එළුපැටියාගේ කතාවට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. බලාගෙන යනකොට මේක පොදු සමාජ ප්‍රශ්නයක්. අවිවාහක අයට මේක තවමත් ඒ තරම් ගැටළුවක් නොවුණත්, ඒ අයගේ පවුල් වලට සමීප මේ වයස් කාන්ඩේ දරුවන් ඉන්නවා. එහෙමත් නැතිනම් බොහෝදෙනෙකුට තමාගේ ළමාවිය සිහිපත් වෙනවා. තවත් දෙයක් බොහෝදෙනෙක් උත්සාහ කරනවා එළුපැටියාගේ කතාම කියන්න. එහෙම අවශ්‍ය නෑ. තමාගේ දරුවා වඩා රුචිකත්වයක් දක්වන දෙයක් මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්. හැබැයි එළුපැටියා කියන්නේ ළමයින්ගේ සිත් තුල චිත්තරූපයක් මවන්න පහසු සුලබ අයිකන් එකක්(සංකේතයක්). එහෙම එකක් දුන්නම එයාලත් පොඩි ෆැන්ටසි එකකට වැටෙනවා. ඕනෑම දෙයක් වැඩියෙන් ගත්තම මත් බවක් ඇති වෙනවා වගේ මේ එළුමතයත් ළමයින්ට පුරුදු කලාම අහපු ගමන් නින්ද යන්නත් පුළුවන්. සමහරවිට ඒකට ඇතිවෙන ඉන්ටරස්ට් එකත් එක්ක ඉතා අවධානයෙන් ඉන්නත් පුළුවන්.
![]() |
| පින්තූරය ගත්තේ : www.dailymail.co.uk |
එළුපැටියෙකුගේ රූපයක් හොයන්න කරපු ගූගල් සර්ච් එකේදී හමු වෙච්ච මෙන්න මේ රූපයට මගේ හිතේ එකවරම කතාවක් මැවුනා. කොහොමත් මම එළුපැටියා ගඟේ නාපු කතාවක් කියලා තිබුණ නිසා මේ පින්තූරය වඩාත් සිත් ගත්තා. එළුපැටිගේ කතා ඉල්ලන ය වෙනුවෙන් මේ රූපයට ගැලපෙන්න කතාවක් ලියන්න මම හිතුවා. ටැබ්ලට් එකක් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන අයට මේ පින්තූරය පෙන්වලා කතාව කියන්න අප්ටන් ගන්න පුළුවන්(හරියට අර දැන් ෆෝන් එකෙන් ලිරික්ස් බලාගෙන සිංදුව කියනවා වගේ).
නිල් පාටින් තියෙන්නේ උපදෙස්. මේක බලාගෙන කතාව කියවනවා නම් ඒ කොටස කියවන්න එපා.
ඔන්න පුතේ එළුපැටියා දවසක් හොඳටම අව්ව පායලා තියෙන වෙලාවක එයාලා ඉන්න වත්තෙන් එලියට ඇවිත්, තාර පාර දිගේ ටොකස්-ටොකස් ගගා ඇවිදිනවා(මේ කොටස කියත්දී ඇඟිලි දෙකෙන් දරුවාගේ ඇඟේ ඇවිදිනවා වගේ පෙන්වන්න. මේකත් පුරුද්දක් විදියට කරන්න - මෙහම කරත්දී එයාලට කිති කැවන්නේ නැති විදියට කරන්න වග බලා ගන්න. එහෙම වුනොත් එළු ෆාම් එකක්ම ඕනෙ වෙයි)
es.123rf.com
මෙහෙම යනකොට එයා දැක්කා හැරිලා පහලට යන්න තියෙන පාරක්. ඒ පාරේ එළුපැටියා කවදාවත් ගිහින් නෑ, අම්මලා-තාත්තලා එක්කවත්. ඒ වුණාට එයාට හිතුණා යන්න ඕනේ කියලා. තනියම ආව හින්දා පොඩ්ඩක් බය හිතුණා. ඒ වුණාට එයාට යන්න ඕනේ වුණා.
එළුපැටියා පොඩ්ඩක් වටපිට බැලුවා. පාරේ වෙන කවුරුත් හිටියේ නෑ. එළු පැටියා ටොකස්-ටොකස් ගාලා හයියෙන් දුවගෙන ගියා. එහම යනකොට ලොකු ගස් තියෙන කැලෑවක් දැක්කා. මේ වෙලාවේ එළුපැටියාට බඩගිනි නෑ. එයා ගෙදරින් හොඳටම කාලා හිටියේ. ඉතිං ඒ කැලාවට පොඩ්ඩක් එහා පැත්තේ එයා දැක්කා පොඩි වතුර වලක් වගේ එකක්. එයා එතැනට ගියා. අම්මෝ !!! මෙන්න ලොකුම-ලොකු වතුර වළක්. එළු පැටියා එහෙම හිතුවා. එයා කලින් ගඟක් දැකලා තිබුනේ නෑ. ගොඩක් ඈතට වෙනකම්ම වතුර පිරිලා. එළු පැටියා දුවලා-දුවලා ගියා වතුරට. ඒ වුණාට එයාට අම්මලා කියපු දේවල් මතක් වෙන්න පටන් ගත්තා.
කවදාවත් ලොකු කෙනෙක් නැතිව වතුරේ නාන්න යන්න එපා කියලා(මේකෙන් අපි දරුවාගේ හිතට දානවා පොඩි අවවාදයක්). ඒ වුනාට එයාට ආසා හිතුණා. එයා දැක්කා කවුරුහරි වතුරේ තියෙන ගල උඩ ඉන්නවා. ඒ හින්දා එළුපැටියට බය නැති වුණා. අවුවේ ඇවිදින් එයාට හොඳටම රස්නේ නිසා නාන්නම ඕනේ වුණා. වැඩිය හවස් වෙලාත් නැති නිසා නාන්න හොඳ වෙලාව. එයා පැන්නා වතුරට. එළුපැටියා මීට කලින් ලොකු වතුර වළක නාලා නෑ. ඒ නිසා එයා දන්නේ නෑ ගඟ ගොඩක් ගැඹුර බව.
හරිම සීතලයි. එළු පැටියා තව ටිකක් ගැඹුරට ගියා. දැන්නම් ඔලුව උස්සලා තමයි හුස්ම ගන්න පුළුවන්. ගල උඩට වෙලා අවුව තැපගෙන හිටපු ඌරු පැටියාට තේරුණා එළුපැටියාට පීනන්න බැරි බව. එයා වතුරට පැනලා එළුපැටියා ගාවට ආවා. එයාගේ කකුලෙන් ඇදගෙන ගල උඩට අරගෙන ගියා. ගිය ගමන් එළු පැටියා ඇඟ හයියෙන් හොලවලා වතුර ටික ගසලා දැම්මා. දැන් දෙන්නම අව්ව තපිනවා. ටිකක් වෙලා යනකොට එළුපැටියා හොඳටම වේලුනා. එයාට ගෙදර යන්න ඕනේ. ඒ වුණාට කොහොමද යන්නේ වතුරෙන්.
එයා ඌරු පැටියගෙන් ඇහුවා
"ඔයා කොහොමද වතුර ගෑවෙන්නේ නැතිව යන්නේ?" කියලා.
"එන්නකෝ ගල උඩට. මම ඉන්නේ ගඟේ අනිත් පැත්තේ. ඒ පැත්තට යන්න පුළුවන් වතුර ගෑවෙන්නේ නැතිව" ඌරු පැටියා කිව්වා.
"ඉතිං මට යන්න ඕනේ අනිත් පැත්තටනේ. කොහොමද යන්නේ ?"
"හරි ඔයා නගින්න මගේ පිට උඩට. මම ඔයාව අනිත් පැත්තෙන් තියන්නම්"
ඒ පාර එළුපැටියා නැග්ගා ඌරු පැටියාගේ පිට උඩට. එයා මහත හින්දා, එළුපැටියට ඉන්න ඉඩ තිඑයෙනවා. ඌරු පැටියා, එළු පැටියව ගඟේ අනිත් පැත්තෙන් තිබ්බා.
"බොහොම ස්තුතියි යාලුවා" එළු පැටියා කිව්වා.
"හරි එහෙනං අපි පස්සේ හම්බ වෙමු" ඌරු පැටියා කිව්වා.
එළු පැටියාට හරිම සන්තෝසයි. ඒ වුණාට පොඩ්ඩක් බයයි. එළු පැටියා ගෙදර දිව්වා.

