Showing posts with label ඔබේම දෑතින් (Doo it yourself). Show all posts
Showing posts with label ඔබේම දෑතින් (Doo it yourself). Show all posts

Saturday, October 9, 2021

මහින්දලාගේ කැරම් බෝඩ් එක ......

 එක කාලයක් තිබුණා අපිට කැරම් ගහන්න පුදුමාකාර පිස්සුවක් හැදුන. කොච්චර ක්‍රිකට් ගහන්න කැමැත්තක් තිබුණත් ලංකාවේ නිරිතදිග කළාපයේ මුහුද අසබඩ ගමක් වෙච්ච බෙන්තොට අපිට අවුරුද්දේ වැඩි දවසක් වැහි සහිත කාලගුණයක් තිබුණේ. ඒ නිසාම වැහි දවස් වලට වගුරු බවට හෝ විල් බවට පත්වෙන අපේ ක්‍රීඩාංගන දෙක නිසා ඒ දවස් වලට හවස ගෙවා දමන්න අපිට විකල්පයක් තෝරා ගන්න සිදු වුණා. ඉතිං අපි බඩගෑවේ උඩකොටුව රජ මහ විහාරේ, ඒ කියන්නේ අපේ පන්සලට. සෝමසිරි නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ එතැන අපේ රස්තියාදු පොළක් ගානට වැටුණේ ඉන්පස්සේ විහාරාධිපති තනතුරට පත් වුණු විමලසිරි හාමුදුරුවෝ අපි කාගේත් යාලුවෙක් තරමට හිතවත් වුණා නිසා. අපි ඉතිං ඔය කිවුව වැහි දවස් වලට පන්සලට බද ගානවා. පන්සල තියෙන්නේ කඳු මුදුනක. කළුගල් අතුරා තාර දාපු පාර දිගේ තමයි අපි පන්සලට ගාටන්නේ. මේක අංශක 45 විතර කන්දක්. දෙපැත්තේ තියෙන ලඳු කැලෑවේ තිබුණ ගඳපාන ගාල කවුරුන් හෝ පාරා තිබුණොත් මේ වැහි දවස් වල පුදුමාකාර ගඳක් ඇති වෙන්නේ. 
 
විමලසිරි හාමුදුරුවෝ අපේ නැන්දාගේ ලොකු පුතාගේ හොඳම ගජයා. දෙන්නා එකට එකතු වෙලා එල සිගරට් එක උරන්නේ. අපිට කැරම් බෝඩ් එක පාවිච්චි කරන්න ලැබෙන්නේ, උන්නාන්සේට සිගරට් එකක් නිමල් බේකරියෙන් ගෙනැත් දුන්නොත්. නිමල් බේකරියට යන්නේ පන්සල පිටිපස්සේ තියෙන, ඉස්පිරිතාලේ පාරෙන්. එතැනින් ඩික්මන් අයියලාගේ ගෙදරින් ඉවර වෙන ගුරු පාරට පන්සල පිටිපස්සෙන් ගේට්ටුවක් ඇරලා තිබුණා. ඉතිං අපේ ගම්වල බොහෝදෙනෙක් මේක ෂෝර්ට් කට් එකක් විදියට පාවිච්චි කරා ඉස්පිරිතාලෙට යන්න. දැන් වගේ දැඩි නීති රීති නොතිබුණ ඒ කාළේ බොහෝදෙනෙක් රවුමේ ගිහිං ගේට්ටුවෙන් යන්නේ නැතිව කම්බි වැටෙන් රිංගලා ඉස්පිරිතාලේ ගියා. මේ රෝහලට ගුණසේකර අනුස්මරණ රෝහල කියන නම ලැබුණේ, අපේ ගමේ එවකට හිටිය කෝටිපතියෙක් වෙච්ච ඩොනල්ඩ් ගුණසේකර මහතාගේ පරිත්‍යාගයෙන් ඉදි කරපු මේ රෝහල රජයට පරිත්‍යාග කරපු නිසා. මේ රෝහල විවෘත්ත කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ ලංකාවට කපිල වස්තුපුර සර්වඥ දාතුන් වහන්සේලා වැඩම කරවා තිබුණා. 

ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, අපේ ගම හරහා මේ රථය ගමන් කරන විට මේ රෝහල පිටුපස ඉදි කරපු විශේෂ කපිලවස්තුපුර චෛත්‍ය ආකෘතිය ඉදිරියේ තාවකාලිකව ඉදිකරපු මඩුවක සර්වඥ දාතුන් වන්හන්සේ වැඩම කරවා ප්‍රදර්ශනය කරන්න. මමත් කලින්ම ඉස්කෝලෙන් ඇවිත් මේ පෝලිමේ ඉදිරියෙන්ම හිටියා. හදිසියේ සැරසිලි කරමින් උන්න ඩොනල්ඩ් ගුණසේකර මහත්මයාට(ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයේ අධිපති) බ්ලේඩ් තලයක් අවශ්‍ය වුණාම, මම ගාව තිබුණ බ්ලේඩ් තලය දෙන්න ලැබීම මහ ලොකු දෙයක් වුණා මට ඒ කාළයේ. මෙහෙම සුදානම් වෙලා උන්නත්, එතැන නවත්වන්නේ නැතිවම ඒ රථය ඉදිරියට ඇදෙනවා මල්වැස්සට තෙමි-තෙමි අපි බලාගෙන උන්නා. ඩොනල්ඩ් ගුණසේකර මහත්මයා කනස්සළු ස්වභාවයකින් පිටවෙලා ගියා. 

ඔතැනින් ගිහිං තමයි අපි නිමල් බේකරියට යන්නේ. නිමල්බේකරියේ හැදෙන  පාන් සහ කෙටි ආහාර වල සුවඳ ඒ වටපිටින් ගියත් දැනෙනවා. ඉස්සර අපි හරි ආසයි හාෆ් බොයිල් බිත්තරත් එක්ක, උණු-උණු පාන් පුංචි කෑලි වලට කපලා බෙලෙක් පිඟානකට පත්තර කෑල්ලක් දාලා දෙන එක කන්න. මට ඒ කාලේ ගෙදරින් ඕවට සල්ලි ලැබෙන්නේ නෑ. කොහොමත් ආහාර වේල් තුනට අමතරව කනවානම් ගහකින් කඩා ගත්ත හෝ අහුලා ගත්ත දෙයක් තමයි. හැබැයි මගේ අත් අකුරු ලස්සන නිසා මට කියළා ලවු ලේටර්ස් ලියා ගත්තු කුමාර අතේ සල්ලි ගැවසුන නිසා ලියුම ලියලා දුන්නට පස්සේ අපි දෙන්නා යන්නේ නිමල් බේකරියට. එහෙම ගිහිං තමයි ඔය හාෆ් බොයිල් කෑම කෙරුවේ. 

පන්සලේකැරම් ගහන්න මමයන්නේ කළුතර ඉස්කෝලේ ගිහිං ඇවිත් දවල්ට කාලා හවස හතරට විතර. මේ වෙනකොට අපේ නඩේ අනික් අය එක්කෝ කැරම් ගැහිල්ල පටන් අරං, නැත්නම් හතරවෙනියා එනකං බලන් ඉන්නවා. අපේ ගේ පිටිපස්සේ ග්‍රවුන්ඩ් එක තියෙන නිසා දැනගන්න ලේසියි හවසට කෙරෙන්නේ ක්‍රිකට් ගැහිල්ලද නැතිනම් කැරම් ගැහිල්ලද කියළා. පන්සලේ කැරම් ගැහිල්ල කාලයක් කෙරීගෙන ගියා. ඒ වුණත් අපේ ඉස්සරහ ගෙදර හිටිය මහින්ද/මහේෂ් කියන අයිය මලෝ යුගලට සල්ලි ඌශ්නේ ගහලා තිබුණ නිසා කැරම් බෝඩ් එකක් අරගෙන ආවා. වැඩේ තියෙන්නේ මෙවුන් හම්බ කරන සල්ලි වලින් නෙවෙයි එහෙම කළේ. මහින්දලාගේ අක්කා රට (සුවිස්) ඉඳන් එවන සල්ලි වලින්. මේ කාලේ එයාලට වැන් එකක් එහෙමත් තිබුණා. පස්සේ මහින්දලාගේ ඉස්තෝප්පුව රස්තියාදු තිප්පලක් වගේ වුණා. අපේ අම්මා නම් කීයටවත් කැමති වුණේ නෑ, මම එතැන කැරම් ගහන්න යන එකට. මොකද එතැනට නානාප්‍රකාර මිනිසුන් ආව ගිය නිසා. අනික හැමදාම හවස් වෙත්දී මහින්දලාගේ තාත්තා දෙකක් දාගෙන් අම්මා එක්ක ජාතිය අමතන්න ගන්නවා. 

ඔහොම  ටිකක් වැඩිපුර දාගත්ත දවසක, පුටුවකට වෙලාඇලට් එකක් දාගෙන හිටිය ඊබට් නොහොත් මහින්දලාගේ පියාණෝට  ටකස් බකස් ගාන මේ සද්දෙත මල පැන්නා. ගේ පිටිපස්සට ගිහිං අලවංගුව(නාරස්සනේ) අරගෙන ඇවිත් දමලා ඇරියා කැරම් බෝඩ් එකට. එදා හවස මම ගියාම ඒක තිබුණේ මෙන්න මේ වගේ. ඉතිං මොකේදැයි දැන් වළඳන්නේ කියළා මම ආපහු ගෙදර ආවා. නමුත් ටිකක් කල්පනාවට වැටුණා මෙකට් මොකක්ද කරන පුළුවන් කියළා.

ඒත් මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නෑ. මේ කාලයේම හන්දියේ ගාර්ජ් එකේ ටිනකරින් වැඩ කරන නිවුටන් අයියාගෙන් මම ඉල්ලගෙන තිබුණා තිනර් ටිකක්. මේ තිනර් එකට මට හම්බෙන - හම්බෙන රෙජිෆෝම් කෑලි කඩලා ඔබලා  ගම් එකක් හදාගන්න තමයි ඔහොම කළේ. ටික දවසක් යනකොට ගම් එක හරි ගියා. මගේ ඉස්කෝලේ යුනිෆෝම් එකක් ඉරිලා තිබුණා. පිට පැත්තේ හින්දා වැඩි අවුලක් තිබුණේ නෑ. මම කළේ වෙන සුදු රෙදි කෑල්ලක් ඉල්ලගෙන ආවා ටේලර් වැඩ කරන විමලවීර අයියගෙන්. එක අර ඉරුණ තැනට තියලා මේ ගං ඒකෙන් ඇලෙව්වා. වැඩේ ගොඩ. ඉන් පස්සේ ඒ ෂර්ට් එක ඉස්කෝලේ අඳින්න පුළුවන් වුණා. 

මට හිතුණා මේකටත් ඒ ගම් ඒකෙන් මොනවා හරි කරන්න පුළුවන් කියළා. පොඩ්ඩක් කිට්ටු වෙලා බැලුවම පෙණුනා මේකේ ලෑල්ලට භාවිතා කරලා තියෙන්නේ එම්.ඩී.එෆ්. (ඒ කාලේ අපි කිවුවේ තේ පෙට්ටි ලෑල්ලක් කියළා). ඊට පස්සේ මේ තේ පෙට්ටි ලෑල්ලක් හොයන මෙහෙයුම අපි දියත් කළා. මේ වගේ ඒවා ගෙවල් වල නෑ. මොකද කිලෝ පහක් විතර දාන්න පුළුවන් ඒ වගේ පෙට්ටියක් ගෙදරක තිබුණා නම් කාගෙන් හරි ඉල්ලන් ආපු එකක්. ගෙදරක් තේ කිලෝ පහක් ගන්නේ නෑ. එච්චර තේ බොන්න තරම් ලොකු පවුලක් කොහෙද තියෙන්නේ? කොච්චර තේ හදලා දුන්නත් ඒ වගේ පෙට්ටි තේ, තේ කඩවල ගන්නේ නෑ. පස්සේ කාට හරි පුළුවන් වුණා, ඒ තේ පෙට්ටියක උඩු පියන් කෑල්ලක් හොයාගෙන එන්න. 

පින්තුරය ගත්තේ : https://www.calicocraftparts.co.uk/

ඔන්න ඔය උඩින් තියෙන එක වගේ එකක් තමයි මම කියන්නේ. මේක කියවන පරණ අයටනම් මතක ඇති. මේක හොයා ගත්තත් අපි මොකක්ද කරන්නේ කියන කාරණය හිතා ගන්න අමාරු වුණා. මං මහින්දගෙන් ඇහුවා "මේක කපලා කොටලා හැදුවට කමක් නැද්ද ?" කියළා. ඌ ටිකක් කල්පනා කරළා "ඕන දෙයක්" කියළා කිවුවා. ඒක කැඩිලා තියෙන්නේ හරියට සයිප්‍රස් රට වගේ. ඒ වගේ එකක් කොහොමද මේකෙන් කපන්නේ ? ටික වෙලාවක් කල්පනා කරාම, නිවුටන් අයියලා ගැරේජ් එකේ කරන වැඩේ සිහිපත් වුණා. කොහොම දිරපු තැනක් වුණත් එයාලා හතරැස් කොටුවක් කපලා තමයි අලුත් තහඩු කෑල්ලක් තියලා වෙල්ඩින් කරන්නේ. ඉන් පස්සේ පොඩි කියත් පටියක් හොයා ගත්තා. මේක එහෙම ලේසියෙන් කපලා ඉවත් කරන්න බෑ, මොකද යටින් මේකේ ආධාරක් පටි තියෙනවා අඟලේ-අඟලේ පොලු වලින් ගහපු. අඟල් හයේ විතර පරතරයකින් ඒවා තිබුණේ. මේ කපන වැඩේ ගරාජ් එකේ ටික කාළයක් වැඩ කරපු සුසන්ත භාරගත්ත. අන්තිමට හතරැස් නැති වුණත්, ඒ වගේ එකක් කපා ගත්තා. ඉන් පස්සේ ඒක මැනලා සමාන කොටුවක් ලෑලි කෑල්ලෙන් කැපුවා. තියලා බැලුවම සමහර තැන් වල පොඩි හිඩැස් තියෙනවා මිලි මිට්ටර දෙකේ තුණේ. ඇතුලේ තියෙන හරස් පොලු වලයි-ලෑල්ලෙයි ගම් ගාලා ඇලෙවුවා. ඒ ගම් එක පට ගාලා වේලෙනවා. ඒ වගේමයි ඇලෙවුවොත් ඇලෙවුවා. 

ඊට පස්සේ අර හිඩැස් වලට ගම් එක්ක බොරික් කුඩු කලවම් කරලා පිරෙවුවා. පස්සේ වැලි කඩදාසියකි අර කැපුම් තියෙන තැන් ගෑවා. පස්සේ හොදට බොරික් දාළා ගහලා බැලුවා. මුලින්ම ගහපු පාරවල් ගියේ ඉස්සරහ හිටිය කෙනාගේ ඔලුව උඩින්. කට්ටිය හිනා වෙන්න පටන් ගත්තා. ආයෙත් ටික වැලි කඩදාසිය ඇල්ලුවා. දවස් කිහිපයක් ගියාව පොඩි පොඩි පැනිලි තිබුණා. පස්සේ හරි ගියා. ඕක තමයි මම කරපු පළමු DIY නොහොත් අටවන මාටිං වැඩේ. දැන්නම් කරන්නෙම ඒවා. මොකද යූබටයේ වීඩියෝ තියෙනවා ඕන තරම්.

Tuesday, March 7, 2017

ලාවළු කරිය : 72 -77 කාළයේ පරිප්පු සඳහා ආදේශකය ......

නාමේ නොදිරනා දෙවෙනි කොටස ඔබ බලාපොරොත්තුව සිටින මොහොතක, ලාවළු උයන ආකාරය ගැන සටහනක් තබන්නට හේතු වන කරුණු කිහිපයක්ම වෙයි. ඒ පසුගිය බදාදා අහම්බෙන් ෆුඩ් සිටියට ගොඩ වූ විට, ලාවළු ගෙඩියක් වත මගේ ඇස ගැසීම සහ රත්නසිරි නොහොත් විල්සන් කරූගේ ඡායාරුපය ලබාදීමට පොරොන්දු වූ මගේ කාර්යාලීය සගයාට එය අමතක වීමය. අප ඔහුට කාළය ලබා දිය යුතුය. මන්ද ඔහු අපට ලබා දෙන්නට යන්නේ විරල ගණයේ ඡායාරුපයක් වීම නිසාය. ආසන්න වශයෙන් එය 2002/03 කාළයේ එකක් විය යුතුය. එකල ඩිජිටල් කැමරාවක් සතු වූයේ එහෙමත් කෙනෙකුට වීම නිසාය. 

ලාවළු(ඉංග්‍රීසියෙන් Canistel, Eggfruit යනුවෙන් හඳුන්වන) යනු ඉතා රසවත් පලතුරකි. දූරියන් මෙන්ම රසය සහ ගුණය වැඩි නිසා එහි සුවඳ සහ රසය සමහරුන්ට දරා ගැනීමට නොහැකි මට්ටමක පවතී. ඇත්ත වශයෙන්ම කිවහොත් බොහෝ දෙනාට දිරවන්නේ නැති කෑමකි. නමුත් අප කුඩා කාලයේ අතට අහුවන ඕනෑම දෙයක් කටට ඔබාගත්, මෙහි මාතෘකාවේ සඳහන් කාලයේ මේවා අපට දිව බොජුන් වුවා අදටත් මතකය. පරිප්පු පිලිබඳ අපට එතරම් පැහැදිලි මතකයක් නොවූ ඒ කාලයේ රජයට පක්ෂ විපක්ෂ කවුරුත් පරිප්පු හිඟය පිලිබඳ මහත් ශෝකයෙන් කථා කරනු අප අසා සිටියේ අයාගත් දෑසිනි. පරිප්පු කියන්නේ මොනවාදැයි එකළ කුඩා දරුවන් වූ අප නොදතිමු. නමුත් වැඩිහිටියන් පවසන මේ ආහාරය කුමක්ද ? පටන් ගත් දවසේ සිටම අගහිඟයට පුරුදු ළමා අපට මේ කියනා "හිඟය" කුමක්දැයි වටහා ගැනීමට තවත් බොහෝ කාලයක් ගත විය.ලාවළු ඉතාමත් ගුණවත් ආහාරයකි. ඒ බව මෙන්න මේ ලිපියෙන් ඔබට දැනගත හැකිය. මෙය කියවූ පසු අපේ උදවිය ලාවළු හොය-හොයා කනු ඇති බව මගේ විශ්වාසයයි. 

 දැකලා නැති කට්ටිය බලා ගන්න. මේ තියෙන්නේ ලාවළු ගෙඩිය. මේක ඔය කියපු කාළයේ කරපු සේවාව විස්තර කරන්න වචන නෑ. මොකද පරිප්පු වලට දොලදුක හැදුන මිනිස්සුන්ගේ ඒ කුසගිනි දාහය නිව්වේ වගේම ගුණය සැපයුවේ මේ ආහාරය. හැබැයි ආපහු පරිප්පු ආපු ගමන් ලාවළු ගෙඩි ගස් යට කුණු වෙන්න ගත්තා. සමහරු මල-කරදරේ කියලා ගස් කපලා දාන්නත් ඇති. නමුත් මේවායේ තියෙන ගුණය දැන ගත්තානම් මේසේ ඒවා විසි නොකරන බව මගේ විශ්වාසයයි. අර කලින් දක්වලා තියෙන ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් සී සහ ඒ අධික වශයෙන් මේවායේ අඩංගු වෙනවා.
 මම සාමාන්‍යයෙන් මග අරින කාගීල්ස් ෆුඩ් සිටියෙන් තමයි මට මේ ගෙඩිය ගන්න පුළුවන් වුණේ. එතරම් මිල අධික සුපිරි පන්නයේකෑමක් නොවෙයි. සල්ලි වලට ගත්තා කිව්වොත් බොහෝ දෙනෙක් හිනා වෙයි. ඒත් මේ ගෙන්දගම් පොලවේ හැම දෙකටම මිළක් තීන්දු කරලා තියෙන එකේ මේවා විතරක් නිකං දෙන්න කාටද පුළුවන්. එක වෙළඳ පොළට එන එක ගැන මම නම් ඉතාම සන්තෝෂ වෙනවා. මොකක් හරි කාරියක් හදන්න ගන්නකොට අවශ්‍ය දෑ සඳන් කරන එක සාමාන්‍ය පිළිවෙත නිසා ඔන්න මමත් විස්තරයක් කරනවා. 

අවශ්‍ය දෑ
  • අමු ලාවළු ග්‍රෑම් 100
  • අතට අහුවෙන ප්‍රමාණයේලොකු ළූණු ගෙඩි එකයි
  • රම්පෙ(ගස් රම්පෙ තමයි හොඳ. මෙතැන මම යොදා ගත්තේ පෝච්චියක වවලා තියෙන කුරු මොඩල් කොළ කෑලි වගයක්), 
  • කරපිංචා ඉත්තක්, 
  • මිරිස් තේ හැඳි එකයි, 
  • තුනපහ තේ හැඳි කාලක්, 
  • අබ ස්වල්පයක්, 
  • අමු මිරිස් කරළක්, 
  • සුදු ළූණු බික් දෙකක්.
  • ලුණු කුඩුතේ හැඳි එකක්. 
 මුලින්ම ලාවළු ගෙඩිය හොඳින් සෝදා ගන්න. තමන්ම ගහෙන් කඩාගත්තත් හෝදා ගන්න  එක  නුවණට හුරුයි. 
 බොම්බයි ළූණු නැතත් අපට ලංකා ලොකු ළූණු තියෙනවනේ. ඒකෙ වියලි උඩ සිවිය වගේම ඊළඟ පොත්තත් අයින් කරන්න. ඕක මට කියලා දුන්නේ අටමා. ඉන් පස්සේ හේදුවේ නැති වුණත් කමක් නෑ. අනික එතකොට සැර ගතිය අඩු වෙන්නේ නෑලු.  ගෙඩිය මේ වගේ දෙකට කපලා, අර මුල් කෑල්ල මේ පින්තූරේ පේන විදියට ඇලයට කපලා ඉවත් කරන්න. මුලින් කැපුවොත් ගෙඩියෙන් හොඳ ප්‍රමාණයක් අහක. එහම කරන්න කැමතිනම් එහෙම කලත් කමක් නෑ. මේක මගේ ක්‍රමය. ඉන් පස්සේ හීනියට ලියා ගන්න.
 සුදු ළූණු කපනවට වඩා හොඳයි මෙහෙම තලන එක. පිහිය යටින් තියලා තැලුවම ඒකෙ රස ගුණ හොද්දට එකතු වීම පහසුයි. කැපුවම අඩු ඇති කියලා මට හිතෙනවා. මෙහෙම තැලුවම පොත්ත පහසුවෙන් ඉවත් කරන්නත් පුළුවන්. මතක ඇතුව දෙකෙළවර කපන්න. (චෙෆ් පීටර් කුරුවිටත් භාවිතා කරන්නේ මේ ක්‍රමය)
 මේ තියෙන්නේ අවශ්‍ය දෑ. සිංහලෙන්ම කිව්වොත් ඉන්ග්‍රීඩියන්ට්ස්. මේ වැඩේට මගේ පොඩි එකී කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ඡායාරුප ශිල්පියාගේ ඩියුටියට. දැන් පොඩි එවුන් අපි වගේ එතන රස්තියාදු වෙලා අපි කරන දේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ නෑ. මම යලට-මහට ෆොටෝ අල්ලන්න කියනකොට ගන්න එතන රස්තියාදු වෙන්න ඒකි කැමති වුණේ නෑ. ඕන වෙලාවට කථා කරන්න කියලා කාමරේට ගියා.
 මෙහෙම කැපුන එකත් එක අතකට හොඳට හිටියා. අනික් අතට කැපුනානම්, ඇට දෙකත් හොද්දට එකතු වෙන එක වලක්වා ගන්න බෑ. මේ දෙක පිහිය ආධාරයෙන් උගුල්ලලා දාන්න.
 මට මුලින්ම හිතුණා, මෙහෙම ග්‍රේට්  කරලා ගත්තොත්  හොඳයි  කියලා. ඒ එක්කම මතකයට ආවා, ලාවළු දිය වුණොත් කියලා. පස්සේ ඒ ටික හොද්ද රස වෙන්න තියා ගන්න හිතාගෙන අර මැල්ලුමට කොස් කපන ආකාරයට කපා ගන්න හිතා ගත්තා.
 ග්‍රේට් කළාම එන්නේ මේ වගේ හීන් තීරු.
 ඇටඉගුල්ලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේ වැඩේ පරිස්සමෙන් කරන්න ඕනේ.
 මෙන්න මේ වගේ කොටු හිටින්න ගහගෙන - ගහගෙන යන්න. අහයි පරිස්සමෙන්.
 ඉන් පස්සේ මේ වගේ කපා ගන්න පරිස්සමෙන්.
 අපි මේ කරියට ගෙඩියෙන් භාගයයි ගන්නේ. අනිත් කොටස පස්සේ උයා ගන්න බැරියැයි.
 මේ තියෙන්නේ ඒ වගේ කපා ගත්ත කෑලි. නූල් දෙකේ තරමට කපා ගත්තොත් හොඳයි. පරිප්පු වගේ තියෙන්නත් එපැයි.
 පස්සේ හිතුණා, මේ වගේ තීරු කපලා, ඒවා කොටු කපන එක වඩාත් කාර්යක්‍ෂමයි කියලා. මේ ක්‍රමය යොදා ගන්න. පොඩි කිරි ගතියක් තියෙනවා. ඒක නැති කර ගන්නත් එක්ක මම මේ කියුබ් ටික ලුණු වතුරෙන් හේදුවා.
 ඉන් පස්සේ මේ වගේ පෙරා ගත්තා. මෙතැන තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. තුන් දෙනෙකුට සෑහෙනවා.
 ඉන් පස්සේ කපාගත්තා ලොකු ළූණු වලින් භාගයක් එකතු කරන්න. රම්පෙ හීනියට කාපාගෙන එකතු කරන්න. කරපිංචා අතින් පොඩි කරලා දාන්න. අමු මිරිස් හරහට කපලා එකතු කර ගන්න. මිරිස් තේ හැන්දයි, තුනපහ තේ හැඳි කාලයි මේ වගේ එකතු කරන්න. අවශ්‍යනම් උළු හාල් ඇට දෙක තුනක් එකතු කරන්න. සුදු ළූණු බික් දෙකෙන් එකක් දාන්න.
 ඉන් පස්සේ හොඳට ගින්දර දාලා රත් කරන්න. බුබුළු නැගලා හොද්ද පිටට උතුරලා යන එක වලක්වන්න මේ වගේ ළී හඬක්  හැන්දක් හරහට තිබ්බම පුළුවන් කියළා මම කොහේ හරි දැක්කා. වැඩේ ඇත්ත.  වතුර හිදෙන්න කිට්ටු කරලා පොල් කිරි (මිටි කිරි සහ දියකිරි සමානව) කෝප්පයක් එකතු කරන්න. ඒකටම ලුණු කුඩු තේ හැන්දත් කලවම් කර ගන්න. මම යොදා ගත්තේ රේණුකා උකු කිරි ටින් එකකින් 1/3 විතර. වෙළඳ පොලේ තියෙන පොල්කිරි පැකට් වර්ග වලින් රේණුක එක තමයි හොඳම.  ටිකක් රත් වේගෙන ආවම ගින්දර අඩු කරළා. තවත් සුළු වෙලාවකින් ලිප නිවන්න. මොකද මැටි ඇතිළිය, එයා ලබා ගත්ත රස්නෙන් තවත් මිනිත්තු තුනක්-හතරක් බුබුළු දම - දමා උතුරන්න වග බලා ගන්න නිසා.
 ඉතිරි ළූණු ටිකයි. සුදු ළූණු බිකක් සහ කරපිංචා තෙල් මේස හැඳි තුනක් හතරක් දාලා රන්වන් පාට වෙන්න බැද ගන්න. මේකට අබ ස්වල්පයක් එකතු කරන්න. මේවා කරත්දී පොඩ්ඩක් ඇස් පරිස්සම් කර ගන්න. අබඇටපිපිරුණාම, මේ ටික උණු-උණුවෙම  හොද්දට  එකතු කරන්න. මේ වගේ  කරියක්  හදද්දී මිරිස් සහ පැණිරස බැලන්ස් කරන එක ලොකු වගකීමක්. මුලින් එකතු කරපු මිරිස් ප්‍රමාණය මදි කියලා මට හිතුණා. පස්සේ හැඳි1/3 වගේ එකතු කළා. මේවා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕනේ දේවල්. ඔය ලොකු චෙෆ්ලා වුණත් එක පාරටම හරියට මිරිස් දාන්න දන්නේ නෑ. පස්සේ රස බලලා බැලන්ස් කරනවා. මතක
 මේ තියෙන්නේ හදා ගත්ත කරිය. එකට මම කොත්තමල්ලි කොළ සහ තක්කාලි පුංචි ගෙඩියක් කපලා මේ වගේ එකතු කර ගත්තා ලස්සන, රසය වගේම සුවඳත් එකතු කර ගන්න.  
අපි රෑට කෑවේ පාන්. බත් එක්කත් හොඳයි. මම පහුවදා ඉතිරි කොටස ඔෆිස් අරන් ගිහිං කට්ටියට දුන්නා රස බලන්න. ට්‍රයි කළාට පාඩුවක් නෑ. ලාවළු කනවා කියළා හිතන්නේ නැතිව කෑවොත් කන්න පුළුවන්. මේකේ පුංචි පැණිරස ගතියක් තියෙනවා. මැලේසියන්, තායි වගේ යට අහු වුණොත් බේර ගන්න බැරි වෙයි.

මේක මම ලියපු 400 වැනි සටහන. පන්සීයකින් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ.

Tuesday, May 5, 2015

නේපාලයේ ස්වභාවික විපතින් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ...... DIY : For those who lost their lives in Nepal due to Natural Disaster

නේපාලයට සිදු වෙච්ච ස්වභාවික විපත්තිය ගැන ප්‍රවෘත්ති මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙනවා. මේ තවත් ඒ ගැන විස්තරයක් නෙවෙයි. ඒ ගැන සියළුම මාධ්‍ය වලින් මේ වෙනකොට පුළුල් ප්‍රචාරයක් දීලා තියෙනවා. ඒ වගේ අහිංසක ජනතාවක් ඉන්න රටකට එරෙහිව සොබාදහම හිරි ඇර ගත්තේ ඇයි කියලා  තිලක සිත ලියන අපේ මිත්‍රයා ප්‍රශ්න කරලා තිබුණා. ඒ ඛේදවාචකය එක්කම මටත් පුංචි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ ගැන මාධ්‍ය කිසිම වාර්තාවක් නැති නිසා ඔන්න මමම වැඩේට බැස්සා. උදේ තේ කෝප්පය බොන ගමන් අන්තර්ජාලයට හිස පොවන එක මගේ දෛනික පුරුද්දක් වෙලා. එහම බලලා තියපු කෝප්පේ එතනම තිබීම හේතුවෙන් තමයි මේ අකරතැබ්බෙට මුහුණ දෙන්න වුණේ. මගේ දියණිය මගෙන් පරිගණකය අත්පත් කරගෙන් මුලින්ම කලේ මවුස් පෑඩ් එක හරියට ස්ථානගත කරන එක එහෙම කරනකොට වෙච්චදේ තමයි මේ. එතනින් කෙලින්ම භූමිගත වුණා කෝප්පෙන් ඉතිරි වුණේ මෙන්න මේ වගේ කෑල්ලක්. 

මේක දැක්කම මට හිතුණා මේකෙන් මොකක් හරි කරන්න පුළුවන් කියලා. අපේ පුරුද්ද තමයි මේ වගේ පිඟන්, කෝප්ප, වීදුරු බිමට වැටුනම, බොහොම සීරුවෙන් ලොකු පොඩි කටු කෑලි ටික ඇහිඳලා, කොස්සෙන් අතු ගාලා ඉක්මනට එතැන පිරිසිදු කරන එක. මොකද පුංචි හරි කැල්ලක් තිබිලා ඇනුනොත් කියන බය නිසා. හැබැයි මොකක් හරි බිම වැටෙනකොටම බොහෝ දෙනෙක්ගේ කටින් කියැවෙන වචන පේලිය තමයි
"ලොකු කෑල්ල මට"
කියන එක.  එහෙම වුණාට ලොකු කෑල්ල දිහා කවුරුත් බැලුවේ නෑ. මට මේ ලොකු කෑල්ල දැක්ක වෙලාවේ ඉඳලා ඇහැ ගියා. නේපාලේ ඛේදවාචකය මතක හිටින්නත් එක්ක මොකක් හරි සිහිවටනයක් හදන්න ඕනේ කියලා මට හිතුණා. මේ වගේ ඒවාට කියන්නේ "Do It Yourself(DIY)" බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. අපි වගේ නෙවෙයි සුද්දෝ, තමන්ගේ වැඩ තමන් කර ගන්න උත්සාහ කරනවා. අපේ ගමේ ඉස්සරහා ගෙදර මල්ලිකා(වෙනමම ලියන්න ඕනේ චරිතයක්) බැන්දේ  ස්විස් කාරයෙක්. එක පාරක් ආවේ සුවිස් තරුණයෙක් එක්ක. ඒකා තනියම ගරාජ් කෑල්ලක් හැදුවා. අපේ ගමේ එවුන් කිව්වේ, "මේකි මේ පාර අල්ලාගෙන තියෙන්නේ එහෙ වඩුවෙක්ද කොහෙද ?" කියලා. නමුත් කාරණය ඒ මිනිස්සු අපිට වඩා තමන්ගේ වැඩ කර ගන්නවා. ඉතිං යුරෝපාකරේ මේ DIY වැඩ මාර ප්‍රසිද්ධයි. ෆොටෝ ගොඩාක් තියෙන නිසා වැඩිපුර විස්තර කරන්න යන්නේ නෑ. තොරණේ විස්තරය බලාගන්න පුළුවන්. 

පුංචි පුංචි කෑලි ටික විසි කරාම ඉතිරි වුණේ මෙන්න මේ වගේ, ඒත් තියුණු කෑල්ලක්. අපේ අම්මා, තාත්තා, අක්කා හරි දැක්කනම් මට බනිනවා "ඔන්න ඕක විසි කරලා දාන්න, අතක පයක ඇනුනොත්. මේ පොඩි ළමයි ඉන්න තැන් වල ඕවා තියා ගන්නවද ?" කියලා. හොඳ වෙලාවට අපේ ගෙදර මේ අය නොහිටියේ. මම කෙලි පොඩ්ඩ දැනුවත් කළා. "අපි මේකෙන් මොකක් හරි හදමු. හැබැයි තාත්තා හදනකම් පුතා මේක අල්ලන්න එපා" කියලා. එහෙම කිව්වට පස්සේ මේකට අතවත් තියන්නේ නෑ කියලා මම දන්නවා. ඔහොම දවස් කීපයක් මේක තිබුණා. මටත් පොඩ්ඩක් බය නොහිතුණා නොවේ.
කාලෙකින් නිවාඩුවේ ගෙදර ඉන්න වෙලාවක් ලැබුණ නිසා මට හිතුණා මේකට තේරුමක් දෙන්න. මේකේ තියෙන උල් සහිත තියුණු ගතිය නැති කරන්න ඕනේ නිසා මගේ ගාව තිබුණ මෙන්න මේ "හැක් සෝ බ්ලේඩ්" එක යොදා ගත්තා. පීරක් හරි වැලි කඩදාසියක් හරි යොදා ගන්නත් පුළුවන්. වැලි කඩදාසියකින් මේ වැඩේ කරනවානම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. එක රවුම් කරන්නම ඕනේ නෑ. තියුණු ගතිය නැති වුණාම ඇති. මෙහෙම කරද්දී වැටෙන පුංචි කෑලි ටික මතක ඇතිව, අතුගාලා කුණු කූඩෙට දාන්න. 
මේ මොකක්ද මේ ? ඔබට එහෙම හිතෙන්න ඇති. මේකට සිංහලෙන් කියන නම මෙන්න මේ වගේ එකක්. "දෙපැති ගම් පටිය". තේරුණාද? නෑ නේද ? එහෙනං ඉංග්‍රීසියෙන් කියන්නම් "Double Side Gum Tape". දැන් තේරුණා නේද ? මේක ඕන වෙන්නේ මොකටද ? බලන්නකෝ පහලින්. 
මෙන්න මේ විදියට සම්පූර්ණ කොටසම මේ පටි වලින් ආවරණය කර ගන්න. පස්සේ එක පැත්තක තියෙන කඩදාසියත් ඉවත් කරන්න. 
අපරාදේ ලස්සන කෝප්පේ කියලා හිතුනද ? නැත්නම් අපේ කෝප්පත් පොලවේ ගහලා මේ වගේ කෑල්ලක් හදා ගන්න ඕනේ කියලා හිතුනද ? වැඩේ තියෙන්නේ හැම වෙලාවේම මේ වගේ ලස්සනට ඉතිරි වෙන්නේ නෑ. සමහර ඒවා ඉතිරි වෙන්නේ භයංකාර විදියට. අනේ ඒ වගේ ඒවානම ගෙවල් වල තියා ගන්න එපා. අනිත් දේ තමයි ඉතා කුඩා ළමයි ඉන්නවනම් මේ වගේ ඒවා තියා ගන්න එපා. මොකද පුංචි ළමයි මේ වගේ ඒවා බිම දාන නිසා, අණතුරු වෙන්න පුළුවන්. 
ඊට පස්සේ සියළුම, පිටුපස ඇති කඩදාසි ඉවත් කර ගන්න. දැන් හැමෝටම එන ප්‍රශ්නයක් තමයි අපි මේ මොකක්ද කරන්න යන්නේ ? කියන එක. ඇත්තටම අපිට ඕනේ මේකේ මොකක් හරි චිත්‍රයක් අඳින්න. මගේ ගාව තියෙන්නේ ෆැබ්රික් පේන්ට්. මේ වගේ දිලිසෙන මතුපිටක්(Glazed Surface) එකක අඳින්න නම් Glass Paint අවශ්‍ය වෙනවා. වැඩේ තියෙන්නේ ඒවාගෙන් පසුබිමක් පාට කරගන්න බෑ. යටින් තියෙන දේ ඉස්මතු වෙනවා. (ඒ ගැන වැඩි අත්දැකීමකුත් නෑ. රූපවාහිනියෙන් දැක්ක දේ තමයි). ෆැබ්රික් පේන්ට් වලින් අඳින්න නම රෙදි මතුපිට තමයි හොඳ. ඉතිං මම හිතුවා මේක රෙදි වලින් ආවරණය කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන්, වෙනත් ගම් වර්ගයක් මේකට යොදා ගන්න බැරිද කියලා. සුපර් ග්ලු වගේ එකක් නම් හරි යන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අනිත් ගම් වර්ග මේ වගේ දිලිසෙන මතුපිටක ගුලි ගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 
වාසනාවකට මේ වගේ රෙදි කෑල්ලකින් මට අවශ්‍ය ප්‍රමාණය ආවරණ කර ගන්න පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න. මතක ඇතිව උසම තැනට මැද හරිය තියලා, කෙලින් අතට ඉරක් වගේ අලවාගෙන, පස්සේ දෙපැත්තට තද කර ගන්න. පහලින් බලන්න අලවලා ඉවර වුණාම තියෙන තත්වය. 
දැන් සීරුවෙන් මේකේ වටේ තියෙන වැඩිපුර කොටස කපලා ඉවත් කර ගන්න ඕනේ. එහෙම කරන්න ඉතා තියුණු, ඒ වගේම සිහින් පිහියක් අවශ්‍ය වෙනවා. මුලින් කතුරකින් කපන්න උත්සාහ කලත් හරි ගියේ නෑ. මෙන්න මේ වගේ පරණ රේසරයක් ප්‍රවේසමෙන් ගලවාගෙන, ඒ ඇතුලේ තියෙන බ්ලේඩ් එකක් ගන්න. ඔව් කඩේ තියෙන බ්ලේඩ් එකක් දෙකට කඩලා ගන්නත් පුළුවන්. මේ වගේ වැඩ කරත්දී දරුවන් ඈත් කර ගන්න. මොකද එයාලටත් මේවා අත පත ගාන්න හිතෙන නිසා. අවසානයේ මේ බ්ලේඩ් දරුවන්ගේ අත නොගැටෙන තැන තබන්නත් වග බලා ගන්න. 
මෙන්න බලන්න කපලා ඉවත් කරපුවාම තියෙන හැටි. ඔටුන්නක් වගේ ? ඔව් කෙනෙකුට එහෙමත් පාට කර ගන්න පුළුවන්. නමුත් මගේ හිතට ආවේ කඩා වැටිච්ච ගඩොල් බිත්තියක් ආකාරයට මේක සරසන්න.
මුලින්ම පහලින් තියෙන විදියට පැන්සලෙන් ඇඳ ගත්තත් පසුව හිතුන දෙයක් තමයි වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන වර්ණය ගාලා පස්සේ අනිත් කොටස ඇඳ ගන්න එක පහසුයි කියන එක. 
පහලින් තියෙන්නේ අවසාන වෙච්ච ගඩොල් බිත්ති කෑල්ල. වැඩේ තියෙන්නේ මේකේ මැද අවස්ථා වල පින්තූර ගන්න බැරි වුණා. මම අතේ තීන්ත ගාගෙන හිටිය නිසා.
මේ තියෙන්නේ තවත් කෝණයකින් ගත්ත පින්තූරයක්. කොහොමද සුන්බුන් අතර තියෙන ගඩොල් බිත්තියක් වගේ පෙනෙනවද ?
ඈතින් ඉඳන් බලනකොට පේන්නේ මෙන්න මේ විදියට. වැඩේ කොයි තරම් දුරට සාර්ථකද කියලා තීරණය කරන්න ඔයාලට පුළුවන්. මගේ දුව නම් මේකට කිව්වේ Masterpiece එකක් කියලා.

මේකේ අනිත් පැත්තේ පුංචි සටහනක් තියන්න මට ඕනෑ වුණත්, මගේ ගාව තියෙන OHP පෑන ලියවුනේ නෑ. මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් හොඳයි කියලා. ඔයාලගේ අදහසුත් දෙන්න

In memory of those who lost their lives in 7.8 Gorkha Earthquake -Nepal on 25th April 2015 
_____________________________________________
ප.ලි. : මගේ ගාව තිබුණු ලියවෙන්නේ නැති CD මත ලියන පෑනට, තිනර් ටිකක් දාගෙන මේකේ ඉතිරි කොටස සම්පූර්ණ කරා.

Sunday, April 12, 2015

පිරිමින්ට පමණයි කිව්වට වැදගත් වෙන්නේ කාන්තාවන්ට ...... Important for Ladies but Gentlemen only ......

මාතෘකාව බැලුවම මොකක්ද මම මේ කියන්න යන හරුපේ කියලා අපේ කාන්තා වගේම පිරිමි පාර්ශවේ අයටත් හිතෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මේ අවුරුදු කටේ මේ වගේ හරුපයක් කිව්වම මඥ්ඥකොරොස් වෙන්නේ නැද්ද ? මේ දවස් වල ලංකාවට ඉර මුදුන් වෙලා නිසා ඔලුව කුරවල් වෙලා කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද කිව්වම කොහෝ නාදය, අවුරුදු ක්‍රීඩා, රසකැවිලි වගේම වැදගත් දෙයක් තමයි අලුත් ඇඳුම්. මේ සටහන අලුත් නැතත් පරණ ඇඳුම් පිළිවෙලකට තබා ගන්න වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. 

ඇඳුම් කිව්වම ඉතින් ඕනෙම කෙනෙකුට මතක් වෙන්නේ ෂර්ට්, කලිසම්, සරම්, ගවුම්, සාරි හැට්ට්ට වුණත්. වැඩට යන, ක්‍රීඩා කරන, පුරුෂ පාර්ශවයට ඉතා වැදගත් ඇඳුම් කොටසක් තමයි මේස් නැත්නම් සිංහලෙන්ම කියනවා නම් සොක්ස් (හරි හරි නෑ කිව්වේ නා යටිතල පහසුකම් .... ඒවත් ඇඳුම් තමයි. හැබැයි මෙතනට අදාළ නැති නිසා ඒ ගැන දොඩවන්න යන්නේ නෑ. ඇරත් ඉතිං ඒවා ගැන කථා කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා නේ. දැන් බ්ලොග් වසන්තයා නිදියගෙන හිටිය අමු වැඩ්ඩෝ ටිකක් අවුස්සගෙන ඉන්න හින්දා මොන මොනවා ලියවෙයිද කියලා කියන්න බෑ. අප්පට සිරි තවම වරහන් ඇතුලේ නේද යන්නේ. කෝ ඉන්න මං වහලා දාන්නනම්). ඕං වැහුවා. 

හරි මම මොනවද මේස මේස් (දෙමළ නයන්නාගේ පෙන්වීම අනුව නිවැරදි කරන ලදේ)වලින් දාන්න යන සෙල්ලම. අන්තිමට බලන්නකෝ. මොනවා වුනත් මම නොමිලේම මගේ මේස් දාලා තියෙන පෙට්ටි දෙක පෙන්වනවා ඔයාලට නොමිලේම. නයා පාරක් කියලා හිතන්න එපා. අන්තිම වෙනකම් බලන්න. මේ තියෙන්නේ බඩු. 

උදේට හරි කරදරේ. අපේ ගෙදර ඉන්න අයිල් මැතිනිය තමයි මේ රාජකාරිය කරන්නේ. වැඩේ තියෙන්නේ උන්දා ගහන ගැට නිසා පෙට්ටි දෙකක් පුරාවට මේවා පුරවලා තියෙන්න වෙලා. එක පෙට්ටියක දැම්මොත් උදේට එකටත් විනාඩියක් විතර අපතේ යනවා. හැබැයි අපි දකින්න යන මේ වැඩෙන් වෙලාවත් ඉඩත් ඉතිරි වෙනවා. මොකටෙයි මම අටුවා ටීකා ලියන්නේ ඔන්න වචන දහසක් වටින ජේ.පී.ජී. පින්තූර නෙවෙයි ඒ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ වචන තුන්දහසක් වටින ජී.අයි.එෆ්. වලින්ම. අන්තිමට තියෙන වීඩියෝව කැමති නම් බලන්න. තාම හැම තැනම ෆ්‍රී වයිෆයි නෑ තමයි. 

මේ තියෙන්නේ සෙල්ලම චීන්නු හැම දේකටම මොනවා හරි කෙටි ක්‍රමයක් හොයා ගන්නවා. මුලින්ම තියෙන තනි රූපෙන් වැඩේ අල්ලා ගත්ත අය කෙලින්ම යටට ගිහිං මගේ සොක්ස් පෙට්ටි වලට මොනවද වුනේ කියලා බලාගෙන ඩේටා ඉතිරි වෙලා තියෙනවා නම් වීඩියෝ එකත් බලන්න. 


පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
මුලිම්ම මේම නමා ගන්න

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/

 ඊට පස්සේ මේම නමා ගන්න(නමා ගන්න කිව්වම අපේ ගල් බලකායේ මහත්තුරුන්ට මතක් වෙනව ඇත්තේ වෙන දෙයක්)

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඊට පස්සේ මේම නමන්න. අරිම ලේසියි අනේ. පේනවා නේ නෝනලා නමන්නේ. නෝනලා ....

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 දැන් ඔන්න මුල ඉඳලා නමන ඇටි බලා ගන්න. අපි තාම බැඳලා නෑ කිව්වා. හා එහෙනම් බැන්දට පස්සේ බලන එකයි ඇත්තේ.
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඕං පේනවා නේද රිසාල්ස් එක. ඉඩ ඉතුරුයි. වෙලාවත් ඉතුරුයි. හැබැයි ඔය උඩ ඉන්න උන්දෑ දිගටම එකම සොක්ස් එක නැමුවට ඔයාලා ඒම කොරාණ්ඩ යන්ට එපා. තව වැඩ තියෙනවනේ. අනිත් ඒවා නමන්න. කමක් නෑ අවුරුදු ඉන්දා මාත්තයාගේ බෝතලෙනුත් එකාක් නමා ගන්න.

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
තොරණේ විස්තරය ඉවරයිද නෝනාවරුනි මහත්වරුනි. නැත නැත පිංවත කලින් පෙන්වනවා කිව්වා මගේ නයි පෙට්ටිය. ඕං බලාන්ඩලා. 

මොකෝ මේ මැජික් වගේ එක පෙට්ටියක් වාලා. ඇයි අනේ නයි දාසයක්ම එක පෙට්ටියකට දැම්මට පස්සේ මොකටෙයි තව පෙට්ටියක්. ඒකෙ වෙන මොනවා හරි දාන්න බැරියැයි. හා... හා... බිත්තර බැරිනම් ඔම්ලට් හරි මගේ මොකෝ. 

ඔන්න දැන් තමයි වීඩියෝ එක. බලාගන්නකෝ මුල ඉඳන් සරල පැහැදිලිව. 
මේක දැක්ක ගමන් අපේ විචාරක මහත්තයයි, ජූඩ් නෙවෙයි ඩූඩ් කියලා සුදු මහත්තයෙක් ඉන්නවා මතක ඇතිනේ. අන්න එයයිලා පරල වෙනවා ෂුවර්. මොකද ඒ දෙන්නට මේවා පෙන්නන්න බෑ. 

එහෙනම් ලබන්නාවු සිංහල දමිල අවුරුද්දද සියලු දෙනාටම සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා. 

Friday, October 17, 2014

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න ......

ලංකාවේ ජීවත් වෙන අපිට තියෙන ලොකුම කරදර වලින් එකක් තමයි මදුරු කරදරේ. පුංචි කාලේ විවිධ  කෙම් මගින මදුරුවන් පලවා හරින්න උත්සාහ කරපු විදිය මේ මොහොතේ මගේ මතකයට එනවා. අපි ලාඩප්පා(ඇල්බීසියා) අතු කඩාගෙන ගේ වටේ වට තුනක් ඇවිදලා ගෙදර ඇතුල්වෙන දොරටුවට උඩින් එල්ලලා තියනවා. පොඩි කාලේ මේ වගේ කෙම් වලට පුරුදු වෙලා හිටියා. ඒ වෙනත් විකල්පයක් නොදන්නා නිසා. කෙම් වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි, ඒ කරන මුළු කාර්යයම කථා නොකර කරන එක.විකල්පයක් විදියට අපි මදුරුතලා ඇතුත් යොදා ගත්තා. අද නම් මදුරුතලා දකින්න නැති තරම්. රත්නපුර පැත්තේ නම් පැලයක් හොයා ගන්න නෑ. ඒ තායි-කොරියන් වගේ ජාතිකයන් ඔවුන්ගේ ආහාර වලට මදුරුතලා ගස් පිටින් එකතු කර ගන්න නිසා. ඒවාගේ තියෙන මින්ට් ගතියට කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.

 ඊට පස්සේ අපි කරපු අනිත් දේ තමයි ගිණි මැලයක් ගහන එක. බොහෝ විට සිමෙන්ති අනන්න ගන්න තාච්චියකට විවිධ දර කෑලි, පොල් ලෙලි, පොල් කටු වගේ දේවල් වලින් පුරවලා එකට භූමිතෙල් ටිකක් දාලා ගින්දර ගහලා පස්සේ අමු පොල් ලෙලි දානවා දුම් එන්න. එහෙම ආවම මදුරුවොන්ට විතරක් නෙවෙයි  අපිටත් ඉන්න  අමාරුයි. බැරිම වුනොත් රබර් කෑල්ලක් දානවා. බෙන්තොට ඉලාස්ටෝ ආයතනයට පින් සිද්ද වෙන්න අපිට රබර් කාලි සපයා ගැනීමේ කිසි ගැටළුවක් තිබුණේ නෑ. එහෙම නැතිම දවසකට පරණ රබර් සෙරෙප්පුවක් හරි දානවා. මේ ගිණිමලය ආසන්නයට වෙලා ඉන්න මම ඒ කාලේ පුදුම ආසයි. 

ඒ කාලේ ඒ වගේ සුළු විකල්ප වලින් අපි සෑහීමකට පත් වුණේ, හැමදාම මදුරුවෝ නැති හින්දා. ඒ කියන්නේ අපි කුඩා කාලේ එක්තරා සීසන් එකකට තමයි මදුරුවෝ හිටියේ. අවුරුද්දෙන් මාස හයක් විතරම මදුරුවෝ නැති කාලයත් තිබුණා. මදුරු කොයිල් වෙළෙන්ඳන් මදුරුවන් බෝ කළාය කියන කතාව පිළිගන්න වෙන්නේ ඔන්න ඔය කාරණය මතකයට ආවම. එක්දහස් නවසිය අසූව දශකයේ මුල භාගයේ පටන් මදුරු කොයිල්, මදුරු මැට්, දැන් දියර වේපරයිසර් භාවිතා කරනවා. අනික අද ඉන්නේ මදුරුවන් නිසා මිනිසුන් මිය පරලොව යන යුගයක. හේතුව ඩෙංගු. අටුවා - ටීකා අවශ්‍ය නෑනේ ඒ ගැන. ඉතින් මදුරු වදේට අපි විවිධ විසඳුම් සොයා soyආ ඉන්න කාලෙක තවත් අලුත් විසඳුමක් එක්ක තමයි මම ආවේ. 

මේක දැක්ක ගමන් මට හිනහව නවත්වා ගන්න බැරි වුනා. මොකද මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය දැක්කම. අපේ පත්තර මල්ලිට, අටමට, නලීන්ට එහෙම කදවාවත් මේක හදලා ඉවර කරන්න බෑ කියලා මට හොඳටම ෂුවර්. හැබැයි මේකත් එහෙම ලේසියට හදා ගන්න පුළුවන් එකක් වෙන්නේ නෑ. මොකද අමුද්‍රව්‍ය වලට යන මිල ගණන් නිසා. 
එහෙනම් කොලයක් එහෙම අරගෙන ලියා ගන්න ලැස්ති වෙන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. අමුද්‍රව්‍ය කිව්වට මේවා අමුවෙන් බඩට එහෙම දා ගන්න යනවා නෙවෙයි. අනිත් එක මහත්වරු මේවා ගේන්න කඩේට යවලා නෝනලාට මදුරුවෝ කකා බලාගෙන ඉන්න නොවෙයි කියන එකට මට සහතියක් දෙන්න බෑ. 

අවශ්‍ය ද්‍රව්‍යය

  • මධ්‍යසාර ලීටර් 1/2 (අනේ මන්දා ඔය විස්කි, බ්‍රැන්ඩි වගේ ජාති වලට යන්න එපා. ළඟදී අරක්කුත් ගණන් ගිය එකේ කසිප්පු තමයි යොදා ගන්න වෙන්නේ. හැබැයි එතකොට මේ දේශීය නිෂ්පාදනය නීතිගත කර ගන්නත් පුළුවන්).
  • කරාබු නැටි ග්‍රෑම් 100
  • බේබි ඔයිල් හෝ වෙනත් ඇඟේ ගලවන්න පුළුවන් තෙල් වර්ගයකින් මිලි.මීටර් 100ක්
සාදා ගන්නා අකාරය

මද්‍යසාර වලට කරාබු නැටි එකතු කරගෙන මේක දවස් හතරක් පාඩම් වෙන්න තියන්න ඕනේ. මතක ඇතිව සාම දිනයකම උදයේ මේක ටිකක් කලවම් කරන්න. බොන්න එහෙම එපා.  දින හතර පසු වුණාම බේබි ඔයිල් එකතු කරන්න. දැන් එය භාවිතාවට සුදානම්. 

මෙහෙමයි කරන්න තියෙන්නේ. මිශ්‍රණයෙන් බින්දු කිහිපයක් ගෙන දෑතේ සහ දෙපා වල අතුල්ලන්න. ඉන් පස්සේ බලාගෙන ඉන්න මදුරුවන් පලායන අකාරය. මෙය වෙනත් කුහුඹු වර්ග වලට උනත් හරි යනවා කියලා තමයි කියන්නේ. 

හෙල්ත් ඩයිජෙස්ට් සඟරාව ඇසුරෙන්. 

පසු සටහන : ඉස්සර අපේ අයියා කෙනෙක් දංකොටුව ස්පෙෂල් බෝතලයක් අරං ඇවිත්, සුදු පාටට බොන්න බෑ කියලා කරාබුනැටි කිහිපයක් එකතු කළා පාට වෙනස් කරන්න. මේ හදාගත්තු මිශ්‍රණය නම් බොන්න එපා. ඊට පස්සේ බඩ පණුවොත් විනාශ වුණා කියලා මට දෝෂ කියන්න එපා. 


Wednesday, October 8, 2014

මෙන්න කරනවනම් වැඩ - ඔබේම දෑතින් ...... Another Do It Yourself (DIY) project ......

අපේ පැරැන්නන් එදිනෙදා ජීවිතයේදී තමන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කර ගත්තේ ඔවුන් විසින්ම. කිසිම දෙයක් රටින් හෝ පිට ගමකින් වත් ගෙන්වා ගැනීම මදිකමක් ලෙස ඔවුන් සැලකුවා. අද තත්වය ගත්තොත් ඉතා ශෝචනීයයි කියන එක තමයි කියන්න වෙන්නේ.අද අපේ රටට බොහෝ දේවල් විදෙස් වලින් ගේනවා. ආනයනය කරනවා නොකියා ගේනවා කිව්වේ,මේවා ගෙන්වීමේ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා.බොහෝවිට මුදලාලි කෙනෙක් තමයි ගෙන්වන්නේ. ඒකත් ඉතින් ආනයනයම තමයි.හැබැයි මහා බැංකුවේ පොත්පත් වල ආනයනගිණුමට මේවා එකතු වෙන්නේ නෑ. එක අතකින් මෙලෙස ඇදී යන්නේ විදේශ විනිමය නේද ? කියලා හිතෙනකොට ඇති වෙන්නේ කනගාටුවක්.මේ දේවල් අපිට නවත්වන්න බෑ. හැබැයි අපි කරන පුංචි දෙයකින් මේ දේවල් වල බර අඩු කරන්න අපිට පුළුවන්. කොහොමද එහෙම කරන්නේ ?ඔබට හිතෙන්න ඇති.

අපි වගේ පුංචි මිනිසුන්ට මේ වගේ මහා පරිමාණ වෙළඳාම් / ජාවාරම්  නවත්වන්න බෑ. එහෙමනම් අපි කෑ ගහලත් වැඩක් නෑ. අපිට කරන්න බැරි වැඩක් වෙන කෙනෙක්ට කරන්න කියලා කෑ ගහන එක තේරුමක් නෑ. තේරුමක් තියෙනවා, එහෙම හඬ නැගීම් අවශ්‍යයි. නෑ කියනවා නෙවෙයි. ඒ දේවල් නිසා කෙරෙන දේ නවතින්නේ නැති නිසයි මම අලුත් විකල්පයක් ගැන හිතුවේ.

මේ වගේ අදහසක් මගේ ඔලුවට ආවේ අවුරුදු පහක් ඇතුලත ගත්ත තුන්වෙනි ඔෆිස් බෑග් එකත් ඉතා වේගයෙන් භාවිතාවට ගත නොහැකි තත්වයට පත් වෙන්න ආවාම.මගේ මතකය නිවැරදි නම් අන්තිමට මම බෑග් එකක් ගත්තේ පෙබරවාරි මාසේ. අරගෙන මාස හයක් යන්නත් කලින් ඒකෙ තියෙන ලෙදර් පටියක් හම යන්න පටන් ගත්තා. ඊට කලින් ගත්ත එකටත් වුණේ ඔය දේමයි. හැබැයි මේ දෙකටම කලින් ගත්ත බෑග් එක තවම හොඳ තත්වයේ තියෙනවා. ටිකක් ගාන වැඩියි තමයි. ඉතාම කණගාටුවෙන් කිව යුතු කාරණය තමයි මේ තුනම චීනයේ හදපුවා. මුල් දෙකම ගත්තේ හමීඩියා එකෙන්.දැන් මේක කියවන සමහරුන්ට මෙහෙම හිතෙනවා ඇති "හොඳ වැඩේ මූට - හම්බයන්ගේ කඩවල් වලින් බඩු ගන්නවට", තව කෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති "කයිය ගැහුවට අරං තියෙන්නේ චීන බඩුනේ. කැඩෙන එක අහන්නත් දෙයක්ද ?"තුන්වෙනි එක ගත්තේ රෝමාෆෝඑකෙන්.  

හැබැයි ඔය කතා දෙකම සම්බන්ධයෙන් මම මෙහෙම අහනවා "එහෙනං කොහෙන්ද ගන්න පුළුවන්?" චීනත් නොවෙන හම්බත් නොවෙන තැනකින් බඩු ගන්න පුළුවන් හැබැයි මම වගේ රැකියාවක් කරන කෙනෙකුට නෙවෙයි, ව්‍යාපාරිකයෙකුට.අද කාලේ අඩුවට ගන්න පුළුවන් චීන බඩුම තමයි.මේ දේ ඇමරිකාවට, එංගලන්තෙටත් පොදුයි. ඒ රටවල් දෙක යැපෙන්නෙත් ඔය කියන චීනේ නිසා. හැබැයි අපිට එවන මට්ටමේ බඩු එහෙ යවන්නේ නෑ. තියෙන බාලම ඒවා තමයි අපිට පටවන්නේ. චීන්නු බඩු සපයත්දී අහන්නේ මිල.ඔබ කියන ගණනට ඔවුන් භාණ්ඩය නිෂ්පාදනය කරනවා. හැබැයි කොලිටියක් නෑ. මෙන්න මේ කාරණය නිසා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරපු අයත් දැන් චීනේ පැත්තට හැරිලා. මොකද ඔවුන් ඔබේ ලේබලය් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කිසිම අකමැත්තක් නෑ. ඒ වගේම අඩුවට. කොහොමද වැඩේ ? දේශීයව නිෂ්පාදනය කරනවාට වඩා මේ සිම්පල් ප්ලෑන් එක එයාලට පහසුයි.

මම කියන්න ආවේ වෙන කතාවක්.නමුත් ලියන්න වුණේ තවත් එකක්. කොහොම වුණත් මේ කියන්න යන "Do It Yourself" ව්‍යාපෘතිය වගේ දේවල් වලින්,අර කලින් කියපු විදේශ විනිමය ගලා යාම දශම ගණන් වලින් හරි අඩු කරන්න දායක වෙන්න පුළුවන්. ග්‍රොසරි බෑග් එකක් දෙවතාවක් භාවිතා කිරීමෙන් එම නිෂ්පාදනය අඩක් කරන්න පුළුවන් කියලා මම ඩේලි නිව්ස් පත්තරේ දැන්වීමක් දැක්කා. මේකත් ඒ වගේ වැඩක්. 

හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය මිනිසුන්ට යාදෙනවා කියලා තියෙන්නේ. අන්න ඒක.ඒ  කියන්නේ සමහර අයට කොච්චර හොඳ දේවල් ලැබුණත් එයාලා ගාව තියෙනවා හම්පඩ වෙච්ච පරණ එක හරි යනවා. උදාහරණයක් තමයි බොහෝ දෙනෙක් ගාව තියෙන පසුම්බිය නැත්නම් පර්ස් එක. කොච්චර අලුත් ඒවා හම්බ වුණත්, ගත්තත් අර පරණ එකම තමයි හරි යන්නේ. මගේ අර මුලින්ම් ගත්ත බෑග් එකත් අන්න ඒ වගෙයි. වැඩිපුර ආලවට්ටම් දාන්නේ නැතිව මිනිහගේ පින්තූරයක්ම දාන්නම්.හැබැයි මේක ඔක්කොම් වැඩ ටික ඉවර කරලා ගත්තු එකක්. 
මෙයාගෙන් මට ලැබුණු සහයෝගය කියලා වැඩක් නෑ. බෑග් එකේ පිට පැත්තට පිහිටලා තියෙන පොකට් තුනක්(ඔය සිප් එක දාලා තියෙනවා වගේ, ඔය පියන ඇරියම එකයි, පිටිපස්සේ එකයි. ඇතුලත ඒ වගේ සිප් දාපු තැන දෙකක්. ඒ මදිවට කාමර දෙකක් තියෙනවා. කෑම, එක පොත්, ලියකියවිලි ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේමයි මේකේ සවි ශක්තියත්. ඒ නිසා මට මේක කීයට වත් අත අරින්න හිතෙන්නේ නෑ.

අන්තිමට ගත්ත බෑග් එකෙන් මුලින්ම එලියට පැන්නා ස්ප්‍රින් එකක්. ඒ අර බෑග් එකේ කෙලවර මහනකොට එකතු කරන ප්ලාස්ටික් වයරය වෙනුවට දාපු එකක්. මම වැඩි කෑල්ල කපලා දැම්මා අඬුවක් ආධාරයනේ. ඊට පස්සේ ඒක ෂර්ට් වල පැටලෙන්න ගත්තා. තව ටිකක් දවස් යනකොට පිටුපස පොකට් එකේ සිප් එක කොයි පැත්තට ඇද්දත් ඇරිලා තියෙනවා. බැරිම තැන පැත්තකට විසි කරලා දාලා තියපු මෙයාව ආපහු අර ගත්තා. හැබැයි එකම ප්‍රශ්නෙකට තිබුණේ අර කෙළවරවල් හම ගිහින් සුදු පාට වුණ එක. මේ බෑග් එකේ සිප් නම් ඉතාම හොඳ ඒවා බව භය නැතිව කියන්න පුළුවන්. මට හිතෙනවා අනිත් එක්කෙනාගේත් පින්තූරයක් දාන්න. නයා අදිනවා කියලා හිතයිද මන්දා. ඒත් කමක් නෑ. ඔන්න දානවා. 
මේක දැක්කම ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. ඒ ආනන්ද - නාලන්ද ඉස්කෝලේ ගිය අය. අපේ කලර්ස් කියලා මැරෙන්න හදනවා. මම ඉතිං තියෙන තැන කියනවා. ඕන නම් ගිහින් ගනීනෙ. දැන් අපි මාතෘකාවට එමුකෝ. මේකටත් ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. දැන් ඉතිං අරයා දිහා ලජ්ජාවෙන් වගේ බලලා රෙදි කෑල්ලක් අරං පිහලා එහෙම ගත්තා කියමුකෝ. නමුත් ඒකෙ ජංජාල ගොඩයි. මොකද බෙල්ට් එකේ තිබ බකල් එකක් කැඩිලා එතැන කලුපාට ඉන්සියුලේෂන් ටේප් එකක් ඔතලා. එතනින් ගැලවෙන්න දඟලන බෙල්ට් එකේ කොටස් දෙක, දෙපස ගම් සහිත පටියක් තියලා අලවලා ගොඩ දා ගත්තේ. ඒ ගම් ටේප් එක සුදු පාට නිසා කරන්නම දෙයක් නැතිව දුඹුරු පාට පෑනකින් පාට කළා. ඒ වුනත් පේනවා. සතියක් විතර මේක අරගෙන යත්දී මගේ කාර්යාල සගයා කියන්නේ නම්, පරණ බෑග් එක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බව. 

මේ ළඟදී දවසක පොඩි එකීගේ ඉස්කෝලෙන් මැටි වාස් එකක් පාට කරන්න ෆැබ්රික් පේන්ට් පාට දෙකක් ගේන්න කිවවා කියලා මට කිව්වේ අදාළ දවසේ උදේ. ඉතිං කොහොම හොයන්නද ෆැබ්රික් පේන්ට්. ඒ මදිවට මැටි වාස් එකක්. පොතේ නෝට් එකක් දාලා, ඊළඟ සතියේ එවන්නම් කියලා පොඩි එකී ශේප් කළා. එහෙම කලාට මොකද මට ඊළඟ සතියේ අදාළ දවසට කලින් දවසේ රෑ අටට විතර මතක් වුණා කියමුකෝ. දැන් මොකද කරන්නේ. වහන්න ඔන්න මෙන්න තියෙන කඩයකින් මැටි වාස් එකක් නම් ගත්තා. කරන්නම දෙයක් නැති තැන බත්තරමුල්ලේ ආර්පිකෝ එකට රිංගුවා. පොඩ්ඩක් කලින් ආවනම් සෙත්සිරිපයට ළඟ තියෙන පොත් කඩෙන් ගන්න තිබුණා. කලින් මගේ ටී ෂර්ට් වැඩකටත් කහ පාට එකක් ගෙනාවේ එතනින්. ඒ ගෙනා පින්සලත් තවම ඇති. ඇපල් වර්ගයේ පින්සල් ටිකක් ගණන්. ඒ වුනත් ඉතා හොඳ කෙඳි ප්‍රමාණයක් තියෙන නිසා අඳින්න පහසුයි.

ෆැබ්රික් පේන්ට් කුප්පි තුනක අවශ්‍යතාව තිබුණ මට, අවසානයේ කෑලි හයක පෙට්ටියක් මිලදී ගන්න වුනේ රුපියල් එක්දහස් හාරසිය ගණනකට. මා එය මුදල් අපතේ යැවීමක් ලෙස සිතුවේ නෑ. මේවාගෙන් ඇය වර්ණ සංකලනය ගැන යමක් ඉගෙන ගනීවි කියන විශ්වාසයේ මම හිටියේ. පහුගිය කාලේ මගේ පැරණි බෑග් එක පාවිච්චි කරත්දී හිතේ පොඩි අඩුවක් තිබුණා, "මේක හම ගිහිං නේද " කියන අදහසත් එක්ක. මගේ කාර්යාලීය සගයා යෝජනා කළා දුඹුරු පාට පොලිෂ් ආලේප කරන්න. එය මටත් කිහිප විටක් සිතුනත්, එය ඇඳුම් වල ගෑවීම වලක්වා ගන්නේ කෙසේද ? මේ අතරේ දියණියගේ ෆැබ්රික් පේන්ට් එක්ක මට ආවා කදිම අදහසක්. මේවා මිශ්‍ර කරලා මට අවශ්‍ය වර්ණය හදා ගන්න පුළුවන් නේද කියන එක. දියණිය ගෙදර නැති මොහොතක් එනතුරු මා බලා සිටියා. අද ඒ අවස්ථාව උදා වුණා. මම වැඩේට බැස්සා. මේ දිනවල තිබෙන අඳුරු සහ තෙත් පරිසරය මෙවැනි දේ සඳහා නුසුසුදුසු වුවත්, වෙනත් විකල්ප අවස්ථාවක් නැති නිසා පහල තියෙන බඩු ටිකත් අරන් මම සුදානම් වුණා.




වර්ණ සංකලනය ගැන ඔබට යම් අවුබෝධයක් මෙහදී අවශ්‍ය වනවා. මගේ බෑග් එකේ වර්ණය චොක්ලට් පාට. මම හිතාගෙන හිටියේ දම් පාට සහ කහ පාට මිශ්‍ර කර ඒ වර්ණය ලඟා කර ගන්න. නමුත් මගේ වාසනාවට නිල් සහ රතු මිශ්‍ර කරලා අවශ්‍ය වර්ණය සොයා ගන්න හැකි වුණා. වර්ණ ආලේපයේදී ප්‍රවේසම් වන්න උත්සාහ කළත්, වර්ණය බොහෝ දුරට සමාන නිසා, එහෙන් මෙහෙන් පිට පැන්නත් ගැටළුවක් නැති වුණා. මේ පින්තූරයේ තිබෙන කෝටු කෑල්ල, කාල අවසන් වුණු අයිස් ක්‍රීම් කෝට්ටක්. ඒක වැදගත් වුණේ වර්ණ බෝතලයෙන් ගන්න. අවංකවම කිව්වොත් කහ පාටත් පොඩ්ඩක් දැම්මා. අර දුඹුරු හැදෙන්නේ මේ වර්ණ තුණේ එකතුවෙන් කියන මතය මගේ හිතේ තිබුණු නිසා.

ඉන් පස්සේ මම හෙමින් වර්ණ ගැලවීම කළා. ටිකක් වෙලා යත්දී තමයි මතක් වුණේ, මේ වගේ සටහනකට මේක හොඳයි නේද කියලා. වාසනනවට තවමත් පින්තාරු නොකළ කොටස් බෑගයේ ඉතිරි වෙලා තිබුණා. පෙර සහ පසු පින්තූර කිහිපයක් ගත්තා බලන්න වැඩේ සාර්ථක ද කියලා. වර්ණ තරමක් වේලෙන්න පෙර තමයි මේ පින්තූර ගත්තේ. හොඳින් වෙළුන පසුව එහි වෙනසක් පෙනෙන්නේ නැති බව වැටහුණා. මෙන්න ඒ පින්තූර
පෙර

පසු
දෙවෙනි පින්තූරේ තරමක් සුදට පෙනෙන්නේ දිලිසීම නිසා. නැතිනම් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කළා. 

පෙර : කලුපාට ඉන්සියුලේෂන් ටේප් පටිය සමග.

පසු : ඉන්සියුලේෂන් පටිය වර්ණ ගැන්වීමෙන් පසුව. තීන්ත 100% වේලී නැත. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...