Showing posts with label ගමේ චරිත(My Villagers). Show all posts
Showing posts with label ගමේ චරිත(My Villagers). Show all posts

Saturday, October 9, 2021

මහින්දලාගේ කැරම් බෝඩ් එක ......

 එක කාලයක් තිබුණා අපිට කැරම් ගහන්න පුදුමාකාර පිස්සුවක් හැදුන. කොච්චර ක්‍රිකට් ගහන්න කැමැත්තක් තිබුණත් ලංකාවේ නිරිතදිග කළාපයේ මුහුද අසබඩ ගමක් වෙච්ච බෙන්තොට අපිට අවුරුද්දේ වැඩි දවසක් වැහි සහිත කාලගුණයක් තිබුණේ. ඒ නිසාම වැහි දවස් වලට වගුරු බවට හෝ විල් බවට පත්වෙන අපේ ක්‍රීඩාංගන දෙක නිසා ඒ දවස් වලට හවස ගෙවා දමන්න අපිට විකල්පයක් තෝරා ගන්න සිදු වුණා. ඉතිං අපි බඩගෑවේ උඩකොටුව රජ මහ විහාරේ, ඒ කියන්නේ අපේ පන්සලට. සෝමසිරි නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ එතැන අපේ රස්තියාදු පොළක් ගානට වැටුණේ ඉන්පස්සේ විහාරාධිපති තනතුරට පත් වුණු විමලසිරි හාමුදුරුවෝ අපි කාගේත් යාලුවෙක් තරමට හිතවත් වුණා නිසා. අපි ඉතිං ඔය කිවුව වැහි දවස් වලට පන්සලට බද ගානවා. පන්සල තියෙන්නේ කඳු මුදුනක. කළුගල් අතුරා තාර දාපු පාර දිගේ තමයි අපි පන්සලට ගාටන්නේ. මේක අංශක 45 විතර කන්දක්. දෙපැත්තේ තියෙන ලඳු කැලෑවේ තිබුණ ගඳපාන ගාල කවුරුන් හෝ පාරා තිබුණොත් මේ වැහි දවස් වල පුදුමාකාර ගඳක් ඇති වෙන්නේ. 
 
විමලසිරි හාමුදුරුවෝ අපේ නැන්දාගේ ලොකු පුතාගේ හොඳම ගජයා. දෙන්නා එකට එකතු වෙලා එල සිගරට් එක උරන්නේ. අපිට කැරම් බෝඩ් එක පාවිච්චි කරන්න ලැබෙන්නේ, උන්නාන්සේට සිගරට් එකක් නිමල් බේකරියෙන් ගෙනැත් දුන්නොත්. නිමල් බේකරියට යන්නේ පන්සල පිටිපස්සේ තියෙන, ඉස්පිරිතාලේ පාරෙන්. එතැනින් ඩික්මන් අයියලාගේ ගෙදරින් ඉවර වෙන ගුරු පාරට පන්සල පිටිපස්සෙන් ගේට්ටුවක් ඇරලා තිබුණා. ඉතිං අපේ ගම්වල බොහෝදෙනෙක් මේක ෂෝර්ට් කට් එකක් විදියට පාවිච්චි කරා ඉස්පිරිතාලෙට යන්න. දැන් වගේ දැඩි නීති රීති නොතිබුණ ඒ කාළේ බොහෝදෙනෙක් රවුමේ ගිහිං ගේට්ටුවෙන් යන්නේ නැතිව කම්බි වැටෙන් රිංගලා ඉස්පිරිතාලේ ගියා. මේ රෝහලට ගුණසේකර අනුස්මරණ රෝහල කියන නම ලැබුණේ, අපේ ගමේ එවකට හිටිය කෝටිපතියෙක් වෙච්ච ඩොනල්ඩ් ගුණසේකර මහතාගේ පරිත්‍යාගයෙන් ඉදි කරපු මේ රෝහල රජයට පරිත්‍යාග කරපු නිසා. මේ රෝහල විවෘත්ත කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ ලංකාවට කපිල වස්තුපුර සර්වඥ දාතුන් වහන්සේලා වැඩම කරවා තිබුණා. 

ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, අපේ ගම හරහා මේ රථය ගමන් කරන විට මේ රෝහල පිටුපස ඉදි කරපු විශේෂ කපිලවස්තුපුර චෛත්‍ය ආකෘතිය ඉදිරියේ තාවකාලිකව ඉදිකරපු මඩුවක සර්වඥ දාතුන් වන්හන්සේ වැඩම කරවා ප්‍රදර්ශනය කරන්න. මමත් කලින්ම ඉස්කෝලෙන් ඇවිත් මේ පෝලිමේ ඉදිරියෙන්ම හිටියා. හදිසියේ සැරසිලි කරමින් උන්න ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාට(ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයේ අධිපති) බ්ලේඩ් තලයක් අවශ්‍ය වුණාම, මම ගාව තිබුණ බ්ලේඩ් තලය දෙන්න ලැබීම මහ ලොකු දෙයක් වුණා මට ඒ කාළයේ. මෙහෙම සුදානම් වෙලා උන්නත්, එතැන නවත්වන්නේ නැතිවම ඒ රථය ඉදිරියට ඇදෙනවා මල්වැස්සට තෙමි-තෙමි අපි බලාගෙන උන්නා. ඩොනල්ඩ් ගුණසේකර මහත්මයා කනස්සළු ස්වභාවයකින් පිටවෙලා ගියා. 

ඔතැනින් ගිහිං තමයි අපි නිමල් බේකරියට යන්නේ. නිමල්බේකරියේ හැදෙන  පාන් සහ කෙටි ආහාර වල සුවඳ ඒ වටපිටින් ගියත් දැනෙනවා. ඉස්සර අපි හරි ආසයි හාෆ් බොයිල් බිත්තරත් එක්ක, උණු-උණු පාන් පුංචි කෑලි වලට කපලා බෙලෙක් පිඟානකට පත්තර කෑල්ලක් දාලා දෙන එක කන්න. මට ඒ කාලේ ගෙදරින් ඕවට සල්ලි ලැබෙන්නේ නෑ. කොහොමත් ආහාර වේල් තුනට අමතරව කනවානම් ගහකින් කඩා ගත්ත හෝ අහුලා ගත්ත දෙයක් තමයි. හැබැයි මගේ අත් අකුරු ලස්සන නිසා මට කියළා ලවු ලේටර්ස් ලියා ගත්තු කුමාර අතේ සල්ලි ගැවසුන නිසා ලියුම ලියලා දුන්නට පස්සේ අපි දෙන්නා යන්නේ නිමල් බේකරියට. එහෙම ගිහිං තමයි ඔය හාෆ් බොයිල් කෑම කෙරුවේ. 

පන්සලේකැරම් ගහන්න මමයන්නේ කළුතර ඉස්කෝලේ ගිහිං ඇවිත් දවල්ට කාලා හවස හතරට විතර. මේ වෙනකොට අපේ නඩේ අනික් අය එක්කෝ කැරම් ගැහිල්ල පටන් අරං, නැත්නම් හතරවෙනියා එනකං බලන් ඉන්නවා. අපේ ගේ පිටිපස්සේ ග්‍රවුන්ඩ් එක තියෙන නිසා දැනගන්න ලේසියි හවසට කෙරෙන්නේ ක්‍රිකට් ගැහිල්ලද නැතිනම් කැරම් ගැහිල්ලද කියළා. පන්සලේ කැරම් ගැහිල්ල කාලයක් කෙරීගෙන ගියා. ඒ වුණත් අපේ ඉස්සරහ ගෙදර හිටිය මහින්ද/මහේෂ් කියන අයිය මලෝ යුගලට සල්ලි ඌශ්නේ ගහලා තිබුණ නිසා කැරම් බෝඩ් එකක් අරගෙන ආවා. වැඩේ තියෙන්නේ මෙවුන් හම්බ කරන සල්ලි වලින් නෙවෙයි එහෙම කළේ. මහින්දලාගේ අක්කා රට (සුවිස්) ඉඳන් එවන සල්ලි වලින්. මේ කාලේ එයාලට වැන් එකක් එහෙමත් තිබුණා. පස්සේ මහින්දලාගේ ඉස්තෝප්පුව රස්තියාදු තිප්පලක් වගේ වුණා. අපේ අම්මා නම් කීයටවත් කැමති වුණේ නෑ, මම එතැන කැරම් ගහන්න යන එකට. මොකද එතැනට නානාප්‍රකාර මිනිසුන් ආව ගිය නිසා. අනික හැමදාම හවස් වෙත්දී මහින්දලාගේ තාත්තා දෙකක් දාගෙන් අම්මා එක්ක ජාතිය අමතන්න ගන්නවා. 

ඔහොම  ටිකක් වැඩිපුර දාගත්ත දවසක, පුටුවකට වෙලාඇලට් එකක් දාගෙන හිටිය ඊබට් නොහොත් මහින්දලාගේ පියාණෝට  ටකස් බකස් ගාන මේ සද්දෙත මල පැන්නා. ගේ පිටිපස්සට ගිහිං අලවංගුව(නාරස්සනේ) අරගෙන ඇවිත් දමලා ඇරියා කැරම් බෝඩ් එකට. එදා හවස මම ගියාම ඒක තිබුණේ මෙන්න මේ වගේ. ඉතිං මොකේදැයි දැන් වළඳන්නේ කියළා මම ආපහු ගෙදර ආවා. නමුත් ටිකක් කල්පනාවට වැටුණා මෙකට් මොකක්ද කරන පුළුවන් කියළා.

ඒත් මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නෑ. මේ කාලයේම හන්දියේ ගාර්ජ් එකේ ටිනකරින් වැඩ කරන නිවුටන් අයියාගෙන් මම ඉල්ලගෙන තිබුණා තිනර් ටිකක්. මේ තිනර් එකට මට හම්බෙන - හම්බෙන රෙජිෆෝම් කෑලි කඩලා ඔබලා  ගම් එකක් හදාගන්න තමයි ඔහොම කළේ. ටික දවසක් යනකොට ගම් එක හරි ගියා. මගේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඉරිලා තිබුණා. පිට පැත්තේ හින්දා වැඩි අවුලක් තිබුණේ නෑ. මම කළේ වෙන සුදු රෙදි කෑල්ලක් ඉල්ලගෙන ආවා ටේලර් වැඩ කරන විමලවීර අයියගෙන්. එක අර ඉරුණ තැනට තියලා මේ ගං ඒකෙන් ඇලෙව්වා. වැඩේ ගොඩ. ඉන් පස්සේ ඒ ෂර්ට් එක ඉස්කෝලේ අඳින්න පුළුවන් වුණා. 

මට හිතුණා මේකටත් ඒ ගම් ඒකෙන් මොනවා හරි කරන්න පුළුවන් කියළා. පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවම පෙණුනා මේකේ ලෑල්ලට භාවිතා කරලා තියෙන්නේ එම්.ඩී.එෆ්. (ඒ කාලේ අපි කිවුවේ තේ පෙට්ටි ලෑල්ලක් කියළා). ඊට පස්සේ මේ තේ පෙට්ටි ලෑල්ලක් හොයන මෙහෙයුම අපි දියත් කළා. මේ වගේ ඒවා ගෙවල් වල නෑ. මොකද කිලෝ පහක් විතර දාන්න පුළුවන් ඒ වගේ පෙට්ටියක් ගෙදරක තිබුණා නම් කාගෙන් හරි ඉල්ලන් ආපු එකක්. ගෙදරක් තේ කිලෝ පහක් ගන්නේ නෑ. එච්චර තේ බොන්න තරම් ලොකු පවුලක් කොහෙද තියෙන්නේ? කොච්චර තේ හදලා දුන්නත් ඒ වගේ පෙට්ටි තේ, තේ කඩවල ගන්නේ නෑ. පස්සේ කාට හරි පුළුවන් වුණා, ඒ තේ පෙට්ටියක උඩු පියන් කෑල්ලක් හොයාගෙන එන්න. 

පින්තුරය ගත්තේ : https://www.calicocraftparts.co.uk/

ඔන්න ඔය උඩින් තියෙන එක වගේ එකක් තමයි මම කියන්නේ. මේක කියවන පරණ අයටනම් මතක ඇති. මේක හොයා ගත්තත් අපි මොකක්ද කරන්නේ කියන කාරණය හිතා ගන්න අමාරු වුණා. මං මහින්දගෙන් ඇහුවා "මේක කපලා කොටලා හැදුවට කමක් නැද්ද ?" කියළා. ඌ ටිකක් කල්පනා කරළා "ඕන දෙයක්" කියළා කිවුවා. ඒක කැඩිලා තියෙන්නේ හරියට සයිප්‍රස් රට වගේ. ඒ වගේ එකක් කොහොමද මේකෙන් කපන්නේ ? ටික වෙලාවක් කල්පනා කරාම, නිවුටන් අයියලා ගැරේජ් එකේ කරන වැඩේ සිහිපත් වුණා. කොහොම දිරපු තැනක් වුණත් එයාලා හතරැස් කොටුවක් කපලා තමයි අලුත් තහඩු කෑල්ලක් තියලා වෙල්ඩින් කරන්නේ. ඉන් පස්සේ පොඩි කියත් පටියක් හොයා ගත්තා. මේක එහෙම ලේසියෙන් කපලා ඉවත් කරන්න බෑ, මොකද යටින් මේකේ ආධාරක් පටි තියෙනවා අඟලේ-අඟලේ පොලු වලින් ගහපු. අඟල් හයේ විතර පරතරයකින් ඒවා තිබුණේ. මේ කපන වැඩේ ගරාජ් එකේ ටික කාළයක් වැඩ කරපු සුසන්ත භාරගත්ත. අන්තිමට හතරැස් නැති වුණත්, ඒ වගේ එකක් කපා ගත්තා. ඉන් පස්සේ ඒක මැනලා සමාන කොටුවක් ලෑලි කෑල්ලෙන් කැපුවා. තියලා බැලුවම සමහර තැන් වල පොඩි හිඩැස් තියෙනවා මිලි මිට්ටර දෙකේ තුණේ. ඇතුලේ තියෙන හරස් පොලු වලයි-ලෑල්ලෙයි ගම් ගාලා ඇලෙවුවා. ඒ ගම් එක පට ගාලා වේලෙනවා. ඒ වගේමයි ඇලෙවුවොත් ඇලෙවුවා. 

ඊට පස්සේ අර හිඩැස් වලට ගම් එක්ක බොරික් කුඩු කලවම් කරලා පිරෙවුවා. පස්සේ වැලි කඩදාසියකි අර කැපුම් තියෙන තැන් ගෑවා. පස්සේ හොදට බොරික් දාළා ගහලා බැලුවා. මුලින්ම ගහපු පාරවල් ගියේ ඉස්සරහ හිටිය කෙනාගේ ඔලුව උඩින්. කට්ටිය හිනා වෙන්න පටන් ගත්තා. ආයෙත් ටික වැලි කඩදාසිය ඇල්ලුවා. දවස් කිහිපයක් ගියාව පොඩි පොඩි පැනිලි තිබුණා. පස්සේ හරි ගියා. ඕක තමයි මම කරපු පළමු DIY නොහොත් අටවන මාටිං වැඩේ. දැන්නම් කරන්නෙම ඒවා. මොකද යූබටයේ වීඩියෝ තියෙනවා ඕන තරම්.

Tuesday, February 11, 2014

සිංහ පීකුදුත් සමග පොල් කෑවෙමි. Eaten coconut with Sinha peekudu

මේ කියන සිද්දිය 1986-87 කායලට දිව යන්නක්. ඒ කාලේ ඕ ලෙවල් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උන්නේ. පොත් පත් වලට ඇස් ඔබාගෙන හිටපු ඒ අසීරු යුගය පහු කරලා, කුරුල්ලෙක් වගේ නිදහසේ සැරිසරන්න ලැබුණ මේ මාස කිහිපය, මගේ ජීවිතයේ රසවත්ම කාලය කියලා කියන්න පුළුවන්. මේ සමය මා අංශ කිහිපයකින්ම නිදහස ලැබූ යුගයක්. ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස වගේම සමාජීය නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. 
පින්තූරය ගත්තේ : http://www.exoticmeatmarkets.com/

ඒ දිනවල මගේ දිනචර්යාව වුණේ, නගරසභාවට අනුබද්ධව කෙරීගෙන ගිය නිවාස තක්සේරු නිලධාරීන්ගේ සහයකයෙකු ලෙස කල දෛනික සේවය අවසන් කර සවස ක්රී‍රීඩා කිරීම. ඒ මගින් මගේ අවශ්‍යතා සපුරා ගැනීමට සරිලන වැටුපක් සොයා ගන්න සමත් වුනා. කොටින්ම ඒ ලෙවල් කරන්න අවශ්‍ය පාසල් නිල ඇඳුම්, සපත්තු සහ වෙනත් දේවල් බොහොමයක් මම සපුරා ගත්තේ මගේ දාඩිය මහන්සියෙන්. මේ අතරවාරේ උසස් පෙළ ගණිතය සඳහා පන්ති යන්නත් වග බලා ගත්තා.  ඉතිං ආර්ථික නිදහස ලැබුණේ ඔන්න ඔය විදියට. අපේ නිවාස ළඟ කුඩා කඩයක් පවත්වාගෙන ගිය දයානන්ද අයියා(බාප්පා) ගේ කඩෙත් මම නිතර ගැවසෙන තැනක් වුණා. 

උදේ හතට ගෙදරින් ගියේ පාපැදියෙන්. ඉන් පස්සේ මගේ ඉහල නිලධාරියා වුණ ධර්මරත්න මහත්මයා මගේ සයිකලයේ තබාගෙන අදාළ ප්‍රදේශයට යනවා. අපේ සහයට තවත් සේවකයෙක් සිටිනවා. එයා තමයි ටේප් එකේ කෙලවර අල්ලා ගන්නේ. මගේ රාජකාරිය බිත්තිය දිගේ ටේප් එක ගෙනගොස් ඇතුලත බිත්ති ඇති තැනදී අදාළ කියවීම ධර්මරත්න මහත්තයාට කියන එක. එහෙම කියන්නේ "දහතුනයි පොයින්ට්, විස්සයි පොයින්ට්" ආදී වශයෙන්. පොයින්ට් කියන්නේ බිත්තිය පිහිටන තැන. දහවල් 12න් පස්සේ මගේ රාජකාරිය අවසන්. මම කෙලින්ම ගෙදර දුවගෙන එනවා. දුවගෙන නොවෙයි පැදගෙන. එහෙම ඇවිත් දවල්ට තියෙන දෙයක් කාලා, පිට්ටනියට යන ඇඳුම ඇඳ ගන්නවා. එහෙම අඳින ඇඳුම හොඳින් හොදා අයන් කරන්න මම අමතක කලේ නෑ. 

මගේ ඉලක්කය වුණේ, පාසල ඇරෙන්නට පෙර ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට යන එක. එහෙම යනකොට අපේ කණ්ඩායමේ කිසිවෙක් ක්‍රීඩාංගනයේ නෑ. මම කෙලින්ම යන්නේ පිට්ටනියේ ඈත කෙලවරේ තියෙන සුසිරිපාල - කුසුම්සිරි කියන මගේ වයසේ සහ මදක් වැඩිමහල් අප කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවසට. එහි තමයි අපගේ පාපන්දු සහ ක්‍රිකට් උපකරණ රාත්‍රී කාලයේ තබන්නේ. මීට අමතරව අපේ පිපාසාව සංසිඳුවා ගන්නේ එම නිවසින්. මම පාපන්දුව පමණක් ඉල්ලාගෙන එයට පයින් තට්ටු කරමින් එන්නේ මෑත කෙලවර තිබෙන ගෝල් කණුව වෙත. එයට මදක් ඔබ්බෙන් පිට්ටනිය අසලින්ම ගමන් ගන්නා අඩි පාරත්, තවත් යාර කිහිපයක් ඔබ්බෙන් ඇති ලඳු කැලෑව සහ පොල් ගස් කිහිපයේ සෙවනට. එතනින් ඔබ්බේ තියෙන්නේ ලන්දේසි ඇල. මෙතන ඉඳන් මා හොරගල් අහුලන්නේ පාසල නිම වී එන එක්තරා ශිෂ්‍යාවක් දකින්නට.

ක්‍රීඩා සමාජයේ උප ලේකම් වශයෙන්, මේ අයගේ සම්පූර්ණ පැටිකිරිය දන්නා නිසාත්, ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගන්නා නිසාත් යම් හිතවත් කමක් ඔවුන් සමග ගොඩනගාගෙන තිබුණත්, ඒ කාලයේ කෙල්ලන් සමග දොඩමළු වන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නෑ. නමුත් පාසල ඇරෙන තුරු පාපන්දුවෙන් තනිවම පුහුණු වීම මගේ ජීවන පුරුද්ද වුණා. 

මා ඇරුණුපසු මෙහි කලින් පැමිණෙන තවත් දෙදෙනෙක් සිටියා. පළමුවැනියා එම පාසලේම පහල පන්තියක ඉගෙන ගන්නා සිසුවෙක්. අපි ඔහුට ආදාරයට හෝ උසුළු - විසුළුවට කිව්වේ ජෙමස්සිනා කියලා. ජෙමස්සිනා කාල වර්ණ, කෙසඟ කොලුවෙක්. ඉත්තෑකූරු කොණ්ඩයත්, ගිලී ගිය දෑසත් ඔහුට සැපයුවේ භයංකාර පෙනුමක්ද නැතිනම්විකට පෙනුමක්ද කියා අදටත් මට හිතා ගන්න බෑ. නමුත් ජෙමස්සිනාට ඉතා හොඳ තීක්ෂණ ඇසක් තිබුණා. ඒ බව පසක් කරන්නේ ඇල අයිනේ ඇති පොල්ගස් වල තිබෙන ගෙඩි ගණන හරියටම නිවැරදිව සටහන් කිරීමට තිබූ හැකියාව. 

"සුභාෂ් අයියේ අන්න අර ගහ යට ගෙඩියක් තියෙන්න ඕනේ. අර ගහ යට දෙකයි. අදට ඒ ඇති"
එසේ පවසා ලඳු කැලෑවට රිංගන ජෙමස්සිනා ආපසු එන්නේ අතින් කටිං පොල් ගෙඩි බාදාගෙනය. ගෙන එන පොල් ගෙඩි අප අසල හෙළන කොලුවා වචනයකුදු නොදොඩා නැවතත් ලන්දට රිංගයි. ඔහු නැවත එන්නේ කහඹිලියා ගසක් මුලින් උදුරාගෙනය. මෙය අපට සුලබ දසුනකි. ඉන්පසු කහඹිලියා මුල සූරා ගන්නා හෙතෙම, කහඹිලියා ගෑවී, පලු නැගී ඇති තැන්හී අතුල්ලයි. සැනෙන් ඉන් සහනයක් ඇතිවන බව අත්දැකීමෙන් දනිමු. මෙය අපටහඳුන්වා දුන්නේ රෝහණ අයියයි. මෙය ඔබ අප සැම මතක තබා ගත යුතු කාරියකි. එය විසෙන් විස නැසේ කියන කියමන පසක් කරනවන එක් උදාහණරයක් පමණි.  

ඉන්පසු අප තිදෙනා පිය නගන්නේ ක්‍රීඩාංගනයට වාහන ඇතුලත් වීම වලක්වනු පිණිස අඩි හයෙන් හය පමණ පරතරයෙන් තබා ඇති කළුගල් වෙතය. දෑතින් ඔසවා පොල් ගෙඩි එම ගල් මතට දමා ගසන්නේ කතරගම දේවාලය සිහි ගන්වමිනි. නමුත් එහි වෙනසක් වේ. ඒ අප අත ඇත්තේ ලෙලි නොගැසූ පොල් ගෙඩිය. තවත් විනාඩි කිහිපයකින් පොල්ගෙඩිය වටා ඇති ලෙලි සහ පොල්මුඩු ඉවත් කරන්නට තරම් අප සමත් වන්නෙමු. එම හැකියාවන් තවමත් අප තුල පවතී.  අප මෙසේ ලෙලි ගසා ගන්නා පොල් ගෙඩිය ඉරටුවක ආධාරයෙන් එහි එක්ඇසක් විද වතුර ටික පානය කරමු. එය කාලය ගන්නා විට අප කරන්නේ පොල් ගෙඩිය අතේම තබාගෙන ගලේ ගැසීමය.  ඉන්පසු ඉතිරි වතුර ටිකද, පොල්ද කා දැමීම අරඹමු. මේ වනවිට තවත් දෙතුන් දෙනෙක් අප අසලය. 

ඉමහත් කෙලිදෙළෙන් සහ සමගියේ ගතකල මේ සුන්දර කාලය කෙසේ අමතක කරන්නද ? නමුත් ඔබ තුල තවමත් නොවිසඳුණු ගැටළුවක් ඇත. ඒ සිංහ පීකුදු පිට්ටනියකට එන්නේ කෙසේද යන්නයි. සිංහ පීකුදු අප වෙත ගෙන එන්නේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ප්‍රසන්නයි. ඔහු සේවය කරන්නේ ඔහුගේ බාප්පාට අයිති අයිඩා ස්වර්ණාභරණ ආයතනයේය. එහෙනම් සුද්දන් මාර්ගයෙන් සිංහ පීකුදු අපවෙත එනවා යයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් දකුණු අප්‍රිකාව වැනි රටකින් හැරෙන්නට සිංහ පීකුදු කෙසේ මෙහි ගෙන එන්නද ?

ප්‍රසන්නගේ මුහුණට සමාන මුහුණක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැක. ක්‍රිකට් පිස්සෙකු වූ ඔහු අත යහමින් මුදල් ගැවසේ. ගෙල වටා බැඳී රන් කඹය එයට සාක්ෂි සපයයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් ස්මිත්ට සමාන රූ සපුවක් ඇති ඔහු නිතරම සිනා මුසු මුහුණින් සහ විහිලු තෙපලමින් කල් ගෙවයි. ක්‍රීඩාංගනයට එන්නේද ඔහුගේ මෝටර් සයිකලයෙනි. පොලීසියේ සාජන් වරයාද ඔහුගේ හොඳම මිතුරෙකි. සිංහ පීකුදු හා පොල් කෑම කෙතරම් රසවත් දැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. ඇත්තටම සිංහ පීකුදු මොන රස ඇත්ද ? මා නම් කිසි දිනක කටේ තබා නැත. සමහරවිට වේලාපු ගෝන මස් රස මෙන් විය හැක. නමුත් ප්‍රසන්න නමැති මේ තරුණයා ඔහු විසින්ම ඔහුට අමතා ගන්නේ සිංහ පීකුදු යනුවෙනි. අපේ ගමේ ඕනෑම කෙනෙකු ඔහු හඳුනාගෙන ඇත්තේ සිංහ පීකුදු ලෙසය. අද මෙන් එදා පච්ච කෙටිල්ල තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔහු පපුවේ පච්චයක් ලෙස "සිංහ පීකුදු" කොටා ගනු ඇත. 

මා වරක් ඔහුගෙන් එහි තේරුම අසා ගත්තේ වාසනාවටය. නැතිනම් ඔහේ කියන්නං වාලේ මටත් සිංහ පීකුදු යනුවෙන් මුමුණ මුමුණා ඉන්නට හැක. අද දින ඔබ වෙත ගෙන එන්නේ එදා දූරදර්ශීව ගත් ඒ තීරණය නිසාය. 

"මචං කැලේ රජා කවුද ? සිංහයා. සතෙක්ගේ තියෙන හොඳම කෑල්ල මොකක්ද පීකුදු. ඉතිං සිංහ පීකුදු කියන්නේ ආයේ කාටවත් සෙකන්ඩ් නැති රජ පොරක්ටනේ. ඉතිං මම එහෙම නැද්ද ? "

ඇත්තටම කෙනෙකුට සිංහ පීකුදු අවශ්‍ය නම් http://www.exoticmeatmarkets.com/lionliver1lb.html වෙත යන්න.

_____________________________________________
ප්‍රසන්න නොහොත් සිංහ පීකුදු කොහේ හෝ ජීවත් වනවා යන්න මගේ විශ්වාසයයි. නමුත් ජෙමස්සිනා පිලිබඳ කිසිම ආරංචියක් නොමැත. ඔහු එකල පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස රැකියාවට ගියේ තම පවුලට තිබූ දුෂ්කරතාවන් පමණක්ම නිසා නොව, සහෝදර දේශපාලනයට සම්බන්ධව ඔත්තු බැලීමට එය කදිම අවස්තාවක් වූ බැවිණි. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැත.
_____________________________________________
කාට හරි කමෙන්ට් කරන්න හොඳ නමක් නේ සිංහ පීකුදු ?

Saturday, September 7, 2013

මහින්දට ඇන්දූ හැටි ......

මහින්ද කිව්වම ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හිතට එන කෙනෙක් ඉන්නවනේ. එයාව අන්දන්න මට පුළුවන් කියලා හිතෙනවද ? කීයටවත් බෑ. අනිත් එක ලංකාවේ ඉන්නේ එක මහින්දද ? තව මහින්දලා කීප දෙනෙක් ගැන දැන් ඔයාලා හිතනවා ඇති. අර මහින්ද අබේසුන්දරද ? නෑ නෑ එයත් නෙවෙයි. මේ අපේ ගමේ මහින්ද ගැන. 

මහින්ද කියන්නේ මගේ ගමේ ගෙදර ඉස්සරහ ගෙදර හිටිය(දැනුත් ඉන්නවා) කෙනෙක්. මිනිහාගේ චරිතය මට හමු වෙච්ච පුදුමාකාර චරිත වලින් එකක්. අද හවස අපේ ඔෆිස් එකේ මිතුරන් එක්ක කථා කරනකොට තමයි මේ මතකය අවධි වුණේ. මහින්ද මට වඩා අවුරුදු හයක් හතක් වැඩිමල්. මම ඉස්කෝලේ යන්න පටන් ගන්නකොටත් මිනිහා පහේ පන්තියේ. මම හයවෙනි පන්තියට යත්දීත් මිනිහා පහේ පන්තියේ. මහින්ද වගේම එයාගේ අයියාත් පහේම තමයි හිටියේ. ඒ අපේ අල්ලපු වත්තේ තියෙන මහා ඉස්කෝලේ නොහොත් කුමාර කණිෂ්ඨ විද්‍යාලේ. 

හැමදාමත්, හැමදේදීත් අපිත් එක්ක තරග වැදුණේ මේ අයිය මලෝ දෙන්නා. මුලින්ම වෙසක් තොරං වලින්. අපි ඒ කාලේ වෙසක් කාඩ් එකතු කරලා තොරං හැදුවේ. මට වෙසක් කාලෙට පුදුම තොරං පිස්සුවක් හැදෙන්නේ. එක පාරක් අපි හදපු තොරණක් පහුවදාට එලි වෙනකොට හොරු අරන් තිබුණා. අන්තිමට මගේ හොඳම යාලුවා වෙච්ච සම්පත්ට මේ කේස් එක අහු වුණා. වැඩිය අකුරු බැරි මේ ජෝඩුව උස්ස්පු වෙසක් කාඩ් වගයක් දීලා සම්පත්ගෙන් මොනවා හරි ඉල්ලලා. සම්පත් මගේ කණේ තිබ්බා හොරා කවුද කියලා. 

මහින්දලාගේ අක්කා සුවිස් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා රට ගියා. ඉන් පස්සේ තමයි මහින්දලාට සියලු සැප සම්පත් පහල වුණේ. ටික කාලෙකින් ගේ සම්පූර්ණයෙන්ම නවීකරණය කලා. කැසට් රෙකෝඩර්ද, කලර් ටී.වීද, ෆ්රිජ්ද  ලෝකේ නැති ජාති එහෙට එන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගෙදර කැසට් රෙකෝඩර් එකක් ගත්තේ නෑ. හේතුව අපේ අධ්‍යාපනයට බාධා වෙයි කියලා. ඒ වුණාට මහින්දලා නොමිලේම අපිටත් සිංදු ඇහෙන්න සැලැස්සුවා, අපේ ඉලීමකින් තොරවම. එක කැසට් එකක් ගෙනාවාම ඒක සතියක් විතර එක දිගට පුනර්වාදනය වෙනවා. මල්වත්ත පාර වගේ. ඒ නිසා කිසිම ගැටළුවක් නැතිව මට සිංදු කට පාඩම් හිටියා. අපේ අම්මා නිතරම අහන එකක් තමයි "මොකක්ද අර කනත්තක් ගැන යන සිංදුව කියලා". ඒ මිල්ටන් මල්ලවාරච්චි එච්. ආර්. ජෝතිපාල  මහත්මයා ගායනා කරන "පාලු සුසානේ ප්‍රේම පුරාණේ" කියන ගීතය.  තව කාලෙකදී "බඹර පහස ලබන මලක්දෝ" කියන එක ඇහිලා අපේ තාත්තා ඇහුවා "මොනවද මේ යක්කු අහහ සිංදු" කියලා. ටික කාලයක් යනකොට කම්මලේ බල්ලෝ වගේ එයාලටත් ගානක් නැතිව ගියා. 

ටික කාලයක් යද්දී අක්කා සල්ලි එවලා ගත්තා වෑන් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ පෝසත් අය විදියට එයාලම හඳුන්වා ගත්තා. මහින්දගේ අයියා මහේෂ් කතා කරනකොට නිතරම කියන වචනයක් තමයි "පෝසත් කමට කියනවා නෙවෙයි" කියන එක. ටික කාලෙකදී මේ පෝසත් කමට ගැලපෙන්න පොමනේරියන් පොමරේනියන් බල්ලෙක් ගෙනාවා. මහින්දලාගේ ගෙදර තියෙන්නේ පාරේ මට්ටමට වඩා අඩි තුනක් විතර ඉහලින්. අර මම කලින් ලිව්වා සිරියලතා කට්ටියගේ ගෙදරට බද්දව වම් පැත්තේ. නිකමට හිතන්න මේ ගෙවල් දෙකේ කැසට් රේකෝඩර් දෙකේ සිංදු දෙකක් යද්දී අපට දැනුන ආතල් එක කොහොමද කියලා. නියමම මල්වත්ත පාර. ඉතිං ඔය පොහොසත්කමට ගැලපෙන අනිත් දේ තමයි ඉංග්‍රීසි. කාලයක් සුද්දෝ පස්සේ ගිහිං මේ අයියා මලෝ දෙන්නට පොඩි පොඩි ඉංග්‍රීසි කෑලි පුළුවන්. දැන් අර පොමියා පාරේ දුවනකොට ඒ ගෙදර අය මහා හයියෙන් කෑ ගහනවා "ගෙටප් ... ගෙටප්" කියලා.

මේගොල්ලෝ පොහොසත් වෙන්න කලින් දවසක ගඟේ නාන්න ගිහිං. අපේ ගෙවල් ලඟම තමයි බෙන්තර ගඟේ විශාල කලපුව කොටස තියෙන්නේ. අලුත්ගම - බෙන්තර අතර කිලෝ මීටර් එකක් විතර පළල්. පහලවත්ත පාර කියන පාරට යාබද කොටසේ තියෙනවා කළු ගලක් ගොඩබිමට කිට්ටුවම. ඒකට කියන්නේ මහගල ගියලා. මහගලට අඩි පහලවක් විතර ඈතින් තියෙනවා තවත් පොඩි ගලක්. මේ හරිය තරමක් ගැඹුරයි. මේ දෙන්නා දවසක් මෙතන නානකොට මුහුදේ(කරදියේ) ඉඳන් ගඟට(මිරිදියට) ආපු යෝධ කට්ටාවෙක් වල්මත් වෙලා ඉන්නකොට අතින්ම අල්ල ගන්න මේ අයියා මලෝ දෙන්නා සමත් වුණා. අඩි හයක් විතර උස මේ යෝධ මාළුවා අහු වුණ සන්තෝසෙට දෙන්නා ඒකව කර ගහගෙන, ගම දෙවනත් කරගෙන ඇවිත් තිබුනේ අමු නිර්වස්තරෙන්. අනිත් අය හිනා වෙද්දී මේ දෙන්නට හිතිලා තියෙන්න මාළුවා දැක්ක සන්තෝසෙට තමයි මේ හිනා වෙන්නේ කියලා. ඒ වෙද්දී මේ දෙන්නගෙන ලොකු එක්කෙනාට අඩු ගානේ අවුරුදු පහළොවක් වත් වෙනවා.

මේ ගොල්ලෝ ලබා ගත්ත පොහොසත් කමත් එක්ක ගමේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කම නිකම්ම මහින්දට දෙන්න සිද්ද වුණා. මළපොතේ අකුරක් බැරි මහින්දට මේක දෙන්න මුලින් මුලින් අකමැති වුණ අයටත් පස්සේ කැමති වෙන්න වුණා. ඒ වගේ තරගෙක තියෙන ලොකුම අභියෝගය තමයි පිටින් එන කණ්ඩායමට දිවා ආහාරේ දෙන එක. මහින්ද පොහොසතා හින්දා තනියම වුනත් ඒ වැඩේට කර ගහන්න ඉදිරිපත් වෙන ගානේ ඒ කාලේ හිටියේ. ඉස්සර ඉනිම දෙකේ තරග වල අපි වගේ පොඩි එවුන්ට චාන්ස් එකෙක් දෙන්නේ බොහෝ විට දෙවෙනි ඉනිමේ. එක පාරක් මගේ පන්තියේ යාලුවෙක්ගේ ගමේ ටීම් එක ආවා. මහින්දට චාන්ස් එක දෙන්න හිටියේ දෙවෙනි ඉනිමේ. කොහොම හරි තරගේ දිනන්න ඕන කමට නායකයා දෙවෙනි ඉනිමට ඒ වෙලාවේ කඩා පාත් වුණ කාව හරි දාලා. දැන් මහින්ද මහා හයියෙන් කෑ ගහලා අඬනවා "මාව මැච් එකට දාන්න බැරි නම් මගේ මිරිස් කරල් ටික දීපං" කියලා. එදා දවල් කෑමට සම්බෝල හදන්න මිරිස් දීලා තියෙන්නේ මහින්ද. මගේ පන්තියේ යාලුවා මාව නැති කරා ඔය කතාව මතක් කරලා. "මොනවද බන්. උඹලගේ ගමේ ඉන්නේ දීපු මිරිස් ආපහු ඉල්ලන එවුන් නේ" කියලා.

මහින්දට හොඳට ක්‍රිකට් ගහන්න බැරි වුණත් මැච් එකේ ආරම්භක පිතිකරු හා පන්දු යවන්නා වුනෙත් මහින්දමයි. අන්තිමට මේ නායක කමින් මහින්දව එලවා ගන්න බැරිව කට්ටිය මාර දුකක් වින්දා. සමහරු කණ්ඩායම හැරදා ගියා. හරියට ලංකාවේ ලොකුම පක්ෂේ වුණා වගේ. මෙගොල්ලොත් ඒ පක්ෂෙම තමයි. බලන්න ඕනේ චන්දෙ කාලෙට අපි අනිත් පැත්තේ හින්දා අපිට ඇහෙන්න රේඩියෝ එකේ ප්‍රේමදාස උන්නැහේගේ කතා යන වෙලාවට මහා හයියෙන් ගමටම නොමිලේ අහන්න සලස්සන හැටි.

මහින්දට ආවේනික වචන සෙට් එකක් තිබුණා. බොහෝ ඒවා මට අමතක වුණත් සබන් වලට රබන්, පිඟානට පිනාව වගේ වචන පාවිච්චි කළා. මහින්ද තරුණයෙක් වෙනකොට අපේ ගමේ හිටිය ලස්සන් කෙල්ලෙක්ට මේකාගේ හිත වැටුනා. ඉතිං මල වදේ අපිට ඒ කෙල්ලව සෙට් කරලා දෙන්න කියලා. කෙල්ලගේ නම සේපාලිකා. අපිත් ඉතිං උදව් කරන පොරොන්දුවට ඌව මෝරා කරගෙන බනිස් මාළු පාන් කෑවා. මහින්දට අකුරු බැරි නිසා මේ කෙල්ලට මේ අදහස කියා ගන්න විදියක් නෑ. කරන ලොකුම දේ තමයි කෙල්ල ක්ලාස් ගිහින් එනකොට අලුතෙන් ගත්ත පුෂ් බයික් එකෙන් කෙල්ලව පහු කරලා යන එක. නිකම්ම නෙවෙයි අක්කා එවපු වයිවාරන ඇඳුම් ඇඳගෙන, සෙන්ට් එහෙම ගහලා.

දවසක් මායි සුසන්තයි කල්පනා කරා මූට අන්දන්න. ඒ කාලේ කැලැන්ඩර් වල මුල් කොලේ එන්නේ නිකං. අපි කරන්නේ ඒ වගේ ඒවා කටු වැඩ වලට පාවිච්චි කරපු එක. මහින්දගේ මේ ප්‍රේමෝන්මාදය දැකලා දවසක් හවස මහ ඉස්කෝලෙට ගිය අපි දෙන්නා අර කිව්ව කැලැන්ඩර් කොළයකින් කපලා ගත්ත කොටසක ලිව්වා ලියුමක්. ඒ කාලේ මගේ අත් අකුරු මුතුකැට වගේ. බොහෝ දෙනෙක් ලව් ලෙටර් ලියා ගන්න එන්නේ මං ගාවට. අනේ එහෙම කාලයක්. කාලා, කාලා ඉස්මුරුත්තේ හැදෙන ගානයි. ඔරෙක්ස් පෑනත් ඉතිං ඒවාටම කියාපු භාණ්ඩේ. මේ කාලේ මහින්දගේ අක්කා ඇවිත් හිටියා. ඒ වගේ දවස් වලට මහින්දලා යන්නේ පොළොවට ටිකක් උඩින්. සමහර වෙලාවට අපිවත් ගණන් ගන්නේ නෑ. ඒ වෙනකොට මම කෙල්ලෙකුට ලියුම් ලියලා නැති වුනත් අනිත් අයගේ අදහස් අකුරු කරලා ඒවායේ ලියවෙන්න ඕනේ දේවල් මගේ හිතේ ගබඩා වෙලා තිබුණා. අපි ලිව්වා මෙන්න මේ වගේ ලියුමක්.

නිසල රැයක,
ආදරණීය මහින්ද වෙත(අපිට මොකෝ අපේ අතින් යනවැයි. අපි දන්නවා මෙහෙම ලිව්වම ඌට මාර අප් වෙන බව)
අනේ මහින්ද ඔයාලගේ අක්කා ආවට පස්සේ ඔයා හරිම ආඩම්බර වෙලා. වෙනදා මම ක්ලාස් ගිහින් එනකොට මගේ පස්සෙන් ඇවිත් මාව පහු කරගෙන යන ගමන් අහිංසක විදියට මං දිහා හැරිලා බලලා හිනා වෙන ඔයා, අද ඉස්සරහට හම්බ වෙලත් අහක බලං ගියා නේද ? මට ඒ වෙලාවේ මාර දුකක් ඇති වුණේ. කොහොමත් අක්කා ආවාම ඔයා ටිකක් ආඩම්බර වෙනවා. එන්න එපා අක්කා ගියාට පස්සේ මගේ පස්සෙන්. මම තාත්තට කියනවා.
ඔයා වගේ පෝසත් කට්ටිය අපි වගේ දුප්පත් අයට කැමති වෙයිද මන්දා. අපේ අම්මයි - තාත්තයි දැන ගත්තොත් මට හොඳටම බැනුම් අහන්න වෙයි. මේ ලියුම ලිව්වෙත් හරිම බයෙන්. එහෙනං ඉරිදා පන්සලේ බෝධි පූජාව වෙලාවට හමුවෙමු. 
ඔයාට බුදු සරණයි.  
 මම ඔයාගේම 
සේපාලිකා.

මේ ලියුම අරගෙන ගියේ සුසන්ත. මම මොනවත් නොදන්නා ගානට හිටියා. ඒ වුණාට දවස් දෙකකට පස්සේ මහින්දලාගේ අක්කා (මල්ලිකා) මට ටිකක් සැරෙන් කථා කළා.

"මෙහෙ එනවා - තමුසේ නේද මේ ලියුම ලිව්වේ"
"මොන ලියුමද ? කාටද ? මම දන්නේ නෑ"
"දන්නේ නෑ, බලනවා මේක දැකලා මේ යකා පිස්සු වැටිලා. මට කතා කරනවා මේ කෙල්ලගේ ගෙදර ගිහින් කතා කරමුයි කියල. මේවා ගස් යන වැඩ. ඉන්නවා මම මේක ඉස්කෝලේ මහත්තයටත්(අපේ තාත්තා) පෙන්නලා, ඒ කෙල්ලගේ තාත්තට දෙනවා.
මේක ඇහුවම මට කලිසම තෙත් වෙන ගානට බය හිතුණා. මේ කොළ කෑල්ලට මෙච්චර පරිප්පුවක් කන්න වෙයි කියලා මට හිතුනේ නෑ. සුසන්තයත් ඉන්නවා පැත්තකට වෙලා. මම බිම බලා ගත්තා. මට දැන් කඳුළු එන්න ලඟයි වගේ. කී තැනකින් කන්න වෙයිද ? මම කෙලින්ම නතර වුණේ ගෙදර. ඒ වුණාට එතනින් එහාට මොනවත් වුනේ නෑ. අන්තිමට මහින්දගේ හීනේ කඩා වැටිච්ච එක විතරයි වුණේ. මම යාන්තමට ශේප් වුණා. මේක කරමුම කියලා මට වද දීපු සුසන්තයා ඉන්නවා කිසි ගානක් නැතුව. මොකද මේ දවස් වල මල්ලිකාව බයිසිකලේ තියාගෙන එහෙ-මෙහෙ යන හින්දා ඌටත් සරුයිනේ.

මේක  මම පොඩි කාලේ වෙච්ච දෙයක්. අපේ ගෙදර ඉඳලා ටිකක් ගම ඇතුලට යනකොට හමු වෙන ලන්දේසි ඇල ළඟ තියෙන පාලම ගාව හැම ඇසල පෝයටම තොරණක් හදනවා. මේක කරන්නේ විජේසේකර පවුලේ අය. විවිධ දක්ෂතා තියෙන අය ඒ පවුලේ ඉන්නවා. විල්ෆ්‍රඩ් සර්ට චිත්‍ර අඳින්න පුළුවන්, ඇල්ටන් අන්කල්ට ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. අනිත් අයට එනවුන්ස් කරන්න පුළුවන්. මේ තොරණ හදන තැනට දවසක් මහින්දයි මායි ගියා. මම වතුරට පොඩ්ඩක් බය නිසා හිටියේ මහින්දගේ පිටිපස්සෙන්. ඇල කණ්ඩිය ගාව අඩි අටක් විතර උසයි. එතන ගැට්ට සිමෙන්තියෙන් හදලා තිබුණේ. කවුදෝ එකෙක් පස්සෙන් ඇවිත් මාව තල්ලු කළා, මම මහින්දගේ පිටට අත් දෙක තියලා බේරුණා. ඒත් මහින්ද කෙලින්ම ඇලේ. මම උඩට වෙලා බලාගෙන ඉන්නවා. වටේ ඉන්න හැමෝටම හිනා. ටිකක් එහාට ගිහිං ගොඩට ආව මහින්දයා අලි ගලක් උස්සන් මං පස්සේ පන්නන්න පටන් ගත්තා. මම කෙලින්ම නතර වුණේ ගෙදර.

ඉස්සර මමත් මහින්දලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා කැරම් ගහන්න. මේකට අපේ අම්මා වැඩි කැමැත්තෙන් නෙවෙයි හිටියේ. ඒ ගෙදරට නානාප්‍රකාර අය එන හින්දා. කොටින්ම සුද්දන් පවා ගෙදර එක්කන් එනවා. එහෙම නිතරම එන බ්‍රයන් කියලා සුද්දෙක් හිටියා. බ්‍රයන් එන්නේ මොන මාසෙද, ඒ මාසේ මහින්දගේ උපන් දිනයක් එනවා. ඒ එන්නේ බ්‍රයන් යන්න දවසකට කලින්. ඉතිං පාටියක් දෙනවා, ඒකට තෑග්ග විදියට සුද්දා ගේන්නේ, ලංකාවට එනකොට අරන් එන කැසට් රෙකෝඩරය.

එක සැරයක් මහින්දගේ තාත්තා මේ කැරම් බෝඩ් එකට අලවංගුවෙන් ඇන්නා. අපේ කැරම් ක්‍රීඩාව එතනින් නතර කරන්න අපි කැමති වුණේ නෑ. මගේ ගාව තිබුණා තිනර් වලට රෙජිෆෝම් දාලා හදපු බොහොම ප්‍රබල ගම්එකක්. මම එකෙන් මගේ ෂර්ට් එකක්කත් හිලක් හදුනා තැනකට කෑල්ලක් තියලා ඇලෙව්වා. නියම ගම් එක. පස්සේ ප්ලයිවුඩ් කෑල්ලක් හොයාගෙන, අර හිල් වුණ තැන අඟල් හතරේ හතරේ කෑල්ලක් කියත් පටියකින් බොහොම සීරුවට කපලා අයින් කරා. හොඳ වෙලාවට යටින් තියෙන ආධාරක ලීයට මොනවත් වෙලා නෑ. එතනට අර ගෙනාපු ප්ලයිවුඩ් කෑල්ල තියලා ඇලෙව්වා. අතර මැද්දට බොරික් කුඩු සහ ගම් එකෙන් හදපු මිශ්‍රණය පිරෙව්වා. මේ දෙක අතර ඝනකම් වල පරතරයක් නිසාදෝ මුලින්ම එතැනින් පාරවල් ගහද්දී ඩිස්ක් එක ඉදිරියෙන් ඉන්න කෙනාගේ මූනට එන තත්වයක් තිබුණා. පස්සේ වැලි කඩදාසියකින් ෂේප් කරා. ටික දවසකින් තිබුන තත්වෙට ආවා.

මහින්ද හැමදාම කැපිලා පෙනෙන්න මොනවා හරි කරනවා. එක පාරක් බොරු පිස්සුවක් වගේ අරගෙන තොයිලයක් කරා. මිනිහා ඒකෙ ආසම කෑල්ල තමයි පුටුව යටින් රිංගන එක. ඒක කරලා පහුවදා හිටියේ මාර උජාරුවකින්. එක අතකට මහින්දලාගේ අක්කා පව්. අවුරුදු විසි ගණන් වෙලත් කිසිම වැඩක් පලක් නොකරන මේ අයියා මලෝ දෙන්නට බත සරි කරේ මල්ලිකා. තොයිලෙන් පස්සේ තමන්ට කෙල්ලෝ ආකර්ෂණය වෙයි කියලා තමයි මහින්ද හිතාගෙන හිටියේ. ඒ කාරණේටම තමයි පන්සලේ බෝධි පූජාව වෙලාවට සුරප්පට්ටුව වාදනය කරන්න මිනිහා ඉදිරිපත් වුණේ.

පින්තුරය ගත්තේ : www.artway.eu
එක පාරක් අවුරුදු උත්සවයක් බලන්න යන්න සුදානම් වෙලා අක්ක එව්ව අලුත්ම ඩෙක්ස් පෙයාර් එක දාගත්තා. දාගත්තට මට පෙනුණා ඇවිදිනකොට පොඩි වෙනසක්. ඩෙක්ස් වල හැඩයෙන් ඒ තරමටම වම දකුණ පෙන්නේ නෑ. මහින්ද සපත්තු දෙක දාලා තිබුණේ කකුල් මාරු කරලා. 89/90 අඳුරු යුගයේදී මේ අයියා-මලෝ දෙන්නව ඇල්පිටිය කෑම්ප් එකට කුදලන් ගිහිං තිබුණා. බේරුනේ අනුනවයෙන්.

මෑතකදී සංචාරක හෝටල් රස්සාවක් කරනවා කියලා දැන ගන්න ලැබුණා. පහු කාලීනව මිනිහා හෘද රෝගියෙක් වෙච්ච නිසා මොනවත් කරන්නේ නෑ කියලත් ආරංචියි. මේ සටහනට එකතු කරපු කාරණා සියල්ල සත්‍ය ඒවා. සිතා-මතා ගොතාපු කිසිම කරුණක් නෑ. මේ වගේ චරිත බොහොමයක් අපේ කාර්යාල වලත් ඉන්නවා. වෙනස උගත්කම විතරයි. නමුත් මහින්ද කියන්නේ  බොහොම අව්‍යාජ චරිතයක්. 

Wednesday, August 21, 2013

සිරියලතා ...... සිරියලතා ......

ලංකාවට මොකක් ආවත් ඒක කෑලි යන්න පට්ට ගහන එක අපේ තරුණ පරම්පරාවේ සිරිත. මගේ මුල්ම මතකය තියෙන්නේ ඩිස්කෝ, ඊට පස්සේ බ්රේක් ඩාන්ස්, යෝ - යෝ. ආයි ඉතිං වසංගත ගානට ගිය ඒවා තමයි. තව දාහක් දේවල් තියෙනවා. මොනවා ආවත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා යන්න ගතවෙන්නේ දවස් කිහිපයයි. ෆේස්බුක් එකත් ඒ වගේ පැතිරිලා බිමට වැටෙන්නේ නැතිව එක වගේ නැගලා යන අලුත්ම වසංගතේ. බොරු කියන්න ඕනේ නෑ මේ මමත් ඕකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. 

ඒ වගේම මොනවා ආවත්, ඒක දෙකේ කොලේට වට්ටන්න අපේ අයට ගත වෙන්නෙත් සුළු කාලයයි. දැන් ඒ වගේ නැති වෙන්නම නැගල යන සීන් එකක් තමයි ෆොටෝ කමෙන්ට්. "ආඩම්බරයි පුතේ", "අම්මප කියහන්කෝ", "කුමක්ද ඔබ පවසන්නේ" මේ වගේ නැගලා යන (මට) ෆොටෝ කමෙන්ට්. ෆේස්බුක් එකේ ගෘප් හැදිල්ලත් එච්චරයි. නිර්මාණශීලී ඒවා ගොඩක් අතරේ කොප්ප ගහන එවුනුත් නැත්තේම නෑ. මුලින්ම කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය ආවා. පස්සේ කජු කියන එකට ආදේශක කීයක් නම් ආවාද ? එතකොට තමයි අර මම ටික කාලෙකට කලින් ලියපු, තරුණයා පත්තරෙත් ඵල වෙච්ච තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ලොල් කතාව  සිහියට එන්නේ. මේ වගේ තව ටිකක් නිර්මාණශීලී ග්රූප් එකක් තමයි සිරියලතා. කවුරුත් පාවිච්චි කරන්නේ නැති නමක් ඒ අය යොදාගෙන තියෙන්නේ. 

සිරියලතා කිව්වහම මට නිතරම හිනා යන කතන්දරයක් මතක් වෙනවා. මේක වෙලා බොහොම කාලයක් වුණත්, සිද්දිය මට අද වගේ මතකයි. අපේ ගමෙන් ගෙදර ඉස්සරහම ගෙවල් තුන හතරක් එකටෙක යාබදව තියෙනවා. හරියට නගරයක කඩ සාප්පු පේලියක් සිහි ගන්වමින්. වත්ත මැදට වෙන්න ගේ ගානේ තිබ්බ ඒ කාලේ අපිට මේක හරි මැජික් වගේ දෙයක්. මේ ගෙවල් වලින් දෙවෙනි ගෙදර හිටියේ බොහොම අහිංසක පිරිමියෙක්, යකඩ හයියක් තියෙන ගැහැණියෙක් සහ හදා ගත්ත දරුවෙක්. අර අහිංසක මනුස්සය වැඩ කරේ අලුත්ගම නගරයේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ. නිතරම හිස නවලා අහිංසක හිනාවක් පාන මනුස්සයා. අර කාන්තාව වගේ චරිතයක් මම දැකලා තියෙන්නේ චිත්‍රපටි වල විතරයි.

Photo Credit : http://www.flickr.com/photos/humanityashore/
උදේ හතරට විතර ඇහැරෙනවා, අනුන්ගේ වතු වල වැටිලා තියෙන පොල් අතු දහයක් පහළොවක් අහුලාගෙන කෙලින්ම ගඟට යනවා. පොල් අතු ටික ගඟේ තෙමෙන්න දාලා කඹයකින් ගැට ගහලා, ඊලගට යන්නේ අපේ නැන්දලාගේ වත්තට. ඒ රෑ තිස්සේ වැටෙන දිවුල් ඇහිඳින්න. එහෙම නැති කාලෙට පාරේ වලවල් වල ගැලවිලා තියෙන කළුගල් ඇහිඳීනවා. මෙහෙම එකතු කරපු ගල් වලින් තමයි ඒ ගෙදරම බිමට සිමෙන්ති දාන්න අවශ්‍ය ගල් එකතු කරේ. පිලිගන්නත් අපහසුයි නේද ? ගෙදර එක පොල් ගහක් නැති වුණාට පොල් අතු දෙසීයක් විතර මාසෙකට විකුණනවා. ගෙදර තියෙන පුංචි කඩේ ආදායමෙන් ඒ ගෙදර හැම වරිච්චි බිත්තියක්ම කඩලා සිමෙන්තියෙන් හැදුවා. අවසානයේ වහලත් පිළිසකර කළා. අර ප්‍රියංකර කොලුවාගේ වාසනාව කියලා තමයි ගමේ හැමෝම කිව්වේ. නමුත් ඇත්ත කතාව, අර යකඩ ගැහැනියගේ අප්‍රතිහත දහිරිය.  අන්තිමට ගමේ ඉන්න පෝසත්ම අය වෙන්නත් මේ කාන්තාවගේ දහිරිය හේතුවක් වුණා. 

විවිධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තරගයට වගේ අරගන්නත් මේ අය පසුබට වුණේ නෑ. ගමේ අයට පොලියට මුදල් දීමත්, සීට්ටු ආරම්භ කිරීමත් මේ කාන්තාවගේ ඊළඟ ව්‍යාපාරික අංශ වුණා. නමුත් මේ කාන්තාවගේ නරක පුරුදු කිහිපයකුත් තිබුණා. ඒ අර අහිංසකයා ගෙදර නැති අවස්ථා වල ගමේ තරුණයන් සමග හාද පවත්වපු එක. ඒකට අහිංසක සැමියා සිරිල්ගේත් වැඩි විරුද්දත්වයක් තිබුණ පාටක් නෑ. එහෙම හිතෙන්න එක  හේතුවක් තමයි කට ගොන්නක් බීගෙන එන සිරිල්ගේ  අයියා වෙච්ච පියදාස(අපේ තාත්තාගේ පොතේ එන චරිතයක්) එතන නිතරම කරන ගෝරනාඩුවේදී අඩු වැඩි වශයෙන් මේ නම් කිහිපයක් කියවීම. නමුත් ඔහු ආපු වෙලාවට සිරිල්, ලතා හෝ සිරිල්ගේ මව එලියට එන්නේ නෑ. අපේ තාත්තා කියන විදියට සිරිල්ට මේ ගේ ලියා දී පියදාස පාරට බැස්සවීම තමයි මේකට හේතුව. පියදාස සේවය කරේ නගරසභාවේ. ඉතිං මේ වගේ හැසිරීමක් අර නැගී එන ව්‍යාපාරික යුවලට දරා ගන්න ටිකක් අමාරු වුණා. ඒත් කිසිමදාක ඔහුට විරුද්දව ක්‍රියා කරන්න ඔවුන් ඉදිරිපත් වුණේ නෑ. 

පියදාසගේ හිතේ වැඩිපුරම වේදනා දුන්න කාරණේ එලියට ආවේ පොඩ්ඩක් සප්පායක් වෙච්ච වෙලාවට. ඔහු ඒ නිවසට කිට්ටු කරන විට ගායනා කරන එකම එක සින්දුවක් තිබුණා. ඒ මිල්ටන් මලල්ලවාරච්ච් ගායනා කරන 

සමාව දෙනු මැන - සමාව දෙනු මැන වරදක් වූවානම්
ගීතය. ඒ කාලේ මේ ගීතය අසා නොතිබුන අපි හිතුවේ මෙය මව් ගුණ ගීතයක් කියලා.  පියදාසගේ වැඩ-කිඩ වෙනම ලියන්න වටිනවා. පියදාස සොහොනේ කොටසක අටවගත්ත පැල් කොටයක තමයි ජීවත් වුණේ. පොඩි කාලේ මම ආසම චරිතයක්. ගමේ ඕනෑම මල ගෙදරක, මගුල් ගෙදරක ස්වේච්චාවෙන් වැඩ කරන්නේ. 

ඉතිං අර ගෙදරට ගෙනාපු ඉලෙක්ට්‍රික් භාණ්ඩ අතරේ නැගලම යන එක වුණේ කැසට් රෙකොර්ඩර් එක. හේතුව තමයි මෙහා පැත්තේ ගෙදරත් එක්ක තරගෙට කැසට් වාදනය කරපු එක. අපිටත් ඉතිං මාර චාන්ස් එක. මල්වත්ත පාරේ ගියා වගේ. දවසක් ප්‍රියංකර, ඒ කියන්නේ මේ යුවලගේ පුත්‍රයා ඇන්ටන් ජෝන්ස්ගේ කැසට් පටයක් වාදනය කර එහි යන ගීතයකට මහ හයියෙන් අත්වැල් අල්ලාගෙන ඉන්නකොට, එතනින් බයිසිකලයක් පදවාගෙන ආවා කට කැඩිච්ච කොල්ලෙක්. 

ප්‍රියංකර : පොළොන්නරුවේ පොඩි විජේ ....

බයිස්කල්කරු : බොලැ අම්මගේ පොඩි විජේ ..

කියමින් මුළු ප්‍රදේශයම හින්ස්වමින් පලා ගියා. ලපටි කොලු පැටියකු වූ ප්‍රියංකරට මේකේ හයක් හතරක් නොතේරී "අම්මේ" කියාගෙන ගෙට දිව්වත්, අහල පහල අය සිනහා උපදවා ගත්තේ අර කාන්තාවගේ රහස් සබඳතා ගැන දන්නා නිසා. 

ප්‍රියංකරත් මගේ ලොකු මල්ලීත් එකම පන්තියක අධ්‍යාපනය කරපු නිසා, මල්ලී නිතරම ප්‍රියංකරගේ කතාවල් ගෙදර ඇවිත් කියනවා. මෙහෙම එක දවසක් ලජ්ජාවෙන් මුහුණ රතුකරන් ආව මල්ලි නියම කතාවක් දිග ඇරියා.

මේගොල්ලෝ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා - ටීචර්ලා ඒ වුනාට සිංදුවක් වත් නෑ. බලන්න ඕනේ ප්‍රියංකරලගේ අම්මලා-තාත්තලා ගැන සිංදුවකුත් තියෙනවා. ඒගොල්ලෝ පොඩි පොඩි වැඩ කරාට, අලුත් කැසට් එහෙක ඒ දෙන්නා ගැන සිංදුවක් යනවලු.
හරි දැන් මොකක්ද සිංදුව ? ඒගොල්ලෝ ඔය මහා හයියෙන් දාගෙන ඉන්න සිංදු ඔක්කොම මගේ කාමරේට ඇහෙනවනේ. මම නොදන්නා එකක් වෙන්න බෑ.
වෙන මොකක්ද ඉතිං සිරිල්-ලතා... සිරිල්-ලතා.... සිරිල්-ලතා ...
මේක අහලා මට හිනාව නවත්තගන්න පැය කාලක් විතර ගියා. අන්තිමට අපේ අම්මගේ සැර කිරිල්ලට තමයි මම හිනාව නවත්තලා කතාව කිව්වේ. මොකක්ද දන්නවද සිංදුව 
සිරියලතා - සිරියලතා මගේ සිත ගත් සුදු කෙල්ලේ ...
මගේ පෙම් ලොව එලිය කලේ ...
ඔබේ පෙම් සිනාවයි - ඔබේ සිනාවයි  
 ලස්සන වීඩියෝ එකක් තියෙනවා යූ ටියුබ් එකේ. බැලුවට පාඩු නෑ.

______________________________________________
මේක මුලින්ම ලොල් කතාවකට ලියාගෙන ගියේ පස්සේ ඔන්න ඔහේ සිරියලතා කළා.

Sunday, May 5, 2013

ආර්.ආර්. සමග කැසිනෝවකට .......

ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර පිරිසක් එකතු වේ. රාත්‍රී 9 වනවිට බෙන්තර වෙරළට ගොස් පසුදා උදෑසන 2-3 අතර කාලයේදී නිවසට ලඟා වීම සාමාන්‍ය පුරුද්දයි. එහෙත් 1994 දෙසැම්බර් 31 වනදින සවස පහ වනවිට මා සිටියේ අපේ ගමට ආසන්නම නගරය වන අලුත්ගමයි.
පින්තුරය ගත්තේ : www.casinoonlinesites.com

එසේ අලුත්ගමට වී සිටින්නට හේතු කිහිපයක්ම විය. ඒ රිවරිනාවේ වැඩකළ මගේ අතිජාත මිතුරා වන සේනාරත්න මුණ ගැසීමටයි(මා රිවරිනාවේ රැකියාවෙන් ඉවත් වුයේ එම වසරේ අප්‍රේල් මස මුල් කාලයේදීයි. මේ වනවිට මා රැකියා විරහිතව සිටියෙමි). ඔහු නොමැති දිනක නම් චන්දන හෝ වික්‍රම මුණ ගැසේ. මා අදත් මේ අය නියම මිතුරන් සේ සලකමි. මන්ද කෙනෙකුට දුකේදී සිටින මිතුරන් ප්‍රමාණය අල්ප වීමය. එසේත් නොමැති නම් මගේ තවත් හොඳ මිතුරකු වන ලාල් (ලාල් ටේලර්ස් අධිපති) සහ විජිත් අයියා(ජීවතුන් අතර නැත) සමග ලාල්ගේ කඩයට වී සල්ලාපයක යෙදී සිටීමි. මේ කිසිත් නැතිනම් අලුත්ගම විද්‍යාල ක්‍රීඩාංගනයට ගොස් එහි සිටින ගාමිණී ප්‍රියන්ත, සමරේ අයියා, චබ්බා ඇතුළු පිරිස සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනෙමි.

එහෙත් මේ කියන 31 වෙනිදා සවස මා සිටියේ මගේ මස්සිනාට අයිති ව්‍යාපාර ස්ථානයේය. ඒ වනවිට එහි අනුර නැමති මගේ මස්සිනාගේ මිතුරාද විය. ඔහු එම වෙළඳ සැලේ කළමනාකරු ලෙස සේවය කරයි. කුමක් හෝ කාරණයකට මෙතනට  ආර්.ආර්. යනුවෙන් කව්රුත් දන්නා සූදු අන්තුවා ගොඩ විය. අලුත්ගම නගරයේ අය ඔහුත් සමග එතරම් සුහද ගනුදෙනුවක් කලේ නැත. සුදු සරමකින් සහ දුහුල් සුදු කමිසයකින් නිතරම සැරසී සිටින ඔහුගේ කරේ බොහෝ විට රත්‍රං චෙන් එකක්ද වේ. ඇඳ සිටින කමිසයෙන් විනිවිද ඔහුගේ බැනියම පවා පෙනේ. එය එතරම් දුහුල් කමිසයකි. අත්දිග කමිසයේ අත් දෙපොටක් පමණ නමා ඇත. ඔහුගේ උඩු තොල සහ නහය අතර කර ඇති ශල්‍ය කර්මයක ප්‍රතිපලයක් නිසා ඔහුගේ කතාව මුක්කම් ස්වභාවයක් ගෙන තිබේ. ඒ කතාව අසා හිනා නොවී සිටීමට හැක්කේ පුරුදු කාරයෙකුට පමණි. මුලදී ඔහු කියන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට පවා අපහසුය. ඔහුගේ එක කකුලක් අහිමි වී ඇත්තේ මන්දැයි කියන්නට කලාතුරකින් ඔහු මුණ ගැසෙන්නෙකු වූ මම නොදනිමි. ඒ වෙනුවට ප්ලාස්ටික් කකුලක් යොදා ඇත. එසේ තිබියදීද කඩිසර ගමනින් යන්නේ ඔහුගේ මුක්කං කටින් දොරේ ගලන්නා සේ වචන ගලා ඒමට සමගාමීවය.

ආර්.ආර්. යනු ඔහුගේ නමේ මුලකුරුය. ආර්.ආර්. යන්නේ තේරුම කියන්නට ඔහුවත් දන්නවාදැයි සැකසහිතය. මන්ද ආර්.ආර්. යනු අකුරු දෙකක් නොව වචනයක් බවට පෙරලී ඇති නිසාය. නිතරම විහිලු සහ අවකැපෙන වචන කියන්නෙකු නිසා ඔහු සිටිනා විට කවුරුත් ඔහුට කථා කරන්නට ඉඩ හැර බලා සිටී. ඔහුගේ මුළු ජීවිතයම කැසිනෝ සහ රේස් ඔට්ටු සඳහා ගතකල බව බොහෝ දෙනා පවසයි. නිතරම රේස් ඔට්ටු ජය ගැනීමේ කලාව ඔහු දවසක් විස්තර කළා

"මං මචං එචඥ කොම්පියුචර් ගාඥ මල්ලී අල්ඥ් ඉන්ඥ්. ඌච පොජි සිග්ඥාල් එකක් දුන්නම ඌ ජානවා මං කියඥ ඥොකියෝ"
ඔහු මේ කියන්නේ එතන සිටින පරිඝනක ප්‍රවෙශකයා අල්ලාගෙන ටිකක් ප්‍රමාද වී තමන්ගේ අශ්වයන් අල්ලන බවය. එය කරන්නේ අර ප්‍රවේශයාගේ පරිඝනකයේ වෙලාව වෙනස් කිරීමෙනි. ඔහු කවදත් මෙවැනි දේට දක්ෂය. එක් වරක් ඔහු ලක්ෂ තිස් ගණනක් කැසිනෝ වලින් දිනාගෙන ඇත. කවුරුන් හෝ දුර බලා දුන් අවවාදයක් නිසා ඔහුගේ දරුවාගේ නමින් ඉඩමක් සහ නිවසක් මිලදීගෙන ඇත. නැතිනම් ඔහුට එම මුදල විනාශ කරන්න ගත වන්නේ සතියක් නැත්නම් දෙකක් පමණි. එම ඉඩම විකුණන්නට බැරි වුනත් එම නිවසේ තිබෙන සියලුම කොටස් ගලවා විකුණා සූදු කෙල ඇත. එහෙත් කව්රුන් දුරදිග බලා දුන් උපදෙස නිසා ඔහුට ඉඩම විකිණීමට නොහැක.

මේ කියන දවසේ හවස පහ විතර වනවිට කොහෙන්දෝ පැමිණ ඔහු පාත් වනවිට එදිනට එම ව්‍යාපාරික ස්ථානය වසන්නට සුදානම්ය. හනි-හනිකේ පැමිණි ආර්.ආර්. දුරකථන ඇමතුමක් ගන්නා ලද අතර අප අමතා
"අජ නිඥම ගමඥක් යමුජ චපිල අයිඥේ. අජ කැෂිඥෝ යෙකේ කෑඥාම බීම ඥියමයි"
අන්තිමට අපි දෙදෙනාත්, අනුර අයියාත් ආර්.ආර්. සමග ගමනට එකතු වීමු. දැන් වාහනය කොළඹ දෙසට ගමන් කරයි. මා එදින දමාගෙන සිටියේ රබර් සෙරෙප්පු දෙකක්. මෙය දුටු ආර්.ආර්. වහාම දෙහිවල හන්දියේ වාහනය නවත්වා රුපියල් හත්සිය ගණනකට මට ලෙදර් සෙරෙප්පු කුට්ටම අරන් දුනි. මට පුදුමාකාර සතුටක් ඇති වුවත් එය නොපෙන්වන්න වග බලා ගතිමි. රාත්‍රී හත වනවිට ගෝල්ෆේස් අසල ඇති රිට්ස් නමැති කැසිනෝවට ගොඩ වන්නට අපිට හැකි විය. කළුතර හරියේදී මටත් අනුර අයියාටත් සාක්කුවට දමා ගන්නට රුපියල් 25,000 බැගින් දුන්නේ ඇයිදැයි වැටහුනේ එයට ඇතුලත්වී විනාඩි 10 ක් පමණ ගිය විටය. ඇතුල්වන දොරටුව අසලදී ආර්.ආර්.

මේ ඉන්ඥනේ මගේ කච්චියක්. කෝ ගඥ්ඥ මල්ලි ශ්‍යල්ලි.
මට තිබූ ගැටලුව මගේ මස්සිනාගේ සාක්කුවට ඔහු මුදල් නොදමුයේ ඇයිද යන්නයි. ඇතුල් වූ ගමන්ම අප අත බෙන්සන් පැකට් එක බැගින් තබන ලද අතර  මා වටපිට බලනවිට විවෘත කර එක සිගරට්ටුවක් මදක් ඇද තිබූ සිගරට් පැකට්ටුව තුලට යලිත් එම සිගරට්ටුව ඔබා සාක්කුවේ දමා ගන්නා අනුර අයියා දැක මමද ඉතා අපහසුවෙන් එම ක්‍රියාව අනුගමනය කලෙමි. මෙවිට මැද්දට පැන්න ආර්.ආර්.
යපි කාඥා යිමු ඥේද ?
කීය. අපද දෙවරක් නොහිතාම ඔහු පසුපස ගමන් ගතිමු. එහි රෙස්ටුරන්ට් එක තරු පන්තියේ හෝටලයක ඇති රෙස්ටුරන්ට් එකකට සමානය. සියළුම වර්ග වල මත්පැන්ද, බියර් වර්ග සහ වයින් වර්ගදඑයට ඇතුලත්ය. අනුර අයියා මෙවැනි තැන් වලදී පසුබට නොවන්නෙකි. මුලින් බ්ලැක් ලේබල් විස්කිද, පසුව පිදුරුතලාගල වන් බත් පිඟානක්ද පුරවාගෙන වාඩි විය. 

කෑමෙන් අනතුරුව අප ක්‍රීඩා කරන පෙදෙසට ලඟා වීමු. අපේ සාක්කු වලින් මොහොතකට පෙර ඇදගත් මුදල් වලට ලබාගත් ටෝකන් වර්ගය දාදු කැටයක් ආදාරයෙන් ක්‍රීඩා කෙරෙන මේසයකට ගොස් එහි ඔත්තේ වලට රුපියල් 20000 ක ටෝකන් තැබුවා නම්, ඉරට්ටේ අංකයක් වෙනුවෙන්ද තවත් 15000 තබන්නට ඔහු අමතක නොකළේය. මේ අමුතුම පාහේ ක්‍රීඩාව දුටු එහි සිටි අනෙකුත් විදේශිකයන් වහා එම මේසයෙන් ඉවත් වියා. ආර්.ආර්. යනුවෙන් ඔහු අමතා "ප්ලේ ස්ලෝලි" යනුවෙන් පැවසුවද, ඔහු ගෙනා සියලුම මුදල් එකම මේසයේ, එක් රවුමකට තබා අවසානය. 

ඔහු දෙපහ්ත්තටම ඔට්ටු ඇල්ලු බැවින් සුළු මුදලක් ජය ගත්තද, සමස්තයක් වශයෙන් ඔහු ගෙනා මුදලින් භාගයකට වැඩි කොටසක් පරාජය විය. මීළඟට ඔහු ලඟා වුනේ අර කෝවක් වැනි කැරකෙන යන්ත්‍රය තිබෙන තැනටය. ඔහු අත ඉතිරි වූ සියළුම ටෝකන් එහි අංකයක් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීය. මෙවර ඔහු අන්ත පරාජයක් ලැබීය. මේ අතර වාරයේදී තවත් සිගරට් පැකට් එකක් ගෙනවිත් අප අත තැබීය. මා එවරද එය අකුලා සාක්කුවේ දම ගතිමි. රුපියල් පනස්දාහක් විනාඩි කිහිපයක පරාජය වුවද, සත පහක ගානක් ඔහුට නොවීය. මේ අතර මගේ මස්සිනා එහි වූ වෙනස් මේසයක පුංචි ඔට්ටු තබමින් යම් ටෝකන් ප්‍රමාණයක් දිනා තිබුණි. 

මෙය දුටු ආර්.ආර්. ඔහුගෙන් රුපියල් පන්දාහකට සරිලන ටෝකන් ණයට ඉල්ලා ගෙන නැවතත් පෙර මෙසයටම ලඟා විය. පෙර පරිදිම එහි සිටි සියළුම විදේශිකයන් පැත්තකට විය. ආර්.ආර්. ට මේ කැසිනෝ වලට ආධුනිකයෙකු නොවන බව මා දැන සිටියත් ඔහු කියන කතා පම්පෝරි යයි කලින් සිතා සිටියද, මද වෙලාවක් යන විට ඔහු කවුද යන්න වටහා ගත හැකි විය. මෙහි සිටි බොහෝ දෙස්-විදෙස් සූදුකරුවන් ඉතා හොඳින් සැරසී සිටි අතර, අප සිතනා තරම් පහත් මට්ටමේ පුද්ගලයන් යයි සිතිය නොහැක. කොටින්ම එය රස්තියාදුකරුවන්ගේ තිප්පොළක් යයි සිතා සිටි මගේ අදහස සම්පූර්ණයෙන් වෙනස් විය. වැදගත් සිතිය හැකි, සහ සැමියා සහ බිරිඳ පවා එකට ආ අය විය. ඇඳ සිටි ඇඳුමෙන් බැලුවා නම් එතනට නොගැලපෙන පුද්ගලයා මා විය. එහි පැමිණ සිටි බොහෝ දෙස් විදෙස් සූදුකරුවන් සන්ද්‍යා උත්සව ඇඳුමෙන් සැරසී උන්හ.

නැවතත් තම අත වූ රුපියල් පන්දාහකට සරිලනට ටෝකන් ප්‍රමාණයම එකවිට ඔට්ටු ඇල්ලූ ආර්.ආර්. එවර ජය ගති. මා හැරී බැලුවේ අනුර අයියා කොහෙද කියායි. ඔහුගේ අත බලන හැම මොහොතකම විස්කි වීදුරුවක් විය. සමහර මොහොතක ඔහු සිටිනා අන්තය බැලු කල ඔහු නොවීය. සැනෙකින් මා බැලූවේ මස්සිනා සිටිනවාද කියාය. ඔහු සුපුරුදු ස්ථානයේ කුඩා ටෝකන් ප්‍රමාණයක් සමගය. තවත් වරක් අත ඇති සියළුම මුදල් ඔට්ටු ඇල්ලු ඔහුට, ණයට ගත් රුපියල් පන්දාහද, ඔහු ගෙන ආ රුපියල් පනස්දාහද බේරා ගැනීමට හැකි විය. මේ වනවිට අනෙකුත් මේස වල සිටි අයද ඔහුගේ වික්‍රමය බැලීමට මේ මේසය වෙත ලඟා වී තිබිණි. තවත් සුළු මොහොතකින් නව වසර උදා වන නිසා එහි රැස්ව උන් සියලුම දෙනා ඉන් එලියට ආහ. ඒ මල්වෙඩි සංදර්ශනය බැලීමටය.

එහි අයිතිකරුගේ පුත්‍රයා පසුගිය සතියේ මරා දමා ඇති බවද, එසේ නොවන්නට කදිම මල් වෙඩි සංදර්ශනයක් සහ ආහාර පාන මෙහි දැකගත හැකි යයිද ආර්.ආර්. හෙළි කළේය. මට තවමත් ගැටළුව වී ඇත්තේ රුපියල් පන්දාහකින් රුපියල් පනස්පන්දාහක් වට තුනකට අඩු ගණනකින් ඔහු දිනා ගත්තේ කෙසේද යන්නයි. අදටද මෙය මට මහා ප්‍රහේලිකාවකි. ඔවුන් ගෙවන ආකාරය ගැන නොදැන ඒ ගැන සිතීම නිෂ්ඵලය. තවත් සුළු මොහොතකින් සියලුම දෙනාට කෙටි ආහාර සමග තේ පැන් සංග්‍රහයක් ලබා දුනි.

රයිච් යපේ ගාඥ හරි, අපි ජමු.
කී ආර්.ආර්.ගේ විදානයට අවනත වූ අප සියලුම දෙනා ඊළඟට නැවතුනේ මුදල් ගෙවන කවුන්ටරය වෙතය. ගෙනා මුදල් ප්‍රමාණය නැවතත් රහස් සාක්කුවක සඟවා ගත් ඔහු, කපිල අයියා දිනා ඇති ප්‍රමාණය විමසීය. ඔහු රුපියල් තුන්දාහක් යොදවා රුපියල් දොළොස්දහස දක්වා එය වර්ධනය කරගෙන තිබුණි. ඔහු දිනූ මුදලින් රුපියල් දාහක් මගේ අත තැබීය. අනුර අයියාටද දාහේ කොළ කිහිපයක් ලබා දුන් අතර මේ ගමනෙන් වඩාත්ම ඵල නෙලා ගත් පුද්ගලයා ඔහු විය. ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"මම එතන ඉන්න ගමන් බෙන්සන් පැකට් 12ක් වාහනයට ගෙනත් දැම්මා, විස්කි ෂොට් අටක් දා ගත්තා"
සත පහක වත් වියදමක් නැතිව ඉහත දේ ලබා ගන්නට ඔහු වාසනාවන්ත වී ඇත. මටද එය බෝනස් දවසක් විය. හොඳ ආහාර වේලක් සමග රුපියල් දාහක් මගේ අතද විය. ඊට අමතරව ලෙදර් සේරෙපු යුගලක්ද ලැබිණි. සමස්තයක් වශයෙන් අපි කවුරුත් පරාජය වී නැත. ආර්.ආර්. ගේ ගේම් ඒ වාගේය. නමුත් හිටපු ගමන් මග තොටකදී ආර්.ආර්. මුණ ගැසුණු විට, බස් එකේ යන්නට රුපියල් පනහක් ඉල්ලා ගන්නා ඔහු කිසි දිනක ඒවා ආපසු ලබා නොදෙන අතර, ඔහුත් මමත් බස් රථයක එකම වෙලාවක ආවා නම් ටිකට් ගත්තේ ඔහුය. බම්බලපිටියේදී ඔහු මුණගැහුණු විටක කඩයකට කැඳවාගෙන ගොස් ඇති පදම් කන්නට බොන්නට අරන් දීම ඔහුගේ පුරුද්දය. ආර්.ආර්. සූදු අන්තුවෙකු වුවද ඔහු තුල හොඳ පරිත්‍යාගශීලී මිනිසෙකු විය.

 එවැනි ස්ථානයකට ජීවිතයට යන්නට කිසිදා බලාපොරොත්තු නොවූ මා, එහි ගිය එකම සහ අවසන් වතාව එය වුවද, එම අවස්තාව ගැන අදටත් කිසිදු පසුතැවිල්ලක් නැත. අද මෙසේ ඔබ සමග බෙදා ගන්නට එම අත්දැකීම ලැබීම සතුටට කරුණකි. නමුත් ඉන් පසුව කිසිම දිනක මා කැසිනෝවකට පය තබා නැත. ඔබද යා යුතු නැත. මන්ද එය මිනිසුන් එක් රැයකින් හිඟන්නන් කරවන අරුමු පුදුම යන්ත්‍රයක් බැවිනි. එම ස්ථාන වල සේවය කරන සේවකයන්ට එම ක්‍රීඩාව වගේම ටෝකන් හැසිරවීම ගැන ඇත්තේ මනා නිපුනාතාවකි. පසුව එවැනි තැනක සේවය කල මගේ මිතුරකුගෙන් දන ගත්තේ එක රැයකට රුපියල් තිස් හතලිස් දාහක් වැනි මුදලක් සන්තෝසම් වශයෙන්ම සොයා ගත අවස්ථා ඇති බවය. නමුත් දිගින් දිගටම පරාජය වුවහොත් රැකියාව අහිමි වීමේ අවදානම ඇති බවද ඔහු පැවසීය. මේ ස්ථාන පාඩු ලබනවා නම් ඔයතරම් මහේශාඛ්‍ය ලීලාවෙන් ඕවා ක්‍රියාත්මක වන්නේ නැත.

ආර්.ආර්.ගේ වචන උච්චාරණය ඒ අකාරයෙන්ම මෙහි සඳහන් කලේ ඔහුට පරිභව කරන්නට නොව, මෙය කියවන ඔබට ඔහු ගැන නිවැරදි චිත්රයක් මවා ගන්නටය. 

Monday, April 15, 2013

අවුරුදු උත්සව රස කතා ... 2

එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන. 

අමරබන්දු අයියා කියනවද ? අංකල් කියනවද කියලා මට හිතා ගන්න බැරි එතුමා මට වඩා අවුරුදු බර ගානක් වැඩි නිසා. කොහොම වුනත් කමක් නෑ අමරබන්දු අයියා කියමුකෝ. එයාගේ එනවුන්ස් කිරිල්ලත් මම පාසල දරුවෙක් විදියට පාරට දුවගෙන ගිහින් සයිකල් රේස් බලන කාලේ ඇහුන එකක්. ඒත් පසුකාලීනව ඔහුත් සමග එකම වාහනයක සයිකල් තරගයක නිවේදන කටයුතු කරන්න ලැබුනා. ඒ එක්තරා කාලයක් අතුරුදන්(ඒ කියන්නේ අපේ ගමේ නොයිඳ, වෙනත් ප්‍රදේශයක හිටපු එක) වෙලා ඉඳලා මතු වුන කාලෙක. මේ කාලෙදී සුචරිතරත්නත් මමත් තමයි එනවුන්ස් කලේ. අමරබන්දු අයියාට තියෙන්නේ ප්‍රතාපවත් කටහඬක් කියලා මම භය නැතිව කියනවා. ඒ හඬත් එක්ක ගත්තම අද කාලේ එෆ්.එම්. වල ඉන්න ගිරා පොතකයන්ට තියෙන්නේ මොන වගේ හඬවල්ද කියලා හිතෙනවා. 

මේ කාලයේදී මම කවදත් දෙවෙනියා නිසා මේ දෙන්නටම මගෙන් තරගයක් තිබ්බේ නෑ. නමුත් ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්න බැරි නිසා එක්කෙනක් හලන්න මේ දෙන්නා හොඳ සටනක් දුන්නා. සුචා එක අතකින් අපත් සමග වඩා කුළුපග පුද්ගලයා, ඔහුත් මමත් එකතු වී තමයි අර සංගීත ප්‍රසංග වේදිකාවේ පහලින් ගහන අඩි 50 x 4 දිග බැනර් එක අඳින්නේ. මේක අපි දෙන්නා අඳිනවා කිව්වට මෙහෙමයි කෙරෙන්නේ. ඔය සංචාරක නිවාඩු නිකේතනයේ තියෙනවා දිග කොරිඩෝවක්. ක්‍රීම් පාට ඉටි රෙද්දක් ගෙනල්ලා ඒක ඔය කොරිඩෝවේ දිග අරිනවා. 

පහුවදා උදේ වෙන්න කලින් ඇඳලා ඉවර කරන්න ඕනේ. මේක වෙන්නේ සයිකල් තරගය දවසේ රෑ. කොහෙන් හෝ හොයා ගන්න යාරේ කෝදුවකින් අකුරු ඇඳෙන්න ඕනේ රුල් දෙක ඇඳ ගන්නවා. මේකේ අකුරු වල ස්කෙච් එක ඇඳෙන්නේ මගේ අතින්. ඊට පස්සේ තමයි පාට කරන වැඩේ තියෙන්නේ. අපි අතරින් සුචාටයි, මටයි විතරයි අත ගැහෙන්නේ නැතිව, ඒ වගේම අයින දිගේ ලස්සනට පින්සල ගෙනියන්න පුළුවන්. ඉතිං අපි දෙන්නා කරන්නේ මේ අකුරු වල පිටත කොටස පාට කරලා දෙන එක. අනිත් අය නම් වශයෙන් කිව්වොත් සුබසිංහ(ජීවතුන් අතර නැත), සරත්(ජීවතුන් අතර නැත), අජිත්, රෝහණ ලා දෙන්නා ඇතුළු තවත් පිරිසක්. මේ අතරේ මෙතනට එකතු වෙලා කතා කර කර ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි නිදිමත නැති කරන්නේ අමිත අයියා, සිරි අයියා, රත්නසිරි, නලින් අයියා, සමන් ධර්මරත්න(ජීවතුන් අතර නැත). මේ කාලයේදී මුළු නහයම ටර්පන්ටයි ගඳින් පිරිලා. මම මුලින්ම කොත්තු රොටි කෑවෙත් මේ කාලේ තමයි.

එක දවසක් තවත් කුඩා කටවුට් එකක් ඇඳ ඇඳ ඉන්නකොට අමරබන්ධු අයියා මතු වුණා. ඒ ආතර් පියසිරි මහතාගේ ගෙදර. ඒ වෙලාවේ එතුමාගේ පුතා වන රංජිත්(රංජි බා) හිටියා. දැන් රංජි බා එක්ක මිනිහා දෙනවා නැව් ටෝක් එකක්. ඒ තමන් ගාමිණි දිසානායක මහතා ඉන්න වේදිකාවක සංගීත ප්‍රසංගයක් එනවුන්ස් කරපු හැටි. 


අමරබන්දු අයියා : රංජි මල්ලි කියලා වැඩක් නෑ, මම මහවැලි ස්ටේජ් එකක එනවුන්ස් කළා. අර මියුසිකල් ෂෝ වල තියෙන තඩි සවුන්ඩ්ස් දන්නවනේ. අන්න ඒවා දාලා තිබුනේ. 

රංජි බා (කවදත් ජොලියට බර අනිත් අයට හොඳට බයිට් දෙන්න දක්ෂ පුද්ගලයෙක්) : හරි අමරබන්දු අයියා පොඩ්ඩක් එනවුන්ස් කරලා පෙන්නන්න කරපු විදිය. 

අමරබන්දු අයියා (මයික් එකක් ලෙස අත ගුටි කර මුව ලඟට ගෙන) : බෙන්තොට...ට...ට...ට.. ක්‍රීඩා ....ඩා...ඩා...ඩා... සමාජය ...ය...ය...ය.. අභිමානවත් ...ත්...ත්... ලෙසින්...සින්...සින්...සින්.. 

අපි දෙන්නට හොඳටම හිනා. 

රංජි බා : එතකොට මොකක්ද ඔය සින්..සින්.. සින්... ගෑවේ 

අමරබන්දු අයියා : ඒ තමයි මල්ලි එකෝ එක. ඔය මයික් වලින් කතා කරනකොට ඔහොම තමයි ඇහෙන්නේ. 

අපි දෙන්නට තවත් හොඳටම හිනා. 

මෙයා ඇවිත් තියෙන්නේ සයිකල් රේස් එක තියෙන දවස දැන ගන්න. අපි දිනයත් කියලා වලව්ව ගාව මිනිහට ඉන්න කියලා පොරොන්දු කර ගත්තා. මේක අහපු වෙලාවේ ඉඳලා සුචා වැඩ වර්ජනය කරන්න හදනවා. එතකොට රංජි බා ම ප්ලෑන් එකක් දුන්නා. 

"අපි මෙහෙම කරමු. උඹ මෙතනට ඇවිත් නැගපන්. කළුතර ගිහිං ගාල්ලේ යනකොට දැක්කේ නෑ වගේ යමු"

ඒකට නම් සුචා හොඳටම කැමති වුණා. අදාළ දිනයේ මේ කටයුතු සඳහා භාවිතා කරන මයිනර් කටුව අරගෙන ආවේ සංචාරක මණ්ඩලේ සේවය කරන දක්ෂ කාර්මිකයෙක් වෙච්ච පත්මසිරි. මිනිහට ඕන වාහනයක් කැඩුනත් හදාගෙන යන්න පුළුවන්. අපි එයාට මේ කතාව කිව්වා. ඔන්න දැන් කළුතර ගිය වාහනය ගාල්ල පැත්තට කඩාගෙන යනවා. වාහනයේ ඉදියේ ඉන්නේ සුචා, මමයි සවුන්ඩ්ස් ගෙනියන කවි නන්දෙයි පිටිපස්සේ. කියපු තැනට වෙලා සුදු කමිසයකුත් ඇඳගෙන අමරබන්දු අයියා ඉන්නවා. අමරබන්දු අයියාට සමාන රුපයක් හිතට ගත්තොත් අපේ ජනාධිපති තුමා. ඒ වගේ උඩු රැවුලක් තියෙන, ඒ උසම ඇති , තරමක උදරයක් තියෙන, කෙනෙක්. මිනිහා ගාවදී හෙමින් ගිය වාහනය මිනිහා පහු කරලා මීටර් 15 ක් විතර ඈතින් නැවැත්තුවා. ඔන්න මිනිහා දුවගෙන එනවා. දැන් සයිකල් ධාවන තරග කරුවෝ අපිව පහු කරගෙන යනවා. සුචා දිගටම එනවුන්ස් කරනවා. ආයෙත් වාහනය ඉදිරියට ගියා. අමරබන්දු අයියා පස්සෙන් දුවගෙන එනවා. අතුරුවැල්ලේ තියෙන රේල් ගේට්ටුව ගාවට විතර ආවට පස්සේ වාහනය නොනවත්වාම ගියා. ආපහු හැරිලා බලපු මට පේනවා අමරබන්ධු අයියා අත් දෙකෙ ඉහලට ඔසවාගෙන බනනිනවා. මට පොඩි දුකකුත් ඇති වුණා.

වෙනත් වතාවකදී මේ වාහනය එක්තරා තැනකදී කැඩුනා. ඒත් විනාඩි පහක් යන්න කලින් හදාගෙන අපි පසුකර ගිය ධාවකයන් ඉන්න තැනට යන්න පත්මසිරි සමත් වුණා. සයිකල් තරග වලදී ධාවකයන් කරන එක දෙයක් තමයි ප්ලේස් කිරීම. ඒ කියන්නේ ධාවනය වන වාහනයක පිටුපසින් ගමන් කිරීම. මෙහෙම යනකොට ක්‍රීඩකයාව නිකංම ඇදිලා යනවා. පදින්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඉතින් මේ ප්‍රචාරක රථයටත් ඔහොම ප්ලේස් කරන්න හදනවා. එතකොට අපි කරන්නේ වාහනයේ වේගය බාල කරන එක. වේගය වැඩි කරලා නම් මොන විදියකටවත් හලා ගන්න බෑ. 

මේ වගේ තරගයක් එනවුන්ස් කරනකොට ආවේස වෙච්ච් කපුවා වගේ තමයි, සුචා, අමරබන්දු අයියා දෙන්නම වැඩ කරේ. සමහර වෙලාවට නැගිටින්න ගිහින් වාහනයේ ඔලුවත් වදිනවා. ඒ තරමට ධ්‍යානයකට සම වැදිලා වගේ කෑ ගහන්නේ. මේ කෑ ගැහිල්ල වැඩි වෙච්ච් තරමට තමයි සෙනග පාරට එන්නේ. මේ දෙන්නම කරන වැඩක් තමයි සෙනග වැඩි තැන වලදී එනවුන්ස් කරලා, සෙනග අඩු තැන් වලදී මගේ අතට මයික් එක දෙන එක. ඉතිං වෙන කරන්න දෙයක් නැති කමට මමත් ඔහේ එනවුන්ස් කරගෙන යනවා. සමහරවිට මට ආවරණය කරන්න වෙන ප්‍රමාණය වැඩියි. තරග අවසානය කිට්ටු වෙනකොට නම් මේ දෙන්නා මයික් එක උදුරා ගන්නවා. මමත් කැමැත්තෙන්ම මයික් එක දීලා දනිස් දෙකෙන් සීට් එකට නැගලා තරගය බලනවා. සමහරු නම් ජනේලය උඩ වාඩි වෙනවා. මම ඒක කරන්න ගියේ නැත්තේ ගෙදරින් ලැබුණු අවවාද නිසා. 
මේ ඉන්නේ සුචා. 

අපි මෙහෙම එනවුන්ස් කරගෙන යන්නේ පොලිස් බලතලත් අතට අරගෙන. ඒ කියන්නේ ඉදිරියේ එන වාහන ධාවන කරන්න ඕනෙද/නැත්ද කියලා අපි නිවේදනය කරනවා. බොහෝ අය සහයෝගයක් වශයෙන් වාහන නවත්වනවා. ඒත් සමහරු දිගටම එනවා. මෙහෙම ආපු එක් වාහනයක් දැකල සුචාට හොඳටම තද වුණා.

"ඉදිරිපසින් එන ලොරි රථය ඉදිරියෙන් වේගයට ගන්න"

සුචා මර හඬ දීලා කිව්වා. මේ වතාවේදී අපි නිවේදන කටයුතු කලේ පොඩි ලොරියක ඉඳගෙන. මේකේ අපේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා. ඉතිං මේක මතක තියාගෙන අවුරුදු ගාණක් යනකං සුචාව නැති කරා. ඇත්තටම කියන්න ඕනේ වුනේ "වේගයෙන් ඉදිරියට ගන්න" කියලා.  

සුචාට නිතරම සෙම තියෙනවා. මේක නිසා කතා කරනකොට නහය බර ගතිය නිසා අමුතුම වචන පිට වෙනවා. 

"පෙන්තොට ක්‍රීඩා සමාජය, අපිමානවත් ලෙසින් ඉදිරිපත් කරන මහා ක් මහා උළෙල" 

වගේ කියනවා තමයි එළියේ ඉන්න කෙනෙකුට ඇහෙන්නේ. ඒ නිසා සුචා මයික් එක අතට ගන්නවා කියන්නේ සිනා සාගරයක්. 

ආතර් අංකල්ගේ ගෙදර ඉන්නවා ඒ ගෙදර සේවය කරපු කාන්තාවගේ දරුවන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ නඩත්තුවත් ඒ ගෙදරින්මයි. බොහෝ විට එහේ ඉන්න නිසා මේ දෙන්නත් අනිත් අයට එතුමාගේ පාට් දාන පුරුදු වෙලා හිටියා. මෙයාලේ විශේෂත්වය තමයි ඔවුන්ට ආවේනික වෙච්ච් වචන. දෙන්නාගෙන් පොඩි එකා කුරු මොඩ්ල් එකේ එකෙක්. නවය වසරේදීත් අඩි 3 1/2 විතර තමයි උස. මේ පවුලේම අයට කවුරුත් ආමන්ත්‍රණය කලේ "බරසතයා" කියන සුරතල්(ද?) නමින්. මේ බරසතයෝ දෙදෙනාත් පුවත් මවන්නන් වෙලා හිටියා ඒ කාලේ. රංජි බා කියන වචනයත් මෙයාලගේ නිර්මාණයක්. ඒ රංජි බබා කියන එක වෙනුවට. 

මේ කුරු මොඩල් බරසතයා එක වරක් අපේ නිවේදන කටයුතු කරන වාහනයට බලෙන්ම වගේ නැග්ගා. ආතර් අංකල් කිව්වා කියලා තමයි නැග්ගේ. එදා ඉදිරිපස අසුනේ හිටියේ මම. මේ වෙනකොට තරගකරුවන් එක්රැස් කර ගන්න නිවේදන නිකුත් කරමින් උන්නේ. මේ වෙලාවේ අසු හාර දාහට නැග්ග පත්මසිරි
"බැහැපිය වේ*** පුතා. තො*** අම්ම....."
 කියල එකදිගට කුණුහර්ප වැලක් කියාගෙන ගියා. මගේ අතේ තිබ්බ මයික් එක මම ජනේලෙන් එලියට දානකොටත් මුළු ගමටම අර පණිවුඩේ ගිහින් ඉවරයි. 

අපේ රංජි බා එක පාරක් සුචාගේ සාක්කුවට අත දාල උදේට කන්න කියලා තියාගෙන හිටිය රුපියල් 50 අරගෙන. ඒකට වාඩුව වශයෙන් සුචා කලේ එදා දවසේ නිවේදන කටයුතු වලින් වැලකුන එක. ඒ වගේ වෙලාවල් වලට මගේ කරපිට තමයි මේ වගකීම පැටවෙන්නේ. 

එක් වසරක සයිකල් තරගයේදී අහුංගල්ලෙන් ආපු තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් තරමක් ඉදිරියට ගිහින්. මේක කරලා තියෙන්නේ පොලිස් මෝටර් සයිකලය පිටිපස්සෙන් ගිහින්. අනිත් සයිකල් කරුවන් අම්බලන්ගොඩදී බයිසිලක් පාර හරහා දාලා බිම නිදාගෙන. තරගය වර්ජනය කරලා. විසි ගණනක් වගේ තමයි එදා හිටියේ. අපේ විනිශ්චයට ගිය අය එයාලව පොරොන්දු කරගෙන අර දෙදෙනා හා එකම සීමාවක තියලා යලිත් තරගය ආරම්භ කරනවා කියලා. මෝටර් සයිකලයකින් හඹාගෙන ඇවිත් අපිවත්, අර තරග කරුවන් දෙදෙනාවත් නැවැත්තුවා. බොහෝ වෙලා කල පැහැදිලි කිරීමකින් පස්සේ අර තරග කරුවන් දෙදෙනා කැමති වුණා එකම සීමාවකින් තරගය ආරම්භ කරන්න. අකුරලදී පැයක විතර ප්‍රමාදයෙන් තරගය ආරම්භ කරන්න තීරණය කළා. එතකොට මහා වැස්සේ අපි සියළු දෙනාම තෙත් බරිත වෙලා. තරග කරුවන් 17-18 එකට ඉඳලා නැවතත් තරගය ආරම්භ කරන්න දැන් සුදානම. මෙතනට වේගයෙන් ආවා සාජන් මහේන්ද්‍රන් මහතා සහ තවත් කෙනෙක් සමග පොලිස් මෝටර් සයිකලය. බැහැපු ගමන් අර පේලියට ඉන්න තරග කරුවන්ට ගුගුරා මෙන්න මේ වගේ කතාවක් සාජන් වරයා කිව්වා

"කොයි එකාද යකෝ පාර හරස් කරේ පදින්න බෑ කියලා. රේස් එක පදින්න බැරි එවුන් ඉන්නවා නම් දැන්ම අයින් වෙයල්ලා"

අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වුනේ. එක පාරටම මේකට නායකත්වය සපයපු සීඩිං ඇතුළු 10ක් පමණ බයිසිකල් හරවාගෙන ආපසු යන්න ගියා. අන්තිමට තරග කරුවන් 7 දෙනෙකුගෙන් තරගය ආරම්භ කළා. අර දෙදෙනා තමයි ජය ගත්තේ.

ඊට පස්සේ අවුරුද්දක නිවේදන කටයුතු වලින් බැහැර වෙලා තරගය අවසන් කරන තැන ජයග්‍රාහකයන්ගේ අංක ලියාගන්න බාරදූර කටයුත්තට එකතු වෙන්න මට සිදු වුනා. අවසාන රේඛාව ලග තැබූ මේසයක්, ඒ මත තැබූ බංකුවක්, ඒ මත තැබූ පුටුව උඩ තමයි මම හිටියේ. මට පහල බංකුවේ තරගය වීඩියෝ කරන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ සංචාරක මහතෙක්, ඊටත් පහලින් වසන්ත අයියා. බිමත් තව කට්ටිය හිටියා. වතුර ගැසීම් නිසා මේ අංක එක එක පැති වලට නැවිලා බොහොම අමාරුවෙන් තමයි, පිටේ හරි වම අතේ හරි තියෙන අංකය බලා ගන්නේ. මට පැවරිලා තිබුනේ 2,3,4,5 අයව ලියා ගන්න. ඒ වුනත් මම පුළුවන් තරම් ලියා ගන්නවා එක පොකුරට ආව වෙලාවට අනිත් අයට අතපහු වුනොත් කියලා. 

ඔන්න දැන් නිවේදකයාගේ හඬ (සුචා) ළඟ ළඟම ඇහෙනවා. දැන් කවුරුත් සීරුවෙන්. මග දෙපස ජනතාවගෙන් පිරිලා. අඩි 10-12 ක් අතරේ තමයි තරගය එන්නේ. මේ තරග අවසානය තිබෙන තැන පාරේ ලොකු වංගුවක් සහ කන්ද ඊළඟට පාළම. මට දැන් පේනවා 10ක විතර කණ්ඩායමක් එනවා. මම ලියා ගන්න පුළුවන් හරිය ලියා ගත්තා. මේ එක්කම මම දැක්කා වාඩි වෙලා හිටිය වසන්ත අයියා නැගිටිනවා. බතා නොහොත් වසන්ත 4 වෙනි තැන බව මම අංකය නොලියාම දැන ගත්තේ, කුඩා කල සිට හඳුනන කෙනෙක් නිසා. දැන් වාරය වීඩියෝ පටයා ආශ්‍රයෙන් නිවැරදි තීරණය දෙන්න. දැන් සංචාරක මහතා සමග අවසාන තීරණය දෙන කණ්ඩායම(පියල් වීරසේකර, ආතර් අන්කල් ඇතුළු) ගියා බෙන්තොට බීච් හෝටලයට. අපි කවුරුත් වාඩි වෙලා වීඩියෝව බලනවා. තරග කරුවන් රැස ආදී එනවා එක පොකුරට. ඊළඟට කාගේදෝ ඔලුවකින් මුළු වීඩියෝවම තත්පර 30ක් විතර වැහිලා. ඒ වසන්ත අයියාගේ බව මට එක පාරටම කියවුනා. එක පාරටම නැගිට්ටානේ. දැන් තීරණය ගන්න වුනේ මම සහ වසන්ත අයියා ලියපු එකෙන්. 

තමා දෙවෙනියා බව මේ වෙනකොටත් වසන්ත නොහොත් බතා එතන සිටි පිරිසට කියා තිබුනා. ප්‍රතිඵල නිකුත් කල විට ගියවර තරගය ජය ගත් අහුංගල්ලේ ක්‍රීඩකයා තමාට වීඩියෝ පටය නැරඹීමට අවශ්‍ය යයි පවසා සිටියා. මේ වෙලාවේ මට ගණදෙවි නුවනක් පහල වුණා. තරගයට පෙර සියලු නීති රීති සහිත අයදුම් පතක් ඔවුන් අත්සන් කරනවා. තරගයේදී සිදුවන ජීවිත අනතුරු වලට ක්‍රීඩා සමාජය වග නොකියන බවද, බයිසිකලයේ ෆ්‍රී වීලය දැති 12-14 සහ කොග් වීලය 48 විය යුතු බවද එහි සඳහන්. තරග අවසානයේ සියලුම බයිසිකල් වල මෙම දැති ගණන් කරනවා. මම ඔහුට පැවසු උත්තරයෙන් ඔහු තුෂ්නිම්භූත වුවා.

"ඔයාලා අත්සන් කරපු ඇප්ලිකේෂන් එකේ කොහෙවත් අපි කියලා නෑ තරග කරුවන්ට වීඩියෝ පෙන්වනවා කියලා"

නෑසෙන ගානට මොනවාදෝ මුමුනමින් ඔහු යන්න ගියා. තරගයේ ත්‍යාග ලබා දෙන මොහොතේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමා අතින් ත්‍යාගය ලබාගත් බතා නොහොත් වසන්ත එතනම ත්‍යාග ය පොලවේ ගැසුවා. ඔහු පසුපස හඹා ගිය ක්‍රීඩා සමාජයේ සමහරුන් සහ බතාගේ හිතවතුන් අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. එය අවසන් වුයේ අමිත අයියාගේ පිටට කවුරුන් හෝ එල්ල කල පිහි පාරකින්. 

මිතුරනි තවත් මෙවැනි රස සහ ත්‍රාසජනක අත්දැකීම බොහොමයක් තිබුනත් අද සටහන මෙතකින් නිමා කරනවා.  



Wednesday, March 27, 2013

වැරදි නැකතක ගොඩ කරන්නට පටන් ගත් බෙන්තොට වගුරු බිම.

පාසල් සිසුන් වශයෙන් ශ්‍රී ලංකාවේ වගුරු බිම් මොනවාද ? යන ප්‍රශ්නය ඇසූ විට අපේ දිව අගම තිබෙන පිළිතුර  මුතුරාජවෙලයි. මේ පිලිබඳ මගේ මතකය අවධි වුවේ රතු රජරට ලියා තිබෙන "නිම්හිම් නැති පරිසරයෙන් ගම්බිම් අතැර යන 'තෙත්බිම්' " කියන සටහන කියෙව්වාමයි.  එහෙත් බෙන්තොට ප්‍රදේශවාසී අපට අපේම වටපිටාවේ වගුරුබිමක් තිබුණා(තවමත් තියෙනවා). ඒ බෙන්තොට සංචාරක කලාපයට යාබදව, එක් පැත්තකින් ගාලු පාරටද, අනෙක් පසින් පිටාරඹ නමැති ග්‍රාමය තුලට වන්නට තිබෙන කුඩා ප්‍රමාණයේ වගුරක්. මා දන්නා තරමින් කිසිවෙකු මේ හරහා ගමන් කර නෑ. ඒ නිසා මෙය මිනිසාගේ පය නොගැටුණ ලෝකයේ තවත් එක් දුර්ලභ බිම් කඩක්. 

මේ තියෙන්නේ google map වලින් කපල හදා ගත්ත සිතියම.

ඉතිං රතු රජරට විස්තර කරන ආකාරාටම මේ වගුරත් දැනට අවුරුදු 10කට විස්සකට කලින් තිබුනට වඩා ගොඩ කරලා. මෙහි ඉවුරු වලට යාබදව ජීවත් වෙන අය මෙහි යම් ඉඩ ප්‍රමාණයක් ගොඩ කර ගැනීම නෙවෙයි මා අදහස් කලේ. මහා පරිමාණයෙන් සිදු වන ගොඩ කිරීම්. ඉහල පින්තුරේ මේ වගුර හරියටම දැක්වෙන්නේ නෑ. මම ඒක නිවැරදි ලෙස සලකුණු කළා. මේ ලංකාව හැඩයට නිල් පාටට තියෙන්නේ 

මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හැදුවේ වගුරෙන් කොටසක් ගොඩ කරලා.
බෙන්තර ගඟත් මේ වගුරත් යා කරන ඇල විශාල කරලා ලංකාවේ හැඩයට  සාදා ගත් පොකුණක්. මේ පොකුණ ගැන මම මීට කලින් පොලීසියේ හොරකමක් සටහනෙන් විස්තර කළා.  පහුගිය දවසක ගමේ ගිය වෙලාවක මම දැක්කා මේ පිටාරඹ පාර කියන හරියේ තැන කිහිපයක් ගොඩ කරලා ගෙවල් හදාගෙන තියෙනවා. ඒ වගේ දේවල් දැක්කම හිතට පොඩි කනගාටුවක් ඇති වෙනවා. කවදත් සොභාදහම ප්‍රිය කල පුද්ගලයෙක් වශයෙන් කනගාටුවක් ඇති වුනත් මේවාට විරුද්ද වෙන්න තරම් කාලයක් මට නෑ. අනිත් අතට මම දැන් අපේ ගමට පිටස්තරයෙක්. මේ වගුර මේ පිටාරඹ පාරෙනුත් ඔබ්බට තවත් ටික දුරකට විහිදෙනවා. මගේ මතකයට ආව තව සිද්දියක් තමයි ඔය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනය තිබෙන හරියෙන් ඇතුලේ අපි මාළු හොයන්න වෙල් ඉහින මෙහෙයුමකට කොලු කාලේ සහභාගී වුණා. අන්තිමට ඒක ගෙදරින් හොඳ තරවටුවකට ලක් වෙන්නත් හේතු වුනා. 

මගේ බලාපොරොත්තුව මේ අනවසර ගොඩකිරීම් ගැන තවත් විස්තරයක් එකතු කරන්න නෙවෙයි. නමුත් මේ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය හදන්න සහභාගී වූ මුල් පිරිසෙන් කෙනෙකු ලෙස ඇති වන කලකිරීමත් සමග. ඒ කාලේ පරිසර විනාශයේ ආදීනව හිතන්න තරම් මුහුකුරා නොගිය වයසක සිටි අපි, ක්‍රීඩා සමාජය තීරණය කරන ඕනෑම ව්‍යාපෘතියකට සහභාගී වුණා. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩකයෙක් වෙච්ච මම වගේ තිස් පහක් හතළිහක තරුණ කණ්ඩායමක් අපේ ක්‍රීඩා සමාජය වටා එකතු වෙලා හිටි ඒ යුගයේ, අපේ පුහුණුවීම සහ තරග සියල්ල බෙන්තොට ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේ පවත්වන්න සිදු වුණා. ඒකට පාසලෙන් වගේම අසල්වැසියන්ගෙනුත් බොහෝ විරෝධයන් තිබුණා. අපිටම කියලා ක්‍රීඩාංගනයක් හදා ගන්න තැනක් ගැන කල්පනා කරමින් හිටිය යුගයකතමයි මේ ස්ථානය එලි පෙහෙළි කරගන්න අපිට අවසර ලැබුණේ. අපි මේ ක්‍රීඩාංගණය හදනවට කැමැත්තෙන් හිටිය තව කොටසක් තමයි අවට තිබෙන සංචාරක හෝටල් සමුහය. මොකද ඔවුන්ගේ ක්‍රීඩා සහ උත්සව කටයුතු වලටත් මෙය පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් ස්ථානයක් පිහිටලා තිබුණා. 

මගේ මතකය නිවැරදි නම් ඒ 1986 හෝ 1987 වසර. මේ ක්‍රීඩාංගණය හැදෙනවා කිව්වම මටත් පුදුම සතුටක් ඇති වුණේ. මේ වෙනකොට ක්‍රීඩා සමාජයේ උප ලේකම් වරයෙක් වෙච්ච මට මෙහි බොහෝ වගකීම් පැවරී තිබුණා. ඒත් මේ වගේ ශ්‍රමදාන කටයුතු වලදීත් ශ්‍රමයෙන් දායක වෙන්නත් මට උනන්දුවක් තිබ්බා. මේ කියන දවසේ උදේ සුභ නැකතින් කිරිබත් කාලා අපි ශ්‍රමදානය පටන් ගත්තා. අපේ ක්ලබ් එකේ සියලුම සාමාජිකයන් මේ අවස්ථාවට ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වුණා. ඒ වෙත්දී මට තේරුමක් තිබුනේ නෑ අපි මේ අත ගහලා තියෙන්න විශාල පරිසර හානියක මුලාරම්භයකට කියලා. එහෙම හිතුනා නම් ඒ අවස්තාව කෙසේ හෝ මග අරිනවා. 

බොහෝ දෙනා කැති, පොරෝ, උදළු කඹ අරගෙන ඇවිත් තිබුණා. මේ කොටසේ ලඳු කැලාවට අමතරව පාර අයිනට වන්න ඒ කාලයේ ජීවත් වූ ඇල්බට්(බොහෝ දෙන හැඳින්නුවේ කළු ඇල්බට ලෙසින්. ඒ හමේ පාට නිසා නොව ඔහු පවත්වාගෙන ගිය කඩයේ මිල ගණන් නිසා) නමැති පුද්ගලයා වැවු පොල්ගස් විස්සක් තිහක් තිබුණා. තවත් එක වටිනා ගසක් අයිනකට වන්නට තිබුණා. ඒ පැරණි ඒ වගේම පුෂ්ඨිමත් තල් ගසක්. මේ අවස්ථාවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් වරයා මේ ගස සෙරන්ඩිබ් හෝටලයට මේ වෙනකොටත් ගලවා ගන්න අවසර දී තිබුනා. මේ ලේකම් වරයාව බොහෝ දෙනා හැඳින්නුවේ දැව කපුටා ලෙස. අපි ඉවක් බවක් නැතිව ගස් කපමින් කුරුම්බා බොමින්, පොල් බඩ කමින් උදේ වරුව ගත කලේ ඉතා ප්‍රීති ප්‍රමෝදයෙන්. එදා වැහිබර දවසක් නිසා කිසිවෙකුට ඒ හැටි විඩාවක් දැනුණේ නෑ. කොයි තරම් මහන්සි වී වැඩ කලත් පොල් ගස් ටිකවත් පෙරලා අවසන් කරන්න අපට බැරි වුණා. 

තවත් විනාඩි කිහිපයකදී මර හඬ දී කෑ ගැසූ ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා ලෙස කවුරුත් සලකන ආතර් අංකල්  පවසා සිටියේ පොල් ගස් කැපිල්ල වහා නවත්වන ලෙස. එසේ කපන පොල් ගස තවත් පොල් ගසකට පෙරලා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනක් මරා ගන්නා ක්‍රීඩාවක නිරත වී හුන් අප තිගැස්සී ඔහු දෙස බැලුවේ සිදු වී ඇත්තේ කුමක්ද යන්න දැන ගන්න. සමහරවිට කවුරුන් හෝ තහනම් නියෝගයක් ගෙන තිබෙන්නට පුළුවන් බව කෙනෙක් පැවසුවා. අපිත් කට ඇරගෙන ඔහුගේ හඬට අවනතව ඔහු සිටින දිසාවට ගමන් ගත්තා. 

"ඇයි බං උඹලට අමුතුවෙන් කියන්න ඕනෙද, පොල් ගස් කැපුවට පස්සේ මුල උගුල්ලන්න අලි ගෙන්න ඕනේ කියලා. වටේ මුල බුරුල් කරලා ගස් පෙල්ලපල්ලා. මේවා කපපු එවුන්ම මුල් ටිකත් උගුල්ලලා දාපල්ලා"

අපි වැඩි දුර නොහිතා කල දේ ප්‍රතිවිපාකය පහසු නොවන එකක් බව තේරෙන විට තවත් පොල් ගස් දහයකට වඩා ඉතිරි වී තිබුනේ නෑ. මේ සමගම අපේ දිවා අහාරය සුදානම් බව දැන ගන්නට ලැබුන නිසා කවුරුත් ආහාරය බෙදන දෙසට වේගයෙන් ඇදුනා. අපේ බත් පාර්සලය රැගෙන මමත් ඒ කාලයේ මගේ හොඳම මිතුරා වූ ධම්මිකත් ටුටූ අයියලාගේ ගෙදරට ගියා. පැරණි ගෙයක් වූ පීරිස් සහෝදරවරුන්ගේ නිවාස වලව්වක සිරි ගත්තා. කුඩා කාලයේ සිට එහි ගොස් තිබෙන අපිට එය ආගන්තුක තැනක් වුණේ නෑ. අපේ බත් පාර්සල් දෙක බිත්ති කණ්ඩිය මත තබා නිවසේ පසෙක තිබෙන ලිඳ වෙත ගොස් ඇඟ අත පය සෝදා ගත්තේ, මේ වනවිට කහබිලියා හා අනෙකුත් කැලෑ කොළ සහ කිරි වර්ග නිසා සියොළඟ කහන තත්වයකට පත් වී සිටි නිසා.නමුත් කහඹිලියා නිසා ඇති වන කැසීමට අපි ඒ වනවිට බෙහෙතක් සොයාගෙන තිබුණා. ඒ කහබිලියා ගහේම මුල. මුලේ පොත්ත කහඹිලියා ගෑ වුණ තැන ගෑ විට කැසීම ඉතා ඉක්මනින් නැති වෙනවා. 

සියළු දෙනාට ටුටූ අයියාලාගේ නිවසේ ඉඩකඩ නොතිබුණ නිසා අවට ගෙවල් සියල්ලටම වාගේ අපේ කණ්ඩායම බෙදී ගොස් තිබුණා. ඉතා රසවත් බත් මුල ගිජු ලෙස බුදිමින් හුන් අපට එකවරම මහා කෑ ගසිල්ලක් ඇසී පාරට දිවගෙන එන විට, වලව්ව අසල අපේ අය හා සෙනග පිරී සිටිනවා දැක කෑම පසෙක දමා හැල්මේ දිවගෙන ගියා. අපේ කණ්ඩායමේත් බොහෝ කලහකාරී අය සිටි නිසා මෙය කුමක් හෝ වලියක් බව ඉවෙන් මෙන් අපට දැනුනා. මා සමග සිටි ධම්මිකත් බට්ට වගේ හිටියට වලි දෙයියා නිසා මටත් වඩා වේගයෙන් ඒ දෙසට දිවගෙන ගියා. මෙය කුමක් හෝ රිය අනතුරක් බව පැහැදිලි වුණේ ගාල්ල දෙසට යන සියලුම වාහන එකක් පිටුපස එකක් නවත්වා පොඩි තදබදයක් ඇති වී තිබූ නිසා. ලඟට යත්දී අපි දැක්කා අපේ කණ්ඩායමේ අජිත් රෝසා වර්ගයේ බස් රථයක රියදුරු කවුළුවේ එල්ලී රියදුරාගේ කමිසයෙන් අල්ලාගෙන සිටිනවා. නමුත් තවත් පිරිසක් කේ.කේ. ලාගේ නිසව අසල ඇති කන්ඩියෙන් පහල බලන් සිටින වගත් යන්තමට පෙනුනා. නමුත් අප දෙදෙනාත් ඉබේම බස් රථය දෙසට ඇදුනා.

"අජීත් මෙහෙ වරන් බං, මේක ඇක්සිඩන්ට් එකක් නෙවේ" 

ඒ රෝහණ අයියාගේ කටහඬ.  බස් එක පැත්තට දුවමින් හුන් අපි ආපසු හැරී කේ.කේ. ලාගේ බැම්ම දෙසට දුවගෙන ගියා. ඒ බැම්ම අයිනේ ඇති අඟලේ කළු ගල් ගොඩ උඩ වැටී සිටි අවුරුදු පනහක් පමණ වන මිනිසා දෙස සියළු දෙනා විමතියෙන් බලා සිටියා. තවත් මොහොතකින් වට වූ අය එකතු වී ඔහු පාරේ සිටින අය වෙත ඔසවා දුන්නා. පාර අයිනේ තණ බිස්සේ ඔහු දිගා කර, මුහුණට වතුර ඉහමින් ඔහුගේ සිහිය ගන්නට උත්සාහ ගත්තා. එහෙත් ගල්ගොඩ උඩ වාටී සිටි ඔහුගේ හිසින් රුධිර ධාරාවක් ගලා ගොස් තිබුණා. ඔහුගේ බයිසිකලයේ පිටුපස ගැට ගසා තිබුණේ කොස් මදුළු ගෝනියක්. ඔහුට කුමක් සිදු වීද ? මේ ඒවා සිතන්නට කාලයක් නොවේ. මහලු මිනිසා කාල වර්ණයෙන් යුක්ත පුද්ගලයෙක් , අඩුම තරමේ ඔහුගේ වයස පනහ ඉක්මවා ගොස් තිබිය යුතුය. අඩක් සුදු වූ හිසකෙස් තෙල් ගා පීරු ලෙසටම තිබේ. මුහුණේ දහඩිය දමා ඇත. සුදු කමිසයක් හා සරමකින් සැරසී සිටි ඔහු මේ යන්නට ඇත්තේ තම ජීවිත සටනේ තවත් එක් දිනක් ගැට ගසා ගන්නටය. වෙළඳාම හමාර කොට හවසට ගෙදර එනතුරු ඔහුගේ බිරිඳ සහ දරුවන් බලා සිටිනවා ඇත. 

තවත් සුළු මොතාකදී තරමක් හිස දෙපසට වැනු ඔහු නිහඬ විය. ඒ ඔහු මෙලොව සිටි අවසන් තත්පර කිහිපයය. මගේ ජීවිත කාලයටම කෙනෙකු මිය යනවා දුටු පළමු මොහොතයි. සිද්දිය බලා සිටි කෙනෙක් සිදු වූ දේ විස්තර කළා. 

"මිනිහා ආවේ කහඹිලියා කන්ද පැත්තේ (ගාල්ල/ඇල්පිටිය) ඉඳන්. මිනිහා හිටගෙන කන්ද පැදගෙන ආවේ. එක පාරටම වාඩි වෙනවත් එක්කම ඉස්සරහ රෝදේ උඩ ගියා. මිනිහට තනි රෝදෙන් යන්න බැරුව කැරකිලා ගිහින් තමයි ඔතනින් පහලට වැටුණේ."

අපේ අජිත් ඉවක් බවක් නැතිව රියදුරු මහතාට පහර දීම පිළිබඳව කිහිප දෙනෙක්ම ඔහුට නොසෑහෙන්නට බැන වැදුණු අතර තවත් කිහිප දෙනෙක් එම මොහොතේ සිදු වූ දේ විස්තර කරමින් රස විඳිමින් සාමාන්‍ය තත්වයට පත් වුවත්, මාසිටියේ දැඩි කම්පනයකින්. ධම්මික මට නැවතත් කන්නට කතා කලත්, මට කෑමට කිසි ප්‍රියක් ඇති වුනේ නෑ. එතැනින්ම ශ්‍රමදානයේ කටයුතු හමාර විය. 

"කවුද මේ නැකත හදපු කෙනා. අපි මේ වැඩේට බැහැලා තියෙන්නේ වැරදි නැකතකින්"

ඇත්තටම ඒ නැකත නරක එකක්ද, නැතිනම් සොබාදහමට එරෙහිව ගිය නිසා පෙන්වූ නරක ලකුණක්ද? කෙසේ හෝ මා ගම හැරපියා කොළඹට එනතුරුත් එතන ක්‍රීඩාංගණයක් ඉදි වුණේ නෑ. එහෙත් එය නගරසභාවේ කුණුගොඩ බවට පත් විය. මෑතකදී එතන ගොඩ කර ක්‍රීඩාංගණයක් කෙසේ වෙතත්, එහි තිබූ සුන්දර පරිසරය යටපත් කර රථ ගාලක සිරි ගෙන ඇත.  නමුත් එහි අප තනන්නට උන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණය ඉදි කරගන්නට නොහැකි වී ඇත. 
 


Friday, March 22, 2013

රෝයි ඩයස් සහ මාවන් අතපත්තු අතර සිටිය යුත්තා

අද රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දිනයයි. මේ දවස් වල සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තරගාවලියක සිටින නිසා පාසැල් ක්‍රිකට් ගැන සොයා බලන්නට වෙලාවක් තිබුනේ නෑ. ඒත් මගේ මිත්‍ර නදීර උඩවත්ත ගාල්ලේ සිට එවූ ට්විටර් පණිවුඩයකින් ගාල්ලේ මහා සටන පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා. ගාල්ලේ රිච්මන්ඩ් කියූ පමණින්ම මගේ ඉදිරියේ මැවෙන එක් ක්‍රිකට් රුපයක් තිබේ. ඒ චන්දන අමරසිංහයි. චන්දන අමරසිංහ යනු කුඩා කාලයේ මගේ ක්‍රිකට් වීරයාය. වීරයා කියන නම මේකට හරියටම ගැලපෙනවාද ? නැත. මගේ ක්‍රිකට් ඇරඹු දා සිට මා අනුකරණය කල ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය.
පින්තුරය ගත්තේ : http://cricketique.wordpress.com

දැන් අපේ මාතෘකාව දෙසට හැරෙමු. ඔබ රෝයි ඩයස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැක තිබේද ? ඔබේ පිළිතුර නැත නම් ඔබට කියන්නට තිබෙන්නේ "මේ දෑස මක්කටද ?" කියයි. මන්ද රෝයි ඩයස් ක්‍රීඩා කරනු නොදක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කිරීමේ පලක් තිබේද ? යන්න මගේ සිතට එන ගැටළුවක් නිසාය. ඔබ එක් දහස් නවසිය අසූ ගණන් වල ඉපදුන කෙනෙකු නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ කුඩා ළදරුවෙක්ය. එනිසා ඒවා දකින්නට ඔබට අවකාශ නැත. අද වගේ පඳුරකට එක ගානේ චැනල් ඒ කාලයේ තිබුනේ නැත. රෝයි ඩයස්ගේ ක්‍රිකට් දිවිය 1982 - 1987 අතර කෙටි කාලයයි. එකල අද මෙන් සෑම මාසයකම ක්‍රිකට් දකින්නට තිබුනේද නැත. ඔබගේ පිළිතුර ඔව් නම් ඔබ 1975 ට කලින් ජන්ම ලාභියෙකු විය යුතුය.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

ඒ කෙසේ වෙතත් ඔබ මාවන් අතපත්තු ක්‍රීඩා කරනවා දැක තිබිය යුතුමය. මාවන් අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 2007 වසරේදීයි. ඔහු ගැන නොදන්නා කෙනෙකුද සිටිය නොහැක. නමුත් මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මාවන් අතපත්තු හෝ රෝයි ඩයස් ගැන නොවේ. රෝයි ඩයස් හා මාවන් අතපත්තු අතර තැබිය හැකි තවත් එවන් ක්‍රීඩකයෙකු ගැනය. රෝයි සහ මාවන්ගේ සමානත්වය ගැන කතා නොකොට ඒ ක්‍රීඩකයා ගැන කතා කල නොහැක.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

රෝයි ඩයස් යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂනය අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයා යයි මා බය නැතිවම පවසමි. එයට විරුද්ද වන්න අර්ජුන රණතුංග මහතාටවත් බැරිය. ඔහුගෙන් එම ප්‍රශ්ණය ඇසුවොත් එයට ලැබෙන පිලිතුරද එයම වනු ඇත. මාවන් යනු රෝයිට පමණක්ම දෙවෙනි වන තාක්ෂණික පිතිකරුවා යයි මා පැවසුවොත් එයටද අර්ජුන රණතුංග මහතා එකඟ වනු ඇත. එහෙත් මේ දෙදෙනා අතර තැබිය හැකි, ඒ කියන්නේ මේ දෙදෙනා අතර තිබෙන තාක්ෂණික හිඩැස පිරවිය හැක්කේ චන්දන අමරසිංහටැයි මා පැවසුවොත් මෙහි සිටින ඔබ සැම ඔලුව කසන අතර අර්ජුන රණතුංග මහතා නිකට කසනු ඇත. නමුත් අර්ජුන රණතුංග මහතාට නිසැකවම චන්දන අමරසිංහ ඇස ගැටී තිබිය යුතුය. චන්දන අමරසිංහ යනු මේ දෙදෙනාට අතරමැද කාලයක ක්‍රීඩා කල, මේ දෙදෙනාගේ තාක්ෂණික දක්ෂතාවයන් අතරමැද තැබිය හැකි ක්‍රීඩකයෙකි. රෝයි ඉවත් වුයේ 1987 දී වන අතර මාවන් ආරම්භ කලේ 1997 දීය(පළමුව ඔහු 1990 දී ඇතුලත් කලද සාර්ථක නොවීය). මේ අවුරුදු දහයක කාලය චන්දන අමරසිංහට එතනට එන්නට කදිම කාලයක් වුවත්, කොහේ හෝ ඇති වරදක් නිසා ඔහු අකාලයේ පරවූ තවත් මලක් යයි කිව හැක. 

මා හා එකඟ වන්නට හැකි කිසිවෙක් මේ බ්ලොග් එක කියවනවාදැයි සැක සහිතය. ඔබ චන්දන අමරසිංහ ක්‍රීඩා කරනු දැක ඇත්ද ? ඒ පිළිතුරට ඔව් කියන්නට පුළුවන් කෙනෙකු සිටිනවාදැයි ඔබ දන්නා ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙකුගෙන් අසා බලන්න. චන්දන අමරසිංහ උපත ලැබුවේ බෙන්තොට හබුරුගල නමැති ග්‍රාමයයේය. මට මෙන්ම මගේ දෙමව්පියන්ටද ඔහුගේ පවුල විශේෂ වේ. ඒ මගේ දෙමව්පියන්ගේ විවාහයට සාක්ෂි වශයෙන් අත්සන් කල එක් පුද්ගයෙක් චන්දන අයියාගේ පියා වීමය. ඔහු ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ බෙන්තොට ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කල දක්ෂ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකි. ඔහු පසුව සිංගර් සමාගමට එක් වී ක්‍රීඩා කල අයෙකි. එකල සිංගර් සමාගම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය තුල ජයකෙහෙලි නැංවූ කාලයකි. මේ කාලයේම අර්ජුන රණතුංග මහතා යුනියින් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් ක්‍රීඩා කල නිසා චන්දන අමරසිංහ සහ ඔහු ක්‍රීඩා කල තරගයක් තිබෙන්නට පුළුවන්. එහෙත් අර්ජුනට ක්‍රීඩකයන් කැඳවීමට හැකියාව ආවේ 1992 පමණ කාලය වන විටයි. මේ වනවිට චන්දන අමරසිංහගේ හොඳ කාලයක් නොවුණු අතර, ඔහු ක්‍රීඩා කලේ සිංගර් ආයතනයට පමණි. චන්දන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා නොකිරීම බලවත් වරදකි. එයට හේතුව මා නොදනිමි. 

ඔහුට ජාත්‍යන්තර තලයට එන්නට නොලැබුණේ ඒ කාලයේම ගාල්ලෙන් බිහි වූ තවත් ක්‍රීඩකයෙකු වූ මිහිර එගොඩගේ නිසා වන්නට පුළුවන්. ඒ කාලයේ පිටස්තර ක්‍රීඩකයින් සංචිතයට කැඳවන්නේ බොහොම සීමිතවයි. චන්දන අමරසිංහ සහ මිහිර එගොඩගේ එකවිට සංචිතයට කැඳවිය නොහැකි තත්වයක් ඒ කාලයේ තිබෙන්නට ඇත. මගේ මතකය අනුව 1983/84 කාලයේ මිහිර එගොඩගේ එංගලන්ත සංචාරයකට ගිය අතර ඉන් අනතුරුව අපගේ බෙන්තොට ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයට බෙන්තොට ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට මේ දෙදෙනාම ක්‍රීඩා කළා මට අද වගේ මතකය. මේ දෙදෙනාම හොඳින් ක්‍රීඩා කල අතර, වඩා ප්‍රවේගකාරී පිතිකරු වුයේ මිහිර එගොඩගේය. 

එම සංචාරයට අසංක ගුරුසිංහද අනිවාර්යයෙන්ම සහභාගී වුවා විය යුතුය. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන ස්ථානය (රෝයි ඩයස් සහ මාවන් අතර) හිමිකම් කීවේ ගුරුසිංහය. ගුරුසිංහ ඇත්ත වශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් මා කතා කරන්නේ තාක්ෂනය අතින්ය. ටෙස්ට් තරගයකට වඩාත් නිවැරදි තාක්ෂනය ඇති ක්‍රීඩකයන් ක්‍රීඩා කල යුතුය. එකල අද මෙන් ටෙස්ට්, එක්දින වෙන වෙනම කණ්ඩායම් තිබුණා නම් සහ අද වැනි හොඳ තත්වයක් පිට පළාත් ක්‍රීඩකයින්ට තිබුණා නම් චන්දන අමරසිංහවද ඔබට දකින්නට ඉඩ තිබුණි. මෙය මගේ මතයක් නොවන බවද සඳහන් කල යුතුයි. ඒ කාලයේ අප ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල (ඩේලි නිවුස් කුසලානයට) බොහෝ අනෙක් කණ්ඩායම් වල අයද මේ මතය ඵල කළා මතකය. ක්‍රීඩා කල හැම කෙනෙකුටම ජාතික කණ්ඩායමට එන්නට වරම් ලැබෙන්නේ නැත. එහෙත් එකල ක්‍රීඩා කල ප්‍රමාණය අතර චන්දන අමරසිංහද ශ්‍රී ලංකා ඒ සංචිතයකට වත් එන්නට හැකි ක්‍රීඩකයෙක් බව මගේ විශ්වාසයයි. 

මා කුඩා කල චන්දන අයියා ඇවිදින විදියට ඇවිදින්නත්, ඔහුගේ තාක්ෂණය කෝපි කරන්නත් නිරතුරු උත්සාහ කළා. නමුත් තාක්ෂනය අතින් නම් යම් තරමකට ඉදිරියට එන්නට මට හැකි වුණා. මා ඔහු යනුව යමින් අත් දිග සුදු කමිසයක් මසා ගන්නට කල වෑයම ඔබ කියෙව්වද ?

Thursday, January 10, 2013

වැන්දබෝනා අංකල්ගේ මැජික් අරිෂ්ඨේ


පින්තූරය ගත්තේ : saasthara.com
මේ කතාවට මග පෑදුන විදිය කිව්වොත් පුදුමත් හිතෙයි. මම ක්‍රිකට් පිස්සා කියලා ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අලුත් වාරයට අපි මිලදී ගත්තු අලුත්ම බැට් දෙක නිතරම එලියට අරන් බලන එක තමයි මගේ වැඩේ. මේ බැට් දෙකෙන් එකක් හරියටම මහේලගේ ජාතියේ එකක්. මම ඒක පෙන්වලා ඔෆිස් එකේ අනිත් අයට කිව්වා.

මහේලයි සංගායි ක්‍රිකට් වලින් අයින් වෙන්න යනවා නේද ? කියා කෙනෙක් ඇහුවා.

 ඔව් ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වෙයි. ඒත් වන්ඩේයි, ටුවෙන්ටි20 යි ගහයි දිගටම. 

ඔව් ඉතිං ඒවටනේ හොඳට සල්ලි හම්බ වෙන්නේ.

උන් දෙන්නගේ ඉන්වෙස්ට්මන්ට් එක බලන්නකෝ. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් එකේ රෑට ඉන්න සෙනග. සල්ලි ගලනවා. දවසක් මම බලාගෙන හිටියා, ජපන්, චීන, මැලේ, ඉන්දුනීසියන්, ඒ මදිවට සුද්දොත් පිරිලා. ලබන පාර අයි. පී. එල්. එකටත් සයින් කරලා ඇති. 

අනේ මටනම් අල්ලන්නෑ ඔය පන පිටින් කකුළුවෝ තියාගෙන මරණ එක. 

මම හිතන්නෑ ලංකාවේ ඒ වගේ තියෙනවා කියල. මම හික්කඩුවේ නම් දැකල තියෙනවා. ඕවට ගේනවා ඇත්තේ මීගමුවේ එවුන් වෙන්නැති.

කොහොමද මචං මුහුදු ගිහින් කකුලුවේ අල්ලන්නේ? එහෙම ඇහුවේ කුරුණෑගල පැත්තේ එකෙක් වෙච්ච් මිගාර. මිගාර බැංකුවේ නොවුනත්. මේ වගේ කතාවකට එක් වෙනවා.

මචං මුහුදේ කකුළුවෝ හිටියොත් රළ පාරට උන්ව ගල් වල හැපිලා කම්බස් වෙයි. මේ කලපු කකුළුවෝ. මුහුදේ ඉන්නවා රැල කක්කුට්ටෝ කියල ජාතියක් පුදුම රහක් තියෙන්නේ. 

උඹ කියන්නේ අර වෙල් වල නියරවල් අයිනේ ඉන්න එවුන්ද ? මිගාරට මම කියපු කතාව තේරුනේ නැති තරම්.

නෑ මචං ඔය ගඟවල් අයිනේ වෙලවල් අයිනේ ඉන්න එවුන්ට කියන්නේ ගූ-කකුළුවෝ කියල. මම දෑහින් දැකල තියෙනවා උන් ගූ කනවා.



මුහුදුබඩ ගඟක් අයිනේ ගම්මානෙක හැදිච්ච වැඩිච්ච එකෙක් වුන මම මේ වර්ග ගණනකම කකුළුවෝ ගැන හොඳ දැනුමක් තිබුණා.

රැල කක්කුට්ටෝ කියන්නේ මචං පුදුමාකාර රසක් තියෙන පුංචි කකුළුවෝ ජාතියක්. වැල්ලේ වලවල් හාරාගෙන ඉන්නේ. වතුර ඇවිත් යද්දී උන් එලියට ඇවිත් ටිකක් එහාට මෙහාට දුවන්නේ හරියට රැල්ල ඇවිත් උන්ගේ දේපල ඔක්කොම අරන් ගියා වගේ. ඒත් තප්පර ගානක්දී ආපහු ගුලට රිංගා ගන්නවා. 



මේ රැල කකුළු කතාව කිව්වහම මට මතක් වුනේ මීට දශක කීපෙකට කලින් අපිට මුහුණ දෙන්න වෙච්ච හරි අපූරු කතන්දරයක්. මේ කාලේ වෙනකොට අපේ අම්මට හොඳටම හතිය හැදිලා තිබුනේ. ඒක නම් පුදුම අසනීපයක්. බලාගෙන ඉඳිද්දී වැඩි වෙනවා. මුල් කාලේ මම හිතුවේ අම්ම මානසිකව මේක වැඩි කර ගන්නවා කියල. ඒත් පස්සේ පස්සේ තමයි මේ රෝගයේ තත්වය තේරුනේ. මේකට අපි නොකළ ප්‍රතිකාරයක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ රෝගය මැඩ පවත්වන ක්‍රමයක් මිසක් නිට්ටාවටම සුව කරන ක්‍රමයක් නෑ. මේ කාලෙදී රෑට මෙහෙම ලෙඩ වුනාම වාහන හොයන්න ගිහිං අපි පුදුම කරදර වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අඳුරු යුගයේදී. පාරවල් හඳ එළියෙන් හොයාගෙන තමයි තාත්තයි මායි බයිසිකලයෙන් කුලී රථයක් හොයාගෙන ගියේ. ඒ ගෙවල් වල අයත් ඒ යුගයේදී පණ බයෙන් නිදා ගත්ත නිසා, අපේ අම්ම අද ජීවතුන් අතර ඉන්නේ පූරුවේ කල පිං මහිමෙන් කියල තමයි හිතන්න වෙන්නේ.

මේ කාලයේදී අපේ නිවසට ළඟ නැති වුනත්, පන්සල කන්දේ දකුණු මායිමේ ජීවත් වෙච්ච වැන්දබෝනා පවුල් සමූහයේ එක් පවුලක අය නිතරම අපේ නිවසට ආවා ගියා. අපේ අක්කගේ පන්තියේ මිතුරෙකු වූ  කුවින්ටස් සහ ඔහුගේ පියා තමයි මේ විදියට අපේ නිවසට ආව ගිය වැන්දබෝනාවරු දෙන්නා. එයාලගේ තවත් සහෝදරයෙක් හිටියා. මිනිහා මේ විශාල ඉඩම් හිමි වැන්දබෝනාවරු වගේ නෙවෙයි. ඉතාම දුප්පත්. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අපේ ගමේ කෙරීගෙන ගිය ඔරු පැදීමේ සේවාව සපයලා එදා වේල හොයා ගත්තා, කාටවත් කරදරයක් නැති අහිංසක පුද්ගලයෙක්. කිසිදිනක කමිසයක් අඳිනවා මා දැක නැති අතර කළු පාට දැල් බැනියම ඔහුගේ උඩුකය වසන එකම ඇඳුම විය. දවසක් මට මතකයි අපේ වත්තේ වල් ඌරු මීයෝ ඉන්නවා කියල අල්ලන කොන්ත්‍රාත් එක ඒ අහිංසක වැන්දබෝනා අන්කල්ට තාත්තා භාර දුන්නා. එයා උගුල් අටවලා වල ඌරු මීයන්ව මරාගෙන කන කෙනෙක්. නමුත් අපේ ගෙදර යටින් ගේ ඇතුලටම හාරාගෙන ආපු වල් ඌරු මීයා අල්ලන්න එයාට පුළුවන් වුනේ නෑ. මිනිහා සතුන් මරාගෙන කෑවාට දරුණු පුද්ගලයෙක් නොවේ. 


මේ අහිංසක වැන්දබෝනා අන්කල්ගේ සහෝදරවරු දෙදෙනාගෙන් කෙනෙක් තමයි අපේ කතානායක් වැන්දබෝනා අන්කල්. සමහරවිට තිදෙනාට වඩා අය මේ පවුලේ ඇති. ඒත් මා දන්නේ මේ දෙදෙනා පමණයි. නමුත් බෙම්තොට රුහුණු දොරටුව කතෘ තොම්සන් වැන්දබෝනා මහතාද ඔවුන්ගේ පවුල් ගසේ පුරුකක් බව තාත්තා කියනු අසා ඇත. ඒ කතා කෙසේ වෙතත්  පපුවේ මහන්සිය නිට්ටාවට සුව කල හැකි මැජික් අරිෂ්ඨය හැදු හැටි අපූර්ව කතාවක්. අපේ අම්මාගේ හතිය ගැන නොදත් කෙනෙක් ඒ කාලේ අපේ ගමේ හිටියේ නෑ. වෘත්තියෙන් පාසල් ගුරුවරියක වූ ඇයට මෙය රටහුණු භාවිතයේ අතුරුපලයක් ලෙස හැදෙන්නට ඇතැයි බොහෝ දෙනා මත පල කළා. මේ ගැන බොහෝ දෙනා කතා වුනා. සමහරු කිව්වේ කොටියාගේ බෙල්ලේ මස් කෑවොත් මෙය සනීප කර ගත හැකි බවයි. සංචාරකයන් එහා මෙහා ගෙන යන අපේ අසල්වැසියෙකු වූ රෝහණ අයියා පැවසුවේ ආණමඩුව ප්‍රදේශයේ කොටියන් මරණ අතර ඔහුට ලැබුනොත් ඔහු කොටි බෙල්ලක් රැගෙන එන බවය. තවත් අයෙක් පැවසුයේ කිඹුල් මස් මේ හතියට අගනා ඖෂධයක් බවයි. එක් දිනක් රෝහණ අයියා පිසින ලද කිඹුල් මස් ගෙන ආවේය. අපද එහි රස බැලීමු. මගේ මව මස් හොදි පමණක් ආහාරයට ගත්තේ මේ රෝගයෙන් කෙසේ හෝ ගැලවීමේ අදිටනිනි. එහෙත් ඇයට සුවපත් වීම කෙසේ වෙතත් අප නම් රස කර කර කිඹුල් මස් රස වින්දෙමු. එය හරියටම වැව් මාළු හොද්දක රස සිහි ගැන්වීය. 

මගේ පියාගේ විනෝදාංශය වුවේ අකුරු කියවන්නට නොහැකි අයට පත්තරය කියවීමයි. එහෙත් ඔහු කියවුයේ ඔහුගේ දේශපාලාන අභිරුචිය සහිත පත්තර බැවින් අප නිවසට පැමිණි බොහෝ දෙනා ඔහුගේ දේශපාලන සගයන්ය. අහම්බෙන් මගේ පියා සමග වාද කර රසයක් ලැබූ අයද විරල නොවුනි. මෙසේ වාද කරන දෙස බලා රස විඳි තවත් කොටසක් විය. වැන්දබෝනා අන්කල්ද මගේ පියාගේ දේශපාලන රසයට විරුද්ධ මත දැරූ අයෙක් වුවත් මගේ පියා සමග වැඩි වාදයකට නොආවේ ඇයිදැයි අදටත් මට නොතේරේ. ඔහු කට ඇද කරගෙන මගේ පියා කියන දෙයක් අසා සිටියි. පෙන්ෂන් ගිය පොලිස් නිලධාරියෙකුගේ මුහුණකට සමාන මුහුණක් ඔහුට විය. සම්පූර්ණයෙන් නැතත් වැඩිහරියක් ඉදුණු බුරුසු උඩු රැවුලක් සහිත ඔහු නියම රාලහාමි කෙනෙකුගේ පෙනුම ඇත්තෙකු විය. අඩි හයකට ආසන්න උසක් සහිත ඔහු බර කටහඬකාටද උරුම කම් කීවෙකි. නමුත් නිතරම විහිලු තහළුවෙන් පසුවන මෙවැනි අය ගැන මා ඉතා පැහැදීමෙන් සිටියේ එකල සිටි බොහෝ වැඩිහිටියන් මගේ පියාවත් නැති ලෙස අප මට්ටුකරන බලතල අතට ගෙන මග තොටදී අපට තරවටු කල බැවිනි. 

දිනක් අප නිවසට පැමිණි බොහෝ අය අතර ඔහුද විය. දැන් ඉස්කෝලේ හාමිනේට කොහොමදැයි වැන්දබෝනා අන්කල් අසා සිටි විට මගේ මව පැවසුවේ

"මේවා ඉතින් නිට්ටාවට හොද වෙන රෝග නෙවේනේ" යන්නයි. 

"ඕකට මම දන්නා හොඳ බෙහෙතක් තියෙනවා. මේක පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක්"

"අනේ වැන්දබෝනා මහත්තයා සිංහල බෙහෙත් වලට ඔය තියෙන ලෙඩ රෝග වැඩි වෙනවා කියන්නේ ඇත්තද ?"

"ඒක ටිකක් එහෙම තමයි ඒත් මේකට බෙහෙත් වඩි තුනයි බොන්න ඕනේ. එකදිගට දවස් තුනක් උදේ මේ අරිශ්ටේ බොන එකයි ඉස්කෝල හාමිනේට තියෙන්නේ"

"හරි එතකොට ඕක හදන්න මොනවද ඕන වෙන්නේ?"

"මෙහෙමයි මේක හදන්න තියෙන කොළ, අතු, මුල් ජාති ටිකනම් අපේ වත්තෙත් තියෙනවා. ඒත් පරහකට තියෙන්නේ මේක හදන්න පණ පිටින් රැල කකුලුවේ හත් දෙනෙක් ඕන වෙනවා."

"හපොයි අපි කොහොමද ඔය රැල කකුළුවෝ හොයන්නේ?"

මේ වෙලාවේ මෙයට ඇහුම් කන් දීගෙන හිටි අපේ නැන්දාගේ පුතෙකු වන රංජි අයියා ඉදිරිපත් විය

"හා නැන්දේ නැන්දා සත පහකට වත් බය වෙන්න එපා අපි ගෙන්නම්කො රැල කක්කුට්ටෝ ඕන තරම්"

"ඒ කොහමද?"

"හරි නැන්දට ඒක වැඩක් නෑනේ. මමයි පියසිරියි සුනිලුයි ගිහින් අල්ලන්ක් එන්නම්"

මෙවිට ඉදිරිපත් වූ වැන්දබෝනා අංකල්

"හරි මෙහෙ ගෙන්න ඕනේ නෑ. මෙහෙ ගෙන්න ගිහින් එකෙක් හරි මැරුනොත් වැඩේ කෙරෙන්නෑ. කෙලින්ම අපේ ගෙදර ගෙන්නකෝ. හැබැයි පිටිපස්සෙන් එන්න. හරිද ?"

"හරි හරි අද රෑට හඳ තියෙන නිසා පැයක් යත්දී පනහක් හැටක් වුනත් ගෙන්න පුළුවන්"

"හොඳයි එහෙනම් කෙලින්ම අපේ ගෙදර එන්න. රෑ නමයහමාර වෙන්න කලින්"

"හරි හරි"

අපේ අම්මාත් මමත් කටවල් අරගෙන මේ සංවාදය ලෙස බලා උන්නෙමු. අම්මට දවස් තුනකින් සනීප වෙනවා නම් මොකද? මමත් ඉපිලී ගිය උද්දාමයෙන් සිටියේ අද රෑට වැල්ලේ යන්න මටත් එකතු වන්නට හැකිය යන සතුටිනි. ඒ පහුවදා සෙනසුරාද දවසක් නිසාය. රැළ කක්කුට්ටන් ඇල්ලීම පහසු ක්‍රියාවක් නොවන බවත්. එයට හොඳින් හඳ පායා තිබිය යුතු බවත් මා හා පැවසුයේ සුනිල් අයියය. දවසක් මොවුන් වැල්ලේ ගොසින් ගෙන ආ කැස්බෑ බිත්තර වල රස තවමත් මගේ මුවග ඇති සේය. 

"හවසට මාවත් එක්කන් යනවා නේද ?" මා අසා සිටි විට අයියාලා තුන් දෙනා පවසා සිටියේ 

"හෙට යමු" යන්නයි.

මා නිදා නොගෙන එදින රාත්‍රියේ බලා සිටියේ වැල්ලට ගිය අයියාලා තුන්දෙනා හා තාත්තා ගෙදර එන තුරුය. මිදුලට වී අහසේ ඇති හඳ හා තරු දෙස බලා සිටි අක්කාත් මාත් රාත්‍රී නාමය පසු වූ බව මා දැන ගත්තේ එකල හැම නිවසකම සවන් දෙන රාත්‍රී නවයේ ප්‍රවෘත්ති සඳහා වන ආරම්භක නාදයෙනි. එකල වාදනය වූ එම නාද කන්ඩයෙන් කියවෙන්නේ 

"ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ "සිරිමාට පුලුවන්ද හත් හවුල පෙරලන්න" බව එකල බොහෝ දෙනාගේ මතය විය. එම යුගයේ ආණ්ඩු මාරුවත් සමග ලංගම බස් රථවල ඇඳ තිබෙන ලංගම ලාංචනයේ පාට වෙනස් කිරීමත් මේ ප්‍රවෘත්ති කණ්ඩයේ හඬ වෙනස් කිරීම සඳහාම චන්දය භාවිතා කල අයද විය. ඒ කලින් පැවති එක ඔවුන්ගේ කණේ යවුල් අනින්නා සේ වූ නිසාය. නැත්නම් බස් වල ඇති බිත්තරයක හැඩය ගත නිල් කවය කොළ කවය බවට පත් කිරීමටය. එකල දේශපාලනය එතරම් ප්‍රතිපත්තිගරුක හා බොළඳ එකක් විය. 

තවත් විනාඩි දහයක් ගත වන්නට මත්තෙන් අයියලා තුන් දෙනා හා තාත්තා ගෙදර ආවේ ජයග්‍රාහී විලාසයෙනි. ඒ අවශ්‍ය කරන පණ ඇති කකුළුවන් හත් දෙනාට හොඳම ප්‍රමාණයේ රැළ කකුළුවන් දහයක්ම වැන්දබෝනා අන්කල්ට භාර දීමෙන් අනතුරුවය. අපේ ගෙවල් දෙකේ ආහාරය සඳහා තවත් කකුළුවන් දහ පහළොවක් මල්ලක දමාගෙනය. 

"බිලී පිත්තෙන්ද මුන් ඇල්ලුවේ ?" ඔවුන්ගෙන් එකෙකු අත ඇති බිලී පිත්ත දැක මම අසා සිටියෙමි.

"මෝඩයා, බිලී පිටතට ඇම ගහල මුන් ඇල්ලුවා නම් එලි වෙනකම් ඉන්න වෙන්නේ වැල්ලේ තමයි. රැල්ල ගහල යනකොට මුන් එලියට ඇවිත් ඇවිදිනවා පිස්සෝ වගේ. එවෙලාවට බිලී පිත්තෙන් මුන්ව ගොඩ පැත්තට ගහන්න ඕනේ. ඊට පස්සේ මුන් අතරමං වෙනවා. එතකොට අතින් අරන් මල්ලට දාගන්න ඕනේ. එච්චර අමාරු නෑ. හැබැයි හොඳට හඳ එලිය තියෙන්න ඕනේ"

"දැන් මේ ටිකට මොකද කරන්නේ ?"

"ඔය ටික අපි වියලා කමු" (අපේ ගමේ අය උයනවාට කියන්නේ වියනවා කියා බව කරුණාවෙන් සලකන්න)

"මේ දැන් ? අම්මත් නිදි."

"දැන් නෙවේ හෙට උදේ"

මම තාත්තා පසුපසින් කුස්සියට ගියෙමි. ගෙනා කකුළුවන් වතුර බාල්දියකින්ම සෝදාගත් තාත්තා වලඳකට උන් දමා ලුණු සහ ගොරකා කැබලි කිහිපයක් දමා ලිප උද තැබීය. 

උදේ මිරිස් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා කකුළු හොද්ද උයන විට එහි සුවඳ දිගේ අපද කුස්සියට ඇදුනේ නිරායාසයෙනි. ගුණසේන මුදලාලිගේ බේකරියෙන් ගෙන ආ පාන් රාත්තල් තුන කපා වට්ටියට දමන තෙක්වත් ඉවසන්නට මටත් මල්ලිටත් ඉස්පාසුවක් නැති වුයේ කකුළුවන් රස බලන කෑදර කම නිසාය. ඇත්තටම එහෙම  හොද්දක් මා ඊට පෙර රස බලා නොතිබූ බව මට හොඳටම මතකය. කකුළුවන් වුවද රැළ කකුළුවන්ගේ විශේෂය ඔවුන්ගේ කටු අනෙක් කකුළුවන්ගේ මෙන් හයිය නොවී තිබීමයි. ඒවා හරියට රම්පෙ මෙන් විය. අපි රස කර කර පාන් ටිකට වග කීවෙමු.

"මෙහෙම රස හොද්දක් තියෙනවනම්, පාන් බෙකරියකට වුවත් වග කියන්න පුළුවන්" මට කියවුනේ ඉබේමය. අම්මාගේ රවා බැලීමත් සමග ඉන් එහාට කට හොලවන්නට නොගොස් නිහඬ වීමි.

දවස් තුනක් කකුළු හොදිත් සමග පාන් කන්නට වරම් ලැබුනේ වැන්දබෝනා අන්කල්ට පින් සිද්ද වෙන්නය. ඔහු දිනපතා නිපදවන අරිෂ්ඨය ජෑම් බෝතලයක පුරවා නිවසට රැගෙන ආවේ සුනිල් අයියය. ඔහු අපේ නැන්දාගේ බාලාම පුතාය. අපට කිට්ටු වයසක වූ සුනිල් අයියා අපගේ මිතුරකු මෙන් විය. දවස් තුනක් අවසානයේ බෙහෙතේ ගුණ අම්මාට ලැබී ඇතිදැයි දැන ගැනීමේ කුකුසකින් අප පෙළෙන්නට වුයේ තවත් වතාවක් අරිෂ්ඨේ හදනාවනම් හොඳයි යන්න කියා කියාය. ඒත් ඉන්පසු අපේ වෙද මහත්තයා අපේ ගෙවල් පැත්තේ ටික දවසකට ආවේ නැත. මවටද ඒ හැටි ගුණයක් වුවේ නැත. සුපුරුදු හතිය ඇයට ඇති විනි. 

පසුව දැන ගන්නට ලැබුනේ එම නිවසේ ග්‍රහණිය නමැති රෝග තත්වයෙන් පසුවන කුවින්ටස්ගේ අයියා කෙනෙකුගේ ළමයකු වූ බවය. එවැනි රෝගී තත්වයකට කකුළුවන් වැනි අධි ප්‍රෝටීන ආහාර ලබා දීමෙන් සහනයක් ලැබෙන බවය. වැන්දබෝනා අන්කල් කකුළුවන් ලබා ගැනීමට ඇපයට තබා තිබුනේ මගේ මවගේ රෝගී තත්වයයි. ඔහු ලබා දුන් බෙහෙත් වලින් අම්මට අතුරු අබාධයක් නොවීම සහනයකි. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...