Showing posts with label කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ). Show all posts
Showing posts with label කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ). Show all posts

Monday, February 23, 2015

රංජන් පරණවිතාන නම් වූ ඔහු ......

කළුතර මහා විද්‍යාලයේ උසපෙළ හදාරමින් උන් අපගෙන් සමහරෙක් පාසල් පැමිණියේ උසස්පෙළ විභාගයට ඉඳ ගැනීම සඳහා අවශ්‍ය 80%ක පැමිණීම සහතික කර ගැනීමට පමණි. මා වැනි කිහිප දෙනෙකු වෙනත් හේතූන් සහ අධ්‍යාපනය සඳහා පාසල් එන්නන් අතර වූහ. දෙවෙනි වසරේදී අප කිසිවෙකු පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත නොවූ බව මගේ මතකයයි. නමුත් මා පමණක් රසායන විද්‍යා සහ භෞතික විද්‍යා ගුරුවරුන්ගේ අවසර මත පාසලේ පහසුකම් ඇති පරීක්ෂණ කිහිපයක් කල බව අදටද සිහිපත් වේ. මා නිතිපතා පාසල් ඒමට තවත් එක් හේතුවක් වුයේ රුවන් ගුණසේකර(අද දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති), සුසිල්(කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි) සහ විපුල මුණසිංහ(නාවික හමුදාවේ ඉහල නිලයක් දරන බව ආරංචි ලැබිණි) යන තිදෙනාට ශුද්ධ සහ ව්‍යවහාරික ගණිත පන්ති වලින් ලැබෙන නිබන්ධන වල ඇති ගණන් සෑදීමට උදව් වීමටයි. 

මා හැරෙන්නට බොහෝ දෙනෙකු රාජා අල්විස් මහතාගේ පන්ති වලට සහබාගී වූ අතර මෙවැනි අය ගෙනෙන ගණිත ගැටළු විසඳීමෙන්  මගේ දැනුම වර්ධනය කර ගතිමි. මෙසේ රාජා අල්විස් මහතාගේ පන්ති වලට පිටත් වන අය සඳුදා දිනවල දහවල් 11.00 පමණ විට පාසලෙන් පිටත් වූයේ ගුරුබවතුන්ගේද ආශිර්වාදය ඇතිවය. අපද කොළඹ යන කණ්ඩායමත් සමග පාසලෙන් පිටත් වීම එකල පුරුද්ද විය. මේ කාලය වනවිට පාසලේ ඉදිරිපස දොරටුවෙන්ම පිට වනු දැකගත හැකි විය. තවත් එවැනි දිනක පාසලේ ගේට්ටුවෙන් පිටතට පැමිණි අප, එළියේ ඇති අරලිය ගස් සෙවනේ තවත් මොහොතක් රැඳුනේ ඒ වනවිට එම ස්ථානයේ නවතා තිබුණු නුපුරුදු විශේෂ කාර්ය බලකායට අයත් වාහන කිහිපයක් සහ ඉන් බට කැලෑ ඇඳුමින් සැරසී එස්.ටී.එෆ්. බටයන්ගේ දර්ශනයෙන් කුල්මත් වීද ? නැතිනම් භ්‍රාන්ත වීද යන්න අදටත් නොදනිමි. නමුත් ඇත්ත වශයෙන්ම් මා තුල නම් ඇති කලේ භීතියකි. එළියේ අරලිය ගසක කොළ පැහැති ඩයරි කවරය අස්සේ රඳවාගෙන එන පොත් දෙක රඳවා මා දනිස් වලට බර වී සපත්තුවක ලේස් ගැට ගසමින් සිටින විට, මගේ පොත් දෙක දුහුවිලි සහිත බිමට පතිත වුයේ "තපාක්" වැනි හඬක් නිකුත් කරමිනි. 

එවිටම හමුදා නිලධාරියා සමග කථා කරමින් උන් සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු, ඔවුන් දන්නා හඳුනන අපේ පංතියේ පූජිතගෙන් විමසා සිටියේ
"අපේ ඉස්කෝලේ කෙනෙක්ද ?" යන්නයි. මා පොත් දෙක පිසදමනා ගමන්ම මේ මිනිසා දෙස බැලීමි. ඒ වනවිටත් ඔහුගේ මුවින්
"හාල්" යන වදන පිටවී හමාරය.
ඔහු ඉතිරි කොටස නොකීවත්, එය "පාරුවෙක්" යන්න විය යුතු බව එහි සිටි සියළු දෙනාට වැටහිණි. යන්තම් තාරුණ්‍යය ඉක්මවමින් සිටි, අව් රශ්මිය නිසා අවපැහැ ගැන්වුණු මේ මිනිසාගේ මුහුණින් ඉතා කලකිරුණු ස්වභාවයක් දිස් විය. මගේ සිත දැඩි ලැජ්ජාවකින් පිරී ගියේ, එතැන සිටි සියළු දෙනාම සිනහ වන්නට වීම නිසාය. හිස සලමින් මා කළුතර විද්‍යාලයේ කෙනෙකු බව පූජිතද අනුමත කළේය. ඔහු කවුරුන් නමුත් මේ පාසලට සම්බන්ධ කෙනෙකු බව මට වැටහිණි. පසුව කොළඹ පැත්තට යන බස් නැවතුමට ගමන් ගන්නා විට මා පූජිතගෙන් දැන ගත්තේ ඔහු රංජන් (පරණවිතාන) අයියා බවයි. මීට පෙර මා ඔවුන් ගැන අසා තිබුණේ මා මිතුරු ප්‍රසාද් ගෙනි.  රංජන් අයියා  යනු දක්ෂ කාටූන් ශිලිප්යෙකු බවත් ඔහු ළමා පත්තර වලට කාටූන් චිත්‍රකතා අඳින බවත් ප්‍රසාද් මා හා පවසා තිබුණි. එය සිහි වූ විට මට තවත් ලැජ්ජාව වැඩි විය. මගේ හිතේ වැඩකළ කාරණය වුයේ ඔහු විදුහල්පති තුමාට මේ බව දන්වාවිද ? යන්නයි. 

ඉන්පසුව යලිත් රංජන් අයියා මට මුණගැසෙන්නේ පානදුර-නුගේගොඩ 183 බස් මාර්ගයේ බස් රථයකදීය. දුටු ගමන්ම මා ඔහු අසලින් හිඳගෙන ඔහු හා දොඩමලු විය. පාසලේ ආදී ශිෂ්‍ය සංගමයක කොළඹ කණ්ඩායමක් නැතිද යන්න මගේ පැනයට ඔහු දුන් පිළිතුර මා මෙහි සඳහන් නොකරමි. මාධ්‍ය වේදියෙකු තුල තිබිය යුතු සෘජු බව ඉන් මනාව වැටහිණි. අදද රංජන් පරණවිතාන යනු කියන්න තිබෙන දේ කෙලින්ම පැවසීමට තඹ දොයිතුවක හෝ බියක් නැති පුද්ගලයෙකි. සමහරවිට එනිසා ඔහුට අහිමි වූ තනතුරු වරදාන බොහොමයක් තිබෙන්නට පුළුවන.

ඉන්පසුව රංජන් අයියා සහ මගේ මිතුදම තරවන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. ෆේස්බුක් ආරම්භ කල කාලයේම ගිණුමක් ආරම්භ කල මා, ආනන්ද, රෝයල් වැනි කොළඹ පාසල් වලට මෙන්ම අපේ පාසලටද ෆේස්බුක් පිටුවක් තිබුනානම් යන සිතුවිල්ල ඔස්සේ ගොස් ෆේස්බුක් පිටුවක් සාදා ගතිමි. පසුව රංජන් අයියාද ෆේස්බුක් තුලින් දකින්නට ලැබුණු නිසා, මා මේ ගැන ඔහුත් සමග අදහස් හුවමාරුවේදී පැවසීමි. ඉන් පසුව නිතිපතා මා ඔහු සමග "චැට්" කළේ, ඔහු අකුරු කරන හැම වදනකම මා වැනි පුද්ගලයෙකුට ගත හැකි දේ බොහෝ තිබුණු නිසාය. සෑම දිනකම උදෑසන, ෆේස්බුක් පිටුව ගැන මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳවද ඔහුගෙන් කදිම ගුරුහරුකම් තොගයක් ලැබිණි. මෙවැනි කාර්යබහුල පුද්ගලයෙකු මා වැනි පාසල් කාලයේවත් නොහඳුනන, කෙනෙකුට උපදෙස් දීම ගැන මා සිටියේ සැබවින්ම මවිතයෙනි. 

අප පාසැලේ 71 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනට පාසලේ ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල මාලිංග බණ්ඩාරද එක් වී තිබුණි. නමුත් ඒ කාලයේ ඔහු මුණගැසී වචනයක් දොඩන්න තරම් මා ධෛර්යමත් පුද්ගලයෙකු නොවුණු යුගයක් විය. මට ඔහුගේ ඡායාරුපයක් ගැනීමටද අපහසු විය. මේ බව මා රංජන් අයියාට පැවසු විට, ජනමාධ්‍ය ඡායාරූප ශිල්පය කෙසේ විය යුතුද යන්න ගැන දිගු විශ්ලේෂණයක් ෆේස්බුක් චැට් ඔස්සේ ලැබිණි. ෆේස්බුක් වැනි සමාජ ජාලා අහිතකර බව සැවොම පවසන විට මා පවසන්නේ අවශ්‍ය නම් එය යහපත උදෙසාද භාවිතා කළහැකි බවයි. ඒ බව  පසක් කරගන්නට මේ නිර්ලෝභී මාධ්‍යවේදියාගේ නිහතමානී බව ඉවහල් විය.  මන්ද ඔහු යමක් කියා දෙන්නේ තමන්ගේ බාල සොයුරෙකුට උපදෙස් දෙන වැඩිමහල් සොයුරෙකු පරිද්දෙනි. 

නිශ්මන් රණසිංහ සුපිරි ක්‍රීඩා බ්ලොග් හිතවතාද පැය කිහිපයකට පෙර ෆේස්බුක් ස්ටේටස් එකක් මගින් පවසා සිටියේ ඔහු පුද්ගලික දැන හැඳුනුම් කමට වඩා හැකියාව ගැන සිතේ තබා ගන්නවා යන්නයි. ඇත්ත වශයෙන්ම ඒ පිලිබඳ සහතික කිරීමට මමද තවත් සාක්ෂියකි. එය මේ ලිපියේ අවසන් කොටස කියවන ඔබට පැහැදිලි වනු ඇත.

යලිත් මට ඔහු මුණගැසෙන්නේ එස්.එල්.පී.එල් සමාරම්භක උළෙලේදීය. මගේ මිත්‍ර සුභාෂ් සහ මම එයට සහභාගී වූයේ අපටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා උනන්දුවක් දක්වන මහජන බැංකු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල බන්ධුසිරි නමැති අපේ මිතුරාගේ ආරාධනයෙනි. එහිදී රංජන් අයියා සහ මම එකම පෙළ අසුන් වල හිඳ ගන්නා විට, සමහර නිලියන් පවා ක්‍රීඩකයින් අසලම අසුන් ගන්නා බව පෙනිණි. එය මා ඉතා අපහසුතාවට පත් වූ කාරණයකි. ශ්‍රී ලංකාවේ සිංහලෙන් ක්‍රිකට් ගැන සටහන් තබන ප්‍රමුඛ පුද්ගලයෙකු පමණක් නොව ඕනෑම ක්‍රිකට් ක්රීදකයෙකුට උපදෙස් දෙන්නට තරම් හසල දැනුමැත්තෙක් වන රංජන් අයියා ගැන බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක්ම වේ. 

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියමන සියයට සීයක් සත්‍ය නොවන බව පැහැදිලි වන එක් සරල උදාහරණයක් දෙන්නැයි කෙනෙකු මගෙන් විමසුවහොත්, මා දෙන කෙටි පිළිතුරු රංජන් පරණවිතාන යන්නයි. සමහරවිට ලිපිය කියවන ඔබ ඔහු ක්‍රිකට්/ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බව මේ වනවිට දන්නා කරුණක් විය හැක. නමුත් ඔහුගේ කාලයේ ඔහු කළුතර විද්‍යාල කණ්ඩායම, කළුතර පී.සී.සී. කණ්ඩායම නියෝජනය කල ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන්ම මලල ක්‍රීඩාව සඳහාද පාසල නියෝජනය කර ඇත්තෙකි. පාසල්, විශ්ව විද්‍යාල, ක්‍රීඩා සමාජ කණ්ඩායම් කිහිපයකම ක්‍රිකට් පුහුණු කරුවෙකි. ඒවා වචන වලට සීමා වන දේ නොවේ. එම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය පුද්ගලයෙකි. එමෙන්ම ඔහු ක්‍රිකට් විශ්ලේෂකයෙකි. ඔහු සහ අනෙකුත් ක්‍රිකට් මාධ්‍ය කරුවන්ගේ වෙනස මෙයයි. 

ඔබ නොන්දන්නා තවත් කරුණක් නම් ඔහු දක්ෂ චිත්‍ර ශිලිපියෙකු බවයි. එයද පත්තර වලට කාටූන් අඳින චිත්‍ර ශිලිපියෙකු බව ලඝු කොට වටහා ගත යුතු නැත. ශ්‍රී ලංකා පොලීසියේ අද පවතින ලාංඡනය ඔහුගේ නිර්මාණයකි. ක්‍රිකට් ගැන ඕනෑම සභාවක අතැඹුලක් මෙන් තම දැනුමෙන් කථා කළහැකි ස්වල්ප ශ්‍රීලාංකික මාධ්‍ය වේදීන්ගෙන් කෙනෙකි. ඉංග්‍රීසි සිංහල යන මාධ්‍ය දෙකෙන්ම විටෙක නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරන ඔහු විවිධ ක්‍රීඩා ඉසව් ආවරණය කිරීමට ලෝකය පුරා සැරිසරා ලබා ඇති අත්දැකීම් සම්භාරය අතිමහත්ය. අද ඔහු ලක්බිම ප්‍රධාන ක්‍රීඩා කතුවරයාය. වරක් මා ඔහුගෙන් සංචාරය කර ඇති රටවල් ගණන කීයක්දැයි විමසා සිටියෙමි. එහෙත් එයට නිශ්චිත පිළිතුරක් දීමට ඔහුට නොහැකි විය. මා ඉල්ලා සිටියේ මේ අත්දැකීම බ්ලොග් අවකාශයට එක් කරන ලෙසයි. මා වරක් බ්ලොග් අඩවියක්ද ඔහු වෙනුවෙන් සකසා ඉල්ලා සිටියේ, මේ අත්දැකීම අප සමග බෙදා ගන්නා ලෙසයි. මගේ ඉල්ලීම පසෙක නොදා "හරි අපි බලමු" යයි පවසා සිටියේය. නමුත් අපගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන්නැයි මා කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරන්නට ගත්තේ තත්පර කිහිපයකි. ඒ දරන්නට බැරි වගකීම් භාර ගන්නට ඔහුගේ ඇති අකමැත්තයි.

යලිත් වරක් ඔහු සහ මා මුණගැහෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේදීයි. ඒ මා විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලිය ආවරණය සඳහා මාධ්‍ය හැඳුනුම්පතක් කරේ එල්ලාගෙන කටයුතු කල මොහොතකයි. ඔහු සිටින තැන මේ මාධ්‍ය හැඳුනුම්පත මගේ කරට මහා බරක් දැනිණි. එහි පැමිණි ඔහුව දන්නා අය වූයේ මාත් නදීශානුත් පමණක් වීම පුදුමයට කරුණකි. එයට හේතුව එහි සිටි බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල අප වැනි ආධුනිකයන් වීමය. අනෙක ඔවුන් සියල්ලම පාහේ අප මෙන් ඩිජිටල් මාධ්‍ය කරුවන්ය. ඔවුන් හා වැඩි ඇසුරක් ලබන්නට රංජන් අයියාට වෙලාවක් තිබෙන්නට නැත. අප දෙදෙනා සමග සුහද පිළිසඳරක යෙදෙන ගමන් මා කරන රාජකාරිය කුමක්දැයි විමසා සිටින්නටද ඔහු කාරුණික විය. මා ඔහුට පිළිතරු දුන්නේ ඉතා බියෙනි. ඒ ඔහු වැනි යෝධයෙකු ඉදිරියේ මා ලුලිපුට්ටේකු බැවිණි. නමුත් සැහැල්ලුවෙන් සහ සිනහවෙන් අප හා කථා කල ඔහු ඒ වනවිටත් කෙරෙමින් පැවති ක්‍රිකට් ක්‍රීඩකයින් පාපන්දු ක්‍රීඩා කිරීම දැඩි සේ විවේචනයට ලක් කළේය. 

පසුගිය වසරේ කළුතර මැන්ගුස්ටින් හටන නැරඹීමට මා ගියේ පාසලේ වර්ණය වූ කොළ පැහැති ටී ෂර්ට් එකකින් සහ පාසලේ පා ගමන දා මිලදී ගත් කැප් එකද පැළඳගෙනය. මා යනවිටත් වත්මන් ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ඔහු ලකුණු පුවරුව අසලට වී කරන්නේ කුමක්දැයි බලන්නට මා දිව ගියෙමි. මෙතරම් පිරිසක් සිටිනා තැනක ලකුණු පුවරුවේ පෙරදින ලකුණු ප්‍රමාණය ඔහු සටහන් කරමින් සිටී. ඔහු දුන් උපදෙසකට අනුව යමින් මොහොතක් හෝ ප්‍රමාද නොවී මා එය මගේ ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගා ගතිමි. 

https://www.facebook.com/photo.php?fbid=10152124114514825&set=a.83204639824.71467.535429824&type=1&theater

එදින ලක්රේඩියොවෙන් සජීවීව ගෙනා විස්තර විචාරය මෙහෙයවූ විරාජ් මාපා වෙත මා කැඳවාගෙන ගිය ඔහු
"මෙන්න මෙයාවත් ඕකට සම්බන්ධ කර ගන්න" යනුවෙන් පැවසුවේ මා මවිතයට පත් කරමිනි.

ඒ සඳහා සුදුස්සන් ඕනෑතරම් සිටියත් මා තෝරා ගැනීමට ඔහු තීරණය කලේ කෙසේද ? නිෂ්මන්ගේ සටහනේ එයට පිළිතුර ගැබ්වී තිබුණි. ඒ ඔහු නිහඬව පුද්ගලයින් අධ්‍යනය කරන බවයි. මා එතනට කැඳවාගෙන යන්නට ඇත්තේ ඒ නිසාවෙනි. එදා මා තුල ඇති වූ මවිතය නැති වුයේ අද දිනයේදීය.

හදිසියේ මේ සටහන තබන්නට නිමිත්ත වුයේ, පසුගිය සතියේ හෘද්ධයාබාදයකට ලක් වී, බයිපාස් සැත්කමකට භාජනය වී, ඉක්මන් සුව ලබන බව ඔහුගේ ෆේස්බුක් වෝල් එකේ සටහන්ව තිබුණ නිසාය. එයද මා මවිතයට පත්කළ කාරණයකි. ඔහුට ඉක්මන් සුවය පතා සිටි පුද්ගලයින් ප්‍රමාණය කෙතරම්ද යන්න ඔහුගේ වෝලයට පිවිසි විට පැහැදිලි වේ. ඔහු ක්‍රීඩාවට කෙතරම් ඇල්මක් දැක්වීද යන්න තෝරා ගැනීමට ඔහුගේ ෆේස්බුක් ස්ටේටස් එකකින් උපුටාගත් පහල වැකි කිහිපය සමත්ය.
 A /L පන්තිත් ගිහින් ක්‍රිකටුත් ගහල ෆුට්බෝලුත් ගහල ටේබල් ටෙනිසුත් ගහල බැඩ්මින්ටනුත් ගහල මීටර් 400ත් දුවල,මීටර් 110 කඩුලුත් පැනල , මැරතනුත් දුවල,මීටර් 100,400, රිලේත් දුවල,ගෙදර ගිහින් P T S එකේදි කරුවල වැටෙනකල් බාස්කට් බෝලුත් ගහල,ඊට පස්සේ ජිම් එකට ගිහින් බොක්සිනුත් ගහල , කරාටෙත් ,ජුඩෝත් කරලා, ගත කරපු ඒ පාසල් කාලේ ආයේ එන්නේ නැහැ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සමයක නරඹන්නකු පමණක් වීමට සිදු වීම තරම් වේදනාවක් ඔහුට නැති බව මට හැඟේ. මේ මොහොතේ විවේක සුවයෙන් පසු වී ඉක්මන් සුවය ලබන්නට ප්‍රාර්ථනා කරමි. මේ දිගු සටහන තබන්නේ ඔහුගේ නිහතමානී ප්‍රවීණත්වයට උපාහාර පිණිසයි. 

Wednesday, March 26, 2014

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වෙලා ..... A/L Chemistry Paper Out ....

මේ මාතෘකාව දුටු විට  ඔබේ සිතේ ඇති වන ප්‍රහේලිකාව වටහා ගැනීමට අපහසු නැත. මාර්තු මාසයේ උසස් පෙළ විභාගයක් සාමාන්‍යයෙන් නොපැවැත්වෙන බව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු දනී(එහෙත් එක් වසරක කුමන හෝ කාරණයක් මත අප්‍රේල් නිවාඩුවේදී උසස් පෙළ විභාගයක් පැවති බව සිහින් මතකයක් ඇත). නමුත් මා අද සටහන් තබන්නට යන්නේ   වර්තමානයේ හෝ පසුගිය වසර කිහිපය ඇතුලත සිදු වූ සිදුවීමක් නොව මීට කලකට පෙර මා උසස්පෙළ හදාරන යුගයේ මගේ අත්දැකීමකි. ඒ එම  වසරේ  ජූලි මාසයයි. එය වුවත් අද හෙළි කිරීමට තරම් ඥානාන්විත කරුණක් නොවන බව ඔබට පැහැදිලි කරුණකි. මේ වනවිට එම  වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් අයගේ දුවා දරුවන්ද සරසවි වරම් ලබන්නට කාලය වී හමාරය. කෙසේ නමුත් එම ප්‍රශ්නපත්‍රය පිට වීමේ සම්පූර්ණ වගකීම මා සතු වන නිසා එය මෙසේ ලියා තැබීමට වටිනා කරුණකි. 
sri lanka students discussing advanced level paper
පින්තූරය ගත්තේ : www.infolanka.com

මෙය මාගේ මතකයේ තිබුණ කරුණක් බව ඊයේ දහවල් කාලය වනතුරු මට නොදැනින. එම මතකය අවදි වන්නට හේතු වූයේ මගේ කාර්යාල මිතුරියක් දිවා විවේකයේ පැවසූ අගනා කතාවක් නිසාය. අවුරුදු පහක් පමණ වයසැති ඇගේ කුඩාම දියණිය අපගේ කාර්යාලය ඉදිරිපිටම ඇති අන්තර්ජාතික පාසලට අනුබද්ධ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට රැගෙන යාම  අගේ දෛනික චර්යාවේ කොටසකි. එවැනි අවස්ථාවක ඇගේ කන වැකුණු ඔපාදුපය ඉතා රසවත් කතාවකි. ඒ තම නිවසේ කිරීමට කිසිදු රාජකාරියක් නොමැති, මෙවැනි පාසල් වල ගේට්ටු මුර කරන මව් වරුන්ගේ සංගමය හා දොඩමළු වන්නට ලැබුණු අවස්ථාවක කන වැකුණු නැවුම් ප්‍රවෘතියක් නිසාය. ඇයට නම් මේ ඕපාදූප ගෙන දුන්නේ ප්‍රීතියකි. ඒ ඇය මෙහි යාවජීව සාමාජිකාවක් නොවන හෙයිනි. ඇගේ කන මේ ප්‍රවෘත්තිය තබා ඇත්තේ එතැන දෛනිකව රස්තියාදුවේ යෙදෙන මවකි. එම ප්‍රවෘත්තිය මෙසේය;  අවරුදු පහක් පමණැති මේ කුඩා දරුවන්ට වාර විභාගයක් පවත්වන බවත්, එක් පන්තියකට ඊයේ සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වූ බවත්, අද ඔවුන්ගේ දියණියන්ගේ පන්තියට විභාගය පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍රය ඊයේ දුන් එකම වීම නිසා සමහර දරුවන්ට එයින් වැඩි ලකුණු ගන්නට අවස්ථාව උදා වී ඇති බවත්ය. ඊයේ පන්තියට "ර" යන්නනේ වචන ලියන්නට දී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය ඡායාස්ථ පිටපත් කර සමහර මවුවරුන්ට ලබා දී ඇති නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බවය. 
"රයන්නෙන් වචන ලියන්න දුන්නම ඉතින් රට කියලා ලියනවා ඇරෙන්න මේ පොඩි ළමයි රඹුටන් කියලා ලියනවාද ?"
යනුවෙන් එම මව වැඩිදුරටත් පවසා ඇත. මගේ මිතුරිය පවසා ඇත්තේ තම දියණියට අකුරු ඉගෙන ගැනීමට නොහැකි වුවත් කමක් නැත යන්නයි. 

ඒ අතුරු කතාව නොලියාම සිටින්නට බැරි නිසා මෙහි සඳහන් කලේ, මා පවසන්න යන කතාවට මුලාරම්භය එමගින් ලැබුණු නිසාය. උසස් පෙළ විභාගය ලියන්න සතියකට දෙකකට කලින් පවත්වන මේ විභාගය ලියන්න ඉදිරිපත් වුයේ මගේ පන්තියේ සිවු දෙනෙකි. අනෙක් අය එය මග හැර සිටියාද, නැතිනම් මෙමගින් මානසිකත්වය අවුල් වේ යයි බියෙන් එයට මුහුණ නොදුන්නාද, මුදල් හිඟකම නිසා අමතක කර දැමුවාද යන්න පිලිබඳ නිසි මතකයක් මට නැත. නමුත් එම කාරණා තුනම අඩු -වැඩි වශයෙන් ඊට මුල් වූ බව සඳහන් කල යුතුය. ටෙරන්ස් නමැති මගේ මිතුරා ඉන් තුන්වන කාරණය නිසා එම විභාගයට මුහුණ නොදුන් බව නම් මම සහතිකවම දනිමි. අතුරු කතාවක් වුවත්, ටෙරන්ස් ගැන යාම සටහනක් කල යුතුමය. ඔහු සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවේ, අප පාසල අසලම පිහිටා ඇති කටුකුරුන්ද විදුහලෙනි. උසස් පෙලට කළුතර මහා  විද්‍යාලයට එකම දිනයක මමත්, ටෙරන්ස් සහ තවත් කිහිප දෙනෙකු ඇතුලත් වූයෙමු. එතැන් පටන් ටෙරන්ස් මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු විය. එනිසාම ඔහුගේ ගෙදර දොර විත්ති සහ ආගිය තොරතුරු බොහොමයක් හෙතෙම මා සමග පැවසූවේය.

ටෙරන්ස් ජීවත් වූයේ කටුකුරුන්ද නමැති කොළඹ - ගාලු පාරේ කළුතර නගරය පසු කළ ගමන්ම හමුවන අර්ධ නාගරික මංසන්ධිය වටා ගොඩනැගුනු ප්‍රදේශයේය. මතුගම පාර, ගාලු පාර සමග එක් වන්නේ කටුකුරුන්ද හන්දියේදීය. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන්ද, සිංහල කිතුණු බැතුමතුන්ද, මුස්ලිම් ජනතාවද සම සමව වාගේ සහජීවනයෙන් වාසය කරති. ඉඳහිට ගැටුමක් ඇති වුවත්, එකිනෙකා හඳුනාගෙන, එකිනෙකා සමග මිශ්‍රව මෙහි ජනතාව වෙසෙති. මගේ මිතුරා තරමක් දිළිඳු පසුබිමක් ඇති අයෙක් බව වටහා ගන්නට, ඔහු ලඟින් ඇසුරු කල මා හට තේරුම් ගැනීමට වැඩි කලක් ගත නොවීය. හැකි අයුරින් ඔහුට සහනයක් කරන්නට මා මෙන්ම බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට මෙන්ම නැරඹීමට හෙතෙම දක්වන ලද කැමැත්ත අප දෙදෙනා සමීප කරන්නට හේතු විය. ටෙරා සැබවින්ම අවිහිංසකකි. ඔහුගේ නිතරම සිනහාබර මුහුණ සහ ප්‍රියමනාප කථාව ඊට සාක්ෂි සැපයීය. නමුත් ඊට යටින් ඇති ටෙරාගේ දුක්ඛිත කථාව ඇසට කඳුළු නන්වන්නකි. නමුත් ක්‍රිකට් සහ පාපන්දු ඔහුගේ සතුට සහ ජීවන බරටද පිටිවහලක් සපයා තිබුණි. සෙනසුරාදා පැවැත්වෙන ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ අමතර පන්තියට ඔහු එන්නේ දහඩිය පෙරාගෙනය. ඒ උදේ වරුවේ කටුකුරුන්දේ හෝ පයාගල පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගයක් විනිශ්චය කිරීමෙන් අනතුරුවය. මුළු ඉරිදා දිනයම තරග විනිශ්චයට කැප කරන ටෙරන්ස් තම ක්‍රීඩා කිරීමේ ආසාව ආයාසයෙන් යටපත් කර ගන්නේ ඒ සඳහා ලැබෙන ගාස්තු මගින් තමන්ගේ අමතර පන්ති ගාස්තුව පියවීමට යොදා ගන්නා උදාර පරමාර්ථයෙනි. මා ඉතසිතින් ටෙරාට සරසවි වරම් පැතුවද, එකල පැවතී වාතාවරණයත් සමග අප පන්තියෙන් සරසවි වරම් ලබන්නට සමත් වූයේ එක් අයෙකි. 

අජිත් මහින්ද, චන්දන, ජනක සහ මා කළුතර අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන දිස්ත්‍රික් මට්ටමේ වාර විභාගයට මුහුණ දුන් සිව් දෙනාය. අප හතර දෙනෙකුට විභාගය පැවැත්වීම ඉතා පහසු කටයුත්තක් නිසා එකල අපට සිප්සතර කියාදුන් ගුරුවරුන්ටද මහත් අස්වැසිල්ලක් විය. මාලදිවයිනේ ඉගැන්වීමේ රැකියාවන් කල ගුරුබවතුන් දෙදෙන්ක්ම මට හමු වුයේ මේ විදු පියසේය. නන්දාවතී ගුරු මහත්මිය(මෙනෙවිය) අපගේ ඉංග්‍රීසි ගුරුවරිය  වශයෙන් කාලයක් අප හා කුළුපග වී සිටියද, ප්‍රනාන්දු ගුරු මහතා එහි ව්‍යවහාරික ගණිත ගුරුවරයා වශයෙන් අප හා එක් වූයේ අවසාන් මාස කිහිපයේය. ඒ වනවිටත් ඔහු ප්‍රදේශයේ දස්කම් දැක්වූ ගුරුබවතෙක් විය. නමුත් ඔහුගේ හිඩැස පිරවීමට ධර්මලතා ගුරුතුමිය අප හා එක්වූවද, ඇයගේ විෂයපථය වූයේ රසායන විද්‍යාවයි. මුලදී ඇයට අමාරු ගණන් සාදා පෙන්වීමට මා සහ චන්දන සමත් වූ අවස්ථා තිබුණි. ඇයද අපගෙන් විමසන්නට තරම් නිහතමානී විය. අපේ පන්තිභාර ගුරුවරිය වූ ඇයට අප හැර යන්නට වූයේ ප්‍රනාන්දු ගුරු මහතාගේ ආගමනයත් සමගය. මටනම් ඔහුගේ ඉගැන්වෙම් රටාව හෝ ඇගයීම එතරම් දිරවූයේ නැත. ඔහු අපගෙන් ඉතා වේගවත්ව ගැටළු විසඳීම බලාපොරොත්තු වූ අතර අතැඹුලක් සේ ඇති ගණිත ගැටළු කළුලෑල්ලේ ලියාගෙන යන්නේ යන්ත්‍රයක් පරිදිය. එම විභාගයේ ප්‍රශ්නපත්‍රය ඇගයු ඔහු මගේ මානසික මට්ටම ඉතා පහලට දමන ආකාරයේ ප්‍රකාශයක් කළ අතර මා එය තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ මා පිලිබඳ හොඳ තක්සේරුවක් මා තුල තිබූ නිසාය. අනෙක් අතින් මා පුද්ගලික අධ්‍යාපනය ලැබූ නන්දසිරි ගුරු මහතා ඒ වනවිටත් මා ගැන ඉතා ඉහළින් ඇගයීම් කර තිබූ නිසාය. 

මගේ මතකය නිවැරදි නම් එය සිකුරාදා දිනයකි. මේ වනවිට එක් ප්‍රශ්ණ පත්‍රයකට අප මුහුණ දී තිබුණි. එදින අපට නියමිතව තිබුණේ  ශුද්ධ ගණිතය විෂයයි. විභාගය ලියන හතරදෙනාට අමතරව පන්තියේ සියළුම දෙනා නොවරදවා පාසැල් පැමිණීය. එය බොහෝ දෙනාගේ ජීවන පුරුද්දකි. අප හතර දෙනා නියමිත වෙලාවට පැමිණෙන තෙක් අප රසායන විද්‍යා ගුරුතුමිය වූ සොයිසා මහත්මිය, සිව් දෙනෙකෙකුට සෑහෙන පාසලේ කුඩාම මුල්ලක සාදා තිබූ විභාග කාමරයට වී සිටියාය. බොහෝවිට මුහුණේ සිනහවක් දකින්නට නැති ඇය, ඒ දිනවලදී අප දුටු විට මුවගට සිනහවක් නගා ගත්තේ, පාසල නිමවී තම දරුවන් නිවසට පැමිණෙන විට බලා සිටින මවක මෙනි. වැඩි කථාවක් නැතිවම අප අසුන් ගෙන අවසන් වීමට ප්‍රථම ඇය ප්‍රශ්න පත්‍රය අපගේ මේස මත තබා
"මේක ඒලෙවල් වලට කලින් තියන අන්තිම විභාගේ නිසා හරියට ලියන්න, කොපි කලොත් වැඩක් වෙන එකක් නෑ"
යනුවෙන් පවසා ශාලාවෙන් පිටවී ගියාය. ඉන්පසු අපට කථා නොකර සිටීමට උගහටය. ඒ අප වෙත ලබා දී තිබුණේ ඇයගේ විෂයම වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය බැවිණි. ඇය ශාලාවේ නොමැති වුවත් ඉතා පහත් හඬින් කතා කරන්නට අප වග බල ගත්තේ, එතැනින් යන වෙනත් ගුරුවරයෙකු නිකමට ගොඩ වුවහොත් ඇතිවන තත්වය දන්නා නිසාය. තවමත් අපට උසස් පෙළ විභාගයේ ඇතුල්වීම්පත  ලැබී නොමැති නිසා මේ දිනවල සියළු සිසුන් ඉතා විනීතව හැසිරෙන ආකාරය ගුරුවරුන්ගේද විමතියට හේතු විය. මේ වනවිට පාසලේ නොසන්ඩාල වැඩ කිහිපයක්ම(විමල්ගේ වික්‍රමය තව ලිවීමෙට බොහෝ දේ ඇත)  සිදු කර ඇති නිසා අප කෙරේ ගුරුබවතුන් දැක්වූයේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. 
"මචං අද තියෙන්නේ පියෝ පේපර් එක නේද ?" කෙනෙකු විමසීය. 
"ඔන්න ඔහේ ලියපන් බං" තවත් කෙනෙකු පැවසීය.
මා හැරෙන්නට අනෙක් තිදෙනාම රසායන විද්‍යා විෂයට ඇලුම් කළ නිසා ගුරුතුමියට වසං කර එම ප්‍රශ්න පත්‍රයට ලිවීමට ඒකමතිකව තීරණය කළෙමු. අපට ලබා දී තිබුනේ පළමු ප්‍රශ්න පත්‍රයයි. දැන් සියල්ලන්ගේම සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා ගොසිනි. හේතුව සඳුදාට පෙර මෙය දිස්ත්‍රික්කයේ අනෙක් අය අතට පත් කළ හැකි බැවිණි. උදෑසන එකොළහමාර වන විට සියලු දෙනා පිළිතුරු බැඳ අවසාන වී තිබූ නිසා උත්තර පත්‍ර එකතු කරගත් සොයිසා මහත්මිය පිටව ගියාය. තවත් වෙලාවක් නොගෙන මමත් ජනකත් පාසලෙන් පිට වීමු. මට ගෙදර එනතුරු ඉස්පාසුව නොතිබිණි. ඒ අලුත්ගම මහ විදුහලේ බොහෝ සිසුන් ප්‍රමාණයක් මගේ මිතුරන් වූ බැවිණි. ඩන්කන් කුලසේකර මහතාගේ රසායන විද්‍යා පන්තියට අලුත්ගම මහා විද්‍යාලයේ සියල්ලන්ම වගේ පැමිණේ(ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා කියවන්න). එහෙත් මෙය මා කා අත තබම්ද ? යන ගැටලුව මගේ සිතේ ඇති කළේ ප්‍රහේලිකාවකි. "හරි අලුත්ගම බස් හෝල්ට් එකේ හමු වන පළමු කෙනාට දෙනවා" යනුවෙන් සිතාගෙන ජනේලයෙන් පිටතට දෑස් යොමා ගතිමි. 

අලුත්ගමදී කිසිවකු මුණ නොගැසිනි. මේ විභාග දිනයන් නිසා කවුරුත් රස්තියාදුවේ යන්නේ නැත. බොහෝ දෙනා තම නිවෙස් වලට වී පොත් පත් සමග කාලය ගත කරයි. අලුත්ගම සිට බෙන්තරට ඇති කිලෝ මීටර් එකහමාරක දුර පයින් යෑම මට කජු කනවා වගේ වැඩකි. වටපිට සිරිය නරඹමින් පාළම අසලට පැමිණෙන මා, පාළම ළඟදී මද විවේකයක් ගන්නේ මද්දෙදූව නමැති පාලම දෙක අතර පිහිටා ඇති කුඩා දූපත මතය. එහිසිට ගං කලපුවේ දෙපස කොහේ හෝ වේගයෙන් ගමන් ගන්නා බෝට්ටුවක් හෝ එයට අමුණා ඇති කඹයක එල්ලී දිය කපාගෙන යන විදේශිකයෙකු දෙස බලා සිටින්නට මම පුරුදු වී සිටියෙමි. අද එසේ රැදී සිටින්නට මගේ හිත ඉඩ නොදුන්නේ මගේ මිතුරකු අත මෙම ප්‍රශ්න පත්‍රය තබා ඔහු මවිතයට පත් කරන තුරු ඉස්පාසුවක් නොවූ බැවිණි. 

නිවසට පැමිණ බත් පිඟාන අහුරට දෙකට කා, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් දමාගෙන, ප්‍රශ්න පත්‍රය හතරට නවා සාක්කුවේ දමාගත් මා පාපැදියට ගොඩ වී හැල්මේ පෑගුවේ ලෙනාඩ්ලාගේ(විජේ අංකල්ගේ ඉංග්‍රීසි - පියාගේ රස කතාවකි) නිවසටය. බයිසිකලය නිවස ඉදිරිපස නතර කර ගෙට ගොඩ වූ මා, එහි සිටි ඔහුගේ මවගෙන් ලෙනාඩ් සිටින තැන අසා, ඔහු සිටින කාමරයට ගොඩ වීමි. ඒ වනවිටත් නළල රැලි ගන්වාගෙන ගණනක් දෙස යොමු වූ දෑස්ව ඔහු බලා සිටියේය. මා අසලට යනවිට හිස ඔසවා මද සිනහවක් මුවේ රඳවාගෙන මදෙස බලනවාත් සමගම මා සාක්කුවට අත අවා ප්‍රශ්න පත්‍රය ගෙන උවමනාවකට නැතිව ඔහුගේ මේසයට විසි කළේය. 

"ඇයි උඹ අරගෙන ආවේ. මම හවස ඒ පැත්තේ එන්න හිටියේ පේපර් එක ඉල්ලා ගන්න. කොහොමද ලේසිද ?"
"දිග ඇරලා බලපන්කො"
එය දිග හැර බැලූ ඔහු 
"අද පියෝ නේද තියෙනවා කිව්වේ"
"ඔව්. උඹලගේ ඉස්කෝලේ පියෝ දෙන්න ඇති. ඒත් අපිට දුන්නේ කෙමිස්ට්‍රි"

අප දෙදෙනාට සිනහව නතර කර ගන්නට බැරි විය. 
"මචෝ. මේක මම දුන්නා කියන්න එපා. කට්ටියත් එක්ක හෙමිහිට බලපන්"
මම නැවත ගෙදර ආවෙමි. සඳුදා උදේ ප්‍රශ්නපත්‍රයට මුහුණ දීමට අප විභාග ශාලාවට වී බලා සිටින විට,  සොයිසා ගුරු මහත්මිය වෙනුවට එහි ආවේ විදුහල්පති තුමාගේ පියන් වරයාය. 
"අන්න කට්ටියට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා"

එය අප බලාපොරොත්තුවෙන් සිටි තත්වයකි. මේ වනවිට අලුත්ගම මහා විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ නිවැරදි පිළිතුරු සහිත ප්‍රශ්න පත්‍රය අමුණා ඇති බව දැනගන්නට ලැබිණි. ඉරිදා හවස වනවිට එම ආරංචිය ලැව් ගින්නක් සේ පුනරීක්ෂණ පන්ති වල පැතිරී තිබිණි. අප සිව් දෙනා එකිනෙකාගේ මුහුණු බලා තුෂ්නිම්භූතව විදුහල්පති තුමාගේ කාර්යාලට වාර්තා කළෙමු. එහි යනවිට හැඩූ කඳුලින් සිටින සොයිසා ගුරු මහත්මිය දැක, අප තුල ශෝකයක් ඇති විණි. 

"ආ ... මෙගොල්ලොද කට්ටිය. මට කියන්න හතරදෙනාගේ ගම්"

මුලින්ම ඉදිරිපත් වූ අජිත් මහින්ද සහ චන්දන "කළුතර" ලෙස පිළිතුරු දුනි.

"මේ දෙන්නගෙන් වෙන්න බෑ මිස්. කියමු බලන්න අනිත් දෙන්නා"

"මම බේරුවල" යනුවෙන් ජනක පැවසීය. "මම බෙන්තර" 

"හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් තමයි යන්න ඇත්තේ. ඔය ළමයි නොදන්නවා වෙන්න බෑ. අද දෙන්න තිබුන ප්‍රශ්න පත්තරේ  ගිය සිකුරාදා දීලා තියෙන්නේ. මේ ළමයි කාටද එක දුන්නේ. බෙන්තර කෙනා කියමු බලන්න"

"සර්... මම අපේ ගෙවල් ගාව යාලුවෙක්ට දුන්නා. එයා අම්බලන්ගොඩ ඉස්කෝලේ යන්නේ"

"හා ... අනිත් කෙනා කියන්න බලන්න"

"සර් මම කාටවත් දුන්නේ නෑ"

"එතකොට කාගෙන්ද මේක යන්න ඇත්තේ. හරි මේ ළමයි දැන් යන්න පන්තියට. මම අධ්‍යක්ෂක තුමාට කියන්නම්"

කතාව එසේ නිමා වුවද, මා ලබා දුන් ප්‍රශ්න පත්‍රය පිටපත් කර බෙදා නොදී, එය දැන්වීම් පුවරුවට යැව්වේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවකි. අදත් මා වරදක් කල බව මගේ සිත කියයි.

Saturday, October 19, 2013

අකාලයේ මියගිය - මගේ ෆේස්බුක් දරුවා ......

මා ෆේස්බුක් ගිණුමක් සාදා ගත්තේ 2008 වසරේදීයි. එහෙත් ෆේස්බුක් යනු කුමක්ද ? එහි කල හැකි දේ මොනවාදැයි නොදැන කලක් ඔහේ බලා සිටියෙමි. මගේ හිතවතෙකු වන දිනේෂ් .............. නිතරම එවන ඉල්ලීම්(Request) නිසා ෆේස්බුක් යනු කුමක්දැයි හදාරන්නට මට අවශ්‍ය විය. මේ කාලය වනවිට අප තොරතුරු බෙදා ගත්තේ ඊමේල් පණිවුඩ එහා-මෙහා යැවීමෙනි. දිනක් "Dinesh .............. has written on your wall" යනුවෙන් සටහන් පණිවුඩයක් මගේ ඊමේල් ගිණුමට ලැබී තිබිණි. මට එක පාරටම සිහියට ආවේ බාලිකා විදුහල් තාප්ප වල ස්ප්‍රේ පේන්ට් වලින් වැකි ලියන කොලු කුරුට්ටන්ය. ඇත්තටම මෙය එවැනි ක්‍රියාවක්ද? මා හනික මගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් වී බැලුවෙමි. දිනේෂ් සටහහනක් තබා ඇති බව පෙනේ.  ටික දිනක් යන්නට මත්තෙන් මා ෆේස්බුක් අන්තුවෙකු බවට පත් විය. මේ වනවිට විවිධ ෆෝරම් වල සහ ඊ මේල් ෆෝවඩ් කර ලැබූ සතුට හා දැනුම එක් තැන් කල ස්ථානයක් ලෙස ෆේස්බුක් හඳුනා ගතිමි. 

ටික කලක් යද්දී එක් එක් සංවිධාන හෝ ආයතන  වෙනුවෙන් සාදා ගන්නා ෆේස්බුක් පිටු  සඳහා එකතු වන්නටද ඉල්ලීම් විය. මේ අතර කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ෆේස්බුක් පිටුවක් තිබෙන බව දැක මට මහත් දුකක් ඇති විය. ඒ මගේ පාසල සඳහා එවැනි සමූහයක් නැති බැවිනි. මා මොහොතක කල්පනාවකට වැටුණෙමි. මා පළමුව කළේ එවැනි දෙයක් මේ වනවිට ඇත්දැයි සොයා (Search) බැලීමයි. එහෙත් එවැන්නක් නැත. මම ආනන්ද මහා විදුහලේ ෆේස්බුක් පිටුවට එකතු වන්නට ඉල්ලීමක් කලෙමි. එය සාර්ථක වුයේ දින කිහිපයකට පසුවයි. මා එම පිටුවේ සැරිසරා එහි සිදුවන දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගතිමි. ආනන්ද පිටුවේ වම් කෙළවර පහල "Create a Page" යනුවෙන් දක්නා ලද අතර මොහොතක් නොසිතම මා ඒ මත ක්ලික් කර මගේ පාසල වන කළුතර මහා විද්‍යාලය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කළෙමි. 

එහෙත් මා මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වුයේ, මේ සඳහා පාසලේ ලාංඡනය සොයා ගැනීමයි. එතෙක් කළුතර බෝ සමිදුන්, කළුතර නදිය, චෛත්‍ය රාජයා සහිත ඡායාරුපයක් අන්තර්ජාලයෙන් සොයා එක් කළෙමි.  පාසල සමග කිසිදු සබඳතාවකා නැතිව එය කර ගැනීමට නොහැක. මට කදිම අදහසක් පහල විය. අස්වීමේ සහතිකය. ඔව් ඒකෙ තියෙනවනේ. මම විවේකී දිනයක අස්වීම් සහතිකය ගෙන මගේ ජංගම දුරකථනයෙන් විවිධ ස්ථාන වල තබා ඡායාරුප ගත්තද, එකක්වත් නිසි තත්වයක නොවිණි. එනිසා ඒ අදහස අතහැර දැමීමට සිදු විය. එහෙත් මා එය කාර්යාලය වෙත රැගෙන ගියේ ස්කෑන් කළහොත් කදිමට තිබිය හැකිය යන විශ්වාසයෙනි. මේ අතර අප විදුහලේම ආදී ශිෂ්‍යයෙකු වූ මංගල ගුණතිලකද සේවය කළේ මා සමගය. පාසලයේ ඉතිහාස කතා ගැන මා සවස වැඩ කරන සෑම සංධ්‍යාවකම ඔහු හා දොඩමළු වන පුරුද්ද කාලයක සිට සිදු වූවකි. මේ ෆේස්බුක් පේජ් යන්න ඔහුට හකුරුයි-පොලුයි මෙන් විය. නමුත් පාසල වෙනුවෙන් යමක් කරන බව දන ඔහු සතුටු විය. 

දිනක් උදෑසන ෆේස්බුක් වෙත ලොග් වී බලනවිට පාසලෙහි පිටුවට එක් වීමට ඉල්ලීමක් කර තිබෙන බව දුටිමි. නමින් දර්ශන වීරකෝන් වූ ඔහුගේ ඉල්ලීම මා එක මවුස් ක්ලික් එකකින් අනුමත කළෙමි. ඉන් පසුව ඔහුගේ ප්‍රොෆයිල් එක බලා ඔහුට මිතුරු ඉල්ලීමක්(Friends Request) යැවීමි. මොහොතකින් එය අනුමත වූ අතර, තවත් මොහොතකින් ඔහු මා හා චැට් කිරීමට පටන් ගති. මගේ ස්කයිප් හැඳුනුම ඉල්ලා සිටියත් මා සිටින්නේ කාර්යාලයේ බැවින් එය කල නොහැකි විය. ටික දිනකින් ඔහු හා මා හොඳ මිතුරන් බවට පත් විය. තවත් දින කිහිපයකින් විදුර දන්තනාරායන නමැති පාසලේම ශිෂ්‍යයා එයට එක් විය. පාසලේ ලාංඡානක තිබූ අඩුව ඔහු සැපිරූ අතර, එම පිට අකාලයේ මිය යන තෙක්ම එහි තිබුණේ එම ලාංඡනයයි. ඒ අතරවාරයේ විදුහල පසුකර නිවාස කරා යන මොහොතක බස් රථයේදී මං ජංගම දුරකථනයෙන් ගන්නා ලද ඡායාරුපයක් ලාංඡනයේ අඩුව පිරවීය. මෙම පිටුවට පාසලෙන් ඇඩ්මින් වරයෙක් අනිවාර්යයෙන් සිටිය යුතු බව විශ්වාස කල මා විදුරට එම අවස්ථාව ලබා දුන් විට ඔහු ඉතා කැමැත්තෙන් එය භාර ගන්නා ලදී. පාසලේ මේ ගැන දැනුවත් කරන්නට යමක් කල හැකිදැයි මා ඔහුගෙන් විමසා සිටි අතර, ඔහුගේ අදහස වුයේ එවැනි දේ සඳහා පාසලේ ගුරුවරුන් ඉඩ නොතබන බවයි. අපේ කාලයේ වළක් ලෙස ප්‍රචලිතව තිබූ අප පාසල අද තිබෙන තත්වය ගැන මා සතුටට පත් වුයේ මගේ නැගණියගේ දරුවාද එම පාසලට යන බැවිනි. 

දර්ශනද එහි ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගත් අතර අප තිදෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මාස දෙකක් ගත වනවිට එයට පාසලේ සිසු - ආදී සිසුවන් තිස් හතළිස් ගණනක් එක් කර ගන්නට හැකි විය. මගේම පංතියේ මිතුරෙකු වූ චන්දන පෙරේරා තවත් ටික කාලෙකින් එයට එකතු විය. පාසල වෙනුවෙන් සෑදු ෆේස්බුක් පිටුව නිසා කාලයක් මග හැරී සිටි මිතුරන් එකතු වීම ගැන මට අප්‍රමාණ සතුටක් ඇති විය. පාසලෙන් එක් වූ ජයාන් චාමිකර මාපලගම සහ විදුර අපගේ දිගින් දිගටම කියා සිටියේ අපගේ පාසලේ නිවැරදි නම "කළුතර විද්‍යාලය ජාතික පාසල" බවයි. නමුත් ෆේස්බුක් පිටවක නම වෙනස් කිරීමට ලබාදෙන කාලය ඒ වනවිට අප පසු කර ඇත. මේ වනවිට සාමාජිකත්වය පනහා දක්වා වැඩි වී ඇත. වෙන කළහැකි දෙයක් නැති නිසා මා නිතරම කලේ, පාසලේ වෝල් එක මත "Kalutara Vidyalaya National School" ලෙස ටයිප් කර බෙදා(share) හැරීමයි. 

අප නොසිතුව වේගයකින් සාමජිකයන් සීය පසු කිරීමට හැකි විය. මේ අතර විදුරට තම උසස්පෙළ කටයුතු නිසියාකාරව කර ගැනීමට අවශ්‍ය නිසා ටික කලක් ඇඩ්මින් කටයුතු වලින් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි අතර මා ඒ වෙනුවට නිතරම අන්තර්ජාලයේ රැඳෙන තවත් පාසලේ මෙන්ම ස්ලිට් ආයතනයේ අධ්‍යාපනය ලබන ආදී සිසුවෙකු වූ කසුන් ශම්මික පත් කල අතර, එය ඔහු ඉතා උද්දාමයෙන් භාර ගන්නා ලදී. ජයාන්ද මේ වනවිට ඉතා හොඳ මට්ටමක ඉංග්‍රීසි දැනුමක් සහ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි නිසා ඔහුටද ඇඩ්මින් වරයෙකු වන ලෙස මා කල ඉල්ලීම ඉතා සතුටින් ඔහුද බාර ගන්නා ලදී. සාමාජිකයින් දෙසීය, පන්සීය ඉතා ඉක්මනින් අප ළඟා වූ අතර, බිග්-මැච් එක සඳහා සහභාගී වන්නැයි ජයාන් සහ විදුර මගෙන් නිතරම කල ඉල්ලීම විය. මා එහි යන්නම සිටියත් එය පහසු කටයුත්තක් නොවීය.  එසේ ගියානම් මගේ පාසල් මිතුරන් මෙන්ම තවත් බොහෝ වැදගත් පිරිසක් සමග එක් වීමට අවස්ථාව උදා වනු ඇත. එහෙත් කසුන් සහ ජයාන් එම තරගයේ චායාරුප එක් කිරීම නිසා තවත් බොහෝ දෙනා අප පිටුව ලයික් කර තිබුණි. 

තවත් කිහිප දිනකින් ප්‍රථම කාන්තාව අපේ පිටුවට එක් වීමට ඉල්ලීම් කර තිබුණි. ඒ ලක්මාලි ශිරෝමි ජයසේකරයි. ඇය මගේ පාසල් කාලයේ හොඳ මිතුරියක් වූ අතර, මෙලෙස ඇය හමු වීම මහත් සතුටක් ගෙන දුනි. ඉන් අනතරුව ඇය මගේ හොඳම මිතුරියක් බවට පත් විය. මේ වනවිට අපගේ ගම් පියසේම මල්ලී කෙනෙක් පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහුවද ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියාය. ඔහු නමින් රංග ගමගේ විය. මේ වනවිට සාමාජිකයන් දාහේ කඩයිම පසු කරන්නට අපට හැකි විය. රංග එක් වූ දිනයේ සිට මේ ගැන නිතරම ආදී ශිෂ්‍ය සංගමයට දන්වා, මා ගැන යම් සටහනක් එහි කර තිබුණි. මීට අමතරව මා ආදී ශිෂ්‍ය සංගමයට බඳවා ගන්නත් ඔහු ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. මගේ නිවසටම පැමිණ ෆෝම් පුරවාගෙන ගොස් මා එයට එක් කර ගන්නට අවශ්‍ය සියල්ල ඔහු ඉටු කළේය. එම වසරේද බිග්-මැච් බලන අවස්ථාව මට මග හැරිණි. මේ වනවිට එම පිටුවට දෙස්-විදෙස් බොහෝ දෙනෙක් එකතු විය. ඒ බොහෝ දෙනා මෙම පිටුව ආරම්භ කිරීම ගැන මට බොහෝ සෙයින් කෘතඥතාව පල කළෝය. මගේ මතකයට එන නම් අතරින් සුසන්ත ප්‍රදීප් හේවගේ ඉන් කෙනෙකි. 

මගේ පරණ ඔෆිස් මිත්‍රයකු වූ අරුණ ගුණරත්නගේ කාර්යාලයේ සිටින මලිත රුවින්ද ඉතා දක්ෂ අයෙක් බවත් ඔහු මේ අඩවියට එක් කර ගතහොත් ඉතා හොද සේවාවක් ලබා ගත හැකි බව මට මිතුරා දැනුම් දුන් අතර, ඔහු සමග කළ කෙටි සාකච්ඡාවකින් ඔහුද එක් කර ගැනීමට අපට හැකි විය. එක් බිග්-මැච් එකක ලකුණු යාවත්කාලීන කරන්නට ඔහු සමත් විය. එමගින් බොහෝ දෙනා අපගේ පිටුවට එක් විය. මේ වනවටි මා අවුබෝධ කර ගත් එක් දෙයක් විය. ඒ ෆේස්බුක් පිටුවක් ප්‍රචලිත කිරීමට හොඳ ක්‍රමය වෝල් එක මත නිතර කිසිවක් සටහන් කිරීමයි නැතිනම් පින්තුරයක් ශෙයා කිරීමයි. එකල එසේ සටහන් කරන ෆේස්බුක් පිටු පිළිබඳ දර්ශන තිරයේ දකුණු පැත්තේ සටහන් වේ. හිතන්න ඔබ කළුතර විදුහලේ පිටුවට එක් වී ඇති මිතුරන් සිටින එම පාසලේ අයෙකු කියා, ඔබ තවමත් එක් වී නැතිනම් ඔබගේ දකුණු පස නොමිලයේ එම පිටුව පිළිබඳ වෙළඳ දැන්වීමක් (එකල) ප්‍රදර්ශනය කරයි. එවිට් ඔබ නිතැතින් එයට එක් වේ.  මේ ආකාරයෙන් සාමාජිකයන් එක්දහස් පන්සීය අපට පසු කරන්නට ගත වුයේ තවත් සුළු කාලයකි. 

එකල මේ පිටුව මගේම දරුවෙක් ලෙස මා ආදරය කළ කාලයයි. බොහෝ දෙනෙක් තම පාසල හැරගිය පසු එයට යම් සේවයක් කරන්නේ එක්කෝ තමන්ගේ දරුවා මේ වනවිට පාසලේ අධ්‍යාපනය ලබන නිසාය නැත්නම් ඉදිරියේදී පාසලට ඇතුළත් කිරීමට තම දරුවෙක් සිටින නිසාය. නමුත් මේ කාරණා කිසිවක් මට අදාළ නොවීය. මා එක් අතකින් ජීවත් වුයේ කොළඹය, මට සිටින්නේ දියණියක්ය. බොහෝ දෙනා මගෙන් විමසා සිටියේ මේ පිටුව ප්‍රචලිත කිරීමට එතරම් මහන්සි වන්නේ ඇයිදැයි කියාය. නමුත් මා පටන් ගත් දෙයක් අඩාල වන්නට නොදී පවත්වාගෙන යාම මගේ යුතුකම සහ වගකීම ලෙස මා විශ්වාස කල හෙයින් එසේ කරන බව ඒ සැමට මා දුන් පොදු පිළිතුර විය. මේ කාලයේදීම තවත් අන්තර්ජාලය බෙහෙවින් පරිහරණය කරන දර්ශන අනුරාධ මට හමු විණි. ඇඩ්මින් කෙනෙකු වීමට මා කල ඉල්ලීම ඔහු ඉතා කැමැත්තෙන් භාර ගත් අතර අවසානය දක්වාම ඔහු එයට සේවය කළේය.

සාමාජිකයන් දෙදාහක් !!! මෙය මා කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ දෙයක්. සාමජිකයි හත්සිය පනහක් වන කාලයේ මා වෝල් එක මත ශෙයා කල එක් වැකියක් මට අද මෙන් මතකය. ඒ "I think our page is in near saturation of menbership" යනුවෙනි. එහි තේරුම වනුයේ අපගේ පිටුව දැන් සාමාජිකත්වයෙන් සංතෘප්ත මට්ටමකට කිට්ටුව ඇති බවයි. මා එසේ සටහන් කළේ ඒ කාලයේ ෆේස්බුක් සමග එක් විය හැකි වයසේ සිටිය අය ගැන සිතමිනි. එහෙත් මගේ මතය වැරදි බව මට තේරුණේ ජංගම දුරකථන සහ වෙනත් උපාංග වලින් අන්තර්ජාලයට පිවිසෙන තත්වය තුළ ඉතා විශාල පිරිසක් ෆේස්බුක් වැළඳ ගන්නා බව වැටහීමෙනි. එයට සාපේක්ෂව කළුතර විදුහල් ආදී ශිෂ්‍යයන්ද පිටුවට එකතු විය. දෙදාහේ මට්ටම පසු කරනවිට තවත් එක් උද්යෝගී පාසල් සිසුවෙකු මට හමු විය. ඔහු ලේඛනට දක්ෂ මෙන්ම පාසලේ විවිධ පැරණි පොත් පත් පුස්තකාලයෙන් සොයාගෙන ඉදිරිපත් කළේය. මේ වනවිට ඇඩ්මින් වරයෙකු වූ රංගද කිහිප වතාවක් ඔහු ගැන මට පවසා සිටි අතර ඔහු ඇඩ්මින් කරමු යන යෝජනවා ආවේ ඔහුගෙන් පමණක්ම නොවිණි. මේ කොලු ගැටයාද තමන්ව ඇඩ්මින් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ නම මා කෙලින්ම මෙහි සඳහන් නොකරන්නේ ඔහුට යම් අගතියක් වේ යන අදහසින්ය. මේ වනවිට ඔහු පාසල හැර යන වයසේ විය යුතුය. ඔහුට මා යොදන අන්වර්ථ නාමය "ලසමා" යනුවෙනි. ඒ ඔහුගේ නම ඇසුරින් තනා ගත් නමකි.

රංජන් පරණවිතාන යනු අප පාසලෙන් ලක්මවට දායාද කල පරසිදු අය අතර තවත් වටිනා චරිතයකි. මට දිනක් ඔහු බසයේදී මුණ ගැසී තිබිණි. ඔහුද මේ වනවිට යම් තරමකට ෆේස්බුක් පරිහරණය කරන බව මට වැටහිණි. දින කිහිපයක් ඔහු හා කල චැට් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු එක් කර ගන්නට මට හැකි විය. මේ අතර මාධ්‍යකරනය ගැන වටිනා ඔවදන් බොහොමයක්ද ඔහුගෙන් ලබා ගන්නට මට හැකි විය. ඒ අනුව අපගේ පිටුව නවමු ආකාරයකින් ඉදිරිපත් කරන්නට මට හැකි විය. කියවීම පිළිබඳවද ඔහු ඉතා වටිනා අදහස් මා හට ලබා දුනි. එම පිටුව පවත්වාගෙන යාම ගැනද ඔහු මට ස්තුති කළේය. 

අලුතෙන්ම ඇඩ්මින් කල ලසමා කළුතර විද්‍යාලය ජාතික පාසල යනුවෙන් වෙනත් කාණ්ඩයක් පවත්වාගෙන යන බව මට දැන ගන්නට ලැබුණේ මා ඔහුව මෙහි ඇඩ්මින් කර ටික කලකට පසුවය. ඇත්තටම එය ප්‍රධාන ඇඩ්මින් වරයකු නොකළ යුතු දෙයකි. ඔබ යම් අයෙක් ඔබගේ පිටුවේ ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නවානම් ඔහු ගැන හොඳ පෙර සෝදිසියක් ගැඹුරින් කල යුතුය. මේ සඳහා, අධ්‍යාපන මට්ටම, මානසික මට්ටම, සමාජීය හැසිරීම යන දේ දැන සිටිය යුතුය. නමුත් මා රංග මේ පාසැල් සිසුවා ගැන දුන් රෙකමදාරුව මත මා ඔහුට එම අවස්ථාව ලබා දුනි. ඔහු කල බොහෝ දේ නිසා මට බොහෝ තැන් වලදී ප්‍රසිද්ධ චරිත වලින් සමාව පවා අයැදීමට සිදු විය. 

වරක් ඔහු "Greatest Old Boys of Kalutara Vidyalaya" නමින් ෆොටෝ ඇල්බම් එකක් එකතු කළේය. එයට පාසලේ ආදී සිසුවන් බොහෝ දෙනෙකුගේ ඡායාරූප එක් කර තිබුණි. නමුත් චැට් එක මගින් එක් වූ රංජන් අයියා පවසා සිටියේ "Greatest" යනුවෙන් සිටිය හැක්කේ එක් අයෙකු බවත් මෙය "Great" ලෙස නිවැරදි විය යුතු බවත්ය. මා එය එසැනින්ම නිවැරදි කළේ රංජන් අයියාට ස්තුතිය පුද කරන ගමන් සමාවද ඉල්ලමිනි. ඔහු මා ගැන කුමක් සිතන්නට ඇත්ද යන්න මගේ සිතට වදදුන් කරුණ විය. මෙහි පින්තූර තිබෙන අනු පිළිවෙළද මා වෙනසකට ලක් කළේය. ඕනෑම අඩවියක ප්‍රධානියාට සෙසු අය එක් කරන දේ නිවැරදි කිරීම හෝ සංශෝධනය කිරීමට අයිතියක් ඇත. ලසමා මේ පින්තූර ගොන්නෙන් මුල්ම ස්ථානයේ රඳවා තිබුණේ ඒ කාලයේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ පසු වූ චාමික සිරිමන්නවය. නමුත් පණ්ඩිත් අමරදේවයන්, නාරද දිසාසේකරයන්ට ඉදිරියෙන් තමන්ව තබා තිබෙන බව චාමික දැන ගත්තා නම් ඔහුවත් සතුටු වන්නේ නැති බව මට විශ්වාසය. එනිසා මා එම පැරැන්නන්ගේ පින්තූර ඉදිරියෙට ගෙන චාමිකව මදක් පහළට ගෙන ගොස් දැමීය. එහෙත් තවත් පැය ගණනික් එහි මාතෘකාව "Greatest" ලෙසද ඡායාරූප අනුපිලිවෙළද තිබුණ අකාරයටම පත්ව තිබිණි. මා කල වෙනස්කම මෙහි සිදු නොවීද ? යන සැකයේ සිට මා නැවතත් එය නිවැරදි කළේය. එහෙත් තවත් පැය ගණනකින් එය පෙරසේය.

 මේ ඇල්බමය ඔහුගේ සමූහයේද මේ අකාරයෙන්ම පැවතීම මුලදී ගැටලුවක් වුවත්, පසුව ඔහු මෙය හිතා මතා කරන ප්‍රයෝගයක් බව මට වැටහිණි. ඒ මෙහි සිටින කෙනෙකු එතැනට එකතු කල (ග්රූප් වලට ඕනෑම කෙනෙකුට සාමාජිකයන් එකතු කල හැක) පසු වෙනසක් නොදැනෙන්නටය.

එසේ නොකරන ලෙස ඉල්ලා ලසමාට මා පණිවුඩයක් යැවීය. එහෙත් ඔහුගේ හිතුවක්කාර කම නොනැවතිණි. ඊළඟ චෝදනාව මට ආවේ දිගු ඊමේල් පණිවුඩයකිනි. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ දේශකයකුගෙනි. ඔහු අපගේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු ගැන සඳහනක් වත මෙහි නොවීම ගැන ඔහුගේ සිත් තැවුලට හේතු විය. මා ඔහුගේ ජංගම දුරකථනයට කථා කොට ඔහු අස්වසා, ඔහුගේ ඡායරුපයද එම ගොන්නට එකතු කරන්නට කටයුතු කළේය. මේ ඇල්බමය මට මහත් හිසරදයක් දෙන කාරණාවක් බවට පත් විය. මේ කාලයේ අපට සිත් යොමු කරන්නට තවත් වැදගත් කටයුත්තක් විය. ඒ පාසලේ වාර්ෂික පා ගමනයි. පාසල හැත්තෑවෙනි සංවත්සරය සමරන මොහොතේ සිදු කෙරෙන එයට අනිවාර්යනම සහභාගී වනලෙස ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමක් මට ලැබී තිබුණි.

"සෝමවංශ අයියාට සුභාෂ් අයියව හමු වෙන්න ඕනේ කිව්වා"  

යනුවෙන් රංග කී විට මට නිහතමානි සතුටක් ඇති විය. ඒ සෝමවංශ අමරසිංහ යන ජවිපෙ දේශපාලන නායකයා අපගේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් මට කල ආරාධනාව නිසාය. මේ පිටුව මා නිර්මාණය නොකරන්නට එවැනි තත්වයක් මට උදා වන්නේ නැත. 

මේ කාලය වනවිට තම අලෙවි ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් යොදාගත් කොකා-කෝලා වැනි බහු ජාතික සමාගම් මෙන්ම දේශීය පෙරේරා සහ පුත්‍රයෝ (Perera & Sons)  භාවිතා කල Landing Tab සංකල්පය මගේ සිතේ තදින් කා වැදිණි. අන්තර්ජාලයෙන් උකහා ගත දැනුමෙන් මා නිර්මාණය කල කළුතර විද්‍යාලයේ පිටුවටත් මහජන බැංකුවේ පිටුවටත් මා භාවිතා කරන Ulead Photo Express  ග්‍රැෆික් පැකේජය මගින් පින්තූර කිහිපයක්ම නිර්මාණය කළෙමි. මෙම landing tab දැමීමට යම් මට්ටමක ජාවා ස්ක්‍රිප්ට් දැනුමක්ද අවශ්‍ය විය. කෙසේ හෝ මා එයද සාර්ථකව නිම කරන්ට සමත් විය. වාසනාවකට මගේ පරිගණකයේ එම පින්තූර දෙක තිබුණි. 


යම් පිටුවකට නව සාමාජිකයන් ආකාර්ශනය කර ගැනීමට එවකට තිබූ හොඳම ක්‍රමය මේ landing tab ය. එනිසා සාමාජිකයින් යොමු කෙරෙන තැනට එක් පින්තුරයක්ද, සාමාජිකයින් නොවන අයට තවත් පින්තුරක්ද නිර්මාණය කර ඇතුලත් කලෙමි. මගේ පිටුවට දැන් සාමාජිකයින් එක් වන්නේ ඉතා මන්දගාමීව බව මට වැටහුණු අතර, ලසමාගේ ප්‍රොෆයිල් එකට දිනෙන් දින මෙහි සාමාජිකයින් එකතු වන බව පැහැදිලිව පෙනිණි. තවත් දවස් කිහිපයකින් ඔහුගේ අරමුණ තේරුම් ගත් මා ඔහු ඇඩ්මින් තනතුරින් ඉවත් කලේ ඔහුට ඒ ගැන දන්වමිනි. හේතුව ලෙස මා දැක්වූයේ සමහර අය දැක්වූ අප්‍රසාදය බවය. ලාසමා මේ වනවිට සාමාජිකයින් දාහක් පසු කර එකතු කරගෙන තිබුණි. ඒ අතර විදේශීය අයද බොහොමයක් විය. ඉන් පසු තමා ඉවත් කිරීම ගැන ඉතාම සිත් තැවුලින් පසු වන බවද, එසේ කල එක අසාධාරණයක් බවද, තමා ඇඩ්මින් වූ පසු මේ පිටුව "රොක්" වූ බව තම මිතුරන් පවසූ බවද පවසා මට දිනකට පණිවුඩ දෙකක් පමණ එවමින් ආයාචනා ඉදිරිපත් කළේය. මේ අතර නිතරම මට දුරකථන ඇමතුම් දුන් රංගද පවසා සිටියේ

"අයියේ, බැරිද ආපහු ලසමව ඇඩ්මින් කරන්න. මේක නිසා කොල්ලා මාර අප්සට් එකේ ඉන්නේ"

"ඒක නම් කරන්න විදියක් නෑ මල්ලි. එයා මෙතන ඉඳගෙන එයාගේ ප්‍රොෆයිල් එකට මේකේ කට්ටිය බා ගත්ත එක කලේ. බොහෝ දෙනෙක් රැවටිලා එයාව ඇක්සෙප්ට් කළා"

"හරි අයියේ. කමක් නෑ. මං බැලුවේ කොල්ලා අප්සට් නිසා"

ඒ මොහොතේම මා ජයාන් අමතා 

"මල්ලී මේ ලසමා මොන වගේ එකෙක්ද?"

"ඇයි අයියේ එහෙම අහන්නේ ?"

"නෑ. ටිකක් පිස්සු කෙලින චරිතයක් වගේ මට දැනුණා. මම ඇඩ්මින් වලින් අයින් කරා"

"මට අයියට කියන්න විදියක් නැතිව හිටියේ. ඒකා කොහොමත් ඔළුවේ අප්සට් එකක් තියෙන එකෙක්. එක පාරක් මගේ ෆොටෝස් වලට කුණුහරපෙන් කමෙන්ට් දාල තිබ්බා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. ඒ පාර වෙන ප්‍රොෆයිල් එකකින් ඇවිත් කුණුහර්ප දැම්ම. මම ඉස්කොලෙටම ගිහිං මුට ගහලා ආවා"

මේ වනවිට ලසමා ප්‍රොෆයිල් එක පවා හකුළා දමා ඇත. මා දරදඬු වුවා වැඩිදැයි මට සිතේ. එහෙත් මෙහි සිට වෙනත් කාණ්ඩයකට සාමාජිකයින් බා ගන්නට ඉඩ දී බලා සිටිය හැකිද ? මම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිත ගතිමි. 

වෝක් එකේදී මේ සියලු දෙනා හමු වේ යන සතුටින් එයට සහභාගී වුණෙමි. පා ගමන ඉතා සාර්ථක විය. මා සෝමවංශ අමරසිංහ මහතා හමු වීමට ගියේ මගේ නැගණියගේ පුතාගේ කරට අතක් දමාගනිමිනි. රංග මා හඳුන්වා දීමෙන් පසු සෝමවංශ මහතා 

"අපිට රට ඉන්න අයගේ ඊමේල් ඇඩ්රස් ටික හොයලා දෙන්න පුළුවන්ද ? අපි අලුත් ගොඩනැගීල්ලක් හදන්න යන්නේ. ඒකට ආධාරයක් ගන්න"

මා ඔහුට කැමැත්ත පල කර විශ්ව සමග ගෙදර ආවෙමි. සවස් වරුවෙම මා ලබා ගන්නාලද ඡායාරුප එක් කළෙමි. එහෙත් තවත් පැය ගණනකදී ලසමාගේ ග්රූප් එකේද එම ඡායාරුප ඇල්බමය ගෙඩි පිටින් පල වී ඇත. කාරණය දැන් මට හොඳටම පැහැදිලිය. එහි එක් ඡායාරුපයක් ඵල කර නොතිබිණි. ඒ ඇඩ්මින් වරුන් එකතුව ගන්නා ලද ඡායාරුපයයි.

එදින සවස චැට් කල විට මාලිංග බණ්ඩාරව ඡායාරූපයට හසු කර ගන්නට නොහැකි වීම ගැන මා රංජන් අයියාට පැවසුවෙමි.

"බලන්න ඔයා කරලා තියෙන දේ. අද දවසේ දාන්න තිබ්බ වටිනාම ෆොටෝ එක ඔයා මිස් කරගෙන. මුලින්ම දැක්ක ගමන් ෆොටෝ එකක් ගන්න. කොතැනක් ඉඳන් හරි. පස්සේ හොඳ ඒවා ගන්න පුළුවන්. එහෙමයි කෙරෙන්න ඕනේ"

තිලකරත්න දිල්ශාන් දක්ෂතා දක්වන විට ඒවා පිටුවේ ශෙයා කරන්න අමතක නොකරන්න යනුවෙන්ද ඔහු මට උපදෙස් දී ඇත. අපේ පිටුව මාකට් කිරීමට හැකි හොඳම පුද්ගලයා දිල්ශාන් බව නොරහසකි. මා ඔහුගේ ඔවදන් අකුරටම පිළිපැද්දේ, ඒවා අවුරුදු ගණනක් මාධ්‍ය ඇසුරු කොට ලබාගත් අත්දැකීම් බැවිනි. මේවා දේශන වලට සහභාගී වී ලබා ගත්තානම් කෙතරම් කාලයක් හා මුදලක් වැය වන්නේද? සැබවින්ම ඔහු දක්ෂ උපදේශකයෙකි.

තවත් මාස කිහිපයක් මෙසේ ගත විය. දැන් අපේ පිටුවට සාමාජිකයින් එකතු කිරීමට කිසිදු වෙහෙසක් අනවශ්‍යය. අඩුම වශයෙන් දිනකට දෙදෙනෙක් වත් එකතු වේ. දෙසැම්බර් මාසය එළඹිණි. නත්තල් දින උදාවත් සමග මා ඇඳේ සිටම නත්තල් පණිවුඩය ජංගම දුරකථයනයෙන් එකතු කරන්නට උත්සාහ කළෙමි. අපේ පිටුව ලෝඩ් වන්නේ නැත. මා නැවතත් අකුරු පරීක්ෂා කළෙමි.

www.facebook.com/kmv.lk

නැත. මා නිතරම ඔන් කර තිබෙන පරිගණකය වෙත පැන. පිරික්සා බැලීමි. අපේ පිටුවට කවුරුන් හෝ වැඩසටහනක් දී ඇත.

"This page hacked......:)"

යනුවෙන් එහි සටහන් වී ඇත. මට අපමණ දුකක් ඇති විය. මොහොතක් නිහඬව සිටි මා මුලින්ම කළේ මගේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වැඩි කිරීමය. පසුදා උදෑසන මා රංගට දුරකථන ඇමතුමක් දුනිමි.

"අපි ආයෙත් පටන් ගමු අයියේ"

රංග මා අස්වසලමින් කතා කළත්

"මොකටද මල්ලි. මගේ ළමයෙක් ඉස්කෝලේ දා ගන්නද ? මට ඕකෙන් කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි. දැනට මට තව පේජ් ගානක් තියෙනවා වැඩ කරන්න. අර ලසමගේ එක තියෙන්නේ. මේ වැඩේ කරන්න ඇත්තෙත් එයා වෙන්න ඇති. හැබැයි ලසමට ඔච්චර දෙයක් කරන්න බෑ"

මට ලසාමා ඔච්චම් කර ෆේස්බුක් පණිවුඩයක් ඒවා තිබේ. මා පිළිතුරු දුන්නේ

"කරපු කෙනාට දඬුවම් නිසි ලෙස ලැබෙයි"

යනුවෙනි. තවත් මාස කිහිපයකට පසු නැවතත්

"කෝ මොනවද කළේ ?"

යනුවෙන් පණිවුඩයක් එවා තිබුණද, මා පිළිතුරු යැවීමෙන් වැළකුණේ, කුඩා කොලුවකු හා ඔට්ටු වීම මට තරම් නොවන නිසාය.

_____________________________________________

පසු කාලෙක රංගගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි

"අයියේ ෆේස්බුක් එක කමියුනිකේෂන් එකකින් බලලා ලොග් අවුට් වෙන්න බැරි වුණොත්, පස්සේ යන කෙනාට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද ?"

"බොහෝවිට පුළුවන්. ඔයා වැරදිලා හරි Remeber me දාල තිබ්බොත්, අනිත් කෙනා බ්‍රව්සර් එක ඔන් කර ගමන් ඒක එනවා"

"හරි වැඩේ අයියේ, අපේ පේජ් එකටත් වුණේ ඒකමද කොහෙද, මම ඊට කලින් දවසේ කමියුනිකේෂන් එකකින් ලොග් වුනා OBA එකේ නිවුස් ටිකක් දාන්න. මම එතනින් යනකොට ලොගවුට් කරන්න බැරි වුණා. ලසමත් නිතරම එතනට එනවා"

මට සිදු වූ දේ පැහැදිලි විය. එයද සතුටට කාරනාවකි. මා මුලින් සිතුවේ විවිධ රට වල අය ලවා යම් යම් ක්‍රියාකාරකම් කරවාගෙන ෆේස්බුක් ගිණුම් හැක් කරදෙන අඩවියක් හරහා මෙය කරගෙන ඇත්ද ? යන්නය.

_____________________________________________

කෙසේ හෝ ඉතා ආදරයෙන් හදා වඩා ගත් ෆේස්බුක් දරුවා මෙසේ අකල් මරණයකට ගොදුරු වුයේ, වැරදි අය, වැරදි තැන් වලට පත් කිරීමට දඬුවමක් ලබා දෙමිනි. තවත් දින කිහිපයක් අවෑමෙන්   මා බ්ලොග්කරණයට පිවිසියේය. 

Thursday, October 17, 2013

අපි තෝසේ කෑ හැටි - පාසල් සමයේ අත්දැකීමක් ......

 සයිබර් යාය ලියන අපේ බුද්ධි විතර පාසල් කාලයේ අත්දැකීම් බෙදා ගත් තවත් කෙනෙක් නැති තරම්. අන්තිමට බුද්ධි දාල තිබ්බ ඥාණතිස්සලාගේ කතාව කියවද්දී මගේ මතකය එක පාරටම උසස් පෙළ කරපු කාලෙට ඇදිලා ගියා. අපේ ඉස්කෝලෙන් අත්පත් කර ගත්ත ඉඩමක තමයි කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන කාර්‍යාලය හදලා තිබුණේ. අපි ඒක දැන ගත්තේ අපේ ශිෂ්‍ය නායක අයියා කෙනෙක් ගෙන්. ඒ කතාව පිළිගන්න තිබුණ ප්‍රධාන හේතුව තමයි අපේ පාසලත් මේ කාර්‍යාලය පරිශ්‍රයත් අතර තාප්පයකින් හෝ වැටකින් වෙන් කර නොතිබීම.

එක කාලයක් මේ ගොඩනැගිලි සහ ඉඩම නැවතත් අපට ලබා දෙන්න කියලා ශිෂ්‍ය උද්ගෝශණයක් කරන්න අපේ වැඩිහිටි ශිෂ්‍යයෝ සංවිධානය කරා. මේකට අපි සහභාගී වුණේ ඉතාම කැමැත්තෙන්. මොකද එක අතකින් පංතියේ ඉන්නවට වඩා එළිමහනේ කාලය ගත කරන්න බොහෝ දෙනෙකුගේ තිබුණ කැමැත්ත, අනිත් අතින් කොළඹ ටියුෂන් යන අයට වේලාසනින් පනින්න ලැබෙන අවස්ථාව. නමුත් අපි බලාපොරොත්තු නොවුන විදියට මේක කරගෙන යන්න අපේ වැඩිහිටි ශිෂ්‍ය කණ්ඩායම සුදානම් කරලා තිබුණා. ඒ ජපාන ක්‍රමයකට. ජපන්නු වැඩ වර්ජනය කරන්නේ වැඩිපුර වැඩ කරලා, එහෙම නැතිනම කළු පටියක් හිසේ දවටගෙන කියලා කිව්වෙත් අර කලින් කිව්වා ශිෂ්‍ය නායකයාමයි.

"ඉතිං අපි කොහොමද කළු පටි ඔළුවේ ගැට ගහගන්නේ ?"

"එහෙම කරන්න අවශ්‍ය නෑ. අපි කළු පාට වයරින් ටේප් එකක් ෂර්ට් අතේ අලවා ගනිමු. හැබැයි මේක ඉස්කෝලෙදී දාගෙන ඉන්නවා වගේම ගෙදර යද්දීත් දාගෙන යන්න ඕනේ. එතකොට මේක දාගෙන ඉන්නේ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් කතාව මුල ඉඳන් විස්තර කරන්න ඕනේ"

මේ යෝජනාවට අපි කැමැත්ත පල කළේ අත් දෙකම උස්සලා. මොකද මේ වගේ එකකින් තමන් එන බස් වල කෙල්ලන් ඉදිරියේ කැපිලා පෙනෙන්න පුළුවන් නිසා. මේ ශිෂ්‍ය නායකයාම දවසක් බ්ලේඩ් තලයක් ගෙනත් අපේ කමිස කලිසම් වල තිබ්බ ලේබල් සියල්ල ඉවත් කළා. කාගේ වත් වෙළඳ දැන්වීම අපි කරන්න අවශ්‍ය නෑ කියලා.  මුළු දවසෙම අපේ උවමනාවට පංති වර්ජනයත් හොර රහසේ සිද්ධ වුණා. අපිට කැන්ටිමේ දොර වැහුණා. අපිට වෙනත් විකල්පයක් සොයා යන්නට සිදු වුණා. යාබදව තිබෙන අධ්‍යාපන කාර්යාලීය කැන්ටිමට දවසක් හෙමිහිට රිංගන්න අපෙන් කෙනෙක් සමත් වුණා. ගැටලුවක් ඇති නොවුන නිසා වැඩේ නැගලා ගියා. 

"මචං එතන අපේ කැන්ටිම වගේ නෙවෙයි. අපේ එකේ තියෙන්නේ මාළු පාන්, ජෑම් පාන්, සීනි සම්බල් පාන්, වඩේ වගේ ඒවානේ. ඒකෙ තියෙනවා ඉඳි ආප්ප, බත්, තොසේ, මසල වඩේ"

"තෝසේත් තියෙනවද ?"

පින්තූරය ගත්තේ : chef.blogs.smugmug.com
හැමෝම වගේ ඇහුවේ එක පාරට. මොකද අසු තුනේ ජුලි කලබලයට කළුතර ටවුන් එකේ තිබ්බ සයිවර් කඩ  වැහුවට පස්සේ කවුරුත් තොසේ රස බලලා තිබ්බේ නෑ. ඒ කාලේ තොසේ වල තියෙන ඇඹුල් ගතියට අපි හැමෝම ආසා කළා. මටනම් තොසේ කන්න ලැබුණා. ඒ සිරිසේන අයියලාගේ ගෙදරින්. සිරිසේන අයියා සී.ජී.ආර්. එකේ වැඩ කළේ. අලුත්ගම ක්වාට්ස් එකේ ඉන්න සිරිසේන අයියගේ බිරිඳ වෙච්ච මේරි අක්කා විවිධ කෑම වර්ග උයා යම් ආදායමක් ලබා ගත්තා. අසූ තුනේදී එයාලට ලොකු චෝදනාවක් ආවා අලුත්ගම දෙමළ කඩයක් වෙච්ච සරස්වතී එකේ මුදලාලිව හංගාගෙන හිටියා කියලා. 

මම මුලින්ම තොසේ කෑවේ කළුතර ටවුන් එකේ කඩේකින්. මමයි තාත්තයි ගිහින් කඩේ වාඩි වුණා. බාල්දියක් මෙසේ උඩ ගෙනත් තිබ්බා. මම වතුර එකක් අරං ඒකට අත හෝදන්න හදනකොටම, තාත්තා මගේ අතින් අල්ලා ගත්තා. 

අපි අධ්‍යාපන කාර්යාල කැන්ටිමට වෙලාවේ වගේම අවේලාවෙත් යන්න පුරුදු වුණා. ඒ කැන්ටිම කොයි වෙලාවෙත් ඇරලා තිබ්බ එක අපට වාසියි. ඒක තිබ්බේ පාර අයිනට වෙන්න. ඉස්කෝලේ ගොඩනැගිලි ක්‍රීඩාංගණයෙන් පිටුපසට වෙන්න තිබුණ නිසා, යන කෙනෙක් දැක්කත් පැහැදිලිව එක පාරට හඳුනා ගන්න බැරි වෙනවා. එතනට ගිහින් ටික දවසක් යද්දී ඒ කැන්ටිමේ වැඩ කරන අපටත් වඩා බාල කොලු ගැටයෙක් අපිත් එක්ක කුළුපග වුණා. ඔහු මගෙත් එක්ක වඩාත් කුළුපග වුණේ මේ කැන්ටිම කරන අයිතිකරුවා සහ මේ කොලු ගැටයාත් අපේ ගම් පලාතට ටිකක් ඔබ්බෙන් තිබ්බ ඉඳුරුව ප්‍රදේශයේ වෙච්ච නිසා. ඒ බව මට කිව්වේ තාත්තා. කොල්ලාගේ ගම දැන ගත්තේ අපි කරපු සුහද කතාබහෙන්.

මෙහෙම එතැන කෑම යහමින් තිබ්බත්, අපේ අතේ ඒ දවස් වල යහමින් මුදල් තිබුණේ නෑ. අපි කරන්නේ හැමෝගෙම තියෙන සල්ලි එකට එකතු කරන එක. එහෙම එකතු කරත් තොසේ හත අටකට වඩා කන්න පුළුවන් මුදලක් අපි අතේ තිබුණේ නෑ. ඉතිං අපි කැන්ටිමට ගිහින් මුලින්ම ගන්නවා තොසේ තුනක් මුදලාලිට සල්ලි ගෙවලා. මෙතනදී කිසිම පොර කෑමක් නෑ. තුන් දෙනෙක් විතර එකතු වෙලා උඩින් තියෙන තොසේ දෙකකුයි සාම්බාරු හොදි ටිකයි සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ හොදි දාන්න කියලා අපේ හිතවත් මලයට දෙනවා. ඒකා තව තොසේ දෙකකුත් දාලා හොදිත් දාලා දෙනවා. මේ පාර ඉවර වෙන්නම කනවා. ආපහු තොසේ තුනකට මුදල් ගෙවනවා. දෙකක් කනවා එකක් ඉතුරු කරනවා. හොදි දානවා. අවසානයේදී අපි තොසේ පහළොවක් විතර කාලා. කොලුවාටත් රුපියල් පහක් විතර දීලා එනවා. හැබැයි මේ වැඩේ බකල් ගිය දවසුත් තියෙනවා ඒ කොල්ලා වැඩට ආවේ නැති දවස් වලට. එදාට ඉතිං තොසේ හතක් විතර කාලා  සද්ද නැතිව ඉන්නවා. අන්තිමේදී පාසලේ විනය බාර ජයසේන සර් පන්තියටම ඇවිත් එහේ යන ගමන නතර කළා.

____________________________________________

අපේ පාසලේ පහළ පන්ති වල මල්ලිලාට ෆිල්ම් එකක් බලන්න සල්ලි ඕන වුණොත් කරන්නේ කළුතර බෝධිය ගාවට ගිහින් බස් වල අය විසි කරන සල්ලි ඇහිඳින එක. ඉහළ පන්ති වල හිටිය අපිට ඒක කරන්න ටිකක් ලැජ්ජාවක් තිබුණා. ඒ කවුරුහරි ගෑණු ළමයෙක් බස් එකක ඉඳන් දැක්කොත් කියලා.

මගේ ඕලෙවල් කෘෂිකර්ම පොත් ඉල්ලපු පාසලේ කෘෂිකර්ම ගුරුතුමියට ඒවා බාරදෙන්න මම පුස්තකාලයට ගියා. වැඩ නැති වෙලාවට මිස් ඉන්නේ එතන. මගේ අතේ කළු පටිය දැකලා මිස්ලා දෙන්නට හොඳට හිනා. කෘෂිකර්ම ගුරුතුමියත් මම වගේම ඥානෝදයේ ඉඳන් මෙහෙට මාරු වෙලා ආවේ.

"මෙයා එහෙ ඉන්නකොට නම් හරිම අහිංසක ළමයා" කියලා කිව්වා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...