මෙහි ලියා තිබූ ප්රථම පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කළෙමි. ඒ මේ වනවිටත් දන්නා කතාවේ පසුබිම යළිත් සඳහන් කිරීම අනවශ්ය නිසාය. මෙම සටහන ලියන්නට පටන් ගත්තේ මා බ්ලොග් ලියන්නට අවතීර්ණ වූ මුල් යුගයේය. දැන් ඒ සඳහා වෙනම ප්රවේශයක් ලැබී තිබේ. පසුගිය සටහනේ රණසිංහ අයියා කෙනෙකු ගැන සටහන් කළා මතක ඇතයි සිතමි. රණසිංහ අයියාගේ කඩය තිබුණේ සර්පන්ටයින් පාරට හැරෙන තැනම පාරේ දකුණු පැත්තට වන්නට ඇති කුඩා කඩපෙලියේය. එය දෙවන හෝ තුන්වන කඩය විය යුතුය. ඇත්තටම මේවා කඩ යයි කීවත්, අඩි හයේ හයේ පමණ කුඩා කාමරය. මේ කාමරය තුළ කෑම පිස පාර අයිනේම තබා ගනුදෙනුකරුවන්ට සපයා, දරුවන් හයදෙනෙකුගෙන් යුත් පවුලක් රක්ෂා කරන රණසිංහ අයියා ගැන මට තිබෙන්නේ ගෞරවය මුසු කණගාටුවකි. ඔහුගේ සහයට ඔහුගේ වැඩිමහල් පුත් නිශාන්තද එකතු වී ඇත.
මා රණසිංහ අයියා හඳුනා ගත්තේ කෙසේද ? මගේ නැන්දාගේ නිවසේ කොටසක් කුලියට දුන් කාලයක් විය. මතකහිටින කාලයක් රණසිංහ අයියා ඇතුළු පවුල
එහි ගත කළෝය. එවකට ඔහු කුමක් කළේද යන්න
මගේ මතකයේ නැතත්, බොහෝ කාලවල කාර්යාල කැන්ටින් බදු ගෙන
පවත්වාගෙන යාම ඔහුගේ ජීවිකාව විය. බොරැල්ලේ මා ගෙවන සිරගතකළ ජීවිතයට රණසිංහ
අයියාගේ මේ පැවැත්ම අස්වැසිල්ලකි. ඒ පසුකාලීනව උදෑසන අහාරයත්, රාත්රී ආහාරයත් සඳහා මා එතැන තෝරා ගැනීම
නිසාය. ගමේ කෙනෙකු, දන්නා කෙනෙකු උයා දෙන කෑමක් වත් කන්නට
ලැබීම භාග්යයක් නොවේද ? අනික නිවසින් පිට ජීවත් වන මට දන්නා
කියන කෙනෙක් අහල පස් මානයේ සිටීම ශක්තියක් නොවේද ? රණසිංහ අයියා යනු ඉතා කුඩා සිරුරකට හිමිකම් කී ජීවිත් වන හැම දිනයක්ම
සතුටින් ගත කළ පුද්ගලයෙකි. කොටු සරමත් මේස් බැනියමත් හැඳ, තෙල් ගා පිළිවෙළකට පැත්තට පීරූ කොණ්ඩයත් නිසා
ඔහුගේ ප්රියමනාප බව තවත් වැඩි විය.
මා එහි යන්නේ උදෑසන හතට පමණය. උදේම නා, පිරිසිදුවත් හොඳින් ස්ත්රික් කර ඇඳුම් අඳින්නත් මා පටන් ගත්තේ දින
කිහිපයක සිටය. මගේ මේ වෙනස බොහෝ අයට දැනී තිබිණ. ආදරයත් කැස්සත් හංගන්නට නොහැකි බව
මා අසා ඇත. මේ කඩය ඉදිරිපස පාරෙන් අනික් පැත්තේ තිබෙන්නේ උස තාප්පයකි. කළු තෙල්
වලින් එහි ලියූ කිසිවක්, කළු තෙල් වලින්ම වසා ඇත. ඉන් ඔබ්බේ
තිබෙන්නේ කුමක්දැයි කියා නොදනිමි. එහෙත් මේ පසුබිම ඉදිරියෙන් සෑම දිනකම උදෑසන ගමන්
ගන්නා සුදු පරවී රෑන නෙතට රසඳුනකි. ඔවුන් ගමන් ගන්නේ අසල ඇති රත්නාවලියට බව මා දැන
ගත්තේ නිශාන්තගෙනි. රණසිංහ අයියා හදන පරිප්පු හොද්ද දැන් පැහෙමින් පවතී. තෙල්
තාච්චියට කරපිංචා, රම්පෙ, සුදු ළූණු සහ රතු ළූණු දමා තෙලෙන් මලවා ගන්නා ඔහු එය පරිප්පු හොද්දට
උඩින් අතුරණ දසුන ඇසට මෙන්ම නහයටද ගෙන එන්නේ මිහිරකි. තවත් මොහොතකින් මවක තම
දරුවන්ට කෑම බෙදා දෙන්නාක් මෙන් මුල්ම පිඟාන මට බෙදා පිළිගන්වයි. මේ වනවිට
පාන්ගෙඩි හත අටක්, පාන් කාල් කොට වට්ටියකට අතුරන්නට ඔහුගේ
පුතා නිශාන්ත සමත් වී තිබේ.
උදෑසන කෑමට මා වැඩි වෙලාවක් ගන්නට කැමති නැත. ඒ ඇය එතනින් යනවිට පාන්
කාලක් අතේ තබාගෙන සිටීම නොහොබිනා ක්රියාවක් යයි මගේ සිතට හැඟෙන නිසාය. දනී පනි ගා
කෑම ගිලින මාදෙස මද සිනාවකින් බලා සිටින රණසිංහ අයියා පවසන්නේ
"අර ළමයා දැම්ම එන්නේ නෑ. හෙමිහිට කන්න"
"ඔව්
ඒගොල්ලෝ මෙතනින් යන්නේ හතයි විසි පහට" ඒ නිශාන්තය.
ඔවුන් දෙදෙනාද මා තරමටම දැන්
මේ ප්රේම වෘතාන්තයට පැටලී ඇත. රණසිංහ අයියා මේක කාටහරි කියයිද ? අපේ ගෙදරට ආරංචි වුණොත් ? මගේ සිතේ වැඩ කරන්නට විය. එහෙත් මේ සුකොමාල
යුවතිය දකින විට මට සියල්ල අමතකව යයි.
"එයාටත් මොකක් හරි අමුත්තක් තියෙනවා. නැත්නම් මාව දැක්කම හිනා වෙන්නේ.
ඒ මදිවට හැරිලා බලනවත් එක්ක"
එංගලන්තයේ ඩයනා කුමරියගේ කොණ්ඩ මෝස්තරය මේ වන විට ලංකාවේ අස්සක්
මුල්ලක් නෑර තරුණියෝ අනුකරණය කර ඇත. "ඩයනා කට්" යනුවෙන් බොහෝ දෙනා අතර
ප්රචලිත එම කොණ්ඩ මෝස්තරය ඇයද තෝරාගෙන තිබිණි. එය ඇගේ සුකොමල බව තවත් වැඩි කරන්නට
හේතු වී ඇත. ඇය ඩයනා තරම් නැති වුවත් රූමත්ය. නමුත් උසින් අඩු වූවාය. මම ඉක්මනින් කෑම අවසන් කර අත්
සෝදා ගතිමි. පාරේ ඈත කෙළවර නිල් පාට ටයි පටි පැළඳි සිසුවියන් කිහිප දෙනෙක් පැමිණේ.
මේ එන්නේ ඇය සහ මිතුරියන් යන විශ්වාසයෙන් දෑස් අයා බලා සිටියත්, එක්කෝ ඒ පහළ පන්තියක සිසුවියන් කිහිප දෙනෙකි.
නැතිනම් ඇයට වඩා වයසින් වැඩි කිහිප දෙනෙකි. මගේ නොයිවසිලිවන්තකම ගැන මා සිතින් මටම
දොස් නගා ගතිමි. මේ වෙලාවේ මා කථාවට පටලවාගන්නා නිශාන්ත, ලවක් දෙවක් නැති ප්රශ්න අසයි. නැතිනම් කොහේ හෝ ටයර් දමා තරුණයන්
පුච්චන ලද කතාවක් පවසයි.
මා හැරී බැලුවේ ක්ෂණයකිනි.
ඇය මේ වනවිටත් සුපුරුදු සිනාමුසු මුහුණින් මා දෙස බල-බලා නමුත් කඩිනමින් ගමන් කරයි.
ඇගේ මිතුරිය හා හඬ නගා සිනාසෙයි. මගේ කන් දෙක රත් වී යන සෙයක් දැනිණ. එහෙත් පෙරළා
සිනාසුණෙමි. මගේ ප්රමාදය ගැන මටම පසුතැවිල්ලක් ඇති වේ. ඇය දකින නිමේෂයේ සියල්ල
මොහොතකට නතර වෙතැයි මට සිතේ.
"ෂික් මේ නිශාන්තයාටත් මාව කයියට අල්ලගන්න ඕනේ වුණානේ මේ වෙලාවේම. මූ
නම් මගේ හතුරෙක්. හිතලම කරාද මන්දා ?"
මට තිබෙන එකම ගැටලුව ඇය ඉතා කුඩා එකියක් වීමයි. මුලදී මා ඇය දෙස
බැලුවේ පාසල් යන කුඩා ශිෂ්යාවක් ලෙසයි. නමුත් පසුව මා තේරුම් ගත්තේ අඩුම තරමේ ඇය
නවය වසරේ වත් විය යුතු බවයි. ඕවා නං ඉති මොනවද ? සමහරු ඉන්නේ ලොකු වයස් පරතර තියෙන. අපේ අම්මයි තාත්තයිම අවුරුදු
දහයක්. මොනවද මම මේ හිතන්නේ ? තවම කෙල්ල හිනා වෙනවා විතරයි. බඳින්නත්
කල්පනාව. මම ඔරලෝසුව දෙස බැලුවෙමි. එහි හතයි හතළිහ සටහන් වී ඇත. මා බොහෝ වෙලාවක්
කළුතෙල් ගෑ තාප්පය දිහා බලාගෙන කල්පනාවේ සිට ඇත. මා ඔළුව ගසා වටපිට බැලුවේ කවුරුන්
හෝ මා දෙස බලා සිටිනවාද යන්නයි. රණසිංහ අයියාත් නිශාන්තත් යමරෙට වැඩ නිසා මා
එතැනින් ගැලවුනි.
මගේ ගත මෙන්ම සිත ඉතා උණුසුම් වී ඇත. විපුල පවසන්නේ ඇය මුණගැසී
කෙළින්ම මේ ගැන අසන ලෙසයි. ඒත් දෙනෝදාහක් මද ? කෙල්ල බැන්නොත් ? ගණන් නොගෙන ගියොත්, ඉස්කෝලේ ගුරුවරු දැක්කොත්, කෙල්ලගේ ගෙදර අය දැනගත්තොත් ? ඌට තියෙන ගට මට කොහොමත් නෑනේ. මැගසින්
හෝටලේ ප්ලම්ස් ටික කන එකාට ඕවා මොනවද ? මේ
කෙල්ල දකින වෙලාවටත් මගේ කකුල් ගැහෙනවා. කෙල්ල එක්ක හිනා වෙනවා කෙල්ලගේ ගෙදර
කෙනෙක් දැක්කොත් කෙළින්ම බොරැල්ල කනත්තට තමයි යන්න වෙන්නේ.
උදේ ප්රැක්ටිකල් අවසන් කර මා කාමරයට එනවිට දහවල් දොළහ පසු වන්නට ඇත.
මා ඇඳ සිටියේ මාළඟ තිබෙන හොඳම ඇඳුමයි. ඒ ලා කොළ පැහැති ටී ෂර්ට් එක සහ කළු
කලිසමයි. මා ළඟ සෙන්ට් එකක් නැතත්, ආෆ්ටර්
ෂේව් ටිකක් මුහුණේ සහ බෙල්ලේ දෙපැත්තේ ගා දෑත පිස දමා සුවඳ බැලීමි.
"කොල්ලා අද කොහේද යන්නේ ?" විපුලගේ ඇසූ විට.
"ම..ම.. මම අ...ද අ..ර..
වැඩේට යන්න කියලා"
"අප්පට සිරි ගිහිං වරෙන්. මොකද උඹ බය වෙලා වගේ. ඔය ඉන්නේ නළුවා
වගේ"
සැලුන් එකට නොයා එළියට යාමට ගේට්ටුවක් තිබුනත් මා අද සැලුන් එක
තුළින්ම ගියේ මුහණ පොඩ්ඩක් බලා ගැනීමටයි. සැලුන් එකේ වාදනය වන ගීතය මටම කියන්නා සේ
දැනේ.
දෙතොලග සිනහාආදර කැල්මෙන් නැහැවෙ
පෙම් රස අනා අමුනයි සුන්දර තාවේ
නුවන'ග බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මධුරස පිරී සවනත මී විත යා වේ ....
මා කෙළින්ම කැම්බල් පාක් එක අසලින් යන ගුරු පාර දිගේ ඇදුනෙමි. විශාල
රුක් ගොමු නිසාත්, හමාගෙන යන සුලන් රැල්ලත් නිසා ගතට
අමුතුම ප්රබෝධයක් දැනේ. රත්නාවලිය ඇරී කුඩා පන්ති වල සිසුවියන් කෙමෙන් කෙමෙන්
පිටතට පැමිණේ. මා අසල යකඩ වැට ළඟ නතර වී බලා සිටියෙමි. ඈතින් ඇය එනු පෙනේ. දැන් ඇය
මා ළඟමයි. සුපුරුදු සිනහව, සංසාර පුරුද්දක් සේ දැනේ. මා ඇයට
කිට්ටු කළෙමි. ඇය ලජ්ජාවෙන් මා දෙස බලා සිටී.
"මේ .. මේ... නංගි ම..ට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ?"
ඇය තවමත් සිනාසේ. මෙවර ඔළුව පැත්තකට ඇල කරගෙන සිටී.
"ඔයාගේ නම මොකක්ද ? "
"මම මදාරා..."
මදාරා බිම බලාගෙනම පිළිතුරැ දෙයි. මෙලෙස බොහෝ දේ දොඩමින් ඇයත් මමත්
ඇවිද ගියෙමු. එක වරම
"ඉඳා උඹට ...."
මගේ පිට හරහා එල්ල වුණු පහරින් තුෂ්ණිම්භූතව වටපිට බැලීමි.
"යකෝ ... උඹ අද ක්ලාස් යන්නේ නැද්ද ? මම කවදාවත් දැකලා නෑ උඹ මේ වගේ නිදියනවා. බලපන් වෙලාව නමයයි"
විපුලගේ හඩින් මම තිගැස්සීමි. අයියෝ ඒකත් හීනයක්ද ? මම නැවතත් දෑස් පියා ගතිමි. එහෙත් සිහිනය යළි නොපෙනේ. මගේ පපුව වේගයෙන් වැඩ
කරන බව පමණක් මට දැනේ.
“දැන් ඉතිං ක්ලාස් පටන් අරං ඇති. ෂික් ! අද අරයව දකින්නත් නැති වුණා.
ඒ වුණාට හීනේ”
මම හිතින් කියා ගතිමි.
“මචං විපුල මම හීනෙන් දැක්කා අරයා මාත් එක්ක සෙට් වෙලා ඉන්නවා”
“යකෝ ඕකට හීන දැකලා හරි යන්නේ නෑ. උඹ තාම ඇහුවේ නැද්ද ? උඹ වගේ බය ගුල්ලෙක්. මමනං මෙලහට .....”
“මට බයයි බං. කවදාවත් කෙල්ලෙක්ගෙන් ඔය වගේ ප්රශ්නයක් අහලා නෑ”
“හරි. උඹට අකුරු ලියන්නත් බැරිද ? ලියපං ලියුමක්. අද මේකේ දෙකෙන් එකක් බේරගමු”
මගේ සියොළඟ දැවෙන්නා සේ දැනේ.
මේකා හදන්නේ මාට ගුටිකවන්නද ?
“මචං අපි තව පොඩ්ඩක් ඉවසමු. පොඩ්ඩක් විස්තර හොයාගෙන බලමු. වනාතේ
කවුරුහරි අයියා කෙනෙක් ගේ දුවෙක්ද දන්නෑ”
“අනේ මේ ඕකේ ඉන්න අයියලා මම දන්නැද්ද ? උඹ අදම ලියන්න ඕනේ ලියුමක්. නැත්තං ආපහු ඔය ගැන කථා බෑ”
“හරි. හරි... මං ලියන්නම්”
දවල් දහය වනවිට ලියුම ලියා අවසන් කර, නාන්නට පහළට බැස්සේ ලියුමද රැගෙනය. වැරදිලාවත් තියලා ආවොත් විපුලයා
ඕකත් බලනවා. වෙනදාටත් වඩා වෙලාවක් නාගෙන, හොඳින් රැවුල කපා කාමරය වෙත එන අතරදී එලියට ඔළුව දමා පියල්
“ඇයි මල්ලි අද ක්ලාස් යන්නේ නැද්ද ?”
“නෑ පියල් අයියේ අද නිවාඩු”
ළාකොළ පැහැති ටී-ෂර්ට් එකෙන් සහ කළුකලිසමෙන් සැරසුණු මා සිහිනයේ දුටු
පරිදිම මුහුණේ ආෆ්ටර් ෂේව් එක ගෙන ගලවා අඟල් හයයි හතරේ කණ්ණාඩි කෑල්ලෙන් මුහුණ බැලීමි.
“හා ... හා... ඔය ඇති දැන් වෙලාවත් ළඟයි. යමං යමං”
අප දෙදෙනා පාරට බැස සර්පන්ටයින් පාර අසලට ගමන් ගතිමු. ගිනියම් වූ
ගෙන්දගම් පොළොව තව මොහොතකින් ගිණි ගන්නට සුදානම් වන සෙයකි. නමුත් දෙසැම්බර් මාසය
ලැබූ නිසා උදෑසන සීතලට තව-තවත් ගුලි වී නිදාගන්නටම සිතේ. අප දෙදෙනා නැවතුණේ අපේ කාමරයට නිතර දෙවේලේ යන
එන ත්රී වීල් කරුවකු වූ ඌරාගේ ත්රී රෝද රථය අසලයි. ඔහු මෙඩිකල් රිසර්ච් ඉදිරිපිට
තම ත්රී රෝද රථය නවත්වාගෙන සිටී.
"නැගපන්"
කිසිදු ප්රශ්නයක් නොනගාම මා ත්රීවීලරයට ගොඩ වී වාඩි වුණෙමි. සවස
එකයි තිහට තවත් විනාඩි දහයක් පමණ ඇත.
"කොහෙටද බං යන්නේ"
ඌරාගේ ප්රශ්නයට විපුල පිළිතරු දීම වෙනුවට නිහඩව මග බලා සිටී. ඌරා
යනුවෙන් ඔහු අමතන්නේ ඔහුගේ තරබාරු සිරුරට වන්නට ඇත. සුදු සමක් ඇති, තරබාරු පුද්ගලයකු වූ ඔහුට කවුරුත් ඌරා කියනු
මිස හරි නමකින් අමතනවා මා අසා නැත. දැන් ගැහැණු ළමෝ එකා දෙන්නා පාර පැන මේ පැත්තට
එනු පෙනේ. තවමත් විපුල ඇය හඳුනන්නේ නැත. හිතට අල්ලන මුහුණක් එන පාරක් පාසා විපුල
දොඩමළු වෙයි.
"මේ එන්නේ ඒකද ? මේකනම් පුතේ උඹට හරි යන එක"
විපුල තොරතෝංචියක් නැතිව කියවයි. එහෙත් මා සිටින්නේ ගිනිගොඩක් උඩය.
අද මගේ ඉරණම විසඳෙන දවස වන්නට පුළුවන්. ඒ කියන්නේ මේ කෙල්ලගේ තාත්තා විසින් මා
කෝටු මස් කරන දවස ළඟ බවයි. මේ කල්පනා සහ
වචන හුවමාරුව අතරේ පුරුදු රුව ඈත එනු මා නිවැරදිව වටහා ගත්තත් විපුල වැනි ගහෙන්
පෙත්තෙකුට ඇය පෙන්වේම මදකට පමා කරන්නට සිතුවෙමි.
"කෝ බං ? අද නැද්ද ? ඇත්තටම ඔහොම කෙල්ලෙක් ඉන්නවද ? උඹ නිකං අපට ප්රෝඩාව දානවද ?"
"අඩෝ වාඩි වෙලා හිටියත් ගාන ගන්නවා"
අලි මදිවට හරක් කීවා සේ ඌරාද ඝෝෂාව අරඹා ඇත. මම ඉන්නේ දෙලොවක් අතරය.
යකාගේ කම්මල සේ හැල්මේ හඬ නගන මගේ පපු කුහරය දෙන හඬ මුන් දෙදෙනාට නොඇසේ. අතෝරක්
නැතිව පාරේ ගමන් කරන වාහන ගොන්න මගේ හද නගන හඬ යටපත් කරගෙනම හාත්පස වෙලා ගෙන ඇත.
දැන්නම් ඒ කෙල්ල සෑහෙන දුරක් ගොස් තිබිය යුතුය. සමහරවිට ගෙදරටම.
"විපුල ඒ වගේ කෙල්ලෙක් පොඩ්ඩක් යනවා වගේ මම දැක්කා. කලබලේ නිසා හරියටම
තෝර ගන්න බැරි වුණා. පොඩ්ඩක් අපි මේ පාරේ ගිහින් බලමුද ?"
"යකෝ රෙදි කෑලි දෙකක් මහා ගත්තනම් මට රුපියල් දෙසීයක් - තුන්සීයක්
හොයා ගන්න තිබ්බා. මේ බලපන් ඌරා මේ වගේ එකෙක් උඹේ ජීවිතේට දැකලා තියෙනවද ?.
යමං - යමං. උඹ නං ...."
විපුලයා නම් මාරයාගේ පුතෙක් විය යුතුය. මේකා යකාට වත් බය නැත. ඉතිං
මාත් මොකටද බය වෙන්නේ ? ත්රී රෝදය හැල්මේ සර්පන්ටයින් පාර
දිගේ ගමන් කරයි. තවත් ටික දුරකදී මම ඇය හා මිතුරිය සහතිකවම හඳුනා ගතිමි.
"මචං අර යන්නේ දෙන්නා"
"කොයි එකද ? කොණ්ඩේ කපපු එකද ? අනිත් එකද ?"
"කොණ්ඩේ කපපු ළමයා තමයි"
"ළමයා තමයි. දෙන්න හිතෙනවා. දැන් වත් බැහැලා කෙළින් කථා කරපං"
වේගයෙන් ගමන් ගත් ත්රී රෝද රථය ඇය යන ගමන් මග හරස් කොට නැවතීය.
"මගේ හදවත ගැහෙන තරම් වේගයෙන් කාල් ලුවිස් මීටර් සීය දුවත්දීවත් ගැහෙනවාද ?
දන්නේ නෑ". ඒ ප්රශ්නය මුවින් පිට නොකළේ
විපුලගෙන් ලුණු-ඇඹුල් ඇතිව අහගන්නට තිබෙන බිය නිසාය. මම ත්රී රථයෙන් ඔළුව හරවා
බලත්ම ඈ මා හඳුනා ගත්තාය. ඇගේ මුහුණ විළියෙන් රතු වනු දැක ඇති වුයේ සතුටක්ද?,
බියක්ද? නැතිනම් දුකක්දැයි නොදනිමි. මම සාක්කුවෙන් ලියුම ගෙන ඇයට දිගු කළෙමි.
මේ මොහොතේ ලෝකයම නිසලව අප දෙදෙනා පමණක් සිටිනවා යයි මට සිතේ. මගේ වම් අතේ
මහපටෑඟිල්ල මගේ දත් අතර හිර වුයේ නිරායාසයෙනි. ඇය තවමත් නිසලව බලා හිඳී. තවත්
මොහොතකින මිතුරියගේ අතින් අල්ලා ගත් ඈ ඉදිරියට දිව ගියාය. මගේ දැඩි ඉල්ලීම මත
පසුපසින් එළවීම නතර කල අතර, ත්රී රෝද රථයේ ගාස්තුව වශයෙන් රුපියල්
හතළිහක් ගෙවා දමා නැවතත් එන්නට වීමු.
මගේ ඉහිං කණින් දහදිය ගලයි. විපුලට මෙය විනෝද සමයක් වැනිය. එතැන්
පටන් බොහෝ කලක් යනතුරු මා නියපොතු කෑ අකාරය ඔහු රඟ දක්වා පෙන්වයි. ඒ සිද්ධිය මතක්
වන වාරයක් පාසා මගේ හිත මටම දොස් තබයි. ඒ මා ඉස්සර වුවා වැඩිද ? නැතිනම් අවශ්ය වෙලාවේ ක්රියාත්මක නොවීම නිසා
එම අවස්ථාව මග හැරුණාද ? යන දෙගිඩියාවයි. නමුත් ඒ ප්රශ්නයට
පසුදාම පිළිතුරු ලැබිණි. සෙනසුරාදවාක් වූ පසුදින මම පුරුදු පරිදි රණසිංහ අයියාගේ
කඩයට බඩ ගෑවේ බඩට යමක් දා ගන්නටය. නමුත් ඉතා අනපේක්ෂිත පරිදි සුපුරුදු දසුන යලිත්
මා ඉදිරියේ මැවී පෙනිණි. මම දෑස් පිසදා නැවතත් බැලුවෙමි. ෆයිල් කවරයක් පපුවට
තුරුල් කරන් ඇය මා පසුකර ගමන් කරයි. ඇගේ දෙනෙත එක් වරම බිමට නැඹුරු විය. වෙනදා
දකින සිනහව වෙනුවට තැතිගත් මුවත්තියකගේ ස්වරූපයක් පෙනිණ. මා ඇය නොපෙනී යනතෙක් ඒ
දෙස බලා සිටියද ඇය ආපසු නොහැරී ඉදිරියටම ගමන් ගත්තාය. මා දිගු සුසුමක් පිටකර වටපිට බැලීමි. සුපුරුදු
සිනහවෙන් සිටින රණසිංහ අයියාගේ පුත් නිශාන්ත
"අද ඕ ලෙවල් විභාගේ පටන් ගන්නවා"
එකෙණෙහි මගේ සිතේ හටගත් කැළඹීම ලිහා ගන්නට සති ගණනක් දුක් විඳින්නට
සිදු විය. එහෙත් නැවතත් කිසි දිනක අප දෙදෙනා ඒ මාවතේ නම් හමු නොවීය.
_____________________________________________
ජාතික ව්යාපාර කළමණාකාරීත්ව ආයතනයේ පරිගණක පාඨමාලාව හමාර කර මද
විවේකයක් ගන්නට අප තෝරා ගත්තේ අපගේ බැචෙකු
වූ නිශාන්තගේ නිවස පිහිටි අනුරාධපුර බලා ගමන් ගැනීමටය. මැයි මාසයේ අග හරියේ
පාඨමාලාව හමාර වූ නිසා පොසොන් සමයේ අනුරාධපුර යාමට කතිකා කරගත් අපි නියමිත දිනයට
කලින් දිනයේ වත්තල වෙසෙන වනිගසේකර ලාගේ නිවසට සේන්දු වුනෙමු. ඔවුන්ගේ මව පිළියෙලකර දුන් ආහාරද රැගෙන මරදාන දුම්රිය ස්ථානයට ගොඩ වූ අප වවුනියාව බලා යන දුම්රියට
හිටි තැනින්ම ගොඩ වූයෙමු. මගේ බෑග් තඩිය රාක්කයට ඔබා වටපිට බලන කල එක් හිස් අසුනක්
තිබෙනු දැක දෙවරක් නොසිතාම හිඳ ගත් අතර, අනෙක් අයට අසුන් සොයා ගැනීමට නොහැකිව ඔවුන් නැවතත් බෑග් අතට ගෙන
ඉදිරියට ගමන් කරන්නට විණි. මාගේ බෑගය ගන්න යනවාත් සමග ඉදිරිපස අසුන දෙස දෑස් යොමු
වුයේ නිරායාසයෙනි. ආශ්චර්යයකි. මේ මා දකින්නේ සිහිනයක්ද ? නැවතත් මද සිනා සහිත ඒ මුහුණ දැක ගන්නට මට වාසනාව
උදා වී ඇත. නමුත් ඇගේ යාබද අසුනේ ගුවන් හමුදා නිලධාරියෙකි. ඒ ඇගේ පියා විය යුතුය.
මට මෙහි තවත් රැඳෙන්නට අවශ්ය මුත්, මාගේ
මිතුරන් දැනටමත් මා පසුකොට ඉදිරියට ගොස් ඇත. අර සුන්දර මුහුණ යලිත් රතු වී ඇත.
දෑස් බිමට යොමා සිටින මුත් ඇගේ දෙතොල දක්වන මද සිනහව සතුට ප්රකාශ කිරීමක්ද ?
නැතිනම් හාස්ය නිසා ඇති වුවක්දයි මා අදත්
නොදනිමි.
ඒ වියෝගයේ වේදනාව ඔබ වෙනුවෙන් ලියන්නට ගොස් අදද මට දැනිණි.
කවදා හෝ ලියා අවසන් කරන්නට බලාපොරොත්තුවෙන් ලියන්නට පටන් ගත මෙය මුලින් නම් කර තිබුණේ "නොදොඩා මුවින් - හමු වී දෙනෙතින් : මගේ ප්රථම ප්රේමය" ලෙසය.