Tuesday, August 28, 2012

ඉර බැස යන වෙරළේ එකෙකු ඉර නැග එන වෙරළට ඇදගෙන ගොස් දැමීම - 2 කොටස (ගිනියමෙන් සිසිලසට)

ඉස්සර අපි චිත්‍ර කථා බලන්න පුරුදු වෙලා හිටිය. අද කාලේ වගේ ෆේස්බුක්, ගූගල් යුගයක් නෙවෙයි එදා තිබුණේ. තනිකරම පත්තර, පොත් පත් පමණක් පරිශීලනය කරමින් ගත කල යුගයක්.  සති අන්ත කාටුන් පත්තර වලට අපි කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියාද කිව්වොත් ගෙවල් ගානේ ගිහින් පත්තර බලන නැත්නම් ඉල්ලගෙන ඇවිත් බලන පුරුද්දක් අපට තිබුනා. පුස්තකාල වලත් දිනපතා සතිඅන්ත පත්තර තිබුණත්,  චිත්‍රකතා ඒවාට ගෙන්වන තත්වයක් තිබ්බේ නෑ. නමුත් අද මම ලියන්න යන කතාවට පත්තර කොහොත්ම සම්බන්දයක් නෑ. කියන්න ඕනෑ වුනේ මම ඒ කාලේ බලපු චිත්‍ර කතාවක වෙච්ච අපුරු සිද්ධියක් මම අද දාන්න ලියාගෙන යන මේ පොස්ට් එකට සම්බන්ධයක් තියෙන නිසා. මට හරියටම චිත්‍රකතා පත්තරේ මොකක්ද කියල මතක නෑ, ඒ වගේම කතාව මොකක්ද කියලා මතකත් නෑ. හොඳයි ඒ කාලේ තිබ්බ ජනප්‍රියම චිත්‍ර කතාවක් වෙච්ච සරත් මධු කියන අතිශය ජනප්‍රිය කාටුන් ශිල්පිය ඇන්ද "ඉතිං ඊට පස්සේ" කියල නිකමට හිතමු. මේ කියන සතියේ කතාව කියෙව්වහම අපට පොඩි සැකයක් ආව, ගිය පාර අවසන් කරපු තැනයි, මේ සතියේ පටන් ගත්ත තැනයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ නේද කියල. අපි හිතපු විදිය හරි කියල තේරුනේ ඊළඟ සතියේ පත්තරේ ඒ ගැන කනගාටුව පල කරලා ගිය සතියට නියමිත කොටස අද කියල දැම්මහම. එතකොට වැඩේ කේකුයි - පපඩනුයි වගේ වෙලා ගියා. අන්තිමේදී අපි කලේ පත්තර තුනම එකට අරගෙන කියවපු එක. හරියට අතුරුපස කාල පස්සේ බත් කෑවා වගේ වැඩක්. 

මම අද ලියන්න යන පොස්ට් එක, පොස්ට් දෙකකින් ලිවයුතු කතාවක දෙවෙනි කොටස. දැන් ඔබට හිතෙනවා ඇති නේද "මොකක්ද මේ කරන්න යන ගොන් වැඩේ මුලින්ම පලවෙනි කොටස ලිව්වනම් ඉවරයි" කියල. ඇත්ත ඒත් මේකේ පලවෙනි කොටස මතක් කර කර මම හෙමිහිට ලියාගෙන යනවා. තවම බාගයක් වත් ඉවර කරගන්න හම්බ වුනේ නෑ. මම මේ දෙවෙනි කොටස කලින් දාන්න හිතුවේ, දෙවෙනි කොටස ලියන එක ඉක්මනට ඉවර කර ගන්න පහසු නිසා. පලවෙනි කොටස එහෙම බෑ. හොඳයි අපි දැන් කතාවට යමුකේ. මම කෙටියෙන් කියන්නම් පලවෙනි කොටස ගැන. මේ කතාව සිද්ද වුනේ 2001 කේ ව්‍යාජ සාමය තිබ්බ කාලේ. ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත අපේ ඉහල නිළධාරීන් නැගෙනහිර පළාතේ ශාඛා පුළුවන් තරම් පරිගණක කරන්න තීරණය කරලා තිබුනා. නමුත් මේ පැති වලට සිංහල අපිව යවන්නේ නෑ. ඒත් පනිෂ්මන්ට් එකක් විදියට තමයි මාව මේකට යවන්න තීරණය කලේ. අන්තිමේදී මම ගියා. සාමාන්‍යයෙන් මෙහෙම යද්දී සති දෙකක පුහුණුවක් ශාඛා වල සේවකයන්ට ලබා දෙනවා. දෙවන සතියේ මැදදී මට මැච් එකක් තියෙන බව දැනගෙන මම එකට අවශ්‍ය ඇඳුම් ටිකත් අරගෙනම තමයි ආවේ. මැච් එක තිබුණේ නුවරඑළියේ රදැල්ල  ක්‍රීඩාංගණයේ. අපි නැවතිලා හිටියේ අක්කරේපත්තු කියන මුස්ලිම් ගමේ. මේ පැති වල යුද්දය නොතිබුනත් සෑම උදෑසනකම මොකක් හරි විශේෂ සිද්ධියක් ගැන වාර්ථා වෙනවා. ඒ පැති වල මිනිසුන්ට ඒවා සාමාන්‍ය දේවල්.  සිකුරාදා තරගය තියෙන්නේ. ඒ කියන්නේ මම බ්‍රහස්පතින්දා පිටත් වෙන්න ඕනෑ. මම බදාදා අපේ අංශ ප්‍රධානියා වෙච්ච විතාරණ මහත්මයට කථා කලා.

"සුභ උදෑසනක් ඉලන්දාරියා, කොහොමද ඔය පැත්තේ තොරතුරු"

"හොඳයි මිස්ට විතාරණ" මම කෙටියෙන් පිළිතුරු දුන්න. මේ මනුස්සයා මේකට මාව එවන්න තීරණය කරලා මට මොන වදයක් දුන්නද කියල දන්නේ මම විතරයි. දැන් මොනවත් දන්නේ නෑ වගේ අහන හැටි.

"මොකද ඉලන්දාරියා කථා කලේ?"

" මිස්ට විතාරණ මට සිකුරාදා මැච් එකක් තියෙනව නුවර එළියේ" වෙනද මේ වගේ දෙයක් කථාඅරන්නේ අපි ටිකක් තිගැස්මකින්, ඒත් සති දෙකකට කලින් මට තිබ්බ ඒ බය නැති කලෙත් මේ මිනිහම නේදැයි මට සිතිනි. දැන් මට හිටියත් එකයි නැතත් එකයි. 

"දැන් ඉලන්දාරියා කොහොමද එන්නේ? හරි දුරයි නේද ?"

"මම බස් එකේ එනවා මිස්ට විතාරණ. උදේ හයට බස් එකක් තියෙනවලු."

"දිල්රුක්ට පහුගිය ටිකේ හරියට කරදර නේද? හරි දුෂ්කර ගමනක් නේද?"

"කමක් නෑ මිස්ට විතාරණ මම බැංකුවේ ඉන්නෙත් ක්‍රිකට් නිසා. නැත්නම් මම මෙලහකටත් වෙන රස්සාවකට ගිහින්". දෙවෙනි වාක්‍ය වචන වලට පෙරලන්න තරම් මට ශක්තියක් තිබුණේ නෑ. මොකද මේ වගේ වාක්‍යක් නිසා මේ අවස්ථාවත් නැති කර ගන්න මට උවමනාවක් තිබුණේ නැති නිසා. 

"හොඳයි ඉලන්දාරියා එහෙනම් සෆීර්ට කියල යන්න. ශාඛාවේ වැඩ කටයුතු හරි නේද?"

"ඔව්. මිස්ට විතාරණ. මම එහෙනම් තියන්නම්"

"හොඳයි. හොඳයි"

මිනිහා අද කථා කරන්නේ බොහොම කූල් පිට. 

මම පිටත් වෙද්දී සෆීර් මගේ අතට දුන්න පුංචි මුලක් ඉටි කවරයකින් ඔතපු. මුලක් කිව්වට එක වගේ දෙකක්ම. 

"මේ මොකක්ද?"

"මචං මේක චුලන්තයට දීපං. උඹ මට කලින් කොළඹ යනවනේ"

"මොනවද මචං මේ ?"

"මේක නිසාම් කොපි. ගොඩක් ජාති එකතු කරලා හදල තියෙන්නේ. අර එදා අපි කන්න ගිය කඩේ කොල්ල කිව්වේ මෙන්න මේවා"

"ආහ් ! මට දැනුයි මතක් වුනේ. අර ගංජායි කෝපියි තව මොනවද දාල හදන ඒවා නේද?"

"ඔව් ඔව් චුලන්තයට තමයි මේවා හොඳ. ඌ ඔය වගේ ඒවාට ආසයි නේ. හැබැයි මේක ලේසි එකෙකුට ගහන්න බෑ. බලමු චුලන්තය මොනවා කර ගනීද කියල"

"අනේ ඌට ඕක ගානක්වත් නැති වෙයි. ඌ ඉතිං ඔය වගේ ගුලි චුර්ණ වලට එක්ස්පර්ටනේ"

"බලමුකෝ"

මම අපේ ඩ්‍රයිවර් ඇනොප්ලීස්ව කැමති කර ගත්තා උදේ පහට මාව අම්පාරට දාන්න යන්න. උදේ හයට නුවරඑළි බස් එක. ඇනොප්ලීස් කියල මිනිහට කාඩ් එක වැදුනේ ඉස්සර මිනිහා බ්‍රාන්ච් වල නැවතිලා ඉන්න සේවකයන්ගේ පහසුවට බෙදල දීපු මදුරු දැල් බෙදන්න ලංකාවේම ගිය නිසා. ඇත්ත නම වෙච්ච සෙනෙවි(රත්න) කියන නමින් කවුරුවත් මුනටවත් කතා කලේ නෑ. 

උදේ හතරහමාරට මගේ ෆෝන් එකේ තිබ්බ එලාම් එකේ නාදෙට දඩස් ගාල ඇඳේ ඉන්දුනා. මම ටක් ගාල ලයිට් එක දාලා ඇඳ ලඟම කලින් සුදානම් කරලා තිබ්බ මගේ දත්බුරුසුවට දත් බෙහෙත් ටිකක් දාගෙන, ටවල් එකත් කරන් පිටිපස්සේ තියෙන නාන ස්ථානයට පිටත් වුනා. මේ වෙනකොටත් මේ නගරය ඇහැරිලා. සීයට සීයක්ම මුස්ලිම් ජාතිකයන් ජීවත් වෙන මේ නගරේ හතර අතින් පල්ලි වලින් නැගෙන උදෑසන යාතිකාව ඇහෙනවා. කඩිමුඩියේ පාරේ එහා මෙහා යන මුස්ලිම් ජාතිකයන් උදේ වුනත් නගන හඬේ වෙනසක් නෑ. මම ඉතාම කෙටි කාලයක් අරගෙන පිරිසිදු වෙලා ආවා. මම එද්දී සෆීරුයි සෙනෙවියි නැගිටලා. 

"ගූඩ් මෝනිං"

"ගුඩ් මෝනිං මචං"

"දිල්රුක් මහත්තය අපි යන්ද තේකක් බොන්න" සෙනෙවියාගේ ඉල්ලීම අහක දන්නා බෑ. අපි දෙන්නත් එක්ක පාරෙන් එහා පැත්තේ තියෙන කඩේට පිටත් වුනා. මේ කඩවල කෝප්ප ඒ තරම් හෝදන්නේ නෑ. හිරිගල් වතුරටයි, එකතු වෙච්ච කහට/කිරි මිශ්‍ර තේ තට්ටුවටයි සුදු කෝප්පේ තනි කහ පාටයි. මම ඒ තේක බොන්නේ නහය වහගෙන. ඒත් එතනට එකතු වෙන පල්ලියෙන් පිටවූ මුස්ලිම් ජාත්කිකයන් ස්රෝස් ගගා රස කර කර ඒ තේක බොනවා. මේ දුක අද විතරයි නේ කියල හිත හදාගෙන අන්තිම තේකත් බිව්වා. අද මට යන්න තියෙන ගමන ගැන ඩ්‍රයිවර් සෙනෙවිගේ මැප් එකෙන් පොඩි අවුබෝධයක් ගත්තා. සැහෙන වෙලාවක් ගත වෙයි කියන එක විතරයි මට හිතුනේ.

මම වෑන් එකට ගොඩ වුනා. සෙනෙවි මාර ෆයිට් එකක් දෙනවා සිංහල රේඩියෝ නාලිකාවක් අල්ල ගන්න. මේ නැගෙනහිර පළාත, අපිට වඩා ගොඩක් උදෙන් මේ පැත්තට එලිය වැටෙනවා. කාපට් කියන එකක් නොදැකපු, ගල් උඩින් තාර දාපු මේ පාරවල් වල යද්දී පපුව කූල් වෙලා යන අවස්ථාත් නැත්තේම නෑ.  මම එහෙම යන පලවෙනි ගමන මේක නොවන නිසා මට ඒ හැටි බයක් නෑ. ට්‍රැක්ටර් වල නැගුන ගොවියෝ උදෙන්ම තමන්ගේ කුඹුරු වැඩ පටන් ගන්න ලහි ලහියේ ගමන් ගන්නවා. ඔවුන් පාන්දරින්ම යන්න හේතුව මේ පැත්තේ අව්වේ ඉන්නවා කියන්නේ ඉතිං පුත්තලමේ කරවල වේලනවා වගේ වැඩක් නිසා. තියෙන කුඹුරු ප්‍රමාණයත් වැඩි නිසා පුළුවන් තරම් වැඩ කොටසක් කරන්නත් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. මේ පැත්තේ තියෙන කුඹුරු වල අන්තය තියෙන්නේ ක්ෂිතිජයේ. මට කුඩා කාලයේ කට පාඩම් කරපු කවියක් සිහියට ආවේ මේ පොස්ට් එක ලියන අද විතරක් නෙවෙයි, එදා ඒ වෙල් යායවල් මැදින් ගමන් ගත්ත වෙලාවෙත්

දිගාමඩුලු වන පියසේ        -     සිංහල බත් කෑ අපේ
රුහුණු පැටව කල දස්කම් -  අමතක වේද මේ කපේ
ඔවුන්  නමට  තවමත්  මෙහි ගස් වැල් වල මල් පිපේ
විජිත පුරේ දෙසින්   හමා  එන  සුළඟද  එහි   හැපේ


ඉඳහිට ගමන් කරන හමුදා භට කන්ඩ මෙන්ම තමන්ගේ ආම්පන්න කර ගහගෙන යන  ධීවරයන්ද පසු කරමින්  විනාඩි හතලිස් පහක අවෑමෙන් අපි අම්පාරට ලඟා වුනා. මොනවා වුනත් අම්පාර කියන සිංහල ග්‍රාමයට ලඟා වුනාම තමයි මම පපුව පුරෝලා හුස්මක් ගත්තේ.  ඒක ජාතිවාදී කමක් නෙවෙයි. අම්පාරේ දකින්න ලැබෙන ගෙවල් දොරවල් වල පවා යම්  සමීප බවක් තිබුනා. පහුගිය සතියේ තමයි මං තේරුම් ගත්තේ පිරිමි අපිට කාන්තාවන්ගේ ඇසුර නැතුව් ජීවත් වෙන්න බෑ කියලා. මෙහි ඉන්න බොහෝ දෙනෙක් කාන්තාවන් ඇස දෙක පවා කළු තිරයෙන් වසාගෙන ඉන්න නිසා කිසිම කාන්තාවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ වෙලාවේදී තමයි දැනෙන්නේ රණ්ඩු සරුවල් වෙන්න හරි කාන්තාවෝ අපි වටා ඉන්න ඕනේ බව. සෙනෙවිත් මමත් දෙන්නම එකතු වෙලා නුවර එලිය බස් ඒක හොයා ගත්තා. සෙනෙවිගෙන් වෙන් වෙද්දී මගේ හිතේ පුංචි දුකක් ඇති වුනේ මේ සති දෙකක දුෂ්කර කාලේදී නුහුරු රටක ජීවත් වුන අපි දෙන්න සමීප මිතුරන් බවත් පත් වූ නිසා.  

එතනින් පස්සේ තමයි මේ ගමනේ වඩා රසවත් කොටස තියෙන්නේ. මම සදාකාලිකව විශ්වාස කරන සත්‍යයක් තමයි පින්තුරයකින් වචන දාහකින් කියන්න බැරි දෙයක් විස්තර වෙනවා කියන කතාව. මම මේ ආපු ගමන් මාර්ගය වචන වලින් විස්තර කරන්න ගියානම් මේක ලියන මටත් කියවන ඔබටත් මේ පොස්ට් ඒක තවදුරටත් ලියනවද/කියවනවද කියන ගැටළුව මතු වෙන්න ඉඩ තිබුනා. අර කවුරුන්ද කියනවා වගේ ගූගල් දෙයියෝ මෙතැනදී අපේ පිහිටට එනවා. ගූගල් මැප් වල තියෙනවා තමන් ගිය ගමන් මාර්ගය සලකුණු කරන්න පුළුවන් ටූල් එකක්. ඒක භාවිතා කරලා, ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරගෙන තමයි පහල පින්තුරේ නොහොත් වචන දාහ දාන්නේ. මට මතක හැටියට පහු කරපු ගම දනව් ටික සටහන් කරන්නම්. හැබැයි නිවැරදි තාවය ගැන සහතික කරන්න බෑ. මේ වගේ බ්ලොග් පොස්ට් එකක් අනාගතයේ දාන්න  වෙන බව දන්නවනම් ඒ තැන් ටික සටහන් කර ගන්න තිබුණා. තව දෙයක් කියන්න ඕනෑ, මේ පින්තුරේ මීට වැඩ ලොකු කලොත් කොටසක් දර්ශණය වෙන්නේ නෑ.  

1.අකක්රෙයිපත්තු 2. සමන්තුරේ 3. අම්පාර 4.දමන 5. සියඹලාංඩුව 6. හුලන්දාව 7. මොනරාගල 8. වැල්ලවාය 9. බණ්ඩාරවෙල 10. වැලිමඩ 11. නුවරඑලිය

මේ එන ගමනේ පුදුමාකාර සොභා සෞන්දර්යයක් විඳින්න ලැබෙනවා. ඉතාම සෞම්‍ය කාලගුණයක් තිබ්බ ඒ කාලේ එම ශුෂ්ක ප්‍රදේශ වලත් ගහ වැල කොළ පාටින් දකින්න ලැබුනා. තවත් කියන්න අවශ්‍යම දෙයක් තමයි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන සෑහෙන ප්‍රමාණයක බෝඩ් මග දෙපස දකින්න ලැබීම. ඇත්තටම යම් දිනක මේ සියල්ල බලාගෙන (අර මාරයා යනවා වගේ) යන්න ආසාවක් තියෙනව. මේ එන ගමනේදී චෙක්-පොයින්ට් 8-10 වත් මගේ බෑග් එකත් අරන් බහින්න සිදු වුනා. ඒත් කුමක්දෝ වාසනාවකට මගේ බෑග් එක ඇර බලන්න කිසිවෙක් ඉදිරිපත් වුනේ නෑ. ඒකට හේතුව පසුව මම තේරුම් ගත්තා. පැය අටහමාරක් වෙන මේ ගමනේදී තේ සහ ආහාර සඳහා කිහිප තැනකම බස් රථය නවත්වනවා. මගේ මතකය නිවැරදි නම් වැල්ලවාය, ඉන් පස්සේ ඇල්ල-වැල්ලවාය සුන්දර මාර්ගයේ එක මංසන්ධියක(ස්ථානය නිශ්චිතව මතක නැත) දිවා අහාරය සඳහා බස් රථය නවත්වනවා, ඉන් පසුව වැලිමඩ. ඒ ස්ථානයේදී වූ අමතක නොවන සිදුවීමක් ලියන්නේ මේ ලිපියට හාස්‍යයක් එක කරන්නම නෙවෙයි. මම ආපු බස් එකෙක් මට ඉදිරියෙන් සිටි ආසනයේ (මම හිටියේ පුජ්‍ය පක්ෂය සඳහා වෙන් කල ආසනයට පිටුපස ආසනයේ) සිටි තරුණ භික්ෂුව මා දෙස කිහිපවිටක්ම හැරී බලනවා මම දැක්ක. අර දිවා අහාරයට නතර කරපු තැන තියෙන කඩයට යන්නැතුව මම පාරෙන් අනිත් පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකට ගමන් ගත්තා. ඇත්තටම එය සුන්දර ස්ථානයක්, සීත පරිසරයක පිහිටා ඇති එම අවන්හලේ වීදුරු ජනෙල් වලින් හාත්පස ඇති චමත්කාර දසුන් දකින්න පුළුවන්. මෙම අවන්හලේ මා ඇරෙන්නට සිටියේ තම වාහනය නතර කර ආහාර ගනිමින් උන් යුරෝපීය සුදු යුවලක් පමණයි. මා සිටියේ පාර දෙසට මුහුණලා ඉඳගෙන. මට සැකයක් තිබුනා මා දමා බස් රථය පිටත් වෙයි කියන එක. 

මෙහෙම ඉන්නකොට මම දැක්ක අර තරුණ භික්ෂුව මේ අවන්හල දෙසට එනවා. එහි දොරෙන් කිසිම චකිතයකින් තරව ඇතුල් වෙච්ච වයස විස්සක් වගේ වෙච්ච භික්ෂුව මගේ ඉදිරි අසුනේ හරි බැරි ගැහී අසුන් ගත්තා. මා නැගිටින්න උත්සාහ ගත්තත් මා අතින් නැවැත්වුවා. මේ වෙනකොටත් මා ඇනවුම් කල "ෂෝට් ඊට්ස්" බඳුන ගෙන ආ වේටර් වරයා මා පානය කරන්නේ කුමක්දැයි අසා සිටියා

"ආ මට කොකා-කොලා කෑන් එකක් ගෙන්න." (අවන්හලට ඇතුල් වෙද්දී මම දැක්ක ස්ප්‍රයිට්, කොකා-කොලා කෑන් තියෙන බව) 

"ඔබ වහන්සේට ගිලන්පස?" මගේ බෞද්ධත්වය ඉදිරියට ආවා

"ආ මට ස්ප්‍රයිට් කෑන් එකක් ගෙන්න" උන් වහන්සේ ඇඟට නොදැනීම වදාලා

"මම ඉන්නේ වැලිමඩ. දැන් යනකොට දවල් දානේට පරක්කු වැඩියි." කියමින් උන් වහන්සේ චයිනීස් රෝල් එකක් වළඳන්න පටන් ගත්තා. මා තුල ඇති වූ විමතිය යටපත් කර ගනිමින් මමද චයිනීස් රෝල් එකක් කන්න පටන් ගත්ත. සංඝයා වහන්සේ නමක් සමග එකට - එක හින්ද ගනින්මින් අහාර ගැනීම මට තරමක් අසීරු කාරණයක්. මොනවා කරන්නද. උන් වහන්සේමනේ මේ විදිය තෝරා ගත්තේ. මම හිතින් කියා ගත්තා. 

"මහත්තය හමුදාවේද?"

"නැහැ හාමුදුරුවනේ, ඇයි එහෙම ඇහුවේ?"

"නෑ මට හිතුනේ මහත්තය නිවාඩු යන කැප්ටන් කෙනෙක්වත්ද කියල" දෙවෙනි රෝල් එක කන වළඳන ගමන් උන් වහන්සේ පැවසුවා වදාලා (එහෙනම් එකයි මේ චෙක් පොයින්ට් වලදී මාව පරීක්ෂා නොකළේ)
මම හිටියේ රතු සහ නිල් මිශ්‍ර ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් එකකින් සැරසිලා. සමහරවිට එහෙම පේන්න ඇති. මම ටී ෂර්ට් එක යට කරලා, රැවුල කපල හිටිය හින්ද එහෙම හිතෙන්න ඇති. එක අතකට එහෙම වුන එක හොඳයි. අර පස් කන්දක් බුල්ඩෝසර් කරලා, ලී වැටවල් ගහල කැලෑවක් මැද තිබ්බ චෙක් පොයින්ට් එකේදී බොහොම ආචාරශීලීව සෙබළුන් මාත් එක්ක හිනා වුන එකේ රහසත් එකම තමයි. නැත්නම් අර "නිසාම් - කෝපි" දෙක මාට්ටු. කොහොමද එහෙනම් හෙට පත්තරේ මේක වටෙන්න්නේ "තම බෑගයේ සඟවාගෙන ආ මත්-කෝපි සමග බැංකුකරුවා දැලේ". කාල වරෙන්කො ඊට පස්සේ ඉතිං වහ තමයි කන්න වෙන්නේ. 

අන්තිමේදී අපි දෙන්නගේ බිල ආවා රුපියල් හාරසිය පනහක්. මම දෙවරක් නොසිතාම රුපියල් 500ක් දික් කළා. නැවතත් අපි බස් රථයට ගොඩ වැදුනා. මේවර මගේ ලඟින්ම අසුන් ගන්න ස්වාමීන් වහන්සේ සමත් වුනා. එක දිගට ආව ප්‍රශ්ණ වලට මා හිතට ආ උත්තර දුන්නේ මේ සාදු නම් අනාගතේට "ඇණයක්" වන්නට බැරි නැති බව මගේ හිත කිව් නිසා. මම ඉතා උවමනාවෙන්ම මගේ දුරකථන අංකය වෙනුවට මා කලින් පාවිච්චි කල අංකය ලබා දුන්න. උන් වහන්සේගේ අංකයද මා ඉතා උවමනාවෙන් සටහන් කර මගේ බෑගයේ නිසාම් කෝපි තිබෙන් පොකටටුවටම දැම්මා. උන් වහන්සේ වැලිමඩින් බැස ගත්තා. මා නැවතත් බස් රථයේ වීදුරුවෙන් පිටත බලාගෙන කල්පනාවකට වැටුනා. කොහොමින් කොහොමින් හරි චමත්කාරජනක සංචාරයක අවසානය නුවර එලිය මහජන බැංකු නිවාඩු නිකේතනය අසලින් නිමා වුනේ පස්වරු දෙක පසු වී විනාඩි තිස්ගානක් ගත වූ පසුයි. 

ප : ලි : නිසාම් - කෝපි බී චුලන්තට වූ දේ නුදුරු අනාගතයේ බලාපොරොත්තු වන්න (ලොල්).

11 comments :

  1. කැප්ටන් සුදීක???????

    ReplyDelete
  2. @අබේ : එහෙම අදහසකුත් තිබුණා ඒ.ලෙවල් කරලා ඉවර වෙච්ච දවස් වල.

    ReplyDelete
  3. //ඒ වෙලාවේදී තමයි දැනෙන්නේ රණ්ඩු සරුවල් වෙන්න හරි කාන්තාවෝ අපි වටා ඉන්න ඕනේ බව//

    ඇත්ත කතාවක් කියලා...:)

    ලියලා තියනවා ලස්සනයි. ඊලඟ කොටස එනකල් කුතුහලයක් හොඳට ගොඩ නගලා.

    ReplyDelete
  4. @Podi Kumarihami :බොහොම ස්තුතියි. කොළඹ ඉන්න අය 100 කාගෙන් ඇහුවොත් කියයි අපෝ අපිට මොකටද ගෑනු කියල. හැබැයි අර වගේ කිසිම කෙනෙක් දකින්න නැති පළාතකට ගියාම තමයි එහෙම නැතුව බෑ කියල හිතෙන්නේ. අනිත් කොටස පරිස්සමට ලියන්න වෙනවා එකයි කල් ගන්නේ.

    @ ඉන්ද්‍රජිත් : ඒ පාරේ තියෙන ලස්සන වචන වලට හරවන්න හරි අමාරුයි.

    ReplyDelete
  5. කලින් කොටස කියෙව්වෙ නැද්ද මන්දා :(

    ජය !

    ReplyDelete
  6. @sAm : එතකොට මේ කොටස ?

    ReplyDelete
  7. ඔය දුර බස් එකක යනවා කියන්නේ එපාම වෙන ගමනක් නම් තමා ,අත්දැකීමෙන් කියන්නේ ඔන්...

    ReplyDelete
  8. @රොබින් : එපා වෙනවා අකමැත්තෙන් ගියොත්. ඒත් මේ කියපු ගමනේදී පාරේ බලන්න දේවල් තිබුනා.

    ReplyDelete
  9. මම මේ ලිපිය කියවන්න කලින් සෑහෙන වෙලාවක් පළවෙනි කොටස හෙව්වා.... අයියෝ....

    ReplyDelete
  10. @සිරා : මුල චේදය වත් කියෙව්වනම් වැඩේ අහු වෙනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...