Showing posts with label අමතක වන්නට පෙර(Before Forget it. Show all posts
Showing posts with label අමතක වන්නට පෙර(Before Forget it. Show all posts

Monday, September 26, 2016

අමූදාගේ අරගලය ...... Amudha's Struggle ......

මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා. ඒත් මම දකින කියන දේ බෙදා ගන්න තවමත් මුහුණු පොතට වඩා බ්ලොග් හොඳයි කියන අදහස මා දරන නිසා යලිත් බ්ලොග් එකටම රිංගුවා.

අමුදා මට මුණ ගැහෙන්නේ අහම්බයෙන්. ඇත්තටම ඒක අහම්බයක්මද ? ඔව්. මම උවමනාවෙන්ම ඇය සොයා නොගිය නිසා එය අහම්බයක් ලෙස සටහන් කරන්න පුළුවන්. අමූදාව මම දැක්කේ මැලේසියාවේ, ක්වාලාලාම්පුර් නගරයේ, ඉම්බි කියන ප්‍රදේශයේ තියෙන ටයිම් චතුරශ්‍රයට ප්‍රවේශය සපයන ගුවන් පදික මාරුව අබියසදී. දැන් ඔබට මේ අමූදා කියන්නේ කවුද කියන එක ගැන ලොකු කුතුහලයක් ඇති වෙලා ඇති. නමුත් මා තුල සිටින සැඟවුණු මාධ්‍යවේදියා නිසා තමයි අද මේ සටහන තබන්න කරුණු-කාරණා ගොනු කර ගන්න ලැබුණේ. ඕනෑම දෙයකට හොස්ස පොවලා බලන එක සිංහලයාගේ සිරිත නිසාමදෝ මන්දා මමත් අමුදා ළඟ මොහොතක් නැවතුණා. 

මම තුන්වෙනි වතාවටත් මැලේසියන් භූමියට පය ගැහුවේ, පෙර පරිදිම ක්‍රිකට් සංචාරයක් සඳහා. අතරින් පතර ලැබෙන විවේකයේදී සාප්පු සවාරියේ යෙදෙන එක, මේ වගේ සංචාරයක වැදගත්ම කොටසක්. තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට, ඒ වගේම තමන්ට ඕනෑ කරන දේවල් ගන්නත් මේ වගේ විවේකී වේලාවන් කළමනාකරණය කර ගැනීම වැදගත්. මට මොනවද ගන්නේ කියන එක පිලිබඳ පැහැදිලි අදහසක් නැති වුණත්, මේ ටයිම් චතුරශ්‍රය ආශ්‍රිතව තිබෙන ලෝ-යැට් ප්ලාසා එකට හැම වතාවකම නොවැරදීම යන එක මගේ පුරුද්දක්. ඒ පරිගණක/ජංගම දුරකථන වලට නම ගිය ස්ථානය මේක නිසා. නිකං රවුමක් ගැහුවත්, අද ලෝකයේ තිබෙන නවීන තාක්ෂණය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මිලට වඩා අඩුවෙන් යමක් ගන්නත් පුළුවන්. හැබැයි මෙතැන ඉන්න බොහොමයක් වෙළෙන්දන් කයිරාටිකයෝ. මට මෙතනින් කර ගන්නම අවශ්‍ය වූ දෙය තමයි, මගේ අලුත් ටැබ්ලට් සහ නෝට්බුක් අතර ඇති උපකරණයේ තිරයට ආවරණය දා ගන්න එක. මොකද මේ ටච් ස්ක්‍රීන් ටිකක් අතපත ගානකොට ඉරි ඇඳෙන නිසා. කෝ අමුදා ? ඔබට හිතෙනවා ඇති. ඉන්න මම කියන්නම්.

මම අමූදා සිටින ස්ථානයට යනවිටත් හීන් බඩගින්නක් දැනීගෙන එමින් තිබුණා. ඉතිං මගේ ප්‍රමුඛතා අතර බඩ පුරවාගැනීමත් තිබුණා. මේ වනවිට මම අතින් කටින් බඩු මලු කිහිපයක් එල්ලාගෙන උන්නේ. ඔවුන් තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ පෙරකී පඩිපෙළ යට තිබෙන හෙවනේ. මේ පදික මාරුවක් අපේ රටේ තියෙන ඒවාට වඩා තරමක් ඉහළින් තියෙනවා කියන එක තමයී මගේ විශ්වාසෙ. ඒ වගේම මේවායේ පඩි වලට අමතරව එලිවෙටර් එකකුත් තිබෙනවා. මේ පඩිපෙළ එක් අතකින් ඉම්බි ගුවන් දුම්රිය ස්ථානයට පිවිසුම සපයනවා. ඒ කියන්නේ අමුදා ඉන්නේ ඉම්බි දුම්රියපොළ යට. අපේ රටේ වගේ ඉතාම ජරාජීර්ණ වූ ස්ථානයක් ඔබේ මතකයට එනවාද ? නමුත් මේවා ඉතා පිරිසිදු ස්ථාන බව සඳහන් කරන්නම ඕනේ.  ලංකාවේ නම් මේ වගේ තැන් වල අපිට නවතින්න හිතෙන්නෙම නෑ. ඒ පික්-පොකට් තර්ජනය ප්‍රධාන හේතු ගණනාවක් නිසා. නමුත් පික්-පොකට් ගැහිල්ල අතින් මැලේසියාව අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනවා. ඒ මේ වගේ ජනාකීර්ණ තැන් වලදී ඔබේ පසුම්බියට විදීමෙන් පමණක් නෙවෙයි, ඔබට නොදැනීම ඔබේ මුදල් වලට හෙමිහිට විදින ක්‍රමත් ඔවුන් සතු නිසා. නොකියාම බැරි වුණත් ඒ කාරණයත් කියන්න ඕනේ.

මේ ටයිම් චතුරශ්‍රයයේ බිම් මහලේ තියෙන ආහාර අංගනයට මම අවස්ථාවක ගොඩ වුණේ, ඉතාම අධික බඩගින්නකින්. මම හිතන්නේ හවස තුනත් පහු වෙලා. එයාලගේ ළඟ ලෝකයේ බොහෝ රටවල රසයන්ගෙන් යුක්ත ආහාර සපයන කවුන්ටර ගණනාවක්ම තියෙනවා. මටත් උවමනා වුණා, ඉක්මනට බඩට මොනවා හරි දා ගන්න. මම ආහාර පිඟාන කැමති දේ වලින් පුරවාගෙන ගෙවන්න සුදානම් වුණාම තමයි තේරුම් ගියේ, ඔවුන් මුදල් ලබා ගන්නේ කලින් නිකුත් කල කාඩ් පතක් මගින් කියලා. ඉතිං මට සිදු වුණා, කෑම පිඟාන පැත්තකින් තියලා මේ කියන කාඩ් පතක් මිලදී ගන්න. ඒ සඳහා මැලේසියන් රිංගිට් විස්සක අවම මුදලක් ගෙවන්න සිදු වුණා. නමුත් මගේ කෑම වේල රිංගිට් නමයයි ගණනක්. මට බොන්න දෙයකුත් අවශ්‍ය නිසා මම විස්සේ කාඩ්පතක් ගත්තා. නමුත් මෙහි මිලදී ගැනීමේ හැකියාව දහනමයක් පමණයි. අත යටින් රිංගිට් එකකට විදලා. අපේ මුදලින් රුපියල් තිස් හතක් විතර. මේ වගේ ගනුදෙනු කරුවන් ගසාකන විවිධ ක්‍රම මේ ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ස්වදේශිකයන් මේවා ගැන දැනුවත්. ඔවුන් මේ පැතිවල කරක් ගහන්නෙත් බොහොම අඩුවෙන් බව මගේ මිතුරෙක්(මැලේසියානු) පවසා සිටියා.

අමුදාගේ පෝලිමේ සිටින තෙවන ගනුදෙනු කරු මම. මට කලින් සිටින්නේ සිරියානු කතක්. ඇය සිරියාව හැරපියා මැලේසියාව නිජබිම් කරගත් අයෙක්. මා ඇයත් සමග දොඩමලු වුණේ, එහි තත්වය පිලිබඳ පැහැදිලි අවුබෝධයක් ලබා ගන්න. මා පවසා සිටියා සිරියාව මුහුණ දුන් තත්වය පිලිබඳ අප ඉතා කනගාටු වූ බව. ඒ වගේම යුද්ධයේ අත්දැකීම් ඇති අප වැනි රටකට එය තදින් දැනෙන බව. ඇය දුන් පිළිතුර මා අන්ද-මන්ද කිරීමට සමත් වුණා.

"ඔබ සිතන්නේ මාධ්‍ය වල තිබෙන සියළු දේ සත්‍ය යයි කියාද ?" 

මේ පිලිබඳ යම් අවුබෝධයක් මා සතු නිසා, මා ඇයගේ අදහස හා එකඟ වුවා. යම් මාධ්‍යවේදියෙකු අහම්බෙන් ගොඩ වැදී ඉදිරිපත් කරන අදහසට වඩා බොහෝවිට සත්‍ය සහමුලින්ම වෙනස් බව අප අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් අද සමාජ මාධ්‍ය ජාලා ප්‍රධාන ධාරාව අභිබවා මේ කර්තව්‍ය සිදු කරන නිසා, සත්‍ය වේගයෙන් ලොව පොරා ගලා යනවා. 

අමූදාගේ තමන්ගේ ජීවන අරගලය ගෙන යන්න දෙන සටන ගැන මට එක්තරා ආඩම්බරයක් මෙන්ම දුකක් ඇති වුවා. ඇය තමන්ගේ රැකියාව කරන ගමන්ම චතුර ලෙස ඉංග්‍රීසි හසුරවමින් අප හා දොඩමලු වුණා. අයිස්ක්‍රීම් කෝටුවක, සිහින් නයිලෝන් නූල් පාට දෙකකින් යොදාගෙන ගනුදෙනු කරුවාගේ නම වියමින් කළ කී ටැග් නිෂ්පාදනය ඇයගේ ජීවන වෘත්තීය වී තිබෙන්නේ බොහෝ කලක පටන්. මම ඇයගේ අවසරයෙන් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් ලබා ගත්තේ බ්ලොග් ගැන සිහින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්. මා ශ්‍රී ලංකාවේ බව දැනගත් පසු ඇය පවසා සිටියේ, පාසල් අවධියේ ජනාධිපති ප්‍රේමදාස මහතා ඔවුන්ගේ පාසැලට ආ බවත්, ඈ හා කතා කොට ඇති බවත්ය. එතුමා ගැන ඉතා පැහැදීමකින් ඇය කථා කළා. ඒසමගම නොබෝ දිනකින මැලේසියානු නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් ප්‍රදර්ශනය සඳහා පුහුණු වන මිග් යානා ගමන් කරන හඬ ඇසුණා. ඒ ගැන සඳහන් කරමින් ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්. මගේ මුවගට සිනහවක් නැගුනත්, මා කිසිවක් පැවසූවේ නෑ. 

තමා මේ ශිල්පය උගෙන ගත්තේ පාසල් අවධියේ බවත්, අද සිටින දරුවන් මෙවැනි දෙයක් ඉගෙන ගැනීම වෙනුවට ජංගම දුරකථනයක් හසුරුවමින් සිටින බවත්  චෝදනාත්මක මුඛයෙන් ඇය පවසා සිටියා. මිනිත්තු කිහිපයක් වැනි කුඩා කලකින් එය සාදා නිම කරන්න ඇය සතුව ඇති නිපුණත්වය මා තුල පුදුමයක් ජනිත කළා. මන්ද එය මාගේ සිත පරිගණක (ඩොට් මෙට්‍රික්ස්) මුද්‍රණ තාක්ෂණය වෙත ගෙන ගිය නිසා. 7 x 5 ආකාරයෙන් තිත් යොදා ගනිමින් අකුරු නිර්මාණය වන ආකාරයටම ඇය මෙම නූල් කැබලි හසුරුවමින් අපුරුවට තම ගනුදෙනු කරුවන්ගේ නම් වියමන් කරන්නට සමත්. පහලින් තිබෙන පින්තූර වලින් වගේම වීඩියෝවෙන් එය සිදු වන ආකාරය පිලිබඳ යම් අදහස ගන්න පුළුවන්. 
,


මේ සඳහා ඇය යොදා ගන්නේ කතුරක් සහ ලයිටරක් පමණයි. මේ නූල් කෙලවර ලිහීම වලක්වන්න ඈ ලයිටරයෙන් පුච්චා සීල් කරනවා. කතුර යොදා ගන්නේ සමාන දිගට ඒවා කපා ගැනීමටයි. මෙහි තිබෙන ගනුදෙනුකරුවන්ගේ නම් සටහන් කරගන්නා පොත සහ නිමකර ඇති අනෙකුත් කී ටෑග් කිහිපය දුටු විට  ලෝකයේ විවිධ ජාතීන් වල  අය,  මේ නිෂ්පාදනය ආකාර්ශනය කරගෙන තිබෙන බව  පැහැදිලියි.



ක්‍රම-ක්‍රමයෙන් මා හා හිතවත් වූ ඈ, ඇගේ ජීවිත කතාවේ කටුක කොටස් කිහිපයක් හෙළි කළා.

"සහෝදරයා මගේ ස්වාමියා හමුදා නිලධාරියෙක්. එයාට මෙහෙම ඉරක් ඇන්දොත් කෙලින් තියෙන්න ඕනේ. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දෙන්නා දැන් වැඩිහිටියෝ. කොල්ලෝ දෙන්නා. ඒ දෙන්නාට රෑ දහයෙන් පස්සේ ගෙදර එන්න එයාගෙන් අවසර නෑ. දවසක් උන් දෙන්නාට අපේ එක්කෙනා මෙහෙම කිවුවා 
 "මම දන්නවා උඹලා ඉන්නේ ක්වාලා ලාම්පූර් වල කියලා. ඒ වුණාට රෑ දහයට කලින් ගෙදර ඉන්න ඕනේ"
මේ ළමයි කරන හැම වරදකට, එයා දොස් කියන්නේ තමුසේගේ දරුවෝ. මට අහන්න හිතෙනවා මගේ විතරක්ද කියලා. ඒ වුණාට මම අහන්නේ නෑ.
මම බැන්දේ ආදර සම්බන්ධතාවයකින්. බඳින්න කලින් මම මේ තරම් උස(අඟල් පහක් විතර දෑතින් පෙන්වයි) සපත්තු දාගෙන ක්ලබ් ගානේ ගිය කෙල්ලක්. නමුත් බැන්දට පස්සේ ඒ මොනවත් නෑ. නමුත් දවසක් මේ කතාවක් දිග්ගැස්සිලා, එයා මට 'පලයන් ගෙදර' කියලා කිව්වා. මමත් කඳුළු පුරෝගෙන අපේ ගෙදර ගියා. අපේ අම්මා මට දුන්නා නියම ලෙක්චර් එකක්.
"මේ අහගනින්, බැඳපු ගෑණියෙක් ගෙදර එනවනම් එන්න ඕනේ තමන්ගේ මිනිහත් එක්ක. මෙහෙම තනියෙන් ආවොත්, උඹට වෙන්නේ, ඒකාගෙන් දික්කසාද වෙලා වෙන මිනිහෙක් එක්ක යන්න. එහෙම ගිය දාක, ඒ මිනිහා උඹගෙන් අනිවාර්යයෙන් අහනවා, කලින් මිනිහා ගැන. ඒක ඉවර වෙන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා උඹ ආපු අතක් බලාගෙන පළයන්. එනවනම් වරෙන් මිනිහත් එක්ක"
සහෝදරයා, මම ආපහු ගෙදර ගිහිං, ඉකි ගහ-ගහ දවස් ගානක් ගත කළා. කොහොම හරි අපි දෙන්නා තවමත් එකට ඉන්නවා. අපේ පුත්තුන්ටත් මේ වැඩේ ටිකක් පුළුවන්. උත්සව කාලෙට ලොකු ඕඩර් එනවා. මහත්තයා දැන් පෙන්ෂන්. ඒත් මගේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න මම මේක කරගෙන යනවා.  
 මේ දුවට වයස කීයද ? එයා ටිකක් ට්‍රයි කරනවා නේද ?
අයියෝ සහෝදරයා, මෙයා මේක ඉගෙන ගනීද කියලා මට සැකයි. දැන් ළමයි මෙහෙම එකතැන ඉඳගෙන වැඩක් කරන්න කැමති නෑ. 
තවත් වෙලා ඇය සමග දොඩමළු වීමට අවශ්‍ය වුවත්, මට තිබෙන සීමිත කාළය කළමනාකරණය කරගත යුතු බැවින් ඇයගේ ගාස්තුව වූ රිංගිට් දහය ගෙවා පිටත් වූවෙමි.

එහි සිටි කාළය තුළ, ඇයට යාබදව මෙමරි කාඩ් වෙළඳාමක් කරන කම්මැලියා මට රජ ගහේ ඇණයක් විය. ඔහුගෙන් මෙමරි කාඩ්පතක් මිලදී ගන්නා ලෙස බොහෝ වාර ගණනක් ඇවිටිලි කලද, මා ඊට හසු වුයේ නැත. ඒ වෙනුවට මා ඔහුට රිච් ඩැඩ් පුවර්  ඩැඩ් පොත ඇසුරින් දේශනයක් දුන්නෙමි. ඒ අයිස් ක්‍රී වෙළෙන්දාගේ කඩදාසි කෝප්ප අවසන් වූවිට, යාබදව වොෆල් වෙළෙන්දාගේ මන්දගාමීව විකිනෙන වොෆල් ඉල්ලා, එයින් කෝන් සාදා, ඒ තුලට අයිස් ක්‍රීම් දමා විකුණා ගිය ගමන, අද ඔබ වෙතට පත් වන අයිස් ක්‍රීම් කෝන් එකෙහි මූලාරම්භය බව මගේ මතකයට ආ විටය. මා ඔහුට පවසා සිටියේ, මෙමරි කාඩ් පතක් මිලදී ගන්නේ නම්, අමුදාගෙන් නම් කිහිපයක් සාදා ගැනීමට අවස්ථාවක් සපයන බවට පවසා මෙමරි විකුණන ලෙසය. එය තේරුම් නොගත් ඔහු මා හට පැවසූවේ, කුඩා කල සිට තමා උනන්දු වුයේ බොක්සිං ක්‍රීඩාවට නිසා, තමාට මේ ඉරණම අත් වූ බවය.


Sunday, December 20, 2015

බලා හිඳීම ...... Keep Watching ......

බලාගෙන ඉන්නවා කියන්නේ ලේසි වැඩක් කියලා කවුරුහරි හිතනවානම් ඒක මහා මුලාවක්. එකම දෙයක් දිහා එක දිගට බලාගෙන ඉන්න ගියාම ඇති වෙන්නේ නිදිමතක්. නමුත් ඒ බලා හිඳීම වගේ නෙවෙයි, කුමක් හෝ ලැබෙයි කියලා දිගටම බලාගෙන සිටීම. එහෙම ඉන්න එක ගැන තියෙන හොඳම උදාහරණය තමයි, එළුවාගේ බෙල්ලේ තියෙන ඇටේ වැටෙනකන් බලාගෙන හිටපු නරියාගේ කතාව'. කවුරුහරි කෙනෙක් නිෂ්පල දෙයක් සඳහා ඕනෑවට වඩා කාලය ගත කරත්දී අනෙක් අය කියන කතාවක් තමයි ඕක. නමුත් ඒකෙන් තවත් දෙයක් කියවෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ එහෙම බලාගෙන ඉන්නේ කපටින් බව මේ උපහැරණයෙන් කියවෙනවා. මොකද නරියා කියන්නේ කපටිකමට උපන් සතෙක් කියලා අපේ ඉතිහාස කතා වල කියවෙන නිසා. අනෙක එහෙම පතාගෙන ඉන්න අනෙක් පාර්ශවය අහිංසක පෙනුමක් තිබුණත් ශක්තිමත් කෙනෙක් කියන එකත් එළුවාගේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා. නමුත් මම කියන්න යන බලාගෙන හිඳීල්ල ඒ වගේ එකක් නෙවෙයි. මේ නිකං ඇස් දෙකෙන් දකින එක ගැනම තමයි මම කියන්න යන්නේ.

මුලින්ම කියන්න ඕනේ මම බ්ලොග් පොස්ට් එකක් නොදා මාසයක් ඇද්දා. එක අතකින් ඒකත් එක බලාගෙන හිඳීල්ලක් තමයි. නමුත් ඒ අතරවාරයේ මම තව නොයෙකුත් බලාගෙන හිඳිලි කරලා තියෙනවා. ඒ මාසය ඇතුලත ඇස් පේන්නේ නැති වෙන ගානට පරිගණක තිරය දිහාවට මුහුණ ඔබාගෙන බලාගෙන ඉන්නත් වුණා, දවස් කිහිපයක්. ඒ ඇනිමේෂන් එකක් හදන්න. ෆ්ලෑෂ් ගැන මොනවත් නොදැන, දවස් තුනක් ඇතුලත ඇනිමේෂන් එකක් කරන්න පුළුවන් වුණේ, යූටියුබ් එකට පින් සිද්ද වෙන්න. මම එකම වීඩියෝ එක සිය වතාවක් විතර බල-බලා තමයි ඇනිමේෂන් එක කළේ. අන්තිමේදී ඇස් පෙන්නේ නැතිව ගියත්, ඒකෙන් පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. මේ පොස්ට් එක දැමීමේ අරමුණ ඒ ඇනිමේෂන් එක මෙතන ප්‍රදර්ශනය කරන එක නොවෙයි. මම කුඩා කාලේ ඉඳලා කරපු බැලිලි වගයක් ගැන බෙදා හදා ගන්න.

කිව්වා ගමන් කට්ටියට එක-එක කුණුහර්ප සිහියට එන්න ඇති. ඒක මගේ වැරද්දක් නෙවෙයි, කියවන ඔබගේ හිත්වල තියෙන වැරද්දක්. ඔන්න ඔය නිසා තමයි අපේ බ්ලොග් ලියන සෑමා "කැත හිත් වලට" කවි ලිව්වේ. ඒ කාලේ ඒවා බලපු කට්ටිය දන්නවා ඇතිනේ. නොදන්නවා නම් ගිහිං බලන්න. ඕවා සෑමා අත්අඩංගුවට පත්වෙන්න කලින් ලියපුවා. දැන් නම් කාලෙකින් ඒ වගේ පොස්ට් එකක් දැක්කේ නෑ. මම ගැලපෙන පින්තූරයකුත් යැවුවා. නමුත් මිනිහා තවමත් බලාගෙන ඉන්නවා ඇති ලියනවද නැද්ද කියලා. මොකද මායියට මාට්ටු වුණොත් කම්මුතු නිසා. ආහ් ! ලියන්න ආපු කතාව අමතක වෙනවා මේ එක-එක වල්පල් නිසා. 

මේ දවස් වල මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ, දියත උයන ඉඳලා, කොස්වත්ත හන්දිය දක්වා තියෙන මාර්ගය හදන එක බලාගෙන ඉන්න එක. මටනම් ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් වෙන දෙයක් නෑ. ඒ කියන්නේ කවුරුහරි වැඩක් කරන දිහා බලාගෙන ඉන්න එක. මගේ ඔෆිස් එකේ යාලුවෝ විහිළු කරනවා "උඹට හොඳ සුපවයිසර්" වැඩක් කියලා. ඇත්තටම මම ආසයි. සිවිල් ඉංජිනියරින් වලට බොහොමයක් දෙනා අකමැතියි. ඒ වගේම් සයිට් වල වැඩ කරන අපේ ඉවාන්ලා, කලණලාගෙන් ඇහුවනම් කියයි, මේවායේ තියෙන නීරස පැත්ත. අපි මේ වැඩ කරන අතරම, ඒ-සී කරපු කාමරයේ කෙළවරක ඉඳන් බලනවා වගේ නෙවෙයි ලංකාවේ සයිට් එකක වැඩ කරනවා කියන්නේ. මොකද එක පැත්තකින් ලෝක අණ්ඩපාල සෙට් එකක් එක්ක වැඩ කරන්න සිදු වෙන එක. අනිත් පැත්තෙන් ආරක්ෂාව ගැන නොසිතා එහෙ-මෙහෙ රිංගන්න ගිහිං සිදු වෙන විපැත්ති. මේකත් අර ගල්වඩු බාස්ගේ කතාව වගේ තමයි. අනෙක් අය කරන වැඩේ ශෝක් කියලා හිතෙන්නේ ඒ වැඩේට බැහැලාම බලපුවාම.

මේ බ්ලොග් පොස්ට්දාන්න ඊයේ හවස සුදානම් වෙච්ච වෙලාවේ, බ්ලොගර් උන්නැහේ තමන් විසින් හඳුන්වා  දෙන්නට යන අලුත්ම ෆීචර් එකක් ගැන පොඩි ඇඩ් එකක් දැම්මා. මමත් ඒකට අහුවුණා. මේක තමයි ෆොටෝ එකක් බ්ලොග් පොස්ට් එකට කෙලින්ම ඇදලා දාන්න පුළුවන්කම. වැඩේ ලේසි හින්දා මාත් අත්හදා බලන්නත් එක්ක මේ වැඩේ කළා. වැඩේ තියෙන්නේ මට ගන්න ඕනේ වුනේ මගේ ෆෝන් එකෙන් පාරේ වැඩ කරන කිහිප දෙනෙකුගෙන් යුක්ත පින්තූරයක්. මම ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික සුපුරුදු කොපි කරන ෆෝල්ඩර් එකට කොපි කළා. එතන ෆොටෝස් දහස් ගණනක් තියෙනවා. දැන් මට උවමනා අර ෆොටෝ එකම මේකට දාන්න. ඉතිං මම කලේ ෆෝන් ෆොටෝස් තියෙන ෆෝල්ඩර් එක ඇරලා අර පින්තූරේ ඇදලා දැම්මා. එක පාරක් දැම්මට ආවේ නැති හින්දා, තවත් වතාවක් දැම්මා. ඊට පස්සේ මම කොහොම හරි පුටුවෙන් නැගිටලා වෙන වැඩකට ගියා. ඒකට යන කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. ඇවිල්ල බලනකොට ඒ ෆෝල්ඩර් එකේ තිබුණ ෆොටෝ වලින් භාගයක් පොස්ට් එක ඇතුලේ. අන්තිමට මම මේක නවත්වන්න. පොස්ට් එක ක්ලෝස් කළා. එතැනින් වැඩේ නැවතුනත් ආපු ෆොටෝ අයින් කරන්න අද උදේ මිනිත්තු විස්සක් විතර ගත කළා. අපිට අවශ්‍ය දෙයක් නම් මෙහෙම ඉක්මනට වෙයිද ?

ඒකෙන් පස්සේ මම ඇවිත් තියෙන පින්තූර ටික දිහා බැලුවා. කාලෙකට කලින් ගත්ත ඒවාගෙන් මේ මාතෘකාවට අදාලා ඒවා ඉතිරි කළා. අපි එහෙනම් ඒ පින්තූර ටික පොඩ්ඩක් බලමු. පින්තූරයක වචන දාහකට වඩා වටිනවා කියලා කියමනක් තියෙනවා නේ. මුලින්ම තියෙන්නේ ඛේත්තාරමේ මැච් එකක් බලන්න ගිය වෙලාවකගත්තුෆොටෝ එකක්. මම වගේ ක්‍රිකට් පිස්සෙකුට නම් ඉතිං ක්‍රිකට් මැච් එකක් බලන්න තියෙනවනම් තව වෙන මොනවද ? බලාගෙන ඉන්නවා. අරෙහෙම අරයා අවුට් වෙලා, මෙයාට ලකුණු ගන්න බැරි වෙලා මැච් එක දිනයි කියල. සමහර අපි ක්‍රීඩා කරපු මැච් වල අවුට් වෙච්ච් විදිය හිතලා. ඒ බෝලෙට මෙහෙම ගැහුවනම් කියලා. සෙන්චරියක් ගහනකම්ම හිතනවා. මැච් එකක් ඉවර වෙලා දවස් ගාණක් යනකං මේ පසුතැවිල්ල තියෙනවා. බලාගෙන යනකොට ඒකත් එක බලා හිඳීමක් තමයි.


a painter painting a wall with the aid of deck hold using two ropes by fellow workers who are on top floor is a life risk no safety first at all
පලංචියේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ .....

 මේ පින්තූරය ගත්තේ අපේ බැංකුවේ ක්‍රිකට්ර්ලාගේ හමුවක් මීගමුවේදී පවත්වපු වෙලාවේ. එදා රෑ මීගමු කලපුව හෝ වෙරල දිස් වූ අකාරය තමයි මේ. මේ වගේ නිස්කලංක වෙලාවකත්, මැසි මදුරු කරදර නැතිනම්, ඕනෑතරම් වෙලා බලා හිදීම කරන්න පුළුවන්. 
sanda eliya muhudata watee thibena darshanayak
සඳ දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ .....


 මේක අපේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ සුහද හමුවක් වෙලාවක ගත් ඡායාරුපයක්(ඩිජිටල් කැමරා වලින් ගන්න පින්තූර වලට ඡායාරුපයක් කියන එක හරිද මන්දා). මේ වගේ සුන්දර ලඳුන් පිරිසක් දිහා ඇහැ අහකට ගන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් ටිකක් ඈතට වෙලා. සෞන්දර්යාත්මක ඇසකින් මේක දකින්න ඕනේ, කාමුක ඇසකින් නොවේ. ඔබට කැමති ඇසකින් බලාගන්න.


kello pond eken wathura purawanawa kukku penawa
සීගිරි සුකුමාලියේ පෙර රජ සමයේ, මතකද අපි පා වුණා පෙම් අම නදියේ ......

මේ පින්තූරය දිහා බලන්න මේක අපි නුවර එළියේ සංචාරයක් ගිය වෙලාවක ගත්තු එකක්. මේක දිහාත් මම බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. මෙතන හරි අපූරු නිර්මාණයක් තියෙනවා. ඔබට මොනවද මේ ගැන හිතෙන්නේ ?


DIY effort making car shutter handle
කැරකෙන රෝදේ පුංචි කරහ්ත්තේ ඉඳගෙන මම ඉන්නේ ......

මේවාත් කලින් සංචාරය වෙලාවේදී ගත්තපින්තූර. මේ වගේ කඳු වැටියක් දිහා ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්.
mountain range nawalapitiya
සීත සුළං අවට හමන්නේ ....

කළින් කියපු නුවර එළියේ සංචාරය අතරමැද අපි නාවලපිටියේ තැනක නාන්න සෙට් වුණා. හරි අපූරු තැනක්. මේ වගේ ලස්සන දිය ඇල්ලක් වැටෙන තැනක ඕනෑතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මටනම්. ඔබට කොහොමද ?

small waterfall navalapitiya
සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ ..... /
 සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ - සඳ පාන තියෙන රැක නොයන්නේ ....

gentle waterfall nawalapitiya sri lanka
සිලි සිලි සීතල ඇල්ලේ .... දිය සැලි සැලි යයි නැළවිල්ලේ ...... 




carrot farm in nuwara eliya sri lanka bio agriculture healthy food
කඳු මුදුනේ බීට්රූට් වැවීලා ... සිරි සාරි සරු සාරයි කන්ද උඩ රටේ ......
මේකත් ඒ සංචාරයේම අත්දැකීමක්. ජීවිතයටම අමතක නොවෙන එකක්. මගේ මිතුරු සුභාෂ්ගේ කාර් එකේ සිසිලන පද්දතියයි, ගියර් සිස්ටම් එකයි එක පාරටම අවුල් වුණා. තැන්නේ හොඳින් දුවන කාර් එකක් කඳුකර පෙදෙසකදී දුවත්දී එන්ජිම රත් වීම අහන්න දෙයක් නෙවෙයි. හැබැයි ගියර් වැටෙන්නේ නැතිව ගිහින්, අතින් ගියර් එක දාගෙන තමයි ගමන ගියේ. මුලින්ම අපිට මේක කියලා දුන්නේ ත්‍රී වීල් රිපෙයාර් කරන මල්ලි කෙනෙක්. පස්සේ පහුවෙනි දවසේ හදා ගන්නකම් එහෙම තමයි දිව්වේ. එන්ජිම රත් වුණාම මග නවත්වනවා, නැවත්තුවාම ගියර් දාන්නේ බොනට් එක උස්සලා අතින්. මේ වගේ වෙලාවකත් කැමති වුණත් අකමැති වුණත් බලාගෙන ඉන්න වෙනවා. සමහරුන්ට මේක කට්ටක් වුණාට, මේවා සුන්දර ඇබැද්දි විදියටයි මම සලකන්නේ. ඒ වුණාට මහ රෑ නුවර එලිය වගේ පැත්තක, නා කපන වැස්සක තෙමි තෙමී ඉන්න ගියාම සීතල කට්ටක් තමයි. නමුත් ජීවිතයට මේ වගේ අත්දැකීම් නැත්නම් වැඩක් නෑ.

car repair raining cooling system problem scare of leeches
ලොරි භාගේ මග හිටියා එනකොට රෑ යාමේ..... (යාලුවා දැක්කොත් ඉවරයි)
මේක අපි වෙනත් සංචාරයක් යත්දී ගත්ත පින්තූරයක්. මම හිතන්නේ මොනරාගලත් - සියඹලාණ්ඩුවවත් අතරේ තැනක තියෙන පුරා විද්‍යාත්මක ස්ථානයක්. මෙතන ඇතුලට ගියාම අපූරු සෙල්මුවා නාන තටාකයක් තියෙනවා. මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බලාගෙන ඉන්න බැරිද ? මමනම් හරි ආසයි.

sri lankawe aithihasika sthana uva wellassa siyambalanduwa nidan wadula
දුර පෙනෙන තැනිතලා .... අනුරාධපුර දිහා ....

කැලෑවට හැදෙන මේ වගේ සොඳුරු මල් තවමත් අපේ රටේ ඇතුලට වෙන්න තියෙනවා.
wild flowers yellow red fern family
කැලෑ මලේ කොහේ ගියාදෝ .... නිවාඩුවට ගමේ ගියාදෝ.....
මේක මගේ ෆෝන් කැමරාවේ තියෙන ෆීචර් එකක් භාවිතා කරලා පසුව සකසපු එකක්. ඒකෙ තියෙනවා Colour Props කියලා ඔප්ෂන් එකක්. එකෙන් පුළුවන් එක තැනක වර්ණයක් තෝරලා, ඒක විතරක් ඒ වර්ණයෙන්ම තියලා අනික් හරිය කළු-සුදු කරන්න. මේ පැලැටිය රතු තමයි. ඒත් අපි මල් වර්ගයක් විදියට වවන තවත් පැලයක් රතු පාටට කිට්ටු වර්ණයක් ගන්න නිසා, ඒවත් වර්නවත්වම පේනවා.  මේකට හරි යන ගීතයක් තමයි හොයා ගන්න බැරි. අපේ සින්දු ඇනෝ මල්ලිට පුළුවන් වෙයිද උත්තරයක් දෙන්න.

a deadly red plant maranthika rathu palatiya

මේ පින්තූරය හරි අපූරු ස්ථානයක ගත්තේ. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටිය රූගත කරපු ස්තනනය. මේ වගේ ලස්සන නදියක් ලඟට වෙලා පැතලි ගලක් අරගෙන වතුර පහරට ගහලා, ගෙම්බෝ පනින්න වගේ පැන පැන යනවා බලා ඉන්න මම පුංචි කාලේ හරි ආසයි. මල්ලක් පුරවලා ගල් අහුලාගෙන ඇල අයිනට ඉස්සර ගියේ මේ වැඩේට.
ගඟ තවම තරුණයි ......

place where bridge on the river qwai made
කළු කැළණි නදී ගලා යාවී .... හෝ ... හෝ... මනහර සිරිය ලංකාවේ .... ලංකාවේ..
බ්‍රිජ් ඕන් ද රිවර් ක්වායි චිත්‍රපටයට හදපු පාළම තැනීමේදී කළුගල් විද දමා තිබු වානේ කම්බි තවමත් එම ස්ථානයේ දකින්න පුළුවන්.

Making bridge on the river qwai over kelani river english film makers drilled granite put these iron hooks
මේ තරම් සියුමැලිද කළුගල් ......
nisala nadiya නිසල නදිය calm river
ගඟ අද්දර මා සිහිල්සෙනෙන් සැනහේ .....
මේ පින්තූරය මට කවදාවත අමතක නොවෙන තැනක්. මේක 1989 දී තිබුණ පෙනුමෙන්ම තවමත් තියෙන එක එක්තරා අතකට පුදුමයට කාරණයක්. මොකද යුද්දේ ඉවර වුණාම කොළඹ සීඝ්‍රයෙන් වෙනස් වුණා. නමුත් මේ කඩ කාමරය අට දෙනෙකුගේ නිවහනක් වෙලා තිබුණා. මගේ ප්‍රථම ප්‍රේමය ගැන පොස්ට් එක කියවපු අයට මතකනම් මම කියපු බොරැල්ල හරස් පාර පටන් ගන්න තැන තියෙන පුංචි කඩයක උඩුමහල මට මාස අටක් විතර කාලයක් නිවහන වුණු ස්ථානය. ජීවිතය පිලිබඳ වැදගත්ම පාඩම් ඉගෙන ගත්තු කාලපරිච්චේදයක්.
very old boutique near borella LRH water tank cross road more than 100 years

මෙන්න මේ කතාවත පාදක වුණේ මේ කඩ පේලියේ ගත කළ කාළය : බොරැල්ලේ සිර කරුවෙකු වීමි III කොටස - මගේ ප්‍රථම ප්‍රේමය.
මේ පින්තූරේ ගන්න ගිහින් තමයි මේ අටොරාෂියක් පින්තූර මෙතනට වැටුණේ. මෙන්න මෙහෙම පාරේ වැඩ කරන ඒවා, ගෙදර මේසන් බාස්ලා වඩු බාස්ලා වැඩ කරන ඒවා බලාගෙන, ඒ අයත් එක්ක සල්ලාපයේ යෙදෙන එක තමයි මගේ පොඩි කාලේ විනෝදාංශය වෙලා තිබුණේ. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ. එයාලගනේ ප්‍රශ්න ටිකක් අහලා, දැනුවත් වෙන එක මගේ පුරුද්ද.

road workers working near pedestrian walking battaramulla

Sunday, October 11, 2015

මාරක ලිඳේ මෝටර් සයිකල් සමග ගිජා, හෙට්ටියා සහ සත්කුමාර : දෙවන කොටස ......

මෙහි පළමු කොටස කියවූ බොහෝ දෙනෙකු බලාපොරොත්තු වී තිබුණේ, එය අවසානයේ මාරක ළිඳ දකින්නට හැකි වේය කියාය. නමුත් සියලු දෙනාගේ පැතුම් සුණු විසුණු කරන්නට මට සිදු වුයේ ඒ වනවිටත් ඡේද අටක් තුළ වචන 1680ක් අකුරු කර තිබීම නිසාය. බ්ලොග් පොස්ට් එකක සාමාන්‍ය ප්‍රමාණය විය යුත්තේ ඒ ෆෝ පිටුවකට මුද්‍රණය කර ගන්නට හැකි ප්‍රමාණය යන්න මගේ විශ්වාසයයි. එයින් ඔබ්බට යන ඒවා තුළ යම් කුතුහලයක් ගැබ්ව නැතිනම්, කියවන්නාගේ කමෙන්ට් තුළ නොයෙකුත් විප්‍රකාර දැක ගත හැක. මන්ද කියවන්නා හුදු හිතවත්කමට මෙය කියවීමට ආවත්, ඔවුන් තුළ දැවැන්ත සටහනක් තුළ ඇස් යැවීමට තරම් හොඳ මානසික නිදහස් බවක් නොවේ නම්, අවසානයේ කියවුයේ කුමක්දැයි විපිළිසර වෙයි. එය මාගේ අත්දැකීමයි. මට කිහිප විටක් ඒ අසරණ තත්වයට මුහුණ දෙන්නට සිදු වී ඇත. නමුත් හිතවතුනි මේවා රසවත් වන්නේ වැල් වටාරම් වැඩිපුර ලිවීම තුළ බව මගේ විශ්වාසයයි. නැතිනම් ගුණයාගේ රෙකොර්ඩ්ස් ටික ගිල්ලේ කවුද ? වගේ පේළි දෙකකින් මෙය හමාර කොට, කමෙන්ට් තුළින් ඔබ නගන අටෝරාශියක් ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඉතිරි කොටස ලිවීමේ හැකියාවද ඇත. අපේ දේශකයා දවසක් ඒ ගැන සජීවී අත්දැකීමක්  ලබා දුන්නා ඔබට මතක ඇතැයි සිතමි. එසේනම් සහෝදරවරුනි පඳුරු තැලීම අවසන් කර, තලන ලද පඳුරු අස්සේ කුරුමානම ඇත්දැයි බැලීමේ වාරයයි මේ. 

මට, ගිජාට, සත්කුමාරට, හෙට්ටියාට, සුමියාට පෙම්වතියක් සිටියේ නැත. නමුත් ගුණයා නම් ගිය තැනක අත හරින්නේ නැත. පෙර කිව් ලෙස කෙළි පැටික්කියන් සමග දිවා ආහාරයට සෙට් වෙන ඔහු දවසින් දෙකෙන් ඔවුන් කුළුපග කර ගනී. තුන්වන දිනය වනවිට ඔවුන් ගුනයාගේ පස්සෙන් විත් මොනවාදෝ විමසයි. බැංකුවේ සිටින පියකරුම යුවතියන් මෙසේ ඔහුගේ පස්සෙන් වැටීම, සියල්ලන්ටම ගැටලුවක් මෙන්ම ඉහිලුම් නොදෙන කාරණායා. මම දවසක් ගුනයාට පවසා සිටියේ

"
මචං උඹ කෑලි සීයක් සෙට් කර ගත්තත් කමක් නෑ, අපිටත් ක්‍රමේ කියලා දීපං" යන්නයි.
දිනක් මේ තරුණියක් සමග ඔහු සල්ලාපයේ යෙදෙන විට, අසල කබඩ් එකකට මුවා වී කෙනෙකු ඊට කන් දී තිබුණි. මේකා කරන්නේ කුමක්දැයි ඉන්පසු ඉතා ප්‍රසිද්ධ කාරණයක් විය. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අපිට බැංකුකරණය පිළිබඳ විභාග අදාළ නොවුණත්, උසස් පෙළට වාණිජ විෂයයන් හැදෑරු ගුණයා, බැංකුවට එක් වූ විගස එම විභාගයන්ට පංති ගොස් ඇත. ඔහුගේ අධ්‍යාපනික පසුබිම නිසා මේ විෂය පථයන් ඔහුට පහසු වී ඇත. නමුත් විභාගයට මුහුණ දුන් බවක් හෝ ප්‍රතිඵලයක් ගැන කිසිදු ආරංචියක් නැත. හෙතෙම ශාඛාවන් වල සිටින කෙළි පැටික්කියන්ගෙන්, බෑන්කින් එක්සෑම් කරාද ? යන ප්‍රශ්නය යොමු කර, එසේ නොමැතිනම් ඇයට හොඳටම දෝෂාරෝපණය කරයි. පිස්සු නටන්නේ නැතිව විභාගේ කරන්න. මෙවායේ වැඩ කර-කර ඉඳලා හරි යන්නේ නෑ. ප්‍රමෝෂන් ටික වෙලාවට ගන්න නම් ඉතිං බෑන්කින් කරන්නම වෙනවා. හෙටම පටන් ගන්න මගේ නෝට්ස් දෙන්නම් යනුවන් පවසයි. ඉන්පසුව අර තරුණිය අයියේ නෝට්ස් ගෙනාවදැයි අසමින් ඔහු පස්සේ වැටෙයි. ගුන්යා කෙල්ලන් වශී කර ගන්නා ශාත්‍රය එයයි.

එහි වැඩ කරන කාලය තුළ ගිජාට බැංකුවේම සේවය කරන තම සොයුරියගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එය හමාර කල විගස ඔහු පවසා සිටියේ ලබන බ්‍රහස්පතින්දා තමන්ට වෙඩින් එකකට යාමට ඇති බවයි. එනිසා තමන් එදින නිවාඩු ලබා ගන්නා බවද පැවසීය. මෙය අසා සිටි සුමියා පැවසුවේ බ්‍රහස්පතින්දා පෝය දිනය බවද, අමුතුවෙන් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නැති බවය. මොහොතකින් ඉද්ද ගැසුවාක් මෙන් තමන් හුන් අසුනෙන් නැගී සිටි ගිජා අතින් කට වසාගෙන කල්පනා කරන්නට විය. හේතුව පෝය දිනයක රාජකාරි කිරීමෙන් ලැබෙන අතිකාල සහ දිනක වැටුප ඔහුට අහිමි වන බැවිනි. ඔහු එතරම් මුදල් සෙවීමට අරමුණු කරගෙන සිටි අයෙකි. ගිජාගේ සොයුරිය අප සේවය කරන අංශයේම සේවය කරන අපට වඩා වසර කිහිපයක් ජේෂ්ඨ සේවිකාවකි. අප සේවයට බැඳුණේ ගිජාලාට මාස පහකට පමණය පෙරය. දීප ව්‍යාප්ත විභාගයකට මුහුණ දෙමිනි.


"
අපේ මල්ලිත් විහාගේ ලිව්වා ඕගොල්ලොත් එක්ක"

"
ඉතින් මොකද වුණේ ?"

"
අපෝ එයාව ගන්න නම් තව හත්සිය ගාණක් ඊට කලින් ගන්න වෙනවා
 එසේ කථාව අවසන් වුවද, ඊළඟ පහළොස් දෙනාගේ කණ්ඩායමේ ගිජා බැංකුව ඇතුළට පැමිණ සිටිනු දැක තැන-තැන කසුකුසු ඇති විය. ඇවිත් දවස් දෙකකින් කාගේ වත් විමසීක් නැතිව මාතලේ ශාඛාව බලා ගිය සිල්වා මහතාගේ කණ්ඩායමට ගිජා බලහත්කාරයෙන්ම ඇතුළත් වී තිබිණි. අක්කා විසින් විස්තර කරන්නට යෙදුණු "ශාඛා විසිත්ත ඉල්ලම" හැරීමට ගිජා පටන් ගත්තේ අයුරිනි. එයට අමතරව ඔහුට තවත් උපදෙසක් සිය ආදරණීය සොයුරිය විසින් ලබා දී තිබුණි, පූල් එකට(කවුරුත් එකතු වී වියදම් සමසේ බෙදා ගැනීම්) කන නිසා පුළුවන් තරම් කෑම බඩට දා ගන්නා ලෙසයි. ගිජාගේ මේ ගිජු බව, සිය සොයුරිය නිසා ඇති වුවක්ද, නැතිනම් උපතින් ගෙනා එකක්දැයි කිසිවකු තවමත් නොදනී. නමුත් ඔහුගේ මේ හැසිරීම නිසා අප කණ්ඩායම් වල අය බොහෝ අපහසුතාවලට ලක් වී ඇත.වරක් පොළොන්නරුවට ගිය කණ්ඩායමක් රාත්‍රියට නූඩ්ල්ස් ඇණවුම් කර ඇත, මේසය මත ගෙනැවිත් තැබූ බන්දේසියේ තිබූ ප්‍රමාණයෙන් 3/4ක්ම ගිජා බෙදාගෙන ඇත. එවිට එහි පැමිණි වේටර් වරයා පවසා ඇත්තේ "කලබල වෙන්න එපා සර් හෙමිහිට කන්න, තව මේ වගේම එකක් ගේන්න තියෙනවා" කියාය. එවිට එහි උන් අනෙක් අය මුහුණෙන් මුහුණ බලාගෙන ඇත. වරක් කොත්තු රොටි කන ගමන් කවුරුන් හෝ ගෙන්වා ගන්නා ලද මඤ්ඤොක්කා දීසියෙන්ද කැබලි දෙක තුනක් කොත්තු රොටිය මත බෙදාගෙන අනුභව කරගෙන ඇත.ගිජා සහ කෑම යනුවෙන් තවත් පොස්ටුවක් සම්පාදනයට කරුණු ඇතත් මේ එයට අවස්ථාව නොවේ.
ගුණයා කුලියාපිටිය ශාඛාව වත්තේ ඇති අඹ ගස් දිහා ඉතා කෑදර බැල්මක් හෙළා, විලාට් අඹ නම් මරු කියමින් ඔබ මොබ ඇවිද්දේය. තවත් මිනිත්තු කිහිපයකින් සපත්තු පිටින්ම ඔහු ගහට ගොඩ වී ගෙඩි කිහිපයක් බිමට පත බාවා ඇත. අපිට තිබෙන්නේ බලාගෙන හිඳින්නය. ගුනයාගේ අඹ කෑදර කම නිරීක්ෂණය කල ගිජා, තමා පහුගිය බ්‍රහස්පතින්දා ගිය ගමන ගැන ප්‍රධාන කාර්යාලය දැනුවත් නොකිරීමට අංක එකේ කේලාම් කාරයෙකු වූ ගුණයා කැමති කරගනු වස්, දිනක සවස් කාලයේ, ශාඛාවේ අය නික්ම ගිය පසු, අඹ ගස් වලට ගොඩ වී, අසවැන්න නෙලීය. එහි අග්‍ර ඵලය ගුනයාට වෙන් කල හෙතෙම තවත් ගෙඩි කිහිපයක් අපගේ පරිභෝජනයට වෙන් කළේය.සත්කුමාරට නම ලැබුණේ එකල නිතර පාරේ දකින්නට ලැබුණු ටියුෂන් මාස්ටර් වරයෙකුගේ පෝස්ටර් එකක් අනුසාරයෙනි. එය ඔහුට ආදේශ කිරීම මාගේ සාඩම්බර සේවාවකි. එම නමින් ඔහු අමතනවාට සත්කුමාර ඉතා කැමති විය. දෛනික රාජකාරි හවස හතරයි හතළිස් පහටම අවසන් කර මා දිව යන්නේ, පොඩි රවියලාගේ නිවෙස අසල ඇති පොල්වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. නමුත් එහි ක්‍රීඩා කිරීම පහසු කටයුත්තක් නොවීය. දිනක් උද පන්දුවක් වෙත පියාඹා ගිය මාගේ අල්ලේ නිදිකුම්බා කටුවක් අැනිණි. එය ඉවත් කර ගන්නට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය විය. පොල් පරාල වල තිබෙන කීරක් ඇනුණු පසුවද මෙයට සමාන අත්දැකීමක් විඳීමට සිදු වේ. අත්දැකීම් ඇති නිසා එතරම් ගැටලුවක් ඇති නොවිණි. මා එසේ පොල්වත්තේ ක්‍රිකට් කෙළියට ගියද, ගිජාට උවමනා වුයේ එදිනෙදා සවසට ඕටී පාරක් දමා ගැනීමය. අප එකිනෙකාගේ කැමැත්තට ඉඩ දී කටයුතු කළෙමු.
ඉඳහිට දවසක අප හා නවතින සුමියාද ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇල්මක් නොදැක්වුවත් අප හා එක් විය. දිනක් එක කණ්ඩායමට කෙනෙකුගේ අඩුපාඩුව ඇති විය. සඳහා බලවත් පරිශ්‍රමයකින් පසුව සුමියා එකතු කර ගැනීමට හැකි විය. ඉදිරියට නෙරා බඩකින් යුත් සුමියා තමන්ගේ දනිස්ස අසලට උඩ පන්දුවක් සුරැකිව රැක ගත්තේ කව්රුත් පුදුමයට පත් කරමිනි. මමත් පොඩි රවියාත් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවට ගිය දිනක, ක්‍රීඩාව අවසන් කර රවියාගේ නිවසට ගොඩ වී තේකක් බී ආපසු පැමිණෙන විට, මා කදිම යෝජනාවක් ගෙනාවේය. රවියාද ඊට එක පයින් එකඟ විය. මා ක්වාර්ටර්ස් එකට එනවිට ගිජා එතන නොවීය. සත්කුමාර සිටියේ මලගෙවල් වල ඩෙත් බොඩි එක තබා සිටින අකාරයේ නින්දකය. සැමදා සේවය හමාර කර පසු එසේ මානසික විවේකයක් ලබා ගැනීම සත්කුමාරගේ සිරිතය. එන්.ඩී.ටී. ඉංජිනේරු පාඨමාලාව සේවය අතරදීම අවසන් කරන්නට හේ වග බලාගත්තේය. ඔහු ශ්‍රී ලාංකික පේටන්ට් හිමිකමක් ඇති නිශ්ශබ්ද විලියම් කෙනෙකි. වැඩි කථාවක් නැත. තවත් මොහොතකින් උඩ තට්ටුවට ගිය ගිජාද පැමිණිනි.

දෙදෙනා පසු මා ඔවුන් සමග අපට වෙන්නට යන අකරතැබ්බයක් ගැන විස්තර කළේ මෙලෙසිනි

"
බලපන් මචං පොඩි රවියාගේ නංගිගේ පිස්සු වැඩ, අද රෑට අපිට කෑම ලැස්ති කරනවා කිව්වා. හරි නෑනේ මචං. අපි මොනවා හරි අරගෙන යමු. හැමදාම නිකං කන්නත් හොඳ නෑනේ"මෙසේ කියූ පසු වැතිරී සිටි සත්කුමාර ඉද්ද ගැසුවාක් මෙන් අංශක අණුවකින් කොන්ද නවා ඇඳේ වාඩි විය. ගිජාගේ කටින් එකවිටම "නෑහ්" යනුවෙන් පිට විය. නොමිලයේ රස කෑම එකකට වග කීමට ඇති හැකියාව නිසාය. ඉන්පසු හිටිවනම ඇඳුම් අඳින්නට පටන් ගත දෙදෙනාට මා උපදෙස් දුන්නේ මෙලෙසිනි.

"
මොකක්ද බං පොඩි රවියලාගේ නංගිත් ඉන්න තැනට ෂෝට් ඇඳගෙනද යන්න හදන්නේ. කලිසමක් ඇඳපන් බං. අනේ සත්කුමාර ඔයිට වඩා හොඳ ෂර්ට් එකක් ගනින්කෝ
 රාජකාරියට ඇඳි ඇඳුම් අඳින්නට සුදානම් වූ දෙදෙනා, අවසානයේ දිග කලිසම් සහ විස්කොස් වර්ගයේ පාර්ටි ෂර්ට් වලින් සරසා ගන්නට මට හැකි විය.  මේ දිනවල අපගේ ප්‍රියතම ස්ථානය වී තිබුණේ, කුලියාපිටිය සිනමා ශාලාව ඉදිරිපස අභිනවයෙන් ආරම්භ කරන ලද රෙස්ටුරන්ට් එකකි. ඔවුන්ගේ මුල්ම මෙන්ම නිතිපතා පැමිණෙන ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකු වූ අපට, ව්ශේෂ සැලකිලි දින කිහිපයකින් පසු ලැබිණි. නානකාමරයේ සිට පැමිණෙන මා හට දෙදෙනා මනමාලියන් බලන්නට සැරසෙන්නට මෙන් සුදානම් වී සිටින ආකාරය දැක සිනා නතර කර ගැනීම දැඩි ආයාසයක් ගන්නට අවශ්‍ය විය.
"පොඩි රවියා කාර් එකෙන් හතයි කාලට එනවා කිව්වා. දැන් කීයද වෙලාව. සෙන්ට් එහෙම තියෙනවානම් ගහගෙන යමල්ලා. පොඩි රවියාගේ නංගි ලස්සන කෙල්ල"
යන ගමන ගැන සක්සුදක් සේ දන්නා මා සුපුරුදු ලෙස ඩෙනිම සහ ටී ෂර්ට් එක පැළඳ ගත්තේ කවදත් සුපුරුදු ඇඳුමද නිසාය.  මේ ගැන පොඩි සැකයක් ජනිත කරන්නට මේ කාරණය හේතු විය
"මොකක්ද බං අපිට ෂර්ට් අඳින්න කියලා උඹ අඳින විදිහ"

"
මං ෂර්ට් අඳින්නේ ඔෆිස් එකට විතරයි කියලා උඹලා දන්නවනේ. මගේ ගාව මල්-මල් ෂර්ට් නෑ. කවුද දන්නේ පොඩි රවිගේ නංගි කැමති උඹලා දෙන්නගෙන් කෙනෙකුටද කියලා. මම හැමදාම එහෙ යනවා. එහෙනං මට විතරක් රෑට කන්න දෙන්න තිබුණනේ" කතාව දෙදෙනාගේ මුවේ මද සිනහා අඳින්නට සමත් කාරණයක් විය. තවත් මිනිත්තු කිහිපයකින් පොඩි රවියාගේ වාහනය බැංකුව ඉදිරිපිට නැවැත්වීය. අප එයට ගොඩ වූ පසුත්, එය රවියාගේ ගෙදර තිබෙන දිසාවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරනු දැක දෙදෙනාගෙන් කෙනෙකු විමසා සිටියේ "මේ කොහෙද යන්නේ" යනුවෙනි. වාහනය ගමන් ගත්තේ සුපුරුදු ආපන ශාලාව දෙසටය. එවිට රවියා පැවසුවේ තමන්ට මොනවා හෝ මිලදී ගැනීමට ඇති බැවින් තරමක් ඉදිරියට යන බවය. මොහොතකින් එම රෙස්ටුරන්ට් එක ඉදිරියේ වහනය නතර කර "බැහැපල්ලා" යනුවෙන් පොඩි රවියා පැවසු විට මා පමණක් රථයෙන් බැස ගත්තද, දෙදෙනාගෙන් එක් අයෙකු වත් වාහනයෙන් නොබැස"මේ - මොකද බං. මෙතන මොකටද බහින්නේ"

"
බැහැපන් - බැහැපන් මෙහෙන් තමයි අද රෑටත් කන්නේ"දෙදෙනා බැස ගත්තේ නෝක්කාඩු මුහුණෙනි. මුහුණු දෙකේ මොහොතේ කෝපය මුසු සිනහා ඇඳී තිබිණි. මෙවැනි ගමන් රසවත් කරන්නේ මේ වාගේ ලණු කැවීම් සහ ඒවා කණ්ඩායමේ සෙස්සන්ට දැන ගැනීමට සැලැස්වීමෙන් බව අමුතුවෙන් විස්තර කල යුතු නැත. ඉන්පසු ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන මුල් දිනයෙන් පසුව ගුඩ් මෝනින් ළඟට, පොඩි රවියාගේ නංගි ලස්සනදැයි ඇසු විට, සුදීකගේ අම්මට පින් දෙන්නට ගිජා වග බලා ගත්තද, සත්කුමාර ලජ්ජාශීලී සිනහවක් දමා බිම බලාගනී.
දිනක් චයිනීස් රෙස්ටුරන්ට් එකකට ගොඩ වූ අප බියර් ඕඩර් කළෙමු. ගිජාට බියර් සෙන්ටිමීටර් එකක් පමණ ලබාදුන් විට, හෙතෙම තමන් අතීතයේ පවත්වන්නට යෙදුණු දහම් පාසල් සමිතියේ කථා, සමගින් රස ආකාරයකට අප ගෙන යන්නට සමත්ය. ඔහු ඇල්කොහොල් වලට ඇලජික් අයෙකු බව බොහෝ දෙනාගේ මතයයි. ඉන්පසු අපට මහා කරදයක් ලබා දෙන්නට සමත්ය. එදින හොඳටම වැඩි වූ ගිජා මේසය මත ඔළුව ගහගෙන සිටියේය. බිල ආපසු අමු ලෝභයෙකු වූ ගිජාගේ සාක්කුවෙන් පර්ස් එක ගෙන බිල ගෙවා දමීමු. ඉන්පසු එය ඔහුට නොදුන් අප සඟවා තැබීමු. එය තිබුණේ සුමියාගේ භාරයේය. පසුවාදා උදේ පර්ස් එක හොයා වෙස් පෙරළියක් කල ගිජාට අපි ගැන දක්වන ඇල්මැරුණු උනන්දුව සැකයට හේතු විය. සියල්ලන්ගෙන් අසා අවසානයේ සුමියා ළඟට ගිය විට, "මේ තියෙන්නේ ගිහිං අරන් වරෙන්" යනුවෙන් පවසා අසල ඇති ජනේලයෙන් අල්ලපු වත්තට එය විසි කර දැමීම අප කවුරුත් අපේක්ෂා කල දෙයක් නොවුණත්. කේන්ති ස්වරූපයක් දැක්වූ ගිජා අල්ලපු වත්තට ගොස් එය රැගෙන එනදෙස අප මෑත් වී ජනේලයෙන් බලා උන්නෙමු. එවැනි කිසිම මොහොතක කලහාකාරී හැසිරීමක් නොදක්වන එක ගිජාගේ සිරිතයි.

ලණු කැවීම අංක දෙක ලෙස සටහන් කල හැක්කේ පොඩි රවියා දුන් ගුලියකි. ඒ තමා සමග අනියම් සම්බන්ධයක් පවත්වන අක්කා කෙනෙකු ගැනයි. ඇයගේ සැමියා සිටින්නේ පිට රටක බවත්, ජනේලයේ ග්‍රිල් එකේ අැණ ඉවත් කර ඇති නිසා තමන් පහසුවෙන්ම රාත්‍රියේදී එම නිවසට ඇතුළු වන බවත්. ආපසු එන්නේ පැය කිහිපයක් එහි ගත කල පසු බවත්. කැමතිනම් තමාට අක්කා අපට කැමති කර දීමට හැකි බවත් රවියා කියාගෙන යයි. සත් කුමාර මේ සියලු දේ දෙස බලා සිටින්නේ සැක මුසුවය. නමුත් ගිජා මේවා ගැන අසන්නේ ඉතාම උනන්දුවෙනි. "හරි ඊළඟ සතියේ මැද නිවාඩු දවසක් එනවනේ. අම්මා කිව්වා එදාට බ්‍රාන්ච් එක වහනවා කියලා. අපි එහේ යමු". දැන් ගිජා වැඩේට සුදානම්ය. නිවාඩු දිනයේ මෙහි නොරැඳී සුමියා හලාවතටද සත්කුමාර ජාඇලටද පිටත් වුයේ පෙරදින සැන්දෑවේය. ඉතා අලස ලෙස උදේ කාලය ගෙවා දැමු අප ටවුමට බඩ ගෑවෙමු. ජංගම දුරකථන බහුල නොවූ මෙන්ම ඒවායේ ඇති අධික මිල ගණන් නිසා ඉතා අඩුවෙන් කෝල් ගැනීමට යොමු වූ යුගයක, ටවුමේ පොඩි රවියා නිතර යනෙන කඩයකට ගොඩ වී තේකක් බී බලා සිටියෙමු.

රවියා පැමිණියේ බයිසිකලයකය. එයද එහි දමා අපව අතුරු පාරවල් ගණනක කැඳවාගෙන ගොස් නිවසක් අසල පාරේ අප දෙදෙනා රඳවා රවියා ඇතුළට ගියේය. සිදු වන්නේ කුමක්දැයි මම සහසුද්දෙන්ම දැනගෙන සිටි නිසා, නිවාස දෙසවත් නොබලා පාරේ යනෙන වාහන සහ මිනිසුන් දෙස බලා සිටියෙමි. නමුත් ගිජාගේ ඇස යොමු වී තිබුණේ එකී නිවාස දෙසටයි. තවත් සුළු මොහොතකින් රවියා පැමිණියේ ශෝක මූඩ් එකක් දමාගෙනය.

"
හරි වැඩේ මචං අක්කා පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා. අද බෑ කිව්වා. වෙන දවසක නොවැරදීම එන්න කිව්වා
 මෙය ඇසු ගිජාගේ මුහුණ තුළ තිබූ බලාපොරොත්තු සහගත බව පහව ගොස් අපේක්ෂා භංගත්වය ඉස්මතු වන අයුරු දැකගන්නට තරම් මම භාග්‍යවන්ත වීමි. එවැනි අවස්ථාවක හේ තනිවම කියවයි. මුහුණ මත තම වමතේ දබරැඟිල්ල තබාගෙන ගැඹුරුව කල්පනා කරයි. වේගයෙන් හුස්ම ගනියි. හිටපු ගමන් අශ්වයෙකු මෙන් නහයෙන් පිඹියි. තනිකරම විකෘත්ති ස්වභාවයක් ගනියි. ඉන්පසු අප තිදෙනා කිසිම කතාවක් නොමැතිව නගර දෙසට ගමන් ගතිමු. සවස් තුනත් හතරත් අතර මොහොතක වුවද, අකාශය අඳුරු කර තිබීම නිසා, රාත්‍රිය එළඹෙමින් තිබේ යයි කෙනෙකුට සිතෙන පරිසරයක් ඇත. මේ මොහොතේ වීදීය පාළුවට ගොසිනි. තවත් සුළු මොහොතකින් අප ඉදිරියට පැමිණියේ නගරයේ අයාලයේ යන බැල්ලියකි. ගිජාගේ කටහඬ නැවතත් අවදි විණි.

"
දැන්නම් මට අන්න අර බැල්ලි හරි කමක් නෑ
 අප දෙදෙනාට හිනාව නතර කර ගන්නට හැකියාවක් නොවීය. තවත් මොහොතකින් අපගේ හිනාවට ගිජාද එකතු වේ. මෙසේ රසවත්ව ගෙවූ කාලයක් නිමාව දකිමින් තිබෙන සමයක තවත් දිනක සවස් වරුවක ගිජා සහ මම පමණක් ඉතිරි වනසේ, අනෙක් අය ගම්බිම් බලා පිටත් වුහ. අප දෙදෙනාට කළහැකි දෙයක් නොවිණි. පාසල් නිවාඩු කාලයේ කුලියාපිටිය නගර මධ්‍යයේ ඇති මහා විද්‍යාල භූමියේ ඇති කානිවල් එක දෙසට ඇදෙන ජනයා දෙස බලා සිටින අපටද එයට එකතු වීමට අදහසක් ඇති විය. වෙලාව යන්තම් රාත්‍රී හත වන්නට ඇත. මම සිටියේ ටී ෂර්ට් එකක් සහ ෂෝර්ට් එකකින් සැරසීය. නමුත් සිවිල් පිටය. ගිජා කෙලෙසක සිටියාදැයි නොදනිමි. තවත් මිනිත්තු කිහිපයකින් කානිවල් පොළට ළඟා වූ අප ටිකට් දෙකක් ලබාගෙන එහි ඇතුළත් වීමු. මොහොතක් ඔබ-මොබ සක්මන් කල අපට තරමක් සෙනග වට වී සිටින මාරක ළිඳේ මෝටසයිකල් දසුන දැකීමට සිත් විය. මා ඊට පෙර කිසිදිනක එවැන්නක් නරඹා නැත.

අප දෙදෙනාද එහි සිටින සෙනගට එකතු වුණෙමු. වටේට කඹ දමා ලෑලි වලින් තනා ඇති මාරක ළිඳ උද රඳවා ඇති වේදිකාවේ අප දෙදෙනාට එකම තැනින් හිටගන්නට හැකියාවක් නැත. ළමයෙකු තම දකුණු අතින් දරාගෙන සිටින තරුණ කාන්තාවකගේ වම් පසින් මමද, ඇයට දකුණු පසින් ගිජාද සිට ගතිමු. තවත් මිනිත්තු කිහිපයක අවෑමෙන් දර්ශනය ආරම්භ විය. මෝටර්සයිකල් යනුවෙන් දැන්වීම් කර තිබුණද, පතුලේ ඇති දොර ඇරගෙන එහි පිවිසියේ පාපැදියක් සමග සර්කස් කරුවෙකි. පාපැදියට ගොඩ වූ ඔහු මුලින්ම එහි පතුලේ රවුම් කිහිපයක් පැද එක්තරා වේගයකට පැමිණි පසු මදක් ඇලයට ලීයෙන් සාදා ඇති එහි බිත්ති දිගේ ගමන් කරන්නට පටන් ගන්නා ලදී. විටෙක ඉහළ දෙසටත් තවත් විටෙක පහළටත් ආනත වෙමින් ධාවනයේ යෙදුණු ඔහු ක්‍රමයෙන් වේගය අඩු කරමින් නැවතත් පතුලට නිරුපද්‍රිතව ගමන් ගත්තේ, එහි වුන් අප කාගේත් සිත් වලට සැනසීමක් එකතු කරමිනි.
පින්තූරය : gettyimages

ඉන්පසු කොහෙන්දෝ හඬකින් කියවුණේ, අවසන් වුයේ එහි පළමු අදියර බවත්, එහි නියම අංගය වන මෝටර් සයිකල් ධාවනය තවත් සුළු මොහොතකින් ඇරඹෙන බවත්වය. එයට සමගාමීව මෝටර් සයිකලයක් පණ ගන්වා රේස් කරන හඬ ඇසිණි. මෙවර දොරෙන් ඇතුල් වුයේ ට්‍රේල් වර්ගයේ මෝටර් සයිකලයකට ගොඩ වූ රේස් කරුවකු මෙන් හැඳ පැළඳ ගත් මිනිසෙකු. ඔහු පැමිණි විගස ඇතුල් වන දොර වසා දැමිණි. මෝටර් සයිකලයේ ප්‍රධාන ලාම්පු දල්වා ඇත. එයට අමතරව ටකරං පියස්සේ එල්ලන ලද විදුලි පහනකින් ඇතුළේ සිදු වන්දේ පැහැදිලිව දැක ගත හැක. සයිකල් කරුවා මෙන්ම මද වේගය වැඩි කරමින් තරමක වේගයටත් තවත් මොහොතකින් ඉතා වේගවත් මට්ටමකට තම මෝටර් සයිකලය පැදවූ ධාවකයා සුළු මොහොතකින් ලෑලි බිත්තිය දිගේ ධාවනය ආරම්භ කළේය. බයිසකලය ගමන් ගනිද්දී නොගස්සුණු විලස ලී අට්ටාලයක් බඳු ළිද ගැස්සෙන්නට පටන් ගත්තේ එහි වුන් සියල්ලන් තුළම යම් භීතියක් ඇති කරමිනි. එහෙත් සියල්ලන් පසු වුයේ නිර්වින්දනය කල ස්වභාවයකිනි. අපගේ තොල් කට වෙලී ඇත. ධාවකයා ඉතා වේගයෙන් එහි බිත්ති දිගේ ගමන් ගනිද්දී ඇති වන ගැස්සීමෙන් බියක් ඇති වූ කාන්තාවා මගේ දකුණු අත අස්සෙන් අ යවා තදින් මගේ අත ග්‍රහණය කර ගත්තේ තම පෙම්වතාවගේ අතෙහි වේලෙන යෞවනියක් පරිද්දෙනි. මෙම නුහුරු හැගීමෙන්ද, ගැස්සෙන වේගය නිසා ඇතිවන භීතියෙන්ද මා සිටියේ සිහින ලෝකයකය. ඇගේ පහස මට නොදැනුණා නොවේ.

මෙසේ මිනිත්තුවක් ගත වන්නට ඇත. තවත් සුළු මොහොතකින් වේගයෙන් මගේ අතින් ඇගේ ඇත මිදෙනවා මට දැනිණි. මමද වෙනසක් නොදක්වා කඹය අල්ලාගෙ ධාවකයා දෙස නෙත් යෝමාගෙනම සිටියෙමි. නමුත් සිදු වුයේ කුමක්දැයි ප්‍රහේලිකාව මා තුළ විය. තවත් මිනිත්තු කිහිපයකින් වේගය අඩාල කර, සයිකල් කරුවා පරිද්දෙන්ම එහි පතුලට ගමන් ගත් ධාවකයා සයිකලය නතර කළේය. අපද හනි-හනිකට පහළට බැස ගමන් ගතිමු. අප ආපසු යන ගමනේදී සිදු වූ සිදුවීම මම ගිජාට පැහැදිලි කළේ ඒකාව මේ කථාවෙන් මවිතයට පත් කරන බලාපොරොත්තුවෙනි. මා කථාව අවසන් කළපසු හඬ අවදි කල ගිජා


උඹ හිතාගෙන හිටියේ මම දැක්කේ නෑ කියලද? මමත් බලාගෙන හිටියේ. මටත් ඉන්න බැරි වුණා බං. මම වම් පැත්තෙන් අත දාලා පු* මිරිකුවා.සිදු වූ දේ පැහැදිලි වන්නට මට වාක්‍ය කිහිපය ප්‍රමාණවත්ය.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...