මා උපන් ගම බෙන්තර(බෙන්තොට ) බව මීට කලින් සඳන් කර ඇතත්, අලුතෙන්ම බ්ලොග් කියවන අයගේ පහසුව වෙනුවෙන් එය නැවතත් මෙසේ සඳහන් කරා. බෙන්තොට කියන සුන්දර ගම්මානය සංචාරක පුරවරයක්. හැබැයි මගේ ගමේ නම හින්දා මම පුදුමාකාර අකරතැබ්බයන්ට මුහුණ දී තිබෙනවා. කොටින්ම මා මුලින්ම ගිය සම්මුඛ පරීක්ෂණයකදී පවා ගම බෙන්තොට යයි පැවසූ විට එය පැවත්වූ නිළධාරියාගේ යම් තිගැස්මක් මා දුටුවා. "අපෝ ගම බෙන්තරද ? බෙන්තර ගඟෙන් එහා පූස් පැටියෙක්වත් ගෙන්න හොඳ නැහැ" යයි මගේ ගම සිය දෙනෙක් ඇසුවානම් අසූ පහකට වඩා පවසා ඇත. ඉතිරි පහලොස්දෙනා එය සිතින් සිතන්නට ඇත. එත් මගේ ගම බෙන්තොට යයි සංචාරකයකුට පැවසුවහොත් ඔහු ඉතා උනන්දුවෙන් ගම ගැන අසනු ඇත. මුලින්- මුලින් මා ගම සඳහන් කිරීමට ලජ්ජාවක් දැක්වුවද, පසුව ඉතා ආඩම්බරයෙන් ගමේ නම කීමට මැලි නොවීමි. බෙන්තොට සුන්දර වෙරළ තීරය අසල ඇති සංචාරක හෝටල් ආශ්‍රයෙන අපේ ගමේ උප සංස්කෘතියක් බිහි වී ඇත. බොහෝ දෙනාගෙ කථාවන් තුල ජර්මන්, ප්‍රංශ, ඉතාලි යන භාෂා වලින් උකහා ගත් වචන ඇත. ඒ විතරක් නොවේ විලාසිතා, රුචි අරුචිකම් පවා වෙනස් ආකාරයක බව අලුතින් එහි යන අයෙකුට වැටහේ. සංචරක ව්‍යපරය නිසා ගමට බොහෝ දේ ලැබුණ අතර අනවශ්‍ය දේද නොඅඩුව ලැබුණි. ලංකාවට බොහෝ අලුත් විදුලි/ඉලෙක්ට්‍රොනික් උපාංග අනෙක් පළාත් වලට කලින් සංචරකයන් මාර්ගයෙන් අප වැනි ගම්මාන වලට ලැබෙයි. එහෙත් මගේ ගමෙන් උගතුන් බිහි වන්නෙ ඉතා අල්ප වශයෙනි. සංචාරක ව්‍යාපාරය උවදුරක් ලෙස සැලකූ මගේ ගුරු දෙමාපියන් අපව හැකිතාක් දුරට ඒ ඇසුරින් ඈත් කර තබන්නට ගත් උත්සාහය එකල අපට මහත් හිසරදයක් වූවද, දැන් එහි සැබෑ අගය වැටහේ. මගේ දේමාපියන් මේ පිලිබඳ දැක්වූ දැඩි ආකල්පය නිසා මට සංචරකයන්ගෙන් ලැබුනු දේ අල්පය. ඔවුන් එම සටන කොතෙක් දුරට ජයගත්තාදැයි මට වැටහුනේ උසස්පෙල හමාර වූ විගස සංචාරක හෝටලයක පිලිගැනීමේ නිළධාරියකු වශයෙන් බැඳුනු පසුවයි. මා කිසිදු (ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි ) වෙනත් භාශාවක වචනයක් හෝ දැන නොසිටියෙමි.
ගම ගැන කියන්න ගිහින් තව පොඩ්ඩෙන් මේක "මාගේ ගම" ගැන ලියපු තවත් රචනාවක් වෙනවා. මේ සිද්ධිය වෙද්දි මම අට වසරේ. ඒ කාළයේදී මගේ හොඳම යාලුව වෙලා හිටියේ මිල්රෝයි. අපි දෙන්න ඉස්කෝල දෙකකට ගියත් හවසට එකතු වෙලා කයියක් ගහන්න අමතක කරන්නේ නෑ. එහෙමත් නැත්නම් අපේ අල්ලපු වත්තේ තියෙන ඉස්කෝල පිට්ටනියේ ක්‍රිකට් ගහන්න යනවා. ඇලට, ගඟට, මුහුදු වේරලට මට යන්න තහනම්. මුහුදු වෙරලට යන්න තහනම් කාරණය ඉතිං ළමා අපයෝජනයට ලක් වෙයි කියන බිය. අනිත් අතින් සංචාරක ප්‍රදේශය තුල ගැවසෙන දේශීය අයව පොලීසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඒක නිසාඅමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ. මේකට මට සෑහෙන කාලයක් යනකම් හොඳටම තද වෙලා හිටියේ. "අපේ ගමේ තියෙන සුන්දරම තැන් වලට අපිට යන්න බැරි හැටි" යන්න මගේ හිතේ නිතරම දොන්කාර දුන්න. නිවාඩු කාලයට අපට යම් නිදහසක් ලැබෙනවා. අපි දෙන්නා එදා කොහොම හරි බීච් යමු කියලා ස්ටේෂන් එක ගාවින් තියෙන පාර මාරුවෙන පාලමෙන් (රේල් පාරට උඩින්) පැනලා පික්නික් ඒරියා (ඒ කාලේ හරියට තේරුම දන්නේ නෑ) එක පහු කරලා බීච් එකට ගියා. එහෙම ගියාට අපි දෙන්නට පොඩි බයකුත් නැත්තෙම නෑ. ඇයි පොලීසිය. අහු වුනොත් ඉතින් ඉඳල වැඩ්ක් නෑ. ඒ කාලයේදී පොලීසියට අමතරව අපේ-ගමන් බිමන් වලට අකුල් හෙලන තව පිරිසක් හිටියා. ඒ අපිව දන්න වැඩිහිටියෝ. "ආ ! මේ ඉස්කෝලේ මහත්තයගේ පුතා නේද ? කොහෙද මේ ?" කියල අහනවා. එතකොට මට පිදුමාකාර අපේක්ෂා භංගත්වයක් දැනෙනව. වෙලාවකට මට අපේ අමම්යි-තාත්තයි එකක මාර තරහයි. අනිත් කොල්ලො ගැන මුකුත් අහන්නැති එවුන් පවා මං ගැන අහනවා. "මොන මල වදයක්ද ?" කියල මට හිතුනෙ. කොහොම හරි බීච් ගියපු ගමන්ම අපි කරන්නේ සෙරෙප්පු දෙක අත් දෙකට දාගෙන රැල්ල පාගන එක. සමහර දවසකට පොඩි පිහි තලයක් අරන් යන්නත් අපි අමතක කරන්නේ නෑ. ඒ වැටකෙයියා මුලක් කපා ගන්න. හීනි ඒවා පින්සලක් විදියට පාවිච්චි කරනවා අපේ චිත්‍ර අඳින්න. ලොකු එකකින් නම් ගෙදරක හුණු/සමර ගාන්නත් පිට්ටනියේ කලුතෙල් වලින් ඉරි අඳින්නත් පුලුවන්. රැල්ල පාගලා ඇති වුනාහම අපි කරන්නේ කකුල් දෙකේ නියපොතු සුදු කර ගන්න ඒවා වැල්ලෙ උල-උලා යන එක. එහෙම ඇඳෙන ඉරි දිහා බල-බල එයිනුත් යම් රටාවක් ගොඩ නගන තරගයක් අපි ගාව තිබ්බා. ඊලඟට තමයි අපේ විනෝදාංශය. ඒ කියන්නේ වැල්ලෙන් මොනවා හරි හොයා ගන්න එක. වැල්ලේ ස්වභාවිකවම තියෙන සිප්පි කටු, බෙලි කටු, පංචි වගේ දේවල් වලට අමතරව තියෙන දේ තමයි අපි ගේන්නේ. අපේ වෙරල ධීවර කටයුතු වලින් වියුක්ත වෙලා තිබුන නිසා රෙජිෆෝම් ආශ්‍රිත දේ අපට ලැබෙන්නේ අඩුවෙන්. අපි මේ හොයන්නේ සංචාරකයන් ගමේ භාෂාවෙන් කියනවනම් සුද්දෝ දාලා ගියා දේවල් අහුල ගන්න. හැබැයි හොරකම් කරන්න නම් හිතන්නෙවත් නෑ. කාටවත් මම ඉඩ දෙන්නෙත් නෑ. ඒ මොකද අපායේ කටු ඉඹුලට නගින්න වුනොත්, ලෝදිය බොන්න උනොත්. ආපෝ රස්නෙන් තේ ටිකක් බිව්වත් මගේ කට පිච්චෙනවා. හොඳයි ලෝදිය බොන්න. අනේ මට නම් බෑ. ඒක නිසා හොරකම් නම් බෑ. ඒක මගේ යලුවොත් හොඳටම දන්නවා.
"උඹ කොහොමද කියන්නේ අපායක් තියෙනව කියල, උඹ ගිහින් තියෙනවැයි ?" දවසක් මගේ යාලුවෙක් ඇහුවා.
"ආ උඹ වැවුරුකන්නල ගිහින් නැද්ද ? ගියානම් උඹ ඔය කථාව කියන්නෑ" කියල මම කිව්වහම යාලුවා ඒ පාර අහනව
"හරි උඹ ගිහින් තියෙනවද ? " කියලා. කට උත්තරත් නෑ මම්ත් ගිහින් නෑනේ.
"මට අපේ ආච්චි කිව්වේ ?" කියල කිව්වම
"උඹලග ආච්චි තමයි ඔක්කොම දන්නෙ" කියනව. ඊට පස්සෙ මම අපායේ කථා ඔනවට වඩා කියන්න ගියෙ නෑ.
දැන් අපි දෙන්න බිම බලාගෙන වැල්ල දිගේ යනවා. මොනව හරි ලැබුනත් නැතත් අපි මෝය ගාවටම යනවා. එතන තියෙනව ලස්සන පන්සලක්. මෝය ගාව තියෙන කඳු ගැට්ටක තමයි මේ පන්සල තියෙන්නෙ. පන්සලට නොගියත් අපි ඒ දිහා බලාගෙන ඉන්නෙ හරි ආසාවකින්. සමහර කාලෙකට බිකිණි සහ යට ඇඳුම් ඇඳ ගත් සුද්දෝ-සුද්දියන්ගෙන් වැල්ල පිරිලා. වැල්ලේ මාලිගා තනන්නත් අපි වාසනාවන්ත වුනා. මාලිගා කිව්වට මිනිස් රූප, චෛත්‍ය වගේම හිතට එන ඕනෑම දෙයක් අපි හදනව.
මෙහෙම ඇවිදගෙන යනකොට සුදු පාට ඉටි කොළයක් දැකල අපි දෙන්නම නතර වුනා. වැලි වලට යට වෙලා තිබ්බ එක පාදලා එලියට ගත්තා. "මේ මොකක්ද බොලේ මේ?" කවදාවත් දැකලා නැති ජාතියේ අමුතුම වස්තුව දිහා අපි බලාගෙන හිටියේ පුදුමාකාර විශ්මයකින්.ඒ වෙලාවේ අපි හිටියේ පිට සක්වල වස්තුවක් අහුලා ගත්ත X-ෆයිල්ස් වල ඉන්න මූල්ඩර් වගේ බැරෑරුම් ස්වරූපයකින්. වැලි ටික හොඳටම ගසලා, අපේ ඇඳුම් වල්නුත් පිහි දාල ගත්ත. අඟල් 6x6 විතර ඇති මේක. එක පැත්තක් කිරි සුදු පාට. අනික් පැත්ත ඉටි කොලයක්. මේක කවරයක් කියල නම් පැහැදිලියි. ඒත් උඩ පැත්ත ටිකක් ඝනකමට තියෙනව. දැන් අපි දෙන්න කොහු-කොහු වගේ තියෙන් තැන හිමීන් අදිනව. එතකොට හීනියට චිරි-චිරි සද්දයක් එනව. අයිත් තිබුන විදියටම තද කරනවා. ආයි හිමිහිට අදිනව. එක පැත්තක පුලුන් වගේ, අනිත් පැත්තෙ පොල් කෙඳි වගෙ රලූයි. "මේක නම් හරිම් ටොප් බාන්ඩයක්නේ" මට කියැවුනේ ඉබේටම. ඕනෑ දෙයෙක් වෙච්චිදෙන් කියල හයියෙන්ම ඇද්දා "ච......රා......ස්" ගාගෙන ඒක ඇරුනා. දැනුයි අපට කාරණාව තේරුනේ. මේක කවරයක්. නිකංම නිකං කවරයක් නෙවෙයි. චරාස් කවරයක්. "මේක මට ඕනේ" මම කිව්වා. මගේ මිත්‍රය මිල්රෝයි කිසි විරොධයක් නැතුවම ඒක මට දුන්නේ. එකක් මම කුතුහලය(curiosity) ඉහ-වහා ගිය පුද්ගලයෙක් බව දන්න නිසා, අනික මට මේ වගෙ දෙයක් හම්බ වෙන්නේ කලාතුරකින් කියල මිනිහ දන්න නිසා. උඹ ගනිං. මම එක දිගට මීටර් 100 විතර දුවගෙන ගියෙ ඉහ වහා ගිය සන්තෝෂයෙන්. ඒ වුනාට ගෙදරදී මේක රහසිගතව තිය ගන්න මං වග බල ගත්තා. මේක ගෙදර අයට පෙන්නුවොත් වැල්ලේ ගිය එක මාට්ටු වෙනව. එතකොට ඉතිං ගුටිකන එකටත් වඩා අපේ අම්මයි, තාත්ත්යි මාසයක් විතර සංචරක කරුමාන්තයේ ආදීනව කියන්න පටන් ගනියි. ඒ වුනාට අක්කට මම හොරෙන් ඒක පෙන්නුවා. මේ රහස රකිනවට ගාස්තුව වශයෙන් අක්ක එක දවසකුත් මම එක දවසකුත් මේක ඉස්කොලේ ගෙනියන්න එකඟතාවයකට ආවා. පස්සෙ ඒක නැති වුන. මම පුදුමාකාර විදියට දුක් වුනා. අම්මලාට කියන්න විදියකුත් නැති නිස දුක උහුලගෙන හිත හදා ගත්තා. මෙ අරුම පුදුම පිට සක්වල වස්තුව ගැන රහස අපි තුන් දෙනා විතරයි දැනගෙන උන්නේ. 1983 දී අරුම පුදුම වස්තුවක් වූ දෙය අද සුලභව දකින්නට තියෙනව. මේවාට කියන්නෙ "ෆැබ්‍රික් ෆාස්ට්නර්ස්" (Fabric Fasteners) කියලා. මේ සංචාරක කර්මාන්තයට පිං සිද්ධ වෙන්න ලංකාවේ අනිත් අයට කලින් අපි දැන ගත්ත එක් දෙයක් විතරයි.
පිංතූර ගත්තේ : http://www.kobakant.at
බොහොම රසවත් විදියට ලියලා තියෙනවා මිත්‍රයා..
ReplyDeleteබොහෝම ස්තුතියි.
ReplyDeleteහිතට දැනුනා ආවට පාඩු නෑ ..
ReplyDeleteබොහෝම ස්තුතියි. සඳරු.
ReplyDeleteලොකූ ඔයාගේ අත්දැකීම් හරිම ලස්සනට ගලපලා තියෙනවා. ඒත් ‘එහෙත් මගේ ගමෙන් උගතුන් බිහි වන්නෙ ඉතා අල්ප වශයෙනි’ කියන දේ ඇත්තද ? කියන දේට ගමේ අය එකග වෙන එකක් නෑ නේද? මොකද බෙන්තර මංගල ස්වාමීන්වහන්සේ ඇතුළු වනවාස විහාර වංශ පාර්ශවයේ බොහොම උගත් භික්‍ෂුන් වහන්සේලා අමතක කරන්න බෑ. මුලු ලෝකෙටම පාලි භාෂාව පැතිර ගියේ බෙන්තරින්... තාත්තාගේ ‘බෙන්තොට පාරාදීසය ’ පොතේ‘බෙම්තරින් දැයට පිපුණ සුවඳ මල්’ කියවලා බලන්න.
ReplyDeleteනංගි. මම කියන්නේ ඇත්ත. එහෙම උගතුන් වශයෙන් ගත්තම අපට ඉන්නෙ බොහොම අල්ප ප්‍රමාණයක්. නම් ටික එක දිගටම කියාගෙන යන්න පුලුවන්. ඒකට හොඳ උසස් අධ්‍යාපනයක් දෙන පාසල් ප්‍රමාණයේ අඩුවත් බලපානව. හොඳ ඉස්කෝල ගොඩක් තිබ්බ නම් බෙන්තොට පදිංචි වෙන ප්‍රමණයත් වැඩි වෙනවා. ජනප්‍රිය පාසල් ආශ්‍රයෙන් ජනතාවගේ පදිංචිය තීරණය වන යුගයක් මේක. ඔයා කියන ඔය නම් ටිකත් බෙන්තොට සංචාරක ව්‍යාපාරය ඇරඹෙන්න කලින් බිහි වූ අය නේද ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයියේ ලස්සනට ලියලානේ.
ReplyDeleteඑළ සීන් එකක් නේ..ලස්සනට ලියලා....
ReplyDeleteනමෝ බුද්ධාය(පොඩි මල්ලී ), ඔබ නොදුටු ලොවක්, ඔය දෙන්නාට සිතුතියි කමෙන්ට් වලට.
ReplyDeleteනවතින් නැතුවම කියවන්න පුලුවන් ලස්සනට ලියලා තියෙනවා ආසාවෙන් කියෙව්වා
ReplyDeleteනවතින් නැතුවම කියවන්න පුලුවන් ලස්සනට ලියලා තියෙනවා ආසාවෙන් කියෙව්වා
ReplyDeleteඔබ ලස්සනට ලියනවා. ඔකට නර්‍මගොඩක් තියනවා. චරස් බරස්,වෙල්කො,මැජික් ටෙප්,ලුප් ඇනර්‍ඩ හුක්,සීනමා කර්මාන්තයේ මිනිස්සු උස බිත්තිවලට අලවලා බිත්තියට නගිනවා වගේ පෙන්නන්ඩත් පාවිර්‍චචි කරනවා,එයාලා කියන්නේ වෙන නමක්. නර්‍ම ගොඩක් තියන සාර්ථක නිර්මාණයක්. පැකර්‍ටවල නම තියෙන්නේ ලුප් ඇන්ඩි හුක් කියලා විතරයි.හොයාගන තියෙන්නේ එන්ගලන්තයේ අගමැති කෙනෙක් ,දඩයර්‍ම බල්ලාගේ ඇගේ පැටලිලා තිබුනු කහබිලියා වගේ කොළ ජාතියක් දැකලා.1වෙනි හො 2වෙනි ලෝක යුද්දයක් කාලයේ තහනර්‍ම කරලත් තියනවා.ගලවා නැවත ඇලවිමෙදි සෙබලු ඉලක්ක වීම නිසා.කාලයකට පසු නැවතත් භාවිතයට පැමින තියනවා.මම ඔය ගැන සර්‍මපුර්න විස්තරයක් තියන ලිපියක් කියවලා තියනවා මීට වසර 20කට විතර කලින්.මතකය නිවැරදි නැ.අසර්‍මපුර්න කමෙන්ර්‍ට එකක් දැර්‍මමාට සමාවෙන්න
ReplyDeleteඅටම්පහුර : ඔබ ලියූ දෙයින් අප බොහෝ දේ දැනගත්ත. ඇත්තටම මා කලේ මගේ අත්දැකීම මෙහි සඳහන් කිරීම පමණයි. ඔබෙ කමෙන්ට් එක මා තැනූ කේක් ගෙඩියට අයිසිං දැමීමක් වගෙයි. ස්තූතියි.
ReplyDelete