Showing posts with label විවේචන(Critics). Show all posts
Showing posts with label විවේචන(Critics). Show all posts

Tuesday, January 12, 2016

කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම ...... Camp(aign)s within camp(aign)s

මාතෘකාව දැක්ක ගමන් ඔබට මොනවද හිතුනේ ? මම හිතන්නේ බොහෝ දෙනෙක් බලන්න ඇත්තේ ඇඩ්‍රස් බාර් එක දිහා, නැතිනම් බ්ලොග් එකේ ලෝගෝ එක දිහා. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපේ හමුදාව ගැන ලියන අපේ විචාරක මහතාගේ වැඩක් කියලා. නැතිනම් නේවි එකේ ගයානිගේ බ්ලොග් එක කියලා. එහෙම හිතුවනම් වැරදි නෑ. ඒත් ඔබ ඇවිත් ඉන්නේ ඇවිද්ද පය ..... බ්ලොග් එකට කියලා ඔබට පැහැදිලි ඇති. "ඌ මොනවද දන්නේ යුද්දේ ගැන ?" බොහෝ දෙනෙකුට මේ පැනය හිතේ ඇති වෙන්න ඇති. විශේෂයෙන්ම අපේ දේශාට මේ වගේ අදහස් එනවා. එහෙම කිව්වට දේශා මගෙත් එක්ක තරහා වෙන එකක් නෑ. කොහොම වුණත් කවුරුත් කියන පලියට නිකම්ම භාර ගන්නේ නැතිව, හොඳින් හොයා බලලා බාර ගන්න එක හොඳ ලක්ෂණයක්. යුද්ධය ගැන මෙලෝ අත්දැකීමක්(හමුදාමය) නැති මම කොහොමද නොදන්නා දෙයක් ගැන ලියන්නේ. මේකත් අපේ අතර තියෙන තවත් එක දුර්වල කමක්. අපිට පිටින් බලලා දෙයක් ගැන යම් විනිශ්චයකට එන්න පුළුවන් වුණත්, ඒ දේ ශාත්‍රීයව නැතිනම් විද්‍යාත්මකව නොදැන ලිවීමෙන් වෙන්නේ අර මතුපිටින් පේන දේ ලිවීමමයි. එහෙම ලිව්වම තවත් මතුපිටින් බලන කෙනෙකුට ඒක රසවත් වෙන්න පුළුවන්. නැතිනම් ඔබ කියන ඕනෑම දෙයක් බාර ගන්න කෙනෙකුට ඒක හරි වෙන්නත් පුළුවන්. එහෙම දෙතුන් දෙනෙකුගේ ඇගයීම සමග මම ලියපු දේ හරි කියලා හිතුනොත් ඔබට වෙන්නෙත් වැල්ලේ ඔලුව හංග ගත්ත පැස්බරාට වුණ දේමයි. 

මාතෘකාවෙන් පිටට ගියාම ඔහේ ඉබාගාතේ යන එකත්, එක අතකින් ස්ටයිල් එකක්. තවත් පැත්තකින් වැඩේ නීරස වෙන්නත් පුළුවන්. මේක අපේ බ්ලොග් කරුවෝ හඳුන්වන්නේ හැලප ස්ටයිල් එක කියලා. නමුත් මගේ විශ්වාසය නම් ඒ ස්ටයිල් එකට මුළින්ම ලිව්වේ මහින්ද අබේසුන්දර කියලා. ඒ "මහින්දගේ ආගි කතා" කියන කොළමෙන්. ඒක මම පුදුම විදියට රස වින්දා පමණක් නොවෙයි. මම බැංකුවට බැඳුනු කාලේ ඒ.ටී.එම්. එකෙන් දෙන රිසිට් එකෙන් ලියපු 4 X 4 පත්තරරේ ලියපු බොහොමයක් ලිපිත් මේ ආරට ලියපුවා. එහෙම ගත්තම මම ලියපු මුල්ම ලිපි පෙළ ඒවා තමයි. ඒවා මොකටද මෙතනට. මාතෘකාවට බහිමු පඳුරු තැලිල්ල පැත්තකින් තියලා.  
 පින්තූරය ගත්තේ : www.apeaceoffice.com

මගේ ජීවිතේ මට ලැබුණු හොඳම කළමනාකරුවෙක් තමයි, නුගේගොඩ අපේ ඔෆිස් එකේ හිටපු විතාරණ මහත්මයා. මම අදටත් ගෞරවයෙන් මතක් කරන පුද්ගලයෙක්. හැඩරුව කිව්වොත් දිඹුලාගල හාමුදුරුවෝ වගේ. එතැනින් එහාට අටුවා-ටීකා, ටිප්පනි අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් එතුමා ගැන යමක් කියන්න ඕනේ. මිනිහා හරි සෘජු කෙනෙක්. තමන්ගේ තීරනයේම පිහිටලා කටයුතු කරන්නේ. අමු සිංහළෙන් තමයි කතා කරන්නේ. ඇඳුම් අඳින්නේ එකම පාටකින්. ඒ බේජ් පාටෙන්. කලිසමත් කමිසයත් එකම පාටයි. . ඉතිං මේ කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම කියන කතාව එතුමාගේ කතාවේ නිතරම තියෙන එකක්. එයා කියපු වැඩක් කරන්න බෑ කියලා, කෙලින්ම මාව ගෙදර යවන්න ලැස්ති වුණා, එක පාරක්. ඒ කතාව මම අඩක් ලියා නිම කරපු බ්ලොග් පොස්ට් එකක් විදියට තවමත් ඩ්‍රාෆ්ට් විදියට තියෙනවා. ඒක මුල් කාලේ ලියපු එකක්, බ්ලොග් ගැන අඩු අත්දැකීමක් තිබුණු කාලේ ලියපුවා ලියන ශෛලියෙන් නෙවෙයි දැන් ලියවෙන්නේ. ඒ නිසා දැන් ඒක අවසන් කලොත් කෙසෙල් ගහකට බෝගන්විලා බට් කළා වගේ තියෙයි. නමුත් ඒ ලිපියේ පලවෙනි කොටස එහෙම තිබියදී මම දෙවෙනි කොටස ලිව්වා. 

වරක් අපේ මේ කළමනාකාර තුමාව මුණගැහෙන්න අපට පරිගණක සපයන ආයතනයක, කණට කරාබුවක් දාපු මහත්මයෙක් ආවා. මිනිහා මොන විදියට පැහැදිලි කළත් අපේ ලොක්කා රෝන්ග් ටෝක් මයි දුන්නේ. අනිත් එක අමු සිංහලෙන්. මැෂින් කියලා අපි භාවිතා කරන වචනේ එතුමා යන්ත්‍ර විදියටත්, කැපෑසිටි කියන වචනය ධාරිතාව ලෙසත්, මදර් බෝර්ඩ් කියන වචනය මව් පුවරුව ලෙසත් ආදී වශයෙන් සියලුම වදන් සිංහලෙන් යොදමින් කථා කරන පුද්ගලයෙක්. ලොක්කාව මේච්චල් කරන්න පහසු තැන, කරබුවා කඩ්ඩෙන් කොටන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතයේ කරන ලද වැරදීම විනිශ්චය එය බව ඔහුගේ සේවකයින් සමග පසුව පවසා ඇත. විතාරණ මහතාට ඉතා ව්‍යක්තව ඉංග්‍රීසි බස හැසිරවිය හැකි බව දන්නෝ අල්පය. එදා අසුනින් නැගී සිට ඔහු කරාබුවාට දුන් කඩු පහරවල් විස්තර කරන්නට සමතෙකු අදද, අප අතර නැත. ඒ තරමට බරසාර වචන හේ දනී. නමුත් සිංහලෙන් කථා කරන කිසදු මොහොතක ඒවා යොදා නොගනී. යම්කිසිවෙකු ඉංග්‍රීසි භාවිතා කරයි නම් ඔහු එයට ගැලපෙන ලෙස කතා කරයි. එකල ඔහු නිරන්තරයෙන් මා හට දුන් අවවාදයක් නම්, ඉංග්‍රීසි උසස් පෙළ විභාගය කරන ලෙසය.
"උසස් පෙළ ඉංග්‍රීසි කරපු කෙනෙක් එක්ක කවුරුත් හැප්පෙන්න එන්නේ නෑ" 
ඔහුගේ වදන් අදත් මගේ හිතේ රාව ප්‍රතිරාව දෙයි. ඔහු මට ජීවිතයට වටිනා අවවාද දෙකක් දී ඇත. එකක් ඉහත ඔබ කියවන ලද අවවාදයයි. අනෙක  මෙහි සටහන් නොකරමි. මන්ද ඔහු දුන් එම අවවාදයට අදාළ කාරණය දැනටත් සිදු වී හමාර නිසාය.  

මම ඒ වනවිට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක රස බලමින් සිටියෙමි. පසුව අපගේ වෙනත් කළමනාකාර මහතෙක් මැදිහත්ව මා මෙතැනට ගන්නා ලද අතර, ඒ ඔහුගේ සහයකයා ලෙසය. මට තිබුණේ ඔහු සාදන මෘධුකාංග ටෙස්ට් කිරීම, ඒවා ශාඛා වල ස්ථාපනය කිරීම, අදාළ සේවක මහත්ම මහත්මීන්ට අවැසි පුහුණුව ලබා දීම  වගේ කටයුතුය. එය අපූරු රාජකාරියකි.  මේ මෘදුකාංගය  ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ශාඛා වලට පමණක් රැගෙන යාමට සිදු විය. කොළඹ, නුවර, අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල, හික්කඩුව වැනි සංචාරයකයින් නිරතුරු ගැවසුණු ප්‍රදේශ වලට එය විශේෂ වුණා. ඊට අමතරව බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි ඇති  කවුන්ටර් වලටත් යාමට සිදු වුණා. ඒ කාලේ ලංකාවේ තිබුණු යුධමය වාතාවරණය නිසා ගුවන්තොටට යාම එතරම් පහසු කටයුත්තක් වුයේ නෑ. ඒ සඳහා එතෙර ගනුදෙනු ඒකකයේ ප්‍රධාන කළමනාකරුගේ ලිඛිත ඉල්ලුම් පත්‍රයක් ගුවන්තොටුපල බලධාරීන් වෙත ගෙන යා යුතුයි. කෙනෙකු මෙවැනි ස්ථාන වල රස්තියාදු වීම ප්‍රිය නොකලද, මා තුල සිටි මාධ්‍යකරුවා ඒ සඳහා තුල කිසිදු විරෝධයක් ඇති කලේ නෑ. බලා හිඳීම මගේ විනෝදාංශයක් බව මා ලියු පසුගිය සටහනකින් ඔබ දකින්නට ඇති.

ඒත් .... මං මේ කියන්න ආවේ ..... ආ..... කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම. ඒ කාලේ මම අර කලින් කිව්වා කළමනාකාර තුමා මාව එයාගේ බඩියා කර ගන්න හැදුවා. ඇත්ත වශයෙන්ම බඩියා කියන වචනය හොඳ වැඩියි. මිනිහා හරි ඒකාධිපතියා අදටත්.  කිව්වා දේ ඒ විදියටම ඕනේ. හැබැයි මම කලින් කිව්වා විතාරණ මහත්මයාටත් කිව්ව දේ ඒ විදියටම ඕනේ. මොකක්ද මේ දෙන්නාගේ වෙනස ? විතාරණ මහත්මයා සත්‍ය මත පදනම්ව තමයි කටයුතු කරන්නේ. මිනිහාගේ පංගු-බේරු, පාට-පක්ෂ, ලොකු-පොඩි බේද නෑ. වැඩ කරනවා නම්, අද ආ කෙනත්, අවුරුදු දහයක් හිටිය කෙනාටත් එකයි. අද ආ කෙනා හොඳක් කළොත්, ඒක ප්‍රසිද්ධ්යේම පසසනවා. ඒ වගේම අවුරුදු දහයක් වැඩ කරපු කෙනා වැරද්දක් කලොත් නිර්දය ලෙස පහර දෙනවා. කරපු කෙනාට ලැජ්ජාවේ ඉන්න බැරි වෙන්නම. ඒ නිසා මිනිහා එක්ක කවුරුත් වැඩ කලේ ඉතාම ප්‍රවෙසම්ව. හැබැයි ඒ වගේම ඉක්මණින් සිසිල් වෙනවා. පස්සේ තමන් රළු වුණා වැඩියි කියලා, කනස්සලු බව ප්‍රකාශ කරනවා. මට දවසක් කිව්වා "මම හරියට දැදුරු ඔය වගේ, වෙලාවකට බොහොම සැරයි, තවත් වෙලාවකට බොහොම ශාන්තයි" කියලා. දැන් අර අපි කිව්ව, ඒකාධිපතියා මිනිහා සලකන්නේ එයාට පක්ෂපාතී අයට, කන්න-බොන්න ගේන අයට, මිනිහගේ ගුණ වයන අයට. මිනිහාගේ අණක් නොතැකුවොත් ඒක මතක තියාගෙන ඉඳලා පහර දෙනවා. එක පාරක් පහර දීලා මදිනම් තව-තවත් පහර දෙනවා. අනිත් අයට තැන-නොතැන නොබලා අර කියපු කෙනා ගැන විවේචන කරනවා. මේ දෙදෙනාගෙන් කවුරුද හොඳ කියලා දැන් ඔබට පැහැදිලියි. ආ තවත් දෙයක් අර දෙවෙනියා හරි ආත්මාර්ථකාමියා. තමන්ට ලැබෙන දේ ගැන තමයි නිතරම හිතුවේ. දවසක් Y2K වෙනුවෙන් කරන ලද මෙහෙය අගයන චක්‍රලේඛණයේ තමාගේ නම නැතියි, දිගු ගෝරනාඩුවක් මේ ඒකා-අධිපතියා කළා. බැරිම තැන විතාරණ මහතා සියල්ලගේම අවධානය ඉල්ලාගෙන රෙදි ගැලවෙන දේශනාවකින් සංග්‍රහ කළා. හරි ඒක මම වෙනම වෙලාවක කියන්නම්. ඔය කියන ඒකාධිපතියා ගැන මම සටහනක් තම්බන්නම ඕනේ.

ඉතිං මේ නිලධාරියා මාව ඇබිත්තයා(ඒක තමයි හොඳම වචනේ) කර ගන්න හදන එකට විතාරණ මහතා මුල ඉඳලා විරුද්ධ වුණා. ඒ අන් කිසිවක් නිසා නොව, තරුණයෙකු වශයෙන් මාගෙන් ලබාගත හැකි සේවය ලඝු කිරීමට අර පුද්ගලයා දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට. එයින් මගේ අනාගතයටද සිදු විය හැකි පාඩු ඇති බව මටද වැටහී තිබුණා. මන්ද විතාරණ මහතා මා යොදවන්න උත්සාහ කලේ සම්පූර්ණ බැංකු පද්දතිය පිලිබඳ කටයුතු වලට වන අතර, එකී පුද්ගලයා උත්සාහ කලේ ඔහුගේ පද්දතියේ මා හිර කර තැබීමටය. එයින් මට අවැඩක් මිස යහපතක් සිදු වන්නේ නැත. මාස ගණනකට පමණක් වැඩ කිරීමට සිදු වන එම පද්දතියේ කටයුතු නීරස බව මට සතියකින් පමණ වැටහිණි. ඔහු මා ඒ සඳහා වෙන් කර තබා ගැනීමට ගත් උත්සාහය විතාරණ මහතා හඳුන්වා දෙනු ලැබුවේ "කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම" ලෙසය. එය පැවසු දිනයේදී එය හුදු විහිළුවක් ලෙස පෙනුනද, ඔහු එසේ පැවසුවේ ගැඹුරු අර්ථයකින් බව මට අද වඩාත් පැහැදිළි වේ.

මේ කතාව මගේ මනසට ආවේ වර්තමානයේ සමාජය තුල සිදු වන විවිධ කණ්ඩායම් ගොණු වීම් පිලිබඳ අසන්නට ලැබෙන විටයි. මේ ක.ක.බැ. වැඩිමනත්ම සිදු වන්නේ දේශපාලනය තුලයි. එය අපට වඩාත් ඉස්මතුව පෙනෙන්නේ ඒ පිලිබඳ ජනතාව දක්වන උනන්දුව සහ මාධ්‍ය ආවරණය නිසාය. මෙසේ ක.ක.බෑ නොවුණු කිසිදු පක්ෂයක් වර්තමානයේ දකින්නට නැත. ඒ පිලිබඳ මා උදාහරණ සපයන්නටද උත්සුක වන්නේද නැත. නමුත් එක්තරා විදියකින් සමිති, සමාජ, සංගම් ආදී වශයෙන් නා-නාවිධ සංවිධාන හතු පිපෙන්නා සේ ඇති වේ. බොහෝ ඒවාට ආයුෂ අඩුය. නමුත් හොඳ ජන පදනමක් ඇති ඒවා ඉදිරියට ගමන් ගනී. යහපත් අරමුණු වෙනුවෙන් ඇති වන්නාවූ සංවිධාන තුල වුවද මේ කියන කඳවුරු බැඳීම සිදු වෙයි. අද සමාජය තුල මෙසේ ඇතිවන කණ්ඩායම් වැඩියක් උපන් ගම් ප්‍රදේශ සහ අධ්‍යාපනය ලැබූ පාසල් අනුව ගොණු වේ. උදාහරණයකට, අපි දකුණේ, අපි නුවර, අපි කුරුණෑගල, අපි රත්නපුරේ, අපි මහින්දෙ, අපි සීවලී වාගේ නම් වලින් වේ. මෙසේ කණ්ඩායම් ගැසීම ගම පදනම් කරගෙන බොහෝ විට සිදු වේ. තවමත් බිහි නොවූ ඒවා වන්නේ ගාලු පාරේ අපි, හයිලෙවල් පාරේ අපි, නුවර පාරේ අපි වාගේ ඒවාය. ඉදිරියේදී එවැනි ඒවා බිහි වුවද එය පුදුමයට කරුණක් නොවේ. මෙල්බර්න් නගරයේ පවා අපේ අය විවිධ කණ්ඩායම් සිය ගණනක් ගොඩ නගාගෙන ඇති බව අසන්නට ලැබුණි.

 අද මේවා වඩ-වඩාත් සිදු වන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. යහපත් දෙයක් දකිණු රිසියෙන් උදේ පාන්දර ෆේස්බුක් සමාජ ජාලයට ගොඩ වන අපට දකින්නට ලැබෙන්නේ, සිත් තැවුල්, සිත් රිදවීම්, පලිගැනීම්, අවලාද, මඩ, චෝදනා, ගර්ජනා ආදී නරක අතමය. ඉඳ-හිට හොඳ වීඩියෝවක්/ෆොටෝවක් දකින්නට ලැබේ. එය එසේ වුවාට කම් නැත කියා සිතෙන්නේ සංග සමාජය තුලද විවිධ හැල-හැප්පීම් දකින විටය. ඒ සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්ධර්මයට විවිධ අර්ථකතන සපයන්නට යාමෙන් හෝ වත්කම් ප්‍රශ්න නිසාය. "ඕනෑම ගැටුමක් ඇති තැනක කෙලවර කාන්තාවක් ඇත යන්න" අපේ පැරණි කියමන බොරුවක් බව වර්තමානය විසින් ඔප්පු කර හමාරය. අද කාන්තාව චීත්ත නොඅඳින පරිසරයක සමහර පිරිමින් චීත්ත ඇඳ ඇතැයි නිතර අසන්නට ලැබේ.

වරක් සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කඳවුරු දෙකක් ඇති විය. නමුත් එවර සිදු වුයේ කඳවුර තුල කඳවුරු බැඳීමක්ද යන්න මට අදටත් ගැටලුවකි. එහි සිදු වූයේ පැරැන්නන් පිරිස අලුතෙන් එක් වුවන් ප්‍රතික්ෂේප කිරීමය. මාද බ්ලොග් ලියන්නට පිවිසි සමයේදී එක් වූ පිරිසට පැරණි පිරිස බ්ලොග් අඩවි වල කමෙන්ට් මගීන් සහ ඔවුන් එක් වී සාදාගත් බ්ලොග් අඩවියක් මගින් පහර දෙන ලදී. ඒවායේ විශේෂය ඇනොනිමස් වශයෙන් පැමිණ වාද-විවාද වල පැටලීමයි. මේවා පුද්ගලික මඩ ප්‍රහාර දක්වා දීර්ඝ විය. "කබ්බන්" ලෙස එදා නමු වූ අපට ඔවුන් පහර දුන් තරමටම අපේ අයද ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදී. මා මෙහිදී අප යනුවෙන් හඳුවන්නට කැමති නැති වුවද, ඔවුන් කිසි සේත් අප "ටොයියන්" ලෙස නොසලකන විට අප නිකම්ම කබ්බන් ලෙස නම් විය. නමුත් මේ අතර වාරයේ සංවිධානය වන බ්ලොග් ගෙට් සහ අවුරුදු උත්සව වලදී අප සමග ඉතා කුළුපගව මේ කටයුතු කරගෙන යන්නට ඔවුන් වග බලා ගත්හ. නමුත් තිරය පිටුපසදී අපට නිර්දය ලෙස පහරදීම් වලට අමතරව මේ ගෙට් සහ උත්සව වලට සහභාගී වුවහොත් පහර දෙන්නෙමු යන තර්ජනද ඉදිරිපත් විය. නමුත් ඒ අතර අප සමග ඉතා කුළුපගව කටයුතු කල නිහතමානී පැරැන්නන් පිරිසක්ද විය. පසුව "බ්ලොග් ලියන කබ්බෝ" නමින් ෆේස්බුක් සමූහයක්ද ඇරඹිණි.

පසුව අප තේරුම් ගත්තේ බ්ලොග් කරුවන් යන ලේබලය යටතේ සිටින, බ්ලොග් කෙරුවාවෙන් පරිනත නැති පිරිස මෙම පහරදෙන කණ්ඩාමේ සිටින බවයි. එකල ජනප්‍රියම බ්ලොග් කරුවන් අපගේ ආගමනය අස්වැසිල්ලක් කරගත් බව පැහැදිලිය. නමුත් අදට වඩා බොහෝ කියවන්නන් පිරිසක් එකල සිටි බව මගේ විශ්වාසයයි. ඔවුන් බ්ලොග් වලින් ඈත් කරවුයේ මේ කඳවුරු ප්‍රශ්නයද යන්න අප සියළු දෙනා අපගෙන්ම අසා ගත යුතු පැනයයි. එදා-මෙදාතුර සියලුම බ්ලොග් කියවමින්, කලාතුරකින් කමෙන්ට් කරන දෙදෙනෙකු මගේ කාර්යාල සගයන් වේ. ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව වැඩියෙන් ප්‍රහාරයට ලක් වුයේ අප අතර සිටි හොඳින්ම හිට්ස් ලැබෙන්නන් බවය. මේ ප්‍රශ්න කාලයත් සමග තුනී වී ගිය අතර, අළු යට ගින්දර තිබේදෝයි මම නොදනිමි. අද ඔවුන්ද, අපද බ්ලොග් කෙරුවාව නොකෙරෙන තරම්ම අකර්මණ්‍ය වී ඇත. ඔවුන් යලි ක්‍රියාත්මක කරවා ගන්නට පහුගිය කාලයේ "බ්ලොග් වසන්තය" නමින් උත්සාහයක් ඇති වුවද ? ඒවා බීරි අලින්ට වීණා ගැයීමක්ම විය. අප මෙසේ වැටි වැටි හෝ දුවන්නට උත්සාහ ගන්නේ ඔවුන්ට සිදු වූ දෙයම අපටත් සිදු වේය යන බිය නිසාය. ඔවුන් නැවතත් සක්‍රීය වනවානම් මා පුද්ගලිකව කැමතිය. මන්ද බොහෝ අය මතය සමග ගැටුනද, ඒවා පුද්ගලික කර ගන්නට නොගියේය. හමු වූ විටෙක කා-බී ප්‍රීති වන්නට ඔවුන්ද අපද වග බලා ගතිමු. 

Friday, May 1, 2015

තම සොයාගැනීම් නිසා තැවෙන්නෝ, එදා-අද සහ හෙට ......Inventors who disappointed with their products, past - present and future

රුපවාහිනී රිමෝට් කන්ට්‍රෝලරය

රිමෝට් කන්ට්‍රෝලරය සොයා ගත් පුද්ගලයා වන නිකෝලා ටෙස්ලා තමා කල සොයාගැනීම පිළිබඳව පසුව පසුතැවිලි වුණා. ඒ ඔහු නිසා ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගී වීම නිසා. රෝගී වන්න සිදු වන හේතුව මේ වනවිටත් ඔබට නොවැටහෙන්නට පුළුවන්. නමුත් දුරස්ථ පාළකය භාවිතා කිරීම නිසා ඔබ රූපවාහිනිය වෙත ගොස් එහි නාලිකාව වෙනස් කිරීමේ ශාරීරික ක්‍රියාව නවතිනවා. දිනකට ඔබ රූපවාහිනී චැනල් මාරු කරන ප්‍රමාණය, එහි ශබ්දය අඩු වැඩි කරන ප්‍රමාණය, අද නම් ඒ සම්බන්දව කෙරෙන සියළුම වෙනස් කිරීම් සිදු කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගින්. ඉතිං දිනකට ඔබ රූපවාහිනිය වෙත ඇවිදින ප්‍රමාණය කිලෝමීටරයකටත් වඩා වැඩි බව පැහැදිලි වනු ඇත.

Nikola Tesla invented tv remote controller
පින්තූරය ගත්තේ : http://www.kerryr.net/
 දැන් ඔබ දකින රූපවාහිනියක කිසිසේත්ම අතින් වෙනස් කළහැකි බොත්තම් නැති වන්නට පුළුවන්. නමුත් අතීතයේදී නාලිකාවක් සුසර කිරීමේ සිට පැවති සීමිත නාලිකා ප්‍රමාණය මාරු කෙරුනේද ඔබේම ඇඟිලි තුඩින්. ඒවා අද මෙන් ටච් පන්නයේ බොත්තම් නොව මිකැනිකල් පන්නයේ ඒවාය. වෙනත් අයුරකින් කියනවානම් අතින් එහා මෙහා කලයුතු උපාංගය. ඉතිං දවසකට ඔබ එක් කිලෝමීටරයක් ඇවිද්දා නම්, මසකට කිලෝමීටර් 30ක්ද, වසරකට එය 365ක්ද වනු ඇත. අද නිවසක ඇති රිමෝට් කන්ට්‍රෝල් ගණන ගැන නිකමට සිතා බලන්න රූපවාහිනිය, චන්ද්‍රිකා රුපවාහිනි පෙට්ටිය(Satellite Box) , විදුලි පංකාව, ශබ්ධ විකාකාශන යන්ත්‍ර(Sound System), මෝටර් රථය සහ මෙකී නොකී ඕනෑම යන්ත්‍රයක සඳහා දුරස්ථ පාලකයන් යොදා ගත හැක. වෙනදා මේ යන්ත්‍ර වෙත ගොස් ඒ කාරියන් ඉටුකරගත් ඔබ, දැන් සිටින තැන සිට එය ඉටුකර ගන්නේ දිගුකාලීනව ඉහල පැලැන්තියේ රෝගියෙකු බවට පත් වෙමිනි. නමුත් ටෙස්ලාගේ ලොකුම පසුතැවීම මෙය නොවන වගද සටහන් කලයුතුය. ඒ ජේ.පී. මෝගන් සමාගම ඔහුගේ නිපැයුම් වෙනුවෙන් කල ආයෝජනය නවතා දැමීමය. එසේ නොවන්නට ඔහු ලොවට වටිනා සොයාගැනීම් විශාල ප්‍රමාණය දායාද කරනු ඇත. ඒ ගැන සටහනක් කලකට ඉහත අන්තර්ජාලයේ බෙදා හැරිණි. ඔබත් එය කියවන්නට ඇත. 
tv remote controller in hand
පින්තූරය ගත්තේ : www.treasuringchristonline.com

AK - 47 ගිණි අවිය

ලොව පුරා වඩාත් ප්‍රචලිත ඒ.කේ. 47 ගිණි අවිය නිෂ්පාදනය කල මි(ක්)හාඉල් කොලොශ්නිකොව් පසුව පවසා සිටියේ 
"මගේ සොයාගැනීම ගැන මට ආඩම්බරයි නමුත් කනගාටුවට කරුණ වන්නේ එය ත්‍රස්තවාදීන් විසින් භාවිතා කිරීමයි.
මා ඊට වඩා සතුටට පත් වනවා, මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් සොයා ගත්තා නම්, උදාහරණයකට තණකොළ කපන යන්ත්‍රය"

අනාගතයේ පසුතැවිලි වන්නේ කවුද ? 




නමුත් ඉදිරියේදී පසුතැවිලි වියහැකි යැයි විශ්වාස කල හැකි පුද්ගලයින් කිහිප පලක්ම වේ. නමුත් ඒවාට පාදක වූ මුල් සොයාගැනීම් කල පුද්ගලයන් වාසනාවකට අද ජීවතුන් අතර නැත. ඒ කැමරාව පිලිබඳ මූලික සොයාගැනීම් කල පුද්ගලයන්ය. නමුත් කැමරා ෆෝනය සොයා ගත් පුද්ගලයා අනිවාර්යයෙන්ම පසුතැවලි වනවා නොඅනුමානය. ඒ සමාජ ජාලා වෙබ් අඩවි වයිරසයක් තත්වයට පත් වී ඇති අද දිනයේය. තමන්ගේ මුල් සොයාගැනීම කරනවිට ඔහු ඒ තත්වය කිසි විටෙකත් බලාපොරොත්තු වන්නට නැත. 

නමුත් ජංගම දුරකතනයට කැමරාව ඇතුලත් කල පුද්ගලයාවත් බලාපොරොත්තු නොවන මොහොතක ස්මාර්ට් ෆෝන් සහ ෆේස්බුක් ප්‍රමුඛ සමාජ ජාලා බිහි වීම නිසා ඔබ ගන්නා පින්තූර පහසුවෙන් එහා මෙහා විසි කරන්නට හැකියාව සලසා දී ඇත. නමුත් ඒවාගෙන් ඵලදායක දේ සිදු වනවාද යන්න සැකසහිතය. ඇත්නම් ඉතා ස්වල්පයකි. ඒ තමන්ගේ ප්‍රචාරණය සඳහා අධික මිලක් ගෙවූ ආයතනයන්ය. අද ඔවුන් සමාජ ජාල හරහා තමන්ගේ වෙළඳාම ප්‍රවර්ධනය කර ගනිති. ඒ ඇසුරින් රැකියා අවස්ථා ප්‍රමාණයක්ද බිහි වී ඇත. එය මෙහි සාධනීය පැත්තයි. ලෝකයේ බොහෝ සොයාගැනීම් මෙන්ම අහම්බයක් වූ කැමරා දුරකථනය කොයි තරම් සොඳුරු ආරම්භයක්ද යන්න පහලින් ඇති වීඩියෝව සාක්ෂි සපයනවා ඇත.



නිමක් නැතිව තප්පරයකට දහස් ගණනින් අප්ලෝඩ් වන පින්තූර රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති ෆේස්බුක් හිමිකරු වන මාර්කස් සකර්බර්ග්, ඉදිර්යේදී පසුතැවිලි වීමට නියමිත අනෙක් පුද්ගලයායි. මේ වනවිට ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ ජාලා යොදා ගන්නේ ඕපාදුප, මඩ සහ වෙනත් අපචාරයන් සඳහා බව නොරහසකි. අප කුඩා කාලයේ තොරතුරැ දැන ගැනීමේ පිපාසාවෙන් උන් බාල මහලු කවුරුත් සවන් දුන්නේ රේඩියෝවටයි. පසුව රූපවාහිනිය ඒ අඩුව පිරවීය. ඉනික්බිතිව අන්තර්ජාලය කරලියට පැමිණියේය. නමුත් අද එය වසන්ගතයක්ද, විලාසිතාවක්ද එසේත් නැතිනම් සිතු පැතු දේ ලබා දෙන කප්රුකක්ද යන ගැටලුව අප ඉදිරියේ ඇත. එහි ස්වරූපය තීරණය කිරීමේ අවස්ථාව ඔබ ඉදිරියේ ඇත. 

Wednesday, April 22, 2015

අවුරුද්දට නුවර එළියේ යන්නේ ඇයි ? ,,,,,, Why Colombo Citizen visit Nuwara Eliya in Sinhala New Year Season

මේ දවස් වල ඔෆිස් එකේ කණක් ඇහිලා ඉන්න නෑ. ඒ අපිත් එක්ක ඉන්න නෝනා නුවර එළියේ ගිහින් ඇවිත් ඒකෙ පුර වරුණාව එයාගේ ක්ලෑන් එකත් එකක් බෙදා ගන්න අපූරුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහගෙන ඉන්න සිදු වෙලා තිබීම නිසාය. ඉස්සර නම් මටත්, මගේ සගයාටත් මේවාට ඇහුන්කන් දෙන්න අනිවාර්යයෙන් සිදු වුණා. දැන් අපි දෙදෙනාම මේ ඇත්තී සමග ඇයි-හොඳැයියක් නැති නිසා මේවා අසන්නට වෙන්නේ බලහත්කාරයෙනි. එකම දේ දහ පහළොස් වතාවක් අසන්නට සිදු වීම කරුමයකි. මෙවැනි වෙලාවකට මා කරන්නේ ඉයර්ෆෝන් කණේ ඔබා ගැනීමය. 
Nuwara Eliya Flowers Hakgala Gardens
පින්තූරය ගත්තේ : www.sundayobserver.lk

ඉස්සර රටේ බොහෝ දේවල් කොළඹ සිදු වීම නිසා, එය මහලොකු තැනක් වී තිබුණි. අපි කොළඹ යැයි මහත් ආඩම්බරයෙන් කියා ගන්නා පිරිස් අප දැක ඇත. නමුත් අද දකින්නට ඇති තත්වය වෙනස්ය.   ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම කොළඹ මෙන්ම එක සේ නාගරීකරණය වී පවතී. අද ලංකාවේ එක් අයෙකුට අඩුම වශෙන් ජංගම දුරකථන අංක දෙකක් ඇති බව සංගණන වාර්තා පෙන්වා දෙයි. ඩෙනිමද, ස්මාර්ට් ෆෝන් එකද, 3G ද 4G ද එකලෙස කොළඹ මෙන්ම පිට පළාත් වලද ඇත. කොළඹ අයට වඩා පොෂ් විදියට සිටින්නට උත්සාහ කරන ගම්වැසියන්ද ඉඳහිට දැකගත හැක. 

ඇත්තටම කොළඹ ඉපැදුනු අය ඕනෑවට වඩා පොෂ් නැත. පොෂ් වෙන්නට අමුතු උත්සාහයක් ගන්නේද නැත. නමුත් කොළඹට සංක්‍රමණය වූ තදාසන්න ප්‍රදේශ වල අය එය මහත් අභිරුචියකින් කරගෙන යන බව දකින්නට ඇත. ඒ ඔවුන්තුල ඇති කුමක් හෝ හීනමානයක් නිසාය. කොළඹට පිට පළාත් වලින් ආ අය, පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන් වෙනම රංචුවක ජීවත් වෙයි. ඔවුන් අවුරුදු සමරන්නේද, මරණය මගුල කරන්නේද ඔවුන්ගේ පළාතේ සනුහරය සමගය. උදාහරණයකට කොළඹට දකුණින් සංක්‍රමණය වූ අය එකට එකතු වන අතර, නුවරින් පැමිණියවුන් වෙනම එකතු වේ. 

දැන් අපේ මාතෘකාවට එමු. කොළඹ අය අවුරුද්දට නුවරඑලි යන්නේ ඇයි ? නුවර එලියට අප්‍රේල් මාසයට වසන්තය උදා වන නිසාද ? ශ්‍රී ලංකාවට ඉර මුදුන් වන මෙවැනි කාලයක, නුවර එලිය වැනි අධික ශීත දේශගුණයක් ඇති ප්‍රදේශයක මේ කාලය ගෙවා දැමීම පහසු නිසා යැයි බොහෝ දෙනෙකු සිතා ඉන්නට ඇත. නමුත් සත්‍යය එය නොවේ. අද කොළඹ බොහෝ ගෙවල්, හෝටල්, සහ සාප්පු සංකීර්ණ වායු සමනය කර ඇත. එමෙන්ම වාහන වලද වායු සමාන යන්ත්‍ර ඇත. එනිසා ප්‍රශ්නය එය නොවන බව පැහැදිලිය. නමුත් මේ කාරණය පදනම් කරගෙන එහි යන්නෝද විරල නොවේ.

මා පොෂ් වීම පිළිබඳව මුලින් කථා කලේ, මේ ගමන තමන් පොෂ් යයි සෙස්සන්ට පෙන්වන්නට අවුරුද්දට නුවර එලි යන කොටස බහුතරය බව වටහා ගැනීමට අපහසු නැති නිසාය. එසේ නොගියොත් තමන් නෝන්ඩි වන ගතියක් තිබෙන නිසා කෙසේ හෝ නුවර එළියේ බඩ ගාන්නට උත්සාහ ගන්නෝද විරල නොවේ. මේ කාලයට නුවර එළියේ කිසිදු හෝටලයක කාමරයක් සොයා ගැනීම කළුනික හොයනවා වගේ වැඩකි. සියලුම සංචාරක හොටල්ද, නිවාඩු නිකේතනද අතුරු සිතුරු නැතිව පිරී පවතී. රජයේ, සංස්ථා මණ්ඩල ආදියේ නිවාඩු නිකේතන වෙන් කරවා ගන්නට සියල්ලෝම දත කන්නේ එහි යාමට ඇති කැමැත්තට වඩා ශේප් එකයි පාරයි කර ගැනීමට පහසු නිසාය. එකී නිවාඩු නිකේතන ලබා දෙන්නේ නාමික මුදලකට වීම මේ පොරකෑමට හේතු සපයයි. අනෙක එවැනි ස්ථාන වල පහසුකම් අතින්ද කිසිම අඩුවක් නැත. ඉතිං අඩු ගණනකට මේවා වෙන් කරගත්තොත් බෝනස් එකක් වන්නේය. දැන් මෙවැනි ආයතන මේවා වෙන් කරන්නේ ලොතරැයි ක්‍රමයටය. නැතිනම් එවැනි රාජකාරි කරන අයට ලේසියෙන් තමන්ගේ රැකියාව කර ගන්නට නොහැක. මේ ක්‍රමය නොතිබුනානම් එවැනි තැන් වල ජරාව කන්නන්ද වැඩි වනු ඇත. 

සැමදා සීතලත් සමග ඔට්ටුවන නුවර එලිය වාසීන්ට අප්‍රේල් මාසයේ විශේෂත්වයක් නැත. ඔවුන් කරන්නේ තම නිවාස අවුරුදු කාලයේදී කොළඹින් එන්නන්ට බදු දී, ආසන්න ප්‍රදේශයක වෙසෙන තම ඥාතීන් වෙත හෝ දන්නා කියන තැනක නවාතැන් ගැනීමය. එමගින් ඔවුන් සැලකිය යුතු මුදලක් උපයා ගනියි. මේ තරමටම නුවර එළියේ යන්නේ ඇයිදැයි ඔබටද හිතෙන්නට ඇත. සීතලද, බලන්නට තිබෙන හක්ගල මල් වත්තද, ග්‍රෙගරි වැවද, එසේත් නැතිනම් තේ වතුද ?  නැතිනම් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය නිසාද ? මේ කාලයට කොළඹින්ම එහි ගොස් සිටින සූරාකන කඩ සාප්පු කරුවන් නිසාද ? ගොඩක් දෙනෙකු එකතු වන තැනක ෆන් එක වැඩි නිසාද ? මේ කිසිවක් නොවේ. 

සත්‍ය කාරණය මේ වෙනකකි. නමුත් මෙය ඈත අතීතයේ සිට පැවත එන්නක් බව පැහැදිලිය. සුද්දන් රට පාළනය කල යුගය දක්වා දිවෙන පුරුද්දක් බව පැහැදිලිය. සුද්දන් කිසිම දෙයක් හේතුවක් නැතිව කළේ නැත. මේ ප්‍රශ්නයට මා නිවැදි පිළිතුර සොයා ගත්තේ රිවරිනා හෝටල් සමූහයේ සේවය කල කාලයේදීය. ඒ අවුරුද්දට එහි ආ කොළඹ වැසියන්ගෙන් කල විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. අවුරුද්දට ඩවුන් සවුත් යන්නේද, නුවර එලි යන්නේද එකම කරුණකට බව පැහැදිලි වන්නේ එදා නොව අද දිනදීය. එකල සුද්දන්ගේ සහ නගර වැසියන්ගේ ආවතේව කලේ දුර බැහැර ප්‍රදේශ වලින් මෙහි ආ දුප්පත් ගැමියන්ය. ඔවුන් අවුරුද්දට ගමේ යාම සිරිතක් මෙන්ම අනිවාර්ය අංගයක් විය. මේ කාලයේදී අතට පයට සේවකයන් තබාගෙන සිටි සුද්දන් සහ ඒ පන්නයේ ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ දෙයක් කර ගන්නට නොහැකි විය. 

සුද්දා රාජකාරියට කොළඹ සිටියද වඩා ඇලුම් කලේ සීතල නුවර එළියටය. එනිසා ලැබුණු ඉසිඹුවෙන් ඔවුන් නුවර එලියට බඩ ගාන්නට විය. ඒ නිසා ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් වැනි විනෝදය පදනම් වූ තරගාවලි ඔවුන්ම ලක ලැස්ති කර ගන්නට ඇත( එහි පසුබිම පිලිබඳ පැහැදිලි අවුබෝධයක් නැත). සුද්දන් රට හැර ගිය පසු ඉතිරි වූ ඔවුන්ගේ සමීපතමයන්ගේද, නගරයේ රාජකාරි කල අනෙක් අයගේද දින චරියාව සුද්දන්ට දෙවෙනි නොවීය. පසුකාලීනව මේ රැල්ලට සිදු වන්නට විය. කොහොමත් කොළඹ තිබෙන සියලු ආයතන, කඩ සාප්පු, සේවා සපයන ස්ථාන වල සේවකයන් පිට පළාත් වල ජනතාවය. මේ අය අවුරුදු නිවාඩුවට ගමේ ගියවිට කොළඹට ඇඳිරි නීතිය මෙන් වෙයි. මුළු නගරයම පාළු ස්වභාවයක් උසුලයි. කොළඹ වෙසෙන්නන්ගෙන් 40% දකුණේ අය බව මා කොහේ හෝ කියවා ඇත. දකුණේ අය අවුරුදු සමරන්නේ තම උපන් ගම්පියසේදීය. ඉතින් එනිසා ඒ මත යැපෙන කොළඹ පොෂ් හෝ නොපොෂ් අයට වෙනත් පලාතක් බලා යාමට සිදු වීම අරුමයක් නොවේ. අවුරුද්දට නුවර එළියේ යන්නේ එහි ඇති කෙන්ගෙඩියක් නිසා නොවන බව දැන් ඔබට පැහැදිලිය. 

තමන්ට හවුහරණක් නැති මොහොතක සිදු වූ ඇබැද්දියක්, තමන් විඳි කුමාර සැපක් සේ පාරම් බාන මිනිසුන්ට අප අනුකම්පා කල යුතුය. 

__________________________________________
අද ලෝක මිහිකත දිනයයි. අද දිනයේදී වැඩිවන උෂ්ණත්වය ගැන කථා වනු ඇත. ඒ අතින් ගත් විට මෙය කාලීන මාතෘකාවකි. 
මෙය කියවන ඔබද අවුරුද්දට නුවර එලියට යන්න ඇත. සමහරවිට දරුවන් සමග අවුරුදු නිවාඩුව ගත කරන්නට විය හැක. නමුත් මගේ විවේචනය එවැනි අය ගැන නොව රැල්ලට සහ පොයියට එහි යන්නන් ගැනය. 

Saturday, March 28, 2015

මෙන්න කරනවා නම් වැඩ : ශ්‍රී ලංකාවේ නම් දිග වැඩිද ? Are Sri Lankan names too long ?

ආහ් ! අයිඩියාස් ගැන මා කොතැනක හෝ ඔබට පවසා ඇතත්, මට එය පිළිපදින්නට නොහැකි වීම නිසා මාසයක් පමණ කාලයක් බ්ලොග් සටහනක් නොලියා සිටින්නට මට හැකි විය. යම් දෙයක් පිළිවෙතක් සේ කරගෙන යනවිට අබිං කෑවා සේ කරගෙන යන මා, එම ක්‍රියාව නවතුවහොත් ඒ පැත්ත වත් නොබලා, එහෙම දෙයක් කළාදැයි විචාරයක් නැතිව සිටින්නටද ඒ ලෙසම දක්ෂය. මගේ මේ ලක්ෂණයට විටෙක මගේ සමීප මිතුරන් සිනා සේ. මා අලුතෙන් දෙයක් පටන් ගන්නා විට "වැඩි කලක් කරන එකක් නෑ" යන්න ඔවුන්ට හිතෙන දේ විය හැක. නමුත් කියන්න අවැසි දේ පසෙක ලා මා මාතෘකාවෙන් පිට පැන්න අවස්ථාද මාගේ බ්ලොග් අත්දැකීම තුල විරල නැත. ඉන් සිදු වන්නට ගියේද එවැනි වැඩකි. තවත් මොහොතක් ගියානම් මා මා ගැනම ස්වයං විවේචන ලිපියක් ලිය හමාර කරන්නට ඉඩ තිබුණි.
Pen and the application form
පින්තූරය ගත්තේ : http://www.sra.gov.ph/

මිනිස්සුන්ගේ නම් ගැන මට තිබෙන්නේ පුදුම උනන්දුවකි. ඕනෑම කෙනෙකුගේ නමක් ඇසු විට ඒ ගැන මොහොතක් කල්පනා කිරීම මගේ සිරිතය. මේ වනවිට නම් සම්බන්ධ පොස්ට් කිහිපයක්ම ලියා තිබේ. ඒ කලින් කී කුතුහලය නිසාය. නමුත් මාගල් වැනි දිග නම් තිබීමෙන් තමන් මෙන්ම අනෙක් අයද අපහසුතාවට පත්වන බව ඔබටත් සිතුනාද ? මේ මාතෘකාව මගේ සිතට ආවේද  ආහ් ! අයිඩියා එකක් විලාසය. වාසනාවකට අද උදෑසන මගේ මතකයට එය යලිත් ආවේය. නැතිනම් එයද ගං ජලයට විසි කල ගල් කැටයක් මෙන් එහි පතුල සොයා යනු ඇත.

මෙය කොතනින් පටන් ගන්නදැයි මගේ සිතට දෙගිඩියාවක් දැනේ. දෙගිඩියාව යනු යම් දෙයක් ගැන දෙපැත්තට සිතීමය. "එක්කෝ කරනවා - අනේ බෑ. එහෙම කරලා ලෙඩක් වැටෙයිද ?" වගේ සිතුවිල්ලකට වැටීම දෙගිඩියාව ලෙස අපි දකිමු. සමහරවිට තුන් පැත්තකට හිතන්නට වෙන වෙලාවල්ද තිබිය හැක. එයට අපි තෙගිඩියාව යයි නොකීවද, ඇත්ත වශයෙන්ම භාවිතා කළ හැකි වචනය එයයි. හොඳයි, අපිට ඒ වගේ හතරක්, පහක්, හයක් හතක් අන්ත එකවිට පොදි ගැසෙන විට අප භාවිතා කල යුත්තේ කුමන වචනයක්ද ? සිවුගෙඩියාව, පන්ගෙඩියාව, හයගෙඩියාව, හත්ගේදියාව, අටගෙඩියාව.... වගේ ඒවාය. ඔහොම හිතන්නට ගියහොත් තව අපූරු වචන එලියටා එන්නට හැක. නමුත් මේ වෙලාවේ මට එන්නේ මල්ටිගෙඩියාවකි.

හොඳයි මට තියෙන ප්‍රශ්නය "ලංකාවේ අපේ නම් මෙච්චර දිග ඇයි ?" මෙය සමාජ ප්‍රශ්නයක් නොවේද ? ඇත්ත වශයෙන්ම මෙය ප්‍රශ්නයක්. මොකද අපේ පැරණි අය නම් දමා ගැනීමේදී "යකා දොඩංගොඩ බදා ගත්තා වගේ" ප්‍රතිපත්තියක් අනුගමනය කලද ? යම් අයෙක් ඔබ අමතන්නේ එක් නමකිනි. රාජකාරි මට්ටමෙන් නම් නම සහ වාසගම සමග නම් දෙකකිනි. නැතිනම් භාවිතාවට පහසු නමකිනි. මේ වෙලාවේ දහසක් උදාහරණ ඔබේ හිතට එන බව මම දනිමි. අපේ හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍රරාජපක්ෂ වුවද මේ රටේ හෝ ලෝකයේ ඔහු දන්නා අය ඔහුට අමතන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙනි. මගේ කාර්යාලයේ දම්මිත් නමැති මිතුරෙකු සිටී නමුත් කිසිවෙකු ඔහුට දම්මිත් යනුවෙන් අමතන්නේ නැත. දම්මික යන ආමන්ත්‍රණයට පහසු නමකින් සියල්ලෝම ඔහු අමතයි. 

අපේ කාර්යාලයේ ප්‍රශාන්තිලා දෙදෙනෙකු ඇත. ඔවුන් ලොකු ප්‍රශාන්ති සහ සහ පොඩි ප්‍රශාන්ති යනුවෙන් මුලින් අමතා පසුව පොඩි ප්‍රශාන්තිට "පොඩ්ඩි" යනුවෙන් අමතන්නට පටන් ගෙන ඇත. දැන් ඇය පොඩ්ඩිය. නමුත් ඇගේ නියම නම ප්‍රසන්ති ය, මේ වගේ උච්චාරණයට අමාරු නම් ජනතාව කිසිදු විටක බාර නොගනී. ඔවුන්ගේ දෙමාපියන් දහසක් බලාපොරොත්තු ඇතිව ඇයට තබන ලද අපූරු නමට පින් සිදු වන්නට අද ඇය පොඩ්ඩි බවට පත් වී ඇත. මේ මොහොතේ නොකියාම බැරි තවත් කාරණයක් මගේ මතකයට එයි. ඒ මා බැංකුවට බැඳුනු මුල් කාලයේ අත්දැකීමකි. ඉහත කී උදාහරණය නිසා මා "කොටා" නොවී බේරුණේ අනුනමයෙනි. කතාව මෙසේය. 

මා ඉපදී හැදී වැඩුණු බෙන්තොට නොහොත් බෙන්තර ගමේ සියල්ලන්ම පාහේ මා අමතන්නේද, මා ගැන දන්නේද "සුභාෂ්" යන නමිනි. ඉතිං බැංකුවට ආ විට මගේ නම විමසන විට එය සුභාෂ් යනුවෙන් කියූවේ පුරුද්දටය. නමුත් මෙතන පොඩි කොස්සක් තිබුණි. ඒ මා සමග තවත් සුභාෂ් කෙනෙකු මේ දාහත් දෙනෙකුගේ කණ්ඩායමේ සිටීමය. නමුත් අහඹු ලෙස ගත්විට ලංකාවේ මිනිසුන් ලක්ෂයක සුභාෂ් ලා දෙදෙනෙකු සොයා ගත හැකිද ? වඩා රසවත් කාරණය අනෙකා මට වඩා අඟල් හය හතක්ම උස වීමයි. ටික දිනකින් ඔහු "උස සුභාෂ්" ද, මා නිකම්ම සුභාෂ් ද යනුවෙන් යනුවෙන් අමතන බව මට දැනිණි. නමුත් ඔවුන්ගේ පෙර අත්දැකීම් අනුව උස කෙනාට "දිගා" යනුවෙන් අමතනු දැක ගත හැකි වූ අතර, මෙවර එය සුභාෂ්ට පට නොබැඳෙන බවට සහතිකය. මිටි සුභාෂ් යනුවෙන් එකෙකු හෝ මා ඇමතීමේ අවදානම ඇත, සමහර විට කෙනෙකු කොට සුභාෂ් යනුවෙන් මා ඇමතිය හැක. එසේ වුවහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් මා කොට සුභාෂ් වී පසුව කොටා වනු ඇත.  එවෙලාවේ බුද්ධිමත්(කට්ට) වූ මා ඉල්ලා සිටියේ මට දිල්රුක් යනුවෙන් අමතන ලෙසය. එවැනි වෙලාවල් වල උපක්‍රමිකව පල්ලම් බැසීම ප්‍රඥාගෝචරය. :)


මිනිසුන්ට කෙතරම් දිග නම් තිබුනද, සෙසු අය ඔවුන්ව අමතන්නේ ආමන්ත්‍රණයට පහසු නම් දෙකකිනි. අපේ රටේ අයගේ නම් දිග වැඩි යයි මැසිවිලි නගන්නේ විදෙස් රටවල ආගමන විගමන නිලධාරීන් බව ඔබ දන්නවාද ? ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කෙරෙන පාස්පෝට් ලියවිල්ල හොඳම උදාහරණයය. එහි මාගල් වැනි දිගු නම් වලට ඉඩ නැත. ඔබේ නමින් කොටසක් එයින් ගිලිහී තිබෙනු සමහරවිට ඔබ දැක තිබෙන්නට පුළුවන්. ඒ පෙර කී ප්‍රමිතිය නිසාය. ඔබේ උප්පැන්න සහතිකය දෙස විමස්ලිමත්ව බැලුවොත් එහි නම ලිවීවට ඇති ස්ථානයේ පේලි දෙකකට නම් ලිවීමට ඉඩ ඇති බව පැහැදිලි වනු ඇත. නමුත් එසේ නම් දහයක් පමණ තිබීම කාගේ පහසුවට හේතු වේද ? මේ ඒවා නිවැරදි කර ගැනීමට කදිම කාලය බව මට මෙන්ම ඔබටද සිතෙන්නට හැක. ඔබට කොපමණ දිග නමක් තිබුනද, ඉන් ලැබෙන වාසියක් නැත්තේය. එකම වාසිය වන්නේ ඔබව යම් වරදකට නීතියේ රැහැනට කොටු කිරීමට ඇති පහසුව පමණි. ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගන්නා විට "ඔබේ මවගේ අවිවාහක නම" කුමක්දැයි අසන්නේද මේ කාරණයටය. හේතුව ඔබව තනිකර අඳුනා ගැනීමට බව ඔබට නොසිතෙන්නට ඇත.  මෙය වෙනත් ජාතීන්ට ගැටළුවක් වුවද අපටනම් මහලොකු ගැටළුවක් නොවේ. 

හිතන්න, අපේ රටේ මුස්‌ලිම ජාතිකයන් නම් තබන ආකාරය. බොහෝ දෙනෙකුට මොහොමඩ් හෝ අහමඩ් කියන පොදු නාමය ඇත. බොහෝ දෙනෙකුට මොහොමඩ් කෑලි දෙකක් ඇත. උදාහරණයක් ලෙස "මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන්" මෙහි මොහොමඩ් රියාස් යනු ඔහුගේ පියාගේ නමේ කොටසකි. මේ ආකාරට ඔහුගේ පුතෙකුට නම් තබන විට මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම් තැබීම කරනු ඇත. අපේ දමිළ සහෝදරයෙකු නම් තබන්නේ පියාගෙන් නම මුලට ගෙන වෙනත් නමකිනි. මුත්තයිය්යා මුරලිදරන්ගේ පියාගේ නම අවසන් වන්නේ මුරලිදරන් මුත්තයියා (රසිකලොජිස්ට් ගෙ නිවැරදි කිරීම අනුව)යනුවෙනි. මේ ආකාරයෙන් නම් තැබීම නිසා එම ජාතීන් දෙකට තිබෙන්නේ සීමිත නම් ප්‍රමාණයකි. වෙනත් යුරෝපීය ජාතීන්ටද සීමිත නම් ප්‍රමාණයක් ඇත. එවැනි නම් ඇති අවස්ථාවක හරියටම කෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට නම් මවගේ අවිවාහක නම වැදගත් වේ. නමුත් කෝල් සෙන්ටර් වල සිටින කොල්ලන් කෙල්ලන් මෙය පුද්ගලයන් හඳුනා ගැනීමට යොදා ගැනීම අද විහිළුවක් බවට පත් වී ඇත. මෙසේ මවගේ නම වැදගත් වන්නේ කලින් කී මොහොමඩ් රියාස් මොහොමඩ් ඉර්ෆාන් යනුවෙන් නම ඇති සමාන පියවරුන්ගේ නම් ඇති අය බහුලව සිටින නිසාය. දමිළ නම් වලද මේ සම්භාවිතාවන් වැඩිය. 

ලංකාවේ සිංහල කෙනකුට තිබෙන සාමාන්‍ය නම් ගණන කවුරුන් හොඳ ගණනය කර ඇතිද ? එය විශ්ව විද්‍යාල සිසුවෙකුට කරන්නට කදිම ව්‍යාපෘති මාතෘකාවක වනු ඇත. දකුණු කොරියාවේ පිරිමින්ගෙන් 92% කට "කිම්" යන නාමය ඇති බව මා කියවා ඇත. එවැනි පොදු නාම රටක පැවතීම සාමාන්‍ය වුවද, නම් පහක් හයක් පැවතීම අසාමාන්‍ය ලක්ෂණයකි. 

මගේ මතකය දිව යන්නේ මා මහජන බැංකුවට එකතු වූ මුල් කාලයටය. එකල අපට ශාඛා පරිගණකගත කිරීමට දත්ත ප්‍රවේශනය කිරීමට සිදු විය. එවැනි විටෙක "ඇත්තටම මොකටද මෙච්චර දිග නම් ?" කියන සිතුවිල්ල මට සිය දහස් වරක් ඇති විය. 1998 දී අප දෙපාර්තමේන්තුවට එකතු වූ එක් සොයුරියක් නිසා අපගේ වැටුප් වලට අදාළ පරිගණක පද්දතියක නම සඳහා ඇති ඉඩකඩ වෙනස් කිරීමට සිදු විය. හේතුව අැගේ නමට මුලකුරු දහයක් පමණ පැවතීමයි. එනිසා ඇගේ සම්පූර්ණ නම ඇතුලත් කිරීමට නම් පද්දතියේ ඒ සඳහා වන ඉඩකඩ පුළුල් කිරීමට සිදු විය. පුද්ගලයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් වන නාමයක් හැරෙන්නට ඒ පුද්ගලයාගේ ගම, දරන ලද පදවි තානාන්තර ආදිය එකතු කිරීම ඇත්ත වශයෙන්ම විහිළුවකි. මේවා අතීතයේදී නම්බුවට කාරණා වුවද අද කාලයේදී වෙනස් විය යුතු බව පැහැදිලිය. මගේ දියණියට නම් තැබීමේදී මේ සම්ප්‍රදාය වෙනස් කිරීමට මා උත්සාහ කලද, මගේ මවගේ දැඩි පෙරැත්ත කිරීම මත මටද හැම දෙනාම යන පාරේ යන්නට සිදු වියේ.

අප මෙසේ නම් කෙටි කර ගත යුත්තේ ඇයි ? වසර දෙදාහේදී සෑම දිනයක්  සඳහන් වන තැන එහි වර්ෂය  අංක හතරකින් ඉදිරිපත් කිරීමට සිදු වූවා ඔබට මතක ඇත. ඒ පිලිබඳ සමීක්ෂණයක යෙදුනු එක් පුද්ගලයෙක් එම කටයුත්ත නිසා වසරක් වෙනුවෙන් සිදුවන මුද්‍රණ වියදම(එක් ආයතනයක) ගණන් බලා තිබුණි. එය මිලියන ගණනක් බව මගේ මතකයයි. අප මොහොතකට සිතමු, ශ්‍රී ලංකාවේ සෑම පුද්ගල නාමයක්ම නම් දෙකකට සීමා කළා කියා. එනිසා ලබා ගත හැකි ලාභය කොපමණද ? එවැනි නමක් සඳහන් වන සෑම ස්ථානයකම යම් ඉඩ ප්‍රමාණයක් ඉතිරි වේ. උප්පැන්නය, ජාතික සහ කාර්යාල හැඳුනුම්පත්, සියලුම පරිගණක පද්දති වල නම් සඳහා තැබෙන ඉඩ ප්‍රමාණය, මේ සියල්ලේම මුද්‍රණ වියදම්, සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැක. දුරකථන නාමාවලියක ප්‍රමාණය අර්ධයක් වනු ඇත. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා වලද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත. පරිගණක පද්දති සඳහා වැය වන මුදලද අඩු වනු ඇත, ඒවා බැකප් කරන ටේප්, සී.ඩී. පට සහ පෙන් ඩ්‍රයිව් වල ධාරිතාවද සෑහෙන ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැක. ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලටද පැටවෙන බර අඩු වනු ඇත. 

මෙවැනි රැඩිකල් වෙනසක් ඇති කල හැක්කේ රටක පාලනයටය. එවැනි වෙනසක් කළහොත් රටේ සමස්ත කාර්යක්ෂමතාවද යම් මට්ටමකින් ඉහල යනු ඇත. මන්ද මේ නම් කියවීමට යන කාලය වුවද මිලට සම කල හැකි ධනයක් වීම නිසාය. 

බුදු දහම අදහන රටක සිටින අපි නාමයක් - රූපයක් නැති ආත්මයක් සඳහා කෙටි කාලීන නම් දීමේදී මෙතරම් ආත්මාර්ථකාමී වන්නේ ඇයි ?

______________________

යලිත් බ්ලොග් සටහනක් ලිවීමට මට බල කල එලද බ්‍රා මෙන්ඩියාගේ ඉල්ලීමට ඇහුන්කන් දීමක් වශයෙනි.

Thursday, December 4, 2014

බස්රථවල රඟන නරුම කොන්දොස්තරවරු ......

බ්ලොග් පොස්ට් එකක් ලියන්න අවශ්‍යතාව තිබූ සෑම මොහොතකම, මා ඉතා කාර්යබහුල විය. මා හට ඉඩක් ලැබෙන මොහොතක් වෙයිද, වෙනත් හේතු කාරණාවක් නිසා පරිගණකය ඉදිරියේ වාඩි වීමට නොහැක. එක්කෝ මාගේ දියණිය එය පරිහරණය කරයි. නැතිනම් රූපවාහිනියේ කුමක් හෝ මා කැමති වැඩසටහනක් විකාශණය වේ. ලියන්නට කදිම මාතෘකාවක් මාගේ මිතුරකු සපයා දී තිබියදීත්, එය කල් දම්මන්නට සිදු වුයේ කලින් සඳහන් කල කාරණාය. මා මේ බ්ලොග් සටහනක් දමන්නේ දවස් දහයක නිහැඬියාවකින් පසුවය. අදද මෙය සම්පූර්ණ කල හැකිදැයි විශ්වාස නැත. 

පසුගිය සිකුරාදා තරම් මා චිත්තප්තාපයකින් ගෙවූ දිනයක මගේ මතකයට නොනැගේ. ඒ පසුගිය සතියේ ලොව කැළඹූ පිලිප් හියුස්ගේ ඛේදනීය මරණය නිසාය. එය වාර්තා වනවිට මා සිටියේ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගනයේය. එදින වනවිට අපගේ සයසාමාජික ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය විය. හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් ලැබුණේ මේ මරණයයි. ඒ මොහොතේම තරගය මොහොතකට නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා, ශෝකය පල කරන්නට අප කටයුතු කළේ ලෝකයේ කොහේ හෝ කෙළවරක සිදු වූ මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපගේ සිත්සතන් කම්පනයට හේතු වූ නිසායා. එම සිද්ධිය පිලිබඳ සියලු තතු ඔබ සැම පසුගිය දිනවල මාධ්‍ය වලින් දකින්නට ඇත. නමුත් මා කියන්නට යන්නේ වෙනත් කතාවකි.

පෙරකී පරදීම එම සිදුවීමෙන් කම්පිත සිතෙන් කාර්යාලයේ කාලය ගත කරද්දී, කාර්යාලයේ හිතවතෙකු පැමිණ කල හෙළිදරව්ව මේ කම්පනය තවත් තීව්ර කළේය. මෑතක සිට ඔහු රාජකාරියට පැමිණෙන්නේ රත්නපුර සිට කොල්ලුපිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයකිනි. එවැනි කාර්යාල බස්රථ ඕනෑතරම් එහා මෙහා යනු අප දැක ඇත්තෙමු. කොළඹට ආසන්න නගර වල සිට හෝ තරමක් ඈතින් ඇති නගර වලසිට පැමිණෙන මේ බස් රථ මගින් සිදුවන සේවය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. පසුගිය සිකුරාදාද සිරිත් පරිදි මේ බස්රථය කඩුවෙල නගරය පසුකර කොල්ලුපිටිය බලා ගමන් ගෙන ඇත. මෙය සාමාන්‍යයෙන් සීඝ්‍රගාමී බස් සේවාවක් වුවද, එහි රියදුරු මද වේගයෙන් බසය ධාවනය කර ඇත. 

කඩුවෙල නගරය පසුවත්ම ඇති  නැවතුමේ බස්රථය නරත කල මොහොතේ අවුරුදු අටක නවයක පාසල් ඇඳුමින් සැරසීගත් දැරියක් දුවැවිත් බසයට ගොඩ වී ඇත. මේ අවස්ථාවේ ඉදිරි කවුළුවේ සිටි කොන්දොස්තර වරයා 
"මාලඹෙන් එහා යන අය විතරක් නගින්න"
යනුවෙන් බෙරිහන් දී ඇත. මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ මා බොහෝදිනවල ගමන් ගන්නා ගල්කිස්සේ සිට පැමිණෙන ඉසුරුපාය බස් රථයයි. එහි කොන්දොස්තරවරයාද බත්තරමුල්ලෙන් මෙපිට කිසිවකුට ගොඩ වන්නට ඉඩ තබන්නේ නැත. යම් හෙයකින් නුපුරුදු කෙනෙකු ගොඩ වැදුනාද ? ඒ අසල සිට නෝක්කාඩු බසින් කියවන්නට පටන් ගන්නේ, එහි ගොඩවූ මගියාට යලිත් දිනක එහි නොයන්නට මතකයේ රැඳෙන ආකාරයකට. නමුත් කිසිදු හිත් රිදවීමක් ඇති නොවන අකාරයකට.
"මේක ස්ටාෆ් බස් එකක්. අපි අටහාමාර වෙන්න කලින් පැලවත්තට යන්න ඕනේ. ඉතිං අතරමග සෙනග බස්සන ගියොත් අපිට පරක්කු වෙනවා"
මෙය ඔහු කියවාගෙන යන්නේ දිව මතුරක් සේය. ඔහුට ඇතිවන්නේද නැත. මගීන්ට ඇති වන්නේද නැත. එමගින් බසයේ ගමන් ගන්නා සුපුරුදු මගීන්ගේ සිත් සතුටු වන බව ඔහු දනී.  දියණිය බසයට ගොඩ වී මොහොතකින් පසුපසින්, එක් අතකින් කිහිලි කරුවක් දරා සිටි ඇයගේ පියාද බසයට ගොඩ විණි. මොහොතකින් තම දියණිය අසලට එන්නට ඔහුට හැකි විය. පෙනුමෙන් ඔහු ක්‍රියාන්විතයකදී අනතුරට පත්ව සේවයෙන් විශ්‍රාම ගත් අයෙකි. මේ දෙදෙනා අසලට  කොන්දොස්තර වරයා ආ විට පියා
"අපි පිට්ටුගලට යන්නේ. දුවට අද විභාගේ තියෙනවා. නැත්නම් මේ බස් එකට නගින්නේ නෑ. පරක්කු වෙන නිසයි නැග්ගේ"
යනුවෙන් ඉතා යටත්ව පවසා ඇත. කිසිත් නොපැවසූ කොන්දොස්තර වරයා එක් වරම මේ අබාධිත පුද්ගලාගේ කමිසයෙන් ඇද ඔහුට පහර දී ඇත. ඔහුද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.

"අනේ..... අපේ තාත්තාට ගහන්න එපා...."
අසරණ දියණිය කඳුළු පිරි දෙනෙතින් පවසා ඇත. මෙසේ ගුටි කෙළිය යත්දී එය නවත්වන්නට බසයේ කිසිවෙක් ඉදිරිපත් වී නැත. බොහෝ දෙනා මේ රියදුරු සහ කොන්දොස්තර වරයා හොඳින් හඳුනයි. අනෙක කොන්දොස්තරගේ මේ ගෝරනාඩුව ඔවුන් වෙනුවෙනි. ඒ වෙලාවට රාජකාරි සඳහා ඔවුන් රැගෙන එන්නය. එහු වූ බොහෝ අයද අර විශ්‍රාමික රණවිරුවාට නෝක්කාඩු බසින් කථා කර ඇත.
"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ? මේක නවත්වන්නේ මාලඹේ කිව්වා ඇහුනේ නැද්ද ?"
වැනි වදන් වලින් ඔහුට බැන ඇත. මේ පුවත ඇසු මගේ හිත එතැනම කඩා වැටුණි. අවුරුදු පහකට පෙර මේ සිදුවීම වූවානම් රණවිරුවාට ලැබෙන ගෞරවය හිතා ගත හැකිද? අද ඔවුන් අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කර දමන්නට අප අකාරුණික වී ඇතිද ? ලංකාවේ සිටින්නේ කලගුණ  නොදත් කුහක ජනතාවක් බව මින් පසක් නොවන්නේද? රණවිරුවන් ඇස්-හිස්-මස්-ලේ දන් දුන්නේ අප කවුරුත් වෙනුවෙන් නොවේද? මගේ සිත කෝපයෙන්ද, දෑස කඳුළු බිඳුවකින්ද නැහැවී යන්නට විය. තම දියණිය ඉදිරියේදී පියෙකුට පහර කෑමට ලක් වීමට සිදු වීම නිසා ඔහුගේ හදවත කෙතරම් කඩා වැටෙන්නට ඇත්ද ? තමා ආබාධිත බව අමතක කර ඔහු හා සටන් වැඩෙන්නට ඔහුට හිතෙන්නට ඇත්තේ, රණබිමේදී සටන් වැදීමට උප්පත්තියෙන්ම ලද මොරාල් එක නිසා වන්නට ඇත. මේ මොහොතේ බොහෝ කරුණු මගේ හිතට නැගේ.

 ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීයා සමග මුහුණට මුහුණලා සටන් කල ඔහු, අද වැටී ඇති අසරණ තත්වය තුල කොන්දොස්තර කෙනෙකුගේ වාග් සහ ශාරීරික ප්‍රහාරය හමුවේ අසරණ වී තිබේ. රණවිරුකම පැත්තකින් තබමු. අබාධිතයෙකුට පහර දීමට තරම් පහත් මට්ටමකට වැටීමට පිරිමියෙකුට හැකිද ? දරුවකු හඬා වැටෙද්දී පහර දෙන්නට ඔහුගේ අත එසවුනේ කෙසේද ? තලංගම ඩිපෝවට අයිති මේ කොන්දොස්තර වරයා ජඩයකු ලෙස හැරෙන්නට හඳුන්වන්නට හැකි වෙනත් විශේෂණ පදයක් මේ මොහොතේ මගේ සිතට නොනැගේ. මේ සමගම මගේ හිතට නැගෙන්නේ මගේ දියණියට වයස අවුරුදු තුනේදී පමණ මුහුණ දුන් අත්දැකීමකි. 

එය සති අන්තයේ දිනයකි. දියණියගේ කොණ්ඩය කැපීමට අවශ්‍ය කාලයත් ඉක්ම ගොස් අත. අතේ තිබූ සීමිත මුදලද සහිතව සොයුරියගේ කාරයට ගොඩ වූ මමත්, සිනිගි දියණියත් නුගේගොඩ බලා පිටත් වූයෙමු. කොහුවල සිට නුගේගොඩ දක්වා ඇති සක්යා ආයතනය පසු කර යන පාරේ ඉතා ප්‍රවේසමෙන් රිය පැදවූ මා නුගේගොඩ කේ.එෆ්.සී. පැත්තට හරවනවාත්(මෙය අංශක 90ක වංගුවකි. වම්පස ඇත්තේ තාප්පයකි) සමග ඉදිරියෙන් පැමිණිරථයක් හා ගෑවිණි.වහාම ඉදිරියේඇති වාහනයෙන් බැසගත් පිරිමියෙකු  මට  රිවස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ මොහොතේ කාර් දෙකේ බෆර් ඇතිල්ලිනි. වාහනය පදවාගෙන විත් තිබුණේ කාන්තාවකි. ඔවුන් දෙදෙනාම එය මගේ වරද බවට චෝදනා නගන්නට විය. මා කිසිදු තර්කයක් නොකර අලාභය ගෙවන්නට පොරොන්දු වුයෙමි. මේ මොහොතේ දියණිය වාහනයේ බව පසක් වී ඈ රැගෙන එන්නට වාහනයට ගමන් ගතිමි. ඉහිං කනින් දාඩිය පෙරාගෙන සිටින ඇය දුටු විට මගේ සිතට විශාල දුකක් ඇති විය. අැයත් සමගම පැමිණ ඔවුන් සමග සාකච්ඡා කරන්නට හදන විට
"මහත්මයා ඔයා මේ ළමයාත් අව්වේ තියාගෙන මේවා කථා කරන්න ඕනේ නෑ. ඔයා සැලුන් එකට යනවා කිව්වා නේද? ඔයා ඒ ගමන යන්න. මම ටෙලිෆෝන් කරලා ගාන කියන්නම්"
 පිරිමියා පැවසීය. ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අප දෙදෙනා නුගේගොඩ සව්සිරියට ගමන් ගතිමු. ඇය කොණ්ඩය කපන අතරතුරත් මා කල්පනා කලේ ගෙවන්නට වන මුදල පිලිබඳවය. මේ මොහොතේ මා සතුව එතරම් මුදලක් නැති බව දැනී, යම් බියක් හිතට ඇතුළු විණි. මෙසේ වික්ශීප්තව බලා සිටිද්දී මගේ දුරකථනය නාද විය. ඒ ඔවුන්ය. ගැහෙන සිතින් මා පිළිතුරු දුනිමි. එවරදපිරිමියාගේ හඬ අවධි විය

" මහත්මයා අපේ වාහනය හදන්න ඔයා වියදම් කරන්න ඕනේ නෑ. ඒක සුළු ටින්කරින් වැඩක් නේ. අපි හදා ගන්නම්"
 මේ මොහොතේ මගේ දෑසට කඳුලක් නැගිණි. ඒ ඔවුන්ගේ කාරුණිකත්වය වෙනුවෙනි. මා දරුවකු සමග සිටින විට ඔවුන් හැසිරුණු ආකාරය බලන්න.

ඉතිං ඉහත කී කොන්දොස්තර වරයා හැසිරුණු ආකාරය කොයි තරම් සාධාරණද ?

Sunday, July 13, 2014

වෙළඳ සමාගම වලට ජංගම දුරකථන අංකය ලබා දෙන්නේ බලාගෙනයි....... Be careful when providing your mobile number to Companies

2013 දී රෙඩ්බුල් ආයතනය විසින් සංවිධානය කරන ලද, ලෝක කුසලනා සරසවි ක්‍රිකට් තරගාවලිය ආවරණය කරන්නට මාධ්‍ය හැඳුනුම්පතක් පැළඳ, ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙහි මාධ්‍ය කුටියට පිවිසෙන්නට මටත් වරම් ලැබුණා. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධකම කියන බොහෝ දෙනෙකු සමග නිදහහසේ අදහස් හුවමාරු කරගන්නත් අවස්ථාව එළඹුණා. 
mis use of mobile number sending junk sms
පින්තූරය ගත්තේ : http://www.jatxt.com

මේ මාධ්‍ය කුටිය තුලම ක්‍රිකට් ක්‍රීඩාවට සෘජුව සබඳකම් නොදක්වන පිරිසකුත් වෙනස් ආකාරයක මාධ්‍ය ආවරණයක යෙදී සිටියා. ඒ අතරින් පාකිස්තාන යුවතියක් වූ මාරියා මම සහ නදීර සුහද පිළිසඳරක යෙදී සිටින මොහොතක මගේ ජංගම දුරකථනයට ආ කෙටි පණිවුඩයක් අවසානයේ මා එය අනවශ්‍ය, වෙළඳ ප්‍රවර්ධනය සඳහා එවනු ලැබූවක් බව පවසා සිටියා. ඒ මොහොතේ ඒ පිලිබඳ දීර්ග විග්‍රයහයක නිරත වූ පාකිස්තානු යුවතිය මරියා පවසා සිටියේ  


"ඇයි ඔබ එස්.එම්.එස්. මාකටිං ගැන දන්නේ නැතිද ? පකිස්තානයේ නම් එය ජනප්‍රියම වෙළඳ ප්‍රවර්ධන මාධ්‍යය වී හමාරයි"

යනුවෙනි. ඒ වනවිට එම ගනයේ එස්.එම.එස්. කිහිපයක්ම ලැබෙමින් පැවතියද, අද පවතින තත්වයට කරදරකාරී මටටමකට එය එළැඹේ යයි සිහිනෙකින් වති සිතුණේ නැත. ඒ වනවිට පාකිස්තානයේ දෛනික සාමාන්‍ය කෙටි පණිවුඩ ප්‍රමාණය විසි හයක් බව ඇය පවසා සිටියා.

2013 දී මෙය එතරම් ගැටළුවක් නොවුනද, ඉන් හරියටම අවුරුද්දක් පසු වූ තැනදී මට මෙය මහත් හිසරදයක් වී ඇත. ඔබගේ ජංගම දුරකථන අංකය ඔවුන්ට ලැබෙන්නේ කෙසේද ? මෙය ඉන්පසු ඔබට ඇතිවන ගැටලුවයි, නමුත් මදක් මේ පිලිබඳ කල්පනාවක යෙදුනහොත් එය ලබා දී ඇත්තේද ඔබම බව ඔබට පසක් වනවා ඇත. කෙසේද ? මදක් සිතා බලන්න

ඔඩෙල්, නෝලිමිට්, හමීඩියා, කීල්ස්සුපර්, ආර්පිකෝ, ඩයලොග් සහ කාගීල්ස් ආයතන ඔබට ලොයල්ටි කාඩ් ලබා දෙති. එසේ ලබා දෙන්නට ඔබ පුරවන අයදුම්පතට ඔබ ජංගම දුරකථන අංකය ඇතුලත් කලබව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේ ලබාගත් අංක ඔවුන්ගේ දත්ත ගබඩාවල පසුගිය කාලයේ තිබෙන්නට ඇත. නමුත් මේ ප්‍රවර්ධනය ආරම්භ වූ පසුගිය අවුරුද්ද තුල මේවා ක්‍රම-ක්‍රමයෙන් භාවිතා කරන්නට ඔවුන් තීරණය කරන්නට ඇත්තේ, ඒ ආයතන සමග ගනුදෙනු සඳහා ඔබ නිතර නොයන බව වැටහුන පසුවය.

ඔවුන් ඔබගේ අංකය ලබා ගන්නා තවත් ක්‍රමයක් වෙයි. ඒ ඔබගේ බිස්නස් කාඩ්පත දමන්නට තිබෙන මංජුසාවට ඔබ දැමූ කාඩ්පත හරහාය. එවැනි අවස්ථාවක එය දිනුම් ඇදීමක් සඳහා බව ඔවුන් සඳහන් කර තිබීම, මේ සඳහා ඔබ පොළඹවන ප්‍රධාන සාධකයයි. නමුත් පසුව හැල්මේ ඔබට එස්.එම්.එස් පණිවුඩ එම ආයතන වලින් ලැබෙද්දී, ඔබේ සිතට එකවර ඇතිවන  ගැටලුව වන්නේ

" මගේ අංකය ඔවුන් දන්නේ කොහොමද ?" 

යන්නයි. නමුත් එය ඔබම ලබාදුන් එකක් බව මගේ මිතුරන් කිහිප දෙනෙකුට මා පැවසුවද, ඔවුන් එය පිලි ගන්නේ බොහෝ වෙලාවක් තර්ක කිරීමෙන් පසුවය. නමුත් ඔබේ පහසුවට හේතු වන කෙටි පණිවුඩ වර්ග කිහිපයක්ද වෙයි. ඒ ක්‍රෙඩිට් කාඩ් ආයතන, රක්ෂණ සමාගම්, ලීසිං සමාගම් වැනි ඔබ සේවා ලබාගෙන මාසිකව වාරික වශයෙන් ගෙවිය යුතු මුදලක්, හෝ ඔවුන් විසින් වෙනත් ආයතන සමග එක වී ලබා දෙන වට්ටම් පිළිබඳ කරන දැනුම් දීමය. එවැනි ඒවාගෙන නියමිත දිනට පෙර මුදල් ගෙවීම සහ ඔවුන් ලබාදෙන වට්ටම් වලින් අවශ්‍ය ඒවාගෙන ප්‍රයෝජන ගත හැක.

අතීතයේදී පත්‍රිකා බෙදීම, කුඩා පොත්පත් තැපැල් මගින් එවීම වැනි ක්‍රියාවලීන් මගින් ගනුදෙනු කරුවන් ආකර්ෂණය කරගත් මෙම ආයතන, අද තෝරාගෙන තිබෙන්නේ ඉතාම කාර්යක්ෂම මාධ්‍යකි. හේතුව ජංගම දුරකථනයක් නොමැති අයෙක් සොයා ගැනීමට නොහැකි වීමයි. අද ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු සතුව අඩුම තරමින් සිම්පත් දෙකක් හෝ තුනක් ඇත. මේ බව දන්නා මේ ආයතන මේවාගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිති.

මේවා භාවිතා කරන අයගේ භාෂා ඥාණය හොඳින්ම ග්‍රහණය කර ගන්නේ ජංගම දුරකථන සමාගම්ය. ඒ ඔවුන් සවන්දීමට කැමති භාෂාව කුමක්දැයි, සිම්පත ලබාදුන් මොහොතේම දැන ගන්නා නිසාය. ඒ මගින් ඔවුන් එවන පණිවුඩයේ භාශාවද සීරුමාරු කරයි. සිංග්ලිෂ් වලින් ජංගම දුරකථන ආයතන වලින් කෙටි පණිවුඩ සහ සේවා පණිවුඩ ලැබෙන්නේ එසේය.

සමහර ජංගම දුරකථන සමාගම හිඟා කන මට්ටමට පත් වී ඇති බව පවසන්නේ, මට ප්‍රවාහනය සපයන චාමර නමැති ත්‍රී රෝද රථය පදවන පුද්ගලයාය. ඔහු ත්‍රී රෝද රථය පදවන්නේ ඔහුගේ පහසුවටය. ඔහු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකි. එයට අමතරව යනෙන ගමන් හයර් එකක් දෙකක් කිරීම ඔහුගේ සිරිතයි. ජංගම දුරකථන ආයතන කෙටි පණිවුඩ වලට අමතරව, පටිගත කල ඇමතුම්ද එවීමට මෑතක පටන් ක්‍රියාත්මක වීම ඔහුගේ තැවුලට හේතුවයි. දිනක් ගනුදෙනුකාර සේවා අංකයට අමතා, තමාට අවශ්‍ය ඇමතුම ලබා ගැනීමට පමණක් බවත් මින් පසු කිසිදු වෙළඳ ප්‍රවර්ධන ඇමතුමක් තමාට ලැබුණොත් හොඳ වැඩක් කරන බවට තර්ජනය කල පසු, එසේ ලැබෙන සියළුම ඇමතුම අත්හිටුවා ඇත.

ජංගම දුරකථන ආයතන කරන තවත් පිළිකුල් සහගත ක්‍රියාවක්ද, මාතෘකාවට අදාල නොවුනත් මෙහි සඳහන් කිරීම වටී. විවිධ සේවා ගනුදෙනුකරුවාගේ අනුදැනුමකින් තොරව සතියක හෝ මාසයක කාලයක් සක්‍රීය කර තබා, ඉන් පසු එම සේවාව අවශ්‍ය නම් "ගාස්තු සහ කොන්දේසි සහිතයි" යනුවෙන් සඳහන් කෙටි පණිවුඩයක් ගනුදෙනුකරු වෙත යවයි. නමුත් සියළු ගනුදෙනුකරුවන් මේවා කියවන්නේ නැත. කොටින්ම මමද  කරන්නේ දුරකථන ආයතන වල සියළුම කෙටි පණිවුඩ මකා දැමීමයි. මෙමගින් සිදු වන වරද තේරුම් යන්නේ ඉන්පසු වතාවේ ගිණුම රී-චාර්ජ් කල පසුය. ඔවුන් පළමුවෙන්ම ඔවුන්ගේ ගාස්තු අය කර ගනී.

මෙම ඝණයේ කෙටි පණිවුඩ අයත් වන්නේ Junk හෝ Spam ගනයට වුවත්, ඊ මේල් වල මෙන් අපට ඒවා, එසේ කාණ්ඩ ගත කල නොහැකි වීම අවසානාවන්ත තත්වයකි. මේ කෙටි පණිවුඩ අප වෙත සම්ප්‍රේෂණය කරන දුරකථන සමාගම් ඔවුන්ගේ නමින් අප වෙත එවැනි පණිවුඩ එවන්නේ යම් මුදලක් අදාළ වෙළඳ සමාගම් වලින් අය කර ගනිමින් බව පැහැදිලිය. මේවා Junk  මට්ටමට පත් නොකර, තම ගනුදෙනුකරුට දුරකථන සමාගමත් එපා වන තත්වයට පත් නොකර තබා ගැනීම ඔවුන්ගේ යුතුකමයි.  

Tuesday, February 18, 2014

පොලීසිය ට්‍රැෆික් වැඩි කරනවාද ? අඩු කරනවාද ? / Are policemen Increase the Traffic Jam or what ?

පොලීසිය කිව්වහම ඉතිං අපේ කට්ටිය කිසිම ප්‍රසාදයක් නැතිව කතා කරන සේවාවක් නේ. මම නම් ඒ අය දිහා බොහොම අනුකම්පාවෙන් බලන්නේ. මොකද අපේ වගේ රටක පොලීසියේ වැඩ කරනවා කියන්නේ ඉතිං බොහොම අමාරු රාජකාරියක් නිසා. මේ මිනිස්සු අව්වේ/වැස්සේ විඳින දුක් ගැහැට දැක්කම ඇති වෙන්නේ පුදුම දුකක්. "ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ" කියලා අපේ ටී.එම්. ජයරත්න මහත්මයා ගායනා කළත්, මේ අය දිහා දෙවියෝ නිකමට වත් බලන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ.

මම කියන්න ආවේ ට්‍රැෆික් නොහොත් මාර්ග තදබදය ගැන. අම්මෝ ඒ ගැනනම් කථා කරලා වැඩක් නෑ. හිනාම යන කාරණේ තමයි ඉදිරියෙන් වාහන තදබදයක් දැක්කම බොහෝ දෙනෙක් කියන දේ "ඉස්සරහ පොලිස් කාරයෙක් ඇති" කියන එක. ඊයේ හවසත් අපි බලාගෙන ගියා. හරියටම හරි පොලිස් මල්ලිලා දෙන්නෙක් වැඩේට බැහැලා. මේ පොලිස් මහත්වරුන්ගේ ක්‍රියාවලියෙන් හොඳටම බැට කන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන මම වගේ සාමාන්‍ය පුරවැසියන්. මොකද හිතුණ හිතුණ පාරෙන් යන්නද ? ආපහු හරවලා වෙන පාරක යන්නද ? කීයට හරි බස් එක යන වෙලාවක තමයි යන්න වෙන්නේ. එහෙම ගිහින් බොහෝ දිනවලට රතු ඉරට අහු වෙනවා.

කෙනෙක්ට හිතෙන්නේ පුළුවන් ප්‍රමාදයට හේතුව පුද්ගලික බස් පදවන ක්‍රමය කියලා. නෑ. මම බොහෝ වෙලාවට ගමන් කරන්නේ ජාතික ප්‍රවාහනේ. සුළු දුරක් තමයි ජනතා සන්තකේ යන්නේ. මොකද අපේ ඔරලෝසු කැරකෙන වේගෙන් නෙවෙයි එයාලගේ ඔරලෝසු කැරකෙන්නේ. මේ ගැන මම මීට කලිනුත් ලියලා ඇති. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලීසියේ මහත්වරු ට්‍රැෆික් වැඩි කරන ආකාරය ගැන.

මම දිනපතා ගමන් කරන්නේ 163 කියන බස් මාර්ගයේ. මේ මාර්ගයේ නුගේගොඩ ඉඳලා පිටකෝට්ටේ කියන කෙටි දුර යන්න මිනිත්තු 15ක් ගතවෙනවා කියන එක බොරුවක් කියලද ඔබට හිතෙන්නේ. නමුත් මිනිත්තු දහයට යන වෙලාවල් ඉඳ හිට නැත්තේ නෑ. ඇත්තටම මේ කිලෝ මීටර් එකහමාරට ඒ තරම් වෙලාවක් ගත වෙන්නේ ඇයි ?

  • මේ මාර්ගය ඉතා පටු එකක් වීම. ඒ නිසා වේගෙන් යන්න කැමති වුණත් ඉස්සර කරන්න බෑ. දෙපැත්තටම එක වගේ උදේ කාලයේ වාහන ගමන් කරනවා. 
  • මෙහි තිබෙන කඳු සහිත මාර්ගයේ නිසි වේගයක් පවත්වා නොගතහොත් කඳු තරණය ඉතා මන්දගාමීව සිදු වීම. එනිසා පසුපසින් පැමිණෙන වාහන වලටද ඉදිරියේ යන වාහනයේ වේගයෙන්ම ගමන් කිරීමට සිදු වීම. මෙහි ඇති බස් නැවතුම් කඳු පල්ලම් වල පිහිටා තිබීම. 
  • දේවාල පාර නමැති අතුරු පාරෙන් එන වාහන නුගේගොඩ නාවල පාරට ගමන් කිරීම සඳහා අනවශ්‍ය ලෙස කාලය ලබා දීම. මේ නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීම. 
මේ මාර්ගය ගත්තම සිද්ද වෙන කාරණා මේවා තමයි. මෙතනදී මම ඇතුළු මගීන් බොහොම ආවේගශීලී වෙනවා. මොනවා කරන්නද මම නම් දැන් එෆ්.එම්. අහනවා. වාහන දෙක-තුනක් යන්න කලින් නවත්වලා අතුරු පාරට ඉඩ දෙනවා. ඉතිං මේ වගේ පොලිස් නිලධාරීන් හසුරුවන තැන් තුනක්ම මේ මාර්ගයේ තියෙනවා. නමුත් මෙතනට එන නිලධාරියාගේ රාජකාරිය දේවාල පාරෙන් එන වාහන වලට ඉඩ ලබා දීම නිසා ඔහු පොදු මගී ප්‍රවාහනය ගැන නොසිතා ප්‍රධාන පාර අවහිර කර අවස්ථාව ලබා දෙනවා.

 මේ පින්තූරයෙන් පෙන්වන්නේ මෙහි ප්‍රධාන පාර වන, නුගේගොඩ පිටකෝට්ටේ අතර ඇති පාගොඩ් පාර අවහිර වන ආකාරය.
මෙයට විසඳුමක් ලෙස මා යෝජනා කරනවා රතු ත්‍රිකෝණ තිබෙන තැන් වලින් ගමන් කිරීම උදේ කාලයේදී හෝ සම්පූර්ණයෙන්ම නතර කොට, දම් පාටින් පෙන්වා ඇති මාර්ගයේ වාහන යවන ලෙස. එසේ කළහොත් බොහෝ දෙනෙකුගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙය ඔවුන් භාවිතා කළයුතු සාමාන්‍ය මාර්ගයයි. විශේෂයෙන්ම මේ මාර්ගය(පාගොඩ පාර) භාවිතා කර ඉසුරුපාය, සෙත්සිරිපාය, විදේශ සේවා වගේ දහස් ගණනින් සේවකයන් සිටින ස්ථාන වල සේවයට යන අයගෙන් බොහොමයක් මෙතන හිර වෙනවා. ඔවුන් ලබාදෙන සේවය ගැන තක්සේරු කිරීම වෙනමම කාරණයක්. නමුත් මේ නිසා අහිමි වන ඔවුන්ගේ සේවා කාලය කොපමණද ? 

ඒ නිසා මේ පුංචි වෙනස්කම කරලා බලන්න කියලා මම පොලිස් බලධාරී මහතුන්ගෙන් ඉල්ලනවා. මා මුලින්ම කියපු කාරණය ගැනත් වචන කිහිපයක් සඳහන් කරන්න වටිනවා. සමහර පොලිස් නිලදරුවන් මේ අතුරු පාරට ඉඩ දෙන්න සේවයේ යෙදෙව්වාම, එයාලා කරන්නේ පුළුවන් තරම් ප්‍රධාන පාරේ එන වාහන නවත්වලා අතුරු පාරට ඉඩ දෙන එක. මේ වගේ තැන් තව බොහොමයක් තියෙනවා ඇති, මා මේ සඳහන් කලේ තවත් එක ස්ථානයක් විතරයි. වෙලාවකට හිතෙනවා පොලීසිය ඉන්නවා කියලා පෙන්වන්න, තදබදය නිර්මාණය කරනවා වත්ද ? කියලා. 

Wednesday, January 22, 2014

කොස්ගහ කපන්නේ නැතිව මායිම ගහන්න බැරිද ?

වීඩියෝව ගත්තේ :Inflame (Pvt) Ltd හී youtube නාලිකාවෙනි. 
"හරියටම මායිම බෙදන්න නම් කොස් ගහ කපන්නම වෙනවා"

මේ ඉහතින් තිබෙන වීඩියෝ පටයේ හොඳින් ඵලදාව ඇති කොස් ගසක දර්ශනයත් සමග පසුබිමින් ඇහෙන වදන් පෙළයි. මේ වචන පේළිය ඇසුණ විට පපුව හෝස් ගා නොයන්නේ කාගේද ? අපි කොස් ගහට එතරම් ඇලුම් කරමු. හේතුව කොස් ගසේ දල්ලේ සිට මුල දක්වා සෑම කොටසක්ම මිනිසාට ප්‍රයෝජනවත් වන බැවිනි. ඉතිං මේ වීඩියෝ පටය අවසානය තෙක් කට බලියාගෙන නොබලා සිටින්නේ කවුද ? එය විකාශනය වන මොහොතේ ඔබ දුරස්ථ පාලකය ගෙන වෙනත් නාලිකාවක් නැරඹීමට හිතුවා නම්, තවත් මොහොතක් (තත්පර 32ක්) හිඳ එය නරඹා අවසන් කරනු නියතයි.  හොඳයි පළමු වතාවට ඔබ එසේ කළා යයි සිතමු. දෙවන, තෙවන හෝ විසිවන වතාවේ වත් ඔබට නාලිකාව වෙනස් කිරීම හෝ, රුපවාහිනිය ක්‍රියා විරහිත කරන්නට සිතුණාද ? උත්තරය 99% ක්ම "නෑ" බව විශ්වාසයි. 

කොස් ගහ කපන්න වෙනව් නම් මායිම අපේ පැත්තට ගන්නැයි, මායිමේ අනෙක් පාර්ශවය පවසයි. එය කෙතරම අසම්භාව්‍ය වුවද, එමගින් කොස් ගසට මෙරට ජනයාගේ ඇති ප්‍රේමය නැවත වතාවක් පසක් කරවයි. මේ වනතෙක් ජවනිකාවේ කිසිදු ගැටලුවක් නැත. අපේ රටේ මිනිස්සු බෙදා හදා ගන්න ජාතියක් බව පැවසීමත් මුසාවක් නොවේ. එතෙක් පවසන්නේ මේ රටේ ජීවත් වන ජාතියේ හැඟුම්බර ස්වභාවය නොවේද ? වරක් මා සහභාගී වූ නායකත්ව පුහුණු වැඩසටහනකදී පිය ගුණ ගීතයක් අසන්නට සලස්වා, සියලු දෙනාගේ දෙනෙතෙන් කඳුළු වැටෙද්දී, ඔබ වැඩ කරන ආයතනය ඔබගේ පියා මෙන් සුරකින්න යන පණිවුඩය අපට හීනියට ඔබන්නට එය සිදු කල සම්පත් දායකයා සමත් විය. කෙනෙකු හැඟුම්බරව සිටින විට දෙන පණිවුඩය හිතේ ධාරණය වන බව මා දැන ගත්තේ ඉන් පසුවයි. 

ඒ සමගම දෙන දුරකථන සමාගමේ පණිවුඩය ප්‍රේක්ෂක ජනයාගේ සිත්හී තදින් ධාරණය කරන්නට මේ වෙළඳ දැන්වීම් මාලාව නිෂ්පාදනය කල ඉන්ෆ්ලෙම් පුද්ගලික සමාගම උත්සාහ දරා ඇත. මෙයින් නොනැවතී ඔවුන් මොබිටෙල් සමාගම වෙනුවෙන්ද, "ඔක්කොම ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුණාද" යනුවෙත් තවත් එවැනිම ගණයේ වෙළඳ දැන්වීමක් නිපදවා ඇත. වෙළඳ දැන්වීම් සඳහා ඕනෑම දෙයක් යොදා ගත හැකි වුවත්, ප්‍රේක්ෂකයාගේ හැගීම් සමග සෙල්ලම් කිරීම කෙතරම් සාධාරණද ? මොනවා පෙන්නුවත් ඔබ බුද්ධිමත්ව තෝරා ගැනීම් කළයුතු බව කෙනෙකු පවසනු ඇත. ප්‍රශ්ණය මෙරට සිටින සියලුම ස්තර වල ජනතාව බුද්ධිමත්ද ? යන්නයි. 

නමුත් ඇත්තටම කොස් ගස බේරා වැට ගසන්නට අවශ්‍ය නම් පහත පෙනෙන එක් ක්‍රමයක් උපයෝගී කර ගත හැක. 
දෙපාර්ශවයම යම් කැප කිරීමක් කිරීමෙන් මේ අකාරයේ වැටක් ගැසිය හැක. කොස් ගස අයිති පාර්ශවයට කුඩා ගේට්ටුවක් දමා ගැනීමෙන් ඵලදාව නෙලීමට ගසට ළඟා විය හැක. 


නමුත් මායිමක තිබෙන ගස් වල ඵලදාව දෙපාර්ශවයටම හිමි විය යුතුය යන්න බොහෝ දෙනාගේ විශ්වාසයයි. එනිසා එම ක්‍රමයට යනවා නම් ගසටම කම්බි ඇණයක් ගසා පහත ආකාරයට වැට ගැසිය හැක. 

මෙලෙස දෙපසින් වැටවල් ඉදි කර මැද දෙපාර්ශවයටම අයිති නැති (No man's Land) ඉදි කරන්නේ, ගොඩබිමින් දේශ සීමා ඇති රටවල් වලය. ඉතිං ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්තෙන් අඩි දෙකක පමණ පාරක් කොස් ගහ වෙත තැබිය හැක. 

Thursday, January 9, 2014

පහේ ශිෂ්‍යත්ව විවාදය අස්සේ හමු වූ ජෝන්ස් ජේල් ජර්නල් බ්ලොග් අඩවිය John's Jail Journal found during Grade V Scholarship Debate

අවුරුදු කිහිපයක පටන් දේශීය රුපවාහිනී නාලිකා නැරඹීම සහමුලින්ම අත් ඇර දමා තිබෙන මා, අද දින(2014. රාත්‍රී දහයට දේශීය නාලිකාවක් බලන්නට තීරණය කරන්නේ අපේ රටේ පාසල් සිසුන්ට අතිශය වැදගත් මාතෘකාවක් ඔස්සේ රජයේ ඇමති වරයෙක් සහ රජයේම පළාත් සභා ඇමති වරයෙක් අතර පවත්වන ලද විවාදයට සවන් දීමටය. දේශීය නාලිකා නැරඹීම අත් හැර ජාත්‍යන්තර නාලිකා නැරඹීමට බොහෝ සාධාරණ හේතු මා ඇතුලු බොහෝ පිරිසකට ඇත. එසේම ජාතික පාසල් තරගය අතහැර ජාත්‍යන්තර පාසල් වලට ළමුන් යොමු කරන කණ්ඩායමේ කෙනෙකු හැටියට ඒ සඳහාද සාධරාන හේතු බොහොමයක් අපට ඇත. මගේ දරුවා සම්බන්ධයෙන් මේ කරුණ මට වැදගත් නැතත්, නිදහස් අධ්‍යාපනය ලැබූවෙකු වශයෙන්(අධ්‍යාපනය සහ සෞඛ්‍යය නිදහස් රටවල් දහයක් ඇති බව උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය. ඒ ආර්ජෙන්ටිනාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,  නොර්වේ, ස්කොට්ලන්තය,  බ්‍රසීලය, ජර්මනිය,     ලිබියාව සහ ශ්‍රී ලංකාව).

නින්දත් නොනින්දත් අතර මේ වාදය නරඹමින් සිටින අතරම පී.අයි.පී.(PIP) මගින් නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ යන මගේ ප්‍රියතම වැඩසටහනක වන "බැන්ග් අප් එබ්‍රෝඩ්" නමැති වැඩසටහනද නරඹන අතරය. (පී අයි පී යනු නාලිකා දෙකක වැඩසටහන් එකවර නැරඹිය හැකි පහසුකමකි.  එමගින් තිරයේ විශාලව එක් නාලිකාවක්ද, තිරයේ කෙලවර හතරින් කැමති තැනක තවත් නාලිකාවක්ද දර්ශණය කල හැක. කැමති නාලිකාවක හඬට ඇහුම්කන් දීමටද පුළුවන. මා කලේ ප්‍රධාන තිරයේ නැෂනල් ජෝග්‍රෆික් සහ කුඩාවට වාදයද, වාදයේ හඬද තබා ගැනීමයි. වාසනාවකට එන්.ජී.සී. හී ඉංග්‍රීසි උප සිරස දර්ශණය විය). ශිෂ්‍යත්ව වාදය බොහෝ දෙනෙකු නරඹන්නට ඇති නිසා මා "ජෝන්ගේ සිරගත සටහන් " නොහොත් ජෝන්ස් ජේල් ජර්නල් ගැන සටහනක් තබන්නම්. 

ඊට පෙර "බැන්ග් අප එබ්රෝඩ්" ගැනද වචනයක් කිව යුතුය. මෙම වැඩසටහනින් බොහෝ විට පෙන්වන්නේ නොකළ වරදකට සිරගත වූ හෝ නිවාස අඩස්සියකට පත් වූ අයගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් කරන ලද  නිර්මාණයකි. එය අතරවාරයේ බොහෝ විට එම අත්දැකීම් ලද තැනැත්තා කථා කරන අතර ඔහු/ඇය මුහුනදුන්නාට සමාන සිදු වීම් පෙළක් නිර්මාණය කර පෙන්වයි. එදින එහි පෙන්වන ලද වැඩසටහන යම් සිර කඳවුරක් බව පැහැදිලි විය. නමුත් ඔවුන්ගේ උපසිරසේ "Jonh's Jail Journal" යන්න දිස් වූ වහාම මා කලේ එය ගූගල් කිරීමයි. මොහොතකින් මා ඔහුගේ බ්ලොග් අඩවිය තුලට ගියෙමි. ඔහු බ්ලොග් කරණයට පිවිස ඇත්තේ 2004 සැප්තැම්බර් බව පැහැදිලි විය. එම බ්ලොග් අඩවියට අලුතෙන් ගොඩවන්නන් වෙනුවෙන් වෙනමම සටහනක් ඔහු තබා ඇත. එම කෙටි සටහන මෙසේයි
ෂෝන් අට්වුඩ්
දුෂ්ඨ ෂෙරිෆ් වරයෙකු වූ ජෝ ආපයියෝ විසින් පාළනය කරන ලද ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ, ෆීනික්ස් හී උපරිම රැකවරණය සහිතව පැවති මැඩිසන් මාවතේ සිරගෙදර  තත්වය නිරාවරණය කිරීමේ අදහසින් මා ජෝන්ස් ජේල් ජර්නල් ආරම්භ කලේ 2004 දීය. ගොල්ෆ් පැන්සලක් බ්ලොක්-ගල් බිත්තියේ හෝ යකඩ දොරෙහි ඌරච්චි කර උල් කරගෙන තැබූ සටහන් සතිඅන්තයේ මා බැලීමට පැමිණෙන මගේ නැන්දා වූ ඈන් හොර රහසේ සිපිරිගෙයින් පිටතට රැගෙන ගියාය. එංගලන්තයේ උන් මගේ දෙමව්පියන් මේ සටහන් අන්තර්ජාලයට එකතු කරන ලදී. එම බ්ලොගය ජාත්‍යන්තර මාධයන්හී අවධානය දිනා ගත අතර මැඩිසන් වීදියේ සිරගෙදර වසර කිහිපයකින් පසුව වසා දමන ලදී. 
එහි සිටි ෂෙරිෆ් ජෝ තවමත් මැරිකෝපා නමැති ප්‍රාන්ත සිරගෙවල් සහ පහසුකම් පද්දතියේ  ප්‍රධානියා වේ. ඔහුගේ විවේචකයන් ඔහු හඳුන්වන්නේ මරණයේ සුරදූතයා ලෙසය. ඒ ඔහු පාළනය කරනු ලබන සිර ගෙවල් වල සිදු වන අසාමාන්‍ය මරණ සංඛාව පමණක්
ෂෙරිෆ් ආර්පයියෝ
නිසා නොව, ඔහුගේ ගාඩ්වරුන් ඒ සඳහා පොළඹවන්නේ රැඳවියන් මරා දැමීම පිලිබඳ වගකීම ෆෙඩරල් උසාවිය දරනවා යන මතය ඔවුන්ට ඉඟි කරමිනි. 
මා එහි සිරගතව සිටි කාලයේ රැඳවියන් සිය ගණනක් බලා ගැනීම සඳහා ගාඩ් නිලධාරීන් දෙදෙනෙකු පමණක් යොදවා තිබූ අතර, ඔවුනට වඩා වැඩි පාළන බලයක් මෙක්සිකන් මාෆියාව වැනි  කල්ලි වලට තිබුණි. හිසවල් වැසිකිලි වල යකඩ දොරවල් වල ගසන හඬවල් මට පුරුදු වී තිබූ අතර එම ශරීරයන් එහා මෙහා විසි කරන හඬවල්ද සුලබ විය.

 එම සිරගෙදර ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ එවැනි මරණයක් පිලිබඳ වීඩියෝවක් මෙම සටහනට පහලින් ඇත. 

ඔහු විසින් තබන ලද සටහන් තුනක් එහි උදෘත කොට ඇත. ඒ අතුරින් එහි තත්වය විස්තර වන නමුත් හිරිකිත බවින් අඩුම සටහන මා මෙසේ ඉදිරිපත් කරන්නම්

2004 ජුලි 13
 හදිසියෙන් එකපිට-එක එන ශෝකාන්තයන් මෙම සටහන තැබීමට මගේ සිත මට බල කර සිටී. පහුගිය සති අන්තයේ මා සිටින මහලේ සිරකරුවන් දෙදෙනක් සියදිවි හානිකර ගැනීමේට උත්සාහ ගන්නා ලදී. එක් අයෙක් බැල්කනියෙන් බිමට පනින ලද මුත් ජීවිතය හානි නොවීය.  අනෙකා ගෙල වැල ලා ගෙන මිය යාමට උත්සාහයක යෙදින.  එසේ තිබියදී මධ්‍ය-මට්ටමේ ආරක්ෂාවක් යටතේ පැවති කොටසක රැඳවියකු නාන කාමර ඇති පෙදෙසෙහි මිය ගොස් තිබුණි. සිරකරුවන් බොහෝවිට මෙම පෙදෙසෙහිදී පහරදීමට හේතුව, ආරක්ෂක කැමරා මගින් එය ආවරණය නොවන නිසාය. බලධාරීන් එම මියයාම පිලිබඳ හේතුව සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙහි පිටත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 114 කි.  අපගේ හිරකූඩු වලට කාන්දු වන වායු දහරාවන් දැනෙන්නේ හෙයාර්ඩ්‍රයර් එකකින් එන උණුසුම් වායු දහරාවක් ලෙසය. දිවා - රාත්‍රී දෙකෙහිම අපගේ  ඇඟවල් දහදියෙන් පෙඟුණි. දහදියෙන් තෙත් වූ කඩදාසි මත ලිවීම අපහසුය. වැඩි දෙනෙකුට දැන් සමේ රෝග සහ දද සෑදී ඇති අතර ඒවා නිරන්තර කැසීමක් සිදු වේ. මගේ සිරුර දහදියෙන් පෙඟීම නිසා කසන විට නියපොතු අස්සේ සම් කැබලි එකතු වේ. මෙසේ දහඩිය වෑහීම සහ කැරපොත්තන් කරන යටිපතුල් කිචි කැවීම අතර නින්ද පහසු කාර්යයක් නොවේ. ඊයේ රාත්‍රියේ එක පසකට ඇලවී නිදා සිටි මගේ කණ දහදියෙන් පිරුණු විට මා හිස හැරවූ පසු දහදිය මුහුණ දිගේ ගලන්නට විය. මා ඇහැරුණේ තැතිගන්මකිනි. එය හරියට මගේ කම්මුල කිසිවකු අතගාන ලෙස දැනිණි. 
 වරක් මා ගාඩ්වරයකුගෙන් පරිපාළනය මේවාගෙන් ඉවත් වී සිටින්නේ කෙසේදැයි ඇසූ විට, ඔහුගේ පිළිතුර වුයේ "මෙහි සිදුවනදේ ගැන ලෝකයාට දැනුමක් නෑ" යන්නයි.
 ළමා කාලයේදී මා අපාය කෙසේදැයි සිතින් මවා ගතිමි.  එහි ඇති ගල්ගුහා වල ශාප ලද්දන් හිරවී ඇත, වදහිංසා පමුණුවා ඇති ඔවුන් පිච්චී ඇත. විස්තර කල නොහැකි උරගයින් එම ශරීර වල ඇදීයාම මා සිතින් මවා ගෙන ඇත. එහෙත් මා කිසිදිනක මිනිසුන්ගේ ද්වේශසහගත ස්වභාවය මිහිමත නැවත නිර්මාණය වේ යයි සිතින් මවාගෙන නැත. 
ඔහු ජෝන් නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, සත්‍ය වශයෙන්ම්  අන්වර්ථ චරිතයක් වීමේ අවශ්‍යතාවකින් බව පැහැදිලිය. ලෝකයාට මේ තොරතුරු ලබා දෙන්නේ ඔහු යයි ඔවුන් දැන ගත්තානම්, වැඩිකලක් ජීවත් වීමට අවස්ථාව අහිමි වන්නට තිබුණි. ඔහුගේ සත්‍ය නාමය වන්නේ ෂෝන් අට්වූඩ් ය. සැබෑ අත්දැකීම් කැටිකොටගත් මෙම බ්ලොග් අඩවියට ගොඩ වන්නට ඔබටත් හැකියි. එහි ලිපිනය වන්නේ

http://jonsjailjournal.blogspot.com/

මානව හිමිකම් ගැන කථා කරන අය මේවා නොදකීද ?

Thursday, September 26, 2013

ෆොන්ටෙරා සහ හයිලන්ඩ් ......

මම නැවතත් දෑස පිසදා බැලීමි. ඔව් මේ තියෙන්නේ ෆොන්ටෙරා සලකුණ තමයි. ටික කාලෙක ඉඳන් අතපොවන දුරේ තිබෙන කණ්ණාඩි කුට්ටම දෑසේ රුවා ගතිමි. දැන් නම් මොන ජගතටවත් මගේ ඇස් දෙකට බොරු කරන්න බෑ.  මේ තියෙන්නේ යස අපූරුවට. හහ් ! කොහොමද මේක වුණේ. දෙවියනේ අද උදේ පෝලිමේ ඉඳලා ගත්ත හයිලන්ඩ් පැකට් එක. එහෙනම් මේකත් මුන්ගේම වැඩක්. මෙවර මා දිව ගියේ ශීතකරණය වෙතයි. එහි ඇති යෝගට් කප් සියල්ල එළියට ගෙන එකින් එක පරීක්ෂා කළෙමි. 
"හත් දෙයියනේ, මුන්ට හෙන ගහන්න එපැයි. මේ යක්කු සෙල්ලම් කරන්නේ මේ අපේ ජීවිතත් එක්කනේ"
පින්තූරය ගත්තේ මමමයි.
තවත් යෝගට් කප් එකක් රවුම් කිහිපයක්ම කරකවා බලන ගමන් කෑ ගැසුවෙමි. ආහ් ! ඒ පාර මේ කප් එකේ මේ මගුල් සලකුණ නෑ. මේ වනවිට යෝගට් කප් එකට වැටී තිබෙන සිහින් දාඩිය බින්දු කිහිපය පිසදා නැවතත් කරකවා බැලුවෙමි. මේක නම් හොඳයි. එතකොට අරක? නැවතත් යෝගට් ටික ගෙන මේසය වෙත ගොස් වාඩි වුණෙමි.
"මොකද මේ ෆ්‍රිජ් එකේ දොර ඇර දාලා? මෙහෙම තිබ්බොත් ගෙවන්න වෙයි ලයිට් බිල්"
 ඒ බිරිඳගේ සුපුරුදු වාග් මාලාවයි.
"කෙහෙම්මල .... එයා ගෙවන ලයිට් බිල්"
මා සිතින් මුමුණා ගතිමි. එය මහා හයියෙන් කිව්වා නම් තවත් ගාල ගොට්ටියකට මුල එය වන්නට තිබුණි. දැන් ගොඩවල් දෙක හදා අවසන්ය. එහෙත් අර ලේබලේ නැති යෝගට් තුනක් සහ ලේබලය තිබෙන ඒවා හතක් ලෙස බෙදී ඇත. කරුමෙක මහත. 
"දැන් ඉතිං අපි තුන් දෙනාට මේ තුන කාලා අනිත් ටික විසි කරන්න තමයි වෙන්නේ. අයියෝ සල්ලි "
ඊයේ උදේ කාර්යාලයට ආ බෙදාහැරීමේ ලොරියෙන්ම මිලදී ගත් කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් වලට වෙච්ච දෙයක්. කඩේ තුන්සිය දහයක් හින්දම නෙවෙයි, හැමතැනම හිඟ නිසයි එහෙම ගත්තේ. ඒ වුණත් එකකින් රුපියල් දා හතරක් කියන්නෙත් අද කාලේ ලේසි පහසු ගණනක් නෙවෙයි. ඒත් මේ මගුල දැන් විසි කරපංකෝ. අයියෝ ඩී.සී.ඩී. කවුද අම්මපල්ල ඔය මගුල හොයා ගත්ත එකා. මෙතන හිටියානම් කෙළිනවා පිටි පැකට් එකෙන්ම. මේ අතර හතේ ගොඩෙන් යෝගට් එකක් අරගත් මායියා කොටා බාන්නට සැරසේ. උන්දට නම් මොකද ?
" කාපං කාලා මැරියන්" 
යළිත් හිතෙන්ම කී මම, ඇය යෝගට් එක කා අවසන් වනතුරු සිනා මුසු මුහුණින් බලා සිටියෙමි. 
"ඉවරද ? ඔයා කෑවේ ඩී.සී.ඩී. තියෙන යෝගට් එකක්"
"කෙහෙම්මල මේක හයිලන්ඩ් යෝගට් එකක්. ඔය කණ්ණාඩි දෙක දාලත් දැන් පෙන්නේ නැද්ද ?"
"කණ්ණාඩි ... කණ්ණාඩි ගන්න වෙන්නේ මට නෙවෙයි තමුසෙට ... බලනවා ඕක හොඳට කරකවලා"
එවර ඇය කථාව නවතා යෝගට් කෝප්පය කරකවන්නට විය. මා නැවතත් හොඳ යෝගට් ටික ෂොපින් බෑග් එක තුළටම දමා ෆ්‍රිජ් එකට දමා අවසන් කරන්නට පෙර
"කෝ මේකේ කොහෙවත් ගහලා නෑ ඩී.සී.ඩී. තියෙනවා කියලා. පිස්සු විකාර නැතුව ඔන්න ඔය යෝගට් ටික ෆ්‍රිජ් එකට දානවා. මම මේ චූටි අකුරු වලින් තියෙන ඒවත් කියවලා බැලුවා. දැන් ඔය චොක්ලට්, කිරිටොපි, නෙස්කැෆේ, නෙස්ටී ඕවයේ තියෙන කිරි වල ඩී.සී.ඩී. තියෙනවා කියලා කවුද බැලුවේ."
"මේන් කියලම ගහයි. පේන්නැද්ද ඕකේ තියෙන ෆොන්ටෙරා ලේබලේ ?"
"මොකක්ද ෆොන්ටෙරා ලේබලේ අර කැසට් සීඩී වල තියෙන සිංග් ලංකා ලේබලේ වගේ එකක්ද ?"
මෙවර ඇය සිනාසෙමින් පවසයි. මේ වගේ මෝඩ ගෑනියෙක්. සිතින් සිතමින් 
"හලෝ ෆොන්ටෙරා කියන්නේ ලංකාවට ඇන්කර්, එතකොට ඇන්ලීන් ගෙන්නන කට්ටිය. මම මේ බලන්නේ උන්ගේ ලේබලේ අපේ හයිලන්ඩ් එකේ ගැහුවේ මොන මගුලටද කියලා"
මේ වනවිට මගේ හිතට හීන් සැකයක් මතු වී තිබේ. ඒ ෆොන්ටෙරා සමාගම පහුගියේ ටිකේ පාඩු වූ නිසා, පහුගිය ටිකේ වේලි වේලි තිබ්බ හයිලන්ඩ් පැකට් දැන් හොයන්නත් නැති නිසා, හයිලන්ඩ් එකම එකත් කුණු කොල්ලෙට ගන්න ඇති යන්නයි. සිදු විය හැක්කේද එයයි. පහුගිය ටිකේ නිකං දුන්නත් ඇන්කර් ගන්න කවුරුවත් හිටියේ නෑ. ඒ කාලේ උඩ දාගෙන බීපු ඔක්කොම එවුන් දැන් පොර කකා හයිලන්ඩ් ගත්තේ. අපි හයිලන්ඩ් යෝගට් ඉල්ලනකොට නිව්ඩේල් කාපු එවුන් දැන් අපිවත් පෙල්ලගෙන ගොස හයිලන්ඩ් යෝගට් 20-30 ගන්නේ තුන් වේලටම කන්න හිතාගෙනද මන්දා ? 

අවුරුදු දෙකක ඉඳන් ලංකාවේ පත්තර නොබලන මගේ ගොන් කමට ශාප කර ගනිමින්, වහා දිව ගියේ හන්දියේ කඩේටයි. මේ වනවිට බොහෝ පත්තර විකිණී අවසන්ය. ඉතිරිව තිබු පත්තරයක් ගෙන මා යළිත් හැල්මේ ගෙදර ආවේ මාගේ කණ්නාඩි කුට්ටම මෙසේ උඩ නිසාය. නැතිනම් පොඩි කාලේ වගේ පාරේම කියවාගෙන එන්නට තිබුණි. මා කෙළින්ම කණ්ණාඩිය දමාගෙන පිටු පෙරළාගෙන පෙරළාගෙන ගියෙමි. පිටුවක් පුරාම "ෆොන්ටෙරා" සමාගමේ දැන්වීමකි. එහි සඳහන් වන්නේ සහමුලින්ම වෙනස් කතාවකි. 
"ෆොන්ටෙරා සමාගමත්  හයිලන්ඩ් එකත් මින් පසු එකම සමාගමක් ලෙස"
මේ මොන හරුපයක්ද ? ඊට යටින් නවසීලන්ත කෙප්ප වැස්සියක් සිනාසී බලා සිටී. මේකිත් හිනා වෙන්නේ අපිටමද මන්දා ? මම දනී-පනී ගා අනෙක් පිටු පෙරලා බැලීමි. එක පාරටම වෙළඳ පිටුවේ ඇති කුඩා ප්‍රවෘත්තියක් ළඟ මගේ දෑස නතර විය. 
"ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී"
මොනවා ? මුන්ට හෙනම ගහන්න එපැයි. පත්තරේට වැරදිලා වත්ද ? මේකනම් අහලම බලන්න වටිනවා. කෝ මගේ ෆෝන් එක. 
"දුවේ මගේ ෆෝන් එක අරන් එන්න පැටියෝ"
මගේ පිටට ගැහුවේ කවුද ? මම දෑස් පිසදා බැලීමි. මා මේ දුටු ජවනිකාව සිහිනයක්ද? හාත්පසම කළුවරය. වටපිට අතපත ගා බැලුවෙමි. දියණියගේ විළුඹ මාගේ පිට අසලම නැවතී ඇත. මා ඇඳේ වාඩි වී නැවතත් කල්පනා කලෙමි. මට එලෝ කෝටියට දාඩිය දමා ඇත. මේ දවස් වල තියෙන රස්නේ. මම නැගිට ලයිට් දමා කෙළින්ම ගියේ කුස්සියටය. ඒ ඊයේ ගෙනා හයිලන්ඩ් පැකට් දෙක පරීක්ෂා කිරීමටය.
______________________________________________
මෙය ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. මේ දිනවල නිතර කතාවෙන මාතෘකාවක් වන ඩී.සී.ඩී. භීතිකාව අලලා ලියූවකි.  මෙයට නිමිත්ත වුයේ ඊයේ කාර්යාලයේ එළිපත්තට පැමිණි බෙදාහැරීමේ රථයෙන් මිලදී ගත් කිරිපිටි පැකට්, යෝගට් සහ දියර කිරි සිහි වීමෙනි. 

Saturday, August 31, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මරාගෙන මැරෙන ප්‍රතිපත්ති ......

ලෝක ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ඉන්දියාවේ හයිද්‍රාබාද් ලොකු කර නොගෙන තමන් උපන් රටේ කඳුකර පෙරමුණ වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි අපේ ක්‍රිකට් බලධාරීන් යෝජනා කර ඇත.ක්‍රිකට් සම්බන්ධයෙන් මේ තරම දේශ හිතෛෂී ප්‍රකාශයක් මා මීට පෙර  අසා නැත. එක්කෝ මට මතක නැත. 

පින්තූරය ගත්තේ : http://kumarsangakkara.lk
මා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලෙස නොහඳුන්වා, ලෝක ක්‍රිකට් ක්‍රීඩක ලෙස හඳුන්වන්නේ, ඔහු ලංකාවෙන් බිහි වුවද, අද ලෝකයේම ජනාදරයට පාත්‍ර, ලෝකයම ඉතා කැමැත්තෙන් බලා සිටින, කියන දෙයක් අසා සිටින ලෝක වස්තුවක් බවට පත් වී හමාර නිසාය. මේ සිද්ධිය මාලිංග මූලික කරගෙන සිදු වුවා නම්, බලධාරීන්ගේ මේ ප්‍රකාශයට අලගු තබන්නට තවත් බොහෝ දෙනෙක් එකතු කර ගන්නට හැකියාව ඇත. එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක්  ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. අද ලෝකයේ ඕනෑම කණ්ඩායමක නායකයෙකුට කණ්ඩායමක් තෝරා ගන්නට කීවොත් එම කණ්ඩායමට නම් කරන වර්ගයේ ක්‍රීඩකයෙකි. ඔහුගේ වටිනාකම පිටිය තුලත්, ඉන් පිටත් මනාව ප්‍රකට කරන්නට කුමාර් සංගක්කාර සමත් වී ඇත. හැබවින්ම ඔහු සමතෙකි. 

සියලු දෙනාම පළමුවෙන් තේරුම් ගත යුතු දෙය නම් අයි.පී.එල්. සහ චැම්පියන්ස් කුසලානය යනු අයි.පී.එල්. මගින්ම සංවිධානය කරන තරගාවලීන් බවයි. චැම්පියන්ස් තරගාවලියට ඔවුන් කණ්ඩායම් තෝරා ගන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම් තුන සහ අනෙකුත් රටවල් තුල පවත්වන විස්සයි20 දේශීය තරගාවලි හරහාය(ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම දෙක, දකුණු අප්‍රිකාවේ රෑම් ස්ලෑම් තරගාවලියේ මුල් කණ්ඩායම් දෙක, කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් වශයෙනි). මෙම තරගාවලියට හෝ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙක් අදාලා කණ්ඩායම නියෝජනය කරනු විනා තම රට නියෝජනය නොකරයි. හේතුව මේවා රටවල් අතර තරග නොව එකී කණ්ඩායම් අතර තරග වීමයි. 

මෙම තරගාවලියට පහුගිය අවුරුද්දේ තෝරා ගැනුනේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජයගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමයි. එම කණ්ඩායමේ පකිස්ථානයේ උමාර් ගුල්ද, නවසීලන්තයේ ජැකොබ් ඔරම්ද  සිටි බව මතක් කල යුතුයි. මේ වසරේදී එම තරගාවලිය නොපැවැත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය බරපැන පොම්ප කිරීමට පසුගිය වසරේ එකඟතාවන් ඇති කරගත් කණ්ඩායම හිමිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි. එය වෙනමම මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කලයුත්තකි. මෙවර චැම්පියන්ස් කුසලානයට කණ්ඩායමක් නම් කිරීමට අවශ්‍ය නිසාම ඉතාම චාමෙට පැවැත්වූ දේශීය විස්සයි20 තරගාවලිය දිහා අප බලා සිටියේ ඉතා අනුකම්පාවෙනි. එය හරියට සුනාමියට අසු වූ නගරයක මිනිසුන් සිහි ගන්වන ආකාරයේ එකක් විය. අයි.පී.එල් බැලු කෙනෙකුට එය නවදැලි හේනට ගිය මානසිකත්වය ඇති වීම නවතාලිය නොහැක. කොටින්ම කියනවා නම් කිසිම "ගෝ " එකක් නැත. එනමුදු ලෝකයට විවිධ වාර්තා එකතු කරමින් සිටින අපි එහිද වාර්තාවකට හිමිකම් කියයි. ඒ රටක ක්‍රිකට් බලධාරීන් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් අයි.පී.එල් වෙතින් මුදල් ලබා ගන්නා පළමු අවස්ථාව එය බැවිනි. අනෙකුත් සියලුම කණ්ඩායම් වෙනුවෙන් අදාලා කණ්ඩායම වෙත මුදල් ගෙවීම සිදු වේ. 

එවැනි දියාරු තරගාවලියකින් තෝරා ගත් කණ්ඩායම "මෙන්න අපේ චැම්පියන්ලා" යයි පම්පෝරි ගසා අයි.පී.එල් එකට පෙන්වන්නට අපේ බලධාරීන් සිතුවා වන්නට හැක. එහෙත් මෙම කණ්ඩායම එහි නියම තරගාවලියට අවතීර්ණ වීමට නම්  ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හතරවන ස්ථානයට පත් සන්රයිසස් හයිද්‍රාබාද්, පකිස්තානයේ ෆයිසලාබාද් වුල්ව්ස්, නවසීලන්තයේ ඔටෙගෝ වොල්ට්ස් යන කණ්ඩායම් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ජය ගත යුතුය. ඒ අතින් ගත් විට සංගක්කාරට මෙම කණ්ඩායම් දෙකෙන් කොයික නියෝජනය කලත් එකය. එහෙත් මෙම කණ්ඩායම් දෙක සැසඳූවොත් වඩා ශක්තිමත් සහ වඩාත් සංවිධානාත්මක කණ්ඩායම සන්රයිසස් කන්ඩායම බව පිළිගත යුතුය. 

කණ්ඩාම් තෝරා ගැනීමේ ගැටලුව ඉදිරියට ආ පළමු වතාව මෙය නොවේ. පසුගිය වසරේ එවැනි සිද්ධියක් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන පොලාර්ඩ්ට සහ බ්‍රාවෝට් ඇති විය. ඒ ගැන ක්‍රීක්ටර්ෆ් වෙබ් අඩවියේ පලවූ අපූරු වාර්තාවක පරිවර්ථනයක් ඇවිද්ද පය බ්ලොග් අඩවියේ පසුගිය වසරේ පල කළෙමු. එය කියවූවානම් මෙය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පහසු වනු ඇත. අයි.පී.එල්. සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොමු කරන්නේ අපගේ බලධාරීන්ය. එම ගිවිසුම් වලට අත්සන් තබන්නේ ක්‍රීඩකයා පමණක්ම නොවේ. පාලක මණ්ඩලය වෙනුවෙන්ද කෙනෙකු අත්සන් තබයි. ඉතිං මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද බැදී සිටී. ඒ අනුව යම් ක්‍රීඩකයෙක් අයි.පී.එල්. කණ්ඩායම නියෝජනය නොකර තම රටේ කණ්ඩායම හෝ වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කරයි නම් එය ගිවිසුම උල්ලංඝණය කිරීමකි. එවිට ගිවිසුම් ප්‍රකාරව නියම වන දඩ මුදලක් පෙරලා අයි.පී.එල්. වෙත ගෙවීමට ඔවුන් බැදී ඇත. 

මෙය මරාගෙන මැරීමක් ලෙස මා නම් කලේ එමගින් මුල්‍ය අලාභ සිදු වන්නේ කුමාර්ට පමණක් නොවන බැවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයකටද සැලකිය යුතු මුදලක් අහිමේ වේ. මෙම තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද ඩොලර් මිලියන 1.5 ක මුදලක ලැබේ(සහභාගී වන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු මුදලින් 10% ක කොමිෂන් මුදල් මගින් හා කණ්ඩායම සහභාගී කරවීමට ලැබෙන ඩොලර් මිලියන භාගයක මුදල). එයින් ඩොලර් එක් ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වේ. නමුත් සන්රයිසස් වෙතින් කුමර්ට ලැබෙන මුදලින් කොටසක් අඩු කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට දෙන්නට හැදුවේ, රට අමතක කර මුදල් පසුපස දුවන තත්වයක් යන ලේබලයයි. දැන් එය ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇත. රට වෙනුවෙන් සෑම අතින්ම ගරු නම්බු නාම හිමි කර ගන්නා කුමාර් වැනි ක්‍රීඩකයන් රටට සම්පතක්ය. 2011 කොලින් කවුඩ්රි දේශනයත් සමග ක්‍රිකට් ලෝකය මවිත කල කුමාර්ට, ක්‍රිකට් රන් දෙවොල ලෙස සැලකෙන එම්.සී.සී. හී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය පවා හිමි වුණි.

මේ සිද්ධියෙන් පසු ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වන කුමාර්, 2003 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබීමෙන් පසු දේශීයව තමන් වෙතට ලැබුණු සහ ඉපයූ කිසිම මුදලක් තමා නොගත් බවද, ඒවා සෙසු ක්‍රීඩකයන් අතරේ බෙදා දුන් බවද පවසා ඇත. තම ක්‍රීඩා සමාජය තමා වෙත ලබා දුන් මුදල් එහි සේවකයන්ට පරිත්‍යාග කල බවද ඔහු පවසා ඇත. එමගින් ඔහු පෙන්වන්නට උත්සාහ දරා ඇත්තේ තම වචන වලින් පමණක් නොව ක්‍රියාවෙන්ද "මුදල් පසුපස නොගිය අයෙක් බවයි". මෙවැනි දේ කිසි දිනක පවසන්නට ඔහු සිතා නොසිටින්නට ඇත. නමුත් බලධාරීන් ඔහු පත් කල අසීරුතාව නිසා මේ දේවල් හෙළි කරන්නට ඔහුට සිදු වන්නට ඇත. නියමිත දිනට ක්‍රීඩකයන්ගේ පඩි වත් ලබා නොදෙන තත්වයක එවැනි චෝදනාවක් කිරීම කෙතරම් යුක්තිසහගතද ? ඇත්ත වශයෙන්ම මුදල් උපයන්නට අවශ්‍ය නම් ඔහුට මේ වනවිටත් විවිධ රැකියා අවස්ථා ඇත.  අයි.සී.සී. ආයතනය පවා තනතුරු ලබා දෙන්නට සුදානම්ය. ක්‍රිකට් නිවේදකයෙක් වන්නට ඔහුට ඉහල හැකියාවක් ඇත.

මෙවැනි ජාතික සම්පත් නොව ලෝක සම්පත් ලෙස සැලකිය හැකි ක්‍රීඩකයන්ට පල නොකියා පලා බෙදීමෙන් ඔවුන් අකාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්වන්නට දරන උත්සාහයන්ද යන්න අපට ඇති වන සැකයයි. 

Monday, August 19, 2013

ගනුදෙනුකරුගෙන් කොමිෂන් අය කිරීම සාධාරණද ?

අද දින බ්ලොග් පොස්ට් එකක් දැමිය යුතු වුවත් ඒ සඳහා කිසිම හැකියාවක් නොමැති නිසා මේ දක්වා පරිගණකයෙන් ඈත වී සිටියෙමි. හේතුව මගේ දකුණු ඇහැ වසාගෙන තිබෙන නගනයයි. එය ඉදිමී ඇස ඇර ගන්නට බැරි තත්වයේ ඉඳන් බ්ලොග් පොස්ට් එකක් දැමීම කොතරම් ඥානාන්විත ක්‍රියාවක්දැයි ඔබට වැටහෙනු ඇත. මීට පෙර කිහිප වතාවක් නගන ඇවිත් තිබුණත් මෙවර නම් ඉතා භයානක තත්වයක් යයි මට සිතේ. ඒත් මතක් වූ වෙලාවට නොලිව්වොත් නැවත එය ලියන්නට සිත් නොවේ. එහෙනම් අපි මාතෘකාවට බහිමු. මේ දවස් වල බ්ලොග් කියවන්න අවස්ථාවක් නොගන්නේ අසනීප තත්වය නිසාය. ඒ ගැන අහිතක් නොසිතන්න.
පින්තුරය ගත්තේ : http://www.rankia.com

අද උදේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්, අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මගෙන් විමසා සිටියේ 

"ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ගියාම කඩේ අය කියනවා, HNB මැෂින් එකක් තියෙන නිසා අපේ කාඩ් වලට 3%ක කොමිෂන් එක අපෙන් ගන්න කියලා HNB එක කියලා තියෙනවා කියලා"

ඉතිං මේ වගේ අවස්ථා වලට ඔබ මෙන්ම මමත් අනන්තව මුහුණ දී තිබෙනවා. මගේ දියණිය අධ්‍යාපනය ලබන රෝයල් ඉන්ස්ටිටියුට් එක පවා මේ බොරුව අපට පවසනවා. යුනිටි ප්ලාසාහී තිබෙන පරිගණක කඩද  ගනුදෙනුකරුගෙන් කිසිදු කැතක් නැතිව එම මුදල අය කර ගනී.ඒ නිසා මෙහි නිවැරදි තත්වය කුමක්ද කියා අප දැනුවත් විය යුතුයි.

කාඩ් පතකින් වන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ගෙන් කොමිෂන් මුදලක් කාඩ් මධ්‍යස්ථානය අය කරන්නේ, මුදල් අතේ නැති වුවත් ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවන්නට ගනුදෙනුකරු පෙළඹෙන්නේ, වෙළෙන්දා කාඩ් වලින් ගෙවීම ලබා ගැනීමට සුදානම් නිසාය. ඇත්තටම එය සත්‍යකි. මුදල් නැතිවුවත් ඔබ ළඟ කාඩ් පතක් ඇතිනම් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට ඔබ ඉදිරිපත් වන්නේ එම ස්ථානය කාඩ් භාර ගන්නේ නම් පමණකි.

මේ කොමිෂන් වල ප්‍රතිශතය 1% සිට 5% දක්වා අගයන් ගනී. එය තීරණය වන්නේ ඔවුන් කරන වෙළඳාම මතය. බොහෝවිට අධ්‍යාපන ආයතන වලට ඉතා අඩු අගයක් අය කිරීමට යන්ත්‍ර නිකුත් කරන  ආයතන ක්‍රියා කරයි. නමුත් වෙළෙන්දා ගනුදෙනු කරුගෙන් අය කරන්නේ 3% සාමාන්‍ය අගයය. ඔවුන් එතන ලාබයක් ලබා ගන්නා අවස්ථාද තිබේ.  එය ගනුදෙනු කරු මත පැටවීම සම්පූර්ණ අසාධාරණ, අවස්ථාවාදී ක්‍රියාවකි. මෙවැනි වෙළෙන්දන් ගැන මට කීමට ඇත්තේ ඔවුන් වෙළඳාම ගැන හයක් හතරක් නොදන්නා පිරිසක් බවයි.

වෙළෙන්දාට හිමි මුදල දවසකින් හෝ දෙකකින් ලබා දීමට කටයුතු කර තිබියදීත් එවැනි ක්‍රියා කරන්නන් කෙතරම් අවස්තාවදීදැයි ඔබට දැන් වැටහෙනු ඇත. නමුත් 90% කඩ-සාප්පු සහ ආයතන මෙම වාසිය පසුපස යන්නේ නැත. මෙවැනි ආයතන අදාළ කාඩ් මධ්‍යස්ථානයට වාර්තා කිරීම ගනුදෙනු කරුවන් වශයෙන් ඔබට සහ මට කල හැකි හොඳම දෙයයි. ඔබ ගන්නට යන භාණ්ඩය අත්‍යවශ්‍ය නම් එම මුදල ගෙවා ලබා ගන්න. ඉන්පසු කුමන ආයතනයේ යන්ත්‍රයක්දැයි සැක හැර දැන ගන්න. පසුව එම ආයතනය අමතා එම තත්වය වාර්තා කරන්න. 

යන්ත්‍ර ලබා ගන්නට පොරොත්තු ලේඛන වල  වෙළෙන්දන් සිටිනා තත්වයක, මෙවැනි අවස්ථාවාදීන් සොයා ගැනීමට ක්‍රෙඩිට් කාඩ් ආයතන සහ යන්ත්‍ර ලබාදෙන වෙනත් ආයතන(ග්ලෝබල් පේමන්ට් වැනි) වලට කරන සහයකි. එවැනි අවස්ථාවක වෙළෙන්දා ඉදිරියේම එය කළහැකි මුත් කළහ ඇති කර ගැනීම නුවනට හුරු නොවන්නේ, සමහර වෙළෙන්දන් වෙසින් පෙනී සිටින්නේ පාතාලයේ නායකයන්ද විය හැකි නිසාය. 

Thursday, August 8, 2013

වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?

1956 ආණ්ඩුව බස් ජනසතු කළා කියලා අපේ තාත්තා කියනවා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ලංගම ඇති වෙන්න කලින් තිබ්බ පුද්ගලික බස් සේවේ. ඊට පස්සේ යලින් පුද්ගලික බස් සේවාවක් පටන් ගන්නේ 1977 ආණ්ඩුව. එහි වරදක් දකින්න බෑ. මොකද ලංගමට විතරක් මේ කාරිය කරන්න බැරි නිසා හොඳ පුද්ගලික සේවාවක අවශ්‍යතාව ඒ කාලේ තිබ්බා. මුලින් පටන් ගත්ත කාලේ නම් මිනිස්සු කැමැත්තෙන්ම ඒ බස් වල නැගලා ගමන් බිමන් ගියා. ඒත් ටික කාලයක් ඒවායේ යනකොට මිනිසුන්ට ප්‍රයිවෙට් බස් එපා වුණේ පොල් පටවනවා වගේ පැටවිල්ල සහ කොන්දොස්තරගේ විධානයට අනුව ව්‍යායාම කරන්න සිද්ද වෙච්ච නිසා. 

මට මතකයි ඉස්සර ඉසුසු එල්ෆ් කියලා පොඩි වෑන් ජාතියක් තිබුණා. ඒ වගේ බස් එකක ගිහින් බහින කොට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා ඒ බස් වල ගිය අය දන්නවා. මේ ප්‍රයිවෙට් බස් එක්ක ඇති වෙච්ච උප සංස්කෘතිය තුල ඇති වෙච්ච් වචන මාලවකුත් තියෙනවා. ඒ වගේ වචනයක් තමයි කොටනවා කියන්නේ. මේවාගේ තේරුම් ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කපාගෙන යනවා කියන්නෙත් ඒ වගේ තවත් වචනයක්. ජැක් ගහනවා කියන්නෙත් ඒ වගේම එකක්. තවත් ඕනෑ තරම් ඇති.

මොනවා වුණත් අද මම කියන්න යන්නේ කෙටිල්ල ගැන. ඊට කලින් මේ බස් අංක ගැනත් යමක් කියන්න ඕනේ. මේ ලංකාවේ වගේ බොහෝ රටවල බස් අංක විදියට භාවිතා වෙන්නේ ඉලක්කන් තුනේ මේ අංක. මම දවසක් ඩිස්කවරි එකේ බලාගෙන හිටියා වැඩසටහනක් ඒකෙ කිව්වේ ප්‍රථමක(Prime Numbers. මතකනේ අර එකෙනුත් ඒ ඉලක්කමෙනුත් බෙදෙන අංක) සංඛ්‍යා පාවිච්චි කරන බස් අංක වඩා සාර්ථකයි කියලා. ඒගොල්ලෝ සාර්ථක කියන්නේ ආදායම පැත්තෙන්. මගියාගේ පැත්තෙන් සාර්ථක වෙන්නේ මොන අංකද කියලා හොයලා බලන්නත් වටිනවා.

කෙටීම ගැන මගේ මතකයට ආවේ, මට නැවතත් බත්තරමුල්ලේ කාර්යාලයට සේවයට වාර්තා කරන්න සිද්ද වෙච්ච නිසා. දැන් 163 බස් එකේ තත්වය ටිකක් හොඳයි. ඉස්සර වගේ නෙවෙයි. 2005-2007 කාලෙත් මම මේ බස් ඒකෙම ගියා. එතකොට කෙටුව කෙටිල්ලට මට මේක එපා වෙලා තිබුණේ. කිසි දවසක වෙලාවට ඔෆිස් යන්න බැරි වුණා. දැන් ඔවුන්ට පැයක් ඇතුලත මේ ගමන නිමා කරන්න අවශ්‍යයි කියලා නීතියක් දාලා. ඒක නිසා ටිකක් හොඳයි. ඒ වුණාට ඔවුන් පුරුදු විදියට විනාඩි 45ක් කොටලා ඉතිරි ටික යනවා හැල්මේ. මේ බස් මාර්ගය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් තමයි පටු පාර සහ කඳු. ඒ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා කොටසේදී.

කෙටිල්ලට ඉතාම ප්‍රසිද්ධ තවත් බස් රූට් එකක් තමයි 255 කොට්ටාව - ගල්කිස්ස. මම ජීවිතේටම එකම එක වතාවයි ඒ බස් මාර්ගේ ගිහින් තියෙන්නේ. ඒකෙන් මේ කියන කථාව මම තේරුම් ගත්තා. අපේ ලයනල් කියලා මිත්‍රයෙක් කියපු කතාවක් මතක් වුණා මේ බස් මාර්ගේ සම්බන්ධව. මේ බස් එකේ ගිය සරසවි ශිෂ්‍යයෙක්, ගමනාන්තයෙදී ඩ්‍රයිවර් මහතාගෙන් අහලා තියෙනවා
මේ ඉක්මන් ඩොට් එල්කේ කියන එක දැක්කම හිනා යන්නේ නෑ නේද ?

"උඹේ අම්මා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? " කියලා. එහෙම කියලා එතන ඉන්න නම් නැතිව ඇති.

කෙටිල්ල ගැන තවත් ප්‍රසිද්ධ බස් මාර්ගයක් තමයි කැලණිය - කොහුවල. කොටනවා කියන්නේ හොඳ එකෙන්ම කොටනවා. මේ වගේ තවත් බස් රූට් ඕනෑ තරම් ඇති ලංකාවේ. මේ සටහනේ අරමුණ අන්න ඒවා අපේ කමෙන්ට් කරන අයගෙන් දැනගෙන හෙළිදරව් කරන එක.  

Thursday, June 27, 2013

ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ ලඟදි ඉඳලා සෞක්‍යය ගැන හිතලා මම උදේට සයිවර් කෑම කන්න පටන් ගත්තා. මොකද ඒවා පූර්ණ නිර්මාංශික වගේම, උඳු මත පදනම් වෙච්ච ආහාර හින්දා කොහොමත් හොඳ නිසා. මේ සයිවර් කඩේ ඉන්නවා මම තෝරා ගත්ත එක්තරා වේටර් වරයෙක්. මට හොඳට සංග්‍රහ කරනවා. මමත් එයට ප්‍රතිචාර දක්වනවා රුපියල් 10,15,20 වගේ සන්තෝසමක් දීලා. නමුත් අද උදේ මේ වේටර් වරයා කිසිම විශේෂත්වයක් නොදක්වා තමයි මට සේවාව සැපයුවේ. ඒත් මම සුපුරුදු සන්තෝසමම දීලා ආවා. එහි සිට එත්දී මට හිතුනා ටිප් දීමයි කමෙන්ට් කිරිල්ලයි එක වගේම නේද කියලා. 

පින්තුරය ගත්තේ :
http://sylvianenuccio.com
හොඳයි අපි දැන් කමෙන්ට් පැත්තට හැරෙමු. අපි කොහොමද කමෙන්ට් කරන්නේ. සමහරු "පිට කහ ගැනිල්ලක්" විදියට කරනවා. ඒ කියන්නේ කෙනෙකුගේ බ්ලොග් රෝලේ ඉන්න ඒවාට ඒ කෙනා  ගිහින් මොනවා හරි කමෙන්ට් කෑල්ලක් කොටලා එනවා. එතකොට අර බ්ලොග් කාරයාට මතක් වෙනවා "අඩේ අරකා මට හැමදාම කමෙන්ට් කරනවා නේද ?" කියලා. එතකොට එයත් ගිහින් ප්‍රතිඋපකාර කරලා එනවා. ඉතිං මේවගේ වැටෙන කමෙන්ට් ගැන මම අමුතුවෙන් ලියන්න අවශ්‍ය නෑ. මේ බ්ලොග් සාගරේ දවස ගානේ සැරිසරන ඔබ තමුන්නාන්සේලා ඔය ගැන හොඳටම දන්නවා ඇති.

තවත් කොටසක් ඉන්නවා. ඒ කොටස තමයි මම වැඩියෙන්ම කැමති කොටස. නිදහස් මතදාරියෝ කියලා කිව්වොත් වඩා නිවැරදියි. උදාහරණ දෙනවා නම් සුමිත් නිරිඇල්ල  තැනක කමෙන්ට් කරන්නේ හුදෙක් හිතවත් කමටම නෙවෙයි. මිනිහට කථා කරන්න යමක් තියෙනවා නම්. හොඳ හෝ නරක කමෙන්ට එකක් එකතු කරනවා. මේ ගණයේ මම දන්න තවත් අය ඉන්නවා. නොදන්නා අයත් ඇති, මෙතනදී සුමිත්ව තෝරා ගත්තේ බොහෝ දෙනා දන්නා ඒ වගේම මමත් හොඳට දන්නා කෙනෙක් නිසා. 

බොහොම සුළුතරයක් ඉන්නවා තනිකර බ්ලොග් කියවන. ඒ අය තමන්ගේ රුචිකත්වය අනුව බ්ලොග් තෝරා ගන්නවා, ඒ වගේම හොඳ හිත පවත්වා ගනිමින් කමෙන්ට් කරනවා. මේ වගේ අය කියවන්නේ විනෝදාස්වාදය සහ කාන්සිය මකා ගැනීම සඳහා. ඉතිං ඒ අය කා සමගවත් ආරෝවක් ඇති කර ගන්නේ නෑ. ඉතාම වැදගත් කොට්ඨාශයක් වුනත් ඉන්නේ බොහොම ස්වල්ප දෙනෙන්ක්.

තවත් කොටසක් ඉන්නවා කියවලා මොනවා හිතුනත් කමෙන්ට් එකතු නොකරන. ඒ ය ගැන යමක් කියන්න නොහැක්කේ ඔවුන් ගැන තේරුම් ගන්න බැරි නිසා. ඒත් බ්ලොග් කරුවෙක් විදියට ඒ අයත් අපිට ඉතා වටිනවා. මොකද ඔවුන්ගේ කියවීම පවා අපට දිරියක් නිසා. 

අනිත් කොටස තමයි බ්ලොග් ලියන ඒ වගේම කියවන අය. සමහරු මුලින් මුලින් බ්ලොග් එකකට ගොඩ වැදිලා කමෙන්ට් කරලා බලනවා ඒ කෙනා තමන්ගේ එකටත් ගොඩ වැදිලා කමෙන්ට් කරනවද කියලා. එන්නෙම නැත්නම් ඉල්ලීමක් කරනවා අපේ එකත් බලන්න කියලා. එහෙම කරලත් හරි ගියේ නැත්නම් අර බ්ලොග් එක අත් ඇරලා දානවා. එක්කෝ ඉඳ හිට නොදැම බැරිනම් කමෙන්ට් එකක් දානවා.

තවත් සමහරු විවිධ මතවාදීමය හේතු නිසා බ්ලොග් වර්ජනයක යෙදෙනවා. කොටින්ම මමත් එහෙම නොයන බ්ලොග් තියෙනවා. ඒවාට විවිධ හේතු කාරණා තිබෙන්න පුළුවන්. අන්තර්ගතය තමයි ප්‍රශ්නේ වෙන්නේ. පුද්ගලික මඩ ප්‍රහාර දියත් කරන ඒවාට නම් මම පුද්ගලිකව අකමැතියි. ඇත්ත, නැත්ත කුමක් වුනත් මේ වාගේ දේවල් වලින් කාට හෝ හානියක් වෙනවා. ඒ නිසා එවැනි බ්ලොග් දිරි ගැන්වීමක් වෙනවා අපි එහි ගියොත්. එනිසා නොයන එක හොඳයි. 

හොඳයි තව කණ්ඩායමක් ඉන්නවා මතවාදී ගැටුම් කමෙන්ට් තුල ඇති කර ගන්න. "බුවා, සයිලන්ට් සහන් සහ මාතලන්" මේ කොටසට  හොඳ උදාහරණ. තමන් පිලි ගන්නේ නැති ඕනෑම දෙයක් විවේචනය කරන්න මේ අය  පසුබට වෙන්නේ නෑ. මේ කණ්ඩයාම සටහනට පමණක් නොවෙයි කමෙන්ට් තුල තිබෙන දේ සමග පවා මතවාදීමය ගැටුම් ඇති කර ගන්නවා. සමහර වෙලාවට මාතෘකාවෙන් පිට යන වෙලාවලුත් එනවා. 

ඊළඟ කණ්ඩායම තමයි සුප්‍රසිද්ද "ඇනෝ" වරු. එයාලාව කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි නමිනි පෙනී හිටින්න අකමැති වුනත්, ඵලදායි කමෙන්ට් එකතු කරන්නන්. තවත් අය ඉන්නවා නමින් පෙනී ඉන්නෙත් නෑ, නමුත් කිසිම දිනක බ්ලොග් එකකට හොඳක් කියන්නෙත් නැති. ඊළඟ කොටස තමන්ට නමින් පෙනී ඉඳලා කියන්න බැරි ඒවා අත ඇරලා දාන්නා ඇනෝ ලේබලය යොදා ගන්නා අය. භයානකම කොටස මේක තමයි. ඉතිං මේ නිසා බොහොමයක් බ්ලොග් දැන් ඇනෝ වාරණයක නිරත වෙලා. 

මම කමෙන්ට් කරන විදිය නම්, බොහෝ විට අර ටිප් එකක් දෙනවා වගේ ලිවීම දිරි ගැන්වීමක් වශයෙන් බලන හැම එකකටම කමෙන්ට් එකක් එකතු කරනවා. මම දන්නවා මේ ක්‍රමයෙන් නමක් දිනා ගන්න බෑ කියලා. ඒත් කුමක් හෝ ලියන අය අප අතර ඉන්න ඕනේ නිසයි මම එහෙම කරන්නේ. (කුමක් = වලට අයිති නැති තැනුන් තියෙනවා).

හොඳයි, ඔබ කොහොමද බ්ලොග් එකකට කමෙන්ට් කරන්නේ ? සියලු දෙනාගේ අදහස්  දැන ගන්න කැමතියි. මේ වගේ රිසර්ච් කරන එක මගේ විනෝදාංශයක්නේ. ඔන්න මේකටනම් හැමෝම කමෙන්ට් කරන්න ඕනේ. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...