 |
| පින්තූරය ගත්තේ : saasthara.com |
මේ කතාවට මග පෑදුන විදිය කිව්වොත් පුදුමත් හිතෙයි. මම ක්‍රිකට් පිස්සා කියලා ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අලුත් වාරයට අපි මිලදී ගත්තු අලුත්ම බැට් දෙක නිතරම එලියට අරන් බලන එක තමයි මගේ වැඩේ. මේ බැට් දෙකෙන් එකක් හරියටම මහේලගේ ජාතියේ එකක්. මම ඒක පෙන්වලා ඔෆිස් එකේ අනිත් අයට කිව්වා.
මහේලයි සංගායි ක්‍රිකට් වලින් අයින් වෙන්න යනවා නේද ? කියා කෙනෙක් ඇහුවා.
ඔව් ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වෙයි. ඒත් වන්ඩේයි, ටුවෙන්ටි20 යි ගහයි දිගටම.
ඔව් ඉතිං ඒවටනේ හොඳට සල්ලි හම්බ වෙන්නේ.
උන් දෙන්නගේ ඉන්වෙස්ට්මන්ට් එක බලන්නකෝ. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් එකේ රෑට ඉන්න සෙනග. සල්ලි ගලනවා. දවසක් මම බලාගෙන හිටියා, ජපන්, චීන, මැලේ, ඉන්දුනීසියන්, ඒ මදිවට සුද්දොත් පිරිලා. ලබන පාර අයි. පී. එල්. එකටත් සයින් කරලා ඇති.
අනේ මටනම් අල්ලන්නෑ ඔය පන පිටින් කකුළුවෝ තියාගෙන මරණ එක.
මම හිතන්නෑ ලංකාවේ ඒ වගේ තියෙනවා කියල. මම හික්කඩුවේ නම් දැකල තියෙනවා. ඕවට ගේනවා ඇත්තේ මීගමුවේ එවුන් වෙන්නැති.
කොහොමද මචං මුහුදු ගිහින් කකුලුවේ අල්ලන්නේ? එහෙම ඇහුවේ කුරුණෑගල පැත්තේ එකෙක් වෙච්ච් මිගාර. මිගාර බැංකුවේ නොවුනත්. මේ වගේ කතාවකට එක් වෙනවා.
මචං මුහුදේ කකුළුවෝ හිටියොත් රළ පාරට උන්ව ගල් වල හැපිලා කම්බස් වෙයි. මේ කලපු කකුළුවෝ. මුහුදේ ඉන්නවා රැල කක්කුට්ටෝ කියල ජාතියක් පුදුම රහක් තියෙන්නේ.
උඹ කියන්නේ අර වෙල් වල නියරවල් අයිනේ ඉන්න එවුන්ද ? මිගාරට මම කියපු කතාව තේරුනේ නැති තරම්.
නෑ මචං ඔය ගඟවල් අයිනේ වෙලවල් අයිනේ ඉන්න එවුන්ට කියන්නේ ගූ-කකුළුවෝ කියල. මම දෑහින් දැකල තියෙනවා උන් ගූ කනවා.
මුහුදුබඩ ගඟක් අයිනේ ගම්මානෙක හැදිච්ච වැඩිච්ච එකෙක් වුන මම මේ වර්ග ගණනකම කකුළුවෝ ගැන හොඳ දැනුමක් තිබුණා.
රැල කක්කුට්ටෝ කියන්නේ මචං පුදුමාකාර රසක් තියෙන පුංචි කකුළුවෝ ජාතියක්. වැල්ලේ වලවල් හාරාගෙන ඉන්නේ. වතුර ඇවිත් යද්දී උන් එලියට ඇවිත් ටිකක් එහාට මෙහාට දුවන්නේ හරියට රැල්ල ඇවිත් උන්ගේ දේපල ඔක්කොම අරන් ගියා වගේ. ඒත් තප්පර ගානක්දී ආපහු ගුලට රිංගා ගන්නවා.
මේ රැල කකුළු කතාව කිව්වහම මට මතක් වුනේ මීට දශක කීපෙකට කලින් අපිට මුහුණ දෙන්න වෙච්ච හරි අපූරු කතන්දරයක්. මේ කාලේ වෙනකොට අපේ අම්මට හොඳටම හතිය හැදිලා තිබුනේ. ඒක නම් පුදුම අසනීපයක්. බලාගෙන ඉඳිද්දී වැඩි වෙනවා. මුල් කාලේ මම හිතුවේ අම්ම මානසිකව මේක වැඩි කර ගන්නවා කියල. ඒත් පස්සේ පස්සේ තමයි මේ රෝගයේ තත්වය තේරුනේ. මේකට අපි නොකළ ප්‍රතිකාරයක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ රෝගය මැඩ පවත්වන ක්‍රමයක් මිසක් නිට්ටාවටම සුව කරන ක්‍රමයක් නෑ. මේ කාලෙදී රෑට මෙහෙම ලෙඩ වුනාම වාහන හොයන්න ගිහිං අපි පුදුම කරදර වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අඳුරු යුගයේදී. පාරවල් හඳ එළියෙන් හොයාගෙන තමයි තාත්තයි මායි බයිසිකලයෙන් කුලී රථයක් හොයාගෙන ගියේ. ඒ ගෙවල් වල අයත් ඒ යුගයේදී පණ බයෙන් නිදා ගත්ත නිසා, අපේ අම්ම අද ජීවතුන් අතර ඉන්නේ පූරුවේ කල පිං මහිමෙන් කියල තමයි හිතන්න වෙන්නේ.
මේ කාලයේදී අපේ නිවසට ළඟ නැති වුනත්, පන්සල කන්දේ දකුණු මායිමේ ජීවත් වෙච්ච වැන්දබෝනා පවුල් සමූහයේ එක් පවුලක අය නිතරම අපේ නිවසට ආවා ගියා. අපේ අක්කගේ පන්තියේ මිතුරෙකු වූ කුවින්ටස් සහ ඔහුගේ පියා තමයි මේ විදියට අපේ නිවසට ආව ගිය වැන්දබෝනාවරු දෙන්නා. එයාලගේ තවත් සහෝදරයෙක් හිටියා. මිනිහා මේ විශාල ඉඩම් හිමි වැන්දබෝනාවරු වගේ නෙවෙයි. ඉතාම දුප්පත්. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අපේ ගමේ කෙරීගෙන ගිය ඔරු පැදීමේ සේවාව සපයලා එදා වේල හොයා ගත්තා, කාටවත් කරදරයක් නැති අහිංසක පුද්ගලයෙක්. කිසිදිනක කමිසයක් අඳිනවා මා දැක නැති අතර කළු පාට දැල් බැනියම ඔහුගේ උඩුකය වසන එකම ඇඳුම විය. දවසක් මට මතකයි අපේ වත්තේ වල් ඌරු මීයෝ ඉන්නවා කියල අල්ලන කොන්ත්‍රාත් එක ඒ අහිංසක වැන්දබෝනා අන්කල්ට තාත්තා භාර දුන්නා. එයා උගුල් අටවලා වල ඌරු මීයන්ව මරාගෙන කන කෙනෙක්. නමුත් අපේ ගෙදර යටින් ගේ ඇතුලටම හාරාගෙන ආපු වල් ඌරු මීයා අල්ලන්න එයාට පුළුවන් වුනේ නෑ. මිනිහා සතුන් මරාගෙන කෑවාට දරුණු පුද්ගලයෙක් නොවේ.
මේ අහිංසක වැන්දබෝනා අන්කල්ගේ සහෝදරවරු දෙදෙනාගෙන් කෙනෙක් තමයි අපේ කතානායක් වැන්දබෝනා අන්කල්. සමහරවිට තිදෙනාට වඩා අය මේ පවුලේ ඇති. ඒත් මා දන්නේ මේ දෙදෙනා පමණයි. නමුත් බෙම්තොට රුහුණු දොරටුව කතෘ තොම්සන් වැන්දබෝනා මහතාද ඔවුන්ගේ පවුල් ගසේ පුරුකක් බව තාත්තා කියනු අසා ඇත. ඒ කතා කෙසේ වෙතත් පපුවේ මහන්සිය නිට්ටාවට සුව කල හැකි මැජික් අරිෂ්ඨය හැදු හැටි අපූර්ව කතාවක්. අපේ අම්මාගේ හතිය ගැන නොදත් කෙනෙක් ඒ කාලේ අපේ ගමේ හිටියේ නෑ. වෘත්තියෙන් පාසල් ගුරුවරියක වූ ඇයට මෙය රටහුණු භාවිතයේ අතුරුපලයක් ලෙස හැදෙන්නට ඇතැයි බොහෝ දෙනා මත පල කළා. මේ ගැන බොහෝ දෙනා කතා වුනා. සමහරු කිව්වේ කොටියාගේ බෙල්ලේ මස් කෑවොත් මෙය සනීප කර ගත හැකි බවයි. සංචාරකයන් එහා මෙහා ගෙන යන අපේ අසල්වැසියෙකු වූ රෝහණ අයියා පැවසුවේ ආණමඩුව ප්‍රදේශයේ කොටියන් මරණ අතර ඔහුට ලැබුනොත් ඔහු කොටි බෙල්ලක් රැගෙන එන බවය. තවත් අයෙක් පැවසුයේ කිඹුල් මස් මේ හතියට අගනා ඖෂධයක් බවයි. එක් දිනක් රෝහණ අයියා පිසින ලද කිඹුල් මස් ගෙන ආවේය. අපද එහි රස බැලීමු. මගේ මව මස් හොදි පමණක් ආහාරයට ගත්තේ මේ රෝගයෙන් කෙසේ හෝ ගැලවීමේ අදිටනිනි. එහෙත් ඇයට සුවපත් වීම කෙසේ වෙතත් අප නම් රස කර කර කිඹුල් මස් රස වින්දෙමු. එය හරියටම වැව් මාළු හොද්දක රස සිහි ගැන්වීය.
මගේ පියාගේ විනෝදාංශය වුවේ අකුරු කියවන්නට නොහැකි අයට පත්තරය කියවීමයි. එහෙත් ඔහු කියවුයේ ඔහුගේ දේශපාලාන අභිරුචිය සහිත පත්තර බැවින් අප නිවසට පැමිණි බොහෝ දෙනා ඔහුගේ දේශපාලන සගයන්ය. අහම්බෙන් මගේ පියා සමග වාද කර රසයක් ලැබූ අයද විරල නොවුනි. මෙසේ වාද කරන දෙස බලා රස විඳි තවත් කොටසක් විය. වැන්දබෝනා අන්කල්ද මගේ පියාගේ දේශපාලන රසයට විරුද්ධ මත දැරූ අයෙක් වුවත් මගේ පියා සමග වැඩි වාදයකට නොආවේ ඇයිදැයි අදටත් මට නොතේරේ. ඔහු කට ඇද කරගෙන මගේ පියා කියන දෙයක් අසා සිටියි. පෙන්ෂන් ගිය පොලිස් නිලධාරියෙකුගේ මුහුණකට සමාන මුහුණක් ඔහුට විය. සම්පූර්ණයෙන් නැතත් වැඩිහරියක් ඉදුණු බුරුසු උඩු රැවුලක් සහිත ඔහු නියම රාලහාමි කෙනෙකුගේ පෙනුම ඇත්තෙකු විය. අඩි හයකට ආසන්න උසක් සහිත ඔහු බර කටහඬකාටද උරුම කම් කීවෙකි. නමුත් නිතරම විහිලු තහළුවෙන් පසුවන මෙවැනි අය ගැන මා ඉතා පැහැදීමෙන් සිටියේ එකල සිටි බොහෝ වැඩිහිටියන් මගේ පියාවත් නැති ලෙස අප මට්ටුකරන බලතල අතට ගෙන මග තොටදී අපට තරවටු කල බැවිනි.
දිනක් අප නිවසට පැමිණි බොහෝ අය අතර ඔහුද විය. දැන් ඉස්කෝලේ හාමිනේට කොහොමදැයි වැන්දබෝනා අන්කල් අසා සිටි විට මගේ මව පැවසුවේ
"මේවා ඉතින් නිට්ටාවට හොද වෙන රෝග නෙවේනේ" යන්නයි.
"ඕකට මම දන්නා හොඳ බෙහෙතක් තියෙනවා. මේක පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක්"
"අනේ වැන්දබෝනා මහත්තයා සිංහල බෙහෙත් වලට ඔය තියෙන ලෙඩ රෝග වැඩි වෙනවා කියන්නේ ඇත්තද ?"
"ඒක ටිකක් එහෙම තමයි ඒත් මේකට බෙහෙත් වඩි තුනයි බොන්න ඕනේ. එකදිගට දවස් තුනක් උදේ මේ අරිශ්ටේ බොන එකයි ඉස්කෝල හාමිනේට තියෙන්නේ"
"හරි එතකොට ඕක හදන්න මොනවද ඕන වෙන්නේ?"
"මෙහෙමයි මේක හදන්න තියෙන කොළ, අතු, මුල් ජාති ටිකනම් අපේ වත්තෙත් තියෙනවා. ඒත් පරහකට තියෙන්නේ මේක හදන්න පණ පිටින් රැල කකුලුවේ හත් දෙනෙක් ඕන වෙනවා."
"හපොයි අපි කොහොමද ඔය රැල කකුළුවෝ හොයන්නේ?"
මේ වෙලාවේ මෙයට ඇහුම් කන් දීගෙන හිටි අපේ නැන්දාගේ පුතෙකු වන රංජි අයියා ඉදිරිපත් විය
"හා නැන්දේ නැන්දා සත පහකට වත් බය වෙන්න එපා අපි ගෙන්නම්කො රැල කක්කුට්ටෝ ඕන තරම්"
"ඒ කොහමද?"
"හරි නැන්දට ඒක වැඩක් නෑනේ. මමයි පියසිරියි සුනිලුයි ගිහින් අල්ලන්ක් එන්නම්"
මෙවිට ඉදිරිපත් වූ වැන්දබෝනා අංකල්
"හරි මෙහෙ ගෙන්න ඕනේ නෑ. මෙහෙ ගෙන්න ගිහින් එකෙක් හරි මැරුනොත් වැඩේ කෙරෙන්නෑ. කෙලින්ම අපේ ගෙදර ගෙන්නකෝ. හැබැයි පිටිපස්සෙන් එන්න. හරිද ?"
"හරි හරි අද රෑට හඳ තියෙන නිසා පැයක් යත්දී පනහක් හැටක් වුනත් ගෙන්න පුළුවන්"
"හොඳයි එහෙනම් කෙලින්ම අපේ ගෙදර එන්න. රෑ නමයහමාර වෙන්න කලින්"
"හරි හරි"
අපේ අම්මාත් මමත් කටවල් අරගෙන මේ සංවාදය ලෙස බලා උන්නෙමු. අම්මට දවස් තුනකින් සනීප වෙනවා නම් මොකද? මමත් ඉපිලී ගිය උද්දාමයෙන් සිටියේ අද රෑට වැල්ලේ යන්න මටත් එකතු වන්නට හැකිය යන සතුටිනි. ඒ පහුවදා සෙනසුරාද දවසක් නිසාය. රැළ කක්කුට්ටන් ඇල්ලීම පහසු ක්‍රියාවක් නොවන බවත්. එයට හොඳින් හඳ පායා තිබිය යුතු බවත් මා හා පැවසුයේ සුනිල් අයියය. දවසක් මොවුන් වැල්ලේ ගොසින් ගෙන ආ කැස්බෑ බිත්තර වල රස තවමත් මගේ මුවග ඇති සේය.
"හවසට මාවත් එක්කන් යනවා නේද ?" මා අසා සිටි විට අයියාලා තුන් දෙනා පවසා සිටියේ
"හෙට යමු" යන්නයි.
මා නිදා නොගෙන එදින රාත්‍රියේ බලා සිටියේ වැල්ලට ගිය අයියාලා තුන්දෙනා හා තාත්තා ගෙදර එන තුරුය. මිදුලට වී අහසේ ඇති හඳ හා තරු දෙස බලා සිටි අක්කාත් මාත් රාත්‍රී නාමය පසු වූ බව මා දැන ගත්තේ එකල හැම නිවසකම සවන් දෙන රාත්‍රී නවයේ ප්‍රවෘත්ති සඳහා වන ආරම්භක නාදයෙනි. එකල වාදනය වූ එම නාද කන්ඩයෙන් කියවෙන්නේ
"ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ "සිරිමාට පුලුවන්ද හත් හවුල පෙරලන්න" බව එකල බොහෝ දෙනාගේ මතය විය. එම යුගයේ ආණ්ඩු මාරුවත් සමග ලංගම බස් රථවල ඇඳ තිබෙන ලංගම ලාංචනයේ පාට වෙනස් කිරීමත් මේ ප්‍රවෘත්ති කණ්ඩයේ හඬ වෙනස් කිරීම සඳහාම චන්දය භාවිතා කල අයද විය. ඒ කලින් පැවති එක ඔවුන්ගේ කණේ යවුල් අනින්නා සේ වූ නිසාය. නැත්නම් බස් වල ඇති බිත්තරයක හැඩය ගත නිල් කවය කොළ කවය බවට පත් කිරීමටය. එකල දේශපාලනය එතරම් ප්‍රතිපත්තිගරුක හා බොළඳ එකක් විය.
තවත් විනාඩි දහයක් ගත වන්නට මත්තෙන් අයියලා තුන් දෙනා හා තාත්තා ගෙදර ආවේ ජයග්‍රාහී විලාසයෙනි. ඒ අවශ්‍ය කරන පණ ඇති කකුළුවන් හත් දෙනාට හොඳම ප්‍රමාණයේ රැළ කකුළුවන් දහයක්ම වැන්දබෝනා අන්කල්ට භාර දීමෙන් අනතුරුවය. අපේ ගෙවල් දෙකේ ආහාරය සඳහා තවත් කකුළුවන් දහ පහළොවක් මල්ලක දමාගෙනය.
"බිලී පිත්තෙන්ද මුන් ඇල්ලුවේ ?" ඔවුන්ගෙන් එකෙකු අත ඇති බිලී පිත්ත දැක මම අසා සිටියෙමි.
"මෝඩයා, බිලී පිටතට ඇම ගහල මුන් ඇල්ලුවා නම් එලි වෙනකම් ඉන්න වෙන්නේ වැල්ලේ තමයි. රැල්ල ගහල යනකොට මුන් එලියට ඇවිත් ඇවිදිනවා පිස්සෝ වගේ. එවෙලාවට බිලී පිත්තෙන් මුන්ව ගොඩ පැත්තට ගහන්න ඕනේ. ඊට පස්සේ මුන් අතරමං වෙනවා. එතකොට අතින් අරන් මල්ලට දාගන්න ඕනේ. එච්චර අමාරු නෑ. හැබැයි හොඳට හඳ එලිය තියෙන්න ඕනේ"
"දැන් මේ ටිකට මොකද කරන්නේ ?"
"ඔය ටික අපි වියලා කමු" (අපේ ගමේ අය උයනවාට කියන්නේ වියනවා කියා බව කරුණාවෙන් සලකන්න)
"මේ දැන් ? අම්මත් නිදි."
"දැන් නෙවේ හෙට උදේ"
මම තාත්තා පසුපසින් කුස්සියට ගියෙමි. ගෙනා කකුළුවන් වතුර බාල්දියකින්ම සෝදාගත් තාත්තා වලඳකට උන් දමා ලුණු සහ ගොරකා කැබලි කිහිපයක් දමා ලිප උද තැබීය.
උදේ මිරිස් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා කකුළු හොද්ද උයන විට එහි සුවඳ දිගේ අපද කුස්සියට ඇදුනේ නිරායාසයෙනි. ගුණසේන මුදලාලිගේ බේකරියෙන් ගෙන ආ පාන් රාත්තල් තුන කපා වට්ටියට දමන තෙක්වත් ඉවසන්නට මටත් මල්ලිටත් ඉස්පාසුවක් නැති වුයේ කකුළුවන් රස බලන කෑදර කම නිසාය. ඇත්තටම එහෙම හොද්දක් මා ඊට පෙර රස බලා නොතිබූ බව මට හොඳටම මතකය. කකුළුවන් වුවද රැළ කකුළුවන්ගේ විශේෂය ඔවුන්ගේ කටු අනෙක් කකුළුවන්ගේ මෙන් හයිය නොවී තිබීමයි. ඒවා හරියට රම්පෙ මෙන් විය. අපි රස කර කර පාන් ටිකට වග කීවෙමු.
"මෙහෙම රස හොද්දක් තියෙනවනම්, පාන් බෙකරියකට වුවත් වග කියන්න පුළුවන්" මට කියවුනේ ඉබේමය. අම්මාගේ රවා බැලීමත් සමග ඉන් එහාට කට හොලවන්නට නොගොස් නිහඬ වීමි.
දවස් තුනක් කකුළු හොදිත් සමග පාන් කන්නට වරම් ලැබුනේ වැන්දබෝනා අන්කල්ට පින් සිද්ද වෙන්නය. ඔහු දිනපතා නිපදවන අරිෂ්ඨය ජෑම් බෝතලයක පුරවා නිවසට රැගෙන ආවේ සුනිල් අයියය. ඔහු අපේ නැන්දාගේ බාලාම පුතාය. අපට කිට්ටු වයසක වූ සුනිල් අයියා අපගේ මිතුරකු මෙන් විය. දවස් තුනක් අවසානයේ බෙහෙතේ ගුණ අම්මාට ලැබී ඇතිදැයි දැන ගැනීමේ කුකුසකින් අප පෙළෙන්නට වුයේ තවත් වතාවක් අරිෂ්ඨේ හදනාවනම් හොඳයි යන්න කියා කියාය. ඒත් ඉන්පසු අපේ වෙද මහත්තයා අපේ ගෙවල් පැත්තේ ටික දවසකට ආවේ නැත. මවටද ඒ හැටි ගුණයක් වුවේ නැත. සුපුරුදු හතිය ඇයට ඇති විනි.
පසුව දැන ගන්නට ලැබුනේ එම නිවසේ ග්‍රහණිය නමැති රෝග තත්වයෙන් පසුවන කුවින්ටස්ගේ අයියා කෙනෙකුගේ ළමයකු වූ බවය. එවැනි රෝගී තත්වයකට කකුළුවන් වැනි අධි ප්‍රෝටීන ආහාර ලබා දීමෙන් සහනයක් ලැබෙන බවය. වැන්දබෝනා අන්කල් කකුළුවන් ලබා ගැනීමට ඇපයට තබා තිබුනේ මගේ මවගේ රෝගී තත්වයයි. ඔහු ලබා දුන් බෙහෙත් වලින් අම්මට අතුරු අබාධයක් නොවීම සහනයකි.