මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා. ඒත් මම දකින කියන දේ බෙදා ගන්න තවමත් මුහුණු පොතට වඩා බ්ලොග් හොඳයි කියන අදහස මා දරන නිසා යලිත් බ්ලොග් එකටම රිංගුවා.
අමුදා මට මුණ ගැහෙන්නේ අහම්බයෙන්. ඇත්තටම ඒක අහම්බයක්මද ? ඔව්. මම උවමනාවෙන්ම ඇය සොයා නොගිය නිසා එය අහම්බයක් ලෙස සටහන් කරන්න පුළුවන්. අමූදාව මම දැක්කේ මැලේසියාවේ, ක්වාලාලාම්පුර් නගරයේ, ඉම්බි කියන ප්‍රදේශයේ තියෙන ටයිම් චතුරශ්‍රයට ප්‍රවේශය සපයන ගුවන් පදික මාරුව අබියසදී. දැන් ඔබට මේ අමූදා කියන්නේ කවුද කියන එක ගැන ලොකු කුතුහලයක් ඇති වෙලා ඇති. නමුත් මා තුල සිටින සැඟවුණු මාධ්‍යවේදියා නිසා තමයි අද මේ සටහන තබන්න කරුණු-කාරණා ගොනු කර ගන්න ලැබුණේ. ඕනෑම දෙයකට හොස්ස පොවලා බලන එක සිංහලයාගේ සිරිත නිසාමදෝ මන්දා මමත් අමුදා ළඟ මොහොතක් නැවතුණා.
මම තුන්වෙනි වතාවටත් මැලේසියන් භූමියට පය ගැහුවේ, පෙර පරිදිම ක්‍රිකට් සංචාරයක් සඳහා. අතරින් පතර ලැබෙන විවේකයේදී සාප්පු සවාරියේ යෙදෙන එක, මේ වගේ සංචාරයක වැදගත්ම කොටසක්. තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට, ඒ වගේම තමන්ට ඕනෑ කරන දේවල් ගන්නත් මේ වගේ විවේකී වේලාවන් කළමනාකරණය කර ගැනීම වැදගත්. මට මොනවද ගන්නේ කියන එක පිලිබඳ පැහැදිලි අදහසක් නැති වුණත්, මේ ටයිම් චතුරශ්‍රය ආශ්‍රිතව තිබෙන ලෝ-යැට් ප්ලාසා එකට හැම වතාවකම නොවැරදීම යන එක මගේ පුරුද්දක්. ඒ පරිගණක/ජංගම දුරකථන වලට නම ගිය ස්ථානය මේක නිසා. නිකං රවුමක් ගැහුවත්, අද ලෝකයේ තිබෙන නවීන තාක්ෂණය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මිලට වඩා අඩුවෙන් යමක් ගන්නත් පුළුවන්. හැබැයි මෙතැන ඉන්න බොහොමයක් වෙළෙන්දන් කයිරාටිකයෝ. මට මෙතනින් කර ගන්නම අවශ්‍ය වූ දෙය තමයි, මගේ අලුත් ටැබ්ලට් සහ නෝට්බුක් අතර ඇති උපකරණයේ තිරයට ආවරණය දා ගන්න එක. මොකද මේ ටච් ස්ක්‍රීන් ටිකක් අතපත ගානකොට ඉරි ඇඳෙන නිසා. කෝ අමුදා ? ඔබට හිතෙනවා ඇති. ඉන්න මම කියන්නම්.
මම අමූදා සිටින ස්ථානයට යනවිටත් හීන් බඩගින්නක් දැනීගෙන එමින් තිබුණා. ඉතිං මගේ ප්‍රමුඛතා අතර බඩ පුරවාගැනීමත් තිබුණා. මේ වනවිට මම අතින් කටින් බඩු මලු කිහිපයක් එල්ලාගෙන උන්නේ. ඔවුන් තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ පෙරකී පඩිපෙළ යට තිබෙන හෙවනේ. මේ පදික මාරුවක් අපේ රටේ තියෙන ඒවාට වඩා තරමක් ඉහළින් තියෙනවා කියන එක තමයී මගේ විශ්වාසෙ. ඒ වගේම මේවායේ පඩි වලට අමතරව එලිවෙටර් එකකුත් තිබෙනවා. මේ පඩිපෙළ එක් අතකින් ඉම්බි ගුවන් දුම්රිය ස්ථානයට පිවිසුම සපයනවා. ඒ කියන්නේ අමුදා ඉන්නේ ඉම්බි දුම්රියපොළ යට. අපේ රටේ වගේ ඉතාම ජරාජීර්ණ වූ ස්ථානයක් ඔබේ මතකයට එනවාද ? නමුත් මේවා ඉතා පිරිසිදු ස්ථාන බව සඳහන් කරන්නම ඕනේ. ලංකාවේ නම් මේ වගේ තැන් වල අපිට නවතින්න හිතෙන්නෙම නෑ. ඒ පික්-පොකට් තර්ජනය ප්‍රධාන හේතු ගණනාවක් නිසා. නමුත් පික්-පොකට් ගැහිල්ල අතින් මැලේසියාව අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනවා. ඒ මේ වගේ ජනාකීර්ණ තැන් වලදී ඔබේ පසුම්බියට විදීමෙන් පමණක් නෙවෙයි, ඔබට නොදැනීම ඔබේ මුදල් වලට හෙමිහිට විදින ක්‍රමත් ඔවුන් සතු නිසා. නොකියාම බැරි වුණත් ඒ කාරණයත් කියන්න ඕනේ.
මේ ටයිම් චතුරශ්‍රයයේ බිම් මහලේ තියෙන ආහාර අංගනයට මම අවස්ථාවක ගොඩ වුණේ, ඉතාම අධික බඩගින්නකින්. මම හිතන්නේ හවස තුනත් පහු වෙලා. එයාලගේ ළඟ ලෝකයේ බොහෝ රටවල රසයන්ගෙන් යුක්ත ආහාර සපයන කවුන්ටර ගණනාවක්ම තියෙනවා. මටත් උවමනා වුණා, ඉක්මනට බඩට මොනවා හරි දා ගන්න. මම ආහාර පිඟාන කැමති දේ වලින් පුරවාගෙන ගෙවන්න සුදානම් වුණාම තමයි තේරුම් ගියේ, ඔවුන් මුදල් ලබා ගන්නේ කලින් නිකුත් කල කාඩ් පතක් මගින් කියලා. ඉතිං මට සිදු වුණා, කෑම පිඟාන පැත්තකින් තියලා මේ කියන කාඩ් පතක් මිලදී ගන්න. ඒ සඳහා මැලේසියන් රිංගිට් විස්සක අවම මුදලක් ගෙවන්න සිදු වුණා. නමුත් මගේ කෑම වේල රිංගිට් නමයයි ගණනක්. මට බොන්න දෙයකුත් අවශ්‍ය නිසා මම විස්සේ කාඩ්පතක් ගත්තා. නමුත් මෙහි මිලදී ගැනීමේ හැකියාව දහනමයක් පමණයි. අත යටින් රිංගිට් එකකට විදලා. අපේ මුදලින් රුපියල් තිස් හතක් විතර. මේ වගේ ගනුදෙනු කරුවන් ගසාකන විවිධ ක්‍රම මේ ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ස්වදේශිකයන් මේවා ගැන දැනුවත්. ඔවුන් මේ පැතිවල කරක් ගහන්නෙත් බොහොම අඩුවෙන් බව මගේ මිතුරෙක්(මැලේසියානු) පවසා සිටියා.
අමුදාගේ පෝලිමේ සිටින තෙවන ගනුදෙනු කරු මම. මට කලින් සිටින්නේ සිරියානු කතක්. ඇය සිරියාව හැරපියා මැලේසියාව නිජබිම් කරගත් අයෙක්. මා ඇයත් සමග දොඩමලු වුණේ, එහි තත්වය පිලිබඳ පැහැදිලි අවුබෝධයක් ලබා ගන්න. මා පවසා සිටියා සිරියාව මුහුණ දුන් තත්වය පිලිබඳ අප ඉතා කනගාටු වූ බව. ඒ වගේම යුද්ධයේ අත්දැකීම් ඇති අප වැනි රටකට එය තදින් දැනෙන බව. ඇය දුන් පිළිතුර මා අන්ද-මන්ද කිරීමට සමත් වුණා.
"ඔබ සිතන්නේ මාධ්‍ය වල තිබෙන සියළු දේ සත්‍ය යයි කියාද ?"
මේ පිලිබඳ යම් අවුබෝධයක් මා සතු නිසා, මා ඇයගේ අදහස හා එකඟ වුවා. යම් මාධ්‍යවේදියෙකු අහම්බෙන් ගොඩ වැදී ඉදිරිපත් කරන අදහසට වඩා බොහෝවිට සත්‍ය සහමුලින්ම වෙනස් බව අප අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් අද සමාජ මාධ්‍ය ජාලා ප්‍රධාන ධාරාව අභිබවා මේ කර්තව්‍ය සිදු කරන නිසා, සත්‍ය වේගයෙන් ලොව පොරා ගලා යනවා.
අමූදාගේ තමන්ගේ ජීවන අරගලය ගෙන යන්න දෙන සටන ගැන මට එක්තරා ආඩම්බරයක් මෙන්ම දුකක් ඇති වුවා. ඇය තමන්ගේ රැකියාව කරන ගමන්ම චතුර ලෙස ඉංග්‍රීසි හසුරවමින් අප හා දොඩමලු වුණා. අයිස්ක්‍රීම් කෝටුවක, සිහින් නයිලෝන් නූල් පාට දෙකකින් යොදාගෙන ගනුදෙනු කරුවාගේ නම වියමින් කළ කී ටැග් නිෂ්පාදනය ඇයගේ ජීවන වෘත්තීය වී තිබෙන්නේ බොහෝ කලක පටන්. මම ඇයගේ අවසරයෙන් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් ලබා ගත්තේ බ්ලොග් ගැන සිහින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්. මා ශ්‍රී ලංකාවේ බව දැනගත් පසු ඇය පවසා සිටියේ, පාසල් අවධියේ ජනාධිපති ප්‍රේමදාස මහතා ඔවුන්ගේ පාසැලට ආ බවත්, ඈ හා කතා කොට ඇති බවත්ය. එතුමා ගැන ඉතා පැහැදීමකින් ඇය කථා කළා. ඒසමගම නොබෝ දිනකින මැලේසියානු නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් ප්‍රදර්ශනය සඳහා පුහුණු වන මිග් යානා ගමන් කරන හඬ ඇසුණා. ඒ ගැන සඳහන් කරමින් ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්. මගේ මුවගට සිනහවක් නැගුනත්, මා කිසිවක් පැවසූවේ නෑ.
තමා මේ ශිල්පය උගෙන ගත්තේ පාසල් අවධියේ බවත්, අද සිටින දරුවන් මෙවැනි දෙයක් ඉගෙන ගැනීම වෙනුවට ජංගම දුරකථනයක් හසුරුවමින් සිටින බවත් චෝදනාත්මක මුඛයෙන් ඇය පවසා සිටියා. මිනිත්තු කිහිපයක් වැනි කුඩා කලකින් එය සාදා නිම කරන්න ඇය සතුව ඇති නිපුණත්වය මා තුල පුදුමයක් ජනිත කළා. මන්ද එය මාගේ සිත පරිගණක (ඩොට් මෙට්‍රික්ස්) මුද්‍රණ තාක්ෂණය වෙත ගෙන ගිය නිසා. 7 x 5 ආකාරයෙන් තිත් යොදා ගනිමින් අකුරු නිර්මාණය වන ආකාරයටම ඇය මෙම නූල් කැබලි හසුරුවමින් අපුරුවට තම ගනුදෙනු කරුවන්ගේ නම් වියමන් කරන්නට සමත්. පහලින් තිබෙන පින්තූර වලින් වගේම වීඩියෝවෙන් එය සිදු වන ආකාරය පිලිබඳ යම් අදහස ගන්න පුළුවන්.
මේ සඳහා ඇය යොදා ගන්නේ කතුරක් සහ ලයිටරක් පමණයි. මේ නූල් කෙලවර ලිහීම වලක්වන්න ඈ ලයිටරයෙන් පුච්චා සීල් කරනවා. කතුර යොදා ගන්නේ සමාන දිගට ඒවා කපා ගැනීමටයි. මෙහි තිබෙන ගනුදෙනුකරුවන්ගේ නම් සටහන් කරගන්නා පොත සහ නිමකර ඇති අනෙකුත් කී ටෑග් කිහිපය දුටු විට ලෝකයේ විවිධ ජාතීන් වල අය, මේ නිෂ්පාදනය ආකාර්ශනය කරගෙන තිබෙන බව පැහැදිලියි.
"සහෝදරයා මගේ ස්වාමියා හමුදා නිලධාරියෙක්. එයාට මෙහෙම ඉරක් ඇන්දොත් කෙලින් තියෙන්න ඕනේ. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දෙන්නා දැන් වැඩිහිටියෝ. කොල්ලෝ දෙන්නා. ඒ දෙන්නාට රෑ දහයෙන් පස්සේ ගෙදර එන්න එයාගෙන් අවසර නෑ. දවසක් උන් දෙන්නාට අපේ එක්කෙනා මෙහෙම කිවුවා
"මම දන්නවා උඹලා ඉන්නේ ක්වාලා ලාම්පූර් වල කියලා. ඒ වුණාට රෑ දහයට කලින් ගෙදර ඉන්න ඕනේ"
මේ ළමයි කරන හැම වරදකට, එයා දොස් කියන්නේ තමුසේගේ දරුවෝ. මට අහන්න හිතෙනවා මගේ විතරක්ද කියලා. ඒ වුණාට මම අහන්නේ නෑ.
මම බැන්දේ ආදර සම්බන්ධතාවයකින්. බඳින්න කලින් මම මේ තරම් උස(අඟල් පහක් විතර දෑතින් පෙන්වයි) සපත්තු දාගෙන ක්ලබ් ගානේ ගිය කෙල්ලක්. නමුත් බැන්දට පස්සේ ඒ මොනවත් නෑ. නමුත් දවසක් මේ කතාවක් දිග්ගැස්සිලා, එයා මට 'පලයන් ගෙදර' කියලා කිව්වා. මමත් කඳුළු පුරෝගෙන අපේ ගෙදර ගියා. අපේ අම්මා මට දුන්නා නියම ලෙක්චර් එකක්.
"මේ අහගනින්, බැඳපු ගෑණියෙක් ගෙදර එනවනම් එන්න ඕනේ තමන්ගේ මිනිහත් එක්ක. මෙහෙම තනියෙන් ආවොත්, උඹට වෙන්නේ, ඒකාගෙන් දික්කසාද වෙලා වෙන මිනිහෙක් එක්ක යන්න. එහෙම ගිය දාක, ඒ මිනිහා උඹගෙන් අනිවාර්යයෙන් අහනවා, කලින් මිනිහා ගැන. ඒක ඉවර වෙන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා උඹ ආපු අතක් බලාගෙන පළයන්. එනවනම් වරෙන් මිනිහත් එක්ක"
සහෝදරයා, මම ආපහු ගෙදර ගිහිං, ඉකි ගහ-ගහ දවස් ගානක් ගත කළා. කොහොම හරි අපි දෙන්නා තවමත් එකට ඉන්නවා. අපේ පුත්තුන්ටත් මේ වැඩේ ටිකක් පුළුවන්. උත්සව කාලෙට ලොකු ඕඩර් එනවා. මහත්තයා දැන් පෙන්ෂන්. ඒත් මගේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න මම මේක කරගෙන යනවා.
මේ දුවට වයස කීයද ? එයා ටිකක් ට්‍රයි කරනවා නේද ?
අයියෝ සහෝදරයා, මෙයා මේක ඉගෙන ගනීද කියලා මට සැකයි. දැන් ළමයි මෙහෙම එකතැන ඉඳගෙන වැඩක් කරන්න කැමති නෑ.තවත් වෙලා ඇය සමග දොඩමළු වීමට අවශ්‍ය වුවත්, මට තිබෙන සීමිත කාළය කළමනාකරණය කරගත යුතු බැවින් ඇයගේ ගාස්තුව වූ රිංගිට් දහය ගෙවා පිටත් වූවෙමි.
එහි සිටි කාළය තුළ, ඇයට යාබදව මෙමරි කාඩ් වෙළඳාමක් කරන කම්මැලියා මට රජ ගහේ ඇණයක් විය. ඔහුගෙන් මෙමරි කාඩ්පතක් මිලදී ගන්නා ලෙස බොහෝ වාර ගණනක් ඇවිටිලි කලද, මා ඊට හසු වුයේ නැත. ඒ වෙනුවට මා ඔහුට රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොත ඇසුරින් දේශනයක් දුන්නෙමි. ඒ අයිස් ක්‍රී වෙළෙන්දාගේ කඩදාසි කෝප්ප අවසන් වූවිට, යාබදව වොෆල් වෙළෙන්දාගේ මන්දගාමීව විකිනෙන වොෆල් ඉල්ලා, එයින් කෝන් සාදා, ඒ තුලට අයිස් ක්‍රීම් දමා විකුණා ගිය ගමන, අද ඔබ වෙතට පත් වන අයිස් ක්‍රීම් කෝන් එකෙහි මූලාරම්භය බව මගේ මතකයට ආ විටය. මා ඔහුට පවසා සිටියේ, මෙමරි කාඩ් පතක් මිලදී ගන්නේ නම්, අමුදාගෙන් නම් කිහිපයක් සාදා ගැනීමට අවස්ථාවක් සපයන බවට පවසා මෙමරි විකුණන ලෙසය. එය තේරුම් නොගත් ඔහු මා හට පැවසූවේ, කුඩා කල සිට තමා උනන්දු වුයේ බොක්සිං ක්‍රීඩාවට නිසා, තමාට මේ ඉරණම අත් වූ බවය.
නියමයි. පොඩි කඳුළු කතාවකුත් යනවා පැත්තකින්. දිරිය ගැහැණුන්
ReplyDeleteමම හැම තිස්සෙම කියන දෙයක් තමයි, අපේ මිනිස්සු ලංකාවේ තියෙන රැකියා අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නේ නැහැ කියන එක. හැමෝටම ඕනේ ඔෆ්ෆිස් රස්සාවක්. බලන්න බැංකොක් නගරයේ පලතුරු, කී ටැග්, සුකුරුත්තන් විකුනලා ජීවත් වෙන තරුණ/තරුණියෝ කී දෙනෙක් ඉන්නවද ? අපේ මිනිස්සු ඒවා කරන්න කැමති නෑ. ලංකාවේ කොහෙවත් වරකා විකුනනවා මම දැකලා නෑ, ඒත් බැංකොක් වලින් සෙලොෆෙන් බෑග් එකකට දාලා ගම්මිරිස් ලුණුත් එක්ක කන්න, කූරකුත් දෙනවා. ඒ පැත්තෙන් ඒ මිනිස්සු Value Addition එකකුත් කරනවා. පිරිසිදුවට ඇඳන් ලස්සනට ඉන්නවා. දැක්කම ප්‍රියමනාපයි. පලතුරු කපන විදියට වෙනස්. පේර, ගස්ලබු, දුරියන්, වරකා, මෙලන් මේ වගේ විකුනනවා. තවත් පලතුරු වර්ග තියෙනවා. මේවා ලංකාවේ නැද්ද ?
Deleteඑහෙම කළොත් සංචාරකයෝ විතරක් නෙවෙයි, අපේ අයත් ගන්නවා.
අපේ පලතුරු විකුණන මිනිස්සු දැක්කම බය හිතෙනවා, නාවර පෙරාගෙන, සිගරට් බීඩි ගහගෙන, මූණේ අලි ගෙඩි තියෙන අය, පච්ච ගහලා, යක්කු වගේ. කාන්තාවෝ(වයසක) අය ඉඳහිට ඉන්නවා. ඒ ඇයට වෙළඳාමක් තියෙනවා.
බොහෝ තරුණයෝ සාමාන්‍ය පෙළ පහු කරපු ගමන් ත්‍රී වීල් එකක් ගන්න තමයි සැලසුම. මේක එක්තරා ඛේදවාචකයක්. ශ්‍රම බලකායට තරුණයන් එකතු නොවීම. ආරංචි විදියට මේකට නීතියක් ගේන්න යනවා. හොඳ වැඩක්. මේ වගේ කාන්තාවෝ ගෙන්වලා අපේ ඇයට වැඩමුළු තියලා උගන්වන්න ඕනේ. රැකියා හදන්න පාලකයින්ට බෑ. නමුත් තමන්ට ජීවිකාවක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒකට ඕනේ ආත්ම විශ්වාසය.
මේ කතාව මං අහලාගොඩක් කල්
ReplyDeleteමමද කිව්වේ ?
Deleteමේ පෙනෙන්නේ පෙරදිග සංස්කෘතියේ කැඩපතක් නේද? එහෙමත් නැත්නම් බහුතරයක් ආසියාතික රටවල තිබෙන පවුල් සංස්ථාවේ පොදු ලක්ෂණ නේද? අපි හිතනවා ඊළඟ පරම්පරාවේදී මෙහි වෙනසක් වෙයි කියලා. නමුත් අපේ චින්තනය තමයි ඊළඟ පරම්පරාවටත් සන්නිවේදනය වෙන්නේ.
ReplyDeleteසුදීක, ඔබේ අඩවියට පිවිසී තත්පර කීපයකට පසු අඩවිය විකෘති වී පෙනෙනවා. මම මගේ බ්‍රව්සර් එකේ මතකය පිරිසිදු කළා. නමුත් වෙනසක් නැහැ. මේ ප්‍රශ්නය එන්නේ ඔබේ අඩවියේදී පමණයි. මේ බලන්න.
https://jangun.files.wordpress.com/2016/09/screenshot-108.png
මුළු ආසියාවම කියන්නත් බෑ. අමුදා අයිති වෙන්නෙත් දකුණු ආසියාවටම තමා. මොකද ඉන්දියන්(දමිළ) සම්භවයක් ඇයට තියෙන්නේ.
Deleteමේ ප්‍රශ්නේ ආවා මට මතකයි, මොබයිල් වලින් යන අයට.
අර මම දාලා තියෙන සෙට්ඩිකෝඩ් කියන ගැජට් එකෙන්, ෆොන්ට් නැති තැන් වල ලස්සනට පෙවන්න මොනවා හරි කරනවා. ඒක ඇක්ටිව් වෙලා තමයි ඒ වැඩේ වෙන්නේ. පේජ් එක ලෝඩ් වෙච්ච් ගමන් ස්ටොප් බට්න් එක ප්‍රෙස් කරන්න. එතකොට කියව ගන්න පුළුවන්.
Deleteඅදනම් ප්‍රශ්නයක් නෑ. ගිනි නරියාගෙන් බැලුවමත් ප්‍රශ්නයක් නෑ.
Deleteදිරිය ළඳක්.
ReplyDeleteසහතිකවම. ඇයවා යොදාගෙන වැඩමුළු පවත්වන්න තරම් ඇය පරිණතයි.
DeleteVery good writing DK.
ReplyDeleteNothing escapes from your sharp eyes.
Deleteනියම දක්ෂතාවයක් වගේ. අර කිවුවත් වගේ දැං ළමයි ස්මාට් ෆෝං එක්ක සෙල්ලං දානව මිසක ඔය වගේ අත්හුරු දේකට යොමුවෙන්නෙ නෑ.
ReplyDelete//ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්.// හැක්. හැක්..
සුදීක ට මොකෝ උනේ. හැක්..
Deleteඔව්. මේවා ආදර්ශයක් ගන්න රුපවාහිනි වල පෙන්වන්න ඕනේ.
Deleteඔය ටුවර් එකේ වැඩ වලට හිර වෙලා හිටියේ.
මට මතක් වුනේ කපුගේ කියල "ලෙලි තලන නුඹේ අතට " ගීතය මචෝ .දිරිය කාන්තාවක් .මෙහෙම හරි ලියපන් ...
ReplyDeleteලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙණසුරුට පෙම් බඳින දෝනී
නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....
ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනු නිර්මාණය හා සංගීතය-ගුණදාස කපුගේ
ඔව් මචං මේක අත අරින්නම හිතෙන්නේ නෑ.
Deleteසුදීක වෙනුවට දිල්රුක් ඇවිත්. කතාකලොත් මිනිස්සුන්ගෙ ඇතුලාන්තයෙ කතා ගොඩක් හැංගිලා තියෙනවා
ReplyDeleteපළවෙනි වාක්‍යයයි දෙවෙනි එකයි සම්බන්ධයක් නෑ කියලා මම හිතනවා. ඔව්. මිනිසුන්ට ඇහුන්කන් දෙන්න පුරුදු වුණොත් අපූරු දේවල් හොයා ගන්න පුළුවන්.
Deleteආපු පයට වටිනවා.. ලස්සන ලිවිල්ලක් සුදීක.. මේ ආසියානු ඌරුව නැත්නං අපි ස්වාධින නං රට මීට වඩා දියුණුයි.. කව්රුත් බයය් තනියම නැගිටින්න.. ජය
ReplyDeleteඔව්. මේ මට්ටමේ මිනිස්සු අතට සල්ලි එන ක්‍රමයක් තමයි ඕනේ. අර බන්ගලිදේසේ ග්‍රාමීන් වගේ. එහෙම කලොත් විතරයි ආර්ථිකේ දියුණු වෙන්නේ.
Deleteහොඳ කතාවක්. තව ඇති නේද කතන්දර. කම්මැලි නැතුව ලියපං
ReplyDeleteමේ සංචාරේ අහුවුණු වැදගත්ම කතාව මේක. තව පොඩි - පොඩි නිරීක්ෂණ දෙක තුනක් තියෙනවා. බලමු පස්සේ වෙලාවක.
Deleteඔය පැත්තට අපි නිතර යනවා. මම ඔය කඩවලින් නම් කවදාවත් බඩු අරන් නෑ. අපරාදේ සුදික අයියා නිකමට එනවා කියල කිව්වා නම් ඇවිල්ල හම්බ වෙන්න තිබුනා. ආයේ ගිය වෙලාවක අමුදා එක්ක කතාවක් දාල බලන්නම්කෝ.. හෙහ් හෙහ්
ReplyDeleteලබන අවුරුද්දේ මුල් මාස දෙක තුණේ එන්න චාන්ස් එකක් තියෙනවා. ඒ පාර අනිවාර්යෙන් මුණ ගැහෙමු.
Deleteඅමූදා දිරිය ළඳක්..
ReplyDeleteඉස්කෝලෙ යන කාලෙ ඩී.එම්.සී නූල් සහ විම් බෝතල් වලින් පටි කපාගෙන ඔය අත් පලඳනා වියාගත්තා මතකයි. සංචාරකයන් ආශ්‍රිතව නැගල යන වැඩක්.ලංකාවෙ කානිවල් ආශ්‍රිතව තියනවා හාල් ඇටයක නම ලියල විදුරු බටයක් ඇතුලට දාලා පෙන්ඩන්ට් හදන වැඩ එහෙම.
ජයවේවා..!!
මේ කතාවේ ගන්න හුගක් දේ තියෙනවා . දිල්රුක් කතාව අතරේ මතු කරන අතුරු විස්තරත් හරි වැදගත් . පිරිසිදුකම ඉන් එකක් . කලක් පිට රටක ජීවත්වෙන සහ රටවල් රැසක සංචාරය කර තිබෙන මම ඒ මතුකිරිල්ලට ඇළුම් කරනවා . නීති රීති නෙමෙයි ආකල්පයි වැදගත් . ඒ වගේම අර අම්මා දුවට දීපු රත්තරන් අවවාදය . හොද ලියමනක් ..
ReplyDelete
ReplyDeleteThanks for sharing, nice post! Post really provice useful information!
Giaonhan247 chuyên dịch vụ ship hàng nhật uy tín, giá rẻ cũng như chia sẻ kinh nghiệm cách order taobao về VN giá rẻ.