කාලෙකට පස්සේ පහුගිය සෙනසුරාදා ගෙදර ඉන්න අවස්ථාවක් ලැබුණා. එහෙම කිව්වේ බොහෝවිට සෙනසුරාදා දින වල වැඩ කරන්න සිදු වෙන නිසා. ටිකක් වැඩි වෙන්න නිදාගෙන උදේ අටට විතර ඇහැරිලා සාමාන්‍යයෙන් එදිනෙදා කරන වැඩ ටික වෙනදට වඩා මන්දගාමීව ගෙවලා ලැප් එක ඉදිරියේ වාඩි වෙලා ඉඳිද්දී කුඩා කාලේ නිතරම වගේ අහපු දැන් වැඩියෙන් අහන්න නොවෙන පාරේ කෑ ගහන සද්දයක් ඇහුනා. ඒ "පිහිය මුවාත් - කතුරු මුවාත්" කියන වදන. දැන් කාලේ මේ වදන් පෙළ ඇහෙන්නේ බොහොම අඩුවෙන් කියල ඔබ කව්රුත් පිලිගන්නවා නේද ?
එහෙම වෙන්න හේතුව මොකක් වුනත්, නිදි මරගාතේ ලැප් එක ඉස්සරහට වෙලා හිටිය මගේ මොලය හරහා විදිලි කෙටුවාක් වගේ පණිවුඩයක් ආවා. "ඒ අපේ ගෙදර තියෙන එක පිහියකින් වත් මැරිච්චි මිනිහෙකුගේ නහය වත් කපන්න බෑ නේද ?" කියන එක. මම දෙපාරක් හිතන්නේ නැතිව එලියට දුවලා ඒ තරුණයාව අපේ නිවසට කැඳවා ගත්තා. ඉතාම විනීත ස්වරුපයක් පෙන්නුම් කරපු මේ පුද්ගයලා නිවසට අතුලු වත්දී ඔහුගේ පාවහන් දෙක ගලවා ආවා. මා පිහි ටික ගෙන්න ඇතුලට ගියේ මගේ නංගිගේ පුත්‍රයාට ඒ පැත්ත බලා ගන්න කියා.
මා පිහි ටික රැගෙන එන විට, ඉස්තෝප්පුවේ එක් කෙළවරකට වන්න තිබෙන ටැප් එක ළඟ මේකා කකුල් දෙක සහ පාවාහන් යුගල හෝදනවා. ඒක දැකලා මට පොඩි කලකිරීමක් ඇති නොවුනෙත් නෑ. ඒත් මා බලා සිටියා මේකා ඊළඟට කරන්නේ කුමක්ද කියා. නැවතත් සෙරෙප්පු දෙක අතට ගත් ඔහු යලිත් එය ඇතුළු වන දොරටුවෙන් පිටත තබන්න වග බලා ගත්තා. මොහොතකට ඇති වූ කලකිරීම නැවතත් යථා තත්වයට පත් වුනා. මම අරගෙන ආ පිහි ටික අතට දී
"මේ ටික මුවත් තියන්න කීයක් යනවද ?"
කියා විමසා සිටියා. ඔහු වයස 30ක පමණ තරුණයෙක් වග නිගමනයකට එන්නට මට වැඩි වෙලා ගියේ නෑ. පිහි ටික දෙස රිලා බැල්මක් හෙලා අවසානයේ කට හඬ අවධි කළා
"මාත්තයා හොඳ පිහි ටිකනේ, හොඳට මුවාත් කොල්ලා දෙන්නං, රුපියල් තුන්සිය පනාක් දෙන්න"
"තුන්සිය පනහක් වැඩියි. තුන්සීයක් දෙන්නම්"
"පනාක් බලන්න එපා මාතියා"
"හරි හරි පටන් ගන්නකෝ"
අපේ ගෙදර අමුතුම මාදිලියේ ඉස්තෝප්පුවක් තියෙන්නේ. මේක අඩි 10 x 30 ප්‍රමාණයේ එකක්.(මගේ දියණිය මෙතැන් චායාරුප බොහෝවිට ගන්නවා. එහෙම එකක් තිබුනොත් දාන්නම්). එතනම වාඩි වූ ජංගම කම්මල්කරුවා(අවසානයේදී කල කථාවේදී අසා ගත් නම පොස්ටුව ගලා යාමේ පහසුව සඳහා මෙතැන් සිට භාවිතා කරන්නම්. ඔහුගේ නම රාමරාජ්)
ෆැන්ටා ක්‍රෙට් එකක් මත වක්‍රාකාර ගිනිගලක් සවි කල සරල උපකරණයක් ජීවිත සටනක් ගෙන යන්න දිරි දෙන උපාංගයක් ලෙස යොදා ගැනීම කෙතරම් අපූර්ව ජනකද? බොහෝ දෙනෙකුට තම ජීවිකාව කරගෙන යන්නට කෙතරම් උපාංග ප්‍රමාණයක් උවමනා කරනවාද ?මේසන් බාස් කෙනෙකුට, වඩු බාස් කෙනෙකුට. ඔහු ළඟ මේ අපුර්ව උපකරණය හැරෙන්නට අඬුවක් සහ මිටියක් ඇති බව පැහැදිලි වුණා. හිටි තැනම වාඩි වූ රාමරාජ් එක් පිහියක් අතට ගෙන පිහියමුවාත් යන්ත්‍රය කරකවන්න පටන් ගත්තා. එය කරක්වෙන රිද්මය සහ කුඩා ගිනි පුපුරු විහිදුවමින් ඇති කරනා චිරි චිරියත් දෙස ආසාවෙන් බලා සිටි මගේ මතකය කුඩා කල වෙත පිය මැන්නේ නිරායාසයෙන්. එහෙත් මොහොතකින් යන්ත්‍රය හෙමින් එහා මෙහා යන බව මට තේරුනා. වහා ඔහු නවත්වා ගරාජ් බිම වෙත ස්ථාන මාරුවක් කලේ. ඉස්තෝප්පු බිම ඉරි ඇඳුනොත් පිහි කෙතරම් හොදින් මුවහත් වුවත් වැඩක් නැති නිසා.
හිස නවාගෙන පාඩුවේ තම රාජකාරිය රාමරාජ් තම රාජකාරිය කරන දෙස අප දෙදනා බලා සිටයේ දැහැන්ගතව. කුඩා කල සිටම විවිධ රැකියා කරන අය නිරීක්ෂණය කිරීම මගේ විනෝදාංශයක්. ඒ මගින් ඒ එක් එක් රැකියාව පිලිබඳ යම් අවුබෝධයක් ගන්න මා පුරුදු වී සිටියා. පිහි හතර මුවහත් කරන්නට ඔහුට ගත වුනේ විනාඩි 20ක් පමණ කාලයක්. ඒ කියන්නේ එක් පිහියක් සඳහා ගත වන්නේ මිනිත්තු පහක් වගේ කාලයක්. ඔහු දෙස බලා සිටි මා හිතින් බ්ලොග් පොස්ටුවක් ලිව්වා. විනාඩි විස්සකට පසු වතුර වීදුරුවක් ඉල්ලා පානය කල ඔහුට මා රුපියල් තුන්සීයක් දිගු කළා.
"මාත්තයා පනාක්ම අඩු කළා නේ"
ඒ වචන පෙළ මගේ මහත්තයා කම යම් හෑල්ලුවකට ලක් වුවා නොවේදැයි යන සිතුවිල්ල මගේ හිතේ ඇති කලා. යම් කෙනෙකුගේ වෘත්තීය ගරුත්වය අප ආරක්ෂා කල යුතු නොවේද? මා තවත් රුපියල් විස්සක් ඔහු අත තැබුවා. පනහම දෙන්න සිත පහල වූවත්, භාණ්ඩයක් හෝ සේවාවක් ගැනීමේදී හැකි හැම විටම කේවල් කල යුතු නොවේද? ඒත් මේ අහිංසක පිහිය මුවාත් කරුගෙන් රුපියල් පනහක් ඉතිරි කරගෙන කළහැකි මහා ඉතිරිය කුමක්ද ? මේ සිතිවිලි අතර භ්‍රමණය වූ සිතිවිලි මාලාව පසෙක තබා මා ඔහු සමග කෙටි පිළිසඳරක යෙදුනා.
රාමරාජ් පදිංචි වී සිටින්නේ මොරටුවේ. මොරටුව යනු දෙමළ ජනතාවට ආවේනික ප්‍රදේශයක් නොවේ. එහෙත් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මන්නාරමේ සිට මොරටුවට සංක්‍රමණය වී එහි ජීවත් වේ. රාමරාජ් කොළඹ එන්නේ දුම්රියෙනි. ඉන් පසු යම් මාවතක් තෝරා ගන්නා ඔහු මෙවැනි නිවෙස් කිහිපයකට සේවාව සපයයි. දවසකට රුපියල් 1500ක් පමණ උපයා ගත් පසු නැවතත් තම කැදැල්ල බලා පියාඹයි. එහි ඔහුගේ බිරිඳත් දියණිය සහ පුතාද වෙයි. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපයන්නේ මේ රුපියල් 1500යි. මගේ විශ්වාසයේ හැටියට ඔහුට ඉතිරි කල හැකි මුදලක්ද වෙයි. ඔහු තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දෙයි. රාමරාජ් මුළු රටටම ආදර්ශයක් වන්නේ අන්න එතැනදීය.
"දැන් මාත්තයා ඉස්සර වගේ වැඩ නෑ. දැන් චීන බාල පී තියෙන ඉන්දා මිනිස්සුලා ඒවා අරගන්නවා රුපියල් ඇත්තා පායි පනායි දීලා. ඇබැයි මාත්තයා දවස් දායක් කපන්න බෑ" (අපේ පිහි අතරින් කලින් සඳහන් කල වර්ගයේ පිහිය අතට ගෙන පෙන්වයි).
"ඇබැයි මේ වගේ ඔඳ පී ගොඩාක් කාලයක් කපාන්න පුළුවන්" (හොඳ පිහියක් අතට ගෙන පෙන්වයි).
ඔහු කියන කතාව ඇත්තය. චීනයෙන් එන අඩු මිල ද්‍රව්‍ය නිසා අපේ රටේ පොඩි මිනිහාට කණ-කොකා අඬන කෙතරම් ක්ෂේත්‍ර වේද? අප රට චීනය විසින් කරනු ලබන ක්‍රමානුකුල ආක්‍රමණයකට නතු වී ඇත්ද ? මෙය ගැඹුරුව අධ්‍යනය කල යුතු විෂයකි. මන්ද ? උපන්ගෙයි කම්මැලියන් වෙසෙන රටක් මෙවැනි අඩුමිල කම්කරුවන්(Low cost Labour) සපයන උල්පතකට කදිම ඉලක්කයකි. මා ලියූ පසුගිය ලිපියකින් (චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....) පැහැදිලි කල වෙළඳ නියෝජිත රැකියා පවා අනවසරයෙන් කරගෙන යන ආකාරය දැක ගත හැක.
නමුත් මා කතා කරන්නට යන්නේ චීන්නු ලංකාවේ කරන මංකොල්ලය ගැන නොවේ. රාමරාජ් වැනි ආදර්ශමත් තරුණයන් ගැනය. යුද්ධය පැවතී සමයේ රාමරාජ් කොළඹ හිටියානම් ඔහුට නිතරම හිරබාරයට පත් වීමට සිදු වනවා ඇත. රාමරාජ්ලාගේ ගමේ පිහියමුවාත් රැකියාවට වෙළඳපොලක්ද නැත. රාමරාජ්ලා ඉසුරුසොයා කොළඹ බලා ගමන් ගෙන ඇත. අපවැනි සේවාදායකයන් කලාතුරකින් හෝ ඔහුට ඇත. රාමරාජ්ලා බඩුමිල වැඩි යයි දෙස් දෙවොල් තබන්නේ නැත. ඔවුන් ලිප්ටන් වටරවුමට(රවුම ඉතා කුඩාය) හෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට එකතු වී කෑ ගැහුවත් කාටවත් නොදැනෙනු ඇත. තිස් වසරක කුරිරු යුද්දයෙන් බැට කෑ රාම්රජ්ලාට තරම මේ නිදහස ආශීර්වාදයක් වූ වෙනත් කොටසක් නැත.
ජීවන වියදමෙන් බැට කන්නේ හෝ එය මහා බරක් ලෙස දැනෙන්නේ රාමරාජ්ලාටවත්, සුළු වෙළඳාමේ සිට මහා පරිමාන වෙළඳාම දක්වා ව්‍යාප්ත වී තිබෙන මොහොමඩ් අහමඩ්ලාට වත් නොව. රැකියා වල පිහිටෙන් ජීවිකාව ගැට ගහ ගන්නා සිංහල මධ්‍යම සහ සුළු ධනේශ්වර පන්තිය නියෝජනය කරන අපට බව ඉතා ලජ්ජාවෙන් වුවද කිව යුතුය. රාමරාජ්ලාගේ රැකියාවේ මිල තීරණය කිරීමට ඔවුන්ට ඇති නිදහස විශ්‍රාමය හිමි රජයේ සේවකයන් වන අපට තිබේද ? අපට පඩි වැඩි කර ගන්නට සැබෑ සටනකට බැසිය යුතුය. රාමරාජ්ලාගේ ජීවිතය සරලය. අප නියෝජනය කරන පන්තියේ වැඩි හරිය සිංහල ජන කොට්ටාශය බව පැවසිය යුතුය. රැකියා කරන මොහොමඩ්ලා සයිඩ් බිස්නස් එකක් කර කීයක් හරි හොයා ගනී. රැකියා නියුතු දෙමළ ජනයා අර පිරිමැස්ම සහ අල්පේච්ච දිවි පෙවෙතෙන් යම් මුදලක් ඉතිරි කර ගනී. රැකියා කරන අපේ කණ්ඩායමට ජීවන බර ඉහලින් දැනෙන්නේ ඇයි ? හැම බරම රජයට හෝ සේවාදායකයාට පටවා වැඩි පඩි ඉල්ලා කෑ ගසනෝ අපි වෙමු.
ඒ අතින් රාමරාජ් ඇතුළු රට පුරා විසිරී සිටින දෙමළ ජනයා අපට මහත් ආදර්ශයකි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ පිට කොන්ද ඔවුන් යයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මා ලංකාව තුල සෑම අස්සක් මුල්ලක් නෑර ඇවිද ලැබූ අත්දැකීම මෙයට සාක්ෂි සපයයි. මුස්‌ලිම ජන කොට්ටාශය වෙනත් සෙල්ලම් දමා මුදල් උපයයි. ඔවුන් රටේ ශ්‍රම බලකායට දායක වන්නේ ඉතා අල්පාවය. ඒ නැගෙනහිර වී ගොවිතැන මගිනි. වෙනත් දෙයක් මගේ සිතට නොඑයි. එසේ තිබෙනවා නම් සඳහන් කරන්න. අඩු ආදායම් ලාභී සිංහල ජනයාද කාටවත් මැසිවිලි නොනගයි යන්න මගේ විශ්වාසයයි. රැකියාවැති අපට සියල්ල මහා බර වුයේ මන්ද ?
ප.ලි.
රාමරාජ්ගේ සේවය ඔබටද අවශ්‍ය වේ යයි මට සිතේ. ඔහුගේ දුරකථන අංකය මගේ ජංගම දුරකථනයෙහි සටහන් කර ගත්තේ ඒ වෙනුවෙනි. අමතන්න රාමරාජ් - 0770358672(කරුණාකර ඇන්දීමට භාවිතා නොකරන්න).
ඒ මනුස්සයා අපිට හොඳ ආදර්ශයක්
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteදවස් ගානකට කලින් නුගේගොඩ කිට්ටුවදී මමත් ඔය වගේ පුද්ගලයෙක් දැක්කා. ඔහු නම් පා පැදියක තමන්ගේ උපකරණ සකස් කරගෙන තිබුනා. පිටු පස රෝදය දෙපසට අමතර රෝද දෙකක් සවි කරගෙන බොහොම අපූරුවට ඔහු කම බයිසිකලය සකස් කරගෙන තිබුනා. ඒ වගේම විදුලියෙන් ක්‍රීයා කරවන ගිනි ගලක් පවා ඔහු සතු වුනා.(සේවය සපයන නිවසින් විදුලිය ලබාගෙන)
ReplyDeleteබලන්න ඔවුන්ගේ නිර්මානශීල්ත්වය.
Deleteමට දැනුනේ එකම දෙයයි සුදීක. ජීවිතය සරළ වෙද්දී තියෙන සැහැල්ලුව. එදිනෙදා ජීවිතය ගැට ගහන ඔවුන්ගේ ජීවිතය සරළයි. ඒ නිසාම මැසිවිලි නැතුව ජීවිතය ගොඩදාන්න ඔවුන් දන්නවා. අපි ඒකේ අනිත් පැත්ත. ඒත් ඉතින් අපිත් ජීවත් වෙන්නේ ඔවුන් ජීවත් වෙන රටේමයි.
ReplyDeleteසුදීකගේ කතාවෙන් ආදර්ශවත් චරිතයක් දැක්කා..
ඔව් අපිට තියෙන අවශ්‍යතා නොවෙයි ඔවුන්ට තියෙන්නේ. ඔවුන්ට තියෙන්නේ මිහිපිට ජීවත්වන ඕනෑම ජීවියෙකුට තියෙන අවශ්‍යතා. ඒත් අපි සංකීර්ණ දේවල් පසුපස්සේ ගිහින් තමයි වියදම අධික වෙන්නේ.
Deleteදෙමල මිනිස්සුන්ගේ බොහොම ආදර්ශ ගන්න තියනවා කියන එකට මාත් එකඟයි . ඔවුන් ව්‍යාපාර කරන්නේ බොහොම අවංකව, මොහොමඩ් ලගේ ව්‍යාපාර අස්සේ හොර ගේම් වැඩියි . සිංහල මිනිස්සුන්ගේ ව්‍යාපාර වල අවුල පාරිභෝගිකයින් තඹෙකට මායිම් නොකරන එක .
ReplyDeleteදෙමල ජාතිකයින් ඉහල බුද්ධි මට්ටමක් තියන ජාතියක්ය කියලත් ඒකට හේතුව ඔවුන් ආර්යන්ට වඩා ඉපැරණි , දියුණු තත්වයක තිබුනු මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් පැවැත එන්නන් නිසාය කියලත් මම අහල තියනවා .ප්‍රොෆෙසර් මහලිංගම් , අබ්දුල් කලාම් , වත්මන් ලෝක චෙස් ශූරයා ,යාපනයේ උසස් පෙල ගණිත ප්‍රතිපල ඉතිහාසය ආදී උදාහරණ වගේම ආතර් සී ක්ලාක් මහත්තයගේ පොත් වලිනුත් ඔය වගේ අදහසක් මතුවෙලා තියනවා .(මගේ අදහසක් නෙවෙයි වෙන කෙනෙක් කියපු දෙයක් )
කොහොම වුනත් වතුදෙමල ජනතාව තුල නම් අනික් දෙමල ජනයා තුල තියන යහපත් ගති ලක්ෂණ අඩුයි . ඒකට හේතුව ඔවුන් දිගින් දිගටම අසාධාරණ ශ්‍රම සුරාකැමට ලක්වීම වෙන්න ඇති
වතු දෙමළ අය ඒ තත්වෙට පත් වෙලා තියෙන්නේ සිංහල අයත් එක්ක මුහු වීමදෝ කියල මට හිතෙනවා.
Deleteබුවාගේ මුල ඡේදේ තියෙන ටිකට මාත් 100% ක් එකඟයි... දෙමළ ව්‍යාපාරිකයන්ගේ තියෙන ලොකුම දේ තමයි අවංක කම... ඔවුන්ට පාඩුවක් උනත් ඔවුන් කවදාවත් වංචා කරලා බඩු විකුණන් නෑ..
Deleteමං හැම මාසෙම ගෙදරට බඩු ගන්න දෙමළ කඩයක් තියෙනවා.. එකපාරක් බඩු ලිස්ට් එකම අරගෙන ගෙදර ඇවිත් බලද්දි බිස්කට් පැකට් එකක් අඩුවෙන් දාලා තිබ්බේ.. බිලට වැටිලා තිබ්බත් ඒ වෙලාවේ ආපහු යන්න බැරි හින්දා මං ඒක අමතක කරලා දැම්මා.. ඊළඟ මාසේ අපි දෙන්නා බඩු ගන්න ගියාම ඒ මුදලාලි අපේ මහත්තයට ඒක මතක් කරලා සමාව ඉල්ලුවා... වැරදීමක් වෙච්ච බව කියලා ඒ ගාන ආපහු දෙන්න සූදානම් උනා...
බුවා 100% එකගයි! (අත්දැකීම් හේතුවෙන්) කොළඹ ජනප්‍රිය නයිට් ක්ලබ් සංස්කෘතිය තුළත් ජාති නොයෝජනය සැලකුවොත් බහුතරය සිංහල (මතක තබා ගන්න කොළඹ බහුතරය මුස්ලිම්), අඩුම ශ්‍රී ලාංකීය දමිළ. මීට හේතුව ආගමික බලපෑමද, නැත්නම් වෙන කුමක් හෝ බලපෑමක්ද දන්නේ නෑ.
Deleteඉස්සර අලුත්ගම දෙමළ කඩයක් තිබ්බ සරස්වතී කියල, අල්ලපු කඩය සදානන්ද් මේ කඩේ නැති බඩු අනිත් කඩෙන් ගෙනත් දෙනවා. ඒ වගේමයි සල්ලි මාරු කරලා දෙනවා. චෙක් මාරු කරන්නත් බොහෝ ය ගියේ මෙතනට. ඒ මිනිස්සු හරි හිතෛෂී අය. මගේ ඥාතිකමෙන් අක්ක වෙන කෙනෙකුගේ ගෙදර තමයි 83දී මෙයාලව හංගා ගෙන හිටියේ.
Deleteසරල ජීවිතයට සරල ආදායමක් අපිට වගේ සෙමෙස්ටර් නෑ එක්සෑම් නෑ
ReplyDeleteඅනේ මන්දා සුදීක අයියේ වැඩිය හිතන්න ගියොත් මටත් පෝස්ට් එකක් ලියන්න වෙනවා
ලියන්න ලියන්න. අපිටත් කියවන්න.
DeleteNiyama lipiya..hondata liyala thiyenawa..
ReplyDeleteබොහොම ස්තුතියි ටික්කා.
Deleteකව්රුත් නොහිතන පැත්තකට ඔබ ඒ තරුණයා සමග අපව රැගෙන ගියා. පොඩි දෙයක් තුලින් ඔබ දුටු දර්ශනය ඉතාම වටිනවා.
ReplyDeleteබොහොම ස්තුතියි නලීන්.
Deleteවටිනා බුවෙක්...
ReplyDeleteඅනිවාර්යයෙන්ම අපිටත් වඩා.
Deleteමෙවැනි සේවා සපයන්නන් ඉල්ලන ගාන (නොවටිනා ම ගාණක් නෙවෙයිනම්)ඒ මුදල දෙන්න,කේවල් කිරීම (හැමවිටම) හොද දෙයක් නෙවෙයි.වැටුපට සෙවය කරන්නන්ට මෙන් ඔවුන්ට විශ්‍රාමික ජීවිතයක් කියා දෙයක් නෑ. ඔවුන් සියල්ලම කරගන්න ඕන ඒ උපයන මුදලිනුයි.
ReplyDeleteරාමරාජ්ගේ බඩට ගහන අදහසින් කියනවා නෙවෙයි, ඒ මුවහත් කරගත් පිහි ටයිල් කෑල්ලක යටි පැත්තෙ ගාගත්තොත් ෆුල් ෂාප් කරගන්න පුළුවන්.
දැන ගත් එක හොඳයි.
Delete@sumith
Deleteමේකා නොදන්න දෙයක් නෑනෙ...
ඒකනේ. ඕකත් 89/90 කාලේ අත්දැකීමක්ද දන්නේ නෑ. D
Deleteමිනිස්සු ජීවත්වෙන්න විවිද දේවල් කරනවනෙ. ඔහොම එන මිනිස්සුන්ගෙ වර්ග දෙකක් ඉන්නව. සමහරු මැච් කාරයො. ඒ කියන්නෙ එදා දවස ගෙවාගන්න මොකක් හරි මැච් එකක් ගහගන්නව කියල හිතන අය. ඒ හොයන සල්ලි පහුවදා වෙනකොට ඉවරයි. එහෙම අයගෙ පවුලෙ උදවියත් දුක් විදිනව. ගොඩක්ම මත් වෙන්න දෙයක් හොයාගන්න තමයි එහෙම සල්ලි හොයන්නෙ. එයාල නම් ගෙදරකට ගන්න හොද පිරිසක් නෙමෙයි.
ReplyDeleteඅනිත් පිරිස අනාගතය ගැන හීන ගොඩාක් තියාගෙන ජීවත්වෙන අය. එයාල ඉතුරුවක් කරගෙන දරුවන්ට උගන්නගෙන සාධාරනව ජීවත්වෙන අය. එයාල ගොඩක් වෙලාවට සතුටින් ජීවත්වෙනව.
දවසකට 1500ක් හොයන ඒ මනුස්සය වගේම, ඔයිට වඩා දහ ගුනයක් මහන්සි වෙලා දවසට 500ක් 600ක් හොයන මිනිස්සුත් ඉන්නව. ඒකට කරුමෙ කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.
(අපිට එහෙමවත් නැහැනෙ)
මේ මිනිස්සුන්ට ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු නෑ. එනිසා එදා එදාට කාලා ඇඳලා ඉන්නවා ඇරෙන්න වෙන කරන දෙයක් නෑ. හවසට කසිප්පු වලින් සප්පායම් වෙලා දරු මල්ලන්ටත් කන්න බොන්න දීලා නිදා ගන්න එක තමයි ඔවුන්ගේ සිරිත. ඒත් රාමරාජ් වෙනස් කියල මට හිතෙනවා.
Deleteමෙහෙම ගියොත් අපිත් ටික කලකින්ම චීනේ කොලනියක් වෙන එක වලක්වන්න බැහැ
ReplyDeleteඒක තමයි.
Deleteටෙලිෆෝන් නොම්මරේ දුන්නු එකට නම් ස්තූතියි. ලංකාවේ කට්ටියට දෙන්ට පුලුවන්.ඔය විදියට මුවාත් කරන්ට පුලුවන් අර පරණ වර්ගයේ පිහි විතරක්ද? දැන් පිහි මුවත් කරන ආයුධත් වෙලඳ පොලේ තිබීම මේ වගේ අයගේ රැකියාවට බාධාවක් නේද කියලත් හිතෙනවා.
ReplyDeleteරාමරාජ් වගේ තරුණයන් නම් අපේ අයට ආදර්ශයක්ම තමා. වැඩියෙන්ම හැම දෙයක් දෙසම වැරදි ඇහෙන් බලන තරුණ කොටස් අපි අතර ඉන්න හන්දා.
හැබැයි රාමරාජ් නුවර ගෙන්න ගන්න බැරි වෙයි. මමත් එහෙම එකක් ගෙනත් බැලුව හරි ගියේ නෑ. අර සුමිත් කියපු ටයිල් වැඩේ ට්‍රයි කරලා බලන්න ඕනේ.
Deleteඉස්සර මේ පැත්තෙත් ඔහොම අය හිටිය. ඒත් දැංනං දකින්නෙ කලාතුරකිං.
ReplyDeleteහොඳ ලිපියක් සුදීක.
ළඟ පාතක නම් ගෙන්න ගන්න පුළුවන්. නොම්මරේ දාලා තියෙන්නේ.
Deleteඔය වගේ කාටවත්හිරිහැරයක් නොවෙන විදියට එදිනෙදා ජීවිතය සරි කරගන්නා සිංහල,/දමිල,/මුස්ලිම්/බර්ගර් කොතෙක්වත් ඉන්නව සුදික.ඉස්සර අපේ ගම්පලාත්වල බයිසිකලයේ පිටිපස ගිනිගල ගැට ගසාගන නිවාඩු දිනවල යන අයගෙන් ආච්චිලා/අම්මල/නැන්දල පිහි මුවාත තියාගන්නව මතක් උනා.හැබැයි එකක් හැර සේරම ගමේ කම්මලේ හදපු පිහිය/කැත්ත/විසිකැත්ත/බොක්ස් වැට කපන ලොකු කතුර සහපිටරට සිංගර් මහන මැෂිමේ කතුර.හැබැයි මැෂින් කතුර ඇරෙන්න අනිත් ඒවා ටික අව්රුද්දකට සැරයක් විතර කම්මලට අරන් යනව පන්නරේ තියන්න කියල.
ReplyDeleteපන්නරේ එක පාරක් තිබ්බම මදිද ?
Deletehonda lipiyak
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteලාබ චීන බඩු නම් පුදුම වදයක් සමහර වෙලාවට... ලාබෙ බලලා මම නං ගන්නේ නෑ කවදාවත්...
ReplyDeleteමම නම් දෙයියනේ කියලා ඕදිරිස් මන්න පිහියක් සහ මේසෙට හයිකරන හිරමණයක් තමයි ගෙදරට මුලින්ම ගත්තේ.. ගාන වැඩි උනත් ( ලාබ ඒවට වැඩිය) තාමත් එක පාරක්වත් මුවහත් කරන්න නම් උනේ නෑ... කොස් ගෙඩියක් එහෙම හම්බුනාම තමයි මන්න පිහියේ වටිනාකම කියලා නිම කරන්න බැරි... හි හි
මමත් ලාබෙට වඩා කල්පැවැත්ම ගැන හිතනවා. රුපියල් සීයට අඩු දේවල් තමයි බලන්නේ නැතිව ගන්නේ.
Deleteමගේ ලඟත් තියනව ඔයින් ගැජට් එකක්. ගාන දිහා බැලුවම ජොබ්එක අත්හැරල වැඩේට බැස්සත් පාඩු නෑ වගේ.
ReplyDeleteඔව් ඔව් අපේ රස්සා වල තියෙන්නේ පුහු ආටෝපේ විතරයි.
Deleteසුදීකගෙ ලිපියෙන් මතු කරපු කරුණු වටිනවා..බොහෝ වෙලාවට ඉන්දියාවෙ නම් මේ වගේ ස්වයං රැකියා කරන අය ගොඩක් ඉන්නවා..අපේ රටේ තනියම ඔළුව උස්සන්න හදන මනුස්සයට ගොඩක් අභියෝගතා ඇති වෙනවා..
ReplyDeleteලංකාවේ උදේට සාගත මල්ලට බත් එකක් දාගෙන කොළඹ ගියේ නැත්නම් වැඩක් නා වගේනේ.
Deleteඇත්තටම ඔය වගේ තමන්ගෙ සැබෑ මහන්සියෙන් කීයක් හෝ උපයා ගන්නා තරුණයන් දැක්කාම අනුකම්පාව මුසු කරුණාවක් පහළ වෙනවා. සුදීක බැංකුවේ වැඩ කරන මනුස්සයානේ ඉතින් ..එහෙම ගනුදෙනු නොකර කොහොමද ?
ReplyDeleteමේ වගේ මිනිහෙක්ගේ සේවය ලබා ගැනීමම පිනක්. ඉල්ලන ගාන ටිකක් වැඩි කියල තමයි මම 300ට ආවේ. මොකද 350 ඉතිරි නැතිව හතරෙන් බෙදෙන්නේ නැති නිසා.
Deleteලගකදී අපේ පැත්තේ නම් මෙවැනි වෘත්තිකයෙකු දැකලා නෑ.... ඔහු ගැන එතරම් අනුකම්පාවෙන් කථා කරන ඔබ ඇයි රුපියල් 30 තියා ගත්තෙ ?
ReplyDeleteදෙමළ මිනිස්සු බහුතරයක් බොහොම හොද අය...ඒක ඇත්ත... දෙමළ දේශාපාලුවන් සහ වේළුපිල්ලේ පිරිභාහරන් මේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට විෂ පෙව්වෙ නැත්නම් සිංහල ,දෙමළ මිනිස්සු ඉතාමත් සමගියෙන් පසුගිය වසර 30 ත් ගත කරනවා...
Deleteමා යාපනයට ගිය සංචාරයකදී දෙමළ බේකරියකින් පාන් ඉල්ලුවා... නමුත් පාන් ඉවරයි. මුදලාලි දෙමළ පමණක් කථා කරන කෙනෙක්...ඒ නිසා අපි අතර අදහස් හුවමාරුව පිළිබද ගැටළුවක් ඇති වුනා...නමුත් ඔහු අතින් සංඥා කලා මදක් රැදී සිටින ලෙස... තවත් මොහොතකින් ඉංග්‍රීසි කථා කල හැකි දෙමළ අයෙක් පැමිණියා... මුදලාලි ඔහුට දමිළ භාෂාවෙන් යමක් පැවසුවාම.. ඒ ආසන්නයේ ඇති තවත් බේකරියකට යන මාර්ගය ඔහු මට කියා දුන්නා... නිකමට හිතන්න සිංහලයෙක් වත් මෙහෙම නාදුනන කෙනෙක්ට උදව් කරාවිද කියලා... හින්දු ආගමෙන් හොද ශික්ෂණයක් ඔවුන්ට ලැබී තියෙනවා...
//දෙමළ දේශාපාලුවන් සහ වේළුපිල්ලේ පිරිභාහරන් මේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වලට විෂ පෙව්වෙ නැත්නම් //
Deleteමේක තති අතින් ගහපු අප්පුඩියක් නෙවෙයි , සිංහල දේශපාලකයොත් භාගෙට භාගයක් වගකිවයුතුයි සිංහල -දෙමල වාර්ගික අර්බුධයක් ඇතිවීම පිලිබඳ . කොටි සංවිධානය ශක්තිමත් වීමට ඉන්ධිරා ගාන්ධි සහ රජ්වි ගාන්ධි වගකිව යුතුයි .
//ඔහු ගැන එතරම් අනුකම්පාවෙන් කථා කරන ඔබ ඇයි රුපියල් 30 තියා ගත්තෙ ?//
Deleteඔබ කියන්නේ අනුකම්පාව නිසා ඔහු ඉල්ලූ මුදලම දෙන්න අවශ්‍යයි කියාද? එම මුදල ඔහු කියන්න ඇත්තේ අනිවාර්යෙන්ම ගනුදෙනු කරුවන් ඔහු ඉල්ලන මුදල නොගෙවන නිසා. මා ඔහුට අවස්ථාව ලභා දීමද අනුක්මපාවේ කොටසක්. මා ඔහුගේ සේවය ලබා ගන්නේ ඔහුට දිරියක් වශයෙන්. අනවශ්‍ය ලෙස මුදල් දීම ඔහුට ඔහු ගැන වැරදි තක්සේරුවක් ඇති කර ගන්න රුකුල් දීමක් විය හැකියි.
ඊලාම් යුද්දය ප්‍රභාකරන්ගේ සිහිනයක් බව ඇත්ත. ඒත් එතනට සාමාන්‍ය දෙමල වැසියා ඇද දැම්මේ එවකට සිටි දේශපාලකයන් කොටසක් විසින්. එහි වන්දිය තමයි අපි වසර 30ක් තිස්සේ ගෙව්වේ. ඉහලින් බුවා කියල තියන කතාවට මමත් එකඟයි.
රාම්රාජ්ලාගේ ජීවිත තවමත් ශෝකාන්තයක තියෙන්නේ. අපි දිනුවේ යුද්ධය විතරයි දෙමල මිනිසුන්ව දිනාගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් එදා වේල සවිකරගන්න සපත්තු මැහිම, කැඩුණ කුඩ සෑදිම, වගේම ඔබ සඳහන් කළ මේ කතුරු මුවාත් පිහිය මුවත් රස්සා කරනවා. සමහර විට ඔවුන් හිතනවා ඇති ඔවුන් තවමත් අපේ යටත් වැසියන් කියලා.
ReplyDeleteනමුත් යුද්ධ නොකර මේවැනි රස්සාවක් කරන එක හෝ අගය කළ යුතු කමක්.
මානව වාදි දෘෂ්ඨියකින් බැලුවෙත් බොහොම සංවේදි සටහනක්.
// අපි දිනුවේ යුද්ධය විතරයි දෙමල මිනිසුන්ව දිනාගත්තේ නැහැ.//
Deleteමේ කියමනේ හිතන්න බොහෝ දේ තිබෙනවා. යුද්දය අවසන් කල පමණින්ම ඔවුන්ට සතුටින් ජීවත් විය හැකිද? ඔවුන්ට අවශ්‍ය කුමක්ද කියා අඩුම තරමේ දෙමළ දේශපාලකයන්වත් තේරුම් ගෙන නෑ. ඔවුන් අහිංසක දෙමළ ජනතාව යාත්‍රාවක් කර ගෙන තිබෙනවා ඔවුන්ගේ සුගතිය වෙනුවෙන්.
ලාබ බාල බඩු ගන්නවට වඩා ඒ වගේ දෙගුණයක් දීලා හරි හොඳ බඩුවක් ගන්න මමත් කැමතියි. අවුරුද්දක් ඇතුලත ඔය සම්බන්ධ හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා.
ReplyDeleteරාමරාජ් නම් ආදර්ශයක්ම තමා. අර කේවල් කරපු එක ගැන ලියපු ටිකත් හිතට වදින විදියට ලියල තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා කේවල් කිරීම උපතින්ම පිහිටපු. මටනම් ඒක බින්දුවක්වත් පිහිටලා නෑ. මේ වගේ මිනිස්සුන්ගෙන් කේවල් කරලා මුදල් ඉතුරුකරගන්න එක තේරුමක් නෑ කියලා මාත් හිතනවා.
මටත් රාමරාජ් වගේ ජීවත් වෙන්න තියනවනම් . . .
ReplyDelete