Showing posts with label මගේ පියා (My Father). Show all posts
Showing posts with label මගේ පියා (My Father). Show all posts

Monday, January 16, 2017

සැබෑ නොවූ සිහින - ඉබි කටුව ...... Dreams Never Come True - Tortoise Shell

ශ්‍රී ලංකාව තුල ගෙවුණු ඉතාම සංවෘත්ත ආර්ථික යුගය පසුකල, බ්ලොග් කරණයේ යෙදෙන කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන්, එසමය තුල අත්දැකීම බෙදා-හදා ගැනීම අපගේ වගකීමකි. 70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය. ඒ සමයේ අපට ඉතාමත් සීමිත ආහාර වර්ග කිහිපයකින් සන්තර්පණය වන්නට සිදු විණි. එකළ මා ළදරු වියේ පසු වුවද, පැවතී අහේනිය පිලිබඳ පැහැදිලි මතකයක් තිබේ. එමෙන්ම එයට හසු වූ අපගේ ශාරීරික වර්ධනයද සීමා වූ බව නොරහසකි. ආනයනයන් සීමා වූ එම කාලපරිච්චේදය තුල, සීනි, සහල්, පරිප්පු, මිරිස් අඩුවෙන් දකින්නට ලැබිණි. ජනතාව තම අවශ්‍යතා සඳහා සමුපකාරය සහ සතොස සහ අලෙවි මණ්ඩලය වෙත පිය නගන එම යුගයට "පෝලිම් යුගය" ලෙසට නම් පට බැඳුනේ, පාන් ඇතුළු බොහෝ දේ මේවාගෙන් ලබා ගැනීමට පෝලිම් වල සිටීමට සිදු වීම නිසාය. 

එවකට ළදරුවන් වූ අපට නම් මේ අත්දැකීම බඩගින්නට වඩා සතුට ගෙන දෙන්නක් විය. මන්ද නිවසින් පිට ඇවිද යාමට දෙමව්පියන්ගේ අවසරය ලැබුණේ මේ පෝලිම් වල සිටීමට යන යෞවනයේ පසු වූ පුංචි අම්මලාගේ ආරක්ෂාවට අපවද පිට කර යැවීම නිසාය. පාන් සඳහා කාඩ් පතක් තිබූ බව අද පුරාවෘත්තයක් වුවද, මා ඒ පාන් කාඩ්පත අත දරා පෝලිමේ සිට ඇත. විටෙක තමන්ගේ පරපුර එක්-එක් දේවල් කල බව මුහුණු පොතේ පින්තුර බෙදා ගන්නා අයුරු දකින විට, "පාන් පෝලිමේ - පාන් කාඩ්පත දරාගෙන සිටගෙන සිටි පරම්පරාව" අප බව ඕනෑනම් බෙදා ගත හැකි බව මගේ මතකයට එයි.

අද උදෑසන ප්‍රවෘත්ති නරඹන විට පවතින නියං තත්වය තුල කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුබවයට ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු පවසන දසුනක් දකින්නට ලැබිණ. මගේ මතකය නිරන්තරයෙන් ඇදී ගියේ 70-77 යුගයටයි. අප පරිප්පු වෙනුවට අමු ලාවළු උයා කෑ(අවශ්‍ය නම රෙසිපිය පසුව ඉදිරිපත් කරන්නම්) මතකය සිහියට එයි. එවැනි බොහෝ ආදේශක එකල අපට තිබුණි. එසේ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියක් එකල අනුගමනය  කිරීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒම බව පසුව දැන ගන්නට ලැබුණි. එකල සීනි වෙනුවට හකුරු වර්ග ආදේශක ලෙස භාවිතා විය. කිතුල් හකුරු යහමින් නිෂ්පාදනය නොවූ නිසා සක්කර හෝ පොල් හකුරු නිෂ්පාදනයට කර්මාන්ත බලධාරීන්ගේ දෑස් යොමු වී තිබුණි. අපේ ගමට එම යුගයේ අලුතෙන් හඳුන්වාදුන් නිෂ්පාදනය වූයේ, පොල් ගස ආශ්‍රිත නිෂ්පාදනයන්ය. ඒ පොල් පැණි සහ හකුරුය. මෙයට අමතර තවත් බොහෝ දේ තිබෙන්නට ඇත. නමුත් මේ පොල් පැණි කර්මාන්තය පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ සවස් කාලයේ මගේ පියා හමු වන්නට පැමිණෙන ආනන්ද අයියාගෙනි. ඔහු පන් මල්ලක තමන්ගේ රාත්‍රී ආහාරයත්, වතුර බෝතලයකුත් රුවාගෙන්, එය තම බයිසිකල් හැඬලයේ රඳවාගෙන පැමිණේ. ඔහු රාත්‍රී කාලයේ කරන්නේ පොල් පැණි කර්මාන්තයට  මැද ඇති බෙන්තොට සංචාරක කළාපයේ පොල් ගස් මුර කිරීමය. එමගින් ප්‍රදේශයේ තරුණයෙකු වූ ඔහුට රැකියාවක් සලසා තිබේ. ඒ කාළයේ මාළු පවා අලෙවි වුයේ, ධීවර දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ගමේ එක්තරා තැනකට පැමිණ වෙළඳාම් කරන අවස්ථාවන්හීය.  එමගින්  ලංකාවේ මුහුදුබඩ නොවන පළාත් වලට මේ ක්‍රමයට මාළු ලැබෙන්ට ඇත. ඒවා දමා දුන් මාළුවකුගේ හැඩයේ සංකේතයක්  සහිත මුද්‍රිත ඉටි බෑගය අදටත් මගේ මතකය අලුත් කරවයි. කුකුල් මස් එම යුගයේ සුඛෝපභෝගී ආහාරයක්ම විය.
පින්තූරය ගත්තේ : http://colomboo.lk/directories/search?what=&where=c&paging=true&page=42

ඉබිකටුව මාතෘකාව ඔස්සේ මේ කියාගෙන යන්නේ මොනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මේවා අද සිනහමුසු මුහුණින් අනුස්මරණය කරන්නට හැකි ඉමිහිරි මතකයන්ය. එය පෝලිම් යුගයක් වූවාසේම, අඟහිඟ යුගයක්ද විය. අතීත කතා ලියන අතරතුර පඳුරු තැලිල්ල හඳුන්වා දුන්නේ හැලපයා වුවද, ආපසු ලියන්නට මට ආරාධනය කල ඩී.ජී.එම්. බස්සා පවසා සිටියේ කතා ලියන අතරතුර අවශ්‍යනම් පඳුරක් දෙකක් තලා දමන ලෙසය. ඉබ්බා දියට දැම්ම විට ඇන්නාවේ කීවා සේ මාද එය දොහොත් මුදුණින් භාර ගතිමි. මන්ද එය විටක් හපන විට අමතර එකතු කර කරඳමුංගු, කාරබුනැටි, සාදික්කා වසාවාසි වැනි සටහන රසවත් කරණ අමතර එකතු කිරීම් නිසාය. අපේ ඔෆිස් එකේ සුමිත් මේවාට පවසන්නේ "මීස්තරය" කියාය. එකල බියර් පානය කරන ගමන් ඊට අරක්කු මදක් එකතු කරන ඔහු පවසන්නේ "මීස්තරේට අරක්කු පොඩ්ඩක්" යනුවෙනි. ඉදින් ඉහලින් ඇති පරිච්ඡේද මේ කතාවේ මීස්තර වේ. සමහර විට මීස්තරය රසවත් වීමට ඉඩ ඇත.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද  බොහෝවිට විවිධ ද්‍රව්‍යයන් එකතු කිරීමේ යෙදෙති. මුහුදුබඩ ගමක ඉපදී හැදී වැඩුණු මා හට එසේ එකතු කල හැකි ද්‍රව්‍යයන් බොහෝ විය. අනෙක එක්-එක් වයස් තුලදී මේ ඇබ්බැහිය වෙනස් මගක් ගත් බව මගේ මතකය පවසයි. ඉතා කුඩා කාලයේ මා එකතු කලේ සිප්පි කටු, බෙලි කටු, දැලි පොතු(මේවා පිත්තල පහන් පිරිසිදු කිරීමට යොදා ගනී) වැනි මුහුදු වෙරල ආශ්‍රියෙන් අහුලා ගත හැකි දේවල්ය. නමුත් අවාසනාවකට කුමන කටයුත්තක් සඳහාවත් මගේ දෙමව්පියන්ගෙන් මුහුදු වෙරළට යාමට අවසර ගත නොහැක. මේවා මා එහි යන මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා ගතිමි. මුහුදු වෙරළට ආසන්න වුවද, ඉන් කිලෝමීටරයකට මත්තෙන් අපේ ගම ඇතුළට වන්නට වී වගාව සිදුවේ. වෙනත් අයුරකින් කිවහොත් වෙල් ඉඩම් බහුලය. ඒවා බෙන්තර ගඟ සහ එයට සම්බන්ධ වන අතු ගඟක් වන දෙද්දු ගඟ ආශ්‍රිතව සිදු වේ. නමුත් වඩදිය නොහොත් කරිජ්ජ ගතිය වැඩි මාගේ නිවස ආසන්නයේ ගං ඉවුර ආශ්‍රිතව වී වගා හෝ වෙනත් කිසිදු වගාවක් සිදු නොවේ. මගේ පියා තුණ්දුව නමැති ග්‍රාමයේ ඇති කනිටු විදුහලේ සේවය කරන අවධියේ මා හට ඉබි කටුවක් ගෙනවිත් දුන්නේ, මා මේ කටු(shell) වලට ප්‍රිය කල අයෙකු යන අදහසින් විය යුතුය( shell කීවාම 100% ක්ම මා shell කාරයෙකු වන්නේ අදටද, මා Unix/Linux ආශ්‍රිත Shell Programming සිදු කරන නිසාය). අපගේ නිවාස ආශ්‍රිතවම ඇති බෙන්තොට වගුරු බිමෙහිද ඉබ්බන් සිටින බව අප හට පැවසුවේ මගේ පියාගේ අතිජාත මිත්‍රයා වූ ජයසේකර ගුරුතුමාය. එතුමාගේ නිවාස පිටුපස මේ වගුරු බිමට යා වී ඇත. දිනක් එම ඉවුරට ඉතිරි වූ ගොම වගයක් විසි කරනවිට, ඉබ්බන් පොරකාගෙන ඒවා කෑ බව ඔහු අපත් සමග පවසා ඇත. නමුත් ජීවත් වන ඉබ්බන්ගෙන් මා හට පලක් නැත. මට අවශ්‍යව තිබුණේ ඉබි කටු එකතු කර ගැනීමයි.
පින්තූරය ගත්තේ :http://markopolio-stock.deviantart.com
අපිට ඒ කාලේ පින්තූර ගන්න විදියක් තිබුණා නම්, මේ බ්ලොග් වල අලංකාරේ කියා නිම කරන්නට බැරි වන මට්ටමකට ගෙන එන්න තිබුණු බව සහතිකය.මට ලැබුණේ ඔය ඉහලින් පෙන්වා තිබෙන වර්ගයේ ඉබි කටුවකි.එහෙත් එකතුවක් පවත්වාගෙන යන පෙර පාසල් වයසේ කොලු පැටවෙකුටඑය මහඟු දායාදයක් බඳු වේ. ඉන්පසුව මා කලේ මුණගැසෙන හැම කෙනෙකුගෙන්ම ඉබි කටු ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ  ප්‍රමාණයේ ඉබි  කටු හත අටක්ම මා සතුව විය.

තාත්තා ඒ කාලයේ සමුපකාර  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස වැඩ කළේය. ඔවුන්ගේ කාළයේ බෙන්තොට වැව ඉදිරිපිට  අවන්හලක්  පවත්වාගෙන යන්නට හැකි විය. එය පොල් කොට මත ඉදි කල නිසා එයට "කොට උඩ කඩේ" යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳිණි. අදටත් එය සිතින් මවා ගැනීමට මට හැකිය. දුඹුරු පාට කරන ලද පොල් කොටන් සිටව නිමවා තිබූ එහි උඩු මහල තනිකර ළී බිමකින්ද, වහළය පොල් අතු සෙවිළි කර තිබුණි.  අවන්හලෙන් කෑ රෝල්ස් වල රස මට තවමත් දැනෙන්නා සේය. එකල එයට ඉඳි ආප්ප සපයනු ලැබුයේ අපේ ලීලා පුංචි අම්මාය(ජයසේන බාප්පාගේ බිරිඳ). ඈ ඒවා සාදා ඉතිරි වන රබර් ඇටයක් තරමේ අවසාන පිටි ගුලියෙන් තලපයක් සාදා, වට්ටියක තබා ඉඳි ආප්ප සමගම තම්බා මට කෑමට දෙයි. මේ අවන්හළේ ඉදිරිපස කුඩා පොකුණු දෙකක් විය. ඒවායේ කුඩා කිඹුල් පැටවුන් ඇති කර තිබුණි. සති අන්තයේ හවසක අක්කා, මා සහ මල්ලීව මෙතැනට කැඳවාගෙන යයි. මල්ලීටත් මටත් එතන කෑම බීම වලට වඩා අවශ්‍ය වී තිබුණේ, එතැන තිබෙන පොකුණු වල ඇති වතුරට පයින් ගැසීමයි. නමුත් තාත්තා හෝ අම්මා සිටීනම් අප ඇදගෙන යන්නේ මහා කිඹුල් තඩියෙක් සිටිනා තැනකින් ගමන් කරන විලාසයටයි. එහි සිටින උන්ට අප බය නොවුයේ, උන් කිඹුලා බනිස් එකේ තරම් කුඩා කිඹුල්ලු නිසාද, නැතිනම් නොන්දන්නා කමටදැයි එකල අපට නිනව්වක් නොතිබුණි. මේ සමූපකාර පඳුර තලන්න ගොස් තව ඩිංගෙන් කියන්න ඕනෑම දේ මිස් වෙනවාය. 

කළු හෙක්ටර් නමැති පුද්ගලයෙකුද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. ඔහුගේ මුහුණ දකින්නද බියකරු පුද්ගලයෙකු වුයේය. නයිජීරියානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන් හැඩි-දැඩි වුවා සේම, සායි බබා මේ කොණ්ඩයක්ද ඔහු සතු විය. කුඩා දරුවන් වූ අපට, ඔහු දැකීම ඉතා බියකරු දර්ශනයක් විය. ඔහු ගැන ගුණ වරුණාව අපේ තාත්තා පණ පිහුටුවා පවසයි.
"ඔය කළු හෙක්ටර් ඉබි මස් කනවා. දවසක් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිහිං. ගහන-ගහන ඉන්ජෙක්ෂන් කටු කැඩිලා. අන්ම්තිමට දොස්තරට වැඩේ එපා වෙලා"
ඉතිං අපි බය වෙන එකත් සාධාරණය. එහෙත් මට තිබූ ප්‍රශ්ණය එය නොවේ. ඉබි මස් කනවා නම්, ඉබි කටු ඉල්ලා ගන්න පුළුවන් නේදැයි යන්න මගේ සිතේ වැඩ කළ එකම ප්‍රශ්නයයි. නමුත් කළු හෙක්ටර් සිහි වනවිට මගේ ඇඟට පණ නැති වන තරමට ඔහු බියකරු පුද්ගලයෙකු නිසා, ඒ ආශාව මම අත් හළෙමි.

ඉබිකටු කිහිපයක් දැනටමත් මා සතු නිසා, තව-තවත් ඉබිකටු පිටුපස යාමේ තේරුමක් නැත. මට ඉන් පසුව ඕනා වුණේ, මේවා විවිධ වර්ණයන් ගැන්වීමය. මාකළේ විවිධ වර්ණවල රටහුණු වලින් මේවා පාට කිරීමය. නමුත් ඒවා වතුර බිඳක් ඉහුනොත් සේදී යන නිසා, මා පියාගේ අධාරය පැතීය. එවිට ඔහු තම ළමා කාලයේ විවිධ වර්ණ තනා ගත් ආකාරය විස්තර කළේය. නමුත් ඒ ක්‍රම වලට වර්ණ සම්පාදනය දැන් අපහසු බව අපේ දෙදෙනාටම පැහැදිලි වූ නිසා, බැනර් සහ බෝඩ් අඳින රණවීර අන්කල්ගෙන් ලැකර් ටිකක් ඉල්ලා දෙන්නට තාත්තා පොරොන්දු විය. දින බයිසිකලයක් පැදගෙන අප නිවාස පසුකර යන තලත්තෑනි පුද්ගලයෙකු නවතා ගත් ඔහු, වර්ණ පිලිබඳ විස්තරය ඔහු හා පැවසීය. ඒ අසා වර්ණ ලබා දීමට පොරොන්දුවක් ලබා දීඔහු පිටත් වුවත්, ඔහුගේ මුහුණෙන් එය ඔහුට කරදරයක් බව පැහැදිලි විය. ඔහු පාරේ ගමන් කරනු  දකින  හැම  අවස්ථාවකම ඔහුට ඇවිටිලි කලද, හෙට දෙන්නම් -අනිද්දා දෙන්නම් වැනි උත්තර වලටම එය සීමා විය. පසුව මේ ආසාව යටපත් කරගන්නට මට සිදු විය.

අන්තර්ජාලය පිරික්සීමේදී මේවා වර්ණ ගන්වන්නට කමත් මා වැනි  තවත් බොහෝ පිරිසක් ඇති බව පැහැදිලි විය.
පින්තූරයගත්තේ : www.pinterest.com
 
මෙය මා කරන්නට සිටි විලාශයේ පාට කිරීමකි. නමුත් පැසිපික් දූපත් වල සිටින, අබෝරෝජින්වරුන් මේවා ඉතා අලංකාරව වර්ණ ගන්වා තිබෙනු දක්නට හැක. යලිත් ඉබි කටු කිහිපයක් සොයා ගත හැකිනම්, මේ සිහිනය සැබෑ කර ගත හැකිය. නමුත් ඉබිකටු ඇතිවිට තීන්ත නැත - තීන්ත ඇතිවිට ඉබිකටු නැත.

Thursday, July 11, 2013

මම නොට්ටිගේ පුතෙක් නොවෙමි.

අපේ රටේ බහුවලව ඇහෙන කියමනක් තමයි "අප්පා කල දේ පුතා නොකලොත්, ඌ නොට්ටිගේ පුතෙක් කියලා". මේ නොට්ටිගේ කියන එකට විවිධ අය විවිධ අර්ථකතන දුන්නා. අපේ සිංහල රාජ් මේ මාතෘකාවෙන් පොස්ට් එකකුක් ලිව්වා. මෙතන නොට්ටිගේ කියන එකේ පද නිරුක්තිය අනුව හැදිලා තියෙන විදිය අපේ පැත්තේ අන්කල් කෙනෙක් දවසක් කිව්වා. ඒ කියනකම් මම හිතා හිටියේ මේක ලෙවල් ටූ කුණුහරපයක් කියල. ඒක වෙන්නේ නොට් + උගේ කියන හයිබ්‍රිඩ් නිරුක්තියකින් කියලා තමයි කියන්නේ. නොට්ටුගේ කියන එක පසුව නොට්ටිගේ වුණා කියලා තමයි අර අන්කල් කිව්වේ. 

අපේ තාත්තාගේ කාලයේ බ්ලොග් තිබුණේ නැත. තිබුණා නම් අනිවාර්යයෙන්ම තාත්තාද බ්ලොග් කරුවෙකි. එසේ වූවානම් මම නොට්ටිගේ පුතෙක් නොවීම සාධාරණය. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඔබ කරන්නේ තල් පතක් මතද, ගල් කුලක් මතද නැතිනම් අපට වඩාත් හුරුපුරුදු බ්ලොග් එකකද යන්න එතරම් විශේෂයක් නොවේ. මෙහිදී ඔබ කොහේ හෝ ලේඛණ කලාව කරගෙන යාම ප්‍රස්තුත වේ. ඒ අතින් මගේ පියා හා මා ගත් කල මම "නොට්ටිගේ පුතෙක්" නොවෙමි. හේතුව තාත්තා සාම්ප්‍රදායික ලෙස පෑන සහ කඩදාසිය යොදා ගත් අතර මා වඩාත් පහසු බ්ලොග් කෙරුවාවට හුරු වීමය. 

අපේ තාත්තලාගේ කාලයේ ලියන්නට හැකි බොහෝ දෙනෙකුට සිදු වූ පරිදි, තත්තාටද ඔහු ලියූ පොත් එලි දක්වන්නට බොහෝ කාලයක් බලා ඉන්නට සිදු විය. කාලයක් තිස්සේ කඩදාසියේ සටහන් කර ගත් නවකතා කිහිපයක් ඔහු ළඟ තිබුණද, ඒවා එලි දක්වන්නට තරම් ආර්ථික ශක්තියක් රජයේ සේවකයෙකු වූ මගේ පියාට නොවිණි. තම අතින් ලියූ එක පොතක් හෝ මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. අවසානයේ වසර 2005 දී මෙම හීනය හැබෑ කරගන්නට ඔහුට හැකි විය. පහලින් ලියවෙන්නේ ඒ පොත ගැන සුළු සටහනකි. අද එය විශ්ව විද්‍යාල වල සිසුන් සොයාගෙන එන්නේ අප මවිතයට පත් කරමිනි. 

එම පොත නමින් බෙන්තොට පාරාදීසය වේ. එහි පිටු සැකසීම මගේ නැගණිය වන සුදර්ශනී කන්නන්ගරගේ වන අතර පිටකවර නිර්මාණය ඔබ කවුරුත් හඳුනන සුභාෂ් දිල්රුක් කන්නන්ගරගේය. ඒ අතින් මගේ පියා වාසනාවන්තය තමන්ගේම දූ-පුතුන්ගේ සහයින් සහ තමන්ගේම ප්‍රකාශන අයිතියකින් එය එලි දක්වා ඇත. අප ගම ගැන ලියවුනු ඒ කුඩා පුස්තකහි සඳහන් මගේ සිත් ගත් කොටස් කිහිපයක් මා ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන්නම්. එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වී ඇත
පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් වල් වැදී ගිය බෙන්තොට පුරවර නැවතත් ඒකාලෝක වූ අයුරු රසවත් කතාපුවතක් මෙන් සුන්දරය. එකල්හී ගම්බිම් අතැර වෙනත් ප්‍රදේශවලට පළාගිය ජනතාව නැවතත් බෙන්තොට පුරවරය වට රොක්වන්නේය. ඒ බෙන්තොට ප්‍රදේශයේ දෙවන උත්පත්ති කාලයයි. 
අප කුඩා කාලයේ(ඉංග්‍රීසි පාළන කාලයයි) දුටු පුදුමාකාර අත්දැකීම් සමූහයක් මා මගේ දරුවන් සමග රසකර කීවෙමි. අප අසා ඇති එතිහාසික මෙන්ම අත්භූත සිද්ධීන්ද ඒ අතර විය. ඒවායින් මට මතක ඇති බොහෝ දෑ මෙහි සටහන් කරන්නට අමතක නොකළෙමි. ඒවා ඔබට රස විඳිය හැකි තත්වයේ ඇති බව මා විශ්වාස කරන්නේ වරක් ධර්මසිරි ගමගේ මාධ්‍යවෙදියාණන් අප සමග බෙම් ගඟේ  චාරිකාවක යෙදෙන අවස්ථාවේ මා කියූ අතීත පුවත් කිහිපයක් අසා එතුමන්ද ඒවා අගය කල බව මතක් වීමෙනි. 
බෙන්තොට අතීතයේදී ප්‍රසිද්ධියක් ඉසුලුවේ කුමක් සඳහාද ? මෙම ග්‍රන්ථය ඒ සඳහා සාක්ෂි දරයි.
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙහි බෙම්තර ප්‍රසිද්ධවැව තිබුනේ 'කාවාටි' නම් බෙල්ලන් විශේෂයටයි. මේවා ලබා ගත්තේ මෙහි ගං මෝයෙන් හෝ පහුරුමුල්ල සීමාවේ පිහිටි මහා ගල හා දිග් ගලෙනි. 
මේ කතාව මට තවත් ස්ථානයකින් තහවුරු කර ගන්නට හැකි විය. ඒ කළු සුදු සහ අළු චිත්‍රපටයෙනි. එහි එක් තැනක "බෙන්තරින් කාවාටි ගෙනැත් දෙන්න තිබුණා නේ" යයි කියන කොටසක් මගේ මතකයේ ඇත. මාද එක වරක් මෙම බෙල්ලන් විශේෂය රස බලා ඇත. ඒ මගේ පියාත් සමග ගඟේ නාන්න ගිය විටකදීය. ඉහත කී මහා ගලේ ඇලී ඇති, ගලටම සමාන ලක්ෂණ ඇති පතුරක්, ගලක් මගින් ගසා ගැලවූ විට ඒ තුල ඇති රිදී පැහැති දියරයක් මෙන් බෙල්ලන් අමුවෙන්ම උරා බීමය. මෙය අපේ ගමේ කොයි කවුරුත් එකල කල දෙයක්ය.

මීට අමතරව සංදේශ කාව්‍ය වල බෙන්තොට පිලිබඳ සඳහන් මෙම පොතෙහි සඳහන්ය. මයුර, තිසර, ගිරා සංදේශ වල සටහන් කවි මෙහි දක්වා ඇත. බෙන්තොට වඩාත් ප්‍රචලිත වූ වනවාස විහාරය ආශ්‍රිත සංදේශ සටහන් එකල සුලබ විය. පරෙවි, කොවුල්, ගිරා සංදේශ ඒ පිලිබඳ දක්වා ඇති කව්‍යද මෙම පොතෙහි අන්තර්ගතය.

මෙහ ශාස්ත්‍රීය සහ එතිහාසික දේ බොහෝ තිබුනද, මා සිත් ගත්තේ එහි තිබෙන හාස්‍ය සහිත දේටය. මේ එවැනි කතාවකි.

එකල ඕනෑම තොවිල් ගෙදරකට පැමිණ, උදව් කිරීමට සුදානම් තැනැත්තෙක් අපේ ගමේ විසුවේය. හේ රා බීමටද හපනෙකි. පියදාස නමින් හඳුන්වනු ලැබූ ඔහු මිටි පුද්ගලයෙකු වුයේය. එදින අපගේ තොවිලයට උදව් කිරීමට සඳහාද පියදාස පැමිණ සිටියේය. ඔහු ඇත පෙට්‍රෝමැක්ස් ලාම්පුව විය. මෙන්ඩිස් කට්ටාඩි උන්නැහේ පසුපසින්ම ගමන් කරමින් ඔහුට අවශ්‍ය පරිදි ආලෝකය ලබාදෙන්නට සැරසී සිටි පියදාස අනෙක් කිසිවක් පිළිබඳව අවධානය යොමු කලේ නැත.
මැන්ඩිස් අයියා ඉදිරියෙනි. පැට්‍රොල් මාක්ස් ලාම්පුව රැගත් පියදාස පසුපසිනි. සුරතින් කඩුව ගත් මැන්ඩිස් අයියා පුහුල් ගෙඩිය ගෙන දිය යටට යාමට සැරසෙයි. පියදාස මැන්ඩිස් අයියාට බොහෝ ආදර ගෞරව ඇත්තේ තව තවත් හොඳින් ආලෝකය ලැබෙන සේ ලාම්පුව අල්ලාගෙන සිටියි. මැන්ඩිස් අයියා පුහුල ගෙන එක්වරම දියයටට යනවිටිය හදිසියේම ආලෝකය නැති විය. තැතිගැන්මෙන් යුතු අප එකිනෙකාට ලං වීමු. තවත් මොහොතකින් ජල තීන්දුව කැපීමට දිය යටට ගිය මෙන්ඩිස් අයියා සමගින් පෙට්‍රෝමැක්ස් ලාම්පුව ඔසවා ගත් පියදාස දියෙන් මතුවෙනු ඒ වනවිට කරුවලට ඇස් හුරු වූ අපට පෙනිණ. 
මෙම පොතට පසුවදන සපයන ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ  මහතා මෙසේ සඳහන් කරයි
ඇල්බට් කන්නන්ගර මහතා ගුරු වෘත්තීය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති, බෙන්තොට ප්‍රදේශයේ තොරතුරු අතැඹුලක් සේ හොඳින්ම දන්නා, එය ලේඛනයට මහා පරිචයකින් ඉදිරිපත කල හැකි දක්ෂ නිර්මාණ ශිලිපියෙකි. මේ බව පසක් කර ගත්තේ බෙන්තොට පිලිබඳ සිළුමිණ, රසඳුන අතිරේකයට ලිපි මාලාවක් ලිවීම සඳහා මා  බෙන්තොට සංචාරයේ නියැලුණු අවස්ථාවේදීය. බෙන්තොට ප්‍රදේශයට අදාළ සියළුම පෞරාණික වූ ද වැදගත් වුද කරුණු කටපාඩමින් විස්තර කිරීමට තරම් හසල දැනුමක් එතුමා සතුව ඇත. 
එසේම ඉතා රමණීය භාෂා විලාශයකින් එය පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ නිසඟ ලේඛන කුසලතාවක් ද එතුමා සතුව ඇත. එතුමා විසින් ලියන ලද "බෙන්තොට පාරාදීසය" කෘතිය අද සංචාරක පුරවරයක් තෙක් විහිද යන ඇති පෞරාණික ඉතිහාසයක් ඇති බෙන්තොට ප්‍රදේශය පිලිබඳ කෝෂ ග්‍රන්ථයක් වනු නොඅනුමානය. 
එතුමා පැවසූ අන්තිම වාක්‍ය සත්‍ය බව අපට වැටහුනේ, මගේ පියා සොයා එන විවිධ සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ප්‍රමාණය දුටු විටය.

එම පොත ගැන පුවත් පත් වල සඳහන් වූ අවස්ථා කිහිපයක්ද නෙත ගැටුණි

[1] The temple on the rock

[2] ඩේලි නිවුස් පුවත


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...