Saturday, May 18, 2013

වැස්ස සහ රබර් සෙරෙප්පු ....

මේ ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වර්ෂා ලැබෙන කාලයයි. ලංකා සිතියමේ හරියට නිරිතදිග ලකුණු කලොත් ඒ ප්‍රදේශයට වැටෙන ගම් නගර වලින් එකක් වෙච්ච බෙන්තොට හෝ බෙන්තර කියන මගේ ගමට අවුරුද්දේ බොහෝ කාල වල වැසි යහමින් ලැබෙනවා. සමහර අවුරුදු වල වැඩි දවස් ගණනක් වර්ෂාව ලැබුන බව මට හොඳටම මතකයි. අපි කුඩා කාලේ අද වගේ නෙවේ පුළුවන් හැම වෙලාවකම වැස්සේ සෙල්ලම් කරනවා. දැන් අපේ දරුවන්ට වැහි පොදක් වත් වැටෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරන්නේ අද කාලේ ළමයි අපි තරම් ප්‍රතිශක්තියක් නැති නිසාද කියලා මට බොහෝ වෙලාවල් වල හිතුනා. නමුත් කාරණය අද තිබෙන්න නානාප්‍රකාර වයිරස් රෝග ප්‍රමාණය වැඩි වීම. ඒත් කලින් කිව්වා කාරණය අඩු වැඩි වශයෙන් අදාළ වෙනවා. අපේ තාත්තලා අපිටත් වඩා සොබා දහම එක්ක එකතු වෙලා කාලය ගත කරන්න ඇති.
පින්තුරය ගත්තේ කිත්සිරි ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවෙන්
https://www.facebook.com/kithsiri.jayaweera.9
මගේ මේ මතකය අවධි වුනේ කවුරුන් හෝ ෆේස්බුක් එකේ බෙදා ගත්ත ඉහතින් පේන චායාරුපය දැක්කම. ඡායාරුපයක් වචන දාහකටත් වඩා වටිනා නිසා මේක ගැන විස්තර කරන්න මම වචන පාවිච්චි කරන්නේ නෑ. නමුත් මේක දුටු වෙලාවේ ඉඳලා මට අමතක වෙලා තිබුණු අතීත සිදුවීමක් මතකයට එන්නේ හරියට දිය යට ඔබන්න හදන රබර් බෝලයක් වගේ.

මේ සිදුවීම වුණ වසර හරියටම මතක නැතත් මමත් මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා මේ කාලයේ අධ්‍යාපනය ලැබුවේ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලේ. මේ පාසල පිහිටා තිබෙන තැනත් ඉතාම වටිනවා. ඒ කිව්වේ එක පැත්තකින් ඉලාස්ටෝ ආයතනය, අනිත් පැත්තෙන් ලන්දේසි ඇල. මේ ඇල හරහා තිබෙන පාලමට එහා පැත්තේ  පාසලේ අනෙක් කොටස. පාසලට ප්‍රවේශ වෙන ප්‍රධාන මාර්ගය තිබෙන්නේත් ඇලෙන් එගොඩ ඒ කොටසේ, ගුරු නිවාසය, බුදු මැදුර, ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලය, උසස්පෙළ පන්ති වගේම කුඩා ක්‍රීඩාංගණය තියෙන්නෙත් ඇලෙන් එගොඩ ඒ පැත්තේ. ඇලෙන් මෙගොඩ තියෙන්නේ විද්‍යාගාරය, ක්‍රීඩාංගණය සහ කනිෂ්ඨ පංති. ගාමිණි විද්‍යාලයේ ක්‍රීඩාංගනය ගැන කිව්වොත් ඒ කාලේ දකුණු පළාතේ දෙවන විශාලම ක්‍රීඩාංගණය. වැහි කාලෙට මේ පිට්ටනියත් ජලයෙන් පිරෙනවා හරියට වැවක් වගේ. අපි එහෙම දවස් වල ඉන්නේ විවේක කාලය එනකං වැස්සේ නටන්න. මේ පැත්තෙන්ම කුඩා ගුරු පාරකින් පාසලට එන එක තමයි අපේ පුරුද්ද වෙලා තිබුණේ. 
පින්තුරය කපා ගත්තේ google maps ආධාරයෙන්.

පිට්ටනිය පැත්තෙන් තියෙන පාර ගුරු පාරක් වුණත්, අපේ ප්‍රදේශයේ තියෙන පොළොවේ හැටියට ගුරු පාරක් වෙන්නේ නෑ. ඒක පායන කාලෙට වැලි පාරක් වහින දවස් වලට මඩ පාරක්. ඉහල තියෙන පින්තුරේ ඔය කළු පාට ඉරක් ඇඳලා පෙන්නලා තියෙන්නේ ඔය කියන මඩ පාරට. අවුරුද්දේ වැඩි දවසක් ඕක ඉතින් මඩ පාරම තමයි. ඔය පාරෙන් තමයි අපි අවුරුදු ගානක්ම පාසල් ගියේ. මමත් මල්ලීත්, නංගීත් එකට තමයි පාසල් යන්නේ. බොහෝ වෙලාවට ඒ පාසලේම ගුරුවරියක් වෙච්ච අම්මත් අපිත් එක්ක යනවා. 

මේ කියන දවස තවත් වැසි දිනයක්. එහෙම දවස් වලට අපි සෙරෙප්පු දාගෙන තමයි යන්නේ. පාසලෙන් සෙරෙප්පු පළඳිනවාට ඒ කාලේ කිසි බාධාවක් නෑ. බොහෝ ළමයි පාවහන් නැතිවත් එන්න පුරුදු වෙලා තිබුණා. උදේ පාසල් එද්දී තිබුන වැස්ස දිගටම ඒ වගේම තිබුණා. එදා කලින් පාසල අරින්න තීරණය කරලා. එහෙම දවස් වලට අපි ගෙදර දුවන්නේ මිටින් ඇරිය කුරුල්ලන් වගේ. සමහරු නම් පිට්ටනියේ සෙල්ලම් කරනවා. වැහි දවසට "සම්බෝල" ගහනවා කියන්නේ ඉතිං එහෙම ජොලියක් ආයේ නෑ. මම හිතන්නේ සම්බෝල කියන ක්‍රීඩාව ඔයාලාත් දන්නවා ඇති දෙපැත්තකට බෙදිලා ආර්පිකෝ රබර් බෝලෙන් (ස්පොන්ජ්) ළඟ ඉන්න ප්‍රතිවාදියාට ගහන එක. මම මේ ක්‍රීඩාවට එතරම් ඇල්මක් දැක්කුවේ නැත්තේ මගේ ඇඟේ බොලේ වැදුනම ඇතිවෙන රතු පාට පැල්ලම දවස් ගානක් හිටින නිසා.

මමත් මල්ලිත් පොද වැස්සේ දැන් යනවා. අර කළු ඉරක් ගහල තියෙන පාර, මද්දෙවෙල පාර කියන තවත් ගුරු පාරකට සම්බන්ධ වෙන තැන වතුරින් පිරිලා තිබුනා. එහෙම වතුර පිරිලා තියෙනකොට වාහන ගියාම මේවා මඩ ගොහොරුවක්ම වෙනවා. වතුර වල දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙකේත් වතුර පිරිලා. මමත් මල්ලිත් දෙන්නම මඩ වලට බැහැල යනවා. එක කකුලක් තියලා අනිත් කකුල ගන්න යනකොට සෙරෙප්පුව මඩටම ඇලිලා එන්නේ නෑ. මම කොහොම හරි මගේ සෙරෙප්ප දෙක අතින් අර ගත්තා. මම දැක්කා මල්ලි එක සෙරෙප්පුවක් තියාගෙන අනිත් එක හොයා ගන්න බැරිව මුණ රතු කරගෙන ඉන්නවා. මම එතනට ගිහින් හෙව්වත් හමු වුනේ නෑ. 

අන්තිමට වතුර වලෙන් එගොඩ වෙලා ගෙදර යන්න මල්ලිව කැමති කර ගත්තා. ඒත් අර තනි සෙරෙප්පුව ගෙදර අරගෙන යන්න මම වග බලා ගත්තා. මට හොඳට විශ්වාසයක් තිබුණා ඒක කොයි වෙලාවක හෝ උඩට එයි කියලා. ගෙදර අරන් ගිය තනි සෙරෙප්පුව මම අරන් තිබ්බ. අම්මාලාටත් වුණ දේ කියලා ෂේප් කර ගත්තා. මේ කාලේ අපි ගත්තේ ගෙවල් ලඟම තිබෙන නිෂ්පාදනයක් වෙච්ච ඉලාස්ටෝ සෙරෙප්පු. ඒවායේ වැඩි කැටයමක් නෑ. කලුපාට, බර, සෙරෙප්පු ජාතියක්. මේ වැස්ස දවස් කිහිපයකින් නැති වෙලා ගියා. මම දන්නා කියන හැමෝටම කිව්වා මෙතන අපේ සෙරෙප්පුවක් නැති වුනා දැක්කොත් අරන් තියන්න කියලා. 

වැස්ස නැති වෙලා දවස් කිහිපයක් යද්දී ඒ මඩ වල ඉතිරි වුනත් මිනිසුන් තබන ගල් කෑලි හෝ ලෑලි කෑලි නිසා මඩ ගා ගන්නේ නැතිව එතනින් යන්න පුළුවන්. හැම දවසකම මම එතැන නැවතිලා පොඩි විපරමක් කරලා යන්න වග බලා ගත්තා. කළු පාට මඩ ගොඩක කළු පාට සෙරෙප්පුවක් හොයන එකත් ලේසි නෑ. අන්තිමට පායාලා මෙතන සාමාන්‍ය පාර බවටම පත් වුණා. දැන් එතන මඩ වලක් තිබුනද කියලවත් හිතා ගන්න බෑ. 

ටික කාලයක් ගෙවිලා ගිහින් ආපහු වැහි කාලයක් ආවා. මේ කාලෙම ක්‍රීඩාංගනයේ වලවල් තිබෙන තැන වලට මැටි අරගෙන ට්‍රැක්ටර් වගයක් නිතරම යනවා එනවා. අර කියපු මඩ වල දැන් හොඳටම බොර වෙනවා. මෙහෙම වෙන එක ගැන මගේ හිතේ සියුම් සතුටක් තිබුණා. අඩි එකහමාරක් විතර යටින් තියෙන සෙරෙප්පුව උඩට එන්න, මේ ට්‍රැක්ටර් ටයර් වල තියෙන කට්ට වලට පුළුවන් කියලාම තමයි මම විශ්වාස කලේ. දැන් මෙතනින් දවස ගානේ යනවා. මම සමහරක් වෙලාවට හවසත් ගිහින් මෙතන බලාගෙන ඉන්නවා. 

එක් දවසක් උදේ යනකොට කවුදෝ කෙනෙක් පුංචි කානුවක් කපලා මේ පාරට හැරෙන තැනම තියෙන අනිත් පාර වෙච්ච් මද්දෙවෙලා පාර අයිනේ තියෙන ලොකු කාණුවට. වතුර ටික සේරම බැහැල ගිහින් තිබුනත් මඩ ගතිය තවම තියෙනවා. ට්‍රැක්ටර් ගිය පාරවල් පේන්න තිබ්බා. එතන වැඩි වෙලාවක් ගත නොකර මම පාසල් ගියා. දවල් එත්දීත් මඩ ගොඩ දිහා මම සුපුරුදු සුපරීක්ෂාකාරී බැල්ම දැම්ම. එතකොට මම එක තැනක දැක්ක රබර් පටියක් වගේ තියෙනවා. හරියටම සෙරෙප්පුවක පටිය වගේ. මම නිකමට එතනට ගිහින් බැලුවා. "හරි මේ අපේ සෙරෙප්පුව තමයි", මගේ හිතට ආපු සතුට කියා නිම කරන්න බැරි තරම්. මම වටපිට බැලුවා කියන්න කව්රුත් නෑ. මම පුළුවන් වෙර දාල ඇද්දා එන්නේ නෑ. පටිය ඇදුනා විතරයි.

ළඟ තියෙන වැටෙන් කෝට්ටක් කඩාගෙන, මගේ පොත් ටිකයි සෙරෙප්පු දෙකයි පැත්තක තියලා හාරන්න පටන් ගත්තා. විනාඩි පහක් දහයක් යද්දී මට පුළුවන් වුණා මල්ලීගේ සෙරෙප්පුව එලියට ගන්න. මට දැන් ගෙදර ගිහිං මේක පෙන්වනකම් ඉවසිල්ලක් නෑ. මම තව ටික දුරක් ආවහම තියෙන ඇලෙන් සෙරෙප්පුව වගේම මගේ අත පයත් හොදා ගත්තා. කෙලින්ම ගෙදර දිව්වා. 

"මල්ලී මේ තියෙන්නේ ඔයාගේ සෙරෙප්පුව"

කලින් අරන් තිබ්බ එකයි මේකයි තමන්ගේ කකුල් දෙකේ දාගෙන රවුමක් ඇවිදින මල්ලීගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී සිනහවක්. 

Wednesday, May 15, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 30 - පාන් ගෙඩිය ......

මගේ කාර්යාලීය මිතුරෙක් ඉන්නවා ටිකක් අමතක වෙන ලෙඩේ තියෙන. ටිකක් නම් ඉතිං අපි කොයි කාටත් අමතක වෙනවානේ. ඒත් මේ කියන මගේ මිත්‍රයට ගොඩක් අමතක වෙනවා. මුලින්ම මිනිහට අමතක වෙච්ච එකක් දෙකක් මතක් කරන්නම්කෝ. ඒ දවස් වල අපේ නුගේගොඩ තිබ්බ ඔෆිස් එක පෝය දවසට නම් අනිවාර්යෙන්ම වහලා. එහෙම දවස් වලත් වැඩට ඇවිත් නමය, නමයහමාර විතර වෙනකම් බලන් ඉන්නකොට මතක් වෙනවා අද පෝය නේද කියලා. මද සිනහවක් මුණේ ඇඳන් ගෙදර යනවා. මිනිහගේ හොඳම ගතියක් තමයි මුහුණ දීපු අකරතැබ්බ අපිත් එක්ක කියලා මහා හයියෙන් හිනා වෙන එක. මේක කෙනෙකුට කලාතුරකින් පිහිටන හොඳ ලක්ෂණයක්.
පින්තුරය ගත්තේ : http://jdsrilanka.blogspot.com

තවත් දවසක් අනුරාධපුර රාජකාරි ගිහින්  ඉන්න දවසක මගේ මිත්‍ර ආනන්දත් අපේ කතානයාත් තව කිහිප දෙනෙකුත් උදේ නැගිටලා තේ එහෙම බීලා වැඩට යන්න සුදානම් වෙනවා. ආනන්ද හැම තැනම හොයනවා දත් බුරුසුව හම්බ වුනේම නෑ. අන්තිමට කඩේට යන්න හිතාගෙන කට්ටිය එකතු වෙලා දත් මදින තැනට ගියා කියන්න. මෙන්න අර අපේ කතා නායකයා සුදු පාට බුරුසුවකින් දත් මදිනවා. හරියට ආනන්දගේ එක වගේමයි.

ආනන්ද : සුරාජ් ඔය දත් බුරුසුව උඹේද ?

සුරාජ් : ඔව් මගේ, ඇයි ?

ආනන්ද : හොඳටම ෂුවර්ද ?

සුරාජ් : ආ උඹේද ? ආ ගනින්.

කියලා මැද - මැද හිටපු බ්‍රෂ් එක එහෙමම දීලා.

අන්තිමට මේක කරන්නම බැරි තැන මේ ගිය යාළුවො කට්ටිය ඒ කාලේ අමතක වෙන ලෙඩේට නැගලම යන බේතක් වෙච්ච memory+ ගන්න කියලා සුරාව එක්කන් ගියා ටවුන් එකට. අන්තිමට බර ගානක් දීලා පෙට්ටියක්ම අරන් ආවා. රෑ ඔන්න හැමෝම ඉස්සරහ එක කරලක් ගිල දැම්මා "මෙමරි ප්ලාස්" කියලා. උදේ ඔෆිස් ගිහින් ඉන්න කොට ආනන්ද අහලා මචන් මෙමරි ප්ලස් ගත්තද ? කියලා. එතකොට සුර කියලා "හරි වැඩේනේ බොන්න අමතක වුණා" කියලා.

දැන් අපේ කතාවට එමු. මේක වුනේ අපේ අර කලින් කියපු නුගේගොඩ ඔෆිස් එක තිබ්බ කාලේ. අපේ ඔෆිස් එක ළඟ තියෙනවා බේකරියක්. උණු උණුවේ පාන් බානවා හවසට. දවසක් අපේ සුරාජ් මහත්තයා එතනින් පාන් ගෙඩියක් ගත්තා. එක අරන් මිනිහා ඔෆිස් අරන් එන ලෙදර් බෑග් එකේ දා ගත්තා. ඔය ලෙදර් බෑග් වල දැම්මම ගෙදර යනකොටත් උණුසුම ආරක්ෂා වෙන නිසා මේකට නියම භාණ්ඩේ. හයිලෙවල් පාරට පයින්ම ගිහින් නුගේගොඩ සෙන් ජෝන්ස් එක ගාවින් තියෙන බස් හෝල්ට් එකෙන් අපේ මිත්‍රයා අතුරුගිරිය යන බස් එකකට ගොඩ වුණා. මේ බස් එකේ කට කපල සෙනග. නැග්ග තැනම තියෙන රාක්කෙ තමාගේ බෑග් එක දාලා සුරාජ් දැන් බස් එකේ යන්න සටනක් දෙනවා.

වාසනාවකට මහරගමට යනකොට එනත වාඩි වෙලා හිටිය පින්වන්තිය නැගිටලා බැස්සා. අපේ මිත්‍රයාට කරදරයක් නැතිවම ආසනය ලැබුණා. දැන් මිනිහා බස් එකේ දාලා තියෙන සින්දුව අහගෙන යනවා. මෙහෙම ටික දුරක් යද්දී අපේ මිත්‍රයා තද නින්දකට වැටුණා. අහන්න දෙයක් නෑ ඉතින් කවුරු වුනත් බස් එකේ යනකොට පොඩි නැප් එකක් දානවනේ.

අන්තිමට බස් කොන්දොස්තර උරහිසින් හොලවලා මහත්තයා බහින්න මේ අතුරුගිරිය කිව්වම අපේ මිත්‍රයා දනී-පැණි ගාලා නැගිටලා, කොන්දොස්තර මහත්තයාටත් ස්තුති කරලා බැස්ස. කොන්දොස්තර මහත්තයත් හැමදාම වගේ එන නිසා අපේ මිත්‍රයව දන්නවා. අපේ යාළුවා බස් එකෙන් බැහැල ඇඟමැලි කඩලා හෙමින් හෙමින් ගෙදරට ගියා. මේ කාලේ මිනිහා අලුතෙන් ගත්ත මිලේනියම් සිටි නිවාසේ තනියම තමයි අපේ මිත්‍රයා හිටියේ. ගෙදර යද්දී හයහමාර විතර ඇති. මිනිහා පරිප්පු හොද්දක් හදන්න කලමනා එහෙම ලැස්ති කරලා ඊට කලින් තේකක් හදාගෙන බිව්වා. අන්තිමට කොහොම හරි රෑ හතට විතර පරිප්පු හොද්දත් එක්ක ඔට්ටු වෙලා ඒකත් ලිපේ තියෙද්දීම බාත්රුම් එකට ගිහිං වොෂ් එකක් දා ගත්තා.

දැන් මිනිහා අර හදපු පරිප්පු එක මේසෙට අරගෙන, ටී.වී. එකත් දාලා පාන් කපන පිහියත් අරන් පාන් ගෙඩිය අරන් එන්න කාමරේට ගියා. හප්පා !!! එතකොටයි මතක් වුණේ බෑග් එක බස් එකේ රාක්කෙට දැම්මට ගන්න අමතක වුණා නේද ? කියල. ඒ පාර හනි-හනිකට ලැස්ති වෙලා, හන්දියේ ත්‍රීරෝද රථයක් කතා කරගෙන අර බස් එක අයිති කෙනාගේ ගෙදර හොයාගෙන ගිහින් බෑග් එක අරන් ආවේ රටක් රාජ්‍යයක් දිනා ගත්ත සෙන් පතියෙක් වගේ. අන්තිමට ත්‍රී වීල් ගාස්තුව රුපියල් හාරසිය පනහයි. මේ කතාවත් පහුවදා උදේම අපේ අයත් එක්ක කිව්වා.

"මචං එතකොට ඔය බෑග් එක කීයක් විතර වුණාද ?"

"රුපියල් හාරසීයකට ගත්තේ"

"ඉතිං බං උඹට තිබුනේ රෑ පාන් ගෙඩියක් අරං කාලා උදේ බෑග් එකක් ගන්නනේ. එහෙම කලත් උඹට යන්නේ රුපියල් හාරසිය තිහයි නේ (ඒ කාලේ පාන් ගෙඩියක ගාන)"

මේ කතාව අහලා අපි හිනා වෙද්දී සුරාජයත් මෙන්න බඩ අල්ලාගෙන හිනා වෙනවා.  

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...