Thursday, December 4, 2014

බස්රථවල රඟන නරුම කොන්දොස්තරවරු ......

බ්ලොග් පොස්ට් එකක් ලියන්න අවශ්‍යතාව තිබූ සෑම මොහොතකම, මා ඉතා කාර්යබහුල විය. මා හට ඉඩක් ලැබෙන මොහොතක් වෙයිද, වෙනත් හේතු කාරණාවක් නිසා පරිගණකය ඉදිරියේ වාඩි වීමට නොහැක. එක්කෝ මාගේ දියණිය එය පරිහරණය කරයි. නැතිනම් රූපවාහිනියේ කුමක් හෝ මා කැමති වැඩසටහනක් විකාශණය වේ. ලියන්නට කදිම මාතෘකාවක් මාගේ මිතුරකු සපයා දී තිබියදීත්, එය කල් දම්මන්නට සිදු වුයේ කලින් සඳහන් කල කාරණාය. මා මේ බ්ලොග් සටහනක් දමන්නේ දවස් දහයක නිහැඬියාවකින් පසුවය. අදද මෙය සම්පූර්ණ කල හැකිදැයි විශ්වාස නැත. 

පසුගිය සිකුරාදා තරම් මා චිත්තප්තාපයකින් ගෙවූ දිනයක මගේ මතකයට නොනැගේ. ඒ පසුගිය සතියේ ලොව කැළඹූ පිලිප් හියුස්ගේ ඛේදනීය මරණය නිසාය. එය වාර්තා වනවිට මා සිටියේ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගනයේය. එදින වනවිට අපගේ සයසාමාජික ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය විය. හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් ලැබුණේ මේ මරණයයි. ඒ මොහොතේම තරගය මොහොතකට නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා, ශෝකය පල කරන්නට අප කටයුතු කළේ ලෝකයේ කොහේ හෝ කෙළවරක සිදු වූ මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපගේ සිත්සතන් කම්පනයට හේතු වූ නිසායා. එම සිද්ධිය පිලිබඳ සියලු තතු ඔබ සැම පසුගිය දිනවල මාධ්‍ය වලින් දකින්නට ඇත. නමුත් මා කියන්නට යන්නේ වෙනත් කතාවකි.

පෙරකී පරදීම එම සිදුවීමෙන් කම්පිත සිතෙන් කාර්යාලයේ කාලය ගත කරද්දී, කාර්යාලයේ හිතවතෙකු පැමිණ කල හෙළිදරව්ව මේ කම්පනය තවත් තීව්ර කළේය. මෑතක සිට ඔහු රාජකාරියට පැමිණෙන්නේ රත්නපුර සිට කොල්ලුපිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයකිනි. එවැනි කාර්යාල බස්රථ ඕනෑතරම් එහා මෙහා යනු අප දැක ඇත්තෙමු. කොළඹට ආසන්න නගර වල සිට හෝ තරමක් ඈතින් ඇති නගර වලසිට පැමිණෙන මේ බස් රථ මගින් සිදුවන සේවය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. පසුගිය සිකුරාදාද සිරිත් පරිදි මේ බස්රථය කඩුවෙල නගරය පසුකර කොල්ලුපිටිය බලා ගමන් ගෙන ඇත. මෙය සාමාන්‍යයෙන් සීඝ්‍රගාමී බස් සේවාවක් වුවද, එහි රියදුරු මද වේගයෙන් බසය ධාවනය කර ඇත. 

කඩුවෙල නගරය පසුවත්ම ඇති  නැවතුමේ බස්රථය නරත කල මොහොතේ අවුරුදු අටක නවයක පාසල් ඇඳුමින් සැරසීගත් දැරියක් දුවැවිත් බසයට ගොඩ වී ඇත. මේ අවස්ථාවේ ඉදිරි කවුළුවේ සිටි කොන්දොස්තර වරයා 
"මාලඹෙන් එහා යන අය විතරක් නගින්න"
යනුවෙන් බෙරිහන් දී ඇත. මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ මා බොහෝදිනවල ගමන් ගන්නා ගල්කිස්සේ සිට පැමිණෙන ඉසුරුපාය බස් රථයයි. එහි කොන්දොස්තරවරයාද බත්තරමුල්ලෙන් මෙපිට කිසිවකුට ගොඩ වන්නට ඉඩ තබන්නේ නැත. යම් හෙයකින් නුපුරුදු කෙනෙකු ගොඩ වැදුනාද ? ඒ අසල සිට නෝක්කාඩු බසින් කියවන්නට පටන් ගන්නේ, එහි ගොඩවූ මගියාට යලිත් දිනක එහි නොයන්නට මතකයේ රැඳෙන ආකාරයකට. නමුත් කිසිදු හිත් රිදවීමක් ඇති නොවන අකාරයකට.
"මේක ස්ටාෆ් බස් එකක්. අපි අටහාමාර වෙන්න කලින් පැලවත්තට යන්න ඕනේ. ඉතිං අතරමග සෙනග බස්සන ගියොත් අපිට පරක්කු වෙනවා"
මෙය ඔහු කියවාගෙන යන්නේ දිව මතුරක් සේය. ඔහුට ඇතිවන්නේද නැත. මගීන්ට ඇති වන්නේද නැත. එමගින් බසයේ ගමන් ගන්නා සුපුරුදු මගීන්ගේ සිත් සතුටු වන බව ඔහු දනී.  දියණිය බසයට ගොඩ වී මොහොතකින් පසුපසින්, එක් අතකින් කිහිලි කරුවක් දරා සිටි ඇයගේ පියාද බසයට ගොඩ විණි. මොහොතකින් තම දියණිය අසලට එන්නට ඔහුට හැකි විය. පෙනුමෙන් ඔහු ක්‍රියාන්විතයකදී අනතුරට පත්ව සේවයෙන් විශ්‍රාම ගත් අයෙකි. මේ දෙදෙනා අසලට  කොන්දොස්තර වරයා ආ විට පියා
"අපි පිට්ටුගලට යන්නේ. දුවට අද විභාගේ තියෙනවා. නැත්නම් මේ බස් එකට නගින්නේ නෑ. පරක්කු වෙන නිසයි නැග්ගේ"
යනුවෙන් ඉතා යටත්ව පවසා ඇත. කිසිත් නොපැවසූ කොන්දොස්තර වරයා එක් වරම මේ අබාධිත පුද්ගලාගේ කමිසයෙන් ඇද ඔහුට පහර දී ඇත. ඔහුද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.

"අනේ..... අපේ තාත්තාට ගහන්න එපා...."
අසරණ දියණිය කඳුළු පිරි දෙනෙතින් පවසා ඇත. මෙසේ ගුටි කෙළිය යත්දී එය නවත්වන්නට බසයේ කිසිවෙක් ඉදිරිපත් වී නැත. බොහෝ දෙනා මේ රියදුරු සහ කොන්දොස්තර වරයා හොඳින් හඳුනයි. අනෙක කොන්දොස්තරගේ මේ ගෝරනාඩුව ඔවුන් වෙනුවෙනි. ඒ වෙලාවට රාජකාරි සඳහා ඔවුන් රැගෙන එන්නය. එහු වූ බොහෝ අයද අර විශ්‍රාමික රණවිරුවාට නෝක්කාඩු බසින් කථා කර ඇත.
"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ? මේක නවත්වන්නේ මාලඹේ කිව්වා ඇහුනේ නැද්ද ?"
වැනි වදන් වලින් ඔහුට බැන ඇත. මේ පුවත ඇසු මගේ හිත එතැනම කඩා වැටුණි. අවුරුදු පහකට පෙර මේ සිදුවීම වූවානම් රණවිරුවාට ලැබෙන ගෞරවය හිතා ගත හැකිද? අද ඔවුන් අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කර දමන්නට අප අකාරුණික වී ඇතිද ? ලංකාවේ සිටින්නේ කලගුණ  නොදත් කුහක ජනතාවක් බව මින් පසක් නොවන්නේද? රණවිරුවන් ඇස්-හිස්-මස්-ලේ දන් දුන්නේ අප කවුරුත් වෙනුවෙන් නොවේද? මගේ සිත කෝපයෙන්ද, දෑස කඳුළු බිඳුවකින්ද නැහැවී යන්නට විය. තම දියණිය ඉදිරියේදී පියෙකුට පහර කෑමට ලක් වීමට සිදු වීම නිසා ඔහුගේ හදවත කෙතරම් කඩා වැටෙන්නට ඇත්ද ? තමා ආබාධිත බව අමතක කර ඔහු හා සටන් වැඩෙන්නට ඔහුට හිතෙන්නට ඇත්තේ, රණබිමේදී සටන් වැදීමට උප්පත්තියෙන්ම ලද මොරාල් එක නිසා වන්නට ඇත. මේ මොහොතේ බොහෝ කරුණු මගේ හිතට නැගේ.

 ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීයා සමග මුහුණට මුහුණලා සටන් කල ඔහු, අද වැටී ඇති අසරණ තත්වය තුල කොන්දොස්තර කෙනෙකුගේ වාග් සහ ශාරීරික ප්‍රහාරය හමුවේ අසරණ වී තිබේ. රණවිරුකම පැත්තකින් තබමු. අබාධිතයෙකුට පහර දීමට තරම් පහත් මට්ටමකට වැටීමට පිරිමියෙකුට හැකිද ? දරුවකු හඬා වැටෙද්දී පහර දෙන්නට ඔහුගේ අත එසවුනේ කෙසේද ? තලංගම ඩිපෝවට අයිති මේ කොන්දොස්තර වරයා ජඩයකු ලෙස හැරෙන්නට හඳුන්වන්නට හැකි වෙනත් විශේෂණ පදයක් මේ මොහොතේ මගේ සිතට නොනැගේ. මේ සමගම මගේ හිතට නැගෙන්නේ මගේ දියණියට වයස අවුරුදු තුනේදී පමණ මුහුණ දුන් අත්දැකීමකි. 

එය සති අන්තයේ දිනයකි. දියණියගේ කොණ්ඩය කැපීමට අවශ්‍ය කාලයත් ඉක්ම ගොස් අත. අතේ තිබූ සීමිත මුදලද සහිතව සොයුරියගේ කාරයට ගොඩ වූ මමත්, සිනිගි දියණියත් නුගේගොඩ බලා පිටත් වූයෙමු. කොහුවල සිට නුගේගොඩ දක්වා ඇති සක්යා ආයතනය පසු කර යන පාරේ ඉතා ප්‍රවේසමෙන් රිය පැදවූ මා නුගේගොඩ කේ.එෆ්.සී. පැත්තට හරවනවාත්(මෙය අංශක 90ක වංගුවකි. වම්පස ඇත්තේ තාප්පයකි) සමග ඉදිරියෙන් පැමිණිරථයක් හා ගෑවිණි.වහාම ඉදිරියේඇති වාහනයෙන් බැසගත් පිරිමියෙකු  මට  රිවස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ මොහොතේ කාර් දෙකේ බෆර් ඇතිල්ලිනි. වාහනය පදවාගෙන විත් තිබුණේ කාන්තාවකි. ඔවුන් දෙදෙනාම එය මගේ වරද බවට චෝදනා නගන්නට විය. මා කිසිදු තර්කයක් නොකර අලාභය ගෙවන්නට පොරොන්දු වුයෙමි. මේ මොහොතේ දියණිය වාහනයේ බව පසක් වී ඈ රැගෙන එන්නට වාහනයට ගමන් ගතිමි. ඉහිං කනින් දාඩිය පෙරාගෙන සිටින ඇය දුටු විට මගේ සිතට විශාල දුකක් ඇති විය. අැයත් සමගම පැමිණ ඔවුන් සමග සාකච්ඡා කරන්නට හදන විට
"මහත්මයා ඔයා මේ ළමයාත් අව්වේ තියාගෙන මේවා කථා කරන්න ඕනේ නෑ. ඔයා සැලුන් එකට යනවා කිව්වා නේද? ඔයා ඒ ගමන යන්න. මම ටෙලිෆෝන් කරලා ගාන කියන්නම්"
 පිරිමියා පැවසීය. ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අප දෙදෙනා නුගේගොඩ සව්සිරියට ගමන් ගතිමු. ඇය කොණ්ඩය කපන අතරතුරත් මා කල්පනා කලේ ගෙවන්නට වන මුදල පිලිබඳවය. මේ මොහොතේ මා සතුව එතරම් මුදලක් නැති බව දැනී, යම් බියක් හිතට ඇතුළු විණි. මෙසේ වික්ශීප්තව බලා සිටිද්දී මගේ දුරකථනය නාද විය. ඒ ඔවුන්ය. ගැහෙන සිතින් මා පිළිතුරු දුනිමි. එවරදපිරිමියාගේ හඬ අවධි විය

" මහත්මයා අපේ වාහනය හදන්න ඔයා වියදම් කරන්න ඕනේ නෑ. ඒක සුළු ටින්කරින් වැඩක් නේ. අපි හදා ගන්නම්"
 මේ මොහොතේ මගේ දෑසට කඳුලක් නැගිණි. ඒ ඔවුන්ගේ කාරුණිකත්වය වෙනුවෙනි. මා දරුවකු සමග සිටින විට ඔවුන් හැසිරුණු ආකාරය බලන්න.

ඉතිං ඉහත කී කොන්දොස්තර වරයා හැසිරුණු ආකාරය කොයි තරම් සාධාරණද ?

Sunday, November 23, 2014

අපේ කෙනෙකුගේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් ...... International Level Product by a Local

පසුගිය දහතුන් වෙනිදා මට එන්.සී.සී. ක්‍රීඩාංගනයට යන්න ඕනේ වුණා. බත්තරමුල්ලේ ඉඳන් එන ගමනේදී මරදානට යන්න අවශ්‍ය වුණේ, අපේ ක්‍රිකට් ආම්පන්න ටික රැගෙන යන්න. ඒ ගමන ඉක්මන්ව යන්න ඕනේ නිසා මම පිටත් වුණේ 177 බස් එකෙන්. එහෙම ගිහිං බැස්සේ නෙලුම් පොකුණ ගාවා. එතනින් බැස්ස ගමන් දැක්කා විහාර මහ දේවි උද්‍යානයේ ඉල් මහ විරු සමරුව තියෙනවා. ඉස්සර නම් මම ඔතැනට ගොඩ වදින්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඒ ගැන අදහසක් නෑ. නෙලුම් පොකුණ ගාව හිටිය අන්නාසි වෙළෙන්දෙක්ගෙන් අන්නාසි මල්ලක් අරං කකා මම ටවුන් හෝල් පැත්තට පයින්ම ගියා. ඔඩෙල් එක ඉදිරිපිටදී මට බොහෝ කාලයක් ගොඩ වදින්න කියලා හිතේ තිබුණ, ඒත් මග ඇරුණු තැනක් දැකලා එතනට රිංගුවා.

ඒ Cup Cafe කියන කෝපි අවන්හලට. ඇවිද්ද පය බ්ලොග් එක කාලෙක ඉඳන් කියවන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති මම කෝපි ප්‍රේමියෙක් කියලා. හොඳ වුණත්, නරක වුණත් දවසකට නෙස්කැෆේ කෝප්ප තුනක් බොන පුරුද්ද දැන් තියෙන්නේ අවුරුදු ගාණක ඉඳලා. ඉතිං ලුවැඩ් සිවෙක් කෝපි  ගැන ලියපු පොස්ට් එකේදී මම දැක්ක දෙයක් තමයි, මෙය කියවන බොහෝ දෙනෙක් කෝපි ප්‍රේමීන් බව. කෝපි වල නරක ගුණ වගේම හොඳ ගුණත් තියෙන බව කෝපි විරෝදීන් මතක තබා ගත යුතු කරුණක්. 

එතනට ඇතුළු වුණාම මට ඇති වුණේ කොෆී බීන් ඒකට ගියා වගේ අත්දැකීමක්. ඉතාම මිත්‍රශීලී කළමනාකරු සහ සේවකයන් එතන ගැන පලවෙනි දක්මෙන්ම ලකුණු ලබා දෙන දෙයක්. මා එහි ගතකල පැය භාගයේ කිසිදු මොහොතක මට කිසිම කළකිරීමක් ඇති වුණේ නෑ. අනෙකුත් කෝපි හල් සමග සසඳන කොට මෙහි මිල ගණන් ඉතාම සාධාරණයි. මමත් මිලදී ගත්තා ලාවා කේක් කෑල්ලක් සහ කැපුචිනෝ කෝපි එකක්. මෙහෙම අරගෙන වටපිට බලනකොට මට තේරුණා මෙහි පාඩම් කරන සිසුන් දෙදෙනෙකුම ඉන්න බව. අධික ලේඅස සෙනග නොපිරුන තැනකින් උපරිම පල නෙලන මේ ශිෂ්‍යාට ඔවුන්ගේ කිසි විරෝධයක් නෑ. මගේ කැපුචිනෝ එක රුපියල් 330 ක් සහ ලාවා කේක් එක රුපියල් දෙසීයක් වුණා. ගණන් වැඩියි කියලා තර්ක කරන්න එපා, මම කියන්නේ කොෆී බීන්, ස්ටාර් බක් වගේ ඒවාට සාපේක්ෂව.
  මෙතනින් එහාට මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. හැබැයි පෙම්වතුන් යුවලකට, නිදහසේ සාකච්චාවක කරන කණ්ඩායමකට මෙය කදිම ස්ථානයක්. වයි-ෆයි පහසුකම ඉතාම ඉහල මට්ටමේ තිබෙන නිසා මටනම් ඒ වැය වූ රුපියල් 550 මගේ ජන්ගමයට කල වියදමක් වගේ.
 මට හිතට වැදුන දෙයක් තමයි ඔහු මෙය ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් තිබීම. එය අද කාලයේ අපේ වෙළෙන්දන්ගෙන් දකින්න අඩු ඉතාම සුවිශේෂී ලක්ෂණයක්. 
 මිලගණන් ගැන උනන්දු අය පින්තූරය මත කිලික් කලොත් බලන්න පුළුවන්. 


 ස්ථානය පිලිබඳ පැහැදිලි අදහසක් ගන්න මේ පින්තූරයෙන් පුළුවන්. 
 ඔවුන්ගේ සන්නම් නාමය සහිත කුඩා කෝපි ටින්, කැප් වගේම මග් පවා සිහි කරන්නේ ජාත්‍යන්තර මට්ටාමේ කෝපි හලක්. අපේ අයටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් බව ඔවුන් පෙන්වලා තියෙනවා.
 මේ විදුලි බල්බ ආවරණත් මගේ සිත් ගත්තා. කාලය හරස් නොවුනා නම් ඔබටම සාදා ගත හැකි මේ ලෑම්ප් ශේඩ් ගැනත් විස්තරයක් දාන්න තිබුණා.

  මෙය දුටු ගමන් කෙනෙකුට සිහි වෙන්න පුළුවන් මොවුන් කොෆී බීන් ඒකෙන් කොප්පක් ගහලා කියලා. නමුත් ඔබට අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරන්න බැරිනම්, මුලින්ම ෆේක් එකක් හෝ නිෂ්පාදනය කරන්න, පසුව අලුත් දේ නිරායාසයෙන් ඔබගෙන් නිෂ්පාදනය වෙයි කියලා කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වෙච්ච ෆාවුසූල් හමීඩ් මහතා.
මේ පිලිබඳ බ්ලොග් පොස්ට් එකක් ලියන බව පැවසු විට,  මේ වැහිබර සීත දේශගුණය තිබෙන කාලේ, මෙහි ගොඩවෙලා කෝපි කෝප්පයක් තොල ගාන්න කියන පණිවුඩය සිංහලෙන් බ්ලොග් කියවන ඔබටත් දෙන ලෙස එම කළමනාකරු(සමහරවිට අයිතිකරු විය හැකියි) ඉල්ලා සිටියා. 

Wednesday, November 12, 2014

ඩර්ඩන්ස් රෝහල් බලධාරීනී : මේ ඔබේ අවධානයට ..... Attention of Durdans Hospital Administration

කුඩා දරුවන් අසනීප වන්නේ අවිනිශ්චිත වේලාවන්හිදීය. එවැනි මොහොතක නිවසේදී කළහැකි මූලික ප්‍රතිකාර ඔරොත්තු නොදෙන තත්වයන් වලදී අප දිව යන්නේ රෝහල් වෙතය. සාමාන්‍ය ජනයා රජයේ රෝහල් වෙත දිව යන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. නමුත් පුද්ගලික රෝහල් පිරෙන්න්ටද අද ජනයා පොදි කන්නේ හේතු කිහිපයක් මුල් කරගෙනය. රජයේ රෝහල් වල ඇති තදබදය, ප්‍රතිකාර ප්‍රමාදවීම්, සහ බෙහෙත්ද්‍රව්‍ය වල හිඟකම, උපකරණ හිඟකම වැනි කරුණු මුල් කරගෙනය. බොහෝ දෙනාට රක්ෂණ ආවරණ හෝ රාජකාරි ස්ථානයෙන් ලැබෙන ආවරණයද පුද්ගලික රෝහල් වෙත දිව යාමට ප්‍රබල හේතුවක් වී ඇත. මේ හැරුණු කොට ඉහල ජීවන තත්වයක් ඇති පුද්ගලයන්ද පුද්ගලික රෝහල් වල සේවය පතයි.

 මගේ දියණිය පිළිසිඳ ගත මොහොතේ පටන් පුද්ගලික රෝහල් වල සේවය පැතුවේ මාගේ සේවායෝජකයා ලබා දෙන ආවරණය නිසාය. එය රක්ෂණයක් නොවේ. නමුත් සාමාජික මුදලක් මගින් පෝෂණය වන එයට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් සේවායෝජයකයා විසින්ද එකතු කරයි. දැන් පුද්ගලික රෝහලකට කෙනෙකු ඇතුලත් කර ගන්නා මොහොතේම, රක්ෂණයක් මගින් ආවරණය වනවා හෝ ප්‍රතිපූර්ණය කරනවාද යන්න ඔවුන් විසින් සැකහැර දැන ගන්නේ අපට සිත්ගන්නාසුළු මුද්‍රිත බිල් පතක් ලබා දීමට නොවේ. එවැනි පුද්ගලයන් වැය වන මුදල පිලිබඳ සැලකිලිමත් නොවන නිසාය.

 පහුගිය සතියේ මගේ දියණියද දැඩි ලෙස රෝගාතුර විය. ඇය මෙලොව එලිය දුටු ඩර්ඩන්ස් රෝහලටම කැඳවාගෙන යන්නේ ළමුන් පිලිබඳ විසේසඥ වෛද්‍යවරියක් වන දිල්රුක්ෂි රුබේරු මහත්මියට දියණිය පෙන්විය හැකි නිසාය. මෙයට පෙර බොහෝ වතාවලද මා ඇය එහි කැඳවාගෙන ගොස් තිබේ. මෙම වෛද්‍යවරිය අතිදක්ෂ කෙනෙකු බව අමුතුවෙන් සඳහන් කල යුතු නැත. ඇගෙන් බෙහෙත් වේලක්, දෙකක් බොනවිට රෝගය සුව අතට හැරීම සාමාන්‍යයක් වී ඇති නිසා, මා දිව යන්නේ එතුමිය ළගටය. අනෙක් කාරණය රෝග විනිශ්චය පිලිබඳ ඇගේ නිපුනතාවයි. අප ඩෙංගු රෝගය ඇත්දැයි බියෙන් දරුවා රැගෙන එහි ඇතුළු වන මොහොතක 
"බය වෙන්න එපා මෙයාට ඩෙංගු නෑ"
යනුවෙන් පවසන්නට තරම් ඇය සමත්ය. මෙවර දියණියගේ තත්වය නරක බවත්, වහාම ඇතුලත් කල යුතු බවත් දන්වා ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල මා වෙත ලබා දුනි.  ඉන්පසු ඇය නැවත්වීමට කැමති කාමර වල මිල ගණන් විමසනු ලැබිණි. ඉහළම මිලක් සහිත කාමර(අලුත්) රුපියක් හත්දහස් ගණනක්ද, පැරණි කාමර රුපියල් හයදහස් ගණනක්ද, පොදුවේ තබා ගත හැකි ස්ථාන වල මිළද සඳහන් කල ඔවුන් මා තෝරා ගන්නේ කුමන කාමරයක් දැයි විමසා සිටි විට, ඇය සිටින තත්වය සලකා දෙවන මට්ටමේ මිල ගණන් ඇති කාමර තෝරා ගතිමි. ඒ සඳහා මූලික ගාස්තුව වශයෙන් රුපියල් පහළොස් දාහක් ගෙවන ලෙස දන්වා සිටින ලද අතර මා ක්‍රෙඩිට් කාඩ් පත ඉදිරිපත් කළේ මෙවැනි අවස්ථාවක් සඳහා සුදානමක් නොවූ බැවිණි.

ඒ මොහොතේ මගේ හිතට වදදුන් කාරණා කිහිපයක්ම විය. ඒ කෙතරම් කාලයක් මෙහි රැඳී සිටින්නට සිදු වෙයිද ?,  කෙතරම් මුදලක් ඒ සඳහා වැය වෙයිද ?, ඉන් කොපමණ මුදලක් ප්‍රතිපූර්ණය කල හැකි වේද ? යන කාරණාය. ඔවුන් විසින් ලබා දුන් පළමු ඇමෙන් බේරීමට මට හැකි වුයේ පෙර අත්දැකීම් නිසාය. ඒ රක්ෂණය හෝ ප්‍රතිපූර්ණය පිලිබඳ ප්‍රශ්නයයි. මා පවසා සිටියේ "නැත" යන්නයි. නැතිනම් මීටරය මීටත් වඩා කැරකෙන බව අවස්ථා දෙකක අත්දැකීමෙන් මම දනිමි. රාජකාරි කරන ස්ථානයෙන් මේ සඳහා ගෙවීම කරන බව සැබෑ වුවත්, ඔවුන් පවසන මුදලක් ගෙවීමෙන් එක් අයුරකින් අපට වෙනත් රෝගී අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි මුදලක් අපතේ යනු ඇත. අනෙක් අතින් අරමුදලක් හෝ රක්ෂණයක් වුවද එයට දායක වී ඇති වෙනත් අයෙකු වෙනුවෙන් කල හැකි වියදමක් සඳහා ඇති මුදලක් අපතේ යනු ඇත. ඔබේ අතින් ගියද, ආයතනයෙන් ගියද වැය වන්නේ මුදල්ය. එය වක්‍රාකාරයෙන් මේ රටේ සියලුම ජනයාට බෙදී යා හැකිය.

ඇය ඇතුලත් කරගත් පසු, එහි තිබෙන කුඩා රුපවාහිනිය  දවසේ පත්තර කියවන නාලිකාවක "චැනලින් සේවා සපයන ආයතන අය කරන අධික ගාස්තු පිලිබඳ රජය මැදිහත් වීමට යයි" යනුවෙන් පුවතක් අසා මා ඉතා සතුටට පත් වුයේ,   මේ වනවිට සියළුම පුද්ගලික රෝහල් වල චැනලින් ගාස්තු  සාමානය රෝගියෙකුට දාරා නොගත හැකි මට්ටමකට වැඩි වී තිබීම නිසාය. 2005 - 2006 කාල වකවානුවේ රුපියල් හයසීයත් අටසීයත් අතර වූ චැනලින් ගාස්තුව අද වනවිට රුපියල් දෙදාහ ඉක්මවා ඇත. මින් සැලකිය යුතු ප්‍රමාණයක් අදාළ රෝහල සඳහා වන ගාස්තුය. යම් හෙයකින් අප මේ වෙන්කරගැනීම අවලංගු කළහොත් රෝහල් ගාස්තුව නැතිව වෛද්‍ය වරයාගේ ගාස්තුව පමණක් රෝගියාට ලැබේ. රෝහල් ගාස්තුව සඳහා ඔවුන් ලබා දුන් සේවාව කුමක්ද ? ඔවුන්ගේ පරිගණකයට ඔබ පිලිබඳ දත්ත සටහන් කර ගැනීමද ? ඔබේ අවස්තාව පැමිණෙන තෙක් බලන්නට සවි කර ඇති රුපවාහිනි සඳහා වියදමද ? මුල්ලක තබා තිබෙන වතුර ගැලුම සඳහා වියදමද ?

හොඳයි මේ කියන දේ පිලිබඳ යම්කිසි පිරිවැයක් ඇති බව අපි පිළිගනිමු. නමුත් එක් දිනකට මෙම රෝහලක් වෙත චැනලින් පහසුකම ලබා ගන්නට එන රෝගීන් ප්‍රමාණය සමග සැසඳීමේදී මෙය අබ ඇටයක් තරම් වියදමක්ද ? අඩුම තරමින් එක් දිනකට වෛද්‍ය වරුන් 125 ක් (ඔවුන්ගේ වාර්ෂික වාර්තාව අනුව වෛද්‍යවරුන් 275කට අධික බව පවසයි) සේවාව සපයයි නම්, එක් අයෙකු රෝගීන් 75බැලුවේ නම්, එකී ආදායම 125 x 75 x 500 වේ. එය රුපියල් 46,87,500 ! ඔබ පිලි ගන්නවාද ? රුපියල් ලක්ෂ 47ක්. මාසයකට දවස් 25ක් සේවය සැපයුවොත් රුපියල් මිලියන 117ක්. මේ චැනලින් වලින් ලැබෙන ආදායමයි. මගේ දියණියගේ බිල්පත  දෙස බලමු. 
මෙහි පරිපාලන වියදම් (Administration Charges)   ලෙස රුපියල් 1000 ක්ද, ඇතුලත් වීමේ ගාස්තුව(Admission Fees)  වශයෙන් රුපියල් 2500ක්ද, ඖෂධ පිලිබඳ අවධානය(Medical Attention) ලෙස රුපියල් 4300ක්ද අය කර ඇත. මේ ගාස්තු වෙනුවෙන් ඔවුන් මගේ දියණිය වෙනුවෙන් සැලසූ සේවාවන් මොනවාද ? මෙසේ දිනකට ඇතුලත් කර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය වශයෙන් 25ක් යයි සිතුවොත්, දිනකට රුපියල් 1,95,000ක්, සහ මසකට රුපියල් මිලියන 5.85 ක් උපයයි. බොහෝ දෙනාගේ අදහස මේවා ගනුදෙනුකරුවන් රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කරන බව දැනගත් විට ඔවුන් මෙසේ අමතර ගාස්තු අය කරනු ලබන බවයි.

මෙහි සඳහන් වන ශල්‍ය අයිතම (Surgical Items) යනුවෙන් සඳහන් වන ගාස්තුව වෙනුවෙන් ඔවුන් සැපයුවේ ඔක්සිජන් ලබා දීම සඳහා භාවිතා කරන වෙස්මුහුණක්(Mask) සහ පිටි අල්ලෙන් බෙහෙත් ශරීරගත කරන කුඩා උපකරණය සහ එම දින වල බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත සිරින්ජ කිහිපයයි. මේවායේ මිල ගණන් සලකා බැලුවහොත් රුපියල් සීයකට අඩුව මිලදී ගත හැකි බව පැහැදිලිය. මෙහි සඳහන් ක්‍රියා පටිපාටි(Procedure) වියදම කුමක් සඳහාද යන්න පැහැදිලි නැත. මේ අනුව මෙයත් තවත් සැඟවුණු මුදල් ගසා කෑමේ අයිතමයක් ලෙස සඳහන් කල හැක.

මෙයට අමතරව මෙහි සඳහන් කාමර ගාස්තුව දිනකට රුපියල් 6250ක් වේ. එය තරු පන්තියේ හෝටල් වල ගාස්තුවක් බව ඔබට පැහැදිලි වනු අත. මේවා පිලිබඳ අපට තර්ක කල නොහැක. නමුත් එහි සුළු සේවකයන් පානීය ජලය ලබා දීමේදී අපට පානියක් දැමූ බව පැහැදිලිය. නොමිලයේ ලබා දෙන්නේ මිලි ලීටර් 500 යේ එක බෝතලයක් බවද, අමතර ජලය අවශ්‍ය නම් ඒ සඳහා අය කරන බවද, උතුරා නිවාගත් ජලය ලබා දිය හැකි බවද පවසන ලදී. නමුත් එහි සැඟවී සත්‍යය මට පැහැදිලි වූවද, එය සියළු දෙනා සමග කලහා කර ගත හැකි මොහොතක් නොවේ. මෙහි සඳහන් හෙද(Nursing), බෙහෙත්(Drug), එන්නත්(Injection), ඇඳ ඇතිරිලි (Linen) { දින දෙක සඳහාම භාවිතා කලේ එකම රෙදි කට්ටලයයි.   රෝගියෙකු රෝහල් ගතකල විට ඇතිවන මානසිකත්වය උඩ මේවා පිලිබඳ සොයා බැලීමට අපට සිහියක් නැත. අප පතන්නේ ඉක්මන් සුවයයි}, නෙබියුලයිසින්(Nebulizing), වෘත්තීය(Professional) - වෛද්‍යවරියගේ ගාස්තු පිලිබඳ මට එතරම් ගැටළුවක් නැත.

මා පෙන්වන්නට උත්සාහ කලේ ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 123ක ප්‍රමාණයක් ඔවුන් පහසුවෙන් උපයා ගන්නා බවය. මේවා සඳහා රක්ෂණ මගින් සහ වෙනත් ක්‍රමයන්ගෙන් ගාස්තු ප්‍රතිපූරණය කරන අය සහ ධනවතුන්ගෙන් ඔවුන් කොල්ල කෑ ගනී. නමුත් මෙම ගාස්තු ප්‍රතිපූර්ණ වලද සීමාවක් ඇතිබව මෙම ප්‍රතිලාභ ලබන්නන් නොසිතන්නේ මන්ද ? ලෝකයාට පෙනෙන්නට අපිට මෙච්චරක් ගියා යයි උදම් අනන්නද ? මේවා සාවධානව කියවා බලා තේරුම් ගත යුතුය. ඔබගේ සීමාවේ මුදල් ඉතිරි වුවහොත් ඔබට වෙනත් අවස්තාවක ප්‍රයෝජනයට ගත හැක. නැතිනම් එම අරමුදල් භාවිතා කරන වෙනත් රෝගියකුට එම මුදලේ ප්‍රතිලාභය ලබා ගත හැක. රෝහල වෙත ගෙවන ගාස්තු ඉහල යනවිට රක්ෂණය වාරිකයද ඉහළ යා හැකි බව අප නොසිතන්නේ මන්ද ?


අප සේවා ආයතනයේ ගෙවීම් අංශයේ සිටින මාගේ මිතුරෙකු පැවසූවේ, අපගේ ආයතනයේ කුමන අයෙකු ශල්‍යකර්මයක් සඳහා ඇස්තමේන්තුවක් ගෙන ආවද, එය ආයතනය ගෙවන උපරිම මුදලට සරිලන ලෙස සාදා එවන්නට තරම් මේ රෝහල් උපක්‍රමශීලී වී ඇති බවය.

Durdans Hospital Invoice scanned copy

මෙහි හෙද සේවාව ගැන වචනයක් සඳහන් කල යුතුය. ඔවුන් තමන්ට නියමිත සේවාව උපරිම ඉහල මට්ටමකින් පවත්වාගෙන යයි. ඒ පිලිබඳ ඔවුන්ට ලැබී ඇති සම්මානය සාධාරණය. ඔවුන්ගේ සේවාව ඇගයීමක් වශයෙන් ඔවුන්ට මාගේ ස්තුතිය ඵල කරමි.
Durdans hospital nurse with nice smile
උපුටා ගත්තේ ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන්. 

මේ තියෙන්නේ ඔවුන් ලබපු සම්මානය. 

අවසානයේ පැවසිය හැක්කේ මෙය ඩර්ඩන්ස් රෝහලට ආවේනික දෙයක් නොව, සියළු පුද්ගලික රෝහල් සඳහා පොදු ලක්ෂණයක් බවයි.





ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 3 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 4 ) අවන්හල් (Restaurants) ( 4 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 3 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 3 ) ක්‍රිකට් (Cricket) ( 1 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 17 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 7 ) කාළීන(Current Issues) ( 64 ) කුතුහලය(Curiosity) ( 69 ) කෙටි කතා (Short Stories) ( 1 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 1 ) ගීත ( Songs ) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 39 ) තාක්ෂණය(Technology) ( 15 ) දැනුම(knowledge) ( 52 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 1 ) පර්යේෂණ(Research) ( 14 ) පරිවර්තන (Translations) ( 20 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) පාපන්දු(Football) ( 11 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 6 ) මගේ දුව(My Daughter) ( 9 ) මගේ පියා (My Father) ( 1 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 1 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 4 ) මහජන බැංකුව (People's Bank) ( 2 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 2 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 49 ) ව්‍යායාම(Excercises) ( 3 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 109 ) විවේචන(Critics) ( 52 ) සංචාරක(Travel) ( 23 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 1 ) හැඟුම්බර(Emotional) ( 42 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...