Monday, March 11, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - VII කොටස.



පහුගිය පොස්ට් එකේදී කලින් කොටස් පහට සබැඳියාවන් දාන්න බැරි වුණා. කාලෙකට පස්සේ ලියද්දී කලින් බලපු කෙනෙකුට වුනත් මතකය අලුත් කර ගන්න ඒවා වැදගත්. ඉතිං අලුතෙන් බලන කෙනෙකුට නම් අත්‍යවශ්‍යයි. ඔන්න මේ පාර මම ඒ ලින්ක් ටික දාලම පටන් ගන්නවා. මම නතර කලේ සාරි ටික කාමරයට දාලා ඇඳුම් මාරු කරගෙන ලොබියට ආව තැන. එතනදී මුණ ගැහුණ යේමන් ජාතිකයා හරිම අපූරු පුද්ගලයෙක්. 

මගේ තියෙන ලොකුම වැරද්දක් තමයි මේ වගේ විදේශිකයින් සමග මිත්‍ර සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යන්නේ නැති කම. එහෙම වුණා නම් මේ බ්ලොග් එකෙන් විවිධ රටවල් ගැන ස්වදේශික දැනුම බෙදා ගන්නා තැන වෙන්න තිබුණා. හොඳයි මේ යේමන් ජාතිකයා ඉන්දියාවේ ගත කරන අන්තිම දවස. ඒ මාසයක පමණ දීර්ඝ සංචාරයක් නිමා කරමින්. ඔහු මා සමග පැවසුවා මුළු ඉන්දියාව පුරාම ඔහු ගමන් ගත් බව. එය ඔහුට කෙතරම අපූරු අත්දැකීම් සම්භාරයක් එක් කරන්න ඇතිද? වැරදිලාවත් සුදීක ඒ ගමන ගියා නම් පොස්ට් 31ක්ම ලියවෙනවා. :)

ඔහු මගෙන් විමසු පළමු කාරණය තමයි ලංකාවේ උසම තැන හා එහි උස. ලංකාවේ උසම තැන පිදුරුතලාගල බවත් එහි උස අඩි 20,000 කට වැඩි බවත් මා පවසා සිටියත් ඔහු පවසා සිටියේ 

නැහැ මගේ මිත්‍රයා ඔබට කොහේ හෝ වැරදී තිබෙනවා. ලොව උසම කන්ද හිමාලයත් අඩි 23,000 කට අඩුයි. එයට කිට්ටු කන්දක් වුවා නම් අප එය ගැන දැනගෙන තිබිය යුතුයි.
ඉතිං මම මේක මෙතන සඳහන් කරන්න හේතුව තමයි. ඔබ විදෙස් සංචාරයක් සඳහා යන විට ඔබේ රට ගැන මනා අධ්‍යනයකින් පසු යන්න කියන පණිවුඩය ඔබට දෙන්න. මොකද මෙවැනි හදිසි අවස්ථාවක එය වැදගත් වන නිසා. නමුත් මා පසුව අන්තර්ජාලයෙන් සොයා ගත්තා එය 8281 ක් බව.  අප දෙදෙනාගේ කෙටි සංචාරය (හෝටලයේ සිට ඉනොර්බිට් සාප්පු සංකීර්ණය දක්වා) තුල ඔහු යේමනය පිලිබඳ සාමාන්‍ය දැනීමක් මට ලබා දුන්නා. ගමනාන්තයේදී එහි වියදමෙන් භාගයක් වන රුපියල් 10ක් මා අත තබන්නත් ඔහු අමතක කලේ නෑ. ඔබට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා කඳු සහ වනාන්තර සොයා දකුණු ආසියාවට ආව කියා. නමුත් යේමනයේත් කඳු සහ ආශ්‍රිත වනාන්තර තිබෙනවා. විකිපීඩියා බලන්න.  යේමනයේ උසම කන්ද අඩි 12,028 ක් උසයි. D. 

මා ලංකාවෙන් යන විට එයාර්ටෙල් කාඩ් පතකට රුපියල් 1000 ක් රීලෝඩ් කරගෙන් ගියේ මුළු සංචාරයටම ප්‍රමාණවත් යයි සිතාගෙන. එහෙත් එය ප්‍රමාණවත් වුනේ දවස් 2 කට පමණයි. ඔබ විදෙස් සංචාරයක යන විට ඔබට වැඩිපුරම වියදම් වන දෙයක් තමයි දුරකථන ඇමතුම්. එනිසා ඔබ ලබා ගන්නා ඇමතුම් සීමාසහිත අත්‍යවශ්‍ය ඒවා පමණක් විය යුතුයි. සංචාරකයන්ට ලාභ ඇමතුම් ක්‍රම ලැබෙන්නේ ඉතා කලාතුරකින්. මා ගිය කිසිම රටකදී එය අත් විඳින්න ලැබුණේ නෑ. නමුත් ඔබ එහි ජීවත් වන්නට පටන් ගතහොත් වඩා ලාභ ක්‍රමය සොයා ගන්න පුළුවන්. ඉතිං මා තීරණය කළා දිවා ආහාරයෙන් පසුව කරන පළමු කටයුත්ත සිම් පතක් ලබා ගැනීම බව. 

ඉන්දියාවේ ජංගම දුරකථන සමාගම් 13ක් ක්‍රියාත්මක වනවා. මා අසා තිබු පරිදි හොඳම එක vodafone නිසා එය ඉනොර්බිට් වෙළඳ සංකීරණයේ ලබා ගත හැකිදැයි විමසා සිටියා. නමුත් ඉන් පිටත පයින් යන දුරක ඔවුන්ගේ සමාගමේ කාර්යාලය තිබෙන බව දන ගත්තා. 31 දින මා ලබාගත් දිවා අහාරය ඉන්දියාවේදී මා ලබාගත් රසම ආහාර වෙල බව පැවසිය යුතුයි. එය අපේ ගානටම මිරිස් යොදා තිබෙන ආහාර වේලක්. අවාසනාවකට එය කුමන ප්‍රාන්තයේ ආහාර වෙලක්දැයි මට මතක නෑ. අද බ්ලොග් සටහනක් තබන්න තිබෙන බව දැන සිටියානම් අනිවාර්යෙන් එය සටහන් කර ගන්නවා. එම ආහාර වේලට පපඩ් නමින් ඔවුන් සඳහන් කරන ඇන්කර් කිලෝ එකේ ටින් පියන තරමේ පපඩම් දෙකක් ඊට ඇතුලත්. 

දහවල් දොළහ යනු ඉන්දියාවේ මාර්ග වල ගමන් කිරීමට හොඳම කාලය නොවන බව ඔබට පැහදිලි ඇති. එනිසා පස්වරු තුන පහුවන තුරුවත් හිඳ ඒ ගමන යන්න හිතා ගත්තා. මේ මොහොතේ මා යලිත් මුදල් මාරු කල යුතු බව මතක් වී පළමු මහලට එලිවේටරයෙන් බැස්සා. එහි යද්දී අර යේමන් ජාතිකයා ආහාර ගෙන ආපසු පහලට බසින්න ආවා. ඔහුට ගමරට බලා යන ගුවන් යානය රාත්‍රී 8.00 ට බව පවසා සිටියා. ඔහුගෙන් සමුගෙන සාප්පු සංකීරණයේ එක් කෙළවරකට වන්නට තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයට ගමන් ගත්තා. 

මුදල් මාරු කරන තැනදී ඉන්දියන් තරුණයෙක් මා සමග කතා කළා. මෙවැනි තැන් වලදී මා ඉතා විමසිල්ලෙන් වැඩ කරනවා. මොකද ඔබ මෙතනට එන්නේ මුදල් මාරු කරන්න බව ඕනෑම කෙනෙකු දන්නවා. ඒ වාගේම ඔබගේ පසුම්බිය විවර කර මුදල් ගන්නේ මෙවැනි තැන වලදී. අර ඉන්දීය තරුණයා ඔහුගේ ඩොලර් 100ත් මාරු කර ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා. එවිට මා විමසා සිටියේ ඔහුට එය මාරු කර ගත නොහැකිද යන්නයි. විදේශිකයකුට හැර අන් යට ඩොලර් මාරු කරගත නොහැකි බව මුදල් කවුන්ටරයේ සේවකායාද තහවුරු කළා. මා අසා සිටියේ එම මුදල් නොට්ටුව මා මාරු කර හොර එකක් වුවහොත් කුමක් සිදු වන්නේද යන්නයි. ඔබ වැරදි කරු ඔහු පවසා සිටියේ. තරුණයාගේ මුදල් නෝට්ටුව හරි එකක්දැයි මා ඔහුට් දී පරීක්ෂා කරවා ගත්තා. ඉන්පසු මගේ මුදල් සමග ඔහුගේ ඩොලර් 100 මාරු කර දෙන්නට මා කාරුණික වුණා. ඔහුට එය ඔහුත් සමග වැඩ කල විදේශිකයෙක් ත්‍යාග කල මුදලක්. නමුත් මෙවැනි දේවල් ඉතා අවදානම් බව මතක තබා ගන්න. ඔහු ඒ වෙනුවෙන් යම් මුදලක් මට ලබා දීමට කැමති වුවත් මා එය ලබා ගත්තේ නෑ.

පස්වරු 3.00 වනතුරු කල හැකි දෙයක් නැති නිසා මා එම සාප්පු සංකීර්ණයේ සියළුම තැන වල ගමන් ගත්තා. සමහර සාප්පු තුලටම ගොස් ගණන් විමසා සිටියා. එක තැනක තිබුනා ලෝක කුසලානයේ එක් එක් රටවල් වෙනුවෙන් නිපදවා තිබූ ටයි. ඒවා ඉන්දියන් රුපියල් 1200 ක් පමණ වූවා. අපේ මුදලින් කීයදැයි ඔබට වැටහෙනවා ඇති. vodafone දුරකථන කාර්යාලය සෙනග පිරී ඉතිරී සිටියා. එය බස් ස්ටෑන්ඩ් එක ඉදිරිපස පිහිටා තිබුණා. ටෝකන් එකට අදාළ වාරය ආ පසු මා සුරූපී ගැහැණු ළමයෙකු වෙත යොමු කරා. ඇය ඉතා ප්‍රියමනාප කාන්තාවක්. මගේ අවශ්‍යතාව අසාගත් ඇය ෆෝම් පතක් පුරවන්න දුන්නා. දින කීයකට අවශ්‍ය එකක්ද? මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පිට භාවිතා කරනවාද ? යන ප්‍රශ්න දෙක විමසා සිටියා. දින පහක් තුල මුම්බායි නගරයට අවශ්‍ය බව මා පවසා සිටියා. එයට පාස්පෝට් ප්‍රමානයයේ චායාරුපයක් අවශ්‍ය බවත් එය යාබද සාප්පු සංකීර්ණයේ ෆුජි සාප්පුවෙන් ලබා ගත හැකි බවද පැවසුවා.
පින්තුරය ගත්තේ : www.thetimes.co.uk
ඔවුන්ගේ වෙළඳසැලටද යහමින් සෙනග හිටියා. මා ඡායාරුප දෙකක් ඉල්ලා සිටියත් ඔවුන් රුපියල් 105ක් ලබාගෙන පිටපත් 6ක්ම ලබා දුන්නා. එයත් රැගෙන මා නැවතත් vodafon වෙත දිව ගියා. දියණිය අමතා පැය 24ක් ගත වෙන්නත් ලඟයි. හොඳ වෙලාවට ඇය හා මා අතර කාල පරතරයක් නෑ. තවත් පැය කාලක් පමණ ගත කොට සිම් පත ලබා ගත්තා. ඒ තරමටම දුරකථන සබඳතා සඳහා පොරකන ස්ථානයක්. නමුත් එහි වැඩකටයුතු කෙරෙන ආකාරය ප්‍රශංසනීයයි. මට නියමිත තැන හිමි වුණා. සිම් පත සඳහා රුපියල් 100ක් ඔවුන් අය කළා. රීලෝඩ් එකත් 100 යි. එම සිම් පත මා ළඟ තවම තිබෙනවා. මුලින්ම කල කටයුත්ත දියණිය ඇමතීම. දෙවනුව ටිකට් පත ගැන දැනගන්න. නමුත් ශ්‍රී ලංකාවෙන් ටිකට් පත් නොලැබෙන ලකුණු පහල වුණා. තවමත් සවස පහයි. රාත්‍රී ආහාරය සඳහා නැවතත් මෙහි පැමිණිය යුතුයි. මා තනිවම සිටින නිසා ඉබාගාතයේ ඇවිදිය නොහැකියි. මා තීරණය කළා රාත්‍රී ආහාරයත් මෙහිම රැගෙන පයින් ගමන් කරන්න. 

ඇත්තටම එය මගේ විනෝදාංශයක්. මා ගමන් කරන ඕනෑම රටකදී කිලෝමීටර 2-3 ක් පයින් ඇවිදීම. පොදු ප්‍රවාහනයේ ගමන් ගැනීම. එසේ නොකලොත් ඔබ ඒ රට ගැන ඉගෙන ගන්නේ අඩුවෙන්. නමුත් ඔබ සිටින හෝටලයේ කාඩ් පතක් ළඟ තබා ගන්න අමතක කරන්න එපා. ඔබට වැරදුනොත් ආපසු එන්නට ක්‍රමයක් තිබිය යුතුයි. මා මේ වෙලාව වෙන් කළා දියණියගේ බෝනික්කා සොයන්න. ඇයට අවශ්‍ය කර තිබුනේ කතා කරන ගමන් ඇවිදින බෝනික්කෙක්. එම සාප්පු සංකීර්ණයේ එක් විමසිලිවන්ත වෙළඳ මහතෙක් ලබා දුන් ඔත්තුවකට අනුව. ටුන්ගා හෝටලය පසුකර යනවිට තිබෙන කඩ පේලියේ මෙවැනි දේ තිබිය යුතුයි. එහි තිබෙන්නේ කතා කරන. ඒ කියන්නේ ඔබ කියන දේ පුනරුච්චාරණය කරන බෝනික්කන්. මෙයට වඩා හොඳ එකක් හොයා ගන්න බැරි වුනොත් යන දෙගිඩියාවෙන් එය මිලදී ගත්තා. ඒ සමගම මිතුරන් සඳහා කී-ටෑග් කිහිපයක් ගත්තා.  දැන් පයින් ඇවිදින වෙලාව. පාර හොඳට මතකයි. එහෙත් මේ පාරවල් ඉතා පළල නිසා පාර මාරු වන තැන් වලදී ප්‍රවේසම විය යුතුයි. රාත්‍රී අට පමණ වනවිට නැවතත් හෝටලයට ලඟා වුණා.

හෝටල් හිමියා සුබ අසුබ මිශ්‍ර ආරංචියක් ගෙනවිත් තිබුණා. අවශ්‍යනම් රුපියල් 11000 කට ටිකට් පතක් ලබා ගත හැකි බව. එය ලංකාවේ මුදලින් රුපියල් 35000ක් පමණ වනවා. එය මිලදී ගන්න අවශ්‍ය මුදල් මා සතුව පැවතියත් එක් තරගයක් නරඹන්න එවැනි මුදලක් වැය කිරීම නිෂ්ඵල කාර්යයක්. මා ඉන්දියාවේදී එම තරගය නරඹන්න තිබෙන බලාපොරොත්තුවෙන් වැඩි හරිය අත හැර දැමුවා. 

Saturday, March 9, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - VI කොටස.

මම උදේට මගේ දියණිය පාසලට ඇරලවන්නේ ත්‍රීරෝද රථයකින්. එය පදවන සාගර අනෙක් ත්‍රීවීල් උදවියට වඩා වෙනස්. ඔහු යම් මට්ටමටකට උගත්, තර්කානුකුලව සිතන, හොඳ සාරධර්ම රැසක් තිබෙන පුද්ගලයෙක්. මුලින් මම එදා-එදාට සල්ලි දුන්නත් පස්සේ-පස්සේ අපි දෙන්නම එකඟ වෙලා තීරණයකට ආවා සතියකට සැරයක් වගේ මුදල් ගෙවන්න. මීට අමතරව වෙනත් ගමන් සඳහාත් සාගර සමග යන නිසාත් මට මේක කොහේ හෝ සටහන් කරගන්න අවශ්‍ය වුණා. ඔන්න ඔය අතරේදී තමයි මට මතක් වුනේ මම විදේශගත වෙනකොට භාවිතා කරන පුංචි සටහන් පොත. එහි පිටු කිහිපයකට වඩා මේ වෙනකොටත් භාවිතා කරලා තිබුනේ නෑ. අද සාගරත් එක්ක ආවත්, මගේ බෑග් එකේ මේ පොත තිබුනත් , මට අදට නියමිත ගණන සටහන් කරන්න බැරි වුනේ පෑනක් නොමැති වීම නිසා. සති අන්තයට අඳින ටී-ෂර්ට් වල සාක්කු නැති හින්දා පෑන ගෙදර තබා එනවා. ඉතිං අදට නියමිත මුදල සටහන් කලේ ඔෆිස් එකට ඇවිත්. මේ පොත අතට අරං පෙරලද්දී මගේ මතකය ගියා ඉන්දියාවේ ගිය ගමනට. ඒ එක්කම මතක් වුනා සුජියා,මාරයා සහ ප්‍රසන්න මේ අය මේක බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා මම දන්නවා. සුජියා ළඟදී ඒ ගැන විරෝධයත් පල කළා. :)

2011 මාර්තු මාසේ 31 වෙනිදට ගිණි ගෙන දැවෙන මුම්බායි නගරයට සුපුරුදු පරිදි ඉර උදා වීමට ඇත්තේ අලුයම 6 ට පමණ වුනාත්, මා උවමනාවෙන්ම ටිකක් ප්‍රමාද වෙලා අවදි වුනා. සුපුරුදු කිරි කෝපි වඩිය ඇනවුම් කර එය පානය කරන අතරතුරදී රුපවාහිණිය ක්‍රියාත්මක කළා. NDTV කියන චැනලය අපේ සනත් ජයසුරියව එම කාල සීමාවේදී ඔවුන්ගේ සකච්ඡා සඳහා ගෙන්වාගෙන තිබුණා. මේ වෙනකොට ඉතා උණුසුම් සංවාදයක් ඇති වෙලා තිබුණා. ඔවුන් මේ වැඩසටහන නම් කර තිබුණේ "Sri Lanka - Bring it on" ඒ ඇඩිඩාස් සමාගමේ තේමා පාඨය කොපි කරමින්.  එයට ඉන්දියාව පැත්තෙන් සහභාගී වූ අතුල් වසන් ශ්‍රී ලංකාව දෙකේ කොලේට දමා කතා කළා. ඒ අපේ ප්‍රබල ක්‍රීඩකයින් වන මුරලිදරන් සහ මැතිව්ස් අවසාන තරගට සහභාගී වීම අඩමාන බව මේ වනවිටත් නිවේදන කර තිබූ නිසා. ඒ නැතත් ඔහු හිනා වෙන්නේ අවඤ්ඤාවට බව මට පැහැදිලි වුණා. සනත් ජයසුරියත් අත අරින්නේ නැතිව (මදක් කෝපයෙන්) පිළිතුරු දුන්නා. එතනදී මම සනත් ජයසූරියට ගරු කරනවා. ඔවුන්ට ගොට්ට අල්ලන්නේ නැතිව නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස පෙනී සිටීම වෙනුවෙන්. 

කලබලයක් නැතත් මම සාමාන්‍ය වේගයෙන් ලක-ලැස්ති වුණේ, ඊළඟට එන බඩගින්නට මුහුණ දෙන්නට නම් කිලෝමීටර් 2ක් පමණ ඈතින් තිබෙන ඉනොර්බිට් සාප්පු සංකීර්ණයට ලඟා විය යුතු නිසා. මා ඉන්දියාවේ අගය කරන එක් දෙයක් තමයි, එහි ත්‍රී රෝද රථ රියදුරන් නිවැරදිව සතයට ඉතිරි මුදල් ලබා දීම. සමහරවිට ලෝක කුසලාන අවසාන තරගය පැවැත්වෙන කාල සීමාව නිසා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් වන්නටත් පුළුවන්. එහෙත් ඔවුන් ළඟ තිබෙන කාසි මල්ල දුටු විට එය නිශ්චිත වැඩ පිළිවෙලක් බව පැහැදිලි වනවා. රුපියල් විස්සකින් ඉනොර්බිට් එළිපත්තට යන්න පුළුවන් බව දැන් ඔබ සියලු දෙනාත් දන්නා කාරණයක්. මේ සාප්පු සංකීර්ණයේ සියලු අහුමුලු ඉතා හොඳින් දන්නා මට, උදෑසන ආහාරය ගන්න තැන හොයා ගැනීම ඒ හැටි අපහසු නෑ. නමුත් එහි ආසනයක් හොයා ගන්න එක නම් ඒ තරම් පහසු කටයුත්තක් නොවේ. මේ දිනවල මා කියවමින් සිටින් චේතන් භාගත්ගේ Two State පොතේ එන සමහර සිද්දි මේ ආහාර-පාන ගන්නා තුන්වෙනි මහල හා කදිමට ගැලපෙනවා යයි සිතෙන්නේ මේ සටහන මා අද තබන බැවින්. එහි පෙම් යුවලකට එක්වී  නිදහසේ කථා කරන්නට තිබෙන හොඳම ස්ථානය මෙය විය යුතුයි. මා කියවන පොතෙහිද එවැනි ස්ථාන ඔවුන් සොයාගෙන යා යුතු බව සටහන් වී තිබෙනවා. 

අද උදෑසන පිට වන්නට ප්‍රථම Apex හෝටලයේ පිළිගැනීමේ අංශයේ සේවය කරන තරුණයාගෙන් සාරි තිබෙන්නේ කුමන පලාතේදැයි විමසා සිටියා. මා මේ සංචාරය යන බව දැන ගත් මගේ කාර්යාලයේ බොහෝ කාන්තාවන් "සාරි ගේන්න - අපි ගන්නම්" යන්න කිහිප විටක් මතක් කර සිටියා. ඉනොර්බිට් පසුකර බස් ස්ටෑන්ඩ් එක තිබෙනේ ප්‍රදේශයේ බලන්නැයි ඔහුගේ පිළිතුර විය. මා ත්‍රී රෝද රථ රියදුරාගෙන් ඉල්ලා සිටියා බස් ස්ටෑන්ඩ් එක දක්වා ගමන් කරන ලෙස. ඔහු ගෙන ගොස් බැස්වූ තැන ඉනොර්බිට් පසු කර තවත් ටිකක් දුරක්. උදෑසන 9.00 ට ආස්සන්න වී තිබුනත් මේ ප්‍රදේශයේ එතරම් හැල හොල්මනක් නෑ. 

බස් ස්ටෑන්ඩ් එක ඒ තරම ජනාකීර්ණ නෑ. මම එහි සිට හාත්පස හිස යවා බැලුවා. තරමක් ඈතින් සුදු පාට බෝලයක් මුදුන් කර තිබෙන ගොඩනැගිල්ලක් දැක මා ඒ දෙසට ගමන් ගත්තා. ඒ යන අතරමග කුඩා පෙට්ටි කඩ වැනි තැන් වල අහාර පාන විකුණනවා. අප වැනි කාර්යාල සේවකයන් (ටයි පටි පැළඳ) මෙම ස්ථාන වල උදෑසන අහාරය ගන්නවා. සිත ගිය එක් තැනක මා නැවතී බලා උන්නා. එතන මහා පරිමාණයෙන් තේ සාදනවා. විශාල බැරල් එකක් පුරවා වතුර තිබෙනවා. ශුෂ්ක ප්‍රදේශ වල තිබෙන ගසක් යට අපිළිවෙලට ගොඩ ගසා තිබෙන සිසිල් බීම පෙට්ටිත්, තැන තැන තබා තිබෙන කුඩා බංකුත්, ඒවායේ හිඳගෙන තේ සිගරට් බොන පිරිසත් නිසා මට මේ ස්ථානය හැර නොගොස් තරමක් බලා සිටින්න ඇල්මක් ඇති කරා. අඩි තුනක් පමණ විශ්කම්භයක් ඇති ඇලුමිනියම් සාස්පානක වතුරු උණු වනවා. ඒ අසලම තවත් කුඩා සාස්පානක තේ කුඩු පොට්ටනි ලෙස දමා රත් කරනවා. එහි තද රතු පැහැති තේ බුබුළු දමමින් නටනවා. තවත් සෙම්ම්බු ආකාරයේ භාජනයක් කිරි රත් වනවා. වඩා විශේෂ දේ නම් අශෝක වීදුරු ආකාරයේ බාග ප්‍රමාණයේ වීදුරු වලට දමා දෙන තද කහට පාට ටී (අපට නම් මෙවැනි ඒවා තුනක් වත අවශ්‍යයි) පානය කරයි. ඒවයේ රස බැලීමට ආශාවක් ඇති වුවත් එසේ කිරීම නුවනට හුරු නැති බව හැඟුනේ එහි පිරිසිදු බව ගැන සෑහීමකට පත් විය නොහැකි නිසයි. 
පින්තුරය ගත්තේ (source): http://andmylifegoeson.blogspot.com
තේ ඩප්පිය(අපේ බුද්ධ පුජා වලට ගිලන්පස තබන ප්‍රමාණයේ) බොන ගමන්ම හෝ අවසන්ව සිගරට් එකක් දල්වාගෙන බර කයියක්ද ගසනවා. වෙළෙන්දාට වීදුරු එකතු කිරීමට ඒ තරම් හදිසියක්ද නැත. ඔහු ළඟ එවැනි වීදුරු 50කට වඩා ඇත. ඉහල පෙනෙන පින්තුරයේ ඇති ඒවාට වඩා ඉතා කුඩාය.

මේවා දෙස බලා සිට මගේ බඩගින්නද වැඩි විය. මා හෙමිහිට කලින් කී ගොඩනැගිල්ල දෙසට ගමන් ගත්තා. මා මේ ගමන් කරන්නේ සාරි සොයන්නයි. උදේ ආහාරයද හොඳ තැනකින් ගනිමියි සිතමින් ඒ දෙසට ගමන් ගත් විට ඉනොර්බිට් වාගේම තවත් වෙළඳ මධ්‍යස්ථානයක් දිස් විය. එය අත්‍රියා නම් විය. කහ ඉර පැන එම ගොඩනැගිල්ලට ඇතුළු වුනේ මදක් විමතියෙනි. කලින් ලිපි වලන් සඳහන් කල ආකාරයේ ආරක්ෂක පරීක්ෂාවක් මෙහි නොවීය.
පින්තුරය ගත්තේ : malls.biz15.co.in
මා එහි පින්තුරයක් නොගත්තේ මන්දැයි මට තවමත් නොතේරේ. එක්තරා අන්දමකින් නොදන්නා දේශයක හැම දෙයක් ගැනම විමතියෙන් ගමන් ගන්නා විටකදී ඡායාරුප ගැනීමට සිහියට ඒ නම් ඒ අහම්බෙනි. එම සාප්පු සංකීර්ණයේ ඇතුලත් ඉතා විචිත්‍ර ලෙස වීදුරු/කම්බි වලින් ඇති පියස්සෙහි ඡායාරුපයක් ගැනීමට මා මාන බලන විට ආරක්ෂකයින් එය වලකාලන ලදී.

මා ඇතුලට පිවිස මුලින්ම සොයා බැලුවේ එහි සාරි තිබේදැයි යන්නයි. එක් පුද්ගලයෙක් ඇතුළු වන තැන දකුණුපස එක් වෙළඳ කුටියක් පෙන්වා එහි විකුණන්නේ සාරි බව පැවසු පසු මම ඉහළම මාලයට යන එලිවේටරයට ගොඩ වීමි. එහි කඩ කිහිපයකට එබී බලා හොට් ඩෝග් විකුණන තැනකින් උදේ අහාරය ලබා ගත්තේ කඩිනමින් සාරි මිලදී ගැනීම සහ සාප්පු වෙත පිවිසීමටය. 

පින්තුරය ගත්තේ : mumbai-eyed.blogspot.com

හරියටම මෙහි තිබෙන අකාරයේ දසුනක් එහි ඉහල මාල වලට දිස් වේ. මේ එලිවෙටර්ද සාමාන්‍යයෙන් අප දැක තිබෙන ඒවාට වඩා වැඩි උසක් ගමන් කරන ඒවා. මා සාරි මිලදී ගත් කඩය මෙහි වම්පස යටට වන්නට තිබෙන ස්ථානයකි. 

මා සාරි ගැනීමට මෙතරම් උනන්දු ඇයිදැයි ඔබට සිතෙන්නට පුළුවන්. මා එහි යනවිට ඩොලර් 700ක් පමණ රැගෙන ගිය අතර තවමත් මා මාරු කර ඇත්තේ ඩොලර් 200කි. ඉතිං අතේ මුදල් තාබා ගැනීම නුවනට හුරු වැඩක් නොවන නිසාත්, මේ ගමන කලින් හමාර කරන්නට වේදෝ යන සැකය නිසාත් මෙසේ සාරි ගැනීමට උනන්දු විය. එම ස්ථානයේ කමිස, කලිසම් විකුණන්නට තිබුනත් ඒවා මෙහි (ලංකාවේ) තිබෙන ඒවාට වඩා බාල තත්වයේ ඒවාය. 

සාරි කඩයට ගියාම පිස්සු හැදෙන තරමේ එකක් විය. මා ඔවුන්ගේ පළමු ගනුදෙනු කරුවාය. ඔවුන් සාරි විකිනිල්ලට වඩා මා ශ්‍රී ලාංකික බව දැනගත් විට, ක්‍රිකට් තරගය ගැන කතා කරන්නට පටන් ගත්තා. එහෙත් මට සාරි 10-12 ක් ගැනීමට අවශ්‍ය බව මා පවසා සිටියා. ඔවුන් මුලින් උත්සාහ කලේ මිල අධික ඩිසයිනර් වර්ගයේ සාරි විකිනීමටයි. එහෙත් මගේ අවශ්‍යතාව පැවසු විට අනෙකුත් සාරි පෙන්වන්නට පටන් ගත්තා. ඔවුන් කාන්තාවන් මෙන් සාරි පොට සාදා පල්ලු-පල්ලු කියමින් ඇඳ පෙන්වන්න පටන් ගත්තා. එහි කිසිම සේවිකාවක් නොවූ අතර සියලු දෙනා සේවකයන්. ඔවුන් විවිධ වර්ග වල සාරි පෙන්වමින් මගේ උනන්දුව වැඩි කිරීමට උත්සාහ කළා. මෙහි තිබෙන බොහෝ සාරි වර්ග කාර්යාලයේ මිතුරියන් අඳින වර්ග වල ඒවාට සමාන නිසා මාද කිසි පැකිලීමක් නැතිව තෝරා ගත්තා. අන්තිමට ඉන්දීය රුපියල් 995 ගන්නේ සාරි 11 ක්ද, 445 ගණනේ සාරි 9ක්ද, 695 ක් වන එකක්ද, 1145 ක් වන එකක්ද, 845 ක් වන 6 සමග සාරි 28ක් මා තෝරාගෙන ඇත. ඇත්තටම මේවා ලාභදායක යයි මට සිතුනි. ඔවුන් වහාම එය පාර්සල් කරන්නට සහ බිල සදන්නට පටන් ගන්නා ලදී. මට තේ දෙන්නද (අර කලින් කී කුඩා වීදුරු වල) උත්සාහ ගත්තත් මා තේ නොබොන නිසා මට පෙප්සි කෑන් එකකින් සංග්‍රහ කරන ලදී. 

අවසානයේ මුළු බිල රුපියල් 21860.00 ක් විය. මගේ මතකයේ හැටියට ඇමරිකානු ඩොලර් 400 ක් සහ ඉන්දියන් රුපියල් වලින් ඉතිරි කොටස ගෙවූ මා ත්‍රී රෝද රථයකට මේවා පටවාගෙන නැවතත් මාගේ හෝටලට ගමන් ගත්තා. ඒ වනවිට මුළු මුම්බායි නගරයම ගිනි ගන්නා තරම් රස්නයක් හාත්පස පැතිරී තිබුනත් මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනේ මිලදී ගන්නට අවශ්‍ය දේවල් වලින් අඩක් අවසන් බැවිනි. ගෙනගිය බඩු තොගය කාමරයට දමා නැවතත් ත්‍රී වීල් රථයට ගොඩ නැගීමේ බලාපොරොත්තුවෙන් පහලට ආ විට KFC තිබෙන තැන ගැන අසන නොඋස් විදේශිකයකු දැක ඔහුත් සමග දොඩමළු වුනා. මා කලින් ලිපියක ඔහු ගැන ලියා තිබෙනවා. ඔහු යේමන් ජාතිකයායි. අප දෙදෙනා එකම ත්‍රි රෝද රථයක ගමන් ගත්තා. 

සවස් වරුවේ ගත කල ආකාරය මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...