මේ කතාව අපිට කිවුවේ කෝච්චියේ එකට ගිය නංගි කෙනෙක්. අපි නිතරම මොන මොනවා හරි කියෙවුවත්, එයා හිනා වෙවී අහගෙන ඉන්නවා මිසක්, මොනවාවත් කිවුවේ නෑ. අපේ මේ සෙට් එකේ හිටියා සුජීව අයියා, ගයානි අක්කා, චානක කියලා එල බුවෙක්, අර කියපු නංගී සහ මම. මම මේ ගෲප් එකට සෙට් වුණේ ගයානි අක්කා නිසා. මොකද එයා මට ඥාති වෙනවා. අර නංගියි, මායි පස්සෙ සෙට් වුණේ. චානකයි සුජීව අයියයි "චූ" භාෂාවෙන් කථා කරනවා. ඒක අර සීනි භාෂාව වගේ. උන් දෙන්නා කථා කරන වේගෙට, මට තේරුං ගන්නත් බෑ. අපි ඉතිං කට ඇරගෙන අහගෙන ඉන්නවා.
මේ සියළුදෙනා එකට සෙට් වෙන්නේ දෙහිවල ස්ටේෂන් එකෙන්. මමත් ගයානි අක්කාත්, සුජීව අයියාත් කොටුව සහ කොම්පඥ්ඥවීදිය ස්ටේෂන් එක වෙනකොට කෝච්ච්චියට ගොඩ වෙනවා. කොල්ලුපිටිය හරි බම්බලපිටියෙන් කෙනෙකුත්, අනිකා දෙහිවලිනුත් ගොඩ වෙනවා. අපි හතරදෙනා වාඩි වෙන සීට් සෙට් එකේ හයක් වගේ වාඩි වෙලා මේ දිගු ගමන යනවා. වාද්දුවෙන් කළුතරින් දෙන්නෙකුත්, ගයානි අක්කා සහ මම බෙන්තරිනුත් ගෙවල් බලා යනවා. මුල්ටිකේ ආගත - නාගත ටිකක් දොඩවන අපි, මොනවා හරි කෑමක් බෙදා-හදාගෙන කනවා. ඒ කාලේ ප්‍රියතම අයිටම් එක වුණේ මංචි චික් බිට්ස්. ඔය පැකට් එකක් මුළු බජාර් එකම බෙදාගෙන කනවා. උදේ යන අළුත්ගමින් 5:55 පවර් සෙට් එකෙත් ඒ වගේ ගැන්සියක් හිටියා. එයාලා මාව එයාලගේ ගෲප් එකට එකතු කරගත්තේ, දිගටම වාඩි වෙලා යන මම, වාද්දුවෙන්, පින්වත්තෙන්, නොම්මර එකෙන් ගොඩවෙන ඒ සෙට් එකේ අයට සීට් දීලා. එයාලා එක්ක වැඩි ඇයි හොඳයියක් නැති වුණත්, හවස සෙට් එකනම් අපේ බජාර් එක වුණා.
ටිකක් දුරකට ආවට පස්සේ සුජීව අයියා සහ චානක සිංදු කියන්න ගන්නවා. සනත් නන්දසිරි මහතාගේ එදා මෙදාතුර, දයාරත්න රණතුංග මහතාගේ කිරි කවඩි සිනා, වගේ සිංදු අනිවාර්‍යයයි. තව ඒ කාලේ සිරසෙන් නැඟලා ආපු කෙලෙසද කිවමැන සිපගත් දෑතට, වගේ ගීත ගායනා කෙරුණා. මෙහෙම ඇවිත් ටික දුරකදී රසකතා තීරය පටන් ගන්නවා, චානක තමයි මේ වැඩේ කථානායකයා වෙන්නේ. මිනිහා දවසක් හක් ගෙඩියක් පාවෙලා ආපු කථාවක් කිවුවා. ඒක අර ඩබල් මීනින්ග් නොහොත් කණපිට හරවා ගත්තම අමු කුණුහර්ප කතාවක්. රැප් එක වගේ කියාගෙන කියාගෙන යනකොට අපිට තේරුම් ගන්නත් අපහසුයි.
අපි හැමෝම මොන-මොනවා හරි කතාවක් කිවුවත්, අර නංගි(එයාගේ නම මතක නෑ. හැබැයි ටික කාලයක් යනකොට, අද මං මේ කියන්න යන කතාවේ තියෙන රහස් නාමයෙන් අපි එයා නැතිතැන එයාට අමතන්න ගත්තා. අපි ඒ නංගි ගැන වැඩි විස්තරයක් දන්නේ නැති වුණත්, ඇයට පෙම්වතෙක් ඉන්න බව විතරක් දැනගෙන හිටියා. අපේ වදේ පොරේ නිසා එයා කතාවක් කිවුවා. හැබැයි ඒක කතාවක් කිවුවට පොඩි පහේ ප්‍රහේලිකාවක්. එයා අහන්නේ පිරිමි කෙනෙකුගේ නමක්. ඔන්න මෙහෙමයි ඒ කතාව
එක්තරා ධනපති නිවසක සේවයට මෙහෙකාරයෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් වත්තේ පිටියේ වැඩට ඉන්නේ පිරිමි කෙනෙක්. මේ රෞද්‍ර යක්ෂනියක් වගේ ධනපති ආර්‍යාව නිසා මේ මෙහෙකරුවෝ වැඩිකල් ඒ නිවසේ සේවය කරන්නේ නෑ. විශේෂයෙන්ම අර පිරිමි කෙනා. මොකද මේ ලේඬි එයාලගේ නමේ අගට යා කෑල්ලක් දාලා කථා කරන නිසා. කථා කරනවට වඩා බෙරිහන් දීමක් කිවුවොත් නිවැරදියි. අපි හිතමු නිමල් කියලා කෙනෙක් හිටියා කියලා එතකොට අර ධනවත් කාන්තා ඔහු අමතන්නේ සුනිලයා කියලා. අමරසිරි නම් අමරසිරියා අර ගේට්ටුව ඇරපං, වගේ අණ කිරීම් කරනවා. මේ නිසා ළඟ - ළඟ පිරිමි මෙහෙකරුවන් මාරුකරනවා. හැබැයි අන්තිමට ආවලු කෙනෙක්, ටිකක් වයසක පොරක්. එයාගේ නමට නං "යා" ප්‍රත්‍ය දාල අමතන්න ඒ කාන්තාවට බැරි වෙලා. ඒ නංගී අපෙන් ඇහුවේ ඒ නම මොකක්ද කියලා. අපිට දවස් දෙකතුනක් ගිහිනුත් උත්තරය හොයාගන්න බැරිවුණා. නමුත් මේක ඔයාලට ටොයිස් කියලා මම දන්නවා. බලමු කවුද වැඩ්ඩ කියලා. උත්තරය දන්නවනම් "චූ" භාෂාවෙන් උත්තරය් දෙන්න. උදාහරණයකට, උත්තරය ආනන්ද නම් "ආ චූනන්ද" කියලා ටයිප් කරන්න්ඩකෝ.
දැන්නම් බස් කෝච්චිව්ල වුණත් සිංදු කියද්දී පරිස්සම් වෙන්න ඕනේ. කතෲ භාගවල් - කාලවල් ඉල්ලං එන්න බැරි නෑ.
No comments:
Post a Comment
කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >