Monday, August 24, 2026

කොට උඩ කඩේ ......

 ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න හිත හදාගත්තා. මොකද මට උවමනා වැඩියෙන් මස්, මාංස කන්න. නිකංම බිරියානි එකක් ගන්නේ නැතිව ඉඳිආප්ප බිරියානි (ඔවු ඔවු බුරියානිම තමයි) එකක් ගෙවා ගත්තා. මම රයිඩර්ට කලින් තැනට ගිහිං හිටියත් මූ පැත්ත පළාතේ නැතුව "I have arrived" පණිවිඩේ එවුවා. ඒ එක්කම කෝල් එකක් අරං "සර් මං ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට" කිවුවා.  මම කිවුවා "මමත් ලෝකේෂන් එකේ ඉන්නේ(අර බුදුහාමුදුරුවන්ගේ - අංගුලිමාල දෙබස වගේ). බලනකොට මූ ගවුගානක් තියලා වැඩේට සෙට් වෙලා තියෙන්නේ. ඕං ආවා. කෑම එක දීලා පනින්න හදන්නේ. ඒවා කොහෙද මාත් එක්ක. ටිප් එක අරං පල කියලා, පුරුද්දක් විදියට කෑම ඩිලිවර් කරන එවුන්ට දෙන රු. 50/- දුන්නා(වැඩිය දුන්නම් උන් නරක් වෙනවා). ටැංකියු කියලා ඌ, යූ ටර්න් එක ගහගෙන ගියා. 


මං ගිහිං බිරියානිය දිග ඇරියා. අපරාදේ කියන්න බෑ යහමින්

කහ දාලා තියෙනවා. අඩුම ගානේ ඉඳිආප්ප 20ක් වත් දාලා

ඇති. ඉඳිආප්ප කිවුවම මට ඉඳිආප්ප කතා ගාණක් මතකයට එනවා. අර ටීවී එකේ ගිය චම්පා ශ්‍රියානිලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා ඉන්න එක නෙවෙයි අපේ කතා. දවසක් මම Elite Indian Restaurant එකෙන් කෑම ඕඩර් කලා. බීෆ් එක හරි, බිත්තර දෙක හරි. සම්බෝල හරි, පරිප්පු හරි, ඉඳිආප්ප දාපු ප්ලාස්ටික් කන්ටේනර් එක ඇරියා. අහෝ චේදයකි, කිවුවලු. ඉඳිආප්ප එකකි. මම පෙට්ටිය හොයාගෙන ගත්තා කෝල් එකක්.


"මේ මල්ලි මං ඕඩර් එකක් දැම්මා"


"හරි සර් ආවේ නැද්ද ?"


"ආවා - ආවා. හැබැයි ඉඳිආප්ප එකයි තිබුණේ"


"සර් ඕඩර් නම්බර් එක කියන්න"


"බ්ලාහ් බ්ලා"


"සර් ඒකේ ඉඳිආප්ප එකයි ඉල්ලලා තියෙන්නේ"


"ඔවු. මම හිතුවේ පහක හරි දහයක හරි ගොඩක් කියලා"


"නෑහ් සර්. සර් එකයි ඉල්ලුවේ. අපි ඒ නිසා එවුවේත් එකයි"


"තොගේ අම්----" මම එහෙම කිවුවේ නෑ. මගෙත් වැරැද්දක් තියෙනවනේ. කොහොමත් අඩු කාබ් කැමති නිසා. එක ඉඳිආප්පේ සම්බෝලෙයි පරිප්පුයි දාලා, අනාගෙන ගිල්ලා.


දැන් ඉඳිආප්ප වල ගණන් හැටියට 5ද් එකද කියලා හොයාගන්නත් බැහැ. රු. 50/- එකටද පහටද කියලා හිතාගන්න බෑ.


අර දැන් පර්ල් ග්‍රෑන්ඩ් කියලා සත්මහල් ප්‍රාසාදේ තියෙන තැන, පාර වන්වේ වුණාට, ඉස්සර බම්බලපිටිය හංදිය කිවුවම, මොනතරම් බිසි තැනක්ද ? මට අද වගේ මතක තුන හතරක් ඔතැන තියෙනවා. ඒ 154/104 බස්, රේස් කන්නවා, අපි පොරකාල නහිනවා, උන් ආපස්සට ගන්නවා ගියර නොදා, ක්ලච් එකෙන්.ඒවා කරන්නේ බස් එක අංශක 30ක විතර ආනතියකින්. ඔතැන තිබ්බ හෝටල් දෙකේ කිරිමාලුත් එක්ක ඉඳිආප්ප කාලා, එනකනුත් උං බස් එක රබර් කර කර ඉන්නවා. අපිව දාගෙනමයි යන්නේ. ඔතැනම ඉස්සරහ පැත්තේ කඩේ හවසට බටර් කේක් කෑල්ලයි - ටී එකයි ගහන්නත් අපි අමතක කලේ නැහැ. ඒක කිරිහලක් වුණාට මේ දෙක තමයි කම්බිනේෂන් එක. දන්නෝ දනිති. මතක නං කමෙන්ට් කරන්න.


කවුද මේ අපි ? මායි ප්‍රසාදුයි. මේ අපේ පන්තියේ හිටිය ප්‍රසාද් නෙවෙයි. මේකා කොස්ගොඩ. නියම හිතහොඳ කොල්ලා. එකපාරක්

මූ දවස් කීපයක් ආවේ නෑ. මේ කාලේ මොබයිල් තිබ්බේ ධනවතුන්ට ඉතරයි. අපි වගේ හුදීජනයා කෝල් ගත්තේ අතනින් - මෙතනින්. දවස් ගාණකට පස්සේ හම්බුණාම මම ඇහුවා 


"මොකද මචං වුණේ ?"


"මං බල්ලෙක් කෑවා" (මොනවා මූ පිලිපීන් කාරයෙක් වගේ බලුමක්ස් කනවා ? ඈයියා)


"උඹලට කන්න වෙන දෙයක් නැද්ද බං ? බඩේ අමාරුවක් ඇල්ලුවද?"


"උඹ මේ මඟුලක් අහනවා. මාවා කෑවේ ඒ කැ#බල්ලා"


"ආ එහෙම කියපං"


මට එතකොටයි වැටහුණේ. බල්ලා දත් සෙට් එක ටෙස්ට් කරලා. 


මගෙ  ඉඳිආප්ප පිළිබඳ පළමු මතකය තමයි ඔය ඒ.අයියා හදලා

දීපු ෆොටෝ එකේ කතාව. අපේ තාත්තා ඉස්සර කෝපරේටිවු එකේ අධ්‍යක්ෂක මන්ඩලේ හිටියා. ඒවා මේ පඩි ලැබෙන ඒවා නෙවෙයි. නම්බුවට කරපුවා. ඉතිං මේකේ ආදායම වැඩි කරන්න, එයාලා කෝපරේටිවු ඔෆිස් එකේ කෙළවරක තියෙන පොඩි ඉඩමේ, මේ

ස්ථානය පසුකර ගාල්ල දෙසට යන අයගේත්, සංචාරකයන්ගේත්, ගාල්ලේ සිට කොළඹ යන අයගේත් පහසුව උදෙසා අවන්හලක් නොහොත් රෙස්ටුරන්ට් එකක් දාන්න තීරණය කලා. මේක පොල් ලී වලින් කොට උඩ හදන්න තීරණය කරලා තිබුණා, ඒකට ලස්සන පෙනුමක් දෙන්නයි, අඩු වියදමින් වැඩේ කරන්නයි.


මේකට වෙලාව බලන්න ගිහිං තිබුණේ අපේ තාත්තා. ඉතිං බලපු

කෙනා අනාවැකි පළකළා එතන ව්‍යාපාර වලට නොගැලපෙන තැනක් බව. ඒ කොයිහැටි වෙතත් එයාලා වැඩේ පටන් ගත්තා. මම ජීවිතේ පළවෙනි පාරට චයිනීස් රෝල්ස් කෑවේ එතැනින්. මාරම රසයි. මේකට  ඇතුල් වෙන පාර ඔය රූපේ පෙන්වනවා වගේ ලී පාරක්. ඕකේ යනගමන් අපේ මලයා ඔය පොකුණට පයිං එකක් නෙළුවේ නැද්ද. මේකේ ඒ කාලේ පොඩි කිඹුල් පැටවු වගයක් දාලා හිටියා. එවුන් කිඹුලා බනිස් තරම් වුණාට, මලයා බය වුණේ නැ මේකට පය දාන්න. 


මේක කොට උඩ හදපු කඩයක් නිසා, වැඩිකල් යන්න කලින්ම මේකට "කොට උඩ කඩේ" කියන නම පටබැඳුනා. ඉස්සර අපේ පුංචි පි එයාට කිවුවේ ලීලමම්මා කියලා)මේකට උදේ හවස ඉඳිආප්ප සප්ලයි කලා. මම එයාගේ ඇසිස්ටන්ට්, ළඟට වෙලා අරකමේක දෙන්න විතරයි තියෙන්නේ. අන්තිමට ඉතුරු වෙන පිටි චුට්ට ගුලියක් කරලා එයා, වට්ටිය උඩ තියලා, තම්බලා දෙනවා. ඕක මට විතරක් ලැබුණ විශේෂ අවස්ථාවක්. ඒක මම කනවා කියන එක අපි දෙන්නා අතර තිබුණ රහසක්. 


මේ රූපේ මගේ සිතැඟි පරිදි ලබාදුන් චැට්ජීපීටී අයියට ස්තුතියි.


Sunday, August 16, 2026

බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 ......

 ඊයේ අපේ පැරණි බ්ලොග් කරුවන්ගේ සුහද හමුවක් පැවැත්වුණා. අපේ පැරණිම බ්ලොග් කරුවෙකු වෙන සුභාෂ් ගුණවර්ධනගේ Viroosh Sports Complex එකේදි. එතනට බ්ලොග් කරුවන් ස්වල්ප ප්‍රමාණයක් ආවා කිවුවොත් වඩා නිවැරදියි.මම මුළින්ම බ්ලොග් සුහද හමුවකට එකතු වුණේ 2012 දී, වැල්ලවත්ත කුරේ පාර්ක් එකේදි. එතැනට පිටරටවල ඉන්න බ්ලොග් ලියන කියවන කිහිප පළක්ම ඇවිත් හිටියව්, ඔබා මාමා ඇතුලුව.

ඉන් පස්සෙත් එතැනම තවත් වරක් තිබුනා. ගම්පහ එකක් තිබුණා, දෙහිවල බීච් එකේ එකක් තිබුණා. රසික සූරියාරච්චි හමුවුණේ එතැනදී. ඉන්පස්සේ මහරගම යූත් එකේ, බත්තරමුල්ලේ බුද්ධදාස එකේ, මේ හමු පැවැත්වුණා. ඒ කාලේ ගෲප් ෆොටෝ එකක තමන් ඉන්න තැන හොයාගන්න සෑහෙන වෙලාවක් යනවා.බ්ලොග් කාලයාගේ ඇවෑමෙන් අක්‍රීය වුණා වගේ, අපේ සුහද හමු වලට එහෙම වෙන්න එපා කියන එකයි මගේ පැතුම.


අපි අතරේ ඕනෑතරම් ප්‍රශ්න තිබුණා. නමුත් සයිබර් අවකාශයේ ලියන්නන් වශයෙන් අපේ එකතුවක් තියෙන එක වැදගත්. මේ වතාවේ බැරිවුණු අය ඊළඟ වතාවේ හමුවෙමු. මංජුල මේකට ලොක කාර්‍යයක් කරලත් එන්න බැරිවුණා. එහෙම දේවල් වෙනවා. නමුත් උවමනාව තිබුණා.සයිබර් අවකාශයෙන් ආරම්භය ගත් බොහෝදෙනෙක් අද ප්‍රධාන ධාරාවේ මාද්‍යවලට ලියනවා. ග්‍රන්ථ කතෲවරු බවට පත්වුණා. ඒ අය තමයි මෙතැන ඉන්නම ඕනේ. 

Viroosh Sports Complex එකගැන කියන්නම ඕනේ. මම තවමත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ නිසා මාසෙකට දෙපාරක්වත් අපි ඉන්ඩෝ ප්‍රැක්ටිස් කරනවා. හැබැයි මේ වගේ උවනාවෙන් ප්‍මිතීන්ට අනුකූලව, හිරවෙලා නැති නියම තැනකට ගිහිං නෑ. මෙතැන කරන්න පුළුවන් ක්‍රීඩා ප්‍රමාණය හිතාගන්නවත් බෑ. BYOB Restaurant එකක් සහ juice Bar එකකුත් තියෙනවා.  Cricket nets සුවිශේෂයි. මොකද මම පළමු වතාවට දැක්කේ Ajustable nets තියෙන තැනක්. ඒකේ හැටි දැනගන්න ඕනෙනම් ගිහින්ම බලන්න වෙනවා.

Wednesday, June 3, 2026

ජපනාගේ කෙසෙල්ගෙඩි ප්‍රහාරය ......

 මේ කතාව අසූව දශකයේ මැද භාගයට ඇදීයන්නක්. අපි ඒ දවස්වල දවසේ වැඩි කොටසක් ඉගෙනගන්නවාට වැඩියෙන් ගතන්කලේ, සෙල්ලම් කරන්නයි රස්තියාදු ගහන්න. අපි කළුතර දකුණ ස්ටේෂන් එකෙන් 2:33ට පිටත් වන ගාලුකුමාරි දුම්රිය එනතුරු, ආසන්නයේ තියෙන ස්නෝ හවුස් එකට වෙලා ඉන්නවා. ඒකේ තියෙන අයිස් කෝපි එකේ රස මට අදටත් මතකයි. ඒව හදන්නේ එයාලමයි. ඒක පවත්වාගෙන ගිය වයෝවෘද්ධ යුවල අපිට එයාලගේ ළමයින්ට වගේම ආදරෙයි. එතන ගහපු රස්තියාදුව නිසා මට ඒ අන්කල්ගෙන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. මේ වගේ කඩවල් ළඟ රස්තියාදුව නිසා කොත්තු රොටි හදන්නත් පුළුවන් වුණා. ඒ නිසාමයි අපි සිංගප්පූරුවේ ගිය වෙලාවේ, Suresh ලගේ ගෙදරදී රොටියේ ඉඳන්ම හදලා, කොත්තු රොටි හදන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට මම කොළඹදී රොටි විතරක් කඩෙන් ගෙනැල්ලා කොත්තු හදනවා ගෙදරදී. හරි ඉතින් ගාලු කුමාරී දුම් රිය එක්ස්ප්‍රස් එකක් නිසා සීමිත නැවතුම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒක ස්ටේෂන් එකට ගාට-ගාට සේන්දු වෙනකොට ලවුඩ්ස්පීකර් එකෙන් මෙහෙම එනවුන්ස්මන්ට් එකක් දෙනවා 



"පළවෙනි වේදිකාවට දැන් පැමිණි ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය තව සුළු මොහොතකින් මාතර බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ අලුත්ගම, බෙන්තොට, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ලා, අහංගම, වැලිගම සහ මාතර"


එහෙම එන අපි සිග්නල් නැතුව පයාගල(පයියා-ගල) බේරුවල දුම්රිය ස්ථාන වලට කිට්ටුව නවත්වං හිටියේ නැතිනම් 3:15 වෙත්දී බෙන්තොට ස්ටේෂන් එකට් ළඟා වෙනවා. ඒ වෙලාවට මේ ස්ටේෂන් එකේ බලු-බල්ලෙක් නෑ. දවසක් තාත්තයි-මමයි බැහැලා එනකොට, ස්ටේෂන් එකට දකුණු පැත්තේ තියෙන සුසන්තලාගේ අයියගේ (ටෙරන්ස් අයියගේ) ගෙස්ට් හවුස් එකේ (ඒක තියෙන්නේ වලට වගේ වෙන්න. ස්ටේෂන් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ අඩි 7-8 ක් ඉහළින්) කාමරයක් අසල සුද්දියෙක් උඩුකය නිරුවත්ව අවුව තපිනවා. මගේ ඇහැ ඒ පැත්තට හැරුණේ නිරායාසයෙන්, තාත්තා ටක්-ගාලා මගේ ඔළුව මුහුද පැත්තට හැරෙවුවා. වාසනාවට වමත හුරු නිසා වම් අතේ එයාගේ බෑග් එක තිබුණා වගේම, මම හිටියේ දකුණු පැත්තෙන්. අපි පයින්ම තමයි ගෙදරට යන්නේ. ගාලු කුමාරී දුම්රියේ මගේ මතකසටහන් ගොඩයි. ඒවා පසුව ලියන්නම්. මෙහෙම ගිහිං බත් කාලා, කෙළින්ම බහින්නේ අල්ලපු වත්තේ තියෙන මහ ඉස්කෝලේ පිට්ටනියට. මේ වෙනකොට ලයන්ස් ක්‍රීඩා සමාජය කියන

අපේ ගෙවල් ළඟ ක්ලබ් එකේ සෙට් එක ග්‍රවුන්ඩ් එකේ.


මගේ සම වයසේ කිහිප දෙනෙකුත් මෙතැනට එකතු වෙනවා. ඒ අපිට උඩ පංතියේ අය වෙච්ච අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හිය සම්පත්, නාකන්දලගොඩ (කලින් රෝයල්. මාත් ඒ කාලේ මාස 6ක් ඒ ඉස්කෝලෙට ගියා) විද්‍යාලයට ගිය (නිශාන්ත) කුමාර, මගේ වයසෙ  මිල්රෝයි සහ මම. අපි කට්ටිය තමයි පැත්තකට එකතු වෙලා කයියක් ගහන්නේ. නැත්නම් ජිම්නාස්ටික් පුහුණු වෙන්නේ. මට අත්දෙකෙන් පිනුම් ගහන්න පුළුවන් වුණත්, අත් වලින් ඇවිදින්න බෑ. හැබැයි කුමාරට පුලුවන්. එක සැරයක් අපේ ලොකු ක්ලබ් එකෙන්(බෙන්තොට ක්‍රීඩා සමාජය - ඩිවිෂන් III ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා වල දක්ෂයින් රැසක් ක්‍රීඩා කරපු ක්ලබ් එකක්) කරපු අවුරුදු උත්සවයේ අත් දෙකෙන් හිට ගැනීමේ තරගයේ අවසන් තරගකරුවන් වූ ආරි(Ari) සහ හොලන්ඩ් (නම මතක නැත) [මුන් දෙන්නාගේ වලිය ගැනත් පසුව ලියන්නම්] සමග හරි හරියට සටන් කරපු ක්‍රීඩකයෙක්. කුමාරගේ පියාගේ මුල් ගම වූයේ මාතර අකුරැස්ස(මගේ මතකය නිවැරදි නම්) ප්‍රදේශයයි. කුමාරගේ පුංචි අම්මලා දෙදෙනෙකු තාත්තාගේ බාල සහෝදරයන් දෙදෙනෙකු හා විවාහ වූ නිසා එය නෑදෑයින් අඩු, අපූරු නමුත් සමගිසම්පන්න පවුලකි. කුමාරගේ බාප්පාට අපි සැවොම බාප්පා යනුවෙන් ඇමතීමට පුරුදු වී සිටියෙමු. උසස් අධ්‍යාපනයක් සහිත හෙතෙම අපගේ පියා සමගද කුලුපග වූයේ කලක් ඔවුන් අපගේ නිවසේ ඇනෙක්සිය කුලියට ගත් නිසාය. 


අප සෙනසුරාදා - ඉරිදා වන් බොහෝමයක ක්‍රිකට් තරගයක් ක්‍රීඩා

කරනු හෝ සුපුරුදු ක්‍රීඩාවම කල අතර, දිනක් ප්‍රමාද වී කුමාර හති දමමින් දිවැවිත්, අසල ගසක් යටට වී සිටි අප අසල නැවතී යමක් කියන්නට උත්සාහ ගත්තේය. නමුතු ඔහුගේ මුවගින් වදන් පිට නොවූයේ, වේගයෙන ඉහළ පහළ දමන හුස්ම නිසාය. ඔහුගේ සුරතෙහි තදින් මිරිකාගෙන සිටින ඇම්බුන් වර්ගයේ කෙසෙල් ගෙඩි තුනකි. දෑන් මේ කියන්න යන බස අසනාවට වඩා අපගේ සිත් පැහැරගෙන තුබුණේ ඔහු අත රඳවාගෙන් උන් කෙසෙල්ගෙඩි වෙතටය. තවත් මිනිත්තු කිහිපයක් ගිමන් හැර දෑස් ලොකුකරගත් වනම(මේ දෑස් ලොකු නිසා ඇහටුල්ලා යන සුරතල් නාමයෙන් හෙතෙම ජනප්‍රියත්වයක් ලබා තිබුණි) කථා කරන්නට පටන් ගත්තේය. මේ කතාව කුමාරගේ පාට් ටයිම් ජොබ් එක වූ ඔරු පැදීම හා බැඳුණු කතාංගයකි.

"මචං මං උදේම ගියා ඔරුවේ හබල් ගාන්න. අද ගයිඩ් අයියා එක්කං ආවේ ජපනෙක්. ඌ නිකං බෲස්ලී වගෙයි. අපි ඌව ඔරුවේඑ එක්කං ගියා. උඹලා දන්නවනේ ක්‍රොකඩයිල් කියලා පෙන්නන්නේ කබරගොයි කියලා. අන්තිමට තොටුපළට ඇවිත්, ලෑලි කෑල්ලේ 490/- කියලා ලියලා පෙන්නුවා. ජපනට කේන්ති ගියා නහුතෙට. ක්‍යා ... හූෆ් .... පූෆ් ගෑවා. කෙසෙල් ගෙඩි දෙක පොළොවෙව් ගැහුවා. ඊට් පස්සේ කට්ටියට ගහන්න පැන්නුවා. මම කෙසෙල්ගෙඩි දෙකත් ඇහිඳගෙන ගුණසේකරලගේ වත්තෙන් දුවලා මෙහෙ ආවා. අන්තිමට මට ඉතුරු වුණේ මේ කෙසෙල්ගෙඩි දෙක විතරයි" 


කියමින් තවමත් අමු, තැනින් තැන කළුපැහැ ගැන්වී ඇති කෙසෙල් ගෙඩි දෙකකි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...