Friday, August 24, 2012

පොලීසියේ හොරකමක්

එක්දහස් නවසිය අසුගණන් වල සිදු වූ මේ කතාන්දරය හරියටම මොන අවුරුද්දේ වුනාද කියන්න මට නිනව්වක් නැති වුනත් මෙහි නොලියාම බැහැ. මේ කාලේදී මම ඉස්කෝලේ ගියේ කළුතර. හරියටම කියනවානම් කළුතර ඥානෝදය මහා විද්‍යාලයට. පාසල ඇරිලා කරදරයක් නැතිව ගෙදර එන්න තියෙන එකම ක්‍රමය කෝච්චිය. පාසල් බස් රථයේ එන එක විනෝදයක් වුනත්, අසලම පාසලක විදුහල්පති වූ මගේ  පියා මාස තුනේ සීසන් එකක් අරගෙන් එන්නේ කෝච්චියේ නිසා, මමත් කෝච්චියේ එන්න පුරුදු වෙලා හිටියා. කෝච්චියට පුරුදු වුන කෙනෙක්ට බස් එකක යනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ වැඩක්. මම ඉඳ හිට අක්කත් එක්ක ස්කූල් බස් එකේ ගියත්, යන්න කැමති කෝච්චියේ. හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කිසිම ගමන් විඩාවක් නැති කෝච්චිය කළුතරින් පිටත් වෙන්නේ හවස 2.33 ට. එතකන් ස්ටේෂන් එකටත් කළුතර ක්‍රීඩාංගණයටත් මැදි වෙලා තියෙන, වයසක ජෝඩුවක් පවත්වාගෙන් ගිය, කූල් සපෝට් එකේ තමයි මමයි තාත්තයි කාලය ගෙව්වේ. 


http://www.flickr.com(c) YIM Hafiz මේ තියෙන්නේ බෙන්තොට දුම්රිය ස්ථානයේ චායරුපයක්.


තවත් දවසක් කළුතරින් 2.33 ට පිටත් වෙච්ච් ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රිය බෙන්තොටට හරියටම හවස 3.15 ලඟා වුනා. බෙන්තොට දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් නොවුනත් සංචාරක ව්‍යාපාරය නිසා, රුහුණුකුමාරි සීග්‍රගාමී දුම්රිය හැර අනෙකුත් සියලුම දුම්රිය මෙම ස්ථානයේ නවත්වනවා. බෙන්තොට දුම්රිය ස්ථානයෙන් එලියට බහින්නේ බෙන්තොට පොලීසියේ එලිපත්තට. එතනින් එහාට තියෙන්නේ ඉතාම රමණීය ප්‍රදේශයක්. බෙන්තොට සංචාරක මණ්ඩලය, තැපැල් කන්තෝරුව, ලංකා බැංකුව, රතු කුරුස ආයතනය, ප්‍රාදේශීය විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථානය. මේ හරිය පහු කරගෙන යද්දී ගමන් විඩාව නැති වෙලා යනවා. එදත් වෙනද වගේම අපි මේ ප්‍රදේශය පහු කරගෙන ගියා. ඔය කියන ආයතන ටික පහු කරගෙන යද්දී හමු වෙන බෙන්තොට පොකුණ (ඇත්තටම මේක බෙන්තොට තියෙන ස්වභාවික වගුර සහ බෙන්තොට ගඟ යා කරන දිය පාර පළල් කිරීමෙන් සාදන ලද්දක්. මෙහි  විශේෂය වන්නේ එය ලංකාවේ හැඩයට සාදා තිබීම. ඒත් අන්තින්මට ගමේ ගිය වෙලාවේ දැක්කේ ඒකෙ යාපනය වගේ කොටස ගොඩ කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ තියෙන අරලිය ගහක අත්තක් කපන්නත් එම ප්‍රදේශය සැලසුම් කරපු ජෙෆ්රි බාවා මහතාගෙන් අවසර ගන්න ඕනෑ. මේක ගොඩ කරන්න එතුමා අවසර දුන්නද නැත්නම් නොකියාම කලාද කියන එක මට සැකයි). ගාව මිනිසුන් විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා දැක්කා. මගේ තාත්තා මෙන්ම මමත් කුතුහලයෙන් යුක්තයි. ඉතින් අපි දෙන්නට මේක බලාගෙන ඉන්න බැරුව වෙනදට දකුණ පැත්තට හැරිලා ගාලු පාර දිගේ ගෙදර යන ගමන වෙනස් කරලා මිනිස්සු පොදි කකා ඉන්න වම පැත්තේ තියෙන කුඩා පිට්ටනිය පැත්තට ගියා. තාත්තා එතන ඉන්න තාත්තගේ යාලුවෙක් එක්ක කතාවට වැටෙනකොට, ඒ වෙනකොටත් එතනට ඇවිත් හිටිය මගේ යාලුවන්ට මාත් එකතු වුනා. 

"මොකද මචං කට්ටිය පිරිලා පොකුණ දිහා බලාගෙන ඉන්නේ ?"

"බෙන්තර පොලීසියේ බඩු වගයක් නැති වෙලා. ඒවා හොයනවා"

"ඉතිං බං මේ පොකුණේ මොනවද හොයන්නේ"

"මේ පොකුණට තමයි ඒවා දාල තියෙන්නේ"

"ඉතිං, ඉතිං"

"දැන් කිමිදුම් කාරයෝ දාලා හොයනවා"

"හොයයි කියල තමයි බය. ඇයි බං මේක තනිකර කළු පාටයිනේ, මොනවත් පෙනෙයිද?"

"මොනවද බං නැති වෙලා තියෙන්නේ?"

"උඹ ගෙදර ගිහින් කාල වරෙන්කො එතකොට කියන්නම්"

"අනේ, මිල්රෝයි කියපන් බං"

"ඉඳිකට්ටක් නැති වෙලා, ඒකයි හොයන්නේ" එහෙම කිව්වේ මට උත්තරය දෙන්න ලැස්ති වුන මිල්රෝයිගේ කට අතින් වහ ගත්ත කුමාර

"ගිහින් කාල වරෙන් පඬිය වෙන්නැතුව"

"සුභාෂ් අපි යං" තාත්තාගේ අණට කීකරු වෙච්ච් මම එතනින් ආවේ, ගෙදර ගිහින් කාපු ගමන් පනින්න හිතේ තියාගෙන. එතන හොයන දේ තාත්තාගෙන් දැන ගන්න පුළුවන් වුනත්, ඒ ගැන තාතාගෙන් අහන්න නොගියේ, වැඩි විස්තර අහන්නේ මේ පැත්තට බඩ ගාන්න හිතේ තියාගෙන බව තාත්තාට තේරෙන නිසා. වෙනදා පාර පැනලා අපේ පාරට එනකං ගාලු පාරේ යන අලුත්ම වාහන අංකය ගැන විමසිල්ලෙන් බලන මට එදා ගෙදරට එනකං කොහොම ආවාද කියලවත් මතක නෑ. ගෙදර කඩුල්ලෙන් පැනල ඇතුලට දිව්වා මං. ඒ වෙනකොටත් මට බෙදල තිබ්බ බත් එක අතට අරන් කන්න හදනකොටම අම්මා පටන් ගත්තේ නැද්ද 

"අත හොදගෙන් ඇවිල්ල කනවා. කෝච්චියේ මොන ජරාව අත ගාගෙන එනවද කියල කවුද දන්නේ. ඒවත් එක්කම ගිලින්නද හදන්නේ ?"

"අනේ අම්මේ මට හොඳටම බඩගිනියි."

"මම දන්නවා පුතේ ගිහින් අත හෝදගෙන එන්න"

මම අඩියට දෙකට ලිඳ ගාවට ගිහින් තනි අතින්ම වතුර එකක් ඇදගෙන බාල්දියටම අත දාලා හෝදගෙන කෙලින්ම දිව්වේ මගේ කෑම එක ගාවට. අහුරට දෙකට බත් එක හිස් කරන දිහා අම්ම බලාගෙන හිටියේ ස්වභාවයෙන්ම මවකගේ හිතේ තම දරුවන් ගැන ඇතිවන දයාණුකම්පාවෙන් බව එදා නොවැටහුනත් මට අද හොඳටම තේරෙනවා. 

"පොලීසියේ අර බඩු වගයක් නැති වුනා මතකද? ඒවා පොකුණට දාල කියන්නේ. අද කිමිදුම් කාරයෝ දාල හොයනවා" 

තාත්තත් මට කොලේ වහන බව තේරුනත්, වැඩි විමසීමක් නැතුවම මම කෑම ටික ගිලගෙන ගිලගෙන ගියා.   මේ වෙනකොටත් අපේ නිවසට යාබද මහ ඉස්කෝලේ පිට්ටනියේ කිහිප දෙනෙක් ක්‍රීඩා කරන සද්දයත් යන්තමින් ඇහුනා. ඒත් අද වැඩි පිරිස එකතු වෙලා ඉන්නේ අතන. මගේ හිත කියන්නෙම යන්න. ඒත් මේ දෙන්නට මොකක්ද ගහන පචේ ? හිත හිතා ඉන්නකොට හිතුනා 

"හරි වෙනද වගේම පිට්ටනියට ගිහින් හිමිහිට මාරු වෙනවා"

පිට්ටනියට යාබදව තිබෙන ගුරු පාර, ගුරු පාරක් කිව්වට අපේ ගෙවල් හරියේ පාරවල් මඩ් පාට මිසක් මැටි ගතියක් ඇත්තෙම නෑ. 

"අම්මේ මම යනවා සෙල්ලම් කරන්න" කියාගෙන මම අපේ වැටේ කම්බි දෙකක් අතරින් රිංගලා පිට්ටනියට ගියා. පිට්ටනියට ගියාම අම්ම වැඩිය බලන්නේ නෑ. අද කොහොමත් බලන එකක් නෑ. මම සෙල්ලම් කිරිල්ල පැත්තක තියල හිමිහිට අර ගුරු පාර තියෙන හරියට ගියා. 

"සුභාෂ් උඹ හත් වෙනියා. එනවද සෙල්ලම් කරන්න?"

"නෑ මම යනවා බාප්පලාගේ ගෙදර" එහෙම කියන ගමන් මගේ ඔලුව නිරායාසයෙන් අපේ ගෙවල් පැත්තට හැරුනා. අම්ම පෙන්න නෑ. තාත්තා මූණ හෝදන්න ලිඳ ගාවට එන්න කලින් යන්න ඕනෑ. නැත්නම් තාත්ත දකිනවා. මම හෙමිහිට පාරට රිංගල දුවන්න පටන් ගත්ත. අපේ පාර ගාවදී වට පිට බලලා කෙලින්ම නැග්ග පන්සල කන්ද. පන්සල කන්දේ අනිත් පැත්තෙන් ගියාම පොකුණ ළඟටම යන්න පුළුවන්. එක් හැල්මේ දිව්ව මට පොකුණ ගාවට යන්න ගත වුනේ විනාඩි දෙකකටත් අඩු කාලයක්. 



පින්තුරය ගත්තේ : tripadvisor.com

මම කෙලින්ම නතර වුනේ මිල්රෝයි ගාව. උගේ අතින් ඇදගෙන මම ගියා පොඩ්ඩක් ඈතට. මේ වෙනකොට කුමාරලා පොකුණ ගැට්ටේ වාඩි වෙලා. පොකුණෙන් අනිත් පැත්තේ පොලීසියේ කිහිප දෙනෙක්ම හිටියා. ඒ කෙලවරින් එක පාරටම කිමිදුම් කරුවෙක් ගොඩට ආවා. තමන්ගේ මුහුණේ තිබ්බ ගොගල් එක ගලවලා පොලීසියේ කෙනෙක් එක්ක කථා කරනවා අපි බලාගෙන හිටියා. 

"මචං මොනවද බං හොයන්නේ"

මගේ කණට කරලා මිල්රෝයි කිව්වා 

"තුවක්කු දෙකකක්"

"මොනවා" මට ඉබේටම කියවුනා. 

මම ආයි කට අරින්න කලින් මිල්රෝයි මගේ කට වහල. 

"කෑ ගහන්න එපා බං. එක පාරකුත් මෙතන හිටිය පොඩි ළමයි යන්න කියල අපිව එලෙව්වා. බොහොම අමාරුවෙන් අපහු ආවේ. උඹ කෑ ගහල ගම කන්න එපා"

මම "හරි - හරි" කිව්වේ අමනාපයෙන්. මුන්ට ඉතිං මාවම තමයි ඉන්නේ කියල හිතන ගමන්. 

ඒ පාර පොකුණේ අනිත් කෙලවර හිටිය පොලිස් නිලධාරීන්, ග්‍රාමසේවක, පන්සලේ හාමුදුරුවේ ඇතුළු සියලු දෙනා යන්න පටන් ගත්තා. 

"මචං හම්බ වුනේ නැද්ද ?"

"මොන හම්බ විල්ලක්ද බං, වරෙන් අපි යන්න වැල්ලට"

"අනේ මේ මට නම් කථා කරන්න එපා. අපි යමු සෙල්ලම් කරන්න. මම එතනට ඇවිත් හෙමිහිට ආවේ"

"අපි යනවා වැල්ලේ එනවා නම් වරෙන්"

"අපෝ බෑ මම යනවා පිට්ටනියට"

ඒ වෙනකොට ඕනනම් හවස පහ විතර වෙන්න ඇති. මම කෙලින්ම ගියේ පිට්ටනියට. මම යනකොට සෙල්ලම් කරපු අයත් එක රවුමක් ඉවර වෙලා. වැඩි ලකුණු වලට දෙවෙනි රවුම පටන් අරගෙන. තවම බැට් කරන්නේ දෙවෙනියා. මේ ටික ගහල ඉවර වෙනකොට මට බැට් කරන්න වෙන්නෑ. ඒ නිසා මම යනවා ගෙදර කියල හිතාගෙන හෙමිහිට කම්බි දෙක අතරින් රිංගල ලිඳ ගාවා ගිහින් මූණ හොදගෙනම ගෙට ගියා.

මම ගෙදර යද්දී තාත්තා හිටියේ නෑ. තාත්තා අලුත්ගම ගිහින් ගෙදරට ඕනෑ කරන දේවල් ගෙන්න. මම කරන්න දෙයක් නැතුව මිදුලට වෙලා අහසේ පියාඹන කුරුල්ලන්, වවුලන් දිහා බලාගෙන හිටියා. තව ටිකක් මෙහෙම බලාගෙන හිටියාම පොල් ගස් වලට වදින බේරුවල ප්‍රදීපාගාරේ ලයිට් දැක ගන්න පුළුවන්. ඒත් මගේ හිතට වද දෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියල. මෙහෙම ටිකක් වෙලා යනකොට තාත්තා ආවා. බයිසිකලය ඉස්තෝප්පුවට ගන්න ගමන්. 

"අර හොයපුවා හම්බ වෙලා නෑ. හෙට මෝටර් දාල පොකුණ ඉහිනවා කියන්නේ"

"පොඩි ජාල සාගරක්ද එතන? කොහොම කියල ඉහින්නද? අනික මේ කාලේ හොඳටම වතුරත් වැඩියි. ඔන්න පායන කාලෙක නම් කමක් නෑ."

"බලන්න බැරියයි හෙට"

තාත්තා ගෙනාපු පත්තරෙත් අරන් පුටුවකට හරි බරි ගැහුනා. 

මට ඇහැරුනේ පහුවදා පාන්දර මට තාත්තා නැගිට්ටවන හඬින්. මට එක පාරටම හිතුන අද ඉස්කෝලේ නොගිහින් ඉන්නවා කියල. එතකොට පොකුණ ඉහින එක උදේ ඉඳල බලන්න පුළුවන්. හදිස්සියේ ඉස්කෝලේ ගිහින් ඉන්නකොට අඩියටම හින්දල තුවක්කු දෙක අරගත්තොත් මට බලන්න වෙන්නෑ. 

"මට අද යන්න බෑ"

"ඒ මොකද මම දන්නා අම්මත් එක්ක බේරාගන්නවා"

මම ඇඳෙන් බැහැල කුස්සියට ගිහින් වතුර එකක් අරගෙන කට හෝදලා එන ගමන් අම්මට කිව්වා

"අම්මේ මම අද ගෙදර ඉන්නවා. මට දුන්න ගෙදර වැඩ කරන්න බැරි වුනා" මම බොරුවක් අද බාවා.

ඒ එක්කම ඉලාස්ටෝ ආයතනයේ හයට වදින සද්දේ නාද වුනා. ඒක නාද වෙද්දී අහල ගං හතකට සද්දේ ඇහෙනවා. අපේ ගමේ හැම දෙනාම තමන්ගේ වැඩ රාජකාරි පිළිවෙල කරගත්තේ මේ නලාවට පින් සිද්ද වෙන්න.  ඒක වදින්න ගත්තාම විනාඩියක් විතර මහා හඬක් පිට කරනවා. ඒ නලාව නැවත උදේ හතට, හතයි කාලට වදිනවා. ඊට පස්සේ දොළහට එකට, තුනට, පහට. ගාමිණී විද්‍යාලය තියෙන්නේ මේ ආයතනයට යාබදව. එකට නම් මේ සද්දේ කණේ තිබ්බ වගේ ඇහෙනවා. මේ පහලින් තියෙන යූ-ටියුබ් වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. මේක වාර ගොඩක් වදිනවා ඒත් ඔය එක වාරයක් තමයි ඉලාස්ටෝ නලාවේ වදින්නේ. 





මේක හොයන්න සර්ච් කරද්දී මම දෙවන ලෝක යුද්දේ අණතුරු අඟවන සඥා කියල දැම්මා. එතකොට තමයි මේක හොයා ගන්න පුළුවන් වුනේ. මම අනුමාන කළා ලෝකයේ විවිධ රටවල සංචාරය කර තාක්ෂණය උකහා ගත් ඉංජිනේරුවෙක් වන ඩොනල්ඩ් ගුණසේකර මහතා මෙය සොයා ගන්න ඇත්තේ ජර්මනියෙන් වෙන්න ඇති කියලා.



ඒත් අම්මගෙන් බේරෙන්නම හම්බ වුනේ නෑ. මට ඉස්කෝලේ යන්න වුනා. මම කඩිමුඩියේ ලැස්ති වෙලා ඉස්කෝලේ ගියා තාත්තත් එක්ක. උදේ ස්ටේෂන් එකට යන ගමනුත් පොකුණ දෙස බලාගෙන ගිය මම ප්‍රාර්ථනා කලේ හවස මම එනකන් මේක හිස් කර ගන්න බැරි වෙන්න කියල. එදා ඉස්කෝලේ ගිහින් මගේ යාළුවන් එක්කත් මේ කතාව කිව්වා. ඒත් මේ පොකුණ දැකල නොතිබුන මගේ යාලුවන්ට මේක එච්චර ගානක් වුනේ නෑ. එත් මගේ හිතේ මැවි-මැවී පෙනුනේ මේ පොකුණ හිස් කරන දර්ශණය. එදා දවස කොහොම ගෙවිල ගියාද කියල මට මතක නෑ. මම කල්පනා කර කර හිටියේ කලින් යන්න විදියක්. ඒත් සියලුම ගුරුවරු නියමිත විදියට ඉගැන්වීම කරගෙන ගියා. අන්තිමට මම දුවගෙන දුවගෙන ගියා ස්ටේෂන් එකට. ඒත් තාත්තා එන්න තව වෙලා යනවා. 

වෙනද වගේම ගාලුකුමාරිය තුනයි කාල වෙද්දී බෙන්තොටට ලඟා වුනා. මම කෝච්චියෙන් බැහැල තාත්තවත් පහු කරගෙන දුවගෙන දුවගෙන ගිහින් බැලුව එතන වෙන්නේ මොනවද කියල. ටිකක් ලොකු මෝටර් දෙකක් වතුර බහින පැත්තේ තියල වතුර හිස් කරනවා. එක තැනක කවුදෝ ගහපු ඉන්නක් දිහා හැමෝම කථා නැතුව බලාගෙන ඉන්නවා. මුලින්ම වතුර තිබ්බ තැන කවුරුන් හෝ සලකුණු කරලා තිබුණා. එකට වඩා අඟල් හයක් විතර පහලට වතුර අඩු වෙලා. 

"මේ විදියට නම් මේක හිස් කරන්න බෑ"

සමහරු අදහස් පල කලත්, තව කොටසක් මේක හිස් වෙනකන් බලාගෙන හිටියේ වෙනත් බලාපොරොත්තුවක් ඇතුව. ඒ අන්තිමට වතුර නැතුව දඟලන මාළු ටික අල්ල ගන්න. මේක අර විශාල වගුරට සම්බන්ධ නිසා ඉබ්බොත් ඉන්න බැරි නැති බව සමහරුන්ගේ අදහස වුනා. අනිත් පැත්තේ පොලිස් ජීප් එක නතර කරලා තිබුණා. එතන පොලීසියේ බොහොමයක් අය රැස් වෙලා හිටියා. සමහරු කියන්නේ මේ තුවක්කු දෙක හොයා ගන්න බැරි වුනොත් ඕ.අයි.සී. මහත්තයට ගෙදර යන්න වෙන බවයි. ඒකටත් හිත යටින් කැමති අය හිටියා. අද තාත්තටත් ගෙදර යන්න හදිසියක් නෑ. ගාලු පාරට යාබදව තිබ්බ මේ පොකුණ ගාව සෙනග රැස් කකා බලන්නේ මොකක්ද කියල දෙපැත්තට යන වාහන වේගය බාල කරලා බලන්න පටන් අරන් තිබුණා. කොහොමත් අලුත්ගම රේල්-ගේට්ටුව වැහුවාම මේ හරියට වෙනකන් වාහන තදබදයක් එනවා. එතකොට කොළඹ පැත්තට යන අයට නිකම්ම බලා ගන්න පුළුවන්. මමයි තාත්තයි ගෙදර ගියා. මම ඉක්මනට කාලා ෂර්ට් එක විතරක් මාරු කරන් ආපහු ආව. මේ වෙනකොට මෙතන අයිස්ක්‍රීම්, වඩේ, බුලත්විට, සිගරට් විකුණන අය තමන්ගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරලා තිබුණා. එයාලට මේ වගේ තැන් වලට එන්න විශේෂයෙන් ආරාධනා කරන්න අවශ්‍ය නෑ. 

මේ වගේ තැන් වල තවත් ප්‍රමුඛ කාර්යභාරයක් කරන පිරිසක් අපේ ගමේ හිටිය. ඇත්තටම එයාලගේ විනෝදාංශයට තැනක් නොතැනක් නෑ. ඕනෑම ගමක මේ වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒ තමයි විනෝදාංශයට  පච හැලීම. පච ඒබරං, පච සුනිල්, පච සෝමපාල කියන්නේ අපේ ගමේ මේ වගේ නම් පට බැඳිච්ච කිහිප දෙනෙක් විතරයි. තව ඇඟට නොදනී ඉඳ හිට බොරුවක් දෙකක් කියන අයත් බොහොමයක් හිටියා. මෙතනදී ඒ අය පච වගා කරන්න නොගියේ මේක පොලීසියේ වැඩක් නිසා. ඒත් එතනදීත්

"අර පෙන්නේ තුවක්කු බටේ" 

යයි අයෙක් කී විට, සැවොම එතනට එක්රැස් වෙයි. එහෙත් එය වෙනත් යමක් බව තේරුම ගන්නා විට එසේ පැවසු පුද්ගලයා ඒ අසලින් මාරු වී අවසානයි. එතන නොහිටියත් පිරිස අමු තිත්ත්ත කුනුහර්පයෙන් ඔහුගේ සනුහරයටම සංග්‍රහ කරයි. 

"මෙතනත් වෙන්නේ අර කොටිය ආව වගේ වැඩක්, එක වැඩිහිටියෙක් පවසයි" 

ඒ කතාව ඇත්තය. තුවක්කු දෙක ඇත්තටම දැක්කත් දැන් පිලි නොගන්නා ගානට ගම්මු පත් වී ඇත්තේ පචයන්ගේ මේ ක්‍රියාකලාපය නිසාය. එහෙත් කිසිවකුත් තමන්ගේ උනන්දුව අත් හරින පාටක් නැත.

ඊට පසු කවුරුන් හෝ "අර පෙන්නේ තුවක්කු බටේ" යයි කී විට "පේනවා තොගේ අප්පාගේ අහවල් එක" යයි උත්තර පහ හයක් එක විට ගලා එයි. ඇත්තටම මේ තුවක්කු හම්බ වුනත් නැතත් එතන රස සාගරයකි. 

මම එතනට යද්දී අවට ඉස්කෝල වලට යන මගේ මිතුරන් ඒ වෙනකොටත් එතන රංචු ගැහිලා හිටිය. හුඟ දෙනෙක් හිටියේ අර ඉන්න හිටවල තිබ්බ තැන. තැන් තැන් වල මිනිස්සු රංචු ගැහිලා කථා කර කර ඉන්නවා. මම යද්දී කොළ කෑල්ලකුයි පැන්සල් කොටයකුයි සාක්කුවේ දාගෙන ගියා. මම හෙමිහිට ලකුණු කර ගත්ත උඩම තැන පටන් අරන් තියෙන්නේ දහයට, එතකොට අඟල් හයක් බස්සන්න පැය හයක් ගිහින්.  පැයකට අඟල ගානේ ගියොත්, පැය විසිහතරකම දාල තිබ්බොත් අඩි දෙකයි. අඩි හයක් මේක ගැඹුර වුනොත් දවස් තුනයි. එතකොට උනන වතුර. මම අයිනකට වෙලා ගණන් හදල බැලුව. ඒ වුනාට මේක ජොලි වැඩේනේ. හවස පහ විතර වෙනකොට වැඩේ නවත්වල හෙට පටන් ගන්නවා කිව්වා. මේ වෙනකොට වගුර පැත්තෙන් එන ජල පාර නවත්වල තිබුණේ. දෙවෙනි දවසෙත් ඒ හැටි ප්‍රගතියක් නෑ. අන්තිමට අඩු කර ගන්න පුළුවන් වුනේ අඩි එකහමාරක් විතරයි. මම අන්තිමට කෙනෙක්ගෙන් අහල බැලුව 

"කොහොමද හරියටම දන්නේ මේකේ තුවක්කු දෙක තියෙනව කියල?"

"අංජනමක් බලල තමයි දැනගෙන තියෙන්නේ"

අනේ මෙහෙමත් පොලීසියක්.


ප:ලි :  මට තාමත් පොඩි සැකයක් තියෙනවා. මේ දවස් වලම අපේ ගමේ ලැව් ගින්නක් වගේ පැතිරුණ කතාවක් මේ සිද්ධිය හින්ද හැමෝටම අමතක වෙලා ගියා. ඒ මගේ බොහොම හිතවත් ගෙදරක හිටිය අකීකරු පුතෙකුට තිබ්බ චෝදනාවක් ගඟේ තියෙන "මහගල" කියන ගලේදී එයත් එක්ක නාමින් හිටිය අනිත් කෙනාව වතුරට තල්ලු කරලා මරල කියන එක. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද /නැද්ද කියන එක.

25 comments :

  1. මාල්ගුඩියේ ස්වාමි මතක් උනා ...
    :)

    ReplyDelete
  2. @ටිරාජ් : ඇත්තටම මමත් මල්ගුඩියේ ස්වාමිනාදන් වගේ තමයි.

    ReplyDelete
  3. සුපිරියට ලියලා තියනවා මචන්,
    උඹ පොඩි කොමට නෙවෙයිනේ ගණන් හදලා තියෙන්නේ

    ReplyDelete
  4. @AmilaArt : ඒ වගේ ගණන් ඉස්කෝලෙත් තිබුනා.

    ReplyDelete
  5. නියමයි...හිනා සාගරයයි.....!!!

    ජෙෆ්රි බාවා කියන්නෙ මගේ ලෝකයේනම් වීරයෙක්...

    ReplyDelete
  6. @Sumith : හොඳ වෙලාවට මුහුදට දැම්මේ නැත්තේ. ජෙෆ්රි බාවා නිසා තවමත් අපේ ගමේ සුන්දරත්වය නොනැසී පවතිනිවා.

    @දේශ් : කොහොමත් පොලීසියනේ.

    ReplyDelete
  7. පොලිසියට හොරු පනිනකන් පොලිසියෙ එවුන් බම්බු ගහලද.. හි හි පොඩි කාලේ මතක් උනා,

    ReplyDelete
  8. එල කිරි මචන්, මමත් එතන හිටිය වගෙයි දැනුනේ ...

    ReplyDelete
  9. DAWASAK NIWADU DALA MEKA KIYA WANAWA.

    ReplyDelete
  10. @sujiya : හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ මේවට තමා.

    @සුභාෂ් : එහෙනම් කමක් නෑ.

    @ඇනෝ : ඉස්සෙල්ලාම අයි.ඩී. එකක් හදා ගත්තොත් නරකද ?

    ReplyDelete
  11. සතියක් විතර යන වැඩක් ව්වෙයි නවත්ත නවත්ත කරොත්....

    ReplyDelete
  12. @ඉන්ද්‍රජිත් : නවත්ත-නවත්ත ගියොත් ඒක කීප දෙනෙකුගේ විරැකියාවට හොඳ විසඳුමක් වෙයි.

    ReplyDelete
  13. උඹ ළමාවීය හොදට විදලා තියනවා

    ReplyDelete
  14. @අටම්පහුර : මොන වින්දිල්ලක්ද මචං එක ?

    ReplyDelete
  15. අන්තිම පේලි දෙක ඔලුවට පොල්ලෙං ගැහුවා වගෙ. අමුතුම රිද්මයක්! නියම කතාව. මට යන්තමට ආසනික් වගෙ නමක් මතක් වුනා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  16. @හෙන්රි : බොහොම ස්තුතියි. ආසනික් ?

    ReplyDelete
    Replies
    1. agrochemicals වල ආසනික් over dose අඩංගු වන බවත් උතුරුමැද පළාතේ බහුල වකුගඩු රෝගයන්ට හේතුව ඒක බවත්............... මතකට කාලෙකට කලින් මෙහෙම මතවාදයක් පැතිරුනා. ඒකෙත් කොනක අන්ජනමක් තිබ්බනේ. ඒක වෙන්න ඇති හෙන්රි ට මතක් උනේ

      Delete
    2. agrochemicals වල ආසනික් over dose අඩංගු වන බවත් උතුරුමැද පළාතේ බහුල වකුගඩු රෝගයන්ට හේතුව ඒක බවත්............... මතකට කාලෙකට කලින් මෙහෙම මතවාදයක් පැතිරුනා. ඒකෙත් කොනක අන්ජනමක් තිබ්බනේ. ඒක වෙන්න ඇති හෙන්රි ට මතක් උනේ

      Delete
  17. අන්තිමට මොකද වුනේ ??

    ReplyDelete
  18. @හසිත : අන්තිමට අඩිය දකින්න බැරි වුනා. තුවක්කුත් හම්බ වුනේ නෑ.

    ReplyDelete
  19. හිහිහී.. ගිරිඋල්ල පැත්තෙත් තිබුණලු ඔය වගේ පේන කියලා හොරාව ඇත්තටම අල්ලලා දෙන තැනක්.. පොලීසියේ අය රාජකාරිය නතර කරලා මෙතෙන්ට එන්න ගත්ත නිසා නතරකරලම දැම්මලු..

    පුංචි කාලෙට ආයෙත් ගියා.. ඒ කාලෙ කල වැඩ.. :D

    ReplyDelete
  20. @නන්දු : මුල්ම වතාවට නේද කමෙන්ට් කරන්නේ ? හැබැයි මේකේ මැණික් තියෙනවා කියල ආරංචියක් රත්නපුර පැත්තට යව්වනම් නොමිලේම හිස් කරලා දෙනවා.

    ReplyDelete
  21. ඇත්තටම අර මුලින්ම කීවා වගේ මට මල්ගුඩිය මතක් උනා. ඊලගට මොන හේතුවක් නිසාද දන්නේ නෑ කතාව පටන් ගන්න කොටම අර කවුඩු කූඩුවක මැණිකක් තිබිලා මහොව්ෂධ පඬිතුමා ඒක හොයාගත්තෙ ,,අන්න ඒ කතාවටත් පොකුණක් සම්බන්ධයිනෙ. ඒ කතාවත් මතක් වුනා.

    ReplyDelete
  22. @රතුරජරට : ඉතිහාසය නැවත නැවතත් සිදු වෙමින් පවතනවා(History Repeats itself) කියන කතාව ඇත්ත එහෙනම්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...