බාබර් සාප්පුවේ පිටුපස දොරටුවෙහි සොයිබයෙන් ඇර ගත් රොබින්සන් අයියා මට හිසින් කතා කර පිටුපසට ගමන් ගත් අතර මාද ඔහු අනුව යමින් පිටුපසට ගමන් ගතිමි. එක් වරම නාසය කඩාගෙන යන ගඳින් මා වටපිට බලමින් සිටින විට රොබින්සන් අයියා මගක් දුරට නැග තිබෙන පටු ලී තරප්පුවේ සිටම මා දෙස බලා සිනාසී
"එන්න එන්න මල්ලි ඕවා ඔහොම තමයි. ටික දවසක් යනකොට හුරු වෙයි". ඔහුගේ වචනයෙන්
තිගැස්සී මා ඉහළ බලන විටත් ඔහු කාමරයට ගොස් ඇත. ඔහු අනුව යමින් මමද ඉහළට ගමන් ගතිමි. එය අඩි විස්සයි විස්සක් පමණ හිස් කාමරයකි. බිමට සිමෙන්ති අතුරා ඇත්තේ අඩුම වශයෙන් මීට අවුරුදු පනහකට වත් කලින් විය යුතුය. ඒ බව පැහැදිලි වන්නේ එය ඉරිතලා තිබෙන ආකාරයෙනි. මා පිටතින් දුටු ජනෙල් පියන් හතරත් මේ දොරටුවත් හැරෙන්න හුළං ටිකක් වත් එන්න කපොල්ලක් වත් නැත. බිමට ගැලපෙන බිත්තිද තැනින් තැනින් ඉරි තලා ඇත. සිංහල උළු සෙවිලි කල වහලෙන්ද තැනින් තැන අහස පෙනෙයි. මේ මොහොතේ මට මේ දේවල් ගැන සිතිය නොහැක. මම බෑගය බිමින් තබා වටපිට බැලීමි.
"මෙහෙ වැඩිපුර දේවල් නම් නෑ මල්ලි. මේ පුටුවේ ඉඳන් තමයි ඔයාට පාඩම් කර ගන්න වෙන්නේ. ඒකත් අනික් කට්ටිය එන්න කලින් කර ගන්න වෙනවා"
මම හිතන්නේ මේ කියන්නේ පොඩ්ඩකට කලින් ආපු අර කෙට්ටු හාදයා ගැන වෙන්න ඇති. සමහර විට තව එක්කෙනෙක් ඇති. කාමරයේ අඩි හතරක් පමණ තීරුවක් වෙන් කර කෑම කෑමට සෑදූ කුඩා කාමරයක් ඇත. එහි පොඩි ලෑලි තට්ටුවක් ගසා තිබේ. එහෙත් අබලන් වූ පුටු දෙකක් පමණක් ඇත. සමහරවිට එකවිට සියලුදෙනා කෑම නොගන්නවා විය යුතුයි.
"ඔයත් එක්ක අද ඉඳලා අට දෙනෙක් මේ කාමරේ නිදා ගන්න ඉන්නවා. ඔයා පැදුරක් අරන් ආවද ?"
මගේ ඇස් උඩ ගියේ ඉබේටමය. මෙහෙම කොහොමද ඉන්නේ ? මම කල්පනා කළෙමි. ඕන නම් මෙතන අඩි විස්සක් ඇති. ඒක අටෙන් බෙදුවම එක්කෙනෙකුට ලැබෙන්නේ අඩි දෙකකට පොඩ්ඩක් වැඩියෙන්. හනේ දෙයියනේ තව මාස හයක්ම මේ දුෂ්කර ක්‍රියාව කරන්න එපැයි.
"ඔව් අයියේ මං පැදුරක් ගෙනාවා"
"හරි මල්ලි එහෙනං ඇඳුම් මාරු කරගෙන ඇඟ හෝදා ගන්න පල්ලෙහා නාන තැනක් තියෙනවා. ඔතන එළියේ තියෙන දොර කෑල්ල නිතරම වහල තියෙන්න ඕනේ. නැත්තං පිට යන එවුන් ඔතන මුත්‍රා කරනවා. ඔය අද එනකොටත් ගඳ ආවේ ඒකයි"
රොබින්සන් අයියා කොයි දෙයත් මැදහත් සිතින් දරාගෙන ඉන්නේ යයි මට සිතේ. මේ කථා කරන අතරතුර අර කලින් ආ බලපිටිය-කොස්ගොඩ පැත්තේ කෙසඟ කොලුවා සහ ඉතා ලොකු ඇස් දෙකක් සහ කුරු කොණ්ඩයක් ඇති, බැලූ බැල්මට පිට සක්වල ජීවියෙකුගේ සිරි ගත් තවත් එකෙකි. රොබින්සන් අයියා කියූ පරිදි කෙසඟයා නිපුල වූ අතර අනෙකාගේ නම මතක නැති බැවින් ඔහුට අපි සුනන්ද යයි කියමු. මෙහි ජීවත් වූ සෙසු බොහෝ දෙනෙක් දකුණු පළාතේ වූ අතර වෙනත් පළාතක කෙනෙකු සිටියේ විකට බස් කොන්දාස්තර වරයෙකු වූ බණ්ඩාය. ඔහුගේ හරි නම අහන්න මා උත්සාහ නොකළේ මේ වනවිට මතක තබා ගැනීමට ඕනෑවටත් වඩා නම් තිබූ බැවිනි. තවත් කෙනෙක් බස් ඩ්‍රයිවර් වරයෙකි. මැදිවියේ පසු වූ ඔහු පැමිණෙන්නේ නිදා ගැනීමට ආසන්නයේය. නැතහොත් අප නිදා ගත පසුවය. සුනන්ද සේවය කළේ කූපර්ස් ඇන්ඩ් ලයිබ්‍රෑන්ඩ් විගණන සමාගමේ බව පසුව තේරුම් ගත්තේ එය ඔහු ලවා සිය වාරයක් පමණ කියවීමෙන් පසුවය. ඔහුට අනුව වෙනත් සමාගම් වල පඩි පරිගණකගත කොට මුද්‍රණය කරන්නේ ඔවුන්ගේ සමාගමේය.
සංචාරකයන් ගෙන යන බස් රථයක බඩු පටවන්නා අනිත් පුද්ගලයන්ගෙන් කෙනෙකු වූ අතර ඔහු මෙහි නවතින්නේ සතියකට වරකි. ඒ ඔහු ගෙන යන බස්රථ කොළඹ ගාල් කල දිනකය. මා කලින් සංචාරක හෝටල් වල වැඩ කල බව කී විට ඔහු ඉතා සතුටින් මා හා කථා කළේ, අනෙක් අයට ඔහු කියන දේවල් එතරම් ගෝචර නොවන නිසා නිතර ඔහු උසුළු-විසුළුවට ලක් වන බැවිනි. ඔහුට මෙතරම් දාඩිය දමන්නේ තමා නිතරම ඒ.සී. එකේ ඉන්නා නිසා බව ඔහු පවසන්නේ උජාරුවෙනි. අට වැන්නා අනුරය. ඔහු උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. ලෙනින් කට් එකට රැවුල කපා ඇති ඔහු පසුව මගේ හොද මිත්‍රයෙකු වුයේ, අනෙක් අය ඔහුට ඇසුරු කිරීමට තරම් නොවේ යයි පවසා ඔහු ගණන් නොගෙන සිටීම නිසාය. ඔහු වැඩ කරන්නේ පහළ බාබර් සාප්පුවේය. බොහෝ විට මුදල් අයකැමිගේ රාජකාරිය කල ඔහු පහළ බාබර් සාප්පුවේ හිමි කරු වූ පොඩි අයියා(ලෙනින් කට් ගැසූ අනිත් පුද්ගලයා)ගේ සහෝදරයෙකි. ඔවුන්ගේ බාල සහෝදරයෙකුද මෙහි ආ ගියමුත් රාත්‍රියේදී බාබර් සාප්පුවේම ගත කරයි.
පහළ බාබර් සාප්පුවේ සිටින කොණ්ඩේ පොකුට්ටා පියල් වූ අතර, ඔහු දත් මදින්නේ ලයිෆ් බෝයි සබන් වලිනි. මීට අමතරව මෙම ස්ථානයෙන් නාගෙන හෝ වැසිකිළි අවශ්‍යතා ඉටු කර ගැනීමට එන අයද කිහිප දෙනෙක් වූහ. මෙම කඩ කාමර කිහිපයේ අනෙක් උඩ තට්ටුවක මහලු පුද්ගලයෙක් සිටී. ඔහු කරන රැකියාවක් නැතත් තනිවම කාමර කුලිය ගෙවා ගන්නවා කියන්නේ යමක් කමක් ඇති පුද්ගලයෙකු විය යුතුය. නිතරම නිරුවත් උඩු කයින් සිටින ඔහුගේ පපු ප්‍රදේශයේ සුදු මවිල් සිහි ගන්වන්නේ "බළල් පොරයකට සහභාගී වූ සෙයකි". වහලේ සිටින උගුඩුවෙක් හීලෑ කරගෙන සිටින මේ මහල්ලා ඒ සතාට කෑම කවනු දවසක් දෙකක් දැක ඇත්තෙමි. මා ඔහු සමග කථාවට නොගියේ දින කිහිපයකින් මා හා හිතවත් වූ නිපුල නොහොත් විපුලගේ අනතුරු ඇඟවීම නිසාය. උගුඩුවා ආ විට එය රොබින්සන් අයියාට පෙන්වන්නට මහල්ලා කා ගසන්නේ
"රොබිල්සල් ....රොබිල්සල් ...." කියාය.
ටික කාලයක් ගත වෙත්දී මේ ජීවිතය මට හුරු විය. මට නිතරම දේශන නොතිබුණ නිසා සියලු දෙනා තමන්ගේ වැඩ රාජකාරි වලට පිටත් වූ පසු පොත්පත් වල වැඩ කර ගන්නට මට හැකි විය. මේ වෙලාවට මා හා කතා කරන්නට එන්නේ තරමක උගත්කමත් තිබූ අනුරය. ඔහු ජේවීපී කාරයෙක් ලෙස අනෙක් අය හංවඩු ගසා ඇත. හේතුව ඔහු සියලු දෙනා හා කතාබහ නොකරන නිසාය. මා පාඩම් කරන හෝ මගේ සටහන් සම්පූර්ණ කරන වෙලාවක මෙහි එන ඔහු මගෙන් නිතරම අසන ප්‍රශ්නය
"ආහ් ! ඔයා රෙෆරන්ස් කරනවා වගේ... මම එන එක ඔයාට ඩිස්ටර්බ් එකක්ද දන්නෑ ?" යන්නයි.
එසේ පැමිණෙන බොහෝ විටෙක මා හා කතාබහ කරන ඔහු පවසන්නේ, මෙහි සිටින ටෙලර්ලා, බස් ඩ්‍රයිවර්ලා, බස් කොදොස්තරලා ආශ්‍රය නොකරන ලෙසයි. තමාද ඔවුන් එතරම් ගණන් නොගන්නා බවයි. ඔහු බොහෝ විට මගෙන් ඩික්ෂණරිය ඉල්ලාගෙන යම් වචනයක තේරුම් සොයයි. පසු කාලයක ඔහු මට නැවතත් මුණගැසුණේ මා නුගේගොඩ සිට රාජකාරි වලට යන අතරතුරයි. අනුර ඒ වනවිට සේවය කළේ ලාල් වීරසිංහ නමැති චිත්‍රපට නළුවාට අයත් ඔරේන්ජ් සැලෝන් ආයතනහිය. එවක් පටන් බොහෝ කාලයක් යනතුරු මා කොණ්ඩේ කැපුවේ එතැනිනි.
අනුරට එක වරක් කඩවත පැත්තේ කෙල්ලෙකු හා පෙමින් බැඳි එම නිවසට යාමට අවශ්‍ය විය. ඔහු මේ සඳහා තෝරා ගත්තේ පොසොන් පොහොය දිනයකි. එයට හේතුව එදින ඇය හැර එම නිවසේ ඉතිරි වන්නේ ඇගේ නැගණියක් පමණක් වීමය. මේ කතාව මට වැදගත් වන්නේ, ඔහුගේ තනියට එහි යන්නට ඔහු මගෙන් කල ඉල්ලීම නිසාය. මටද එදින කළයුතු විශේෂ යමක් නොතිබුණ නිසා මමද ඔහුට එක් විය. අප දෙදෙනා කොස්ගස් හන්දියට ගොස් එතන සිට කඩවත බස් රථයකින් ගමන් ගතිමු. කඩවතින් බස මද වැහි නොතකා ඈ දුන් ලිපිනය සොයාගෙන නිවසට ළඟා වනවිට, එම නිවසට යාබද තරුණ කැලක් දන්සලක් සඳහා කඩිමුඩියේ වැඩ කරමින් සිටින බව පෙනිණි. ඔවුන් වැඩේ යෙදෙන ගමන්ම ප්‍රදේශයට ආධුනික අප දෙදෙනා දෙස ඇහැ ගහගෙන සිටින බව මට පැහැදිලි විය. ආලයෙන් අන්ධ වී ඇති අනුරට මේ කිසිවක් පිළිබඳ නිනව්වක් නැත. නිවසට ගිය ගමන් පෙම්වතිය සමග ඇතුළට රිංගන ගමන්
"සුභාෂ් ඔයාට පාළුනම් මේ නංගිත් එක්ක ටිකක් කථා කර කර ඉන්න"
යනුවෙන් පවසා සැඟවී ගියේය. මේ මොහොතේ මගේ සිතේ වැඩ කළේ එළියේ සිටින තරුණ පිරිස ගැනය. එනිසා මද වැස්ස නොතකා මම එළිමහනට වී සිටියෙමි. මේ අතර අර තරුණ පිරිසෙන් එකා දෙන්නා මේ පැත්තට එබිකම් කරන බව වැටහීනි. ගෙතුළ සිටින තරුණියගේ නැගණිය යයි කී කෙනාට ඒ බව පැවසූවත් ඇය එය එතරම් ගාණකට ගත් බවක් නොපෙනිණි. කොයි එකටත් සූදානම් ශරීරය හොඳ යයි සිතා මා නිවසේ කඩුල්ලෙන් පිට පාරට වී උන්නෙමි. අනුර ආවේ පැයකටත් පසුවය. මට ඒ පැය කල්පයක් තරම් දිගු විය. නැවතත් අප දෙදෙනා බොරැල්ලට ළඟා වන විට ඉතා රෑ බෝ වී තිබිණි.
එහි විත් ටික කාලයකදී විපුල(නම නිපුල වුවත් කවුරුත් ඇමතුවේ එනමිනි), රොබින්සන් අයියාගේ අවසරය ඇතුව ඔහුගේ මහන මැෂිම මෙම ස්ථානයේ අටවා ගත්තේය. එනිසා දිවා කාලයේ බොහෝ විට අප දෙදෙනා මෙහි ගැවසෙන බැවින් ටික කලකදී හොඳ මිතුරන් වීමු. කෑමට බීමට පවා අප දෙදෙනා යන්නේ එකටය. විපුල යකාටවත් බය ඇති එකෙක් නොවීය. ඔහුගේ කටේ නිතරම තිබුණේ "ඕනෑ එකෙක් මට සයිස් දැම්මොත් ඔබේසේකර පුර සෙට් එක බස්සනවා" යන්නයි. මැගසින් හෝටලය අප එකල නිතර ගැවසුන ස්ථානයක් විය. ඒ උදේ තේ, උදෑසන අහාරය සඳහාය. රාත්‍රියට කෑම ගෙනෙන ආච්චි කෙනෙකුගෙන් හෝ බයිසිකලයක කෑම රැගෙන නිතරම් විසිල් ගසාගෙන යන පුද්ගලයගෙන් කෑම ගැනීමට අප පුරුදු වී උන්නෙමු. මේ යෝජනවා මට ගෙනාවේ රොබින්සන් අයියාය. කඩ කෑමට එතරම් ප්‍රිය නොකළ මට එය මද අස්වැසිල්ලක් විය. දිවා ආහාරයද එතරම සරුවක් නැත. එනිසා අප ඉංජිනේරු සංගමයේ කැන්ටිමට යාමට පුරුදු වී උන්නෙමු.
විපුල අත නිතරම මුදල් නොගවසුන හෙයින් සති දෙකකට වරක් නිවසට ගොස් එන මාගේ මුදල් වලින් මුල් සතියද, අනෙක් සතිය විපුලගේ මුදල් වලින්ද හවුලේ ගත කිරීමට අප පුරුදු වී උන්නෙමු. හිත හොඳ දකුණේ කොල්ලෙකු වූ විපුල කිසිදා මට පාඩුවක් සිදු වන්නට ඉඩ හැරියේ නැත. මා වඩාත්ම බියට පත් වුයේ විපුලත් සමග උදේ තේ බොන්නට ගිය විට, මේසයට ගෙනවිත් තබන සියලු බනිස් ගෙඩි වල ඇති ප්ලම්ස් ටික උගුල්ලාගෙන කන්නට කිසිම බිය-සැකක් ඔහුට නොතිබූ නිසාය. ඔහු එය කරන විට මගේ සිහියට එන්නේ රිලවෙකුය. යම්කිසි විදියකින් මේ කඩයේ ඉන්න මැරයෝ මේවා දැක්කනම් අම්බානකට කන්න වන බව මා නිතර කීවත්, ඒ කිසිවක් විපුල මායිම් කළේ නැත. උදෑසන අහාරයට තබන පරිප්පු බෙදා ගන්නා අතර අනෙකුත් සියලුම ඒවාගේ ඇති හොදි බෙදාගැනීම ඔහුට මහා දෙයක් නොවීය. මටනම් මේවා සිදු වන විට බඩේ බත් නැති ගානට බිය වන්නට කාරණාය.
දිනක් විපුලගේ මිතුරෙක් ලිපියක් රැගෙන විත් එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීය. කොස්ගොඩ-බලපිටිය භාෂාවෙන් ඔහු එය කියවන අකාරය ඉතා රසවත්ය. එහි තිබූ එක වැකියක් මට අද මෙන් මතකය
"අක්කාන් ලමයාන් මනන් කල බව කියන්න"
මේ හරුපය කුමක්දැයි ඔහුගේ මිතුරා ආන විට, මටද එම ප්‍රශ්නයම ඇති විය.
"ඉතිං බං මම කිව්වේ මේකේ ලියලා තියෙන එකනේ, සුභාෂ් මේ බලපන් මොකක්ද තියෙන්නේ කියලා"
මා විපුලගේ කරට ඉහළින් ලිපිය දෙස දෑස් යොමු කළෙමි. මට හිනාව නතර කර ගන්නට බැරි විය. මේ ලියුම ලියන පුද්ගලයා "ත"යන්න වෙනුවට "න"යන්න ලියා ඇත. ලිපියේ සෑම තැනකම එසේය. ඔහුට නයනු තයනු ගැන එතරම් වෙනසක් නැති සෙයකි.
විපුල සමග ඇවිද මම බොහෝ දේ ඉගෙන ගතිමි. ඒ සයිකල් බසාර් එක අසලින් ඇතුළේ ඇති වත්තේ(මුඩුක්කුවේ) කරක් ගැසීම, වනාතමුල්ල, කොස්ගස් හන්දිය, ඔබේසේකරපුර ආදී ප්‍රදේශ වල රිංගා ඒ ගැන යම් අවුබෝධයක් ලැබීමට හැකි වීමය. වරක් අපේ වතුර නැති වූ විට හරස් පාරේ පහළ වතුර කරාමයට මා කැඳවාගෙන ගිය ඔහු එතන සිටින ගණන් කාරයාට
"අයියේ මේ අපේ ගමේ කොල්ලෙක්. මෙහෙ නැවතිලා ඉගෙන ගන්නේ. පොඩ්ඩක් රෙදි ටික හෝදගෙන ඇඟ හොදා ගන්න ආවේ"
"අරි. අරි. විපුලායා. කෝ පලයල්ලා පලයල්ලා පැත්තකට. මේ ඉගෙන ගන්න කොල්ලෙක්. පොඩ්ඩක් ඉඩ දීපල්ලා. මල්ලී මීට පස්සේ ආවනං මම නැත්තං පෝලිමේ ඉන්න ඔන්නෑ. මම කිව්වා කියලා වැඩේ කරන් යන්න"
මා කඩිමුඩියේ රෙදි ටික සෝදාගෙන, ඔහුටද ස්තූති කොට පිටත් වීමි. කාමරයට විත් බලන විට මගේ නිල්පාට අලුත්ම කමිස කොලරයේ තාර ගෑවී තිබෙන දැක අප්‍රමාණ දුකක් ඇති විය. එහි රෙදි සේදිය යුත්තේ පාරේ තබාගෙනය.
මට ආදායමක් හොයා ගන්නට කදිම අවස්ථාවක් ඇති බව දවසක් විපුල මා සමග පැවසීය. ඒ සයිකල් බසාර් එක ළඟ ඇති නිවසක ගෙදර සිටින ගැහැණු ළමුන් දෙදෙනෙකුට ගණිතය ඉගැන්වීමටය. මාද ඊට එකඟ විය. එහෙත් අප ඒ නිවසට ගිය විට ඔවුන්ගේ දෙමව්පියන් ඒ ගැන වැඩි කැමැත්තක් නොදක්වා ඇත.
දිනක් ඔහු සමග ලංකා සවාරිය නැරඹීමට කොස්ගස් හන්දියට ගියෙමු. අප දහවල් දොළහ පමණ සිට සවස දෙකයි තිහ දක්වා එහි රැඳී සිටියත් සයිකල් සවාරිය එන පාටක් නැත. ඉහවහා නැගෙන බඩගින්න දරා ගනු නොහැකිව අප දෙදෙනා කඩයකට රිංගා පලතුරු දෙකක් ගෙන කනවිට මහා හඬක් නගාගෙන් සයිකල් රේස් එක අප පසු කර ගොස් හමාරය. ඒ අල්ල පනල්ලේ මුදල් නොදී මාරු වීමට විපුල උත්සාහ ගත්තත් මගේ ඉල්ලීමට මුදල් ගෙවන්නට සිදු විය.
දුකට-සැපට ළඟ සිටි හොඳ මිතුරෙක් ලෙස අදත් මට ඔහු මතකයට එන්නේ නිතැතිනි. මේ කාලයේදී මට පෙම්වතියක් මුණ ගැසුණි. ඒ මා බොරැල්ලේ සර්පන්ටයින් පාරේ කුඩා කඩපේලියක, කුඩා කෑම කඩයක් පවත්වාගෙන ගිය අපේ ගමේ පුද්ගලයෙකු වූ රණසිංහ අයියාගේ කඩෙන් උදේට කන්නට ගොස් සිටින විටය. ඒ සම්බන්ධයෙන් මා උපදෙස් සහ සහය ලබා ගත්තේ විපුලගෙනි. ඒ පිළිබඳ වෙනමම සටහනක් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කල අවධියේ සිට ලියන්න පටන් ගත්තද එය අඩක් ලියා නතර කර ඇත. මතු දිනක එය සම්පූර්ණ කරන්නට උත්සාහ ගන්නම්.
විපුල යනු නොම්මර එකේ විහිළු කාරයෙකි. දවසක්
"උඹලාගේ අර රොබින්සන් ගොයියා දවසක බාර් එකේ එවුන්ගෙන් කනවා අම්බානක"
"ඒ මොකද ?"
"ඒ යකාට අරක්කු සීයක් බොන්න ගියාම කසාය වඩියක් බොනවා වගේ. කට ගාවට ගන්නවා. මහා සද්දයක් දාලා ම්හ්හ් ගාලා තියෙනවා. ආයි ගන්නවා. දහ පාරක් විතර දඟලලා - දඟලලා උඩ බලාගෙන හලාගෙන මැරෙන්න හදනවා. විපුල වඩේ ... විපුල වඩේ... කිය-කියා. බාර් එකට එන අයියා කෙනෙක් කිව්වා දවසක ඔකාගේ කටේ බෝතලයක් ඔබනවා කියලා"
හැමදිනකම රෑ හතට විතර රොබින්සන් අයියාත්, විපුලත් සුනන්දත් එළියට බැහැලා දුවන්නේ මේ වැඩේට බව මා දැන ගත්තේ පසුවය. එසේ ගොස් එන සුනන්ද බිම වාඩි වී
"පොඩි සික් එකක් තියෙනවා" කියන්නේ අප හැමෝම සිනහ ගන්වමිනි.
බණ්ඩා ගැනත් යමක් සඳහන් නොකළොලොත් ඉතා අඩුපාඩුවකි. පරිගණක පාඨමාලාවක් හදාරන්නට පටන් ගත් අප මුදල් එකතු කර ඩිස්කට් පෙට්ටියක් මිලදී ගතිමු. ඒ කාලයේ මහඟු සම්පතක් වූ ඩිස්කට් එකක මිල රුපියල් දෙසීයකි. එය ඉතා විශාල වූ මුදලක්ය. මගේ අතේ ඇති මුදල් මේ සඳහා වැය කල නොහැකිය. කිහිප වතාවක් මා අතැති මුදල් ගනිනවා දුටු බණ්ඩා
"මොකක්ද බං ඔය රුපියල් දෙසීයක් තුන්සීයක් තියාගෙන කරන්නේ. මට දීපං මං අහක බලාගෙන ගණන් කරන්නං."
"නෑ මචං මම බැලුවේ ඩිස්කට් එකක් ගත්තොත් මේ සතියේ වියදමට සල්ලි මදි වෙනවා."
"මොනවා ? බිස්කට් එකක් රුපියල් දෙසීය නම්, ෆැන්ටා එකක් රුපියල් හාරසීයක් වත් වෙනවා ඇතිනේ"
ඩිස්කට් යන්න ඔහුට තේරුම් කරන්න යනවාට වඩා නිහඬව සිටීම පහසු නිසා, මම සිනාසී නිහඬ වීමි. තවත් දිනක රෙදි මදින ගමන් මගේ ප්ලාස්ටික් ෆයිල් කවරය මත විදුලි ස්ත්‍රික්කය තබා, අයන් එකේ හැඩයට එය උණු වී ගිය පසු
"මල්ලී උඹට මම අලුත් එකක් අරන් දෙන්නං"
කීවත්, එය කිසි දා ඉටු නොවීය. බස් කොදොස්තර දිවියේ රසමුසු තැන්ද අප හා බෙදා ගන්නේ අප සිනා සයුරක ගිල්වමිනි. ඔහුට අනුව මට්ටක්කුලිය යනු මට - කෙලියාද, කොටුව - පිටකොටුවට ඔටුවා - පිටෝට්ටුව යනුවෙන්ද උච්චාරණය කරයි.
මෙකී - නොකී රසවත් මෙන්ම කටුක අත්දැකීම් මැද බොරැල්ලේ ගෙවුණු ජීවිතය සිරගත වීමක් ලෙස මා සඳහන් කලත්, එය ජීවිතය පිළිබඳ මට ලැබුණු සරසවි ශිෂ්‍යත්වයක් වැනිය.
බොහෝ දෙනාගේ ඉල්ලීම මත කොටස් නොකර අවසන් කර ඇත.
මොනවා බං? මේක ඉවරද? මට එහෙම හිතෙන්නෙ නෑ. උඹ සෙටිං ද සීන් කලා විතරනේ.
ReplyDeleteඉවර නොකරොත් මේකා වටෙන් ගොඩෙන් සම්බන්ධ වෙච්ච් අනිත් ගොයියලා ගැනත් ලියන්න වෙනවා. බොරැල්ලේ සුන්දර අතීතය. අර මගේ First Love එක ගැන නම් පොස්ට් එකක් මගට ලියලා තියෙනවා. ඒක සම්පූර්ණ කරන්නම්.
Deleteඇත්ත ජීවිතේ මේ වගේ කතා හරිම ලස්සනයි සුදීක. නම් වෙනස් කරලා ලියන්ට බැරිද?
ReplyDeleteපෙම් කතාව අහගන්ට ආසාවෙන් බලා ඉන්නවා හී හී...
කෙල්ලගේ හැඩරුව, යාලු උණු හැටි, දෙබස්, ගිය තැන් ඔක්කොම විස්තර ඕනි...:)
ඊළඟ පොස්ට් එකට දාන්නම්. ....
Deleteමේකත් එක දිගටම කියෙව්වා ..... එත් නිකන් විස්තර මදි මදි වගේ .... අර කොන්දගේ බස් කතාවක් දෙකකුත් අවනම් කියල හිතුනා
ReplyDeleteදැන් ගොඩක් දේවල් අමතකයි.
Deleteමටනං පේන්නෙ මොක ඉවර නෑ වගේ.
ReplyDeleteඅර හොදි බෙදාගන්න එකනං අපිත් කරනව. ඒක ඒ හැටි ගේමක් නෑ මේ පැත්තෙනං.
ඒ කාලේ මට ඒ වැඩ ටිකක් අමුතුයි වගේ. අනිත් එක මැගසින් හෝටලේ ඉන්නේ මැරයෝ.
Deleteඅර "න"යනු "ත"යනු කතාවට හිනාවෙලා පනයනවා. සුදීක මෙච්චරකල් ලියපු ඔක්කොටම වඩා මේක හොඳයි වගේ.
ReplyDelete" මට ඒ පැය කල්පයක් තරම් දිගු විය." කෙල්ලෙක් ලඟට වෙලා තනියම ඉඳපු එකෙක් එහෙම කතාවක් කිව්වා ඇහුවමද කොහෙද?
මට ඒ ලියුමේ මනක ඔය වාක්‍ය විතරයි ප්‍රගීන් :)
Deleteකෙල්ලෙක් නෙවේ මගේ සිහියට ආවේ නැව්ගුටි හම්බ වෙයි කියලා.
මම හුඟක් බ්ලොග් කියෙව්වාට කමෙන්ට් කරනව අඩුයි, ඒත් මේකට නං කමෙන්ට් නොකරම බෑ.
ReplyDeleteබොහොම ඉහලයි. කතාව ලියන රටාවත් හරිම රසවත්. මේ අත්දැකීම් අපත් සමඟ බෙදාගත්තට ස්තූතියි..
කලින් පෝස්ට් ටිකත් කියවන්න පටන් ගන්න ඕනෙ.
බොහොම ස්තුතියි. ඔය වගේ කියවලා රස විඳලා එකතු වෙන අය තමයි වටින්නේ.
Deletepatan gaththa vitharane.
ReplyDeleteතව මොනවා හරි මතක් වුණොත් ලියන්නම්.
Deleteමම ඩිස්කට් එකක් ගත්තෙ රුපියල් 100 කට...ඒ කාලෙ ඉතිං අද වගේ බ්ලොග් තිබුනා නම් මාතර කොල්ලෙක් උනත් නවතින්න ඕනෙ තරම් තැන් තියේවි...මොකද හිතන්නෙ ඒ ගැන...
ReplyDeleteනැතුව .... නැතුව....
Deleteකතාව නිකන් එක පාරම ඉවර උනා වගේ දැනෙනවා සුදීක අයියේ..
ReplyDeleteතුන්වෙනි කොටසකුත් දාන්නම්.
Deleteඔබ කතාව ලියන ඉට්ටයිල් එක හරිම අපුරුයි.
ReplyDeleteඒ වගේම කතාවත් රසවත්.
ඔබ කියන පලාතුත් මට ගොඩක් පුරුදුයි.
ඔබේසේකර පුර,කොටා රෝඩ් රේල් පාර අයිනෙ එහෙම මගෙත් කොල්ලො සෙට් එකක් හිටිය ඕනෑම දේකට බහින.
බොහොම ස්තුතියි. අප්පට සිරි කෙන්ජි අයියා එහෙනං නොබැහැපු ඒරියා එකක් නෑ.
Deleteතව තිබබා නම් හොදයි අයියේ. නියමයි.
ReplyDeleteබොහෝ දෙනාගේ බලවත් ඉල්ලීම පිට බොරැල්ලේ පෙම් පුවත අද රාත්‍රී බලාපොරොත්තු වන්න.
DeleteKatu kaddi epa unath anthimata baladdi hithenawa katu kaawa eka hondayi kiyala. ara lifeboy walin dath madina ekanam maru dial eka
ReplyDeleteඇඟට කකුල් දාන අයියල එහෙම හිටියෙ නැද්ද ඔය වාඩියෙ
ReplyDeleteඑහෙම අයියලා නැත්තේ කොතනද ? නමුත් රොබින්සන් අයියා සහ විපුල නිසා මට ඒ ගැන බයක් තිබුණේ නෑ.
Delete//"සුභාෂ් ඔයාට පාළුනම් මේ නංගිත් එක්ක ටිකක් කථා කර කර ඉන්න"//
ReplyDelete//ගෙතුළ සිටින තරුණියගේ නැගණිය යයි කී කෙනාට ඒ බව පැවසූවත් ඇය එය එතරම් ගාණකට ගත් බවක් නොපෙනිණි. //
බලන කොට ලොක්කා න0ගිත් එක්ක කතා නොකරම ඉදල නැහැ වගේ. වෙලා තියෙන්නෙ නගා ගනන් නොගෙන ඉදලා.
ඒක නිකං හීනෙන් කියවනවා වගේනේ.
Deleteaththa kathawak wage? ehema thamai ithin bodin jivitha.
ReplyDeletee athdekima watinawa anagatheta. neeeda ayya....???
ඇත්තටම මට ඒ අත්දැකීම් අද පවා ප්‍රයෝජනවත්.
Deleteඔන්න ඕක තමයි කියන්නේ වැඩිහිටියෝ, සමාජය ගැන දැන උගත් අය ඇසුරු කරන්න කියලා අත්දැකීම් ලබාගන්න. සුදික අයියගේ මේ කතාවෙන් මට නම් ගොඩක් දේවල් කියවන්න ලැබුනා. අත්දැකීම් හරිම වටිනවා ජිවිතේට,
ReplyDeleteවැඩිහිටියෝ කිව්වම මතක් වුණේ. ඔතනට ආව ගිය අන්කල් කෙනෙක් හිටියා නියම පොරක්. විපුලගේ පරණ ටේලර් මිත්‍රයෙක්. නියම පොරක්. මම මිනිහගෙන් බැනුම් අහලත් තියෙනවා.
Deleteසුදීක.....තව ටිකක් ලියන්න බැරිද? මටත් හොඳට හුරු ඒරියල් එකක්.
ReplyDeleteආ...මේ ඉංනේ මගේ රං කද.
Deleteමචං අරූ මටත් හුරු ඒරියල් එකක් නිසාත්,සුදික මල්ලියා ලියන ඉට්ටයිල් එකත් නිසා හරිම රසවත්.
සුදික මල්ලිය ඉඩ ලැබෙන විදියට මේ වගේ කොටස් ලිපි ලියන්න.
ඇත්තටම රසයි.
සුදීක.....තව ටිකක් ලියන්න බැරිද? මටත් හොඳට හුරු ඒරියල් එකක්.
ReplyDeleteසමහර සිදුවීම් ඒකාලේ සුන්දර බව නොදැනුනනත් අද මතක් වෙනකොට ඒවා ජීවිතේ ලැබූ මිහිරි අත්දැකිම්. ඒක තමයි ජීවිතේ කියන්නේ.
ReplyDelete