දිනෙන් දිනම ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදය අතර ගැටුම උග්‍ර විය. අපගේ පාර ගාලු පාරත් සමග සම්බන්ධ වන ගුණදාස මුදලාලිගේ බේකරියත්, අපගේ නිවාස පසුකර ගමන් ගත විට පහලවත්ත පාර හමු වන තැන අතර ඇති තුංමන් හන්දියත් අතර කිලෝමීටර් තුන්කාලක පමණ ප්‍රදේශය හැරෙන්නට අනෙකුත් සියලුම ප්‍රදේශ වල ජාතික හැඳුනුම්පත් මේ වනවිට සහෝදරවරුන්ගේ ආණ්ඩුව(මෙය ජේ.වී.පී යනුවෙන් බොහෝ දෙනා හැඳින්වූවත් ඒ වනවිට නියම ජේ.වී.පී. සාමාජිකයින් එක්කෝ මරා දමා තිබුණි නැතහොත් උපක්‍රමිකව ඔවුන් ක්‍රියාකාරීත්වයෙන් ඈත් වී සිටියා විය යුතුය. මේ වනවිට එහි ක්‍රියාකරීත්වයට සක්‍රීයව දායකව සිටියේ බොහෝ ගම්වල උන් තරුණ පිරිස් අතර ඔවුන් ජවිපේ යනු කුමක්දැයි හරිහැටි නොදනින බව මා හොඳින් දැන සිටි කාරණයකි. මා දන්නා එක්තරා එජාප පවුලක් වැඩිමහල් තරුණයෙකු එම සංවිධානයට එක වූයේ තම පවුලේ සාමාජිකයින්ගේ ජීවිත් බේරා ගැනීමටය) භාරයේ ඇත. කෙදිනක හෝ මේ අඳුරු යුගය අවසන් වූ විට ඒවා නැවතත් අපට ලැබේ යන බලාපොරොත්තුව ඔවුන් ලබා දී තිබුණි. මේ කාරණය නිසාම අදත් මා භාවිතා කරන්නේ පාසල්යේ නවය වසරේදී ලබා ගත් මුල්ම ජාතික හැඳුනුම් පතයි.
![]() |
| එකල බොහෝ සෙයින් දක්නට ලැබුණු පෝස්ටර වලින් එකක්. |
මෙවැනි වාතාවරණයක් තුල කොන්ත්‍රාත් පදනම මත බෙන්තොට බීච් හෝටලයේ මා කරන රාජකාරියට නොයන්නැයි මගෙන් දෙමාපියන් ඉල්ලා සිටියද, එය කිසිසේත් අත හැරීමට මා සුදානම් වුයේ නැත. එකල රාජකාරි වලට යාම සහෝදර ආණ්ඩුව තහනම් කර තිබූ අතර, රජය ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවට පෙළඹිණි. අතට ලැබෙන පඩියට වඩා මා කැමැත්තක් දැක්වූයේ එහි සේවය කල විවිධ තාරාතිරම් වල ය සමග විවේක කාල වල කෙරෙන අල්ලාප සල්ලාප වලටය. එකල පොඩි එකා හෝ පොඩි මල්ලි යනුවෙන් කා අතරත් මා ජනප්‍රියව උන්නේ ක්‍රිකට් හෝ පාපන්දු තරගයකදී කණ්ඩායම් වලට නැතිවම බැරි වූ නිසාය. ඔවුන් මා මේ රැකියාව සඳහා තෝරා ගත්තේ ප්‍රදේශයේ අනෙකුත් සංචාරක හෝටල් සමග තරගයකට බැසීමෙනි. අයි පී එල් සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කරන ආකාරයට මෙන් මෙහි මුදල් ලංසුවක් නොතිබුණද, ලබා දිය හැකි තනතුර නොයෙක් විට මෙම හෝටල් දෙක තුනේ සේවය කරන අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨයන් දන්වා තිබුණි. ලිහිණියා සර්ෆ් හෝටලයේ කැෂියර් තනතුරක් හෝ ක්ලාක් තනතුරක් යෝජනා වනවිට බෙන්තොට බීච් හෝටලයෙන් රිසෙප්ෂන් ක්ලාක් නමැති අමුතුම තනතුරක් ගැන පවසා තිබුණි. මගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෙකක් අතර තුර තිබූ එක් විවේක දිනයක මා බෙන්තොට බීච් හෝටලයට කැඳවාගෙන යන්නට රොහාන් අයියා වග බලා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 16 දිනට කල්ගිය ව්‍යවහාරික ගණිත ප්‍රශ්නපත්‍රය ලියා අවසන් කළ මා අගෝස්තු 17 වැනිදා සිට රාජකාරියට එළඹිණි. අම්මාගෙන රුපියල් හාරසිය පනහක් ඉල්ලාගත් මා මොකෑසිනෝ නමැති එකල ජනප්‍රියම වර්ගයේ සපත්තු යුගලක් මිලදී ගත්තේ අලුත්ගම නගරයෙනි.
![]() |
| පින්තූරය ගත්තේ : cheapestinindia.com |
මේ වනවිට රජයේ ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි. පුද්ගලික ආයතනද ක්‍රමයෙන් වැසී යන තත්වයකි. එහෙත් මා සේවය කල බෙන්තොට බීච් හෝටලය සහ සෙසු හෝටල් කලින් වෙන් කරගත් විදේශිකයන්ගේ පැමිණීමේ ඒ හැටි අඩුවක් නොවිණි. ඔබ හොටෙල් රුවන්ඩා චිත්‍රපටය නරඹා ඇතිනම් එකල සංචාරක කර්මාන්තය කෙරුණේ ඒ ආකාරයෙනි. නමුත් කිසිදු සංචාරකයෙකුට මේ පාර්ශව දෙකෙන්ම අවහිරයක් නොවීය. එය අපට මහත් අස්වැසිල්ලක් වුවද, කෙදින මේ ආයතනද වසා දමන්නට අණ කෙරෙනු ඇතිද සැක සංකාව බොහෝ දෙනා අතර විය. ඒ දිනය මට අද වාගේම මතකය, මේ වනවිට සියලුම දෙනාට රාජකාරි වලට වාර්තා කිරීම තහනම් බව නිවේදනය වී තිබුණි. රජයද සහෝදරවරුද ඇඳිරි නීතිය සවස හයෙන් පසුව පනවා තිබුණි. මා එදින රාජකාරියට සැරසුනේ සාමාන්‍ය ඇඳුමිනි. මා සතුව තිබු කළු අළු සහ සුදු ඉරි සහිත අත්දිග කමිසය ඇඳ, මගේ නිල ඇඳුම සහ සපත්තු යුගලය පන් මල්ලක දමාගෙන, මට අවුරුදු තුනක් බාල මගේ සහෝදරයා සමග පා පැදියෙන් හෝටලය බලා පිටත් වූයේ, පිටාරඹ නමැති එම හෝටල් සංකීරණයේ කෙලවර ඇති අපගේ පුංචි අම්මාගේ නිවසට යන පරිද්දෙනි. අපි ඇත්තටම මුලින් එහි ගියෙමු. සවස තේ පානය කර එම නිවසේ පිටුපසින් ඇති හෝටල් සඳහා වන ප්‍රවේශ මාර්ගයට පිවිසුනේ තවත් නිවාස කිහිපයක් පසුකර ගිය විට ඇති දෙවැටෙනි. මේ මාර්ගයත් දුම්රිය මාර්ගයත් සමාන්තරව ගොස් ගාලු පාර සමග එක් වන්නේ බෙන්තොට බීච් හෝටලය ඉදිරියෙන් ඇති වංගුව අසලය. මා හෝටලට මදක් ඔබ්බෙන් බැස වටපිට බලා හෙමින් ගමන් ගත්තේ සේවකයන් ප්‍රවේශ වන කුඩා දොරටුව වෙතය. මගේ සහෝදරයාට පහළවත්ත නමැති මැටි පාරෙන් නිවසට යන ලෙස උපදෙස් දුනිමි.
මා යනවිට එහි අනෙකුත් සේවකයන්ගෙන් අතලොස්සක් පැමිණ තිබුණි. පිටගම් වල ජීවත් වන ඔවුන් මෙහි කල් ගෙවන්නේ නිමල් බේකරියට යාබදව ඇති ක්වාටස් එකෙහිය. මේ ආයතන වල සේවක පරතරය මනා ලෙස පවත්වා ගත යුතු නිසා, මෙහි වාසය කරන්නට අවසර දී තිබුණේ සුපවයිසර් ශ්‍රේණියට අදාළ සේවකයන්ට පමණි. ආහාර සැපයුනේද අදාලා මට්ටමට ගැලපෙන ලෙසය. මේ ස්ථානය බලාකියා ගත්තේ ධර්මේ නමැති ඉතා අවිහිංසක සේවකයෙකි. ඔහු අපට පියෙක් මෙනි. මා මෙහි වාසය නොකලත් මගේ කාලයෙන් වැඩි කොටසක් එතන රස්තියාදුවට ගත විය. කැරම් බෝඩ් එකක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමේ ඇති හැකියාව මා ඒ ස්ථානයට ඇදබැඳ තබාගැනීමට හේතු විය. එම ස්ථානයට දහවල් පැමිණෙන වෙනත් සේවකයන්ද අප හා කැරම් සෙල්ලමට එකතු විය. වඩා දක්ෂයන් දෙදෙනෙකු වූ සුනිල් කොඩිකාර සහ අමරසේකර සමග ක්‍රීඩා කිරීම නිසා මගේ හැකියාවන්ද ඉහල තත්වයකට ගෙන ඒමට පහසු විණි. අමරසේකර නමැති චරිතය සමග මට මතක් වන්නේ ඔහු මුලින්ම සේවයට බැඳුනු දින අසන ලද ප්‍රශ්නයකි. මීට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ ඒ සිදුවීම විස්තර කරන්නේ සෙසු අයයි. ඒ ඔහු නැති තැනකය. මුලින්ම මුළුතැන්ගෙයි සහයකයෙකු ලෙස සේවයට ඔහු එක් වී ඇත. සංචාරක හෝටලයක් වූ එයට ඇතුල් වූ මොහොතේම ඔහු කැඳවාගෙන ගිය පුද්ගලයාට පවසා ඇත්තේ
"හෝටලයක් වුණාට කෙසෙල් කැනක් වත් නෑනේ" යනුවෙනි.මා සේවය කල වකවානුවෙත් ඔහුට මෙය මතක් කර ලුණු ඇඹුල් ඇතිව අසා ගන්නා අය ඇත. එය අපට මහත් ප්‍රීතියක් ගෙන දෙන කාරණාවකි.
එදින සිටි සියළුම පිළිගැනීමේ අංශයේ සහ ගිණුම් අංශයේ අය කැඳවූ සහයක කළමනාකරුවකු වූ මේරියන්ස් මහතා
"අද ඉඳන් කට්ටියට මෙහෙ නැවතිලා වැඩ කරන්න වෙනවා. අපි කාමර දෙකක් දෙන්නම් අපි ඉන්න පැත්තෙන්. ඔයාලට එකේ ඉඳන් වැඩ කරන්න පුළුවන්. ආපහු යන්න වෙන්නේ මේ ඇඳිරි නීති නැති දවසක"මෙය අසා අපේ බොහෝ දෙනෙක් අමන්දානන්දය පත් විය. මෙම කාමර දෙක සඳහා මම, දිලිප්, ජයවර්ධන, ගමගේ, ජයසේන විය. අපට වඩා පහල ශ්‍රේණි වල සිටි බෙල්බෝයි වැනි සේවාවන් කල අයට වෙනම ක්වාටස් එකක් හෝටලයට යාබදව විය. අප සමග සේවය කල සහෝදර සේවිකාවන් තිදෙනාටද ටික කලක සිට නවාතැන් සපයා තිබිණි. ඒ වින්ද්‍යා, මංජුලා සහ ගීතාංජලී යන තිදෙනාටය. මංජුලා සහ වින්ද්‍යා එකම කාමරයක සිටි අතර ගීතාංජලී වෙනම කාමරයක විය. ඈ මුලින්ම මා යටතේ මගේ රාජකාරිය පුහුණු කිරීමට යෙදවිණි. මට වඩා වැඩිමහල් වූද, වෙනත් හෝටල් රැසක සේවය කර තිබූ ඇය ඉතා ඉක්මනින් මගේ රාජකාරිය ග්‍රහණය කර ගන්නට සමත් විය. මුල් දවස් වල ගීතාංජලීට පුහුණුව දෙන අතර මා විහුළුවට මෙන් "අද මං ඔයාගේ කාමරයට එනවා" යයි කියා සිටියේය. එදින ඈ කාමරයේ සිට "ඔයා එන්නේ නැද්ද?"යි ඇසීය. මගේ ඇඟ සීතල විය. එය කිසිසේත් කල නොහැක්කකි. මේ බව මා එතැන හුන් බෙල් බෝයි වරයාට සහ තවත් කිහිප දෙනෙකුට පැවසීය. පසුදා උදෑසන එදින සිටි බෙල්බෝයි වරයාට පිළිගැනීමේ අංශයේ ප්‍රධානියා කනට ගසා ඇත. ඒ ගීතාංජලීගේ කාමරයට තට්ටු කිරීම නිසා යයි පවසා ඇත. නමුත් එසේ කර ඇත්තේ ඔහු නොවන බව හේ අඬමින් පවසයි. එහි ගියේ ඔහු නොවන බවත්, මා කතාව පවසන තැන සිටි මගේ වෙනත් මිත්‍රයකු බව පසුව දැන ගන්නට ලැබිණි. ඒ වනවිටත් එම කාමරයෙහි වෙනත් කළමනාකරුවකු සිට ඇත. දඬුවම සඳහා හේතුව එය විය.
දිලිප්ගේ පෙම්වතිය වූ වින්ද්‍යා එක් වරම පැපොල රෝගයෙන් රෝගාතුර විය. ඇය නිවසට ගොස් ඇරලවීය. අපට මේ නේවාසික සේවාව ඉබ්බා දියට දැම්මා මෙන් විය. අප බොහෝ දෙනෙකුට අඳින්නට වත් ඇඳුමක් නොවීය. අප මුලින්ම කරන්නේ අපගේ අමතර යුනිෆෝමය ලොන්ඩරියෙන් රැගෙන විත් කවුරුන් හෝ අත ඇඳ සිටි යුනිෆෝමය යැවීමයි. ප්‍රථම රාත්‍රියේදී මගේ වැඩ නියමිත වෙලාව වන රාත්‍රී දහයට අවසන් කර ගැනීමට නොහැකි විය. මම අඩි තුනයි දෙකේ සමරිය සහ කැල්කියුලේටර් පතයද ඔසවාගෙන ගමගේ සමග කාමරයට පිවිසුනෙමි. ඒ වන විට අපේ කාමරයේ කුඩා සාදයක සිරි ගෙන තිබිණි. ඒ බෙල්බෝයිලා, බාර්මන්ලා සහ වෙටර්ලාගෙන් සැදුම්ලත් කන්දයමකිනි. කොහෙන්දෝ ගෙනෙන ලද බෝතලයක් වටා දහ දෙනෙකු පමණ වට වී ඇත. විවිධ කෑම වර්ග රාශියක්ද ඇත. මීට ටික මොහොතකට පෙර ගමගේත් මමත් හොඳට සප්පායම් වී සිටියෙමු. ඒ කුස්සියේ වැඩ කරන සේවකයන් අප වෙත ලබා දෙන ආහාර තොගයෙනි. ගමගේද ඒ සාදයට සහභාගී වන අතරේ මා කාමරය කෙලවර කන්නාඩි මේසය මත මගේ සමරිය දිග හැර, කැල්කියුලේටරය ප්ලග් එකට ඔබා වැඩ පටන් ගතිමි. එම සමරිය සෑදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කැලමසු ක්‍රමයට වූ එය දෙපැත්තටම තුලනය කල යුතුය. කාමරයට ගොස් මෙසේ තුලනය කළහැකි බව කලින්ම දැනී මා අනෙකුත් ෆයිල් වලින් ගතයුතු ඩොලර්, පවුම් ආදී මුදල් වර්ග වල අගයන්ද, ඒ ඒ සංචාරක ආයතන වලට අදාළ ගණන්ද එක් එක කාමරයට අදාළ තීරුවේ සටහන්කොට ගත්තෙමි. දැන් ඉතිරිව ඇත්තේ ගණනය කිරීම්ය. මේ ගාලගෝට්ටි අස්සේ එය නිම කල නොහැක. මට තරමක විඩාවක්ද දැනේ. මා නාන කාමරයට පිවිසියෙමි.
මා පිටතට එන විට බොහෝ දෙනා සප්පායම් වී කියවමින්ද, සමහරු බිම නිදාගෙනද, සිටි අතර ගමගේ නාන කාමරයට පිවිසීමට සුදානම්ය. මා ඇඳට වී නිදන්නට සුදානම්ව සිටි අතර අපගේ දුරකථනය ක්‍රියා නොකරන බව පණිවුඩය ගෙන ආවේ වෙනත් සේවකයෙකුය. ගමගේ ආ පසු, සියලු දෙනා පිට වී යනතෙක් බලා හිඳ, අප දෙදෙනා තුවා වලින් සැරසී, තවත් තුවායක දෙකෙළවර ගැටයක් ගසා තනා ගත් හින්ගන්නකුගේ පොට්ටනිය සේ පෙනෙන මල්ලක් සකසා එහි කාමරයේ දුරකථනය හොවාගෙන, ගමගේ හොරෙන් ගෙනෙන ලද අසල හිස් කාමරයක යතුරද රැගෙන් හොරුන් සේ ඇඟිලි තුඩු වලින් පිය මැන්නෙමු. මේ අසල කාමර වල ප්‍රධාන කළමනාකාර හපුගොඩ මහතා, උප ප්‍රධානී විතාන මහතා ඇතුළු සියලුම ප්‍රධානීන්ගේ කාමරය. වැරදීමකින් හෝ ඉන් කෙනෙකු පිටතට පැමිණියහොත් අප දෙදෙනා සුංය. අනෙක් කාමරයට සීරුවෙන් ඇතුල් වූ අප එහි ඇති දුරකථනය ගැලව ගෙන ආ එක සවි කොට අපගේ කාමරයට අවශ්‍ය දුරකථනයත්, තවත් තුවායකින් සාදා ගත් මල්ලක එහි ඇති මිනරල් වතුර බෝතල් දෙකත් රැගෙන හොර බළලුන් දෙදෙනෙකු මෙන් අපගේ කාමරයට ආවෙමු. දැන් මට රාජකාරිය කල හැක. එහෙත් මට දැඩි විඩාවක් දැනේ.
"නිදා ගනින් බං - හෙට උදේට හදපන්. මම ලයිට් නිවනවා"
ගමගේ ගේ අණින් මාද ඇඳට වී නිදන්නට පටන් ගතිමි. පසුදා උදෑසන ඇහැරෙන විට මගේ වමතේ වැලමිටට පහලින් දිය බුබුලක් ඇති බව දැනිණි. එයින් කුඩා වේදනාවක්ද ඇති බවද දැනිණි. මගේ උගුර රිදෙන බව පැවසූ විට හනෝ නොහොත් ගමයා පවසා සිටියේ පෙරදින දහවල් ආහාරය සමග ගිල දැමූ අන්නාසි නිසා වන්නට හැකි බවයි. අද තැඹිලි ගෙඩියක් ඉල්ලාගෙන පානය කරන ලෙසයි. මාගේ අත බෙල්ලට ගමන් කලේ නිරායාසයෙනි, එහි තවත් බිබිලකි. මේ බව ගමයාට පැවසු විට
"බලපන් - බලපන් තව තියෙනවද කියලා. මට හිතෙන්නේ උඹටත් ගස්ලබු හම්බ වෙලා වගේ"
මට දෙලෝ රත් විය. දැන් කොහොමද වැඩ කරන්නේ. වෙලාව උදෑසන හතට ආසන්නය. වහා සුදානම් වූ අප දෙදෙනා පිය මැන්නේ පිළිගැනීමේ අංශයටයි. මීළඟ මට තිබෙන්නේ හිටගෙන ඉන්නා පැය තුනකි. ඒ මා සාදන ලද සමරිය ගිණුම් අංශයෙන් පරීක්ෂා කරන තුරුය. මා අංශ ප්‍රධානී නානායක්කාර මහතා වෙත කැඳවාගෙන ගිය ගමගේ, ඔහුට මාගේ තත්වය පෙන්වීය. ඔහු මගෙන් ඉල්ලා සිටියේ වැඩටික ජයවර්ධනට භාර දී වාහම නිවසට යන ලෙසය. එසැනින් මා නිවසට ගමන් ගතිමි.
_________________________________________
- මට ඉතා දරුණු ලෙස පැපොල වැළඳිණි. සති දෙකක් පමණ බිම එලන පැදුරකට වී කොහොඹ කොළ මත කාලය ගත කලෙමි. සියොලඟම බිබිලි වලින් පිරිණි. පහුගිය කාලේ ආහාරයට ගත් ඉස්සෝ,දැල්ලෝ අන්නාසි වල ප්‍රතිඵල නිකුත් වී ඇත.
- එම කාමරය ආ ගිය දහතුන් දෙනෙකුට පැපොල රෝගය පැතිරී තිබුණි. එක් අයකුගේ දෙමාපියන්ටද බෝ වී, සුලෙයිමාන් රෝහලේ ප්‍රතිකාර සඳහා රුපියල් 18,000 ක් වැය වූ බව පසුව දැන ගන්නට ලැබිණි.
- ඉන් දින කිහිපයකට පසුව සියළුම හෝටල් දින නියමයක් නැතිව වසා දැමිණි.
- මිතුරන්ගේ තොරතුරු තබා රටේ සිදුවන දෙයක්වත් දැන ගත හැකි අයුරක් නොවීය.

