Showing posts with label කෙටි කතා (Short Stories). Show all posts
Showing posts with label කෙටි කතා (Short Stories). Show all posts

Tuesday, April 15, 2014

බක්මහ කඳුල ...... The April Cry

නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ....නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි .... නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ....  සුනෙත් එක දිගට තොල් මතුරමින් ගමන් කරයි. නුගේගොඩ පාගොඩ පාර බස් නැවතුමෙන් 119 බස් රථයෙන් බැස ගත් හේ කඩිනමින් නුගේගොඩ සුපර්මාර්කට් ගොඩනැගිල්ල වෙතට එන්රිච් හෝටලය අසලින් පාර පනියි. 

"බූරුවා... මැරෙන්න හදනවද යකෝව් ...."

ත්‍රී රෝද රථ රියදුරා බෙරිහන් දුන්නද, සුනෙත් නෑසු කන්ව ගොළුබෙලි ගමනින් පාර මාරු වෙයි. 

"අර ත්‍රී වීල් කාරයාට නම් පිස්සු නේද මල්ලි? අපිත් පාරේ යන්නෙපැයි ... නැද්ද ?"

සුනෙත් හිස ඔසවා බලා මද සිනා පා ඉදිරියටම ගමන් කරයි. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි .... යනුවෙන් හෙතෙම මුමුනන්නේ,  ඔහු අවුරුද්දේ ප්‍රිය කරන මාස කිහිපයයි. මේ කැමැත්තට හේතු වන්නේ ඒ මාස කිහිපයේ පවතින ශීත දේශගුණයයි. මාර්තු මාසය එළඹෙන විට ඇතිවන තද අව් රශ්මිය ඔහු කෙසේවත් ප්‍රිය නොකරයි. අනපේක්ෂිතව කඩා වැටෙන අකල් වැසි නිසාත්  විටෙක ඔහු සොබා දහමට දෙස් තබයි. 

"කරුණාකර ඉඩ ලබා දෙන්න... මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ නුගේගොඩ එක්සත් තරුණ කැල ඉදිරිපත් කරන බක් මහ උලෙළේ මහා...... සයිකල් ධාවන තරගයයි"

නුගේගොඩ සෑම්ස් පාමසිය ඉදිරිපස නතර වන සුනෙත් ඉතා කැමැත්තෙන් සයිකල් තරගය දෙස බලයි. ඔහුගේ හිත එකවරම අතීතයට ගොස්  නවතී. අද ගමේ සිටියා නම් ... දිගු සුසුමක් පිට කරන ගමන් නැවතත් පදික වේදිකාවේ ගිනියම් වී ඇති කාපට් පොළොව දෙසට යොමුකළ දෑසින් කල්පනාවක ගිලෙයි. ගාලු පාරට මීටර් 200 පමණ ඈතින් පිහිටා ඇති තම නිවසේ සිට සයිකල් තරගයක නිවේදනය ඇසුණු සැණින් ළමා වයසේ දිව ගිය අයුරු සිහිපත් වේ. මෙසේ දිව ගියේ තමා පමණක් නොව, ප්‍රදේශයේ බාල මහලු සියල්ලම එක  හැල්මේ මහපාර වෙත දිව ගියහ. එය සිහිපත් වී ඔහුගේ මුවගට මද සිනහවක් නැගේ. සමහරු පාරේ ඇද වැටුණු සැටිත්, එසේ දිව යන අයව අසල්වැසි මදාවි කොලු කුරුට්ටන් වතුර බාල්දි වලින්නැහැවූ සැටිත්, සමහරුන්ගේ සෙරෙප්පු ගැලවී එසේත් නැතිනම් ඒවායේ පටි ගැලවී ඒවා දෑතට ගෙන දිවූ  සැටිත්, ක්ෂණයකින් ඔහුගේ මතකය අලුත් කරයි. ඔවුන්ගේ නිවාස අසලින් ගලායන ගඟ නිසා මෙසේ ගමන් ගන්නා බොහෝ තරග සම්පූර්ණයෙන් හෝ කොටසක් දැක ගැනීමට සුනේත්ලාගේ ගමේ අය වාසානාවන්ත විය. පාලම අසලින් තරගය එනවිට කිසිදු බාධකයක් නැති ගං කlaපුව දිගේ හුළං පාරත් සමග යකඩ කටින් කෙරෙන් බෙරිහන් දීම සුනේත්ලාගේ ගම්පියසට කලින්ම සේන්දු වේ. තරගකරුවන් ඊළඟ කිලෝමීටර පසු කරන්නට පෙර ඔවුන් පාර අසලය. එහෙත් සමහර දක්ෂ තරගකරුවන්ට ඔවුන් පැරදුණු අවස්ථා විරල නොවීය. සමහර අවුරුදු සමයයන් වල ඇසෙන වෙනත් ලවුඩ්ස්පීකර් හඬවල් පටලවාගෙන මහපාර වෙත දිවූ අවස්ථාද නැත්තේ නැත. මෙසේ එකෙකු දුවනා කල පසුපසින් සියල්ලන් දුවන විට සිහියට එන්නේ ලෝකේ පෙරළෙන  කතාවයි. සමහර ගැටවරයන් සුනේත්ලා රැවටීමටද එසේ දිවූ බව සුනේත්ගේ සිහියට එයි. 

"අපේ සයිකල් රේස් එකත් එක්ක ගත්තම මේවා මොනවද ? "

වදනින් පිට නොකර ඔහුගේ දෙතොල් මුමුණයි. ගමේ ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී සැතපුම් 100ක සයිකල් තරගයක් පැවැත්වූ ආකාරය නැවතත් ඔහුව කල්පනා ලොවට ගෙන යයි. මේ වනවිට නුගේගොඩ නගරය වටා වට විසි ගණනක් යන තරගයේ සියළලු තරග කරුවන් ඔහු පසු කර ගොසිනි. 

"අපේ සයිකල් රේස් එකනම් හැරෙව්වේ තැන් දෙකක විතරයි. ඒ කළුතර ඔරලෝසු කණුව ගාවයි ගාල්ල ටවුමේ ඔරලෝසු කණුව ගාවයි. මෙහෙම ගියාම ස්පීඩ් කරන්න බෑනේ. වංගු ගන්නකොට ස්ලෝ වෙන නිසා කිසි ගතියක් නෑ. හැබැයි ඉතිං හැමෝටම කරදරයක් නැතිව බලා ගන්න පුළුවන්". 

මේ වනවිට තමා තොල් මතුරන දෙස ගැහැණු පිරිමි කිහිප දෙනෙකුම බලා සිටිනු සුනෙත් දකියි. ලජ්ජාවෙන් මුහුණ රතු කරගන්නා ඔහු තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කරයි. බෝඩිමට වී හුදෙකලාව කාලය ගත කරන ඔහු මේ පැමිණ තිබෙන්නේ තම දිවා ආහාරය සඳහා බඩට යමක් දා ගැනීමට තැනක් සොයමිනි. එකල තම ගමේ පාපැදී තරගයේ ගමන් මගේ ගමන් කිරීමට තම වයසේ සෙස්සන් පොර කනවිට තමා කිසිදු බාධකයකින් තොරවම සහභාගී වූ අයුරු සුනේත්ට සිහිපත් වේ. තමාගේ හොඳම මිතුරන් වන ධම්මික, රන්ජා, සුසීරි,සිරිමල්  සහ සේනා මේවා වෙනුවෙන් කොපමණ කොට ප්‍රමාණයකට කර ගැසුවාද, වළවල් කීයක් හෑරුවාද, කටු කම්බි රෝල්ට අත තුවාල කර ගන්න ඇත්දැයි ඔහු ස්මරණය කරන්නේ තරමක ශෝකයකිනි.  සම වයසේ පසු වූ ඔවුන් බර වැඩ කරන අතර තමාට තිබූ රාජකාරි වූයේ බැනර් ඇඳීම, අවුරුදු උත්සවයට පෙර කෙරෙන නිවේදන කටයුතු, තරග වලට සහභාගී වන්නන්ගේ නම් සහ ජයග්‍රාහකයන්ගේ නම් ලැයිස්තු පිළියෙල කිරීම් සහ මැරතන් සහ පාපැදි තරගයේ නිවෙදනයන්ය. මෙයින් වඩාත්ම වටිනා රාජකාරිය වූයේ පාපැදි තරගයේ නිවේදන කටයුතුය. එමගින් තමාට අන් කවරෙකුටවත් නොලැබෙන අවස්ථාවක් හිමි වූ බව ඔහු සිහිපත් කරන්නේ තරමක ආඩම්බරයකිනි.

කුඩා කල සිටම ලේඛන කටයුතු සහ කථිකත්වයට දක්වන කුසලතාව නිසා බර වැඩ වලින් මිදී සයිකල් තරගයේ ඉදිරියෙන්ම ගමන් කරමින් යකඩ කටින් කෑ ගසන්නට ලැබෙන වරම සුළු පටු එකක් නොවූ බව ඔහු මෙන්ම අනෙක් අයද පිළිගත් කරුණකි. නුගේගොඩ සයිකල් තරගය දැන් පසු වන්නේ දහතුන් වන වටයේය. මෙයට අදාළ අවුරුදු උත්සවය පවත්තෙන්නේ තමන්ගේ වම්අත පැත්තෙන් ඇති නුගේගොඩ සුපිරි වෙළඳ සංකීරණයේ බව ඔහුට එක්වරම පසක් වේ. තමා මෙවැනි අවරුදු උත්සව කීයක නම් සංවිධාන කටයුතු වල නියැලෙන්නට ඇත්දැයි සිතන ඔහු යළිත් දිගු සුසුමක් පිට කරයි. 

අවුරුදු උත්සවය දකින ඔහුගේ බඩගින්න එකවරම නිවී යයි. මායාබන්ධනයකට හසු වූවකු මෙන් එක් වරම වමට හැරී සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ කඩිමුඩියේ සංවිධානය කෙරෙන බක් මහා උලෙළවෙත ඇදී යන  ඔහුගේ සිතට යම් අස්වැසිල්ලක් එක් කරයි. එය ඔහුට කිසිදු අයුරකින් ආගන්තුක නොවන දසුනකි. නමුත් කොට්ටපොර තරගය සඳහා වන සැකිල්ල දුටු විට නවතාගනීමට නොහැකි හිනාවක් ඔහුට ඇති වෙයි. ගමේ අවරුදු උත්සවයට පුවක් ගස් තෝරා ගන්නා අකාරය ඔහුට සිහි වේ. ඒ සඳහා ස්වෙච්ඡ්ඡාචාවෙන් ඉදිරිපත් වන කිහිපපලක් වෙයි. එසේ ලැබෙන ගස් වලින් උසම සහ පුෂ්ටිමත්ම ගස ලිස්සන ගහ වෙනුවෙන් වෙන් කරන ඔවුන් සෙසු ගස් අතරින් මදක් උස ගස් දෙකක් ඉල්ලා ගන්නේ කොට්ටපොර අට්ටාලය සඳහාය. ඒ සඳහා තෝරා ගන්නේ වෙනත් ප්‍රයෝජනයක් නැති ගස්ය. ඉන්පසු සයිකල් තරගයේ ආපදා රථයේ නැගී යන්නට පොර කන විස්සකට අධික පිරිස විසින් මේවා සුද්ද කර අවශ්‍ය අකාරයට අට්ටාලය සාදයි. නමුත් නුගේගොඩ අට්ටලයේ හරස් කඳ පමණක් පුවක් ගසක් වූ අතර, දෙපස සඳහා යොදාගෙන තිබුණේ නිවාස ඉදි කරන්නට ගන්නා යකඩ පලංචි දෙක බැගින් දෙපසින් තැබූ අඩක් කෘතීම, අඩක් ස්වභාවික අට්ටාලයකි. ඔහුගේ හිතට එකවරම ආවේ ඔහු මේ දිනවල තදින් පාඩම් කරනා බ්‍රිතාන්‍ය පරිගණක සංගම් විභාගයේ විෂයක එන මෙහෙයුම් පද්ධති පිළිබඳ ඉගෙන ගන්නා විට අසා තිබූ හයබ්‍රිඩ් නමැති සංකල්පයයි. එනිසා ඔහුට ඇතිවන හිනාව නවතා ගත නොහැකි විය. නමුත් මැදහත් සිතින් බලද්දී කාපට් පොලවක් මත මෙවැනි අට්ටාලයක් ඇටවීමට මීට වඩා හොඳ ක්‍රමයක් නැති බව ඔහුට පසක් වේ.

සුනේත්ගේ හිත එකවරම අනිද්දා පැවැත්වෙන බ්‍රිතාන්‍ය පරිගණක සංගම් විභාගය වෙත ඇදී ගියේ ඇඟ පුරා දිවූවිදුලි කෙටීමක් වැනි හැගීමක් සමගිනි. රාජකාරි කරන අතරතුර කරනා මේ විභාගයට තමාත් සමග තම දෙපාර්තමේන්තුවේ සේවය කරන අයගෙන් මුහුණ දෙන්නේ තිදෙනෙකු පමණි. විභාගය අතළඟ වුවත් තවමත් අත නොතැබූ සටහන්, නිබන්ධන සහ අච්චු පොත්වලින් ගන්නා ලද ඡායාස්ථ පිටපත් කොතෙක් ඇත්ද? සියල්ල පසෙක තබා ඔහුට නැවතත් බෝඩිමට දුවන්නට සිතේ. එහෙත් මෙහි සිදු වන දේ බලා සිටින්නට ඔහුට ඇත්තේ පුදුම ආශාවකි. මින්පෙර තමා අවුරුදු උත්සව සංවිධානය කළා මිසක, කිසි දිනෙක නරඹා හෝ තරග වලට සහභාගී වී නැත. එකවරම ඔහුට බඩගින්නක්ද දැනේ. ගිනි ගහන අවු කූටේ ඔහුගේ හිස දවාලන්නට සමත්ය. යාන්තමට හිසේ කැක්කුම් ගතියක් දැනෙයි. එකවරම සුපර්මාර්කට් බිමෙන් එළියට දුව එන ඔහු වම්පසට හැරී මද දුරක් දිවයන විට, දකුණු පසින් තිබෙන පාරේ ඇති බත්කඩය සිහි වී පාර පැන එදෙසට ගමන් කරයි. රුපියල් හතළිහකින් දිවා අහාරහ සප්පායම් වන ඔහු ඉන් පිටවන විට සුපර්මාර්කට් බිමේ පැවැත්වෙන අවුරුදු උත්සවයේ තරග සඳහා තරගකරුවන් ඇතුළත් කර ගැනීමේ නිවේදනය වෙමින් පවතිද්දීයි 

"අදවත් මොකක් හරි එකක් කරපං සුනෙත්"

ඔහුගේ සිත බල කරයි. ගිනියම් අව්වත්, මොහොතකට පෙර මාතර බත් කඩෙන් රසබලන්නට ලැබුණු බත් පතේ තිබූ මාළු ඇඹුල්තියල් කැබැල්ලට යොදා තිබු මිරිස් සැර නිසාත් ඔහුගේ හිසෙන් පිටවන දහඩිය කන් දෙපසින් බේරී විත් ඇඳ සිටින කමිසය තෙත් කරවයි. හනික ලේන්සුව අතට ගන්නා ඔහු, මුහුණ පුරා වැහෙන දහඩිය පිස දමයි. බෝඩිමේ සියල්ලන්ම ගමේ ගොස් ඇති මොහොතේ මෙවැනි අහරක් කුසට වැටීම ඔහුගේ සිත ඇති කළේ  ප්‍රීතියකි. නිවැසියන් මාතර තම ගමේ ගොස් ඇති මේ මොහොතේ කොළඹ රැදී සිටීම ඔහුට දඬුවමක් සේ දැනෙයි. උදෑසන අසල්වැසි නිවසින් ලබාදුන් කිරිබත් කැබලි කිහිපයෙන් බඩ පුරවා ගත්තද, පසුගිය දින කිහිපයේ හරි හමන් කෑමක් නොවීය. මාතර හෝටලයේ කෑම වේල අම්මා බෙදා දෙන බත් පතට බොහෝ සෙයින් සමාන විය. රතුබත්, පොල් මැල්ලුම, මාළු ඇඹුල් තියල්, වම්බටු ව්‍යංජනය සහ අල බැදුම යළි යළිත් ඔහුගේ සිහිය නැගේ. රුපියල් හතළිහකට මේ මොහොතේ කෑම ලබාදුන් මුදලාලි මහතා දෙවියෙකැයි ඔහුට සිතේ. තවත් ඇඹුල් තියල් මාළු කෑල්ලක් ඉල්ලා ගන්නට කොතෙකුත් සිතුනද, "මොනවා කියයිද දන්නෑ" යන සිතුවිල්ල ඔහුගේ පසුතැවිල්ලට හේතු විය. නමුත් එහි වුන් බොහෝ දෙනා තවත් රුපියල් දහයක් දී අමතර පිඟානක් පිරෙන්නම බත් ඉල්ලා ගනු හෙතෙම බලා සිටියේ නෝක්කාඩු සිතිණි. එහෙත් දොස් කිව යුත්තේ තමාටම බව ඔහුට පසක් විය. 

"කණා මුට්ටිය බිඳීමේ  තරගය සඳහා ඉදිරිපත් වන තරග කරුවන්, අප කාර්යාලය වෙත නම් ලබා දෙන්න. මෙම තරගය සඳහා ඇතුළත් කර ගන්නේ විසි දෙනෙකු බව කරුණාවෙන් සලකන්න"

"පලයන්. සුනෙත්. පලයන්"

ඔහුගේ සිත හඬගා කීවේය. දෙවරක් නොසිතු ඔහු කෙළින්ම ගොස් නවතින්නේ කනාමුට්ටි තරගය සඳහා නම් ඇතුළත් කර ගන්නා පෝලිමේය. බිඹට නැඹුරු වූ හිසින් සිටින ඔහුට ඉදිරිපසින් සිටින්නේ හය දෙනෙකු බව සිතින් එකිනෙකාගේ පාද මට්ටමෙන් ගැනගෙන එන ඔහුට වැටහේ. නමුත් ඉදිරියේ සිටින බොහෝ තරගකරුවන් අවුරුදු දහයේ පමණ අයය. එහෙත් තමාට පිටුපසින් තම වයසේ සහ ඊට වැඩි අයද ඇති බව ඔහුට පසක් වේ. මේ වනවිට ඔහුගේ හිතේ ඇති වූ ලජ්ජාව මදක් පහව ගොසිනි. යකඩ කටින් ජෝතිපාලගේ සිංදුවක් ඇසේ

"කිරි ඉතිරේවා - නව වසරේ ....."

ගීත ගැයීමේ දක්ෂයෙකු වූ සුනෙත් සිතින් එම ගීතය මුමුනන්නේ සැහැල්ලුවක් සිත්හී දරාගෙනය.

"මොකක්ද නම ?:"

එක් වරම කල්පනා ලොවින් පිටවන සුනෙත්, තමා පෝලිමේ ඉදිරියට පැමිණ ඇති බව වැටහේ

"සු...සු... සු...නෙ...ත්"

"සුනෙත් වල්පොලද ? වෙන නමක් නැද්ද ? අපිට තව වැඩ තියෙනවා. හවස වහින්න එන නිසා ඉක්මනට ඉවර කර ගන්න ඕනේ"

"විදානගමගේ සුනෙත්  තෙන්නකෝන්"

"හා ... හා... ඔය ඇති. ඊළඟ ..."

අනෙක් තරගකරුවන් පසුපසින් යමින් ගොස් සුනෙත් නතර වන්නේ තරගය පැවැත්වෙන එන්රිච් පැත්තට වන්නට තිබෙන කෙළවරේය. මේ වනවිට තමාට ඉදිරියෙන් සිටින්නේ තරගකරුවන් තිදෙනෙකු බව සුනෙත් දකී.

"හනේ දෙයියනේ. මුන් මේ තරග පවත්වනවා නෙවයි. තියන්න ඕනේ හින්දා තියනවා" සුනේත්ට ඉබේම කියවිණි.

"මුන් මල්ලි මේවා සල්ලි මාටියා ගහ ගන්න කරන වැඩ" පිටුපසින් උන් තරග කරුවා උත්තර දිනි.

ආපසු හැරී බැලූ සුනේත්ට පෙනුණේ ඔහුනම් අඩුම තරමේ වයස හතළිස් පහක් වත් වන අයෙකුයයි කියාය. දැන් තමාට කිසදු ලැජ්ජාවක් නොදැනේ. "හැබැයි වැඩේ තියෙන්නේ ගමේ කෙනෙක් දැක්කොත් තමයි" සුනේත්ට හිතෙයි. එහෙත් අද නුගේගොඩ නගරය පාළු සොහොන්පිටියක් බඳු යැයි සුනේත්ට සිතුණු වාර අනන්තය. අවුරුදු කාලයේදී නුගේගොඩ නගරය දක්වන්නේ ඇඳිරි නීති ඇති කලෙක සිරිය. "කොළඹින් 40%කම සිටින්නේ දකුණේ මිනිසුන් බව කොහේදෝ කියවූ වාර්තාවක් සුනේත්ගේ සිහියට නැඟෙයි. ඒ කාතාව ඇත්ත වෙන්න ඕනේ. ඒත් මාතර බත් කඩේ නම් ඇරලා" ඔහුට සිතෙයි. ඉදිරියේ උන් තරගකරුවන් වේලාසනින්ම මුගුර වැනූ නිසා, කඩිනමින්ම සුනේත්ට වාරය ලැබුණි. තරග සංවිධායකයා කතාවක් නැතිවම සුනේත්ගේ ඇස් බැඳීම ඇරඹීය. සුනේත්ගේ මතකය වේගයෙන් ගමේ අවුරුදු උත්සවයට ඇදිණි.

"අපේ අවුරුදු උත්සවේ නම් අපි මේ වගේ තරග කරන අයට කරදරයක් වෙන්න සංවිධානය කරන්නේ නෑ. මොනව කරත් අවුරුද්දේ සතුට බෙදා ගන්න කරන දේවල්නේ. ඒකට මුන්. ළමයින්ගේ ඇස් ගටගහන්නේ මරන්න ගෙනියන හරක්ගේ බෙල්ල ගැටගහනවා වගේ. අනේ මෙහෙමත් මිනිස්සු" සුනේත්ට සිතේ.

තාමගේ දෑස් නිලංකාර වන තරමට පටිය තද කර ඇති බව සුනේත්ට දැනිණි. යළිත් සුනෙත් කල්පනා ලෝකයේය. මේ අතර සුනේත්ගේ අතට මුගුර ලබා දී ඔහුව වාමාවෘත්තව වට තුනක්, හා දක්ෂිණාවෘත්තව වට දෙකක් කරකවීය. කුඩාකල වට ගණනක් කැරකී නතර වූ පසු හාත්පස ඉහළ - පහළ යමින් කැරකෙන්නා සේ දුටු දර්ශන ඔහුගේ මතකයන නැගේ.  කෙතරම් ප්‍රමාණයක් එකතැන කරකැවී ඇත්දැයි ඔහුට සිහිපත් වේ. ගමේ තරග සංවිධයකුව සිටි කාලයේ, ප්‍රදේශයේ බාල මහලු කවුරුත් තමාට ගෞරවයෙන් සැලකු ආකාරය සුනේත්ට සිහිපත් වේ. එකල බොහෝ දෙනෙක් තමාට ඇඟෑලුම්කම් පෙන්වා හිනා වන්නේ හැකිනම් බක් මහ උළෙල අවසානයේ පැවැත්වෙන සංගීත සංදර්ශනය සඳහා ඇතුල්වීමේ අවසරපතක් ඉල්ලා ගැනීමේ අරමුණින් බව ඔහු දනී. නමුත් සමහරෙක් හුදෙක් හිතවත්කමටද සිනා වන බවද ඔහු විශ්වාස කරයි.

කෙසේ නමුත් අවරුදු උත්සවය පැවැත්වෙන දින දහවල් නිවසට එන ඔහු දිගු ස්නානයකින් පසුව තමාට තිබෙන හොඳම ඇඳුමින් සැරසෙන්නේ අවුරදු උත්සව භූමියට යාමටයි. එහිදී විවිධ ස්ථාන වලට අදාලා පුවරු සවි කිරීමෙන් පසුව, කම්බි වැටකින් වටකළ අවුරුදු උත්සව භූමියේ එක් කෙළවරක ඇති අරලිය ගසක් යටින් මේසයක් තබාගෙන තරග සඳහා ඉදිරිපත්වන්නන්ගේ නම් ලැයිස්තු ලබා ගනී.

"මල්ලි ... ඔයා හරිම ලෙඩෙක්නේ ... යන්නැද්ද ? .... යන්නත්තම් මම පටිය ගලවනවා"

"හරි ... හරි.. අයියේ"

සුනේත්ට එකවරම හැඬුම් එයි. ඒ තමන් අවුරුදු උත්සව ගණනාවක ගෞරවාන්විත පුද්ගලයකුව සිටි කාලය, සහ අද එළැඹ තිබෙන තත්වය සිහිපත් වීමෙන්ය.

"යකෝ... මම මේ වගේ අවුරුදු උත්සව නෙවෙයි සංවිධානය කරලා තියෙන්නේ. උඹලා මොන කබ්බෝද ? දන්නැත්තං වරෙල්ල කොපි පොතකුත් අරගෙන අවුරුදු උත්සව කරන හැටි කියලා දෙන්න"

ඔහුට එසේ කියන්නට සිතුනත්. මේ එයට අවස්ථාව නොවන බව දන්නා හෙයින් වචන ගිලගත්තේ දත්මිටි කමිනි. ඔහුගේ දෑසින් කඳුළු පනින්නට විය. දෙනෙත් ගැට ගසා තිබෙන කළු පටියද තෙමාගෙන දෙකම්මුල් දිගේ රූරා වැටෙන කඳුළු වමතින් පිස දාගෙන ඉදිරියට යන්නට යත්න දරුවත්, නොනැවතීම කඳුළු ගලන්නට විය. සංවිධායකයා ඔහු වෙත පැන, පටිය ඉවත් කර බැනගෙන - බැනගෙන යන්නට විය.

"මේ මල්ලි.... තමුසේ හිතාගෙන ඉන්නේ අපිට වෙන වැඩ නෑ කියලද? නිකං පව් නොදී යනවා ඕයි යන්න"

ඔහු කිසිවක් නොකියා ආපසු හැරී යන්නට විය. මෙය බලාසිටි වෙනත් සංවිධායකයෙක් ඔහු වෙත පැමිණ කරට අතක් දාගෙන, ඔහුගේ කනට කර යමක් කීය.

"මල්ලි මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ ? ඔන්න ඕවා අමතක වෙන්නත් එක්ක ගහමු පොඩි අඩියක්. අපි ස්ටේජ් එක පිටිපස්සේ සෙට් වෙලා ඉන්නේ"

මේ අවස්ථාවේ යකඩ කටින් ගුණදාස කපුගේ මහතා ගායනා කරන අපූරු ගීතයක් වාදනය විය.

"හද පොදි බැඳී දුක දියකර පා කර .... ඔබේ ලොවට මා මොහොතින් එනවා"
කණා මුට්ටි තරගය

එතැනින් බොහෝ අමාරුවෙන් පිටවී එනවිට කපුගේ මහතාගේ තවත් ගීතයක් වාදනය විය

"කොළඹ අහස කළුකරගෙන ... මුහුදු හුළඟ හඬලනකොට... ඔටුන්න බිමදා දුවගෙන .... එන්නද එක පිම්මේ"

පාරට දිව ආ ඔහු ත්‍රී රෝද රථයක් නවත්වා "ගාලු පාරට යමු" යනුවෙන් පවසා, සාක්කුවෙන් ඇදගත් ලේන්සුව දෑසට තද කර ගත්තේය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...