Tuesday, December 1, 2020

සබඳ නිස්මං ......



 ඒ 2012 වර්ෂයයි. මාබ්ලොග්කරණයට පිවිසුණු වසරයි. කාළය කෙමෙන් ගෙවී ගියේ දිනෙන් දින මගේ ලිවීම හරහා මා කියවූ පුද්ගලයින් මිතුරු පාර්ෂික සහ සතුරු පාර්ෂික ලෙස ගොඩවල් දෙකක් ගොඩනැගිණි. එය දෙයාකාරයක පිරිසකි. ඒ මා කළින්  සඳහන් කළ මිතුරු/සතුරු දෙයාකාරයම නොවේ.  තනිකරම කියවන්නන් සහ ලියන ගමන් කියවන්නන්ය. මෙහි දෙවෙනි කාණ්ඩයේ වැඩි කොටස සිටියේ සතුරු පාර්ෂික ගොන්න තුලය. හේතුව සාධාරාණය. ඒ වනවිට බ්ලොග්කරණයේ යෙදුණු ඔවුන් පරයා අපගේ බ්ලොග් අඩවි ජනප්‍රියත්වයට පත්වීමයි. අර මිතුරු පාර්ශවයේ වැඩිකොටස තනිකරම කියවන පිරිසය. ඒ අතර එක් සමකාලීන අත්දැකීම් ඇති මිතුරෙකු විය. ඔහු නමින් සුමිත් නිරිඇල්ලයි.  ඒ වනවිට සියලුම බ්ලොග් කියවා අදහස් දක්වන කිහිපදෙනාගෙන් කෙනෙකු වශයෙන් සුමින් ජනප්‍රියත්වයට පත් වී තිබිණි. එයට අමතරව ඔහු මා දිරිගන්වන අයෙකු ලෙස යම් මිත්‍රත්වයක් වර්ධනය කරගෙන සිටියේය. ඔහු දිනක් මගෙන් එක ඉල්ලීමක් කළේය. 

ඒ සුපිරි ක්‍රීඩා නම් බ්ලොග් අඩවියක් තිබෙන බවත්, එයට දියහැකි සහයෝගයක් ලබා දෙන ලෙසත්ය. කියූ සැනින්ම එම බ්ලොග් අඩවියට පිවිස එය හඹා යන්නෙකු(ඵලොවර්) ලෙස එයට එකතු වුයෙමි. එකළ එය ඉතා සක්‍රීය බ්ලොග් අඩවියක් විය. සමහරවිට දිනකට සටහන් හය-හත එකතු කරන අවස්ථාද විය. නමුදු බොහෝ දෙනා එය ෆලෝ කරන බ්ලොග් අඩවියක් නොවීය. එයට හේතුව පසුව සටහන් කරමි. අදද එම අඩවියට පිව්සී බැලුවහොත්, 2012 වර්ෂය සඳහා පමණක් සටහන් දාහක් ඉක්මවා ලියා තිබෙන බව පැහැදිලිය. මට එම බ්ලොග් අඩවිය විශේෂ වුයේ එය මා මෙන් ක්‍රීඩාවට ඇලුම් කරන්නෙකු විසින් ලියාගෙන යන බ්ලොග් අඩවියක් වීමයි. නමුත් ප්‍රවෘත්ති පත්‍රයක් පවත්වාගෙන යන ‍වෙබ් අඩවියක වේගයෙන් සටහන් එකතු කරන, සියළු පොස්ට් කියවීම ලොකුම ප්‍රශ්නය විය. එකළ අද මෙන් නොව දිනකට බ්ලොග්කරුවන් එකතු කරන පොස්ට් 200ක් පමණ කියවීමට තිබුණු දුෂ්කර කාලයකි. කෙසේවෙතත් හැකි හැමවිට එයට පිවිස කියවීම මගේ පුරුද්ද විය.

<a href="http://supirikreeda.blogspot.com">සුපිරි ක්‍රීඩා </a>

එය ළමා අවධියේ අප කියවූ, ලේක් හවුස් ප්‍රකාශනයක් වූ, ක්‍රීඩා පුවත්පත සිහි ගන්වන බ්ලොග් අඩවියකි. නිස්මං ගේ බ්ලොග් අඩවිය තුළ අදටත් පිවිස බලන්නට හැකි පිළුණු නොවූ බොහෝ සටහන් ප්‍රමාණයක් වෙයි. එය කියවා හමාර කරන්නට සතියක් වත් අවශ්‍ය විය හැක. නිස්මං හා මා මුළින්ම මුණගැසෙන්නේ බ්ලොග් කරුවන් එකතු වී පැවැත්වූ බීච් පාටියේදීය. මගේ මතකය නිවැරදි නම් ඒ 2016 වසර විය යුතුය. එකළ ලේක් හවුසියේ සේවය කළ නලින් දිල්රුක්ෂ සහ පෙර කී සුමිත් නිරිඇල්ල පමණක් නිස්මන් කළින් දැන හැඳින උන් අය විය. මුණගැසී මොහොතකින් සියල්ලෝම හඳුනන්නා සේ කුළුපග වූ, නිස්මා සිනහව පුරවාගත් මුවින් කියවාගෙන කියවාගෙන යන්නට පටන් ගත්තේය. මටනම් එය ඉතා රසවත් අත්දැකීමකි. ඒ ඔහු සියල්ල ඉදිරිපත් කළේ නාට්‍යමය ස්වරූපයකින් වීමයි. එම කථා අතරින් වඩාත් සිත්ගත් කතාව වුයේ පී චරිත දෙකක් අතර සංවාදයක් රඟ දක්වා පෙන්වීමයි. එදා පටන් අද දක්වා අප දෙදෙනාගේ මිත්‍රත්වය ඉතා දැඩි විය. 

දෙදෙනෙකු මිතුරන් වශයෙන් සමීප වන්නට නිතර මුණගැසිය යුතු නැත. නමුත් අදහස් මගින් ඒ දෙදෙනා සමීප නම් දැඩි මිත්‍රත්වයක් ගොඩනැගේ. මට මේ මිනිසා සමග සහකම්පනයක් තිබෙන බව දැනී තිබේ. ඒ ඔහු ෆේස්බුක් එක මත තබන සංවේදී සටහන් තුලින්ය. රංජන් පරණවිතාන නමැති ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියා අප දෙදෙනා තව-තවත් සමීප කරන්නට ප්‍රධාන හේතුවක් විය. ඒ ඔහු අප දෙදෙනාගේම මාධ්‍ය පිලිබඳ ගුරුවරයා වූ නිසාය. ඔහුගේ නොයෙක් අනුදනුම් මත සෙමින් වර්ධනය වූ අප දෙදෙනාටම, ඔහු ගැන ඇත්තේ එකම හැඟීමකි. අයියා යැයි කට ඇර අමතන්නට ඇති මේ මිනිසාගෙන් අප ලැබූ අනුදැනුම් බොහෝය. රංජන් අයියා රෝගාතුර වූ මොහොතේ නිස්මං තැබූ සටහන, එවැනි තවත් ලියවිල්ලක් කරන්නට මටද කදිම උත්ප්‍රේරකයක් විය. 

ඉන්පසු බොහෝ දිගු නිහැඬියාවකින් පසුව නිස්මා මට මුණගැහෙන්නේ මා සේවය කරන මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දොරටුව අභියසදීය. එදින කෙටි අදහස් හුවමාරුවකින් අප දෙදෙනාට වෙන්ව යාමට සිදු වුයේ අප දෙදෙනාම ඒ මොහොතේ කාර්යබහුල වූ නිසාය. නැතිනම් වරුවක් හෝ කථාබහක යෙදෙන්නට නිස්මා පසුබට නොවේ. ඒවා අහගෙන හිඳින විට කාළය ගත වන බව නොදැනේ. ඉන්පසු ඔහු අපට මිස් වන්නේ ප්‍රධාන දාරාවේ මාධ්‍ය තුළින් නිස්මා ක්‍රීඩාවේ හතර කෙළවරටම රිංගන්නට පටන් ගත් විටය. අපද රාජකාරි වල පැටලුනු මේ සමය දිගු නිහැඩියාවක් සේ නොදනින. නමුදු නිරන්තරයෙන් ෆේස්බුක් මාධ්‍ය හරහා විවිධ මාතෘකා ඔස්සේ සංවාද ගෙන යන නිස්මා සමග විටෙක මා වාද විවාද වල පැටලුනද, ඒ කිසිවක් පුද්ගලිකව නොගන්නා අපුරු ගුණයක්, නිස්මා තුල විය. ඒ ඔහු සැබෑ සංවේදී මෙන්ම උපේක්ෂා සහගත මිනිසෙකු  වූ නිසාය. තම දරුවන්ගේ දස්කම් නිරන්තර අගයමින්, ඔවුන්ගේ දස්කම් හමුවේ සාඩම්බර පියෙකු ලෙසින් පෙනී සිටින්නෙකු ලෙසද, නිස්මා අප කා අතරත් ජනප්‍රිය විය.මේ හැමටම වඩා නිස්මං කළේ,  මේ පුංචි රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ලියවිලි මගින් දිරිමත් කිරීමය. පසුගිය ජනාධිපතිවරණයේ දෙපසට වූ අප දෙදෙනා විවිධ පොස්ට් ඔස්සේ සංවාදයට එක් වුවද, පෑඩ් පිලිබඳ කථිකාවේදී  මාසිටියේ නිස්මාගේ පැත්තේය.

නිස්මා වැඩිපුර ලියන්නේ කවිය. විටෙක සංවේදීය, විටෙක කරුණා බරිතය, විටෙක් දුනු-හී මෙන් තියුණුය. ගහන තැනකට කෙළින්ම ගහන්න නිස්මා පසුබට වන්නේ නැත. නමුත් ඔහු වැඩිපුර කළේ, දහදුක් විඳ ඉහලට එන්නට වෙර දරන ක්‍රීඩක ක්‍රීඩිකාවට අත්වැලක් වීමය. විටෙක තමන් උපයන හැම සතයම දහසකුත් එකක් වැඩ පසෙක දමා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිය කර හරි බව දන්නේ අප කිහිප දෙනකු පමණකි. ඒ නොකරන වැඩ වලටත් ලකුණු දමා ගන්නා ලෝකයක, තමන් කරන දේද සඟවාගෙන ඉන්න නිස්මාගේ ප්‍රතිපත්තිය නිසා. දුෂණය සොරකම නිස්මාට පෙන්නන්නට බැරි විය. ඒවාට නිර්දය ලෙස පහර දෙන්නට හේ කිසිවිටෙකත් දෙවරක් නොසිතුවේය. එනිසමා ලැබීමට තිබු පඩුරු,පාක්කුඩම්, තානාන්තර අහිමි කර ගත්තෙකි. ඒ අතින් මාද සිටින්නේ ඒ බෝට්ටුවේ බව කිව යුතුය. ඒ අපගේ ඇසුර යුක්තිය වෙනුවෙන් වූ සීමිත පිරිසක් සමග වූ බැවිණි. 

ස්පෝර්ට්ස් කවි යනුවෙන් අලුත්ම කැටගරියකින් නිස්මා ලියන්නට පටන් ගත්තේය. ඒවා රියල්ම කවිය. මේවා මුළින් මුහුණු පොත ඔස්සේ එක දෙක කරළියට එන විට, බොහෝ දෙනා ඉල්ලා සිටියේ පොතක් කරන ලෙසය. ඒ වනවිටත් නිස්මා ඒ සඳහා අවශ්‍ය මුලික පියවර තබා අවසන්ය. එසේ නමුදු අපට බොහෝ කාළයක් බලාගෙන ඉන්නට සිදු විය. දහසකුත් එකක් බාධක මධ්‍යයේ තම අරමුණ කරා පෑන මෙහෙයවූ නිස්මාගේ පොත එලියට ආවේය. එය සහමුලින්ම වෙනස් පන්නයේ පොතකි. ප්‍රමාණයෙන්ද, අනතර්ගතයෙන්ද වෙනස්ය. 

ක්‍රීඩාව සඳහා සංස්කෘතියක් !!!! තිබිය යුතු යැයි නිස්මා පුන-පුනා කීවේය. අපගේ ක්‍රීඩාව අද ඇති තත්වයේ පවතින්නේ, මෙරට ඒ සඳහා වූ සංස්කෘතියක් නොමැති වීම නිසා බව නිරන්තරයෙන් නිස්මා පුනරුච්චාරණය කළේය. නමුත් බොහෝ දෙනාට මේ කරුණ ග්‍රීක් විය. මටද මුළින් එසේය. නමුදු නිස්මා ආවාට-ගියාට දේවල් කියන්නේ නැති බව මේ වනවිට මා පසක් කරගත් කාරණයක් විය. මා හෙමින් මේ කරුණ පිලිබඳ ඇහැ ගහගෙන සිටියේ, මෙය ක්‍රීඩාව ගැන උනන්දුවක් දක්වන අප කාහටත් වැදගත් දෙයක් වියහැකි නිසාය. පසුව කරුණු අවුබෝධ වුයේ විවිධ යූ ටියුබ් නාලිකා හරහා පොත එළිදක්වන්නට මත්තෙන් නිස්මා කළ හෙළිදරව්වන් නිසාය. ඉන්පසුව තේරුණේ මමද එය 100% පිළිගන්නා, තිබිය යුතුම දෙයක් ලෙස විශ්වාස කරන කෙනෙකු බවය. නව පරම්පාරාව විවිධ ක්‍රීඩා ඉසව් කෙරෙහි ආකර්ෂණය කර ගන්නට නම්, ඒවාට දිරිගැන්වීමක් මාධ්‍ය ඔස්සේ සිදු විය යුතුමය. නමුත් මෙය උඩුගම් බලා පිහිනීමක් බව නිස්මා ඇතුළු අප සැවොම දන්නා කාරණයකි. ලංකාව තුළ අලුතින් දෙයක් පටන් ගන්න සුදානම් වන සෑම මොහොතකම එයට සෘණ අදහස් දක්වන්නන් බොහෝ සිටින නමුදු, එය ආරම්භ වූ පසු තලු මර මරා රස විඳින්නේ පෙර කි එපා කියූවෝමය. ඉන්පසු පටන් ගත්තේ තමා බවද කියන්නට ඕනෑතරම් අය හිඳින බව අත්දකීමෙන්ම දනිමි. 

දැන් අපි නිස්මාගේ පොත දෙසට හැරෙමු. එය අමුතුම  ආරක පොතකි. ප්‍රමාණයෙන්, කවරයෙන්, පිදුමෙන් හෝ මෙකී - නොකී ඕනෑම මිම්මකින් බැලුවත් එය වෙනස්ම ආරක එකකි.

පොතෙහි පෙරවදන සපයන්නේ ජී.ජී.යූ. සමන් කුමාර ගුනවර්ධනයන්ය. එයට ඔහු සපයන මාතෘකාව වන්නේ "මාධ්‍ය ස්නයිපර් කරුවෙකුගේ ඉලක්ක කවි" යනුවෙනි. මෙහිදී වෙඩික්කරුවා නොකියා ස්නයිපර් කරුවා කියන්නට හේතුවක් තිබේ යයි මට හැඟේ. වෙඩික්කරුවා ලවක්-දෙවක් නැතිව වෙඩි තබාගෙන යයි. ඔහුට ඉදිරිපිටින් සිටින්නේ කාවුරුන්දැයි වගක් නැත. විනාඩි කිහිපයකින් මෙහෙයුම හමාර කරයි. නමුත් ස්නයිපර් කරුවා තමන්ගේ ඉලක්කය එනතුරු සැදී පැහැදී සිටියි. සමහරවිට බලා සිටින තරමට ඉලක්කය පැහැදිලි වන්නේ නැත. ඒසේනම් එදින හිස් අතින් ආපසු යයි. නමුත් අධිෂ්ඨානය වෙනස් නොකරයි. මීළඟ දිනයේ ඉලක්කය වෙත සමහරවිට වෙනත් ස්ථානයකින් ඉලක්කය ගන්නට සුදානම් වෙයි. යම්කිසි අධ්‍යනයක යෙදෙයි. හරියටම පැහැදිළිව ඉලක්කය ගෙන හිසටම වෙඩිල්ල පත්තු කරයි. එයින් බේරී පලා  යන්නට ඉලක්කයට ලක්වන්නාට නොහැකිය. මෙහිදී ගුණවර්ධනයන් හරියටම හරිය.

මේ පොතෙහි රසවත් කවි බොහොමයක් වෙයි. ඉන් කිහිපයක් මා මෙහි සටහන් කරන්නම්. ඒවා තෝරා ගැනීමේදී මගේ කැමැත්ත සමහරවිට රසවත් කම පරයා ඉදිරියට එයි. රු.300/= කට මිලකර ඇති ඔබට පහසුවෙන් ගෙන්වා ගත හැකිය. මාද මෙය තැපැල් මාර්ගිකව ලබා ගත්තේ මේ දිනවල තිබෙන තත්වය සැලකිල්ලට ගනිමිනි.

නිස්මා පටන් ගන්නෙම තමන්ට ටොක්කක් ඇණ ගනිමිනි. එහි එසේ සඳහන් වේ

    
අතමිට හොඳ කළෙක දානෙට ලියු හැටි
දැන්වැටහෙනවා එය වැඩකිය කෙරූ මැටි
ඒ ගැන ලතවුල කරලමින් කෙටී
මේ පොත ලියමි ගහ ගනිමින් මටම ගුටි

 

සුසන්තිකා ගැන සටහන් කරනකවි දෙකෙන් පළමුවැන්න

   
වෙළඹ රැල මැද පතල නම් ඇති ලොව දසත
කරට කර සිට දුවපු හැටි ගැන පළ පුවත
නො'තැව දුක ගැන නැගෙන හැටි ගැන කළ සපත
සැවොම නිසි ලෙස උගත යුතු වෙයි අය නියත
    

රොෂාන් මහානාම ගැන සටහනින්

    
අත්තටු වගෙයි අත් ඉගිලෙන විලාසෙට
කැච් එක අතේ තටු එක්වෙන වෙලාවට
මැච් එක දිනන හැටි පෙන්නා කළාවට
බැට් එක යොදපු හැටි මතකයි ලතාවට
    

මංජුල කුමාර ගැන

    
දෑතේ කහට තිබුණත් තේ දළු නෙළුව
පාටින් අඩුව නොතිබිණි ඔහු රන් නෙළුව
ගඟකට සමානය රන් දහඩිය ඔහු හෙළුව
උසනම් මංජුලය රන්වන් නම නෙළුව
    

අරවින්දගැන ලියවුණු කවිද්විත්වයෙන් එකක්

    
හුක් එක ඉදිරියේ හැක් විය තරු ලකුණු
ගසනා විලාසෙට මිනිසුන් මුව ඇරුණු
විශ්මය සමානය අරවින්දගේ ලකුණු
ඔහු ලක් ක්‍රිකට් කුසුමකි ද්ලබව පිපුණු
    

සුගත් තිලකරත්න ගැන

    
විදුලිපුර අහස මත දිදුල විදුලියක් ලෙස
අඳුරු වී තිබු ලක මළල කෙළි බිමට බැස
පැහැබරයි පා යුගෙන් විහිද වූ විජයරැස
දුන්නකින් මිදුණු හී පහර සේ මවු රස
  

දමයන්ති දර්ශා ගැන ඔහු මෙසේ ලියයි   

මුළුආසියාවම සසැලී පසු බාන
මහ මේඝයක් සේ දිවුමකි ජය ගේන
සිහ දද සැලුණු හැටි අතරේ ජයපාන
සැබවින් පෙන්නුවාදර්ශා දුටු හීන
 

රංජන් අයියා ගැන ලියූ කවි දෙකෙන් එකක්                                           

රන්ජන් ගැනයි මේ දිනවල කථාව
ඉන් වැටහෙමින් ඇත කාගේත් ලතාව
මේ රන්ජන්ද දුර ඉඳලමසතාව
හොඳටද නරකටද දන්නවාකථාව 

  
ඒ. එම්. සුමනවීර පාපැදිශූරයා ගැන තැබූ සටහනනින්

හතියක් නැතිව පැදයන විට කඳු උසට
සැකයක් තැනේ ඔහු ගැන හැම විටහිතට
සුමනේ කියන විට කඳු නැමිලදබිමට
කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට
 චින්තන විදානගේ
  
ලංකාවට බරක් වුණු බර එසවීම
විජයග්‍රහණයේ මග්ග වෙතහැරවීම
පොදු රද මඩුලු උළෙලෙන් කළඇරඹීම
චින්තන ඒනිසයි කළ යුතුසැනසීම
විස්තර විචාරක මා මිත්‍ර හරිත පෙරේරා මහතා ගැන
  
දත් දේ කියාදෙයිහංගන්නේ නොමැත
නොම දන්නේද දත් අයගෙන් යි පුවත
මහාඅත්දැකුම් දහසකි පිරි දත්දසත
නමෙනා ඇත්තක්ය පළ බර
හරිත
 මහේල -සංගක්කාර සුසංයෝගය
  
මහේල-සංගා එක කාලෙක මැකු අඳුරු
කෙළිබිම පිරුණු මතකය අපමණ සොඳුරු
නොමියෙන නමක් රට වෙනුවෙන් කළ ඉතුරු
උපන්න බිමට ණය නැති දෙදෙනෙකි මිතුරු
 ක්‍රිකට් උඩු-යටිකුරු කළ සනත්- කලූ යුගල    
ඕවර් පහළොවට සීයත් පොඩි දෙයකි
යාර තිහේ දුර ඇත ළඟ යාරයකි
එක් දින පිටියේ පා විස්මිත පෙළහරකි
ජය ඒ කාලේ නොකැඩී ගලනා ගඟකි
ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන   
කන්දක ඉහළ සිට පහළට පෙරලෙන්න
පහසුය නමුත් නොහැකිය යලි නාග ගන්න
වෙහෙසිය යුතුව ඇත මුලස් සිට අරඹන්න
කිට්ටුව තිබේ පාපන්දුව වැලලෙන්න
 කුසල් මෙන්ඩිස්  ගැන අනාගතය කියවීම
  
මහ උස තැනෙක සුඛ විහරණලැබුණේ නැති
හැකියාවා පමණි තිබුණේ ඔහුටනීති
සිටු මන්දිරේරජ කුමරුන් උසටනැති
වෙහෙසින් නමා ගෙන ඔහු පළ පිරුණු ඉති
 පර්සි අබේසේකරනමැති දිරිගන්වන්නා
  
දිරි ගැන්වීම සලකනු මන කලාවක්
තනිඑය් එයට දී විසිතුරුරටාවක්
රට රට පතලපරසිදු රස ගුලාවක්
පිටියේ ක්‍රිකට් ඔහු වෙනමම කතාවක්
 මා මිත්‍ර ආනන්ද වන්නිතිලක සහ පවුල ගැන
  
අප්පා හැම කලෙහි වොලිබෝලේට තරුවක්
අම්මා සමග තැනු දැල් පන්දුවේ කිරුළක්
මේ ගස මත්තේ පීදුන රන්වන් කුසුමක්
ඇද පවුලකට නොව අය රටටම රැජිනක්


















































































































මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රීමියර් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට නායකත්ව   දෙන දසුන් ශානක ගැන පෙර කියවීමක්

    
ක්‍රීඩකයෙකු කරන නෙක නෙක හැසිරීම
පිරිහුම මෙන්ම රටකට දෙයි බැබලීම
වදනට පවා කළ හැකි රට දිනවීම
සෙල්ලම් නොවේ රටකට ක්‍රීඩා කෙරුම
    









සමාප්තිය සටහන් කර තිබුණේමෙසේයි
 
ප්‍රතිපල පිරුණු කොළ මිටි දෑතේ රැඳුණු
හදවතබැඳුණු තොරතුරු ආලෙන් වෙළුණු
අන්තර් ජාල හිතවත්කම මත පිපුණු
කවිමල් සිඹිනු පෙති අගකඩතොළු නොවුණු
   
ඔහු අප සමග කළෙක සක්‍රීය බ්ලොග් ලියු සමකාලීනයෙකි. ඔහු ප්‍රධාන  ධාරාවේමාධ්‍යයක අනිවාර්යයෙන් සිටිය යුතු කෙනෙකු බව මගේවිශ්වාසයයි. නිස්මා ලියු කවි 140කින් කිහිපයකි. එම කවි 140 සහ එහි රසවත් පසුබිම බැලීමට නම් මේ පොත බැලිය යුතුමය. ඒ සඳහා පහත අංකයෙන් විමසීම් කළ හැක
0773815999
nismansinghe@gmail.com

Thursday, November 12, 2020

සඳෙන් එහා කඳු මුදුන් නිවී ......

 මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන සඳෙන් එහා කඳු මුදුන් නිවී - හිමවු තලාවේ තුෂාරයේ, කියන ගීත කණ්ඩය ඇසෙන හැම මොහොතකම මගේ හිතේ මැවෙන එක්තරා චිත්තරූපයක් තියෙනවා. මේකට පසුබිම සැකසෙන්නේ අපේ ගමේ, ඒ කියන්නේ බෙන්තොට (බෙන්තර) ගාමිණී  විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ තිබුණු සංගීත ප්‍රසංගයකදී ඔය කිවුව ගීතය මට අහන්න ලැබුණු දා පටන්. නමුත් මේකට සමගාමීව තවත් දෙයක් සිදු වුණා. ඒ නිසාමයි අදටත් මේ ගීතය ඇහෙන වෙලාවට ඒ දසුන විදිල්ලක් වගේ මතු වෙන්නේ. 

මගේ මතකය නිවැරදි නම් මම තුන්වැනි ශ්‍රේණියේ විතර ඉන්න කාලයේ මේක් වුණේ. ඔව් ! ඔබේ හිතට ආව ප්‍රශ්නය මට තේරුණා. මොකක්ද මේ ශ්‍රේණිය. ඒ කාලයේ එහෙම තමයි තිබුණේ. හරියටම ගත්තොත් දැන් හතර වසර වගේ. ඒ කතාව පැත්තකින් තියමු. මේ ප්‍රසංගය තිබුණේ සිකුරාදා දිනක. ඒ කාලයේ ටීවී එකක්වත් ගෙදර නැති එකේ, මේ වගේ දෙයක් ගමේ තියෙනවා කිවුවම, ගමේ අය විතරක් නෙවෙයි, අහල ගං හතක(හතක කියළා කතාවට කිවුවට අටක් අපේ ගම් පද්දතියේ තියෙනවා. අපේ තාත්තා දිව මතුරක් වගේ කියාගෙන යන බෙන්තර, ඉඳුරුව, පහළගම් හය. හැබැයි මේ හය මොනවද කියන්න නම් මම දන්නේ නෑ. අපේ තාත්තා තදින්ම දේශපාලන වැඩ කටයුතු කරපු නිසා. ඒවා දිග කතා මෙතන ලියන්න ගියොත් තවත් පඳුරු තැලිල්ලක් වෙනවා)  උදවිය එක්කාසු වෙනවා. මමත් බොහොම අමාරුවෙන් මෙතනට ගියා. කා එක්කද ගියේ කියලා නම් මතක නැතුවට, මේ සඳහා අනුග්‍රහය දැක්වුවේ ලොතරැයි මණ්ඩලය බවනම් මට හොඳහැටි මතකයි. මේ වෙනකොට මගේ ප්‍රියතම ගායකයින් වෙලා තිබුණේ සිසිර සේනාරත්න මහත්මයා සහ පුන්සිරි සොයිසා මහත්මයා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනික් අයගේ ගීත වළට අකමැති බවක්. මට ඕනෑම ගායනයක් රස විඳින්න පුළුවන්. ඒ කාලයේ මගේ කටේම තිබුණ සිංදු දෙක තමයි නීල ජලාසේ රඟනා හංස කුමරී සහ පුන් සඳින් රැස් ගං තෙරින්.

සිකුරාදා ඔය ප්‍රසංගය කීයට ඉවර වුණත් 10:00 විතර වෙත්දී මම ගෙදර. අඩි රූල(ඉස්සර තිබුනේ ලී අඩි රූල්. මම ඕක විවිධ දේවල් සඳහා පාවිච්චි කළා. කරන්නම දෙයක් නැති කොට, එක කෙළවරක මැදින් හිලක් විදලා, නුලක ගැට ගහලා, ගිනිබෝල කරකවනවා වගේ හයියෙන් කරකවනවා. එතකොට ඌම් - ඌම් කියළා සද්දයක් එනවා) අරන් සින්වේතටික්වැල් පුටුවට රිද්මයකට ගහන ගමන්, සඳෙන් එහා කඳු මුදුන් නිවී කියන කොටස රාව ප්‍රතිරාව කළා. වැඩි වෙලාවක් එහෙම නොකළේ අම්මා සුපුරුදු දේශනාව පටන් ගත්ත නිසා. මම කීයට නින්දට වැටුනද කියලා මතක නෑ. උදේ 7:00 ට විතර ඇහැරෙනකොටත් අර සින්දුව කණේ අලවලා වගේ. ඒ කාලයේ මුළු ගීතයම හොයාගන්න සෑහෙන දුකක් විඳින්න වෙනවා. මොකද කැසට් රෙකෝඩර් තිබුණෙත් කළාතුරකින් තැනක. ආයේ රේඩියෝ එකේ යනකං ඉන්න වෙනවා මුළු සින්දුව හොයාගෙන පාඩම් කරන්න. හැබැයි අපේ ඉස්සරහා ගෙදර මහින්දලාට පිං සිද්ද වෙන්න කැසට් පිටින් සින්දු අහන්න අපිට චෑන්ස් එකක් වැදුනා. ඒ රට(ස්විස්) මහින්දලාගේ අක්කා එවපු කැසට් රෙකෝඩර් එකේ, එක කැසට් පීස් එකක් කැඩෙනකම්ම එක දිගට දානව. එතකොට දවසකට කොහොමත් හත් අට වතාවක් එකම සිංදුවක් අහන්න ලැබෙනවා. එහෙම වුණාම, නිකම්ම සිංදුව කට පාඩම්. ඔය නිසා මට මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපලා, ෆ්‍රෙඩි සිල්වා වගේ ඒ කාළයේ ප්‍රසිද්ධ බොහෝ දෙනාගේ ගීත කටපාඩම්. මම ඒවා කියද්දී අපේ තාත්තා උරණ වෙනවා. අර බීඩි උරණ රස්තියාදුකාරයාගේ සිංදුද තමුසේ පාඩම් කරන්නේ. අර අමරදේව මහත්තයා කොයි තරං ලස්සන සිංදු කියළා තියෙනවද ? එයින් එකක් කට පාඩම් කර ගන්නවා.   

ඔය කාළෙම අපේ හිත් පිනවපු අනෙක් දේ තමයි චිත්‍රකතා. ඉස්සර, මම නම මතක නැති වුණත් පන්සලේ සාමනේර නමගෙන් තමයි පත්තරේ ඉල්ල ගන්නේ. ඒකත් ඉතිං මගේ තනි උවමනාවටම නෙවෙයි. අපේ අක්කා, චූටි අක්කා(ලොකු අම්මගේ දුව) සහ ගෙදරට යන-එන අනෙක් අයගේ හිත සුව පිනිස. අපි බොහොම සහයෝගයෙන් පත්තරේ බෙදාගෙන බළන්නේ. මං වැඩියෙන්ම කැමති ටෝගා චිත්‍රකතාවට. ඒ වුණත් මගේ වයසේ බොහෝදෙනෙක් කැමති වුණේ යුනිකෝට. මොකද යුනිකෝගේ ඇස්දෙක ලස්සන තහඩු පටියකින් ආවරණය කරළා තිබුණ නිසා ඔහුට එක්කාසු වෙලා තිබුණ අමුතු පෙනුමට. හැබැයි ඒකම නෙවෙයි කාරණය. යුනිකෝ වැඩ්ඩා නිසා. අනික ස්කිනිය, ෂෝට ගහලා, අර කලින් කිවුව සන්ග්ලාස් වගේ ඇස් ආවරණයත් එක්ක තිබුණ් හැන්ඩි පෙනුමට. ඒකට ටෝගා, උඩට මුකුත්ම නැතුව කොටි හමකින් හරියට මදින මාමලා අඳිනවා වගේ කොට සායක් වගේ එකක් තමයි මිනිහා ඇඳන් හිටියේ.

වෙනදත් එදා වගේම උදේ 11:00 වෙත්දී පත්තරේ මගේ අතේ. පන්සලේ ලොකු හිමිනම බොහොම සැරයි. ඒ සෝමසිරි හාමුදුරුවෝ. පණ්ඩිත හිමිනමක්. අහළ ගං හතක මිනිස්සු භයයි. අපි පන්සල පැත්තේ යන්නෙත් භයෙන්. සියඹලා, අඹ ගස්‍ යට වැටුණත් අහුලන්නවත් කෙනෙක් හිතට දෛරයක් ගන්නේ නෑ, මොකද සෝමසිරි හාමුදුරුවන්ගේ ඇස ගැටුනොත් වෙනම ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙන නිසා. ඉතිං හිතන්නකෝ අවුරුදු 10ක විතර කොලුවෙක් මේ හාමුදුරුවන්ගේ තියුණු ඇස් වලට වැලි ගහලා චිත්‍රකතා පත්තරයක් ඉල්ලන් එන්නේ කොහොමද කියළා. මම කළේ දළදා මාලිගාවේ ආකෘතියට හදලා තියෙන පන්සලේ  අලුත් බුදුගෙය පිටුපස්සෙන් ගිහින් එතැන තියෙන පුංචි ලඳු කැලෑව වගේ කොටස පහුකරගෙන පහළ ධර්ම ශාලාව පිටුපසට සේන්දු වෙන එක. (ඒ බුදුගෙය තියෙන්සානේ අංශක හතලිස්ම පහකට වගේ ආනතියකින්නේ නැගගෙන යන්රන තියෙන පාරේ කෙළවර. ඉතිං ඒ පාරේ කෙලවරට ආවා කියන්නේ අර බුදුගෙය ඉදිරිපිට).  හාමුදුරුවන්ගේ කුටිය තිබුණෙත් මේ කොටසේ. ඉතිං පත්තරය අතට ගත්තට පස්සේ මිටින් මුදා හැරපු කුරුල්ලෙක් වගේ මම ගෙදර දුවගෙන එනවා.  මම එනකොට මේ සංසදයේ අනික් සාමාජිකයෝ තවමත් වැඩ නිම නොකරපු අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තියෙන පුටු බංකු වල සහ ජනෙල් පඩි වල වාඩි වෙලා හිටියේ විසේෂඥ වෛද්‍ය කෙනෙකුගේ කාමරය අසල ගැවසෙන රෝගීන් පිරිසක් වගේ. ඇත්තටම මේ පත්තර කියවිල්ල රෝගයක්. එහෙම කිවුවේ ඔය කියපු බෙන්තර සෝමසිරි ස්වාමීන් වහන්සේ මා අරභයා. ඒ වගත් මෙසේය.

අපේ ඉස්සරහ ගෙදර බොහොම පැරණි එකක්. වරිච්චි බිත්ති වලින් හදලා කපරාරු කරපු, වහලට සිංහල උළු පල හතරට හෙවිල්ලපු තරමක විශාල ගෙයක්. ඒ වගේම මේ ආකෘතියේ ගෙවල් වලට ගෙට පිටුපසින් වෙනම මුළුතැන් ගෙයක් සහ ගෙට ඈතින් වැසිකිලියක් තිබුණා. මේ ගේ සමර පින්තාරු කරපු එකක්. බිත්තියක් අඩි දෙකක් විතර ඝනකමට බන්දලා තිබුණේ. ඉස්සරහ ඉස්තෝප්පුවේ පැත්තෙන් භාගෙට තියෙන කෙටි බිත්තියේ කෙනෙකුට නිදා ගන්න පුළුවන්. මේක අයිති වෙලා තිබුණේ තාත්තලාගේ මහ ගෙදර ආසන්නයේ තියෙන ගුණසේකර වලව්වේ අයට. නමුත් එයාලා මේ ගෙදර පදිංචි වුණේ නෑ. බොහෝ කාළ වල මේ ගෙදර කුලී නිවැසියන් තමයි වාසය කළේ. මේ ගෙවල් වලට එන බොහෝ දෙනෙක් අපිත් එක්ක කුළුපග වුණා. මේ කාළයේ මේ ගෙදර හිටියේ කොපරේටිවූ එකේ කළමනාකාරිණිය වශයෙන් සේවය කරපු හැරියට් ඇන්ටි. එයාගේ පුතාම එයාට විහිළුවට කියන්නේ හැරියට් ටී. ජයසේකර කියළා. මගේ මතකය නිවැරදි නම් ඒ නම විරිදු ගායිකාවකගේ ඒ කාළයේ නිතර රේඩියෝවෙන් ඇහුන නමක්. මේ ගෙදර අයගේ වයෝවෘද්ධ දෙමාපියන්  මියපරලොව ගියෙත් මේ නිවසේදී, ඔය අවස්ථා දෙකෙන් එකකදී තිබුණ මතක බණ අහන්න අපිත් ගියා. මම හිටියේ පිටුපසටම වෙන්න. මගේ සාක්කුවේ මොනවා හරි ඔතාගෙන ආපු චිත්‍රකතා පත්තර පිටුවක් තිබුණා. බණ අතරතුර තියෙන ඉන්ටෝල් එකේදී මම පැට්‍රොමැක්ස් දෙකකින් ඒකාලෝක කරපු එම නිවසේ සාලයේ කෙළවරක ඉඳන් අර අහුලාගත්ත පත්තර කෑල්ල කියවන්න ගත්තා. ඒ තරමටම මේ පත්තර උණ වැළඳිලා හිටියේ. සෝමසිරි හාමුදුරුවන්ගේ උකුසු ඇස් මා වෙත යොමු වෙලා තිබුණා කියළා මට වගක් වුණේ නෑ. දෙවෙනි කොටස ආරම්භ කරන්න කළින්, හාමුදුරුවෝ බණ කියන්න ගත්තේ මා අරභයා. 

"දැන් බොහොම දෙනෙක් චිත්‍රකතා පත්තර කියවන්න ඇබ්බැහි වෙලා.  මේ කන්නන්ගර ඉස්කෝලේ මහත්තයාගේ ළමයත් දැන් මෙතැන චිත්‍රකතා පත්තර කෑල්ලක් කියවනවා මම දැක්කා. ඒ වගේම අපේ සාමනේර නමගෙන් පත්තර ඉල්ලා ගන්න පන්සලට එනවා කියලත් මම දන්නවා. වහාම ඔය වැඩ දෙකම නවත්වන්න ඕනේ. අපි දන්න කෙනෙක් ඔය ඇබ්බැහි වීමක් නිසා ජීවිතය කාලකන්නි කර ගත්තා"

අපේ අම්මටයි-තාත්තටයි මේ ප්‍රකාශය සෑහෙන කාළයකට ඇති වුණා මට උපදෙස් දෙන්න. නිතරම සෝමසිරි හාමුදුරුවන් පැවසු පරිදි තමයි මට අවවාද උපදේශ ආවේ. ඔය කිවුවා කියළා චිත්‍රකතා කියවන එක මම නැවැත්තුවේ නෑ. මගේ පන්තියේ මිල්රෝයි කියළා යාලුවෙක් හිටියා. මිනියා පන්තියේ කියවීමට දුර්වලයි. හැමදාම රත්නසේන සර්ගෙන් බැනුම් අහනවා. ඉතිං මේ ගැන මමත් හිටියේ දුකෙන්. මම දවසක් තිලකා ඇන්ටි(මිල්රෝයිගේ මවට) මේ ගැන කිවුවා. මම ඒ එක්කම යෝජනාවකුත් කළා. සිත්තර වගේ පත්තරයක් ගත්තනම් කියවන්න උණන්දුව වැඩි වෙයි කියළා. ඉතිං තිලකා ඇන්ටිත් පත්තරේ බලන්න කැමති කෙනෙක් නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළා. පුදුමයකි ! සති කිහිපයකින් මිල්රෝයි යස අගේට සිංහල කියවීම කරන්න පටන් ගත්තා. මට පුදුම සතුටුයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම ඇල්ලුවා නේද ? කියළා. 

ඔන්න ඔහොමයි අපි ටෝගා

පින්තුරය ගත්තේ නන්ද වන්නිනායකගේ
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකෙන්

-යුනිකෝ-ඉතිං ඊට පස්සේ බැලුවේ. ඒවායෙන් අපි නරක් වීම කොයි හැටි වෙතත් කල්පනා කිරීමේ ශක්තිය වර්ධනය වුණා කියලයි මගේ විශ්වාසය. ඉතිං මේ කියපු ටෝගා චිත්‍ර කතාවේ එකතැනක තිබුණා, ටෝගා වාසය කරන ඝන වනාන්තරයේ කඳු පන්තියක් උඩින් ගුවන් යානයක් යනවා ටෝගා බලාගෙන ඉන්නවා. ඉතිං අර සඳෙන් එහා කදු මුදුන් නිවී කියනොට මට ඔය චිත්ත රූපය මැවෙනවා. මොකද ටෝගා කතාවේ වෙලාවකට ඩයිනෝසරයන් පවා හිටියා. ඒ වගේ සතුන් හිටි කාළය වෙනකොට රයිට් සහෝදරයෝ ලොවෙත් නැති නිසා ප්ලේන් එකක් කීයටවත් තියෙන්න විදියක් නෑ. එක්කෝ මේක ඇඳපු සිංහට වැරදුණා. අපි පංතියේ සෙට් එක නිතරම මේ ගැන කථා වුණා. සමහරු යෝජනා කළා මට ටෝගා අත ඇරලා යුනිකෝ තෝරා ගන්න. නමුත් මම කැමති වුණේ නෑ. තවත් කෙනෙකුගේ අදහස වුණේ, අනික් පිටුවේ තියෙන කාටුන් එකේ තියෙන ප්ලේන් එකක් මගේ වැඩි උනන්දුව නිසා ටෝගා එකට ඈඳාගෙන කියළා. මේ කියවන ඔබටත් හිතෙයි මේක තමයි වෙන්න ඇත්තේ කියළා. නමුත් මට අද වගේ මතකයි මේක මෙහෙම තිබුණා කියළා. අපේ පංතියේ තමරංගට යුනිකෝව ඒ විදියටම අඳින්න පුළුවන් කම තිබුණා. අපි හැමෝටම ඒ තරම් හොඳට අඳින්න බෑ. 

දැන් කාලේ පොඩි එවුන්ට මොනතරම් දේවල් තිබුණත්, මේ චිත්‍රකතා බලලා ඒවා ප්‍රතිනිර්මාණය කරන්න අපි පොඩි පොඩි කැලෑ වල පුංචි යුද්ධ කරපු අත්දැකීම විඳින්න වාසනාව නෑ කියලත් කියන්නම ඕනේ. 


Sunday, May 17, 2020

නස්කා රේඛා : පේරුරි අභිරහස් පොලෝතල මෝස්‌තර ......


වර්ග කිලෝමීටර 450කටආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වෙතැයි ඇස්තමේන්තු කර ඇති නස්කා රේඛා පේරු රාජ්‍යයට අයත් නිසරු මුහුදුබඩ ප්‍රදේශයක පිහිටා ඇත. 

පොලොව මත හූරා ඇඳ ඇති මෙම චිත්‍ර සංඛාවෙන් දහස් ගණනක් වන අතර ස්වභාවික ප්රානීන්ගේ මෙන්ම මනඃකල්පිත රූප මෙසේ ඇඳ තිබේ. සතුන්ගේ රූප අතර මකුළුවන්, ගුමුනද දෙන පක්ෂියන්(හමිං බර්ඩ්), වඳුරන්, කටුස්සන්, පෙලිකන් පක්ෂීන් සහ මාරාන්තික තල්මසුන් ඇතුලත් වේ. තවද ශාඛ, පැල, මල් සහ අමුතුම හැඩතල සහිත අද්බූත රූප මේ අතර වේ. සාගර රැලි මෙන් ජ්‍යාමිතික මොස්තරයන්ද , ත්රිකොන්න, සර්පිලයන් සහ චතුරශ්‍රද මේ අතර ඇත.

මේවා කෙතරම්පැරණිද ?


මේ අතුරින් සාතිශය බහුතරයක් ක්‍රි.පූ. 200ත් 500ත් අතර කාළයට අයත් වන අතර,  මුල්ම රේඛාවන් ගොඩගසන ලද ගල් කැබලි මගින් නිර්මාණය කර ඇති අතර (එම යුගයෙදී එකී ප්‍රදේශය අරා වාසස්ථාන පිහිටුවාගෙන සිටි නස්කා වරු ලෙස හැඳින්වේ) ඒවා ක්‍රි. පූ. 500 ක් දක්වා ඈත කාළයට විහිදේ.

මේවා කරන්නට ඇත්තේ කවුරුන්ද ?

ප්‍රාග් අයිතිහාසික සංස්කෘතියක් වන නස්කා ජනතාව, වාරිමාර්ග කටයුතු සඳහා භූගත ජලය පොලොව මතුපිටට ගැනීම සඳහා ඉංජිනේරු තාක්ෂණය  උපයෝගීකරගත් පිරිසකි. මෙම රේඛාඇඳීමේදී යොදාගෙන තිබු සිද්ධාන්තයන් සැලකිල්ලට ගනු ලැබූ විට පෙනී යන්නේ ඒවා ජලය සොයා ගැනීමේ අවශ්‍යතාව සමග සෘජු සබඳතාවක් ඇති බවයි. 

ඔවුන්ගේ විශාලතම  ජනාවාස වලින් එකක් වන කහුආකි, එම රේඛා චිත්‍ර කිහිපයක් ඉහළින් දැකිය හැකි ලෙස උත්සව පවත්වන ලද ස්ථානයකි. එහි 40කට වැඩි සංඛාවක් ගල්ගොඩවල් ප්‍රමාණයක් තිබුණු අතර, ගඩොලින් නිමවනල ලද පිරමීඩද ඒ සඳහා ඇතුලත්ය.

මේවා සොයා ගන්නා ලද්දේ කවදාද ? 
 1927දී මේවා වෙත ලඟා වීමෙන් පසු, පේරු ජාතික පුරාවිද්‍යාඥයෙකු වන ටොර්බියෝ මෙජියා සෙස්පේ පළමුවෙන්ම සවිස්තරව නස්කා රේඛා පිලිබඳ අධ්‍යනය කර වාර්තාවක් සකස් කර තිබේ. එක්දහස් නවසිය තිස් ගණන් වල වලදී ප්‍රදේශයේ ගුවන් ගමන් තදබදය වැඩි වීමත් සමග රේඛා ගැන වැඩිදැනුවත් භාවයක් ඇති වීමෙන්ද,  අවසානයේ නොනවතින මට්ටමක සංචාරක ආකර්ෂණයකට හේතු විය.

බොහෝවිට මේවා දැකගතහැක්කේ ගුවනින්ම පෑමක් බව සඳහන් කරඇතත් එය මිත්‍යාවකි. 2007දී පල්පා ප්‍රදේශයේ1500ක් පමණ මෝස්‌තර ප්‍රමාණයක අධ්‍යනයක්  සිදු කළ අතර ඉන් සොයාගනු ලැබ ඇත්තේ "මෙම සියළු මෝස්‌තර" පොළවේ සිට දැකගත හැකි බවයි. 

කල්පිතයන් සහ සුවිශේෂීතාවයන්   


එක් අදහසක් වන්නේ මේවා සහ දිව්‍ය ලෝක අතර සබඳතාවක් පවතින බවත්, සමහර රේඛාවන් වලින් රාත්‍රී අහසේ දැකගත හැකි තාරකා මණ්ඩල නියෝජනය වන බවත්ය. තවත් අදහසක් වන්නේ ඒවා කහුආකි සහ එහි ගඩොලින් සෑදු පිරමීඩ වන්දනාවන් සඳහා පැමිණෙන පාද යාත්‍රා වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් යම් මෙහෙයක් සිදු කරන බවයි. තවත් එක්තරා අදහසක් වන්නේ, ජිවයට ඉතා වැදගත් මෙන්ම කාන්තාර වලදී සොයා ගැනීමට උගහට ජලය සමග මෙම රේඛාවල සම්බන්ධතාවක් ඇති බව වන අතර සමහරවිට ජලය යොදාගෙන කෙරෙන චාරිත්‍ර වලදී යම් කාර්යයක් සිදු කරන්නට ඇති බවයි.



ගැඹුරු පුරාවිද්‍යා නිගමනයන් නොමැති පසුබිමක, කල්පිතයන් කිහිපයක්ම පැනනැග ඇති අතර, ගුවන් බැලුනයක් මගින් ඉහළින් ගොස් ඒවා නිරීක්ෂණය කිරීමක් නස්කා වරුන් සිදු කිරීම ඉන් එකක් වන අතර ඒ පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත.

www.livescience.com වෙබ් අඩවියට ඕවන් ජෙරුස් විසින් රචනා කරන ලද "Nazca Lines: Mysterious Geoglyphs in Peru" ලිපියෙහි පරිවර්තනයකි.

Thursday, April 2, 2020

ඔබත් දූෂිත මනසක් ඇති වැඩිහිටියෙක්ද ? ...... Are you an adult with a Dirty Mind ......?

ඔබේ දරුවන් සමග කාළය ගත කරන විට ඔබත් දරුවෙක් ලෙස සිතන්න. නැතිනම් ඔබ අවුරුදු ගණනාවක් ලෝකය සමග ගණුදෙනු කර උගත් දේ ඔබේ දරුවාද දැන සිටිය යුතුයැයි සිතා ඔවුන්ට ගුටි බැට දෙන්න. මේ දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමන උත්තරයද ? මා දන්නා බොහෝ දෙමවුපියන් තෝරා ගන්නේ මෙහි දෙවෙනි උත්තරයයි. බොහෝ අය තමන්ගේ දරුවන් පවසන දේට මොහොතකටවත් ඇහුන්කන් දෙන්නේ නැත. ඔබ වට්ටෝරුවක යමක් තබාගෙන, එය ඔබේ දරුවාගෙන් අපේක්ෂා කරයි. අවසානයේ ඔබේ දරුවා මොට වනවා හැර සිදුවන දෙයක් නැත. ඔවුන් පසුගාමී වෙයි. නිතරම සෘණාත්මකව සිතයි. අවසානයේ ඔවුන් සමාජයේදී කොන් වෙයි. රැකියාවක් සොයාගත නොහැකිව ලත වෙයි. පිරිසක් ඉදිරියේ නොබියව වචන පහක් කථා කරගන්නට බැරි අයවළුන් වෙයි. ඔබට උවමනා කරන්නේ මෙයද ? තමුන්ගේ දරුවා කලයුතු ක්‍රීඩාව, උසස් අධ්‍යාපනය කලයුතු විෂය මාලාව, ඔවුන් කලයුතු රැකියාව, සෞන්දර්යය විෂය ඔබ තීරණය කර දරුවන් ගහ මරා ඒ වෙත යොමු කරයි. අපේක්ෂාව මුදුන්පත් වුවත්, ඔබට වෛර කරන හෝ ඔබ අප්‍රිය කරන දරුවෙකු ප්‍රතිඵලය ලෙස ලැබෙයි. ඔබ ළමා කාළයේදී දරුවන් තලා පෙළන්නේ යම් සේද, එයට පිළිතුරු ඔබ වයෝවෘද්ධ වූ පසු ඔබට ලැබෙයි. තල වපුරා වී අස්වැන්න බලාපොරොත්තු නොවන්න. දරුවාගේ ඉලක්ක ඔවුන්ටම තෝරා ගැනීමට ඉඩ හරින්න. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන්ට අයාලේ යන්නට දී බලා සිටිය යුතු යන්න නොවෙයි. ඔබ ඔවුන් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලා සිටිය යුතුය. මා මේ පූර්විකාව සැපයුයේ, ඔබ ඉදිරියේ අපූර්ව කතාවක් දිග හරින්නටයි. මින් පහළට මා පරිවර්තනය කොට ගෙන එන්නේ ඒ කතාව ඔබ ඉදිරියේ තැබීමටයි.

කෝරා ඩයිජෙස්ට් ගැන ඔබ අසා තිබේද ?නැතිනම් මා කෙටියෙන් ඒ  ගැන සඳහන් කරන්නම්. www.quora.com  යන වෙබ්  අඩවියයි.එය විශේෂ වෙබ් අඩවියකි. එහිදී ඔබට,  ඔබ  කැමති විෂයන් ඔස්සේ  ප්‍රශ්න ඉදිරිපත්  කිරීමටත්,  පිළිතුරු  සැපයීමටත් අවස්ථාව  හිමි වේ.  එය  විකාරරූපී  වෙබ්  අඩවියක්  යයි කෙනෙකුට මොහොතකට සිතෙන්නට පුළුවන.  මන්ද  එහි    ඉතාම සරල ප්‍රශ්න පවා ඉදිරිපත් කරන බැවිණි. 1+1 කීයදැයි කෙනෙකු ප්‍රශ්න කරයි. ඒ සඳහා බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් පිළිතුරු සපයයි. ඔබට එවැනි දේ දිරවන්නේ නැතිනම් කළ හැකේ එය මග හැර යාමයි. තවත් අඨාේරාශියක් ප්‍රශ්න සහ පිළිතුරු එහි වෙයි. ඔබට ඒවා කියවිය හැකියි. පහතින් ඇත්තේ කෙනෙකු අසා තිබූ එවැනි  විකාරරූපී ප්‍රශ්නයකට එක් පියෙකු ලබා දුන් පිළිතුරකි. 

ප්‍රශ්නය : ඔබේ දරුවා අඳිනලද විලම්භීතම  චිත්‍රය  කුමක්ද ?

 මේ සඳහා පිළිතුරු සිය ගණනක්  ලබා  දී තිබුණා.  ඒ අතුරින් උමායිර් ෆාරුක් ලබා දී පිළිතුර වඩාත් සිත්ගත් සහ භීතිය උපදවන පිළිතුරක් වුවා.

අවුරුදු පහක්  වයස මගේ  දියණිය පෙර පාසලින් නිවසට කැඳවාගෙන යාමට ගිය මොහොතේ, එහි විදුහල්පති වරයා  අතින්  සන් කර මා කැඳවනු ලැබුවා.  එකදු වචනයක් හෝ නොදොඩා ඔහු මා අත තැබුවේ චිත්‍ර කාලපරිච්චේදයේ දියණිය විසින් අඳින ලද චිත්‍රයකි. ඇයගේ මුහුණෙන් පෙන්නුම් කළේ අද්බූත, ආපදාවට පත්, සහ ත්‍රාසයට පත් ස්වභාවයක්.
පින්තූරය ගත්තේ : www.quora.com

එදින සන්ධ්‍යාවේ මමත් බිරිඳත් මේ ගැන පරීක්ෂා කර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කුමක් කලයුතුද කියා.මිනිත්තු ගණනාවක්ම ඒ ගැන උපායමාර්ග කල්පනා කොට අවසානයේ අපගේ දෙවෙනි පිළිසදර සඳහා සුදානම් වුණා. මේ වනවිටත් දියණිය මවගේ ඇකයෙහි වාඩි වී උන්නා.

මම  නිර්මාණය මේසය මත තබින්  "වස්තුවේ, ඔයා ඇඳ මේ චිත්‍රය මොකක්ද ?"

 දරුවා : "ඕ, මමඒකට හරිම ආදරෙයි ! ඔයත් කැමතිද ?"

මම : "ඔව් මාත් කැමතියි ! කියන්නකෝ ඉතිං මොකක්ද ඒ ?"

දරුවා : "චිත්‍රවෙලාවෙදි ඇන්දේ !"

මම : "හොඳයි ! ඉතිං, කියන්න මේක මොකක්ද ..."

දරුවා :"අපි ඇන්දේ අපේ ආසම දේ !"

මම දුටුවා බිරිඳගේ ඇහිබැම  උඩ යනවා. මගේ  ඇහිබමත් එහෙම වෙන්න ආවත් ආයාසයෙන් පින්තූරය පරීක්ෂා කරන බවක් පෙන්වන්න මම උත්සාහ කළා.

මම :"ඒක හරිම ෂෝක් වගේ. මොකක්ද ආසම දේ ඔයා ඇඳපු. වස්තුවේ ..?"

දරුවා : "තා ත්  තේ ! ඔයා දන්නවද ? ඒ ස්පොන්ජ් කේක් එකක් මේසේ උඩ තියලා"

කාන්තාව සිනාසුනා.

මම : "ඇත්තටම වස්තුවේ, හරිම ලස්සනයි"

චිහ්. මම මට කියවුණේ ඉබේම.

ඉතිං පේනවා නේද? අපි ඔලුවට දාගෙන ඉන්න වට්ටෝරු සංකල්ප. දරුවන් වගේ විවෘත්ත මනසකින් ලෝකය දකින්න අපිත් හැඩගැහුණොත් හොඳයි නේද?

Thursday, March 26, 2020

ෆුඩ්සිටි වන්දනාව ......

මට ගන්න තිබුණේ ලුණු පැකට් එකයි, අබ, කුරුඳු, විම්, පැණි බීම බෝතලයක්, බිස්කට් ජාතියක්, පාන් තිබුණොත්. හතට විතර පිටත් වුණා. පිටිපස්සේ ටයර් එකේ හුලං අඩු නිසා ඒ උවමනාවත් තිබුණා. පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහ ගත්තේ 19වෙනිදා. වැඩට යන්න් වෙන්නේ පුද්ගලික ප්‍රවාහනයෙන් නිසා. අනික කෙලි පැටික්කි ගමේ ඇරළලා ඇවිත් සතියකට වැඩියි. එයාලගේ ඉස්කෝලෙන් Study Pack එකක් හදලා. ඒක දෙන්නත් තියෙනවා. මොනවා වුණත් ඒ ඉස්කෝල(ජාත්‍යන්තර පාසල්) දරුවෝ ගැන හිතනවා. ගෙදර තනි වෙලා ඉන්න මට පුංචි දෙයක් තිබුණත් ඇති බඩ පුරවාගන්න. ඉන්න තැන කියන්න ආස නැති වුණත් කියන්න වෙන්නේ මේ විස්තරයට ඒක අදාල වෙන නිසා.

ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරගෙන ඉන්නේ, මම ආගිය තැන් ගැන තොරතුරු ගූගල් මැප් එකේ යාවත්කාලීන කරන නිසා. ඒකේ මම 7 වෙනි මට්ටමේ ගයිඩ් කෙනෙක්(බය වෙන්න එපා. ටුවර් ගයිඩ් නෙවෙයි). හත් වෙනි මට්ටමට එන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඇත්තටම තමන්ට කිසිම ලාභයක් නැතිව අනුන් වෙනුවෙන් ඩේටා වැය කිරිල්ලක්. නමුත් මේකෙන් රටේ සංචාරක ව්‍යපාරෙට යම් ලාභයක් වෙනවා. නමුත් මේ කාර්‍යයේදී අවංක අදහස් දැක්වීම අත්‍යවශ්‍යයි. ඔබ ගූගල් සිතියම් ඔස්සේ යම් ස්ථානයක තොරතුරු ලබා ගත්තේද? ඒ මා වැනි අය එක් කළ තොරතුරු වල සාරාංශයකි.





මගේ මුල්ම ඉලක්කය වුණේ ටයර් කඩයක් වෙත යාම. ඒ එන ගමන් ළඟම ග්‍රොසරි දෙක, ෆාමසිය දෙස බලාගෙන ගියා. ඒවායෙත් සැලකිය යුතු සෙනගක් සිටියා. ටයර් කඩ දෙකම එක් දර්ශණයකින් වසා ඇති මුත් බේස්ලයින් පාර ඔස්සේ කිරුළපන දෙසට ගමන් ගත්තේ එඩ්මන්ටන් කීල්ස්හී සෙනග ඇත්දැයි බැලීමටයි. එහි පෝලිම බේස්ලයින් පාර දිගේ බොරැල්ල දෙසට ගොස් පළමු එඩ්මන්ටන් පාරෙන් ඇතුළු වී තිබුණා. පාර දෙපසම වාහන නවත්වා තිබුණා. මෙහි නැවතීම තේරුමක් නැති බව වැටහී, පාර්ක් වීදියේ ඇති කාගීල්ස් වෙත යාමේ අදහසින්, කිරුළපන පොලීසිය ඉදිරිපසින් දකුණට හැරවූවා. අහෝ ! කීල්ස් පෝලිමේ කෙළවර යලිත් හයිලෙවල් පාරටම පැමිණ තිබුණා. නමුත් මීටරයක පරතරය සහ මුඛ ආවරණ සියළු දෙනා ආරක්ෂා කරගෙන තිබුණා. කිරුළ පාර දෙපසත් වාහන නවතා තිබුණා.
මීළඟ නැවතුම වුණේ පාර්ක් වීදියේ කාගීල්ස් ෆුඩ් සිටිය. එතැන රථ ගාල පිරී තිබුණා, මගේ සිහියට ආවේ ජාවත්ත පාරේ ෆුඩ්සිටිය. මා ඉසිපතන පාර දක්වා ගමන් ගත්තා, නමුත් ෆයිෆ් පාරෙන් යන්න තිබුණ බව පැහැදිලි වුණේ ඉසිපතන විද්‍යාලය අසලදීයි. ඉසිපතන පාරෙහි පාර්ක් පාර කෙළවරඇති පුංචි තේ කඩයේද 30කට නොඅඩු සෙනගක් සිටියා. ජාවත්ත පාර ෆුඩ්සිටියේ පෝළිමේ කෙළවර කැප්පෙටිපොළ පාරේ කොතැනක හෝ තිබෙන්නට ඇත. මේ පෝලිම් වල බොහෝ විදේශිකයින්ද සිටියා. මා කෙලින්ම ගොස් බෞද්ධාලෝක මාවතට හරවා, යලිත් ටොරින්ටන් මාවත ඔස්සේ පැමිණ චිත්‍රා පටුමග හරහා නැවතත් පාක් වීදියේ ෆුඩ් සිටිය පැත්තට ආවා. නමුත් එහි පෝලිම. මම ඇන්ඩර්සන් ෆ්ලැට් ඔස්සේ ගොස් ආසිරි රෝහල ඉදිරිපසින් දකුණු පසට හැරෙව්වේ තල්ගහ්වත්ත පාරේ තොග කඩයේ සෙනග සිටීදැයි බලන්නත් එක්ක. එතැන මහා වාහන තදබදයක්. ඒ දෙසවත් නොබලාම යලිත් බේස්ලයින් පාරෙන් බොරැල්ල දෙසට ගමන් ගත්තා. නාරාහෙන්පිට ආර්තික මධ්‍යස්ථානයට සෙනග කිරිමණ්ඩල පාර උතුරා යන තරම්, බේස්ලයින් පාරේ වාහන ගාල්කර තිබුණා. මිනිස්සු මොනවද මේ තරම් රැස් කරන්නේ. පරිප්පු කන්න ආණ්ඩු මාරු කරපු රටක්නේ.
වේගය මරු කැඳවයි කියන කියමන මේ දවස්වල දේව නීතියක් විදියට අනුගමනය කරමින් තමයි ගමන් යන්නේ. මොකද වර්ණ සංඥා නැතිව හතරමං හන්දිවල යනවා කියන්නේ අවදානමක්. මිනිත්තු කිහිපයකින් බොරැල්ල කනත්ත පහුකරමින් වම්පැත්තට හැරෙව්වා, ඒ ලාෆ්ස් එක ගැන බලාපොරොත්තුවෙන්, නමුත් ඒ පෝලිමේ කෙලවර විජේරාම පාර දක්වා තිබුණා. මගේ අන්තිම බලාපොරොත්තුව ඉබ්බන්වල ආර්පිකෝ එක. එතැනදීත් මට පාර වැරදුනා. මම කුරුඳුවත්ත පොලීසිය ගාවින් තියෙන පාරෙන් ගිහිං පිත්ත්ල හන්ඳියට වැටුණා. එතැනින් දකුණට හරවා යාම් වෙනුවට මම කෙළින්ම ගියා. කලම්බු සිටි සෙන්ටර් එකටත් ඒ වගේම පෝලිමක්. මම පොඩ්ඩක් ඉදිරියට ගිහිං නවලෝක රෝහල ගාවින් හරවගෙන ආපහු ඇවිත් කලම්බු සිටි සෙන්ටර් ගාවින් වමට තියෙන මුත්තයියා පාරෙන් ආවා. ඇවිත් ස්ටෙපල්ස් කාගිල්ස් එක දිහා නිකමට බැලුවා. සෙනග...මීටරය.... හරිම ලස්සනයි. ඉදිරියෙන් තියෙන කීල්ස් එකෙත් පෝලිම. ආයෙත් වමට හැරවුණේ. ආයෙත් ඉදිරියට ගිහිං මැලේ වීදියෙන් ගිහිං හරවන් ආවා. ඉබ්බන්වල හන්දියේ තියෙන සෙන්සාල් එක ඇරලා. පාන් ගෙඩියක්වත් ගන්න හිතාගෙන ගියා. අයියෝ... සුද්දියෝ දෙන්නෙක් ගෝදම්බා රොටි කනවා නිකං. ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නෑ කියන්නේ එක ගෝදම්බා රොටියක් පිඟානක තනිවෙලා. කප් කේක් වගයයක් තිබුණා. ඒ ඇරෙන්න තනිකර හිස්. මේ ලඟක් වෙනකං දේශපාළන රැස්වීම් විස්තර කරන්න "එකම හිස් ගොඩක්" කිවුවේ ඇයි කියලා මම කල්පනා කළා. හිස් කියන විශේෂණ පදය මොකටද පිරුණු දෙයක් විස්තර කරන්න භාවිතා කරන්නේ ? එතැන හිස් කිවුවේ ඔළුගෙඩි වලට. මෙතැන හිස් කිවුවේ මොනවත් නෑ කියන අදහසින්. ඉතිං ඔය හිස්ගොඩ කියන අතිශෝක්තිය අපේ තාත්තා කියපු හැම වතාවෙම මම හිණා වුණා.
ආර්පිකෝ එකේ පෝලිම එන්නේ හයිලෙවල් පාර පැත්තෙන් තියෙන දොරටුවෙන්. පාර්ක් වීදිය දිගේ (මේ අර කළින් කියපු පාර්ක් වීදිය නොවෙයි) මේකේ කෙලවර ආයෙත් හයිලෙවල් පාරේ වික්ටෝරියා උද්‍යානය ඉදිරිපසින් අවසන් වෙන්නේ පෝළිමේ කෙළවර අඩුම වශයෙන් ඔසුසල අසලටවත් ඇති. මීටරයේ පරතරය තියාගෙන හරිම සංවරව යන අතරේ 50-50ක් ස්වදේශික/විදේශික අනුපාතයට ඉන්නවා. ඇත්තටම මේ වයිරසයට අපේ සමාජය ශිෂ්ඨ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද තමන් නොදකින පෝලිමක මුවවිත වෙත දහවල් 12:00 කඩයිමට පෙර ළඟා විය හැකිද/නොහැකිද නොදැන ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටිනවා. බොහෝදෙනා තමන්ගේ ජංගමය වෙත මුහුණ හොවාගෙන සිටින මොහොතක අපේක්ෂාභංගත්වය, කළකිරීම, නිරුත්තර ගැඨළු සමූහයක් හිසමත දරාගෙන සුදු යුවලක් තවමත් ඉදිකර අවසන් නැති පදික වේදිකා පඩියක වාඩි වී ගිමන් හරිනවා. සමහරවිට ඔවුන් සිටින්නේ බඩගින්නෙන් වන්න පුළුවන්. එවැනි විටෙක සිටගෙන් සිටීමටත් ශක්තිය වැය කරන්න පුළුවන් කමක් නෑ. ඔවුන් සතුව මුව ආවරණද නැහැ. දොරටුව අසලින් පොලීසිය ඔවුන් ආපසු හරවා යවයිද ? ආලෝක සංඥා හරිත වර්ණ ගතවන්නට තවත් ත්ත්පර කිහිපයක් තිබේ. ඩෙවරක් නොසිතාම මා දුරකථනයේ කැමරාව ඔන්කර ඡායාරූපයක් ලබාගතිමි. ගෙදර පැමිණි විගස එය රංජිත් කුමාර සමරකෝන් පත්තර මිතුරාට යැවුයේ එය මුහුණුපොතින් වල ඔබ්බට යායුතු බැවිනි.
මගේ මීළඟ ඉලක්කය මට පහසුම වුවත් සාමාන්‍යයෙන් සෙනග පිරීසිටී යැයි මා විශ්වාස කරන බීආර්සී ක්‍රීඩාංගනය ඉදිරිපස ඇති කීල්ස්, සෙන්සාල්, ලාෆ්ස් තුණෙන් එකකට ගොඩවැදීමයි. තිම්බිරිගස්යාය හන්ඳියේදී මට දකුණු දෙසින් ආ රියක් වමට හැරවූයේ මා ඉස්සර කරන ගමන්‍මය. හෝන් එක උඩ නැගීම හැර මට කළ හැකි ංහෙයක් නොවිනි. පොලීසිය හෝ වර්ණ සංඥා නැති විටෙක සතුන් මෙන් හැසිරෙන බොහෝදෙනා හරියට රාජකාරි නොකරන බවට පොලීසියට චෝදනා නගයි. මේ ස්ථාන තුණ බලාපොරොත්තු වූවාටත් වඩා ජනාකීර්ණය. දැන් විලාසිතා නිවස ඉදිරිපස පිරවුම්හලේ කාගීල්ස් එක්ස්ප්‍රස් ගැන භාග බලාපොරොත්තුවකින් ගමන් ගතිමි. එහි කෙලවර අසල කුෂ්මි ෆුඩ් දක්වා මීටරයේ පරතරය විටෙක ආරක්ෂා කරගනිමින්ද , විටෙක එය අඩියක් හෝ භාගයක් කරගනිමින්ද නිසලව තිබේ.
මා ඉදිරියට ගමන් ගත්තේ කිසිදු අරමුණකින් තොරවය. දැන් කුමක් කරන්නද? දසනායක මගේ මතකයට ආවේ මේ මොහොතේය. මා කළුබෝවිල සිටි කාළයේ අසල්වැසියෙකු වූ ඔහු ග්‍රොසරියක් කළ අතර, දැන් ඔහු ජීවත් වන්නේ පැපිලියාන විහාර පටුමගේය. කලුබෝවිල හරහාම එහි යායුතුය. පිළියන්දල පාරට පාමංකඩින් පිවිසි විට දැඩි වාහන තදබදයක් දකින්න ලැබුණි. ඒ කුෂ්මි ෆුඩ් ආයතනයට යාබද තොග කඩයේද ෆුඩ්සිටි පරදන පෝලිමක් ඇත. පොලීසිය එහිද පෝලිම් පාළනය කරයි. ද සිල්වා මාවතෙන් මා ගමන් ගත්තේ ලොන්ඩරිගතකල මාගේ ඇඳුම් ලබා ගථැකිවේදෝයි දෙගිඩියාවෙන්. නමුත් එය වසා ඇත. ප්‍රතිබිම්බාරාම පාරට පිවිසි මොහොතේ සිට තදියම් ත්‍රී වීල් කරුවෙක් හෝන් ගසන්නට පටන් ගත්තේ මහා හදිඩි ගමනක් යන්නා සේය. මෙවැනි පටු මාවත් වල ඔවුන්ට වේගයෙන් ගමන්කළ හැකිමුත් කාර් හෝ වෙනත් වාහන දෙකක් මාරු විය යුත්තේ සීරුවෙනි. මේ පාරේ තිබෙන සාමාන්‍ය ග්‍රොසරි දෙක ළඟද අසාමාන්‍ය වාහන තදබදයකි. එක් ග්‍රොසරියක් තිබෙන්නේ හරියටම තුන්මන් හන්දියකය. රොබට් පාරෙන් හරවන වාහන වලට ඉඩ ලබා නොදුන්නොත් හිරවීම නතර කල නොහැක. නමුත් ඒ ආසන්නයේ නවතා ඇති වාහන තදබදය තීව්‍ර කරයි. මා උවමනාවෙන්ම වාහනය නවතා ඉදිරියෙන් පැමිණෙන සියළු වාහන වලට ඉඩ ලබා දුන්නෙමි. මේ වනවිට පිටුපසින් සිටි සියළු දෙනාගේ රතුකටු පැන ඇතිබව තහවුරු වූයේ තරගයට මෙන් හෝන් ගසන්නට වූ බැවිණි. එලියේ සිටි අයද "ඉඩ තියෙනවා යන්න" යනුවෙන් හඬනගන්නට පටන් ගති. මා සිටින්නේ වාහනයේ බවද, එලියේ සිටින අයට පෙනෙන දේ මට නොපෙනෙන බවද ඔවුන් නොදනී. ප්‍රශ්නයට ප්‍රධාන හේතුව පටු මාවතේ ඔවුන් නවතා ඇති යතුරුපැදි බව ඔවුන්ට නොවැටහෙන්නේ මන්දැයි නොදනිමි. "ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් උත්තරය දාර්ශනිකයි" කියන්නේ එනිසාය.

ඉඩක් ලැබුණු පළවෙනි අවස්ථාවේදීම තුන්සක් රියකරුට වාහනය පැත්තකට කර ඉඩ ලබා දුන්නා. කරගම්පිටිය කීල්ස් සහ ලාෆ්ස් හී තත්වයන් අළුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ආයෙත් ඇන්ඩර්සන් පාර අසල විශාලමාර්ග තදබදයක්. ඉන් පස්සේ තරමක අපහසුවෙන් විහාර ලේන් එකට හරවා ගත්තා. ඒ අතරමගදිත් බීඑම්ඩබ්ලිව් වාහනයකට මා පසුකර යාමට අවශ්‍ය වුණා. නමුත් මෙවැනි පටු මාර්ඝ වල ඉඩ නෑ. ඉදිරියෙන් පැමිණෙන වාහන සමග දෙපසට ගමන් කල යුත්තේද ප්‍රවේසමෙන්. දසනායකගේ කඩය වටාද සැහෙන් පිරිසක් සිටියා. මා තරමක් ඉදිරියට ගොස් ආපසු හැරී ආවා. මිනිස්සු කඩිගුල ඇවිස්සුනා වගේ. හරිම නොසන්සුන්. පාරේ ගමන් කරන්නේ අවසිහියෙන් වගේ. මම බොහොම පරිස්සමට පැපිලියාන හන්දියට ඇවිත් වම් පැත්තට හරවා ගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙන.

පැපිලියාන හන්දියෙන් පල්ලමට බහින තැන තියෙන කාගිස් එකේ තත්වය එසේමයි. පෝලිම දිගයි - මීටරය තිබෙයි. මම කන්ද නැගලා ඉදිරියට ගියා. ආයේ වුඩ්ලන්ඩ් වලට හැරෙන තැන පහු කරලා පොඩ්ඩක් පල්ලමට ආවම තියෙන කීල්ස් එක දිහා බැලුවේ නිකමට. මුළු පාරක් එක පුරා පෝලිම, මදිවට පාරට ඇවිත් එතැනම තියෙන කාර් සර්විස් එක අස්සටත් ගිහිං. මම තවත් ඉදිරියට ගියා. ඒමේ කන්ද නගින තැන තියෙනවා පුහුල්වැල්ල සුපර් මාර්කට් එක. එතැනත් තත්වය එසේමයි. පොඩ්ඩක් ඉදිරියට ගියාම කොහුවල හන්දියේ ලාෆ්ස් එක පෝලිම දිගයි - මීටරය තිබෙයි. නිකමට වත් කොහුවල හන්දියේ කාගීල්ස්, ආර්පිකෝ දිහා බැලුවේවත් නෑ. එහෙම ඉදිරියට ආවම තියෙන කීල්ස්, කාගීල්ස් දිහාවත් නොබලා බලපොකුණ පාරෙන් ඉදිරියට ගියා. හයිලෙවල් පාරට හරවලා කාගීල්ස් එක දිහා නිකමට බැලුවා. පෝලිම දිගයි - මීටරය තිබෙයි. බේස්ලයින් පාරෙන් හරවලා එඩ්මන්ටන් කීල්ස් එක දිහා බැලුවා. තත්වය එසේමයි. නිෂ්පල ගමනක් අවසන් කරන්න හිතං මම වාහනයේ වේගය වැඩි කළා.
ආපහු ගෙදර එනකොට දැක්කා විජය කුමාරතුංග මාවතේ හැරුන ගමන් තියෙන ග්‍රොසරිය ඇරලා. මොනවා ? මම හැමදාම ඉඳිආප්ප ගන්න අක්කගේ කඩේ ගාව නවත්වලා දුවගෙන ගියා. බැලුවම අලුතෙන් ආරම්භ කරපු බියුටි කඩයක්. ගියා ඇතුලට. මම තුන් ජාතියක් ඇහුවා හෑන්ඩ් සනිටයිසර්, වීම් වගේ ජාතියක්, සබන්. මිනිහා වීම් වලට අපූරු විසඳුමක් දුන්නා. ඒ මිස්ටර් ක්ලීන් කියන ස්ප්‍රේ එක. පාවිච්චි කරන්නේ ලිප උඩට වැටෙන තෙල්, ඉඳුල්, කහ, ආදිය පිරිසිදු කරන්න. හැබෑට ඒක හරි යනවනේ. මම ගත්තා එකක් බැරිම තැන. හෑන්ඩ් සනිටයිස්ර් නෑ. සබන් කෑල්ලක් ගත්තා. ගියා ගෙදර.
ඒ යත්දී දැක්කා ගෙදරට ලඟම වහලා තිබුණු මම නිතර යන ග්‍රොසරිය ඇරලා. ගෙදර ගිහිං බඩගින්න නිවාගෙන ආවා. එතැනත් පෝලිම මීටර් නෑ. අඩි භාගයක් වත් නෑ. මොනවා කරන්නද, මේ මිනිසුන්ට ඕවා පහදන්න යන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ එකකට එකක් ඇලිලා තියෙන ගොරස්රි කඩ දෙකේම පෝලිම් වල අග එකට. එහෙට යන්න බැරිනම් මෙහෙට එනවා. එහෙම එහා මෙහා යන මිනිහෙක් පෝලිමේ අග ඉඳන්ම පොල්තෙල් බෝතලයක් ගත්තා. අනික් පැත්තෙන් ගෙවුවා. මගේ වෙලාව ආවා හැබැයි, මට පිටිපස්සේ ඉන්න මිනිහා මට කලින් වැඩ පටන් අරං ඕඩර් කරනවා. මට කලින් හිටිය මුස්ලිම් මනුස්සයා රතු හාල් කිලෝ පහයි, සුදු හාල් කිලෝ පහයි. ඇන්කර් කිලෝ එකේ එකයි, හාරසීයේ එකයි, මිරිස්කුඩු(කෑලි) 500 පැකට් දෙකයි ගත්තා පුදුමයක් නෑ. හැබැයි සීනි කිලෝ පහක් ගත්තේ මොකටද කියළා තවමත් මට ගැටළුවක්. මම කඩේ එවුන්ටත් දොස් කියළා වීම් එකයි, අබටිකයි, කුරුඳු පුංචි පැකට් එකයි, ලුණු පැකට් එකයි අරගෙන ආව. ගෙදර ආවම තමයි තෙල් (සන්ෆලවර්) ඉවරයි කියළා මතක් වුණේ.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...