මේ සිද්දිය වුනේ මම A/L කරන කාලේ. ඒ කාලේ මම ඇතුළු අපි බොහෝ දෙනෙක් පුද්ගලික ටියුෂන් පංති වලට ගියේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ. මින් බොහෝ අයෙකුට තිබුනේ ආර්ථික දුෂ්කරතා. සමහරුන්ට ප්‍රවාහන ප්‍රශ්ණ වගේ දේවළුත් තිබුනා. සමහරු හවස පන්තියට හිටියේ බඩගින්නේ. මේ පන්තිය ඩන්කන් කුලසේකර කියන බොහෝ දෙනෙක් දන්න රසායනික විද්‍යා ගුරුතුමාගේ එකක්. ඩන්කන් සර් අපේ පුද්ගලික හිතවතෙකුත් වුනා. මුලින්ම අපි සර්ලගෙ ගෙදර තමයි පන්ති ගියේ. මේ කාලයේ තමයි ඩන්කන් සර් ෆීල්ඩ් එකට බැස්සේ. ටිකක් දවස් යද්දී ඉල්ලිම වැඩි හින්ද සර් පන්තියක් පටන් ගත්තා අළුත්ගම පොලීසියට ආසන්නයේ තියෙන පන්සලේ. ගෙදර පන්ති ගිය අපටත් අන්තිමට ඒකට එකතු වෙන්න සිද්ද වුනා කාගෙවත් වැඩි විරෝධතාවක් තිබුනේ නෑ. මොකද ඒ වගේ තැනකට ආවාම පොඩි රස්තියදුවකුත් ගහන්න පුලුවන් හින්ද. ඒකේදි අපට වටපිට තියෙන ඉස්කෝල කිහිපයකම ගෑණු-පිරිමි ළමයි මුණ ගැහුණා. සමහරු පුංචි කාලේ අපේ පන්ති වලම හිටිය අය. මේ පංතිය හවස දෙකට පටන් ගන්නවා කියල තිබ්බට කොහොම හරි පරක්කු වෙනව. එක්කෝ සර් නැත්නම් ළමයි. මමත් බොහෝ දවස් වලට පරක්කු වෙලා තමයි පංතියට ආවේ. මොකද කළුතර ඉඳලා අළුත්ගමට පැය භාගෙකින් එන්න එක ඒ කාලෙදි ලේසි වුනේ නැති නිසා. ඒකම විතරක් නොවෙයි අර නොදැක ඉන්න බැරි අයව දැකල එන්න ඕනෑකමත් මගෙ පරක්කුවට හේතු වුනා. සර් ආවේ බලපිටියේ ඉඳලා. එතකොට සර් ඉගැන්නුවේ බලපිටියේ රේවත කියල ඉස්කෝලෙක. සමහර ළමයි අම්බලන්ගොඩ ඉඳලත් ආවා. දැන් පැහැදිලියිනේ පංතිය පම වෙන්න හේතුව. බොහෝ දවසට පංතිය පටන් ගන්නේ හවස තුනට. ඉතින් පටන් ගන්නකම් අපේ වැඩේ අරලිය ගහක් යටට වෙලා කයියක් ගහන එක. කථා කරන්න ඔනෑතරම මාතෘකා තිබුනා. කැඩටින්, ස්පෝර්ට් මීට්, ජේවීපී, අවුරුදු උත්සව, වෙසක්, පොසොන්, මේ ආදී විවිධ මාතෘකා ඔස්සේ අපි කථා කලා. අළුත්ගම විද්‍යාලේ අයනම් වැඩියෙන් කථා කලේ සරත් සර් කියලා සර් කෙනෙක් කියපු දේවල්.
පන්තියේ ගාස්තු එකතු කලේ අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් අක්ක කෙනෙක්. එයාගේ තිබ්බෙ පුදුම ලෙවල් එකක්. හැමදාම සල්ලි දෙන්න පරක්කු වුනොත් මොනව හරි කට කැඩිච්ච කතාවක් කියනවා. හැබැයි එක හොඳකුත් තියෙනව සල්ලි ගන්න අපි ඉන්න අරලිය ගහ යටටම එනවා. පළවෙනි සතියේදීම සල්ලි ගෙවන්න තරම් ඒ පංතියට ආව බොහෝ දෙනෙක්ගේ දෙමව්පියන්ට් වත්කමක් තිබුනේ නෑ. දෙවෙනි සතියේදි බොහෝ දෙනෙක් ගෙවනව. තුන්වෙනි හතරවෙනි සති වලදි තමයි අනෙක් අය ගෙවලා ඉවර කරන්නේ. අපේ පංතියට ආවා කොල්ලේක් අළුත්ගම විද්‍යාලේ නම හරියටම මතක නෑ. අපි ලේසියට සුනිල් කියමු. මේ කොල්ලාටත් අර කියපු ආර්ථික දුෂ්කරතා ඒ කියන්නේ සල්ලි අඟ හිඟකම තිබුනා. බොහෝ දවස් වලට තුන්වෙනි හතරවෙනි සති වලදි සල්ලි ගෙවන කෙනෙක්. ඒක අර සල්ලි එකතු කරන අක්කටත් නෝට් වෙලා තිබුනා. එක දවසක් දෙවෙනි සතියෙදි සල්ලි ඉල්ලපුවහම අර කොල්ලා පුරුදු පරිදි ලබන සතියේ දෙන්නම් කියල බොහොම බැගෑපත්ව කිව්ව.
"ලබන සතියේ ගෙනාවෙ නැත්නම් කනට දෙන්නේ" කියල ඉතාම සැරෙන් කියාගෙන යන්න ගියා. එහෙම කියද්දී සුනිල්ගේ මූණ දුකෙන් බර වෙලා යනව දැක්කහම අපි කාටත් මල පැන්න. "අපි මේකිට හොඳ පාඩමක් උගන්නමු". එහෙම කිව්වේ අජිත්ගාමිණී . අළුත්ගම ඉන්න හොඳ ගණන් කාරයෙකුගේ පුතෙක්. අපිටත් යකා නැගල හිටියේ ඒත් කාටවත්ම කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වුනා. මෙහෙම ඉන්නකොට සර් ආවා. පන්තිය පටන් ගත්තා සුපුරුදු විදියට. පන්තියේ උගන්වද්දිත් මගෙ හිත එක තැනක තිය ගන්න බැරි වුනා සුනිල්ට වෙච්චි සිද්දිය නිසා. සර් දැන් උගන්වාගෙන යනවා. මගේ හිතනම් පන්තියේ නෑ. ඔය අතරේ මගේ මතකයට ආවා රංජි අයියා කියපු මරු කතාවක්. රංජි අයියා කියන්නේ අපේ ස්පොර්ට්ස් ක්ලබ් එකේ ලොක්කගේ පුතා. අමු මගෝඩියා. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වෙලා හිටියේ. කරන මගඩි වැඩ හින්දාම එක ඉස්කෝලෙක මාස හය හතකට වඩ ඉන්න වාසනාව මිනිහට තිබ්බේ නෑ. ඒ කාලේ මිනිහා ගාල්ලේ රිච්මන්ඩ් එකට යද්දි පහසුකම් ගාස්තු එකතු කරනට ටීචර්ට කරපු වැඩක් මිනිහා කියල තිබුනා. ඒක අපේ මේ අක්කටත් කදිමට ගැලපෙනව කියල හිතද්දීම සර් අහනව ප්‍රශ්ණයක්.
"සාමන්‍යයෙන් රෙදි හෝදන සබන් වල තියෙන්න ඔනෑ ටී.එෆ්. එම්. අගය කීයද ? ආ සුභාෂ් දන්නවද උත්තරේ" කියල මගෙන් ඇහුවේ කීප දෙනෙක්ගෙන් ඇහුවට පස්සෙ. මගේ අර නරක පුරුද්දක් තියෙනවනේ ඔනෑම කොල ලේබල් වගේ ඒවගෙ නොතේරෙන භාෂාවලින් තියෙන දේවල් හරි කියවල බලන. අන්න එකට පින් සිද්ද වෙන්න මට ලාවට වගේ උත්තරයක් මතකයට ආවා.
"සර් 58.2 යි" කියල කිව්වට මට හරියටම ෂුවර් නෑ. මම හෙමිහිට වට පිට බැළුව. මේකනම් ඩන්කන් සර් මම වෙන කල්පනාවක ඉන්නව දැකල මාව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්ණයක්.
පහුගිය කාලේ දායනන්ද අයියගේ කඩේ ගාව තියෙන බංකුවේ රස්තියාදු ගහනව දැකල මට කීප වතාවක්ම අවවාදත් කලා. "අපරාදෙනේ සුභාෂ් ඔයා අර කඩේ ගාවට වෙලා නිකං කාලේ කන්නේ ගෙදර ගිහින් පාඩම් කරන්න. දැන් ෂෝර්ට් නෝට් එහෙම හදන්න පටන් ගත්තද ? තව මාස 9 යකට වඩා නැහැ නේද" එහෙම කියපු හැම වතාවෙම "හා හොඳයි සර්" කියල ආපහු එතන රස්තියාදු ගහන්න යනවා. අන්තිමට සර්ටම ඇති වෙලා මට අවවාද කරන එක නැවැත්තුවා.
"හරි උත්තරේ හරි. කොහොමද දැන ගත්තේ? ඉස්කෝලේ මේ පාඩම කලාද ?"
" නෑ සර් මම දැක්කා සන්ලයිට් කොලයක"
"බොහොම හොඳයි අන්න එහෙම හොඳින් අපේ වටපිටාවේ තියෙන දේවල් ගැන නිරීක්ෂණයකින් ඉන්න ඔනෑ" කියල කිව්වහම මට පුංචි අස්වැසිල්ලක් දැනුනත් රංජි අයිය කියපු කතාව අනිත් එවුන්ට කියනකම් මට ඉවසිල්ලක් නෑ. කොහොමින් කොහොමින් හරි ක්ලාස් එකේ වෙලාවත් ඉවර උනා. ඒත් අදනම් සර්ගේ ඔරලොසුවේ කටු හෙමින් තමයි ගිහින් තියෙන්නේ. දැන් කට්ටිය දුවන්න ලෑස්ති බස් අල්ලන්න. මමනම් පයින් යන්නේ. සමහරු බයිසිකල් වලින්.
"මේ පොඩ්ඩක් ඉඳපල්ල මට ආව අදහසක්"
"අනේ බන් අපිට බස් එකට පරක්කු වෙනව පස්සෙ කියපන්. ආ ... මම අජිතයගෙන අහ ගන්නම් උඹ ඌට කියපන්" එහෙම කියල මේ ප්‍රශ්ණයෙන් වැඩියෙන්ම බැට කාපු සුනිලත් මාරු වෙලා ගිය. පව් අහිංසකය. මේ බස් එක මිස් උනොත් ආයි පැයකට වඩා ඉන්න වෙනව. එහෙම ගිහින් ගෙදර යද්දි මහ රෑ වෙනවා. ඌ ඉන්නේ පහේ කනුව කියන පැත්තට ලේසියෙන් බස් යන්නැති පැත්තක්.
මම අජිත් ගාමිණියවයි, තව කීප දෙනෙකුවයි අල්ලගෙන මගේ යෝජනාව දැම්ම. ඒක අහල අජිත් ගාමිණියට පස් වනක් පිනා ගිහින් කියනව
"මු බටු ඇටේ වගේ හිටියට මාර මොල කාරය. හිටපන් අරකිට ලබන සතියේ දෙන්නම්කෝ" කියල.
"ඕක මගේ අයිඩියා එකක් නෙවෙයි බං. මටත් කිව්වේ අපේ ක්ලබ් එකේ රංජි අයියා"
"මොකාගෙ උනහම මොකද බන් වැඩේ නියමයිනේ" ගාමිණිය ඉන්නේ රටක් රාජ්‍යක් දිනා ගත්ත සෙන්පතියෙක් වගේ සතුටකින්. එහෙම කියල අපි වෙන් වෙලා ගිය. ඊලඟ සඳුදා වෙනකම් දින ගැන ගැන හිටියේ බොහොම අමාරුවකින්. හොඳ වෙලාවට අපි හුඟ දෙනෙක් එදාට සල්ලි දෙන්න ඉතුරු වෙලා හිටියා. ඒ කාලේ අද වගේ මොබයි ෆෝන් තියා නිකං ෆෝන් වත් තිබ්බෙ නෑ. ඒ නිසා වැඩ කටයුතු සංවිධානය උනේ ක්ලාස් යන එන අතර බස් එකේදි. අපි මේක කෙල්ලන්ට නොදැනෙන්න කරන්න වග බලා ගත්තේ ඩන්කන් සර්ගේ නංගිත් මේ ක්ලාස් එකේ හිටිය හින්දා. එහෙම උනානම් මේක සර්ගේ කණට යනව.
මම මේක කිව්වට මට හොඳටම බයයි. මගේ පංති ගාස්තුව ඒ කියන්නේ රුපියල් විස්සක් අම්ම දුන්නා ඉරිදා හවස. රුපියල් විස්සක් කිව්වහම මේක බලන ඔයාලට හිතෙයි මු ඉස්කෝලේ ගිහින් තියෙන්නේ එද්දාස් නමසිය බර ගණන්වල. මූට ගල් ඉබ්බො දෙතුන්දෙනෙක් විතර වයස ඇති කියල. ඩන්කන් සර් ඒ කාලේ රුපියල් විස්සක් අය කරන්න හේතු කීපයක්ම තිබුනා. එකක් අපි බොහෝ දෙනෙක් සර්ව දන්න අය. අනිත් කාරණය තමයි සර් ක්ලාස් කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ වීම. මගේ පපුව කොහොමත් හාවෙක්ගේ වගේ දඩිබිඩියාවට ගැහෙන එකේ මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියාවකට නායකත්වය දුන්නාම ගැහෙන විදිය ආයි කියන්න දෙයක් නෑ. ඒ කාලේ මම හිටිය විදියට මේ වගේ වැඩක් මම සංවිධානය කලා කිව්වත් කවුරුත් පිලි ගන්න එකක් නෑ. මම නිකමට වගේ චෙක් කරල බැළුවා හැමෝම වැඩේට සූදානම්ද කියල. අම්ම ... අනිත් කට්ටිය මටත් වඩා ඉස්සරහින්. ඔන්න දැන් අර මහ ලොකු චන්ඩි ගෑනි එනව පේනව ඈත. මගෙ පපුව තවත් ගැහෙනව.
දැන් කට්ටිය තමන්ගේ අතේ තියෙන මළු පිටිපස්සට කරගෙන ඉන්නව හරියට හමුදාවක් පරීක්ෂා කරන්න එන සේනාධිනායිකාව පිලි ගන්න වගේ.
"ආ සුනිල් ගන්නව සල්ලි අදවත් ගෙනාවද ?"
ඔන්න සුනිල් පිටිපස්සට කරගෙන හිටිය කාසි මල්ල ඇදල ගත්තා. ඒකේ තියෙන්නේ සත් විසිපහේ, සත දහයේ, සත පහේ ඒවා.
"මේ මොකද තමුසේ පංසලේ කැටේවත් කැඩුවද ?"
"නෑ මේ ... මේ ... " සුනිල් ගොත ගහද්දි
"කමක් නෑ තමුසේ කැටේ කඩල හරි සල්ලි ගෙනාපු එක හොඳයි"
ඊලඟට මගේ ගාව නැවතුනා. මම රුපියල් දෙකේ ඒවගෙන් තමයි දුන්නේ. එකත් වැඩි කතාවක් නැතුව ගත්තා. ඊට පස්සේ බලන බලන එකා ගාව කාසි මළු. දැන් ගෑනිගෙ මූන රතු වෙලා කඳුළු කඩා වැටෙන්න ඔන්න මෙන්න.
"ඇයි මේ ඔක්කොම මාරු කාසි ගෙනැල්ලා. මොකක්ද වෙලා තියෙන්නේ. ඉන්නව මන් සර්ට කියන්න කියලා" බිඳුනු හඬකින් කියල යත්දී අජිත් ගාමිණියා කෑ ගහලා කියනව
"මෙවත් සල්ලි තමයි ශ්‍රී ලංකාව ඇතුලත ඔනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා භාවිත කල හැක" කියලා.
පන්තිය පටන් ගත්තා. මම හිටියේ සර්ට හරියට පේන්නැති තැනක. බිම බලාගෙන. සර් උගැන්විල්ල පැත්තක තියලා වෙනම දේශණයක දුන්න බොහොම කලකිරුණු ස්වභාවයකින්.
"මෙත ඉන්න හැමෝම මම පුද්ගලිකව අඳුරන අය. ඒක නිසා තමයි මම බොහොම අඩු මුදලක් අය කරල මේ වගේ තැනක් මේකට සූදානම් කලේ. (අපේ වීරවරියත් ඉන්නව පැත්තක කන්දුලු පෙර පෙර. මට දුකත් හිතුන ). මටත් පුළුවන් මීට වඩා පහසුකම් තියෙන තැනකට මේක ගෙනියන්න. එතකොට මේ වැඩ වලට කීප දෙන්ක්ම යොදවන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාලට නිකමට වත් දෙවෙනි සතිය පහු වෙල පන්තියට යන්න බැරි වෙනව. කාට හරි අමාරුකමක් තියේනවනම් මට කියන්න තිබුනා. මීට පස්සේ මේ වගේ දේවල නොවෙයි කියල මම බලාපොරොත්තු වෙනව."
ප: ලි:
දැන් පංති යන අය මේවා අත්හදා බලන්න යන්න එපා. මොකද එතකොට සල්ලි ගැනල පන්තියට ගත්තොත් එහෙම කරන අයට පංතියට යන්න වෙන්නේ සෑහෙන වෙලාවක් උගන්නුවට පස්සෙ.
පලවෙනි පින්තුරය ගත්තේ : http://spicewriter.wordpress.com
දෙවෙනි පින්තුරය ගත්තේ : http://www.shutterstock.com
සිකේ අපරාදෙ අපි හිටියනං දෙනව හූවක් ආයි..
ReplyDeleteහැබැයි අදකාලෙ ඕක උනානං හොඳ කුණුහබ්බෙන් දෙකාමාරක් කියලා වෙන පන්තියකට යනවා.:-P
ඒ කාලේ ඒ වගේ පංති තිබ්බේ.
Deleteහෙහ් හේ.....!! අපිත් ඕකම කරල තියනව ඉස්කෝලෙදි, ටිකට් වගයක් විකුනන්න දීල.. වැඩේ කියන්නෙ සර්මයි සල්ලි ගැනගැන එකතු කලේ. දැංනං පවි කියලත් හිතෙනවා.
ReplyDeleteමටත් දැන් පව් කියල හිතෙන්නේ.
Deleteහොඳ වැඩේ !
ReplyDeleteලේසි නෑ. තෑගි දිනපු ලිපියක්නෙ...
මේක ලිව්වේ අප්‍රේල් 3. තෑගී ලැබුනේ දෙසැම්බර් විසි ගණන් වල නරක නෑ නේද?
Deleteමට අතීතය මතක් උනා. එක්තරා ටියුෂන් එකට සල්ලි දෙන්න නැතුව මාස ගනන් පහු වෙද්දි සර් හිතුවේ මම ගෙදරින් දෙන සල්ලි වියදම් කරලා කියලා. කවුරුවත් දැනගෙන හිටියෙත් නෑ මට එහෙම ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා. මම ගෑණු ළමයෙක් නිසා සර් ට කියන්නත් ලැජ්ජයි. ඒත් ටියුෂන් නැතුව ඒ විෂය කරගන්නත් බෑ.මාස 4-5ක් යනකොට සර් මාව ගණන් ගත්තේ නෑ.මම දන්නෙ නැති කොච්චර අමාරු දෙයක් ඇහුවත් ඒක මෝඩ ප්‍රශ්නයක් කියලා කෙලින්ම කිව්වා. මගෙ ඕනකමට ඉගෙනගත්තා මිසක් කවදාවත් ගෙදරින් ඒකට පිළියමක් ලැබුනෙවත් ඒ ගැන කතා කලේවත් නෑ. අන්තිමට මම තීරණය කලා සර් ට ඇත්ත කියන්න.දවස් ගාණක් සර්ගෙ ගේ ගාවට ගිහින් හැරිලා ආවා. අන්තිමට දවසක් සර් ගෙ ගෙදර දොරට තට්ටු කරගන්න පුලුවන් උනා.මට එවෙලෙ කියාගන්න පුලුවන් උනේ 'සර්, මට පන්ති සල්ලි දෙන්න විදියක් නෑ" කියලා විතරයි. මම හෝ ගාලා ඇඬුවා. සර් මගෙ ඔලුව අතගාලා හොඳට ඉගෙනගන්න කිව්වා. ආයේ කවදාවත් මාව class එකේදි ලැජ්ජ කලේ නැහැ.පුලුවන් හැමවෙලේම මාව appreciate කලා.අන්තිමට සර් ගෙ පන්ති හයෙන්ම best rank එක දැම්මෙ මම.
ReplyDelete