Showing posts with label මගේ දුව(My Daughter). Show all posts
Showing posts with label මගේ දුව(My Daughter). Show all posts

Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

Monday, September 14, 2015

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......

මට බ්ලොග් ලිවීම එපා වෙලා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න ඇති. පටන් ගත්ත කාලේ සතියකට හතරක් හෝ තුනක් බ්ලොග් පොස්ට් දමමින් අවුරුදු තුනක් අඛණ්ඩව කරගෙන ආපු මේ ව්‍යායාම එක පාරටම කඩාකප්පල් වීම, බ්ලොග් කෙරුවාව ගැන දන්න හත් දෙනෙකුගෙන් ඇහුවොත් උත්තර හතක් ලැබෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය මගෙන්ම ඇහුවත් මට දෙන්න තියෙන උත්තරය "වෙලාවක් නෑ" කියන එක.  කෙනෙක්ගේ හිතට එක පාරටම එන්න පුළුවන් තර්කය තමයි "එතකොට කලින් වෙලාව හොයා ගත්තේ කොහොමද ?" කියන එක. මට මතකයි මගේ එක් රසිකාවියක් මගෙන් කාල කළමනාකරණය ගැන උපදෙස් ගන්න ඕනේ කියලා කමෙන්ට් කරා. නමුත් ඒ කතාවට වැඩියෙන්ම හිනා ගියේ මට. හොඳයි අපි ඒ ගැන පසුව කථා කරමු. [හැබැයි මට බ්ලොග් පොස්ට් එකක් නොදා වැඩි කාලයක් නිකන් ඉන්න නොදෙන බ්ලොග් හිතවතෙක් ඉන්නවා. ඒ තමයි ගල් බලකායේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ (අධි+යක්ෂ) වරයෙකු වන මෙන්ඩා නොහොත් සංජීව මෙන්ඩිස්. ගිය සිකුරාදා දුරකථනය ඇමතුමක්ම දීලා ඇහුවා මොකද වුණේ කියලා. ඉතින් මේ ලියන්නේ මෙන්ඩාගේ ඒ සිහි කැඳවීමට ගරු කිරීමක් වශයෙන්. අනිත් දේ තමයි මගට ලියලා අත් ඇරපු බ්ලොග් පොස්ට් දහයකට වඩා තියෙනවා. මේක අදට ලියන දෙවෙනි පොස්ට් එක].

හරි මම කෙටියෙන් කියන්නම්. කලින් මම මේකට වෙන් කර ගත්ත වෙලාව රාත්‍රී දහයත් දෙකත් අතර කාලය. මේ කියන කාල සීමාවේදී මම අවම වශයෙන් නිදා ගත්තේ පැය හතරක්. උපරිම වශයෙන් පැය පහක්. මම කම්මැලි වෙලාද ? නෑ. මම සේවය කරන තැනට නිතර යනෙන ඉන්ෆොර්මික්ස් ඉංජිනේරුවෙක් තමයි මිගාර කියන්නේ. ඔහු පරිගණක ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහු මගේ ඉතාම කුළුපග මිතුරෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මම ඉන්න තැනට එන ඒ වගේ අයට තේ එකකින් සංග්‍රහ කරන එක මගේ සිරිතක්. ටික කාලෙකින් තමන් කන්න අරන් එන කෑම එක මගෙත් එක්ක බෙදාගෙන කරන්න තරම් ඔහු මා හා හිතවත් වුණා. ඒ නිසා මිගාර දන්නවා මම දවසට නිදියන්නේ පැය හතරක් පහක් බව.  දවසක් මට ඔහු දැඩි අවවාදයක් දුන්නා. 
"උඹ දන්නවද දාස් ගුප්තා කියන්නේ කවුද කියලා ? දාස් ගුප්තා කියන්නේ ඉන්දියාවේ සැප් වල සී.ඊ.ඕ. වයස අවුරුදු 42යි. නිදියන්නේ දවසට පැය හතරයි. හොඳට එක්සර්සයිස් කරලා හිටපු පොරක්. චෙන්නායි මැරතන් එකටත් දුවලා තියෙනවා. ඉතිං කියන්න ඕනේ නෑනේ. හොඳට ෆිට්නස් තිබුණා. මැරුණ හේතුව හොයාගෙන ගියාම අන්තිමට අහු වෙලා තියෙන්නේ නින්ද අඩු කම කියලා. ඒ නිසා අද ඉඳලා පැය හයක්වත් නිදියන්න බලපන් මචං"
මිගාරගේ මේ ප්‍රකාශය මගේ හිත සසල කළා. හැම පැත්තකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වෙච්ච දාස් ගුප්තාට ඒ වගේ ඉරණමක් අත් වුණේ, විවේකය ගැන හිතන්නැතිව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිරීම. ඉතිං සයිබර් කටයුතු සඳහා මම වෙන් කරපු කාලය සීමා කරන්න මම තීරණය කළා. මුලින් දහයට නිදා ගත්ත මට පැය හතරකින් ඇහැරුණා. මේක මගේ කාර්යාලීය සගයා එක්ක මම කථා කළා. එතකොට ලැබුණ උපදෙස තමයි නිදියන්න බැරි වුණත් ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්න කියන එක. පස්සේ පස්සේ වැඩේ හරිගියා. දැන් මම අවම වශයෙන් පැය හයක් නිදා ගන්නවා. 

නමුත් ඔය අතරවාරයේ පහුගිය චන්දෙ කිට්ටුවෙලා මගේ පපුව තද වෙන ගතියක් ආවා. ඒ එක්කම කලන්තේ වගේ ගතියක්. මම හිතුවා වැඩේ හරියාගෙන එනවා තමයි කියලා. පහුගිය දහතුන්වෙනිදා වරුවක් නිවාඩු දාලා මම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුණා. කරන්න තියෙන පරීක්ෂණ බොහොමයක් අවසානයේ "නෝමල්" කියන උත්තරය ලැබුණා. පස්සේ ඒ දවස් දෙක ඇතුලේම මාව මුණගැහෙන්න අවශ්‍ය වෙච්ච මගේ මිතුරෙක් එතනට ආවා. ඔහු මට කිව්වා ඔයාට ගැස්ට්‍රික් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට වැඩේ මීටර් වුණේ. අර කලන්තේ වගේ ගතිය කණ බ්ලොක් වුණාම වෙන එක බව මට තේරුණා. මම දොස්තරලාට ඒ කථා නොකියා හෙමිහිට ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගියා. දවසකට බොන කෝපි ප්‍රමාණය බිංදුව කළාම වැඩේ ගොඩ ගියා.

හරි අද ලියන්නේ මොනවද කියලා කල්පනා කරලා. කාලයක් ඉඳන් ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ලියන්න පටන් ගත්තා. එක දිගට කාලයක් නොලියා හිටියම ඇති වන අකාර්යක්ෂමතාව නිසාද කොහෙද වෙනදා වේගයෙන් ලියන්න බැරි වුණා. නමුත් මගේ සයිබර් අන්තය වෙනුවෙන් වෙන්වුණු ෆේස්බුක් ගිණුමේ පහලට ගියාම මිතුරෙක් ෂෙයාර් කරලා තිබුණ මෙන්න මේ වීඩියෝව  සිංගල් ෆාදර් ස්ටේටස් එකේ ඉන්න මම, දියණිය නිදි කරන්න ගිය වෙලාවට කරපු පුංචි සොඳුරු ප්‍රයෝගයක් මතකයට ගෙන ආවා. පසුව මේක මගේ දියණිය හොබී එකක් කර ගත්තා. මුලින්ම බලන්නකෝ වීඩියෝ එක. 
මෙතැන එළුවෝ රෑණක්ම සිටියත් මගේ කතාවට පාදක වෙන්නේ එක එළු පැටියෙක් විතරයි. කුඩා ළමයි නිදි කරවන්න තිබෙන එක ඔප්ෂන් එකක් තමයි එයාලට කතා කීම. නමුත් මේක නොනවතින රැල්ලක් වගේ දිගටම යන වැඩක්. ඉතින් අපේ කතා ගබඩාව අපිටත් නොදැනීම හිස් වෙනවා. එක කතාවක් දෙවෙනි වතාවට කියනකොට ළමයින්ට නිදිමත නැති වුනොත් "අයියෝ තාත්තේ ඕක කලින් අහලා තියෙනවා" කියලා ලත් තැනම ලොප් කරලා දානවා. අපිත් ඉතිං නිදිමරගාතේ විශාල අපාහසුතාවකට පත් වෙනවා. මෙහෙම කතා කියාගෙන යනකොට අපිට නින්ද යන අවස්ථා වැඩියි. බොහෝවිට ළමයා අපව අවදි කරනවා. තවත් දෙයක් කියාගෙන යන කතාව පැත්තක තියලා එකපාරට වැරදි වචන කියනව. වැරදි කියන්නේ කුණුහරුප නෙවෙයි. නමුත් තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.

දවසක් මට කියන්න කතා නැති වෙලාවක මම මගේ දියණියගෙන් ඇහුවා "පුතා දන්නවද එළුපැටියාගේ කතාව ?" කියලා. එහෙම කියත්දී මගේ හිතේ කිසිම කතාවක් ගැන අදහසක් වත් තිබුණේ නෑ. දියණිය එක පයින්ම කිව්වා "නෑ තාත්තේ කියන්න" කියලා. මම හිතට එන විදියට ගොතලා කතාවක් කිව්වා. හරියටම නැතත් මෙන්න මේ වගේ. මේ වගේ කතාවල විශේෂය තමයි එකම කතාව දෙපාරක් කියවෙන්නේ නැති එක. ඒ නිසා මේ එළුපැටියාගේ කතා සීරීස් එකක් බවට පත් වුණා.

"ඔන්න පුතේ දවසක් එළුපැටියෙක් එයාගේ අම්මා ඉන්න තැනින් එලියට ඇවිත් පාරදිගේ තනියම යනවා ටොක ටොක ගගා. එහෙම යනකොට එයා දැක්කා ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. එළුපැටියාටත් හිතුණා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. එයා ළමයි ගාවට ගිහිං "බෑහා - බැහා" ගාලා කිව්වා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. ළමයින් හිතුවේ එයාට බඩගිනි වෙලා කියලා. ඉතිං එයාව පැත්තකට එක්කන් ගිහිං කොළ අතු ටිකක් කඩලා දුන්නා. එළුපටියා ආයි "බැහා - බැහා" කිව්වා. ළමයි හීතුවා එයා අඬන්නේ වතුර ඕනේ වෙලා කියලා. ඒ පාර වතුර බාල්දියක් ගෙනත් එළුපැටියා ලඟින් තිබ්බ. අවුවේ ඇවිත් එළුපැටියාටත් බඩගිනි නිසා එයා වතුර ටික බීගෙන බීගෙන ගියා. එහෙම බීලා ආයෙත් "බැහා-බැහා" කියන්න පටන් ගත්ත. ළමයෙක්ගේ අතේ තිබුණ බොලේ බිමට වැටෙනවා එළුපැටියා දැක්කා. එයා ඒක කටින් අරගෙන දුවගෙන දුවගෙන ගියා. ළමයි කට්ටිය හිතුවේ එයාලාගේ බොලේ එළුපැටියා කන්න හදනවා කියලා. එහෙම ටිකක් දුර දුවගෙන ගිය එළුපටියා බොලේ ටිකක් දුරට වීසි කළා. ළමයි පස්සෙන් දුවගෙන ගිහිං බොලේ ගත්තා. එළුපටියා ආයෙත් ගිහිං බොලේ ඉල්ලනවා "බැහැ-බැහැ" කියලා. ළමයි බලනවා මේ මොකද කියලා. ඒ පාර ඒ ළමයා බොලේ ටිකක් දුරට විසි කළා. එළුපැටියා දුවගෙන දුවගෙන ගිහිං බොලේ අහුලාගෙන අරං ඇවිත් කටින් වීසි කළා. ළමයින්ට තේරුණා එළුපැටියාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා තමයි ආවේ කියලා. ඊට පස්සේ හැමදාම එළුපැටියා ළමයින් එක්ක සෙල්ලම් කළා. 
මෙහෙම කතාව කියලා ඉවර වෙනකොටත් ළමයා නිදි නැතිනම් එක්කෝ නිදිමත නැහැ. නැතිනම් ඔබ අසාර්ථකයි. එහෙම වුනා කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. දිගටම කියන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් මම මේ වෙනකොට කියලා තියෙනවා. මගේ කෙල්ල දැන් ආසාවට එළුපැටියගේ කතාවක් කියන්න කියලා කියනවා. ඒ එළුපෑටියාගේ කතා මාලාව අපි දෙන්නටම වින්-වින් තත්වෙට පත්වුණා නිසා. මම කියපු කතා අතර එළුපැටියා ගඟේ නාපු කතාව, එළුපටියා ෆූඩ් සිටි ගිය කතාව, එළුපටියා බීච් ගිය කතාව, එළුපැටිය ඉස්කෝලේ ගිය කතාව, එළුපැටියා කෝච්චියේ ගිය කතාව, එළුපැටියා ටී.වී. බලපු කතාව, එළුපැටියා කම්පියුටර් එක්ක වැඩ කරපු කතාව, එළුපැටියා කාර් එකේ ගිය කතාව සහ මෙකී නොකී ඕනෑම මාතෘකාවක් හදාගෙන කියන්න පුළුවන්.  දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. මේක උත්සාහ කරලා බලන්න. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි.

මේක කුඩා පොත් පිංචක් කරන්නත් හිතුන වෙලාවල් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් පොඩි මෙන්ඩාට මේවා කියලා බලන්න කියලා මම ලොකු මෙන්ඩාට ආරාධනා කරනවා. හැබැයි එකාගෙන් ගුටි කන ඒවාට මම වග කියන්නේ නෑ. තව ටික දවසකින් අපේ පත්තර මල්ලිටත් මේවා වැදගත් වේවි. 

Thursday, December 4, 2014

බස්රථවල රඟන නරුම කොන්දොස්තරවරු ......

බ්ලොග් පොස්ට් එකක් ලියන්න අවශ්‍යතාව තිබූ සෑම මොහොතකම, මා ඉතා කාර්යබහුල විය. මා හට ඉඩක් ලැබෙන මොහොතක් වෙයිද, වෙනත් හේතු කාරණාවක් නිසා පරිගණකය ඉදිරියේ වාඩි වීමට නොහැක. එක්කෝ මාගේ දියණිය එය පරිහරණය කරයි. නැතිනම් රූපවාහිනියේ කුමක් හෝ මා කැමති වැඩසටහනක් විකාශණය වේ. ලියන්නට කදිම මාතෘකාවක් මාගේ මිතුරකු සපයා දී තිබියදීත්, එය කල් දම්මන්නට සිදු වුයේ කලින් සඳහන් කල කාරණාය. මා මේ බ්ලොග් සටහනක් දමන්නේ දවස් දහයක නිහැඬියාවකින් පසුවය. අදද මෙය සම්පූර්ණ කල හැකිදැයි විශ්වාස නැත. 

පසුගිය සිකුරාදා තරම් මා චිත්තප්තාපයකින් ගෙවූ දිනයක මගේ මතකයට නොනැගේ. ඒ පසුගිය සතියේ ලොව කැළඹූ පිලිප් හියුස්ගේ ඛේදනීය මරණය නිසාය. එය වාර්තා වනවිට මා සිටියේ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගනයේය. එදින වනවිට අපගේ සයසාමාජික ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය විය. හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් ලැබුණේ මේ මරණයයි. ඒ මොහොතේම තරගය මොහොතකට නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා, ශෝකය පල කරන්නට අප කටයුතු කළේ ලෝකයේ කොහේ හෝ කෙළවරක සිදු වූ මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපගේ සිත්සතන් කම්පනයට හේතු වූ නිසායා. එම සිද්ධිය පිලිබඳ සියලු තතු ඔබ සැම පසුගිය දිනවල මාධ්‍ය වලින් දකින්නට ඇත. නමුත් මා කියන්නට යන්නේ වෙනත් කතාවකි.

පෙරකී පරදීම එම සිදුවීමෙන් කම්පිත සිතෙන් කාර්යාලයේ කාලය ගත කරද්දී, කාර්යාලයේ හිතවතෙකු පැමිණ කල හෙළිදරව්ව මේ කම්පනය තවත් තීව්ර කළේය. මෑතක සිට ඔහු රාජකාරියට පැමිණෙන්නේ රත්නපුර සිට කොල්ලුපිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයකිනි. එවැනි කාර්යාල බස්රථ ඕනෑතරම් එහා මෙහා යනු අප දැක ඇත්තෙමු. කොළඹට ආසන්න නගර වල සිට හෝ තරමක් ඈතින් ඇති නගර වලසිට පැමිණෙන මේ බස් රථ මගින් සිදුවන සේවය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. පසුගිය සිකුරාදාද සිරිත් පරිදි මේ බස්රථය කඩුවෙල නගරය පසුකර කොල්ලුපිටිය බලා ගමන් ගෙන ඇත. මෙය සාමාන්‍යයෙන් සීඝ්‍රගාමී බස් සේවාවක් වුවද, එහි රියදුරු මද වේගයෙන් බසය ධාවනය කර ඇත. 

කඩුවෙල නගරය පසුවත්ම ඇති  නැවතුමේ බස්රථය නරත කල මොහොතේ අවුරුදු අටක නවයක පාසල් ඇඳුමින් සැරසීගත් දැරියක් දුවැවිත් බසයට ගොඩ වී ඇත. මේ අවස්ථාවේ ඉදිරි කවුළුවේ සිටි කොන්දොස්තර වරයා 
"මාලඹෙන් එහා යන අය විතරක් නගින්න"
යනුවෙන් බෙරිහන් දී ඇත. මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ මා බොහෝදිනවල ගමන් ගන්නා ගල්කිස්සේ සිට පැමිණෙන ඉසුරුපාය බස් රථයයි. එහි කොන්දොස්තරවරයාද බත්තරමුල්ලෙන් මෙපිට කිසිවකුට ගොඩ වන්නට ඉඩ තබන්නේ නැත. යම් හෙයකින් නුපුරුදු කෙනෙකු ගොඩ වැදුනාද ? ඒ අසල සිට නෝක්කාඩු බසින් කියවන්නට පටන් ගන්නේ, එහි ගොඩවූ මගියාට යලිත් දිනක එහි නොයන්නට මතකයේ රැඳෙන ආකාරයකට. නමුත් කිසිදු හිත් රිදවීමක් ඇති නොවන අකාරයකට.
"මේක ස්ටාෆ් බස් එකක්. අපි අටහාමාර වෙන්න කලින් පැලවත්තට යන්න ඕනේ. ඉතිං අතරමග සෙනග බස්සන ගියොත් අපිට පරක්කු වෙනවා"
මෙය ඔහු කියවාගෙන යන්නේ දිව මතුරක් සේය. ඔහුට ඇතිවන්නේද නැත. මගීන්ට ඇති වන්නේද නැත. එමගින් බසයේ ගමන් ගන්නා සුපුරුදු මගීන්ගේ සිත් සතුටු වන බව ඔහු දනී.  දියණිය බසයට ගොඩ වී මොහොතකින් පසුපසින්, එක් අතකින් කිහිලි කරුවක් දරා සිටි ඇයගේ පියාද බසයට ගොඩ විණි. මොහොතකින් තම දියණිය අසලට එන්නට ඔහුට හැකි විය. පෙනුමෙන් ඔහු ක්‍රියාන්විතයකදී අනතුරට පත්ව සේවයෙන් විශ්‍රාම ගත් අයෙකි. මේ දෙදෙනා අසලට  කොන්දොස්තර වරයා ආ විට පියා
"අපි පිට්ටුගලට යන්නේ. දුවට අද විභාගේ තියෙනවා. නැත්නම් මේ බස් එකට නගින්නේ නෑ. පරක්කු වෙන නිසයි නැග්ගේ"
යනුවෙන් ඉතා යටත්ව පවසා ඇත. කිසිත් නොපැවසූ කොන්දොස්තර වරයා එක් වරම මේ අබාධිත පුද්ගලාගේ කමිසයෙන් ඇද ඔහුට පහර දී ඇත. ඔහුද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.

"අනේ..... අපේ තාත්තාට ගහන්න එපා...."
අසරණ දියණිය කඳුළු පිරි දෙනෙතින් පවසා ඇත. මෙසේ ගුටි කෙළිය යත්දී එය නවත්වන්නට බසයේ කිසිවෙක් ඉදිරිපත් වී නැත. බොහෝ දෙනා මේ රියදුරු සහ කොන්දොස්තර වරයා හොඳින් හඳුනයි. අනෙක කොන්දොස්තරගේ මේ ගෝරනාඩුව ඔවුන් වෙනුවෙනි. ඒ වෙලාවට රාජකාරි සඳහා ඔවුන් රැගෙන එන්නය. එහු වූ බොහෝ අයද අර විශ්‍රාමික රණවිරුවාට නෝක්කාඩු බසින් කථා කර ඇත.
"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ? මේක නවත්වන්නේ මාලඹේ කිව්වා ඇහුනේ නැද්ද ?"
වැනි වදන් වලින් ඔහුට බැන ඇත. මේ පුවත ඇසු මගේ හිත එතැනම කඩා වැටුණි. අවුරුදු පහකට පෙර මේ සිදුවීම වූවානම් රණවිරුවාට ලැබෙන ගෞරවය හිතා ගත හැකිද? අද ඔවුන් අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කර දමන්නට අප අකාරුණික වී ඇතිද ? ලංකාවේ සිටින්නේ කලගුණ  නොදත් කුහක ජනතාවක් බව මින් පසක් නොවන්නේද? රණවිරුවන් ඇස්-හිස්-මස්-ලේ දන් දුන්නේ අප කවුරුත් වෙනුවෙන් නොවේද? මගේ සිත කෝපයෙන්ද, දෑස කඳුළු බිඳුවකින්ද නැහැවී යන්නට විය. තම දියණිය ඉදිරියේදී පියෙකුට පහර කෑමට ලක් වීමට සිදු වීම නිසා ඔහුගේ හදවත කෙතරම් කඩා වැටෙන්නට ඇත්ද ? තමා ආබාධිත බව අමතක කර ඔහු හා සටන් වැඩෙන්නට ඔහුට හිතෙන්නට ඇත්තේ, රණබිමේදී සටන් වැදීමට උප්පත්තියෙන්ම ලද මොරාල් එක නිසා වන්නට ඇත. මේ මොහොතේ බොහෝ කරුණු මගේ හිතට නැගේ.

 ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීයා සමග මුහුණට මුහුණලා සටන් කල ඔහු, අද වැටී ඇති අසරණ තත්වය තුල කොන්දොස්තර කෙනෙකුගේ වාග් සහ ශාරීරික ප්‍රහාරය හමුවේ අසරණ වී තිබේ. රණවිරුකම පැත්තකින් තබමු. අබාධිතයෙකුට පහර දීමට තරම් පහත් මට්ටමකට වැටීමට පිරිමියෙකුට හැකිද ? දරුවකු හඬා වැටෙද්දී පහර දෙන්නට ඔහුගේ අත එසවුනේ කෙසේද ? තලංගම ඩිපෝවට අයිති මේ කොන්දොස්තර වරයා ජඩයකු ලෙස හැරෙන්නට හඳුන්වන්නට හැකි වෙනත් විශේෂණ පදයක් මේ මොහොතේ මගේ සිතට නොනැගේ. මේ සමගම මගේ හිතට නැගෙන්නේ මගේ දියණියට වයස අවුරුදු තුනේදී පමණ මුහුණ දුන් අත්දැකීමකි. 

එය සති අන්තයේ දිනයකි. දියණියගේ කොණ්ඩය කැපීමට අවශ්‍ය කාලයත් ඉක්ම ගොස් අත. අතේ තිබූ සීමිත මුදලද සහිතව සොයුරියගේ කාරයට ගොඩ වූ මමත්, සිනිගි දියණියත් නුගේගොඩ බලා පිටත් වූයෙමු. කොහුවල සිට නුගේගොඩ දක්වා ඇති සක්යා ආයතනය පසු කර යන පාරේ ඉතා ප්‍රවේසමෙන් රිය පැදවූ මා නුගේගොඩ කේ.එෆ්.සී. පැත්තට හරවනවාත්(මෙය අංශක 90ක වංගුවකි. වම්පස ඇත්තේ තාප්පයකි) සමග ඉදිරියෙන් පැමිණිරථයක් හා ගෑවිණි.වහාම ඉදිරියේඇති වාහනයෙන් බැසගත් පිරිමියෙකු  මට  රිවස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ මොහොතේ කාර් දෙකේ බෆර් ඇතිල්ලිනි. වාහනය පදවාගෙන විත් තිබුණේ කාන්තාවකි. ඔවුන් දෙදෙනාම එය මගේ වරද බවට චෝදනා නගන්නට විය. මා කිසිදු තර්කයක් නොකර අලාභය ගෙවන්නට පොරොන්දු වුයෙමි. මේ මොහොතේ දියණිය වාහනයේ බව පසක් වී ඈ රැගෙන එන්නට වාහනයට ගමන් ගතිමි. ඉහිං කනින් දාඩිය පෙරාගෙන සිටින ඇය දුටු විට මගේ සිතට විශාල දුකක් ඇති විය. අැයත් සමගම පැමිණ ඔවුන් සමග සාකච්ඡා කරන්නට හදන විට
"මහත්මයා ඔයා මේ ළමයාත් අව්වේ තියාගෙන මේවා කථා කරන්න ඕනේ නෑ. ඔයා සැලුන් එකට යනවා කිව්වා නේද? ඔයා ඒ ගමන යන්න. මම ටෙලිෆෝන් කරලා ගාන කියන්නම්"
 පිරිමියා පැවසීය. ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අප දෙදෙනා නුගේගොඩ සව්සිරියට ගමන් ගතිමු. ඇය කොණ්ඩය කපන අතරතුරත් මා කල්පනා කලේ ගෙවන්නට වන මුදල පිලිබඳවය. මේ මොහොතේ මා සතුව එතරම් මුදලක් නැති බව දැනී, යම් බියක් හිතට ඇතුළු විණි. මෙසේ වික්ශීප්තව බලා සිටිද්දී මගේ දුරකථනය නාද විය. ඒ ඔවුන්ය. ගැහෙන සිතින් මා පිළිතුරු දුනිමි. එවරදපිරිමියාගේ හඬ අවධි විය

" මහත්මයා අපේ වාහනය හදන්න ඔයා වියදම් කරන්න ඕනේ නෑ. ඒක සුළු ටින්කරින් වැඩක් නේ. අපි හදා ගන්නම්"
 මේ මොහොතේ මගේ දෑසට කඳුලක් නැගිණි. ඒ ඔවුන්ගේ කාරුණිකත්වය වෙනුවෙනි. මා දරුවකු සමග සිටින විට ඔවුන් හැසිරුණු ආකාරය බලන්න.

ඉතිං ඉහත කී කොන්දොස්තර වරයා හැසිරුණු ආකාරය කොයි තරම් සාධාරණද ?

Thursday, September 26, 2013

ෆොන්ටෙරා සහ හයිලන්ඩ් ......

මම නැවතත් දෑස පිසදා බැලීමි. ඔව් මේ තියෙන්නේ ෆොන්ටෙරා සලකුණ තමයි. ටික කාලෙක ඉඳන් අතපොවන දුරේ තිබෙන කණ්ණාඩි කුට්ටම දෑසේ රුවා ගතිමි. දැන් නම් මොන ජගතටවත් මගේ ඇස් දෙකට බොරු කරන්න බෑ.  මේ තියෙන්නේ යස අපූරුවට. හහ් ! කොහොමද මේක වුණේ. දෙවියනේ අද උදේ පෝලිමේ ඉඳලා ගත්ත හයිලන්ඩ් පැකට් එක. එහෙනම් මේකත් මුන්ගේම වැඩක්. මෙවර මා දිව ගියේ ශීතකරණය වෙතයි. එහි ඇති යෝගට් කප් සියල්ල එළියට ගෙන එකින් එක පරීක්ෂා කළෙමි. 
"හත් දෙයියනේ, මුන්ට හෙන ගහන්න එපැයි. මේ යක්කු සෙල්ලම් කරන්නේ මේ අපේ ජීවිතත් එක්කනේ"
පින්තූරය ගත්තේ මමමයි.
තවත් යෝගට් කප් එකක් රවුම් කිහිපයක්ම කරකවා බලන ගමන් කෑ ගැසුවෙමි. ආහ් ! ඒ පාර මේ කප් එකේ මේ මගුල් සලකුණ නෑ. මේ වනවිට යෝගට් කප් එකට වැටී තිබෙන සිහින් දාඩිය බින්දු කිහිපය පිසදා නැවතත් කරකවා බැලුවෙමි. මේක නම් හොඳයි. එතකොට අරක? නැවතත් යෝගට් ටික ගෙන මේසය වෙත ගොස් වාඩි වුණෙමි.
"මොකද මේ ෆ්‍රිජ් එකේ දොර ඇර දාලා? මෙහෙම තිබ්බොත් ගෙවන්න වෙයි ලයිට් බිල්"
 ඒ බිරිඳගේ සුපුරුදු වාග් මාලාවයි.
"කෙහෙම්මල .... එයා ගෙවන ලයිට් බිල්"
මා සිතින් මුමුණා ගතිමි. එය මහා හයියෙන් කිව්වා නම් තවත් ගාල ගොට්ටියකට මුල එය වන්නට තිබුණි. දැන් ගොඩවල් දෙක හදා අවසන්ය. එහෙත් අර ලේබලේ නැති යෝගට් තුනක් සහ ලේබලය තිබෙන ඒවා හතක් ලෙස බෙදී ඇත. කරුමෙක මහත. 
"දැන් ඉතිං අපි තුන් දෙනාට මේ තුන කාලා අනිත් ටික විසි කරන්න තමයි වෙන්නේ. අයියෝ සල්ලි "
ඊයේ උදේ කාර්යාලයට ආ බෙදාහැරීමේ ලොරියෙන්ම මිලදී ගත් කිරිපිටි, යෝගට් සහ කිරි පැකට් වලට වෙච්ච දෙයක්. කඩේ තුන්සිය දහයක් හින්දම නෙවෙයි, හැමතැනම හිඟ නිසයි එහෙම ගත්තේ. ඒ වුණත් එකකින් රුපියල් දා හතරක් කියන්නෙත් අද කාලේ ලේසි පහසු ගණනක් නෙවෙයි. ඒත් මේ මගුල දැන් විසි කරපංකෝ. අයියෝ ඩී.සී.ඩී. කවුද අම්මපල්ල ඔය මගුල හොයා ගත්ත එකා. මෙතන හිටියානම් කෙළිනවා පිටි පැකට් එකෙන්ම. මේ අතර හතේ ගොඩෙන් යෝගට් එකක් අරගත් මායියා කොටා බාන්නට සැරසේ. උන්දට නම් මොකද ?
" කාපං කාලා මැරියන්" 
යළිත් හිතෙන්ම කී මම, ඇය යෝගට් එක කා අවසන් වනතුරු සිනා මුසු මුහුණින් බලා සිටියෙමි. 
"ඉවරද ? ඔයා කෑවේ ඩී.සී.ඩී. තියෙන යෝගට් එකක්"
"කෙහෙම්මල මේක හයිලන්ඩ් යෝගට් එකක්. ඔය කණ්ණාඩි දෙක දාලත් දැන් පෙන්නේ නැද්ද ?"
"කණ්ණාඩි ... කණ්ණාඩි ගන්න වෙන්නේ මට නෙවෙයි තමුසෙට ... බලනවා ඕක හොඳට කරකවලා"
එවර ඇය කථාව නවතා යෝගට් කෝප්පය කරකවන්නට විය. මා නැවතත් හොඳ යෝගට් ටික ෂොපින් බෑග් එක තුළටම දමා ෆ්‍රිජ් එකට දමා අවසන් කරන්නට පෙර
"කෝ මේකේ කොහෙවත් ගහලා නෑ ඩී.සී.ඩී. තියෙනවා කියලා. පිස්සු විකාර නැතුව ඔන්න ඔය යෝගට් ටික ෆ්‍රිජ් එකට දානවා. මම මේ චූටි අකුරු වලින් තියෙන ඒවත් කියවලා බැලුවා. දැන් ඔය චොක්ලට්, කිරිටොපි, නෙස්කැෆේ, නෙස්ටී ඕවයේ තියෙන කිරි වල ඩී.සී.ඩී. තියෙනවා කියලා කවුද බැලුවේ."
"මේන් කියලම ගහයි. පේන්නැද්ද ඕකේ තියෙන ෆොන්ටෙරා ලේබලේ ?"
"මොකක්ද ෆොන්ටෙරා ලේබලේ අර කැසට් සීඩී වල තියෙන සිංග් ලංකා ලේබලේ වගේ එකක්ද ?"
මෙවර ඇය සිනාසෙමින් පවසයි. මේ වගේ මෝඩ ගෑනියෙක්. සිතින් සිතමින් 
"හලෝ ෆොන්ටෙරා කියන්නේ ලංකාවට ඇන්කර්, එතකොට ඇන්ලීන් ගෙන්නන කට්ටිය. මම මේ බලන්නේ උන්ගේ ලේබලේ අපේ හයිලන්ඩ් එකේ ගැහුවේ මොන මගුලටද කියලා"
මේ වනවිට මගේ හිතට හීන් සැකයක් මතු වී තිබේ. ඒ ෆොන්ටෙරා සමාගම පහුගියේ ටිකේ පාඩු වූ නිසා, පහුගිය ටිකේ වේලි වේලි තිබ්බ හයිලන්ඩ් පැකට් දැන් හොයන්නත් නැති නිසා, හයිලන්ඩ් එකම එකත් කුණු කොල්ලෙට ගන්න ඇති යන්නයි. සිදු විය හැක්කේද එයයි. පහුගිය ටිකේ නිකං දුන්නත් ඇන්කර් ගන්න කවුරුවත් හිටියේ නෑ. ඒ කාලේ උඩ දාගෙන බීපු ඔක්කොම එවුන් දැන් පොර කකා හයිලන්ඩ් ගත්තේ. අපි හයිලන්ඩ් යෝගට් ඉල්ලනකොට නිව්ඩේල් කාපු එවුන් දැන් අපිවත් පෙල්ලගෙන ගොස හයිලන්ඩ් යෝගට් 20-30 ගන්නේ තුන් වේලටම කන්න හිතාගෙනද මන්දා ? 

අවුරුදු දෙකක ඉඳන් ලංකාවේ පත්තර නොබලන මගේ ගොන් කමට ශාප කර ගනිමින්, වහා දිව ගියේ හන්දියේ කඩේටයි. මේ වනවිට බොහෝ පත්තර විකිණී අවසන්ය. ඉතිරිව තිබු පත්තරයක් ගෙන මා යළිත් හැල්මේ ගෙදර ආවේ මාගේ කණ්නාඩි කුට්ටම මෙසේ උඩ නිසාය. නැතිනම් පොඩි කාලේ වගේ පාරේම කියවාගෙන එන්නට තිබුණි. මා කෙළින්ම කණ්ණාඩිය දමාගෙන පිටු පෙරළාගෙන පෙරළාගෙන ගියෙමි. පිටුවක් පුරාම "ෆොන්ටෙරා" සමාගමේ දැන්වීමකි. එහි සඳහන් වන්නේ සහමුලින්ම වෙනස් කතාවකි. 
"ෆොන්ටෙරා සමාගමත්  හයිලන්ඩ් එකත් මින් පසු එකම සමාගමක් ලෙස"
මේ මොන හරුපයක්ද ? ඊට යටින් නවසීලන්ත කෙප්ප වැස්සියක් සිනාසී බලා සිටී. මේකිත් හිනා වෙන්නේ අපිටමද මන්දා ? මම දනී-පනී ගා අනෙක් පිටු පෙරලා බැලීමි. එක පාරටම වෙළඳ පිටුවේ ඇති කුඩා ප්‍රවෘත්තියක් ළඟ මගේ දෑස නතර විය. 
"ෆොන්ටෙරා සමාගම හයිලන්ඩ් මිලදී ගනී"
මොනවා ? මුන්ට හෙනම ගහන්න එපැයි. පත්තරේට වැරදිලා වත්ද ? මේකනම් අහලම බලන්න වටිනවා. කෝ මගේ ෆෝන් එක. 
"දුවේ මගේ ෆෝන් එක අරන් එන්න පැටියෝ"
මගේ පිටට ගැහුවේ කවුද ? මම දෑස් පිසදා බැලීමි. මා මේ දුටු ජවනිකාව සිහිනයක්ද? හාත්පසම කළුවරය. වටපිට අතපත ගා බැලුවෙමි. දියණියගේ විළුඹ මාගේ පිට අසලම නැවතී ඇත. මා ඇඳේ වාඩි වී නැවතත් කල්පනා කලෙමි. මට එලෝ කෝටියට දාඩිය දමා ඇත. මේ දවස් වල තියෙන රස්නේ. මම නැගිට ලයිට් දමා කෙළින්ම ගියේ කුස්සියටය. ඒ ඊයේ ගෙනා හයිලන්ඩ් පැකට් දෙක පරීක්ෂා කිරීමටය.
______________________________________________
මෙය ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. මේ දිනවල නිතර කතාවෙන මාතෘකාවක් වන ඩී.සී.ඩී. භීතිකාව අලලා ලියූවකි.  මෙයට නිමිත්ත වුයේ ඊයේ කාර්යාලයේ එළිපත්තට පැමිණි බෙදාහැරීමේ රථයෙන් මිලදී ගත් කිරිපිටි පැකට්, යෝගට් සහ දියර කිරි සිහි වීමෙනි. 

Tuesday, August 27, 2013

Facebook සඳහා වඩාත්ම ගැලපෙන් සිංහල නම ......

මගේ දියණිය ගෙදර සිටින වෙලාවකට පරිඝණකය පරිහරණය කරන්න ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එය මා සතු උපකරණයකට වඩා ඈ සතු උපකරණයක් යයි කීවොත් වඩාත් නිවැරදිය. පහුගිය කාලයේ ගමේ ගොස් සිට ඊයේ මෙහි සැපත් වූ ඈ රිසි සේ එය පරිහරණය කරන මොහොතේ මා රුපවාහිනිය දෙස දෑස් යොමා ගත්තද, බලන්නට හිතෙන කිසිම වැඩසටහනක් එහි නොවීය. මට නින්දක අවශ්‍යතාව තිබුණත්, නොනිදා සිටියේ දියණිය නිදි කරවීමේ අවශ්‍යතාව නිසයි. මා බිත්තියේ එල්ලෙන කැලැන්ඩරය දෙස දෑස් යොමු කල විට, එහි Facebook යන්න මුද්‍රණය කර තිබුනේ Face Book යනුවෙන් සන්දි කර බැවින් මගේ මුවගට සිනහා ඒම වැළක්විය නොහැකි විය. e-mail යන්න මුද්‍රණය කර තිබුනේ E-mail යනුවෙණි. 

පින්තුරය ගත්තේ : http://www.deliberatelyconsidered.com
මෙය මුද්‍රණ දෝෂයක් නිසා, ඒ තරමට ගණන් ගත යුතු දෙයක් නොවේ. නමුත් පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරනා අපි කොතෙක් ඉංග්‍රීසි වචන භාවිතා කරන්නෙමුද ? බ්ලොග් ලෝකයට මා කඩා වැටුණු මොහොතේ මට තිබූ ප්‍රධාන ගැටළුවක් වුයේ "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද ?" යන්නයි. එය මා ලියූ තුන්වන ලිපියයි. මා බ්ලොග් පටන් ගන්නට ප්‍රමාද වීමට එක ප්‍රධාන හේතුවක් මේ බ්ලොග් කියන වචනයයි. එය මා ඇලුම් කල වචනයක් නොවීය. හේතුව එහි ශබ්දාර්ථයයි. අප මෙසේ ඉංග්‍රීසි වචනම භාවිතා කරන තවත් බොහොමයක් ඇත. නමුත් සමහර සිංහල වචන භාවිතා කරනවාට වඩා ඉංග්‍රීසි වචන සරල වන අවස්ථාද ඇත. හොඳම උදාහරණය බ්‍රෑන්ඩ් යන්නට සන්නම් කියන තේරුමය. 

රන්ජනාස් මගින් නිකුත් කර තිබූ අර කැලැන්ඩරය(දින දර්ශනය :D) දෙස බලාගෙන මා කල්පනා කලේ ෆේස්බුක් සඳහා ගැලපෙන සිංහල නම කුමක්ද යන්නයි. මේ වනවිට ෆෙස්බුකිය, බුකිය, මුහුණුපොත ආදී වචන භාවිතා වුවත්, ඒවා සාධාරණ නම් නොවේ යන්න මගේ විශ්වාසයයි. හේතුව බුකිය යන්න සූදුව සඳහා භාවිතා වන නමක් වන නිසාය. මෙය සමහරුන්ට එක්තරා විදියක සූදුවක් වුවද ? සමහර අයට අත්‍යාවශ්‍ය සන්නිවේදන මාර්ගයකි. මාගේ පාසල් කාලයේ මිතුරන් බොහෝ දෙනෙක් සමග ගිලිහී ගිය සබඳතා යලි ඇති කර ගත්තේ ෆේස්බූක් අඩවිය නිසාය. මුහුණු පොත යන්න එය සන්දි කර එක්වචනය බැගින් සිංහල යෝදාගානීමකි. එනිසා එයද ඉතා සාධාරණ පරිවර්තනයක් නොවේ(මගේ විශ්වාසය). 

මා දිගටම කල්පානාවේ යෙදී අවසානයේ ඒ සඳහා කදිම වචනයක් සොයා ගතිමි. යුරේකා යනුවෙන් කෑ ගසාගෙන දුවන්නට පෙර මෙය ගූගල් කර බැලීමට සිතා ගත්තත් දියණියගෙන් පරිඝනකය නිදහස් වනතුරු සවස හය පමණ වනතෙක්  බලා ඉන්නට සිදු විය. ඒ අතරවාරයේ මා කල්පනා කලේ එහි යෙදුම් කුමන ආකාරයෙන් විය යුතුද යන්නයි. මා කල්පනා කල වචන මාලාව බලන්න

facebook  - වත්පොත 
facebook friend - වත්පොත්/වත්පොතේ මිතුරා
facebook account - වත්පොත් ගිණුම 
facebook status - වත්පොත් ප්‍රකාශය
facebook group - වත්පොත් සමූහය
facebook page - වත්පොත් අඩවිය
facebook profile - පැටිකිරිය

අවසානයේ මා ගූගල් කල පසු එය අලුත් දෙයක් නොවන බව වැටහිණි. ඒ වනවිට බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් එම වචනයක් භාවිතා කර තිබීම සතුටට කරුණකි. ඒ 


Rear Gate බ්ලොග් අඩවියේ ඇනෝවකු (2012 සැප්තැම්බර්)

සුදු, කළු සහ අළු  බ්ලොග් අඩවියේ කතෘ වරයා විසින්ම (2011 ජනවාරි)

මිදුණු හදවත (2013 ජුනි) 

තහනම් වචන (2013 අගෝස්තු) යන බ්ලොග් අඩවි වල සහ 

දිනමිණ  (2013 අගෝස්තු)

දිවයින (2012 අගෝස්තු) 

සිළුමිණ (2013 මාර්තු)

තවත් බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි බොහොමයක් තිබුනත් ලයිස්තුවේ මුලට ආ කිහිපයක් සඳහන් කර ඇත. නමුත් එය තවමත් ජනප්‍රිය හා ප්‍රචලිත වචනය නොවන බව පැහැදිලිය. 

Sunday, April 28, 2013

රජදහනියෙන් කොග්ගලට ....

රජදහනි එක්ස්ප්‍රස් යනු තවදුරටත් ශ්‍රී ලංකාවේ හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුක සේවාවක් නොවේ. එය තවමත් එහි මුලික අවධිය පසු කරමින් ගියත්, දැන් බොහෝ දෙන මේ සේවාව භාවිතා කරනවා. රාජධහනි යනු ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් අත් හැර දමා තිබණු දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කර සුඛෝපභෝගී තත්වයට ගෙනැවිත් යම්කිසි මිලක් ගෙවා සේවාවක් ලබා ගත හැකි අයට සපයන සේවාවක්. ඇත්තටම මෙය සමාගම දෙකක් මගින් ක්‍රියාත්මක වනවා. අනෙක් සේවාව එක්ස්පෝරේල් එයත් රාජධාහනියට දෙවැනි නොවන සේවාවක්. මෙය කොළඹ බදුල්ල මාර්ගය, කොළඹ ත්‍රිකුණාමයාල මාර්ගය, කොළඹ වව්නුයාව මාරගයන්හී ක්‍රියාත්මක වනවා.

මෙම සේවාවන් දෙක පිලිබඳ දිගු විස්තරයක් කිරීමට අවශ්‍ය නොවන්නේ, ඔවුන්ගේ වෙබ් අඩවි වල "අ" යන්නේ සිට මේ පිලිබඳ තොරතුරු අඩංගු වන බැවිනි. මේවාගේ සමාන සේවාවන් සැලකිල්ලට ගතහොත් මෙම සේවාවන් දෙකෙහිම දුම්රිය මැදිරි වායුසමනය කර ඇත. වයි-ෆයි අන්තර්ජලා පහසුකම් ඇත. එහෙත් ඔබගේම ඩොන්ගලය හෝ ජංගම උපකරණයේ ඇති අන්තර් ජාල පහසුකම භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. මා එසේ පවසන්නේ මගේ මුල්ම රජධාහනි අත්දැකීමත් සමගය. බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රියට අපි ඇල්ලෙන් ගොඩ වීමු. රාජධාහනි සඳහා අන්තර්ජාල හවුල් කරු වන්නේ මොබිටෙල් ආයතනයයි. නමුත් කඳුකර ප්‍රදේශ වලදී එක ලෙස ශක්තිමත්ව සිග්නල් නැත. එනිසා වරින් වර බාදා සිදු වේ. නමුත් මා පසුගිය සිංහල අවුරුදු සමයේ ගමේ යාම සඳහාද මෙම සේවාව භාවිත කලෙමි. මුහුදුබඩ මාර්ගයේ සිග්නල් පිලිබඳ ගැටළුවක් නැත.

මා තවමත් එක්ස්පෝරේල් සේවාව භාවිතා කර නැත. නමුත් එයද භාවිතා කිරීමට ඉතා කැමැත්තෙන් පසු වෙමි. ඔවුන් ඩයලොග් ආයතනය සමග එක්ව අන්තර්ජාල පහසුකම් සපයයි. මෙම දුම්රිය මැදිරියේ තිබෙන තවත් එක් අනර්ඝ සේවාවක් වන්නේ සාම ආසන දෙකක් සඳහාම විදුලි සැපයුමක් සපයා තිබීමයි. ඔබගේ ලැප්ටොප් පරිඝනකය, ජංගම දුරකථනය චාජ් කර ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවකි. ඉතාම දැකුම්කලු ඇතුලත අලංකරණයකින් මෙම මැදිරි සමන්විත වේ. රාජධාහනිහී ආසන ලෙදර් වලින් නිමවා ඇත. එය ඔබට අවශ්‍ය පරිදි සකසාගෙන, විවේකීව ගමන් කල හැක. එය ඉතාම සුවපහසු ආසන බව සඳහන් කල යුතුමය. වායු සමනයට අමතරව අවශ්‍ය නම් සිවිලින් පංකාද භාවිතා කල හැක.

මෙම සේවාවන්හී රුපවාහිනි සවි කොට ඇති අතර ඒවායේ නිරතුරුව කුමක් හෝ චිත්‍රපටයක් විකාශණය කරයි. අවශ්‍ය නම් ඔබට කැමති චිත්‍රපටයක් ඉල්ලා සිටිය හැක. නමුත් අනෙකුත් මගීන්ගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් ඔබට මග දෙපස නරඹන්නට දේ අනන්තය. කඳුකර මාර්ගය මේ සඳහා විශේෂය. මුහුදුබඩ මාර්ඝයේද ඉතා දැකුම්කළු ස්ථාන වේ. එක්ස්පෝ රේල්හී මා දකින විශේෂත්වය නම් ඔවුන් ඔබට කෑම වේලක් සහ පුවත්පත් ලබා දීමයි. රජදහනිහී ආහාර පාන ඔබ මිලදී ගත යුතුයි. ඒවායේ මිලගණන් සාධාරණ ඒවා වේ. 

මේවාහී ආසන වෙන් කර ගැනීමේදී කුඩා ගැටළුවක් ඇත. ඒ ඔබ අන්තර්ජාලයෙන් ලබා ගන්නා වෙන් කිරීමේ මුද්‍රිතය මොබිටෙල් ආයතනය වෙත ගොස් නැවතත් මුද්‍රණය කර ගත යුතු වීමයි. ඇත්ත වශයෙන්ම එය මගියාට සිදු වන අපහසුතාවකි. ඒ වාගේම මේ සේවා සපයන්නාට ඇණවුම් අඩු වීමට හේතු වන්නකි. මා තවමත් එක්ස්පෝ රේල් ආසන වෙන් කරගෙන නොමැති හෙයින් ඒ පිළිබඳව වැඩි යමක් කීමට නොදනිමි. අවශ්‍ය නම් මේ සේවා දෙකම ජංගම දුරකථනය මගින් වෙන් කරවා ගත හැක. ඒ රජදහනි මොබිටෙල් සමග සහ එක්ස්පෝ රේල් ඩයලොග් දුරකතනයකින්. 

ගාස්තු වෙන් කිරීම අතින් එක්ස්පෝ රේල් සේවාව ඉදිරියෙන් පසු වේ. ඔවුන් ළමුන් සඳහා වෙනම ගාස්තු දක්වා ඇතත් රජදහනි එවන් පහසුකමක් සපයන්නේ නැත. අනෙක් කාරණය එක්ස්පෝ රේල් විවිධ දුම්රිය ස්ථාන වලට වෙනස් ගාස්තු දක්වා තිබීමෙන් ඔබගේ අවශ්‍යතාව මත ගමන සැලසුම් කිරීමට පහසු වීමයි. රජදහනි තරමක් දුරට මේ අවස්ථා වෙන් කිරීම කර ඇත. 

මේ සටහන තැබීමට හේතු වුයේ, රජදහනි සේව්වාව මීට පෙරද භාවිතා කොට තිබුණත්, අද අප දෙපාර්තමේන්තුවේ වාර්ෂික චාරිකාව පැවැත්වෙන දිනය වූ නිසාය. මගේ දියණිය සුපුරුදු පරිදි නිවාඩුව ගත කරන්නේ බෙන්තොටය. මේ සඳහා ගමන් ගත් බස් රථ සියල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් යාම නිසා ඇය කැඳවා ගැනීමට වෙනත් විකල්පයක් උවමනා විය. කොග්ගලට යන චාරිකාවට ඇය එක් කර ගැනීමට මට ඉතා ඕනෑකමක් තිබුනත් එක් විටක එම අදහස අත් හැර ගන්නට සිතුයේ ඇයගේ වම් ඇසෙ නගනයක් තිබෙන බව දන ගැනීමෙනි. නමුත් බෙහෙත් සමග ඇය කැඳවාගෙන යාමට හැකි බව සොහොයුරිය දැනුම් දුන්නේ ඊයේ හවසය. ඒ වනවිට සවස 6:30 පමණ වන්නට ඇත. මා මුලින්ම අන්තර්ජාලය පීරා සේවුයේ ඒ වනවිට විවෘතව පවතින මොබිටෙල් කාර්යාලයක් තිබේද යන්නයි. එවිට් හිල්ටන් හෝටලයේ තිබෙන කාර්යාලය මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තිබෙන බැවින් දෙවරක් නොසිතාම ආසන වෙන් කර ගතිමි. ඊළඟට එම කාර්යාලයට ගොස් මුද්‍රිතය ලබා ගතිමි.

මා දෙහිවලින් දුම්රියට ගොඩ වූ අතර, දියණිය බෙන්තොටින් එක් කර ගතිමි. ඉතිං මා ලැබූ මේ අත්දැකීම ලබන්නට ඔබටද අවස්ථාව ඇත. ඔබ කාර්යබහුල මොහොතක විවේකයෙන් ඔබගේ ගමරට බලා යන්නට. විදේශයක සිට පැමිණි ඔබට තදබදයකින් තොරව එහා මෙහා යන්නටත්. දුරබැහැර විවාහ මංගල උත්සවයකට යාමටත්. අසනීප තත්වයෙන් පසුවෙන කෙනෙකු ගමනක් කැඳවාගෙන යන්නටත් මෙය කදිම අවස්ථාවකි. නමුත් එදිනෙදා භාවිතයට නම් මෙය මිල අධික විසඳුමකි. හදිසි අවස්ථාවකදී මිලට වඩා පහසුව වටිනවා නොවෙද ?





Tuesday, January 1, 2013

ඇවිද්ද පය ...... පලවෙනි සංවත්සරය

පින්තුරය ගත්තේ : anettshome.blogspot.com

බ්ලොග් ලියන්න අරගෙන අවුරුද්දක් ගත වුණා කියල හිතා ගන්නවත් බෑ. නිකං අද ඊයේ වගේ තමයි හිතට දැනෙන්නේ. මම රාජකාරි දිවියේදී අත් විඳින්නට ලැබුණු අත්දැකීම් බෙදා හදා ගන්න. ඒත් අන්තිමේදී ආපසු හැරිලා බලපුවහම රාජකාරී අත්දැකීම් වලින් 10% ක් වත් ලියවිලා නෑ. මොනවා කරන්නද හිතට දැනෙන දේවල්, මතකයට එන දේවල් ලියාගෙන යත්දී රැකියා පටන් ගන්නටත් කලින් මුහුණ දීපු අත්දැකීම් තමයි වැඩියෙන්ම බෙදා හදාගෙන තියෙන්නේ. අනික් අතින් රාජකාරි දිවියට සම්බන්ධ දේවල් ලියද්දී ගොඩාක් ප්‍රවේසමෙන් තමයි ඒ දේ කරන්න වෙන්නේ. මොකද අපි පත්වීම ලබපු දිනයේදී වගේම වසරක් පාසා ජනවාරි පළවෙනිදා කරන ප්‍රතිඥාවෙන් පොරොන්දු වෙනවා ආයතනික රහස් ආරක්ෂා කරන්න. ඉතිං ඒ නිසා පරිස්සමෙන් දේවල් ලියන්න යනවට වඩා පහසුවෙන් රාජකාරියට පරිභාහිරව තියෙන දේ ගලපන්න පුළුවන්.


පලවෙනි සංවත්සරය ජනවාරි පළවෙනිදට යෙදෙන එකේ එක්තරා වාසියක් තියෙනවා ඒ වගේම අවාසිත් තියෙනවා. මේ සටහන ලියන්න ගිහිං මට අවාසිය මොකක්ද කියල පැහැදිලි වුනේ. තියෙන වාසිය තමයි කවදාවත් අමතක නොවීම. මට විතරක් නෙවෙයි මේක කියවන ඔයාලටත් ඒක මතකයේ රැඳේවී කියල මට විශ්වාසයි. අවාසිය තමයි බ්ලොග් ලියන බොහොමයක් දෙනා නව වසරට සුභ පතන්න පොස්ට් එකක් දැමීම. ඒක අවාසියක් වෙන්නේ ගොඩ වැඩි වුනහම කියවන්න තෝරා ගන්න ප්‍රමාණය අඩු නිසා මගේ පොස්ට් එකත් නොකියවන ගොඩට වැටෙයි කියල. ඒත් කමක් නෑ කියලා ලියන්න පටන් ගත්තා.

බ්ලොග් කියන දේ ගැන මගේ මුල්ම මතකය තමයි මගේ මිත්‍ර සුභාෂ් මගෙන් බ්ලොග් කියන එකේ තේරුම ඇහුවාම ගූගල් කරලා හොයාගෙන කියවපු සටහන. බ්ලොග් කියන්නේ වෙබ් ලොග් කියන වචනයෙන් බිඳිලා හැදුන යෙදුමක් කියල දැන ගත්තා පමණයි(පස්සේ මේ ගැන මගේ අදහස දැම්ම "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද?" කියලා) . ඒත් බ්ලොග් ගැන ඊට එහාට හොයන්න බැරි වුනා. 2011හේ අග හරිය වෙනකම්ම සිංහල බ්ලොග් කියල ජාතියක් තියෙනව බව මම දැනගෙන හිටියේ නෑ. ඒත් වන සීරෝ සීරෝ වර්ඩ්ස් කියන බ්ලොග් එකට නම් කිහිප වතාවක්ම ගොඩ වැදිලා තිබුණා. මීට අමතරව මගේ මිත්‍රයෙක් වන දර්ශණ වීරකෝන් මට නිතරම "මගේ මරණය" සහ "බූන්දි.lk" කියන බ්ලොග් දෙක බලන්න යොමු කලත් මම වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ. 

මෙන්න මෙහෙම තමයි කණාගේ පයේ මැණික් ගල වැදුනත් ගානක් නෑ වගේ මේ සුන්දර අවකාශය මට මග ඇරුනේ. එහෙම නොවුනානම් අඩුම වශයෙන් මේ වෙනකොට දෙවෙනි හෝ තුන්වෙනි සංවත්සරය සමරන්න තිබ්බා. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ මම බ්ලොග් ලෝකෙට කඩා වැටුනා කියලා. නමුත් වැඩිය තේරුමක් නැතිව ඉංග්‍රීසි බ්ලොග් එකක් නම් මම නොවරදවාම කියවන්න පෙළඹිලා හිටියා. ඒ තමයි Cricket through the eyes of an Irishman කියන බ්ලොග් එක. එහෙම ඉඳලා මමත් ඉංග්‍රීසි බ්ලොග් එකක් පටන් ගත්තා. ඒත් වැඩි අවධානය මේ පැත්තට යොමු වුන නිසා ඉංග්‍රීසි බ්ලොග් එකට වැඩි පොස්ට් ගණනක් එකතු කරන්න බැරි වුණා.

කොහොම කොහොම හරි බ්ලොග් අවකාශයට කඩා පාත් වෙලා මුලින්ම පොඩි පොඩි පොස්ට් තමයි දැම්මේ. ඒත් සින්ඩිකේටර් වලින් අනිත් ඇයගේ දිග පොස්ට් දැක්කම මට හිතුනා මම මේවා කුඩාවට ලියන එකේ තේරුමක් නෑ කියල. එහෙම කුඩා කරන්න ගියහම පොස්ට් එකේ නියම රසය නැසෙනවා කියල. අන්තිමේදී දිග පොස්ට් දාන්න පටන් ගත්තා. ඒත් ඒ ගැන පොඩි පොඩි විවේචනත් ආවා. හැබැයි මම අතරින් පතර කෙටිම කෙටි ලොල් කතා කියන හාස්‍යජනක කතා මාලාවක් කෙටියෙන් දැම්ම. ඒකට නම් ඉතා ඉහල ප්‍රතිචාර ලැබුණා. මඩිස්සලේ නිශාන් තනිකරම ඇවිත් තිබුනේ මේ කතා බලන්න. 

ටික කාලයක් ලියාගෙන යත්දී මගේ රාජකාරී දැනුම් සම්බන්ධ කරලා ලියපු ATM යන්ත්‍ර සමග ගනු දෙනු කිරීමේදී කියන පොස්ට් එක නිසා බොහෝ දෙනාගේ අවධානය මේ පැත්තට යොමු වුනා. එහෙම ඇවිත් තමන්ගේ ගැටළු වලට කලයුතු දේ පිලිබඳ විමසීම් පවා කරන තත්වයකට ආව. මේ අතරින් ඊමේල් කවිකාරි සහ හෙන්රි අමතක කරන්න බෑ. මේ දෙදෙනා දැනුත් ගැටලුව්වක් ඇති වුනොත් මගෙන් උපදෙස් ගන්නවා. ඉන් පස්සේ ඒ ආකාරයේම තවත් ලිපි කිහිපයක් ක්‍රෙඩිට් කාඩ් පත් සම්බන්ධව ලිව්වා. ඒවටත් ඉතාම ඉහල ප්‍රතිචාර ලැබුණා. මේ කාලයේදී තමයි විවිධ ක්ෂේත්‍ර වල අය මේ පැත්තට එන්න පටන් ගත්තේ. මගේ ඉහළම දැනුමක් තියෙන විෂයය වන ක්‍රිකට් ගැනත් මේ කාලයේදීම ලියන්න වුනා. 

මෙහෙම යත්දී මට දැනුන දෙයක් තමයි සමහරු බලාපොරොත්තු වෙන්නේ එකම ආකාරයක ලිපි. ඒත් මම ලිපි ලියද්දී විවිධ ක්ෂේත්‍ර ප්‍රමාණයක් ආවරණය කරන නිසා සමහරුන් එන්නේ තමන්ගේ රසයට අදාළ පොස්ට් එකක් වැටුන වෙලාවට විතරයි.  ඒත් මගේ සමබරතාවය පවත්වා ගත යුතු නිසාත්, බොහෝ විට කාලීන වශයෙන් වැදගත් ලිපි කිහිපයක් ලියන්න වෙන නිසාත්, යම් කෙනෙක් බලාපොරොත්තු වෙන මාතෘකා ඔස්සේ මා ලියපු ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. කමෙන්ට් ප්‍රමාණය අඩු වුනත් ප්‍රතිචාර ගැනම නොසිතා මගේ හිත මට කියන එක ලියන්න මම පුරුද්දක් කරගෙන ආවා. සමහර වෙලාවට පේලි දහයක් ලියා ගන්න බැරි වෙයි කියල හිතාගෙන පටන් ගත්ත සමහර පොස්ට් ලියාගෙන යත්දී මතකය අවධි වෙලා ඉතා දිගු පොස්ට් බවට පරිවර්තනය වුනේ පුදුම විදියට. එහෙම ඒවා කතා සීරීස් එකක් විදියට ලියන්න වුණා. 

ඒත් මම හුඟාක් ප්‍රිය කරන පර්යේෂණ(Research) අංශයෙන් ලියන්න හම්බ වුනේ එක් පොස්ට් එකක් පමණක් වීම කනගාටුවට කාරණයක්. මොකද ලියන මට මෙන්ම කියවන ඔබටත් ඉතා වැදගත් අංශයක් නිසා. ඒත් මම මුල් කාලයේ මා කල එක් පර්යේෂණයක් ලියා තැබුවා. ඒත් මට හිතෙන්නේ මේ අංශයෙන් මා ලිව්වා මදි කියලා. එක් අතකින් පර්යේෂණ ලියද්දී නිකංම හිතට එන දේ ලියන්න බෑ. එය සැබෑ දත්ත මත පදනම් වූ දේ විය යුතුයි. එනිසා මා බලාපොරොත්තු වනවා 2013 වසරේදී වැඩි වශයෙන් පර්යේෂණ ලිපි ලියන්න. ඒත් ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍යයි. 

මෙයට අමතරව මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අමතක වීම. එක පාරටම මතකයට ආ විට ලියන්න අවශ්‍යයි කියල හිතෙන දේ තවත් දින ගණනක් ගියපසු අමතක වීම හෝ ඒ තැනට වෙනත් මාතෘකා ගොන්නක් එකතු වීම. මෙයට නම් කඩිනම් පිළියම අවශ්‍යයි කියල මට හිතෙනවා.  මේ මතකය ගිලිහී යාමට ප්‍රධාන හේතුව අවිවේකය කියල මම අහල තියෙනවා. නිදි මැරීම අනිත් කාරනයලු. මගේ නින්ද පැය පහකට වඩා නෑ.  උත්සාහ කරලා බලන්න ඕනේ ටිකක් වැඩියෙන් නිදා ගන්න. ඒත් මම බ්ලොග්පොස්ට් ලියන වෙලාව තමයි රාත්‍රී 9.00 ත් 12.00ත් අතර. 

ඔන්න මම දැන් තමයි වැදගත්ම දේ ලියන්න යන්නේ. ඒ කියන්නේ මා ලියූ දේ කියවන්න මෙහි ආ ඔබ සම ගැන. අද වෙනකොට හිට්ස් 80,000ක් පහු කරලා ගිහින් තියෙන එකෙන් මම හිතා ගන්නේ මා ලියන දෙය ඔබ උනන්දුවෙන් කියවනවා කියලයි. ඒත් මේ බ්ලොග් අවකාශේ තියෙන ජනප්‍රියම එක නොවන වග මම දන්නවා. සමහර ඒවා මාස ගණනකදී ඉතා ජනප්‍රිය මට්ටමට ඇවිත් තියෙනවා. අවුරුද්දක් වන විට ලක්ෂයත් දෙකත් අතර හිට්ස් ප්‍රමාණයක් තියෙන බ්ලොග් පවා මා දැක තිබෙනවා. ඒ වගේමයි සාමාජිකත්වය, අව්රුද්දක් ලියලත් මගේ බ්ලොග් එකේ 142ක් වගේ සාමාජිකයින් සඛ්‍යාවක් තමයි ඉන්නේ. එය ඉතාම පහල මට්ටමක් තමයි සමකාලීන හෝ ඉන්පසුව ඇරඹු බ්ලොග් එක්ක සසඳලා බැලුවොතින් පෙන්නේ. මොනවා වුනත් මට ලැබිලා තියෙන හිට්ස් ප්‍රමාණයත්, සාමාජික සංඛ්‍යාවත් නියම(Genuine)  ඒවා කියල මට හිතෙනවා. එලෙස නොකඩවා මගේ බ්ලොග් එක වෙත පිවිස මගේ අදහස් කියව කමෙන්ට් එකතු කර ගිය සියලූම දෙනාටත් මෙහි සමාජිකයි 142 දෙනාටත් මගේ හර්දයාංගම ස්තුතිය පුද කරන්නේ ඉතා සතුටින්. 

මෙහි සැමවිට කමෙන්ට් නොකලත්, නිතිපතා මෙහි පිවිස තිබෙන දෙයක් කියවා යන ඔබ සැමටත්, මෙහි සාමාජිකත්වය ලබාගෙන මාහට ධෛර්යයක් වූ ඔබ සැමටත්, මා වෙනුවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ සටහක් දැමූ ඔබ සැමටත්, මෙම බ්ලොග් අඩවියට කියවන ඔබ යොමු කල සියලුම් සින්ඩිකේටර් වලටත් මාගේ උණුසුම් භක්ති ප්‍රණාමය පුද කර සිටිනවා.

ප.ලි. සාම්ප්‍රදායික විදියට කේක් ගෙඩියක හෝ වයින් බෝතලයක පින්තුරයක් දමා ඔබ අවුස්සන්නට මගේ කැමැත්තක් නැත.  විශේෂ ස්තුතියි මගේ දියණියට. 


Tuesday, December 25, 2012

ඔබම සාදාගන්න(Do It Yourself) I - නත්තල සහ මගේ දියණිය

නත්තල් සමයේදී මගේ දියණිය පමණක් නොව ලෝකයේ සිටින සියලුම දරුවන් නත්තල් සීයාගේ පැමිණීම ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. කිසිම ආගම් බේදයකින් තොරව දරුවන් අතර නත්තල් සීයා ජනප්‍රියයි. මගේ දියණියත් එසේමයි. ඇය සෑම දිනකම උදෑසන කොට්ටය යටට තෑගි තිබෙනවා බලන්න සතුටින් ඉන්නවා. මෙය අපගේ ආගමේ කොටසක් නොවන බව හෝ එසේ තෑගී ලැබෙන්නේ නත්තල් දින පමණක් බව මා තේරුම් කරන්න ගියේ නෑ. එවැනි දෙයක් තේරුම් ගන්න තරම් ඇය මුහුකුරා  ගිහින් නෑ. දිනක් මා හිම මිනිසෙක් සුපිරි වෙළඳ සැලකින් මිලදී ගෙන ඇයගේ කොට්ට අසල තැබුවා. නමුත් එය දුටු විගස ඇය හඬමින් පවසා සිටියේ තමා කලින් නොදන්නා දෙයක් ත්‍යාගය ලෙස ලැබිය යුතුය යන්නයි. පසුව මම චොකලට් හෝ වෙනත් කෑමක් ආදේශ කර බැලුව. ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මම හිතුව නත්තල් සීයාගේ ඇඳුම ඇය වෙනුවෙන් නිර්මාණය කරන්න.

අවසන් වතාවට කේ.එෆ්.සී. වෙළඳසැලට ගිය අවස්ථාවේ ඇයට ලැබුණු නත්තල් සීයා පළඳින තොප්පිය අප සතුව ඒ වන විටත් තිබුනා. එනිසා ඇයට නත්තල් සීයාගේ ඇඳුම වැනි එකක් අවශ්‍යව තිබුණා. මගේ මව මැහුම් වලට කුඩා කල සිට දක්ෂ වූ අතර ඇය නිවසේදී ඇඳුම් මැසීමට රුච්කත්වයක් දක්වන ලද නිසා ඒ අවස්ථා වලදී ඇයට අත් උදව් සපයා ලබා ගත් දැනුම් මට තිබුණා. අතේ මැසීම එකල අපට පාසලේදීත් කියා දී තිබුනා. ඇඳුමක වාටියක් අතින් මසන්න අම්මා කියා දුන්නේ අප කුඩා කාලයේදීමයි. කමිසයක්ට බොත්තමක් අල්ල ගන්න අපිට කුඩා කල සිටන් පුළුවන්. මගේ අම්මා තාත්තාගේ කලිසම් පවා මසා දුන්නා මට මතකයි. ඉතිං ඇයගේ දක්ෂතාව කෙතරම්ද කියා ඔබට හිතා ගන්නට පුළුවන් නේද? ඇගේ විනොදාංශයට සහය දීමෙන් මුලික මැහුම් පිලිබඳ අවුබෝධයක් ගන්න මට හැකි වුණා. මේ හැකියාව තවත් දියුණු කර ගන්න පුළුවන් වුණා 89/90 කාලේ මා නවාතැන් ගත් තැන සිටි ටේලර් මිතුරාට සහය දීමෙන්.

වාසනාවකට මීටර් දෙකක් පමණ රතු පොප්ලින් රෙදි කෑල්ලක් මා ගාව තිබුණා. මම එය දෙකට නවා පෙටිකෝට් එකක ආකාරයෙන් කපා ගත්ත(මට එය කපන ආකාරයේ චායාරුපයක් ගන්න බැරි වුනා. සමාවෙන්න).  මගේ කලක් හොඳම මිතුරකුව සිටි අලුත්ගම ලාල් ටේලර්ස් අධිපති ලාල් ඇඳුම් කපන විට එහි බලාගෙන සිට ලැබූ අත්දැකීම් මෙතනදී ප්‍රයෝජනවත් වුණා.  එනිසා දෙපැත්ත විතරක් මහන්න අවශ්‍ය ආකාරයට එය කපා ගන්න හැකි වුනා. එය අවසාන කරන්න අඩුම තරමින් පැයක් ගත වුණා. මසා අවසන් කල පසු ලොකු සතුටක් ඇති වුනේ එය ඇයට කදිමට ගැලපුන නිසා. එය ඇඳගත් විගස යට නත්තල් සීයාගේ සුදු රැවුල අවශ්‍ය වුණා. එයටත් මට පහසු පිළිතුරක් තිබුණා. පුළුන් ටිකක් තිබුනා හොඳ වෙලාවට ගෙදර. අවශ්‍ය හැඩයට එයත් කපාගෙන ඇගේ කට සඳහා විවරයක් කපා ගත්තා. ඒත් හුස්ම ගන්නා විට පුළුන් නාසයෙන් පෙනහළු දක්වා යන්න පුළුවන් කියන භය මට ආවා. ඇලජික් නොවන සුදු පාට ප්ලාස්ටර් රෝල මේ වෙලාවේ මගේ පිහිටට ආවා. එම ප්ලාස්ටර් රෝල උපයෝගී කරගෙන නහය අසල කොටස ඔතා ගත්තා. එවිට පුළුන් ඇගේ නාසයට කිසිලෙසකත් ඇතුල් වෙන්නේ නෑ. සැරසූ පසු ඇය උද්දාමයට පත් වෙලා තෑගී දමා ගන්න කුඩා පන් බාස්කට් එක යොදා ගත්තා.

චායාරුප කිහිපයක් ගන්නත් මට පුළුවන් වුණා.




පසුබිමේ ආහාර ගන්නේ මගේ සොයුරිය.


ප:ලි: බ්ලොග් කියා යමක් තිබෙනවා යයි නොදත් අවධියේ ෆේස්බුක් නෝට්(2010.01.10) වශයෙන් ලිය තැබුණු සටහනකි. මෙය තමන්ම සාදා ගන්න (Do it Yourself) ගණයේ නිර්මාණයකි. මෙවැනි දේ සඳහා ඔබේ දරුවන් යොදා ගැනීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කල හැක.

ෆේස්බුක් නෝට් එක අවශ්‍ය අයට මෙතැනින් ගොස් බලන්න පුළුවන්.

නත්තල සමරන සියලුම බ්ලොග් සහෘදයන්ටත්, මෙහි පැමිණ කියවා යන සියලු දෙනාටත් සුභ නත්තලක් වේවා !!!

Friday, November 30, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - I කොටස.

පින්තුරය : techpp.com
මම ඉන්දියාවේ මුම්බායි බලා යන්න තීරණය කලේ මගේ මිත්‍රයා වෙච්ච් සුභාෂ් එක්ක කරපු සාකච්චාවක ප්‍රතිපලයක් විදියට. ඒ 2010 සැප්තැම්බර් මාසයේදී. ඒ කාලේ තමයි 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ කාල සටහන එලියට ආවේ. ඒ වෙලාවේදී මගේ යාළුවාට මම කිව්වා

"ආයේ ලංකාවේ ලෝක කුසලානයක් තියෙන්නේ අඩුම ගන්නේ අවුරුදු 12කින් විතර. එතකොට අපි වයසක මිනිස්සු. ඒ නිසා අපි කොහොම හරි මේ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලමු" කියල. මගේ යාලුවත් තනි පයින් කැමති වුනා. මේ එක්කම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හොට් සීට් දැන්වීම දැකල ඉතාම පහසු මිලකට, ඒ කියන්නේ රුපියල් විසි දාහකට වගේ ටිකට් දෙකක් මම වෙන් කළා. ඊට පස්සේ තිබුනේ හෝටලයක් වෙන් කර ගන්න එක. මොකද අවසන් කාලේ වෙත්දී හුන්ඩුවක් තරම් එකක් වත් හොයා ගන්න බැරි වෙනවා. අන්තර්ජාලයේ ඕනෑම හෝටලයක් ගැන විස්තර ඒ වගේම කලින්ම කාමර වෙන් කිරීමේ හැකියාව තියෙන නිසා ඒ හැටි ගැටළුවක් වුනේ නෑ. මුලින්ම මගේ හිත ගියේ බැම්බූ කියන හෝටලයට. ඒත් මගේ මිත්‍රයට ඒ ගැන දැනුම් දීලා දවසක් දෙකක් යත්දී ඒ හෝටලයේ සියලුම කාමර සම්පූර්ණයෙන් වෙන් කරව තිබුණා. ඊළඟට මගේ හිත ගියේ නැවි මුම්බායි හී පිහිටා තිබෙන එපෙක්ස් හෝටලයට. අන්තර්ජාලයේ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් එහි තිබෙන පහසුකම් මෙන්ම විවිධ පින්තුර නරඹා එය වෙන් කරවා ගත්තා. 

 මගේ මිත්‍රයා බාර ගත්තා තරගය නරඹන ටිකට් පත් වෙන් කරන එක. මේ අතරේදී අපි කථා වුනා ටාජ් මහල් බලන්න යන්න. එත් ඉන්දියාවේ තියෙන විශාලත්වය ගැන පැහැදිලි තේරුමක් ආවේ මේ කාරියේදී. මොකද මුම්බායි නගරයත්, අග්‍රා නගරයත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පිහිටලා තිබුණත්, ඒ දෙක අතර ගමනට වේගවත්ම දුම්රියෙන් ගියත් දවස් තුනක් ගත වෙනවා. යන්න දවසයි, ඉන්න දවසයි, එන්න දවසයි. අපි සැලසුම් කලේ මාර්තු 28 ඉන්දියාවට ගිහින් අප්‍රේල් තුන් වෙනිදා ආපහු ලංකාවට එන්න.  ඒ අතරේ මුම්බායි හා ගොවා අතර දවස් දෙකක් යන ස්ටාර් කෲස් වර්ගයේ නැව් ගමනක් ගැනත් අදහසක් ආව. ඒත් ඒවාට ගියොත් අපේ මුලික අරමුණ අතපහු වෙන නිසා අපි ඒ ගමන් අත ඇරලා දැම්ම.
පරතරය කිලෝමීටර් 1400ක් : maps.google.com

 අන්තිමේදී යන දවස කට ලඟට ආවත් මගේ මිත්‍රයා වීස ගන්න එකට උනන්දු වුනේ නෑ. මම දෙතුන් වතාවක් කිව්වත්, හරි මචං, හරි මචං කියා කිය හිටියා. අවසානයේදී මගේ මිත්‍රයා එයාට තියෙන ගැටලුව මට ඉදිරිපත් කළා.

"මචං මම ඉඩමක් ගන්න බලලයි තියෙන්නේ. මේ ගමන ගියොත් යන විදියදම නිසා ඒක ගන්න සල්ලි මදි වෙනවා" මට මුලින්ම හිතා ගන්නවත් බැරි වුනා. මේ වෙනකොට යාලුවාගේ නමින් ගුවන් ටිකට් පත වෙන් කරලා ඉවරයි. නවාතනත් දෙදෙනාටම තමා වෙන් කලේ. ඒකනම් කමක් නැහැ. මම කුඩා කාලයේ ඉඳලා අනිත් අයට දොස් නොකියන පුරුද්ද නිසා මගේ මිතුරාට වචනයකින්වත් දොසක් නොකියන්න වග බලා ගත්තා. ඒත් මම යන්න හිටපු ගමන යනවාමයි කියල හිතාගෙන දිගටම ක්‍රීඩාංගණය ටිකට් පත් සෙව්වා.

මුම්බායි වල තිබෙන වන්කඩේ ක්‍රීඩාංගණය අනෙක් ක්‍රීඩාංගන සමග ගත්තාම ඉතා කුඩා එකක්. ඒ කියන්නේ ඒ තුල අසුන් ගත හැකි නරඹන්නන් ගණන සීමිතයි. මගේ මතකය අනුව 33,000ක් තමයි. එයිනුත් වැඩිම ප්‍රමාණයක් වන්කඩේ සාමාජිකයින්ට. අයි.සී.සියට සහ එහි ආශ්‍රිත සාමාජිකත්වය දරන වෙනත් රටවල් වලට නොමිලයේ ලබා දෙන ටිකට් පත් අයින් කලහම තිබුනේ ටිකට් 4,000 යි. එයිනුත් අන්තර්ජාලයට වෙන් කලේ ටිකට් 1000යි. මේකට තමයි මුළු ලෝකයම පොර කෑවේ. මෙම ටිකට් අලෙවිය බාර දීල තිබුනේ ඉන්දියාවේ චිත්‍රපට ටිකට් අන්තර්ජාලයේ විකුණන "ක්යාසුන්ගා" කියන වෙබ් අඩවියට. මුලින්ම එය අන්තර්ජාලයට මුදා හැර විනාඩි 10කින් පමණ ලොව නන් දෙසින් ආ තදබදය(Traffic)  නිසා එම වෙබ් අඩවිය හිර වුනා. එදා අපි දෙන්නත් මේ ටිකට් වෙන් කර ගන්න උත්සාහ ගත්තා. ඒක හරියට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඑල බලනවා වගේ වැඩක්. මටත් නොයා ඉන්න කියල මගේ මිතුරා ඉල්ලා සිටියත් කොහොමටවත් නවතින්න මමං සුදානම් වුනේ නෑ,

මේ තියන්නේ ඇලෙක්සා traffic Details කොහොමද 2011.02.21 ලැබිල තියෙන hits ටික.


අපේ තව මිතුරන් කිහිප දෙනෙකුටත් මේ ටිකට් පලහිලව්ව ගැන කියලා තිබුණා. ඒ එක් අයෙක් ටිකට් පතක් ලබා දෙන්නම පොරොන්දු වුනා. මේ වෙත්දී ඉන්දියාව අවසාන පුරවා තරගයට තේරිලා තිබුනා. ඔවුන් එය ජයගනී කියන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබුනා. ඒක තමයි කොස්සකට හිටියේ. මොකද අයි.සී.සිය. ලභා දෙන ටිකට්පත් ප්‍රමාණයේ වෙනසක් ඒ අනුව සිදු වෙලා. මම ලංකාවෙන් පිටත් වෙච්චි 28 වෙනිදා තමයි නවසීලන්තය සමග අර්ධ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ.

එදා රාත්‍රී අටට විතර තමයි මගේ ගුවන් ගමන යෙදිලා තිබුනේ. මමත් සුදානම වුණා. මගේ මිත්‍රයා නවසීලන්ත තරගය බලන්න ක්‍රීඩාංගණයට ගිහින් හිටියේ. මේ වෙනකොටත් අර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන ටිකට් පතක් ලබා ගැනීමේ අරමුණ වෙනස් කරලා තිබුනේ නෑ. යම්කිසි විදියකින් ටිකට් පතක් ලැබුනොත් එය DHL  මාර්ගයෙන් මට එවන්න මගේ මිතුරා පොරොන්දු වෙලා හිටියා. මොනවා වුනත් මෙහි තරග කිහිපයක් විවිධ ආකාරයෙන් මේ වන විට නරඹලා තිබුනේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය සිනමන් ග්‍රෑන්ඩ්හෝටලයේ ඉඳන් නරඹන්න අවස්තාව ලැබුණා. එංගලන්තයත් සමග අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේදීම නරඹන්න පුළුවන් වුනා.

මම බොහොම දුකෙන් තමයි මගේ ගමන් මල්ල සූදානම් කලේ. එක් අතකින් මගේ දියණියගෙන් වෙන් වෙලා දවස් පහක් ඉන්න යන ගමනක්. අනික නොදන්නා රටක තනියෙන් යෑම. මොනවා වුනත් පටන් ගත්ත වැඩක් අත් හරින්න මම කැමැත්තක් නෑ. ඉන්දියන් වීසා ලබා ගන්න තිබෙන පහසුකමත් ඉතා වටිනා එකක්. මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැය ගණන් අව්වේ ඉන්නවා වෙනුවට එය පුද්ගලික ආයතනයක් වන VSF Global  වෙත පවරා තිබීම ප්‍රශංසනීයයි. හරියටම දින තුනකින ඔබට වීසා ලබා ගන්න ඔවුන් කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ දවස් වල මට නිතරම කොළඹින් පිට රාජකාරි වල නිරත වෙන්න සිදු වුනා. 

මාව ගුවන්තොටට ඇරලවන්න සුදානමින් සිටියේ කුෂාන්. නිතරම මට රාජකාරි දින වලදී මුණ ගැහෙන ඉතාම ප්‍රසන්න 688 කැබ් සේවාව වෙත තම වාහනය යොදවා සේවයේ යෙදෙන්නෙක්. ඇත්තටම මේ වෙනකොට ඔහු මගේ මිතුරෙක් බවට පත් වී අවසන්.  ඔහුත් මේ තරගය නරඹන්න පැමිණෙන බවට පොරොන්දු වුනා. ඔහුට තිබෙන සම්බඳතා අනුව එය ඉටු කර ගත හැකි බව මටද විශ්වාසයක් තිබුණා. මා මේ යන්නේ නිෂ්පල ගමනක්ද යන්න නිතරම මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා. හවස පහට පමණ කුෂාන් ඇමතුවත් ඔහු අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේ නරඹමිනි සිටින බව දැන ගන්නට ලැබුණා. කෙසේ හෝ මා ඇරලන්නට පැමිණෙන බවට ඔහු සහතික වුනා. මටත් කිසිම අවුලක් නෑ. මේ වගේ ගමනකට සුදුසුම පුද්ගලයෙක් කුෂාන් කියන්නේ. ඒත් රාත්‍රී හත වනවිට ඔහුට පැමිණෙන්නට නොහැකි බව දන්වා සිටියා. මා තරමක් වික්ශීප්ත භාවයෙන් වුවත් 688 සේවාව අමතා හිතවත් කම් මාර්ගයෙන් වෙනත් කැබ් රථයක් ගෙන්වා ගත්තා. 

එම කැබ් රථය පදවන රියදුරා කොළඹට තවමත් දින දෙකකට වඩා නොපැරණි පුද්ගලයෙක්. ඔහු ක්‍රියාන්විතයේ යෙදී සිට ආභාධිත වුවෙක්. ඔහුට කොළඹ මාර්ඝ ගැන කිසි දැනීමක් නෑ. අවසානයේ මට සිදු වනා ඔහුටත් මාර්ඝෝපදේශකයා වන්න. තරමක් වෙලා තිබූ නිසා සීදුව ප්‍රදේශයේ කඩයකින් තේකකින් සප්පායම් වුනේ තවත් පැය කිහිපයකට ගුවන් යානවෙදී සංග්‍රහ ලබන තුරු කිසිදු අහරක් ගැනීමේ අවස්ථාවක් නැති නිසා. ඔහුගේ ගාස්තුව ගෙවා මාගේ ගමන් මල්ලත් අතේ ගෙන යන බෑගයත් රැගෙන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් ඇතුල් වුනේ, අද දින ජය ශ්‍රී ලංකාවට ලැබේවා යන  ප්‍රාර්ථනයද සමගින්. 

කිහිප වතාවක් විදේශගතවී තිබූ පල පුරුද්ද නිසා ගුවන්තොටුපලෙහි  කෙරෙන කාර්යයන් පිලිබඳ මනා අවුබෝධයක් මට තිබූ නිසා මුලික කටයුතු කිසදු අපහසුවකින් තොරව කර ගන්නට හැකි වුවා. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුල් වන්නට 150කට අධික ප්‍රමාණයක් මට ඉදිරියෙන් මේ වනවිටත් පෝලිම්ගත වී සිටියා. ඒ සිටින විටත් නිරතුරුවම තීරණාත්මක දෙවන අර්ධ අවසාන තරගයේ ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ක්‍රීඩාංගණයේ සිටින මගේ මිතුරා ඇමතුවා. අවසන් මොහොතේ ශ්‍රී ලංකාව ජය ගත්තේ නුලෙන්. 

මෙම ගමන යාමට අවසර මගේ දූ සිඟිත්තිගෙන් ලබා ගත්තේ ඇය නිතිපතා සිහින මවන ටෝකින් ඩෝල් නොහොත් කතාකරන බෝනික්කකු ගෙන ඒමේ පොරොන්දුව ලබා දීමෙන්. "අනේ කොහේ හෝ මේ බෝනික්කා තිබියන්" යන්න ඒ දිනවල මගේ එකම ප්‍රාර්ථනය වුවා. ඒ මා ඇයගේ හිත බිඳින්න තිබෙන අකමැත්ත නිසා. "ආයුබෝවන්" එය අප රටේ නිල පිළිගැනීමේ ක්‍රමය වුවත්, එය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මෑතක සිට අප ඇතුළු රජයේ ආයතන බොහොමයක් ආයුබෝවන් ආමන්ත්‍රණය භාවිතා කලත් එහි ගැබ් වී තිබෙන කෘතීම බව නිසා එය මගේ සිත් ගත්තේ නෑ. කොටින්ම මා එය භාවිතාවෙන් වැළකුණේ හිතට එකඟ නැති දේ නොකිරීමේ මගේ පුරුද්ද නිසා.  එහෙත් දෑස් මෙන්ම දසන් වලින් දක්වන සිනහවත් සමග ඒ කල පිළිගැනීම මා සිත් ගත්තා. වැඩි අපහසුවකින් තොරවම මගේ ආසනය සොයා එහි හිඳ ගෙන අසල ඇති කුඩා කවුළුවෙන් යලිත් මාගේ මාතෘභූමිය දෙස බල දිගු සුසුමක් හෙලුවා. තවත් විනාඩි කිහිපයකින් මේ සුන්දර ලක් පොළොවෙන් ගුවන් ගතව කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වූ අපේ අසල්වැසියාගේ භූමියෙහි පය ගැසීමට අපට සිදු වනවා. 

ඒ වනවිට කිසිදිනක මා ඉන්දියාව නැතිනම බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන ආකාරයට දඹදිව හෝ භාරතය වෙත  පය ගසා තිබුනේ නෑ. මා කුමන රටක ගමන් ගත්තත් අන්තර්ජාලය සහ විවිද මාධ්‍ය මගින් ඒ පිලිබඳ නිසි අධ්‍යනයක නිරත වීම මගේ පුරුද්දක්. ආහාරපාන, භුමි ලක්ෂණ, සිරිත් විරිත් ආදිය මෙහිදී වැදගත්. ඉතිං මමත් මේ ගෙදර වැඩ(Homework) කොටස මැනවින් සිදු කර සිටියා. තවත් විනාඩි ගණනාක අවෑමෙන්, ගුවන් සේවිකාවන්ගේ සහ ගුවන් නියමුවාගේ නිවේදනයට අනුව අසුන් හා බැඳී පටි තද කර ගත්තා. සැබවින්ම ගුවන් නියමුවන් වුවත් ඔවුන්ට බිම මත වාහන හැසිරවීම පිලිබඳ මනා නිපුනත්වයක් තිබිය යුතුයි. මන්ද ඒ වනවිට බිම් පර්යන්ත සහ ගාල් කරන ස්ථාන වල තිබෙන අනෙකුත් ගුවන් යානා සහ වෙනත් වාහන බේරාගෙන ගුවන් පථයට පිවිසීම ගුවනේ යානය හසුරවනවාට වඩා අපහසු කාර්යක් නිසා. හෙමින් හෙමින් ගමන් ගත් යානය ප්‍රධාන ගුවන් පථයට පිවිසෙන්න විනාඩි කිහිපයක්ම ගත වුනා. 

මගේ දියණිය මේ වනවිට කුමක් කරනවා ඇත්ද? මගේ දෑස් තෙත් වුවේ නිරායාසයෙන්. ඇයට සිටින එකම හිතවතා, ඥාතියා, වැඩිහිටියා වන මමද මෙසේ විනෝදාස්වාදය පදනම් කර ගත් ගමන් ගැනීම් කෙතරම් වේදනාකාරී වන්නට ඇත්ද? මීට ප්‍රථම මා දෙවතාවක් ඇගෙන් වෙන්ව මෙවැනි ගමන් ගොස් තිබුණා. එහෙත් එවැනි අවස්තාවක විනෝදාස්වාදය පැත්තක තබා මා ඇය ගැන නිරතුරු සිහි කරමින් ගත කළා. සමහරවිට මේ වනවිට ඇය නිදි සුව විඳිනවා වන්නට පුළුවන්. ඇයට තිබෙන්නේ දැඩි හිතක්. එය උවමනාවටත් වඩා දුක දරා ගන්න සමත්. එහෙත් මගේ ඇසුරේ සිටින විට ඈ වඩාත් ලද බොළඳ ලෙස හැසිරෙයි. එයට සාධාරණ හේතු ඇත. 

මුලින් ඉබි ගමනේ ගිය Airbus වර්ගයට අයත් යානය ඉතා කෙටි දුරක් තුල පැයට කිලෝමීටර් පන්සීයක පමණ වේගයක් ලඟා කරගෙන ක්‍රමයෙන් ඉදිරි කොටසත් තවත් සුළු වේලාවකදී පසුපස කොටසත් වා තලයට එක් කර වේගයෙන් උතුරු දෙසට ධාවනය වන්නට පටන් ගත්තා. ලක් පොළොවෙන් නික්ම ඉහල ආකාසය සිප් ගනිද්දී රාත්‍රිය එළඹ තිබෙන කටුනායක ආශ්‍රිත කලාපය තොරණක සිහි ගන්වමින් දැල්වෙන් විදුලි බුබුළු වලින් එකාලෝව වී තිබුනා. තවත් සුළු මොහොතකින් කටහඬ අවදි කල කපිතාන් වරයා දැන් බඳ පටි ඉවත් කල හැකි බවත්, අප සිටින උසත් ගමනාන්තය ගැනත් යම් දැනුවත් කිරීමක් කළා. මා යානයේ සිටින අනෙකුත් මගීන් ගැන සැලකිලිමත් වුනා. විවිධ ජාතීන් 20කට ආසන්න වර්ගීගරනයකින් යානයේ මගීන් සමන්විත වුනා. යුරෝපීය, ඉන්දීය, ශ්‍රී ලාංකික, නැඟෙනහිර ආසියාතික, අප්‍රිකානු ආදී විවිධ ජාතීන්ගෙන් යානයේ සියලුම ආසන පිරී තිබුනා. යුහුසුළුව සියලු දෙනාට කෑම බීම බෙදාදෙන යුවතියන් සහ තරුණයන් තමා වෙත ලඟා වන තුරු කවුරුත් නොයිවසිල්ලෙන් බලා සිටියා. මා දිගු හුස්මක් ගෙන මගේ පාස්පෝර්ට් එක ගෙන, ගමනාන්තයෙදී බාර දිය යුතු එම්බාර්කේෂන් කාඩ් පත පුරුවන්නට පටන් ගත්තා. මා අනුව යමින් මා අසල සිටි යුවළද එම කාඩ් පත් අතට ගත්තා. 

මීළඟ කොටසින් : සුදීකට ටිකට් ලැබෙයිද ? හැමෝම මාව ඇන්දුවාද ? මුම්බායි අත්දැකීම්ද සමග දෙවන කොටස. ඔන්න මාරයාට සෙනසුරාද කියවන්න පොස්ට් එකක් දැම්මා. 

Saturday, November 17, 2012

දුවරු තිදෙනෙක් මවක් සහ පියෙක් ....

මේ ලියන පොස්ට් එක මම ලියන කෙටිම පොස්ට් එක වෙන්නත් පුළුවන්. එත් අද මම ලියන්නේ මේ දැන් මගේ හිතට වද දෙන හැගීම්. නෙරංජි සුලක්ඛනාගේ අද දාලා තිබුන පොස්ට් එක දැක්කහම මට මුලින් හිතුනේ, "මේ ළමයා මේ බ්ලොග් එකේ වැඩියෙන්ම ලියන්නේ එයාගේ හිතට එන හැඟීම් නේද ?" කියල. පස්සේ මම කල්පනා කළා ඇයි එයා එහෙම ලියන්නේ කියලා. එක අතකින් එයාට දුක කියන්න කෙනෙකුත් ඉන්නවා. ඉතිං ඇයි බ්ලොග් එකේ ඒවා ලියා තබන්නේ ? කියවන අපිට දැන ගන්නද? ඒත් එකෙන් වෙන වැඩේ මොකක්ද ? නමුත් ඒ ලිපිය කියවපු මගේ හිතේ කම්පනයක් ඇති කළා. මටත් දුවෙක් ඉන්නවා. අද මගේ දුව මගේ ගාව නෑ. අක්කා ගමේ යනකොට එක්කන් ගියා. මොකද දවල්ට ඇය බලා ගන්න ඉන්න සේවිකාව මේ දවස් වල නිවාඩු ගිහින්.

මම හිටියේ ලොකු කල්පනාවක. මම කල්පනා කලේ නෙරංජිගේ පොස්ට් එකට හේතුව. ඇය ඉන්නේ ලෙඩ ඇඳේ. බෙහෙත් වලින් ඇගේ මනස විකෘති වෙලාද ? නෑ එහෙම වෙන්නත් බෑ. සමහර තැන් වලදී ඇය යථාර්තවාදී දේත් ලියා තිබෙනවා. මට මගේ දුව මතක් වුනා. මගේ දුරකතනයේ ඒ වන රාත්‍රී විට 8:30 සටහන් වී තිබුණා. මා අද ඇයට කථා කල යුතුමයි. ඒත් මෙවැනි වෙලාවල් වල මා පුරුද්දක් වශයෙන් ඇය  අමතන්නේ නෑ. හේතුව මේ ඇයව නිදි කරවන වෙලාව නිසා. එවැනි විටක මා ගැන මතකයක් ඇති වූ විට ඇයට දුකක් ඇති වීම වලක්වන්න බෑ.  එය මට සොයුරිය පවසා තිබූ දෙයක්. රාත්‍රියේදී ඇය ඇමතීමෙන් වලකින ලෙස. වඩා හොඳ දේ වෙනුවෙන් මා හැගීම් පාලනය කර ගත්තා. ඒත් අද මට කෙල්ලට කතා කරන්නම ඕනේ වෙලා. මම අක්කගේ දුරකතනයට කතා කළා. පිළිතුරැ දුන්නේ ඇගේ පුත්‍රයා. මම සතුටු වුනා. අක්ක කථා කළා නම් කථා කිරීමේ අවස්තාව ගිලිහෙන්නත් තිබුනා. කොල්ලා කෙලින්ම දුව අතේ ෆෝන් එක තිබ්බා. ඇය වෙදානාවෙන් හඬමින් කථා කරනවා. මාව දැවී අළු වී යනවා වගේ දැනුනා. ඊයේ අපි දෙන්නට එකට ඉන්න ලැබුනේ පැයක් විතර. අක්කා එයාගේ දරුවන් බලන්න කොළඹ ඇවිත් තිබුණා. ඒ එත්දී මගේ කෙල්ලත් ඇය සමග මෙහි විත් තිබුනා.

මම ගෙට ගොඩ වනවිටත් ඈ සිටියේ චිත්‍රයක් අඳිමින්. ඇය බොහෝ විට අඳින්නේ ගැහැණු ළමයින්ගේ රූප. මම ලඟට එනකංම ඈ දැක්කේ නෑ. මා ඇය වෙනුවෙන් රැගෙන් ආ බිස්කට් පැකට් එක පෙන්නුවත්, මා දැකීමෙන් ලද සතුට හැර විශේෂත්වයක් ඈ බිස්කට් එක වෙත දැක්වුවේ නෑ. වෙනදා ම දුටු විට ඈ දුවවිත් මගේ ඇඟට පනිනවා. ඒත් පැයකින් ඔවුන් ආපහු යන බව දැනගත් විට ඇති වූ ශෝකය මා හිතේම හිර කර ගත්තා. එහෙත් පිට වන්නට පෙර ඇයගේ කකුලේ කැසීම නිසා ඇති වූ ලේ රත් පැහැයෙන් මගේ හිතේ විශාල තුවාලයක් ඇති කළා. ඇය මට මේවා පෙන්වන විට වේදනාව ඇගේ මුවින් පවා පෙන්වනවා. සමහරවිට මෙය පෙන්වීමකට වඩා නිරායාසයෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඇගේ චිත්‍රය මම අගේ කළා. කොහොමටත් ඇය අඳින චිත්‍ර වල යම් මුහුකුරා ගිය බවක් තියෙනවා. අක්කා දුරකථනය ගෙන

"මල්ලී හෙට මෙයාව පෙන්නුවොත් හොඳයි. චැනලින් එකක් දාන්න."

"හරි මම දාන්නම්"

මේක එක්තරා දෛවෝපගත සිදුවීමක්. වයස හතක් වන මගේ දියණිය ආරක්ෂාව අවශ්‍ය නිසා මගේ සොහොයුරියත් සමග ගමේ වෙසෙනවා. සොහොයුරියගේ දියණියන් දෙදෙනා කොළඹ මාත් සමග සිටිනවා. ඔවුන් රැකියා සඳහා යන නිසා ඔවුන්ට ගමේ ඉන්න බෑ, අක්කට කොළඹ ඉන්න බෑ මස්සිනාගේ බෙහෙත් ටික වෙලාවට දෙන්න අවශ්‍ය නිසා. මගේ නංගිගේ පුතා ඉන්නෙත් අපි එක්ක. ඒකා චිට්‍රපටි පිස්සා. පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එකක් උස්සන් ඇවිත් මගේ රූපවාහිනියට අමුණා නරඹන්න ඒකා හරි කැමතියි, යාලුවෙක්ගේ රෙකමදාරුව මත යයි පවසමින් August Rush නැමති චිත්‍රපටිය නරඹන්න පටන් ගත්තා. ඒ මදිවට මාවත් කෙසේ හෝ එයට ඈඳා ගන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. අන්තිමට ඒකා දිනුවා. හේතුව මේ චිත්‍රපටිය අනාථ දරුවෙකු වටා ගෙතුණු ඉතා සංවේදී කතාවක් නිසා. මුලින් මුලින් ඒ දෙස අතරින් පතර බැලු මම පසුව මෙය ටයිප් කිරිල්ල පැත්තක තියලා නරඹන්න පටන් ගත්තා.

උඩින් තියෙන පරිච්චේද ටික ඊයේ රෑ ටයිප් කරපුවා. 

රාත්‍රී දහය පසු වෙලා විනාඩි දහයක් ගත වෙත්දී අක්කාගෙන් දුරකථන ඇමතුමක්. මාව සීතල වෙලා ගියා. මගේ හිතට එක පාරටම ආවේ කෙල්ලට අමාරු වී ඇතිද යන්න. මෙවැනි තුවාල වලට අමතරව ඇයට හතිය ඇති වෙනවා බොහෝ වෙලාවල් වලට. අක්කා ගෙදර නැති දින කිහිපයකම ඇයට හතිය හොඳටම වැඩි වුනා රාත්‍රී කාල වලදී. මට මෙය හතියයද උණද කියා තේරුම් ගන්න බැරිව දෙගිඩියාවෙන් එක් දිනක් මුළු රෑම නිදිවර්ජිතව පහන් කළා. එවැනි වෙලාවට ඇය හුස්ම ගන්නා අකාරය හරිම භයංකාරයි. එවැනි එක් දවසක මා  දෙපාරක් නොසිතාම ඇය ලඟම තිබෙන නර්සින් හෝම් එක වෙත රැගෙන ගියා. මා පසුවයි දැන ගත්තේ එවැනි හති වෙලාවල් වලදී නිසි ලෙස ඔක්සිජන් ශරීරයට ලැබෙන්නේ නැති බව. එවිට නෙබියුලයිස් කල යුතුම වෙනවා. නැතිනම් ජීවිතය අනතුරේ. දැරිය රෝගී වූ සෑම අවස්ථාවකම අප හැරදා ජීවිතයේ ඉසුරු සොයා ගිය ඇගේ ජීව විද්‍යාත්මක(Biological) මව සමග මට දැඩි කෝපයක් ඇති වනවා. අන් කිසිම මොහොතක මට ඒ ගැන කිසි වේදනාවක් නෑ.

අක්කාගේ දුරකථන ඇමතුම ඇයගේ දුව සේවය නිමවී පැමිණ ඇයට කථා නොකළ නිසා ඒ ගැන විමසන්න. මා ඒ අතරදීත් මගේ දියණියගේ තත්වය විමසා සිටියා. අක්කාගේ දුව ඉහල මාලයේ සිටි නිසා මා ඇය සිටින තැනට ගමන් කලා. ඒ වන විට ඇය නාන කාමරයේ. අම්මා අමතන බව පැවසු විට. ඇයගේ දුරකතනයේ බැටරි නොමැති නිසා කථා නොකළ බවත්, හෙට උදයේ කථා කරන බවත් පවසා සිටියා. ඒ කතාවෙන් මා තුල ඇති වුනේ දැඩි කලකිරීමක්. දෙමව්පියන් තම දරුවන්ට කෙතරම් සෙනෙහසින් සිටිනවාද යන්න දන්නේ දෙමාපියන්ම පමණයි. සමහරවිට අක්කා කොළඹ නැති එක ගැන මේ දුව නෝක්කාඩුවෙන් සිටිනවා විය හැකියි. මා සිතා ගත්තා කෙසේ හෝ දුරකථනය මගින් මේ දෙදෙනා සම්බන්ධ කරන්න. 

ඉහත කී චිත්‍රපටය බලන්නට කලින් මම රුපවාහිනියේ CSN නාලිකාව දෙස බලා සිටියා. එහි තරු වැඩසටහනක් යනවා. තරුණියක් ගයනා කරන ගීතයට සවන් යෝමාගෙනම මා මේ ලිපිය අකුරු කරමින් හිටියේ.  ඒ ගීතය පරසතු මල් වල කියන ලතා වල්පොල මහත්මිය ගායනා කරන ගීතය. මගේ එකල සිටි නැන්දන්ම්මා ඒ කාලේ මේ ගීතයා ගායනා කරනවා කීප විටක් අසා තිබුනත් එහි වචන ගැන මා සංවේදී වුවේ නෑ. ඒත් ඊයේ ඒ ගීතයට මා උවමනාවෙන්ම සව දුන්නා. එහි එක් තැනක තිබෙනවා. "දුවට මවක මිස - පියෙකු කොයින්ද" කියා කොටසක්. ඒ කතාව ඇත්ත. මොකද අද මා සෙවනේ වැඩුනත් මගේ දියණිය නියම මව් සෙනෙහසක් මගේ සොයුරියගෙන් විඳිනවා. මගේ සොයුරියත් එලෙසම දුවකගේ සෙනෙහස විඳිනවා. ඒත් මව් සෙනෙහසක් දෙන්න නොහැකි වුනත් මා හැකි හැම අයුරින්ම ඇයට සෙනෙහස ලබා දෙනවා. මටත් ඇයටත් එකට ඉන්න ලැබෙන කාලය අඩු කම තමයි තිබෙන ගැටලුව.

ඉතිං මං කලින් හිත හිතා හිටිය කාරණය. අයි නෙරංජි ඒ වගේ ලිව්වේ. මට මුලින් හිතුනේ ඒක එයාගේ බ්ලොග් එක, එයාට කැමති දෙයක් ලියන්න පුළුවන් කියලා. ඒත් ඒ වගේම දෙයක් ඊට පැය කීපයකට පසු එහෙම හිතපු මමත් කරා. ඇයි එහෙම කරන්නේ ? ඒ වෙලාවේ හිතට ආව වේදනාවක්, දුකක් හෝ සතුටක් අපිට පසුව අමතක වෙලා යන්න පුළුවන්. ඒත් අතීතාවර්ජනයට හෝ වටිනවා. ඒක ලියලා පබ්ලිෂ් නොකර ඉන්න බැරිද ? ඇත්තටම බ්ලොග් කරුවෙකුට එහෙම කරන්න පුලුවන්ද? බෑ කොහෙත්ම බෑ. බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න, කිසිදා හමු නොවුනත්, පුද්ගලිකව දැන හැඳින නොගත්තත් බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න කියවන ලියන බ්ලොග් සහෘදයන් පිරිස ඉන්නවා. ඉතිං හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවා ඔබගේ ජීවිතයට යමක් එකතු කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මගේ හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවූ ඔබට මා ණයගැතියි.

ප.ලි. : මාරයාගේ පොස්ට් එකකින් කියවුණු විදියට සති අන්තයට සිංහල බ්ලොග් පොස්ට් වැටෙනවා අඩුයි. මම පොරොන්දු වුනා සෙනසුරාදා හා ඉරිදා පොස්ට් දෙකක් දාන්න. එහෙම දාන පලවෙනි එකම මගේ හිතට ආපු සිතිවිලි ටිකක් අකුරු කරන්න වෙච්චි එක ගනා මාරයා මාත් සමග උරණ නොවෙයි කියලා මම විශ්වාස කරනවා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...