මගේ ඔෆිස් එකෙන් ඉන්න යාළුවෝ නිතරම කියන දෙයක් තමයි
"උඹට ඉතිං හැම දේකටම කියන්න එකක් තියෙනවනේ, එක්කෝ සිංදුවක් කියයි නැත්නම් ගොතල හරි කතාවක් කියයි" කියලා.
දැන් මේක කියවන මගේ හිතවත් රසික-රසිකාවියොන්ටත් එහෙම හිතෙන්න ඇති. මම ඔනෑම තැනක දිවුරන්නම් මම මෙතන ලියන කතා එකක්වත් (එකක් හැර අර හීනයක් ගැන ලියපු එක මෙතනින් කියවන්න) ගොතපු කතා නම නෙවෙයි. ඇත්තටම මම මුහුණ දීපු අත්දැකීම්. මේවාට සාක්ෂි ඒ ඒ කාලයේදී හිටිය මගේ මිතුරන්ම තමයි. වෙසක් එකට මොනවා හරි ලියන්න ඔනෑ කියල හිතමින් ඉන්නකොට මගෙ මේසේ උඩ තියෙන පොඩි මෙවලමක් දැකලා තමයි එක පාරටම මගේ ඔළුවට මේක ආවේ. ඒ මෙවලම මොකක්ද කියල මම දැන්මම කියන්නේ නෑ. එත් අද ඒක පත් වෙලා තියෙන දියුණුව දැක්කාම නම් පුදුමත් හිතෙනවා. ඒකට ඒ කාලේ තිබ්බ ඒවා.
මොන්ටිසෝරි යන්න කලින් තමයි කෙනෙකුගේ ජීවිතේ නිදහස්ම කාලය කියලා මම කිව්වොත් කවුරුවත් ඒකට විරුද්ද වෙන එකක් නැහැ. අනිත් හැම කාලයකදීම ඉස්කෝලේ යනවට අමතරව දෙමව්පියන් අපිව මහතැන්ලා කරවන්න හිතාගෙන යවන ටියුෂන් පංති නිසා කිසිම නිදහසක් නැතිව යනවා. මම ඒ අතින් ටිකක් විතර වාසනාවන්තයි. මම අමතර පංතියකට කියලා ගියේ ගණිතයටයි, විද්‍යාවටයි විතරයි. මගෙ අනිත් කාලය ගත වුනේ අපේ අල්ලපු වත්තේ තියෙන පිට්ටනියේ නැත්නම් පාරේ එහෙමත් නැත්තම් පාළුවට ගිය වතුවල තියෙන ලඳු කැලෑ අස්සේ. අපි වැඩියෙන්ම මේවාට රිංගන්නේ අර බට තුවක්කු වලට දාන දං කියන ගෙඩි ජාතිය කඩා ගන්න. ඒ කාලේ බට තුවක්කු වලින් "වීර පුරන් අප්පු" චිත්‍රපටිය රඟපාපුව මතක් වෙද්දි අහිංසක සතුට හිතට ගලාගෙන එනවා. ඒ එක්කම දුකකුත් එනවා. මගෙ දුවට මේවා කරන්න, අඩුම ගානේ එක දිගට විනාඩි පහක් දුවන්න තැනක් නැති හැටි. අපි මේ කොළඹ පර්චස් ගාණක කොටුවකට සීමා වෙලා තියෙන පුංචි ගෙදරට වෙලා ගෙවන ජීවිතේ මොකක්ද කියල හිතුන වෙලාවට කෙල්ලවත් කිහිලි ගන්නං ගමට දුවන්න හිතෙනවා . මට මතකයි මගේ දුවට අවුරුද්දක් විතර කාලෙදි. එතකොට යංතමට ඇවිදින්න පුලුවං. බදුල්ලේ තිබුන ක්‍රීඩා උත්සවයකට මම ඇයත් කැඳවාගෙන ගියා. ග්‍රවුන්ඩ් එකේ එක කොණක ඉඳන් අනිත් කොණ වෙනකං කාක්කෙක් පිටිපස්සේ දිව්වා. මටත් ඒ පස්සේන් දුවන්න සිද්ද වුනා ඇය වැටෙන වෙලාවට අත දෙන්න. ඒ වෙලාවේ ඇයගේ මුහුණේ තිබූ සතුට, හීන් දාඩිය බිංදු කීපය මට අද වගේ මතකයට එනවා. මම කියාගෙන ආව කාරණය මේ නිදහස ලැබෙන තවත් කාළයක් ගැන. කෙනෙක් ඕලෙවල් නැත්නම් සාමන්‍ය පෙල විභාගය කරල ඉන්න කාලෙත් මේ වගේ නිදහසකින් ගෙවන්න පුලුවං. ඒත් අද සමහර බොහෝ දෙමව්පියන් ඒ මාස කීපයේදීත් තමන්ගේ දරුවන්ට නිදහසක් දෙන්නේ නෑ. ඊලඟ යුද්දයට ඔවුන් සූදානම් කරවනවා. යුද්දේ මොකක්ද කියලා මම කියන්න ඔනෑ නෑනේ.
මේ කතාවත් ඔය කියන නිදහසින් ගෙවූ කාලයේදි සිදු වෙච්චි එකක්. මට යාළුවෝ කොට්ඨාශ දෙකක් හිටියා. කුලක දෙකක් කිව්වොත් වඩාත් නිවැරදියි. එක කුලකයක් (වැදගත් යයි සම්මත ), ජනප්‍රිය පාසල් වල අධ්‍යාපනය ලබන, හොඳ නිවසක් තිබෙන, වැදගත් රැකියා කරන දෙමව් පියන් සිටින උදවිය. අනෙක් අය ඊට හාත්පසින්ම වෙනස්. අධ්‍යාපන කඩාකප්පල් වූ හෝ කැඩි කැඩී ඉගෙන ගන්න (කාලෙකට යනවා කාලෙකට යන්නෑ), සුළු රැකියා කරන දෙමව්පියන් සිටින, සමාජයේ ඇවැදගත් යයි සම්මත (බොහෝ විට සංඩු සරුවල් වල පැටලෙන දෙමව්පියන්) මෙකී නොකී සියයි විෂමතාවන්ට ගොදුරු වූ එහෙත් මගේ සිත් ගත් මිතුරන් පිරිසක්. මට මේ කුලක දෙකම එක වගේ වැදගත්. සම්පත්, දනුෂ හා ලකී වැදගත් කුලකයේ අය වූ අතර මහින්ද, මහේෂ්,කුමාර, මිල් රෝයි, අනුර, සුසන්ත ඇතුළු තව බොහේ දෙනෙක් ඇවැදගත් කුලය ලෙස සම්මත වී තිබුනි. එක් දවසක අර වැදගත් කියන ගෙදරක මිතුරකු සමග අධ්‍යාපනය සම්බන්ධ දෙයක් හෝ ක්‍රීඩා කරන මම තවත් දිනක ඇවැදගත් ගෙදරක පොල්-අතු වහල හෙවිල්ලන විට හරි-හරියට වැඩ කර කොතරම එපා යයි ගෙදරින් කීවද එම නිවෙස් වලින් දෙන ආහාරයක්ද කෑමට මැලි නොවූයෙමි. ඇත්තටම එහි වරදක් මා දුටුවේ නැත. මා මේ දෙකටම මැද තිබෙන අර උත්තල කාචය වන් කුලකයට අයිති වූවෙකි. මා පමණක් නොව මගේ සහෝදර සහෝදරියන්ද මේ කුලකය නියෝජනය කල අය වෙති(එයට කියන්නේ මිශ්‍ර කුලකයදැයි මට හරියට නිනව්වක් නැත ). මොකක් කිව්වත් මා එතනය. මා තවමත් එතනය. ඇත්තටම එය බුදුරදුන් නියෝජන කල කුලකයය. එනිසා එහි වරදක් තිබෙන්නට බැරිය. මේ ඇවැදගත් කුලකය ඇසුරු කිරීමෙන් මා ලද අත්දැකීම් මට අද ඔනෑම තැනක සිටීමට මහත් ඉවහල් වී තිබේ. ජරාවට සිටින්නට මගේ උත්සාහයක් තිබේ යයි මින් හැඟේද ? නැත, ඔබ එසේ සිතා ගත්තානම් මහා වරදකි. මා උත්සාහ කරන්නේ කොතනත් සිටින්නටය. මා මේ පොඩි කුලකය ඇසුරු කරනවාට විරුද්ද මගේ ඥාති පරම්පරාවට අමතරව තවත් කොටසක් හිටියා, ඒ තමයි මා ඇසුරු කල අනෙක් කුලකයේ වැදගත් දෙමව්පියන්. ඇයි දෙමව්පියන් විතරක් ? ඒත් මේ ළමයින්ට ඒ ප්‍රශ්ණය ඒ තරම බැරෑරුම් නැත. දනුෂ හා ලකීද මා තරම් නැති වුවත් අර නිවෙස් වල ලමයින් යම් තරමකට ආශ්‍රය කලෝය. මගේ ඥාතීන්ගෙන් මා ඉතා විශේෂයෙන් සැලකූ ජයසේන බාප්ප තදින්ම මට මේ ගැන අවවාද කලේය. අහල නැද්ද පිරිත් වල තියෙනවා "අසේවනාච බාලානං, පණ්ඩිතානංච සේවනං" කියල. ඒ මොකක්දැයි මා ඇසූ විට "නිතරම තමන්ට වඩා උසස්, බුද්ධිමත් අය තමයි ඇසුරු කරන්න ඕනේ" කියන එකනේ. ආ ඒකද ? මම හිතුවේ කියනකොටම අම්ම පැන ලොකු පුතා වැඩිහිටියොත් එක්ක එකට එක කියන්න හොඳ නෑ කියා මා නැවැත්වූවාය.
නමුත් අපේ ගෙදරට ආ වඩු බාස් කෙනෙකු මේ පිරිත් කොටස පිලිබඳ අමුතුම කතාවක් මා සමග කීවේය. ඔන්න දවසක් යාළුවෝ දෙන්නෙක් පල්ලියක වත්තක හොර කුරුම්බා කඩන්න ගිහින්. දෙන්නගෙන් එක්කෙනෙක් ගහ උඩ්ට නැග්ග අතර අනිකා ගහ යට හිටියේය.
යට හිටි කෙනා : "අසේවනාච බාලානං" කීවේය එහි තේරුම (බාසුසුන්නැහේට අනුව ) - පොඩි ගෙඩි කඩන්න එපා.
උඩ හිටි කෙනා : "පණ්ඩිතානංච සේවනං" - පණ්ඩිතය නොවී හිටපං
යට හිටි කෙනා : "පූජාච පූජනීයානං" - (පල්ලියේ) පූජකයා ආවොත් ?
උඩ හිටි කෙනා : "බෲහි මංගල මුත්තමං" - බෲස් ගාලා පහලට බහිනවා.
බාස් උන්නැහේද මේ කතාව කීවේ හාස්‍යට මිසක් බුදු දහමට තිබෙන අගෞරවයට නොවේය. අප බුදු දහම මේසේ එක්-එක් තැන් වල විහිලු තහලු වලට යොදා ගත්තද අන්‍යාගමිකයන් තමන්ගේ ආගමේ වැකි කිසි විටකත් එසේ හාස්‍යාට ලක් නොකරති. වරද අපේමය. මා මේ කොටස මෙහි සඳහන් කලේ ඒ පිලිබඳ දැනුවත් කරන්නටමය.
ඕලෙවල් කරල හිටපු කාලේ තමයි මගේ ජීවිතේ සතුටින්ම ගෙවපු කාලේ. අනිත් කාලවල් වලදීත් අඩු වැඩි වශයෙන් කැලේ පැන්නා ඒත් පලමු තැන අධ්‍යාපනයට, දෙවනුව ක්‍රීඩාව ඊටත් පස්සේ තමයි මගඩි වැඩ. සම්පත් කියන්නේ අර වැදගත් යයි සම්මත පවුල් දෙක තුනට අයිති ගෙදරක හිටිය කීකරු පුත්‍රයෙක්. මිනිහා අපි වගේ නෙවෙයි දෙමව්පියන්ට හරි කීකරුයි. අපේ ගෙවල් දෙක තිබුනේ ඉස්කෝලෙ පිට්ටනිය දෙපැත්තේ. පොඩි කාලේ ඉඳලා මිනිහගේ හොඳම යාළුවා මම. අපි දෙන්නා තමයි එකට ක්ලබ් එකේ ක්‍රිකට් ගහන්න ගියේ. අපි දෙන්නටම හොඳ අනාගතයක් තිබෙන බව අපිට ක්‍රිකට් ඉගැන්වූ අයියලා කිව්වේ. ඒක නිසා මොන බාධාවල් ආවත් මම දිගටම ක්‍රිකට් ගහන්න ගියා. සම්පත් එයාගේ දෙමව්පියන් කියන විදියට බොහොම කීකරුව අධ්‍යාපනය කලා. සම්පත් ඉස්කෝලේ ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝකෙට මම ගියේ කළුතර. අපි දෙන්නාම එකම අවුරුද්දේ ජනවාරි හා පෙබරවාරි මාස වල ඉපදුනත් මිනිහා ජනවාරි වුන නිසා මට වඩා උඩ පන්තියේ තමයි මිනිහා ඉගෙන ගත්තේ. අපි දෙගොල්ලන්ගේ ගෙවල් වලින් අපි දෙන්නා එකට සෙල්ලම් කරන එකට ගමන් බිමන් යන එකට කිසිම තහනමක් තිබ්බේ නෑ. හැබැයි සම්පත් මහ කුකුල් කේන්ති කාරයා. මම ඕලෙවල් කරල ඉන්නකොට මිනිහා ඒ ලෙවෙල් පටන් ගත්තේ. එයාගේ අම්මා ඒ දවස් වල අපේ ගේ ගාවටම ඇවිත් කථා කරනව අපෙ අම්මත් එක්ක. ඉතිං එයාලා ගුරුවරු නිසා වැඩිපුරම කථා කරන්නේ අපි දෙන්නගේ අධ්‍යාපනය ගැන තමයි. පොඩි කාලේ සම්පත්ගේ මාම කෙනෙක් ගෙනාවා මූනිස්සම් තුවක්කුවක්. ඒත් මූනිස්සම් දෙක තුනකට වඩා දුන්නේ නෑ අපිට. ඒවා දාලා වෙඩි තියන්නේ මම. සම්පත් බයයි කොකාට ඇඟිල්ල කැපෙයි කියල. මට පොඩි කාලේ තුවාලයක් නැත්තං මොකක්ද වගේ නිසා මමම තමයි ඒකේ අයිතිකාරයා වෙලා හිටියේ. පස්ස්සේ-පස්සේ අපි හොයා ගත්තා මේකට මුං ඇට දාලත් වෙඩි තියන්න පුලුවන් කියල. ඊට පස්සෙ අපි ග්‍රවුන්ඩ් එකේ වේලෙන්න දාලා තියෙන පොල් ලෙලි වලින් බංකරයක් හදලා ඒකට මුවා වෙලා අර තුවක්කුවට මුං ඇට දාල වෙඩි තියනව. එතකොට එතනට එන කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි, තරමක් තෙතබරිත මෙම ක්‍රීඩංගණයට පණුවේ කන්න එන කොක්කු, කාක්කෝ, පොල්කිච්චෝ ඇතුළු සියළු කුරුල්ලොත් මහ හඬ දීගෙන ඉවතට පියඹනවා. එතකොට අපි දෙන්නාට පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා. එක කාලෙකදි අපි දෙන්න පොඩි දේකට තරහා වෙලා කාලයක් කථා නොකර හිටියා. පස්සේ සම්පත්ලගේ අම්මම මට කථා කරල කිව්ව ඔය දෙන්න තරහා වෙලා ඉන්න එක හොඳ නෑනේ සෙනසුරාදට අපේ ගෙදර එන්න කියල. මමත් ගියා ඒත් සම්පතය මහ ආඩම්බර කාරයා කථාකලේ නෑ මාත් එක්ක. මට දැන් ගෙදරම එන්න හිතෙනවා. ඒත් දවල්ට කාලම යන්න කියලා සම්පත්ගේ අම්ම කියපු එක මට අහක දාන බෑනේ. ඔන්න ඔහේ ඉන්නවා. මට මූ කථා කලත් එකයි නැතත් එකයි. සම්පත්ගේ අම්ම ඇවිත් කිව්ව දෙන්නත් එක්ක අළුත්ගමට ගිහින් අන්නාසි ගෙඩියක් ගේන්න කියල. දැන්නම් ඉතින් කථා කරන්නම වෙනවා. සම්පත් බයිසිකලය පදිනව මම පොල්ලේ වාඩි වෙලා යනවා. යන ගමන් එක පාරටම මම දැක්ක කහ කුරුල්ලේක්, දැකල "අන්න කහ කුරුල්ලෙක්" කියල කියවුනා. "ෂික් මාර සවුත්තුව මම මුලින්ම කථා කලානේ" කියල මට හිතුනා. "මාර ලස්සනයි නේද සුභේ මං ගාව පිහාටු ගොඩක් තියෙනවා එකතු කරලා. ආවහම පෙන්නන්ම්". හැං ! එතකොට මූත් ඉඳල තියෙන්නේ මගෙත් එක්ක කථා කර ගන්න විදියක් නැතුව. මුලින්ම වචනය දාන්න බැරුව. අපි දෙන්නගේ යාළුකම ඒ වගේ බොහොම ගැඹුරින් තිබුන එකක්. අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න බෑ ඒ කාලේ. මටනම් තවත් යාලුවෝ ඉන්න නිසා ගානක් නෑ.
මේ කියන කාලේ සංචාරක හෝටලයක වැඩ කරපු අපේ රංජි අයියාට හම්බ වුනා සුද්දෙක් දාල ගිය වෝක්මන් එකක්. මිනිහා ඕක රුපියල් 200යක්ට විකුනනවා කියල කිව්ව. මම එතකොට පොඩි ටෙම්පරි ජොබ් එකක් කලා. දවසක පඩිය රුපියල් 31යි. මාසේ අන්තිමට මට රුපියල් හයසිය ගානක් හම්බ වෙනවා. ඒ දවස් වල මට ගෙවල් ලඟ කඩේ එකවුන්ට් එකකුත් තිබුනා. මම රස්සාවක් කරන නිසා දයානන්ද අයියා මට ණයට දුන්නා. මම හැමදාම හවසට යාළුවොන්ටත් දීලා කඩයප්පන් කන්න පුරුදු වෙලා හිටියා. මාසේ අන්තිමට සල්ලි දෙන්න පොරොන්දුවට මම ඒ වෝක්මන් එක ගත්තා. ඒකට හෙඩ්ෆෝන් එකකුත් තිබ්බ. ඔය දැන් තියෙන ඒවා වගේ නෙවෙයි. මෙන්න මේ පහලින් තියෙන එක වගේ.
ඒ කාලේ මම හම්බ කරන සල්ලි වලින් වැඩි හරියක් ගියේ ඕකට බැටරි දාන්නයි. කැසට් රෙකොර්ඩ් කර ගන්නයි. දැන් කාලේ නම් ඉතිං රීලෝඩ් දාන්න නේ. :D. ඒ කාලේ මයිකල් ජැක්සන්, රිචී රිචඩ්සන්, ලයනල් රිචී, පිල් කොලින්ස්, ඇලන් ටර්නර්, ටිනා ටර්නර්,ස්ටීව් වොන්ඩර්, නිකී ලවුඩා, බොබ් මාර්ලි වගේ ගායකයන්ගේ සිංදු තමයි මම වැඩිපුරම ඇහුවේ. ඒ කාලේ අපේ තාත්ත හොඳටම බය වෙලා දවසක් කිව්ව "මූ කුඩුත් ගහනවද දන්නෑ" කියල. සිංදු ඇහුවා විතරක් නෙවෙයි ඒවාගේ ලිරික්ස් ඒ කියන්නේ වචනත් එකතු කරන්න පටන් ගත්තා. සම්පත් මට මේකට ගොඩාක් උදව් කරා. ඒ කාලේ මේ හෙඩ් ෆොන් සෙට් එක කනේ ගහගෙහ බයිසිකලය පැදගෙන යන්නේ හරියට පයිලට් කෙනෙක් වගේ. ගෙදරට යන එන අයගෙන්, යන ගෙවල් වල අයගෙන් ඉංග්ලිෂ් කැසට් තියෙනවද කියලා. සමහර අය තියෙනව කියල මට දෙන්නේ හිංදි කැසට්. මට මතකයි එහෙම එකක් හම්බ වුනා කුර්බානි කියලා. අන්තිමට මගේ ලට්ට ලොට්ට ගොඩට මේවාත් එකතු වුනහම අපේ ගෙදර නිකං පුදුමාකාර ලස්සනක් තිබුනේ. හිතා ගන්න පුළුවං නේ. මගේ මේ ඉංග්ලිෂ් සිංදු මාන්දමට ඒ කාලේ තව උදව් කරපු කෙනෙක් හිටියා.ඒ අල්ලපු ගෙදර කුලියට හිටිය විරාජ් අයියා. එයාගෙන් තමයි මම "රෙඩ් රෙඩ් වයින්" කියන සින්දුවේ වචන ඉල්ල ගත්තේ. එයාත් මම ගහගෙන එන සිංදු අහන්න ඉල්ල ගන්නවා ඒ කාලේ මොකද එයාගේ රස්සාව වෙලා තිබුනේ සංචාරක හෝටල් වල බෑන්ඩ් ගහන එක නිසා.
මේ වැඩේට උපරිම සහයෝගයක් දැක්වූවේ ඉස්සරහ ගෙදර මහේෂ්-මහින්ද අයියා මලෝ ජෝඩුව. මගෙ ගාව තියෙන කැසට් ඉල්ලාගෙන ගමටම ඇහෙන්න දානව ගෙදර සෙටප් එකේ. දැන් මම මේක කනේ ගහ ගත්තු ගමන්මයි. ඒ කාලේම තමයි ලන්කාවේ බ්‍රේක් ඩාන්ස් ජනප්‍රිය වුනේ. අපිත් එක්ක හිටිය කුමාර මේවාට සහභගි වෙනවා. ඇයි ලසන්ත පෙරේරා සුසන්තගේ මල්ලි. මුන් දෙන්නගේ අත් කකුල් ඕනෑම තැනකින් නවන්න පුළුවං. මම හිතන්නේ හන්දි නැති තැන් වලිනුත් නවන්න පුළුවං. අපි ඉතිං යන්නේ සහයෝගහයට. ඔය කියන අවුරුද්දේත් අපි කට්ටිය සෙට් වෙලා තුන්දුව කියන් පැත්තේ වෙසක් දවසේ තියෙන බ්‍රේක් ඩාන්ස් තරගයකට යන්න සෙට් වුනා. හැමෝම එකතු වෙන්න කතා වුනේ ඒ කාලේ අපේ හරියේ තියෙන හොඳම රස්තියාදු පල වෙච්චි අපේ ඉස්සරහ ගෙදර මහේෂ්ලගේ ගෙදරට. එහෙනං හැමෝම රෑ 7.00ට එහෙට එන්න. එහෙම කිව්වේ වැඩේ සංවිධානය කරපු කුමාර. මමත් දැන් තාත්තගේ බයිසිකලය ගේ ඉස්සරහා නවත්වලා, වෝක්මන් එකත් කනේ ගහගෙන පාරට වෙලා ඉන්නවා. හැම ගෙදරකම මොනවා හරි එල්ලලා. මගෙත් එක්ක හිටියේ සුසන්ත/ලසන්ත දෙබෑයෝ. මෙහෙම ඉන්නකොට මෙන්න ටිකක් ඈතින් සම්පත් අම්මත් එක්ක එනවා වෙසක් බලන්න. දැන් මම කල්පනා කරනවා, මූ නම් මහ පුදුමාකාර පව් කාරයෙක්. මේ වගේ දවසකවත් ගෙදරින් එලියට බැහැලා තනියම යන්න නැති හැටි. වෙසක් බලන්න යන්නෙත් අම්මත් එක්ක. අපේ ගෙවල් ඉස්සරහින් යත්දී පිටිපස්සට අත් දෙක බැඳගෙන බිම බලාගෙන යන්වා හරියට උපාසකයෙක් වගේ. ඒක දැකල මම සුසන්තයත් එක්ක කිව්ව
"බලපංකො අරූ යන හැටි හරියට උපාසකයෙක් වගේ"
කියල. එහෙම කිව්වහම මගෙ වටේ එකතු වෙලා හිටිය කට්ටිය හොඳටම හිනා වුනා. සම්පතුයි අම්මයි දෙන්නම මගේ දිහා දෙතුන් ගමනක් හැරිලා බැලුවා. සුසන්තයා මොනව හරි අහනව මට මොනවත් ඇහෙන්නෑ. මට එතකොටයි මතක් වුනේ මම හෙඩ් ෆෝන් එක දාගෙනයි ඉන්නෙ කියලා.
"ඇයි උඹ මහ හයියෙන් කිව්වේ අරූ උපාසකයා වගේ කියලා?"
"මම කිව්ව මහ හයියක් නෑ. මම උඹටනේ කිව්වේ"
"ඇයි යකෝ, එතකොට ඔය කණේ ගහගෙන ඉන්න මල මගුල නිසා උඹ මොනවද කියන්නේ කියලා උඹටවත් ඇහෙනවද? යටිගිරියෙන් කෑ ගහන්නේ"
එතකොටයි මට තේරුණේ. දැන් ඉතිං මූ ආයෙත් මගෙත් එක්ක තරහා වෙනවා. එතකොටම කුමාර ආවා.
"අන්න අරූට හොඳටම තද වෙලා උඹත් එක්ක. උඹ ඌට උපාසකයා වගේ කියලා කිව්ව කියල"
"හෑං ඌට ඒක ඇහිලාද ?"
"ඌට විතරක් නෙවෙයි උංගේ අම්මටත් ඇහිලා. ඌ මට පැත්තකට අඬගහල කිව්වේ. ඌගේ ලව් කෙස් එකක් අම්මට මාට්ටු වෙලා. දැන් අම්ම හිතයිළු උඹ ඒ සේරම දැනගෙන තමයි එහෙම කිව්වේ කියලා."
"හත්වලාමයි. මම උගෙන් සමාව ඉල්ලන්නම්"
"සමාව නෙවෙයි. ඌ කිව්ව උඹට අඬු කැඩෙන්න ගහනව කියලා. අපි යමං යන්න ආපු ගමන."
මමත් ආයෙත් හෙඩ් ෆෝන් එක ගහගෙන බයිසිකලයට නැග්ගා.
ප:ලි: මේකට දාන්න රූප හොයද්දි හම්බ වුන මේ ඇඩ් එකත් බලන්න.
ගිය අවුරුද්දේ බස් එකකදී හමු වෙලා මම කථා කරනකං සම්පත් ආයේ මගෙත් එක්ක කථා කලේ නෑ. එයාලගේ අම්ම ඉදිරිපත් වුනෙත් නෑ අපි දෙන්නා යාළු කරන්න.
ඔන්න ඔහොමයි වෙසක් දවසක් කල්‍යාණ මිත්‍ර සම්පත්(තිය ) නැති වුනේ. සියළු දෙනාට චතුරාර්ය සත්‍ය අවුබෝධ වේවා.
රූප ගත්තේ :
ලස්සන දිග මරැ කතාවක්
ReplyDelete@අටම්පහුර : බොහෝම ස්තූතියි. කතාව දිග වැඩිද?
ReplyDeleteඅම්මපා ඒ දවස්වල වෝක්මන් එකක් තිබ්බ කියන්නේ අද කාලෙ තනි කැරට් 24 පෙරාපු රත්තරං වලින් හදාපු iPhone එකකටත් වඩා ඉහළයි !
ReplyDelete