සෙලියුලර් ෆෝන් ලංකාවේ වඩාත් ජනප්‍රිය වේගෙන ආව 1995 වගේ කාලේ තමයි මම බැංකුවට ආවේ. ඒ කාලේ අපි ගාව පේ ෆෝන් කාඩ් අට්ටි ගණන් තිබුණා පාවිච්චි කරපු. හැම දෙනා අතම ජංගම දුරකථනයක් නොතිබුණු ඒ කාලේ, එක්කෙනා දෙන්නා හොරෙන් හොරෙන් වගේ ජංගම දුරකථන ගත්තා. විශේෂයෙන්ම අපි වගේ කොළඹට සංක්‍රමණය වෙච්ච අයට මේක වැදගත් මෙවලමක් වුණේ, ඒ කාලේ තිබ්බ බෝම්බ පිපිරීම් එක්ක. මේ බෝම්බෙනුත් අපි බේරුණා කියලා ගෙදරට කියන්න. 1996 ජනවාරි තිස් එක් වෙනිදා මහා බැංකුවට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක කැළඹිලා හිටිය ගෙදර උදවියට පණිවුඩය දෙන්න හොඳටම ප්‍රමාද වුනාම මමත් තීරණය කරා ජංගම දුරකථනයක් ගන්න.
මුලින්ම ගත්ත මොබිටෙල් සබඳතාවයක්. එකේ පිටතර රුපියල් දහතුනයි, පැමිණෙන ඒවාට රුපියල් දහයයි. හිතා ගන්නවත් පුළුවන්ද ? ඒ කාලේ සමහර ඒවා රුපියල් දහ-නවයක් අය කළා. මේ කාරණය නිසාම මම ඩයලොග් සබඳතාවක් ගත්තා අනු අටේදී. එතකොට ඩයලොග් වැඩිය ජනප්‍රිය නෑ. කවුරුවත් ගන්නෙම නැති ගණන්. කිසි වදයක් නැතිව ගන්න පුළුවන්. කෝල් නෙවෙයි සබඳතාවය. කෝල් එකක් ගන්න අට වතාවක් උත්සාහ කරන්න ඕනේ. අපි ඒ කාලේ ඔටෝ රී ඩයල් දැම්මා. පස්සේ බිල ආවම දැන ගත්තේ, ඔටෝ ඩයල් වෙච්ච හැම එකකටම බිල් වෙලා කියලා. ඉතිං කියන්න බැරි වුණා, මගේ සබඳතවේ පිටතට අටයි, ඇතුළතට හතරයි, පළමු විනාඩි තුන නොමිලේ. වන් ෆෝ වන කියලා එකක් තිබ්බා. ස්ථාවර දුරකථන වලට එක කෝල් එකක් ගත්තම. ගන්න හැම විනාදියකටම ස්ථාවර ලැබෙන ඇමතුමක සමාන විනාඩි ගණනක් නොමිලේ. අපි පුදුම විදියට ඒ කාලේ ඕවා කළමනාකරණය කළා. විශේෂයෙන්ම දුරකථන නැති අය එන ඇමතුම වලට අපේ අංක භාවිතා කළා විනාඩි තුන ඇතුලත. මගේ රුපියල් අටට තිබ්බ අවුට්ගොයින් ඒකත් රුපියල් නවයක් වුණා ටික කාලෙකදී. ඒ අනුව තමයි දහ අට තිබ්බ සෙල්ටෙල් ඒවා දහ නවයත්, දොළහට තිබ්බ මොබිටෙල් ඒවා දහතුන වුණෙත්.
![]() |
| පින්තූරය ගත්තේ : |
මේ කාලෙදී මම වැඩ කල කාර්යාලය තිබ්බේ නුගේගොඩ. එකක් කියන්න ඕනේ මගේ ගාව ඒ කාලේ තිබ්බ Sagem RT635 කියන ෆෝන් එක. කියලා වැඩක් නෑ කණ පැලෙන්න සිග්නල් තියෙනවා. ඉස්සර ලංකාවේ හැමතැනම ඇවිද්ද අපිට මේකෙන් වෙච්ච සේවේ කියලා වැඩක් නෑ. ඒ කාලේ හැටියට තිබ්බ ගඩොල් වල හැටියට මේක මාර ස්ලිම් ෆෝන් එකක්. මිනිස්සු ඉල්ලගෙන බලපු අවස්ථාත් තියෙනවා. මම මේකට රුපියල් එක්දාස් පන්සීයක් දීලා කවරෙකුත් ගත්තා. ඉස්සර මේවා සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. දැන් වගේ ස්ලිම් ෆිට් කලිසම් ඇන්දා නම් දාලා හමාරයි. ඉතිං මම ඔෆිස් ගිය ගමන් ෆෝන් එක අරගෙන මෙසේ උඩින් තියනවා.
දවසක් මෙහෙම තියලා තේ බීලා එනකොට අපේ ඔෆිස් එකේ චුලා (මගෝඩි වැඩ වලට දෙයියා) මගේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා. මාව දැකපු ගමන් චුලා ෆෝන් එක මෙසේ උඩින් තිබ්බා. මමත් ගණන් ගත්තේ නෑ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දවසක් ලෙස්ලියා මගේ ගාවට දුවගෙන එනවා ප්‍රින්ට් අවුට් කෑල්ලකුත් අරගෙන.
"මචං බලපන් හරි වැඩක් නේ වෙලා තියෙන්නේ. උඹේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ගිය මාසේ කෝල් එකක ඇවිල්ලා. විනාඩි දහයක් අපි දෙන්නා කථා කරවද ? මම විනාඩියෙන් කට් කරන එකා. බලපන් බිල. විනාඩි දහයට රුපියල් එකසිය හැටක් ගිහිං"
"මටත් හිතා ගන්න බෑ. පොඩ්ඩක් හිටපං මගෙත් බිල ආවට මම කඩලා බැලුවේ නෑ. බෑග් එකේ ඇති"
මම බිල අරන් කඩලා බැලුවා. මගෙන් ලෙස්ලිගේ ෆෝන් එකට කෝල් එකක් ගිහින්. විනාඩි දහයට මට රුපියල් අනූවක් ගිහිං. මම ටිකක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකින් මට වැඩේ මීටර් වුණා.
"මචං දවසක් මම තේ බීලා එනකොට චුලා මගේ ෆෝන් එක අතේ තියන් ඉඳල පැත්තකින් තිබ්බ. මමත් බැලුවේ නෑ. සමහරවිට උඹ අනිත් පැත්තෙන් කවුරුවත් කතා නොකරන නිසා කට් කරන්නේ නැතිව ෆෝන් එක තිබ්බද දන්නේ නෑ. මටත් රුපියල් අනූවක් ගිහිං"
"බලපන් බං වැඩේ හැටි, ගත්තු එකාට අනූවයි. ආපු එකාට එකසිය හැටයි !!!"
______________________________________
අද කාලේ මේ වගේ එකක් වුණත් කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඒ කාලේ අපි පුදුම අරපිරිමැස්මෙන් තමයි ෆෝන් භාවිතා කලේ. දැන් නම් ඉතිං බ්ලාස්ටර්, උපහාර නිසා මේවා ගාණක් වත් නෑ. අනිත් එක තමයි ඒ කාලේ සී.එල්.අයි. නෑ. හරියට අන්ඩර දෙනවා, විනාඩිය පනිනක්න්. මෙන්න මේ අතීතය පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක මේ කතාව මතක් කලේ.
__________________________________________
ප.ලි. පස්සේ දැක්කේ මේ මම ලියපු 250 වෙනි පොස්ට් එක කියලා.
__________________________________________
ප.ලි. පස්සේ දැක්කේ මේ මම ලියපු 250 වෙනි පොස්ට් එක කියලා.







