මගේ පහුගිය සටහන් තුනෙන්ම අවරුදු උත්සව මතකයන් අවධි කළා. අවුරුදු උත්සව වලට දැන් කියන අලුත්ම නම තමයි සූර්‍ය මංගල්‍යය. මේක හඳුන්වලා දුන්නේ හසන්ත මහත්තයා කියන්නේ. මොනවා වුනත් අවුරුදු උත්සව කිව්වම අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමා ඉර. කථාවට මේ දවස් වල ඉරට හැතම්මයි කියලා කියන්නේ. ඇත්තටම ලංකාවට මේ දවස් වල ඉර මුදුන් වෙන කාලේ. මේ පහලින් තියෙන පින්තුරෙන් පැහැදිලි වෙනවා ඒක.
මේ පින්තූරෙන් පෙන්වන ආකාරයට පෘතුවිය සුර්යයාට ඉතාම ලඟින් ගමන් කරන කාලයක්. දෙසැම්බර් මාසෙට සාපේක්ෂව ගත්තොත් ගණිතමය වශයෙන් නොවුනත් හරි ලඟින් ගමන් කරන්නේ. ඉතින් මේ දවස් වල ලංකාවේ අපිට හිරු රශ්මිය වැඩියෙන් ලැබෙනවා. ගිනි අව්වේ අවුරුදු උත්සව පවත්වන කාලයක් නිසා එක පැත්තකින් දාහය වැඩියි, අනිත් පැත්තෙන් අව්වට හම පිච්චෙනවා වැඩියි.
අවුරුදු උත්සව මතක සටහන් 1 ට ප්‍රතිචාර දක්වපු
නදිනි අබේනායක කියලා තිබුණා "ඉස්සර පිච්චේනවට බයේ අවුරුදු උත්සව බලන්න ගියේ නෑ" කියලා. ඉතිං ප්‍රතිචාරයක් විදියට මම කිව්වම "දැන් සන්බ්ලොක් තියෙනවා නේද ?" කියලා. එතකොට නදිනි කියනවා "ක්‍රීම් ගෑවාම මාව ඇලෙනවා ඇලෙනවා වගේ" කියලා. ඉතිං මම එතනදී සන්බ්ලොක් ගැන සටහනක් ලියනවා කියලා පොරොන්දු වුණා. මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුව.
මගේ තියෙන එක නරක පුරුද්දක් තමයි විවිද බෙහෙත් වර්ග ආලේපන වර්ග වගේ දේවල් ගත්තම ඒවායේ එන පුංචි පත්‍රිකා, එක්කෝ ඒවාගේ මුද්‍රණය කරලා තියෙන හැම දෙයක්ම කියවලා බලන එක. සමහර ඒවායේ නම් හොඳ විස්තරයක් ඒ භාණ්ඩය එක්කම ලබා දීලා තියෙනවා. එහෙම නැති වෙලාවට මම අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා බලනවා.
මාව අව්වේ හිටියම හොඳටම පිච්චෙනවා. මුල් දවසේ රතු වෙනවා. පස්සේ දුඹුරු වෙලා මේක අඩු වෙන්න මාසයක් විතර ගත වෙනවා. අනිත් එක අව්වට පිච්චුනා පාරවල් ඇඟේ එහෙමම වදිනවා. ඉස්සර එහෙම පිච්චුනාම හමත් ගැලවෙනවා. ඉතිං ක්‍රීඩකයෙක් වෙච්ච මට අවුරුද්දට අඩුම ගණනයේ දවස් දහයක් වත් අව්වේ ඉන්න වෙනවා. ඉස්සර මමත් දන්නේ නැතිව සන්ක්‍රීම් එකක් අරගෙන ගාලා බය නැතිව සෙල්ලම් කළා. ප්‍රතිඵලය වුනේ හිටියත් වැඩිය හොඳටම කළු වෙන එක. පස්සේ මම ඒක්‍රීම් එක ගාන එක නතර කළා.
දැනට අවුරුදු හයකට විතර කලින් මට සුපර්මාර්කට් එකේ දැක්කා සන්බ්ලොක් කියලා ජාතියක්. මමත් ගාන බලන්නේ නැතිව අර ගත්තා එකක්. මුලින්ම කිවයුතු දෙයක් තියෙනවා මේ සන්බ්ලොක් කියන එක පාරිභෝගිකයා මුලාවේ දාන වචනයක්. මොකද මේ වගේ විනිවිද පේන ආලේපනයකින් 100% ක් හිරු රශ්මිය නතර කරන්න බෑ. ඉතිං වෙළෙන්දෝ සුක්ෂම විදියට අපිටත් හොරොන් මනෝවිද්‍යාත්මකව අපේ හිතට මේ වගේ වචන දීලා එයාලගේ වෙළඳ භාණ්ඩය පිලිබඳ තිබෙන විශ්වාසය වැඩි කරනවා(මේ වන විට සෞඛ්‍ය සංවිධාන සහ සමහර රජයයන් මේ වචනය භාවිතා කිරීමෙන් වැළකෙන ලෙස නිෂ්පාදකයාට බල කර තිබෙනවා). මේ සඳහා වඩා නිවරදී වචනය වෙන්නේ සන්ස්ක්‍රීන් කියන එක. මොනවා වුණත් වෙළඳපොලේ භාණ්ඩ තියෙන නම අපිට භාවිතා කරන්න වෙනවා.
සන්බ්ලොක්/සන්ස්ක්‍රීන් කිව්වම ඒකත් එක්කම එන වචනයක් තමයි SPF කියන්නේ. මොකක්ද මේ SPF අගය කියන්නේ. SPF කියන කෙටි යෙදුමෙන් කියන්නේ Sun Protection Factor කියන එක. මේ SPF අගය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1962 තරම් ඈත කාලයකදී(ඒ ගැන ඒ තරම් පුදුම වෙන්න දේකුත් නෑ මොකද අද භාවිතා කරන පරිඝනක මවුස් එක පිලිබඳ අදහස මුලින්ම දීල තියෙන්නේ 1968දී).
එය පිලිබඳ හඳුන්වා දෙන්නේ
"SPF සහිත ආලේපනයක් නොමැතිව සුර්යාලෝකයට නිරාවරණය වී ඔබේ සම රත්පැහ ගැන්වෙන්න යන කාලයට මේ ආලේපන යෙදු අයෙක්ගේ සම රත් පැහැ ගැන්වෙන්න යන කාලය අතර අනුපාතය"
සරල උදාහරණයකින් පැහැදිලි කලොත් ඔබව අව් රශ්මිය නිසා රත්පැහැ ගැන්වෙන්න යන කාලය විනාඩි 10ක් යයි සිතමු. ඔබ භාවිතා කරන සන්බ්ලොක් එක SPF 30ක් නම එමගින් ඔබට මිනිත්තු 300ක් සුර්යාලෝකයට නිරාවරණ වී ඉන්න පුළුවන්. ඒ කියන්නේ පැය පහක්. සමීකරණයක් විදියට කිව්වොත්
සන්බ්ලොක් භාවිතා නොකර සම රත්පැහැ ගැන්වීමට යන කාලය x SPF අගය = සුර්යාලෝකයට නිරාවරණ වී සිටිය හැකි කාලය
ඒ නිසා මේ SPF අගය වැඩි වූ තරමට ඉන් ඔබේ සමට හිරු එලිය පතිත වීමේ ප්‍රතිශතය අඩු වන්නේ නෑ. නමුත් එහි අගය වැඩි වන තරමට සුර්යාලෝකයට නිරාවරණය වී ගත කල හැකි කාලය වැඩියි. ඊයේ වනතුරු මමද මේ මිත්‍යාවේ ගැටී සිටියා. මේ පිලිබඳ නිසි අධ්‍යනයක යෙදුනේ ඊයේ. මා භාවිතා කරන්නේ SPF 70 ක සන්බ්ලොක් එකක් ඉතින් එමගින් සාමාන්‍යයෙන් දවසක ආවරණයක් සැලසෙනවා.
නදිනි අබේනායක හිතන විදියට මේවා දිය වී යන්නෙත් නෑ. ඒ ගැන මගේ අත්දැකීම් අනුව කියනවා නම් දහඩියට හෝ සාමාන්‍ය ජලයෙන් සේදීමට මේවා ඉවත් වන්නේ නෑ. අනිත් කාරණය තමයි මතුපිට වියලි බව. පහලින් දැක්වෙන වගුවෙන් පැහැදිලි වෙනවා ඒ ඒ හිරු ආරක්ෂණ SPF අගයයන් වලට අදාලව UV කිරණ අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිශතය. උදාහරණයකට SPF 2 කින් 50% ක අවශෝෂණයක් ලැබුනත් එය 4 ක් වනවිට අවශෝෂණය දෙගුණ වන්නේ නෑ. එය 15 කින් පසු වැඩි වන ප්‍රතිශතය ඉතාම අවමයි.
මට පහුගිය කාලයකදී තිබුන එක් ගැටළුවක් තමයි මේවා භාවිතා කල දියනයකත් යම් ප්‍රමාණයක සම රත්පැහ ගැන්වී තිබුණේ ඇයි කියන එක. මා මීට කලින් SPF 30,45 යන අගයයන් වල හිරු ආරක්ෂණ ආලේපන භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒවාගේ ආවරණය වන පැය ගණන් සාපේක්ෂව අඩුයි. ඒ නිසා මා හිරු එලියට නිරාවරණ වුණු කාලයම එමගින් ආවරණය වුයේ නෑ. නාමුත් ඒ රත්පහ ගැන්වීම දින කිහිපයකින් වියැකී යනවා. මෑතකදී මට බණ්ඩාරවෙල නගරයේ ක්‍රීඩාංගනයක ඉන්න වුනා දවස් දෙකක්. පළමු දවසේ මා හිරුආරක්ෂණ ආලේපනය භාවිතා කළා. නමුත් දෙවෙනි දවස ඉතාම වැහිබර දිනයක් ඉතිං එදා මම ආලේපනය භාවිතා කලේ නෑ. එදින පැය භාගයක් වගේ වෙලාවක් තමයි හිරු රශ්මිය තිබුනේ නමුත් එනිසා සිදු වූ සමපිච්චීම තවමත් තිබෙනවා.
අපගේ මේ ගැන තිබෙන තවත් මිත්‍යාවක් තමයි තාපය නිසා සම පිච්චෙනවා යන්න. නමුත් ඔබේ සම රත්පහැ ගැන්වීම සහ සම පිච්චීම කියන්නේ කරුණු දෙකක්. මේ රත්පැහැ ගැන්වීම සිදු වන්නේ UV කිරණ මගින්, ඒවායෙනුත් UV-B මගින් තමයි සම රත් පැහැ ගැන්වෙන්නේ. UV-A මගින් සිදු වන්නේ දිගු කාලීනව සමට වන හානි. උදාහරණයකට වයස්ගත ස්වභාවය(Aging). සම පිච්චීමට තාපය මගින් සිදුවනවා. ඔබ ලිප ළඟ වැඩ කරන එකත් අවු රශ්මිය නිසා ඇති වන තාපයත් එක වගේ මේ සඳහා බලපානවා. එසේ පිච්චීමට ඔබේ සමේ තිබෙන තෙල් ප්‍රමාණය බලපානවා. ඉතින් තෙල් සහිත සමක් තියෙන අයට මෙමගින් සිදු වන හානිය දෙගුණ වනවා.
බොහෝ හිරුආරක්ෂණ ආලේපන මගින් UVB ආවරණය කලාට UVA ආවරණය කරන්නේ නෑ. ඒ නිසා මේවා මිලදී ගැනීමේදී BroadSpectrum යනුවෙන් සඳහන් ආලේපනයක් මිලදී ගැනීම වැදගත්. තවත් දෙයක් තමයි මේවා ඉතා කුඩා ප්‍රමාණයක් ආලේප කිරීම ප්‍රමාණවත් මේ කිරණ පරාවර්තනය සිදු කිරීම සිදු වන්නේ ඉතා ක්ෂුද්‍ර මට්ටමක නිසා ක්‍රීම් තලි උලා ගන්න අවශ්‍ය නෑ.
මගේ ජනප්‍රිය මාතෘකාව වන ක්‍රිකට් වලින් තමයි අපි මුලින්ම දැක්කේ මුහුණේ සහ තොල් වල මේවා උලා ගත් අය. මෙතන පොඩි වෙනස් කමක් තියෙනවා. අපි භාවිතා කරන හිරුආරක්ෂණ ආලේපන විනවිද පෙනෙන ඒවා. ඕස්ට්‍රේලියානුවන් භාවිතා කරන්නේ වෙනත් ආලේපනයක්. ඒවාගෙන් 100% නැතුවත් හිරු එලිය සහ වියලි සුළඟ නිසා ඇතිවන සම පැලීමෙන් බේරා ගන්න තමයි ඔවුන් ඒවා යොදා ගන්නේ. අනිත් කාරණය ඕසෝන් ස්ථරය පලුදු වූ රටක් නිසා ඔවුන් ඒ ගැන සැලකිලිමත් වනවා වැඩියි. ඉතිං මෙය අනුගමනය කරමින් අපේ බොහෝ(ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අයත් ඇතුළුව) මා දැක තිබෙනවා මේ ආලේපන ඒ ආකාරයට අතුල්ලගෙන සිටිනවා. නමුත් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.
මේවයේ භාවිතා කරන රසායනික ද්‍රව්‍යයන් දෙකක් තිබෙනවා එකක් සින්ක් ඔක්සයිඩ්, අනිත් එක ටයිටේනියම් ඩයොක්සයිඩ්. මේවා මගින් එක්කෝ UV කිරණ හරවා යවනවා, නැතිනම් හමට හානිදායක නොවන මට්ටමකට ඒවගේ සංඛ්‍යාතයන් වෙනස් කරනවා. නැනෝ තාක්ෂනය යොදා ගත් පසු මේවා ඉතා සියුම් මට්ටමකින් සිදු කරන්න හැකි වෙලා තියෙනවා. මේ භාණ්ඩ මිලදී ගන්නා විට ඒවායේ මුද්‍රණය කර ඇති දේවල් කියවීම වැදගත්. සමහර සොයාගැනීම් ඒ ඒ සමගාම් සිදු කරන නිසා සහ ඒවාට පේටන්ට් ගන්න නිසා එක් එක් අය මේවාට භාවිතා කරන නම් වෙනස් වන්නත් පුළුවන්.
මේවා ආලේප කිරීම ගැනත් වචනයක් සඳහන් කරන්න වටිනවා. ඒ පිලිබඳ විස්තර ඕනෑම හිරුආරක්ෂණ ආලේපනයක සඳහන් කර තිබෙනවා. මේවා සිරුරේ පිටත පමණක් (External use only) ආලේප කරන ඒවා බව ඒවාගේ සඳහන් වෙලා තිබෙනවා. ඉතිං තුවාල තිබෙනවානම් මේවා ආලේපනය සුදුසු නෑ. ඔබ රැවුල බෑමෙන් පසු කෙලින්ම මේවා ආලේප නොකර After Shave වර්ගයක් ආලේප කර ටික වෙලාවකින් ආලේප කරන්න. ඇසේ ගෑවීමෙන් වලකින්න.
කාන්තාවන් නම් මේ පිලිබඳ යම් නිපුණතාවක් දක්වනවා. පිරිමි අපි ආලේපන ගැන වැඩි උනන්දුවක් නැති අය. එහෙත් මේ වගේ දේවල් නම් භාවිතා කරන්න වෙනව. එය සංයමයකින් කල යුතු දෙයක්. හිසේ ජෙල්/ක්‍රීම් ගැන ආකාරයට දෑතේ අතුල්ලා මෙය මුහුණේ ගෑවොත් ඇහිපිල්ලම් වල ගෑවීම වලක්වන්න බෑ. එවිට ටික වෙලාවකින් මේවා ඇසට යනවා. තද දැවිල්ලක්ද ඇති වනවා. වැදගත්ම කාරණය හිරුඑළියට නිරාවරණය වන්නට විනාඩි 15-30 ත් අතර කාලයකදී මේවා ආලේප කල යුතුයි. ඇඟිලි තුඩු මගින් ආලේප කලොත් හැරියට කර ගන්න පුළුවන්. බෙල්ල සහ ඔබේ ඇඳුමෙන් ආවරණ නොවන පපු ප්‍රදේශයත් වැදගත්. ඒ වාගෙමයි අත් දෙක.
මේවා පිලිබඳ වෙළඳ නාම බොහොමයක් තිබෙනවා. මතක තබා ගත යුතු තවත් කරුණක් තමයි විටමින් E හෝ තෙල් වර්ග නොමැති සන්බ්ලොක් එකක් තෝරා ගැනීම. විටමින් E හෝ තෙල් සහිත ඒවාට හැම පිච්චෙනවා. අමතක කරන්න එපා රත්පැහැ ගැන්වීම සහ පිච්චීම කියන්නේ දෙකක්. තවත් PABA නමැති රසායනික සංයෝගය නැති ඒවා ගැනීම වැදගත්. PABA සම මත පිළිකා ඇති කිරීමට රුකුල් දෙන නිසා දැන් ඒවා භාවිතා කරන්නේ නෑ. නමුත් UVB පාලනයට එය ඉතා හොඳ රසායනිකයක්.
අවසාන වශයෙන් බොහෝ රසායනිකය ද්‍රව්‍ය දිගුකාලීන භාවිතා කිරීම නිසා ශරීරයට වෙනත් අතුරු ආබාද ඇති වනවා.
සයිබරයේ සිහින බක් මහා උළෙලට එන අයට මේක වැදගත් වෙයි. මම නම් දැන් පුරුද්දක් වශයෙන් මේවා භාවිතා කරනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. හමේ වර්ණය මත හිරුආරක්ෂණ පාවිච්චියේ වෙනසක් නෑ. කළු අයටත් UV කිරණ වලින් වෙන හානිය එක විදියට බලපානවා. අනිත් එක විටමින් D නිෂ්පාදනයට හෝ අවශෝෂණයට මෙය බාදාවක් වන්නේ නෑ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ප.ලි.: මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධම නිෂ්පාදකයෙක් වන Neutrogenea දැන් උදම් අනනවා ඔවුන් SPF 100 සහිත සන්බ්ලොක් එකක් නිෂ්පාදනය කරා කියලා. ඒත් 100% නවත්වන්න බෑ. :)