Thursday, December 6, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - IV කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - I කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - II කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - III කොටස.

මා ආහාර ගන්නා හැම විටකම දියණිය සිහියට එයි. ඇය ආහාර ගත්තාද? බඩගින්නේද? බොහෝ පොඩි වුන් මෙන් ඇයද කෑමට හොරය. මේ මොහොතේ මෙහි සඳහන් කල යුතු මගේ මවගේ උතුම් ගුණයක් සිහියට එයි. ඉස්සර අපි කුඩා කාලයේ මගුල් ගෙදරකින් කනවා යන්න විශේෂයකි. එකල නිවසක ගන්නා ආහාරය මෙන් දෙතුන් ගුණයක් රසවත් ආහාරයක් මගුල් ගෙදරකදී භුක්ති විඳීමට ලැබෙයි. නිවසේ සාමාන්‍ය ආහාර වේලක් සඳහා සාමාන්‍ය එළවලු දෙක තුනක්, පලා වර්ගයක්, සහ මාළු හෝ කරවල වර්ගයකින් සමන්විත වේ. ආහාර හිඟයක් පැවති 70 වේ මුල් දශකය තුල එවැනි ආහාර වේලක් පවා රස මසවුලක් විය. අම්මාට මගුල් ගෙදරකින් ආහාර ගන්නා විට නිතැතින් අප සිහියට එන්නෙලු. එනිසා මගුල් ගෙදරක් සඳහා යාමට සිදු වන දිනකදී අම්මා අපටද ඊට නොදෙවෙනි ආහාර වේලක් පිස යයි.  මිලදී ගැනීමට තවත් බොහෝ දේ තිබුනත්, මොවුන්ට ඇති වී තිබෙන උන්මාදයට හොරකම් කරන කෙනෙකුට නම් පහසුය. දැන් තරගය ආරම්භ වී ඇත. දැන්නම් කිසිම දෙයක් නෑසෙන ගානට මෙහි සිටින ආධාරකරුවන් තරඟය රස විඳී. ඉන්දියාවේ වෙසෙන මිලින 1200 කට වැඩි මුළු ජනගහනයම මේ මොහොතේ රුප පෙට්ටිය දෙස දෑස් යොමාගෙන සිටිනු ඇත. මා පහලට බැස ත්‍රීරෝද රියදුරකුට අතින් සන්  කලෙමි. ඔහු ආ පසු එහි ගොඩ විය.
පින්තූරය ගත්තේ : dreamstime.com. මීටර තිබෙන තැන පෙනෙනවාද? එය අපේ මීටරයට වෙනස් මිකැනිකල් වර්ගයේ එකකි. 

 මා දැන් නවාතැන වෙත යායුතු මාර්ගය දන්නා බැවින්, පුරුදු කාරයෙකු මෙන් ඔහුට පාර කියයි. මා මුලින්ම ටුක්-ටුක් එකක් භාවිතා කලේ අද දින උදෑසන වුවත්, පසුගිය ලිපියහි මා ඒ පිලිබඳ වැඩි විස්තරයක් නොකළේ මෙම ලිපියෙන් ඉන්දියාවේ ප්‍රවාහනය පිලිබඳ විශේෂයෙන් යමක් ලිවීමේ අරමුණින්. මා මුලින්ම ඉනොර්බිට් මෝල් හී සිට වාෂි නමැති ප්‍රදේශයේ ඇති මා නවාතැන් ගත් සංචාරක හෝටලය දක්වා ගමන් ගත්තේද මෙම ටුක්-ටුක් රථයක් ආධාරයෙනි. මා එහි මීටරය දෙස බලා සිටියෙමි. මෙම මීටර අපේ පැරණි විදුලි මීටරයට හෝ රජයේ බස් කොන්දොස්තර වරු අත ඇති පැරණි ටිකට් මැෂිමට සමාන මිකැනිකල් වර්ගයේ එකකි. එහි ඩිස්ප්ලේ එකක් නොමැති අතර මීටරේ මනුව ක්‍රියාත්මක වනුයේ කැරකෙන රෝද ආධාරයෙනි. එම නිසා එම අගය දක්වන තහඩු කැරකෙන් ආකාරය දිස් වේ. එමෙන්ම ඒවා මාරු වන විට හඬක්ද ඇසේ. එහි තවත් විශේෂත්වයක් නම එම මීටර අපේ විදුලි මීටරයක් සිහි ගන්වන තරමටම විශාල එකක් වීම හා එය ගනුදෙනු කරුවා අසලින්ම රියදුරුගේ අසුන පසෙකින් සවි කර තිබීමයි. ගමනක් අවසන් වූ පසු මීටරය බින්දුව කිරීම සඳහා එක් ලීවරයක් අතින් උස්සා පහත් කල යුතුය(එවැනි ක්‍රියාවකි). මා ඔහුට ගමන් කලයුතු තැන පවසා එම මීටරය දෙස බලා එහි පෙන්වන අගය දෙස බලා උන්නෙමි. ගමන අවසානයෙහි එහි අගය රුපියල් 1ක් සහ පායිස් 80ක් ලෙසේ දිස් විය. අනේ මේ තරම් ලාබ ත්‍රීවිලර් සේවාවක් !! යයි මා සිතුවද  එහි අගය රුපියල් 29ක් බව රියැදුරා පවසා සිටි අතර මා ඔහු සමග තර්ක කලේ මෙහි පෙන්වන්නේ 1.80ක් බවය. නමුත් එය දුර බව ඔහු පැහැදිලි කළේය. මෙම දුර සඳහා ලංකාවේදී නම් අපි අවම වශයෙන් රුපියල් 70ක් වත් ගෙවිය යුතු වේ. නමුත් මෙම රුපියල් 29 අපේ මුදල් වලට පෙරලූ විට එහි අගය රුපියල් 76.85ක් එවකට පවතී පරිවර්තන අගයට අනුව ගණනය කල හැකිය. ඉතින් මෙය අපේ ගණනට බොහෝ සෙයින් සමානය. නමුත් ඉන්දීය ත්‍රී රෝද රථ රියදුරන් ගැන වචනයක් සඳහන් කල යුතුය. ඔවුන් සතුව කාසි මල්ලක් ඇත. ගමන අවසානයේ ඔබට ලැබිය යුතු අන්තිම සතය දක්වා ඔවුන් ගණන් බේරයි. එය පැසසුමට ලක් විය යුත්තකි. නමුත් ලංකාවේදී මාරු සල්ලි නැති බව පවසා අපේ රුපියල් තිහ හතලිහ පවා කඩා වඩා ගන්නා ත්‍රී රෝද රථ රියදුරන්ට වඩා ඔවුන් ඉතා ඉදිරියෙන් ඇත. ඉන්දියාවේ(බොම්බායේ) සියලුම ත්‍රී රෝද රථ එකම වර්ණ සංයෝගයකින් යුතු වන අතර මෙම මීටර් ක්‍රමය භාවිතා කරයි. කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රුපියල් 16ක් (ලංකාවේ මුදලින් 42.40ක් පමණ). නමුත් ඔවුන්ද මුල් කිලෝ මීටරය සඳහා වැඩියෙන් අය කරනවාදැයි නොදනිමි. ලංකාවේ ගාස්තු ක්‍රම කිහිපයක් ඇත එසේ වුවා නම් 50/30 ක්‍රමයට අනුව 77ක්ද, 50/35 ක්‍රමයට අනුව 81.50ක්ද, 50/40 ක්‍රමය අනුව 86ක්ද වෙයි. එනිසා ඔවුන් අය කරන 76.85(ඉන්දීය 29) අපේ මුදලට ඉතා කිට්ටු අගයකි. ඉන් පසු මාගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ ත්‍රී රෝද රථයයි. 


රික්ෂෝව ඉන්දීය උප මහාද්වීපයේ ජනප්‍රියම ප්‍රවාහන ක්‍රමයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මැක්ෂිම ගෝර්කි ලංකාවේ සංචාරය කල අවධියේදී රික්ශෝව භාවිතා කල බව ඔහු සඳහන් කරයි. මා එහි ගත කල කාලයේදී එකක් හෝ දකින්නට නොලැබුණි. නමුත් මේ අප සිටින්නේ එක්දහස් නවසිය තිස් ගණන් වල නොව, ඉන්දියාව ලෝකයට වාහන අපනයන කරන රටක් බවට පත් වූ යුගයක් බව සිහියේ තබා ගත යුතුය. මරුටි, මහින්ද්‍රා, ටාටා, ටී වී එස් ඉන් සමහරකි. සමහරවිට රික්ෂෝ භාවිතා වන ප්‍රදේශ තවමත් ඉන්දියාවේ තිබෙන්නට පුළුවන. නමුත් මේ වැඩවසම් ප්‍රවාහන ක්‍රමයට මා තරයේ විරුද්ධ බව සඳහන් කල යුතුය. එය දකින්නට නොලැබීම එක්තරා අකාරයකින් සතුටකි. 

පින්තූරය ගත්තේ : insightatlantic.com

මෙම ලිපිය ලිවීමේදී ඉන්දියාවේ බස් රථයක ගමන් නොගැනීම මහා අඩුවක් ලෙස හැඟුනි. එහෙත් මා පසුගිය ලිපියක ගුවන්තොටුපලේ සිට මා නවාතැන් ගත් හෝටලය වෙත ගමන් ගත්තේ කැබ් රථයකින් බව සඳහන් කළා ඔබට මතක ඇති. ගූගල් සිතියමට අනුව එම ස්ථාන දෙක අතර පරතරය කිලෝ මීටර් 23කි. ඒ සඳහා අය කල ගාස්තුව රුපියල් 900(ශ්‍රී ලංකාවේ මුදලින් 2385). ඒ අනුව එක් කිලෝ මීටරයක් සඳහා ගාස්තුව ඉන්දීය රුපියල් වලින් 36ක් (එම දුර කි.මී. 25ක් ලෙස ගත් විට). ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් 95කට කිට්ටු අගයකි. නමුත් එම වකවානුවේ 688688 හී කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රුපියල් 68කි. එහෙත් මෙය කිලෝ මීටර් සඳහා වූ ගමන් ගාස්තුවක් නොවන අතර එය ගමනාන්තය සඳහා එකඟ වූ ගාස්තුවකි(Flat Rate). එනිසා අප රටවල් දෙක අතර කැබ් ගාස්තු වල අගයයන් එතරම ලොකු පරතරක් නොපෙන්වනු ඇති බව මගේ විශ්වාසයයි. 

මා මේ සිටින්නේ ඉන්දියාවේ හොඳම හරියේ නොවන බව මට වැටහුනේ පළමු දින උදාසනදීමය. හෝටල් හිමියා සමග කෙටි පිළිසඳරක යෙදී සිටියදී මුම්බායි හී හදවත(Heart of Mumbai) කුමක්ද? එහි යා හැක්කේ කෙසේද යන්න මා ඔහුගෙන් විමසා සිටියා. ඔහු පවසා සිටියේ කිලෝ මීටරයක් පමණ ඈතින් ඇති දුම්රිය ස්ථානයට ගොස් VT වෙත පළමු පන්තියේ ටිකට් පතක් ගෙන යන්න කියාය. මා මුල්ම දිනයේ  පයින් ගමන් ගනිද්දී මේ දුම්රිය ස්ථානය ඇස ගැටුණි. මේ ගමනට ප්‍රථම ලංකාවේ කිසිදු දුම්රියක පළමු පන්තියේ මා ගමන් කර නැත. මා සිතින් මවා ගත්තේ සුඛෝපබෝගී සේවාවක්ය. අප්‍රේල් පළවැනි දින උදෑසන අටට පමණ මා ගෙනගොස් තිබු ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන කහ පැහැති ටී ෂර්ට් එකෙන් සැරසී පයින්ම එම කිලෝමීටරයකට ආසන්න දුර ගෙවා දැම්ම. මම පිට රටවලදී පයින් ඇවිදීම ප්‍රිය කරමි. එහෙත් ඉන්දියාවේ පයින් ගමන් ගත නොහැක්කේ අධික රස්නය නිසාය. හෝටල් හිමිකරු පැවසූ පරිදි පළමු පන්තියේ ටිකට් පතක් මිලදී ගතිමි. එහි අගය ඉන්දීය රුපියල් 108කි(ලංකාවේ මුදලින් රුපියල් 285ක් පමණ). එය සාමාන්‍ය දුම්රිය ස්ථානයකි. ඇතුලට ගිය මට කොටුව දුම්රිය ස්ථානය සිහි විය. නමුත් ඉන්දියාවේ දුම්රිය පද්දතිය අපට වඩා පුළුල්ය. ඒ වාගේම වැඩිම දුම්රිය අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේද ඉන්දියාවේය. මා නියමිත වේදිකාවට වී බලා සිටියෙමි. මෙම ස්ථානයේදී මා නිරීක්ෂණය කල දෙයක් නම් ඉතා ඉහල යයි පැවසිය හැකි අයද, ඉතා පහල පන්තියේ යයි සිතිය හැකි අයද එම දුම්රිය එනතුරු වේදිකාවේ බලා සිටින බවයි. 

මා මෙම දුම්රිය ස්ථානයේ චායාරුප කිහිපයක් මගේ ජංගම දුරකතනයෙන් ගත්තද දැන් ඒවා සොයා ගැනීම උගහටය. මෙම ටිකට් පත එවෙලාවේ මුද්‍රණය කර දෙන තර්මල් වර්ගයේ එකකි. ඒ අතින් අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්දියාව සිටී. මෙම දුම්රිය ස්ථානයේ වටපිටාවද ඉතා අපිරිසිදුය. බුලත් කෙල පාරවල් බොහෝ තැන්වල ඇත. මා හතරවෙනි වේදිකාවේ දුම්රිය එනතුරු බලා සිටියෙමි. එහි ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවෙහි වෙලාවක් දක්වයි. එය 8.29 වේ. තවමත් මගේ දුරකථනය දක්වන වෙලාව 8.27ය. ඒ කියන්නේ තවත් විනාඩි දෙකකින් මෙතනට දුම්රියක් ආ යුතුය. හරියටම 8.29 වත්දී පව්ර්සෙට් වර්ගයේ දුම්රියක් එතනට ලඟා විය. එහෙත් මේ සියලු දුම්රිය විදුලියා අධාරයෙන් ක්‍රියා කරයි. ඉහලින් විදුලි රැහැන් ඇද තිබේ. මෙහි තිබෙන ලොකුම පුදුමය එහි තුන්වන පන්තියක් නොමැති වීමය. සෙනග තෙරපි තෙරපී නගින්න බසින්න පොරකන අතරේ මා පළමු පන්තිය ඇති පෙට්ටියක් අසලට ගියද, මා ගොඩ වීමට ප්‍රථම දුම්රිය පිට වී හමාරය. එය එහි තත්පර 10ක් වත් නවත්වා තිබුනේ නැත. 

තවත් විනාඩි 5-10 අතර කාලයකදී මීළඟ දුම්රිය එහි පැමිණි අතර, කලින් ඉගෙන ගත පාඩම නිසා බසින අය ගැන නොසිතාම මා දුම්රියට ගොඩ වීමට ලං වුවද, එය පළමු පන්තියේ දුම්රිය පෙට්ටියක් වුවද, කාන්තාවන් සඳහා වෙන් වූ පෙට්ටියක් බැවින් අවසාන තත්පරයේදී පය ආපස්සට ගත්තා. ඒ ගැන හිතින් හිනා වී, පුරුෂ පක්ෂය සඳහා වෙන් වූ පෙට්ටියක් වෙත දිව යත්දී මේ දුම්රියත් පිට වී ගියා. මීළඟ අවස්තාවේදී මා හරි දුම්රිය පෙට්ටිය අසලට ගිය අතර කිසිදු වෑයමකින් තොරව මා දුම්රිය ඇතුලට ගෙන ගොස් දැමීමට ඉන්දීය දුම්රිය මගීන් කාරුණික වුවා. මේ මොන පළමු පන්තියක්ද, මගේ සිහියට ආවේ කැළණි වැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ තෙරපි තෙරපි ගමන් ගත් ආකාරයය. ඉන්දියාවේ පළමු පන්තිය අපේ තුන්වන පන්තියට සමානය. දෙවන පන්තිහිද වෙනසක් තිබිය නොහැක. බොහෝ දෙනා මේ දිනවල තිබෙන ක්‍රිකට් තරග ගැන දොඩමලු වේ. මට හින්දි භාෂාව නොතේරුණත් ඔවුන් කතා කරන්නේ කුමක්ද යන්න කදිමට වැටහිණි. දෙදෙනෙක් කථා වුයේ මිස්බා උල් හක් සහ සමරවීර යනු එකම තාලයේ පිතිකරුවන් දෙදෙනක් යන්නය. එම කතාව සම්පූර්ණයෙන් ඇත්තය. ඔවුන් දෙදෙනා කඩා වැටෙන ඉනිමක් ගොඩ දැමීමට ඉතා ගැලපෙන ක්‍රීඩකයන්ය. 

මේ තදබදය ගැන කිසිවකුට නිනව්වක් නැත. ඔවුන් කිසිදු අසීරුතාවක් නැතුව කතාබහේ යෙදී සිටියි. සමහරු පත්තර බලයි. විවිධ වර්ග වලට අයත් කාර්යාල සේවකයන් යයි සිතිය හැකි අය මෙහි වෙති. එහෙත් මා හුස්ම ගත්තේද බොහෝ අපහසුවෙනි. එක් දුම්රිය ස්ථානයකදී තව පොඩ්ඩෙන් මාද දුම්රියෙන් එලියට ගොස් තබන්නට ඉන්දීය මගියන් කාරුණික වනවා. මා මහත් ආයාසයෙන් ඇතුලෙම සිටින්නට වග බලා ගත්තා. හොඳින් ඇඳ පැළඳ සිටින මහත්මයෙකු වන් තරුණයකු සමග මා දිගු සාකච්චාවක නිරත වුවා. ඔහු මට අවසාන තරගය සඳහා ටිකට් පතක් නොමැති වීම ගැන ඉතා කනගාටු වූ අතර සංචාරය රස විඳින ලෙස පවසා සිටියා. ඔහු ඉතා හොඳ මහත්මයෙකි. බොම්බායේ කාර්යලා පටන් ගන්නේ උදෑසන 11.00 ට වන අතර සවස හයට අවසන් වේ. පැය භාගයක දිවා විවේකයක් ඇත. එය කෙතරම් කදිම රාජකාරි වේලාවක්දයි මට සිතුනා. 

මීට අමතරව බොම්බායේ ලොරි වල සටහ අපූරු පාටයක් මතකයට ආවා. එය "හොර්න් ඕකේ ප්ලීස් "යන්නයි. එයින් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද ? එය දුටු මගේ මතකයට ආවේ අපේ ලොරි සහ බස් වල ගසා තිබෙන "දෙන්න හඬ - මෙන්න ඉඩ" කියමනයි. 
පින්තුරය ගත්තේ : mag.bewakoof.com. මෙහි මා ගත චායාරුප්ය සොයා ගැනීමට අපහසු බැවින් මෙම චායාරුපය සොයා ගත්තා. මෙවැනි චායාරුප දහස් ගණනක් ගූගල් සර්ච් එකට හසු වේ.

මෙම සංචාරයේ මට හමු වූ යේමන් ජාතිකයා මුළු ඉන්දියාව පුරා මාස කිහිපයක සංචාරයක් කර තිබුනා. ඔහු පවසා සිටියේ ඉන්දියාවට පැමිණෙන තෙක් ජරාම රියදුරන් සිටින්නේ අරාබියේ යන ඔහුගේ විශ්වාසය වෙනස් කර ගත් බවයි. ඔහු එසේ පවසා සිටියේ මාත්-ඔහුත් ඉනොර්බිට් බලා එකම ත්‍රී-රෝද රථයක ගමන් ගත විටෙකය. එහිදී ත්‍රී වීල් කරුවා දැමු වෙට්ටුවකට පසුව ඔහු මෙසේ පවසා සිටියා.  ඉන්දියාවේ එක් පැත්තකට මංතීරු හය බැගින් ඇති, ගුවන් පාලම් සහිත මාර්ග පද්දතියක් ඇතත්, එහි රියදුරන්ගේ විනය නම් ඉතා පහළ මට්ටමක පවතී. ඔවුන් එම හයි වේ වල පවා යූ ටර්න් ගසන්නට බිය නොවේ. 

අවසානයේදී එහි ඉන්ධන මිලද සඳහන් කිරීම වටී. ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 44ක් වේ එය අපේ මුදලින් රුපියල් 116කි. එය ඉතා මිල අධිකදැයි මම නොදනිමි. නමුත් දුමාරයෙන් පිරි නගරයත් වාහන තදබදයත් පවසන්නේ එය ඉතා ලාබ බව නොවේද ? නැතිනම් ඔවුන් ඉතා ධනවත් විය යුතුය. 

51 comments :

  1. එක පාරක් ඔය ටැක්සියක මීටරේ වෙනස් නොකර නැගල මල කෙලියක් උනා... මං ආපු දුරට රු100ක් විතර, යාලුවට 200 ගානක්... මගේ යාලුව ඩ්‍රයිවර් එක්ක රණ්ඩු වෙද්දි, අපිත් එක්ක හිටපු ඉන්දියන් කෙල්ලෙක් මං ආපු ටැක්සි එකේ ගානම අරූටත් ගෙවලා වැඩේ බේරුව...

    කෝ සුදීක මැච් එක?? අදත් නැහැ... :D

    ReplyDelete
    Replies
    1. මම ඉන්දියාවේදී නම් ඒ ගැන හිතුවේ වත් නෑ. ඒත් ලංකාවේදී නම් මීටරය දැම්මද කියල හොඳට බලනවා.

      ෆයිනල් මැච් එකද ? ඒක බලපු විදිය ඉරිදට දාන පොස්ට් එකෙන් විතර වෙයි.

      Delete
  2. එකොළහට වැඩ පටන් ගන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද? නමුත් හොඳයි නේ.

      Delete
  3. තව කොටස් කීයක් තියනවද බං

    මේකත් හරියට ඔයාගේ අත්දෙක පිච්චුනාට සමාවෙන්න වාගෙමනේ

    ReplyDelete
    Replies
    1. එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන්නේ ඔන්න ඕවට.

      Delete
  4. ඔන්න ඔහොම යං.. මුං ටික මේක හදිසි කොරන්න හැදුවට එහෙම බොලා කලබොල වෙන්ට කාරි නැහැ... ඇයි යකෝ මෙච්චර පහසුවට තේරුං ගන්ට ඇහැකි විදියට ඉන්දියාවේ ඇවිද්ද එකෙක් ලියන වෙලේ ඒක නැති කොරගෙන පුළුවන්ද... හිමිහිට විස්තර ඇතිව ලියමු...

    බස් එහෙක නොගිය එකනං සෑහෙන්න පාඩුවක් තමා.. අපි බලමු මේ ලිපිය කියවන ඉන්දියාවේ සංචාරය කල පිංවතුන් හිටීද කියලා බස්වල ගිය.. එහෙම උනොත් අඩු පාඩුව කොමෙන්ට් හරහා හරි පියෝ ගතෑකි...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලියන්න වෙයි කියල හිතුන නම් මම ඒ වැඩෙත් කරනවා.

      Delete
  5. බොම්බායේ කාර්යලා පටන් ගන්නේ උදෑසන 11.00 ට වන අතර...
    ලංකාවෙ 9.00 ට පටංගත්තයි කියල වැඩක් තියෙනවැයි. වැඩ කරන කට්ටිය එනකොට කොහොමත් 10.30 11.00 වෙනවනෙ.

    ඊගාව ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්.. හෙක්.. ඒකත් ඇත්ත තමයි.

      Delete
  6. ඉන්දියාවේ දුමිරිය පද්ධතිය කියන්නේ ඉන්දියාව එකට බැඳ තියෙන ජීව පද්ධතිය කියලා මං කියෝපු පොතක තිබ්බා.. චේතන් භගත් ගේ 3 mistakes කියවද්දි හිතාගත්තෑකි ඉන්දියාවේ ක්‍රිකට් පිස්සුවෙ තරම... හි හි..

    මේ යන විදියට අපේ උන්දැලත් හයි වේ එකේ යූ ටර්න් ගහන්න පටන් ගනීද සුදීක.... එහෙම උනොත් නම් දෙයියන්ගේ පිහිටයි.... දැනට නම් රෝද 4කට අඩු වාහන වලට යන්න දෙන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දියාවේ දවසකට මිලියන 20ක් දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම සලසා ගන්නවා. පහසුකම කිව්වට දන්නවනේ. මට දැන් 3 Mistakes කියවනකම් ඉතිං‍ නිවනක් නෑ. අපේ රටේ මාර්ග වල තියෙන සංවර කම ගොඩාක් හොඳයි ඉන්දියාවට වැඩිය. දවස්වක් මම කල්පනාවේ ගියා මේකා වමට හරවලා වම පැත්තේ අයිනෙන්ම යනකොට මම කිව්වා යෝගී එක්සේකටිව් කියන දකුණු පැත්තේ හොටලයටයි යන්න ඕනේ කියල. කිසිම ගෙමක නැතුව දකුණට හරවා ගියා. කව්රුත් මොනවත් කිව්වෙ නෑ.

      Delete
    2. ඒකේ නම The 3 mistakes of my life

      ට්‍රාන්ස්ලේෂන් එක - තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං

      Delete
    3. මමත් තුන් තකතීරු කම් කරපු කෙනෙක්. බලාගෙන යනකොට ඒ කතාව මටම ගැලපෙන එකක් වගේ. මේ ගමනේදී මමත් තකතීරු කම් තුනක් කරා. ඒවා කතාව ඉවර වුනහම ලියන්නම්.

      Delete
    4. ///අපේ රටේ මාර්ග වල තියෙන සංවර කම ගොඩාක් හොඳයි ඉන්දියාවට වැඩිය.//

      මම දැම්මා ඕකට මරු පෝස්ට් එකක්.. ගිහින් බලන්නකෝ..

      පිටරටවල ගිහින් ඉඳලා ආපු අයටත් ලංකාවේදි නීතියට වාහන එළවන්න බැරි ඇයි.....?

      හයියෝ.. පොතේ නම එහෙනං ගැලපෙනවා තමා.. මේකත් ඉන්දියාවේ සීන් එකක් නේ...

      Delete
    5. කියෙව්වා. ඉතාම වටිනවා. ලංකාවේ හැම කෙනෙක්ම බලනවා නම්. පොත කොටුවේ සරසවියේ නෑ. නුගේගොඩ එකේ වෙන් කරලා තියෙනවා. බලලම කියන්නම්.

      Delete
    6. හතට පහක් තියල නුගේගොඩ සරසවියට දුවල ගිහින් පොත ගත්තා. චේතාන් බාගත්ගේ තවත් පොතක් ඔහු මට දුන්න මං එකත් ගත්තා. නම "2 States". ඒ ගැන පස්සේ දැනුවත් කරන්නම්. අනේ අර කතාව නම් හරිම සංවේදී එකක් වගෙයි පෙන්නේ.

      Delete
    7. 2 States එකත් නියම කතාව... කියවලා කියන්නකෝ ගුණාගුණ... හි හි..

      Delete
    8. ඉන්දියාවේ දුම්රිය පද්දතිය ගැන කතා කරලා ඉවර වුනා විතරයි, මෙන්න අද උදේ බලනකොට අපේ දුම්රිය වර්ජනයක්. අපේ බස් වලට තමයි සෙනග.

      Delete
    9. ඉන්දියාවෙ දුම්රිය කියන්නෙ එරට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන සංස්කෘතීන් බාහිර සමාජයට විවර කරන කැඩපත... ටිකට්පත් නිකුත් කරන නිලධාරියාගේ සිටම සමස්ත කාර්යය මණ්ඩලය මේ කියන සංස්කෘතික සාධක යටතේ කටයුතු කරන ආකාරය බලන්න අපූරුයි... දුම්රිය වලට යෙදෙන නාමයන් මෙන්ම එහි වර්ණ, හැඩතල සියල්ල ප්‍රාන්තෙන් ප්‍රාන්තයට වෙනස්... ඉන්දියාව වැනි අතිවිශාල භූමි භාගයකින් යුත් රටක විවිධ ප්‍රදේශ එකට එක් කරන සාධකය තමයි දුම්රිය සේවාව..

      Delete
    10. ඇත්තටම ඉන්දියාව කියන්නේ රටක් නෙවෙයි ලෝකයක්. මගේ ඊළඟ පොස්ට් එකෙන් ඒ ගැන විස්තර වෙනවා. තව පැයක් විතර යයි පොස්ට් කරන්න පුළුවන් තත්වෙකට ගේන්න.

      Delete
  7. very good article.

    ReplyDelete
  8. පට්ට ට්‍රිප් එකනේ අර නැතිවෙලා කිව්වා එව්වා ටිකත් දැම්මොත් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. හැබැයි තනියම ඉන්න ගියාම හරිම පාලුයි. පිස්සු හැදෙනවා. මැච් නැත්නම ඉන්නම බෑ.

      Delete
    2. ඔව් ඉතින් නන්නාඳුනන රටක තනියම ඉන්න ගියාම පිස්සු වගේ තමයි.

      Delete
  9. අර බෝතල් ටික අමතක කරාද

    ReplyDelete
    Replies
    1. ඒවාට වුන දේ අවසන් කොටසින් බලාපොරොත්තු වන්න.

      Delete
    2. ඔය කිව්වට දැනටමත් දෙකක් විතර ඉවර ඇති..

      Delete
    3. ඉවසපන් කොල්ලෝ... ඉවසපන්.

      Delete
  10. සුදික මේක මාරයියාටත් එක්ක.
    මම ඉන්දියාවෙ තියන සියලුම ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරලා තියෙනවා කියලා හිතෙනවා.
    1. ගුවන් ගමන්(MUMBAI TO CHENNAI)
    2. සීඝ්‍රගාමී කෝච්චි MUMBAI TO KOCHIN, VARANASI, DELHI
    3. ඔයා ගිය මෙට්‍රෝ කෝච්චි(MUMBHAI,CHENNAI, KOCHIN, PUNE නගරාශ්‍රිත)
    4. නගරාන්තර සීඝ්‍රගාමී බස් ලක්ෂරි(PUNE TO KOCHIN, BANGALORE, CHENNAI)
    5. කෑලි හැලෙන පියාඹන මෙට්‍රො බස්(MUMBAI,CHENNAI, KOCHIN නගරාශ්‍රිතව)
    6.ටැක්සි
    7. LONG RANGE ටැක්සි, සුමෝ ජිප්( PUNE TO AJANTHA ELLORA)
    8. බෝට්ටු සේවා.( MUMBAI TO ELEPHANTA ISLAND)
    9. අශ්ව කරත්ත(රජගහ නුවර)
    10. රික්ෂෝ (බරණැස් නුවර)
    ඉතිං බස් ගැන කියනවානම් කෙටිදුර බස්නම් අපේ පරණ CTBම තමා. ගෑණු අයට වෙනම සීට් පේලියක්ම තියනවා. රස්නෙ පැතිවලනම් තියෙන්නෙ වීදුරු නොවෙයි ලොකු කර්ටන්.ඩ්‍රයිවර්ට සයිඩ් කන්ණාඩි වැඩක් නැති නිසා අවුලක් නෑ. ඇස් දෙකයි හොඳට බ්‍රේක් විතරයි තිබ්බාම ඇති.
    හවස 6ට පස්සෙ බස් එකේ යන්නනම් ඔක්සිජන් දාලා බහින්න ඕන. එරට වැසියෝ එතරම් සුවඳමැයි. කට ඇත්නම් බස හුරුනම් ජැක් ගසා බේරී යාහැක. හැබැයි ජැක් ගහන ඕනයලා මාරයලා සෑමලා වැනි අහේනිකාරයෝ අල්පය. ගාස්තු පහසුයි. ට්‍රැපික්වලට හසුනොවුනොත් ගමන ඉක්මන්ය.
    නගරාන්තර බස් ගැන පස්සෙ කියන්නම්. ගෙදරට කිට්ටුයි. පුතාගෙ කතාවෙන් පස්සෙ මම ගැන ලියන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ අකලංක එහි රාජකාරියක් කරලා වගෙයි?

      Delete
    2. ඔය විදියට තල්ලුවෙලා කෝච්චියට නග්ගන අතරෙ තමා පර්ස්වල අයිතිකාරයෝ ඒවා අතගාගන්නෙ.

      Delete
    3. දෙවියනේ මං නුලෙන් බේරිලා තියෙන්නේ එහෙනං.

      Delete
  11. බංග්ලාදේශ්වලත් ඔහොමම තමා. හැබැයි ඉන්දියාවට වඩා ටිකක් පිලිවෙලයි!

    ReplyDelete
    Replies
    1. මම නම් අහල තියෙන විදියට බංග්ලාදේශයේ වාහාන තදබදය වැඩියි අනෙක් හැම තැනටම වඩා. මම දන්නා කෙනෙක් ඉන්නවා මෙහෙ රස්සාවල් හොයනවා. හේතුව එහෙ මාර්ග තදබදය.

      Delete
    2. බංගලාදේශයේ අය ඒක හඳුන්වන්නෙ ට්‍රැෆික් ජෑම් කියලා. ගොඩක් වෙලාවට වාහන එලවන්නෙ නලාවෙන්. අනික එයාලගෙ බස් වල බෙල් නැහැ. මොකද මිනිස්සුන්ගෙ විනය ඒ තරම් පිළිවෙල නිසාලු.

      Delete
  12. කෝච්චියට මාර තදියමක්නේ තියෙන්නෙ

    සුදීක මචන් උඹේ බ්ලොග් එකට මම ටිකක අලුත්නේ. මේ බ්ලොග් එකේ නම්ත් එක්ක උඹ ලියන දේවල් නියමෙට ගැලපෙනව. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ට්‍රැවල' කෙනෙක්. යන හැමදේම නැවත මතකයට නගන්න; සටහනක් තියාගන්න එක, ටිකට් එකක් පවා විසි නොකර තියාගන්න එක නියම සංචාරකයෙක්ගෙ ලක්ශනයක්. මම බෝම ආසාවෙන් කියවන්නෙ මේක :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීමට. බොරු කියන්න ඕනෑ නෑ මම එක්තරා ගුවන් සේවාවක මේ වගේ රස්සවකටත් ඉල්ලුම් කළා. ඇත්තටම මම ආසයි ඇවිදින්න. ඒ ගැන වාර්තා කරන්න. ලෝකේ පුළුවන් තරම් රටවල් ගානකට යන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙම ගියොත් අනිවාර්යෙන්ම මෙතන ලියනවා. මම බ්ලොග් කියන එක දන්නේ නැති කාලේ ෆේස්බුක් නෝට් ලිව්වා. පහල තියෙන ලින්ක් වලින් ගිහිං බලන්න

      https://www.facebook.com/notes/subash-dilruk-kannangara/mumbai-diaries-1/10150140725917402

      https://www.facebook.com/notes/subash-dilruk-kannangara/transportation-in-india/10150161851472402

      මේ ටිකට් එක ගන්න VT දුම්රිය ස්ථානයේ කව්රුත් හිටියේ නෑ. ඒ නිසා තමයි අද ඔබට බලන්න ඒක ඉතිරි වුනේ. එහෙම නැති වුනත් අඩුම ගාණ තියෙන ටිකට් එකක් අරන් එනවා. මම එහෙම ගෙනාපු තායිලන්ත ටිකට් එකක් තවම මගේ ගාව තියෙනවා. ෆේස්බුක් නෝට් එකට තමයි මම මේ දෙක ස්කෑන් කලේ. ඒත් තවම ටිකට් එක තියෙනවා.

      Delete
  13. අප්‍රිකාවේ තමා හොඳම තදබදය තියෙන්නේ.මම දන්නා විදියට.

    කතාව ඉවරයිද?

    ReplyDelete
    Replies
    1. මමත් දැකල තියෙනවා චීන්නු ඔබලා ඔබලා දොරවල් වහනවා.

      Delete
  14. සල්ලි තියෙනවා නම් ඔවැනි සංචාර කජ්ජක් නේද?.
    බැංකු නිලධාරියෙක් නිසා වෙන්ටෑ මිල ගණන් ගානට මිම්මට පෙන්වන්නේ ;).

    ReplyDelete
    Replies
    1. දැන් පිට රට යනවා කියන්නේ මහා වියදම් යන වැඩක් නෙවෙයි. මාත් පිටත් වෙත්දී යම් බජට් එකක් තමයි හිතාගෙන යන්නේ. ඒත් ගිහින් එත්දී ඊට වඩා ගිහින්.

      Delete
  15. ඇඩෙනවා..
    ඉන්දියාවේ ඔහොම ඇවිදින්න චාන්ස් අපිට සෙට් උනේ නෑනේ..
    එහෙනං ගුටි කාලා මැරෙන්න තිබ්බා...

    ReplyDelete
  16. මම මේ කතාව උපරිමයෙන් රස විඳිනවා.. මමත් හිතෙන් ඉන්දියාවෙ ඇවිදිනවා සුදීක මේක ලියලා තියන විදිහත් එක්ක. මටත් ඕනා මේක විස්තරාත්මකව හිමින් ගලාගන යන කතාවක් වෙන්ඩ..

    ඉන්දියාව බොහෝ අංශ වලින් අපිට වඩා පිටුපසින්.. නිසි නායකත්වයක් තිබුනනම් ලංකාව දකුණු ආසියාවෙ බලගතුම රාජ්‍යය කරන්ඩ වැඩි අමාරුවක් නෑ..අපිට ඉන්දියාවත් එක්ක ගේමක් ඇත්තෙම නෑ..අඩුම තරමින් මට එහෙම හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මම දකින දේ තමයි, අපි ඕනෑම අලුත් දෙයක් එක්ක වේගයෙන් වෙනස් වෙනවා. ඉන්දියාවේ මිනිස්සු එහෙම නෑ. බොහොම සීමිත කොටසක් තමයි. එහෙ ජාතීන් වැඩියි, සංස්කෘතීන් වැඩියි, ආගම් වැඩියි. ඉතින් මේවා අතර ඝට්ටන තියෙනවා ලෝකෙට නොපෙන්නුවාට. ඒත් ඔවුන් නිෂ්පාදනය අතින් අපිට වඩා බොහෝ ඉදිරියෙන්. ඔච්චර ජනගහනයක් ඉඳලත් අහාර වලින් ස්වයංපෝෂිතයි. ස්වාව්හාවික සම්පත් තියෙනවා. ඒ නිසා ඔවුන්ට තනියෙන් නැගී සිටීම පහසුයි.

      Delete
  17. මගේ සංචාරයේදි පොදු ප්‍ර‍වාහන බස් රථ පාවිච්චි කලා... තමිල්නාඩුවෙ මගී ප්‍ර‍වාහන බස් රථ සියල්ලම රජයේ... ඒ නිසා නියම වෙලාවට ධාවනය වනවා වගේම... බෙල්ල දික් වෙනතුරු ජනේලයෙන් පස්ස බලාගෙන ඊළග එක එනතුරු හෝල්ට් එකේ කොට කොට ඉන්නේද නැත... මම ලියන ඉදිරි පෝස්ටුවකදී මේ සියල්ලම දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. දකුණු ඉන්දියාවේ ඒ වගේ තියෙනවා කියන්නත් පුදුමයි.

      Delete
  18. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...