Showing posts with label මොබයිල්(Mobile). Show all posts
Showing posts with label මොබයිල්(Mobile). Show all posts

Monday, October 28, 2013

රසවත් ඇබැද්දියක් ...... Troubled but enjoyed

සෙලියුලර් ෆෝන් ලංකාවේ වඩාත් ජනප්‍රිය වේගෙන ආව 1995 වගේ කාලේ තමයි මම බැංකුවට ආවේ. ඒ කාලේ අපි ගාව පේ ෆෝන් කාඩ් අට්ටි ගණන් තිබුණා පාවිච්චි කරපු. හැම දෙනා අතම ජංගම දුරකථනයක් නොතිබුණු ඒ කාලේ, එක්කෙනා දෙන්නා හොරෙන් හොරෙන් වගේ ජංගම දුරකථන ගත්තා. විශේෂයෙන්ම අපි වගේ කොළඹට සංක්‍රමණය වෙච්ච අයට මේක වැදගත් මෙවලමක් වුණේ, ඒ කාලේ තිබ්බ බෝම්බ පිපිරීම් එක්ක. මේ බෝම්බෙනුත් අපි බේරුණා කියලා ගෙදරට කියන්න. 1996 ජනවාරි තිස් එක් වෙනිදා මහා බැංකුවට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක කැළඹිලා හිටිය ගෙදර උදවියට පණිවුඩය දෙන්න හොඳටම ප්‍රමාද වුනාම මමත් තීරණය කරා ජංගම දුරකථනයක් ගන්න. 

මුලින්ම ගත්ත මොබිටෙල් සබඳතාවයක්. එකේ පිටතර රුපියල් දහතුනයි, පැමිණෙන ඒවාට රුපියල් දහයයි. හිතා ගන්නවත් පුළුවන්ද ? ඒ කාලේ සමහර ඒවා රුපියල් දහ-නවයක් අය කළා. මේ කාරණය නිසාම මම ඩයලොග් සබඳතාවක් ගත්තා අනු අටේදී. එතකොට ඩයලොග් වැඩිය ජනප්‍රිය නෑ. කවුරුවත් ගන්නෙම නැති ගණන්. කිසි වදයක් නැතිව ගන්න පුළුවන්. කෝල් නෙවෙයි සබඳතාවය. කෝල් එකක් ගන්න අට වතාවක් උත්සාහ කරන්න ඕනේ. අපි ඒ කාලේ ඔටෝ රී ඩයල් දැම්මා. පස්සේ බිල ආවම දැන ගත්තේ, ඔටෝ ඩයල් වෙච්ච හැම එකකටම බිල් වෙලා කියලා. ඉතිං කියන්න බැරි වුණා, මගේ සබඳතවේ පිටතට අටයි, ඇතුළතට හතරයි, පළමු විනාඩි තුන නොමිලේ. වන් ෆෝ වන කියලා එකක් තිබ්බා. ස්ථාවර දුරකථන වලට එක කෝල් එකක් ගත්තම. ගන්න හැම විනාදියකටම ස්ථාවර ලැබෙන ඇමතුමක සමාන විනාඩි ගණනක් නොමිලේ. අපි පුදුම විදියට ඒ කාලේ ඕවා කළමනාකරණය කළා. විශේෂයෙන්ම දුරකථන නැති අය එන ඇමතුම වලට අපේ අංක භාවිතා කළා විනාඩි තුන ඇතුලත. මගේ රුපියල් අටට තිබ්බ අවුට්ගොයින් ඒකත් රුපියල් නවයක් වුණා ටික කාලෙකදී. ඒ අනුව තමයි දහ අට තිබ්බ සෙල්ටෙල් ඒවා දහ නවයත්, දොළහට තිබ්බ මොබිටෙල් ඒවා දහතුන වුණෙත්.

පින්තූරය ගත්තේ : www.flashgsm.ro
මේ කාලෙදී මම වැඩ කල කාර්යාලය තිබ්බේ නුගේගොඩ. එකක් කියන්න ඕනේ මගේ ගාව ඒ කාලේ තිබ්බ Sagem RT635 කියන ෆෝන් එක. කියලා වැඩක් නෑ කණ පැලෙන්න සිග්නල් තියෙනවා. ඉස්සර ලංකාවේ හැමතැනම ඇවිද්ද අපිට මේකෙන් වෙච්ච සේවේ කියලා වැඩක් නෑ. ඒ කාලේ හැටියට තිබ්බ ගඩොල් වල හැටියට මේක මාර ස්ලිම් ෆෝන් එකක්. මිනිස්සු ඉල්ලගෙන බලපු අවස්ථාත් තියෙනවා. මම මේකට රුපියල් එක්දාස් පන්සීයක් දීලා කවරෙකුත් ගත්තා. ඉස්සර මේවා සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. දැන් වගේ ස්ලිම් ෆිට් කලිසම් ඇන්දා නම් දාලා හමාරයි. ඉතිං මම ඔෆිස් ගිය ගමන් ෆෝන් එක අරගෙන මෙසේ උඩින් තියනවා.

දවසක් මෙහෙම තියලා තේ බීලා එනකොට අපේ ඔෆිස් එකේ චුලා (මගෝඩි වැඩ වලට දෙයියා) මගේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා. මාව දැකපු ගමන් චුලා ෆෝන් එක මෙසේ උඩින් තිබ්බා. මමත් ගණන් ගත්තේ නෑ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දවසක් ලෙස්ලියා මගේ ගාවට දුවගෙන එනවා ප්‍රින්ට් අවුට් කෑල්ලකුත් අරගෙන.

"මචං බලපන් හරි වැඩක් නේ වෙලා තියෙන්නේ. උඹේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ගිය මාසේ කෝල් එකක ඇවිල්ලා. විනාඩි දහයක් අපි දෙන්නා කථා කරවද ? මම විනාඩියෙන් කට් කරන එකා. බලපන් බිල. විනාඩි දහයට රුපියල් එකසිය හැටක් ගිහිං"

"මටත් හිතා ගන්න බෑ. පොඩ්ඩක් හිටපං මගෙත් බිල ආවට මම කඩලා බැලුවේ නෑ. බෑග් එකේ ඇති"

මම බිල අරන් කඩලා බැලුවා. මගෙන් ලෙස්ලිගේ ෆෝන් එකට කෝල් එකක් ගිහින්. විනාඩි දහයට මට රුපියල් අනූවක් ගිහිං. මම ටිකක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකින් මට වැඩේ මීටර් වුණා.

"මචං දවසක් මම තේ බීලා එනකොට චුලා මගේ ෆෝන් එක අතේ තියන් ඉඳල පැත්තකින් තිබ්බ. මමත් බැලුවේ නෑ. සමහරවිට උඹ අනිත් පැත්තෙන් කවුරුවත් කතා නොකරන නිසා කට් කරන්නේ නැතිව ෆෝන් එක තිබ්බද දන්නේ නෑ. මටත් රුපියල් අනූවක් ගිහිං"

"බලපන් බං වැඩේ හැටි, ගත්තු එකාට අනූවයි. ආපු එකාට එකසිය හැටයි !!!"

______________________________________
අද කාලේ මේ වගේ එකක් වුණත් කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඒ කාලේ අපි පුදුම අරපිරිමැස්මෙන් තමයි ෆෝන් භාවිතා කලේ. දැන් නම් ඉතිං බ්ලාස්ටර්, උපහාර නිසා මේවා ගාණක් වත් නෑ. අනිත් එක තමයි ඒ කාලේ සී.එල්.අයි. නෑ. හරියට අන්ඩර දෙනවා, විනාඩිය පනිනක්න්. මෙන්න මේ අතීතය පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක මේ කතාව මතක් කලේ.
__________________________________________
ප.ලි. පස්සේ දැක්කේ මේ මම ලියපු 250 වෙනි පොස්ට් එක කියලා. 

Sunday, June 2, 2013

මෙහෙම කථා කරන්නේ නොදැනුවත්කමටද ? රැල්ලටද ? එහෙමත් නැත්නම් ගොංකමටද ?

 අද උදේ ගාලු පාරේ විලියම්ස් හන්දියෙන් දුර ගමන් සේවා බස් රථයකට ගොඩ වුණේ කරදරයක් නැතිව ඉක්මනට ඔෆිස් එකට එන්න. දන්නවනේ මොරටුව/පානදුර බස් කොටන හැටි. බස් එකට නගිද්දීත් බස් එකේ ඇති තරම් ඉඩ කඩ තිබුණා. මම පිටිපස්සේ පේලියෙන්ම වාඩි වුණේ බස් එකේ වෙගේත් එක්ක වෙන තැනකට යන්න ගියා නම් ගුවන් කරනම් සංදර්ශනයක් වෙන්න ඉඩ තිබුණ නිසා. බස් එක කොල්ලුපිටිය හන්දියට එත්දී බස් එකේ ඉතිරි වුනේ කීප දෙනෙක් විතරයි. හන්දිය පහු කරලා ගෝල්ෆේස් බලා අධික වේගයෙන් යනකොට මම දැක්ක දර්ශනයෙන් චිත්තප්‍රීතියෙන් පිනා ගියා. මේ දර්ශණය කැමරාවට අහු කර ගන්න මම කොයි තරම් කාලයක් පෙරුම් පිරුවද ? මේ පින්තුරේ ටිකක් ගැස්සිලා. මම ඉතිං අපේ වෙනි, අනුෂ්ක, ලිෂාන් වගේ වෘත්තීය කැමරා ශිල්පියෙක් නෙවෙයිනේ. මගේ ෆෝන් එකෙන් තමයි ඉතිං ඕනෑම එකක් ගන්නේ. ඒ ගන්න ඒවාගේ මට නම් වරදක් පේන්නෙත් නෑ. හැබැයි ඔය වෘත්තීය කට්ටියට නම් පෙනෙයි. මේක ගත්තු එකමත් නෙවෙයි, වටපිට කපල ගත්තු එකක්. 


මේ ඉහලින් තියෙන පින්තුරය දැක්කම ඔයාලට හිතෙයි "අයියෝ මේකේ මොනවද තියෙන විශේෂය. කොල්ලෙක් මලක් කඩන එක සාමාන්‍ය දෙයක්නේ. මුගේ තියෙන කුප්ප කමට තමයි මේ වගේ ෆොටෝ ගන්නේ" කියලා. ඇත්තටම ඔව් ඉහල පින්තුරේ කියන්න වරදක් නෑ. ඒකෙ තියෙන්නේ තමන්ගේ පෙම්වතියට ඉතා සාවධානව ඇහුම්කන් දෙන තරුණයෙක්. වරදක් නෑ. හොඳයි මම ඔයාලට ඇත්තම කියන්නම් මේක වැරදිලා වැදිච්ච එකක්. මට ගන්න ඕන වුනේ මේක නෙවෙයි. ඕන එක ගන්න කියලා එබුවට වැදුනේ මේකනේ. ඉතිං මොනවා කරන්නද? ඒත් මම අත ඇරියේ නෑ. කොහොම හරි කරලා ඕන කරන එකත් ගත්තා. බලන්න පහල පින්තූරේ. මේක දැක්කම මොනවද හිතෙන්නේ 


මේ දර්ශනය ඔයාලත් ඕනෑ තරම් දැකලා ඇති. අපේ වයසටද මන්දා මට නම් මේක දැක්කම එක පැත්තකින් තද වෙනවා, අනිත් අතින් හිනහත් යනවා. කලින් එක ගන්නකොට ටිකක් තිගැස්මෙන් ගත්තත් මේක ටිකක් පරිස්සමට ගත්තා. අන්තිමට ඕනෑ කරන විදියට ආවා. දැන් මේක සාධාරණීකරණය කරන්නත කට්ටිය ඉදිරිපත් වෙයි. "හරියට ඇහෙන්නේ නැති නිසානේ අපි එහෙම කරන්නේ" කියලා. හරි අපි ඒ දේටනම් පොඩි චාන්ස් එකක් දෙමු. ඒ වුනාට සමහරු කිසි චාරයක් නැතිව මේක එහාට මෙහාට කරන්නේ හරියට බස් එකේ ගියර් දානවා වගේ. මම දැකලා තියෙනව සමහරු මේකේ ඩිස්ප්ලේ එකට ඒ වගේම ස්පීකර් එක තියෙන පැත්තටත් කථා කරනවා.

ඒ වගේ අවස්ථා වලත් වරදින්නේ නැතිව වැඩේ සිද්ද වෙන්නේ සෙල් ෆෝන් වල තියෙන කන්ඩෙන්සර් වර්ගයේ මයික්‍රෆෝන් වලට පිං සිද්ද වෙන්න. මේවාට ඉලෙක්ට්‍රෙට්(Ilektret) මයික්‍රෆෝන් කියලත් කියනවා. අර සංගීත සංදර්ශන වල භාවිතා කරන මයික්‍රෆෝන් නම් වටපිට ශබ්ද නොගෙන ඉන්න නිසා කටේ අලවාගෙන තමයි කථා කරන්න ඕනේ. නමුත් අපේ තරුණ පරපුර මේ කරන වැඩේ මේ ෆෝන් හදපු අය දැක්කොත් බෙල්ලේ වැල දා ගන්නවා නියතයි. මොකද ඒ ඇයට පේන්න පුලුවන් මේක දුරකථනයේ අඩුපාඩුවක් කියලා. 

ජංගම දුරකථනයේ මූලික අවධිය නියෝජනය කරන වෝකි-ටෝකි වල නම් මේ වගේ තමයි භාවිතා කරන්න ඕනේ. ඒ ස්පීකරය සහ මයික්‍රෆෝනය යන දෙකටම ස්පීකරය භාවිතා කරන නිසා. ඒවාගේ කථා කර අවසන් කල විගස "ඕවර්" කියන වචනය මගින් අනෙක් පාර්ශවයට දන්වා සිටිනවා තමන් අමතා අවසන් කියලා. දැන් මේ සෙල්ෆෝන් හුටපටයට නැවතත් ආවොත් මම කල්පනා කලේ මේ විදියට කථා කලහම අනිත් පැත්තෙන් කියන ඒවාගෙන් කොටසයි නේ කනට ඇහෙන්නේ කියල.

දෙන්නම් මේ ක්‍රමය අනුගමනය කලොත්, අඩුම වශයෙන් කථාවෙන් 50% අහක. අරයා අහලා ඉවර කරන්න කලින් මෙයා උත්තර දෙනවා. මෙයා උත්තර දීලා ඉවර කරන්න කලින් අරයා කථා කරන්න පටන් ගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුන්ගේ ආගත නාගත හොයන්නේ මොකටද කියලා. නමුත් මේක දැන් රැල්ලක් වෙලා.
 මගේ මාතෘකාව දෙස බැලුවොත් මේ කරන අයගෙන් 75% නොදන්නා කමට තමයි මෙහෙම කරන්නේ. මගේ පරණ ලොක්කෙක් හිටියා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොක්කා. අවුරුදු 60ක් විතර කාලේ අපිත් එක්ක වැඩ කලේ. දිඹුලාගල හාමුදරුවන් සිහි කරන පෙනුමක් තමයි තිබ්බේ. අර ගඩොල්භාග යුගයට පස්සේ ආපු අඟල් 6-8 පැතලි ජංගම දුරකථන පාවිච්චි කරන යුගයේ මම ගත්තා නොකියා 8250 කියන අඟල් දෙකක් දෙකහමාරක් විතර උස ෆෝන් එක. එක බලලා එතුමා ඇහුවේ මේකේ කියන දේවල් ඇහෙනවාද කියලා. එතුමාගේ වයසත් එක්ක එහෙම හිතුව එක සාධාරණයි. මේ අලුත් පරම්පරාවේ අයටත් හිතා අන්න බැරි කොට.
පින්තුරය ගත්තේ : www.gsmarena.com

සමහර වයසක උදවියත් මේ ක්‍රමය අනුගමනය කරනවා මම දැකලා තියෙනවා. හේතුව බොහෝ වැඩිහිටියන් මේ දේවල් ඉගෙන ගන්නේ ළමයින්ගෙන් වීම. හැබැයි ඒ අය දන්නේ නෑ මයික් එක තියෙන පැත්ත. වෙලාවකට වැරදි පැත්තටත් කථාකරනවා. තරුණයන් අතර මේක රැල්ලක් බවට පත් වෙලා. ගොංකමට කරන අයත් ඇති. මගෙත් වැරදි ඇති, කවුරු හරි පෙන්වා දුන්නොත් නිවැරදි කර ගන්න නිහතමානී කම තියෙන්න ඕනේ.

ඔබේ වටේ ඉන්න කෙනෙකුත් මේ දේ කරනවා ඔබ දැක ඇති. ඉතිං කිව්වම දෙයක් හදා ගන්න ජාතියේ කෙනෙක් නම් දැනුවත් කරන්න. එහෙම නොවෙන අයට මේ ගැන කියලා "ඇයි මීට කලින් මෙහෙම කථා කරනවා දැකලා නැද්ද, නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ" කිව්වා කියලා ඔන්න මටනම් කියන්න එපා. අපේ විදේශගත මිතුරන්ගෙන් දැන ගන්න කැමතියි මේ ක්‍රමය ඔය රටවලත් තියෙනවද කියලා. ඇත්තටම මේ වගේ කථා කරන කෙනෙකුට බ්ලුටූත් හෙඩ් සෙට් එකක් දුන්නොත් කොහොමට හිටීද ?

මේ විදියට භාගෙට කථා වැරදිච්ච අවස්ථා එමට ඇති. ඔබට ඒ වගේ අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. හදලා ලියන්නත් හිතෙනවා. පස්සේ බලමු ලොල් කතාවක් විදියට වත්. 

Thursday, November 15, 2012

චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....

මගේ ඔෆිස් එක තියෙන්නේකොළඹ කොටුවේ කියල මම කීප වතාවක්ම ලියල තියෙනවා දකින්න ඇති. අද මම කියන්න යන්නේ මගේ ඇස් දෙකේ කටු අනින්න වගේ දර්ශනයක්. කොටුව යෝර්ක් වීදියේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මහජන බැංකුව, ලක්සල, කාර්ගීල්ස් අතර තියෙන මහජනයා නිතර ගැවසෙන ඒ වගේම ඇවිදගෙන යන හෙවන තුල විවිද වෙළඳාම් කටයුතු සිදු වෙනවා. වයසක අම්මලා කිහිප දෙනක් රේන්ද විකුනනවා, තවත් කාන්තාවන් කිහිප දෙනෙක් පැරණි මුද්දර, ලොතරැයි විකුණන කුටි කිහිපයක්, මේස් සහ බෙල්ට විකුණන මුස්ලිම් පුද්ගලයෙක්, සාස්තර කියන වයසක අන්කල්, ඒ වගේම ගීත ගායනා කරන අන්ද යුවල, පත්තර සහ අයදුම්පත් විකුණන කඩය, සපත්තු මහන්නන්. මගේ කාර්යාලය එලිපත්තේම රෙදි මත අඳින ලද චිත්‍ර විකුණන පුද්ගලයකුත් ඉන්නවා.මේ කණ්ඩායම තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙන යන්නේ මේ ගොඩනැගිලි වල එළිපත්තේ තියෙන හෙවන තුල. සමහර විට ඔබත් මම මේ විස්තර කරන ප්‍රදේශ තුල ඇවිද ගිහින් ඇති. 

දැන් අවරුද්දකට හෝ ටිකක් වැඩි කාලයකට කලින් මේ සියලු වෙළඳාම් කටයුතු තහනම් කළා. තහනම් කියන දේ අපේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. ඒ නිසා පොලීසිය යොදවලා මේ අයව අත්අඩංගුවට ගත්තා. දින ගණනාවක් මෙහෙම කරත්දී මේ අය මේ ප්‍රදේශයේ නැතුව ගියා. හැබැයි ලොතරැයි කූඩු සහ පත්තර කුටිය එසේම පැවතියා. එය රජයේ ප්‍රතිපත්තිය වන්නට පුළුවන්. ඇත්තටම ලක්සල සහ කාර්ගීල්ස් වෙත එන විදේශිකයන්ට මෙහි වෙසෙන මෙම වෙළඳුන් බලෙන් තමන්ගේ භාණ්ඩ විකිණීමට ගන්නා උත්සාහය දැක්කාම ඇති වන්නේ කේන්තියක්. එහෙත් ! මේ මිනිසුන් මේවා කරන්නේ විනෝදාංශයකට නොව දරු පවුල් රක්ෂා කර ගැනීමට බව මෙහි තිබෙන කටුක යතාර්ථය. එහෙත් ! මේවා කල යුතු නිවැරදි ක්‍රමය මෙය නොවේ. පදික වේදිකා වෙළඳාම තහනම් යුගයක් කාට හෝ විශේෂයක් සිදු කල හැකිද ? අපද විදෙස් රටවල ගොස් ඇත්තෙමු. එවැනි අවස්ථා වල කවුරුන් හෝ අනවශ්‍ය ලෙස කරදර කරනවාට අප කැමති නැත. ඒ තුලින් අපේ රටට අනාගතයේ ලැබෙන්නට තිබෙන සංචාරක ආගමනය අඩු වන්නට පුළුවන. 

මෙසේ තිබුනාට කමක් නැතැයි මා විශ්වාස කරන කර්මාන්ත කිහිපයක් ඇත. ඒ පත්තර වෙළඳාම, සපත්තු මසන්නන්ය. ඔවුන් මගින් ප්‍රදේශයේ රාජකාරි කරන අයට මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි ස්ථාන වලට පැමිණෙන යට සේවාවක් සිදු වේ. එක් අතකින් ඔවුන් කිසිවකුට බලෙන් තම සේවාව සපයන්නට වෙර දරන්නේ නැත. අනෙක් කොටස සාස්තර කියන්නා සහ ගීත ගායනා කරන අන්ද යුවලය. සාස්තර කියන සුදු අඳින අපේ තාත්තලාගේ වයසේ සිටින අන්කල්  යනෙන පිරිසට අතින් සන් කලද ඔහුගෙක් කිසිවකුට කරදරයක් නැත. මේ සියල්ලටම වඩා අන්ද යුවල ගායනා කරන ගී සමුච්චය මටනම් ගෙන දෙන්නේ මිහිරක්. අප බොහෝදෙනා ප්‍රිය කරන 70 දශකයට අයිති ගීත නැත්නම් පැරණි ගීත වලට ඉතා මධුර ලෙසේ ඔවුන් කටහඬ මුසු කරයි. ඉඳහිට ඒ.ටී.එම් යන්ත්‍රයට හෝ වෙනත් කටයුත්තකට එලියට බසින මා මේ ගීතයක් දෙකක් රස වීඳ එන්නට පුරුදු වී ඇත්තෙමි. මේ කිසිවක වරදක් මා දකින්නේ නැත. එක් යුගයක මේ ප්‍රදේශය සුද්ද කල පසු කෙනෙකුට බාදාවකින් තොරව එහා මෙහා ගමන් කිරීමට හැකි වුවද, එකල පුංචි කතුරක්, පිහියක් රුපියල් පනහකට සීයකට ගන්නට හැකියාව සහ පහසුව තිබු අපට ඒ සඳහා පිටකොටුවටම් බඩ ගාන්නට සිදු විය. 

එහෙත් කාලයාගේ අවෑමෙන් නැවතත් ඔවුන් පුරුදු තැන් වල යලිත්වෙළඳාම් කරනවා දකින්න ලැබුණු අතර දැන් කිසිවකු ඔවුන් පසුපස එලවන්නේ නැත. එහෙත් යම් යම් දිනයන් වලදී ඔවුන් හදිසියේ බඩු මුට්ටු හකුලාගෙන වේගයෙන් ගමන් කරනවා දැක ඇත. නමුත් මේ සියල්ලටම වඩා ව්‍යසනයක් ලෙස මා දකින්නේ මෑතක සිට ආරම්භ වී ඇති චයිනීස් කාන්තාවක් සහ පිරිමියෙක් කරගෙන යන ජංගම දුරකථන වෙලන්දාමයි. ඔවුන් කිසි බයක් සැකක නැතිව විවිධ වර්ග වල ජංගම දුරකථන වෙළඳාම් කරන්නේ හරියට තමන්ගේ රටේ සිටිනා සේය. මුලින්ම මෙය දුටු මට ඉතා කනගාටුවක් ඇති විනි. හේතුව ආගන්තුක රටකදී තමන් සතු මුදල් නැති වීමේ අත්දැකීම විඳි පුද්ගලයකු වශයෙන් එවිට් ඇති වන අපේක්ෂා භංගත්වය හොඳින්ම දන්නා නිසාය. මේ එවැනි යුවලක් යයි මුලින් සිතුනද ඔවුන් යහමින් මෙම කර්තව්‍ය කරගෙන් යනවිට මට ඉතා දැඩි කෝපයක් එන්නේ නිතැතිනි. එක් අතකින් ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථනනයක් භාවිතා කල යුතු නම් එය ශ්‍රී ලංකා විදුලි සංදේශ   නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) ලියාපදිංචි එකක් විය යුතුය. එය පහුගිය අවරුදු වලදී ඉතා හොඳින් සිදු වන ආකාරය දැක යම් සතුටක් ලැබූ පුද්ගලයෙක් වූ මාට අර වෙළඳාම ඇසේ කටු අනින්නා සේ වුයේ එබැවිනි. 
මේ ඉන්නේ දෙන්න ගෙදර වගේ

මේ ෆොටෝ එක ගනිද්දී මේ දෙන්න(ලොතරැයි කූඩුවේ) බය වුනා ළඟම හෙනයක් පාත් වුනා කියල.

ඔය ඉන්නේ අපේ අයියලා වට වෙලා

බලන්න බය නැතිව කැමරාවට මුහුණ දුන් ආකාරය

එසේ ලියාපදිංචි දුරකථනයක්(ජංගම) නැති වූ විටක එහි ඉමි(IMIE) අංකය නියාමන කොමිසමට ලබා දීමෙන් එය භාවිතය වලක්වා ගැනීමට හැකි සේම විවිධ හොරකම් මෙන්ම පාතාල සිදු වීම් වැටලීමට ජංගම දුරකථන තොරතුරු වැදගත් වූ අවස්ථා අප දැක ඇත. ඇත්තටම මේ සඳහා වඩා වැදගත් වුයේ සිම් පතේ තොරතුරුය. නමුත් මෙයින් යම් පාඩුවක් සිදු වන කොටසක් වන්නේ ලංකාවේ ජංගම දුරකථන බලයලත් ආයතනයන්ය. ඔවුන්ට මෙනිසා වෙළඳාම අඩු වන අතර ඒ හේතුවෙන්ම එවැනි කටයුතු  අහවර වන්නටද හේතු විය හැක. මෙමගින් රජයට ලැබෙන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වේ. අද ලංකාව තුල විවිද ක්‍රම මගින් ලැබෙන ජංගම දුරකථන ප්‍රමාණය මෙහි ජනගහනයත් ඉක්මවා ඇති බව නොරහසකි. දැන් අඩුම වශයෙන් එක් අයෙකු අත ජංගම දුරකන දෙකක් ඇත. සමහර ජංගම දුරකථන ද්විත්ව සිම් ඒවා නිසා එකක් එවනි දුරකනයක් වූ විට සම්බඳතා තුනක් එක් අයෙකු ළඟ ඇත.

 මේ චීන කතගේ වෙළඳාම දවස් දෙක තුනකදී අවසන් වනු ඇතැයි මා මුලින් බලාපොරොත්තු වූ නමුත් එය අවසන් වන පාටක් තිබුනේ නැත.  ඇයට කෙළවරක් නැතිව දුරකථන සපයන්නේ කවුද ? එක් අයෙක් දුරකථන තුනකට වඩා රැගෙන් ආවොත් ගුවන්තොටුපල රේගුව මගින් ඔවුන්ට දඩ නියම කරයි. එනිසා කවුරුත් එම නීතියට අනුව වැඩ කරයි. ඒ අතරින් රිංගා එන අයද නැත්තේ නොවේ. මා පසුව කල විමසීමකදී දැන ගන්නට ලැබුනේ කිහිප අවස්ථාවකම මොවුන් කොටු වුවද, පොලීසියටද ජරාව දෙන බවය. 

මා මේ සඳහා මුලින්ම ගත් පියවර වුයේ අනුෂ පැල්පිට මහතා දැනුවත් කිරීමයි. එතුමා මගේ තොරතුරු වලට ස්තුති කොට ඒ සඳහා පියවරක් ගන්නා බව දන්වන ලද අතර කිහිප දිනක් ඔවුන් වසන් වුයේ ඒ හේතුවෙන් විය යුතුය. දැන් මෙය එතුමාටද නතර කරන්නට බැරි තැනකට පත් වී ඇත යන්න මගේ විශ්වාසයයි. දිනක් මගේ කාර්යාලයේ ආරක්ෂක මහතා සිටින තැන වහන් වී, ටයි දාගෙන් සිටින කොලු ගැටව් කිහිප දෙනෙක්ට වෙළඳාම කරනු දැක මට අසූ හාර දාහට තද වී බැන එලවා දැමු අතර ආරක්ෂක මහතාටද තරයේ අවවාද කලපසු එවැනි සිදු වීමක් නැවත නොවීය. 
____________________________________________________
ඊයේ පාසලක දැරියන් දාහකට එකවර ශරීරයේ කසන තත්වයක් මත රෝහලගත කර පුවත අසන්නට ලැබුනා. පසුව මෙය මැක්කන් නිසා සිදු වුවක් බව වාර්තා වුනා. මැක්කන් මකුණන් උවදුරක් ලෙස අපටත් තුබූ කාලයක් තිබුනා. අද අපේ ඔෆිස් එකේ කතා වුයේ අතීතයේ මකුනන්ට කල ප්‍රතිකර්මය. අප දැන් කිසිදු සතෙකු මරන්නේ නැති වුවද කුඩා කල පුටු වල ඉන්න මකුනන්ට එලව එලවා පහර දෙන යුගයක් තිබුනා මතකයි. උණු වතුර දැමීම, ඉරටු වලින් ඇනීම්, විවිධ බෙහෙත් වර්ග යෙදීම් එකල සුලභව දකින්නට තිබුනත්. අද මැක්කන් සහ මකුණන් වඳ වී යන තවත් සත්ව කොට්ටශයකට අයිතිදැයි අප තර්ක කළා. 

මෙසේ වන්නට ඇත්තේ මන්ද? එකල අපේ නිවෙස් වල තිබු කොහු මෙට්ට ඔවුන්ගේ වාසයට කදිම ස්ථාන වුවත්, විවිද රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර සාදන රබර් මෙට්ට නිසා සහ අප බෙඩ් ශීට් පිරිසිදු කරන්නට යොදන රසායනික ද්‍රවය නිසා මේ සතුන් වඳ වී යන්නට ඇතැයි අප නිගමනයකට ආව. මීට අමතරව දුම්රිය,බස්රිය ආදී පොදු ස්ථාන වල හිටි මකුනන්ට කුමක් වීද ? කුඩා කාලයේ මකුණන් සහ මදුරුවන් මා පහසුවෙන් සොයා ආ නිසා නිතරම කහ-කහා ඉන්න පුරුද්දක් මට තිබුනා. 

ඔබ දන්නවාද ඇමරිකාව විශ්වයේ වෙනත් ග්‍රහ ලෝක තරණයට ගියාට ඔවුන්ට තිබෙන එලි නොකළ ලොකුම ප්‍රශ්නයක් මේ මකුණන්. මකුණන් අමරිකාවට තලේබාන් වරුන්ට වඩා තර්ජනයක් වී තිබේ. එහෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඇමරිකන් ප්‍රතිපත්තිය නිසා ඔවුන් තවමත් මේ ගැටලුවේ සිර වී සිටිනවා. වරක් ලංකාවට මහත් තර්ජනයක් වූ නිදිකුම්බා වර්ගය ඇමරිකාවෙන් මෙරටට ත්‍යාග කල කැටපිලර් යන්ත්‍රයක ටයර් මගින් මෙරටට් ආවක් බවට මතයක් පැවතුනා. එහෙනම් මේ මේ මැක්කන්ගේ ප්‍රශ්නයද ඇමරිකාවෙන් අපට බලෙන් එවන් ලද්දක් යයි විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහිපය තුල තර්ක කළහොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...