මගේ ජීවිතයේ ත්‍රාසජනක අත්දැකීම් වැඩියකට මුහුණ දෙන්න සිදු වුනේ 89-90 අඳුරු යුගයේදීයි. ඒ කාළයේදී කොහොමත් මිනිස් ජීවිත් බල්ලො-බලල්ලු ගානට වැටුනා. අහවල් හන්දියේ කොල්ලෝ 10 පුච්චන්න ඕනෑ යයි අණ ලැබුනොත් ඒ සඳහා තරුණයින් සොයා ගැනීමට එතරම් කාළයක් වැය කරන්න එකල හිටි හමුදා කන්ඩ කැමති වුනේ නෑ. ඒ අවටින්ම අවශ්‍ය ඔලුගෙඩි ගණන හොයා ගන්න ඔවුන් පසුබට වුනේ නෑ. 89-90 යුගයේදී තරුණයෙකු තවමත් ජීවත් වනවා නම් එය මහත් අශ්චර්යයක් ලෙස මා හිස් මුදුනින්ම පිලි ගන්නවා. එහෙත් මා ඉහත වැකි කීපය සඳහන් කලේ ඉතා අකමැත්තෙන්. එය ඔවුන්ට ලැබුනු රාජකාරියයි. ඔවුන් ඒ සඳහ පුහුණු කර ඇත. ඔවුන් එය ඉටු නොකාලා නම් දඬුවම් නියතයි. අද එම හමුදා නිළධාරීන්ම අප දේවත්වයෙන් අදහමු. එහි වරදක් නැත. ඒ මෙදා ඔවුන්ට ලබා දුන් ඉලක්කයයි. ඔවුන් ජීවිත දෙවනුවට තබා එය ඉටු කර ඇත. කෙසේ වෙතත් මේ හමුදා නිළධාරීන්ගේ රාජකාරීන් ඇගයීමේ අවස්ථාවක් නොව මා මුහුණ දුන් තවත් අත්දැකීමක් ඔබ හමුවෙ තැබීමේ උත්සාහයකි.
එය 1989 හෝ 1990 දැයි මට නිශ්චිතවම මතක නැත. කුමන මාසයේ දවසක් දැයි කියන්නට මතකයක්ද නැත. එහෙත් එය තවත් ඉරිදා දවසක හැන්දෑවක් බව මට තවමත් මතකයි. එකල දින දවස් සඳහා වටිනාකමක් තිබුනේද නැත. කවදා හෝ ඒ දවස මටත් උදා වන බව අප කාගේත් යටිහිතේ දෝංකාර දුනි. එකල කෙතරම් දේශපාලන ප්‍රශ්ණ තිබුනද සන්ධ්‍යා යාමයේ පාපන්දු ක්‍රීඩා කිරීම අප අතපසු නොකලෙමු. එමගින් අප ලබා ගත් වාසි දෙකක් විය. එකක් රාත්‍රියේදී හොඳින් නින්ද යාමය, අනික උදෑසන පහසුවෙන් මලපහ කිරීමේ හැකියාවය. අද සමහර සුඛිත මුදිත ජීවිත ගත කරන අයට පවා මෙම අවස්ථා දෙකින් එකක්වත් ලභා ගැනීමේ වාසනාව නැත. එහෙත් එම අභාග්‍යසම්පන්න යුගයේදී පවා ඒ දෙකම ලබන්නට අප වාසනාවන්ත වීමු. ඔය කියන ඉරිදා සන්ද්‍යාවේ අකමැත්තෙන් වුවද මට පාපන්දු ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරීමට සිදු වන්නේ එකල මට හැම අතින්ම උපකාර කල රොහාන් අයියාගේ ඉල්ලීමටය. ඔහු අපගෙන් උදව්වක් ඉල්ලන්නෙ ඉතාමත් කලාතුරකිනි. ඉදින් එය කෙසේ නම් ඉවත ලන්නද? එහෙත් මෙකී කාරණයට අපේ ගෙදරින් අවසර ගැනීම ඉබ්බන්ගෙන පිහාටු ගැනීමට වඩා අමාරු කටයුත්තක් විය.
"එන්න නම් පුලුවන් ඒත් අපේ අම්මලාගෙන් කැමැත්ත ගන්න එක තමයි වැඩේ රොහාන් අයියේ"
හරි මම තමුසෙලාගෙ අම්මට කියන්නම්
එහනම් ප්‍රශ්ණයක් නෑ.
රොහාන් අයියා එදින හවස 2.00ට විතර අපේ ගේ ගාව එයාගේ 200cc හොන්ඩා මෝටර් සයිකලය නවත්වා හෝර්න් දෙකක් විතර ගහනකොටම මම මිදුලට දුවගෙන ආවා. ඒ වෙනකොටත් මම ලෑස්ති වෙලා හිටියේ.
රොහාන් කොහේද ඔය ඔයත් එක්ක යන්න හදන්නේ? දන්නවනේ මේ දවස් වල රටේ තත්වේ. අතන මිනිස්සු මරලා දාලා. මෙතන මිනිස්සු මරලා දාල. රටකට ගිය කලක්.
අම්ම කිව්වේ ඉතාමත් දුක් බරව. ඒක ඇහුවාම මටත් ටිකක් තිගැස්මක් ඇති වුනා. ඒත් මම ඒ බව අම්මට නොදැනෙන්න වග බලා ගත්ත.
ඔය කියන තරමටම ප්‍රශ්ණ නැහැ අම්මේ. අපිට හමුදාව කරදර කරන්නෑ. අපි ජේවීපී කරන්නැති බව ඒගොල්ලෝ දන්නවා. වාද්දුවට යනව කිව්වේ. යාලුවෙකුගෙන් ඉල්ලන් ආපු මොනවද ආපහු අරන් යන්න තියෙනවා කිව්වා. මට තියෙන්නේ මෝටර් සයිකලේ පිටිපස්සට වෙලා ඒක අල්ලගෙන යන්න කිව්ව. ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි.
ආ එහනම් කමක් නෑ. රොහාන් එක්කනේ යන්නේ. පරිස්සමට ගිහින් එන්න.
මම දුවල දුවල ගිහින් බයික් එකේ පිටිපස්සෙ වාඩි වුනා. රොහන් අයිය මට කැප් එකක් දුන්න දාගන්න. ඒ දවස් වල හෙල්මට් දාලා මෝටර් බයික් වල යන්න තහනම්. අපි කෙලින්ම රොහන් අයියලගෙ ගෙවල් ගාවට ගියා. රොහාන් අයියට බයික් පදින එක ටොයිස් වැඩක්. මිනිහා ගෙවල් ගාවදි බයික් එක කොළඹ පැත්තට හරවලා නැවැත්තුවා. මම බයික් එකෙන් බහින්න හදනකොට රොහාන් අයියා කියනව
ඔහොම ඉන්න සුභාෂ් බඩු කෑල්ල ගෙනත් දෙයි. කියල. එතකොටම එයාගේ නංගි දුවගෙන ආවා එගොල්ලන්ගෙ ගෙදර හදන පොමනේරියන් බල්ලත් එක්ක. ගේට්ටුවෙන එලියටම ඇවිත් නතර වුනෙ අපි දෙන්න ලඟ.
ඔන්න ඔයාව උස්සල මෙයාට දෙන්න
මොනව මේ බලු තඩියා මම කොහොමද ගන්නේ. මට බල්ලො පොඩ්ඩක් වත් හුරු නෑ. අපේ ගෙදර බල්ලො හදන එකක් යැයි. අපේ ගෙදර බල්ලො හදන්න බෑ කියලයි තාත්ත කියන්නේ. එයා සුනියම් දේවතාවන්ට පහනක් තියන නිසා අපේ වත්තෙ බල්ලන්ට ඉන්න බෑලු. ඒකටනම් මමත් කැමතියි. මට බල්ලොන්ව කොහොමත් දිරවන්නෑ.
මෙයා හොඳ එක්කෙනෙක් සුභාෂ් බය වෙන්න දෙයක් නෑ. වාහන වල යන්න හරි ආසයි.
දැන් නංගි ඇවිත් මගෙ කකුල් දෙක උඩින් පොමියව තිබ්බ. මම ඔලුව පැත්තකට හරව ගත්ත. ඌට කිසිම ගානක් නෑ. දිව එලියට දාගෙන මහ හයියෙන් හති අරින ගමන් වටපිට බලන්න ගත්තා. ඒත් මටනම් තාමත් හරියටම සැටිස් නෑ. මම ඉන්නෙ නිකන් අඩමානෙට වගෙ. දැන් ඔන්න රොහාන් අයියා බයික් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට යනවා. මේකනම් මාර ලැජ්ජාවක් කවුරු හරි දැක්කොත් මම හිතා ගත්තා. ඒත් භාර ගත්ත වැඩේනේ. කොහොම හරි කරන්න ඕනේ. මම ටිකක් අලුත්ගම පහු වෙනකම් බලු තඩියාව අල්ලගෙන බිම බලාගෙන ගියා. බලාගෙන යනකොට මේක හිතපු තරම් කරදර වැඩක් නොවෙයි. උගේ ඉස්සරහ කකුල් දෙක මගෙ වම් කලව උඩ. පස්සේ කකුල් දෙක දකුණු කලවා උඩ. ඌ ලස්සනට වටපිට බල බල යනව. මග්ගොන හරියේදි අපිව ඉස්සර කරල ගිය වෑන් එකක් හිටපු කෙල්ලෝ ටිකක් ඔලු එලියට දාගෙන මැරෙන්න හදනවා. හරි ලස්සන බල්ලා කියලා. මුන් බල්ල කියන්නෙ මටද දන්නෙත් නෑ. අනේ මටත් ගිය කලක්. මම මේ බල්ලටත් පල්ලෙහාට වැටුනනේ. මේ බයික් එකේ පිටිපස්සේ කොල්ලෙක් යනවා කියල මුන්ට පෙන්නැති හැටි. අම්ම කිව්ව වගෙ "රටකට ගිය කලක්". කොහොමින් කොහොමින් හරි අපි ආවා පයාගල රේල් ගේට්ටුව ගාවට (ස්ටේෂන් එකේ ගහල තියෙන්න පයියාගල කියලා) රොහාන් අයියා බයිසිකලය නැවැත්තුවා. දැන් මේකා දඟලනවා.
රොහාන් අයියේ මෙන්න මූ පනින්න හදනවා.
බොබී ඩොන්ට් මූව්.
හපොයි දෙයියනේ මූට ඉංග්‍රීසිත් පුලුවන්ද? මම දැන් නම් කොහොමත් මූට වඩා පහල ඉන්නේ. මූට විජේනායක මිස් ඉංග්‍රීසි උගන්න්නනැති. එයා ඉතින් මටත් ඉංග්‍රීසි ඉගැන්නුවානෙ. කොහොම හරි මූත් රොහාන් අයිය කියපු එක තේරුණා වගේ දඟලන්නැතුව හිටියා. ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා. කොච්චිය ගියාද කියලවත් මට නිනව්වක් නෑ. ඒ පාර මගේ කැප් එක වැටුන හුලඟට. අපි
ආයෙත් බයිසිකලය නැවැත්වුවා. දැන් කොහොමද කැප් එක ගන්නේ. එහෙම හිතනකොටම සත් ගුණවත් මහත්මයෙක් කැප් එක අහුලාගෙන ඇවිත් මට ගෙනත් දුන්නා. මම මේ පාර කැප් එක ටිකක් තද වෙන්න දා ගත්තා. දැන්
ආයෙත් අපි ඉස්සරහට යනවා. මම
ආයෙත් බිම බලාගෙන යන්න පටන් ගත්තා. බොබිය ෆුල් ආතල් එකේ වට-පිට බල බලා යනවා. මූට නම් මොකද මගේ කකුල් දෙක තමයි හිරි වැටිල තියෙන්න. හැබැයි මුගේ කකුලෙ අඩියේ කොට්ට වගෙ තියෙන හින්දා ඒ තරමටම රිදෙන්නෑ.අපේ ඉස්කෝලේ හරිය පහු වුනා. වෙනදානම් කලුතර බෝධිය ගාවින් යද්දී නැගිටලා වැඳගෙන තමයි යන්නේ. ඒත් මේ සුනඛ පෝතකයා හින්දා ඒ ටිකත් කරන්න නැහැ. මට මතක් වෙන්නේ අලුත් පාලම හදන්න කලින් තිබ්බ කලුපාට යකඩ පාලම. ඒකේ මිනිසුන්ට පයින් යන්න අඩි දෙකක විතර කෑල්ලක් තිබ්බ. මම හරි බයෙන් තමයි ඒ ටික යන්නේ. පස්සෙ පස්සේ පුරුදු උනහම ගානක් නැති වුනා. ඉස්සර මම කෝච්චියෙන් කලුතරට ඇවිත් පයින් තමයි කලුතර උතුරේ තියෙන කුමාරසිංහ සර්ගේ විද්‍යා ක්ලාස් එකට යන්නෙ. ස්ටෙෂන් එකෙන් බැහැලා ග්‍රවුන්ඩ් එක මැද්දෙන් තමයි බොහෝ දෙනා වගේ මමත් යන්න පුරුදු වෙලා හිටියේ. සෙනසුරාදා උදේ මැච් ගහන අයියල ප්‍රැක්ටිස් කරන දිහාත් මම පොඩ්ඩක් බලාගෙන ඉන්න අමතක කරන්නේ නෑ. මගේ ජීවිතයට අමතක නොවෙන අත්දැකීමකුත් තියෙනව. එදා එස්.එස්.සී එක්ක කලුතර ටවුන් ක්ලබ් එකේ මැච් එක දවස. අර්ජුන අයියත් ඇවිත් හිටියා. නිල් පාට බොටම් එකකුයි සුදු ටී ෂර්ට් එකකුයි ඇඳලා. සෙරෙප්පු දාලා ග්‍රවුන්ඩ් එක අයිනේ ප්‍රැක්ටිස්. මමත් එතනට ගිහින් අයියා කෙනෙක්ගෙන් ඉල්ලගෙන බෝල දහයක් විතර අර්ජුන අයියට යැව්වා.
සුභාෂ් බහින්න. බොබියව මේ අයියට දෙන්න.
අම්මේ ඇති යාන්තම් වාද්දුවට ඇවිත්. පාළම ගැනයි. ක්‍රිකට් ගැනයි හිතනකොට වෙලාව ගිය දැනුනෙත් නෑ. බල්ලගෙ බර දැනුනෙත් නෑ. බල්ල දීපු ගෙදරින් තේ බීලා අපි ඉක්මනට ආවා. එනකම්ම මම කල්පනා කර-කර ආවේ මිනිස්සුන්ව බල්ලෙක් තරම් වත් ගනන් ගන්නති රටකනේ අපි ඉන්නේ කියලා. නැත්නම් එනකොට කිසි කෙනෙක් මම දිහ බැලුවද "හරි ෂෝක් කොල්ල " කියල.
රටකට ගිය කලක්
මම ගෙදර ගාවින් බැහල රොහාන් අයියට යන්නම් කියල ආවා. රොහාන් අයිය ගියා. අම්ම ඇහුව කොහොමද ගිය වැඩේ කියල.
අයියෝ ඒක සුලු දෙයක් කියල මම දුවල ගිහින් නා ගත්ත.
//නැත්නම් එනකොට කිසි කෙනෙක් මම දිහ බැලුවද "හරි ෂෝක් කොල්ල " කියල//
ReplyDeleteහි..හි...
මේක මම මුලින්ම ලිව්වේ ෆෝ බයි ෆෝ කියන පුංචි පත්තරේට.
ReplyDeleteමෙතනින් එක බලන්න.
http://awidda-paya.blogspot.com/2012/02/blog-post_17.html
ඒ කෙල්ලෝ කපටි බලල ගිහා බලනවා කියලා උඹ දිහා බලන්න ඇත්තේ. කවුද දන්නේ වපර කෙල්ලෝ ද කියල.
ReplyDeleteKeep it up
ReplyDeleteමට නම් පේන්නෙ සුදීක බල්ලගෙ පිහිටෙන් කෙල්ලො වශි කරගන්න ගහපු ගැටේ වැරදිච්ච එකේ හිතේ අමාරුවට ලියපු එකක්
ReplyDeleteඒ වෙලාවේ මට පොලොව පලාගෙන යන්න හිතුණා.
Deleteමේ කතාව නියමයිනෙ , සුදීක. කමෙන්ට් හොඳටම මදි.
ReplyDeleteමම මේ කල්පනා කලේ , කොහොමද මේකට පබ්ලිසිටි දෙන්නෙ කියලා?