Showing posts with label රිවරිනා හෝටල් (Riverina Hotel). Show all posts
Showing posts with label රිවරිනා හෝටල් (Riverina Hotel). Show all posts

Monday, April 6, 2015

දිනේශාගේ බිත්තිය, බිත්ති තුනක් මැද කථාව සහ විලියම්ගේ ටෙඩ් වීඩියෝව ......

දිනේෂා මට හමු වන්නේ රිවරිනා හෝටලයේ මා සේවය කල සිව් වසරක කාලය තුළදීය. මා රිවරිනාවේ සේවයට යන්නේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිගණක පාඨමාලාව අවසන් කරනවාත් සමගමය. ඇය ඒ වනවිටත් එහි සේවයේ නියුතුවුව සිටියාය. මේ කතාවට දිනේෂා විශේෂ වුවත්, පිළිගැනීමේ අංශයේ සේවය කල දිනේෂලා සහ අප අතර මිතුදම තර වන්නේ දවසට දෙවරක් ලැබෙන තේ විවෙකයේදීය. රිවරිනාවේ ගිණුම් අංශය ඇත්තේ හරියටම පිළිගැනීමේ අංශයට පිටුපසිනි. එනිසා තේ විවේකයට පිළිගැනීමේ නිලධාරීන්, දුරකථන ක්‍රියාකරුවන් සහ අප එක වන්නේ අප දෙපාර්තමේන්තු දෙක යා කරන දොරටුව අසල ඇති බිත්ති තුනකින් වට වූ වර්ග අඩි 10ක පමණ කුඩා ඉඩකදීය. 

ගිණුම් අංශයේ අපට රාජකාරී අවශ්‍යතා මත හැර පුද්ගලික කථාබහ සඳහා ඉඩකඩක් නැත. අප විහිළුවක් තහළුවක් හෝ ඕපයක් දොඩවන්නේ මේ මිනිත්තු පහේ විවෙකයේදීය. එකල මා පරිගණක කාමරයක කොටු කර තැබූ බැවින්, උදේ ආහාරයෙන් පසු මේ විවේකය එනතුරු මා බලා සිටින්නේ තේ විවේකය එනතුරුය. ඉන්පසු දොළහයි පහලවට එන දිවා ආහාර විවේකය වෙනතුරුද, සවස තුනට ලැබෙන තේ විවේකය ලඟා වනතුරු මා නොඉවසිලිවන්තව බල සිටියා මතකය. මේ තේ විවේකයේදී නොයෙක් විහිලු තහළු, ඕපාදූප, අණ්ඩර දීම් සහ අවලම් විහිළුද විසි කරනු ලබයි. වරක් මා දිනේශාට කල එවැනි විහිළුවක් නිසා ඇයට සිනහව නවතා ගන්නට බැරිව  බොමින් සිටි තේ උගුර අසල බිත්තියක් ස්ප්‍රේ කළා තවමත් මතකය. 

ෆේස්බුක් වෙබ් අඩවියේ සුවිශේෂත්වය ලෙස මා දකින්නේ, යුග ගණන් ඔබට මගහැරුණු ඔබේ මිතුරන් යලි මුණගැසීමේ අවස්ථාව ඔවුන් සලසා තිබීමය. ජංගම දුරකථන පැමිණෙන්නට ප්‍රථම මෙසේ වෙන් වුවන් සියල්ල සමග ලිපි ගනුදෙනු නොකිරීම, ස්ථාවර දුරකථන සුඛෝපබෝගී සේවාවක්ව පැවති එම යුගය තුල සිදු නොවීය. ඇරත් සාමාන්‍ය ජීවිතයේදී ගැඹුරු මිත්‍රත්වයක් නොමැති අය සමග ලිපි මගින් අදහස් හුවමාරු කර ගන්නේ නැත. නමුත් අරයාට යවන ලිපියේ මෙයාවද මතක් කරන්න යන ආයාචනා බොහෝ තිබු බව මෙය කියවන  තිස්පහ ඉක්මවූ සැවොම දන්නා කරුණකි. ෆේස්බුක් වඩා වැදගත් වන්නේ මේ සියලු කල්හී පැවති මිතුරු සමාගම් මවුස් ක්ලික් කිහිපයක දුරින් තබා ගැනීමේ හැකියාවය. එලෙස දිනේශාත් මාත් නැවත මිතුදම ගොඩනගා ගන්නේ දැනට අවුරුදු කිහිපයකට උඩදීය. ඇයට මා ගැන පැහැදිලි මතකයක් නැතත්, ෆේස්බුක් මිතුරන් සේ ගත කිරීම එයට බාධාවක් නොවේ. අප දෙදෙනා අතර වැඩි චැට් ගනුදෙනුවක්ද නොවීය. 

එහෙත් මෝඩයාගේ දිනයේදී ඇගේ ෆේස්බුක් බිත්තිය නොහොත් වෝලය මත දමා තිබූ වීඩියෝව නිකම්ම නිකං එකක් නොව ටෙඩ් වීඩියෝවකි. මේ වන විට ඔබ අප සැම ටෙඩ් වීඩියෝ එකක් හෝ කිහිපයක් බලා ඇත. ටෙඩ් යනු ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානය යන වර්ගීකරණයට අයත් ආයතනයකි. රාජ්‍ය නොවන යන වචන යුගලය දුටු ගමන් අපේ සිතට එන්නේ මොකක් හෝ මර උගුලක් යන්න බව නොරහසකි. ඔවුන්ගේම වචනයෙන් කියනවනම්
ලොව තුල ප්‍රචලිත කිරීමට වටින නව අදහස් සඳහා වේදිකාවකි. 1984 දී තාක්‍ෂණය, විනෝදාස්වාදය සහ සැලසුම් වල එකතුවක් වූ සමුළුවක් ලෙස ඇරඹියද, අද විද්‍යාවේ සිට ව්‍යාපාර දක්වාත්, ටෙඩ්(TED) පුළුල් පරාසයක විහිදුනු අදහස් භාෂා 100කට වැඩි ගණනකින් ප්‍රචලිත කරන  ආයතනයකි. මේ අතර  ටෙඩ්-එක්ස්(TEDx) තමන්ගේ ජාතීන් අතර ටෙඩ් වැනි නිදහස් උළෙලවල් සංවිධානය කරන ලොව පුරා විසිරුණු සංවිධාන සඳහා උපකාර කිරීමේ අරමුණින් පවත්වාගෙන යන්නකි. 



දිනේෂා බෙදාහැර තිබු වීඩියෝව විලියම් කම්ක්වම්බා විසින් ටෙඩ් වේදිකාවේ පවත්වන ලද්දකි. මේ ඔහුගේ කතාවයි
අවුරුදු දෙකකට කලින් මා ටැන්සානියාවේ අරුෂා නගරේදී ටෙඩ් වේදිකාවට ගොඩ වුණා. එහිදී මම ඉතා කෙටියෙන් කථා කළා මගේ භාණ්ඩ නිෂ්පාදනයෙන් එකක් ගැන. ඒ මගේ ජීවිතය වෙනස් කල සරල යන්ත්‍රයක් ගැන.
 ඊට කලින් මම මලාවි රටේ තියෙන මගේ ගෙදරින් පිට ඉඳලා නෑ. ජීවිතේට කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ. අන්තර්ජාලය  දැකලා  නෑ. එදා වේදිකාව  උඩදී  මාව වෙව්ලුවා. මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මට වමනේ දාන්න හිතුණා. ජීවිතේට ඒ තරං  අසුන්ගු ගොඩක් මා වටේ ඉඳලා නෑ. (අසුන්ගු කියන්නේ) සුදු මිනිස්සු.
 එදා මම කිව්වේ නැති කතාවක් තිබුණා. හොඳයි දැන් මම ඉන්නේ හුඟාක් හොඳින්.  මම කැමති ඒ කතාව අද කියන්න.ඒ අපි   දැක්කේ මගේ පවුලේ ළමයි.මං ඇරෙන්න  හැමෝම කෙල්ලෝ. මේ මම තාත්තා එක්ක ගොඩාක් පුංචි  කාලේ. විද්‍යාවේ  ආශ්චර්ය ගැන දැන ගන්න කලින් මම දුප්පත් ගොවියන්ගේ රටේ සාමාන්‍ය ගොවියෙක්. අනිත් හැමෝම  වගේ අපිත් වැව්වේ බඩ ඉරිඟු .

එක අවුරුද්දක වාසනාව  අපිට පයින්  ගැහුවා. 2001 දී අපිට භයානක අහේනියක් ඇති වුණා. මාස පහක් ඇතුලත හැම මාලාවි ජාතිකයෙක්ම බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා.මගේ  පවුලේ  අය  දවසකට  කෑවේ  එක  කෑම  වේලයි. ඒකත්  රෑට. ඒ (න්)සිමා ගුලි තුනක් එක් කෙනෙකුට. අපේ ඇඟවල් හරහා ඒ කෑම ගියා. අපිව ක්ෂය වෙලා ගියා.
මලාවි රටේ උසස් පෙලට ගෙවන්න සිදු වෙනවා.  බඩගින්න නිසා මට පාසලෙන් පිටමං වෙන්න සිදු වුණා. මම තාත්තා දිහාත්, වියලී ගිය ගොවි බිම දිහාත් බැලුවා. ඒ මට බාර ගන්න අකමැති අනාගතය. 
උසස් පෙලට පාසල් යන්න ලැබීම ගැන මම සතුටු වුණා, අධ්‍යාපනය ලබා ගන්න ඕන දෙයක් කරන්න මම හිතා ගත්තා. මම පුස්තකාලයට ගියා. මම පොත් කියෙව්වා, විද්‍යාව විශේෂයෙන්ම පිසික්ස්. මට එච්චර හොඳට ඉංග්‍රීසි කියවන්න බෑ.  මම රූප සටහන් සහ පින්තූර වලින් ඒවා වටේ තියෙන වචන තේරුම් ගත්තා. 
තවත් පොතක් ඒ දැනුම මගේ දෑතට ගෙනාවා. හුලං මෝලකට ජලවිදුලිය දෙන්නත්, වතුර පොම්ප කරන්නත් හැකි බව තිබුණා. වතුර පොම්ප කරනවා කියන්නේ වාරිමාර්ග, ඒ වෙනකොට අපි අත්විඳපු බඩගින්නට විරුද්ධව කළහැකි සටන. මම තීරණය කළා මමත් හුලං මෝලක් හදා ගන්නවා කියලා. නමුත් මට ඕන කරන කළමනා තිබ්බේ නෑ,  මම ගියා සුන්බුන් ගොඩක් ලඟට එතැන මට ඕන දේ තිබුණා. මගේ මවත් ඇතුළුව බොහෝ දෙනෙක් කිව්වේ මට පිස්සු කියලා. 
 මට හමු වුණා ට්‍රැක්ටර් ෆෑන් එකක්, ශෝක් ඇබ්සෝබර් එකක්, පී.වී.සී. බට, බයිසිකල් රාමුවක් සහ ඩයිනමෝවක්. මම මගේ මැෂිම හැදුවා. මුලින්ම එක ලයිට් එකක්. පස්සේ ලයිට් හතරක් සුවිච් විතරක් නෙවෙයි  විදුලි සීනුවක ආකෘතියට හදපු සර්කිට්  බ්‍රේකර් එකක් එක්කම.  තවත් මැෂිමක් වතුර පොම්ප කරා.
 පෝලිං ගණන් මිනිස්සු අපේ ගේ ළඟ පෝලිමට හිටියා එයාලගේ ජංගම දුරකථනය චාජ් කර ගන්න. මට ඔවුන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. පත්තර වාර්තා කරුවනුත් ආවා, තවදුරටත් යත්දී බ්ලොග්කරුවනුත් ආවා, ඉන්පස්සේ ටෙඩ් කියලා එකකිනුත් ආවා. මම ඊට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ. හෝටලයක නිදාගෙන තිබුණේ නෑ. ඒක නිසා අරූෂා වල වේදිකාවේදී මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මම මෙහෙම දෙයක් කිව්වා "මම උත්සාහ කළා. මම හැදුවා"
 ඒ නිසා මට හැම කෙනෙකුටම, මම වගේ අප්‍රිකානුවන්ට, බඩගින්න වෙනුවෙන් තමන්ගේ හීනත් එක්ක අරගල කර දුප්පතුන්ට,  කියන්න දෙයක් තියෙනවා. දෙවිපිහිටයි. කවදාහරි ඹබ මේක අන්තර්ජාලයෙන් දකින්න පුළුවන්. මා ඔබට කියනවා, තමන් ගැන විශ්වාස කරන්න, බලාපොරොත්තු තියාගන්න. මොනවා වුණත්, අත අරින්න එපා. ස්තුතියි.   
ඇත්තටම ලෝකය අද පවතින තත්වයට පත්වෙලා තියෙන්නේ මේ වගේ උඩුගම් බලා පීනපු මිනිසුන් නිසා. තමන්ට යමක් ගැන විශ්වාසයක් තියෙනවනම්, අනෙක් අය මොනවා කිව්වත් ඒ දේ කරන්න ඕනේ. විලියම් අපිට කියා දෙන පාඩම එයයි.

මේ අපූරු වීඩියෝව ශෙයා කල මගේ මිතුරිය දිනේශාටත්, TED ආයතනයටත් මගේ ස්තුතිය. මම හිතනවා ඔබත් මං වගේ අද ඉඳලා TED වීඩියෝ පිස්සෙක් වෙයි කියලා. ඔබේ දරුවන්ටත් මේවා පෙන්වන්න. එය ඔවුන් තුල ආත්ම විශ්වාසය ඇති කරයි.


Monday, September 15, 2014

ලොල්ද මන්දා අංක 16 : සුද්දාගේ අමුතු යෝජනවා ...... Indecent proposal from a Guest

මේ කතාව මට අහන්න ලැබුණේ මම රිවරිනා හොටෙල් එකේ වැඩ කරපු කාලේ. මම වැඩ කරේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ. අපේ ඔෆිස් එකත් එක්කම යාබදව තමයි රිසෙප්ෂන් එක එහෙම නැත්නම් පිළිගැනීමේ අංශය තිබුණේ. ඉතිං අපි දෙගොල්ලෝ එකට තමයි තේ විවේකයේදී කෝප්ප උස්සගෙන අපේ ඔෆිස් එකයි, රිසෙප්ෂන් එකයි අතර තිබ්බ මුල්ලට සෙට් වෙන්නේ. ඔය වෙලාවේදී තමයි අපේ රැකියාවල නිරත වෙත්දී වෙච්ච දුක්මුසු, හාස්‍යජනක, ත්‍රාසජනක, භියජනක, කෙල්ලන්ට නම් අයුතු යෝජනා, අඩම්තේට්ටම් වෙච්ච වගේම පිට ඉඳලා එන අය ඒ අතරතුරදී මුහුණදීපු අත්දැකීම් බෙදා ගත්තේ. 


මෙයට අමතරව අපේ ඔෆිස් එකෙන් රිසෙප්ෂන් එක පැත්තට ඔලුව දාපු ගමන් තියෙනවා ගෙස්ට්ලා තමන් ළඟ තියෙන පොත් පත් සඟරා හුවමාරු කර ගන්න ඩෙස්ක් එකක්. තමන් කියවපු/බලපු පොත් පත් සඟරා එතන දාලා, නොබලපු ඒවා අරගෙන යනවා. සුද්දෝ ඉතිං සුද්දෝම තමයි. කිසි දාක වංචා කරන්නේ නෑ. එතනින් එකක් ගන්නවා නම්, එතනට දෙකක් දානව. අපිත් පාන්දර ආපු දවසට ඔතන තියෙන මැගසින් උස්සනවා. ප්‍රංශ, ජර්මන් ඉතාලි තියා ග්‍රීක් වලින් තිබුණත් අපි බලන්නේ පින්තූර විතරයි. පොත් නම් ගන්නේ අපිත් එක්ක හිටිය ෂොක්මන් විතරයි. ඒත් ඉංග්‍රීසි ඒවා. අපෙත් එක්ක හිටපු බැසිල් තමයි ඒවායේ තියෙන පින්තූර විශ්ලේෂණය කරන්නේ. අපෙත් එක්ක වැඩ කරපු ෂොක්මන් මම දැකපු හොඳම කියවන පුද්ගලයෙක්. දවසේ වැඩ කරන්න ගන්න මිනිත්තු කිහිපය ඇරුනහම මිනිහගේ වැඩේ කියවන එක. ඩේලි නිව්ස් එක අකුරක් නෑර කියවනවා. අපේ ජී.එම්.ට වුණත් මොනවා හරි පත්තරේ තිබ්බ දෙයක් ගැන දැන ගන්න ඕන වුණොත් මිනිහාගෙන් තමයි අහන්නේ.

උදේට කාලා අපේ ආසන වල වාඩි වුණාට පස්සේ, ආයේ නැගිටිනවා බොරු. එහෙම යනවා නම් මොකක් හරි රාජකාරි වැඩකට තමයි. මම කරපු රාජකාරියේ හැටියට මට ටිකක් නිදහස තිබුණා ස්ටෝර්ස් එකට යන්න. මතක් වුණ වෙලාවේ මේ එක්කම අතුරු කතාවක් තියෙනවා ලියලා දාන්න. ඔය ස්ටෝර්ස් එකට යන්න අවසර ඇතුව හෝ නැතුව අපිට සාධාරණ හේතු තිබුණා. අපි උදේ අටට වැඩට වාඩි වෙන්න කලින් පහළ කුස්සිය, ස්ටෝරුව තියෙන පැත්තේ තියෙන අපට අදාළ කැන්ටින් වලින් ආහාරය ගන්න ඕනේ. මේවා නිකංම දෙන්නෙත් නෑ. මීල් චිට් කියලා, එක්-එක් ශ්‍රේණියට අදාලා වර්ණයන්ගෙන් යුත් කෝච්චි ටිකට් එකක් තරම්, හරියට මුද්දර වගේ මැදින් කඩන්න පුළුවන් ටිකට් වර්ගයක් අපට නිකුත් කරනවා. ඒ ගැන ගණනය කිරීමක් කලින් දවසේ සිදු වෙනවා. අදාළ අංශයට එදා කලින් දවසේ හවස මේ මීල් ටිකට් හම්බ වෙනවා. ලොක්කෝ කොච්චර අපිව බෙදලා තියෙන්න හැදුවත්, මේ කෑම කන තැන් වලදී අපි පන්ති භේදය අත ඇරලා සහෝදරයෝ වගේ උන්නා. මේ බොහෝ දෙනෙක් අපි එක්ක කථාවට කැමතියි. ඒ ඊළඟ මාසේ දහවෙනිදට ලැබෙන සර්විස් චාජ් එක කීයක් විතර වෙයිද කියලා දැන ගන්න. 

මේ සර්විස් චාජ් එක, තම තමන්ගේ දෙපාර්තමේන්තුවට දැනෙන විදියට ගණනය කර ගන්න, ඒ ඒ දෙපාර්තමේන්තු වල පැරණි සේවකයින් සමත් වෙලා තිබුණා. නයිට් ඔඩිටර්වරු දෙදෙනා විදියට කටයුතු කරපු මයිකල්-ශාන්ත දෙපල තමයි වඩාත් කිට්ටුවට නිවැරදි අගය කිව්වේ. ඒ නමුත් සර්වි චාර්ජ් එක ගණනය කරන එකේ සමීකරණය අනෙක් දෙපාර්තමේන්තු වලට අයට පමණක් නෙවෙයි සමහර ගිණුම් අංශයේ සේවකයන්ටත් ටිකක් විතර බරපතල වෙලා තිබුණා. මේ වගේ ආයතන වල සේවය කරන අය තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂා කර ගත්තේ, මේ වගේ බැරෑරුම් දේවල් පිලිබඳ රහස් සඟවගෙන ඉඳීමෙන්. මේක තවත් කෙනෙකුට උගන්වන්නේ බොහොම අමාරුවෙන් තමයි. එහෙම ඉගැන්නුවත් කොටසක් අඩුවෙන්. ඒ නිසා වැඩේ දැනගත්තත් කවුරුවත් චන්ඩි වගේ මේවා හදන්න ඉදිරිපත් වුනේ නෑ. පසුකාලීනව මේ ගණනය කිරීම් කරන විදිය තිතටම ඉගෙන ගන්න මට පුළුවන් වුණා. උසස්පෙලට ගණිතය කරලා, එන්.අයි.බී.එම් එකේ පරිගණය පාටමාලාවට උසස් ගණිතය සහ උසස් මට්ටමක සංඛ්‍යානය ඉගෙන ගත නිසා මට ඒවා අල්ල ගන්න එතරම අපහසු වුනේ නෑ.

අතුරු කතාව අස්සේ තවත් අතුරු කතාවක් කියවුනා. සර්විස් චාර්ජ් ගණනය ඒ තරම් රසවත්. අතුරු කතාව තමයි, අර කියපු මීල් චිට් වලට කෑම නිකුත් කරන එක උදෑසන හතයි පනහට හරියටම අවසන් කළා. එතන ලබා දීපු කෑම ගැන අපේ ඒ තරම ප්‍රසාදයක් තිබුණේ නෑ. ඩප්පරා කියලා ජීවිතේට කාපු නැති, බ්ලේඩ් එකෙන් කැපුවා වගේ හරි හතරැස්, මෙලෝ රහක් නැති මාළු ජාතියක් තමයි අපිට කෑමට දුන්නේ. ඒ මදිවට කිරිබත් කන්න - කිරි හොදි ! බොහෝවිට කිරට උයපු මේ මාළු. අපේ ඇඟේ මාළු නටපු වාර අනන්තයි. ඇයි ඉතිං, පාන් එක්ක කිරි මාළු සහ මිරිස් මාළු නැත්නම් කිරිබත්. බොහෝවිට ඔය දෙකම එහා මෙහා කර කර දුන්නා. වතුර පුදුම ජරාවක්. ඒ හෝටලේ තියෙන මුහුදුබඩ පළාතේ ලුණු මිශ්‍ර හිරිගල් පොලවෙන් එන්නෙම කිවුල් වතුර. ඒ මදිවට කුඩා පනුවෝ ජාතියක් ඉන්නවා. ඒ වගේ ජරා වතුරක් මම දැක්කේ පහුකාලීනව බැංකුවේ සේවයට ගිය වෙලාවක අරලගංවිලදී. එහෙට හොඳට වහින කාලෙක වතුරේ කුඩා කූනිස්සෝ වර්ගයක් ඉන්න බව දැකලා, එහෙදීත් බිව්වේ උණු-උණු ගින්දර වගේ වතුර. මේ හෝටලේ නම් ලෝබ කමටමයි එහෙම කලේ. ඒවා හොයා බලන්න කවුරුවත් ඒ කාලේ හිටියේ නෑ. හරිනම් තරු ලබා දෙත්දී සේවක සුබසාධනයත් බලන්න ඕනේ. අනේ මන්දා ඒවා කොහොම සිද්ද වුණාද කියලා. 

ආයෙත් පිට පැන්නා. හතයි පනහට ආහාර ගන්න බැරි වුනොත්, ආයේ උදේ දහයට දෙන කිරි තේ එක ඇරෙන්න දවල් වෙනකං මොනවත් නීතියානුකූලව ලැබෙන්නේ නෑ. ඒ කියමනෙම රැඳිලා තියෙනවා "හොරෙන් කන්න පුළුවන්" කියන එක. එකවුන්ට්ස් එකේ හිටපු අපිට ඔෆිස් එකට යාබදව තිබුන කොෆී ෂොප් එකෙන් හරි පහළ ලොකු කුස්සියෙන් හරි කෑම ටිකක් ලබා ගන්න බැරි වෙන්නේ නෑ. ඒත් අපි ඉන්නා තැනට ගෙන්වා ගන්න පුළුවන් කොෆී ෂොප් එකෙන් විතරයි. ඒකෙ වැඩ කරපු ච්බ්බා නොහොත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු (ජීවතුන් අතර නැති බව මෑතකදී දැන ගන්නට ලැබුණා. අපෙත් එක්ක ක්‍රිකට් තරග වලට යත්දී රස ගුලාවක් මවපු සැබෑ චීනෙකුගේ පෙනුම සහිත තඩි මහතා පුද්ගලයෙක්) නොහොත් චබ්බා අපිට එහෙම ඉල්ලපු දවසකට ඊයම් කොලවල ඔතපු තම්බපු බිත්තර, බ්‍රෙඩ් රෝල්, ක්‍රොසේන්ස්, ඇම්බුම් කෙසෙල් ගෙනත් දෙනවා. නමුත් මතක ඇතිව කෙසෙල් ගෙඩියේ ලෙල්ල ගෙනියන්න ඔහු වග බලා ගත්තා. ඒ ඔහුගේ දිනය අවසන තුලනයන් කරන්න. ඒ තරම් පාළනයකින් තමයි ඒ ආයතන දිව්වේ. නමුත් වර්ෂ අවසාන බෝනස් එක හැමෝටම රුපියල් පන්දාහයි. ඒවා ගැන කථා කරලා වැඩක් නෑ. ඒවායේ තිබුන නාම මාත්‍ර යුනියන් වලට ඒවාට සටන් කරන්න බෑ. 

පහළ ලොකු කිචන් එකෙන් කෑම ටිකක් දෛනිකව ඉල්ලා ගන්න ඒ කාලේ අපි වග බලා ගත්තා. ඒ උදේට පරක්කු වෙන අයට සහ ඒ යුගයේ බද්‍ර යෞවනයේ උන් අපට. එහෙම කිව්වට වයසක අයත් අත ඇරියේ නෑ. සමහර දවස් වලට ඉම්පොට්ඩ් ටෙන්ඩර් ලොයින් කියලා රටින් ගෙන්වපු හරක් මස් කන්න ලැබුණා. අපිට මේවා ලැබෙන්නේ ගාබේජ් බෑග් එකක් පුරවලා. ස්ටෝස් එකේ ඉන්න ආනන්ද හෝ ෂර්ලි කරන්නේ මේ ටික අරගෙන නිතර අරින්නේ නැති ලිපිද්‍රව්‍ය ගබඩාවේ රාක්කයක් සඟවනවා. ඊට පස්සේ ඉන්ට කොම් එකෙන් අපිට පණිවුඩය දෙනවා. අපි කට්ටිය හිමිහිට ස්ටෝරුවට පල්ලම් බහින්නේ එකම දොරෙන් නෙවෙයි. කෙනෙක් අර ඉහලින් පේන කහ පාට තැනින් ගිහින්, ටී.වී. කාමරයෙන් හෝ කොෆී ෂොප් එකෙන් පිටුපස කොරිඩෝවට පිවිසෙනවා. අපි දෙදෙනෙක් විතර අපේ පිටුපස දොරින් ස්ටෝරුව බලා යනවා. තවත් කෙනෙක් ජී.එම් ඉන්න පැත්තෙන් ගිහින් ඩිස්කෝ එකෙන් පිටුපස කොරිඩෝවට එනවා. බැරිම කෙනෙක් තව රවුමක් ගහලා බිම් මහලේ තියෙන ස්ටෝරුවට එනවා. ආනන්ද හරි ෂර්ලි හරි කරන්නේ අපිව මේ කාමරයට දාලා දොර වහලා යතුර සාක්කුවේ දාගෙන තමන් වැඩ කරන ආහාර ගබඩාවේ වැඩ කරන එක. අපි කාලා ඉවර ඇති කියලා හිතෙන වෙලාවක ඇවිත් දොර අරිනවා. ෆෑන් එකක් නැති නිසාත්, වටෙන්ම බිත්ති තිබෙන නිසාත් මේක පෝරණුවක් වෙන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නෑ. කාලා ඉවර වෙනකොට අපි ඉන්නේ දාඩිය පෙරාගෙන. මොනවා වුණත් සංචාරකයන් වෙනුවෙන් නිමවෙන ආහාර වල තියෙන නැවුම් රසය නිසා මේ වගේ පරිසර තත්ත්ව ඉවසගෙන ඉන්නවා. 

දවසක් අපි කාලා බලාගෙන ඉන්නවා දැන් දොර අරියි, දැන් දොර අරියි කියලා. ඒ වුණත් පැය එකහාමාරක් විතර ගත වෙනකම් දොර ඇරුණේ නෑ. අන්තිමට අපි නිකං බැදපු කන්කුන් වගේ මැල වෙලා ඉන්නකොට තමයි ෂර්ලි ඇවිත් දොර ඇරියේ. ඒ වෙලාවේ අපි මොනවා කිව්වද කියලා අපිට මතක නෑ. කෙනෙක් අමු තිත්ත කුණු හර්පෙන් බනිද්දී අපි ඉක්මනට දුවලා ගියේ අපේ ආසන වලට.  මේ වෙනකොට අපිව හොයනවා ඇති කියන බයයි. ඔෆිස් එකේ ඒ.සී. තියෙන නිසා සිසිල් වෙන්නයි බලාගෙන. නමුත් වාසනාවකට කාවවත් හොයලා නෑ. එදා වෙලා තියෙන්නේ ජී.එම්. මොනවා හරි හදිසි කටයුත්තකට ශර්ලිව ගෙන්නලා. කථාව පැය ගණනක් ඇදිලා ගිහින්. එදායින් පස්සේ ඒ ගමන යනවා නම්, දෙතුන් වරක් ෂර්ලිට හරි ආනන්දට හරි කොහේ හරි යනවා නම් අපිව එලියට දාන පොරොන්දුවට තමයි ඇතුලට යන්නේ. දවසක් ලීටරේ ඇපල් ජූස් එකක් කියලා, අපි බිව්වේ තක්කාලි ජූස් එකක්. දවස් දෙකක් යනකං මුළු ඇඟම ගිනි තියලා වගේ. මම වතුර කොච්චර බිව්වද කියලා මතක නෑ. සුද්දන්ට ටුමාටෝ ජූස් හරි ගියාට අපිට හරි යන්නේ නෑ. 

අතුරු කතාවල් ඉවර නිසා දැන් බහිමු අපේ ප්‍රධාන කතාවට. අපේ රිසෙප්ෂන් එකට ආවේ ඉතිං ලස්සන කෙල්ලෝ නේ. මට දැන් හරියට මතක නැතත් දිනේෂා, රොමේන්, අංජලිකා අරකා-මේකා ඕනෑම නමක් තියෙන අය එනවා. සමහරු එන ඉක්මනින්ම යනවා. සමහරු කාලයක් ඉන්නවා. සුදු, ලස්සන, මහත, උස එක එක විදියේ අය එනවා. මේ ය දැක්කම සංචාරකයන්ට විවිධ අදහස් පහල වෙන එක පුදුමයක් නෑ. අපෙත් එක්ක හිටි සමහර ලොක්කොත් මේ අයගේ පස්සේ වැටිලා හිටියේ. එක ලස්සන, සුදු මහතා කෙල්ලෙක් හිටියා, කෙල්ල කිව්වත් මෙයා අවුරුදු තිහක විතර කෙනෙක්. නමුත් රුසියානු පෙනුමක් තිබුණේ. දවසක් මගෙන් ඉල්ලා ගත්ත මාකර් පෙන් එකක් ආපහු නොදී මගෙනුත් බැනුම් අහ ගත්තා වගේ මතකයි. පස්සේ "මෙයා පුංචියට හිටියට හරියට කේන්ති යනවා" කියලා මට තේ වෙලාවේදී විහිළු කළා. මෙහෙම ඉන්නකොට දවසක් හවස හයට විතර මේ කෙල්ල මූණත් රතු කරගෙන අපේ ඔෆිස් එක පැත්තට දුවගෙන ආවා. පපුවට අත තියාගෙන, වේගයෙන් හුස්ම ගන්නවා. මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියේ මම, ෆාහිම් සහ සේනාරත්න ඇතළු කිහිප දෙනෙක්. අපි බැළුවා මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ. කිසි සබකෝලයක් නැති කෙනා, එකපාරට ලජ්ජාවෙන් මුහුණ රතු කරගෙන. මට අදත් මැවිලා පේනවා, ඒ මූණේ තිබුන තැති ගැන්ම, ඒ වගේම අපේක්ෂා භංගත්වය. අන්තිමට මේසයක් උඩ තිබ්බ වතුර බෝතලය කටේ තියාගෙන බීලා කථා කරන්න පටන් ගත්තා.
"මමනම් හෙටම අස් වෙලා ගෙදර යනවා. අපි උඩරට බොහොම ලැජ්ජාවට බයට හැදුන අය"
එයා වේගයෙන් කියාගෙන ගියා. වෙනදා එයාගේ වචන වල තිබ්බ ලාලිත්‍යය මොහොතකට ගිලිහිලා.  මේ වගේ විවිධ චරිත රඟපාන දේවල් දැකලා අපිටත් මේවා කිසිම ගානක් නැති තත්වයේ හිටියේ. මුස්ලිම් වුනත් ෆාහිම් උඩරට පැත්තේ, ඒකට හරියන්න සේනාරත්න කෑගල්ලේ. මේ වෙලාවේ මේගොල්ලන්ගේ උඩරට ගතිය එලියට ආවා.
"කියන්න - කියන්න මොකද වුණේ. කවුරු හරි ඔයාට කරදර කරන්න ආවද ?"
කෙල්ල ඔලුවෙන් සන් කරමින් ඒ අදහස අනුමත කළා. දැන් අපිට කාරණය පැහැදිලියි. මේ හෝටල් වල එහා මෙහා යත්දී අහුමුළු වලදී කෙල්ලන්ගේ අතනින් මෙතැනින් මිරිකන පුරුද්දක් ලොක්කන්ට වගේම අනිත් අයටත් තිබුණා. හැබැයි මෙයාලාගේ ඇඟට අත තියන්න පහල සේවකයන් බයයි. එහෙම කලානම් එක්කෝ එයාලත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න ඕනේ, නැතිනම් ලොක්කෙක් වෙන්න ඕනේ.

"සුද්දෙක් ඇවිත් මට කි...ව්....වා... මට කිව්වා.. "
"ඔය ගොත ගැහිල්ලා තියලා ඉක්මනට කියාපන් නංගියේ, ඌ මොනවද උඹට කලේ ?"
ජාති ආලය ඉහ-වහා ගිහින් සේනා අත්දිග ෂර්ට් එකේ මදක් නවාපු අත්, වැලමිටෙන් උඩටම ඇද ගත්තේ "ගනු කඩුවට - එනු සටනට " සටන් පාඨය සිහි ගන්වමින්.

"සුද්දා මට කිව්වා අයි වොන් ටු ෆක් කියලා. ඇයි අයියේ මෙහෙම ප්‍රසිද්ධියේ ඔහොම අහයි කියලා කවුද හිතන්නේ. අපි මෙතන ඇවිත් ඉන්නේ වැඩ ඉගෙන ගන්ට. උන්ට ඕන - ඕන දේවල් කරන්ට නෙවෙයිනේ. ඌ බීලද කොහෙද"
මේ වෙලාවේ රස්සාව පැත්තක තියන්න අපි කාටත් හිතට ආවා. වීර පුරන් අප්පුගේ පරපුරේ අය වගේ සුද්දා හොයාගෙන යන්න හදනකොටම, රිසෙප්ෂන් එකේ ඉන්න අනිත් කෙනා උස මහත සුදු රොමේන් දුවගෙන එනවා කට පුරා හිනා වේගෙන.
"මෙයාට තියෙන්නේ පුදුම කලබලයක් අනේ. බලන්න අර සුද්දා ලියුමත් තියාගෙන බලාගෙන ඉන්නවා. යමු යමු"

කියලා දම් පාට බතික් සාරියකින් සැරසිලා කඳුළු පෙරන්න ඔන්න මෙන්න මුහුණින් ඉන්න අරයට කියනව. 
"මේ රොමේන් උඹ පැත්තකට වෙයං, අපි දෙන්නං සුද්දට උත්තර. උන්ට ඕනේ ඕනේ දේවල් කරන්න දෙන්න පුලුවන්ද ?"
"හරි දැන් අයියලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා"
"අනේ උඹට නොතේරෙන්න උඹ පොඩි එකානේ. වරෙන් කිරි ටිකක් පොවලා හරහට නලවන්න. ඇයි බං සුද්දා මේකිට අඬගහලා තියෙන්නේ මොකටද කියලා එතනම හිටිය උඹට ඇහුනේ නෑනේ. උඹ ඉතිං කොහොමත් ලංසි බඩුවනේ"
මේ මොනවා කිව්වත් රොමේන් හිනාව පුරවාගෙන ඉන්නවා. අතින් කට වහගෙන හොඳටම හිනා වෙලා මෙහෙම කිව්වා
"ඒ සුද්දට ඕනේ වෙලා තියෙන්නේ ෆැක්ස් එකක් යවන්න. දන්නේ නැද්ද ජර්මන් කාරයන්ගේ ඉංග්ලිෂ් ප්‍රනවුන්සියේෂන්. මෙයාට ඇහිලා තියෙන්නේ වෙන එකක්"
 ඊට පස්සේ මේක මුළු හෝටලේම ඉන්න සේවකයනේ කණින් කනට යන්න ගත වුණේ පැය දොළහකට අඩු කාලයක්. ඒ 1991 වගේ කාලෙයේ ජංගම දුරකථන බොහොම දුර්ලභ යුගයක් නිසා. අද වගේ දවසක නම් විනාඩි දෙකයි. ඊට පස්සේ අරයව දකින ඕනෙම කෙනෙක් අතට අහු වෙන කොළ කෑල්ලක් පෙන්නලා කිසිම කැතක් නැතිව 
"අයි වෝන්ට් ටු ෆක්"

කියන්න අමතක කලේ නෑ. ටික කාලෙකින් මේ සුන්දරිය වෙනත් රැකියාවක් හොයාගෙන ගියා. 

Monday, February 18, 2013

සුද්දාට ඇන්දවූ මාළු වෙළඳපොල

පින්තුරය ගත්තේ : https://twitter.com/LittleFishHove

මේක මම රිවරිනා හෝටලයේ වැඩ කරද්දී සිද්දියක්. ඒ ගැන මතකය අවදි වුනේ, ඩිස්කවරි නාලිකාවේ පෙන්වන Man vs Wild වැඩසටහනේ ඉන්නේ Bear Grylls කියන හිටපු එංගලන්ත විශේෂ බලකා සෙබලා අද වැඩසටහනේ ආහාර හොයා ගන්නා අකාරය දැක්කම. පිහිය සහ වතුර බෝතලය ඇරුනම කිසිම උපකරණයක් ඔහු ළඟ නෑ. ඒත් ඔහු ගොඩබහින වටපිටාවේ තිබෙන දේවල් වලින් රාත්‍රියක් ගත කරන්න අවශ්‍ය හැම දේම ඔහු තනා ගන්නා ආකාරය විශ්මය ජනකයි. හුළු අත්තක් පත්තු කරගෙන ලී කොටුවක් උල් කරගෙන අයිස් මිදෙන සීතල තිබෙන ගඟකින් ඔහු මාලුවෙක් මරා ගන්නවා. ඔහු මේ පෙන්වන්නේ වැරදීමකින් හෝ ඔබගේ ගුවන් යානයේ දෝෂයක් ඇති වී කාන්තාරයකට, ඝන කැලාවකට, හිම මතට වැටුනොත් ඉන් ගොඩ එන ආකාරය.

පින්තුරය ගත්තේ : steveandzach.wordpress.com 


රිවරිනා සංචාරක හෝටලය පිහිටා තියෙන්නේ බේරුවල නගරයත් අලුත්ගම නගරයත් අතර තියෙන මොරගල්ල කියන ප්‍රදේශයේ. එතන සංචාරක හොටල ජාලයක්ම තියෙනවා. ඒ නිසා මේ සංචාරක හෝටල් අතර තරගයක් තියෙන්නේ. ඒ නිසාම එක්-එක් සංචාරක හෝටලයේ ඉන්න සේවක පිරිස අතර පුදුම සමගියක් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ නෑ ඉන්න අය අතර ගැටළු නෑ කියන එක. ඒත් ඒ මොන දේත් පිටතට ගෙනියන්නේ නෑ. ඒ මොකද අර කියපු තරගයේදී මේ ප්‍රශ්න උපයෝගී කරගෙන ඒ ඒ හෝටල් වල රහස් එලියට ගන්න පුළුවන් නිසා. 

පින්තුරය ගත්තේ : umamimart.com
කලින් කියපු තරගය නිසාම අලුත් දේවල් අත්හදා බලන්න මේ හෝටල් වල ඉන්න සේවකයෝ නිරතුරු උත්සාහ ගන්නවා. එහෙම අලුත් අදහසක් අනුව පවත්වන කුමක් හෝ අවස්ථාවකට තරගකාරී හෝටල් වල ඉන්න සංචාරකයන් වුනත් ආකර්ෂණය කර ගන්නා අවස්ථා තියෙනවා. ලංකාවට එන සෑම සංචාරකයෙක්ගේම පොකට්ටුවට විදින සභ්‍ය ක්‍රම කියලා මේ දේවල් හඳුන්වන්න පුළුවන්. වෙරළේදී මේ එන සංචාරකයන් මිත්‍රත්ව වගේම අනියම් සබඳතා ගොඩ නගා ගන්නවා.  ඉතිං අකාර්ශනීය යමක් මේ හෝටල් වල වෙනවා නම් අනෙක් හෝටල් වල ඉන්න අය අතරට ඒ පණිවුඩය වේගයෙන් ගලා යනවා. 

පින්තුරය ගත්තේ : www.barcelonawinebar.com
මම වැඩ කරපු ගිණුම් අංශයට මේ දේවල් කෙලින්ම වැදගත් නොවුනත්, මාසයේ 10 වෙනිදාට ලැබෙන සේවා ගාස්තුවට(Service Charge) මේ සිදු වෙන දේවල් බලපාන නිසා අපිත් මේ ගැන නිරතුරු අවධියෙන් හිටියා. රිවරිනා එක මේ වාගේ සංවීධානය වෙච්ච් වැඩසටහන් කිහිපයක් තමයි රාත්‍රී කානිවල් එක, Red & Black Night, Fish Market  නොහොත් මාළු වෙළඳපොළ. මාළු වෙළඳපොල මතක් වෙන මතක් වෙන පාරට හිනා යන වැඩක්. මගේ මතකය නිවැරදි නම් මේකට නායකත්වය දුන්නේ ප්‍රධාන සුපවේදී මිරැන්ඩා මහතා. සංචාරක හෝටලයක ඉන්න ප්‍රධාන නිලධාරීන්ගෙන් කෙනෙක් තමයි ප්‍රධාන සුපවෙදියා නොහොත් චෙෆ් මහත්මයා. අදටත් සංචාරක හෝටලයක වැඩිම පඩි ලාභියා වෙන්නේ චෙෆ් මහත්වරු තමයි. එකට හේතුව මුළු සංචාරක හෝටලයේම පැවැත්ම එයාලගේ අතේ තිබීම.

මේ කියපු කාලය වෙනකොට 1991 නැත්නම් 1992 අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස වලින් එකක්. මේ වගේ කාල වලදී තමයි හෝටලයක කාමර සම්පූර්ණයෙන් පිරෙන්නේ. ඒ වගේ කාලෙකට සංචාරයකි 300-400 ත් අතර ප්‍රමාණයකට සේවය සපයනවා. මේ වගේ කාල වලදී අනියම් සේවකයින් පවා බඳවා ගන්නවා. කොතැනක හෝ පුංචි වැරද්දක් වෙන්න තියන්නේ නෑ. කවුරුත් ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරන කාලයක්. කොටසක් සංචාරකයන්ට වයින් විකුනන්න උත්සාහ ගන්නේ හෝටලයේ ආදායම තර කරන්නම නෙවෙයි. 20% ත් 35%ත් අතර කොමිෂන් එක ලබා ගන්න. මේ කාල වලදී අහාර පාන අංශයේ අය පෝසතුන් වෙන කාලය. රුපියල් හත් අට දාහක් සන්තෝසම් වශයෙන්ම ලැබෙනවා. ඒත් මේවා ගෙදර ගෙන යන්න තහනම්. ඒ කතාව වෙනමම එකක් නිසා පස්සේ කියන්නම්.
පින්තුරය ගත්තේ : www.jiaweichineserestaurant.com.sg
මේ වගේ ව්‍යාපෘතියක් කරන්න කලින් දිගු සාකඡ්චාවක නිරත වෙනවා හෝටලයේ ඉහල කළමනාකාරීත්වය සහ සුපවසර් මට්ටමේ සියලු දෙනා. මේ කර්තව්‍යට පසුබිම වශයෙන් තෝරා ගන්නේ නානතටාකය ආශ්‍රිත ප්‍රදේශය. නඩත්තු අංශය ඒ සඳහා අවශ්‍ය පසුබිම, ලී මැස්සවල් සහ පොල් අතු පියස්ස සහිත මඩුව තනා දෙනවා. එය අලංකරණය කරන්නේ කාමර අංශය සහ අහාර පාන අංශය එකතුව. ඒ වගේම කලමනාකරණ පුහුණුවන්නන් ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබා දෙනවා. මෙහි අදහස අළුත් මාළු සංචාරකයාට විකිණීම. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයා කිසි දිනක මේ මාළු ඇල්ලීම දැල් දැමීම යන ක්‍රියාවලිය දකින්නේ නෑ. ගිණුම් අංශය වන අප අතට ලැබෙනවා මෙහි ඇස්තමේන්තුව. එහි සිටින එකම පරිඝණක නිලධාරියා වූ මට පැවරෙන්නේ එය යතුරුලියනය කර මුද්‍රිත පිටපත් මේ සියලු අංශ ප්‍රධානීන් වෙත යැවීම. මෙයින් අපේක්ෂිත ආදායම මුළු වැය වගේ දෙගුණයක් වත් වනවා. ඒ කියන්නේ ඉතා ඉහල ආදායමක්. 

සෙනසුරාදා උදේ හය වන විට ඔබට අළුත් මාළු මිලදී ගෙන එතැනම ආහාරයට ගන්න පුවන් වග සියලු සංචාරකයන්ට විවිධ ආකාර වලින් නිවේදනය කරනවා. එය අත් පත්‍රිකා, නාන තටාකය හා ප්‍රධාන ආපන ශාලාව තුල හා පිළිගැනීමෙන් අංශයේ තබා තිබෙන දැන්වීම් පුවරු, වෙනත් අවස්ථා වලදී ලබා දෙන නිවේදන වලින් දැනුවත් කරනවා. අද මෙන් අන්තර්ජාලය තිබුනානම් එය ලෝකයම දන ගන්නවා. හා දැන් සැලසුම ගැන කියන්න ඕනේ. මෙය තනිකරම නාට්‍යයක්. මෙහි ධීවරයාගේ භූමිකාවට පන දෙන්නේ හෝටලයට මාළු සපයන ලක්ෂමන් සිල්වා මහතා ඇතුළු පිරිස.

වැඩසටහන මෙහෙමයි. රාත්‍රී දෙක වනවිට හෝටලය විසින්ම ලබා දෙන බෝතල් දෙක තුනකින් සප්පායම් වන ලක්ෂම්න්ගේ කණ්ඩායම (දහය පහළොවක් පමණ) මෝටර් බෝට්ට්ටුවකිනි දියඹ බලා පිටත් වනවා. රාත්‍රී හත වනවිට හෝටලයේ අයිස් කාමර වල තිබෙන නොකැපූ සම්පූර්ණ මාළු වර්ග සියල්ල ගණන් තබාගෙන රෙජිෆෝම් පෙට්ටි තුලට බහා ලක්ෂ්මන්ගේ ලොරියට පටවනවා. රාත්‍රී දෙකට පිටත් වන මේ මෝටර් බෝට්ටුවට අපේක්ෂිත අස්වැන්න කලින්ම පටවා ඉවරයි. දෙකට පිටත් වන බෝට්ටුවට අමතරව තවත් කෝල්ලෑ ඔරු කිහිපයකුත් උදේ හතරට පමණ පිටත් වනවා. මාළු දැලට ගෙන යන මාළුන්ගේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ මාළුන් සහ ඉස්සන් දමා එහි කෙලවර කොල්ලෑ ඔරු වල සිටින දීවර නළුවන්ට ලබා දෙනවා. මේ වගේ දවසක උදේ පාන්දරින් සේවයට යන්න අපිටත් උනන්දුවක් ඇති කලේ සුද්දට අන්දන විදිය බලා ගන්න. 
පින්තුරය ගත්තේ : www.formerchef.com
සියලුම සුද්දන් උදේ හය වන විට වෙරළට වී බලා හිඳිනවා. ලක්ෂමන්ගේ ගොඩබිම කණ්ඩායමට කොල්ලෑ ඔරුවේ සිටින නළුවන් පිරිස දැලේ කෙලවර ලබා දෙනවා. ඔවුන් දන්නා භාෂා සියල්ල දමා දල ගොඩට අදිනවා. මේ  සුදු ගොන් රැලට මාළු කෑමේ පෙරේත කම නිසා මාළුන්ට පණ තිබිය යුතුයි කියන මුලික සිද්දන්තය අමතක වනවා. එතනින් පසු සිදු වන්නේ සාමාන්‍ය ධීවර වරායක සිදු වන කටයුත්තක්. අවශ්‍ය බලු කැල සහ කපුටන් ස්වේච්චාවෙන්ම මේ නාටකයේ තමන්ගේ භූමිකාවන්ට පන පොවනවා. ප්‍රධාන සූපවෙදියා ලක්ෂ්මන්ගේ අත රුපියල් දාහේ නෝට්ටු මිටියක් මිට මොලවා දැලේ සහ මෝටර් බෝට්ටුවේ තිබෙන අයිස් දිය කර ලුණු එකතු කරන ලද මාළු තොගය මිලදී ගන්නවා. ඉන්පසු කුස්සියේ සේවකයන් මේ මාළු අර මැස්සවල් වලට පටවනවා. සුද්දන් පෝලිමේ සිට මේ මාළු ග්රෑම් ගණනට මිලදී ගන්නවා. පෝලිමේ අඩුම තරමින් සුද්දන් සියයක්වත් ඉන්නවා. හෝටලේ මස් කපන්නා නොහොත් Butcher යුහුසුළුව මාළුවා කපන දෙස සුද්දන් බලා සිටින්නේ නළල රැලි කරන්.

දැන් සුද්දන් තමන් මිලදී ගත් මාළු ග්රෑම් 200 හෝ 500 අනෙකුත් අරක්කමියන්ට ලබා දී බලා සිටිනවා දත මැදගෙන. විවිධ ක්‍රම වලට මාළුන් තැම්බෙනවා. බාබෙකිව්, ෆ්‍රයිඩ්,ග්‍රිල්, බෝයිල් මේ ආකාර සියල්ලෙන් නිපැයෙන මාළු කෑල්ල කා සුද්දන් මුව නොසෑහෙන්න කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා අළුත් මාළු කන්නට තමන්ට අවස්ථාව උදා කිරීම ගැන. අනෙක් දවසට කන්නෙත් මේ මාලුම නොවේදැයි කිසිවකු ප්‍රශ්ණ කරන්නේ නෑ. වාසනාවකට මේ සංචාරක කැලට ස්වදේශිකයන් කිසිවක් ඇතුළු වන්නේ නෑ. එහෙම වුණානම් මුළු හෝටල් සමුහයටම දෙව් රැකවරණ ලැබෙන්න ඉඩ තිබුනා. වඩාත් හාස්‍යජනකම සිදුවීම තමයි මේ මාළු ගොන්නට වෙල්වල සහ වැව්වල සිටින තෙප්පිලි හා කොරලි නමැති මාළුන්ද අයත් වීම. සුද්දන් ඒ කාලයේ තෝර මාළු ග්රෑම් 100ක් රුපිය 250 කට පමණ මිලදී ගත්තා. ඒ ඩොලරයක් සඳහා රුපියල් විසි තිස් ගණන් ගෙවූ සමයේ. අද මිල හිතා ගන්න පුළුවන් නේද?
පින්තුරය ගත්තේ : www.chicagofoodies.com
ඒ වගේ දවස් වලට සුද්දගේ ගොන්කම අපේ අහුමුළු සකච්ඡා වලට මාතෘකාව වෙනවා. ඒ මාළු කා සුද්දන් කිසිවකුට බඩේ ගාය නොවැළඳීම ගැන සේවක මණ්ඩලය වූ අප අදටත් දෙවියන්ට ස්තුති වන්ත විය යුතුයි. මේවා පිලිබඳ රහස් රැකීම වෙනුවෙන් ගයිඩ් මහත්වරුන්ට විවිධ සන්තෝසම් ලැබෙනවා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...