Showing posts with label කුතුහලය(Curiosity). Show all posts
Showing posts with label කුතුහලය(Curiosity). Show all posts

Monday, September 21, 2015

පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

එක්තරා පියෙකු රාජකාරියේ යෙදී සිටියදී තම නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන්නේ ඔහුගේ අට හැවිරිදි දියණිය.
beutiful little girl holding a telephone receiver answering
පින්තූරය ගත්තේ : http://www.awesomequotes4u.com/

"කොහොමද රත්තරං. මේ තාත්තා. අම්මා ළඟ ඉන්නවද ?"
"නෑ තාත්තී. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ"  කුඩා දැරිය උපහාසයෙන් මෙන් පවසා සිටියා.
කුඩා ඉසිම්බුවකින් නැවතත් පියා හඬ අවධි කළා
"ඒ වුණාට රත්තරං ඔයාට පෝල් කියලා මාමා කෙනෙක් නෑනේ!"
"ඕහ් ! ඔව් ඉන්නවා අන්න එයා මේ දැන් උඩ තට්ටුවේ අම්මත් එක්ක"
තවත් කෙටි නිහැඬියාවකින් පසු
"අහ් ! හරි. එහෙනං මෙන්න මේකයි දැන් ඔයා කරන්න ඕනේ : ෆෝන් එක පැත්තකින තියලා, උඩ තට්ටුවට දුවලා, දොරට තට්ටු කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියන්න, තාත්තාගේ කාර් එක ගේට්ටුව ළඟ" කියල.
"හරි පොඩ්ඩක් ඉන්න තාත්තේ"
ටික වෙලාවකට පසු කුඩා දැරිය දුරකථනය වෙත පැමිණ
"හරි තාත්තේ" යනුවෙන් පිළිවදන් දුන්නාය.
"මොනවද වුණේ රත්තරං ?"
"අම්මා හොඳටම බය වෙලා හෙළුවෙන්ම ඇඳෙන් බිමට පැනලා, කෑගහගෙන කාමරේ වටේ දිව්වා.  ඊට පස්සේ ඇදගෙන වැටිලා එයාගේ ඔළුව පඩිපෙළේ  වැදුණා. දැන් එයා හෙලවෙන්නේ වත් නෑ. 
"පෝල් මාමට මොකද වුණේ ?" පියා විමසුවා.
"එයා ජනේලයෙන් පැන්නා ස්විමිං පූල් එකට. මං හිතන්නේ ඔයා ගිය සතියේ වතුර අස් කළා කියලා එයා දැනගෙන ඉඳලා නෑ. එයාව අඩියටම වැටිලා මම හිතන්නේ දැන් එයා මැරිලා". 
 ඉතාම දිගු නිහැඬියාවකින් පසුව යලිත් වරක් පියා හඬ අවධි කළා
"ස්විමිං පූල් එකක් !!!, ඒ වුණාට අපිට පූල් එකක් නෑනේ. මේ 486-5731 ද ?"
"නෑ. මේ 486-5713"
 "සොරි රෝන්ග් නම්බර් !!!!"
 http://www.awesomequotes4u.com/ වෙබ් අඩවිය ඇසුරෙනි.

Thursday, October 2, 2014

වෙඬරු සදිසි හදක් ...... A kind hearted mother ......

මේ කුරිරු ලෝකය බලා සිටින්නේ බාල බොලඳියන් ඩැහැගන්නේ කොයි මොහොතේද කියායි. මෙය තවත් එවැනි කුරිරු කතාවක්ද ? මේ සටහන අවසානයේ ඔබම තීරණය කරන්න. ඇයගේ මවගෙන් පළමු දිනයේ එන අධික ප්‍රතිශක්තියකින් යුතු පළමු කිරි උගුර උරා බොන්නට ඇය වාසනාවන්ත වුවාය. යන්තම් දෙපයින් නැගී සිට ඇවිදින්නට තතනන මොහොතේදී තවත් කුරිරු මවක් ඇය ඩැහැගන්නේ දෛවයේ සරදමක් ලෙසය. එසේ ඩැහැගන්නේ බිලිඳියට යහපතක් කරන්නද ? තමන්ගේ දෙමව්පියන්ගෙන් පවා දරුවන්ට අතවර සිදුවන  යුගයක, ආගන්තුක මවකගෙන් දරුවකුට කුමන රැකවරනයක්ද ?
lion mother saved a calf old one day initiyally intended to kill for her daily bread amazing miraculous national geographic video
පින්තූරය ගත්තේ : http://www.runningwithsafetyscissors.com

එහෙත් ලෝකයේ කලාතුරකින් හෝ ආශ්චර්යයන් සිදු වේ. එවැනි සිදු වීම් අපට ඉඳහිට අසන්නට දකින්නට ලැබේ. මේ බිලිදියද එවන් වාසනාවක් කරපින්නාගෙන පැමිණ ඇත. ඇය පසුව හමු වූ මවට තුරුල් වන්නේ ආදරය, රැකවරණය පමණක්ම බලාපොරොත්තුවෙන් නොව තම කුසගින්න නිවාගැනීමට කිරි උගුරුක් ලැබේයයි සිතමින්ය. කිරි දෙන්නට නොහැකි වුවද, දරු සෙනෙහස කුමක්දැයි ඇය හඳුනන්නීය. නමුත් බිලිඳිය ඩැහැගැනීමේ ඇගේ අරමුණ වෙනස්ය. දරු සුරතල් කරන්න නම් තම ජාතියේ දැරියක් හුරතල් කරන්නට හැකිය. ඉතා කුඩා වයසක පසු වන බිලිඳියගේ තොඳොල් බස් සහ සිරුරේ වෙලී සොයන මවු සෙනෙසහ කුමක්දැයි ඇයට නොවැටහෙනවා නොවේ. මුලින් ඔහේ තුරුල්වී උණුසුම විඳින්නට ඇය ඉඩ හරී.  මේ බිලිඳියට මේ සිටින්නේ තමාගේ මව නොවේ යන්න මොහොතකටවත් සිතෙන්නේ නැත. බිලිඳිය දැඩි කුසගින්නකින් පසු වේ. මවක් ලෙස ඇගේ හිත උණු වේ. සමහරවිට ඇගේ දරුවකු අකාලයේ මිය යන්නට ඇත. ඊළඟ පැය කිහිපයේ ඇය වෙනත් පාපතරයින්ගේ මේ බිලිඳිය ආරක්ෂා කරයි. උණුසුමද දෙයි. හුරතල් වන්නට ඉඩ හරියි. එහෙත් අබමල් රේණුවක කරදරයක් නොකරයි. බිලිඳියට දෛවයේ කුරිරු සරදමට මුහුණ දීමට සිදු නොවේ. මේ මොහොතේ අප සැමගේ ප්‍රාර්ථනයද එයයි.

පැය විසිහතරක කාලය බිලිඳියට කල්පයක් සේ දැනෙයි. අධික කුසගින්නෙන් ඇය දුර්වල වේ. කුරිරු කත ඇයට යන්නට හරියි. එහෙත් පසුපසින් හිඳිමින් ඇය ආරක්ෂා කරයි. එළඹෙන සන්ධ්‍යාවේදී අකල් වැස්සක් කඩා වැටේ. කුසගින්න, සාංකාව, සීතල අතර ඇය සීතල පොළව මතම රාත්‍රිය ගත කරයි. අවට සිටින ලේ පිපාසිතයින් පමණක් නොව මැසි මදුරුවන්ද ය වට කැරකෙන්නේ, තවත් පැය කිහිපයකින් මේ ගොදුරෙන් තම කුස පුරවා ගන්නටය. අරුනොදයත් සමග අයට නව පණක් ලැබේ. තවත් මොහොතකින් තම හාත්පස සිටින්නේ තමාගේ මව වටා සිටි මිතුරියන් සහ ඔවුන්ගේ දරුවන්ය. දැඩි කුසගින්නේ පසුවන බිලිඳිය අර මවුන්ගෙන් කිරි උගුරක් උරා බොන්න සුදානම් වනවා. මේ ඉන්නේ මගේ මවද ? ඇයට තවමත් තෝරා ගන්න බෑ. දැඩි කුසගින්නකින් පසුවෙන ඇයට මේ සියළු දෙනා ඇගේ මවුන් වගේ පෙනෙනවා. එහෙත් ඔවුන් ඉතා කුරිරු ලෙස මේ බිලිඳිය පලවා හරිනවා. අවසානයේ තම වයසේ වෙනත් අයගේ කිරි බුරුල්ලට තොල තබා ඇය කුසගින්න නිවාගැනීමේ නිෂ්ඵල වෑයමක නිරත වනවා. එවිටත් ඇයට මවගේ මිතුරියන්ගෙන් සුපුරුදු ප්‍රතිචාරය ලැබෙනවා. ඈතක සිට ඒ දෙස ඉතා කණගාටුවෙන් ඇය පැහැරගත් මව බලා සිටිනවා. ඇයගේ ලේ කිරි නොවීම ගැන ඇය මේ මොහොතේ පස්චත්තාප වනවා සිකුරුයි.

මෙසේ දිව යන බිලිදිය වෙත නොපැතූ මොහොතක ඇගේ මව දිව එනවා. එහෙත් බිලිඳිය ඇය හඳුනන්නේ නෑ. නමුත් ඈ කිරි වලින් පිරී ඇති බුරුල්ලෙන් ඇයගේ කුසගිනි නිවාලනවා. තවත් මොහොතකින් දෙදෙනා සතුටින් දිව යනවා. බිලිඳිය තව මව වටා දිව යමින් ඉහවහා යන සතුට ප්‍රකාශ කරනවා. 

දීර්ග සටහනකින් මා විස්තර කරන්න හදන කතාව වීඩියෝ පටයක සටහන්ව තිබෙනවා. එහෙනම් ඔබම බලා තීරණය කරන්න සිදු වූයේ කුමක්ද කියා ?

විශේෂ ස්තුතිය : මෙය මගේ ඇස ගැසීමට සැලැස්වූ තිලක් ලියනවඩුගේ මගේ මිතුරාට. අද මම මෙය මගේ දියණියට බලන්නට සැලැස්වූවා. ඇය දෑස් පිසදමනු දුටු මා ඔයා අඬනවාදැයි විමසා සිටියා. "මට සතුටු ඇයට මව හමු වූ නිසයි. ඒකයි මට කඳුළු ආවේ" ඇගේ පිළිතුර වුණා.

Monday, May 19, 2014

ගල් වගේද රෙඩ් ලේබල් ? ...... Red Label is better than Extra Special.


මේ පින්තූරේ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ ? ඉබ්බෙක් ඇරියොත් සාමාන්‍යයෙන් මෙහෙම තියන්නේ නෑ. මෙහෙම තිබ්බම කාට හරි මේක උස්සන් යන්න පුළුවන්. ඒ වගේමයි ඉන්න කෙනාව ඇතුලේ තියලා ලොක් කරන්නත් පුළුවන්. තවත් නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මේක දැක්කම මටනම් අපේ ශාඛාවක අසූවේ මුල් දශකයේ වුණු කතන්දරයක් මතක් වුණා. ඇත්තටම මේක මම අත්දුටු දෙයක් නොවුනත්, අද ජීවතුන් අතර නැති ගාමිණි නමැති පැරණි සේවකයෙක් මගේ කනේ තිබ්බ කතාවක් . එක පාරට සිහියට ආවා. 

කලින් කිව්වා වගේ මේ වැඩේ වෙලා තියෙන්නේ අසූව දශකයේ මුල් කාළයේ. ආර්ථිකය විවෘත කරලා අවුරුදු කිහිපයයි ගියේ. ඒ වෙනකොටත් පැවතී සංවෘත ආර්ථිකය යටතේ තිබුණ විදියමයි. සමහර දේවල ලංකාවට ආවේ බොහොම මන්දගාමීව. විස්කි කියන මත්පැන් වර්ගය ඒ කාලේ සුඛෝපබෝගී භාණ්ඩයක්. ඉතිං බාර්/වයින් ස්ටෝර්ස් වල මේවා සුලභව තිබුණේ නෑ. කෙනෙකුට මුදලට ගන්න නැති තරම්. ඒ කාලේ ඉතිං බොහෝ දෙනෙක් කියපු මන්තරේ තමයි "කොටියා පොල් ගහ යට ඉන්නේ පොල් වීරයා - දාන් ලෑල්ල වගේ ඉන්නේ ගල් මාරයා" කියන නිහාල් නෙල්සන්ගේ ජනප්‍රිය ගීතය. මට මතකයි තැඹිලි පාට මූඩියක් තියෙන බෝතලයක් තාත්තලා ඒ කාලේ පාවිච්චි කළා. මම කරන්න ආවේ අරක්කු පිලිබඳ විග්‍රහයක් නොවෙන නිසා කියන්න ආපු කතාව කියන්නම්.

බැංකුවක සෙකන්ඩ් ඔෆිසර් කියන්නේ ඒ කාලේ බොහොම බලවත් චරිතයක්. දෙවෙනි නිලධාරියා අතේ තමයි බොහෝ ශාඛා වල පාළනය තිබුණේත්. ඒ කළමනාකාර තුමාට වඩා වැඩිමල් බොහොම අත්දැකීම සහිත අය මේ තනතුරේ හිටි නිසා. හරියට පොලීසියේ සාජන් මහත්මයා වගේ. බොහෝ නවක සේවකයා බොහොම බියක් දැක්වූවා මේ වගේ අයට. අපේ හිතවතා ගාමිණි මහත්මයා කොළඹ එක්තරා ශාඛාවක වැඩ කරන කාලේ, ඉතිං කොත්තමල්ලි පානයට වුණත් බොහොම  නවක සේවකයන් පෙළඹෙනවා බොහොම අඩුයි. ඒ වුණත් එහෙම නොවුනෙත් නෑ. ඒ කාලේ ඉතිං රටබීම බෝතලයක් කියන්නේ මහා අරුමයක්. 

දවසක් ඉහළ පෙළේ ගනුදෙනු කරුවෙක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතාගෙන යම් භාණ්ඩයක් මේ දෙවෙනි නිලධාරියාගේ මෙසේ උඩින් තියලා ගියාළු. එහෙම කළේ තමන්ගේ සුහදත්වය පෙන්වන්න. ගනුදෙනු කරුවා විශ්වාස කලේ ශාඛාවේ ඔහුත් සමග ගැටෙන අයවත් එකතු කරගෙන මේක දෙවෙනි නිලධාරියා අනුමත කරාවි කියලා. එහෙම වුණාම රස්තියාදුවක් නැතිව වැඩ කර ගන්න පුළුවන් නේ. ගනුදෙනු කරුවාට යන්න ඇරලා, දෙවෙනි මහත්තයා කෙලින්ම තමන්ගේ මෙසේ පිටිපස්සේ තිබෙන කබඩ් එකට මේ මාහැඟි වස්තුව ප්‍රවෙසමට යවලා. දැන් ඉතින් කට්ටිය සුදානමේ ඉන්නවා අද හවසට මේකෙන් අනුමත වෙන්න. ඒ නිසා බොහෝ දෙනා කලින්ම තමන්ගේ වැඩ කටයුතු එහෙමත් හමාර කරලා. මේක ලැබෙනවා දැකපු අය අනිත් අයව ඉතා වේගයෙන් දැනුවත් කලේ, හවසට වැඩ ඇරිලා තමන්ගේ පෙම්වතිය එක්ක ජෝඩු දාලා යන්න බලන් ඉන්න අයට එහෙම බොරුවක් ඇද බාලා වැඩේට සෙට් වෙන්න ඉඩකඩ සලසා ගන්න.

මුළු බ්‍රාන්ච් ඒකෙම ඉන්න පිරිමි කට්ටිය රට කොත්තමල්ලි වලින් සන්තර්පණය වෙන්න සුදානමින් ඉන්නකොට, තමන්ගේ කබඩ් එක ලොක් කරපු සෙකන්ඩ් ඔෆිසර් කඩිමුඩියේ මැනේජර් උන්නැහේගේ කාමරයට දුවනවා කව්රුත් බලාගෙන. බොහෝ දෙනෙක් විශ්වාස කලේ අද වැඩේ වේලාසනින්ම පටන් ගනී කියලා. මැනේජර් මහත්තයත් එක්ක සුළු මොහොතක් කතා කරලා, එලියට ආපු දෙවෙනියා බෑග් එක අතට ගන්නකොට කට්ටියට දවල් තරු පෙනුණා. 

"මම අද හදිසි වැඩකට ෂෝර්ට් ලීව් එකක් යනවා"

කියපු දෙවෙනියා හිමිං මාරු වෙන දිහා බොහෝ දෙනෙක් දත්කුරු කමින් බලාගෙන උන්නා. 

"මේ යකා අමු කුම්මැහියා. මේකා හදන්නේ අපිට නොදී මේක තනියම බොන්න" කෙනෙක් කිව්වා. ඒ කථාවත් බොරුවක් නොවෙන වග අත්දැකීමෙන් දන්නා කිහිප දෙනෙක්ම උන්නා. මේක අපිත් එක්ක බෙදා නොගෙන බිව්වොත් හොඳ පාඩමක් උගන්නමු කියලා කිහිප දෙනෙක් දිවුරුවා. දවස් කිහිපයක්ම මෙහෙම ගත වෙලා ගියත් සෙකන්ඩ් ඔෆිසර් කාරයා නෙවෙයි මේ ගැන කටක් ඇරලා කථා කලේ. දැන් කට්ටියට වැඩේ හොඳටම පැහැදිලියි. මේ අතරේ මේකට ඇහැ ගැහගෙන හිටිය කෙනෙක්‌, බෝතලේ ජොනී වෝකර් රෙඩ් ලේබල් ලීටරේ එකක් බවත්‍, ඊයේ හවස් කුඩා බෝතලයකට එයින් කොටසක්  පුරවා ගන්නවා තමන් දුටු බවත් අනෙක් අයටසැල කර සිටිනවා. දැන් නම් තමන්ට විස්කි රස බලන්න අවස්ථාව නොලැබෙන බව බොහෝ දෙනෙකුට වැටහී ගියා. 

මේ මනුස්සයා කොහේ ගියත් කබඩ් එක ලොක් කරනවා. උදේ ආපු ගමන් කබඩ් එක ඇරලා තමන්ට අවශ්‍ය දේ ගන්නා ඔහු, සැනෙකින් කබඩ් එකේ ඉබ්බා දමා වසා දමන්න වග බලා ගන්නවා. මෙයට වැඩේ දෙන්න සැලසුම් කරගෙන සිටි අය ඉතාම සෝදිසියෙන් හිටියේ, කොයි මොහොතක හෝ සෙකන්ඩ්  ඔෆිසර්ට මේ ලොක් කිරිල්ල අමතක වෙයි කියලා. එක දවසක්වත් හවසක  ප්‍රධාන කාර්යාලයෙන් ආපු දුරකථන ඇමතුමකට දුවගෙන යන දෙවෙනියා දුටු එක් අයෙක්‌ තමන්ගේ සැලසුම ක්‍රියාත්මකයි කරන්න ශාඛාවේ හත්වෙනි ශ්‍රේණියේ සේවකයාට පණිවුඩය දුන්නා. වහා දිව ආ පියන් උන්නැහේ කබඩ් එකේ සොයිබයේ එල්ලෙන ඉබ්බා ඉවත් කොට සමාන වෙනත් ඉබ්බෙක්‌ එය මත රැඳවූයේ වෙනසක් නොදැනෙන ආකාරයට. තවත් මිනිත්තු කිහිපයකින් තම අසුනට ආ දෙවෙනි නිලධාරියා සුපුරුදු පරිදි වැඩ අවසන් කර කුඩා කුප්පියට තමන්ගේ දෛයිනික විස්කි සලාකය පුරවා ගත්තා. ඔහු සැලසුම් කරගෙන සිටියේ මාස කිහිපයක් එසන්ස් කුප්පියකට පුරවා ගෙනගොස් මෙය භාවිතා කිරීමට. 

සූපුරුදු පරිදි හවස හතරයි හතලිස් පහට සෙකන්ඩ් ඔෆිසර් මහත්මයා පිටවී ගියා. වහා ක්‍රියාත්මක වූ පිරිස අවශ්‍ය අඩුම කුඩුම එක්රැස් කර ගත්තා. තම අත වූ යතුරෙන් පහසුවෙන් ඉබ්බා ඇරගත් පියන් වරයා, ඉතා සීරුවෙන් මේ මාහැඟි වස්තුව එලියට වැඩමවාගෙන ආවා. වෙනත් බෝතලයකට ඉතිරි වී තිබූ විස්කි තුණ්කාල හිස් කොට, මොහොතකට පෙර ගෙන ආ ගල් බෝතලයෙන් අදාල ප්‍රමාණය පුරවනු ලැබුවා. යලිත් ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපරේ කවරයේ දවටා විස්කි බෝතලය අදාල ස්ථානයේ ස්ථානගත කළා. ඉන්පසු සෙකන්ඩ් ඔෆිසර් මහතාගේ නියමිත ඉබ්බා දමා කබඩ් එක ලොක් කරනු ලැබුවා. කට්ටිය ඉතාම සහයෝගයනේ මේ තුන්කාල බෙදා හදාගෙන අනුමත වුණා. පහුවදා ඉඳලා කිසිම වෙනසක් නැතිව දෙවෙනියාත් සමග වැඩ කටයුතු කරන්නත් වග බලා ගත්තා.

ඉන් ටික කලකට පසු  දෙවෙනි නිලධාරියා ශාඛාවේ පාටියක් තිබෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් කළා
"මල්ලි ඔය විස්කි තියෙනවා නේද, ආයේ අරක්කු වගේ නෙවෙයි කිසිම කරදරයක් නැති බීමක් තමයි. සුද්දෝ ඕවා හදලා තියෙන්නේ ගානට බීලා - ගානට සූර් වෙලා ඉන්න. අපේ අරක්කු වගේ බිව්වම ගඳ ගහනවා කියලද, පහුවදාට හිසේ රදේ කියලද, මේ කිසි කරදරයක් නෑනේ"
දන්න කට්ටිය මේ දෙකේ වෙනස ගැන පසුව අහුමුලු වලදී සාකච්ඡා වුණා.  

Saturday, April 26, 2014

මයිල් ඇතිනිය අප අන්දන හැටි - තවත් වැඩනොගත් මොළයක් ...... Another Brain in the Drain story

මේ කතාව මා ලියන්නට සිටියේ මීට බොහෝ කාළයකට ප්‍රථමයය. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එය මග හැරිණි. මාතෘකාව කියවූ ඔබේ සිතේ මේ වෙලාවේ තිබෙන කුතුහලය කුමක්දැයි මට පැහැදිලිය. ඒ නියපොතු වල මවිල් හට ගන්නේ කෙසේද යන්නයි ? සැබවින්ම ඔබේ ගැටළුව එය නම් මේ සටහනේ අවසානය දක්වා කියවන්න. මෙහි යම් තැනකදී නියපොතු වල මවිල් හට ගන්නේ ඇයිද යන්නට ඔබට පිළිතුරු ලැබෙනු ඇත.

මගේ දියණියට වයස අවුරුද්දක් වනවිට ඇය බලාගැනීමට ගෘහ සේවිකාවකගේ අවශ්‍යතාව ඇති විය. මුලින්ම ඒ සඳහා පැමිණි මල්ලිකා නමැති හෙර වැඩි කාලයක් යන්නට පෙර ගෙදර යවන්නට හැකි වූයේ, මා සිදුකල රහස් පරීක්ෂක වැඩක ප්‍රතිඵලයක් ලෙසය. ඇය නිවසට ලබා ගන්නා දුරකථන ඇමතුම් මගේ ජංගමය මගින් /රෙකොර්ඩ්/පටිගත(ඉස්සර කාලේ යොදා ගත් තෙරුම දැන් විහිළුවක් වී ඇත) කරගෙන මගේ කාර්යාලීය මිතුරු ශෆීර් ලවා තේරුම් ගත පසු අමතර වැයකින් තොරවම ඇයව නිවසට පිටත් කරන්නට හැකි විය.

නමුත් එදා මෙදාතුර මගේ දියණිය බලාගන්නේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අංක එකේ ගෘහසේවිකාවක් බව මා තේරුම් ගත්තේ, තම නිවසේ කාර්යබහුලත්වය සමග තාවකාලිකව සේවයෙන් ඉවත් වී සිටි කාලයේය. එම කාලය සඳහා අපට සේවය ලබාදුන් කරුණාවතී නමැති අනුරාධපුර ප්‍රදේශයේ සිංහල කාන්තාව අපට මෙම දමිළ කාන්තාවගේ වටිනාකම කියා දුන්නාය. අපගේ ආවතේව කටයුතු කෙසේ වුවත්, ඇයගේ අවශ්‍යතා සැපයීමට අපට සිදු විය. ඇයගේ නම කරුණාවතී වුවද, මගේ දියණියට ඉතා අකාරුණික අයුරින් සලකා තිබූ බව දියණිය පවසන දෙයින් පැහැදිලි විය. ය අප නිවසට පැමිණ තිබුණේ සේවයක් ලබා දීමට නොව, නිවාඩුවක් ගත කිරීමටය. ලොකුම ප්‍රශ්නය වූයේ ඇය ගමේ යන දිනට ගෙනවිත් දීමට තිබූ කෝන් ෆ්ලෙක්ස් පැකට්ටුව සහ නියමිත දිනට පඩි ගිණුම්ගත කොට පරිගණක මුද්‍රිතය ඇයට ලබා දීමය.

මාතෘකාව වත්මන් සේවිකාව පිලිබඳ බැවින් කරුණාවතී පිලිබඳ  කතාපුවත පසුවට සටහන් කිරීමේ පොරොන්දුව ලබා දෙමි. මගේ ගෘහ සේවිකාව නොහොත් අයිලන්ඩම් උපත ලබන්නේ පස්සර ප්‍රදේශයේය. අවුරුදු දහයේදී නුගේගොඩ නිවසක සේවය කරන ඇය, තවත් අවරුදු කිහිපයකින් පරම්පාරගත රැකියාව වන දළු කැඩීමට යොමු වේ. ඉන්පසු කහවත්ත ප්‍රදේශයේ විවාහකයෙකුගේ දෙවන බිරිඳ ලෙස පැමිණෙන්නීය. එතැක් පටන් කහවත්ත/පැල්මඩුල්ල ප්‍රදේශ වල වතු වලත්, එම ප්‍රදේශයන්හී නිවෙස්වල  මිදුල සහ පිළිකනු සරසන මැදරට තේ දළු කඩන්නියකගේ චරිතයට පණ පොවන්නේ, ටේලර් වරයෙකු වූ තම සැමියාගෙන් තිලිණ වූ ළමුන් පෙලියගේ අවශ්‍යතා සපුරන්නටය. එසේ ගෙවතු තේ වගාවේදී හමු වූ ඇය අප නිවසට එක් වන්නේ 2007 දීය.

ඇගේ ආගමනය මට මුලින් මහත් හිසරදයක් වුවේය. හේතුව ඈ උයන කෑම මෙලෝ රහක් නැති වීමය. පසුව මගේ සොයුරිය දින කිහිපයක් අපේ ක්‍රමය ගැන හුරුවක් ලබා දුන් අතර සති කිහිපයක් යනවිට සියළු දෙනා පරයා රසවත් කෑම සාදන්නට ඈ සමත් වන්නීය. මුල් දිනවල ඈ සාදන කෑම මා ප්‍රතික්ෂේප කරනා බව දැන මා හා කථා කිරීමෙන් පවා වැළකී සිටියාය. මට මුලින්ම ඇගේ අසීමිත හැකියාව පිලිබඳ අවුබෝධයක් ආවේ ඉන් පසුවය.

ඇය මෙහි පැමිණි මුල් කාලයේ ඇය ගමේ ඇරලවන්න්ට සහ කැඳවාගෙන එන්නට නැන්දම්මාට, මට හෝ බිරිඳට යාමට සිදු විය. ඒ ඇගේ සාක්ෂරතාව බිංදුවේ පැවතීම නිසාය. එහෙත් මාස කිහිපයක් යනවිට ඒ කරදරයෙන් අප මුදවන්නට ඈ සමත් විණි. ඇයට අකුරු බැරි වුවත් කුමක් හෝ සංකේත ක්‍රමයකට සියළු දේ මතක තබා ගැනීමට ඈ දක්වන්නේ උපන් හපන් කමකි. එක් දෙයක් පිලිබඳ එක වරක් දැන ගැනීමෙන් එය හොඳින් ග්‍රහණය කර ගැනීමට ඈ දක්වන හපන්කම පුදුම එලවන සුළුය.

ඇගේ නම අයිලන්ඩම් වූවද, ඇය තේ දළු කඩන්නට යෙදුනු ප්‍රදේශයේ ඇය ඇයට අයිලි යන නමින්ද, ඇය මෙහි කැදවාගෙන ආ අපේ නැන්දම්මා ඇතුළු පවුලේ ඇය අයිල් යනුවෙන්ද ඈ අමතයි. අපද තවමත් ඈ අමතන්නේ අයිල් යනුවෙනි. මේ නිවසේ සිටින දරුවන් ඈ අමතන්නේ අයිල් ඇන්ටී යනුවෙනි. ඒ අතින් ඇය වාසනාවන්තය. බොහෝ ගෘහ සේවිකාවන්ට නිවෙස්වලින් ලැබෙන්නේ තුන්වන පන්තියේ සැලකිලිය. එහෙත් පසුව ගමේ අය සමග ඈ මේ නිවසේ සේවයට දක්වන කැමැත්ත පවසා තිබුණේ "මට මගේ ගෙදරටත් වඩා හොඳයි" යනුවෙනි.

ඇය පංගුබේරුවට වැඩ කරන්නේ නැත. මගේ සොයුරිය මෙම නිවසේ සිටින කාලයේ අතින් සේදිය යුතු සියලු රෙදි ඈ සෝදා, වෙලා නවා අදාළ කෙනා වෙත ලැබෙන්නට සල්ස්වන්නීය. කිසිදින වැඩක් කිරීමට ඈ මැලිකමක් නොදක්වන්නීය. ඔය අතර ඇඳුමක් දෙකක් ගොඩවල් මාරු කර තබන්නේ, ඒවා පිලිබඳ නිසි මතකයක් අයිතිකරුවන්ට නැති නම්, ඒවා ගල් කිරීමටය. මාස කිහිපයකින් මේ ගතිය හඳුනාගත් මා නිතරම මගේ ඇඳුම් සහ වෙනත් දේ පිලිබඳ විමසන්නට පටන් ගත්තේ, එසේ කිරීමට අවදානම් බව ඇයට හඟවන්නටය. එසේ අස්ථානගත කරනා ඇඳුම් පිලිබඳ විමසීමක් නොකළ කල්හී මාස දෙක තුනකින් ඒවා සුරක්ෂිතව කහවත්ත බලා පිටත් කෙරේ. 

ඈ ගමේ යන සෑම දිනකම ඉතා විශාල බෑගයක් පුරවාගෙන යයි. අපි ඒ පිලිබඳ විමසීමක් නොකරමු. කිසිදු දිනක බෑග් පරීක්ෂා කරන්නට නොයන්නෙමු. මේ ගැන පැවසූ විට මගේ මිතුරෙකු පෙන්වූයේ, ඇය යන්නට සුදානම් විට ඇයව කඩයට පිටත් කොට බෑගය පරීක්ෂා කරන ලෙසය. නමුත් ඈ පිටත් වන හිමිදිරියේ කඩ අරින්නේ නැත. කලින් දින කතිකා කරගත් ත්‍රී රෝද රථයක් නිවස අසලට පැමිණෙන අතර, මිනිත්තු කිහිපයකින් එම බඩු ගොන්නද රැගෙන ඈ ඉගිලෙන්නීය. වරක් මගේ සොයුරිය මෙම නිවසින් ඉවත් කරන සියල්ල එක්රැස් කරගන්නා ලෙස ඇයට දන්වා අනවශ්‍ය සියළු දේ ඇයට පරිත්‍යාග කරන්නට අප සියළු දෙනා දැනුවත් කරන ලදී. එසේ එකතු කර ගන්නා ළද සියළුම ගණයේ අබිලි ද්‍රව්‍ය ලොරියක් පුරවා රැගෙන යන්නට ඈ පසුබට නොවීය. මේවා ඇගේ ගමේ අය අතර බෙදා දෙන බව පසුව දැන ගන්නා ලදී. 

මගේ පැරණි ජංගම දුරකථනයකට පෙරගෙවුම් පැකේජයක් දමා අප නිවසේ එවක සේවය කල නානා යනුවෙන් අප අමතන මුස්ලිම් ජාතිකයා සහ ඇයට ලබා දුනිමි. දවස් කිහිපයකින්ම එහි සම්පූර්ණ අයිතිය ඈ සතු කරගන්නා ලද අතර, මුල් මාසයේ හැරුණුකොට එයාර රීලෝඩ් දැමීම අප සිදු කලේ නැත. එසේ ඉල්ලා ඈ අපට කරදර කලේද නැත. මුලින් මුලින් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් පසුව අපගේ සාක්කු වල තිබෙන මුදල්ද, අතන මෙතන තිබෙන කාසිද, කඩේ ගොස් ලැබෙන ඉතිරි මුදල් මාටියා ගැසීමෙන්ද එම මුදල් සම්පාදනය කරගන්නට සමත් වන්නීය. මුල් මාස කිහිපයේ හැරුණුකොට, කිසිමදිනක රීලෝඩ් දමා ගැනීමට ඈ අපගේ සහය ඉල්ලා සිටියේ නැත. දැන් ඇය මෙහිසිට ඇගේ නිවසේ කටයුතු සහ ගමේ අයට උපදෙස් දෙන්නේද ජංගමයෙනි. මා දහවල් කාලයේ දියණියගේ හඬ ඇසීමේ පරමාර්ථයෙන් ලබා දුන් ජංගමය දැන් සමහරවිටෙක අපට හිසරදයකි. ඒ අත්‍යාවශ්‍ය වැඩ පසෙක ලා ඈ  දුරකථනයට ප්‍රමුඛත්වල ලබා දීම නිසාය. දැන් ඇය මිස් කෝල් දීමට දනී. දහවල් කාලයේ දියණියට මා ඇමතීමට අවශ්‍ය නම් ඇය එසේ කරයි. නිවසේ හොඳින්ම සිග්නල් තිබෙන තැනින් ජංගමය තබන්නේ පැය 24 ම ලැබෙන ඇමතුම අතපසු වේ යන බියෙනි. 

ඇගේ පවුලේ කෙනෙකු බොහෝවිට/ඉඳහිට අපගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිණේ. එසේ පැමිණි දිනකට ඉතා හොඳ රාත්‍රී භෝජනයක් ගැනීමට අපටද අවස්ථාව හිමි වේ. ගෘහසේවිකාවකවට ඔහේ නටන්නට ඉඩදී බලා සිටිනවා යන චෝදනවා ඔබගේ හිතේ දැන් නලියනවා වන්නට පුළුවන. නමුත් ඇය අපට ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක පවතී. ඉතා පිරිසිදුව නිවෙස පවත්වාගෙන යයි. ආහාර ප්‍රනීතව සහ නැවුම්ව ලබා දෙයි. කිසිදු පැකීලීමකින් තොරව රෙදි සේදීම, නැවීම සහ එකිනෙකාට අදාළ ස්ථාන වල තබයි. ඇය ලබා ගන්නා වැටුපට සරිලන සේවාවක් අපට ලබා දේ. අපද ඉලක්කම් වලට සීමා නොවී අවශ්‍යතා ඇති වනවිට යට මුදල් ලබා දේ. මේ සියළු කාරණා නිසා සහ මගේ කුඩා දියණියට ඇය දක්වන ගෞරවය සහ ආදරය නිසා දීර්ඝකාලීනව අප නිවසේ සේවයට කැප වී සිටී.

ඇය විශ්වාස කරන්නේ මගේ දියණිය දෙව්දුවක් බවයි. විටෙක් රාජු බබා යනුවෙන් අමතනු මගේ සොයුරියගේ දියණිය අසා සිට ඇත. එය මගේ වාසනාවකි. මගේ දියණියද කිසිදු චකිතකයකින් තොරවම ඇය සිප ගනී. අපද ඊට වචනයක් හෝ හරස් කරන්නේ නැත. කුඩා දරුවන් එසේය. කිසිදු දිනක ඇයට බොහෝ නිවෙස් වල සේවකයන්ට කථා කරනා සේ අප අමතා නැත. ඇත්ත වශයෙන්ම කිසිදු සේවක/සේවිකාවකට අප එසේ අමතන්නේ නැත. උඹ/බං/තෝ/තොපි අපේ වාග් මාලාවට එන්නේ මිතුරන් හමු වූ විටෙකදීය. ප්‍රයෝග යොදා යම්-යම් දේ සඟවා නොගන්නේ නම් ඇයතරම් වටිනා සේවිකාවක් නැත. එසේ ප්‍රයෝග යොදා කිරි-පිටි සහල් වැනිදේ ඉතිරි කරනා අකාරය විශ්මයජනකය. මගේ සොයුරිය පවසන්නේ ඇය නිසි අධ්‍යාපනයක් ලැබුවේ නම් ආචාර්ය පදවියක් ලබා ගන්නා බවයි.

කිරිපිටි දමා තිබෙන භාජනයෙන් තුනෙන් එකක් පමණ ඉතිරිවනවිට, කිරි අවසන් වන නිසා නව පැකට්ටුවක් රැගෙන එන ලෙස පවසයි. අප ගෙනෙන නව පැකට්ටුව එම බඳුනට දමන ඈ, ඉතිරිව තිබෙන තුනෙන් එක කවරය පිටින්ම සඟවා තබයි. නව කිරිපිටි පැකට්ටුව අඩක් නිමවනවිට නැවතත් කිරි ගෙනෙන ලෙස ඉල්ලයි. මෙවර ඇය කරන්නේ අප රැගෙන එන නව පැකට්ටුව සඟවා, සඟවා තැබූ තුනෙන් එක, ඉතිරිව ඇති භාගයට එක කිරීමයි. එවිට් අප බලන විට වැටහෙන්නේ නව පැකට්ටුව භාජනයට දමා ඇති බවයි. සහල් වලටද මෙවැනි දේ සිදු කරයි. අප අතර ඉතා අඩුවෙන් සිදු වන සන්නිවෙදනයද ඇය වාසියට හරවා ගනී. එකම කාරණයක් සඳහා අප දෙතුන් දෙනාගෙන්ම මුදල් ඉල්ලා ගැනීමට ඈ පසුබට නොවන්නීය.

මයිල්ඇතිනිගේ පඩි මා ලබා දෙන්නේ දිනපොතක සටහන් කරගෙනය. මේ කිසිදු සටහනක් නැතිව තමාට ලැබිය යුතු ගණන මට වැරදුනු විට පෙන්වා දෙන්නේ මා මවිතයට පත් කරමිනි. කොලයක ලියා ගණන් හදන්නට නොදන්නා නමුත් හිතෙන් තමාට ලැබිය යුතු ප්‍රමාණය ඇය ගණනය කරන්නීය. විටෙක අගේ අධ්‍යාපනය සඟවා සිටින්නේදැයි මට සිතේ. නමුත් සමහර අවස්ථා වලදී කරන කූට උපක්‍රම අප ඉවසා සිටින්නේ මෙවැනි ගෘහසේවිකාවක් සොයා ගැනීම දුෂ්කර කාරියක් නිසාය. තම පුතා රට යැවීමට යයි කියා දිනක් මගෙන් රුපියල් 25000 ඉල්ලා ගත් ඈ, එම මුදල මාසිකව පඩියෙන් අඩු කරගන්නා ලෙස ඉල්ලා සිටියාය. මාද එම මුදල ලබාදී දිනපොතෙහි සටහන් කරමින් පඩි ලබා දුන්නෙමි. අතරින් පතර මාසයක ණය මුදල කපා නොගන්නැයි ඉල්ලා සිටි විටෙක එයද මා ඉටු කලේ ඇගේ සේවය වටිනා නිසාය. නමුත් අවසන් වාරිකය කපා දැමු දින ඇය පැවසූවේ තමා ණය ගෙවා අවසන් බවය. මේවා පවසන්නේ ඉතා යාප්පුවෙනි. එවැනි පාඩුවක් විඳ දරා ගැනීමට අපට සිදු වේ.  මෙවැනි අවස්ථා දෙකකදීම පාඩුව මාහට උරුම වීම නිසා, මම කැලැන්ඩරයේ වැඩ කල දින සහ මුදල සටහන් කරන්නට පටන් ගතිමි.

සමස්තයක් වශයෙන් ගත් කල ඇයට ලැබෙන මුදලට වඩා සේවාවක් ලබා දේ. නමුත් තමන්ට නිවාඩු අවශ්‍ය නම් කෙසේ හෝ එය ලබා ගන්නට ඇය පැකිලෙන්නේ නැත. පසුගිය කාලයේ ඇයගේ පුතාගේ විවාහ අපේක්ෂක ලේලිය ජෝර්දානයේ සිට පැමිණි අතර, ත්‍රිකුණාමලයේ සිංහල කෙල්ලක වූ ඇයගේ නිවසින් මේ සබඳතාවට හරස් කැපීය. නමුත් ඔවුන් හමු වන්නට ගොස් ප්‍රශ්නය සමතයකට පත් කරගන්නට මයිල්ඇතිනිය සමත් විය. මේ සම කරුණක් සඳහාම දවස් දෙකක නිවාඩු ගන්නා ඇය යලි පැමිණෙන්නේ දින පහක් පමණ ගත කිරීමෙන් පසුවය. පසුගිය වතාවේ ඕනෑ දෙයක් කියා මා ඇයට හොඳින්ම දොස් පවරන්නට වග බලා ගත්තේ, මෙම පුරුද්ද හිසරදයක් වූ කළය. එක වතාවක් ඇයගේ පුතෙකුට සහ ස්වාමිපුරුෂයාට මිනීමැරුම් චෝදනා ඇති විය. එවිට අපෙන් සමුගෙන ගියද ඇය යලිත් ගෙන්වා ගැනීමට අපට හැකි විය. දෙවන වතාවටද අපට සමුදී ඈ ගමරට බලා ගියේ, ඔවුන්ගේ නිවෙස අත්පත් කර ගැනීමට වතු අධිකාරී වරුන් ක්‍රියා කරන්නට සුදානම් වත්දීය. නමුත් මෙවර ඇයට වත්තේ ලබා දී තිබී ඇත්තේ නාගයෙකු වසන පාලු පෙදෙසකි. ඒ සමග ආ අයුතු යෝජනාවක් නිසා, නැවතත් ඇය අපගේ සේවයට පැමිණියේ පඩි වැඩි වීමක්ද සමගය. නමුත් දැන් මා ඇයට ගෙවන්නේ වැඩ කල දවස් ගණනටය.

මයිල් ඇතිනිය යනුවෙන් මා අයට යොදා කථා කරන්නේ, මගේ කාර්යාලීය මිතුරන් සමගය. එම වචනය අනිත් පැත්ත හරවා බැලූ විට "අයිල් මැතිනිය" යනුවෙන් පෙරළේ. ඉතිං ඒ නම නරකදැයි මා ඔබෙන් අසන්නේ, ඇය ලබා දෙන සේවය සහ අපව නටවන හැටියට මැතිනිය යනුවෙන් ඇමතීම කාලෝචිත නොවන්නේද යන සිතුවිල්ලෙනි?
_______________________________________________
ප.ලි.
දමිළ සංස්කෘතික උත්සව සියල්ල සඳහා ඈ නිවාඩු ඉල්ලා සිටින්නීය. ඇය ගෙදර පිටත් කළ විට තිබෙන ලොකුම ගැටළුව වන්නේ යලිත් ඈ ආපසු එන දිනය පිලිබඳ විශ්වාසයක් නැති කමය. විවිධ හේතු පවසමින් ඈ එන දිනය මග හරින්නීය.

පසුගිය කාලයේ ලේලිය ලංකාවට ආවාය. ඇය එහි සේවය කර තිබුණේ හවුස් මේඩ් රකියාවකය. තම පුතා වැඩ කරන ගාමන්ට් එකටම අද උදෑසන ඇයද පිටත් විය. නමුත් හවුස් මේඩ් තනතුර පාස්පෝට් එකේ තිබෙන විට වීසා ගැටළු ඇති වන බැවින් නව පාස්පෝට් එකක් සාදා ගත් බව ඇය පවසන්නීය. ලේලියා ආ දා සිට ඇයව තම දියණිය සේවය කරන ඇඟලුම් කම්හලටම මාස කිහිපයකට ඇතුලත් කරන්නේ අද උදෑසන සඵල කරගත් බලාපොරොත්තුව ඇතිවය. එමගින් අත්දැකීමද, නව පාස්පෝට් එක මත ජුකී මැෂින් ඔපරේටර් යන්නද සටහන් කරගන්නට ප්‍රමාණවත් විය. ඊළඟ පියවර දියණිය ඒ මග ඔස්සේම පිටත් කර යැවීමය. එතනින් නතර නොවන ඈ, මුළු ගමේම අයට පාස්පෝට් හදන හැටි උපදෙස් දෙන්නීය. 

Sunday, March 16, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 35 : ජපන්නු කෝට්ටේ ගියා වගේ ...... Japanese in Kotte

නුගේගොඩ පාගොඩ පාරේ තියෙන තදබදය ගැන මම පහුගිය පොස්ට් එකකින් විස්තර කරා මතක ඇතිනේ. ඉතිං මේ හරියේදී ඇති වෙන ආතතිය මග අරව ගන්න මම කරන්නේ රේඩියෝ එක අහන එක. දවසක් මෙහෙම කනේ ඉයර්ෆෝන් ජැක් ගහගෙන ඉන්නකොට මම දැක්කා චීන්නු දෙන්නෙක් කඩයක් ගාව නැවතිලා අනිමිස ලෝචනය දාගෙන බලාගෙන ඉන්නවා. ඒ කඩේ ටිකක් අමුතු විදිහේ එකක්. මම නුගේගොඩ ඔෆිස් එක තිබුන කාලේ කිහිප දවසක්ම ඔතනට ගිහින් තියෙනවා. මෙතන බස් එක ටිකක් හිර වෙලා මම පොඩ්ඩක් ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව අටයි විසිපහයි. අද ෂුවර් එකටම රතු ඉර වදිනවා. රතු ඉර වැදුණා කියන්නේ වරුවක් නිවාඩු. මේ වගේ දවස් වලට මම කරන්නේ කොහොමත් එකයි කියලා මගින් බැහැලා දොළහට ඔෆිස් යන එක.

ඕන දෙයක් කියලා මම බැස්සා අර චීන්නු දෙන්නා ඉන්න තැනින්. මේ යක්කු බලාගෙන ඉන්න විදියට කඩේ කඩන්නවත්ද කියලා මට සැකයක් ආවා. ඉතිං බ්ලොග් කාරයෝ වෙච්ච අපිට අද ලංකාවේ ඉන්න මාධ්‍ය කාරයන්ට වඩා හොඳ ඉවක් අයිතියක් වගේම වගකීමකුත් තියෙනවානේ මේ වගේ දේවල් ගැන හොයා බලන්න. ඒ ගැන ඉතිං මොනවට කියනවද? මම බස් එකෙන් බහිද්දීත් කීප දෙනෙක්ම මගේ දිහාට රබර් ඇහැ දාලා බැලුවා. මම හිටිය බස් එක යන්න ඇරලා මම හෙමිහිට චීන්නු දෙන්නට කිට්ටු කළා. මම අර දෙන්නට කෙලින්ම කථා කළා. සමහරවිට මේ දෙන්නත් චීන මාධ්‍ය කාරයෝ දෙන්නෙක් වෙන්නත් බැරි නෑ. එකෙක්ගේ කරේ කැමරාවක්. හිටු කියලා ෆොටෝ ගහනවා. වැඩියෙන්ම පොටෝ ගහන්නේ කඩේ බෝඩ් එක. 

මම : ගුඩ් මෝර්නින් ජෙන්ට්ල්මන් ! ෆ්රොම් වෙයාර් ආර් යූ ? ඇන්ඩ් වට් ආර් යූ ලුකින් ෆෝ ?

චීන්නු : ගුඩ් මෝනින් ! වී ආර් ෆ්‍රොම් ජැපෑන්. ඉස් දීස් ෂොප් ඔව්න් බයි එ ජැපනීස් ?

මම : ඔහ් ! අයි සී (ජපන්නු බව තේරුම් ගත් පසු). නෝප් දිස් ෂොප් ඕනර් ඉස් සිංහලීස්. වයි ?

ජපන්නු : යූ නෝ මෑන්. හිස් නේම් ඉස් "හිතා" ඇන්ඩ් මයි නේම් ඉස් "හොන්ඩා"

මම : හව් ආර් යූ හිතා ඇන්ඩ් හොන්ඩා. හව් ඩු යූ ෆයින්ඩ් ශ්‍රී ලංකා. (මා අවසන් කිරීමට පෙර ජපනා උත්තර දේ)

ජපනා1 : යූ සී. දිස් ෂොප් නේම් ඉනසිඩෙන්ටලි ඉස් කොම්බිනේෂන් ඔෆ් අවර් නේම්ස්. අයි හෑව් හර්ඩ් සම් පීපල් හියර් නේම් ශෝප්ස් ඕන් ජැපනීස් නෙම්ස් ලයික් "ජපන් ලංකා ඔටෝ ලෑන්ඩ්", "ඔසාකා ට්‍රේඩර්ස්" ඇන්ඩ් සෝ ඔන්. වී වොන්ඩර් හී නේම් දිස් විත් අවර් නේම්ස්. හී මයිට් හෑව් වර්ක්ඩ් ඉන් ජැපෑන්. 

මම : නෝ වේ ෆ්‍රෙන්ඩ්ස්. හී ඉස් එ රෙපියුටඩ් බිස්නස්මන් හියර්. 

ජපනා2 : දෙන් වයි හී නේම් හිස් ෂොප් ඔන් අස්. එනිවේ හී ෆොගොට් ටු පුට් අ හයිෆන් ඉන් බිට්වීන්.

මම : දිස් ඉස නොට් ජැපනීස් නේම්. වට් ද හෙල් ආර් යූ ටෝකින් එබවුට් ? (මේ අතර මගේ පිටුපසින් කවුරුන් හෝ කෑ ගසනු ඇසේ)

"මහත්තයා - මහත්තයා  නැගිටින්න මේ කොස්වත්ත හන්දිය "

මම කලබලයෙන් වටපිට බැලීමි. හෙඩ් ෆෝනය තදින් ඇදගත් මම බසයෙන් බැස ගත්තෙමි. මා හීනයක් දකිමින් සිට ඇත. ලේන්සුව ගෙන මූණ පිසදාන ගමන් සිහිනය ගැන නැවතත් කල්පනා කලෙමි. එම සිද්ධිය සිදු වූ ස්ථානය මට මැවී පෙනේ. ඒ පිටකෝට්ටේ සහ නුගේගොඩ අතර පාගොඩ පාරේ පිහිටා ඇති "හොඳහිත" ව්‍යාපාරයයි.

මා නැවතත් කල්පනා කලෙමි. "HONDAHITHA" යනුවෙන් ඉංග්‍රීසියෙන්ද එතැන බෝඩ් එකක් ඇත. ආහ් ! මට මෙවර හිනාව නවතා ගත නොහැකි විය. ජපන්නු පටලවාගෙන ඇත්තේ අපේ හොඳහිත මුදලාලිගේ කඩයි. ඔවුන් කියන්නේ එය "HONDA - HITHA" ලෙස ලිවිය යුතු බවයි. 
Honda Hitha Curd Shop හොඳහිත මී කිරි කඩේ

Saturday, March 1, 2014

ලෝකයේ ඔබ සිටින නගරයට අනෙක් පැත්තෙන් තිබෙන නගරය කුමක්ද ? What is the city opposites to your's ?

"මම අමුතු විදියට හිතන කෙනෙක්. ඕනෑම දෙයක් වෙනස් විදියට දකින්න, නිමවන්න තමයි මම කැමති" 

මේ වාක්‍ය දෙක ඔබ මීට පෙර දැක තිබෙන්නට පුළුවන්. එහෙම නොදැක්කා නම් වම්පැති තීරුවේ තිබෙන මා ගැන මමම කරන ප්‍රකාශය බලන්න. ඒක මම මා ගැන දුන්නු අර්ථකථනය. මේ මාතෘකාව සහ තවත් බොහොමයක් ඒවා දැක්කම ඔබටත් මා ගැන එහෙම හිතුනා නම් පුදුමයක් නෑ. ඇත්තටම මට පොඩ්ඩක් වෙනස් විදියකට බොහෝ දේවල් පේනවා. මෙහෙම කිව්වේ ලොකු කමටවත්, නයා දාන්නවත් නෙවෙයි. ඒ මගේ හැටි. මේක වරදවා වටහා ගත් අයත් නැත්තේම නෑ. 

ඔබ අසා තිබෙනවාද කියමනක් "මුළු චීන ජනගහනයා බීජිං නගරයට එකතු වෙලා එකවර පොළොවට තදින් පහර දුන්නොත්, ඇමරිකාවෙන් විශාල කොටසක් ගැලවී විශ්වයට එකතු වේවී" කියන ප්‍රකාශය ? මේක ජේ.ආර්.පී. සූරියප්පෙරුම උන්නැහේ රාව-ප්‍රතිරාව නංවනවා දොරමඬලාව ඔස්සේ. දැන් අපේ මවුතුමිය සිහි කරන්න එපා එතුමාව සිහිපත් කරාට. හැබැයි මම මේ කථාව අහලා තිබුණේ අපේ තාත්තාගෙන්. මේ කතාව මගේ හිතේ පුංචි කාලේ ඉඳලා තදින් පැලපදියම් වෙච්ච එකක්. මම හැම තිස්සෙම හිතුවේ ලංකාවට යට පැත්තේ තියෙන්නේ මොන රටද කියලා? හොඳ වෙලාවට මට පහුගිය දවසක මේක නැවතත් සිහිපත් වුණා. අද කාලේ මගේ බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයපු ගූගල් දෙවියන්ගෙන් ඇහුවා. හොඳ වෙලාවට අපි හිතන විදියට හිතන අය තව ලෝකේ ඉන්නේ. 

ඉතින් ගූගල් දේවතාවුන් වහන්සේ ලබා දුන්න පිළිතුර ඔස්සේ ගියාම මගේ හිත කඩා වැටුණා. මොකද අර කලින් කියපු කියමන භෞතික විද්‍යාත්මකව ඇත්ත වගේ පෙනුනට, භුගෝලීයව සාවද්‍ය කරුණක් නිසා. හොඳයි අපි මුලින්ම බලමු ලංකාවට අනෙක් පැත්තේ, එහෙමත් නැත්නම් යට පැත්තේ තියෙන නගරය මොකක්ද කියා.අපට වරදින තව තැනක් තමයි අපි ලෝක සිතියම දැක්කෙම පොතක නිසා මේකට උත්තරය අපි හොයන්නේ කඩදාසිය මත ඇන්ද සිතියමක වීම. 

World Map

කරුමෙක මහත, ලංකාවේ අනිත් පැත්තේ තියෙන්නේ දකුණු පැසිපික් සාගරය. මම හිතනවා "Journey to the Centre of the Earth" කියන ලස්සන චිත්‍රපටය ඔබ නරඹන්නට ඇති කියලා. ඒ චිත්‍රපටයේ තියෙන්නේ මේ පැත්තෙන් ගිහින් අනිත් පැත්තෙන් මතු වන කතාවක්. ඔවුන් මතු වෙන්නේ ඉතාලියෙන්. අපි එහෙම ගියොත් හොඳටම නාන්න වෙන්නේ. මම ලෝකයේ නගර බොහොමයක් මේ විදියට මේ අපූරු වෙබ් පිටුවෙන් බලා ගත්තා. ඒත් බොහෝ තැන් වලට එන්නේ මහා මුහුද. මුලින්ම හිතුනේ මේක වැරදියි කියලා. හැබැයි අන්තිමේදී මට දෙපැත්තේ පිහිටන නගර/රටවල් දෙකක් හමුවුණා. ඒ චිලී සහ චීන දේශයන්. 

ඉහල පින්තූරේ සමකය තමයි කඩ ඉරෙන් පෙන්වන්නේ. නමුත් ඒ පින්තූරේ අපි ඉන්නේ සමකයට උඩින් අනෙක් පැත්තේ තැන පෙන්වන්නේ සමකයට යටින්. මතක තබා ගන්න ලෝකය ගෝලාකාර බව.එතකොට උඩ අර්ධයේ පිහිටන නගරයක අනෙක් පැත්ත පිහිටන්නෙම යට පැත්තෙන්. හා.... මම හොයා ගත්ත එක. ඔන්න ඒකත්. 

චිලී දේශයේ සන්තියාගෝ නගරය සෙවීම් කලාම ලැබෙන උත්තරය ඔන්න. දැන් තමයි මට වැඩේ අහු වුණේ. සමකයේ ඉඳලා පහලට හෝ ඉහලට තිබෙන දුර, අනෙක් පැත්තේ නගරයේ පිහිටන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන දුරකින්. දැන් ඔයාලටත් මේ වගේ ඒවා ගොඩක් හමු වෙයි. මෙන්න ලින්ක් එක ගිහින් ඒ වගේ ලැබුණු ඒවා කමෙන්ට් විදියට එකතු කරන්න. එතකොට අපිට හොඳ ලැයිස්තුවක් හදා ගන්න පුළුවන් වෙයි.

World Map

මේ ලින්ක් එක බුක්මාර්ක් කර ගන්න වටිනවා. මම නම් කළා. කන්ට්‍රෝල් + D ගහන්න.
____________________________________________
ප.ලි.
පහුගිය පොස්ට් එක අතරමැද මගේ ෆලෝවර්ස්ලා ගණන 300ක් වුණා. කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්නේ නැතිව මෙහි ලියන දේ ගැන සිතා එකතු වූ 300 ක් තමයි එහි ඉන්නේ. ඉතිං ඒක මට සතුටට කරුණක්. ඇවිද්ද පය ...... කියවා ඒ හා එක්වූ ඔබ සැමට තුති. 

Thursday, February 27, 2014

ඔබත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? Are you an adult still watching Cartoons ?

අද මම ගෙදර ආවේ ලොකු සිත් තැවුලකික්. ඒ ගැන ප්‍රසිද්ධ වේදිකාවක කථා කරන්න බෑ. ඒ වුනත් කෙටියෙන් කිව්වොත් මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ගෙන් වෙච්ච හානියක් තමයි හේතුව. මම ගෙදර ඇවිත් මගේ දියණියව වෙනදාටත් වඩා වෙලාවක් තුරුල් කර ගත්තා. ඒ මා සිටි පීඩනයෙන් මිදෙන්න. මගේ හැඟුම්බර තත්වය ඇය මොහොතකින් හඳුනා ගත්තා. ඒ ගැන කෙලින්ම විමසා සිටියා. මම අහපු සමහර බොළඳ වදන් වලින් ඇගේ දෙනෙත් තෙත් වුණා. පසුව අඩන්න ගත්තා. ඇය අස්වසාලද්දී මගේ බරෙන් ගොඩාක් නිදහස්. පස්සේ මගේ හොඳම හිතවතෙකුට ඒ ගැන කතා කරලා හිත නිදහස් කර ගත්තා. එහෙම ඉන්න ගමන් මම මතක් කරන්න උත්සාහ කළා ඊයේ උදේ හීනෙන් ලියන්න හොඳ මාතෘකාවක් දැක්කා. නමුත් මතක් කරන්න කොයි තරම් උත්සාහ ගත්තත් වැඩක් වුණේ නෑ. 


පින්තූරය ගත්තේ : www.dooyoo.co.uk
මට නිකං ඉන්න ගමන් මගේ හිතේ හිර වෙලා තිබ්බ එක් දෙයක් ගැන ගූගල් සෙවීමක් කළා. ඒ වැඩිහිටියන් කාටූන් බලන්න කැමති ඇයි කියන කාරණේ. මොකද මමත් හරිම කැමැත්තෙන් කාටූන් බලන නිසා. ගිරිපුර ඇත්තෝ තමයි මගේ කැමතිම එක. ඊට අමතරව මගේ දියණිය බලන චෝටා බීම්, මිස්ටර් බීන් ඇතුළු බොහොමයක් කාටූන් වලට කැමතියි. ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව ? මම දවසක් මේ කාටූන් බලන්න කැමති අය ගැන පොඩ්ඩක් හිතලා බැලුවා. ඒත් අද ඇත්ත කාරණාව හොයා ගන්නකම් මම හිතන් හිටියේ වෙන දෙයක්. ඒක කිව්වොත් නයා ඇදීමක් වෙන නිසා ඇත්ත කාරණේටම බහිමු.

බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කාටූන් බලන වැඩිහිටියෝ වයසිට ගියත් මානසිකව මුහුකුරා නොගිය අය කියලා. නමුත් මමත් ඇතුළුව මගේ ලිස්ට් එකේ ඉන්න අය එහෙම නෑ. එහෙම කියන්නේ මම නෙවෙයි.  http://www.2knowmyself.com කියන වෙබ් අඩවිය. මිලියන් 50ක් හිට්ස් තියෙන මේ අඩවියේ සඳහන් අනිත් කරුණුත් වැදගත්. මෙහෙම කාටූන් බලන වැඩිහිටින් එහෙම කරන්නේ තමන් තුල තියෙන ආතතිය ඉවත් කර ගැනීමට. කොහොමද එහෙම වෙන්නේ ?

කාටූන් මගින් ඔබව සමාන්තර විශ්වයකට ගෙන යනවා. සමහරවිට ඔබේ බාලා කාලයට. සමාන්තර විශ්වයේ ඔබට කරදර නෑ. එහෙම ඉන්න කෙටි කාලයේදී ඔබේ ආතතියෙන් වැඩි කොටසක් නැති කරගෙන සැහැල්ලු වෙනවා. ඔබත් ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් මෙන්න විසඳුම. කාටූන් .... කාටූන්..... කාටූන්.... මේ සඳහා චිත්‍රපට සමහරුන් යොදා ගත්තත් ඒවා ඔවුන්ගේ ප්‍රශ්නය සමහරවිට තීව්‍ර කරන්න හේතු වෙනවා. මොකද ඒවා සැබෑ ලෝකය පිළිබිඹු කරන නිසා. හොල්මන් චිත්‍රපට බලන්න සමහරු කැමති ඇයි කියන කාරණය ගැනත් මෙහි ලිපියක් තිබෙනවා. ඔබේ ශරීරයේ තුවාලයක් ඇති විට ඒ පීඩාවෙන් මිදෙන්න කදිම මගක් හොල්මන් චිත්‍රපට බව එහි සඳහන්. හේතුව අතක් පයක් හෝ බෙල්ලෙන් කොටසක් අහිමි කෙනෙකුගේ තත්වය සමග සංසන්දන කොට ඔබට ඒ වේදනාවෙන් මිදෙන්න හැකි බව එහි තවදුරටත් සඳහන්.

මගේ සැටලයිට් බොක්ස් එක කපලා. නැතිනම් මේ මොහොතේ හෝ මම කාටූන් බලනවා. මේක නම් හරි ශෝක වැඩක්. ඔන්න ඔබත් දැඩි පීඩනයකින් හෝ ආතතියකින් පෙලෙන්නෙක්ද ? එහෙනම් මෙන විසඳුම කාටූන්. මොකක්ද ? කාටූන්. 

Tuesday, February 11, 2014

සිංහ පීකුදුත් සමග පොල් කෑවෙමි. Eaten coconut with Sinha peekudu

මේ කියන සිද්දිය 1986-87 කායලට දිව යන්නක්. ඒ කාලේ ඕ ලෙවල් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උන්නේ. පොත් පත් වලට ඇස් ඔබාගෙන හිටපු ඒ අසීරු යුගය පහු කරලා, කුරුල්ලෙක් වගේ නිදහසේ සැරිසරන්න ලැබුණ මේ මාස කිහිපය, මගේ ජීවිතයේ රසවත්ම කාලය කියලා කියන්න පුළුවන්. මේ සමය මා අංශ කිහිපයකින්ම නිදහස ලැබූ යුගයක්. ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස වගේම සමාජීය නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. 
පින්තූරය ගත්තේ : http://www.exoticmeatmarkets.com/

ඒ දිනවල මගේ දිනචර්යාව වුණේ, නගරසභාවට අනුබද්ධව කෙරීගෙන ගිය නිවාස තක්සේරු නිලධාරීන්ගේ සහයකයෙකු ලෙස කල දෛනික සේවය අවසන් කර සවස ක්රී‍රීඩා කිරීම. ඒ මගින් මගේ අවශ්‍යතා සපුරා ගැනීමට සරිලන වැටුපක් සොයා ගන්න සමත් වුනා. කොටින්ම ඒ ලෙවල් කරන්න අවශ්‍ය පාසල් නිල ඇඳුම්, සපත්තු සහ වෙනත් දේවල් බොහොමයක් මම සපුරා ගත්තේ මගේ දාඩිය මහන්සියෙන්. මේ අතරවාරේ උසස් පෙළ ගණිතය සඳහා පන්ති යන්නත් වග බලා ගත්තා.  ඉතිං ආර්ථික නිදහස ලැබුණේ ඔන්න ඔය විදියට. අපේ නිවාස ළඟ කුඩා කඩයක් පවත්වාගෙන ගිය දයානන්ද අයියා(බාප්පා) ගේ කඩෙත් මම නිතර ගැවසෙන තැනක් වුණා. 

උදේ හතට ගෙදරින් ගියේ පාපැදියෙන්. ඉන් පස්සේ මගේ ඉහල නිලධාරියා වුණ ධර්මරත්න මහත්මයා මගේ සයිකලයේ තබාගෙන අදාළ ප්‍රදේශයට යනවා. අපේ සහයට තවත් සේවකයෙක් සිටිනවා. එයා තමයි ටේප් එකේ කෙලවර අල්ලා ගන්නේ. මගේ රාජකාරිය බිත්තිය දිගේ ටේප් එක ගෙනගොස් ඇතුලත බිත්ති ඇති තැනදී අදාළ කියවීම ධර්මරත්න මහත්තයාට කියන එක. එහෙම කියන්නේ "දහතුනයි පොයින්ට්, විස්සයි පොයින්ට්" ආදී වශයෙන්. පොයින්ට් කියන්නේ බිත්තිය පිහිටන තැන. දහවල් 12න් පස්සේ මගේ රාජකාරිය අවසන්. මම කෙලින්ම ගෙදර දුවගෙන එනවා. දුවගෙන නොවෙයි පැදගෙන. එහෙම ඇවිත් දවල්ට තියෙන දෙයක් කාලා, පිට්ටනියට යන ඇඳුම ඇඳ ගන්නවා. එහෙම අඳින ඇඳුම හොඳින් හොදා අයන් කරන්න මම අමතක කලේ නෑ. 

මගේ ඉලක්කය වුණේ, පාසල ඇරෙන්නට පෙර ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට යන එක. එහෙම යනකොට අපේ කණ්ඩායමේ කිසිවෙක් ක්‍රීඩාංගනයේ නෑ. මම කෙලින්ම යන්නේ පිට්ටනියේ ඈත කෙලවරේ තියෙන සුසිරිපාල - කුසුම්සිරි කියන මගේ වයසේ සහ මදක් වැඩිමහල් අප කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවසට. එහි තමයි අපගේ පාපන්දු සහ ක්‍රිකට් උපකරණ රාත්‍රී කාලයේ තබන්නේ. මීට අමතරව අපේ පිපාසාව සංසිඳුවා ගන්නේ එම නිවසින්. මම පාපන්දුව පමණක් ඉල්ලාගෙන එයට පයින් තට්ටු කරමින් එන්නේ මෑත කෙලවර තිබෙන ගෝල් කණුව වෙත. එයට මදක් ඔබ්බෙන් පිට්ටනිය අසලින්ම ගමන් ගන්නා අඩි පාරත්, තවත් යාර කිහිපයක් ඔබ්බෙන් ඇති ලඳු කැලෑව සහ පොල් ගස් කිහිපයේ සෙවනට. එතනින් ඔබ්බේ තියෙන්නේ ලන්දේසි ඇල. මෙතන ඉඳන් මා හොරගල් අහුලන්නේ පාසල නිම වී එන එක්තරා ශිෂ්‍යාවක් දකින්නට.

ක්‍රීඩා සමාජයේ උප ලේකම් වශයෙන්, මේ අයගේ සම්පූර්ණ පැටිකිරිය දන්නා නිසාත්, ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගන්නා නිසාත් යම් හිතවත් කමක් ඔවුන් සමග ගොඩනගාගෙන තිබුණත්, ඒ කාලයේ කෙල්ලන් සමග දොඩමළු වන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නෑ. නමුත් පාසල ඇරෙන තුරු පාපන්දුවෙන් තනිවම පුහුණු වීම මගේ ජීවන පුරුද්ද වුණා. 

මා ඇරුණුපසු මෙහි කලින් පැමිණෙන තවත් දෙදෙනෙක් සිටියා. පළමුවැනියා එම පාසලේම පහල පන්තියක ඉගෙන ගන්නා සිසුවෙක්. අපි ඔහුට ආදාරයට හෝ උසුළු - විසුළුවට කිව්වේ ජෙමස්සිනා කියලා. ජෙමස්සිනා කාල වර්ණ, කෙසඟ කොලුවෙක්. ඉත්තෑකූරු කොණ්ඩයත්, ගිලී ගිය දෑසත් ඔහුට සැපයුවේ භයංකාර පෙනුමක්ද නැතිනම්විකට පෙනුමක්ද කියා අදටත් මට හිතා ගන්න බෑ. නමුත් ජෙමස්සිනාට ඉතා හොඳ තීක්ෂණ ඇසක් තිබුණා. ඒ බව පසක් කරන්නේ ඇල අයිනේ ඇති පොල්ගස් වල තිබෙන ගෙඩි ගණන හරියටම නිවැරදිව සටහන් කිරීමට තිබූ හැකියාව. 

"සුභාෂ් අයියේ අන්න අර ගහ යට ගෙඩියක් තියෙන්න ඕනේ. අර ගහ යට දෙකයි. අදට ඒ ඇති"
එසේ පවසා ලඳු කැලෑවට රිංගන ජෙමස්සිනා ආපසු එන්නේ අතින් කටිං පොල් ගෙඩි බාදාගෙනය. ගෙන එන පොල් ගෙඩි අප අසල හෙළන කොලුවා වචනයකුදු නොදොඩා නැවතත් ලන්දට රිංගයි. ඔහු නැවත එන්නේ කහඹිලියා ගසක් මුලින් උදුරාගෙනය. මෙය අපට සුලබ දසුනකි. ඉන්පසු කහඹිලියා මුල සූරා ගන්නා හෙතෙම, කහඹිලියා ගෑවී, පලු නැගී ඇති තැන්හී අතුල්ලයි. සැනෙන් ඉන් සහනයක් ඇතිවන බව අත්දැකීමෙන් දනිමු. මෙය අපටහඳුන්වා දුන්නේ රෝහණ අයියයි. මෙය ඔබ අප සැම මතක තබා ගත යුතු කාරියකි. එය විසෙන් විස නැසේ කියන කියමන පසක් කරනවන එක් උදාහණරයක් පමණි.  

ඉන්පසු අප තිදෙනා පිය නගන්නේ ක්‍රීඩාංගනයට වාහන ඇතුලත් වීම වලක්වනු පිණිස අඩි හයෙන් හය පමණ පරතරයෙන් තබා ඇති කළුගල් වෙතය. දෑතින් ඔසවා පොල් ගෙඩි එම ගල් මතට දමා ගසන්නේ කතරගම දේවාලය සිහි ගන්වමිනි. නමුත් එහි වෙනසක් වේ. ඒ අප අත ඇත්තේ ලෙලි නොගැසූ පොල් ගෙඩිය. තවත් විනාඩි කිහිපයකින් පොල්ගෙඩිය වටා ඇති ලෙලි සහ පොල්මුඩු ඉවත් කරන්නට තරම් අප සමත් වන්නෙමු. එම හැකියාවන් තවමත් අප තුල පවතී.  අප මෙසේ ලෙලි ගසා ගන්නා පොල් ගෙඩිය ඉරටුවක ආධාරයෙන් එහි එක්ඇසක් විද වතුර ටික පානය කරමු. එය කාලය ගන්නා විට අප කරන්නේ පොල් ගෙඩිය අතේම තබාගෙන ගලේ ගැසීමය.  ඉන්පසු ඉතිරි වතුර ටිකද, පොල්ද කා දැමීම අරඹමු. මේ වනවිට තවත් දෙතුන් දෙනෙක් අප අසලය. 

ඉමහත් කෙලිදෙළෙන් සහ සමගියේ ගතකල මේ සුන්දර කාලය කෙසේ අමතක කරන්නද ? නමුත් ඔබ තුල තවමත් නොවිසඳුණු ගැටළුවක් ඇත. ඒ සිංහ පීකුදු පිට්ටනියකට එන්නේ කෙසේද යන්නයි. සිංහ පීකුදු අප වෙත ගෙන එන්නේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ප්‍රසන්නයි. ඔහු සේවය කරන්නේ ඔහුගේ බාප්පාට අයිති අයිඩා ස්වර්ණාභරණ ආයතනයේය. එහෙනම් සුද්දන් මාර්ගයෙන් සිංහ පීකුදු අපවෙත එනවා යයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් දකුණු අප්‍රිකාව වැනි රටකින් හැරෙන්නට සිංහ පීකුදු කෙසේ මෙහි ගෙන එන්නද ?

ප්‍රසන්නගේ මුහුණට සමාන මුහුණක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැක. ක්‍රිකට් පිස්සෙකු වූ ඔහු අත යහමින් මුදල් ගැවසේ. ගෙල වටා බැඳී රන් කඹය එයට සාක්ෂි සපයයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් ස්මිත්ට සමාන රූ සපුවක් ඇති ඔහු නිතරම සිනා මුසු මුහුණින් සහ විහිලු තෙපලමින් කල් ගෙවයි. ක්‍රීඩාංගනයට එන්නේද ඔහුගේ මෝටර් සයිකලයෙනි. පොලීසියේ සාජන් වරයාද ඔහුගේ හොඳම මිතුරෙකි. සිංහ පීකුදු හා පොල් කෑම කෙතරම් රසවත් දැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. ඇත්තටම සිංහ පීකුදු මොන රස ඇත්ද ? මා නම් කිසි දිනක කටේ තබා නැත. සමහරවිට වේලාපු ගෝන මස් රස මෙන් විය හැක. නමුත් ප්‍රසන්න නමැති මේ තරුණයා ඔහු විසින්ම ඔහුට අමතා ගන්නේ සිංහ පීකුදු යනුවෙනි. අපේ ගමේ ඕනෑම කෙනෙකු ඔහු හඳුනාගෙන ඇත්තේ සිංහ පීකුදු ලෙසය. අද මෙන් එදා පච්ච කෙටිල්ල තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔහු පපුවේ පච්චයක් ලෙස "සිංහ පීකුදු" කොටා ගනු ඇත. 

මා වරක් ඔහුගෙන් එහි තේරුම අසා ගත්තේ වාසනාවටය. නැතිනම් ඔහේ කියන්නං වාලේ මටත් සිංහ පීකුදු යනුවෙන් මුමුණ මුමුණා ඉන්නට හැක. අද දින ඔබ වෙත ගෙන එන්නේ එදා දූරදර්ශීව ගත් ඒ තීරණය නිසාය. 

"මචං කැලේ රජා කවුද ? සිංහයා. සතෙක්ගේ තියෙන හොඳම කෑල්ල මොකක්ද පීකුදු. ඉතිං සිංහ පීකුදු කියන්නේ ආයේ කාටවත් සෙකන්ඩ් නැති රජ පොරක්ටනේ. ඉතිං මම එහෙම නැද්ද ? "

ඇත්තටම කෙනෙකුට සිංහ පීකුදු අවශ්‍ය නම් http://www.exoticmeatmarkets.com/lionliver1lb.html වෙත යන්න.

_____________________________________________
ප්‍රසන්න නොහොත් සිංහ පීකුදු කොහේ හෝ ජීවත් වනවා යන්න මගේ විශ්වාසයයි. නමුත් ජෙමස්සිනා පිලිබඳ කිසිම ආරංචියක් නොමැත. ඔහු එකල පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස රැකියාවට ගියේ තම පවුලට තිබූ දුෂ්කරතාවන් පමණක්ම නිසා නොව, සහෝදර දේශපාලනයට සම්බන්ධව ඔත්තු බැලීමට එය කදිම අවස්තාවක් වූ බැවිණි. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැත.
_____________________________________________
කාට හරි කමෙන්ට් කරන්න හොඳ නමක් නේ සිංහ පීකුදු ?

Monday, January 20, 2014

ඔලුවට උඩින් .... Over the head

දිනය : 2026/02/12

ස්ථානය : කොළඹ 7, තුරඟ තරඟ පිටියට යාබද නව ගොඩනැගිල්ලෙහි ඇති අයි.සී.සී. ප්‍රධාන කාර්‍යාලය. 

කාරණය :  2020/02/02 දින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවතී ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවාසාන පන්දු ඕවරයේ දෙවනි පන්දුවේ සිදු වූ අස්වාභාවික ඉපිලීම පිළිබඳ සාකච්ඡා කිරීම. 

මේ වනවිට අයි.සී.සී. හී පූර්ණ සාමාජිකත්වය දරන රටවල් දහතුනට අමතරව, ආශ්‍රිත සාමාජිකත්වය දරන සෙසු රටවල් වලද, ඉතා අල්ප ලෙස ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන රටවල් වල සියලුම මාධ්‍ය වලින්ද, ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු ලෙසකින් සිදු නොවන රටවල් වල මාධ්‍ය පවා මේ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි. කොටින්ම කීවොත් ලෝකයම කතා වන මාතෘකාව බවට එය පත්විණි. එසේ හෝ ලෝකයේ සියලුදෙනා ක්‍රිකට්  ගැන කථා කිරීම  අයි.සී.සීය කැමැත්තෙන් පසු විය. එහෙත් ඔවුන් ඒ බව පිටතට නොපෙන්වා ඉකුත් සිද්ධිය ගැඹුරින් අධ්‍යනය කරන බවක් පෙන්වීය.  මේ කාරණය මත හෝ තමන් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන රටවලට ක්‍රිකට් යන නාමය හෝ ප්‍රචලිත වීම මහත් සම්පතක් ලෙස ඔවුන් තේරුම් ගෙන තිබුණි. එහෙත් මේ සිද්ධිය පිළිබඳ අවුල ලිහා ගැනීමට තබා, ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත. ඒ අතින් ඔවුන් සිටින්නේ දැඩි කැළඹිලි සහගත මානසික තත්ත්වයකය. 

පන්දුව ගමන් කර තිබුණේ ඉහත පින්තූරයේ පෙනෙන අකාරයටය.
පන්දුවේ ගමන් මග අධ්‍යනය කිරීම සඳහා නාසා ආයතනයේ පවා සහය ඉල්ලා ඇත. මීට ප්‍රථම එල්.බී. ඩබ්ලිව් නොහොත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වන පිතිකරුවන් නිවැරදිව දැවී ගියාදැයි සොයන්නටද නාසාහි උපකාරය ඉල්ලා සිටියත්, ඔවුන් පවසා තිබුණේ තමන්ට මීට වඩා සිතීමට බොහෝ දේවල් තිබෙන නිසා, ඔවැනි දේවල් සඳහා කාලයක් නැති බවයි. නමුත් අවකාශය තුළ ගමන් ගන්නා වස්තූන් පිළිබඳ අධ්‍යනය කිරීමට තාක්ෂණය සහ දැනුම  වෙනත් කිසිවෙකු සතුව නොතිබිණි.  වායු ගතිකවිද්‍යාව(Aerodynamics) පිළිබඳ විශේෂඥයින් බොහොමයක් ඔවුන් සතුව ඇත. මෙවර ඔවුන් මේ පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ විශේෂ හේතුවක් නිසාය. නමුත් සාමාන්‍ය ජනතවාට දින දෙක තුනක් යද්දී එය අමතකව ගොස් තිබුණි. ඒ ඔවුන්ට හිතන්නට ඊට වඩා දේවල් ඕනෑ තරම් තිබුණ නිසාය. 

එකී තරගය එතනින් අවසන් කර දමන්නට එහි තරග තීරකයා කිසිදු පැකිලීමකින් තොරව තීරණය කර තිබුණි. මන්ද මීට පෙර බටහිර ඉන්දීය ක්‍රීඩාංගණයක පැවති තරගයකදී මේ අකාරයෙන්ම ඉතාම හෙමින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු බවුන්සර් පන්දුවක් යැවීම නිසාය. එකී පන්දුවේ වීඩියෝ පට කිහිප විටක් නරඹා තීරණයක් ගැනීමට නොහැකි වූ විට, ස්පයිඩර් කැමරාවේ සටහන් වී තිබූ දර්ශනය සියල්ලන් මවිත කළේය. ඒ පන්දුව පතිත වන්නට මොහොතකට පෙර, පන්දුව පතිත වන තැන දිලිසෙන බව දැකීමෙන්ය. එකී කමිටුවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල සයිමන් ටවුෆල් මහතා එකෙණෙහිම ලබාදුන් නියෝගයකට අනුව, ආරක්ෂක ලෙස වසා දමා තිබූ ක්‍රීඩාංගණය විවෘත කර එම තනතීරුව හාරා එහි පස් විශ්ලේෂණය සඳහා ගෙන ආ යුතු බවයි. 

එසේ ගෙන යන්නට පස් ඉවත් කිරීම එම තනතීරුවේ දකුණු කෙළවරින් ආරම්භ කල අතර මිනිත්තු කිහිපයකින් ස්පයිඩර් කැමරාවේ සටහන් වූ දිලිසෙන වස්තුව සොයා ගන්නට එහි සුළු සේවකයෙකු සමත් විය. බොහෝ දෙනාට එය අදහා ගන්නට නොහැකි විය. ලෝකයේ බොහෝ ක්‍රීඩා නාලිකා වල කැමරාවන් එදෙසට යොමු වී තිබුණි. එම සේවකයාඑම බෝතලයට  තම ඇත තිබු කම්බි කූරකින් එල්ල කරන ලද වේගවත් පහර නිසා එය බිදී ගියපසු අවුබෝධ වුයේ, එය කොකා කොලා බෝතලයක් බවය. එසේ තමා වියරුවෙන් මෙන් එයට පහර දුන්නේ ඇයිදැයි විමසු විට, තමාගේ මිතුරකු ගී ගයන රෙගේ සංගීත ප්‍රසංගයට යන්නට නොහැකි වුයේ තමාව හදිසියේ කැඳවා සවස හය වනතුරුත් ක්‍රීඩාංගණයේ තබා ගැනීම නිසා බවද, තමා සිටියේ දැඩි කෝපයෙන් බවද එම සේවකයා පවසා ඇත.  දිලිසී ඇත්තේ එහි පියනය. කුමක් හෝ හේතුවක් නිසා  එය හරියටම උඩු අතට පිහිටා තිබුණි. මුලින්ම එය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඇති කෞතුකාගාරයේ තැන්පත් කළයුතු බවට යෝජනා වූවත්, තම භාෂාව වෙනස් කල ඇමරිකාවේ නිෂ්පාදනයක් තමන්ගේ කෞතුකාගාර වල තබා ගැනීමට එංගලන්ත බලධාරීන් දැක්වුයේ ඇල්මැරුණු උනන්දුවකි. පසුව එය විශාල මුදලක් ගෙවා කොකා-කෝලා ආයතනය මිලදී ගෙන ඇත. 
පින්තුරය ගත්තේ : http://www.sfu.ca/
බොහෝ ඉල්ලුම්කරුවන් අමතක කොට එය තමන් වෙත ලබා දීම නිසා, එම ක්‍රීඩාංගණයේ යෝධ කොකා-කොලා බෝතලයක් නිර්මාණය කරන්නට ඔවුන් ඉදිඉපත් විය. මේ සඳහා තමන්ට තිරයෙන් පිටුපස සිට උපකාර කර හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නකු වන ඩේවිඩ් රිචඩ්සන් මහතා සිහි වීම පිණිස විශාලා කඩුළු රකින අත් ආවරණයක්ද නිර්මාණය කර ඇත. 
blog.percyswildride.com
ඉතා සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන බටහිර ඉන්දීය දුපත්වල ජනතාව, මෙසේ නොසැලකිලිමත් ලෙස හැසිරෙන බව ලෝකයාම පිළිගත් කරුණකි. එනිසා මෙවරද සිදු වී ඇත්තේ සමාන සිදු වීමක් බව, එදින පැවැත්වූ වීඩියෝ සාකච්ඡාවකින් තීරණය කල පසු එම විකට්ටුවද හාරා, සියලු පස් විශ්ලේෂණය කළද කිසිම හෝඩුවාවක් නොලැබී ඇත. කලින් වතාවේ එම පස් මිශ්‍ර කරන සේවකයා තදින් කොකා කෝලා වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන්නට ඇති බවත්, එය පස් මිශ්‍ර කරන අතරවාරයේදී මිශ්‍රණයට වැටෙන්නට ඇති බවත් පසුව නිගමනය විය.

නමුත් මෙවර පස් මිශ්‍රණයෙන් බලාපොරොත්තු වූ ඝන ද්‍රව්‍යයක් හමු නොවීය. ප්‍රශ්නය තවත් සංකීර්ණ වුයේ ඉන් පසුවය. විවිධ අය විවිධ මත පළකරන්නට විය. සමහරුන් කීවේ එය ලක්ෂයකට වරක් සිදු විය හැක්කක් බවයි. නමුත් එම පන්දුව යවමින් සිටියේ ඉතාම මන්දගාමී දඟ පන්දු යවන්නෙක් වන විශ්ව අදීප නමැති තම පළමු තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයායි. ඔහු යැවූ පළමු පන්දුවට පහසුවෙන්ම හතරේ පහරක් ලබා ගන්නා ලදී. එක් අතකින් හොඳටම පහර කා හෙම්බත් වී සිටින අවස්ථාවක මෙවැනි පන්දු යවන්නෙක් දමා කඩුල්ලක් ලබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි. මෙම ළාබාල ක්‍රීඩකයා තෝරාගෙන තිබුණේ පිතිකරුවකු ලෙසයි. නමුත් බිම පතිත වූ පසු මීටර් හයක් පමණ ඉපිලීමක් ලබා ගැනීමට සමතෙක් කිසිදා බිහි වී නැත. 

අයි.සී.සීය ඉන්පසු කළේ මහජන මතය විමසීමයි. කිසිදු විද්‍යාඥයෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට අපොහොසත් මොහොතක, තවත් අභිරහසක් ලෙස සැඟවී යන්නට නොදී එයට කුමන හෝ විසඳුමක් සොයා ගැනීම එකම විකල්පය ලෙස අයි.සී.සියේ විධායක කමිටුව තීරණය කර, කොළඹ නගරයේ ඇති තම ප්‍රධාන කාර්යාලයට රැස් වුයේ තෝරාගත් එවැනි විසඳුම් කිහිපයක් විමසා බැලීමටයි. එම හමුවට නාසා නියෝජිතයන්, රසායන, භෞතික විද්‍යාඥයන්, පරිගනක විශේෂඥයන්, රහස් ඔත්තු සේවා වල නියෝජිතයන් සහභාගී විය. කලින් සුදානම් කරගත් පරිදි වෙලාවටම සමුළුව ආරම්භ කරන ලදී. හොඳම විසඳුම් ලබා දුන් පර්යේෂකයන් පස් දෙනෙකුද කැඳවා තිබුණි. 

පළමු විසඳුම ලෙස ඉදිරිපත් කර තිබුණේ, එය පන්දුවේ යම් තද ගතියක් නිසාත්, විකට්ටුවේ ඇති පිපිරුමක ගැටී ඉහළ එන්නට ඇතැයි කියාය. නමුත් ඒ වනවිට පන්දු ඕවර 113 ක් යවා අවසන් වී තිබූ අතර ලකුණ 472 ක් ලබාගෙන තිබුණි. එවැනි කාරණයක් මත පන්දුව ඉහළ එන්නේ නම්, අඩුම තරමේ ඉන් පෙර පන්දු දෙක තුනක් වත් ඉහළ ආ යුතු බව ක්‍රිකට් විශ්ලේෂකයන්ගේ මතය විය. 

ඉන්පසු විසඳුම ඉදිරිපත් කල පාකිස්තානු ජාතිකයා පවසා සිටියේ සමහර පන්දු නිෂ්පාදකයන් පන්දුව ඇතුළතට ගලක් වැනි තද ද්‍රව්‍යයක් යොදා පන්දුව එතීමට පටන් ගන්නා බවයි. මෙයට හේතුව එය විය හැකි බවත්, පන්දුව කපා එහි මැද පරීක්ෂා කළයුතු බවත් ඔහුගේ මතය විය. මේ වනවිට අයි.සී.සී. ප්‍රධාන කාර්යාලයේ සේප්පුවක් තුළ සුරැකිව තබා ඇති පන්දුව ගෙන සියලු දෙනාගේ කැමැත්තට අනුව එය දෙපළු කරන ලද මුත්, හණ නූල් සහ කිරල ඇබ හැරෙන්නට කිසිවක් එහි නොවීය. 

තුන්වන විසඳුම ලබා දුන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා පවසා සිටියේ තමා එම වීඩියෝව කිහිප විටක්ම ප්‍රතිවාධනය කර බැලු බවත්, එම අවස්ථාවේදී පන්දුවට පහර දෙන ක්‍රීඩකයාත්, විකට්ටුව මත ඇති බේල් යුගලයත්, දෙවෙනි විනිසුරු සහ එම රූප රාමුවට හසු වූ අනෙකුත් ක්‍රීඩකයන්ගේ හිස් වැසුම් සහ ඔවුන්ද මද වශයෙන් ඉහළ ගොස් තිබු නිසා මෙය ගුරුත්වාකර්ශනයේ යම් විෂමතාවක් බවයි. නමුත් බොහෝ දෙනා ඊට විරුද්ධව අදහස් එකතු කළහ. සමහරෙක් පැවසුවේ ඒ වනවිට ක්‍රීඩාංගණය හරහා හමා ගිය පැයට කිලෝ මීටර 30 ක පමණ හුළඟ නිසා එය වන්නට ඇති බවත්ය. නමුත් ඔහුගේ තර්කය වුයේ සුළඟ පැවතියේ නිරිතදිග සිට ඊසානදිග දෙසට නම් එයට ඉහළින්  අඩු පීඩනයක් ඇති කල හැකිද යන්නයි. තම පිළිතුර සත්‍ය බව ඔප්පු කිරීමට නම් ඒ ආසන්න රටවල ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවත්ය. ගුරුත්වාකර්ෂණය තප්පරයෙන් සීයෙන් පංගුවක් වන සුළු මොහොතකට නතර වුවා නම් මෙසේ පන්දුව ඉහළ යා හැකි බව ඔහු නිගමනය කර තිබුණි. එම ප්‍රේක්ෂකයාගේ අදහසට පක්ෂව සහ විපක්ෂව සමව ඡන්දය දුන් එහි සිටි විද්වතුන් ඔහුගේ පිළිතුර තවදුරටත් සලකා බැලිය යුතු බව තීරණය කර දිවා විවේකය සඳහා එම සැසිය අවසන් කළහ. 

සාකච්ඡා කාමරයෙන් පිටතදී කිසිවෙක් ඒ ගැන අදහස් පළ කරන්නට කාලය වැය කළේ නැත. ඒ ඔවුනට හිතන්නට තවත් බොහෝ දේ තිබූ බැවිනි. බොහෝ දෙනා තම ජංගම දුරකථන, ටැබ්ලට් ආදියෙන් තම පවුලේ අය අමතන්නට පටන් ගත් අතර සමහරු ඉතා ඉහළින් සපයා තිබූ දිවා ආහාරය භුක්ති වින්දේ තම මිතුරන් සමග ආගිය කථා වල යෙදෙන ගමන්ය. 

හතරවෙනුව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු භෞතික විද්‍යා මහාචාර්ය වරයා පවසා සිටියේ එය නිතැතින්ම ක්‍රීඩකයාගේ හිස් වසුමේ ගැටුන බවය. නමුත් බටහිර ඉන්දීය ක්‍රීඩකයින් පළඳින හිස් ආවරණය බොහෝ දුරට පන්දුවේ වර්ණයට සමාන නිසා එය ගැටුණාද නැත්ද යන්න සොයා ගැනීම උගහට බව අවධාරණය කෙරිණි. බොහෝ දෙනාට මේ වර්ණ පිළිබඳ අදහස සිත් ගත් නිසා මිනිත්තුවකට රූප රාමු හයදාහක් ලබාදෙන විශේෂ කැමරාවකින් ගන්නා ලද රූප රාමු ශාලාවේ ඇති පුළුල් තිර HD තිරය මත දිග හැරුණේ විසිපස් දෙනෙකුට පමණ අසුන් ගතහැකි, ඉතා ප්‍රශස්ත මට්ටමක වායුසමනය කරන ලද ශාලාවේ ආලෝකයද මදක් අඩවන් කළ පසුය. මිනිත්තුවක් තුළ ගන්න ලද රුප රාමු එකින් එක දිග හැරීමට මිනිත්තු දහයක පමණ කාලයක් වැය වන ලදී. ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයාගේ හිස් ආවරණ සහ පන්දුව ගැටෙනවාද යන්න එම දසුන් වලින් පැහැදිලි නැත. යළිත් ශාලාවේ ආලෝකය එනවිට බොහෝ දෙනා සිටියේ කෙටි නින්දකය. තවත් සමහරු ඈනුම් අරිමින්, හිස කසමින් සිටිනු දුටු මහාචාර්යවරයා තම දිගු රැවුල අතගාමින් අප්‍රසාදය සහිත මුහුණක් පෙන්වීය. 

නමුත් නින්ද නොලබා සිටි එක් පුද්ගලයෙක් අදහස් දක්වමින්, ස්නිකෝමීටරය සහ හොට්ස්පොට් දර්ශන වලින් ඔහුගේ තර්කය බිඳ වැටෙන බව පැවසු විට නිදමින් හුන් අයද ඔහුට හූ මිටි තබමින් ඒ අදහසට එකඟත්වය පල කළහ. 

අවසන් අදහස එක් කල එංගලන්තයේ කාලගුණ විද්‍යා විශේෂඥයෙක් පවසා සිටියේ, එය ඉහළ අහසේ ඇති වූ අවපීඩන තත්වයක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් බවයි. මේ සඳහා අවට ප්‍රදේශ වල ජනතාවගේ අදහස් විමසා බැලිය යුතු බව ඔහුගේද මතය විය. 

එංගලන්ත කාලගුණ විද්‍යාඥයා සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ලබා දුන් විසඳුම් බොහෝ දුටර සමාන හා පිලිගතහැකි තත්වයේ තිබෙන බැවින්, මේ පිළිබඳ අවසන් නිගමනයකට ඒමට නම් ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනයේ(USGS) අදහස් විමසිය යුතු බව නිගමන විය. තවත් දිනක හමුවන බලාපොරොත්තුවෙන් පැමිණි සාමාජිකයින් විසිර ගියේ එකිනෙකා වැළඳ ගනිමිනි. 

_________________________________________
මෙය ප්‍රබන්ධ කරන්නට මා හට මුලින්ම අදහස ඇති වුයේ බීටල් ලියන අකුරු බ්ලොග් අඩවියේ පලවූ සරුංගල් මහාචාර්යවරයා කියවද්දීය. නමුත් එහි මතකය ගිලිහී ගොස් තිබිණි. දින කිහිපයකට උඩදී අපූර්වී ඔමායා එවන ලද වීඩියෝ පටයක් (ගුරුත්වය මොහොතකට නතර වුවහොත්) නරඹද්දී මේ මතකය අලුත් විය. 

Sunday, January 12, 2014

මේ කවුද ? මොනවද කරන්නේ ? Who is he ? What does he do ?

 මේ පින්තූරයේ ඉන්න කෙනා කවුදැයි ඔබට හඳුනා ගන්න පුළුවන්ද ? බොහෝ දෙනෙකුගේ හිතට එන්න ඇත්තේ කලක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සොයමින් හුන් වීරප්පන් නමැති කාඩ්-බෝඩ් වීරයා කියා විය යුතුය. වීරප්පන්ගේ හැඩරුවට බොහෝ සෙයින් සමාන මොහු කවුද ? මොහු දුටු විට අපගේ ජනප්‍රිය බ්ලොග් කරුවකු, ඔහුගේ බ්ලොග් අඩවිය හඳුන්වා දී ඇති, තේමා පාඨය මගේ සිහියට එන්නේ නිතැතිනි. එය ඔබ, මා, අප සියලු දෙනා දන්නා එකකි. ඒ 

"හොරෙක් - මංකොල්ලකාරයෙක් - දේශප්‍රේමියෙක්"

එතකොට මේ ඉන්නේ මාතලන්ද ? නැත. කොහෙත්ම නැත. මෙහි සිටින්නා හොරෙක් නොවන බව මා තේරුම් ගත්තේ ඔහු සමග දොඩමළු වූ මිනිත්තු කිහිපයෙනි. ඔහු මංකොල්ලකාරයෙක්ද ? මේ කතාව අවසන ඔබට ඒ ගැන යම් සැකයක් ඇති විය හැක. ඔහු දේශප්‍රේමියෙක් බව මට සහතික කොට කිව හැක.  මා මේ කියන කතාව ඔබට ප්‍රහේලිකාවක් බව දනිමි. 

වරක් මා අගය කල මාතලන් නමැති ප්‍රවීණ බ්ලොග් කරුවා පැවසුවේ 
"බ්ලොග් කරුවන් යනු පුරවැසි මාධ්‍යකරුවන්(Citizen Journalist) බවත්, ඔබගේ වගකීම රටට සමාජයට වැදගත් වන දෙයක් දුටු විට වාර්තා කිරීමය"
යන වදන් කිහිපයය. මා පහුගිය කාලයේ කල බොහෝ බ්ලොග් සටහන් මේ ස්ථාවරයේ හිඳ ලියූ ඒවාය. සැබවින්ම අප පුරවැසි මාධ්‍යකරුවන්ය. 

දිනය පහුගිය සිකුරාදාය. වෙලාව සවස දෙක පමණ වන්නට ඇත. මා සිටියේ දැඩි බඩගින්නකය. ස්ථානය : අඹගහ හන්දිය. ඒ මට බාරදී තිබෙන සමරු කලාපයක කටයුතු සඳහා "අඹගහ හන්දිය" නමින් හඳුන්වන, තලංගම කොස්වත්ත, අයි.ඩී.එච්. සහ රාජගිරිය යන මාර්ග තුන එකට එකතු වන, කුඩා අඹගසක් ඇති හන්දියට ගිය අවස්ථාවේදීය. මා සිටියේ ත්‍රී රෝද රථයක් බලාපොරොත්තුවෙනි. එක් වරම එහි ළඟා වූ බට්ටා වර්ගයේ කුඩා ලොරියක් නවත්වා, එහි රියදුරු මා හට ගොඩ වන ලෙස ඉල්ලා සිටියේ ප්‍රිය මනාප සිනහවක් පල කරමිනි. මා දෙවරක් සිතා එයට ගොඩ වීමි. එහි පුරවාගෙන තිබුණේ කාර්යාල සඳහා සපයන පානීය ජල බෝතල්ය. එය මා තුළ මේ පුද්ගලයා කෙරෙහි සැකයක් ජනිත නොකරන්නට හේතු වන්නට ඇත. ඉන්පසු එකදිගට දොඩමළු වූ ඔහු

මහත්තයා කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් හුඟාක් වෙලාවට පාරේ ඉන්න කවුරු හරි කෙනෙක්ව මේ නිකං තියෙන සීට් එකේ දාගෙන යනවා. අද කාලේ හොර හතුරන් ඉන්න හැටියට මේ වගේ දෙයක් කරන්න බයයි. ඒත් මහත්තයා දැක්ක ගමන් මට කියන්න පුළුවන් කවුද කියලා. මාත් ලංකාවේ හතරදිග්භාගයේ වැඩ කරලා අත්දැකීම් තියෙන මිනිහෙක්. මම හමුදාවේ වැඩ කළේ. සර්විස් එකෙන් පෙන්ෂන් අරගෙන හොරකම් කරන්න මංකොල්ලකන්නේ නැතිව, මාසෙට මේකේ ලීස් ගෙවලා, තෙල් ගහගෙන අතට රුපියල් දෙදාහක් තුන්දාහක් හොයා ගන්නවා. ඒ අතරේ කවුරු හරි කෙනෙක් දැක්කොත් උදව් කරනවා. කෙනෙක් දාගෙන යන්නත් අද කාලේ බයයි. ඒ වගේ අප්සට් කෙනෙක් නැග්ගොත් මැරෙන්න වුණත් ගහන්න යකඩ පොල්ලක් මා ගාව තියෙනවා. මම හමුදාවේ හිටපු සේවා කාලේ වත් කිසිම වරදකට අහු නොවුන නිසා මට කේ.එස්.පී. අඳින්න ලැබුණා

මේ වනවිට මාගේ ගමනාන්තයට ළඟා වූ බැවින් ඔහු වාහනය පසෙකට කර නවත්වා මා හා දොඩමළු විය. 

මොකක්ද කේ.එස්.පී. කියන්නේ ?

කේ.එස්.පී. කියන්නේ කීර්ති සේවා පදක්කම. මේ තියෙන ගැසට් එකෙන් අපිට ඒ සම්මානේ දුන්නේ. අපි කාටවත් බරක් නොවී සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මම අරක්කු - සිගරට් කිසි දෙයක්, අඩුම ගණනේ බුලත් විටක් වත් කටේ තියෙන්නේ නෑ. ඕවා ඔක්කොම පුරුදු මහත්තයා. හිත තමයි තියෙන්නේ. හිතුවොත් ඕනෑම දෙයක් නතර කරන්න පුළුවන්. මම 1995 ඉඳලා හරක් මස් කෑම නැවැත්තුවා.  

ඔහුගේ නම ආර්.ඩී. එන්. ධර්මදාසය. ඔහුගේ නම ඉදිරියෙන් කේ.එස්.පී. - wo ලෙස තැබිය හැකි බව ඔහු පවසයි. ඔහුගේ ගම වැල්ලව - කුරුණැගල ය. ඔහු සැබවින්ම රටට ආදර්ශමත් එමෙන්ම කීර්තිමත් රණ විරුවෙකි. අද අපේ රටට අවශ්‍ය මෙවැනි පුද්ගලන්ය. ඔහුට බොහෝ සෙයින් ස්තුති වන්ත වූ මා කාර්යාලය අසලින් බැහැ ගත්තේ මේ සටහන තබන්නට සිතෙහි තබාගෙනය.
______________________________________________
පසුව එකතු කල පින්තූරය.
පින්තූරය : http://documents.gov.lk/Extgzt/2012/PDF/Oct/1779_23/1779_23%20(S).pdf

Saturday, December 7, 2013

ලෝකයේ තවමත් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස World's most unsolved mysteries - Part II

6.තමාම් ෂුඩ් ගැටලුව


තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන  තවමත් මෙය  නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).

එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.

කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.

(තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)

7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow)  සංඥාව


1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial  Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා  අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්‍ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.

එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා  දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.

එහ්මන් වාව් (Wow !)  යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.

සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.

(මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)

8. ග්‍රහචක්‍ර ලිපි.

ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත. 

මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත. 

9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ

ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය. 

මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද,   ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි. 

එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්,  එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය"  බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය. 

10. රොන්ගොරෝන්ගෝ


රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක්  හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි. 

මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.

මෙය
 http://alft-teluu.blogspot.com/ හී පලවූ World's Most Unsolved Mysteries නමැති ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
_____________________________________________
මේ එක්-එක් සිදුවීම සම්බන්ධයෙන් ඇති ලිපිද ඉතා සිත්ගන්නා සුළු නමුත් දීර්ඝ ඒවාය. ඔබේ කැමැත්ත අනුව ඉන කිහිපයක් හෝ සියල්ල පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙමි. 

Thursday, November 28, 2013

රෑනඅත්තකන්ද තුන්වෙනි කොටස - TheThird Part Ranaaththakanda

මේ යාල සහ කුමන රක්‍ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ......Two Nights in a Thick Forest 

යන හිසින් ලියූ හේන් ගොවියන් සමග ගතකළ සොඳුරු එමෙන්ම කටුක රාත්‍රීන් දෙක පිළිබඳ අත්දැකීම් මාලාවේ තෙවන කොටසයි.

හිරු නැගෙන්නට තවත් හෝරාවකුත් මිනිත්තු තිහකට ආසන්න කාලයක් ඇත. නිවසේදී පවා පැය හතරක නින්දකින් පසු අවදි වුවහොත් යළිත් නිදා ගැනීම සිහිනයක් බඳුය. එහෙත් මා ඇහැරුණේ එලාම් ඔරලෝසුවට නම් යළි නිදිසුව ලබා ගත හැක. එහෙත් අද දිනය විශේෂය. මා අවදි වුවේ අපගේ නින්ද වෙනුවෙන් සහ ඔවුන්ගේ වගාව වෙනුවෙන් කොටස් වශයෙන් නිදි වැරූ ගොවි මිතුරන්ගේ අදිසි කෑගෑම නිසාය. මම දෑස පියා ගත්තද යළි නින්ද නොඑන බව සක්සුදක් සේ දනිමි. පොරවනය ඉවත් කර වාඩි වූ මම වටපිට බැලීමි. පෝය දිනයට පහන් වන හිමිදිරියේ ලා සඳ එළියෙන් චමත්කාර දසුනක් කෙසේ වෙතත් බියකරු වටපිටාවක් මා අවට ඇත. මගේ මිතුරන් අතරින් සම්පා පසුවන්නේද කුකුල් නින්දේ බව වැටහුණේ, මිමිණිල්ලෙන්ම කියූ වදන් කිහිපක් නිසාය. 

මීටර් සීයකට මත්තෙන් ඇති ඝන කැලෑව නිසොල්මනේ පසු වේ. මුලින් ඇසුණු අලි හඬ සහ ඊට ප්‍රතිචාර ලෙස සියලු හේන් වල ගොවීන් දැක්වූ හූ හඬ සහ බැණ අඬගෑම් පහව ගොසිනි. ඉඳ හිට කෑ ගසාගෙන යන කෑදැත්තෙකුගේ හඬ හැරෙන්නට හිමිදිරිය තවමත් නිසොල්මන්ය. මේ වනවිට වායු ඝනත්වය සෑහෙන වැඩි තත්වයකට පත්වී ඇත්තේ රාත්‍රී දහය එකොළහ පටන් මේ දක්වා එක දිගට වැටෙන  පින්න නිසාය. ඇත්තටම වා තලය දුමකින් වැසී ගත් කලක සිරි පෙන්වයි. එනිසාම කිසිවක්   පැහැදිලි දර්ශනය නොවේ. අලියා හඬක් නොනගාම ආසන්නයට පැමිණියහොත් අප අමාරුවේය. ඔවුන් එසේ පැමිණෙන්නේ අස්වැන්න කපා ඇති කාලයට බව පෙරදින සන්ධ්‍යාවේ ඔවුන් සමග කල සාකච්ඡාවෙන් අනාවරණය විය. එනිසා ගොවීන් තුළඅලියා ගැන කිසිදු පැහැදීමක් නැත.

මට අධික තිබහක් දැනිණ. එහෙත් මා සිටින්නේ ගෙදර ගියොත් අඹු නහී වැනි තත්ත්වයකය. ට්‍රේලරයේ මා නිදා ගත්තේ හරි මැදට වන්නටය. මා ආත්මාර්ථකාමීදැයි ඔබට සිතෙනු ඇත. සත්‍ය එය නොවේ. මේ අප නිදියන්නට ගිය පිළිවෙලය. සම්පා, දලූවා, මම, සුභාෂ් සහ රසික. යම් සැකයක් වේ නම් පසුගිය සටහන බලන්න. මා නැවතත් දිගෑදුනෙමි. දලුවා සහ සම්පා පලංචියේ ලී ඉරණ සගයන් දෙදෙනෙකු වැනිය. එකෙක් "ක්‍රාස්" ගාන විට අනිකා "ක්‍රීස්" ගායි. එය පෙර කතිකාවක් පරිදි සිදු වන්නේ සිනහ නංවමිනි. නමුත් මේ ඒ සඳහා කාලය නොවේ. අද දිනය කෙසේ වනු ඇතිද ? ඒ පිළිබඳ නිශ්චිත සටහනක් මා ළඟ නැත. විටෙක හමා යන සුළඟ සිහිල් බව දැඩි කරන අතරේ සඳ වසා වලාකුළක් ගමනේ යෙදේ. එවිට මුළු යායම අඳුරේ ගිලේ. 

මෙවර මා ගැස්සී අවදි වුයේ කිසිදු බාහිර හඬකට නොව, මාගේ ස්වභාවික ඔරලෝසුව ක්‍රියාත්මක වීමෙන් බව මොහොතකදී පසක් විය. තවත් බලා සිටීමෙන් පලක් නැත. මා නිවසේ සිටිනා ඕනෑම දවසක මේ වෙලාවට අවදියෙන් සිටී. තිබෙන එකම ගැටලුව දෙපයින් නැගිටින්නට නොහැකි කමය. මගේ උසට නම් මේ පියස්සේ මැද හරියේ හිට ගත හැක. එහෙත් මා ට්‍රේලරේ කෙළවරට යන්න නම් දෙදෙනෙකුගේ කඳන් වල මද හරියෙන් පැන යා යුතුය. එය කල නොහැක්කේ හරියට පැහැදිලිව නොපෙනෙන නිසාය. හිස සිට දෙපතුල තෙක් පොරවාගෙන මමියක සිරි ගෙන නිදන සුභාෂ්ගේ අත් පෑගේන්නට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. මගේ ළඟම ඇති ජංගම දුරකථනයෙන් වෙලාව බැලීමි. එහි පහයි තිස් ගණනක් සටහන් වී ඇත. වෙන දෙයක් වුණාවේ යයි සිතා, කකුල් තිබෙන කොටසට ගොස් සම්පා ඉන්නා පැත්තෙන් බැසීමට සිතා වාඩි වූ ගමන්ම දළුව පසුකර සම්පා ළඟට ගියා පමණි. 

"කොහෙද යන්නේ ?"

සම්පා ප්‍රශ්න කරයි. 

"අනිත් පැත්තෙන් බැහැපන්"

ඔහුගේ කතාව ඇත්තය. සම්පා ඉන්නේ ට්‍රැක්ටර් එන්ජිම ඇති පැත්තේය. එහි ඇති කෑලි-බෑලි නිසා ඒ පැත්තෙන බැහීම කරදරය. දැන් මට ශරීරකෘත්‍යක දැඩි අවශ්‍යතාව දැනේ. මා නැවතත් තාරා ගමනින් අනෙක් කෙළවරට සාර්ථක ගමනක් ගියේ අනෙක් අය ගැඹුරින් නිදිසුව ලැබූ නිසා බව පැහැදිලිය. හෙමින් පහළට බැස කාගේදෝ සෙරෙප්පු දෙකක් පයලාගෙන, බාල්දිය ගෙන වතුර බැරලයෙන් වතුර එකක් පුරවා ගතිමි. එහි තවත් බාල්දි දෙකකට වඩා ජලය නැත. මා මේ සුදානම් වන්නේ අති-ස්වභාවික ශරීරකෘත්‍යයක් සඳහාය. බාල්දි ගැටෙන හඬින් අවදී වූ කදිරා සහ රත්නයා කථාවක් පටන් ගති. මා ඉදිරියට ඇදෙන්නට වුයේ පෙරදින ලබාගත් උපදෙස් අනුවය. මීටර් කිහිපයකදී මා නැවතූ රත්නයා,

"ඔහේ යන්න එපා සර්, අර පැත්තේ වාඩිය පිටිපස්සට යන්න" 

යයි අතින් පෙන්වූයේ අපේ වාඩියට දකුණින් වූ අත්හැර දමා තිබෙන වාඩියක් පෙන්වමිනි. මා වැඩි කාලයක් ගත නොකොට අදාළ ප්‍රදේශයේ පැහැදිලි තැනක් සොයාගෙන මගේ අවශ්‍යතාව ඉටු කරගන්නට සැරසෙත්ම, ඊට මීටර් විසිපහක් පමණ වම් පැත්තෙන් ඉදිරියට ඇදෙන කදිරා දුටිමි. ඔහු සුපුරුදු පරිදි තුවක්කුව කරේ තබා, දෙපසින් දෑත් ඒ මත දමාගෙන හැල්මේ කැලය දෙසට ගමන් කරයි. මගේ අවශ්‍යතාවට විනාඩියක් වත් ගත නොවීය. මා නැවත බාල්දිය රැගෙන එනවිට වාඩියේ සෙසු සියල්ලන්ම ඇහැරී ඇත. අපේ අය තවමත් නිදි සුව විඳිමින් පසුවේ. රතනයා වතුර ගේන්නට යාමට සැරසෙන්නේ පාපැදියේ හිස් බැරලය ගැට ගසමිනි. ලිපේ වතුර මුට්ටියක් රත් වේ. මා ඒ අසලට යනවාත් සමග සම්පාද එළියට පැන වහා ගිනිගොඩ වෙත දුව ගියේය. එතනින් වාඩි වී තම දෑත් උණුසුම් කර ගන්නේ ඔහු ස්වාභාවයෙන්ම කෙසඟ සිරුරකට හිමිකම් කී බැවිනි. එවැනි අයට සීතල වඩා තදින් දැනෙන බව පිළිගැනීමයි. ඒ ඔවුන්ගේ සිරුරේ තෙල් තට්ටුව සාපේක්ෂව තුනී නිසාය. මෙහි වෙසෙන රෑනඇත්තකන්ද වැසියන් නම් කොහොමත් කෙසගය. ඒ ඔවුන් දෑතේ සවියෙන් බත සරි කර ගන්නා අය වන බැවිනි.

තවත් මිනිත්තු කිහිපයකදී එළිය දෙගුණ විය.

"ගල උඩට නැග්ගා නම් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන්, ඉර නැගගෙන එනකොට"

එසේ කීවේ මැස්සහි පද්මාසනයෙන්  වාඩි වී සිටින සමන් නොහොත් සුද්දාය. ඔහු මෙහි සිටින අනෙක් අයට වඩා වයසින් අඩු බව පැහැදිලි වුවත්, යමක් කමක් දන්නා සැටියක් පෙනේ. ඇත්තටම සුද්දා කොළඹ - මොනරාගල බස් රථයක් හේන් ගොවිතැන නොකරන කාලයට පදවයි. ඒ යනවිට කෙල්ලන් සෙට් වූ ආකාරය ඔහු විස්තර කරන්නේ සිනාසෙමිනි. වරක් ඔහු පුද්ගලික බැංකුවක ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇත. එහිදී කළමනාකරුවා දින කිහිපයක් ඔහුගේ මෝටර් රථය පාක් කිරීමට සුද්දාට දී ඇත. සුද්දා ගමේ සිටින විට විවිධ වර්ග වල වාහන හසුරුවා ඇති නිසා, මෙවැනි කාර් රථයක් හැසිරවීම ඔහුට ටොයිස් වැඩක් විය. දිනයක් මැනේජර්  මහතාගේ නිවසට යාමට ඔහුට ඇරයුම් කර ඇත. ඒ යන අතරතුර තමාගේ ඩ්‍රයිවර් වන්නට කැමතියි විමසා ඇත. නවාතැන් සමගම ලැබෙන රැකියාවක් නිසා සුද්දා එකඟ වී ඇත. නිතරම නෝනාගේ ප්‍රවාහන කටයුතු කිරීමට සුද්දාගේ රාජකාරිය විය. පසුව නෝනා තමා පොළඹවාගත් ආකාරය ඉතා රසවත් ලෙස ඔහු විස්තර කරයි. මොනරාගල වැනි පළාතක කෙනෙකුට මෙවැනි දේ අරුමයක් නොවේ නේදැයි අප ඇසූ විට ඔහු කියා සිටියේ.

"ඒක ඇත්ත සර්. ඒ වුණාට මට පුදුම බයක් ඇති වුණේ. පස්සේ පස්සේ නෝනා මට සල්ලිද, ඇඳුම්ද ඉල්ලන දෙයක් දුන්නා. මම අන්තිමට රුපියල් දහදාහක් ඉල්ලගෙන ගෙදර ආවා. ඊට පස්සේ ගියේ නෑ. අර මහත්තයා යෝධයෙක් වගේ. පයින් ගැහුවොත් අලියා ගැහුවා වගේ හිටියි"
සිනාසෙමින් ඔහු පවසන විට පෙනෙන ඔහුගේ නල දත එක් කරන්නේ විසුළු ස්වාභායකි. එම ප්‍රදේශයේ දැරියන්ගේ  කන්‍යාභාවය අහිමි වන්නේ මල්වර වී මාසයකට අඩු කාලයකින් බව අසා මා මහත් කම්පනයකට පත් වුයේ, දියණියක් සිටින පියෙකුට එවැනි පුවතක් කිසිසේත් රසවත් නොවෙන නිසාය.
අරුණෝදය (Dawn)
වාඩියේ ගිනිගොඩ අසල උණුසුම් වන පිරිස.

තවත් විනාඩි දෙකකින් ගල්තලාවට ගොඩ වූ මා නැගෙනහිර අහසෙහි නැග එන සූර්යයාගේ චමත්කාර දසුන මගේ ජංගම දුරකථන කැමරාවට හසු කර ගතිමි. සමහරවිට ඔබ මේ වනවිටත් එය ෆේස්බුක් එකෙන් දැක තිබෙන්නට පුළුවන්. එහෙත් ඒ අතරින් එක් ඡායාරුපයක් බ්ලොග් පමණක් බලන කිහිප දෙනා වෙනුවෙන් එකතු කරන්නම්.


තවත් මොහොතකින් බයිසිකලය තල්ලුකරගෙනම රතනයා ආවේය. ඒ වනවිට අපේ දෙදෙනෙකු හැර අනෙක් සියලු දෙනා ඇහැරී සිටී. අප කිහිප දෙනෙක් මේ වනවිට තේ පානය කිරීමද අවසන් කර තිබේ. එතරම් ඉක්මනින් වතුර නටනවා මා මීට පෙර දැක නැත. ඇත්තටම මෙහි යොදන ලද ලී දැවීමෙන් ලැබෙන උෂ්ණත්වය ඉතා අධිකය. මා යද්දී නෙස්කැෆේ ත්‍රී ඉන් වන් පෙට්ටියක්ම රැගෙන ගියේ, තේ පානය නතර කොට බොහෝ කාලයක් වන නිසාය. උතුරන වතුර ටිකක් වීදුරුවකට දමා එම පැකට්ටුවක් සාදාගෙන පානය කළෙමි. මට තිබෙන පුදුමය නම තේ පානය කල පසුද බොහෝ දෙනෙකුට ශරීරකෘත්‍ය සඳහා අවශ්‍යතාවක් නැති වීමයි. සමහර අයට මෙය කදිමට පාලනය කල හැක.

පතහාට යාමට රතනයා කතා කල විට

"ඒකට කොහෙන්ද වතුර. ඊයේ වැස්සේ නෑනේ" යයි එකෙකු කී විට.

"මං හිතා උන්නේ ඒකට සොභාවෙන්ම වතුර උනනවා කියලා" යයි රතනයා කී විට, ඇතිමලේ පිරිස රතනයාට හිනා වුයේ ඔලොක්කුවටය.

"ඒකට කොහෙන් උනන්නද?"

"එහෙනං අපි යමු අනික් පතහට" යයි රතනයා කීවේ ලැජ්ජාව මුසු සිනහවක් මුවේ රඳවාගෙනය. දැන් අපි එකිනෙකා වැලේ තිබෙන තුවා සහ ෂෝට් ගෙන නාන්න යාමට සුදානම් වේ. ඊයේ රාත්‍රියේද ටේලරය ගලවා දමා රතනයා සහ සුභාෂ් වතුර බැරලයක් රැගෙන එන්නට මේ පතහාට ගිය බව සිහපත් වුයේ මේ සටහන තබන මොහොතේදීයි. අප ඒ ගමන ගියේ පයින්මය. මේ ගමනට අර ආහාර පිසින්නට ආ දෙදෙනා සහභාගී නොවීය. තවත් අලුත් කෙනෙකු මේ වනවිට අපේ නඩයට එක් වී ඇත. ඒ බුද්ධයා කොළුවාය. අවුරුදු දහසයක් පමණ වන බුද්ධයාගේ පියා ජීවතුන් අතර නැත. මව විදෙස්ගතව ඇති නිසා ඔහු මේ හේන් කරන කාටත් උදව් පදව් කරමින් ජීවත් වේ. කිලෝමීටර් දෙකකට ආසන්න මේ ගමන නිසා තවත් හේන් කිහිපයකම සිරි නරඹන්නට අපට හැකි විය. මේ යන අතරමග තවත් එක් කන්දක් පෙන්වූ රතනයා එහි දෙසීයකට පමණ එකවර සිටිය හැකි ගල්ගුහාවක් තිබෙන බව පැවසීය. /;ඉතිං අපිට ඉන්න තිබුණේ එතැන" නේදැයි කෙනෙකු පැවැසූ විට, "මයෙ අම්මා එහෙ ඉන්න බෑ වලස්සු ඉන්නවා ගල් ගුහා වල" පිළිතුර ලැබිණ. ඇත්ටටම මේ ප්‍රදේශයේ වලසුන් සිටිනවා යයි පිළිගන්නට හැක්කේ, සැන්ඩෝ නමැති දරුවන් දෙදෙනාද සමග හේනක් කරන තරුණයා වලසෙකු සමග සටන් කොට කැත්තෙන් කොටා මරා දමන්නට සමත් වීම නිසාය. මෙම ජල මූලාශ්‍රයට යාමට එක්තරා මට්ටමක කාලයක් පසු කිරීමට අපට සිදු විය. අපත් සමග ගිය සුභාෂ් කෙළින්ම එක් කපොල්ලකින් කැලයට රිංගන විට මා අසා සිටියේ "මචං පාර දැනගෙනද ඔය රිංගන්නේ"  කියාය. සැබවින්ම ඔහු තෝරා ගත් පාර නිවැරදිය. තවත් විනාඩි කිහිපයකින් අප පතහා ළඟට පැමිණ ඇත. නමුත් එය වතුර ටිකක් ඇති වතුර වළකට වඩා සුවීශේෂී එකක් වුයේ එහි කෙළවරක ඇති ගසක් යටින් ස්වභාවික උල්පතක තිබීමයි. නමුත් මෙහි වතුර බොර වී තිබෙන්නේ එහි එන අලි ඇතුන් නිසා වන්නට හැක.
දකුණු පැත්තේ තිබෙන මුල යටින් හීන් සීරුවේ වතුර ගලා ඒ. උල්පත තිබෙන්නේ
තවත් ගැඹුරින් විය යුතුය.
මේ දුර ගෙවා අවසන් වනවිට බොහෝ දෙනෙකුට ශරීරකෘත්‍ය අවශ්‍යතා ඇතිවුණි. ඒ අයට ඒවා ඉටු කර ගන්නට කාලය දී මම, සුභාෂ් සහ රූපේ එකතුව ඊට පෙනෙනා දුරින් පිහිටා ඇති නටඹුන් වූ චෛත්‍යක් බැලීමට ගල් කුලක් තරණය ආරම්භ කරන ලදී. අංශක අසූවකට නොඅඩුව ඇති ගල් කුළට රුපයා ගොඩ වුවත් අපට එය අසීරු බැවින් බෑවුම සහිත වෙනත් පැත්තකින් ගොඩ වීමු. එහි විස්තර අකුරු කරනවාට වඩා පින්තූර එකතු කිරීම පහසුය.
මෙය ගලෙහි නෙළූ යම් සංකේතයක් ලෙස ඔවුන් විශ්වාස කරයි. නමුත් මෙය ජලය ගලා යාම නිසා සිදු වුවක්ද යන්න සැක සහිතයි.

මගේ විශ්වාසය මෙය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හසු නොවූ ස්ථානයක් යන්නයි. එහි කිසිදු සටහනක් නොතිබුණි.

අත්වැල සවි කර තිබෙන්නට ඇත්තේ මේ සිදුරු වලය. 


අසාර්ථක නිදන් ගැනීමේ උත්සාහයක්. 

ස්වභාවික විපත් වලින් හානි වූ චෛත්‍යයේ නටඹුන්.

කුඩා ප්‍රමාණයේ ගුහාවක්.

නටඹුන් සොරුන්ගේ අසාර්ථක ප්‍රයත්නයක්.

ඉහලම තැනට හාත්පස පෙනෙන ආකාරය. මේ පෙනෙන්නේ කොටියාගල නමැති ප්‍රදේශයක්.

මෙතනින් පහළට අඩි පහළොවක් පමණ ගැඹුරු තැනකින් විවරයක් ඇත.
නමුත් එහි ඇතුල් වන්නට අප උත්සාහ නොකළේ වලසුන් සිටීවී යන බිය නිසාය.
මෙහි නිදන් හාරා ඇත්තේ මීට් දිගු කාලයකට ඉහතදී බව ගම්මුන් පවසයි. ඒ එක්දහස් නවසිය අනූ ගණන් වලය.

අපට නා ගන්නට වතුර බාල්දිය රැගෙන තරමක් ඈතට යාමට සිදු විය. එනිසා රත්නපාලගේ ඉල්ලීමට බුද්ධයා කොලුවා කාටත් වතුර ඇද දෙන්නට කාරුණික විය. මා ඔහුට පිං සිද්ධ වේවා !!! යනුවෙන්ම කෘතඥතාව පල කළේ ස්තුතියි හෝ තැන්කිව් යනුවෙන පැවසීම කල උපකාරයට තරම් නොවන නිසාය. අප ආපසු එත්දී හේනක සතුන් එලවීමට යොදා ගන්නා අපූරු ගැජට්ටුවක් හමු විය. නමුත් එම හේනේ අය එහි නැත.
මෙම ඡායාරුපය පැහැදිලි නොමැති වුවත් බයිසිකකයල කොටසක් එල්ලා ඇත්තේ
හුලං ඇතිවිට අසල ඇති කළුගලෙහි ගැටෙන ලෙසය. 
අප ආපසු ආවේ ඉතා දැඩි කුසගින්නක්ද සහිතවය. වාඩියේ උදෑසන බත මේ වනවිට උණු-උණුවවේම සැකසෙමින් පවතී. අපි කඩිනමින් උදේ අහාරය ගිල දැමීමු.  එය ඉතාම රසවත් එකකි.

කෑම කෑ විගස රත්නයා සහ තවත් කෙනෙක් ඇතිමලේ බලා පිටත් විය. ඒ ඔවුන්ගේ නිවෙස් කරා ගොස් තම අඹු දරුවන් සමග මොහොතක් ගත කොට ඒමටයි. රත්නයාද නිවසට පැමිණෙන්නේ කොළඹ සතියේ දවස් වල රාජකාරි කිරීමෙන් පසුවය. මම, සමපා සහ රසියා එකතු වී අසල ගසක පැල් රකින අට්ටාලයකට ගොඩ වීමු. අඩි විස්සකට වැඩි ඉහළින් එය තනා තිබුණි. බොහෝ කාලයක් එය භාවිතා කොට නොතිබූ නිසා ප්‍රවෙසමට එයට ගොඩ විය. සමන්ද අප හා එක් විය. එහිදී ගන්නා ලද ඡායාරුප කිහිපයක් පහතින් ඇත.

මෙම බැමි වල  ශක්තිමත් භාවය පිලිබඳ ප්‍රශ්නයක් තිබුණි.

උස පිලිබඳ අවුබෝධයක් මෙයින් ලැබේ යයි සිතමි.

මෙහි ප්‍රධාන ලී ගස්කඳට සිර කර ඇත. හරස් ලී ශක්තිමත් නම් අපට කරදරයක් නැත. 

පහලට බසිමින්. රසියා ගහ මුලද, සමපා ඉන් පසුවද අවසාන වශයෙන් මාද
සීරුවෙන් බැස ගතිමු.

කෝන් ගස මුදුනේ ඇති පැල. මෙහි රැයක් ගත කරන්නට ආශාව ඇතිමුත් ගොවි
 මහතුන්ගේ අවසරය නොලද හෙයින් අදහස අත් හැර දැමීමට සිදු විය. 
අප මෙහි ගත කල කාලය තුළ කදිරා සොයා යාමට මෙහෙයුමක් සූදානම් කර ඇත. නමුත් හිස් දෑතින් කැලය තුළට රිංගීම අවදානම්ය. අපේ මිතුරන් වන සුභාෂ්, දලුවා මේ වනවිටත් පිටත් වීමට සුදානම්ය. අප අතරින් සම්පා එයට එකතු විය.   මමත් රසියාත් වාඩියේ රැඳෙන්නට තීරණය කළෙමු. මෙම නඩයට නායකත්වය සැපයූවේ රුපයාය. ඔවුන් පිටත් වූ පසු අප බිස්කට් කා තේ බී කථාවේ යෙදී සිටියෙමු. එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් මෙම කැලයේ සැරිසරන කාලයේ අත්දැකීම් ටිකක් සමන් විස්තර කළේය. වරක් තම පියා සමග ගමන් ගත් කොලු පැටියෙකු අතරමං වී ඇත. පළමු දිනයේ ඔහු සොයා ගන්නට හැකි වී නැත. දෙවන දිනයේ රූස්ස ගසක් යටට ගොස් බැලූ විට එහි යමෙකු සිටින බව දැක, ඔහුගේ නමින් අමතා ඇත. එවිට කොලුවා ගසින් බැස තම ඥාතීන්ට පවා පිටුපා දිවගොස් ඇත. ඔහු එළවා අල්වාගෙන ගෙදර ගොස් බත් කන්නට දී, ඔහු යථා තත්වයට පත් කරගන්නට පැය කිහිපයක් ගත කොට ඇත. කොලුවාට බිය, මෙන්ම මානසික වියවුල් ගතියක්ද ඇති වී ඇත.

තවත් වරක් හමුදාව විසින් පහර දෙනලද කොටි කාන්තා  බලකායේ මිනී රැගෙන එන්නට සමන්ගේ ට්‍රැක්ටරය යොදවාගෙන ඇත. ඔවුන් රැගෙන එනවිට එම මිනී තරමක් ඉදිමී තිබූ බව සමන් පවසයි. පසුව මොනරාගලදී ඒවා රැගෙන යන්නට තුන්වෙනි පාර්ශවයක් පැමිණ ඇත. සමන්ගේ පියා දිනයක් එසේ මෙහෙයුමක් සඳහා යුද හමුදාව කැඳවාගෙන ගොස් කොටි සිටින ප්‍රදේශයකට ආසන්නව පාලමක් අසල නතර කොට එක් සෙබළෙකුද ආරක්ෂාවට නතර කර ඇත. එක දිගට ඇති වූ වෙඩි සද්දය නිසා බිය වූ සමන්ගේ පියා අර සෙබලාවද තනිකර දමා ආපසු පැමිණ ඇත(සමන් කියන්නේ හුරේ රන් එක දුන් බවය). ගෙදර විත් බලන කල ටේලරය නැත. ආපසු ගොස් එය සොයාගෙන ආවේ මහත් පරිශ්‍රමයකිනි.

කැලේ ගිය අපේ මිතුරන් පැයකට අඩු කාලයකදී අතුරු ආන්තරාවක් නැතිව පැමිණීම සතුටට කරුණකි. ඉන්පසුව සම්පා තමාට ටිකක් නිදා ගැනීමට අවශ්‍ය බව පවසා ටෙලරයට ගමන් ගත් අතර, මිනිත්තු දහයක් පමණ ගිය විට, ඔහු බය කිරීමට අපේ අය කතිකා කර ගති. මේ ගමනට මා එක් නොවී සිටියේ සම්පා නොනිදා සිටීවි යන විශ්වාසය සහ මෙවැනි දේවල් නරක අතට හිටින්නට හැකි බව මගේ සිත කී නිසාය. මෙය වීඩියෝ කළහොත් අපූරු දර්ශනයක් විය හැකි බව සමන් පැවසී මුත්, ටික කලක හිටන් මා මගෝඩි වැඩ වලින් ඉවත් වී සිටි නිසා වැඩි උනන්දුවක් ගත්තේ නැත. එහෙත් අප දෙදෙනාද ඒ දෙස බලා සිටියෙමු. මුලින්ම ටේලරය අසලට සීරුවෙන් ගමන් ගත් පිරිස කුමක් හෝ සාකච්ඡා කරනු පෙනිණ. ඉන් පසු මහා විකාර ශබ්දයක් මතු කරමින් ටෙලරයට පනිනු පෙනිණ. එක වර හිට ගත් සම්පාගේ ඔලුව ඉටි රෙදි අතරින් පෙනිණ. සම්පාද "ඒ....යි" ගාමින් මහා හඬක් නිකුත් කළේය. ඉන් පසුව ට්‍රැක්ටරයෙන් එළියට පැන්නේ ඔලිම්පික් උස පැනීම කරන ආකාරයටයි. ඔහුගේ පස්ස බිම ඇනෙනවා අපට හොඳටම දර්ශනය විය. ඉන් පසු සමපා කෑ ගසාගෙනම දුවන්නට පටන් ගත්තේය. අපේ මිතුරන් එළවා ගොස් ඔහු අල්වා නොගන්නට ඔහුව සොයා ගන්නට බැරි වන බව සමන්ගේ අදහසයි.  පසුව කල විමසුමේදී පැහැදිලි වූයේ ඒ කොටස සම්පා කර ඇත්තේ අවසිහියෙන් බවයි. ඒ වනවිට ටෙලරයේ ඇති අත්වැලෙහි වදී බරු ගැසී තිබූ කකුලට මා බෙහෙත් ගල්වන විටත් ඔහුගේ මුහුණේ තැති ගත් ස්වභාවයක් විය.

දිවා ආහාරයක් නොවීය.පස්වරු දෙකට පමණ එහි පැමිණි රතනයා ගෙනවිත් තිබූ මැටි තැටියක පොල් රොටි තනා, කට්ට සම්බල් සමග කට පිච්චි - පිච්චි ගිල දැමු අප, සවස ස්නානයට ගල්තලාව උඩ ඇති පතාහට ගිය අතර, මෙවර අලි කිහිපයක්ම අප අසල යනු දැක සියලු කටයුතු නවතා බලා සිටියෙමු. මේ අතර වෙඩි පත්තු වන හඬක් ඇසිණි. කදිරා කිසිදිනක තමන්ගේ ඉලක්කය වරදා නොගත් බව  සියලු දෙනා සහතික කර කියයි.  අලි යනු පුදුම සත්ව කොට්ඨාසයකි. ඔවුන් අපට වඩා කපටිය. මුලින් ආ පැටව් දෙදෙනා ක්‍රීඩා කරමින් ඉදිරියට ගියද, අප දුටු අලියා එතැනම හිඳිමින් කොළ අතු කඩයි. අනෙක් කිසිවෙක් ඒකා පසු කර නොඑන්නේ කුමක් හෝ අනතුරක සේයාව දන්නේ මෙනි. අප ඔවුන්ට භය යම් සේද ඔවුන්ද අපට ඒ හා සමාන භියක් දක්වයි. අලි රෑන පිටත්ව ගිය පසු අප එන්නට පිටත් වීමු. එහෙත් අතරමැදදී මට හොඳටම අලින්ගේ කුයිලය දැනිණි. අප ඒ ගමන ආපසු ආවේ ගැහෙන හදවතිනි. අපට මග පෙර සටහනේ දැක්වූ මඩ පොකුණ අසලදී  කදිරා මුණ ගැසිණි. ඔහු අප දැක ඉතා නියාලු සිනහවකින් සංග්‍රහ කළේය. ඔහු හිද ඇත්තේ අසල හේනකය. ඔහු සිටිනවා මෙහි සිටින කෑම පාටියේ කෙනෙකු දැක ඇතත්, ඔහුට එය අප හා පවසන්න කිසිම අවශ්‍යතාවක් තීබී නොමැත. අප කදිරා ගැන බියෙන් පසු වුවත්, ඔවුන්ට එය ඒ හැටි ගැටලුවක් නොවන්නේ, රැයත් දවාලත් කදිරාට එක බැවිනි.

ඔවුන් ඇතිළිවැව ගොස් එනවිට පලතුරක් ගෙනෙන්නැයි අපේ අය ඉල්ලා සිටි පණිවුඩය රතනයාට ලබා දුන්නේ මම වුවත්, එහි යම් අනතුරක සේයාවක් ඇතැයි මගේ සිත මටම දොස් නැගීය. හේතුව පලතුරු සුවඳ ඔස්සේ අලි-ඇතුන්ට ඉව ඇති වී, ඒ ඔස්සේ පැමිණීමයි. දහවලේ ගෙනෙන ලද අඹ අප ඒ මොහොතේම කපා කෑවෙමු. මගේ විශ්වාසය වුයේ එය නොකළ යුත්තක් බවයි. තවත් මොහොතකින් සතෙක් එලා ගන්නට වනගත වන බව පවසා කදිරා සහ රුපයා කැලයට පිටත් විය. අපි සුපුරුදු පරිදි ට්‍රේලර එදින රාත්‍රිය සඳහා සුදානම් කළෙමු. එදින රාත්‍රියේ සටහන් කිරීමට වැදගත් යමකට වුයේ, එදින ගෙනෙන ලද ගෝන කරවල වල පණුවෙක් සිටීමය. අපට එය බෙදා දෙන්නට මත්තෙන් සියලු දෙනා නැවතූ සමන් ඒ දෙසට විදුලි පන්දම දක්වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු අමුතු ඉවක් ඇති පුද්ගලයෙකු බව වටහා ගැනීමට අවශ්‍ය බොහෝ කරුණු මේ ගමනේදී මා ඒ වනවිටත් තේරුම් ගෙන උන්නේය.
එදින රාත්‍රියේදී ආලෝකය ලබා ගැනීමට මා කල නිර්මාණයයි. පත්තර කොළ වලින්
මා සතු නොකිය x1-01 දුරකථනය ප්ලාස්ටික් කප් එකක් තුල සිර කර එහි ඇති
 LED බල්බය දල්වා, ඒ මතින් තවත් කප් එකක් තබීම්න්  තාවකාලික පහණක්
සාදා ගත්තේ අවස්ථාවේ අවශ්‍යතාවටය.
පසුදින පාන්දර දෙක පමණ සිට මෝටර් සයිකලයක වැනි හඬක් නගමින් අලියකු අසල කැලයේ මහත් ප්‍රතිරෝධයක් දැක්වීය. ප්‍රතිචාර ලෙස සුපුරුදු කෑ ගැසීම් වටෙන්ම ඇසිණි. එදින අපද එලි වනතුරු පහන් කලේ නිදි වර්ජිතාවය.
 _____________________________________
එදින කදිරා ඉත්තෑවෙකුට ගිණි බිඳ ඇති මුත් සමන්ට අනුව ඒකා හොයා ගැනීමට නොහැකි වුයේ, අප පින්වන්තයන් නිසාය.
සඳරු ගේ පොස්ට් වල නිතරම කියවෙන මාපුතා යන්න අපගේ රත්නපාල බුද්ධයා කොලුවා ඇමතීමට යොදා ගන්නා විට සිහි වූයේ, මේ ප්‍රදේශයද නැගෙනහිර ආසන්නයේ ගම්මානයක් බවය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...