Friday, July 6, 2012

තර්ඩ්මෑන් කළාපයෙන් ක්‍රීඩාංගණයෙන් එලියට ගිය අත් දිග සුදු කමිසය

ඒ 1981 වර්ෂයයි. ඒ වන විට මා ඉගෙනීම ලැබුවේ හය වන ශ්‍රේණියේ. මා පසුගිය වසරේ පැවැත්වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය දෙවන කොටසින් අසමත් වූයේ නියමිත ලකුණු 150ට  එක් ලකුණක් අඩු වූ බැවිනි (ඒ කාලයේ පංති තිබුනේ ශ්‍රේණි ක්‍රමයටයි, ශිෂ්‍යත්ව කොටස් දෙකකින් පැවැත්වූ අතර පළමු කොටස සමත් අය දෙවන කොටස ලිවීමට සුදුකම් ලැබීය ). ඒ සඳහා මගේ දෙමව්පියන් දොස් නැගූයේ බෙන්තොට ක්‍රීඩා සමාජයටයි. මන්ද මෙතෙක් කල් මගේ නිවසට තරමක් ඈතින් වූ ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩාංගණයෙහි ක්‍රිකට් පුහුණු කටයුතු කල ඔවුන්ට එම ක්‍රීඩාංගණය තහනම් වීමෙන් පසුව, මගේ නිවසට යාබද මහ ඉස්කෝලේ යනුවෙන් හැන්දින්වූ කුඩා පාසලේ ක්‍රීඩාංගණයට ගෙන ඒමෙන් එහි වටපිට විසූ මා වැනි ක්‍රීඩාවට උනන්දුවක් හා හැකියාවක් දැක්වූ කිහිප දෙනෙක් ඈඳා ගැනීම නිසයි.



මෙය වඩාත් උත්සන්න වූයේ එකල අපට ක්‍රිකට් ඉගැන්වූ ජයතිලක අයියා සහ තවත් කිහිප දෙනෙක් මා දිගටම ක්‍රිකට් ක්‍රීඩා කලහොත් සිලෝන් (ශ්‍රිලංකා) ටීම් එකට යා හැකි බව අපේ නිවසටම ඇවිත් පවසා සිටීමයි. ඔවුන් එසේ පවසද්දී බොහෝම සාවධානව අසා සිටි මගේ දෙමව්පියන් ඔවුන් යන්නට හැර මට හොඳටම දෙහි කපන්නට විය

"තමුසෙටත් ඕනෙ වෙලා තියෙන්නේ අර ආතර්ගේ(ක්ලබ් එකේ ප්‍රධානියා) පුතා වගේ රස්තියාදු කාරයෙක් වෙන්නද ?"

"මොකක්ද රස්තියාදු කාරය කියන්නේ ?"

"උන් හදන්නේ තමුසේගේ ඉගෙනීම කඩාකප්පල් කරන්න. අර ජයතිලකත් ආවනේ ලැජ්ජ නැතුව, එයාටනම් මොකද? එයා ඉන්නේ මෙඩිකල් කොලේජ් එකේනේ. අනේ මෙහෙමත් මිනිස්සු ඉගෙන ගන්න දේකටනම් උදව් කරයිද?"

"හරි දැන් ඕගොල්ලොන්න්ට ඕනේ මම ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන එක නතර කරන්නනේ මම ගෙදර ඉන්නම්"

"ඉඳියි-ඉඳියි මේන් කියල, බලනවා අපේ වහලේ උළුකැට කීයක් නම් දැන් කැඩිලද තමුසෙලාගේ මේ ක්‍රිකට් ගැහිල්ල නිසා, බබා (පොඩි මල්ලි ) නිදාගෙන ඉන්න තැනට දවස් කීයක් උළුකැට කෑලි වැටුනද?" 

ක්ලබ් එකෙ අයියලා අපේ ගෙදරට ඇවිටිලි කරන එක නැවැත්තුවේම නෑ. ඔවුන් ගෙනෙනා යෝජනා වලින් අම්මා හා තාත්තා තවත් උරණ වුනා. බැට් එකක් අරන් දෙන්න, පෑඩ් පෙයාර් එකක් අරන් දෙන්න වැනි යෝජනා දිගටම කරන්නට ඔවුන් පසුබට වුනේ නෑ. තවත් දිනක ජයතිලක අයියා ආවේ කොහෙන්දෝ සොයා ගත් පෑඩ් පෙයාර් එකක්ද සමගිනි. එය ලැබුන විට මට මහත් අස්වැසිල්ලක් ඇති විය. හෙට ඉඳලා මටත් බැට් කරන්න පුළුවන් වෙයි. ඒත් බැට් එකක් තමයි ප්‍රශ්ණේ. මට අර ලොකු බැට් උස්සන්න බෑනේ. 

මා "ගෙදර ගියොත් අඹු නහී - මග සිටියොත් තෝ නහී" වැනි තත්වයකට පත් වුනා. අන්තිමට නිතර නිතර ක්‍රිකට් ප්‍රැක්ටිස් පවත්වන්නේ නැති නිසාත්, ගෙදරින් දිගටම බැනුම් ඇසීමට නොහැකි නිසාත් මා ඉතා ඇළුම් කල ක්‍රිකට් ක්‍රීඩාවට අවසාන තිත තබනවා හැරෙන්නට කල හැකි දෙයක් තිබුනේ නෑ. මේ අතර මේ සඳහා සහභාගි වූ සම්පත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට යන්නට වීම නිසා ඔහුගේ නොපැමිනීමද මා මන්දෝත්සාහී කිරීමට හේතු වුනා. ගෙදරට එන හැම වැඩිහිටියෙක් ලවාද, පන්සලේ ලොකු හාමුදුරුවන් ලවාද මට අවවාද දෙන්නට මගේ දෙමව්පියන් කටයුතු යොදා තිබුනා. අන්තිමට මෙය මට මහා ඉසරදයක් වුනා. මුලදී එය ඉතා වේදනාකාරී වුවද පසුව මටම ගානක් නැතුව ගියා.  

හයේ පංතියට මා පාසල් ගියේ වෙනත් පාසලකට. කරුමයකට මේ පාසල් වලද ක්‍රිකට් ක්‍රීඩාව කෙරුනේ නෑ. අද මෙන්ම එදාද ක්‍රිකට් යනු මහා මුදල් සම්භාරයක් වැය වන ක්‍රීඩාවක් බව බොහෝ දෙනා හිතන්නට වීම ඊට හේතුවයි. එහෙත් නැවතත් ගාමිණී  විද්‍යාල ක්‍රීඩාංගණයෙහි  ක්‍රීඩා සමාජය විසින් ක්‍රිකට් ගහන්නට යනවා යන්න මට කණින්-කොණින් ආරංචි වුනා. පස්සේ මග තොටදී හමු වන කිහිප දෙනෙක්ගෙන් අසා තහවුරු කරගෙන මාද එහි යන්නට අවසර ඉල්ලුවා. ඒ ඇසූ අම්මා පවසා සිටියේ



"කිව්ව නාහන ගුරු ඉහලින් ගියොත් ඉහලින් ගියාවේ පහලින් ගියොත් පහලින් ගියාවේ"  යන්නයි. 



මෙය මට ඒ කාලයේ කිසි තේරුමක් නැති වුනත් පස්සේ පස්සේ එය කදිමට වැටහුනි. මෙකල මා පාසල් ගියේ වැල් සපත්තු පැලඳගෙනය. නමුත් ක්‍රිකට් ක්‍රීඩා කරනවානම් සපත්තු දැමීම අනිවාර්ය විය. අපේ ගෙදරට මා දන්නා ප්‍රයෝග සියල්ල ඉදිරිපත් කලත් ඒවා සියල්ල ගඟට කැපූ ඉණි මෙන් විය.  මම නම් පුදුම අවාසනාවන්තයෙක් බව මට හිතුනා. එහෙත් කුඩා කල සිට දැඩි අධිෂ්ඨානශීලී වූ මා හට එය එතරම් ගැටළුවක් වුනේ නෑ. මා සම්පත් හමු වූ විට අසා සිටියේ ඔහු පාවිච්චියට නොගන්නා සපත්තු කුට්ටම මට ක්‍රිකට් ගහන්න යන්න දෙන්න බැරිද යන්නයි. අම්මාගෙන් අහලා කියන්නම් යයි ඔහු පැව්සූ විට මට තවත් දින කිහිපයක් ඉන්නට වන්නට සිදු වන බව  සහසුද්දෙන්ම වැටහුනා.

අන්තිමේදී සපත්තු ගණුදෙනුව හොඳ ආකාරයකට අවසන් කරගන්න ලැබීම මට මහත් සතුටක් ඇති කල කාරණයක් විය. සම්පත්ලගේ අම්මා කොයි තරම් හොඳදැයි මට හිතුනා. අප ආ තීරණය සෑම දිනකම මා සම්පත්ලාගේ නිවසට ගොස් සපත්තු කුට්ටම රැගෙන යායුතු වූ අතර එදිනම සවස එය යලි නිවසට ගෙන ගොස් තැබීමද මගේ වගකීම විය. මා ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම ඇළුම් කලාදැයි යන්න දැන ගන්නට අවශ්‍ය නම් සම්පත්ගේ අම්මා නොහොත් මාලනී මිස්ගෙන් ඇසිය යුතුය. මේ සපත්තු දෙක රැගෙන යාම සහ ආපසු ගෙනගොස් තැබීම ඉතා පිළිවෙලකට කිරීමට මා පුරුදු වූයේ වැරදිලා හෝ අඩුපාඩුවක් සිදු වුවහොත් මගේ ක්‍රිකට් ගැසීම හමාර වීමට් එය හේතු වීමට ඉඩ ඇති නිසාය.  


සියල්ල යහපත් අතට සිදු විය. මා එතන සිටින  ළමා  කන්ඩායමේ සිටින හොඳම තාක්ෂණයෙන් යුතු පිතිකරුවා වුවා මෙන්ම, ටික කලකින්ම එම ළමා කණ්ඩායමේ නායකයා බවට පත් කර ගන්නා ලදී.එසේ මා පත් කර ගන්නා විට එතන මට වඩා අවුරුදු හතර පහ වැඩිමල් අයද සිටියා. පසු කලෙක මෙය ඔවුන්ගේ දැඩි ඊර්ෂාවට ලක් වන කරුණක් වුනා.  එකල ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලේසියෙන් ලබා ගත නොහැකි වුවද මට සාමාජිකත්වය ලබා ගැනීම එතරම අපහසු කාර්‍යක් වුනේ නෑ.  



ටික කාලයකදී අපට ක්‍රිකට් තරගයක් ලබා දිය යුතු යයි තීරණය කර ඇති බවට දැන ගන්නට ලැබුනා.  එම තරගයට ක්‍රීඩා කිරීමට නම් සුදු ඇඳුමින් ක්‍රීඩා කල යුතු බව කාටත් නොරහසක් විය. මේ තරගය එන දවස කවදාද යන්න අප අතර තිබූ ගැටළුව විය. මුණගැහෙන හැම කෙනෙකුගෙන්ම මේ ගැන ඇසීමට අප පුරුදු වී සිටියා.  මේ කාලයේ  අප ජ්‍යේෂ්ඨ කණ්ඩායම ඩේලිනිවුස් කුසලාණ තරග වලට සහභාගි   වුනා.  ඉන් සමහරක් තරග ගමේ ක්‍රීඩාංගණයේදි පැවති අතර එහි "වෝටර් බෝයි" රස්සාව ඉතා කැමැත්තෙන්කලේ මමයි. මගේ වඩාත් සිත් ගත් ක්‍රීඩකයා වූයේ චන්දන (අමරසිංහ ) අයියා. ඔහු තාක්ෂණය අතින් රොයි ඩයස් මහතාට පමණක් දෙවෙනි වේ යයි එකල කතා බහට කණ් යොමාගෙන සිටි මට අසන්නට ලැබුනා.  මේ ක්‍රීඩා කිරීමේ කෞෂල්‍යට වඩා ඔහුගේ වඩාත් සිත් ගත් අංගය වූයේ ඔහු ක්‍රීඩා කරන විට ඇඳි අත් දිග සුදු ෂර්ට් එකයි. මමත් අත්දිග සුදු ෂර්ට් එකක් ඇඳීමට සිහින දකිමින් සිටියා.   



මේ අවුරුද්දේ අගෝස්තු නිවාඩුවට අපි නුවර යනවා කියා අම්මා කියූ විට මට කදිම අදහසක පහල වුනා. 

"අම්මේ අපි දළදා මාලිගාවටත් යනවද ?"

"ඔව් පුතා. ඇයි?"

"මට එහෙනම් එදාට අඳින්න අත් දිග සුදු ෂර්ට් එකක් ඕනේ"

"හරි. මම හවසට ගියාම රෙදි අරගෙන එන්නම්. අක්කටත් ඇඳුමක් මහළ දෙන්න ඕනේ"

මට ඇති වුනේ ඉහේ මලක් පිපුනා වගේ සංතෝෂයක්. මෙදා පාරනම් මං දිනුවා යයි මටම කියා ගත්තා. මේ ගැන වැඩිය කාටවත් නොපැවසීමට වග බලා ගත්තේ වැඩේ මාට්ටු වුනොත් ඉතිං හුලං බව දන්නා නිසාය. ක්‍රිකට් ගහන්න තඹ සතයක්වත් අපේ ගෙදරින් ගැනීම හරියට ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. මේ අතරට මට අම්මලාගේ ස්ටාෆ් එකේ අල්විස් මිස් තෑගි කල නිල් පාට රැන්ග්ලර් වර්ගයේ අත් දිග ෂර්ට් එකත් තිබුනා.  මා මේ වන විට ප්‍රැක්ටිස් දවස් කිහිපයක්ම මේ ෂර්ට් එක ඇඳගෙන ක්‍රීඩා කලා. ඒක හරිම සනීප ඇඳුමක්.   ඒක  සෝදා පිරිසිදු කර අල්මාරියේ තැබුවේ නුවර ගමනට ගෙනියන්න.  නුවර ටිකක් සීතල බව මා අසා තිබුනා. මේක එහෙදි අඳින්න ඕනේ කියා මට සිතුනේ ඒක නිසා.  නුවර ගියාම අප නවතින්නේ විජේසේන අයියා බඳින්න ඉන්න ප්‍රියන්ති අක්කලාගේ නැන්ඳලාගේ ගෙදර යයි මට දැන ගන්නට ලැබුනා. මා මේ වන විට මෙය අපේ පන්තියේ බොහෝ දෙනෙකුට පවසා සිටි අතර, ගමන ගිහින් ආ පසු රචනාවක් ලියන්නටද පොරොන්ඳු වුනා.  



අම්මා සමග රෙදි ගෙන යන්නට හවස් අළුත්ගම යාමට මමත් එක්  වුනා. අපි අළුත්ගම යන්නේ පයින් බැවින් බෙන්තර පාළම උඩින් ඇවිද යාම තරම් සතුට දනවන කාරණයක් තවත් නැත. පාළම අතරමැද ඇති කුඩා දූපත(මද්දෙදුව) තවමත් මගේ සිත් ගත් ස්ථානයක්. එම මද්දෙදුව සම්බන්ධ ඉතා රසවත් කතා රාශියක් මේ මොහොතේ මතක් වුවත් ඒවා සඳහන් කිරීමට අවස්ථාවක් නොවේ. පසු සටහනකින් හෝ කිහිපයකින් ඒ ගැන ලියන්නම්. එහෙත් නොකියාම බැරි කාරණය ගඟ මැද පිහිටි මෙම දූපත තවමත් බෙන්තොට පොලිස් බල ප්‍රදේශයට අයිති එකක්ද, අළුත්ගම පොලිස් බල ප්‍රදේශයට අයිති එකක්දැයි තීරණය වී නැති බව සහතික කල හැක. එක් අතකින් මේ බස්නාහිර පළාත හා දකුණු පලාත වෙන් කරන මායිම අඳින රේඛාවෙන් දෙකට බෙදිය හැකි තැනක පිහිටා ඇත. බටහිර පැත්තට වන්නට ඇති දර්ශණය ඉතා මන්ස්කාන්තය. මුහුදටත් බෙන්තොට ගං කොමලියටත් මැදින් ඇති පටු වැලි තීරයේ සංචාරක කර්මාන්තය නිසා අලංකාර ගොඩනැගිලි කිහිපයක්ම තියෙනවා. එහෙත් ගං මෝය ඇත්තේ මෙමෙ ස්ථානයට නොපෙනෙන තැනක. නැගෙනහිර පැත්තෙන් බැලූ කල බෙන්තර ගං කළපුව හා ඉතා ඈතදී පටුවන අතර සර්පයකු සිහි ගන්වන ආකාරයට නැවි නැවී ගලා එයි. අහස ඉතා පැහැදිලි පෙබරවාරි වැනි මාසයක තද නිල් පාටින් දිස් වන ශ්‍රීපාදස්ථානය ඇතුලු කඳු වලල මවන්නේ චමත්කාර දර්ශණයක්. මා කී දිනක් මෙහි නැවතී ශ්‍රීපාද්ස්ථානය බලා ඇත්ද ? අම්මා කුඩා කල සිට ඇඳුම් මැහීමේ දක්ෂ කම් දක්වන ලද බැවින් මට මෙම කමිසා මසා දෙන්නට ඇයට ගත් වූයේ පැය කිහිපයයි. එය මසා නිම කල වාහාම ගෙන ඇඳගත් නැවතුනේකණ්නාඩිය ඉදිරිපිටය. එසේ සිට පනාව අතට ගෙන්න පිත්ත සේ සලකා ක්‍රිකට් පහරවල් කිහිපයක්ම ගුවනේ ක්‍රීඩා කර බැළුවේ චන්දන අයියා හිතේ මවාගනිමිනි. මට දැන් මේ කමිසය ඇඳ තරගයකට සහභාගි වන තෙක් ඉස්පාසුවක් නෑ. අම්ම කිව් පරිදි එවලේම එය සෝදා රෙදි වැලේ එල්ලුවා. එහෙත් එය කවුරුන් හෝ සොරකම් කරාවි යයි යන සැකය නිසා මා තාත්තාට කරදර කර රෙදි වැලක් ගේ ඇතුලේ ගැට ගසා එය රාත්‍රියේදී ආරක්ෂා කර ගත්තා. පහුවදා එකය වේලෙන්නට හැර ඉතා ප්‍රවේසමෙන් නවා පත්තර කොලයකින් ඔතා අල්මාරියේ මට හිමි ස්ථානයේ සුරැකිව තැබුවේ නුවර ගොස් ඇඳීමට නොව ඉන් පසුව එන ක්‍රිකට් තරගයේදී එය ඇඳ මගේ කණ්ඩායම හැසිරවීමේ නොනිමි ආශාව සිතේ ගුලි කරගෙනය.   


කොහොමින්-කොහොමින් හරි නුවර ගමනට කාළය උදා විය. එය දෙසැම්බර් නිවාඩු සමය බැවින් සූදානම් වීමට ඇති තරම් ඉඩ පහසුව තිබුනා. අම්මා සහ අක්ක ගමනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සකසන  අතර මමත් තාත්තාත් එකතු වී විජේසේන අයියා රැගෙන ආ අඩි 3 x 2 ප්‍රමාණයේ කහ සහ කළු කොටු සහිත විශාල ට්‍රැවලින් බෑගයට ඇඳුම් අඩුක් කලා. එදින අපේ නිවසේ සියළු දෙනා ඉතා සමගියෙන් සහ යුහුසුළුව වැඩ කල අතර පසුදා පාන්දර අවධි වූ අප බෙන්තොට දුම්රිය පොළට උදේ පහයි කාලට පෙර ළඟා වුනේ මේල් කෝච්චිය අල්ලා ගැනීමටය. විදුහල්පති වරයෙකු වූ මගේ පියාට "වොරන්ට්" ගත හැකි යයි නිතරම පවසා සිටියත් එය කුමක්ද යන්න මා දැන සිටියේ නැත. පසුව  එය කොල කෑල්ලක් බව දැක මට ඇති වූ හිනාව වලකා ගන්නට නොහැකි විය. මා සිතා සිටියේ "වොර්න්ට්" යනු "කරන්ට්" වැනි සැර ජාතියක් කියායි. කෝච්චියට ගොඩ වූ අප කළුවරේ වුවත් අයිනක් අල්ලා ගැනීමේ සටනක නියුතු වුනෙමු. අපත් සමග මෙම ගමනට විජේසේන අයියා එක වූයේ අප නවතින්නට යන නිවස දන්නා එකම කෙනා ඔහු වීමම නොව ඔහුගේ පෙම්වතිය මෙම නිවසේ පදිංචි වී සිටි නිසාවෙනි. අපට ඒ කාළයේ ඒවා ගැන නිනන්ව්වක් නැති වුනත් දැන් එම කාරණා එසේ සිදු වූයේ ඇයිදැයි වැටහේ. අයිනක් අල්ලා ගමන් ගත්තද කොළඹ කොටුව දුම් රිය ස්ථානය වෙත ලඟා වනතෙක්ම අප ගමන් ගත්තේ කූකුල් නින්ඳකය.  ඉඳහිට අක්කා දකින දෙයක් පෙන්වන්නට මා ඇහැරවන ලද අතර මමද එලෙසම ප්‍රතිඋපකාර කරන ලදී. කොටුව දුම් රිය ස්ථානයේ ලී බංකු උඩ හිඳ උදේ ආහාරය ගත් අප, අප ගෙනගිය එක් බෑගයකින වෑහෙන් ජලය වැනි කහපාට දියරය කුම්ක්දැයි බැලූවෙමු. එය බටර් බව දැනී වහා  ඉවත් කරනු හැර වෙන කල හැකි දෙයක් තිබුනේ නැත. දුම් රිය ස්ථානයේ ඇති තෙල් මිශ්‍ර ගඳත් වේගයෙන් ඒ මේ අත දිවෙන දුම් රියත්, නිතරම වාගේ යකඩ කටින් පිටවන දැනුම්දීමුත් අපට කථා කරන්නට මාතෘකා එමට සැපයීය. උදේ අටයි ගානකට කඩාගෙන ඇවිත් නතර කල පොඩි මැණිකේ දුම් රියට මුලින්ම පැනගත් විජේසෙනා අයියා අපට යන්නට තැනක් වෙන් කරගෙන් ගත්තා. එම සම්පූර්ණ ගමනෙන් බලන දුම් රිය ස්ථානයේදි දුටු දසුන අද වාගේ මගේ මතකයට නැගේ. 


පේරාදෙණිය දුම් රිය ස්ථානයෙන් එලියට බට අප පේරාදෙණිය මල් වත්ත නැරඹුවෙමු. කුඩා වයසේ පසු වූ මගේ නංගීට සහ මල්ලීට එය ඉතා ප්‍රසන්න අත්දැකීමක් එක් කල ස්ථානයක් වූයේ ඔවුන්ට රිසි සේ සැරි සැරීමට ඉඩ තැබූ නිසයි. ඔවුන් පිටුපස හඹා යාම මා සහ අක්කා විසින් ස්වෙච්චාවෙන්ම කරන ලද රාජකාරිය. අත දරුවකු වූ පොඩි මල්ලී අම්මාගේ අතේ එල්ලී එහා මෙහා ගමන් ගන්නා ලදී. විජේසේන අයියා අර යෝධ බෑග එක කර ගහගෙන ඉතා හෙමින් ගමනක යෙදුනද එයට සහයෝගයක් සැපැයීමට තරම් අපට ශක්තියක් තිබුනේ නෑ. ඉඳහිට තාත්තා එය ගන්නනට සැරසුනද විජේසේන අයියා එය අත හැරියේ නැත.




මෙහිදී සිදු වූ අමතක නොවන සිදුවීම නම් මල් වත්තෙන් පිට වී යන විට අපේ නංගී එහි සිට පිට වන වෙනත් මුස්ලිම් පවුලක් පිටුපස ගමන් කිරීමය. මෑතක් වනතුරුම එම සිද්දිය මතක් කර අප ඇයට නොයෙක් විහිළු තහළු කලෙමු. නංගී කුමක් හෝ දඟ වැඩක් කල විට අම්මා පවසන්නේ


"මේකිට අර මුස්ලිම් මිනිස්සු ටික පස්සේ යන්නට ඇරියානම් හොඳ බවය"


එතකොට නංගී හොටු පෙරාගෙන අඬා අම්මාගේ තුරුලට යයි. දිවා ආහාරය සඳහා නුවර හෝටලයකට ගොඩ වූ අප ජීවිතයේ ප්‍රථම වතාවට කඩයකින් කෑවෙමු(අක්කා සහ මම). එහිදී හරක් මස් තිබූ බව අදටත් මතක ඇයිදැයි මෙම කථාවේ අවසාන කොටස කියවන ඔබට වැටහෙනු ඇත. සවස් යාමයේ දෙකහාමාරට විතර අපි මාළිගාව බලා පිටත් වුනා. එහිදි අපගේ පාවහන් ගලවා ඇතුලට යාමට සූදානම් වන විට අප ගෙනා බෑග් එක ලොකු ප්‍රශ්ණයක් විය. කුඩා බෑග් අප අතම තබා ගත්තද විශාල බෑගය ගෙන ඉහල මාලයට යා නොහැකි වූ විට විජේසේන අයියා කටහඬ අවදි කලා 


"මාමලා ගිහින් වැඳගෙන එන්න මම මෙතනට වෙලා බෑග් එක තියාගෙන ඉන්නම්"


එය කාටත් සතුට දනවන කාරණයක් වුනා. අප ඉහල මාළයට ගොස් රිසි සේ දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. මාගෙ සිත දිව ගියේ මෙම ස්ථානයේ ඇති බිතුසිතුවම් වලටය. ඝන්ඨාහඬ, නළා හඬ, හඳුන්කූරු සුවඳ සහ විටින් විට හමා ආ සීතල සුළඟ ඉතා නැවුම් අත්දැකීමක් අපට එක් ක ලා. අප ආපසු එන්නට හැරෙන විට දොර අසලම විජේසේන අයිය සිටිනු දැක මගේ කට එක පාරටම ඇරුනා


"එතකොට බෑග් එක?" මට ඉබේටම කියවුනා.


"ආ. ඒක මම පල්ලේහා පඩිපෙල යටින් තියලා ආවා. එතන හිටි කෙනෙක් මට කිව්වා අද දළදා වහන්සේ පෙන්නනවා කියලා" මා පහලට බැස ගියේ අනිත් අයටත් පෙරය.


"අම්මේ  බෑග්  එක නෑ. විජේසේන අයියේ කොතනද ඔයා තිබ්බේ? අනේ ඒක නැහැ.. ඉහී ඉහී ඉහී" මගේ දෙනෙතට කඳුළු ගලා ආවේ නිකංමය.




එතැන් සිට සියළු පඩිපෙළවල් යට බැලූවද බෑගය තිබුනේ නෑ.


"ඇයි මෙතන දාලා ගියේ. දවසකට මේ වගේ සිද්දි කීයක් වෙනවද? දැන් මහත්තෙලා පොලීසියට යන්න" එතන සිටි වැඩිහිටියෙක් අපට අවවාද කලේය. මගේ දෑසින් කඳුළු හැල්මේ ගලාගෙන ගියා.


"අයියෝ මගේ සුදු කමිසය" මම හිතින් හූල්ලමින් තාත්තාගේ අතේ එල්ලී පොලීසියට ගි යා.




යලි කිසිදා එම ඇඳුම් අප වෙත ලැබුනේ නෑ. කවදා හෝ හොරා අල්ලා එය බෙන්තර පොලීසියට එවාවි යයි මා සිතා සිටියත් එය සිදු වූයේ නැත. මෙම සිද්දිය මතක් කරන වාරයක් පාසා මගේ දෙනෙතට කඳුළු ආවා. මගේ අත්දිග සුදු කමිස සිහිනය එසේ නිමා විය. මේ කතාව ඇසූ අපේ ආච්චි පැවසුවේ


"දළදා වඳින්න ගොස් හරක් මස් කෑව නිසා තමයි උඹලට ඔහොම වුනේ" ඉන්පසු මා හරක් මස් කෑමට බිය වීමි.







15 comments :

  1. ලස්සනට ලියල තියෙනවා. බෙන්තර, අලුත්ගම, ධර්මාශෝකේ ... මගේ ජීවිතේටත් වක්‍රව සමීප දේවල් නිසා වැඩියෙන් දැනුනා.
    ඉතින් ඔයා ට සුදු කමිසයක් ඇඳන් ක්‍රිකට් ගහන්න ලැබුනේ නැතිද?

    ReplyDelete
  2. බොහොම ස්තූතියි niroshini. ඇත්තටම සුදු කමිසයක් ඇඳන් නම් ක්‍රිකට් ගහන්න ලැබුනේ නෑ. මොකද දැන් තියෙන්නේ සුදු ටීෂර්ට්, ජර්සි නිසා.

    ReplyDelete
  3. අයියෝ! බලන්න අවාසනාවක මහත.

    ReplyDelete
  4. @රාජ් : ඔය මං මූන දීපු අවාසනාවන්ත සිද්දි වලින් එකක් විතරයි.

    ReplyDelete
  5. පස්සේ හොරෙන් වත් හරක් මස් කෑවෙ නැද්ද මචං ?

    ReplyDelete
  6. @සෑමා : දැන් කනවා මචං.

    ReplyDelete
  7. මිනිස්සුන්ගේ යම් යම් දේවල්වලින් වළක්වන්න ආගම දහම ප්‍රයෝජනයට ගන්න හැටි :)

    ReplyDelete
  8. //"අම්මේ අපි දළදා මාලිගාවටත් යනවද ?"

    "ඔව් පුතා. ඇයි?"

    "මට එහෙනම් එදාට අඳින්න අත් දිග සුදු ෂර්ට් එකක් ඕනේ"//

    පොච්චියේ..... තියෙන ශ්‍රද්ධාව.... ;)

    ReplyDelete
  9. මට තියෙන ආසාව මේ පොස්ට් එකට. එකට හේතුව මම පොඩි දවස් වල ඉඳල තියෙන ආසාවක් තමා ක්‍රිකර්ට් සෙල්ලම් කරන්න. ලෙදර් බෝල. ඒත් තවම සෙල්ලම් කරලා නැහැ. වයස 27 ක් උනාත් මගේ ඒ ආසාව නැති වෙලා නැහැ කවද හරි ලෙදර් බෝලයකින් සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නේ.

    මට මාර දුක හිතුන මේ පොස්ට් එක කියෙවුවාම.මගේ මේ වයට මෙච්චර ආසයිනම් උඹේ ඒ කාලේදී කොච්චර ආසාවක් තියෙන්න ඇතිද?

    ReplyDelete
  10. @Hasitha : ඒ ගැන මම කමෙන් කරන්න කැමති නෑ. මස් කෑම සහ සතුන් මැරීම ගැන වෙනමම මාතෘකාවක් යටතේ ලියන්නම්.

    @සුමිත් : මේක අහිංසක ප්‍රයෝගයක්.
    @අසරණයා : මේ කතාව ඔයා කියන්නේ අවංකවමනම් ඔයාට අවස්ථාවක් දෙන්න මං සූදානම්. අපි ප්‍රැක්ටිස් කරන දවසක ඔයාවත් එකතු කර ගන්නම්.

    ReplyDelete
  11. ඒත් සහෝදරයා මම ලංකාවේ නෙවෙයි ඉන්නේ. කවදා හරි ලංකාවේ නැවතුන දවසකවත් සෙල්ලම් මරන්න හිතන ඉන්නේ. ටීවී එකේ මැච් එකක් බලන හැම දවසම හිතින් දුක් වෙනවා.

    මට මාර සතුටුයි මේ උදවුවට මචං.

    ReplyDelete
  12. මම අන්තිම වෙනකන් හිතුවෙ මැච් එක ගහන්න ඇති කියලා... එදා ක්‍රිකට් වලින් ගොඩ ගියා නම් අද පුහුණුකරැවෙකු හෝ කණ්ඩායමේ කළමනාකරැ වගේ තැනක ඉන්න තිබුනා කියා සිතේ...

    ReplyDelete
  13. @අසරණයා : ආපු වෙලාවක මාව කන්ටෑක්ට් කරන්න.

    @සිරාගේ කාමරේ : කෙනෙකුට අධිෂ්ඨානයක් තිබුනොත් කරන්න බැරි දෙයක් නෑ. එහෙම අතැරුණු තැන මම ක්‍රීඩා සමාජයටයි රැකියාව කරන තැන් වලටයි පින් සිද්ද වෙන්න ලඟා කර ගත්තා. මම කොන්ෆිෆි හෝටල සමූහය සහ මහජන බැංකු කණ්ඩායම් වල ක්‍රීඩා කරා. මහජන බැංකුවේ පළමු පෙල කණ්ඩායමේ ආරම්භක පිතිකරු විදියට අවුරුදු 14 ක්‍රීඩා කලා. ජයග්‍රහන් ලැබුවා. සංචාර ලැබුනා. ඔයාගේ පුරෝකථනය නිවැරදියි. මම දැන් ඔය කියන කළමනාකරු තනතුර තමයි දරන්නෙ.

    ReplyDelete
  14. සුදීක , මේක මතක් උනා මට :)

    ReplyDelete
  15. අයියගේ ලින්ක් එක දිගේ ගොඩවැදුනේ..
    පු‘චිම කාලේ අපේ ඉස්කෝලෙට බන්දුල වර්ණපුර් සර් ඇවිත් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනකොට මං ඒ දිහා බලාගෙන ඉන්නවා. එතකොට මං පොඩි වැඩිය්.ස්ටම්ප් වලින් බැට් එක අල්ලන හැටි කියා දෙනවා දැකලා මාත් ස්ටම්ප් ඉකක් අරන් ක්‍රිකට් ගැහුවා. ඒත් මං ඉස්කෝලෙට එද්දි ක්‍රිකට් තිබුනේ මාස කීපයයි. එහෙම්මම නැවතුනා. පස්සේ වෙන ඉස්කෝලෙකට ක්‍රිකට් ඉගනගන්න විතරක් ගියා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ටීම් එකක් හදලා ඉන්දියාවේ යවපු වෙලාවක මාත් ඕකට තේරුනා. ඒත් මෙහෙ ඉඳලා ක්‍රිකට් ගහලා තේරුමක් නැති හින්දා. මායි යාළුවෙකුයි පාර හොයාගෙන කොළඹ ආවා. ඇවිත් ෆින්ගාරා එකට බැඳුනා. ඊට පස්සේ සතියකට සැරයක් එහේ ගියා.
    එතනදි මම ක්‍රිකට් හනවා දැකලා මාව එක එක ක්ලබ් වලට ගත්තා. ඒත් එපාම වෙන්නේ සල්ලි වලටයි බලේටයි තැන එද්දි. SSC ,ටැමිල් යූනියන් ,බ්ලූම්ෆීල්ඩ් ඇරෙන්න අනිත් හැම ක්ලබ් එකකම වගේ හිටියා.
    ඒ කාලේ කොළඹ නවතින්න තැනක් නැති උනාම පාන්දර 5ට විතර ප්‍රැක්ටිස් එනවා. ආයිත් ගෙදර එද්දි රෑ 10ට විතර ඇති. ආයිත් පහුවදා ප්‍රැක්ටිස් එනවා. එච්චර අමාරුවක් තිබුනා ක්‍රිකට් වලට..තාමත් එහෙමයි. දැන්නම් දෙයියනේ කියලා ඉගනගන්න ගමන්ම කොළඹ නැවතිලා ක්‍රිකට් ගහනවා. අයියගේ පෝස්ට් එක දැක්කාම මම කාපු කටු මැවි මැවි පේනවා. ඒවත් කවද හරි ලියන්න පුළුවන් වෙච්ච දවසක ලියනවා. හැබැයි අපේ ගෙදඑින්නම් මට සහයෝගය දුන්නා..හැබැයි වෙන කරන්න දෙයක් නැති හින්දා. ඒතරම් ක්‍රිකට් උණක් තියන හින්දා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...