Monday, August 24, 2026

කොට උඩ කඩේ ......

 ඊයේ මම වැඩ. ගෙදරින් කෑම ගේන්න බැරි වුණා. ඉතිං මට හරියන කෑම එකක් ගෙන්වාගන්න ලොකු සටනක් දෙන්න වුණා. ඌබර් එක පෙරළලා - පෙරළලා, අන්තිමට බිරියානි එකක් කන්න හිත හදාගත්තා. මොකද මට උවමනා වැඩියෙන් මස්, මාංස කන්න. නිකංම බිරියානි එකක් ගන්නේ නැතිව ඉඳිආප්ප බිරියානි (ඔවු ඔවු බුරියානිම තමයි) එකක් ගෙවා ගත්තා. මම රයිඩර්ට කලින් තැනට ගිහිං හිටියත් මූ පැත්ත පළාතේ නැතුව "I have arrived" පණිවිඩේ එවුවා. ඒ එක්කම කෝල් එකක් අරං "සර් මං ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට" කිවුවා.  මම කිවුවා "මමත් ලෝකේෂන් එකේ ඉන්නේ(අර බුදුහාමුදුරුවන්ගේ - අංගුලිමාල දෙබස වගේ). බලනකොට මූ ගවුගානක් තියලා වැඩේට සෙට් වෙලා තියෙන්නේ. ඕං ආවා. කෑම එක දීලා පනින්න හදන්නේ. ඒවා කොහෙද මාත් එක්ක. ටිප් එක අරං පල කියලා, පුරුද්දක් විදියට කෑම ඩිලිවර් කරන එවුන්ට දෙන රු. 50/- දුන්නා(වැඩිය දුන්නම් උන් නරක් වෙනවා). ටැංකියු කියලා ඌ, යූ ටර්න් එක ගහගෙන ගියා. 


මං ගිහිං බිරියානිය දිග ඇරියා. අපරාදේ කියන්න බෑ යහමින්

කහ දාලා තියෙනවා. අඩුම ගානේ ඉඳිආප්ප 20ක් වත් දාලා

ඇති. ඉඳිආප්ප කිවුවම මට ඉඳිආප්ප කතා ගාණක් මතකයට එනවා. අර ටීවී එකේ ගිය චම්පා ශ්‍රියානිලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා ඉන්න එක නෙවෙයි අපේ කතා. දවසක් මම Elite Indian Restaurant එකෙන් කෑම ඕඩර් කලා. බීෆ් එක හරි, බිත්තර දෙක හරි. සම්බෝල හරි, පරිප්පු හරි, ඉඳිආප්ප දාපු ප්ලාස්ටික් කන්ටේනර් එක ඇරියා. අහෝ චේදයකි, කිවුවලු. ඉඳිආප්ප එකකි. මම පෙට්ටිය හොයාගෙන ගත්තා කෝල් එකක්.


"මේ මල්ලි මං ඕඩර් එකක් දැම්මා"


"හරි සර් ආවේ නැද්ද ?"


"ආවා - ආවා. හැබැයි ඉඳිආප්ප එකයි තිබුණේ"


"සර් ඕඩර් නම්බර් එක කියන්න"


"බ්ලාහ් බ්ලා"


"සර් ඒකේ ඉඳිආප්ප එකයි ඉල්ලලා තියෙන්නේ"


"ඔවු. මම හිතුවේ පහක හරි දහයක හරි ගොඩක් කියලා"


"නෑහ් සර්. සර් එකයි ඉල්ලුවේ. අපි ඒ නිසා එවුවේත් එකයි"


"තොගේ අම්----" මම එහෙම කිවුවේ නෑ. මගෙත් වැරැද්දක් තියෙනවනේ. කොහොමත් අඩු කාබ් කැමති නිසා. එක ඉඳිආප්පේ සම්බෝලෙයි පරිප්පුයි දාලා, අනාගෙන ගිල්ලා.


දැන් ඉඳිආප්ප වල ගණන් හැටියට 5ද් එකද කියලා හොයාගන්නත් බැහැ. රු. 50/- එකටද පහටද කියලා හිතාගන්න බෑ.


අර දැන් පර්ල් ග්‍රෑන්ඩ් කියලා සත්මහල් ප්‍රාසාදේ තියෙන තැන, පාර වන්වේ වුණාට, ඉස්සර බම්බලපිටිය හංදිය කිවුවම, මොනතරම් බිසි තැනක්ද ? මට අද වගේ මතක තුන හතරක් ඔතැන තියෙනවා. ඒ 154/104 බස්, රේස් කන්නවා, අපි පොරකාල නහිනවා, උන් ආපස්සට ගන්නවා ගියර නොදා, ක්ලච් එකෙන්.ඒවා කරන්නේ බස් එක අංශක 30ක විතර ආනතියකින්. ඔතැන තිබ්බ හෝටල් දෙකේ කිරිමාලුත් එක්ක ඉඳිආප්ප කාලා, එනකනුත් උං බස් එක රබර් කර කර ඉන්නවා. අපිව දාගෙනමයි යන්නේ. ඔතැනම ඉස්සරහ පැත්තේ කඩේ හවසට බටර් කේක් කෑල්ලයි - ටී එකයි ගහන්නත් අපි අමතක කලේ නැහැ. ඒක කිරිහලක් වුණාට මේ දෙක තමයි කම්බිනේෂන් එක. දන්නෝ දනිති. මතක නං කමෙන්ට් කරන්න.


කවුද මේ අපි ? මායි ප්‍රසාදුයි. මේ අපේ පන්තියේ හිටිය ප්‍රසාද් නෙවෙයි. මේකා කොස්ගොඩ. නියම හිතහොඳ කොල්ලා. එකපාරක්

මූ දවස් කීපයක් ආවේ නෑ. මේ කාලේ මොබයිල් තිබ්බේ ධනවතුන්ට ඉතරයි. අපි වගේ හුදීජනයා කෝල් ගත්තේ අතනින් - මෙතනින්. දවස් ගාණකට පස්සේ හම්බුණාම මම ඇහුවා 


"මොකද මචං වුණේ ?"


"මං බල්ලෙක් කෑවා" (මොනවා මූ පිලිපීන් කාරයෙක් වගේ බලුමක්ස් කනවා ? ඈයියා)


"උඹලට කන්න වෙන දෙයක් නැද්ද බං ? බඩේ අමාරුවක් ඇල්ලුවද?"


"උඹ මේ මඟුලක් අහනවා. මාවා කෑවේ ඒ කැ#බල්ලා"


"ආ එහෙම කියපං"


මට එතකොටයි වැටහුණේ. බල්ලා දත් සෙට් එක ටෙස්ට් කරලා. 


මගෙ  ඉඳිආප්ප පිළිබඳ පළමු මතකය තමයි ඔය ඒ.අයියා හදලා

දීපු ෆොටෝ එකේ කතාව. අපේ තාත්තා ඉස්සර කෝපරේටිවු එකේ අධ්‍යක්ෂක මන්ඩලේ හිටියා. ඒවා මේ පඩි ලැබෙන ඒවා නෙවෙයි. නම්බුවට කරපුවා. ඉතිං මේකේ ආදායම වැඩි කරන්න, එයාලා කෝපරේටිවු ඔෆිස් එකේ කෙළවරක තියෙන පොඩි ඉඩමේ, මේ

ස්ථානය පසුකර ගාල්ල දෙසට යන අයගේත්, සංචාරකයන්ගේත්, ගාල්ලේ සිට කොළඹ යන අයගේත් පහසුව උදෙසා අවන්හලක් නොහොත් රෙස්ටුරන්ට් එකක් දාන්න තීරණය කලා. මේක පොල් ලී වලින් කොට උඩ හදන්න තීරණය කරලා තිබුණා, ඒකට ලස්සන පෙනුමක් දෙන්නයි, අඩු වියදමින් වැඩේ කරන්නයි.


මේකට වෙලාව බලන්න ගිහිං තිබුණේ අපේ තාත්තා. ඉතිං බලපු

කෙනා අනාවැකි පළකළා එතන ව්‍යාපාර වලට නොගැලපෙන තැනක් බව. ඒ කොයිහැටි වෙතත් එයාලා වැඩේ පටන් ගත්තා. මම ජීවිතේ පළවෙනි පාරට චයිනීස් රෝල්ස් කෑවේ එතැනින්. මාරම රසයි. මේකට  ඇතුල් වෙන පාර ඔය රූපේ පෙන්වනවා වගේ ලී පාරක්. ඕකේ යනගමන් අපේ මලයා ඔය පොකුණට පයිං එකක් නෙළුවේ නැද්ද. මේකේ ඒ කාලේ පොඩි කිඹුල් පැටවු වගයක් දාලා හිටියා. එවුන් කිඹුලා බනිස් තරම් වුණාට, මලයා බය වුණේ නැ මේකට පය දාන්න. 


මේක කොට උඩ හදපු කඩයක් නිසා, වැඩිකල් යන්න කලින්ම මේකට "කොට උඩ කඩේ" කියන නම පටබැඳුනා. ඉස්සර අපේ පුංචි පි එයාට කිවුවේ ලීලමම්මා කියලා)මේකට උදේ හවස ඉඳිආප්ප සප්ලයි කලා. මම එයාගේ ඇසිස්ටන්ට්, ළඟට වෙලා අරකමේක දෙන්න විතරයි තියෙන්නේ. අන්තිමට ඉතුරු වෙන පිටි චුට්ට ගුලියක් කරලා එයා, වට්ටිය උඩ තියලා, තම්බලා දෙනවා. ඕක මට විතරක් ලැබුණ විශේෂ අවස්ථාවක්. ඒක මම කනවා කියන එක අපි දෙන්නා අතර තිබුණ රහසක්. 


මේ රූපේ මගේ සිතැඟි පරිදි ලබාදුන් චැට්ජීපීටී අයියට ස්තුතියි.


No comments:

Post a Comment

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...