Thursday, January 10, 2013

වැන්දබෝනා අංකල්ගේ මැජික් අරිෂ්ඨේ


පින්තූරය ගත්තේ : saasthara.com
මේ කතාවට මග පෑදුන විදිය කිව්වොත් පුදුමත් හිතෙයි. මම ක්‍රිකට් පිස්සා කියලා ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අලුත් වාරයට අපි මිලදී ගත්තු අලුත්ම බැට් දෙක නිතරම එලියට අරන් බලන එක තමයි මගේ වැඩේ. මේ බැට් දෙකෙන් එකක් හරියටම මහේලගේ ජාතියේ එකක්. මම ඒක පෙන්වලා ඔෆිස් එකේ අනිත් අයට කිව්වා.

මහේලයි සංගායි ක්‍රිකට් වලින් අයින් වෙන්න යනවා නේද ? කියා කෙනෙක් ඇහුවා.

 ඔව් ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වෙයි. ඒත් වන්ඩේයි, ටුවෙන්ටි20 යි ගහයි දිගටම. 

ඔව් ඉතිං ඒවටනේ හොඳට සල්ලි හම්බ වෙන්නේ.

උන් දෙන්නගේ ඉන්වෙස්ට්මන්ට් එක බලන්නකෝ. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් එකේ රෑට ඉන්න සෙනග. සල්ලි ගලනවා. දවසක් මම බලාගෙන හිටියා, ජපන්, චීන, මැලේ, ඉන්දුනීසියන්, ඒ මදිවට සුද්දොත් පිරිලා. ලබන පාර අයි. පී. එල්. එකටත් සයින් කරලා ඇති. 

අනේ මටනම් අල්ලන්නෑ ඔය පන පිටින් කකුළුවෝ තියාගෙන මරණ එක. 

මම හිතන්නෑ ලංකාවේ ඒ වගේ තියෙනවා කියල. මම හික්කඩුවේ නම් දැකල තියෙනවා. ඕවට ගේනවා ඇත්තේ මීගමුවේ එවුන් වෙන්නැති.

කොහොමද මචං මුහුදු ගිහින් කකුලුවේ අල්ලන්නේ? එහෙම ඇහුවේ කුරුණෑගල පැත්තේ එකෙක් වෙච්ච් මිගාර. මිගාර බැංකුවේ නොවුනත්. මේ වගේ කතාවකට එක් වෙනවා.

මචං මුහුදේ කකුළුවෝ හිටියොත් රළ පාරට උන්ව ගල් වල හැපිලා කම්බස් වෙයි. මේ කලපු කකුළුවෝ. මුහුදේ ඉන්නවා රැල කක්කුට්ටෝ කියල ජාතියක් පුදුම රහක් තියෙන්නේ. 

උඹ කියන්නේ අර වෙල් වල නියරවල් අයිනේ ඉන්න එවුන්ද ? මිගාරට මම කියපු කතාව තේරුනේ නැති තරම්.

නෑ මචං ඔය ගඟවල් අයිනේ වෙලවල් අයිනේ ඉන්න එවුන්ට කියන්නේ ගූ-කකුළුවෝ කියල. මම දෑහින් දැකල තියෙනවා උන් ගූ කනවා.



මුහුදුබඩ ගඟක් අයිනේ ගම්මානෙක හැදිච්ච වැඩිච්ච එකෙක් වුන මම මේ වර්ග ගණනකම කකුළුවෝ ගැන හොඳ දැනුමක් තිබුණා.

රැල කක්කුට්ටෝ කියන්නේ මචං පුදුමාකාර රසක් තියෙන පුංචි කකුළුවෝ ජාතියක්. වැල්ලේ වලවල් හාරාගෙන ඉන්නේ. වතුර ඇවිත් යද්දී උන් එලියට ඇවිත් ටිකක් එහාට මෙහාට දුවන්නේ හරියට රැල්ල ඇවිත් උන්ගේ දේපල ඔක්කොම අරන් ගියා වගේ. ඒත් තප්පර ගානක්දී ආපහු ගුලට රිංගා ගන්නවා. 



මේ රැල කකුළු කතාව කිව්වහම මට මතක් වුනේ මීට දශක කීපෙකට කලින් අපිට මුහුණ දෙන්න වෙච්ච හරි අපූරු කතන්දරයක්. මේ කාලේ වෙනකොට අපේ අම්මට හොඳටම හතිය හැදිලා තිබුනේ. ඒක නම් පුදුම අසනීපයක්. බලාගෙන ඉඳිද්දී වැඩි වෙනවා. මුල් කාලේ මම හිතුවේ අම්ම මානසිකව මේක වැඩි කර ගන්නවා කියල. ඒත් පස්සේ පස්සේ තමයි මේ රෝගයේ තත්වය තේරුනේ. මේකට අපි නොකළ ප්‍රතිකාරයක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ රෝගය මැඩ පවත්වන ක්‍රමයක් මිසක් නිට්ටාවටම සුව කරන ක්‍රමයක් නෑ. මේ කාලෙදී රෑට මෙහෙම ලෙඩ වුනාම වාහන හොයන්න ගිහිං අපි පුදුම කරදර වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අඳුරු යුගයේදී. පාරවල් හඳ එළියෙන් හොයාගෙන තමයි තාත්තයි මායි බයිසිකලයෙන් කුලී රථයක් හොයාගෙන ගියේ. ඒ ගෙවල් වල අයත් ඒ යුගයේදී පණ බයෙන් නිදා ගත්ත නිසා, අපේ අම්ම අද ජීවතුන් අතර ඉන්නේ පූරුවේ කල පිං මහිමෙන් කියල තමයි හිතන්න වෙන්නේ.

මේ කාලයේදී අපේ නිවසට ළඟ නැති වුනත්, පන්සල කන්දේ දකුණු මායිමේ ජීවත් වෙච්ච වැන්දබෝනා පවුල් සමූහයේ එක් පවුලක අය නිතරම අපේ නිවසට ආවා ගියා. අපේ අක්කගේ පන්තියේ මිතුරෙකු වූ  කුවින්ටස් සහ ඔහුගේ පියා තමයි මේ විදියට අපේ නිවසට ආව ගිය වැන්දබෝනාවරු දෙන්නා. එයාලගේ තවත් සහෝදරයෙක් හිටියා. මිනිහා මේ විශාල ඉඩම් හිමි වැන්දබෝනාවරු වගේ නෙවෙයි. ඉතාම දුප්පත්. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අපේ ගමේ කෙරීගෙන ගිය ඔරු පැදීමේ සේවාව සපයලා එදා වේල හොයා ගත්තා, කාටවත් කරදරයක් නැති අහිංසක පුද්ගලයෙක්. කිසිදිනක කමිසයක් අඳිනවා මා දැක නැති අතර කළු පාට දැල් බැනියම ඔහුගේ උඩුකය වසන එකම ඇඳුම විය. දවසක් මට මතකයි අපේ වත්තේ වල් ඌරු මීයෝ ඉන්නවා කියල අල්ලන කොන්ත්‍රාත් එක ඒ අහිංසක වැන්දබෝනා අන්කල්ට තාත්තා භාර දුන්නා. එයා උගුල් අටවලා වල ඌරු මීයන්ව මරාගෙන කන කෙනෙක්. නමුත් අපේ ගෙදර යටින් ගේ ඇතුලටම හාරාගෙන ආපු වල් ඌරු මීයා අල්ලන්න එයාට පුළුවන් වුනේ නෑ. මිනිහා සතුන් මරාගෙන කෑවාට දරුණු පුද්ගලයෙක් නොවේ. 


මේ අහිංසක වැන්දබෝනා අන්කල්ගේ සහෝදරවරු දෙදෙනාගෙන් කෙනෙක් තමයි අපේ කතානායක් වැන්දබෝනා අන්කල්. සමහරවිට තිදෙනාට වඩා අය මේ පවුලේ ඇති. ඒත් මා දන්නේ මේ දෙදෙනා පමණයි. නමුත් බෙම්තොට රුහුණු දොරටුව කතෘ තොම්සන් වැන්දබෝනා මහතාද ඔවුන්ගේ පවුල් ගසේ පුරුකක් බව තාත්තා කියනු අසා ඇත. ඒ කතා කෙසේ වෙතත්  පපුවේ මහන්සිය නිට්ටාවට සුව කල හැකි මැජික් අරිෂ්ඨය හැදු හැටි අපූර්ව කතාවක්. අපේ අම්මාගේ හතිය ගැන නොදත් කෙනෙක් ඒ කාලේ අපේ ගමේ හිටියේ නෑ. වෘත්තියෙන් පාසල් ගුරුවරියක වූ ඇයට මෙය රටහුණු භාවිතයේ අතුරුපලයක් ලෙස හැදෙන්නට ඇතැයි බොහෝ දෙනා මත පල කළා. මේ ගැන බොහෝ දෙනා කතා වුනා. සමහරු කිව්වේ කොටියාගේ බෙල්ලේ මස් කෑවොත් මෙය සනීප කර ගත හැකි බවයි. සංචාරකයන් එහා මෙහා ගෙන යන අපේ අසල්වැසියෙකු වූ රෝහණ අයියා පැවසුවේ ආණමඩුව ප්‍රදේශයේ කොටියන් මරණ අතර ඔහුට ලැබුනොත් ඔහු කොටි බෙල්ලක් රැගෙන එන බවය. තවත් අයෙක් පැවසුයේ කිඹුල් මස් මේ හතියට අගනා ඖෂධයක් බවයි. එක් දිනක් රෝහණ අයියා පිසින ලද කිඹුල් මස් ගෙන ආවේය. අපද එහි රස බැලීමු. මගේ මව මස් හොදි පමණක් ආහාරයට ගත්තේ මේ රෝගයෙන් කෙසේ හෝ ගැලවීමේ අදිටනිනි. එහෙත් ඇයට සුවපත් වීම කෙසේ වෙතත් අප නම් රස කර කර කිඹුල් මස් රස වින්දෙමු. එය හරියටම වැව් මාළු හොද්දක රස සිහි ගැන්වීය. 

මගේ පියාගේ විනෝදාංශය වුවේ අකුරු කියවන්නට නොහැකි අයට පත්තරය කියවීමයි. එහෙත් ඔහු කියවුයේ ඔහුගේ දේශපාලාන අභිරුචිය සහිත පත්තර බැවින් අප නිවසට පැමිණි බොහෝ දෙනා ඔහුගේ දේශපාලන සගයන්ය. අහම්බෙන් මගේ පියා සමග වාද කර රසයක් ලැබූ අයද විරල නොවුනි. මෙසේ වාද කරන දෙස බලා රස විඳි තවත් කොටසක් විය. වැන්දබෝනා අන්කල්ද මගේ පියාගේ දේශපාලන රසයට විරුද්ධ මත දැරූ අයෙක් වුවත් මගේ පියා සමග වැඩි වාදයකට නොආවේ ඇයිදැයි අදටත් මට නොතේරේ. ඔහු කට ඇද කරගෙන මගේ පියා කියන දෙයක් අසා සිටියි. පෙන්ෂන් ගිය පොලිස් නිලධාරියෙකුගේ මුහුණකට සමාන මුහුණක් ඔහුට විය. සම්පූර්ණයෙන් නැතත් වැඩිහරියක් ඉදුණු බුරුසු උඩු රැවුලක් සහිත ඔහු නියම රාලහාමි කෙනෙකුගේ පෙනුම ඇත්තෙකු විය. අඩි හයකට ආසන්න උසක් සහිත ඔහු බර කටහඬකාටද උරුම කම් කීවෙකි. නමුත් නිතරම විහිලු තහළුවෙන් පසුවන මෙවැනි අය ගැන මා ඉතා පැහැදීමෙන් සිටියේ එකල සිටි බොහෝ වැඩිහිටියන් මගේ පියාවත් නැති ලෙස අප මට්ටුකරන බලතල අතට ගෙන මග තොටදී අපට තරවටු කල බැවිනි. 

දිනක් අප නිවසට පැමිණි බොහෝ අය අතර ඔහුද විය. දැන් ඉස්කෝලේ හාමිනේට කොහොමදැයි වැන්දබෝනා අන්කල් අසා සිටි විට මගේ මව පැවසුවේ

"මේවා ඉතින් නිට්ටාවට හොද වෙන රෝග නෙවේනේ" යන්නයි. 

"ඕකට මම දන්නා හොඳ බෙහෙතක් තියෙනවා. මේක පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක්"

"අනේ වැන්දබෝනා මහත්තයා සිංහල බෙහෙත් වලට ඔය තියෙන ලෙඩ රෝග වැඩි වෙනවා කියන්නේ ඇත්තද ?"

"ඒක ටිකක් එහෙම තමයි ඒත් මේකට බෙහෙත් වඩි තුනයි බොන්න ඕනේ. එකදිගට දවස් තුනක් උදේ මේ අරිශ්ටේ බොන එකයි ඉස්කෝල හාමිනේට තියෙන්නේ"

"හරි එතකොට ඕක හදන්න මොනවද ඕන වෙන්නේ?"

"මෙහෙමයි මේක හදන්න තියෙන කොළ, අතු, මුල් ජාති ටිකනම් අපේ වත්තෙත් තියෙනවා. ඒත් පරහකට තියෙන්නේ මේක හදන්න පණ පිටින් රැල කකුලුවේ හත් දෙනෙක් ඕන වෙනවා."

"හපොයි අපි කොහොමද ඔය රැල කකුළුවෝ හොයන්නේ?"

මේ වෙලාවේ මෙයට ඇහුම් කන් දීගෙන හිටි අපේ නැන්දාගේ පුතෙකු වන රංජි අයියා ඉදිරිපත් විය

"හා නැන්දේ නැන්දා සත පහකට වත් බය වෙන්න එපා අපි ගෙන්නම්කො රැල කක්කුට්ටෝ ඕන තරම්"

"ඒ කොහමද?"

"හරි නැන්දට ඒක වැඩක් නෑනේ. මමයි පියසිරියි සුනිලුයි ගිහින් අල්ලන්ක් එන්නම්"

මෙවිට ඉදිරිපත් වූ වැන්දබෝනා අංකල්

"හරි මෙහෙ ගෙන්න ඕනේ නෑ. මෙහෙ ගෙන්න ගිහින් එකෙක් හරි මැරුනොත් වැඩේ කෙරෙන්නෑ. කෙලින්ම අපේ ගෙදර ගෙන්නකෝ. හැබැයි පිටිපස්සෙන් එන්න. හරිද ?"

"හරි හරි අද රෑට හඳ තියෙන නිසා පැයක් යත්දී පනහක් හැටක් වුනත් ගෙන්න පුළුවන්"

"හොඳයි එහෙනම් කෙලින්ම අපේ ගෙදර එන්න. රෑ නමයහමාර වෙන්න කලින්"

"හරි හරි"

අපේ අම්මාත් මමත් කටවල් අරගෙන මේ සංවාදය ලෙස බලා උන්නෙමු. අම්මට දවස් තුනකින් සනීප වෙනවා නම් මොකද? මමත් ඉපිලී ගිය උද්දාමයෙන් සිටියේ අද රෑට වැල්ලේ යන්න මටත් එකතු වන්නට හැකිය යන සතුටිනි. ඒ පහුවදා සෙනසුරාද දවසක් නිසාය. රැළ කක්කුට්ටන් ඇල්ලීම පහසු ක්‍රියාවක් නොවන බවත්. එයට හොඳින් හඳ පායා තිබිය යුතු බවත් මා හා පැවසුයේ සුනිල් අයියය. දවසක් මොවුන් වැල්ලේ ගොසින් ගෙන ආ කැස්බෑ බිත්තර වල රස තවමත් මගේ මුවග ඇති සේය. 

"හවසට මාවත් එක්කන් යනවා නේද ?" මා අසා සිටි විට අයියාලා තුන් දෙනා පවසා සිටියේ 

"හෙට යමු" යන්නයි.

මා නිදා නොගෙන එදින රාත්‍රියේ බලා සිටියේ වැල්ලට ගිය අයියාලා තුන්දෙනා හා තාත්තා ගෙදර එන තුරුය. මිදුලට වී අහසේ ඇති හඳ හා තරු දෙස බලා සිටි අක්කාත් මාත් රාත්‍රී නාමය පසු වූ බව මා දැන ගත්තේ එකල හැම නිවසකම සවන් දෙන රාත්‍රී නවයේ ප්‍රවෘත්ති සඳහා වන ආරම්භක නාදයෙනි. එකල වාදනය වූ එම නාද කන්ඩයෙන් කියවෙන්නේ 

"ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න" හෝ "සිරිමාට පුලුවන්ද හත් හවුල පෙරලන්න" බව එකල බොහෝ දෙනාගේ මතය විය. එම යුගයේ ආණ්ඩු මාරුවත් සමග ලංගම බස් රථවල ඇඳ තිබෙන ලංගම ලාංචනයේ පාට වෙනස් කිරීමත් මේ ප්‍රවෘත්ති කණ්ඩයේ හඬ වෙනස් කිරීම සඳහාම චන්දය භාවිතා කල අයද විය. ඒ කලින් පැවති එක ඔවුන්ගේ කණේ යවුල් අනින්නා සේ වූ නිසාය. නැත්නම් බස් වල ඇති බිත්තරයක හැඩය ගත නිල් කවය කොළ කවය බවට පත් කිරීමටය. එකල දේශපාලනය එතරම් ප්‍රතිපත්තිගරුක හා බොළඳ එකක් විය. 

තවත් විනාඩි දහයක් ගත වන්නට මත්තෙන් අයියලා තුන් දෙනා හා තාත්තා ගෙදර ආවේ ජයග්‍රාහී විලාසයෙනි. ඒ අවශ්‍ය කරන පණ ඇති කකුළුවන් හත් දෙනාට හොඳම ප්‍රමාණයේ රැළ කකුළුවන් දහයක්ම වැන්දබෝනා අන්කල්ට භාර දීමෙන් අනතුරුවය. අපේ ගෙවල් දෙකේ ආහාරය සඳහා තවත් කකුළුවන් දහ පහළොවක් මල්ලක දමාගෙනය. 

"බිලී පිත්තෙන්ද මුන් ඇල්ලුවේ ?" ඔවුන්ගෙන් එකෙකු අත ඇති බිලී පිත්ත දැක මම අසා සිටියෙමි.

"මෝඩයා, බිලී පිටතට ඇම ගහල මුන් ඇල්ලුවා නම් එලි වෙනකම් ඉන්න වෙන්නේ වැල්ලේ තමයි. රැල්ල ගහල යනකොට මුන් එලියට ඇවිත් ඇවිදිනවා පිස්සෝ වගේ. එවෙලාවට බිලී පිත්තෙන් මුන්ව ගොඩ පැත්තට ගහන්න ඕනේ. ඊට පස්සේ මුන් අතරමං වෙනවා. එතකොට අතින් අරන් මල්ලට දාගන්න ඕනේ. එච්චර අමාරු නෑ. හැබැයි හොඳට හඳ එලිය තියෙන්න ඕනේ"

"දැන් මේ ටිකට මොකද කරන්නේ ?"

"ඔය ටික අපි වියලා කමු" (අපේ ගමේ අය උයනවාට කියන්නේ වියනවා කියා බව කරුණාවෙන් සලකන්න)

"මේ දැන් ? අම්මත් නිදි."

"දැන් නෙවේ හෙට උදේ"

මම තාත්තා පසුපසින් කුස්සියට ගියෙමි. ගෙනා කකුළුවන් වතුර බාල්දියකින්ම සෝදාගත් තාත්තා වලඳකට උන් දමා ලුණු සහ ගොරකා කැබලි කිහිපයක් දමා ලිප උද තැබීය. 

උදේ මිරිස් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා කකුළු හොද්ද උයන විට එහි සුවඳ දිගේ අපද කුස්සියට ඇදුනේ නිරායාසයෙනි. ගුණසේන මුදලාලිගේ බේකරියෙන් ගෙන ආ පාන් රාත්තල් තුන කපා වට්ටියට දමන තෙක්වත් ඉවසන්නට මටත් මල්ලිටත් ඉස්පාසුවක් නැති වුයේ කකුළුවන් රස බලන කෑදර කම නිසාය. ඇත්තටම එහෙම  හොද්දක් මා ඊට පෙර රස බලා නොතිබූ බව මට හොඳටම මතකය. කකුළුවන් වුවද රැළ කකුළුවන්ගේ විශේෂය ඔවුන්ගේ කටු අනෙක් කකුළුවන්ගේ මෙන් හයිය නොවී තිබීමයි. ඒවා හරියට රම්පෙ මෙන් විය. අපි රස කර කර පාන් ටිකට වග කීවෙමු.

"මෙහෙම රස හොද්දක් තියෙනවනම්, පාන් බෙකරියකට වුවත් වග කියන්න පුළුවන්" මට කියවුනේ ඉබේමය. අම්මාගේ රවා බැලීමත් සමග ඉන් එහාට කට හොලවන්නට නොගොස් නිහඬ වීමි.

දවස් තුනක් කකුළු හොදිත් සමග පාන් කන්නට වරම් ලැබුනේ වැන්දබෝනා අන්කල්ට පින් සිද්ද වෙන්නය. ඔහු දිනපතා නිපදවන අරිෂ්ඨය ජෑම් බෝතලයක පුරවා නිවසට රැගෙන ආවේ සුනිල් අයියය. ඔහු අපේ නැන්දාගේ බාලාම පුතාය. අපට කිට්ටු වයසක වූ සුනිල් අයියා අපගේ මිතුරකු මෙන් විය. දවස් තුනක් අවසානයේ බෙහෙතේ ගුණ අම්මාට ලැබී ඇතිදැයි දැන ගැනීමේ කුකුසකින් අප පෙළෙන්නට වුයේ තවත් වතාවක් අරිෂ්ඨේ හදනාවනම් හොඳයි යන්න කියා කියාය. ඒත් ඉන්පසු අපේ වෙද මහත්තයා අපේ ගෙවල් පැත්තේ ටික දවසකට ආවේ නැත. මවටද ඒ හැටි ගුණයක් වුවේ නැත. සුපුරුදු හතිය ඇයට ඇති විනි. 

පසුව දැන ගන්නට ලැබුනේ එම නිවසේ ග්‍රහණිය නමැති රෝග තත්වයෙන් පසුවන කුවින්ටස්ගේ අයියා කෙනෙකුගේ ළමයකු වූ බවය. එවැනි රෝගී තත්වයකට කකුළුවන් වැනි අධි ප්‍රෝටීන ආහාර ලබා දීමෙන් සහනයක් ලැබෙන බවය. වැන්දබෝනා අන්කල් කකුළුවන් ලබා ගැනීමට ඇපයට තබා තිබුනේ මගේ මවගේ රෝගී තත්වයයි. ඔහු ලබා දුන් බෙහෙත් වලින් අම්මට අතුරු අබාධයක් නොවීම සහනයකි. 

59 comments:

  1. වැන්දබෝන මාර බුවෙක්නෙ.ඔය රැළ කකුළුවා කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා එකෙක් නේද?රැල්ල බැසගෙන යද්දී වැල්ලේ වතුර බුබුළු දාන තැන්වලට අත්දෙකෙන් යටට හාරල උඩට ගත්තම සුදුපාට කුරුමිණියො වගේ කුඩා සත්තු වගයක් ඉන්නව.එවුන්ව තම්බල ලුණු සම්බලයක් විදියට නම් කාල තියෙනව.

    ReplyDelete
  2. මාර වැන්දබෝනෙක් තමා...තව කෙනෙක්ගෙ ලෙඩක් එක්ක එහෙම සෙල්ලම් කරන එක හරි වැරදියිනෙ.. බැරිවෙලාවත් අම්මගෙ රෝගය කකුළුවො හින්දා උත්සන්න වුනානම් !

    කකුළුවොනම් රස කෑමක් තමා.. රැල කකුළුවො ගැනනම් මම මීට කලින් අහලා නෑ..

    ReplyDelete
    Replies
    1. රැළ කකුළුවෝ හරිම රසයි. කටු නෑ. තියෙන කටුව මෙලෙකයි. විකලා කන්න පුළුවන්.

      Delete
  3. හතිය තියෙන අයට අධිප්‍රෝටීන් ආහාර ඕරොත්තු දෙන්නේ නැහැ කියල මතයක් තියෙනව.

    මරු මිනිස්සුනෙ ගෙදරට ගිහින් සද්දයක් දාන්න වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. හතිය කියන්නෙත් අසාත්මික තාවයක් මම දන්නා විදියට. ඉතිං අධි ප්‍රෝටීන ගත්තමත් වෙන්නේ අසාත්මික තා ඇති වීම.

      Delete
  4. බළල්ලු ලව්වා කකුළුවෝ බානවා කියනේ ඕකටද මන්ද ? :)

    ReplyDelete
    Replies
    1. අන්න නියම කියමන මලයා... :D

      Delete
    2. එතකොට අපි බළල්ලු ...D

      Delete
  5. මේ වගේ පදනමක් නැති මත නිසා කොච්චර අහිංසක සත්තු මරන් කනවද ? ගේ කුරුල්ල මරං කන්නෙ ඌට වගේ පුරුෂ ශක්තිය ලබාගන්න.. මම දැකල තියෙනවා පත්තරේ දැන්වීම් "වාජීකරන ගේ කුරුලු බල දහයක් සහිත ඖශධ කියල දැන්වීම්.. අයියෝ..

    ReplyDelete
    Replies
    1. මමත් කියවලා තියනවා කෙටි කතාවක්, මිනිහා පුරුශ ශක්තිය ලබන්න මුහුදු බෙල්ලො කන අවු අස්සෙ ගෑණි වෙන මිනිහෙක් එක්ක වෙන කෑමක් කන කතාවක්...

      Delete
    2. @සරත් : කාටහරි හැම දේටම ඔරොත්තු දෙන හමක් අවශ්‍ය නම් කබරුන්ට දෙවි පිහිට වෙන්න තිබුණා.

      Delete
  6. අම්මට දැන් හොදයිද

    ReplyDelete
    Replies
    1. ඒ ලෙඩේ හොඳ වෙන එකක් නෙවෙයි.

      Delete
  7. මාර පොරක්නෙ වැන්දබෝනා.

    ඉතිං ඊටපස්සෙ කකුලුවො එක්ක පාං බේකරියක් කෑවයි.

    ReplyDelete
    Replies
    1. පාස්සේ මිනිහගේ බලලා මල්ලෙන් එලියට පැන්න.

      Delete
  8. මං ඔය ජාතියේ එවුන් නම් කාලා නෑ.... අපි සාමාන්‍යයෙන් කන එවුන්ගේ ඔය කටු පොඩි කර කර ඒවා අස්සේ මස් හොය හොය කන වැඩේ අල්ලන්නෙ නෑ. කනවයැ, දුක් විඳිනවනෙ. ඔය රැල එකා හපලා කන්න පුළුවන් නම් අවුලක් නෑ ඔන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් මු එච්චර හයිය එකෙක් නෙවෙයි. අනික මාසේ සාරය හොද්දට ඇවිත් නිසා හොදි රසයි. කටු කන්න අවශ්‍යම නෑ.

      Delete
  9. මගේ කමෙන්ට් එකට මොනවා උනාද....?? ඉහි ඉහි

    ReplyDelete
    Replies
    1. ඔයාම ඩිලීට් කරපු කමෙන්ට් එකක් මම වැඩි හොඳට රිමූව් කළා එතකොට දෙකම ගිහිං. මගේ මේල් එකෙන් කෝපි කර ගත්තා කමෙන්ට් එක මෙන්න මෙහෙම තිබුණේ.

      //හිරු has left a new comment on your post "වැන්දබෝනා අංකල්ගේ මැජික් අරිෂ්ඨේ":

      කකුළු සිද්ධියක් මං හම්බුවෙන්න හිටපු කාලේ උනා කියලා අපේ අම්මා කියලා තියෙනවා... තාත්තා ගෙනාවලු ලොකු කකුළුවක්.. අඬු එහෙම බැඳලලු ගෙනාවේ... අම්මා උයන්න හැදුවලු.. ඊට පස්සේ ටික මට මතක නෑ... හි හි.. ( කොහොම හරි එදා කකුළුවො උයලත් නෑ.. මං කවදාවත් කකුළුවෝ කාලත් නෑ..)


      අර මනුස්සයාගේ ළමයට වත් ලෙඩේ හොඳ උනාද....?
      //

      හොඳ වෙලාවට කෑවේ නැත්තේ. කෑවා නම් මෙයා පැත්තට තමයි ඇවිදින්නේ.

      Delete
  10. රැළ කකුලුවො ඒ පැත්තෙ මාළු මාකට් වලට එන්නෙ නැද්ද අළෙවියට....මීගමුවේ තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්නම්...අපිටත් පාන් එක්ක කන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. කලපු ප්‍රදේශ වල තියෙන්න පුළුවන් කමක් නෑ. හොඳට වැල්ල තියෙන ප්‍රදේශ වල ඉන්නේ.

      Delete
  11. ඇත්තටම ඔය අසනීපේ තියන අයට ඉස්සෝ, කකුලුවෝ වගේ ඌෂ්ණ කෑම නරකයි කියලා අහලා තියනවා. ඔහොම ගියා ඇතිනේද?

    ReplyDelete
    Replies
    1. අහලද ? ඉගෙනගෙනද ? ඔව් ඔව්.

      Delete
  12. වැන්දබෝනා කියන්නේ ජිල්-ජෝනා ගේ යාළුවා නේද?

    ReplyDelete
    Replies
    1. අහා ඔව් ඔව් මේගොල්ලන්ගේ ගෙවල් තිබුනෙත් හන්දිය ගෙදර ගාව තමයි.

      Delete
    2. සමන් අතාවුද හෙට්ටි තමා වැන්දබෝනා...

      Delete
    3. ජිල්ජෝනා සහ වැන්දබෝනා (කමල් දේශප්‍රිය - සමන් අතාවුදහෙට්ටි) "ලන්දේසි දූපතේ" චරික දෙකක් නේද...?

      Delete
    4. ලන්දේසි දුපතද ? හන්දියේ ගෙදරද ?

      Delete
  13. අම්මට සිරි! මම හැකරැල්ලො කනවද කියල අහපු එකා නොකන දෙයක් නෑ, කකුළුවො, කිඹුල් මස්, කැස්බෑ බිත්තර,...... ඇත්තටම උඹ නොකන්නෙ මොනවද?

    ReplyDelete
    Replies
    1. මම දැනට කාල තියෙන මස් වර්ග ටික ඔය උඩ කියපු ටික ඇරෙන්න හරකා,එළුවා,කුකුලා,උරා,වල් උරා,ගෝනා,මුවා,මී හරකා,කැලා හරකා. ඔය එකෙක්වත් මම මැරුවේ නෑ. මරන්න උදව් කලෙත් නෑ. මට මරල දෙන්න කියා ඉල්ලුවෙත් නෑ. මට කන්න අවශ්‍ය යයි සිතා කව්රුන් හෝ මරලත් නෑ.

      Delete
  14. සුදීක මේ රළ කකුළුවා කියන්නෙත් පනාටි කියන කැකුළු වර්ගයමද? පනාටි කකුළුවත් තුනී කටු තියන බොහොම රසවත් කෑමක්. මේ පැත්තේ රල කකුළුවා කියන නම ඇහෙන්නෙම නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන විස්තරයෙන් පේන්නේ එකම වර්ගය කියලා. අවසානාවකට මමත් ඔය නම අහපු පලවෙනි වතාව. ඔය කොයි පළාතේද පානාටි කියන්නේ ?

      Delete
    2. පනාටි කියන්නේ මොරටුවේ :)

      Delete
  15. ඔය රැල කකුලුවා කියන්නේ මට්ටින් ට නේද? මං අහල තියෙන්නේ ඒ නමින්.

    ReplyDelete
    Replies
    1. නෑ නලින් මට්ටි කියන්නේ බෙල්ලන් වර්ගයකට. ඔවුන්ගේ සිප්පි කටු වැනි පියන් දෙක ඇරෙන්නේ තැම්බූ පසුවයි. ඉතා කුඩා මස් ප්‍රමාණයක් හා ජලය තමයි මේවා පිරී තිබෙන්නේ. මට්ටි හෝ බෙල්ලන් පිසීමට අමතර ජලය අනවශ්‍යයි. රත් කරද්දේ ඔවුන්ගේ කටුව තුල ඇති ජලය කාන්දු වී බඳුන පිරෙනවා. බෙල්ලන් කියන්නේ පුදුම රස ඒ වගේම උෂ්ණාධික කෑමක්.

      Delete
  16. රැල කකුලුවෝ නම් කාලා නෑ.. අනිත් කකුලුවෝ රස උනාට කන්න ගියහම වදේ නිසා එච්චර මනාපයකුත් නෑ.. රැල කකුලුවෝ හොද්දක් නම් කාලා බලන්න හිතුනා.
    වැන්දබෝනලාගේ හොරවැඩේ දැනගත්තහම මොකද උනේ??

    ReplyDelete
    Replies
    1. අපි ඕවා හාරා අවුස්සන්න ගියේ නෑ. ඒත් වැන්දබෝනා අන්කල්ගේ අපෙත් එක්ක පොඩි ඉරිසියාවක් තිබිලා තියෙනවා.

      Delete
  17. අන්කල් දඹුලු ගිහින් තලගොයි මරලා.

    ReplyDelete
  18. රැළ කකුළුවෝනම් කාලම නෑ. අනිත් කකුළුවෝ කනවයි කියලා හිතාගෙන කෑවත් අන්තිමට කාපු දෙකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. කකුළුවෝ, ඉස්සෝ, කොස් ඇට වගේ සුද්ද කරන කන කෑම තියෙන වෙලාවට බත් ටික ඉතුරු වෙනවා. අර විශේෂ කෑමට වැඩිය හිත යොමු කරලා. ඒ කියන්නේ ඒවා සුද්ද බුද්ද කරලා ගන්නකොට අනිත් කෑම ඉතිරි වෙනවා.

      Delete
  19. මෙහෙත් ඉන්නවා ඔහොම මුහුදු වෙරලෙ දුවන කකුලුවො වෙරළ වහගෙන. හැබැයි උන් නම් තරමක් ලොකුයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මෙහෙ කියන්නේ කොහේද?

      Delete
    2. එහෙම වැල්ල වහගෙන කළු පාටට හුරු කොලපාටට ඉන්නෙ ගූ කකුළුවො

      Delete
  20. වැල්ල දිගේ බකට් එකක් අරගෙන අනිත් අතින් පොල් හනස්සක් අරගෙන යද්දි එකෙක් රැල්ල කැඩෙන තැනට ටෝච් එක ගහද්දි ඔන්න මතුවෙන කකුළුවො ඉන්නවා නොසෙල්වී. දෙනවා හනසු පාරක් කකුළුවට. මැරෙනවා දැඩි අලාභ හානි නෑ. ඊට පස්සෙ ඔක්කොම එකතුකරගෙන එනවා සෙල්ලම් කරන පොල් කෑල්ලට. චිකන් තුනපහ පැකට් එකක් දාලා වතුර දාලා ළූණු, අමු මිරිස් ගම්මිරිස් ඇට දාලා හදනවා පත හොද්දක්. ලේනාගෙ බේකරියෙන් පාන් ගෙනැල්ලා සුරු සුරු ගගා කාපු අතීතයට මාව එක්කගෙන ගියාට බොහොම ස්තූතියි සුදික

    ReplyDelete
    Replies
    1. දැන් අකැපයි. මම දැන් සම්පූර්ණ ශාකභක්ෂක..

      Delete
  21. මම මේ කතාවක් ලියමින් ඉන්න ගමන් තමයි සුදීකගෙ කතාව බැලුවේ.මගෙ කතාවෙත් අපි ඉස්සර දවසක වැල්ලෙ ගිහිං පැත්ත පෙරළල කකුළුවො අල්ලපු හැටි තියෙනව,හැබැයි උන්ට කියන්නෙ රැල කකුළුවො කියල අදයි දැනගත්තෙ,උයපුවම හරිම රසයි.බොහොම ස්තූතියි සුදීක.

    ReplyDelete
    Replies
    1. මම මේ විස්තර කලේ පොඩි කාලේ විඳින්න වෙච්ච අමිහිරි අත්දැකීමක්. නැතිව කාටවත් මේ අහිංසක සතුන් මරන් කන්න කරපු පෙළඹවීමක් නොවෙයි.

      Delete
  22. රැළ කකුලුවෝ ගැන මමත් අද ඇහුවමයි.

    හැබැයි වැන්දබෝනා මාමා කරලා තියෙන්නෙ නම් හොදවැඩක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යන් මුහුදුබඩ ආශ්‍රිත අයට මේ ගැන දැනුමක් තිබුණත්, අනෙක් බොහොමයක් යට මේ දැනුම නැති එක සාධාරණයි. මට තාම හිතා ගන්න බැරි එයාගේ අපිත් එක්ක තිබ්බේ තරහක්ද ? නැත්නම් ඉරිසියාවක්ද ? කියලා, ඊට පස්සේ සිදු වුන තවත් සිදු වීමකින්.

      Delete
  23. මේ දවස්වල ඉතින් කෑම බීම කිව්වොත් ඉතින් මතක් වෙන්නේ සුජාත දියණි තමා :D

    ReplyDelete
    Replies
    1. කවුද මල්ලි ඔය දියණිය ?

      Delete
    2. එකෙන්ම ඈ!! :)

      Delete
  24. මොක්කු ගැන කියනවද මන්දා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙන මොක්කු ගැන කියන්නද ?

      Delete
  25. හතිය සෑහෙන තරමකට පාලනය කරන කටින් උරන බෙහෙත් තියනවා නේද,,,ඒවා ලංකාවේ නම් ගෙන්වන තැන් අඩුයි,ඉතා මිල අධිකයි කියලා අහලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. තියෙනවා අම්මත් පාවිච්චි කලේ ඒවා තමයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...