Showing posts with label චිත්‍රපට(Movies). Show all posts
Showing posts with label චිත්‍රපට(Movies). Show all posts

Thursday, June 19, 2014

පොලිස් පොඩ්ඩන්ගේ ජීවිත වල අඳුරු පැතිකඩ කියාපාන "කොස්තාපල පුඤ්ඤසෝම" ...... The dark side of lightweight Policemen's life "Kosthapal Pugngnasoma"

ඊයේ සවස කාර්යාලයෙන් කලින් පිටත් වූයේ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ රැස්වීමකට සහභාගී වීමටය. එම රැස්වීම සවස පහ වන්නට පෙර අවසන් විය. මමත් ප්‍රියාන් විජේවර්ධන මහතාත් ගල්කිස්ස බලා ගමන් ගත්තේ එම සංගමයේ ගිණුම් පිලිබඳ කටයුත්තක් සඳහාය. එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් විය. ගල්කිස්සට ගමන් කරන අතරතුරදී, ඕඩියන් සිනමා ශාලාව දෙස නෙත ඇදී ගියේ නිරායාසයෙනි. ඒ මේ දිනවල බොහෝ දෙනාගේ කථාබහට ලක්වී ඇති කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටය එහි තිරගත වන දැන්වීම දුටු විටය. පහයි තිහට ගල්කිස්සේ ? කල හැකි දේ බොහෝය. ඒත් මගේ සිත පැහැර ගත්තේ මහේන්ද්‍ර පෙරේරා නමැති ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රංගන ශිල්පියා පණපොවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටයටය.

මා එහි යනවිට වෙලාව සවස පහයි හතලිස් පහ පමණ වන්නට ඇත. තවත් පැය භාගයක් රස්තියාදු ගැසීමට නොහැක. බර්ගර් කිං වෙත ගියේ මගේ දියණියට ගෙන යන්නට යමක් මිලදී ගන්නටම පමණක් නොව, මේ වනවිට උත්සන්න වී ඇති වඩදිය බෑමේ දැඩි අවශ්‍යතාවද සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම කටයුතු අවසාන වනවිට සවස හය පමණ වී ඇත. වැහිබර අහස්කුස නිසා හාත්පස අඳුරු වීගෙන එයි. රුපියල් 150ක ඕ.ඩී.සී. ටිකට් පතක් ගෙන මා ඇතුළු වනවිට එහි සිටියේ පියෙකු සමග පැමිණි කුඩා පිරිමි දරුවන් සිව් දෙනෙකු සහ තවත් පෙම් යුවල දෙකක් පමණි. මෙම ශාලාව මෑතකදී නවීකරණය කල ලකුණු මැනවින් පැහැදිලි වන්නේ එහි සවිකර ඇති නවතම අසුන් පෙළය. හොඳින් විදුලි පංකාව ඇති ස්ථානයක් තෝරාගත් මා අසුන් ගෙන, බර්ගර් කිං වෙතින් ලබා දුන් පෙප්සි කෝප්පය අතට ගත්තේ ඉදිරි පැය කිහිපය තදින් සිනාසීමේ බලාපොරොත්තුව පෙරදැරිවය.

හරියටම හයයි කාලට ශාලාව අඳුරු කර, නොපමාව චිත්‍රපටය ඇරඹිණි. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ කොටස මැනවින් ඉටු කොට ඇති බව අමුතුවෙන් සඳහන් කලයුතු කරුණක් නොවේ. ඕ.අයි.සී. චරිතය රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස්, සාජන්ගේ චරිතයට පන දෙන ගාමිණි හෙට්ටිආරච්චි, දුලීකා මාරපන සහ ශ්‍රීනාත් මල්දෙනිය කැපී පෙනෙන චරිතය.  

බලාපොරොත්තු ලෙසම විකට චිත්‍රපටයක ඇති අස්වාභාවික සිදුවීම් රැසක් සිනහාව උපදවන්නට යොදාගෙන තිබේ. අවංකවම ඇති වන්නට හිනා යන්නට ඒ කොටස් ප්‍රමාණවත්ය. නමුත් මේ සිනමාපටයේ මාගේ සිත්ගත් කොටස වූයේ, මේ විකට දසුන් අතරින් උදයකාන්ත වර්ණසූරිය මහතා පහල පොලිස් නිලධාරීන් මුහුණ පාන අටෝරාසියක් දුෂ්කරතා මැනවින් පෙන්වන්නට ගෙන ඇති උත්සාහයයි.

එහිදී ඉහලින් සහ පහලින් තැලෙන පෑගෙන පොලිස් පොඩ්ඩන් ගැන ලියවුනු මේ ගීතය සැබවින්ම දෑසට කඳුලක් නවන්න සමත්ය.
වාසනාවකට මේ වීඩියෝපඨය වෙනත් ආකාරයකට නිෂ්පාදනය කර යූටියුබ් අඩවිට එක් කර ඇත. එම ගීතයෙන් කියවෙන

ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..

හොර සතුරන් කල් බල බල එවන පතුරම
පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම

කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය

විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා

බොහෝ දෙනාට පොලීසිය පිලිබඳ ඇත්තේ යහපත් ආකල්පයන් නොවන බව මා දනිමි. "ඕකුන්ට ඔහොම වෙලා මදි" යන්න බොහෝ දෙනා පවසන වදනයි. නමුත් ඔවුන් පොලීසියේ ඉහල නිලධාරීන්ගෙන් නිරතුරු පෑගීමට ලක්වන පොලිස් පොඩ්ඩන්, එයින් නොනැවතී සමාජයේ විවිධ පදවි තානාන්තර දරන්නන්ගෙන්ද, මැරයන් කුඩු කාරයන්, ජාවාරම් කරුවන්ගේ විවිධ බල පුළුවන් කාර කම් හමුවේ අසරණ වන ආකාරයද, එතනින් නොනැවතී පවතින පරිභෝජන සමාජ තත්වය හමුවේ තම බිරින්දෑවරුන්ගේ නිරතුරු පීඩනයන්ට ලක්වන අකාරයද උදයකාන්ත වර්ණසූරිය මහතා කදිමට විදහා දක්වයි. මේ සැමටම වඩා බොහෝ සිදුවීම් නොදැක්කා සේ සිටීමට ඔවුනට සිදු වී ඇත. සමාජයේ සෙසු පුදගලයන්ට ඇති නිදහස් බව රාජකාරියේදී මෙන්ම, නිවසේ එදිනෙදා ජීවිතයේද අහිමි වන පුඤ්ඤසෝමලා සිටින්නේ පොලීසියේ පමණක්මද යන්න මගේ හිතට නැගුනු පැනයයි. නමුත් ගිනි අව්වේ, මහා වැස්සේ මැර තර්ජන හමුවේ ඔවුන්ට ලැබෙන පීඩනය ඔවුන් පොදු මහජනයාගේ පිටින් යවන්නේ වෙන කළහැකි දෙයක් නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය මගේ දැක්මේ හැටියට නගරසභා කම්කරුවන්ගේ රාජකාරියටත් අන්තය. 
කොස්තාපල පුඤ්ඤසෝම චිත්‍රපටය මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් ගාමිණි හෙට්ටිආරච්චි නෝමන් පලිහවඩන
පින්තූරය ගත්තේ : gossiplanka.com
දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි. ඔවුන් මුදල්, තනතුරු, බල පුළුවන්කාර කම් ඉදිරියේ නැවෙන්නේ නැත. තම රාජකාරිය අකුරටම ඉටු කරයි. නමුත් අපේ පොලිස් නිලධාරීන් රාජකාරි අකුරට ඉටු කරනවාට අපි කවුරුවත් කැමති නැත. පොඩි ගානක් අතමිට මොලවා මාරු වීම සැමගේ කැමැත්තයි. අප ඔවුන්ට දොස් නගන්නේ ඔවුන්ගේ දෛනික ඉලක්කය සපුරා ගන්නට ලියන දඩ කොළයක අවාසනාවන්ත හිමිකරුවන් වීම නිසාය. දියණු රටක ජනතාව සහ බලධාරීන් වැරදි කරන ප්‍රවනතාව අඩු නිසා එම නිලධාරීන්ට වැරදි කරන අය අල්ලා ගැනීම පහසුය. නමුත් අපේ රටේ වැරද්දක් නොකරන කෙනෙකු සොයා ගැනීම නයි මල්ලේ ආඳා සොයා ගන්නවාටත් වඩා උගහටය.

 පුඤ්ඤසෝමගේ චරිතයෙන් පෙන්වන තවත් දෙයක් ඇත. ඒ අපේ පොලිස් සේවයේ සිටිනා සමහර නිලදරුවන්, එම තනතුරට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන්  ඌණ බවය. මෙහි සිටින මැරයන්ට පුඤ්ඤසෝමව ඇඟිලි දෙකෙන් උස්ස ගත හැක. නමුත් වඩා හොඳ ශරීර සුවතාවක් ඇති පුද්ගලයන් මේ "කට්ට කන" රාජකාරිය බාර ගන්නේ නැති බව අප කවුරුත් දන්නා සත්‍යයකි.   මේ චිත්‍රපටය නැරඹුවත් නැතත්, මා මේ අහිංසක ජන කොට්ඨාශය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙසය. මා දුටු ආකාරයටම උදයකාන්ත වර්ණසූරිය මහතාද ඔවුන් දෙස බැලීම සතුටට කරුණකි. ඔබ මා හා එකඟ නොවන බව මා ඉඳුරා දනිමි. එහෙත් මට කීමට ඇත්තේ "පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය" යන්නය.

__________________________________
බොහෝදෙනාගේ ඉල්ලීමට කන් දීමක් වශයෙන් "පාපන්දු" වෙනුවෙන් වෙනමම පිටුවක් සකස් කර එය ලෝක කුසලානය පවතින කාල සීමාව තුල දෛනිකව යාවත්කාලීන කරන්නට පියවර ගෙන ඇති බව සතුටින් දන්වමි. එබැවින් මා පාපන්දු ගැන තබනා සටහන් බලා ගන්නට පාපන්දු පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටිමි.  

Tuesday, December 17, 2013

සුවඳ හමන රුපවාහිනිය ........ Televisions that smells good ......

ඔබ මෑතකදී නව ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් උපාංගයක් මිලදී ගත්තාද ? හොඳම උදාහරණය ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගනයකය. මේ හැම එකක්ම මිලදී ගෙන මුල් දවස් කිහිපයේ වයර් පිච්චෙන ගඳක්  දැනිලා ඇති. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ නවතම රූපවාහිනියෙන් නොනවත්වාම ගඳ-සුවඳ හමන්න ගත්තොත් ඔබ මොකද කරන්නේ ? බොහෝ විට මෙය නිෂ්පාදන දෝෂයක් (Manufacturing Defect) කියා ඔබ එය නැවත මිලදී ගත් වෙළෙන්දා හෝ නිෂ්පාදිත ආයතනය වෙත ගෙන යනවා නියතයි. මේක කියවද්දී අර චූටි මල්ලියි පොඩි මල්ලියි හිටිය ඇඩ් එක සිහියට එනවා ඇති.

මම කියන්න යන්නේ ඒ වගේ සිද්ධියක් ගැන නොවෙයි. මා කුඩා කාලයේදී මගේ පියා මා හා නිතර කිව් දෙයක් තමයි, "අනාගතයේදී රූපවාහිනියෙන් ගඳ-සුවඳ එන්න පුළුවන් විදියට හදනවා" කියන එක. ඒ කාලයේදී මට මේක දැනුණේ විහිළුවක් වගේ. අද වුණත් කෙනෙකුට මේක විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් නුදුරු අනාගතයේදී තවදුරටත් මේක විහිළුවක් වෙන්නේ නෑ. අසීරු වුණත් විද්‍යාඥයෝ මේ උත්සාහය අත අරින්න සුදානම් වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ස්මෙල්-ඕ-විෂන් ටී.වී. කියන නවතම මානයකට රුපවාහිනිය ගෙන යන්නේ. 

ස්මෙල්-ඔ-විෂන් පිලිබඳ මුලින්ම වාර්තා වන්නේ 1960 දී නිෂ්පාදනය කරන ලද "ද සෙන්ට් ඔෆ් මිසරි" චිත්‍රපටයෙනි.  මයික් ටොඩ් නමැති චිත්‍රපට නිෂ්පාදකය තම සියළු ධනය ඒ වෙනුවෙන් ආයෝජනය කරන ලදී. එම චිතරපටයේදී එක්-එක් පුද්ගලයාගේ ආසනට සම්බන්ධ කර තිබූ නාල මගින් මේ සුවඳ එවන්නට සැලසුම් කොට තිබුණි. 1980 ගණන් වල නිපදවූ පොලියෙස්ටර් නම් චිත්‍රපටයේදී යලිත් ස්මෙල්-ඔ-විෂන් යොදා ගන්නා ලදී. ඒ මයික් ටොඩ්ගේ පියාගේ හොඳම මිතුරකු වූ එඩී ෆිෂර් විසිනි. ඔහු එවර එම තාක්ෂනය මදක් වෙනස්ව යොදා ගන්නා ලදී, ඒ වෙනුවට දියර වර්ග සෑම අසුනකම ආසන්නයේ ස්ථානයක තබා ඇති කාඩ්පතකට කවා ඇත. ප්‍රේක්ෂකයා එම කාඩ් පත  සූරා සුවඳ බැලීය යුතුය. 
පින්තූරය ගත්තේ : theinstitute.ieee.org

ඕනෑම තාක්ෂණයක ප්‍රාථමික යුගය මදක් විසුළු ස්වභාවයක් ගනී. නමුත් එය විකාශණය වත්ම එහි ඇති අඩුපාඩු ඉවත් කර මටසිලිටුව නිපදවන්නට පර්යේෂකයෝ සමත් වෙති. රුපාවහිනිය සමග ස්මෙල්-ඔ-විෂන් තවමත් පසු වන්නේ ප්‍රාථමික අවධියේය. මේ වසරේ මාර්තු මාසයේ ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු ආයනතය විසින් පවත්වන "වර්චුවල් රියලිටි" සම්මන්ත්‍රනයේදී හරුකා මට්සුකුරා, හිරෝෂි ඉෂිඩා සහ ටට්ෂිරෝ යොනිඩා විසින් ඔවුන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශණය කරන ලදී. ඔවුන් එය නම්කොට ඇත්තේ "ඕල්ෆැක්ටරි ඩිස්ප්ලේ" යනුවෙන් (ආඝ්‍රහණ ප්‍රදර්ශකය). මෙහි තිරය දෙපස සුවඳ නිකුත් කරන කවුළු දෙකක් තබා ඇත. තිරලා එල්.සී.ඩී. වර්ගයේ එකකි. එම මොනිටරය වර්ග අටක සුවඳ නිකුත් කිරීමට සමත්ය.

නමුත් මෙම සොයා ගැනීම රුපවාහිනියේ ශ්‍රව්‍ය - දෘශ්‍ය සංඝටක දෙක සිදු වන ආකාරයට සපුරා වෙනස් අයුරකින් සිදු වේ. මෙහිදී සුවඳ ලබා දිය යුතු ස්ථාන කලින් දැන සිටිය යුතුය. උදාහරණයකට මල් වත්තක දසුනක් යන මොහොතක මල් සුවඳක් හැමීමට සැලැස්විය හැක. රස ආහාරයක් පිලිබඳ වැඩසටහනක් යන විට අදාළ සුවඳ විසරණය කල හැක. මෙය වඩාත් යෝග්‍ය වෙළඳ දැන්වීම් සඳහාය. දැනටමත් ආහාරපාන නිෂ්පාදකයෝ ඔවුන්ගේ වෙළඳසල් වල විවිධ සුවඳ වර්ග හැමීමට සලස්වා ඇත. මැලිබන් සහ මන්චි ආයතන අසල මේ සුවඳ ඇති බව ඔබ දන්නවා ඇත.

නමුත් නිසියාකාරයෙන් සිදු වන්නට නම් අපට සුවඳ පටිගත කර ගැනීමට හැකි විය යුතු අතර අදාළ සුවඳ විකාශණය කල හැකි විය යුතුය. නමුත් මෙහි සිදු වන්නේ පටිගත කල දසුනට අදාළ සුවඳ ලැබෙන්නට සැලැස්වීමයි. එනිසා මේ ක්‍රමය සජීවී වැඩසටහනක් සඳහා යොදා ගත නොහැක. එසේ කල යුතු නම් රූකඩ නටවනවා වගේ සිදු කල යුතුය. කෙසේ නමුත් මෙම උත්සායහ අගය කල යුතුය. මන්ද එය තුලින් නියමිත ඉලක්කයට යාම ආරම්භ කල හැකි බැවිනි. මේ සමග ඇතිවන අතුරුඵල ගැනද සිතිය යුතුය. සමහරු ප්‍රිය කරන සුවඳක්, තවත් කෙනෙකුට අප්‍රිය විය හැකි නිසාය. 

Sunday, March 17, 2013

සීතල දිවිල්ල

සීතල යුද්දය..... සීතල ගණන්කාරයෝ.... මේ වගේ හිතුවොත් මේ ලිපියේ මාතෘකාව මොන වගේ තේරුමක් ගනීද ? සීතල යුද්දය කියන්නේ අර බෙදෙන්න කලින් තිබ්බ රුසියාවයි ඇමරිකාවයි අතර අවි වලින් නොකෙරුනත් වචන වලින්, තමන්ගේ හැකියාව ගැන පාරම් බාමින් කරපු යුද්ධය. මෙන්න මේ වගේ ඒවාට අපි කියන්නේ සීතල යුද්ධය කියලා. එතකොට සීතල ගණන් කාරයා ... වැඩිය චන්ඩිපාට් නොදා තමන්ට අවශ්‍ය දේ කරගන්නා අයට තමයි මේ යෙදුම යොදන්නේ. මේ දෙවර්ගයම ඇත්තටම අප්‍රසන්නම කොට්ඨාශ. මොකද කෙලින් එන්නේ නැතිව කොලේ වහලා ගහන ගැහිලි වලට තමයි මේ යෙදුම් දෙක යොදා ගන්නේ.

නමුත් සීතල දිවිල්ල මේ ජාතියේ එකක් නොවෙයි. මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙය කියවන කී දෙනෙකුට මේක තේරෙයිද? කූල් රනින්(Cool Running). මම හිතන්නෑ ඔබට හරියටම මේක තේරුනා කියලා. ඇත්තටම කූල් රනින් කියන්නේ එක්තාර ක්‍රීඩාවකට යොදා ගන්නා උපකරණයකට ඒ ක්‍රීඩකයෝ යොදපු නම. උපකරණය කියන්නේ හතර දෙනෙන්ක් වාඩි වෙලා යන බාත් ටබ් එකක් වගේ ඔරුවකට.  පින්තුරයක්ම දාන්නම් නැත්නම් තවත් වචන 1000ක් වියදම් කරන්න වෙනවා.
පින්තුරය ගත්තේ : www.petergreenberg.com
දැන් තේරෙනවා නේද මොකක්ද උපකරණේ නැත්නම් යාත්‍රාව කියලා. හරි මේ කතාව කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. නමුත් අද ටී.වී. එකේ බලන්න දෙයක් නැතිව චිත්‍රපටියක් බලන්න ඕනේ කියලා රිමෝට් එක අතට අරගෙන චිත්‍රපට චැනල් ටික පෙරලගෙන යනකොට ඒකෙ විස්තරේ තියෙනවා දැක්කා සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච චිත්‍රපටයක් කියලා. ඉතිං මගේ එක පිස්සුවක් තමයි මේ සත්‍ය කතා පදනම් කරගෙන හදපු චිත්‍රපට එකතු කරන එක. මම ගාව දැනට 10ක් විතර තියෙනවා. 


මේ චිත්‍රපටයේ නමත් කූල් රනින්. ඔලිම්පික් මීටර් 100 සඳහා ජමෙයිකාවෙන් සුදුසුකම් ලබනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද කියලා අහන්න ඕනේ උසේන් බෝල්ට් වගේ කෙනෙකුගෙන්. එහෙම බැරි වෙච්ච් තරුණයෙක් තමයි ඩෙරිස් කියන්නේ, ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඔහුටත් මේ දේම සිදු වුනේ. ඉතිං ඩෙරිස්ට  හමු වෙනවා ඔහුගේ පියාගේ හොඳම මිතුරෙක් අර්වින් ඔහු දෙවරක් 1968 සහ 1972 බොබ්ස්ලෙඩ් කියන ක්‍රීඩාවේ සීත ඔලිම්පික් රන් පදක්කම් ලාභියා. එහෙත් ඔහු ජැමෙයිකාවට වෙලා ඉන්න වෙන්නේ ඔහු එම ක්‍රීඩාවේදී කරපු හොරයක් අසු වීම නිසා. ඔහු ජැමෙයිකාවේ සූදුපොලක් පවත්වාගෙන යනවා. ඩෙරිස්ගේ දවස් ගානක පෙරැත්ත කිරීම මත ඔහු කැමති වනවා ඔවුන්ට බොබ්ස්ලෙඩ් ක්‍රීඩාවේ පුහුණුකරු වන්නට.

ජැමෙයිකාව කියන බටහිර ඉන්දීය දුපතට තියෙන්නේ ලංකාවේ අපේ දේශගුණයමයි. ඉතින් කොහෙද හිම වැටෙන්නේ. ඔවුන් බොබ්ස්ලෙඩ් එකක් වගේ හදා ගත්ත ඩක්කුවක කඳු පල්ලමක පුහුණු වීම් කරනවා. එය පෙරලිලා පොලිස් රථයක වදිනවා. එතනින් ජාම බෙර ගත්තත් මොවුන්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. කැනඩාවේ කැල්ගරි නුවර පැවැත්වෙන සීත ඔලිම්පික් තරගාවලියට යන්න නම් ඩොලර් 184,000 ක් සොයා ගන්න වනවා. මුලින්ම අර්වින් එහි ක්‍රීඩා ඇමති වරයා මුණ ගැහෙනවා. ඔහු තරයේ විරුද්ද වනාව අඩුම තරමින් මේ තරග වලට ඉදිරිපත් වනවාටත්. 
පින්තුරය ගත්තේ : http://news.betinternet.com
ඔවුන් මුදල් හොයා ගන්න විවිද දේ කරනවා. පාරේ ගීත ගයනාව, හෑන්ඩ් ෆයිට් කරනවා. කාන්තාවන්ට හාදු ලාබා දී මුදල් එකතු කරනවා. මේ කිසි දෙයකින් ඔවුන්ට ඩොලර් 100ක් වත් එකතු කර ගන්න බැරි වනවා. මෙහි ක්‍රීඩකයන් හතර දෙනාගෙන් කෙනෙක් (ජුනියර්) පොහොසතෙකුගේ පුතෙක්. ඔහු තම කාරය විකුණූ මුදල් ගෙන එනවා. එහෙත් ඩෙරිස් ඊත තරයේ විරුද්ධ වනවා. එහෙත් ඔහුගේ මේ ඉලීමට අවසානයේ අවනත වෙනවා. අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගෙන එකෙක් කුකුල් කේන්ති කාරයෙක්. ඔහුගේ ඇඟට අත තබනාවටත් ඔහු කැමති නෑ. ඔහු නිතරම කියන දෙයක් තමයි "ඩෝන්ට් ටච් මී" කියන එක.

ඔවුන් කැල්ගරි වලට ලඟා වනවා. මුලින්ම ඔවුන්ට සීතල වත් උහුලා ගන්න බැරි වනවා. නමුත් ඔවුන්ට හොඳ දරා ගැනීමේ ශක්තියක් තිබෙනවා. අර්වින් බොහොම වෙහෙසක් ගෙන ඔවුන්ට බොබ්ස්ලෙඩ් යාත්‍රාවක් හොයා ගන්නවා. එය පුහුණුවීම් සඳහා භාවිතා කරන්නක්. මේ රථය සහ කළු සමක් ඇති ඔවුන් සැමගේ උසුළු විසුළු වලට ලක් වනවා. වැඩියෙන්ම ඔවුන්ව විහිලුවට ගන්නේ නැගෙනහිර ජර්මන් කණ්ඩායමේ නායකයා. මෙම තරගාවලියට සහභාගී වීමට නම් ඔවුන් විනාඩි දෙකකට අඩුවෙන් මෙම තරගය නිමා කල යුතු වනවා. මුලින්ම ඔවුන්ට බොබ්ස්ලෙඩ් එකට පැන ගන්න පවා බැරි වනවා. නමුත් ඔවුන් තප්පර 59.4 කින් එම තරග වටය නිමා කර සුදුසුකම් ලබනවා අවසාන කණ්ඩායම වශයෙන්. 

ඊළඟ දිනයට ඔවුන් සූදානම් වීමට ප්‍රථම ඩෙරිස් නිතරම සුවිට්සාර්ලන්ත කණ්ඩායම උදාහරණයකට ගැනීම අනෙක් අයගේ විවේචනයට ලක් වනවා. අප ජමෙයිකානුව අපි ජැමෙයිකානු ක්‍රමයකට මෙය කරමු කියා අනෙක් අය ඔහුට ඒත්තු ගන්නනවා. දෙවෙනි දවසේ ඔවුන්ට ජැමෙයිකානු ඇඳුමක් සහ ඔවුන්ගේ බෝබ්ස්ලෙඩ් එක ජැමෙයිකානු වර්ණ වලින් අලංකාර කර ගන්න ලැබෙනවා. ඒ පුහුණුකරු අරවින්ගේ උත්සාහ නිසා. පළමු දින රාත්‍රියේදී ජර්මන් කණ්ඩායමට බාර් එකකදී මෙම කණ්ඩායමේ ඩෙරිස් හැර අනෙක් තිදෙනාට සිදු වනවා. අර කුකුල් කේන්ති කාරයා(බ්රෙනර්) ජුනියර්ව දිරිමත් කරනවා ශක්තිමත්ව නැගී සිටින්න. එතනින් පසු තමයි ඔවුන් නියම කණ්ඩායමක් ලෙස වැඩ කරන්නේ. කොහොමත් ශාරීරික පුහුණුවේදී ඔවුන් ඉන්නේ ඉදිරියෙන්. දෙවෙනි රවුමේදී ඔවුන් සියල්ලම් පුදුමයට පත් කරමින් තප්පර 56.2 කදී තරගය නිමා කරමින් 8 වන ස්ථානය ලබා ගන්නවා. 

තුන්වන දිනයේ උදෑසන ජුනියර්ගේ කෝටිපති පියා ඔවුන්ගේ හෝටලයට පැමිණෙනවා. ඔහු ආපසු යන්නට බල කලත් ජුනියර් ශක්තිමත්ව නැගී සිට ආපසු යාම ප්‍රතික්ෂේප කරනවා. මේ අතර ඔවුන් තරගාවලියෙන් ඉවත් කල බව නිවේදනය කරන ලියුමක් අර්වින් අතට පත් වෙනවා. ඔහු කෙලින්ම එම මණ්ඩලය සිටින ශාලාවට කඩා වැද තමන් කල වරදට ඔහුගේ කණ්ඩායමෙන් පාලි නොගන්න ලෙස ඉල්ලා සිටිනවා. අවසානයේ ඔවුන් ජමෙයිකානුවන්ට තරග කරන්න අවස්ථාවල ලබා දෙනවා. මෙවර ඔවුන් තරගයට එනවිට ඔවුන්ට හොඳ පිළිගැනීමක් ලබා දෙනවා. හැම දෙනාම ජම්යිකාවට සහයෝගය පල කරනවා. තුන්වන දිනයේදී ඔවුන් බෝබ්ස්ලෙඩ් එකට ගොඩ වීම, පළමු කඩයිම පසු කරන කාල අනුව එම ක්‍රීඩාවේ ලෝක වාර්තාවට හිමිකම් කීමට බොහෝ ඉඩ තිබෙන බව පැවසුවත් අවසානයට මීටර් කිහිපයක් තබා ඔවුන්ගේ රථයේ එක් පීල්ලක් ගැලවී ගොස් ඔවුන් පෙරළෙනවා. ටික වෙලාවකින වාහනය කරේ තබාගෙන ඔවුන් තරගය නිමා කරනවා. 

ඒ දැක ඔවුන්ට මුලින්ම අත්පොලසන් දෙන්නේ නැගෙනහිර ජර්මානු කණ්ඩායමේ නායකයා. අන්තිමේදී එහි සිටින සියලු දෙනාගේ අත්පොලසන් මැද ඔවුන් තරගය නිමා කරන්නේ ජපානයේදී ඔලිම්පික් තරගයක මෙවැනිම දෙයක් කල ලංකාවේ කරුණානන්ද සිහි ගන්වමින්. ඔවුන්ට අත්පොලසන් දීමට ජුනියර්ගේ පියාද එකතු වනවා. ඔවුන් ජැමෙයිකාවට යන්නේ ජාතික වීරයන් ලෙස. ඊළඟ වසරේ ඔවුන්ට තෝරාගැනීමකින් තොරවම සීත ඔලිම්පික් වලට සහභාගී වන්න ලැබෙනවා. 

පින්තුරය ගත්තේ http://wikipedia.org

අවසාන තරගයට පෙරදින පුහුණුකරුගෙන් ඔහු කල රැවටීම ගැන ඩෙරිස් විමසු විට පුහුණුකරු පවසන්නේ 

"A gold medal is a wonderful thing, but if you're not enough without it, you'll never be enough with it."

www.wikipedia.org ඇසුරෙනි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...