Showing posts with label බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club). Show all posts
Showing posts with label බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club). Show all posts

Wednesday, November 13, 2013

පොඩි මහත්තයා - මහත්තයා, බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ලාගේ පරපුරේ එකෙක් වූ යෑන් යෑන් නමැති චීනා නිසා නැති වූ ලකුණු 20 Twenty Marks lost because of Yan Yan of Podi Mahaththaya Mahaththaya, Buthros Buthros Gali Generation

1988 වසර මට අමතක නොවන අවුරුද්දකි. එම වසර මට ජයග්‍රාහී වසරකි. එම වසරේ මුල් කාලයේදීම අපගේ ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා අපට වැදගත් ආරංචියක් ගෙන ආවේය. රෙජිස්ටර් තැපෑලෙන් පැමිණ තිබූ එම ලියමන අප අතට පත් වූ විගස, කරමින් සිටි පාපන්දු රාගය(මෙයට කියන වෙනත් නමක් නොදනිමි. එහෙත් පාපන්දු ක්‍රීඩකයින් වටවී පන්දුව බිම නොවට්ටා කරන සාමූහික ක්‍රීඩා කොටසකි) නවත්වා අප වට වී එය කියවන්නට පටන් ගතිමු. එය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බව පැහැදිලි වූයේ එහි ඉහළින්ම තිබූ මුද්‍රිත නිල සලකුණු දුටු විටයි. එය තරග විභාගයක් සඳහා කැඳවීමකි. ඒ සඳහා සූදානම් වන්නැයි මට, පතියාටත් සහ පොඩි සුබයාටත් අණ ලැබිණි.

අප මේ සඳහා කළයුතු දෙයක් ගැන හෝ අවශ්‍ය පෙර සූදානමක් ගැන කිසිදු දැනුමක් නොතිබුණි. ඒ "ක්‍රීඩා දැනුම මිනුම" වැඩසටහනේ දෙවන පියවර බව මගේ මතකයයි. මීට කලින් වතාවක් ජාතික රූපවාහිනිය ඔස්සේ එවැනි වැඩසටහනක් නරඹා තිබුණි. මා කොහොමත් දැනුම - මිනුම වැඩසටහන් වලට කැමැත්තක් දැක්වූ නිසා මෙවැනි වැඩසටහන් නොවරදවා බැලුවේ දෙමව්පියන්ගේ ආශිර්වාදයද සහිතවයි. වෙනත් වැඩසටහනක් බලන ඕනෑම විටක "ඉස්කෝලේ වැඩ එහෙම නැද්ද ?" යන පැනය දිව මතුරක් මෙන් මගේ මවගේ හෝ පියාගේ මුවින් පිට වන්නේ නිරායාසයෙනි. 

dinamina.lk
අප මුලින්ම මුණ ගැසුණේ ප්‍රවීණ ක්‍රීඩා නිලධාරියෙකු වූ, අප අතරින් වියෝ වූ, මගේ පියාගේ ඥාති
සහෝදරයකු වූ සිසිර කන්නන්ගර මහතා සමගය. ඊළඟ දිනයේ ක්‍රීඩාව පටන් ගැනීමට ප්‍රථම පැමිණෙන්නට ඔහු අපගෙන් ඉල්ලා සිටින ලද අතර එදින අප අන් අයට කලින් ගාමිණී විද්‍යාලයේ හිස් පන්ති කාමරයකට වී ඔහු එනතුරු බලා සිටියෙමු. තවත් විනාඩි ගණනකින් ඔහු පැමිණියේ ෆයිල් මිටියක්ද සහිතවයි. ඔහුට දරා ගන්නට බැරි බරක් වූ එම ලිපි ගොනු තොගය පිරී තිබුණි. ඒ ක්‍රීඩාව පිළිබඳ විවිධ ලිපි ලේඛන එකතුවකි. 

විවිධ ක්‍රීඩා ඉසව් වලට අදාළ දිග-පළල, ලෝක වාර්තා, ශ්‍රී ලංකා වාර්තා සහ පින්තූර පෙන්වමින් කල ඒ දේශනය අදටත් මා සහභාගී වූ හොඳම දේශන වලින් එකකි. එය එතරම්ම රසවත්ය. පැය දෙකක් වැනි කෙටි කාලයකදී ඔහු ලබාදුන් දැනුම් සම්භාරය පිටු හතළිහේ පොතක් පුරවා ගන්නට සමත් විය. සෑම ක්‍රීඩාවක් කෙරේම උනන්දුවක් දැක්වූ මා ඔහු විටින් විට නගන ප්‍රශ්න වලට ආසන්නම පිළිතුර ලබා දීමට සමත් වීම ඔහුගේ ප්‍රසාදයට හේතු විය. මෙම පන්තිය පැවැත්වීමෙන් පසුව  මගේ නිවසට කිට්ටු නිවසක සිටි ඔහු මට අමතර සටහන් කිහිපයක්ම ලබා දුනි. එයට මා දැක්වූ දක්ෂතාවට අමතරව ඥාතිත්වයද හේතු වන්නට ඇත.

මීට අමතරව නොදන්නා කරුණු පියල් වීරසේකර නමැති අති-දක්ෂ ජාත්‍යන්තර  මට්ටමේ ක්‍රීඩකයා සහ ගාමිණී විදුහලේ ක්‍රීඩා ගුරුවරයාගෙන් අසා දැන ගතිමු. විහාගය පැවතී සෙනසුරාදා දිනයේදී අපට ගාලු යාමට සිදු වූයේ, එය දිස්ත්‍රික්කයේම අය එක්තැන් කර සිදුකරන විභාගයක් වූ බැවිනි. පෙරදින ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා ලබාදුන් මුදල්ද රැගෙන අප තිදෙනා සමරසිංහ හන්දියට වී බලා සිටියේ ගාලු බසයක් එනතුරුය. එදින සෙනසුරාදාවක් වූවද අම්බලන්ගොඩ පසු වනතුරු හිටගෙනම යාමට සිදුවිය.  ඉඳ ගැනීමට හැකි වූ මොහොතේ සිට අප පොත් වලට දෑස් යොමු කළෙමු. ගාල්ලෙන් බැස පැවිලියන් හෝටලයෙන් උදේට සප්පායම් වූ අප තිදෙනා රිච්මන්ඩ් විදුහල සොයා ගමන් ගතිමු.

විභාගය සඳහා දෙසියපනහත් තුන්සීයත් අතර ප්‍රමාණයක සෙනගක් රැස් වී සිටි නිසා මද තැති ගැන්මක් මෙන්ම ඒ ගැන තිබූ බලාපොරොත්තුව අත් හැර ගන්නට අපට සිදු විය. ඉන් බොහෝ දෙනෙකු ක්‍රීඩාව පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් බව කණින් කොනින් ඇසෙන දෙයින් පැහැදිලි විය. අප අයිනකට වී ඈත පෙනෙන ගාලු කොටුව දෙස බලා උන්නෙමු. තවත් මිනිත්තු කිහිපයකින් ප්‍රශ්න පත්‍රය අතට පත් වූ විගස මගේ මව මට දී තිබූ රත්‍රන් ඔවදන අනුව යමින් සමූර්ණ ප්‍රශ්න පත්‍රයම මිනිත්තු ගණනකින් කියවා හමාර කළෙමි. එය බොහෝ දෙනා බලාපොරොත්තු වූ අකාරයේ හුදෙක් ප්‍රශ්න සහ උත්තර සහිත එකක් නොවීය. එය සාදා  තිබුණේ ප්‍රායෝගික ගැටලු පදනම් කරගෙනය. මුල්ම ප්‍රශ්න දෙක පාපන්දු ඇසුරින් තිබීම මගේ සතුටට හේතු විය. 

"පන්දුව තිබෙන ක්‍රීඩකයා එක් පහරකින් ප්‍රතිවාදී ගෝලය වෙත පහරක් එල්ල කළහොත් විනිසුරු වරයා කුමක් කළයුතුද ?" යන්න ඉන් එක ප්‍රශ්නයකි. 
එයට මගේ මිතුරන් දෙදෙනාට නිවැරදි පිළිතුර සොයා ගන්නට නොහැකි වූ බව පසුව කල පිලිසඳරේදී පැහැදිලි විය. මා ඒ කාලයේ පාපන්දු ක්‍රීඩා කිරීම නිසා අපහසුවක් නැතිවම එයට පිළිතුරු සපයන්නට හැකි විය. කොහොමත් මේ විභාගය ගැන ආශාව අත් හැර සිටියද,  දිනක හවස් වරුවේ මගේ නමට ලිපියක් තිබෙනු දැක පස් වනක් පිනා ගියේ, එකල තමන්ට ලිපියක් ලැබෙන තරම් සතුටක් කෙනෙකුට නොතිබූ බැවිනි.  එය කුමක් සඳහාද යන්න පෙර විනිශ්චයක් නොමැතිවම කඩිනමින් විවෘත කර බැලුවෙමි.

ක්‍රීඩා - දැනුම මිනුම තරගය සඳහා ගාලු දිස්ත්‍රික් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වූ තරග විභාගයෙන් ඔබ සමත් වී ඇති බව සතුටින් දන්වමු. එම කණ්ඩායම සඳහා තෝරා ගත් සියලු දෙනා ------- දින ගාල්ල කච්චේරිය වෙත වාර්තා කල යුතුය. 
සතුට, මවිතය අතර හැගීමක් තුළ මා ක්‍රීඩාංගණය වෙත දිව ගියේ දිවා ආහාරය උඩින් පල්ලෙන් ගිල දමමිනි. මගේ මිතුරන් දෙදෙනාගෙන පොඩි සුබයා එහි සිටි අතර ඔහුට එවැනි ලිපියක් ලැබී නොතිබිණි. පතියා කොළඹ ආනන්දයට යන නිසා සතියේ දිනවල ක්‍රීඩාංගණය වෙත පැමිණෙන්නේ නැත. සවස ක්‍රීඩා අවසන් වී ඔහුගේ නිවසට ගියේ රෝහණ අයියා සමගය. 

නියමිත දිනයේ ගාලු කච්චේරියට ගොස් හැඳුනුම්පත තබා ඔවුන් ලබා දෙන තාවකාලික අවසරපත රැගෙන නියමිත ස්ථානයට යන විට තවත් මාගේ වයසේ තරුණයෙකු එහි විය. අනෙක් අය අතරින් පසුගිය වසරේ එම වැඩසටහනට සහභාගී වූ වැඩිමහලු පුද්ගලයෙක් විය. ඔහු ග්‍රාමසේවක වරයෙකි. අනෙකා සාලිය නම් වූ අතර මගේ මස්සිනාගේ පන්ති සගයෙකු විය. නිශානි අක්කා ඉංග්‍රීසි ගුරුවරියකි. අවාසනාවකට අප හතරදෙනා තරගයට සහභාගී විය යුතු අතර පෙරකී අනෙක් තරුණයා ආදේශකයා වශයෙන් තෝරා ගෙන ඇත. එහිදී ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් ලබා දුන් අතර, ග්‍රාමසේවක තැන අපට බොහෝ ගුරුහුරුකම් ලබා දෙන්නට වීම විටෙක කරදරයක් විය. 
ගොන් ප්‍රශ්න අහන්න එපා 

යනුවෙන් ඔහු පුන පුනා පවසන්නේ මෝඩ උත්තර දීමෙන් වළකින ලෙසය. එදින ලා නිල් පාට කමිසයක් සහ කළු කලිසමකින් සැරසිය යුතු වූ අතර, නිල් පාට ටයි පටියක් පැළඳ පැමිණිය යුතු බව දැනුම් දී පෙරදින කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේ නතර විය යුතු බවද සඳහන් කරන ලදී. "අම්මලා කැමති වෙයිද?" යන කුකුස මගේ හිතේ නිතරම නැගිණි. මගේ ජාතික හැඳුනුම්පත මට මතක් වූයේ ගාල්ල කොටුවේ මද දුරක් පැමිණි පසුවය. ආපසු ගොස් එය රැගෙන ආවේ මගේ තනි-නොතනියට සිටි අර කළු-හීන්දෑරි මිතුරා නිසාය. අප දෙදෙනා ගැලපෙන වයසේ අය වූ නිසා ඉතා ඉක්මනින්ම මිතුරන් බවට පත් විය.

ඒ වනවිට ලා නිල් පාද කමිසයක් සොයා ගැනීම මට අභියෝගයක්ව පැවතිණි. ඒ මෙවැනි දේ වලට අවසරය ලැබෙන්නේත් ඉබ්බන්ගෙන් පිහාටු ගන්නා ආකාරයට නිසාය. මම ඒ ගැන ගෙදරට කරදර නොකොට මගේ පන්තියේ යාළුවන් දැනුවත් කළෙමි. ඔවුන් අතරින් විමල් ඉදිරිපත් වූයේ වාසනාවටය. ටයි එකක් කාගෙන් ලැබුනාදැයි මට නිශ්චිතවම මතක නැත. ක්‍රීඩා සමාජයෙන්ද ඒ හැටි ආධාරයක් නොලැබුණි. නියමිත දිනයේ පාසල් නොයා සවස එක වනවිට පොරොන්දු වූ පරිදි අලුත්ගම බස් නැවතුම්පළෙහි කොළඹ බස් නැවතුම්පොළ ඉදිරියටම වී සිටියෙමි. මාව ඔවුන්ට මග අරුණා වත්ද ? යන දෙගිඩියාවෙන් බල හිඳිද්දී පා පුවරුවට බැස අප භාරව යන ක්‍රීඩා නිලධාරියා මට කථා කළේය. ඒ අනුව දුවගෙන ගොස් මා බස් රථයට ගොඩ වීමි.

බස් රථයේ ගමන කෙසේ වුවාදැයි මට පැහැදිලි මතකයක් නැත. මන්ද ? මගේ හිත රුපවාහිනී කැමරාව ඉදිරියේ පැවැත්වෙන මේ තරගය ගැන යොමු වී තිබීම නිසාය. අපේ කණ්ඩායමට නායකත්වය දෙන ග්‍රාමසේවක තැන නිතරම අපගේ ක්‍රීඩා දැනුම මිනුමේ යෙදී සිටී. මේ දවස් වල ටෙනිස් ශූරයා කවුද ? වැනි ප්‍රශ්න ඔහු අසමින් ගමන් කරයි. බම්බලපිටියෙන් ටොරින්ටන් බලා ගමන් ගත් අප අපගේ ගමන් මලු කර ගහගෙන ටොරින්ටන්හි ක්‍රීඩාංගනයට යාබද ක්‍රීඩාගාරයට ගොඩ වීමු. මේ අතර මමත් සාලියත් ගැඹුරු කතාවකට මුල පුරා තිබුණි. ඒ ඔහුත් මගේ වැඩිමහල් සොයුරියගේ සැමියාත් එකම පංතියේ උගත් අය වීම නිසායි. අපේ ගමේ මගෝඩි කොලුවකු ඔහුට දුන් අන්ඩරය සිහිපත් කරන්නේ ප්‍රීති ප්‍රමොදයෙනි.

ඒ දෙසැම්බර් මස අපේ ගමේ පැවැත්වෙන් අනුබුදු කාශ්‍යප පෙරහැර බලන්නට ඔහු පැමිණ, අපගේ නිවාස අසලදී මස්සිනාගේ නිවස විමසා ඇත. ඔහුට එම කොලුවා අපගේ නිවාස පෙන්වා ඇත. තත්වය තේරුම් ගෙන ඇති අපේ තාත්තා නියමිත තැනට සාලියව යොමු කර ඇත. තාත්තා මෙවැනි කතාවක් පැවසූ බව ඉතා සියුම් මතකයක් ඇත. මේ පලහිලව්ව නිසා එකල දෙමාපියන් බොහෝ දේ සාකච්ඡා කළේ අප නින්දට ගිය පසුවය.

අපට නිදියන්නට වන්නේ ලෑලි බැංකු වැනි තට්ටු ඇඳන් මත බව දුටු විට මට එය විමතියට කරුණක් විය. මා එවැනි තට්ටු ඇඳන් දැක්කේ ප්‍රථම වතාවටයි. මගේ සිහියට එකවර ආවේ, අක්කාත් මමත් අපගේ පිටුපස වැට මායිමේ ඇති යාබද ක්‍රීඩාංගනයට නැමුණු සුරිය ගස උඩ තැනූ අට්ටලයයි. අපට ඕනෑ වුණේ පැල් රකින අකාරයේ පැල් කොටයක් අටවා ගන්නයි. එහෙත් එම උත්සාහය කිසිදිනක යථාර්ථයක් බවට පත් නොවූයේ,  හවස් වනවිට ඒ සඳහා යොදා ගත් ඇඳ පොලු ආපසු ගෙන යන්නට තාත්තා පැමිණි විටය. දහවලේදී ඒ සඳහා අපට විරෝධයක් ඇති නොවූයේ අප ඒ මත සිට පොත් පාඩම් කරන නිසාය.

අප වැනි කණ්ඩායම් බොහොමයක් ඒ වනවිට එහි පැමිණ තිබුණි. කළුතර කණ්ඩායමෙන් පැමිණි අක්කා කෙනෙකු මා මොරිනස් අඳුනනවාදැයි ඇසීය. ඔහු මාගේ හොඳ මිතුරකු බවත්, අප පාසල් යන්නේ එකට බවත් පැවැසූ විට, ඇය මගේ පාසල විමසා සිටියාය. මා කළුතර විද්‍යාලයේ යයි පැවැසූ විට ඇය එකවිටම පවසා සිටියේ
"අපේ බෝයිස් ස්කූල් එක" 
යන්නයි. අප තවත් බොහෝ දෙනා සමග කතාබස් කළෙමු. රාත්‍රියේ අහුමුලු වල විවිධ කාණ්ඩ ගැසී ප්‍රශ්න උත්තර සහ ආගිය කතා සාකච්ඡාවන් ගිය අතර රාත්‍රී දහය වනවිට අපේ නිදන ස්ථාන වලට අප ළඟා වීමු. නිශානි අක්කාට තනිවම කාන්තාවන් සඳහා වූ නේවාසිකාගාරයට යන්නට සිදු විය. අනුරාධපුරයෙන් පැමිණි තරමක් කටකාර අක්කා කෙනෙකු පෙන්වා තවත් අයෙක් කටෙහි වතුර ඇති විටක කරන ආකාරයේ සංඥාවක් දුන්නේ ඇය ගැන "නරක" සටහනක් තබන්නට බව මට වැටහුණි.

උදෑසනින්ම අවදි වූ අපට දකින්නට හැකි වූයේ ක්‍රීඩාංගණයේ පුහුණුවේ යෙදෙන තරුණ තරුණියන්ය. පිට්ටනිය වටේ ඇවිදින මහලු පුද්ගලයන් පෙන්වා ඉන් සමහරෙක් අතීතයේ ක්‍රීඩා වාර්තා තැබූ අය බව අප සමග ගිය ක්‍රීඩා නිලධාරියා හඳුන්වා දුනි. අප ඉහළ මාලයේ සිට උදෑසන තේ පැන් අවසන් කොට කඩිමුඩියේ ලක ලැහැස්ති වූයේ තරගාවලියට මුහුණ දීමටය. අපගේ ප්‍රතිවාදීන් වුයේ මොනරාගල දිස්ත්‍රික්ක කණ්ඩායමයි. මෙය නම් පහසු එකක් වනු ඇති බවට කාගේත් මතය විය. නිතරම විහිළුවෙන් සිටින සාලිය පවසන්නේ නොදන්නා දෙයක් තමන්ගෙන් ඇසුවහොත් ලබාදෙන පිළිතුරය

"මම කියනවා එච්.ආර්. ජෝතිපාල කියලා"

"අනේ වඳින්නම් ගොන් ප්‍රශ්න නම් අහන්න එපා"

අපේ ග්‍රාමසේවක රාළහාමිට උත්තර සහ ප්‍රශ්න මුලසිටම පැටලී ඇත. නිශානි අක්කාත් සාලියත් ඉතා සැහැල්ලුවෙන් පසුවෙයි. අප ගෙන යන්නට රුපවාහිනියේ වායුසමනය කරන ලද බස් රථයක් පැමිණ ඇත. එය මෙහෙයවන්නන් කඩිමුඩියේ අප දක්කාගෙන යන්නට සැරසේ. මෙය විනාඩි දෙකක ගමනක් බව පසක් වූයේ ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට රුපවාහිනියේ එළිපත්තටම ගොස් තිබූ බැවිනි. මේකප් කරන තැන රේණුකා බාලසුරිය මහත්මිය තමන්ගේ මේකප් කර ගනිමින් සිටී. එහි සිටින වේශ නිරූපණ ශිල්පීන් අප කැදවා අපේ මුහුනේ පින්සල් වලින් අලංකරණය කල අතර වැරදි යමක් ලියා ඇත්දැයි මා සැක හැර දැන ගත්තේ ඉදිරිපස ඇති කණ්ණාඩියෙනි.

dinamina.lk
දැන් තරගයට සියල්ල සූදානම්ය. එච්. එම්. ගුණසේකර මහතා ප්‍රශ්න විචාරකයා ලෙස කටයුතු කරයි. සියලු දෙනා ඉදිරියේ අපේ නම් ලියූ බෝඩ් එකක් ඇත. මයික්‍රෆෝනයට අමතර අන් අයගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරැ දීමට ඔබන බොත්තම සහ තැඹිලි පැහැති ලාම්පුවක්ද සකසා ඇත. කැමරා කරුවන් අප වෙත කැමරාව මානාගෙන ඇත. තරගය ආරම්භ විය මුල්ම ප්‍රශ්ණ වටය දෙපැත්තේ නායකයන් දෙදෙනාටය. අපේ ග්‍රාමසේවක උන්නැහේ වැඩේ අනා ගත්තේය. රුපවාහිනී තිරයේ පෙන්වන එල්ලේ ප්‍රශ්නයට මා ලකුණු විස්සක් ලබා ගත්තද අනෙක් පස තරග කරුවාද එම ලකුණු ප්‍රමාණය ලබා ගති. ඉන් පසුව පාපන්දු ප්‍රශ්නය  යොමු කළේ සාළියටය. එය මගෙන් අහන්නට තිබුණා නොවේදැයි මගේ සිත දොස් නැගීය. දෙපැත්තේම ප්‍රශ්න දෙකෙන් එකකට හරි පිළිතුර මා ලබා දී තවත් ලකුණු දහයක් ලබා ගත්තද අප සිටින්නේ පිටුපසිනි.

පළමු වටය අවසන් වනවිට අප ලකුණු 30ක් පමණ පිටුපසය. මීළඟට බැඩ්මින්ටන් ප්‍රශ්නය මට යොමු විය. දිගු විස්තරයක් කල එච් එම් ගුණසේකර මහතා දර්ශන තිරයේ පෙන්වන ක්‍රීඩකයා කවුදැයි ඇසීය

"ශ්යැන් යෑන්"

මම පිළිතරු දුනිමි. එය මා ජීවිතයට නැසූ නමක් වුවත් කටට ඈ නිසා කියා දැම්මේය. ඔහු නැවත වතාවක් ඒ නම කියන්න යයි ඉල්ලා සිටියේය

"ච්යෑන් යෑන්"

මගේ පිළිතුර විය. කලින් කීවේ කුමක්දැයි මට මතක නැත. එවිට එච් එම් ගුණසේකර මහතා සිනාසී

"ශ්යෑන් - යෑන්, ජෑම් - යෑම්, ජෑම් - ජෑම් " යනුවෙන් පවසා මහා හඬින් සිනාසී

"නිවැරදි පිළිතුර :යෑන් - යෑන්" බව පැවසීය.

මට එලෝ කෝටියකට යෑන් - යෑන් ගේ දෙමව්පියන් හා තද විය. හේතුව එකම නම දෙපාරක් දමන්නට මුන්ට පිස්සුම තිබිය යුතුය. එහෙම නම් ඉතිං තියෙන්නේ බූත්‍රෝස් - බූත්‍රෝස් ගාලි හෝ කෝපි කඩේ ඉන්නා පොඩි - මහත්තයා - මහත්තයාට නොවේදැයි මගේ සිතින්ම කියා ගතිමි. අවසානයේ අප ලකුණු හතළිහකින් පරාජය වී පල්ලම් බැස්සෙමු.

_____________________________________________
මෙය නැරඹු මගේ මිතුරන් මට විවිධ කවටකම් කරන්නට පටන් ගති. ඒ මාගේ ප්‍රියතම ක්‍රීඩාව පාපන්දු බව අතින් පැවැසූ බවත්(වොලිබෝල් ලෙස). පහසු පාපන්දු ප්‍රශ්නයක් මා මග හරි බවත්ය. එතැන ඉන්නා විට මගේ බඩ කැලතී ආවේ උදේට කෑ බිත්තර නිසාද නැතිනම තැතිගැන්ම නිසාදැයි අදත් මා දන්නේ නැත. "කියන්න නම් ලේසියි" ඒ මගේ පිළිතුරයි.

නිශානි අක්කාත් මාත් කරගෙන ගිය ලිපි ගනුදෙනුව අවසන් වුයේ අපේ අම්මාගේ අනතුරු ඇඟවීම නිසාය.

ඉන්පසුව ක්‍රීඩා දැනුම මිනුම තරග තවත් එක වරක් පැවැත්විය.

එච්. එම්. ගුණසේකර මහතා තම හොඳින් දන්නේ බිබිල ප්‍රදේශයේදී බව මගේ පියා පසුව පැවසීය.

Monday, April 15, 2013

අවුරුදු උත්සව රස කතා ... 2

එක සටහනකින් හමාර කරන්න බලාපොරොත්තුවෙන් ලියාගෙන ආ පලවෙනි කොටස එක් තැනකදී නවත්වන්න වුණේ, හේතු දෙකක් නිසා. එකක් කොතරම් රසවත් සටහනක් වුනත් ඉතා දිග වුණාම කියවන ඔබ අපහසුතාවට පත් වෙන නිසා. අනිත් කාරනාව තමයි මෙහි ප්‍රධාන චරිත කිහිපයකින් කෙනෙක් වන රිච්මන්ඩ් විජේසේකර මහතාගේ තොරතුරු තරමක් දිග වීම. හොඳයි අපි ඊළඟට කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අමරබන්ධු අල්විස් මහතා ගැන. 

අමරබන්දු අයියා කියනවද ? අංකල් කියනවද කියලා මට හිතා ගන්න බැරි එතුමා මට වඩා අවුරුදු බර ගානක් වැඩි නිසා. කොහොම වුනත් කමක් නෑ අමරබන්දු අයියා කියමුකෝ. එයාගේ එනවුන්ස් කිරිල්ලත් මම පාසල දරුවෙක් විදියට පාරට දුවගෙන ගිහින් සයිකල් රේස් බලන කාලේ ඇහුන එකක්. ඒත් පසුකාලීනව ඔහුත් සමග එකම වාහනයක සයිකල් තරගයක නිවේදන කටයුතු කරන්න ලැබුනා. ඒ එක්තරා කාලයක් අතුරුදන්(ඒ කියන්නේ අපේ ගමේ නොයිඳ, වෙනත් ප්‍රදේශයක හිටපු එක) වෙලා ඉඳලා මතු වුන කාලෙක. මේ කාලෙදී සුචරිතරත්නත් මමත් තමයි එනවුන්ස් කලේ. අමරබන්දු අයියාට තියෙන්නේ ප්‍රතාපවත් කටහඬක් කියලා මම භය නැතිව කියනවා. ඒ හඬත් එක්ක ගත්තම අද කාලේ එෆ්.එම්. වල ඉන්න ගිරා පොතකයන්ට තියෙන්නේ මොන වගේ හඬවල්ද කියලා හිතෙනවා. 

මේ කාලයේදී මම කවදත් දෙවෙනියා නිසා මේ දෙන්නටම මගෙන් තරගයක් තිබ්බේ නෑ. නමුත් ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්න බැරි නිසා එක්කෙනක් හලන්න මේ දෙන්නා හොඳ සටනක් දුන්නා. සුචා එක අතකින් අපත් සමග වඩා කුළුපග පුද්ගලයා, ඔහුත් මමත් එකතු වී තමයි අර සංගීත ප්‍රසංග වේදිකාවේ පහලින් ගහන අඩි 50 x 4 දිග බැනර් එක අඳින්නේ. මේක අපි දෙන්නා අඳිනවා කිව්වට මෙහෙමයි කෙරෙන්නේ. ඔය සංචාරක නිවාඩු නිකේතනයේ තියෙනවා දිග කොරිඩෝවක්. ක්‍රීම් පාට ඉටි රෙද්දක් ගෙනල්ලා ඒක ඔය කොරිඩෝවේ දිග අරිනවා. 

පහුවදා උදේ වෙන්න කලින් ඇඳලා ඉවර කරන්න ඕනේ. මේක වෙන්නේ සයිකල් තරගය දවසේ රෑ. කොහෙන් හෝ හොයා ගන්න යාරේ කෝදුවකින් අකුරු ඇඳෙන්න ඕනේ රුල් දෙක ඇඳ ගන්නවා. මේකේ අකුරු වල ස්කෙච් එක ඇඳෙන්නේ මගේ අතින්. ඊට පස්සේ තමයි පාට කරන වැඩේ තියෙන්නේ. අපි අතරින් සුචාටයි, මටයි විතරයි අත ගැහෙන්නේ නැතිව, ඒ වගේම අයින දිගේ ලස්සනට පින්සල ගෙනියන්න පුළුවන්. ඉතිං අපි දෙන්නා කරන්නේ මේ අකුරු වල පිටත කොටස පාට කරලා දෙන එක. අනිත් අය නම් වශයෙන් කිව්වොත් සුබසිංහ(ජීවතුන් අතර නැත), සරත්(ජීවතුන් අතර නැත), අජිත්, රෝහණ ලා දෙන්නා ඇතුළු තවත් පිරිසක්. මේ අතරේ මෙතනට එකතු වෙලා කතා කර කර ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය තමයි නිදිමත නැති කරන්නේ අමිත අයියා, සිරි අයියා, රත්නසිරි, නලින් අයියා, සමන් ධර්මරත්න(ජීවතුන් අතර නැත). මේ කාලයේදී මුළු නහයම ටර්පන්ටයි ගඳින් පිරිලා. මම මුලින්ම කොත්තු රොටි කෑවෙත් මේ කාලේ තමයි.

එක දවසක් තවත් කුඩා කටවුට් එකක් ඇඳ ඇඳ ඉන්නකොට අමරබන්ධු අයියා මතු වුණා. ඒ ආතර් පියසිරි මහතාගේ ගෙදර. ඒ වෙලාවේ එතුමාගේ පුතා වන රංජිත්(රංජි බා) හිටියා. දැන් රංජි බා එක්ක මිනිහා දෙනවා නැව් ටෝක් එකක්. ඒ තමන් ගාමිණි දිසානායක මහතා ඉන්න වේදිකාවක සංගීත ප්‍රසංගයක් එනවුන්ස් කරපු හැටි. 


අමරබන්දු අයියා : රංජි මල්ලි කියලා වැඩක් නෑ, මම මහවැලි ස්ටේජ් එකක එනවුන්ස් කළා. අර මියුසිකල් ෂෝ වල තියෙන තඩි සවුන්ඩ්ස් දන්නවනේ. අන්න ඒවා දාලා තිබුනේ. 

රංජි බා (කවදත් ජොලියට බර අනිත් අයට හොඳට බයිට් දෙන්න දක්ෂ පුද්ගලයෙක්) : හරි අමරබන්දු අයියා පොඩ්ඩක් එනවුන්ස් කරලා පෙන්නන්න කරපු විදිය. 

අමරබන්දු අයියා (මයික් එකක් ලෙස අත ගුටි කර මුව ලඟට ගෙන) : බෙන්තොට...ට...ට...ට.. ක්‍රීඩා ....ඩා...ඩා...ඩා... සමාජය ...ය...ය...ය.. අභිමානවත් ...ත්...ත්... ලෙසින්...සින්...සින්...සින්.. 

අපි දෙන්නට හොඳටම හිනා. 

රංජි බා : එතකොට මොකක්ද ඔය සින්..සින්.. සින්... ගෑවේ 

අමරබන්දු අයියා : ඒ තමයි මල්ලි එකෝ එක. ඔය මයික් වලින් කතා කරනකොට ඔහොම තමයි ඇහෙන්නේ. 

අපි දෙන්නට තවත් හොඳටම හිනා. 

මෙයා ඇවිත් තියෙන්නේ සයිකල් රේස් එක තියෙන දවස දැන ගන්න. අපි දිනයත් කියලා වලව්ව ගාව මිනිහට ඉන්න කියලා පොරොන්දු කර ගත්තා. මේක අහපු වෙලාවේ ඉඳලා සුචා වැඩ වර්ජනය කරන්න හදනවා. එතකොට රංජි බා ම ප්ලෑන් එකක් දුන්නා. 

"අපි මෙහෙම කරමු. උඹ මෙතනට ඇවිත් නැගපන්. කළුතර ගිහිං ගාල්ලේ යනකොට දැක්කේ නෑ වගේ යමු"

ඒකට නම් සුචා හොඳටම කැමති වුණා. අදාළ දිනයේ මේ කටයුතු සඳහා භාවිතා කරන මයිනර් කටුව අරගෙන ආවේ සංචාරක මණ්ඩලේ සේවය කරන දක්ෂ කාර්මිකයෙක් වෙච්ච පත්මසිරි. මිනිහට ඕන වාහනයක් කැඩුනත් හදාගෙන යන්න පුළුවන්. අපි එයාට මේ කතාව කිව්වා. ඔන්න දැන් කළුතර ගිය වාහනය ගාල්ල පැත්තට කඩාගෙන යනවා. වාහනයේ ඉදියේ ඉන්නේ සුචා, මමයි සවුන්ඩ්ස් ගෙනියන කවි නන්දෙයි පිටිපස්සේ. කියපු තැනට වෙලා සුදු කමිසයකුත් ඇඳගෙන අමරබන්දු අයියා ඉන්නවා. අමරබන්දු අයියාට සමාන රුපයක් හිතට ගත්තොත් අපේ ජනාධිපති තුමා. ඒ වගේ උඩු රැවුලක් තියෙන, ඒ උසම ඇති , තරමක උදරයක් තියෙන, කෙනෙක්. මිනිහා ගාවදී හෙමින් ගිය වාහනය මිනිහා පහු කරලා මීටර් 15 ක් විතර ඈතින් නැවැත්තුවා. ඔන්න මිනිහා දුවගෙන එනවා. දැන් සයිකල් ධාවන තරග කරුවෝ අපිව පහු කරගෙන යනවා. සුචා දිගටම එනවුන්ස් කරනවා. ආයෙත් වාහනය ඉදිරියට ගියා. අමරබන්දු අයියා පස්සෙන් දුවගෙන එනවා. අතුරුවැල්ලේ තියෙන රේල් ගේට්ටුව ගාවට විතර ආවට පස්සේ වාහනය නොනවත්වාම ගියා. ආපහු හැරිලා බලපු මට පේනවා අමරබන්ධු අයියා අත් දෙකෙ ඉහලට ඔසවාගෙන බනනිනවා. මට පොඩි දුකකුත් ඇති වුණා.

වෙනත් වතාවකදී මේ වාහනය එක්තරා තැනකදී කැඩුනා. ඒත් විනාඩි පහක් යන්න කලින් හදාගෙන අපි පසුකර ගිය ධාවකයන් ඉන්න තැනට යන්න පත්මසිරි සමත් වුණා. සයිකල් තරග වලදී ධාවකයන් කරන එක දෙයක් තමයි ප්ලේස් කිරීම. ඒ කියන්නේ ධාවනය වන වාහනයක පිටුපසින් ගමන් කිරීම. මෙහෙම යනකොට ක්‍රීඩකයාව නිකංම ඇදිලා යනවා. පදින්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඉතින් මේ ප්‍රචාරක රථයටත් ඔහොම ප්ලේස් කරන්න හදනවා. එතකොට අපි කරන්නේ වාහනයේ වේගය බාල කරන එක. වේගය වැඩි කරලා නම් මොන විදියකටවත් හලා ගන්න බෑ. 

මේ වගේ තරගයක් එනවුන්ස් කරනකොට ආවේස වෙච්ච් කපුවා වගේ තමයි, සුචා, අමරබන්දු අයියා දෙන්නම වැඩ කරේ. සමහර වෙලාවට නැගිටින්න ගිහින් වාහනයේ ඔලුවත් වදිනවා. ඒ තරමට ධ්‍යානයකට සම වැදිලා වගේ කෑ ගහන්නේ. මේ කෑ ගැහිල්ල වැඩි වෙච්ච් තරමට තමයි සෙනග පාරට එන්නේ. මේ දෙන්නම කරන වැඩක් තමයි සෙනග වැඩි තැන වලදී එනවුන්ස් කරලා, සෙනග අඩු තැන් වලදී මගේ අතට මයික් එක දෙන එක. ඉතිං වෙන කරන්න දෙයක් නැති කමට මමත් ඔහේ එනවුන්ස් කරගෙන යනවා. සමහරවිට මට ආවරණය කරන්න වෙන ප්‍රමාණය වැඩියි. තරග අවසානය කිට්ටු වෙනකොට නම් මේ දෙන්නා මයික් එක උදුරා ගන්නවා. මමත් කැමැත්තෙන්ම මයික් එක දීලා දනිස් දෙකෙන් සීට් එකට නැගලා තරගය බලනවා. සමහරු නම් ජනේලය උඩ වාඩි වෙනවා. මම ඒක කරන්න ගියේ නැත්තේ ගෙදරින් ලැබුණු අවවාද නිසා. 
මේ ඉන්නේ සුචා. 

අපි මෙහෙම එනවුන්ස් කරගෙන යන්නේ පොලිස් බලතලත් අතට අරගෙන. ඒ කියන්නේ ඉදිරියේ එන වාහන ධාවන කරන්න ඕනෙද/නැත්ද කියලා අපි නිවේදනය කරනවා. බොහෝ අය සහයෝගයක් වශයෙන් වාහන නවත්වනවා. ඒත් සමහරු දිගටම එනවා. මෙහෙම ආපු එක් වාහනයක් දැකල සුචාට හොඳටම තද වුණා.

"ඉදිරිපසින් එන ලොරි රථය ඉදිරියෙන් වේගයට ගන්න"

සුචා මර හඬ දීලා කිව්වා. මේ වතාවේදී අපි නිවේදන කටයුතු කලේ පොඩි ලොරියක ඉඳගෙන. මේකේ අපේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා. ඉතිං මේක මතක තියාගෙන අවුරුදු ගාණක් යනකං සුචාව නැති කරා. ඇත්තටම කියන්න ඕනේ වුනේ "වේගයෙන් ඉදිරියට ගන්න" කියලා.  

සුචාට නිතරම සෙම තියෙනවා. මේක නිසා කතා කරනකොට නහය බර ගතිය නිසා අමුතුම වචන පිට වෙනවා. 

"පෙන්තොට ක්‍රීඩා සමාජය, අපිමානවත් ලෙසින් ඉදිරිපත් කරන මහා ක් මහා උළෙල" 

වගේ කියනවා තමයි එළියේ ඉන්න කෙනෙකුට ඇහෙන්නේ. ඒ නිසා සුචා මයික් එක අතට ගන්නවා කියන්නේ සිනා සාගරයක්. 

ආතර් අංකල්ගේ ගෙදර ඉන්නවා ඒ ගෙදර සේවය කරපු කාන්තාවගේ දරුවන් දෙදෙනෙක්. මේ දෙන්නාගේ නඩත්තුවත් ඒ ගෙදරින්මයි. බොහෝ විට එහේ ඉන්න නිසා මේ දෙන්නත් අනිත් අයට එතුමාගේ පාට් දාන පුරුදු වෙලා හිටියා. මෙයාලේ විශේෂත්වය තමයි ඔවුන්ට ආවේනික වෙච්ච් වචන. දෙන්නාගෙන් පොඩි එකා කුරු මොඩ්ල් එකේ එකෙක්. නවය වසරේදීත් අඩි 3 1/2 විතර තමයි උස. මේ පවුලේම අයට කවුරුත් ආමන්ත්‍රණය කලේ "බරසතයා" කියන සුරතල්(ද?) නමින්. මේ බරසතයෝ දෙදෙනාත් පුවත් මවන්නන් වෙලා හිටියා ඒ කාලේ. රංජි බා කියන වචනයත් මෙයාලගේ නිර්මාණයක්. ඒ රංජි බබා කියන එක වෙනුවට. 

මේ කුරු මොඩල් බරසතයා එක වරක් අපේ නිවේදන කටයුතු කරන වාහනයට බලෙන්ම වගේ නැග්ගා. ආතර් අංකල් කිව්වා කියලා තමයි නැග්ගේ. එදා ඉදිරිපස අසුනේ හිටියේ මම. මේ වෙනකොට තරගකරුවන් එක්රැස් කර ගන්න නිවේදන නිකුත් කරමින් උන්නේ. මේ වෙලාවේ අසු හාර දාහට නැග්ග පත්මසිරි
"බැහැපිය වේ*** පුතා. තො*** අම්ම....."
 කියල එකදිගට කුණුහර්ප වැලක් කියාගෙන ගියා. මගේ අතේ තිබ්බ මයික් එක මම ජනේලෙන් එලියට දානකොටත් මුළු ගමටම අර පණිවුඩේ ගිහින් ඉවරයි. 

අපේ රංජි බා එක පාරක් සුචාගේ සාක්කුවට අත දාල උදේට කන්න කියලා තියාගෙන හිටිය රුපියල් 50 අරගෙන. ඒකට වාඩුව වශයෙන් සුචා කලේ එදා දවසේ නිවේදන කටයුතු වලින් වැලකුන එක. ඒ වගේ වෙලාවල් වලට මගේ කරපිට තමයි මේ වගකීම පැටවෙන්නේ. 

එක් වසරක සයිකල් තරගයේදී අහුංගල්ලෙන් ආපු තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් තරමක් ඉදිරියට ගිහින්. මේක කරලා තියෙන්නේ පොලිස් මෝටර් සයිකලය පිටිපස්සෙන් ගිහින්. අනිත් සයිකල් කරුවන් අම්බලන්ගොඩදී බයිසිලක් පාර හරහා දාලා බිම නිදාගෙන. තරගය වර්ජනය කරලා. විසි ගණනක් වගේ තමයි එදා හිටියේ. අපේ විනිශ්චයට ගිය අය එයාලව පොරොන්දු කරගෙන අර දෙදෙනා හා එකම සීමාවක තියලා යලිත් තරගය ආරම්භ කරනවා කියලා. මෝටර් සයිකලයකින් හඹාගෙන ඇවිත් අපිවත්, අර තරග කරුවන් දෙදෙනාවත් නැවැත්තුවා. බොහෝ වෙලා කල පැහැදිලි කිරීමකින් පස්සේ අර තරග කරුවන් දෙදෙනා කැමති වුණා එකම සීමාවකින් තරගය ආරම්භ කරන්න. අකුරලදී පැයක විතර ප්‍රමාදයෙන් තරගය ආරම්භ කරන්න තීරණය කළා. එතකොට මහා වැස්සේ අපි සියළු දෙනාම තෙත් බරිත වෙලා. තරග කරුවන් 17-18 එකට ඉඳලා නැවතත් තරගය ආරම්භ කරන්න දැන් සුදානම. මෙතනට වේගයෙන් ආවා සාජන් මහේන්ද්‍රන් මහතා සහ තවත් කෙනෙක් සමග පොලිස් මෝටර් සයිකලය. බැහැපු ගමන් අර පේලියට ඉන්න තරග කරුවන්ට ගුගුරා මෙන්න මේ වගේ කතාවක් සාජන් වරයා කිව්වා

"කොයි එකාද යකෝ පාර හරස් කරේ පදින්න බෑ කියලා. රේස් එක පදින්න බැරි එවුන් ඉන්නවා නම් දැන්ම අයින් වෙයල්ලා"

අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වුනේ. එක පාරටම මේකට නායකත්වය සපයපු සීඩිං ඇතුළු 10ක් පමණ බයිසිකල් හරවාගෙන ආපසු යන්න ගියා. අන්තිමට තරග කරුවන් 7 දෙනෙකුගෙන් තරගය ආරම්භ කළා. අර දෙදෙනා තමයි ජය ගත්තේ.

ඊට පස්සේ අවුරුද්දක නිවේදන කටයුතු වලින් බැහැර වෙලා තරගය අවසන් කරන තැන ජයග්‍රාහකයන්ගේ අංක ලියාගන්න බාරදූර කටයුත්තට එකතු වෙන්න මට සිදු වුනා. අවසාන රේඛාව ලග තැබූ මේසයක්, ඒ මත තැබූ බංකුවක්, ඒ මත තැබූ පුටුව උඩ තමයි මම හිටියේ. මට පහල බංකුවේ තරගය වීඩියෝ කරන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ සංචාරක මහතෙක්, ඊටත් පහලින් වසන්ත අයියා. බිමත් තව කට්ටිය හිටියා. වතුර ගැසීම් නිසා මේ අංක එක එක පැති වලට නැවිලා බොහොම අමාරුවෙන් තමයි, පිටේ හරි වම අතේ හරි තියෙන අංකය බලා ගන්නේ. මට පැවරිලා තිබුනේ 2,3,4,5 අයව ලියා ගන්න. ඒ වුනත් මම පුළුවන් තරම් ලියා ගන්නවා එක පොකුරට ආව වෙලාවට අනිත් අයට අතපහු වුනොත් කියලා. 

ඔන්න දැන් නිවේදකයාගේ හඬ (සුචා) ළඟ ළඟම ඇහෙනවා. දැන් කවුරුත් සීරුවෙන්. මග දෙපස ජනතාවගෙන් පිරිලා. අඩි 10-12 ක් අතරේ තමයි තරගය එන්නේ. මේ තරග අවසානය තිබෙන තැන පාරේ ලොකු වංගුවක් සහ කන්ද ඊළඟට පාළම. මට දැන් පේනවා 10ක විතර කණ්ඩායමක් එනවා. මම ලියා ගන්න පුළුවන් හරිය ලියා ගත්තා. මේ එක්කම මම දැක්කා වාඩි වෙලා හිටිය වසන්ත අයියා නැගිටිනවා. බතා නොහොත් වසන්ත 4 වෙනි තැන බව මම අංකය නොලියාම දැන ගත්තේ, කුඩා කල සිට හඳුනන කෙනෙක් නිසා. දැන් වාරය වීඩියෝ පටයා ආශ්‍රයෙන් නිවැරදි තීරණය දෙන්න. දැන් සංචාරක මහතා සමග අවසාන තීරණය දෙන කණ්ඩායම(පියල් වීරසේකර, ආතර් අන්කල් ඇතුළු) ගියා බෙන්තොට බීච් හෝටලයට. අපි කවුරුත් වාඩි වෙලා වීඩියෝව බලනවා. තරග කරුවන් රැස ආදී එනවා එක පොකුරට. ඊළඟට කාගේදෝ ඔලුවකින් මුළු වීඩියෝවම තත්පර 30ක් විතර වැහිලා. ඒ වසන්ත අයියාගේ බව මට එක පාරටම කියවුනා. එක පාරටම නැගිට්ටානේ. දැන් තීරණය ගන්න වුනේ මම සහ වසන්ත අයියා ලියපු එකෙන්. 

තමා දෙවෙනියා බව මේ වෙනකොටත් වසන්ත නොහොත් බතා එතන සිටි පිරිසට කියා තිබුනා. ප්‍රතිඵල නිකුත් කල විට ගියවර තරගය ජය ගත් අහුංගල්ලේ ක්‍රීඩකයා තමාට වීඩියෝ පටය නැරඹීමට අවශ්‍ය යයි පවසා සිටියා. මේ වෙලාවේ මට ගණදෙවි නුවනක් පහල වුණා. තරගයට පෙර සියලු නීති රීති සහිත අයදුම් පතක් ඔවුන් අත්සන් කරනවා. තරගයේදී සිදුවන ජීවිත අනතුරු වලට ක්‍රීඩා සමාජය වග නොකියන බවද, බයිසිකලයේ ෆ්‍රී වීලය දැති 12-14 සහ කොග් වීලය 48 විය යුතු බවද එහි සඳහන්. තරග අවසානයේ සියලුම බයිසිකල් වල මෙම දැති ගණන් කරනවා. මම ඔහුට පැවසු උත්තරයෙන් ඔහු තුෂ්නිම්භූත වුවා.

"ඔයාලා අත්සන් කරපු ඇප්ලිකේෂන් එකේ කොහෙවත් අපි කියලා නෑ තරග කරුවන්ට වීඩියෝ පෙන්වනවා කියලා"

නෑසෙන ගානට මොනවාදෝ මුමුනමින් ඔහු යන්න ගියා. තරගයේ ත්‍යාග ලබා දෙන මොහොතේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති තුමා අතින් ත්‍යාගය ලබාගත් බතා නොහොත් වසන්ත එතනම ත්‍යාග ය පොලවේ ගැසුවා. ඔහු පසුපස හඹා ගිය ක්‍රීඩා සමාජයේ සමහරුන් සහ බතාගේ හිතවතුන් අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. එය අවසන් වුයේ අමිත අයියාගේ පිටට කවුරුන් හෝ එල්ල කල පිහි පාරකින්. 

මිතුරනි තවත් මෙවැනි රස සහ ත්‍රාසජනක අත්දැකීම බොහොමයක් තිබුනත් අද සටහන මෙතකින් නිමා කරනවා.  



Sunday, April 14, 2013

අවරුදු උත්සව රසකතා ...

මේ ගැන මම ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටියා බොහොම කාලයක ඉඳන්. ගිය පාර අවුරුදු කාලේ මගේ ලැප් එක වැඩ නැති නිසා, අවුරුදු නිවාඩුවේ හරිහමන් සටහනක් ලියන්න ලැබුණේ නෑ. නමුත් මේ අවුරුද්දේ අවුරුදු දවසෙත් මට වැඩ සෙට් වුණ නිසා ගමේ ඉඳන් මෙහෙ එන්නයි හිතාගෙන ඉන්නේ. ඒ කතා කොයි හැටි වුනත්, ඔබ වඩාත් කාර්‍යබහුල මොහොතක ඔබේ කාලය කා දමන්නේ නැතිව කියන්න ආපු දේ කියන්නම්. අව්රුද්ද ලබන්න තව ගොඩක් වෙලා තියෙන නිසා, අවරුදු උත්සව වල ගොඩගැහිච්ච මගේ මතකයන් ටික දිග අරින්නම්.

මම සාමාන්‍ය පෙළ කරන්නත් කලින් ඉඳන්ම බෙන්තොට ක්‍රීඩා සමාජයේ කමිටු සාමාජිකයෙක් වෙන්න මට වරම් ලැබුනේ, ඒ ප්‍රදේශයේ පොත පතේ දැනුම තිබුණ අය අඩු හින්දා කියලා මම හිතනවා. නමුත් හේතුව ඒකම නොවෙයි. මේ වගේ තනතුරු දරපු අය විවාහයත් එක්ක ඔවුන්ගේ බිරියන් ඉන්න ගම්බිම් වල පදිංචියට ගිය හින්දා, සමහරු විදේශගත වුන හින්දා, තවත් සමහරු රාජකාරි හෝ වෙනත් කෝන්තර නිසා ක්‍රීඩා සමාජයෙන් ඈත් වුන නිසා. මේ නිසා අඩු වයසකින්ම මේ දේවල් වල පරිණත පුද්ගලයෙක් වෙන්න මට හැකි වුණා.

මගේ තිබ්බ යම් යම් හැකියාවල් මේ තත්වය ලඟා කර ගන්න හේතු වුණා. බැනර් ඇඳීම, නිවේදන කටයුතු,  පැහැදිලි අත් අකුරු තමයි ඒවාට හේතු කියලා මම හිතනවා. ඉතිං මම දැන් කරන රැකියාවට ඇවිල්ලත් අවුරුදු දෙකක් විතර යනකම් සිංහල අවුරුදු නැකත් වෙලාවල් වලට ගෙදර ඉඳලා නෑ. ඒ වෙලාවල් වලදී එක්කෝ යෝධ බැනර් එකක් අඳිනවා, නැත්නම් අවූරුදු උත්සවයට අදාල නිවේදන කටයුතු කරමින් අවට ගම් වල සැරිසරනවා. මේ වගේ ඒවාට හොඳ වාහන ලැබෙන්නේ නෑ. කාගේ හෝ කැඩිලා හදන්න දාපු වාහනයක් ගැරේජ් එකෙන් ඉල්ලගෙන, නැත්නම් ඒ වගේ වාහනයක් තියෙන කෙනෙකුගෙන් පෙට්‍රල් ගහන පොරොන්දුවට ඉල්ලා ගෙන තමයි මේ ගමන් යන්නේ.

බෙන්තොට ක්‍රීඩා සමාජය කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන එකක්. 1972 සිට අද වනතුරුත් නොවරදවා අවුරුදු උත්සවය පවත්වන්න මේ ක්‍රීඩා සමාජයට හැකි වෙලා තියෙනවා. මේ අවුරුදු උත්සවය 88-89 අඳුරු යුගයේදීත් පවත්වන්න අපිට හැකි වුණා. ඒ පිටිපස සිටින අයෝමය හස්තය තමයි ආතර් අන්කල් නොහොත් ආතර් පියසිරි මහතා. එතුමාගේ සංවිධාන කටයුතු කටේ ශක්තියෙන් තමයි සිදු වුණේ. එතුමා ගැන කියන්න වෙනමම පොස්ට් එකක් අවශ්‍යයි. ඒක පසුව කරමු. මේ අවුරුදු උත්සවය ප්‍රසිද්ධ වෙන්න හේතු වුන තවත් කාරණයක් තමයි ලොකු ත්‍යාග මුදල් ලබා දෙන විවෘත තරග දෙකක් වශයෙන් සයිකල් තරගය සහ අවරුදු කුමාරි තරගය පැවැත්වීම. ගීතා කුමාරසිංහ මහත්මියට නිලි වරම් උදා වුනේ මේ අවුරුදු උත්සවයේ රු රැජින වශයෙන් තේරීම නිසා කියලා තමයි මම දන්නේ.  ඒ වගේම මේ සයිකල් තරගය සඳහා බොනිපස් පෙරේරා, කමල් පාලිත, බලයා(චන්ද්‍රසිරි ප්‍රනාන්දු) සහ තවත් බොහෝ නමගිය තරගකරුවන් සහභාගී වෙලා තියෙනවා.

හැමෝටම මෝටර් සයිකල් හෝ වාහන නොතිබුන යුගයක, මේ සයිකල් තරගය සඳහා කුමක් හෝ වාහනයක එල්ලී ගමන් කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි බොහෝ දෙනෙක් ඒ කාලේ මේ පූර්ව වැඩකටයුතු වලට සහභාගී වුණේ. දැන් වගේ යකඩ පයිප්ප වලින් සාදන ස්ටේජ් නැති ඒ කාලේ පොල්කොට සහ ලෑලි උපයෝගී කරගෙන දවස් ගණන් ගත කරලා තමයි ස්ටේජ් එක හදා ගන්නේ. ඒකට ඉහලින් තමයි ටෙන්ට් එක ගහන්නේ. මේක පවත්වන්නේ බෙන්තොට සංචාරක නිවාඩු නිකේතන එළිමහන් රංග භුමිය කියන කොටසේ. එතන එක්තරා විදියකින් තියෙන්නේ පොල් වත්තක්. සංචාරකයන්ට යක් නැටුම් පෙන්වන්න තමයි මේ ඉඩ වෙන් වෙලා තියෙන්නේ. මම කලින් සටහනක් ලියපු ලංකාවේ හැඩය තියෙන පොකුණ සහ රේල් පාර අතර ඉතා මනරම් බිම් තීරුවක් තමයි ඒක.

ඉතිං මේකට එක්කාසු වෙන මහා ජනකාය නවත්වන්න අඩි 8ක් විතර උසට කම්බි වැටක් ගහනවා, අඩියක විතර පරතරය තියලා. ඒ වගේම හිටවන පොල් කොට වල කළුතෙල් ගානවා. නැතිනම් මෙහි අනුග්‍රාහක බවතුන්ට සහ ආරාධිතයින්ට මේ ප්‍රසංගය නරඹන්න සලස්වන්න බෑ. ඉතා තද ලෙස ඇතුල් වීමේ දොරටුවේදී පරීක්ෂාවට ලක් වෙනවා. මෙම ප්‍රසංගය නිම වනතුරුත් අනවශ්‍ය අයට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. ඒ අතින් මේ ක්‍රීඩා සමාජයට හොඳ විනයක් තිබුණා. සංවිධායකයින් කිසිවෙක් බීමතින් ඉඳලා නෑ. ඒකට ආදර්ශය සැපයුවේ එහි ප්‍රධාන තනතුරු දරපු කලින් සඳහන් කල ආතර් අංකල් සහ සභාපති තුමා වශයෙන් වැඩි කලක් සේවය සපයපු පොන්නම්පෙරුම මහතා.

ඉතිං මේ ක්‍රීඩා සමාජයේත් යුග දෙකක අය හිටියා. බොහෝ විට ජේෂ්ඨ / කනිෂ්ඨ වශයෙන් තමයි මේ දෙක වෙන් වුණේ. නමුත් මම වයසින් කනිෂ්ඨ වුවත් මෙහි ජේෂ්ඨ කොටසේ අයෙක් බවට පත් වුනේ අර කිව්වා තනතුරු. ටික කාලයකදී මට බර වැඩ නැතිව පින්තාරු කටයුතු වගේ ඒවා තමයි ලැබුනේ. මේ හැම දේම බොහෝ දෙනෙක් කලේ අර කලින් කිව්වා සයිකල් තරගයේ වාහනයක යන්නයි, සංගීත ප්‍රසංගය වෙලාවේ ඇතුලේ ඉන්නයි තියෙන ආශාවට. මේවායේදී අහම්බෙන් කැපී ගිය අයත් නැත්තේම නෑ.  සමහර ඇය නොදැනුවත්ව මේවට එකතු වෙලා ශ්‍රමය සැපයුවත්, ඒ වගේ අවස්ථාවල් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්ට පමණක් ලබා දෙන්න සිදු වුන නිසා නොහොඳ නෝක්කාඩුත් බොහොමයක් ඇති වුණා. ඒවාට සමගාමීව හතුරන් පවා බිහි වුණා.

ඉතිං මේ අවුරුදු උළෙලේ සියලු දෙනාගේ වඩාත්ම සිත් ගත්ත අංගය තමයි සැතපුම් 100යේ මහා බයිසිකල් ධාවන තරගය. ඒක බෙන්තොට බෝධිය අසලින් ආරම්භ වෙලා මුලින්ම කළුතර බලා ගමන් කරනවා කළුතර බෝධිය අසලින් ආපසු හැරී නැවතත් ගාල්ලට ගොස් ගාල්ලේ සිට බෙන්තොට බෝධිය අසලින් තරගය නිමා වෙනවා. මෙතන හරියටම බැලුවොත් තියෙන්නේ සැතපුම් අනු ගණනක්. මේකත් අර දහඅට වන්ගුවේ වංගු 17 වගේ දෙයක්. මිනිස්සු කතාබහට පහසුවට මේ වගේ වෙනස් කිරීම් කරනවා. ඉතිං මේ සිත්ගත් අංගයේ වඩා සිත්ගත් කොටස තමයි මෙහි නිවේදන කටයුතු එහෙමත් නැත්තං එනවුන්ස් කිරීම. සමහරු මේකට කියන්නේ එලවුන්ස් කියලා. :)

මේ සයිකල් තරගය එනවුන්ස් කරපු යුග කිහිපයක අය හිටියා. අපි කුඩා දරුවන් වශයෙන් මේ තරගය බලන්න පාරට දුවගෙන එන කාලේ මේක එනවුන්ස් කරේ බෙන්තොට දිනමිණ, ඩේලිනිවුස් වාර්තාකරු ඒ වගෙමේ විදුහල්පති රිච්මන්ඩ් විජේසේකර මහතා. මගේ තාත්තාගේ වයසේ කෙනෙක්. ඊළඟ පරම්පරාව අමරබන්දු අල්විස් මහතා. ඉන් පස්සේ තිලක් සුචරිතරත්න මහතා. ඊට පස්සේ මම මහතා. මගෙන් පස්සේ කවුරැ කරාද කියන එක දැන ගන්න බැරි වුණේ, අවුරුදු කාලවල් වලදී ගමේ යන්න බැරි විභාග වගයක් දීලා එක දිගට අවුරුදු හතරක් විතර කොළඹ ඉන්න වුන නිසා. දැන් මම එකින් එක මේ අයගේ කාල වලදී වෙච්ච රසමුසු සිදුවීම් විස්තර කරන්නම්. දැන් රිච්මන්ඩ් සර්ගේ කාලේ සහයට අමරබන්දු අයියාත්, අමරබන්දු අයියාගේ කාලේ සුචා නොහොත් සුචරිතරත්නත්, සුචාගේ කාලේ මම ආදී වශයෙන් මෙහි අත්දැකීම් ඊළඟ පරම්පරාවට ගෙන ගියා. මට මෙහෙම අනුප්‍රප්තිකයෙක් නැතිව තනියමත් එක් වරක් මේ වැඩේ කරන්න සිදු වුණා.

අපි හැමෝම දන්නා කාරණයක් තමයි මේ මයික් වලට පුරුදු වුණ අය මයික් පෙරේතයෝ වෙන බව. මම දන්නා තරමින් එහෙම නොවුන එකම කෙනාත් මම බව බොහොම නිහතමානීව කියන්න ඕනේ. එතකොට දැන් පැහැදිලියි නේ මෙතන හිටිය අනෙක් ඇය අඩු-වැඩි වශයෙන් මයික් ටයිසන් ලා කියලා. ඔන්න රිච්මන්ඩ් සර්ගේ කතා ටික.

රිච්මන්ඩ් සර් මම හිතන්නේ මයික් ටයිසන් වැඩේ අවුරුදු 10ක් විතරම කරගෙන ගියා. මිනිහා කතාවල් පවත්වන්නත් හරි උනන්දුයි. ඉතිං උත්සව අවස්ථාවක කථාවක් නොලැබුනොත් ස්වේච්චාවෙන් හරි වචන කිහිපයක් කියන්න එතුමා ඉදිරිපත් වෙනවා. මේ එනවුන්සින් වැඩේ රස කතා ගොඩක් තියෙන්නෙත් එයා සම්බන්ධ ඒවා. එතුමාට මෙහෙම මයික් එක කට ගාවට ගත්තාම උන් හිටි තැන් අමතක වෙනවා, කෑමක් බීමක් අමතක වෙනවා. එක දිගටම කියවගෙන යනවා.

දවසක් ඉදිරියේදී පැවැත්වෙන තරග ගැන මෙහෙම විස්තරයක් කරලා.

"ආයුබෝවන්, මේ ඔබ අමතන්නේ බෙන්තොට ක්‍රීඩා සමාජය. මේ දැන් අවසාන වුණා ගම හරහා දිවීමේ තරගය මීළඟ පැවැත්වෙන්නේ බෙන්තොට ගඟේ ඇවිදීමේ තරගය සහ  ඔරු පැදීමේ තරගය මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අය බෙන්තොට බෝධිරාජය අසල ඇති අපගේ කාර්යාලයට නම් ලබා දෙන්න" 

කියලා. මේක අහගෙන හිටිය කොල්ලෝ කුරුට්ටෝ මේක විහිලුවකට අරන් රිච්මන්ඩ් සර්ගෙන ගිහිං අහනවා බෙන්තර ගඟේ ඇවිදීමේ තරගය තියෙන්නේ කීයටද ? කියලා. මෙතන තරග තුනක් ගැන කියන්න ගිහිං අර උද්‍යෝගය වැඩි කමට තමයි එහෙම කියවිලා තියෙන්නේ. දෙකක් පැටලිලා. ඇවිදීම, පිහිනුම් තරගය සහ ඔරු පැදීමේ තරගය තමයි කියන්න අවශ්‍ය වුණේ.

තවත් වෙලාවක සයිකල් තරගයේ ලබා දෙන ත්‍යාග ගැන විස්තර කරා මෙන්න මෙහෙම

"අද ව්වෘත අංශයේ සයිකල් ධාවන ශුරයාට ඉලාස්ටෝ ආයතනයේ අනුග්‍රහයෙන් වර්ණ පාපැදියක් හිමි වෙනවා"

මෙතනත් වුනේ පැටලවීම. ව්වෘත අංශයේ ජයග්‍රාහකගේ ත්‍යාගය වර්ණ රුපවාහිනියක්, බෙන්තොට ප්‍රදේශවාසීන් අතර තරගයේ ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාගය පාපැදියක්.

තවත් කාලයක මේ සයිකල් තරගය වැලිගම-බෙන්තොට අතර කෙලින්ම ගමන් කරන්න යොදා ගත්තා, අත්හදාබැලීමක් වශයෙන්. ඉතිං මෙහෙම කෑ ගහගෙන යනකොට හොඳටම අමාරුයි. රිච්මන්ඩ් සර් දැකලා තියෙනවා ඒ කාලයේදීම වෙළඳපොළට හඳුන්වා දීපු ස්ප්‍රයිට් එකක් කට තියාගෙන බොනවා තරගයේ විනිශ්චයට යන අපේ නියෝජිතයෙක් මෝටර් සයිකලයේ පිටිපස්සේ යන ගමන්. අපේ ක්ලබ් එකේ හිටියා මම වගේම සෙමි සීනියර් කණ්ඩායමක්. හය දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායම විවිධ සමාජමය කටයුතු කරලා ප්‍රසිද්ධියක් වගේම කාගේත් හොඳ හිතත් දිනාගෙන හිටිය අය. හැබැයි ඒ වගේම හොඳ මගෝඩි කාරයෝ. ඉතිං මෙයින් එක්කෙනක්ගෙන් තමයි රිච්මන්ඩ් සර් ස්ප්‍රයිට් ඉල්ලලා තියෙන්නේ. ඒ අයත් රැකියා විරහිත අය. ඉතිං අතේ වැඩිය සල්ලිය බාගෙත් නෑ. ඒ වුනත් රිච්මන්ඩ් සර්ගේ අතට බයික් එකේ යන ගමන්ම ස්ප්‍රයිට් බෝතලයක් දීලා. රිච්මන්ඩ් සර් ගත්ත ගමන්ම කටේ තියා ගත්තා. එක පාරටම යන ඇයට ඇහෙනවලු

"මුන්ගේ අම්මලාට *(^&&*, මුන් මට දීලා තියෙන්නේ ලුණු වතුර"

පස්සේ මම සිද්ධිය දැන ගත්තේ.  කොග්ගල හරියේ මුහුද තියෙන නිසා, එක පාරටම ආපු අදහසකට අනුව තමයි ලුණු වතුර පුරවල දීල තියෙන්නේ.

මේක කොටස් දෙකකට කඩන්න වෙයි කියලා නොහිතයි ලියන්න පටන් ගත්තේ. නමුත් දෙවෙනි කොටසකුත් දාන්න වෙනවා.

ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා !!! 





ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...