අද හදිසි වැඩකට ෂෝර්ට් ලීව් එකක් යනවා"

කියපු දෙවෙනියා හිමිං මාරු වෙන දිහා බොහෝ දෙනෙක් දත්කුරු කමින් බලාගෙන උන්නා. 

"මේ යකා අමු කුම්මැහියා. මේකා හදන්නේ අපිට නොදී මේක තනියම බොන්න" කෙනෙක් කිව්වා. ඒ කථාවත් බොරුවක් නොවෙන වග අත්දැකීමෙන් දන්නා කිහිප දෙනෙක්ම උන්නා. මේක අපිත් එක්ක බෙදා නොගෙන බිව්වොත් හොඳ පාඩමක් උගන්නමු කියලා කිහිප දෙනෙක් දිවුරුවා. දවස් කිහිපයක්ම මෙහෙම ගත වෙලා ගියත් සෙකන්ඩ් ඔෆිසර් කාරයා නෙවෙයි මේ ගැන කටක් ඇරලා කථා කලේ. දැන් කට්ටියට වැඩේ හොඳටම පැහැදිලියි. මේ අතරේ මේකට ඇහැ ගැහගෙන හිටිය කෙනෙක්‌, බෝතලේ ජොනී වෝකර් රෙඩ් ලේබල් ලීටරේ එකක් බවත්‍, ඊයේ හවස් කුඩා බෝතලයකට එයින් කොටසක්  පුරවා ගන්නවා තමන් දුටු බවත් අනෙක් අයටසැල කර සිටිනවා. දැන් නම් තමන්ට විස්කි රස බලන්න අවස්ථාව නොලැබෙන බව බොහෝ දෙනෙකුට වැටහී ගියා. 

මේ මනුස්සයා කොහේ ගියත් කබඩ් එක ලොක් කරනවා. උදේ ආපු ගමන් කබඩ් එක ඇරලා තමන්ට අවශ්‍ය දේ ගන්නා ඔහු, සැනෙකින් කබඩ් එකේ ඉබ්බා දමා වසා දමන්න වග බලා ගන්නවා. මෙයට වැඩේ දෙන්න සැලසුම් කරගෙන සිටි අය ඉතාම සෝදිසියෙන් හිටියේ, කොයි මොහොතක හෝ සෙකන්ඩ්  ඔෆිසර්ට මේ ලොක් කිරිල්ල අමතක වෙයි කියලා. එක දවසක්වත් හවසක  ප්‍රධාන කාර්යාලයෙන් ආපු දුරකථන ඇමතුමකට දුවගෙන යන දෙවෙනියා දුටු එක් අයෙක්‌ තමන්ගේ සැලසුම ක්‍රියාත්මකයි කරන්න ශාඛාවේ හත්වෙනි ශ්‍රේණියේ සේවකයාට පණිවුඩය දුන්නා. වහා දිව ආ පියන් උන්නැහේ කබඩ් එකේ සොයිබයේ එල්ලෙන ඉබ්බා ඉවත් කොට සමාන වෙනත් ඉබ්බෙක්‌ එය මත රැඳවූයේ වෙනසක් නොදැනෙන ආකාරයට. තවත් මිනිත්තු කිහිපයකින් තම අසුනට ආ දෙවෙනි නිලධාරියා සුපුරුදු පරිදි වැඩ අවසන් කර කුඩා කුප්පියට තමන්ගේ දෛයිනික විස්කි සලාකය පුරවා ගත්තා. ඔහු සැලසුම් කරගෙන සිටියේ මාස කිහිපයක් එසන්ස් කුප්පියකට පුරවා ගෙනගොස් මෙය භාවිතා කිරීමට. 

සූපුරුදු පරිදි හවස හතරයි හතලිස් පහට සෙකන්ඩ් ඔෆිසර් මහත්මයා පිටවී ගියා. වහා ක්‍රියාත්මක වූ පිරිස අවශ්‍ය අඩුම කුඩුම එක්රැස් කර ගත්තා. තම අත වූ යතුරෙන් පහසුවෙන් ඉබ්බා ඇරගත් පියන් වරයා, ඉතා සීරුවෙන් මේ මාහැඟි වස්තුව එලියට වැඩමවාගෙන ආවා. වෙනත් බෝතලයකට ඉතිරි වී තිබූ විස්කි තුණ්කාල හිස් කොට, මොහොතකට පෙර ගෙන ආ ගල් බෝතලයෙන් අදාල ප්‍රමාණය පුරවනු ලැබුවා. යලිත් ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපරේ කවරයේ දවටා විස්කි බෝතලය අදාල ස්ථානයේ ස්ථානගත කළා. ඉන්පසු සෙකන්ඩ් ඔෆිසර් මහතාගේ නියමිත ඉබ්බා දමා කබඩ් එක ලොක් කරනු ලැබුවා. කට්ටිය ඉතාම සහයෝගයනේ මේ තුන්කාල බෙදා හදාගෙන අනුමත වුණා. පහුවදා ඉඳලා කිසිම වෙනසක් නැතිව දෙවෙනියාත් සමග වැඩ කටයුතු කරන්නත් වග බලා ගත්තා.

ඉන් ටික කලකට පසු  දෙවෙනි නිලධාරියා ශාඛාවේ පාටියක් තිබෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් කළා
"මල්ලි ඔය විස්කි තියෙනවා නේද, ආයේ අරක්කු වගේ නෙවෙයි කිසිම කරදරයක් නැති බීමක් තමයි. සුද්දෝ ඕවා හදලා තියෙන්නේ ගානට බීලා - ගානට සූර් වෙලා ඉන්න. අපේ අරක්කු වගේ බිව්වම ගඳ ගහනවා කියලද, පහුවදාට හිසේ රදේ කියලද, මේ කිසි කරදරයක් නෑනේ"
දන්න කට්ටිය මේ දෙකේ වෙනස ගැන පසුව අහුමුලු වලදී සාකච්ඡා වුණා.  

Wednesday, March 26, 2014

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වෙලා ..... A/L Chemistry Paper Out ....

මේ මාතෘකාව දුටු විට  ඔබේ සිතේ ඇති වන ප්‍රහේලිකාව වටහා ගැනීමට අපහසු නැත. මාර්තු මාසයේ උසස් පෙළ විභාගයක් සාමාන්‍යයෙන් නොපැවැත්වෙන බව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු දනී(එහෙත් එක් වසරක කුමන හෝ කාරණයක් මත අප්‍රේල් නිවාඩුවේදී උසස් පෙළ විභාගයක් පැවති බව සිහින් මතකයක් ඇත). නමුත් මා අද සටහන් තබන්නට යන්නේ   වර්තමානයේ හෝ පසුගිය වසර කිහිපය ඇතුලත සිදු වූ සිදුවීමක් නොව මීට කලකට පෙර මා උසස්පෙළ හදාරන යුගයේ මගේ අත්දැකීමකි. ඒ එම  වසරේ  ජූලි මාසයයි. එය වුවත් අද හෙළි කිරීමට තරම් ඥානාන්විත කරුණක් නොවන බව ඔබට පැහැදිලි කරුණකි. මේ වනවිට එම  වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් අයගේ දුවා දරුවන්ද සරසවි වරම් ලබන්නට කාලය වී හමාරය. කෙසේ නමුත් එම ප්‍රශ්නපත්‍රය පිට වීමේ සම්පූර්ණ වගකීම මා සතු වන නිසා එය මෙසේ ලියා තැබීමට වටිනා කරුණකි. 
sri lanka students discussing advanced level paper
පින්තූරය ගත්තේ : www.infolanka.com

මෙය මාගේ මතකයේ තිබුණ කරුණක් බව ඊයේ දහවල් කාලය වනතුරු මට නොදැනින. එම මතකය අවදි වන්නට හේතු වූයේ මගේ කාර්යාල මිතුරියක් දිවා විවේකයේ පැවසූ අගනා කතාවක් නිසාය. අවුරුදු පහක් පමණ වයසැති ඇගේ කුඩාම දියණිය අපගේ කාර්යාලය ඉදිරිපිටම ඇති අන්තර්ජාතික පාසලට අනුබද්ධ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට රැගෙන යාම  අගේ දෛනික චර්යාවේ කොටසකි. එවැනි අවස්ථාවක ඇගේ කන වැකුණු ඔපාදුපය ඉතා රසවත් කතාවකි. ඒ තම නිවසේ කිරීමට කිසිදු රාජකාරියක් නොමැති, මෙවැනි පාසල් වල ගේට්ටු මුර කරන මව් වරුන්ගේ සංගමය හා දොඩමළු වන්නට ලැබුණු අවස්ථාවක කන වැකුණු නැවුම් ප්‍රවෘතියක් නිසාය. ඇයට නම් මේ ඕපාදූප ගෙන දුන්නේ ප්‍රීතියකි. ඒ ඇය මෙහි යාවජීව සාමාජිකාවක් නොවන හෙයිනි. ඇගේ කන මේ ප්‍රවෘත්තිය තබා ඇත්තේ එතැන දෛනිකව රස්තියාදුවේ යෙදෙන මවකි. එම ප්‍රවෘත්තිය මෙසේය;  අවරුදු පහක් පමණැති මේ කුඩා දරුවන්ට වාර විභාගයක් පවත්වන බවත්, එක් පන්තියකට ඊයේ සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වූ බවත්, අද ඔවුන්ගේ දියණියන්ගේ පන්තියට විභාගය පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍රය ඊයේ දුන් එකම වීම නිසා සමහර දරුවන්ට එයින් වැඩි ලකුණු ගන්නට අවස්ථාව උදා වී ඇති බවත්ය. ඊයේ පන්තියට "ර" යන්නනේ වචන ලියන්නට දී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය ඡායාස්ථ පිටපත් කර සමහර මවුවරුන්ට ලබා දී ඇති නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බවය. 
"රයන්නෙන් වචන ලියන්න දුන්නම ඉතින් රට කියලා ලියනවා ඇරෙන්න මේ පොඩි ළමයි රඹුටන් කියලා ලියනවාද ?"
යනුවෙන් එම මව වැඩිදුරටත් පවසා ඇත. මගේ මිතුරිය පවසා ඇත්තේ තම දියණියට අකුරු ඉගෙන ගැනීමට නොහැකි වුවත් කමක් නැත යන්නයි. 

ඒ අතුරු කතාව නොලියාම සිටින්නට බැරි නිසා මෙහි සඳහන් කලේ, මා පවසන්න යන කතාවට මුලාරම්භය එමගින් ලැබුණු නිසාය. උසස් පෙළ විභාගය ලියන්න සතියකට දෙකකට කලින් පවත්වන මේ විභාගය ලියන්න ඉදිරිපත් වුයේ මගේ පන්තියේ සිවු දෙනෙකි. අනෙක් අය එය මග හැර සිටියාද, නැතිනම් මෙමගින් මානසිකත්වය අවුල් වේ යයි බියෙන් එයට මුහුණ නොදුන්නාද, මුදල් හිඟකම නිසා අමතක කර දැමුවාද යන්න පිලිබඳ නිසි මතකයක් මට නැත. නමුත් එම කාරණා තුනම අඩු -වැඩි වශයෙන් ඊට මුල් වූ බව සඳහන් කල යුතුය. ටෙරන්ස් නමැති මගේ මිතුරා ඉන් තුන්වන කාරණය නිසා එම විභාගයට මුහුණ නොදුන් බව නම් මම සහතිකවම දනිමි. අතුරු කතාවක් වුවත්, ටෙරන්ස් ගැන යාම සටහනක් කල යුතුමය. ඔහු සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවේ, අප පාසල අසලම පිහිටා ඇති කටුකුරුන්ද විදුහලෙනි. උසස් පෙලට කළුතර මහා  විද්‍යාලයට එකම දිනයක මමත්, ටෙරන්ස් සහ තවත් කිහිප දෙනෙකු ඇතුලත් වූයෙමු. එතැන් පටන් ටෙරන්ස් මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු විය. එනිසාම ඔහුගේ ගෙදර දොර විත්ති සහ ආගිය තොරතුරු බොහොමයක් හෙතෙම මා සමග පැවසූවේය.

ටෙරන්ස් ජීවත් වූයේ කටුකුරුන්ද නමැති කොළඹ - ගාලු පාරේ කළුතර නගරය පසු කළ ගමන්ම හමුවන අර්ධ නාගරික මංසන්ධිය වටා ගොඩනැගුනු ප්‍රදේශයේය. මතුගම පාර, ගාලු පාර සමග එක් වන්නේ කටුකුරුන්ද හන්දියේදීය. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන්ද, සිංහල කිතුණු බැතුමතුන්ද, මුස්ලිම් ජනතාවද සම සමව වාගේ සහජීවනයෙන් වාසය කරති. ඉඳහිට ගැටුමක් ඇති වුවත්, එකිනෙකා හඳුනාගෙන, එකිනෙකා සමග මිශ්‍රව මෙහි ජනතාව වෙසෙති. මගේ මිතුරා තරමක් දිළිඳු පසුබිමක් ඇති අයෙක් බව වටහා ගන්නට, ඔහු ලඟින් ඇසුරු කල මා හට තේරුම් ගැනීමට වැඩි කලක් ගත නොවීය. හැකි අයුරින් ඔහුට සහනයක් කරන්නට මා මෙන්ම බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට මෙන්ම නැරඹීමට හෙතෙම දක්වන ලද කැමැත්ත අප දෙදෙනා සමීප කරන්නට හේතු විය. ටෙරා සැබවින්ම අවිහිංසකකි. ඔහුගේ නිතරම සිනහාබර මුහුණ සහ ප්‍රියමනාප කථාව ඊට සාක්ෂි සැපයීය. නමුත් ඊට යටින් ඇති ටෙරාගේ දුක්ඛිත කථාව ඇසට කඳුළු නන්වන්නකි. නමුත් ක්‍රිකට් සහ පාපන්දු ඔහුගේ සතුට සහ ජීවන බරටද පිටිවහලක් සපයා තිබුණි. සෙනසුරාදා පැවැත්වෙන ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ අමතර පන්තියට ඔහු එන්නේ දහඩිය පෙරාගෙනය. ඒ උදේ වරුවේ කටුකුරුන්දේ හෝ පයාගල පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගයක් විනිශ්චය කිරීමෙන් අනතුරුවය. මුළු ඉරිදා දිනයම තරග විනිශ්චයට කැප කරන ටෙරන්ස් තම ක්‍රීඩා කිරීමේ ආසාව ආයාසයෙන් යටපත් කර ගන්නේ ඒ සඳහා ලැබෙන ගාස්තු මගින් තමන්ගේ අමතර පන්ති ගාස්තුව පියවීමට යොදා ගන්නා උදාර පරමාර්ථයෙනි. මා ඉතසිතින් ටෙරාට සරසවි වරම් පැතුවද, එකල පැවතී වාතාවරණයත් සමග අප පන්තියෙන් සරසවි වරම් ලබන්නට සමත් වූයේ එක් අයෙකි. 

අජිත් මහින්ද, චන්දන, ජනක සහ මා කළුතර අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන දිස්ත්‍රික් මට්ටමේ වාර විභාගයට මුහුණ දුන් සිව් දෙනාය. අප හතර දෙනෙකුට විභාගය පැවැත්වීම ඉතා පහසු කටයුත්තක් නිසා එකල අපට සිප්සතර කියාදුන් ගුරුවරුන්ටද මහත් අස්වැසිල්ලක් විය. මාලදිවයිනේ ඉගැන්වීමේ රැකියාවන් කල ගුරුබවතුන් දෙදෙන්ක්ම මට හමු වුයේ මේ විදු පියසේය. නන්දාවතී ගුරු මහත්මිය(මෙනෙවිය) අපගේ ඉංග්‍රීසි ගුරුවරිය  වශයෙන් කාලයක් අප හා කුළුපග වී සිටියද, ප්‍රනාන්දු ගුරු මහතා එහි ව්‍යවහාරික ගණිත ගුරුවරයා වශයෙන් අප හා එක් වූයේ අවසාන් මාස කිහිපයේය. ඒ වනවිටත් ඔහු ප්‍රදේශයේ දස්කම් දැක්වූ ගුරුබවතෙක් විය. නමුත් ඔහුගේ හිඩැස පිරවීමට ධර්මලතා ගුරුතුමිය අප හා එක්වූවද, ඇයගේ විෂයපථය වූයේ රසායන විද්‍යාවයි. මුලදී ඇයට අමාරු ගණන් සාදා පෙන්වීමට මා සහ චන්දන සමත් වූ අවස්ථා තිබුණි. ඇයද අපගෙන් විමසන්නට තරම් නිහතමානී විය. අපේ පන්තිභාර ගුරුවරිය වූ ඇයට අප හැර යන්නට වූයේ ප්‍රනාන්දු ගුරු මහතාගේ ආගමනයත් සමගය. මටනම් ඔහුගේ ඉගැන්වෙම් රටාව හෝ ඇගයීම එතරම් දිරවූයේ නැත. ඔහු අපගෙන් ඉතා වේගවත්ව ගැටළු විසඳීම බලාපොරොත්තු වූ අතර අතැඹුලක් සේ ඇති ගණිත ගැටළු කළුලෑල්ලේ ලියාගෙන යන්නේ යන්ත්‍රයක් පරිදිය. එම විභාගයේ ප්‍රශ්නපත්‍රය ඇගයු ඔහු මගේ මානසික මට්ටම ඉතා පහලට දමන ආකාරයේ ප්‍රකාශයක් කළ අතර මා එය තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ මා පිලිබඳ හොඳ තක්සේරුවක් මා තුල තිබූ නිසාය. අනෙක් අතින් මා පුද්ගලික අධ්‍යාපනය ලැබූ නන්දසිරි ගුරු මහතා ඒ වනවිටත් මා ගැන ඉතා ඉහළින් ඇගයීම් කර තිබූ නිසාය. 

මගේ මතකය නිවැරදි නම් එය සිකුරාදා දිනයකි. මේ වනවිට එක් ප්‍රශ්ණ පත්‍රයකට අප මුහුණ දී තිබුණි. එදින අපට නියමිතව තිබුණේ  ශුද්ධ ගණිතය විෂයයි. විභාගය ලියන හතරදෙනාට අමතරව පන්තියේ සියළුම දෙනා නොවරදවා පාසැල් පැමිණීය. එය බොහෝ දෙනාගේ ජීවන පුරුද්දකි. අප හතර දෙනා නියමිත වෙලාවට පැමිණෙන තෙක් අප රසායන විද්‍යා ගුරුතුමිය වූ සොයිසා මහත්මිය, සිව් දෙනෙකෙකුට සෑහෙන පාසලේ කුඩාම මුල්ලක සාදා තිබූ විභාග කාමරයට වී සිටියාය. බොහෝවිට මුහුණේ සිනහවක් දකින්නට නැති ඇය, ඒ දිනවලදී අප දුටු විට මුවගට සිනහවක් නගා ගත්තේ, පාසල නිමවී තම දරුවන් නිවසට පැමිණෙන විට බලා සිටින මවක මෙනි. වැඩි කථාවක් නැතිවම අප අසුන් ගෙන අවසන් වීමට ප්‍රථම ඇය ප්‍රශ්න පත්‍රය අපගේ මේස මත තබා
"මේක ඒලෙවල් වලට කලින් තියන අන්තිම විභාගේ නිසා හරියට ලියන්න, කොපි කලොත් වැඩක් වෙන එකක් නෑ"
යනුවෙන් පවසා ශාලාවෙන් පිටවී ගියාය. ඉන්පසු අපට කථා නොකර සිටීමට උගහටය. ඒ අප වෙත ලබා දී තිබුණේ ඇයගේ විෂයම වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය බැවිණි. ඇය ශාලාවේ නොමැති වුවත් ඉතා පහත් හඬින් කතා කරන්නට අප වග බල ගත්තේ, එතැනින් යන වෙනත් ගුරුවරයෙකු නිකමට ගොඩ වුවහොත් ඇතිවන තත්වය දන්නා නිසාය. තවමත් අපට උසස් පෙළ විභාගයේ ඇතුල්වීම්පත  ලැබී නොමැති නිසා මේ දිනවල සියළු සිසුන් ඉතා විනීතව හැසිරෙන ආකාරය ගුරුවරුන්ගේද විමතියට හේතු විය. මේ වනවිට පාසලේ නොසන්ඩාල වැඩ කිහිපයක්ම(විමල්ගේ වික්‍රමය තව ලිවීමෙට බොහෝ දේ ඇත)  සිදු කර ඇති නිසා අප කෙරේ ගුරුබවතුන් දැක්වූයේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. 
"මචං අද තියෙන්නේ පියෝ පේපර් එක නේද ?" කෙනෙකු විමසීය. 
"ඔන්න ඔහේ ලියපන් බං" තවත් කෙනෙකු පැවසීය.
මා හැරෙන්නට අනෙක් තිදෙනාම රසායන විද්‍යා විෂයට ඇලුම් කළ නිසා ගුරුතුමියට වසං කර එම ප්‍රශ්න පත්‍රයට ලිවීමට ඒකමතිකව තීරණය කළෙමු. අපට ලබා දී තිබුනේ පළමු ප්‍රශ්න පත්‍රයයි. දැන් සියල්ලන්ගේම සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා ගොසිනි. හේතුව සඳුදාට පෙර මෙය දිස්ත්‍රික්කයේ අනෙක් අය අතට පත් කළ හැකි බැවිණි. උදෑසන එකොළහමාර වන විට සියලු දෙනා පිළිතුරු බැඳ අවසාන වී තිබූ නිසා උත්තර පත්‍ර එකතු කරගත් සොයිසා මහත්මිය පිටව ගියාය. තවත් වෙලාවක් නොගෙන මමත් ජනකත් පාසලෙන් පිට වීමු. මට ගෙදර එනතුරු ඉස්පාසුව නොතිබිණි. ඒ අලුත්ගම මහ විදුහලේ බොහෝ සිසුන් ප්‍රමාණයක් මගේ මිතුරන් වූ බැවිණි. ඩන්කන් කුලසේකර මහතාගේ රසායන විද්‍යා පන්තියට අලුත්ගම මහා විද්‍යාලයේ සියල්ලන්ම වගේ පැමිණේ(ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා කියවන්න). එහෙත් මෙය මා කා අත තබම්ද ? යන ගැටලුව මගේ සිතේ ඇති කළේ ප්‍රහේලිකාවකි. "හරි අලුත්ගම බස් හෝල්ට් එකේ හමු වන පළමු කෙනාට දෙනවා" යනුවෙන් සිතාගෙන ජනේලයෙන් පිටතට දෑස් යොමා ගතිමි. 

අලුත්ගමදී කිසිවකු මුණ නොගැසිනි. මේ විභාග දිනයන් නිසා කවුරුත් රස්තියාදුවේ යන්නේ නැත. බොහෝ දෙනා තම නිවෙස් වලට වී පොත් පත් සමග කාලය ගත කරයි. අලුත්ගම සිට බෙන්තරට ඇති කිලෝ මීටර් එකහමාරක දුර පයින් යෑම මට කජු කනවා වගේ වැඩකි. වටපිට සිරිය නරඹමින් පාළම අසලට පැමිණෙන මා, පාළම ළඟදී මද විවේකයක් ගන්නේ මද්දෙදූව නමැති පාලම දෙක අතර පිහිටා ඇති කුඩා දූපත මතය. එහිසිට ගං කලපුවේ දෙපස කොහේ හෝ වේගයෙන් ගමන් ගන්නා බෝට්ටුවක් හෝ එයට අමුණා ඇති කඹයක එල්ලී දිය කපාගෙන යන විදේශිකයෙකු දෙස බලා සිටින්නට මම පුරුදු වී සිටියෙමි. අද එසේ රැදී සිටින්නට මගේ හිත ඉඩ නොදුන්නේ මගේ මිතුරකු අත මෙම ප්‍රශ්න පත්‍රය තබා ඔහු මවිතයට පත් කරන තුරු ඉස්පාසුවක් නොවූ බැවිණි. 

නිවසට පැමිණ බත් පිඟාන අහුරට දෙකට කා, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් දමාගෙන, ප්‍රශ්න පත්‍රය හතරට නවා සාක්කුවේ දමාගත් මා පාපැදියට ගොඩ වී හැල්මේ පෑගුවේ ලෙනාඩ්ලාගේ(විජේ අංකල්ගේ ඉංග්‍රීසි - පියාගේ රස කතාවකි) නිවසටය. බයිසිකලය නිවස ඉදිරිපස නතර කර ගෙට ගොඩ වූ මා, එහි සිටි ඔහුගේ මවගෙන් ලෙනාඩ් සිටින තැන අසා, ඔහු සිටින කාමරයට ගොඩ වීමි. ඒ වනවිටත් නළල රැලි ගන්වාගෙන ගණනක් දෙස යොමු වූ දෑස්ව ඔහු බලා සිටියේය. මා අසලට යනවිට හිස ඔසවා මද සිනහවක් මුවේ රඳවාගෙන මදෙස බලනවාත් සමගම මා සාක්කුවට අත අවා ප්‍රශ්න පත්‍රය ගෙන උවමනාවකට නැතිව ඔහුගේ මේසයට විසි කළේය. 

"ඇයි උඹ අරගෙන ආවේ. මම හවස ඒ පැත්තේ එන්න හිටියේ පේපර් එක ඉල්ලා ගන්න. කොහොමද ලේසිද ?"
"දිග ඇරලා බලපන්කො"
එය දිග හැර බැලූ ඔහු 
"අද පියෝ නේද තියෙනවා කිව්වේ"
"ඔව්. උඹලගේ ඉස්කෝලේ පියෝ දෙන්න ඇති. ඒත් අපිට දුන්නේ කෙමිස්ට්‍රි"

අප දෙදෙනාට සිනහව නතර කර ගන්නට බැරි විය. 
"මචෝ. මේක මම දුන්නා කියන්න එපා. කට්ටියත් එක්ක හෙමිහිට බලපන්"
මම නැවත ගෙදර ආවෙමි. සඳුදා උදේ ප්‍රශ්නපත්‍රයට මුහුණ දීමට අප විභාග ශාලාවට වී බලා සිටින විට,  සොයිසා ගුරු මහත්මිය වෙනුවට එහි ආවේ විදුහල්පති තුමාගේ පියන් වරයාය. 
"අන්න කට්ටියට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා"

එය අප බලාපොරොත්තුවෙන් සිටි තත්වයකි. මේ වනවිට අලුත්ගම මහා විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ නිවැරදි පිළිතුරු සහිත ප්‍රශ්න පත්‍රය අමුණා ඇති බව දැනගන්නට ලැබිණි. ඉරිදා හවස වනවිට එම ආරංචිය ලැව් ගින්නක් සේ පුනරීක්ෂණ පන්ති වල පැතිරී තිබිණි. අප සිව් දෙනා එකිනෙකාගේ මුහුණු බලා තුෂ්නිම්භූතව විදුහල්පති තුමාගේ කාර්යාලට වාර්තා කළෙමු. එහි යනවිට හැඩූ කඳුලින් සිටින සොයිසා ගුරු මහත්මිය දැක, අප තුල ශෝකයක් ඇති විණි. 

"ආ ... මෙගොල්ලොද කට්ටිය. මට කියන්න හතරදෙනාගේ ගම්"

මුලින්ම ඉදිරිපත් වූ අජිත් මහින්ද සහ චන්දන "කළුතර" ලෙස පිළිතුරු දුනි.

"මේ දෙන්නගෙන් වෙන්න බෑ මිස්. කියමු බලන්න අනිත් දෙන්නා"

"මම බේරුවල" යනුවෙන් ජනක පැවසීය. "මම බෙන්තර" 

"හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් තමයි යන්න ඇත්තේ. ඔය ළමයි නොදන්නවා වෙන්න බෑ. අද දෙන්න තිබුන ප්‍රශ්න පත්තරේ  ගිය සිකුරාදා දීලා තියෙන්නේ. මේ ළමයි කාටද එක දුන්නේ. බෙන්තර කෙනා කියමු බලන්න"

"සර්... මම අපේ ගෙවල් ගාව යාලුවෙක්ට දුන්නා. එයා අම්බලන්ගොඩ ඉස්කෝලේ යන්නේ"

"හා ... අනිත් කෙනා කියන්න බලන්න"

"සර් මම කාටවත් දුන්නේ නෑ"

"එතකොට කාගෙන්ද මේක යන්න ඇත්තේ. හරි මේ ළමයි දැන් යන්න පන්තියට. මම අධ්‍යක්ෂක තුමාට කියන්නම්"

කතාව එසේ නිමා වුවද, මා ලබා දුන් ප්‍රශ්න පත්‍රය පිටපත් කර බෙදා නොදී, එය දැන්වීම් පුවරුවට යැව්වේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවකි. අදත් මා වරදක් කල බව මගේ සිත කියයි.

Wednesday, September 18, 2013

පැරාට ඇන්දූ අරා ......

මේ නම් දෙක ගැන මීට වඩා නම පුංචි දෙයක් වත් අහන්න එපා. දෙන්නම මගේ ඔෆිස් මිත්‍රයෝ. ඒ නිසා වැඩි විස්තරයක් කරන්න බෑ. පැරා කියන්නේ කොහොමත් හොඳට අඳින්න උපන් පුතා. හැම දේම සීරියස් හිතන, ඒ වුණත් අහිංසක, හැඟුම්බර කොල්ලෙක්(ඉස්සර). ඒකටත් එක්ක අරා. හැම වෙලාවේම කාට හරි අන්ඩරයක් දීල ආතල් එකක් ගන්න ජාතියේ පොරක්. හැබැයි අරාට ඒ වගේ ඇන්දිල්ලක් හරි විහිළුවක් හරි කළොත් එලෝ කෝටියට තද වෙනවා. හරියට අර චණ්ඩි ගුටි කන්න ආස නෑ වගේ. අරාගේ දවසක කාට හරි ගිනිගෙඩියක් නොදීපු දවසක් නැති තරම්.

පැරා වැඩට එන්නේ කෝච්චියේ. රඹුක්කන කෝච්චියේ වැඩට එන පැරා බොහොම දවසට රතු ඉර බේර ගන්න සටනක් දෙනවා. ඈත ප්‍රදේශයක ඉඳන් දවස් හතම වැඩට එන්න ගියාම තියෙන වදේ මම හොඳටම දන්නවා. ඒ මාත් බැංකුවට ආව මුල් කාලේ ගෙදර ඉඳගෙන වැඩට ගිය නිසා. සතියේ අන්තිම දවස් වෙනකොට නිකං මත වෙලා වගේ. ඒත් පැරා මුළු කාලෙම, මේ සුමේ ඇද්දා. මේ කෝච්චි ප්‍රමාද වෙන දවසට, අටයි කාලට වදින නිල් ඉරත්, අටහාමාරට වදින රතු ඉරත් බලන බලන අත පැරාට පේනවා. ලොකු සටනක් දීලා දාඩිය මුගුරු දාගෙන තමා පැරා උදේ ඇවිත් පුටුවේ වාඩි වෙන්නේ. පුදුම අනුකම්පාවක් මේ මනුස්සයා ගැන වෙලාවකට ඇති වෙනවා. දෙදරු පියෙක් වෙච්ච පැරාට තමන්ගේ දරු මල්ලෝ දකින්න වෙන්නේ සති අන්තයේ විතරයි. 

තවත් දවසක් කොටුව දුම්රිය පොළට රඹුක්කන කෝච්චිය ළඟා වුණේ ප්‍රමාද වෙලා. මේ වගේ වෙලාවට පැරාට ඇති වෙන ආතතිය නිසා කරන කියන දේ හිතා ගන්නත් බැරිව යනවා. පැරා කෝච්චිය නවත්වන්නත් කලින් පැනලා දුවගෙන ගියේ රතු ඉර බෙර ගන්න හිතාගෙන. මොකද සමහර දවස් වලට අටයි හතළිස් පහටත් ඉර නොගහා තියෙන බව පැරා දන්නවා. අනිත් අය පිටවෙන දොරටු පැත්තට දුවගෙන ගියත් පැරා දිව්වේ කෙටි තාප්පේ තියෙන පැත්තට. ඒ කියන්නේ ගේට්ටු වල පෝලිම් ගැහිච්ච වෙලාවකට කොටුව ඉස්ටෙසමෙන් පිට වෙන්න තියෙන හොඳම තැන. මේ තාප්පේ උඩින් පැන්නම කෙළින්ම ඩී.ආර්. විජේවර්ධන මාවතේ. පැරා පුරුදු තැනින් බෑග් එකත් කිහිලි ගන්නං පැන්නා. ඒත් බිමට ළඟා වෙන්න වෙනදට වඩා වෙලාව ගත වෙනකොට තමයි පැරා බිම බැලුවේ. 

කවුදෝ නොසන්ඩාලයෝ පිරිසක් එතන අඩි තුනක්-හතරක් විතර වළක් හාරලා. පැරා කෙළින්ම ඒක ඇතුලට වැටුණා විතරක් නෙවෙයි, එක කකුලක් අඩමානෙට හිටලා. ඉතිං කකුල පෙරළන එක අහන්න දෙයක් නෑනේ. ඒත් මේ වේදනාවල් පැත්තක තියලා වළෙන් ගොඩ වෙලා පැරා කෙළින්ම ඔෆිස් එකට දිව්වා. හති දාගෙන දුවගෙන එන පැරා දැක්ක ගමන් අරා 
පින්තූරය ගත්තේ : http://forums.catholic.com

"මොකද මචං මේ" කියාගෙන පරාගේ කේශාන්තයේ සිට පාදාන්තයට බැල්මක් දැම්මා. ටික වෙලාවකින් වෙච්ච දේ අරා දැන ගත්තා විතරක් නෙවෙයි, ලොකු අය දැනුවත් කරලා කොස් ගෙඩියක් වගේ ඉදිමිලා තිබ්බ පැරාගේ කකුලට බෙහෙත් ගන්න නවලෝකෙට එක්කන් ගියෙත් අරා. ඒත් මේ එක්කම අරාට ගණදෙවි නුවණ පහල වුණා. මිත්‍රයාව ඔෆිස් එකට ඇරලලා ටික වෙලාවකින් උඩ වෙනත් මහලකට ගියා. ගිහිං පැරාගේ ජංගම දුරකතනයට ගත්තා කෝල් එකක්.

"මේ මිස්ටර් පැරා... ද කතා කරන්නේ ?"

"ඔව්. මම පැරා... තමයි" කෙඳිරි ගැන හඬින් පැරා පිළිතුරු දුන්නා.

"මම සී. ජී. ආර්. එකේ ජෙනරල් මැනේජර් කථා කරන්නේ. අද මිස්ටර්ට කෝච්චියෙන් ඇවිත් මොකක් හරි අනතුරක් වුණාද?"

"ඔව්. ඔව්. සර්"

"හරි කෝච්චියේ වෙන අනතුරු වලට අපේ රක්ෂණයක් තියෙනවා. හැබැයි අපි මේකෙන් කවර කරන්නේ දුම්රිය ස්ථානේ ඇතුළේ වෙන අනතරු වලට විතරයි. දැන් කොහොමද මිස්ටර් පැරා... ට මේක වුණේ"

පැරා පොඩ්ඩක් කල්පනා කරා. එක පාරටම ආවා උත්තරේ

"මම සර් කෝච්චියේ බැහැලා අනිත් ෆ්ලැට්ෆෝම් එකට යන්න කියලා පහළට පැන්නා. එතකොට තමයි කකුල පෙරළුණේ. පස්සේ නවලෝකෙට ගිහින් බෙහෙත් අරං ආවා. එක්ස් රේ එකකුත් ගත්තා"

"හරි. කොයි තරම් වියදමක් ගියාද ?"

"බෙහෙත් වලටනම් රුපියල් දෙදාස් හාරසීයක් විතර ගියා"

"හරි. ඒකට බැංකුවෙන් ගෙවනවා ඇතිනේ. අපේ ඉන්ෂුරන්ස් එක රුපියල් පනස්දාහක්. හැබැයි මිස්ටර් පැරාට පොඩි වැඩක් කරන්න වෙනවා. මේකට මෙඩිකල් රිපෝර්ට් එකක් අරන් එන්න වෙනවා"

"හරි සර්. ඒක ගෙන්න මට පුළුවන්. කොහොමද ඒක වෙන්න ඕනේ"

"මෙහෙමයි ඔය රිපෝර්ට් එක ගන්න වෙට් ඩොක්ටර් කෙනෙක්ගෙන්. අපිට ආරංචියක් ආවා මිස්ටර් මුත්‍රා කරන්න ගියාම කකුල පොඩ්ඩක් ඉස්සෙනවා කියලා"

මේක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඔෆිස් එකේ බොහෝ දෙනෙක් අරාට මේකට බැන්නත්. පොඩි ආතල් එකක් නොගත්තෙත් නෑ. 

Saturday, September 7, 2013

මහින්දට ඇන්දූ හැටි ......

මහින්ද කිව්වම ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හිතට එන කෙනෙක් ඉන්නවනේ. එයාව අන්දන්න මට පුළුවන් කියලා හිතෙනවද ? කීයටවත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්නේ එක මහින්දද ? තව මහින්දලා කීප දෙනෙක් ගැන දැන් ඔයාලා හිතනවා ඇති. අර මහින්ද අබේසුන්දරද ? නෑ නෑ එයත් නෙවෙයි. මේ අපේ ගමේ මහින්ද ගැන. 

මහින්ද කියන්නේ මගේ ගමේ ගෙදර ඉස්සරහ ගෙදර හිටිය(දැනුත් ඉන්නවා) කෙනෙක්. මිනිහාගේ චරිතය මට හමු වෙච්ච පුදුමාකාර චරිත වලින් එකක්. අද හවස අපේ ඔෆිස් එකේ මිතුරන් එක්ක කථා කරනකොට තමයි මේ මතකය අවධි වුණේ. මහින්ද මට වඩා අවුරුදු හයක් හතක් වැඩිමල්. මම ඉස්කෝලේ යන්න පටන් ගන්නකොටත් මිනිහා පහේ පන්තියේ. මම හයවෙනි පන්තියට යත්දීත් මිනිහා පහේ පන්තියේ. මහින්ද වගේම එයාගේ අයියාත් පහේම තමයි හිටියේ. ඒ අපේ අල්ලපු වත්තේ තියෙන මහා ඉස්කෝලේ නොහොත් කුමාර කණිෂ්ඨ විද්‍යාලේ. 

හැමදාමත්, හැමදේදීත් අපිත් එක්ක තරග වැදුණේ මේ අයිය මලෝ දෙන්නා. මුලින්ම වෙසක් තොරං වලින්. අපි ඒ කාලේ වෙසක් කාඩ් එකතු කරලා තොරං හැදුවේ. මට වෙසක් කාලෙට පුදුම තොරං පිස්සුවක් හැදෙන්නේ. එක පාරක් අපි හදපු තොරණක් පහුවදාට එලි වෙනකොට හොරු අරන් තිබුණා. අන්තිමට මගේ හොඳම යාලුවා වෙච්ච සම්පත්ට මේ කේස් එක අහු වුණා. වැඩිය අකුරු බැරි මේ ජෝඩුව උස්ස්පු වෙසක් කාඩ් වගයක් දීලා සම්පත්ගෙන් මොනවා හරි ඉල්ලලා. සම්පත් මගේ කණේ තිබ්බා හොරා කවුද කියලා. 

මහින්දලාගේ අක්කා සුවිස් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා රට ගියා. ඉන් පස්සේ තමයි මහින්දලාට සියලු සැප සම්පත් පහල වුණේ. ටික කාලෙකින් ගේ සම්පූර්ණයෙන්ම නවීකරණය කලා. කැසට් රෙකෝඩර්ද, කලර් ටී.වීද, ෆ්රිජ්ද  ලෝකේ නැති ජාති එහෙට එන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගෙදර කැසට් රෙකෝඩර් එකක් ගත්තේ නෑ. හේතුව අපේ අධ්‍යාපනයට බාධා වෙයි කියලා. ඒ වුණාට මහින්දලා නොමිලේම අපිටත් සිංදු ඇහෙන්න සැලැස්සුවා, අපේ ඉලීමකින් තොරවම. එක කැසට් එකක් ගෙනාවාම ඒක සතියක් විතර එක දිගට පුනර්වාදනය වෙනවා. මල්වත්ත පාර වගේ. ඒ නිසා කිසිම ගැටළුවක් නැතිව මට සිංදු කට පාඩම් හිටියා. අපේ අම්මා නිතරම අහන එකක් තමයි "මොකක්ද අර කනත්තක් ගැන යන සිංදුව කියලා". ඒ මිල්ටන් මල්ලවාරච්චි එච්. ආර්. ජෝතිපාල  මහත්මයා ගායනා කරන "පාලු සුසානේ ප්‍රේම පුරාණේ" කියන ගීතය.  තව කාලෙකදී "බඹර පහස ලබන මලක්දෝ" කියන එක ඇහිලා අපේ තාත්තා ඇහුවා "මොනවද මේ යක්කු අහහ සිංදු" කියලා. ටික කාලයක් යනකොට කම්මලේ බල්ලෝ වගේ එයාලටත් ගානක් නැතිව ගියා. 

ටික කාලයක් යද්දී අක්කා සල්ලි එවලා ගත්තා වෑන් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ පෝසත් අය විදියට එයාලම හඳුන්වා ගත්තා. මහින්දගේ අයියා මහේෂ් කතා කරනකොට නිතරම කියන වචනයක් තමයි "පෝසත් කමට කියනවා නෙවෙයි" කියන එක. ටික කාලෙකදී මේ පෝසත් කමට ගැලපෙන්න පොමනේරියන් පොමරේනියන් බල්ලෙක් ගෙනාවා. මහින්දලාගේ ගෙදර තියෙන්නේ පාරේ මට්ටමට වඩා අඩි තුනක් විතර ඉහලින්. අර මම කලින් ලිව්වා සිරියලතා කට්ටියගේ ගෙදරට බද්දව වම් පැත්තේ. නිකමට හිතන්න මේ ගෙවල් දෙකේ කැසට් රේකෝඩර් දෙකේ සිංදු දෙකක් යද්දී අපට දැනුන ආතල් එක කොහොමද කියලා. නියමම මල්වත්ත පාර. ඉතිං ඔය පොහොසත්කමට ගැලපෙන අනිත් දේ තමයි ඉංග්‍රීසි. කාලයක් සුද්දෝ පස්සේ ගිහිං මේ අයියා මලෝ දෙන්නට පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි පුළුවන්. දැන් අර පොමියා පාරේ දුවනකොට ඒ ගෙදර අය මහා හයියෙන් කෑ ගහනවා "ගෙටප් ... ගෙටප්" කියලා.

මේගොල්ලෝ පොහොසත් වෙන්න කලින් දවසක ගඟේ නාන්න ගිහිං. අපේ ගෙවල් ලඟම තමයි බෙන්තර ගඟේ විශාල කලපුව කොටස තියෙන්නේ. අලුත්ගම - බෙන්තර අතර කිලෝ මීටර් එකක් විතර පළල්. පහලවත්ත පාර කියන පාරට යාබද කොටසේ තියෙනවා කළු ගලක් ගොඩබිමට කිට්ටුවම. ඒකට කියන්නේ මහගල ගියලා. මහගලට අඩි පහලවක් විතර ඈතින් තියෙනවා තවත් පොඩි ගලක්. මේ හරිය තරමක් ගැඹුරයි. මේ දෙන්නා දවසක් මෙතන නානකොට මුහුදේ(කරදියේ) ඉඳන් ගඟට(මිරිදියට) ආපු යෝධ කට්ටාවෙක් වල්මත් වෙලා ඉන්නකොට අතින්ම අල්ල ගන්න මේ අයියා මලෝ දෙන්නා සමත් වුණා. අඩි හයක් විතර උස මේ යෝධ මාළුවා අහු වුණ සන්තෝසෙට දෙන්නා ඒකව කර ගහගෙන, ගම දෙවනත් කරගෙන ඇවිත් තිබුනේ අමු නිර්වස්තරෙන්. අනිත් අය හිනා වෙද්දී මේ දෙන්නට හිතිලා තියෙන්න මාළුවා දැක්ක සන්තෝසෙට තමයි මේ හිනා වෙන්නේ කියලා. ඒ වෙද්දී මේ දෙන්නගෙන ලොකු එක්කෙනාට අඩු ගානේ අවුරුදු පහළොවක් වත් වෙනවා.

මේ ගොල්ලෝ ලබා ගත්ත පොහොසත් කමත් එක්ක ගමේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කම නිකම්ම මහින්දට දෙන්න සිද්ද වුණා. මළපොතේ අකුරක් බැරි මහින්දට මේක දෙන්න මුලින් මුලින් අකමැති වුණ අයටත් පස්සේ කැමති වෙන්න වුණා. ඒ වගේ තරගෙක තියෙන ලොකුම අභියෝගය තමයි පිටින් එන කණ්ඩායමට දිවා ආහාරේ දෙන එක. මහින්ද පොහොසතා හින්දා තනියම වුනත් ඒ වැඩේට කර ගහන්න ඉදිරිපත් වෙන ගානේ ඒ කාලේ හිටියේ. ඉස්සර ඉනිම දෙකේ තරග වල අපි වගේ පොඩි එවුන්ට චාන්ස් එකෙක් දෙන්නේ බොහෝ විට දෙවෙනි ඉනිමේ. එක පාරක් මගේ පන්තියේ යාලුවෙක්ගේ ගමේ ටීම් එක ආවා. මහින්දට චාන්ස් එක දෙන්න හිටියේ දෙවෙනි ඉනිමේ. කොහොම හරි තරගේ දිනන්න ඕන කමට නායකයා දෙවෙනි ඉනිමට ඒ වෙලාවේ කඩා පාත් වුණ කාව හරි දාලා. දැන් මහින්ද මහා හයියෙන් කෑ ගහලා අඬනවා "මාව මැච් එකට දාන්න බැරි නම් මගේ මිරිස් කරල් ටික දීපං" කියලා. එදා දවල් කෑමට සම්බෝල හදන්න මිරිස් දීලා තියෙන්නේ මහින්ද. මගේ පන්තියේ යාලුවා මාව නැති කරා ඔය කතාව මතක් කරලා. "මොනවද බන්. උඹලගේ ගමේ ඉන්නේ දීපු මිරිස් ආපහු ඉල්ලන එවුන් නේ" කියලා.

මහින්දට හොඳට ක්‍රිකට් ගහන්න බැරි වුණත් මැච් එකේ ආරම්භක පිතිකරු හා පන්දු යවන්නා වුනෙත් මහින්දමයි. අන්තිමට මේ නායක කමින් මහින්දව එලවා ගන්න බැරිව කට්ටිය මාර දුකක් වින්දා. සමහරු කණ්ඩායම හැරදා ගියා. හරියට ලංකාවේ ලොකුම පක්ෂේ වුණා වගේ. මෙගොල්ලොත් ඒ පක්ෂෙම තමයි. බලන්න ඕනේ චන්දෙ කාලෙට අපි අනිත් පැත්තේ හින්දා අපිට ඇහෙන්න රේඩියෝ එකේ ප්‍රේමදාස උන්නැහේගේ කතා යන වෙලාවට මහා හයියෙන් ගමටම නොමිලේ අහන්න සලස්සන හැටි.

මහින්දට ආවේනික වචන සෙට් එකක් තිබුණා. බොහෝ ඒවා මට අමතක වුණත් සබන් වලට රබන්, පිඟානට පිනාව වගේ වචන පාවිච්චි කළා. මහින්ද තරුණයෙක් වෙනකොට අපේ ගමේ හිටිය ලස්සන් කෙල්ලෙක්ට මේකාගේ හිත වැටුනා. ඉතිං මල වදේ අපිට ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා. කෙල්ලගේ නම සේපාලිකා. අපිත් ඉතිං උදව් කරන පොරොන්දුවට ඌව මෝරා කරගෙන බනිස් මාළු පාන් කෑවා. මහින්දට අකුරු බැරි නිසා මේ කෙල්ලට මේ අදහස කියා ගන්න විදියක් නෑ. කරන ලොකුම දේ තමයි කෙල්ල ක්ලාස් ගිහින් එනකොට අලුතෙන් ගත්ත පුෂ් බයික් එකෙන් කෙල්ලව පහු කරලා යන එක. නිකම්ම නෙවෙයි අක්කා එවපු වයිවාරන ඇඳුම් ඇඳගෙන, සෙන්ට් එහෙම ගහලා.

දවසක් මායි සුසන්තයි කල්පනා කරා මූට අන්දන්න. ඒ කාලේ කැලැන්ඩර් වල මුල් කොලේ එන්නේ නිකං. අපි කරන්නේ ඒ වගේ ඒවා කටු වැඩ වලට පාවිච්චි කරපු එක. මහින්දගේ මේ ප්‍රේමෝන්මාදය දැකලා දවසක් හවස මහ ඉස්කෝලෙට ගිය අපි දෙන්නා අර කිව්ව කැලැන්ඩර් කොළයකින් කපලා ගත්ත කොටසක ලිව්වා ලියුමක්. ඒ කාලේ මගේ අත් අකුරු මුතුකැට වගේ. බොහෝ දෙනෙක් ලව් ලෙටර් ලියා ගන්න එන්නේ මං ගාවට. අනේ එහෙම කාලයක්. කාලා, කාලා ඉස්මුරුත්තේ හැදෙන ගානයි. ඔරෙක්ස් පෑනත් ඉතිං ඒවාටම කියාපු භාණ්ඩේ. මේ කාලේ මහින්දගේ අක්කා ඇවිත් හිටියා. ඒ වගේ දවස් වලට මහින්දලා යන්නේ පොළොවට ටිකක් උඩින්. සමහර වෙලාවට අපිවත් ගණන් ගන්නේ නෑ. ඒ වෙනකොට මම කෙල්ලෙකුට ලියුම් ලියලා නැති වුනත් අනිත් අයගේ අදහස් අකුරු කරලා ඒවායේ ලියවෙන්න ඕනේ දේවල් මගේ හිතේ ගබඩා වෙලා තිබුණා. අපි ලිව්වා මෙන්න මේ වගේ ලියුමක්.

නිසල රැයක,
ආදරණීය මහින්ද වෙත(අපිට මොකෝ අපේ අතින් යනවැයි. අපි දන්නවා මෙහෙම ලිව්වම ඌට මාර අප් වෙන බව)
අනේ මහින්ද ඔයාලගේ අක්කා ආවට පස්සේ ඔයා හරිම ආඩම්බර වෙලා. වෙනදා මම ක්ලාස් ගිහින් එනකොට මගේ පස්සෙන් ඇවිත් මාව පහු කරගෙන යන ගමන් අහිංසක විදියට මං දිහා හැරිලා බලලා හිනා වෙන ඔයා, අද ඉස්සරහට හම්බ වෙලත් අහක බලං ගියා නේද ? මට ඒ වෙලාවේ මාර දුකක් ඇති වුණේ. කොහොමත් අක්කා ආවාම ඔයා ටිකක් ආඩම්බර වෙනවා. එන්න එපා අක්කා ගියාට පස්සේ මගේ පස්සෙන්. මම තාත්තට කියනවා.
ඔයා වගේ පෝසත් කට්ටිය අපි වගේ දුප්පත් අයට කැමති වෙයිද මන්දා. අපේ අම්මයි - තාත්තයි දැන ගත්තොත් මට හොඳටම බැනුම් අහන්න වෙයි. මේ ලියුම ලිව්වෙත් හරිම බයෙන්. එහෙනං ඉරිදා පන්සලේ බෝධි පූජාව වෙලාවට හමුවෙමු. 
ඔයාට බුදු සරණයි.  
 මම ඔයාගේම 
සේපාලිකා.

මේ ලියුම අරගෙන ගියේ සුසන්ත. මම මොනවත් නොදන්නා ගානට හිටියා. ඒ වුණාට දවස් දෙකකට පස්සේ මහින්දලාගේ අක්කා (මල්ලිකා) මට ටිකක් සැරෙන් කථා කළා.

"මෙහෙ එනවා - තමුසේ නේද මේ ලියුම ලිව්වේ"
"මොන ලියුමද ? කාටද ? මම දන්නේ නෑ"
"දන්නේ නෑ, බලනවා මේක දැකලා මේ යකා පිස්සු වැටිලා. මට කතා කරනවා මේ කෙල්ලගේ ගෙදර ගිහින් කතා කරමුයි කියල. මේවා ගස් යන වැඩ. ඉන්නවා මම මේක ඉස්කෝලේ මහත්තයටත්(අපේ තාත්තා) පෙන්නලා, ඒ කෙල්ලගේ තාත්තට දෙනවා.
මේක ඇහුවම මට කලිසම තෙත් වෙන ගානට බය හිතුණා. මේ කොළ කෑල්ලට මෙච්චර පරිප්පුවක් කන්න වෙයි කියලා මට හිතුනේ නෑ. සුසන්තයත් ඉන්නවා පැත්තකට වෙලා. මම බිම බලා ගත්තා. මට දැන් කඳුළු එන්න ලඟයි වගේ. කී තැනකින් කන්න වෙයිද ? මම කෙලින්ම නතර වුණේ ගෙදර. ඒ වුණාට එතනින් එහාට මොනවත් වුනේ නෑ. අන්තිමට මහින්දගේ හීනේ කඩා වැටිච්ච එක විතරයි වුණේ. මම යාන්තමට ශේප් වුණා. මේක කරමුම කියලා මට වද දීපු සුසන්තයා ඉන්නවා කිසි ගානක් නැතුව. මොකද මේ දවස් වල මල්ලිකාව බයිසිකලේ තියාගෙන එහෙ-මෙහෙ යන හින්දා ඌටත් සරුයිනේ.

මේක  මම පොඩි කාලේ වෙච්ච දෙයක්. අපේ ගෙදර ඉඳලා ටිකක් ගම ඇතුලට යනකොට හමු වෙන ලන්දේසි ඇල ළඟ තියෙන පාලම ගාව හැම ඇසල පෝයටම තොරණක් හදනවා. මේක කරන්නේ විජේසේකර පවුලේ අය. විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුලේ ඉන්නවා. විල්ෆ්‍රඩ් සර්ට චිත්‍ර අඳින්න පුළුවන්, ඇල්ටන් අන්කල්ට ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. අනිත් අයට එනවුන්ස් කරන්න පුළුවන්. මේ තොරණ හදන තැනට දවසක් මහින්දයි මායි ගියා. මම වතුරට පොඩ්ඩක් බය නිසා හිටියේ මහින්දගේ පිටිපස්සෙන්. ඇල කණ්ඩිය ගාව අඩි අටක් විතර උසයි. එතන ගැට්ට සිමෙන්තියෙන් හදලා තිබුණේ. කවුදෝ එකෙක් පස්සෙන් ඇවිත් මාව තල්ලු කළා, මම මහින්දගේ පිටට අත් දෙක තියලා බේරුණා. ඒත් මහින්ද කෙලින්ම ඇලේ. මම උඩට වෙලා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න හැමෝටම හිනා. ටිකක් එහාට ගිහිං ගොඩට ආව මහින්දයා අලි ගලක් උස්සන් මං පස්සේ පන්නන්න පටන් ගත්තා. මම කෙලින්ම නතර වුණේ ගෙදර.

ඉස්සර මමත් මහින්දලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා කැරම් ගහන්න. මේකට අපේ අම්මා වැඩි කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඒ ගෙදරට නානාප්‍රකාර අය එන හින්දා. කොටින්ම සුද්දන් පවා ගෙදර එක්කන් එනවා. එහෙම නිතරම එන බ්‍රයන් කියලා සුද්දෙක් හිටියා. බ්‍රයන් එන්නේ මොන මාසෙද, ඒ මාසේ මහින්දගේ උපන් දිනයක් එනවා. ඒ එන්නේ බ්‍රයන් යන්න දවසකට කලින්. ඉතිං පාටියක් දෙනවා, ඒකට තෑග්ග විදියට සුද්දා ගේන්නේ, ලංකාවට එනකොට අරන් එන කැසට් රෙකෝඩරය.

එක සැරයක් මහින්දගේ තාත්තා මේ කැරම් බෝඩ් එකට අලවංගුවෙන් ඇන්නා. අපේ කැරම් ක්‍රීඩාව එතනින් නතර කරන්න අපි කැමති වුණේ නෑ. මගේ ගාව තිබුණා තිනර් වලට රෙජිෆෝම් දාලා හදපු බොහොම ප්‍රබල ගම්එකක්. මම එකෙන් මගේ ෂර්ට් එකක්කත් හිලක් හදුනා තැනකට කෑල්ලක් තියලා ඇලෙව්වා. නියම ගම් එක. පස්සේ ප්ලයිවුඩ් කෑල්ලක් හොයාගෙන, අර හිල් වුණ තැන අඟල් හතරේ හතරේ කෑල්ලක් කියත් පටියකින් බොහොම සීරුවට කපලා අයින් කරා. හොඳ වෙලාවට යටින් තියෙන ආධාරක ලීයට මොනවත් වෙලා නෑ. එතනට අර ගෙනාපු ප්ලයිවුඩ් කෑල්ල තියලා ඇලෙව්වා. අතර මැද්දට බොරික් කුඩු සහ ගම් එකෙන් හදපු මිශ්‍රණය පිරෙව්වා. මේ දෙක අතර ඝනකම් වල පරතරයක් නිසාදෝ මුලින්ම එතැනින් පාරවල් ගහද්දී ඩිස්ක් එක ඉදිරියෙන් ඉන්න කෙනාගේ මූනට එන තත්වයක් තිබුණා. පස්සේ වැලි කඩදාසියකින් ෂේප් කරා. ටික දවසකින් තිබුන තත්වෙට ආවා.

මහින්ද හැමදාම කැපිලා පෙනෙන්න මොනවා හරි කරනවා. එක පාරක් බොරු පිස්සුවක් වගේ අරගෙන තොයිලයක් කරා. මිනිහා ඒකෙ ආසම කෑල්ල තමයි පුටුව යටින් රිංගන එක. ඒක කරලා පහුවදා හිටියේ මාර උජාරුවකින්. එක අතකට මහින්දලාගේ අක්කා පව්. අවුරුදු විසි ගණන් වෙලත් කිසිම වැඩක් පලක් නොකරන මේ අයියා මලෝ දෙන්නට බත සරි කරේ මල්ලිකා. තොයිලෙන් පස්සේ තමන්ට කෙල්ලෝ ආකර්ෂණය වෙයි කියලා තමයි මහින්ද හිතාගෙන හිටියේ. ඒ කාරණේටම තමයි පන්සලේ බෝධි පූජාව වෙලාවට සුරප්පට්ටුව වාදනය කරන්න මිනිහා ඉදිරිපත් වුණේ.

පින්තුරය ගත්තේ : www.artway.eu
එක පාරක් අවුරුදු උත්සවයක් බලන්න යන්න සුදානම් වෙලා අක්ක එව්ව අලුත්ම ඩෙක්ස් පෙයාර් එක දාගත්තා. දාගත්තට මට පෙනුණා ඇවිදිනකොට පොඩි වෙනසක්. ඩෙක්ස් වල හැඩයෙන් ඒ තරමටම වම දකුණ පෙන්නේ නෑ. මහින්ද සපත්තු දෙක දාලා තිබුණේ කකුල් මාරු කරලා. 89/90 අඳුරු යුගයේදී මේ අයියා-මලෝ දෙන්නව ඇල්පිටිය කෑම්ප් එකට කුදලන් ගිහිං තිබුණා. බේරුනේ අනුනවයෙන්.

මෑතකදී සංචාරක හෝටල් රස්සාවක් කරනවා කියලා දැන ගන්න ලැබුණා. පහු කාලීනව මිනිහා හෘද රෝගියෙක් වෙච්ච නිසා මොනවත් කරන්නේ නෑ කියලත් ආරංචියි. මේ සටහනට එකතු කරපු කාරණා සියල්ල සත්‍ය ඒවා. සිතා-මතා ගොතාපු කිසිම කරුණක් නෑ. මේ වගේ චරිත බොහොමයක් අපේ කාර්යාල වලත් ඉන්නවා. වෙනස උගත්කම විතරයි. නමුත් මහින්ද කියන්නේ  බොහොම අව්‍යාජ චරිතයක්. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...