කිසියම් ස්ථානයක් හෝ පුද්ගයෙකු ගැන අප හිතිං මවා ගන්නා රූපයට සහමුලින් වෙනස් එකක් එහි යථාර්ථයෙදී මුණ ගැසෙයි. විශේෂයෙන්ම අන්තර්ජාලයේදී ඔබ නොදුටු කිසිවක් හෝ පොතපතින් ඔබ නොදුටු කිසිවක් සැබැවින් දකින විට මෙය සිදු වේ. අප හේනට ලඟා වත්දීද සිදු වුයේද එයමයි. මේ වනවිට මා පමණක් නොව ඔබද මවා ගත් හේනක් ඇත. එය මා බලාපොරොත්තු වූ තරම් කැලයට සමීප නැතත්, හතරවටෙන් රූස්ස ගස් අප වට කරගෙන සිටියි. එහි බියකරු බවක් නිරතුරුව ඇත. හාත්පස පෙනෙන්නේ ඉමක් නොපෙනෙන කැලෑව එළි කර තනාගත් වගා බිම්ය. සතියක් පමණ කාලයක් ඇතුළත යම් ප්‍රමාණයක වැස්සක් ලැබී ඇති බව මේ වගා බිම්ද, හාත්පස පරිසරයද සාක්ෂි දරයි. එහෙත් අපගේ ගමනේදී ට්‍රැක්ටරය මත තබන ලද බෑග් සහ අනෙකුත් ද්‍රව්‍ය මත එකතු වී ඇති දුහුවිල්ල එහි තිබෙන කර්කශ බව කියා පායි.
පින්තූරය : www.google.com/maps/preview සිතියම තුල මෙම ස්ථානය නිවැරදිව සොයා ගන්නට මා පැය හය හතක්ම වැය කලේ සාවද්‍ය තොරතුරක් ඉදිරිපත් කිරීමට ඇති අකමැත්ත නිසාය. |
පින්තූරය : www.google.com/maps/preview |
අපගේ ට්‍රැක්ටරයේ ගමන් ගත් නව දෙනාට අමතරව මෝටර් සයිකලයෙන් ආ දෙදෙනෙකුද වේ. මේ අනුව සම්පූර්ණ ගණන එකොළහකි. එයින් දෙදෙනෙක් අහාර පිළියෙල කිරීම සහ අපගේ සහයට ආ අයවලුන්ය. අනෙකා දක්ෂ වෙඩික් කරුවෙකි. රූපයා නොහොත් රූපරත්න එම හේනේ හිමිකරු සහ වගාකරු වේ.
"අද නම් වහිනවා. මේ බලන්න හොඳටම කළු කරලා, රෑ වෙනකොට දෙයි ඇට්ටි හැලෙන්න. අද තියෙන්නේ නෑමක් තමයි"
අපගේ චාරිකාවේ රියදුරු වගකීම භාර ගත් කටකාර කොලුවා රසික පව්සත්දී අප සියලු දෙනාගේ හිස් නිරායාසයෙන් අකාශය දෙස යොමු විය. මෙම වැහි වලාකුළු බරිත බව අපගේ ගමනද යම් තාක් දුරට පහසු කරවීය. ගිනි අව්වේ මේ ගමන පැමිණියා නම් අපට මීට වඩා විඩාවක් දැනෙනවා නොඅනුමානයි. එසේ වුවද කොළඹ සිට පැමිණි කවුරුත් සිටින්නේ පස්ස පැත්ත අල්ලා ගත් ගමන්ය. හේතුව ට්‍රැක්ටරය ගමන් ගන්නා විට ඇති වූ ගැස්සීම නිසා ඉහළ ගොස් පහළ වැටෙන විට පශ්චාත් භාගය ට්‍රැක්ටරයේ තහඩු තට්ටුව මත ගැටීම නිසා ඇති වූ තැලීම්ය. මේ වනවිට තිලකයා සහ පිරිවර අපගේ සියලු බෑග් බා ඒවා ඔවුන්ගේ වාඩියේ මැස්ස මත පිළිවෙළකට තබා ඇත. වතුර මුට්ටියක් ලිප මත රත් වේ. මේ ප්‍රදේශයේ දර ලබා දෙන අධික තාපය නිසා වතුර මුට්ටිය රත් වීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් බව ගමන් අවසන් වනවිට මා අත්දුටු දෙයකි. වතුර රත් වනතුරු තවත් දෙදෙනක් යුහුසුළුව යමක් කරයි. අපේ දලුවා සහ සම්පා ඒ දෙස බලා සිටී. ඔවුන්ගේ සුදානම තණමල්විල අමුද්‍රව්‍ය යොදාගෙන රොකට්ටුවක් ගුවන්ගත කිරීමටය. මා යාබදව ඇති ගල් කන්ද නැගීමට පටන් ගත්තේ මගේ කැමරාව සහ දුරකථනය යන අවශ්‍යතා දෙකම පිරිමහන ජංගම දුරකථනයද සහිතවය. එම ගල්කුළට ගොඩ වීමේදී එක අවදානම නැග්මක් ඇත. මොහොතකින් මා ගල් කුල මුදුනට ළඟා වී හාත්පස නැරඹුවේ, ඩිස්කවරි වැඩසටහනේ බෙයා ග්‍රිල්ස් අනුව යමිනි.
ඔහුගේ චාරිකා වල වැඩ කරන එක අනුපිළිවෙලක් ඇත. පළමුව රාත්‍රිය ගත කරන්නට තැනක් සොයා ගනී. එයට පදනම් වන්නේ ගලායන හෝ හිරවූ ජාල මූලාශ්‍රයක් අසල, එහෙත් තරමක් ඈතින්ය (ජලය ඇති තැන් වලට වනසතුන් නිරතුරැ පැමිණෙයි. එහි වාසි මෙන්ම අවාසිද ඇත). බොහෝවිට ගල් තලාවක් හෝ උස බිමක් තෝරා ගනී. දෙවනුව කරන්නේ රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය සෙවණක් තනා ගැනීමයි. ඉන්පසු රාත්‍රී ආහාරයට යමක් සපයා ගනී. අවසානයේදී වටපිටින්ම එකතු කර ගන්නා දර සහ සුහුඹුල් ද්‍රව්‍ය යොදා ගනිමිනි ගිනිගොඩක් ගසා ගනී. ගිනිගොඩෙන් වන වාසි දෙකක් ඇත. වනසතුන් ගින්නට දක්වන බිය සහ ඕනෑම පරිසරයක රාත්‍රියේ ඇතිවන අධික සීතලට මුහුණ දීමේ හැකියාවයි. මෙම චාරිකාවට එක් වනවිට අපගේ නඩේ ගුරා කාරියට උර දුන් සුභාෂ් එවන ලද කෙටි පණිවුඩයක ගෙන අයුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් සටහන් කර තිබුණි. ඔබත් එවැනි ගමනක් යන්නේ නම් එය වැදගත්ය. එහෙත් මතක තබා ගත යුතු වැදගත්ම කාරණය, එම සියලු දේ බරෙන් අඩු ඒවා විය යුතු වීමය. අපගේ වාසනාවකට ට්‍රැක්ටරය අදාළ ස්ථානය වෙතම ළඟා විය හැකි වුවද, බොහෝවිට ඔබට මේ සියල්ල කර ගහගෙන කඳු නැගීම, බැසීම හෝ ඝන වනය, දිය පාරක් තරණය කිරීමට සිදුවනු ඇත. එවැනි විටෙක බර ඉතාම වැදගත් සාධකය වනු ඇත. ඔබගේ පහසුව තකා එම ලැයිස්තුව මෙහි සඳහන් කරන්නම්
- කොට කලිසම්/ටී ෂර්ට්/බොටම් එකක් සහ සපත්තු /සෙරෙප්පු (කුට්ටම් එක බැගින්)
- සීතලට අඳින ජැකට්ටුවක්
- ඉටිපන්දම් දෙකක්/ ටෝච් එකක්
- බෙඩ් ශීට් දෙකක්
- ප්ලාස්ටික් පැදුරක්
- බිස්කට් වැනි කෙටි ආහාරයක්
මීට අමතරව අප පොදුවේ රැගෙන ගිය කෝප්ප සහ ප්ලාස්ටික් පිඟන්ද මෙයට අයත් විය යුතුය. ඔබ සතුව තිබිය යුතු අනෙකුත් ද්‍රව්‍ය නම් කැලෑ පිහියක්(හෝ මුවහත් සහ බර පිහියක්), ප්‍රථමාධාර කට්ටලයක්(අප රැගෙන ගිය ප්‍රථමාධාර පෙට්ටිය අංග සම්පූර්ණ එකකි. එහි පැනඩෝල්, සමහන්, ඊනෝ, සිද්ධාලේප, සැලෝන් පාස්, තුවාල වලට බෙහෙත් කිරීමට අවශ්‍ය සියලු දේ අඩංගුය), ඉටි රෙදි යාර කිහිපයක්, ලණු කැරලි කිහිපයක් විය. එවැනි ද්‍රව්‍ය සොයාගත හැකි තැන් කැලයේ නැත. නමුත් සමහර ද්‍රව්‍ය වලට ආදේශක ඇත. ඉටිපන්දම් වලින් ලබන ආලෝකය ගින්දර මගින් ලබා ගත හැක. ටෝච් එකක් වෙනුවට හුළු අත්තක් පිළියෙල කර ගත හැක. සීතලට අඳින ජැකට්ටුව වෙනුවට ගින්දර මගින් ලබා දෙන තාපය යොදා ගත හැක. පැදුරක් වෙනුවට වනයේ කොළ අතු සහ වැල් වලින් අවශ්‍ය නම් මෙට්ටයක් වැනි ඇතිරිල්ලක් නිර්මාණය කර ගත හැක. ඒ සඳහා පළපුරුද්ද සහ යම් නිර්මාණශීලීත්වයක් අවශ්‍ය වේ. කැලයේ දකින දෙය තුළින් ඔබට අවශ්‍ය දේ දැකීමේ හැකියාව තිබිය යුතුයි. කැලෑවේ ඇවිදීමේදී අඩි හයක හතක ඉන්නක් වැනි යමක් භාවිතා කල යුතුය. එහි ඉදිරි කෙළවර කැටපෝල් කරුවක් ආකාරයේ විය යුතුය(Y අකාරයේ). හේතුව කැලෑ ප්‍රදේශ වල සතුන් දඩයම් කිරීම සඳහා අටවන උගුල් හෝ බඳින ලද තුවක්කු තිබෙන්න පුළුවන. අඩුම තරමෙන් ඉදිරියෙන්ම ගමන් ගන්නා එය රැගෙන යා යුතුය. මෙම ඉන්න තවත් කරුණකදී වැදගත් වේ. ඔබ අසලම නොදැක සර්පයෙකු සිටියහොත්, ඌ අල්ලා ගැනීමට හෝ පලවා හැරීමට එම "වයි" හැඩති මෙම ලීය උපකාරී වෙයි. අපේ ගමනේදී සර්පයින් හමු නොවීම භාගයකි.
තේ කහට සමග බීමට නඩේ ගුරා සපයන ලද කිතුල් හකුරුද, ඔහු රැගෙන ගොස් තිබූ පොල් කේක් අහාරයට ගැනීමට පෙර කපා ගැනීමට අවශ්‍ය විය. කිසිවකු සතුව ඊට සරිලන පිහියක් නොවීය. වහලට හෙවිලි කර තිබෙන මානා වැනි කෙන්දක් ගත් මා එය යොදාගෙන කපන්න පටන් ගත්තද, තමන්ගේ පොකට්ටුවෙන් කාඩ් පතක් ගත් රත්නපාල මට පෙර එය කැපීම අවසන් කළේය. තවත් මිනිත්තු කිහිපයකින් තේ පානය අවසන් කොට අප ඔබ මොබ සැරිසරද්දී කුස්සිය භාර ගත් දෙදෙනා නගරයෙන් රැගෙන ආ කුකුල් මස් කැපීමේ නිරත විය. එය රාත්‍රී ආහාරය සඳහා නොව කටගැස්ම සඳහායි. දිවා ආහාරයෙදී වල්\ඌරුමස් තිබුණි. මීට අමතරව මඤ්ඤොක්කාද තම්බන සුදානමක් ඇත.
පැය දෙකක පමණ ට්‍රැක්ටර් ගමනකින් අප හෙම්බත් වී උන්නෙමු. නගරයේ ඒ.සී. කාමර වල පුටු රත් කරනා අපට මේ ගමන ඉතා රසවත් මෙන්ම අසීරු අත්දැකීමක් විය.
පතහා යනුවෙන් ඔවුන් හඳුන්වන ගල මත හිරවූ දිය පොකුණ. |
හේනේ හිමිකරු වන රූපයා නොහොත් රුපරත්න මේ හිනැහෙන්නේ වහිනවා යයි අපේ අය සහතික කර කී පසු ඇති වූ සතුට නිසාය. |
ඒ කදිරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාය. කෙතරම් වාර ගණනක් පොලීසියට හසු වුවද ඔහු මේ කර්මාන්තය අත් නොහරින බව අන් අයගේ කතා වලින් පැහැදිලි විය. රුපයා අහස දෙස යොමා ගත් දෑසින් සහ අපේක්ෂා බංගත්වයෙන් බලා හීදී. ඔහු බලා සිටින්නේ කොයි මොහොතේ හෝ වැසි දෙවියන් පොළොව සිප ගන්නා තුරුය. එසේ නැතිනම් රුපියල් දහස් ගණනක ආයෝජනය වතුරේ යන බව ඔහුගේ අදහසයි. අප පිටත් වන ගමන ආ මගට වෙනස් එකක් බව අපට පැහැදිලි විය. අප සිටින හේනට යා යුත්තේ යාබද අත් හැර දමා තිබෙන හේන හරහාය. අප එතනට පිවිසෙනවාත් සමග පිටුපස හැරුණු කදිරා තම මුවට දබරැඟිල්ල තබා නිශ්ශබ්ද්ද වන ලෙස සන් කළේය. ඔහුට පිටුපසින් මම හා සමපා විය. අප සිටින තැනට මීටර් දෙසීයක් පමණ දුරින් අලියෙකු සිටී. මා ජංගම දුරකථනයද, සමපා කැමරාවද මානා ගත් විට පිටුපස හැරී සියුම් කුන්චනාදයක් කරමි ඒකා තරමක් ඉදිරියට දිව ගොස් හැරී අපදෙස විමසිලිමත්ව බලා සිටී.
අලියා සහ අප අතර පරතරය මීටර දෙසීයක් වන්නට ඇත. |
අපි හෙමින් සීරුවේ ඉදිරියටම ගමන් ගතිමු. මේ අතර කොලුවෙක් මෙහා හේනේ මැහිතෙල් ඉසින යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩේ යෙදේ. අප ඔහුද පසුකර ගමන් ගතිමු. ගමේ අය මදක් නැවතී ඔහු සමග කතාබස් කල අතර අප නවාතැන් ගන්නා හේනට ඇදෙමින් සිටියෙමු. එක් වරම නැගුණු "ෆූස්" හඬින් කලබයට පත් සමපා ඉදිරියට දිවීය. නමුත් ඒ අර කොලුවා මැසිතෙල් යන්ත්‍රයේ අන්තිම කොටස කිහිප වරක් පැඩ්ල් කොට ගැසූ හඬය. එම කාරණය කාගේත් සිනහවට හේතු විය.
අහම්බෙන් ගන්නා ලද මෙම ඡායාරූපයේ දකුණු පසට වන්නට අලියෙකු සිටින බව දුටුවේ පසුව කරන ලද සමීප නිරීක්ෂනයකිනි. |
අප තෙත් වූ රෙදි වනා අවසන් වන විට පස්වරු පහ වන්නට ඇත. දැන් කෑම පිසින සුවඳ අප තුළ බඩගින්නක් ඇති කරයි. උණු උණුවේ බෙදූ මඤ්ඤොක්කා පිරවූ ප්ලාස්ටික් හා බෙලෙක් පිඟන් කිහිපයක් ට්‍රැක්ටර් ටේලරය මත එලූ ප්ලාස්ටික් පැදුරු මත තබා, බදින ලද කුකුල් මස්ද පිඟන් කිහිපයක තබා ගෙනෙන ලදී. සෝදා ගත් පුංචි වීදුරු ටිකද එතනට එක් විය. දැන් යම් සිසිලසක් දැනේ. වැහි වලාකුළින් බරිත වී තිබුණද වැස්ස ළඟා වන පාටක් නැත. අප ගෙනෙන ලද සුදු රම් බෝතල්ද, ගමෙන් එක් වූ අය වෙනුවෙන් ගෙනෙන ලද ගල් බෝතල්ද ටේලරය අරා සිටී. දර්බුකාවද එතනට ළඟා විය. සිහින් ගීත ගායනයත් සමග කට්ටිය ටිකෙන් ටික සප්පායම් වන අතර තවත් අමුත්තෙක් එතැනට ළඟා විය. ඔහුගේ නම කුමක්දැයි කිසිවකු කීවේ නැත. යාබද හේනේ සිටින දරු පවුල් කාරයෙකු වූ ඔහු සැන්ඩෝ යනුවෙන් කවුරුත් හඳුන්වන ලදී. ඔහුටද සංග්‍රය ලැබුණ අතර ගීත ගායනටද ඔහු එක් විය. මොහොතකදී අතුරුදහන් වූ ඔහු නැවත පැමිණියේ වේලන ලද ගෝන මස් කැබලි කිහිපයක් සහිතවය. අපේ අය ජැකට් පැළඳියද එතරම් සීතලක් නොවීය. ටික වෙලාවකින් කදිරා කට් වූ අතර, සංගීත සාජ්ජය නැගලා යනවිට ගායනයට මෙන්ම නර්තනයටද කදිරා සහ සැන්ඩෝ එක් විය. දර්බුකාව වාදනයට ඔවුන් උත්සාහ කළද එතරම් සාර්ථක නොවීය. අපටම එය වයන්නට සිදු විය. ටික වෙලාවකින් කදිරා වෙරි මතින් කියවන්නට පටන් ගති.
සැන්ඩෝ ඉතා හොද ගායකයෙකි. ඔහුගේ මෙම ඡායාරුපය ගන්නවාට විරුද්ධ විය. කැලයේ මේ ගෙවා දමන්නේ තුන් වන මාසයයි. මේ වනවිට වලහෙකු පත බාවා ඇත. |
"කිරිපුතා(රන්තපාලට) උඹලා හිතාගෙන ඉන්නේ සල්ලි ලොකුයි කියලද ? . මට ඔය එකෙක්වත් ලොකු නෑ. "
ප්‍රදේශයට ආවේණික හඩකින් ඔහු කියාගෙන යයි. මෙවැනි කියුම් වලින් රාත්‍රී දෙක වනතුරුම පිරී පැවතින. අපගේ සංගීතය නවතින මොහොතක එය වඩා තීව්රව ඇසේ. එවිට ඔහු නිහඬ වෙයි. ඔහු පසු වන්නේ යම් හීනමානයකින් බව වැටහේ. විටෙක අපගේ කෙනෙකු සමගද කතාවට ආවද, රත්නයාගේ හඬින් ඔහු පල්ලම් බසී. තවත් පැයකින් පසුව ඔහු කබරයා දමන හඬ ඇසිණි. රාත්‍රී දහය වනවිට නිදියන ආකාරයක් අපට සිතා ගැනීමට අවශ්‍ය විය. මේ වනවිට රාත්‍රී අහාරයට බත් සහ පරිප්පු සමග සප්පායම් වූ අපේ බොහෝ දෙනෙකු එම පරිප්පුවේ රස වර්ණනා කරන ලදී. එය එතරම් රසවත් වීමට හේතුව ලෙස මා දකින්නේ එම දර වලින් නැගෙන රශ්නයයි. මේ පළාත් වල අය ලිපට දමන්නේද ඉතා වටිනා මෙන්ම හොඳ අරටු ඇති ගස් වල අතුය. බුරුත, නැදුම් වැනි ලී බඩු කර්මාන්තයට වැදගත් දැව මෙහි තිබුණද, ඒවා ගින්නෙන් අළු වනවා හැරෙන්න ලී ඉරීමක් සිදු නොකරන්නේ, එසේ වුවහොත් මේ අහිංසක මිනිසුන් කොටසට 2009 සිට රක්ෂිතයක හේන් කර ගන්නට ලැබුණු අවස්ථාවද ඇහිරෙන බැවිනි. අප මදුරුවන් බලාපොරොත්තු වුදව, එසේ නොවීම සහනයකි. නමුත් ඊට වඩා කරදරයක් අපට සිදු කළේ කෝඳුරුවන්ය. ඔවුන් විත් මුව වටා කැරකෙන විට අපේ අයගේ කටවල් වලින් කුණුහර්ප පවා පිට විය. මගේ යෝජනාවකට අනුව, ට්‍රේලරේ දෙපස බඳින ලද කණු දෙකක, ඉහළින් අදින ලද තවත් ලණුවක් මතින් අප ගෙනෙන ලද ඉටිකොළ දමා තනන ලද පියස්ස පින්නෙන් ආරක්ෂා වීමට ඉවහල් විය. අප ඉතා සුව නින්දක් ලබා ගත්තේ මේ ට්‍රේලරය මතය. සමන් ඒ වනවිටත් වාඩියේ ලී මැස්ස මත නිදන්නට විය.
එම රාත්‍රීන් දෙක අපට සුව නින්ද සැපයූ ටේලර් තට්ටුව සහ අප නිමවා ගත් පියැස්ස. |
උදෑසන හතර වන විට එකවර හූ, හඩක් සහ කෑ ගැසීමක් නිසා අප සියලු දෙනා අවදු වී සිටියද, කිසිදු හැල හොල්මනක් නොවීය. විටෙක මෙය අප රවටන්න කරන විහිළුවක්ද යයි සිතේ. හතර වනවිට ඔවුන්ද නින්දට වන් නමුත් මා ඉස්සි ට්‍රේලරයෙන් පිටත හාත්පස දෙස බලා යළිත් නිදියාමේ අරගයලක යෙදුණි. යම් හෙයකින් මා සිට ගත්තා නම් එසැනින් වැසිකිළි අවශ්‍යතා ඇතිවන බව මා අත්දැකීමෙන් දන්නා නිසා නිසොල්මනේ වැතිර සිටියෙමි. මේ වනවිට අපගේ ගිනිගොඩ නිවී යන්නට ආසන්නයේ තිබේ. රත්නපාල සහ කදිරා නිදන්නේ බිමය. කදිරාගේ කන්දොස්කිරියාව නවත්වන්නට ඇත්තේ රාත්‍රී දෙකට පමණ බවද, ඉන් පසුව ඔහු කෑම කෑ බවද පසුව දැන ගන්නට ලැබිණි.
_____________________________________________
තුන්වන කොටසින් ඊළඟ දිනය සහ රාත්‍රිය බලාපොරොත්තුවන්න. දඩයක්කුරු අලි මන්තර දන්නා මුත් ඒවා පාවිච්චි නොකළේ, එසේ කළානම් අලියා දුවන හැටි දැක අප හිනා ගැස්සෙන බව පවසමිනි. ඔහුගේ රාත්‍රී අඬහැරය හැරෙන්නට, මේ ජනතාව තුල පුදුම සමගියක් ඇත. එක් අතකින් ඔවුන් එකම පවුල් වල නෑදෑයන් වේ.
ප.ලි.: මෙහි පතහා වෙත ගිය කොටස තුන්වරක් ලීවද, බ්ලොගර් වෙත සේව් වී නොතිබිණි. හතරවෙනි වතාවේ යන්තම් සාර්ථක විය.
_____________________________________________
තුන්වන කොටසින් ඊළඟ දිනය සහ රාත්‍රිය බලාපොරොත්තුවන්න. දඩයක්කුරු අලි මන්තර දන්නා මුත් ඒවා පාවිච්චි නොකළේ, එසේ කළානම් අලියා දුවන හැටි දැක අප හිනා ගැස්සෙන බව පවසමිනි. ඔහුගේ රාත්‍රී අඬහැරය හැරෙන්නට, මේ ජනතාව තුල පුදුම සමගියක් ඇත. එක් අතකින් ඔවුන් එකම පවුල් වල නෑදෑයන් වේ.
ප.ලි.: මෙහි පතහා වෙත ගිය කොටස තුන්වරක් ලීවද, බ්ලොගර් වෙත සේව් වී නොතිබිණි. හතරවෙනි වතාවේ යන්තම් සාර්ථක විය.
මේ වගේ අත්දැකිමක් නම් ජිවිතේ කවදම හරි ලබා ගන්න ඕනිමයි..
ReplyDeleteකදිරා කිව්වම මතක් වෙන්නෙම මුවන් පැලැස්සෙ කදිරව.. නෑ නෑ මම මුවන් පැළැස්ස අහල නෑ.. ඒත් මේ දවස් වල අයි ටී එන් එකේ යන කෝරලේ මහත්තයා කතාවෙ ඉන්න කදිරව මතක් උනේ..
තව මැදහරිය කියෝගන යද්දි බැද්දේගම පොතේ ආරම්භය මතක් උනා.
//නීතියක් වශයෙන් ප්‍රධාන කොට වනයෙහි පවතින්නේ බියය.. බඩගින්න සහ පිපාසය ඊලඟට පැමිනේ. වනය තුළ හැම දෙයකින්ම නිකුත්වන්නේ බ්යමය.. ශබ්දයෙහිත්, නිහඩතාවයෙහිදිත් , කොල් සැලීමෙහිත් අතු එකට ගැටීමෙහිත් අදුරෙහිත් පවතින්නේ බියමය. //
ඇත්තටම ඒ පරිසරය තවමත් ඒ පළාත් වල තියෙනවා. වෙනසකට ඇත්තේ ඔවුන් නවීන උපාංග සමග මුහු වීමය.
Delete//විටෙක ඉතා ඈත ප්‍රදේශයක වන හෙණ ගැසීමක් සහ ගිගුරුමක් යාන්තමට දැනේ. නමුත් අප සිටින්නේ ගැහෙන හදවතිනි. වියලුණු කොළ තට්ටු මත හෝ දර අත්තක් මත කෙනෙකු අඩිය තැබුවහොත් නැගෙන ශබ්දයට අපගේ හදවත් නතර වෙයි//
ReplyDelete>>කැලයේ මේ ගෙවා දමන්නේ තුන් වන සතියයි.<<
ReplyDelete????????????????????????????????????
හරියට හරි කෙන්ජි මම ඒක නිවැරදි කළා. ඔහු කැලයේ එක දිගට ගෙවා දමන තුන්වන මාසය ලෙස එය නිවැරදි විය යුතුයි.
Deleteනියමයි මැවිලා පේන ලෙසටම ලියල.
ReplyDeleteඔවැනි අත්දැකීම් නොලද අයට සිතෙහි මවා ගැනීමට ඉඩ තබල පද ගලපා ලිවිල්ල පට්ටයි.
මම ඒත් හිතුවා දිග වැඩිද මන්දා කියලා.
Deleteපිස්සු කතාකරන්න එපා සුදීක අයියා.
Deleteඑහෙනම් අනිත් කොටසත් ටිකක් වෙලා අරං ලියන්නම්.
Deleteනියම අත්දැකීම් ටිකක් සුදීක.
ReplyDeleteඇත්තටම ඔය මිනිස්සු එකාට එකා සමගියෙන් හිටියෙ නැත්තං ඔය පැතිවල ජීවත්වෙන්න අමාරු ඇති.
ඔවුන් කරන්නේ ජීවිත සටනක්. ඉතිං එකිනෙකා අතර සමගිය නැති වුවහොත් වනසතුන් ඔවුන් ඩහැ ගනු නියතයි.
Deleteඉතාමත්ම ලස්සන චාරිකා සටහනක්. අපට මගහැරුණු ගොඩක් තැන් තියනවා කියල හිතෙනවා මේවා දැක්කාම. ස්තූතියි බෙදා ගත්තාට. දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඇත්තටම නියමයි සුදික අපිත් නිකන් හේනට ගියාවාගේ
ReplyDeleteඑහෙනං මටත් සතුටුයි.
Deleteඇත්තට සුදීක අයියෙ, ඔයා කතාව කියවන් යන විදියට අපිත් ඔය ගමන ගියා වගේ දැනෙනවා. චිත්ත රූප මවාගෙන අපිත් ගමනට එකතු උනා වගේ.
ReplyDeleteබොහොම ස්තුතියි. ඒ වගේම බොහොම සතුටුයි.
Deleteමාරම අත්දැකීමක් අන්කල්.. මටත් මේ වගේ එකක් විඳින්න ඇත්නම්.. කතාව කියවද්දී මම ඒ තැන උන්නා වගේ දැනුනා.. :)
ReplyDeleteසජීවී අත්දැකීමක් නැතත් අත්දැකීම් රසයක් දැනුනා. දැන් පිපාසයි..
ගෙට අල්ලපු කන්දටවත් නගින්න ඕනේ.. :D
කලබල වෙන්න එපා. හරි වෙලාවට යන්න.
Deleteබොහොම රසවත් අත්දැකීමක් සහ ලියවිල්ලක්.....රම්, රොකට්,සහ මඤ්ඤොක්කා, සමග මස්....තව මොනවා ඉල්ලන්නද? මට නිකමට හිතුනා මේක ටොප් ට්‍රිප් එකක් වෙයි කියලා.
ReplyDeleteහරියට වෙස්ට් ඉන්ඩීස් වගේ නේද ?
DeleteI Love Jamaica!!!!Ha ha...
Deleteකදිමට ලියා ඇත.ස්වභාවික සුන්දරත්වය දැක ගැනිම ඇත්තටම මනුෂ්‍යෙයකු ලබන තෘප්තියකි.
ReplyDeleteමෙතනදී මම තේරුම් ගත්ත තව දෙයක් තමයි, අපට ජීවත් වෙන්න අවශ්‍ය භෞතික දේවල් කොයි තරම්ද ? කියලා.
Deleteසුපිරි ට්‍රිපක් නොවැ..ලිවිල්ල ඊටත් වඩා සුපිරි
ReplyDeleteබොහොම ස්තුතියි ආචාර්ය වීරකෝන් මහතාණෙනි.
Deleteබොහොම රහට ලියලා තියෙනවා...අපි රතුපාටින් වැඩේ දෙද්දි මෙයාලා සුදු පාටින් වීදුරු පුරවලා. ඔය වගේ ඈත පැතිවලදි මටත් හමුවෙලා තියෙන හැම මනුස්සයෙක්ම වගේ සුන්දර මිනිස්සු...ඒ අය නිතර මේ වගේ සැර මත්පැන් පානය නොකරන නිසාද මන්දා ෂොට් දෙක තුනකට පස්සෙ කට් වෙනවා...
ReplyDeleteචාරිකාවක් අංගසම්පූර්ණ වෙන්නෙ ඒක මැද බොකකුත් තිබ්බාම...මේකෙ ඒ අංගයත් හරි. රාත්තිරියෙ නිදා ගන්න ගියාම දවල් දැක්ක අලි මතක් වුනේ නැතෙයි ?
ඒ ගැන රසවත් කතාවක් එන පොස්ට් එකෙන් දෙන්නම්.
Deleteබොහොම හොඳයි මෙවැනි ත්‍රාසජනක සහ විනොදයද සහිත ගමන් යන බොහෝ දෙනෙකුට වඩා ඔබ සංවිධානාත්මකව ගිහින් තිබෙනවා. ඒ වගේම ඔබ පිටස්තරයන් ලෙස යන කණ්ඩායමක් ලෙස නොව ඒ පැත්තේ පදින්චිකරුවනේගේ ආධාරය සහිතව ගමන් කිරීමත් වාසියක්. මාර්ගෝපකරණ ලැයිස්තුවත් හොඳයි පිහියක් නෙවෙයි මැචට් නමැති ලොකු පිහියක් ගෙනයන්න. බඳින තුවක්කු වල මරුවැල් ඇද්දැයි නිරීක්ෂණය කරන විශේෂ ක්‍රමයක් තියනවා මෙතන කියන්න දිග වැඩියි. හදිසියකදී ආපසු එන පාර සියල්ලන්ට කියාදී රාත්‍රිය ගතකලානම් වඩාත් හොඳයි. හදිසියකදී කුඩා කණ්ඩායම් කීපයකට බෙදී ඒ සෑම කණ්ඩායමකටම අර ගමේ එක්කෙනෙක් යොදවා තැබීම වැදගත්. අම්මපා මටත් ඔබ සමග ගියානම් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteබොහොම ස්තුතියි විචාරක තුමා. ඔබගේ ශිල්පීය ඥානය මේ වගේ තැන් වලදී ප්‍රයෝජනවත් වෙනවා.
Deleteඅපිටත් යන්න ආස හිතෙන විදිහටම විස්තරේ ලියලා අයියේ.. කෝකටත් කියලා මේ විස්තර මතකේ තියාගෙන ඉන්න ඕන..
ReplyDeleteඑහෙනම් ආවහම කතා කරන්නකෝ. අපි යමු.
Deleteඉතිරි ටිකත් දාන්න... මේ වගේ ආතල් එකක් නම් ගන්නම ඕනේ ...
ReplyDeleteනැතිව. ජීවිතයට අවශ්‍යම දෙයක්. මෙතනින් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට් ජීවත් වෙන්න අවශ්‍ය මොනවද කියලා.
Deleteබොහොම හොඳ චාරිකා සටහනක්.... චිත්තරූප මැවෙන ආකාරයට ලියලා තියනවා.
ReplyDeleteමම මේක කියවන්න පටන් ගනිද්දිම හිතුවෙ නිදිය ගන්නෙ කොහෙද ? කියල. ට්‍රේලරේ අස්සට අලියෙක් හොඩේ දැම්මනම් කොහොමද ?
ReplyDeleteඅපි ට්‍රේලරේ අස්සේ හරි හිටියා, රත්නපාලයි කදිරයි හිටියේ බිම්.
Deleteසුදීක ට්‍රැක්ටර් ටෙලරේ නිදාගත්තෙ හේනේ ආවරණිත පැලක් හෝ වාඩියක් තිබුනෙ නැතිද.
ReplyDeleteතිබුණා. ඒකෙ අපේ බෑග් ටිකයි, ගොවීන් ටිකයි නිදා ගත්තා. ට්‍රැක්ටර් තට්ටුව සමතලා නිසා පහසු වුණා.
Deleteමම මේ ලඟදි ගියා විල්පත්තු. හැබැයි ගියේ ජාතික අපරාධයකට දායක වෙන්න. විල්පත්තු අභය භූමිය මැදින් හදන්න යනවා පාරක්. එකේ වැඩකට ගියේ ,අපෝ මේ ජීවිතේ
ReplyDeleteඑහෙනම් සංචාරක ව්‍යාපාරයේ කොටසක් වෙන්න පුළුවන්. මමත් එහෙ ගිය චාරිකා සටහනක් ලියන්නම් වෙලාවක.
Deleteසුදීක අය්යේ ...අපේ ගමටනේ ඔයාලා ගිහින් තියෙන්නේ ....
ReplyDeleteපැටි සුදා මට වීරයෙක් ...ඔහු එදා නොහිටින්න අද අපේ පව්ලේ කව්රුත් නැ ..
කොටි නිසා අපි පදිංචිය පවා වෙනස් කලා ....දැන්නම් අයෙත් අපේ තාත්තා හේන් වගාව කරනවා .....
ඒ කතාව මම ට්‍රැක්ටරේ යන අතරවාරයේදී රත්නපාල කිව්වේ. සතුටුයි ගමේ කෙනෙක් ඇවිත් අදහස් දැක්වීම ගැන.
Deleteමම මේ සුන්දර අත්දැකිම විදල තියෙනවා. ඒනිසා එහි ඇති රම්‍ය බවත් බියකරු බවත් විදන්නටනම් වනයක රාත්‍රි අසිරිය විඳ තිබිය යුතුමය
ReplyDeleteඅනිවාර්යයෙන්ම දයා. මට මේ ඇවිදිල්ල ගැන පෙළඹවීම ලැබුණේ අපේ තාත්තාගෙන්.
DeleteAyyandi..Loku Comment ekak kotanna welawak naha.
ReplyDeleteදයාබර නදීක! ගොඩාක් කාලෙක ඉදන් මමත් ඔයාගෙ රසිකයෙක්.ඔබේ ඉන්දියානු සංචාරය ගැන ලිපි පෙල මම ගොඩක් ආශාවෙන් කියවව්වා.මේ විදියට කමෙන්ටුවක් කොටන්න ලොකු උවමනාවක් තිබුනත් මට මේ සිංහල ටයිප් කිරිල්ල අමාරු නිසා ඒක කල් ගියා.ඒ උනත් මේ කැලේ ගමන ගැන බැලුවාම අමාරුවෙන් උනත් මේ ටික කියන්නම හිතුනා.
ReplyDeleteමමත් හරිම ආශා කරන විශයක් තමයි සංචාරය.විදේශ සංචාරයකට තවම අවස්තාවක් නොලැබුනත් ලංකාව තුලනම් ගොඩක් තැන්වල ගිහින් තියනවා. විශේශයෙන්ම නගෙනහිර පලාතේ කැලෑවල ටිකක් අවදානම් ගමන් කිහිපයක්ම ගිහින් තියනවා.අම්පාර මහඔය ප්‍රදේශයේ මහ කැලෑව මැද තියනවා සුවිශාල කනදක් නුවරගල කන්ද කියලා.ඒ කන්දට කිලෝ මීටර් 10-12ක් පයින්ම තමයි යන්න තියෙන්නේ.ඒ දුර පයින් ගිහිල්ලා රාත්‍රිය ඒ කන්ද මුදුනේ ඇති ගල් ගුහාවක ගෙවීම එයින් මතක හිටින ගමනක්.ඔබේ ලිපි පෙලේ ඊලග කොටස කියවන්න පුල පුලා බලා සිටින වග දන්වමින්ම නවතින්නම්.
දැන් මටත් නුවරගල කඳට යන්න හිතෙනවා. මීට වඩා දුෂ්කර ගමනක් වගෙයි පෙන්නේ.
Delete