Wednesday, May 29, 2013

ඔබත් කෝපි ප්‍රේමියෙක්ද ? .... එසේනම් ලුවැක් සිවෙට් කෝපි බොන්න කැමතිද ?

කෝපි ප්‍රේමීන් යනුවෙන් වෙනමම කොට්ටාශයක් ලොව තුල විසිරී සිටින බව ඔබ දන්නවාද ? කෝපි යන වචනය ඇසූ පමණින්ම බඩ වේලන කොටසක්ද ඇත. ශ්‍රී ලංකාවේ අපි නම් කෝපි බොන්නේ අධික සීතලෙන් මිදීමට,  බඩේ අමාරුවක් ඇති වූ විට හෝ නිදි මැරීමට අවශ්‍ය වූ විටය. එහෙත් ලොව පුරා විසිරී සිටින කෝපි හිතවතුන් එය නිති පතා පානය කරති. මාද යම් තරමක කෝපි ප්‍රේමියෙකි. මා දවසකට නෙස්කැෆේ කෝපි කෝප්ප දෙකක්වත් පානය කරන්නේ එහි තිබෙන නැවුම් සුවඳත් රසයත් නිසාය. 
කෝපි හිතවතෙකුට මේ දසුන කෙතරම් වටින්නේද ?
පින්තුරය ගත්තේ : http://8tracks.com

කෝපි වල ගුණ වලට වඩා අපි දන්නේ අගුණ පැත්තය. කෝපි වල කැෆෙන් ඇති බවද, එය මිනිස් අස්ථි දිරා යාමට හේතු වන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් නවතම සොයා ගැනීම් අනුව දිනකට කෝපි කෝප්ප දෙක තුනක් පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කර ගැනීමට හැක.ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට කෝපි වගාව හඳුන්වා දී ඇත්තේ 1658 දී ය. (ඒ පිලිබඳ මගේ මතකය අවධි කලේ අප ඇස නොගැටුන ඉතා හොඳ එමෙන්ම නිහඬ බ්ලොග් අඩවියක් වන අපේ උරුමය(Our Inheritance) බ්ලොග් අඩවියයි. අධ්‍යාපනික වටිනාකමක් ඇති එම බ්ලොග් අඩවියට ගොඩ වැදී ඔබටත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉතිහාසය පිලිබඳ දැනුම අවධි කර ගත හැක). 

අද වනවිට වෙළඳපොලේ විවිධ කෝපි වර්ග සිය ගණනක් ඇත. විවධ රසයන්ගේ, විවිධ මිශ්‍රණ වලින්, මෙන්ම විවිධ සුවඳින්(aroma) යුත් කෝපි ලබා ගත හැක. එහෙත් ලොව වැඩිම වටිනාකමක් ඇති ලුවැක් සිවෙට් කෝපි කෝප්පයක් ඔබ රස බලා තිබේද ? ඒ ගැන අසා තිබේද ? කෙදිනක හෝ බීමට බාලාපොරෝත්තුවක් තිබේද ? ලුවැක් කෝපි කෝප්පයක් එය වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ විකුණා ඇති ඉහළම මිල ඇමාරිකානු ඩොලර් ලක්ෂ දෙකක් පමණ වනවා.
දුම් දමන කෝපි කෝප්පයක් තරම රසවත් පානයක් තවත්
තිබේද  ? පින්තුරය ගත්තේ : www.thezoom.com

කෝපි කෝප්පයක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් !!! ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි හයක්. ඒ සා විශාල මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමට තරම් වත්කමක් ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙකුට තිබේද ? මා දන්නවා එය තමයි ඔබගේ හිතට එක වර ගලා ඈ ප්‍රශ්නය. නමුත් එය නොමිලයේ ලබා දුන්නොත්(කෝපි දන්සැලක්) ඔබ පානය කරනවාද ? ඔබේ පිළිතුර ඔව් නම් තවත් මිනිත්තු කිහිපයක් ගෙන මේ ලිපියේ ඉතිරි කොටසත් කියන්වන්න.

ලුවැක් සිවෙට් කෝපි යනු කුමක්ද ? එය නිෂ්පාදනය කරන්නේ කෙසේද ? එය එතරම් මිල අධික වීමට හේතුව කුමක්ද ? ඕනෑම් මිල අධික නිෂ්පාදනයකට පොදු ලක්ෂණය නම්, එහි දුර්ලභ භාවයයි. ලුවැක් සිවෙට් කෝපි දුර්ලභ වන්නේ ඇයි ? කෝපි යනු ඝර්ම කලාපීය රටවල ඉතා සුලභව වැවෙන භෝගයක් නිසා අනිවාර්යයෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය මිල අධික එකක් විය යුතුය. අනෙක එය සුලබව පැවතුනත් ඒ සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකිද ?

මගේ මතකය දිව යන්නේ මීට අවුරුදු කිහිපයකට පෙර මා වත ලැබුණු ඊ මේල් පණිවුඩයක් වෙතය. මෙය යලිත් මගේ මතකයට ආවේ අද දින කුමක් හෝ කාරණයකට අන්තර්ජාලය පීරන විටදී ලැබුණු පිටුවක් මගින් නෙත ගැටුණු පහල තිබෙන පින්තුරය නිසාය. 
පින්තුරය ගත්තේ : http://www.guardian.co.uk
නෙලා තිබෙන කෝපි වට්ටියට හොම්බ දමා තිබෙන්නේ කුමන වර්ගයේ සතෙක්ද ? හොඳයි මේ සතාගේ නම තමයි සිවෙට් කියන්නේ. සිවෙට් යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම වශයෙන් දෙන්නේ උරුලෑවා යන්නයි. උරුලෑවා  ගියා වගේ යන කියමන අපේ ගම්මුන් යොදා ගන්නේ අහල පස්මානයක සිටින්නට බැරි තරම් දුගඳක් සිරුරින් වහනය වන මිනිසුන්ටය. උරුලෑව එතරම් ගඳ සතෙකි. 

මේ විශේෂිත කෝපි වර්ගය නිෂ්පාදනයට මේ බළල් පවුලට අයත්, උරුලෑවාම   නොවුනත් මුගටි විශේෂයක් වන මේ සතුන් යොදා ගන්නා බව ඔබ දන්නවාද ? ඒ කෙසේද ? මෙම කෝපි නිෂ්පාදනාගාරයක උරුලැවන් සමුහයක්ද සේවය කරති. ඔවුන්ට තිබෙන්නේ එහි සිටින සේවකයන් ලබා දෙන හොඳින් ඉදුණු කෝපි ඇට ගිල දමන්නටය. ඔබ මවිතයට පත් වනා කාරණය එන්නේ ඉන් පසුවය. එසේ ගිල දමන කෝපි ඇට වලින් එහි පොත්ත හා ගැටී ඇති රසවත් කොටස පමණක් මේ මුගටින්ගේ ආහාර ජීර්ණ පද්දතිය මගින් අවශෝෂණය කරගෙන එහි ඇට අර්ධ වශයෙන් දිරවා ඔවුන්ගේ මල ලෙස නැවතත් එකතු කර ගනී.
මේ තිබෙන්නේ උරුලාවන් විශේෂය විසින් කා දමා හෙලන ලද බෙටිය. 
පින්තුරය : http://winnyhs.blogspot.com

එසේ එකතු කර ගන්නා කෝපි ඇට හොඳි පවිත්‍ර කර අව්වේ වෙලා ගනී. ඉන්පසුව සාමාන්‍ය කෝපි මෙන් කර කර කෝපි නිෂ්පාදනය කරයි. උරුලෑවන්ට ගිල්ලවන්නේ නැතිව කෝපි නිෂ්පාදනය කල නම් ඉවරයි යන්න ඔබට මෙන්ම මටද මුලින් ඇති වූ සිතිවිල්ලයි. එහෙත් උරුලෑවාගේ අහාර ජීර්ණ පද්දතිය මගින් එකතු කරන එන්සයිම සහ එම සතා විසින් ආහාරයට ගන්න වෙනත් මල් (ස්වභාවික පරිසරයේ නම්) මේ කෝපි ඇට වලට ඉහල සුවඳක් සහ රසයක් එක් කිරීමට සමත්ය. 

මිනිසාට අධික මුදලක් ඉපයීමට තමා දායක වන බව මේ තිරිසන් සතා දන්නවාද ?
කෝප්පයක් රුපියල් ලක්ෂ දෙකයි ඩොලර් වලින්. කවුද බොන්න කැමති ?
පින්තුරය ගත්තේ : http://winnyhs.blogspot.com
ඇත්තටම මේ උරුලාවන් හෝ මුගටින් විශේෂය අප කලින් දැන සිටි ශ්‍රිලංකාවේ වෙසෙන දුගඳ වර්ගයේ එවුන් විය නොහැක. එසේනම් එම ස්ථාන සඳහා සේවකයන් හට විශාල පඩි මුදලක් ලබා දිය යුතුව ඇත. නමුත් විවිධ රටවල විවිධ වර්ගේ සතුන් ඇත. දැනට මෙවැනි කෝපි නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ පමණක් බව අන්තර්ජාල වාර්තා සහතික කරයි. නමුත් ශ්‍රී ලංකාවේ අපිටද මෙය අත්හදා බැලිය හැකි කදිම ආයෝජන අවස්ථාවකි. ඒ ගැන මගේ හිතට ආවේ දැන් අලි ඇතුන් යෝදාගෙනද එවැනිම මිල අධික කෝපි වර්ගයක් නිෂ්පාදනය කරනවා යයි දැන ගන්නට ලැබෙන නිසාය. 
මේ මිල අධික කෝපි පානය වෙළඳ ගැටයක් බව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පත්‍රයට
 ලියන  පීට් ක්ලාක් පවසයි. ඔවුන් මෙම කෝපි වර්ගය කොනෝෂර් එක්ස්ප්‍රසෝ
ලෙස හඳුන්වයි. පින්තුරය ගත්තේ : http://www.guardian.co.uk
ශ්‍රී ලංකාවේ අපිට නම් බෙහතකට වත් මෙවැනි කෝපි කෝප්පයක් නොමිලයේ වත් පොවා ගන්නට බැරි බව සහතිකයි. දැන් මෙම කෝපි වර්ගය නිෂ්පාදකයින්ගේ සංගමයක්ද ඇති අතර ඔවුන්ගේ නවතම සොයාගැනීම වී ඇත්තේ ඇරබිකා නමැති කෝපි ඇට වඩාත් සුවඳින් යුත් ලුවැට් සිවෙට් කෝපි ලබා දෙන බවයි. 

විකිපීඩියා වෙබ් අඩවිය පවසන්නේ මේ සත්ව කොට්ඨාශය ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ හඳුන්වන්නේ කලවැද්දා ලෙසය. එසේනම අපේ කලවද්දන්ටද අනාගතයේ හොඳ කලක් යනු ඇත. 

අන්තර්ජාලය ඇසුරිනි.

බුලා ලබා දුන් යූ ටියුබ් සබැඳියාව

වීඩියෝව.

Saturday, May 25, 2013

දන්සල් දිය යුත්තේ කා සඳහාද ? මගේ දන්සල් අත්දැකීම්.

මගේ ත්‍රී වීල් මිතුරා වන සාගරගෙන් මෙවර ත්‍රී වීල් පාක් එකේ දන්සල නැත්තේ ඇයිදැයි විමසූ විට, "ආ සර්  දැන් ඒවාට නීති දාලානේ, ආධාර එකතු කරනවා නම් පොලීසියෙන් සහතිකේකුයි, පන්සලේ ලොකු හාමුදුරුවොන්ගේ සහතිකේකුයි, ග්‍රාම සේවක සහතිකේකුයි ඕනේ. ඒ නිසා මේ පාර වැඩිය දන්සල් නෑ". අතලොස්සක කරන කූඨ උපක්‍රම නිසා සැදැහැ සිතින්ම දන්සලක් කරන අයට වැට බැඳ තිබීම කනගාටුවට කරුණකි. එහෙත් අමාරුවෙන් උපයාගෙන ඉතා කටුක ජීවිත් ගත කරන මහජනයාගේ  මුදල් වංචා කරන්නන් මෙසේ නීති පද්දතියකින් වත් හිර කර තැබීම වටී යන්න මගේ විශ්වාසයයි. එවිට වෙළඳ සංගම් වැනි මහජනයාගේ මුදල් මත නො-යැපෙන දන්සල් එසේ පවත්වාගෙන යාමට බාදාවක් නැත. දන්සල් මගේ අදහස් වෙනස් වන්නේ කොළඹට සංක්‍රමණය වීමෙන් පසුවයි. සියළුම වර්ග වල ආධාර එකතු කරනන්න්ට මේ වට බැඳෙනවා නම් අගනේය. 

කුඩා කල අප දන්සල් වලින් කන්නට යන්නේ නැත. අඩුම තරමින් පන්සලේ දානේ තිබෙන දවසට වත් පන්සලෙන් කන්නේ නැත. එසේ කන අයට "පිං බතා" යන ලේබලය එවකට ගම් වල අය අලවන්නේ නිතැතිනි. මා ගමේ උද්යෝගීව ගතකල කාලයක, අප පැවැත්වූ දන්සලක් සඳහා ආධාර එකතු කරන්න ගිය බොහෝ විටෙක, "මේවා කරනවාට වඩා නොකරනවා නම් හොඳයි" යන්න එකලද මගේ සිතට ආ කාරණයයි. ඇත්තටම ඒවා සොඳුරු අත්දැකීම්ය. එකල දන්සැලකට කෙනෙකු ගෙන්වා ගන්නට මහත් පරිශ්‍රමය දැරීමට සිදු විය. කෝට්ටක සවි කල කහ කොඩි කෑල්ලක් තබාගෙන පාරේ ඩියුටිය කරන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත් වන අය අප අතර විය.

 අදනම් දන්සැල් අසල පොදිකන අය දුටු විට සිහියට එන්නේ මිනිසුන් මෙතරම් කන්නේ කෙලෙසද කියාය. සමහරු දන්සැල් වැඳීම හුදු විනෝදයට කරන දෙයක් බව පැහැදිලිය. කොටින්ම හැම දේම රැල්ලට කෙරෙන රටක මේවාද රැල්ලක් අනුව සිදු වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අතින් අර වට බැඳීම සාධාරණය.

මා මුලින්ම දන්සැලකින් බත් ටිකක් කෑවේ තිස්සමහාරාමයේදීය. ඒ වනවිට මගේ වයස විසි ගණනක් වී තිබුණි. අද වනතුරුත් එතරම් ප්‍රනීත දන්සල් ආහාර වේලක් රස බලා නොමැත. එයට මා දන්සල් කෑම අඩුවෙන් කිරීමද එක හේතුවක් වන්නට ඇත. අප දන්සලක් කරන කාලයේ වත් මා එතනින් නොකා ලිස්සා ගියේ මගේ හිතේ පැලපදියම් වූ එක් සිතුවිල්ලක් නිසාය. ඒ දන්සල් දිය යුත්තේ "දුගී, මගී, යාචකාදීන්ටය" යන ප්‍රකාශයය. ඊට අමතරව අපේ දන්සලට පැමිණ හොඳින් බඩ කට පුරවාගෙන ගිය වෙනත් කණ්ඩායමක් අපේ කණ්ඩායමට ඔවුන්ගේ ඇසළ පෝයට පැවැත්වෙන "ෆ්‍රයිඩ් නූඩ්ල්ස් දන්සල" ට ආරාධනා කර තිබුණි. එදින අද දන්සැලකින් ආරධානාවක් තිබෙනවා යයි ගෙදරට පවසා මාද රාත්‍රී හත වනවිට පොරොන්දු වූ ස්ථානයට ලඟා වූ අතර, එහි යාමට රාත්‍රී අට වනතුරු බලා සිටින්නට සිදු විය.

දන්සැලකින් කන්න මා දැක්වූ ලජ්ජාව තිබු නමුත් කණ්ඩායමක් වශයෙන් යන බැවින් තරමක සැහැල්ලු බවක් දැනිණි. අප ගමන් ගත්තේ මේ සඳහා එකල ජනප්‍රියම වහනය වන පුෂ් බයිසිකල් වලිනි.  අප එතනට ලඟා වන විට රාත්‍රී අට පසු වී විනාඩි විස්සක් ගත වන්නට ඇත. තවමත් පෝලිමේ පොදිකන අය දැක "අපි ආපහු යමු නේදැයි" මා ඇසුවද, "උඹට පිස්සුද අපිට පෝලිමේ ඉන්න වෙන්නේ නෑ, අපිව අනිත් දොරෙන් ඇතුලට ගන්නේ" යන්න කිවේ කවුරුන්ද යන්න මට මතක නැත. අප බයිසිකල් වලම සිටින අතර එතනට ලං වූ අපේ එක මිතුරෙක් එහි උන් කෙනෙක් සමග මද වෙලාවක් කතා කොට ආපසු අප වෙත ආවා. "මචං වැඩේ හරි යන්නැති පාටයි. හදපුව ඔක්කොම ඉවර වෙලා, උන් ආයෙත් උයනවා, කනවා නම් නමයහාමාර විතර වෙයි කිව්වා". "මේ වැඩේ හරි යන්නෑ. අපි යමු" තව කෙනෙක් කී විට, බඩගින්නෙම ආපසු ගෙවල් බලා පැද්දෙමු. එදින ගෙදර විත් කුස්සියේ භාජන පෙරලන සද්දෙන් ඇහැරී අම්මා ඇවිත් "ඇයි කොහෙන්ද කාල එනවා කිව්වා නේද?". "නෑ මේ තේකක් බොන්න බැලුවේ" යන පවසා ෂේප් වුනෙමි.

කොළඹ ආ පසු නුගේගොඩ ගත කල කාලයේ බොහෝ විට මෙය විලාසිතාවකට කෙරෙන වැඩක් බව තේරුම් ගතිමි. එහෙත් මේවා පුළුවන් තරම් මග ඇර සිටීමට උත්සාහ ගතිමු. අප යන වාහනයක් නවත්වා සිසිල් පැන් දන්සැලක් මගින් ලබා දෙන බීම බීවා හැර ලොකු පරිමානයේ දන්සැලකින් සප්පායම් වුවේ නැත.

නමුත් කළුබෝවිල පදිංචියට ආ පසු ඉදිරිපස නිවසේ තරුණයන් හා ඔවුන්ගේ ඥාති සහෝදරයන් සමග නිවසට මදක් ඈතින් පාලම අසල ඇති දන්සල වෙත ගොස් කහබත් හා සීනි සම්බල් සමග ආහාර ගත්තෙමු. එහි ගිය විට සිනහ උපදවන කාරණය වුයේ, එහි හිඳ ආහාර ගන්නේ සංවිධායකයන්ගේ පවුල් වල අයම වීමයි. අනෙක් පසින් විශාල පාර්සල සකසා දෙන වෙනම කණ්ඩායම යුහුසුළුව වැඩ කරයි. එය දන්සැලකට වඩා සුහද සන්ද්‍යාවක සිරි ගත්තකි. මේ සඳහා අප නිවසෙන්ද දායක වූ නිසා කෑමට අයිතියක් ඇති බව අර තරුණයන්ගේ අදහසයි. එය මට සිනහ උපදවන කාරණයක් වුයේ "දන්සල් දිය යුත්තේ දුගී මගී යාචකාදීන්ටය" යන කියමන මගේ සිතේ පැලපදියම් වී තිබූ නිසාය. අනෙක අප සල්ලි දුන් පලියට එයට හිලව්වට කනවා නම් කඩයකින් කෑ හැක. පිනට දෙන  මුදල් වලට පින් හැර තවත් යමක් බලාපොරොත්තු විය යුතුද ? ඉන්පසු ඔවුන් තිදෙනාද සමග දෙහිවල ගාලු පාරේ තැනකටද ගොස් එයින්ද කුමක් හෝ සප්පායම් වුව මතකය.

ඉදිරිපස නිවසේ ඥාති සහෝදරයා සිටින්නේ දෙහිවල සරණංකර මාවතේය. ඒ අසල ඇති ආර්කේඩියා නමැති අවන්හලක් ආධාරයෙන් ලබාදෙන අයිස් කෝපි දන්සලට ආධාර කරන්නට අපිත් සහභාගී වීමු. එතැන පාරේ යන වාහන නවත්වන රාජකාරිය බාරගෙන තිබුණේ ඥාති සහෝදරයා හෙවත් ලංකේෂ්ය. ඔහු ඒ සඳහා අමුතුම ක්‍රමයක් අනුගමනය කලේ සියල්ලන්ම මවිතයටත් සිනහවටත් ලක් කරමිනි. එහි යන වාහන සියල්ල ඔහුගේ අණින් සැනෙන් නතර කෙරෙන අතර අයිස් කෝපි සුදානමින් සිටින තරුණ පිරිස යුහුසුළුව වාහාන ජනෙල් තුලින් ලබා දේ. එහි වරක් මොන්ටෙරෝ රථයක් නවත්වා සිසිල් පැන් ලබා ගත්තේ චිත්‍රපට නළු රංජන් රාමනායක සහ එහි සිටි තරුණියන් කිහිප දෙනෙකි. වාහන නැවත්වීමට ලංකේෂ් භාවිතා කලේ පොලිස් නලාවට සමාන නලාවකි. එය එක් වරක් නාද කල විට වාහන නවත්වන්නේ පාරේ ඉරි ඇඳෙන්නට තිරිංග යොදාය.

තවමත් මගේ සිත් ගත් දන්සල වුයේ පාරේ යන වාහන වලට පුංචි කොස් පාර්සල් ලබා දීමයි. එය හුදෙක් බඩ පුරවා ගැනීමට නොව, කෙටි ආහාරයක් ලෙස ලබා දුන්නේ දියවන්නාව පාලම අසලදීයි. ඉන්පසු රාජකාරි වලට පිට ප්‍රදේශ වලට යන අතරතුර මෙවැනි තැන් වලින් බොහෝවිට සිසිල් පැන් දන්සල් වල රථය නවතන්නේ අපේ රියදුරුය. ඉතිං ඔවුන් පිරිනමන දේ ප්‍රතික්ෂේප නොකර පරිභෝජනය කළෙමු. නමුත් ඔවුන්ට පිං දීමට මා පසුබට නොවුනෙමි. ඔබ දන්සැලකින් සප්පායම වනවා නම් එය අවසන් වූ පසු සංවිධායකයින්ට සහ දායකත්වය දැක්වූවන්ට පිං දීම ඔබේ යුතුකමය.

2011 වසර දන්සල් විෂයෙහි මට විශේෂ වසරකි. අප්‍රේල් මාසයේ අග හරියේ දිනක රාත්‍රී අටට පමණ ගේට්ටුවට තඩි බා ඉදිර්යේදී පවත්වන අයිස්ක්‍රීම් දන්සැලකට අයිස්ක්‍රීම් ලීටර 4 ක් දෙන්නට පොරොන්දු කරගත් කොළු ගැටව් පිරිසක් සහ මා නිතර ගමන් ගන්නා ප්‍රතිබිම්බාරම පාර හන්දියේ ත්‍රී වීල් කරුවන්ගේ දන්සලට පොල් ගෙඩි පණහක දායකත්වයක් ලබා දීමට සිදු විය. එසේ ආධාර එකතු කල පාලිත නැමැත්තා  පවසා සිටියේ පසුගිය වසර වලද අපේ නිවසින් එසේ පොල් ගෙඩි පනහක් ලබා දුන් බවය. එය ගමෙන් ගෙනවිත් දෙන්නට ඇතැයි සිතු මා, ඔහු ගනුදෙනුවේදී එතරම හොඳ නැති නිසා අනෙක් දින වල යන ත්‍රී වීල් රියදුරන්ගෙන් මේ ගැන ඇසු විට "අපි නම් යන්නෑ මහත්තයෝ ඕවට. මිනිස්සුන්ගේ සල්ලි යටි මඩි ගහන ඒවා කවද හරි පල දෙනවා" යනුවෙන් පැවසුවේ පැටී නමින් හඳුන්වන තරමක් වයසැති එහෙත් දැඩි අදහස් ඇත්තෙකි. මේ සියල්ලන්ටම වඩා මා විශ්වාස කරන සාගර නමැති ත්‍රී වීල් මිතුරාගෙන් මා විමසූ විට පවසා සිටියේ "කලින් අවුරුද්දේ සල්ලි එකතු කලේ පැටී. මේ පාර පාලිත. කලින් එකතු කරන කොට අනිත් ය කිව්වෙත් ඔය ටිකමයි". ඇත්තටම එය සිනහවට කරුණකි. තමන්ගේ වරදට වඩා අනුන්ගේ වැරදි පේන අය අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන දෙයකි.

වෙසක් දිනට පෙර ඉරිදා දිනයේ අර තරුණයන්ගේ දන්සල මතක් වී, අක්කාගේ පුතා මෙහි නිතර කරක් ගසන බැවින්, "අයිස් ක්‍රීම් දන්සලක් දෙන්නේ කොහෙද ?" කියා ඇසු විට, "අර ප්‍රතිබිම්බාරාම පාරට හැරුන ගමන්ම තියෙන හරස් පාරේ" කියූ බැවින් ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිද විපරම් කලෙමි. ඒ හරියේ නිතර රස්තියාදු ගසන කොල්ලන් කිහිපයකින් ඇසු පසු සී. ආර්. පොතක් ගත් කොල්ලෙක් මා වෙත පැමිණ, මගේ අවශ්‍යතාව(මට උවමනා වුනේ පොරොන්දු වූ අයිස් ක්‍රීම් ලීටර් 4 ලබා දීමටයි) තේරුම් ගෙන මගේ නම විමසීය මා "සුභාෂ්" යයි කී විට, "අයියේ පොඩ්ඩක් ඉන්න" කියා ආපසු යනවිට මගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. එය අවසන් කරන විට අර කොලු ගැටයා මා ළඟය. කැඩුණු අකුරින් මගේ නම ලියූ පොත දැක අසල කඩයෙන් ලීටර් 4 වැනිලා අයිස් ක්‍රීම් එකක් අරන් දුනිමි.

එහෙත් වෙසක් දිනයේ උදෑසන 11.00 ට පමණ පැමිණි කොළු ගැටව් රැලක් ගේට්ටුවට තඩි බා ඔවුන් ආවේ අයිස් ක්‍රීම් ලීටර් 4 සඳහා මුදල් රැගෙන යාමට බව පැවසූහ. ඔවුන්ගේ පොතේ නම ලියා ඇත්තේ මගේ අත් අකුරිනි. මට වරද තේරුම් ගැනීමට හැකි විය. ඔවුන් දන්සල පවත්වන තැන ඇසූ මා, එය වෙනත් ස්ථානයක යයි පසක් වූ විට, "මල්ලී මම ප්‍රතිබිම්බාරාම හන්දියට ඉරිදා ගිහින් අහලා අයිස් ක්‍රීම් අරන් දුන්නා. එක නෙවෙයිද ඔයාලගේ දන්සැල?". "ආ ! ඒක වෙන එකක්. අපේ සල්ලි දෙන්න අපි ගන්නම්". ඒ ගමන මම නිවසට ගොස් රුපියල් පන්සීයක් ගෙනවිත් ඔවුන් ඇත තැබීමි.

අවසානයේදී වෙසක් දිනයට කලින් දින නුගේගොඩ පොලෙන් පොල් ගෙඩි පනහක් මිලදී ගත්තේ රුපියල් 45 බැගින් 25 කුත්, රුපියල් 50 බැගින් 25කුත් ලෙසය. ඒ කුඩා සහ ලොකු ප්‍රමාණ වල ඒවා ගන්නටය. අවසානයේදී ගෝණියට සහ ප්‍රවාහනයත් සමගින් රුපියල් 2600ක මුදලක් මේ සඳහා වැය විය. පසුදා වෙසක් දිනයයි. නමුත් මගේ සහෝදර සේවක පිරිස තලංගම ඩිපෝව ඉදිරිපස දෙන සීනි-සම්බෝල සහ පාන් දන්සල සඳහා දායකත්වය දෙන්නට පොරොන්දු වී සිටි නිසා එදින සවස එක වනවිට එහි ලඟා වුනෙමි. ඊට කලින් මා තැනූ කූඩුව නිමා කර ගන්නට ලැබීම අස්වැසිල්ලකි.


එදින විහිලු තහළු මැද උණු - උණු පාන් හතරට කැපීමේ කණ්ඩායමේ කොටස් කරුවෙකු වීමි. ටික වෙලාවකින් පාන් කාල් දෙකට කැපීමට කෙටි ක්‍රමයක් හඳුන්වා දීමට මට හැකි විය. පාන් උණු නිසා ඒවා ඇකිලීමට නොදී කැපීම ලේසි පහසු කාර්යයක් නොවීය. අවසානයේ පහමාර වනවිට අප කාර්යාලය ඉදිරිපස් ඉදි කර තිබූ කැනපිය යටට එක රැස් වූ සියල්ල පන්සිල් සමාදන් වී. තවත් සුළු මොහොතකින් වැඩ ඇරඹීය.

 විවිධ වර්ග වල වාහන නවත්වා අපදුන් පාන් ලබා ගත්තෝ, ගෙදර පස් දෙනෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා යනුවෙන් පවසා මදි කොටස ඉල්ලාගෙන යාමටද පසුබට නොවීය. මද වෙලාවකින් මහා වැස්සක් පතිත විය. අප වැස්සද නොතකා අපගේ කාර්යයේ නිරත වුවේ, අප තෙමුනත් පාන් තෙමෙන්නේ නැති බව සිකුරටම දැන සිටි නිසාය. ඒ ඒවා සිලි මලු වල දමා ගැට ගසා තිබුන නිසාවෙනි. මේවා පිළියෙළ කරද්දී සීනි සම්බල් අඩුපාඩුවක් වූ නිසා හදිසියේ සෑදූ පොල් සම්බෝල පාන් වලටද කදිම ඉල්ලුමක් විය. නමුත් අවාසනාවක තරම එතන අපට හමු වූ එකම නැති බැරි (දුගී)පිරිස තිදෙනෙකුට සීමා වීමය. ඔවුන් ඇත වෙනත් තැනකින් ලබා දුන වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් විය. ඇති පමණ රැගෙන යන ලෙස අප ඔවුන්ට ඉඩ සැලසුවත්, ඔවුන් ලබා ගත්තේ අමතර කැබලි තුනක් පමණි. ඒ ඔවුන් බඩගින්න හඳුනන නිසාවෙනි. මෙය ඉතිරි කර ගියහොත් කාගේ හෝ බඩගින්නක් නිවෙන බව ඔවුන් දන්නා නිසාය.

එය හමාර වූ වහාම මා පිටත් වුයේ ත්‍රීවීල් පාක් දන්සල විවෘත කිරීමට රාත්‍රී 7.00 ට එන ලෙස මටද ආරාධනා කල නිසාය. මා තෙතබරිත ඇඳුමින් ආවත් නුගේගොඩින් පසු කිසිම ස්ථානයකට වැසි වැටී නැතිබව දැක එක් අතකින් පුදුමයකටත්, අනිත් අතින් සතුටටත් පත් විය. නැවත ඇඳ පැළඳ ගත් මා දන්සල පවත්වන ස්ථානයට පයින්ම ලඟා විය. මා එහි යනවිටත් දිගු පෝලිමක් තිබුනද පේන මානයේ තවත් දන්සල් දෙකකි. මා දුටු විගස පාලිත "එන්න සර්" කියා මා ඇතුලටම කැඳවාගෙන ගොස් අසුනක හිදුවන්නට සලස්වා නැවතත් එලියට දිව්වේය. සුළු මොහොතකින් තවත් මහතෙක් එහි ලඟා විය. ඒ ආරියසිරි ඒජන්සීස් අධිපති වරයාය. මම සුළු මොහොතක් ඔහු සමග දොඩමලු වුවේ, එය ආරම්භ කිරීමට අවශ්‍ය පොල්තෙල් පහන සකසන තුරුය.

මේ අතර මා හාත්පස දෙස පොඩි විපරමක් දැමීමි. එහි බුෆේ ක්‍රමයට භාජන තුනක් සහ ගැට ගැසූ සිලි මලු කිහිපයක් විය. අනෙක් පස ආවරණ අස්සෙන් තවත් කාන්තාවන් කිහිප දෙනෙකුත්, කුඩා ළමුන් පිරිසක්ද, කෙල්ලන් සහ කොල්ලන්ද අසුන ගෙන ඇත. මෙය මට ප්‍රහේලිකාවකි. නමුත් ඒ ගැටලුවට පිළිතුරු ලැබුනේ සංවිධායක වරයා ඒ පැත්තට යන විට ඔහුගේ බිරිය යයි සිතිය හැකි අයෙක් ඔහු සමග කුමක් හෝ සාකච්චා කල විටය. තවත් සුළු මොහොතකින් මුලික වැඩ කොටස අවසන් වී ආරියසිරි මහතාත් මමත් ආහාර තිබෙන තැනට ආවෙමු. නමුත් එහි වුයේ බත්, පරිප්පු, සෝයා මීට් සහ පපඩම් පමණි. අප දෙදෙනා බෙදාගත් පසු අනෙක් පස වූ පිරිස දුවවිත් ආහාර බෙදා ගන්නට විය. මෙතදන සිදු වුයේ ඥාති සංග්‍රහයයි. දුගී සහ යාචක කෙසේ වෙතත් මගී පිරිස තවමත් පොඩි කමින් පෝලිමේ බලා සිටිති. මේ ඇතුලෙන් ගන්නා කොටස ගැන ඔවුන් හොඳ අවුබෝධයක් සිටින බව පෙනේ. ඔවුන් ඒ පිලිබඳ කිසිදු නිනව්වක් නැත.

සාගරගෙන් පසුව දැනගත් පරිදි දන්සල තිබූ තැන පහුවදා තිබී හිස් අරක්කු බෝතල විශාල සංඛ්‍යාවක් ඉවත් කර තිබේ. ඊට පසු අවුරුද්දේද පාලිත "මේ පාරත් හරිනේ සර්" කීවේ ම උදෑසන ඇවිදින්නට යන විටය. මා ඔහුට හිනාවකින් සංග්‍රහ කලද, වෙසක් දිනය වනතෙක් ඔහු පැමිණියේ නැත. පසුව දැනගත් පරිදි වෙසක් දිනයේ ඔහු දන්සල පසෙක දමා අනුරධාපුරයේ ගොස් ඇත.

දිගු අත්දැකීම් සමුදායක් මෙසේ කෙටි කොට දක්වා මා කියන්න යන්නේ මාතෘකාවට අදාළ දේය. එනම් දන්සැල් දිය යුත්තේ කාටද ? යන්නයි. මේ වනවිටත් ඔබට පැහැදිලි පරිදි "දුගී, මගී, යාචක" යන තුන් කොටසටය. දුගියා යනු දුප්පත් කමේ ගිලී සිටින තැනැත්තාය, මගියා යනු (බුදුන් දවස නම් ගව් ගණන් දුර ගමන් ගන්නා පුද්ගලයා මේ ගණයට සැලකිය හැක. අනෙක ඉන්දීය සමාජයේ ගමන් ගන්නට තිබූ දුර නිසාම මගියා විශේෂ කොට තකන්නට ඇත), යාචකයා (ලංකාවේ තරමක් අඩු වුවත්, ඉන්දියාවේ යාචකයන් වැහි වහින්නට සිටින බව නොරහසකි).  ඉතිං බුදුන් දවසේ භාරතය පදනම් කරගෙන ඇති වූ මේ දන්සැල් ක්‍රමය, අද ශ්‍රී ලංකාවේ කෙරෙන්නේ විලාසිතාවක් අනුවය. එයට දන්සල් සංකෘතිය යයි කීම වඩාත් නිවැරදිය. කරන්නන් වාලේ ඕනෑම දෙයක් සිදු වන ලංකාවේ මෙයත් ගසා කන්නන්කදිමට කරගෙන ගිය බොහෝ දෙනාගේ ඇස නොගැටුණු තවත් ක්‍රීඩාවක්ය. නමුත් මේ කියන නීතිය සැබවින්ම ඇත්ත එකක්දැයි නොදනිමි. එසේ නම් එය ඉතාම වටිනා එකකි.

මෙයට සරිලන පින්තුරයක් සොයන්න ගිය විට තායිලන්තයේ දන්සැල් දෙන ආකාරයේ බ්ලොග් අඩවියක පල වූ මේ පින්තුරය නෙත ගැටුණා.


එම බ්ලොග් අඩවියට පහත සබැඳියාවෙන් ගොස් කියවිය හැක.

නාලන්දාව

Friday, May 24, 2013

වෙසක් සිතුවිලි .......


මෙම බ්ලොග් අඩවියට පිවිසෙන ඔබටත් ලෝක වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි .....!!!!

පසුගිය වසරේ වෙසක් දින සටහන වෙසක් දොහේ අවසන් වූ කල්‍යාන මිත්‍ර සම්පත්තිය.....

Tuesday, May 21, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 31 : සිංගප්පූරු ගිය ග්‍රැෆික් ඩිසයිනර්.....

මගේ ලොල් කතා රසිකයෝ කරන චෝදනාවක් තමයි පහුගිය කාලේ ලොල් කතාවක් දාන්න ගත්ත කාලේ වැඩියි කියලා. මුලින්ම පොස්ට් දෙකකට වරක් ලොල් කතාවක් දැම්මා. වැඩේ තියෙන්නේ ලියන්න තියෙන කාරණා වැඩි වුණාම ඒ වගේ පමා වෙනවා. ඉතිං මම හිතුව පරණ පුරුදු විදියට ලොල් කතාවක් දාන්න. දැන් මේ මාතෘකාව දැක්කම ඕනෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ නම් අපේ සහෘද බ්ලොග් කරුවෙක් වන, සිරාගේ කාමරේ ලියන සත්ගුණවත් සිරා කොලුවට වෙච්ච දෙයක් කියලා. නැත්නම් සිරා කොලුවට ගහන මඩක් කියලා. කතාව අන්තිමේදී දැන ගන්න පුළුවන් කාටද වුනේ කියලා. 

ඉතිං අපි හිතමු මේ තරුණයාගේ නම අනිල් කියලා. කියන්න ඕනේ නෑනේ ඉතිං අනිල් වගේ තරුණයකුගේ හිතේ මොන වගේ දේවල්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දෙගිඩියාව තනි වචනෙකින් කිව්වොත්. මොකද හරියට රැකියාවක් හොයාගෙන රට යනවා කියන්නේ ලේසි වැඩක් නොවේ. ඒත් අනිලුත් අපේ සිරා කොලුවා වගේ ගියේ සිංගප්පූරුවට. සිංගප්පූරුවේ රැකියා හෙවිල්ල ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ සිරා කොලුවා විස්තර කරලා තියෙනවා. ඔන්න දැන් අනිලුත් රැකියාවක් හොයනවා හොයනවා හම්බ වෙන්නෙම නෑ. 

අන්තිමට එක තැනකින් සම්මුඛ පරීක්ෂණයකට අනිලවා කැඳවලා. සිරා වගේම බුදුන් වැඳලා අනිලුත් ගියා හරියටම කියන වෙලාවට. මිනිහා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණා. හෙට ඉඳලා වැඩට එන්නත් කියලා. අපේ අනිල් කොලුවත් ගියා වැඩට. අනිල්ට ජොබ් එක ලැබුනේ වෙළඳ දැන්වීම් ආයතනයක. ඒ කියන්නේ  ඔය ස්ටිකර්, බෝඩ්, ලීෆ්ලට්, පෙනන්ට්ස් වගේ ඒවා හදන තැනක්. ඉතිං මෙතන වැඩ කෙරෙන විදිය, මුලික කටයුතු තමයි මුල් දවස් දෙකේ අනිල්ට උගන්වලා තියෙන්නේ. මේ අතරේ පුංචි පුංචි ඩිසයින් කීපයක් අනිල්ට කරන්න දීලා, ඒ ගැන පැහැදිලා හිටිය මේ ආයතනයේ හිමිකරු අනිල්ට ඊළඟ එන පලවෙනි වැඩේම බාර දෙන්න හිතාගත්තා. 

මේ ආයතනයේ වැඩ කරන්නේ ඩිසයිනර්ලා හතර පස් දෙනෙක්. ඒ අය ඩිසයිනර් කිව්වට, ඩිසයින් එක හදන එකේ ඉඳලා, ඒවා මුද්‍රණය කරලා, පැක් කරලා, වාහන වල දාගෙන ගිහිං අදාල ආයතනයට ඩිලිවර් කරන වැඩෙත් කරන්න ඕනේ අදාළ ඩිසයිනර්ම තමයි. එක අතකින් තමන්ට හම්බ වෙච්ච් මුල්ම අවස්ථාවේ කරන්න තියෙන රාජකාරියේ දිග පළල හොයන්නේ නැතිව අනිලුත් ජීවිතේ ගැට ගහගෙන කීයක් හරි ඉතිරි කර ගන්නත් ඕන නිසා කැමැත්තෙන්ම මේ කාරියට එකඟ වුණා. 

මේ ආයතනයට අලුත්ම ඕඩර් එක ලැබිලා තිබුනේ ඔය උඩ පින්තුරේ තියෙන තැනින්. එතන බිස්නස් එක තමයි නිවෙස් වලට උපස්ථායිකාවන් සැපයීම. ඉතිං මේ සේවාවට උවමනා වෙලා තියෙනවා ලීෆ්ලට් 10,000ක් ගහන්න. මේ ඕඩර් එක අනිල්ට දීලා ලොක්කා රට ගියා. ඒ ලොක්කා ටිකක් රැඩිකල් මිනිහා. ඕඩරේ අනිල්ට දීලා කිව්වලු
"මම මෙතන වැඩට ගන්න අයට උපරිම නිදහස දීලා තියෙන්නේ තමන්ට ඕනේ විදියට වෙනස්කම් කරලා අලුත් විදිහේ දෙයක් කරන්න. ඒ නිසා ඔයාටත් මේකේ ඕනෑම දෙයක් වෙනස් කරන්න නිදහස තියෙනවා. එහෙනම් වැඩේ කරලා හෙට දවල් 12.00 වෙන්න කලින් ගිහිං බාර දෙන්න"
එහෙම කියලා ලොක්කා යන්න ගියා. අනිල් දැන් දාගෙන ඩිසයින් කරනවාලු. මෙහෙම කරගෙන යන අතරේ අර ලොක්කා කිව්වා දේත් අනිල්ගේ හිතේ වැඩ කරනවලු. අනිල් මේ ලෝගෝ එක දිහා බලාගෙන ඉන්නකොට ආවලු අයිඩියා එක. දෙපාරක් නොහිතාම හිතින් හිනා වෙවී දැම්මලු ඩිසයින් එක. මේ අතරේ අනිත් අය යන්න ගිහිං. එයාලට එතන කරන්න වැඩක් තිබිලා නෑ. ඉතිං අනිල් කොලුවත් මුළු රෑම වැඩ කරලා අර ටික ප්‍රින්ට් කරලා. පරිස්සමට කපලා. පැකට් කරලා. වාහනේටත් පටවලා, උදේ හතරට විතර නවාතැනට ගියාලු. මේ යද්දී කවුරුවත් ඉඳලා නෑ ඇහැරිලා. ඒත් ලංකාවේ හිටිය හොඳම මිතුරාව අමාරුවෙන් නැගිට්ටලා මෙහෙම කිව්වලු 

"සිංගප්පූරුවේ එවුන්ට ගණන් බෑ" 

"ඉතිං උඹට මොකද බං. ගිහිං නිදා ගනිං" කියලා යාළුවා නිදා ගත්තා. අනිලුත් නිදිමත විකාරේ නිදාගෙන උදේ දහය වෙත්දී ආපහු වැඩට ගිහිං වාහනය අරන් පරෙස්සමට අදාළ ස්ථානය සොයාගෙන ගියා. සිංගප්පූරුවේ තැනක් හොයාගෙන යන්න හරිම ලේසියි. අනිත් එක රියදුරන් ඉතා විනීතයි. අනිල්ට එහෙන් ලැබුණ උපදෙසේ තමයි "පෙඩෙස්ට්‍රියන් ෆස්ට්" කියන එක. ඒ කියන්නේ කහ ඉර ගාව කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන්ම නවත්වලා ඉඩ දෙන්න ඕනේ. දන්නවනේ නැත්නම් ඉතිං දඩ. කියපු වෙලාවටත් කලින් බඩු ටික ලැබුණාම අර සේවා ආයතනයේ ප්‍රධානියා බොහොම සතුටු වෙලා අනිල්ගේ පිටටත් තට්ටුවක් දාලා විස්තර එහෙමත් ටිකක් අහලා. ඉංග්‍රීසියෙන් අහපු දෙබස් ඒ විදියටම දාන්නම්. සරලයි. ඒ මහත්තයා චෑන් කියමු. 

චෑන් : ආ(ර්) යු ඉන්දියන් ?

අනිල් : නෝ ස(ර්). අයි ඇම් ශ්‍රී ලංකන්.

චෑන් : ගූඩ්. ශ්‍රී ලන්කන්ස් ආ(ර්) බෙට(ර්) දෑන් ඉන්දියන්ස්. හව් ඕල්ඩ් ආ(ර්) යූ ?

අනිල් : අයි ඇම් ත(ර්)ටි නව් ස(ර්).

චෑන්: ආ යූ මැරීඩ්. ඩූ යූ හෑව් කිඩ්ස්.

අනිල්: නෝ ස(ර්). අයි හෑව් නො ග(ර්)ල් ටු මැරී. අයි ෂුඩ් අ(ර්)න් සම් මනි බිෆෝ දැට්. දැට්ස් වයි අයි ඇම් හිය(ර්). ඉන් ශ්‍රී ලංකා යූ කාන්ට් සේව්. ස(ර්) ඕපන් ද පැක් ඇන්ඩ් සී යුව(ර්)සෙල්ෆ් ද ලීෆ්ලට්ස්.

සිංගප්පූරු ආයතන හිමියා පැකට් එකක් කඩලා බලලා නළල රැලි කරගෙන මෙහෙම කිව්වලු.

චෑන් : මයි සන්. අයි තින්ක් යූ හෑව් බ්‍රෝට් රෝන්ග් පැකේජ්. සී දිස්. ගූඩ් යූ බ්‍රෝට්  එනිවේ. බිකොස් ඔෆ් දිස් අයි ගොට් ටු නෝ වී හැව්  එ කම්පෙටිටර්. වේ...ට්...... බට් හව් කම් දේ හැව් මයි ඇඩ්‍රස්. ඔහ් ! සම්තින් රෝන්ග් සම් වෙයා. කැන් යූ එක්ස්ප්ලේන් වට් ඉස් දිස් වන්-සික්ස්-එයිට්. 

අනිල් : ඔහ් ! සර් අයි තෝට්. දැට් ඉස් වට් අයි ටූ කාන්ට් රියලයිස්. වයි සින්ගප්පූරියන්ස් කාන්ට් ඩූ සිමපල් එරිත්මැටික්ස්. ටුවෙන්ටි ෆොර් ඉන්ටු සෙවන් සිම්ප්ලි ඉස් වන්-සික්ස්-එයිට් නෝ.... 

චෑන් : ගෝ ටු හෙල්. බ්ලැඩි ෆූල්. 

 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ කතාව ලියන්න දිරියක්(inspire) වුනේ සිරා සහ අටමා. සිරාගේ කතාවත් අටමාගේ යෝගට් කෝප්ප කතාවත් නිසා මට මේ අදහස ආව. ආ ..... ඒ විතරක් නෙවෙයි මම අලුතින් එක් කරන්න යන කැටගරියක් තියෙනව 24 x 7 (ටුවෙන්ටි ෆොර් සෙවන්) කියලා. ඊළඟ පොස්ට් එකෙන් පටන් ගන්නම්කො ඒක. 

Monday, May 20, 2013

යලිත් ඉන්දියාව ජය ලැබූ IPL තරගාවලිය

මේ ගෙවී යන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසාන සතියයි. හයවන වරටත් පවත්වනු ලැබූ මෙම තරගාවලිය අවසන් වන්නේ සියලුම අංශ වලින් ඉන්දියාව ජය ගනිනිමිනි. මෙය හුදෙක් රසිකයන් පිනවන තරගාවලියක් ලෙසින් පෙනුනද, මෙමගින් ඉන්දියාව ලෝකයට පෙන්වන විවිධ අංග රාශියක් ඇත. ලලිත් මෝදි නමැති ප්‍රධානියාගේ පටන්  රජීව් ශුක්ලා දක්වා ආ ගමන් මගේදී ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මඩි තරවිය. හත්වන වරටත් මෙය පැවැත්විය යුතුදැයි එහි ප්‍රධානියාගේ සිට එය රූපවාහිනියෙන් නරඹන ප්‍රේක්ෂකයාගෙන් ඇසුවහොත්, එක හඬින් "ඔව්" යන පිළිතුර ලබා දෙනු ඇත. 

IPL තරගාවලියෙන් ඉන්දියාව බලාපොරොත්තු වන්නේ මොනවාද ?
  •  ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුල ඉන්දීයා ආධිපත්‍ය පැතිරවීම.
ඉන්දියාව විස්සයි20 තරග වල පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේම තීරණාත්මක සාධකය බවට පත් වී හමාරය. පසුගිය සමයේ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමය (Umpire Decision Review System) අසාර්ථක කිරීමේලා බලපෑ සාධකය ඉන්දියාව බවට පත් විය. පසුව මෙය ක්‍රීඩා කරන රටවල් දෙකට තීරණය කිරීමට අවස්ථාව ලබා දුන්නේ වෙන කරන්න දෙයක් නොමැති විටය. මෙයට විරුද්ධ වීමට විශේෂ හේතුවක් ඉන්දියාවට නැති වුවද, මෙය හුදෙක් තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබෙන ආකායරක් පැහැදිලි වේ.
  • ඉන්දියාවේ ආයෝජනය කර ලාභ ලබන බහුජාතික සමාගම් වල ලාභයෙන් වැඩි කොටසක් ඉන්දියාවේම රඳවා ගැනීම 
සුපුරුදු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සහ එක්දින තරගාවලි සහ රංජි කුසලාන පළාත් තරගාවලිය පැවතුනා නම්, ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැක්කේ අනුග්‍රාහකයා කිහිප දෙනෙකුගේ මුදල් පමණි. එයද අයි.සී.සියේ දහසක් සම්බාධක මැදින් ලබා ගත යුතුයි. ලොව සියලුම රටවල් වලට ලැබෙන්නේ මෙම නීතිරීති පද්දති තුල ලබා ගත හැකි අනුග්‍රාහක මුදල්ය. නමුත් විස්සයි විස්ස තරගාවලියයේ කණ්ඩායම් වල විවිධ කොටස් සඳහා අනුග්‍රහය දැක්වීමට මෙකී බහුජාතික සමාගම් වලට ලබා දී ඇත. (පෙප්සි, කොකා කෝලා, නොකියා, වෝඩාෆෝන් ඉන් කිහිපයකි).
ඉන්දියාව ඇත්ත වශයෙන්ම ඕනෑම දෙයක් ප්‍රවර්ධනය සඳහා කදිම ස්ථානයක් බවට පත් වී ඇත්තේ, ඔවුන් මෑතකදී ලබා ගත ආර්ථික දියුණුවත් සමගය. ඔබ ඉන්දීය රුපවාහිනි නාලිකා නරඹනවා නම් ඒවායේ විකාශනය වන වෙළඳ දැන්වීම් මගින් ඒ බව දැන ගත හැක. අනෙක මේ තරගාවලිය තුලම ඉන්දීය දේශීය සන්නම් නාම සම තත්වයේ තබා ගැනීමෙන් ඔවුන්ට ජාතික මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීම් ලබා ගැනීමට අවස්තාවක්ද උදා කර ඇත. 
  • නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තත්වයේ අත්දැකීම් සහ  හොඳ ආර්ථික තත්වයක් ලබා දීම
ඉන්දියාවේ ජනගහනයට අනුවද, එහි පළාත් නියෝජනය අනුවද ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් දහයකට සරිලන ක්‍රීඩකයන් පිරිසක් ඉන්දියාව සතුය.  නමුත් IPL නොපවතුනා නම් ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙන්නේ ක්‍රීඩකයන් 20කට අඩු සංඛ්‍යාවකටය. අද ඒ තත්වය වෙනස්ය. ලොවපුරා සිටින වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් රැසක් පොදි කමින් මේ කණ්ඩායම් වලට ක්‍රීඩා කරති. ඒ වගේම පුහුණු කරුවන්, භෞත චිකිත්සකයන්, විශ්ලේශකයින් විශාල පිරිසකගේ සහය මෙම කණ්ඩායම් වලට ලැබේ. සමහර ජාත්‍යන්තර ක්‍රීඩකයන් ගෙන්වා ගන්නේ ක්‍රීඩා කරවන්නටම නොව ඔවුන් සතු විසේසඥ ඥානය ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා දීමටය(ෂේන් වොන්, මුරලිදරන්, සංගක්කාර, මහේල). IPL පලවන අදියරේදී නවකයන් ලෙස පටන් ගත් සුරේෂ් රයිනා, යුසුප් පතාන්, රෝහිත් ශර්මා අද සිටින තත්වය දෙස බලන්න. සුරේෂ් රයිනා විස්සයි20න පටන් ගෙන ටෙස්ට් දක්වා ක්‍රීඩා කල පළමු ක්‍රීඩකයාය. මෙම වෙන්දේසි ක්‍රමයෙන් ඔවුන්ට ලැබෙන ආර්ථික මට්ටම ගැන අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මුදල් පසුපස යන එකදු ඉන්දීය ක්‍රීඩකයෙක් ඔබට දකින්නට හැකිද ? මුදල් වලට තරග පාවා දීමේ චෝදනාව එක්තරා චිත්‍රපට දර්ශනයක කොටසක් බව මගේ විශ්වාසයයි. මන්ද පසුගිය  තරගාවලිය අග භාගයේද මෙවැනි චෝදනාවන්ට ලක් වූ ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වූ අතර, ගන්නා ලද පියවරක් වාර්තා නොවුනි.
  • ඉන්දීය ක්‍රීඩකයින් හමුවේ ලොව හොඳම ක්‍රීඩකයින් හෑල්ලුවට පත් කිරීම. 
මෙයට හොඳම උදාහරණ සපයන්නේ ශ්‍රී ලංකාවෙන් එහි කණ්ඩායම් නායකත්ව සපයන්නට යැවූ සංගක්කාර, මැතිව්ස් හා ක්‍රීඩකයන් වූ දිල්ශාන්, අජන්ත මෙන්ඩිස්ය. ඔවුන් පැත්තකට තැබුවේ ලකුණු හෝ කඩුලු අතරට නොපැමිණීම පදනම් කරගෙනද? මෙම තරගාවලියට ක්‍රීඩා කල බොහෝ ඉන්දීය පැරණි ක්‍රීඩකයන් ලකුණු අතරට ආවේ නැත. එහෙත් ඔවුන් එම කණ්ඩායම් වල සිටින අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයන්ට අවස්ථා දුන්නේ නැත. මේ අතරින් ඔවුන් ශ්‍රී ලංකාවට දක්වන කුඩම්මාගේ සැලකිල්ලද දකින්නට ලැබේ. නමුත් මුළු IPL ජවනිකා වලම විකුණන චරිතයක් වන මාලිංගට මේ ගැටලුව අදාළ වුයේ නැත. මේ අතින් කුමන කාරණාවකට හෝ චන්දිමාල් ගත් තීරණය හරි යයි අපට හැගේ. මෙහිදී ඉන්දීය නිවේදකයන් ඇතුළුව බොහෝ දෙනා දෝනිව මහා චරිතයක් කරන්නට ගන්නා උත්සාහය පැහැදිලිව පෙනේ. ඊට අමතරව විරාට් කොහොලිවද මීළඟ ඉන්දීය නායකත්වයට ගොඩ නගන අයුරක් පෙනේ. 
පින්තුරය ගත්තේ : http://timesofindia.indiatimes.com
  •  අනාගත ආයෝජන 
මේ සියල්ලටම වඩා ඔවුන් ලැබූ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් කළහැකි ආයෝජන වශයෙන් ගත හැකි ක්‍රීඩකයින් කිහිපයක්ම සොයා ගැනීමයි.  හනුමා විහාරි, වොහාරා, මන්දීප් සිං, සන්දීප් ශර්මා , සංජු සැම්සන්, කරන් මේ අතුරුන් ඉදිරියෙන්ම තිබෙන නම් කිහිපයයි. මෙවැනි නවකයන් ඉදිරීයේම ජාත්‍යන්තර තරු පුටුවල හිඳුවා තබීමෙන්ම ඔවුන්ට ඒ ක්‍රීඩකයන් ගැන තිබෙන භිය තුරන් වනු ඇත. 
  • කණ්ඩායම් වල හිමිකාරත්වය
කණ්ඩායම් වල හිමිකාරත්වය ඔවුන් ලබා දී ඇත්තේ ඉන්දීය කෝටිපතියන් කිහිප දෙනෙකුටය. අම්බානි, විජේ මාලියා, ෂාරුක් ඛාන්, ශිල්පා ශෙට්ටි, ප්‍රීටි සින්ටා හොඳම උදාහරණය. නැතිනම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ය. ඒවා පිටස්තර රටවලට හෝ තරගාවලියට මුදල් යොදවන සමාගම වලට මිලදී ගත නොහැකිද ? 
  • අනෙක් රටවල විස්සයි20 ප්‍රීමියර් තරගාවලි අඩාල කිරීමට කටයුතු කිරීම
කලාප බලවතා ලෙස ඔවුන් මේවා කලද, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හෝ පකිස්තානයට මේවා කල නොහැක යන මතයේ සිට ක්‍රියා කිරීම. උදාහරණයකට ඔවුන්ගේ ක්‍රීඩකයින් සහභාගී නොකරවීම. බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ට ඔවුන්ගේ රටවල කණ්ඩායම  අතහැර චැම්පියන්ස් තරගාවලියේදී  ඉන්දීය කණ්ඩායම නියෝජනයට බල කිරීම. 
ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලි පැවැත්වීමේදී ඉන්දියාව අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් තුල තිබෙන සංවිධාන ශක්තියක් නිසාවත්, ඔවුන් සතු ක්‍රීඩක සංචිතය නිසාවත් නොවන බව මගේ විශ්වාසයයි. නමුත් ඉන්දියාව වැඩිම සමත්කම් දක්වන ක්ෂේත්‍ර කිහිපයක් මේ තරගාවලි රසවත් කරන්නට දායක වන නිසා මෙසේ IPL සාර්ථක වන බව මගේ මතයයි. ඉන්දියාව චිත්‍රපට නිපදවීමෙන් කප් ගසා තිබෙන රටකි. එමෙන්ම රුපවාහිනි මෙගා සීරීස් වලින්ද කප් ගසා ඇත. මීට අමතරව අලංකරණය සහ නැටුම් වලටද දක්ෂතා දක්වන රටකි. ඉතිං මෙම තරගාවලියක සියලු දේ රුපවාහිනි විකාශනයකට අවශ්‍ය අන්දමට තීරණය වන යුගයක ඔවුන් මෙවන් සමත්කමක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ. මේ ලිපියෙන් මා මතු කරන්නට උත්සාහ කරන කරුණ මෙය නොවේ. 

විස්සයි20 ක්‍රීඩාවේ අනාගතය ගැන අනාවැකියක් කියන්නට මා සුදානම්ය. හත්වන සහ අටවන IPL තරගාවලිය වනවිට මෙය ලෝකයේ සියලුම දෙනා තේරුම ගනු ඇත. ඔබ චන්ද්‍රිකා මගින් ලබා දෙන රුපවාහිනී නාලිකා නරඹනවා නම්, රෙස්ලින් නමැති පසුගිය දශකයේ සිට ජනප්‍රිය වීගෙන එන රුපවාහිනි වැඩසටහන් ගැන දැනුමක් තිබිය යුතුය. එය දවස් දෙකක් නැරඹුවහොත් කුඩු කෑවා මෙන් දිගටම නරඹන්නට ඇබ්බැහි වනු අප සමාජෙයේ සුලබව දකින දෙයකි. ඒ අන්දමින්ම හින්දි හෝ දෙමල චිත්‍රපට හෝ මෙගා සීරීස් නරඹන්නට ගතහොත් ඒවාද කුඩු කෑවා මෙන් ඇබ්බැහි වන්නට ගත වන්නේ දින කිහිපයකි. ඉදිරියේදී ප්‍රේක්ෂකයා නොමග යවන, එහෙත් ප්‍රේක්ෂකයාට අවශ්‍ය පරිදි මේවා පිටපතකට අනුව කෙරෙන තරග බවට පත් වනු ඇත. පහුගිය IPL තරග බලා සිටි විට ඒවා හොඳින්ම පැහැදිලි වේ. තවත් කලක් යන විට මේවයේ පිටපත් රචකයන්ට වෙනමම රැකියා අවස්ථා හිමි වන යුගයක් ඇති වනු ඇත. තරග ආරම්භයේ කල යුතු කථාවේ සිට අහවල් ඕවරයේ අහවල් පන්දුවේදී සිදු විය යුතු දේද මේ පිටපත් වල අඩංගු වනු ඇත. මේවාට ක්‍රීඩකයින් අතර ඇතිවන ට්විටර් වැනි සමාජ ජාලා පනිවුඩද උපයෝගී කර ගනු ඇත. මේ සඳහා සරල උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ 
පින්තුරය ගත්තේ : sports.ndtv.com
  • ෂේන් වොට්සන් සහ පොලාර්ඩ් අතර ඇති වන වචන හුවමාරුව, පසුව වොට්සන් දවා ගැනීමට උඩපන්දුව රැකගෙන පොලාර්ඩ් කරන රංගනය, හතරේ සීමාවේ සිට කරන උසුළු විසුළු.
  • අද සංරයිසස් හා කොල්කටා අතර තරගයට පෙර ස්ටේන් යැව්වා යයි පවසන ට්විටර් පණිවුඩයකින් කියවුනේ "අද දිනයේ මගේ ප්‍රධාන සතුරා ජාක් කලීස් " බවයි. ඊට පිළිතුරු දෙන කලීස් යවන පණිවුඩයේ සටහන් වන්නේ "අද දින රාත්‍රියේදී බාර් එකේ හමුවන මිතු-හතුරා(frenemy) ස්ටේන්" බවයි. 
  • අපූරුවට අද දින තරගය ජයගෙන එන සංරයිසස් කණ්ඩායමේ කඩුලු අනපේක්ෂිත ලෙස දැවී යාම. විශේෂයෙන්ම වයිට්ගේ දුවද්දී දැවී යාම. 
පින්තුරය ගත්තේ : www.facebook.com
පින්තුරය ගත්තේ : http://iplt20.com

පින්තුරය ගත්තේ : kannadigaworld.com
  • ලොව විශිෂ්ටතම විනිසුරු ලෙස දිගු කලක් රැදී සිටි සයිමන් ටවුෆල් මහතා විස්තර විචාරකයෙක් ලෙස තරගාවලිය අතරතුර සහභාගී වීම. ප්‍රේක්ෂකයන්ගේ ට්විටර් පණිවුඩ වලට පිළිතුරු සැපයීම. 

අනාගතයේදී මේවා වඩ-වඩාත් තීව්‍ර ලෙස දකින්නට හැකි වනු ඇත. වඩා හොඳ පිටපත් ලියන රචකයන්ට ඉහල දීමනා ලබා ගත හැකි වනු ඇත. 



Saturday, May 18, 2013

වැස්ස සහ රබර් සෙරෙප්පු ....

මේ ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වර්ෂා ලැබෙන කාලයයි. ලංකා සිතියමේ හරියට නිරිතදිග ලකුණු කලොත් ඒ ප්‍රදේශයට වැටෙන ගම් නගර වලින් එකක් වෙච්ච බෙන්තොට හෝ බෙන්තර කියන මගේ ගමට අවුරුද්දේ බොහෝ කාල වල වැසි යහමින් ලැබෙනවා. සමහර අවුරුදු වල වැඩි දවස් ගණනක් වර්ෂාව ලැබුන බව මට හොඳටම මතකයි. අපි කුඩා කාලේ අද වගේ නෙවේ පුළුවන් හැම වෙලාවකම වැස්සේ සෙල්ලම් කරනවා. දැන් අපේ දරුවන්ට වැහි පොදක් වත් වැටෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරන්නේ අද කාලේ ළමයි අපි තරම් ප්‍රතිශක්තියක් නැති නිසාද කියලා මට බොහෝ වෙලාවල් වල හිතුනා. නමුත් කාරණය අද තිබෙන්න නානාප්‍රකාර වයිරස් රෝග ප්‍රමාණය වැඩි වීම. ඒත් කලින් කිව්වා කාරණය අඩු වැඩි වශයෙන් අදාළ වෙනවා. අපේ තාත්තලා අපිටත් වඩා සොබා දහම එක්ක එකතු වෙලා කාලය ගත කරන්න ඇති.
පින්තුරය ගත්තේ කිත්සිරි ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවෙන්
https://www.facebook.com/kithsiri.jayaweera.9
මගේ මේ මතකය අවධි වුනේ කවුරුන් හෝ ෆේස්බුක් එකේ බෙදා ගත්ත ඉහතින් පේන චායාරුපය දැක්කම. ඡායාරුපයක් වචන දාහකටත් වඩා වටිනා නිසා මේක ගැන විස්තර කරන්න මම වචන පාවිච්චි කරන්නේ නෑ. නමුත් මේක දුටු වෙලාවේ ඉඳලා මට අමතක වෙලා තිබුණු අතීත සිදුවීමක් මතකයට එන්නේ හරියට දිය යට ඔබන්න හදන රබර් බෝලයක් වගේ.

මේ සිදුවීම වුණ වසර හරියටම මතක නැතත් මමත් මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා මේ කාලයේ අධ්‍යාපනය ලැබුවේ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලේ. මේ පාසල පිහිටා තිබෙන තැනත් ඉතාම වටිනවා. ඒ කිව්වේ එක පැත්තකින් ඉලාස්ටෝ ආයතනය, අනිත් පැත්තෙන් ලන්දේසි ඇල. මේ ඇල හරහා තිබෙන පාලමට එහා පැත්තේ  පාසලේ අනෙක් කොටස. පාසලට ප්‍රවේශ වෙන ප්‍රධාන මාර්ගය තිබෙන්නේත් ඇලෙන් එගොඩ ඒ කොටසේ, ගුරු නිවාසය, බුදු මැදුර, ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලය, උසස්පෙළ පන්ති වගේම කුඩා ක්‍රීඩාංගණය තියෙන්නෙත් ඇලෙන් එගොඩ ඒ පැත්තේ. ඇලෙන් මෙගොඩ තියෙන්නේ විද්‍යාගාරය, ක්‍රීඩාංගණය සහ කනිෂ්ඨ පංති. ගාමිණි විද්‍යාලයේ ක්‍රීඩාංගනය ගැන කිව්වොත් ඒ කාලේ දකුණු පළාතේ දෙවන විශාලම ක්‍රීඩාංගණය. වැහි කාලෙට මේ පිට්ටනියත් ජලයෙන් පිරෙනවා හරියට වැවක් වගේ. අපි එහෙම දවස් වල ඉන්නේ විවේක කාලය එනකං වැස්සේ නටන්න. මේ පැත්තෙන්ම කුඩා ගුරු පාරකින් පාසලට එන එක තමයි අපේ පුරුද්ද වෙලා තිබුණේ. 
පින්තුරය කපා ගත්තේ google maps ආධාරයෙන්.

පිට්ටනිය පැත්තෙන් තියෙන පාර ගුරු පාරක් වුණත්, අපේ ප්‍රදේශයේ තියෙන පොළොවේ හැටියට ගුරු පාරක් වෙන්නේ නෑ. ඒක පායන කාලෙට වැලි පාරක් වහින දවස් වලට මඩ පාරක්. ඉහල තියෙන පින්තුරේ ඔය කළු පාට ඉරක් ඇඳලා පෙන්නලා තියෙන්නේ ඔය කියන මඩ පාරට. අවුරුද්දේ වැඩි දවසක් ඕක ඉතින් මඩ පාරම තමයි. ඔය පාරෙන් තමයි අපි අවුරුදු ගානක්ම පාසල් ගියේ. මමත් මල්ලීත්, නංගීත් එකට තමයි පාසල් යන්නේ. බොහෝ වෙලාවට ඒ පාසලේම ගුරුවරියක් වෙච්ච අම්මත් අපිත් එක්ක යනවා. 

මේ කියන දවස තවත් වැසි දිනයක්. එහෙම දවස් වලට අපි සෙරෙප්පු දාගෙන තමයි යන්නේ. පාසලෙන් සෙරෙප්පු පළඳිනවාට ඒ කාලේ කිසි බාධාවක් නෑ. බොහෝ ළමයි පාවහන් නැතිවත් එන්න පුරුදු වෙලා තිබුණා. උදේ පාසල් එද්දී තිබුන වැස්ස දිගටම ඒ වගේම තිබුණා. එදා කලින් පාසල අරින්න තීරණය කරලා. එහෙම දවස් වලට අපි ගෙදර දුවන්නේ මිටින් ඇරිය කුරුල්ලන් වගේ. සමහරු නම් පිට්ටනියේ සෙල්ලම් කරනවා. වැහි දවසට "සම්බෝල" ගහනවා කියන්නේ ඉතිං එහෙම ජොලියක් ආයේ නෑ. මම හිතන්නේ සම්බෝල කියන ක්‍රීඩාව ඔයාලාත් දන්නවා ඇති දෙපැත්තකට බෙදිලා ආර්පිකෝ රබර් බෝලෙන් (ස්පොන්ජ්) ළඟ ඉන්න ප්‍රතිවාදියාට ගහන එක. මම මේ ක්‍රීඩාවට එතරම් ඇල්මක් දැක්කුවේ නැත්තේ මගේ ඇඟේ බොලේ වැදුනම ඇතිවෙන රතු පාට පැල්ලම දවස් ගානක් හිටින නිසා.

මමත් මල්ලිත් පොද වැස්සේ දැන් යනවා. අර කළු ඉරක් ගහල තියෙන පාර, මද්දෙවෙල පාර කියන තවත් ගුරු පාරකට සම්බන්ධ වෙන තැන වතුරින් පිරිලා තිබුනා. එහෙම වතුර පිරිලා තියෙනකොට වාහන ගියාම මේවා මඩ ගොහොරුවක්ම වෙනවා. වතුර වල දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙකේත් වතුර පිරිලා. මමත් මල්ලිත් දෙන්නම මඩ වලට බැහැල යනවා. එක කකුලක් තියලා අනිත් කකුල ගන්න යනකොට සෙරෙප්පුව මඩටම ඇලිලා එන්නේ නෑ. මම කොහොම හරි මගේ සෙරෙප්ප දෙක අතින් අර ගත්තා. මම දැක්කා මල්ලි එක සෙරෙප්පුවක් තියාගෙන අනිත් එක හොයා ගන්න බැරිව මුණ රතු කරගෙන ඉන්නවා. මම එතනට ගිහින් හෙව්වත් හමු වුනේ නෑ. 

අන්තිමට වතුර වලෙන් එගොඩ වෙලා ගෙදර යන්න මල්ලිව කැමති කර ගත්තා. ඒත් අර තනි සෙරෙප්පුව ගෙදර අරගෙන යන්න මම වග බලා ගත්තා. මට හොඳට විශ්වාසයක් තිබුණා ඒක කොයි වෙලාවක හෝ උඩට එයි කියලා. ගෙදර අරන් ගිය තනි සෙරෙප්පුව මම අරන් තිබ්බ. අම්මාලාටත් වුණ දේ කියලා ෂේප් කර ගත්තා. මේ කාලේ අපි ගත්තේ ගෙවල් ලඟම තිබෙන නිෂ්පාදනයක් වෙච්ච ඉලාස්ටෝ සෙරෙප්පු. ඒවායේ වැඩි කැටයමක් නෑ. කලුපාට, බර, සෙරෙප්පු ජාතියක්. මේ වැස්ස දවස් කිහිපයකින් නැති වෙලා ගියා. මම දන්නා කියන හැමෝටම කිව්වා මෙතන අපේ සෙරෙප්පුවක් නැති වුනා දැක්කොත් අරන් තියන්න කියලා. 

වැස්ස නැති වෙලා දවස් කිහිපයක් යද්දී ඒ මඩ වල ඉතිරි වුනත් මිනිසුන් තබන ගල් කෑලි හෝ ලෑලි කෑලි නිසා මඩ ගා ගන්නේ නැතිව එතනින් යන්න පුළුවන්. හැම දවසකම මම එතැන නැවතිලා පොඩි විපරමක් කරලා යන්න වග බලා ගත්තා. කළු පාට මඩ ගොඩක කළු පාට සෙරෙප්පුවක් හොයන එකත් ලේසි නෑ. අන්තිමට පායාලා මෙතන සාමාන්‍ය පාර බවටම පත් වුණා. දැන් එතන මඩ වලක් තිබුනද කියලවත් හිතා ගන්න බෑ. 

ටික කාලයක් ගෙවිලා ගිහින් ආපහු වැහි කාලයක් ආවා. මේ කාලෙම ක්‍රීඩාංගනයේ වලවල් තිබෙන තැන වලට මැටි අරගෙන ට්‍රැක්ටර් වගයක් නිතරම යනවා එනවා. අර කියපු මඩ වල දැන් හොඳටම බොර වෙනවා. මෙහෙම වෙන එක ගැන මගේ හිතේ සියුම් සතුටක් තිබුණා. අඩි එකහමාරක් විතර යටින් තියෙන සෙරෙප්පුව උඩට එන්න, මේ ට්‍රැක්ටර් ටයර් වල තියෙන කට්ට වලට පුළුවන් කියලාම තමයි මම විශ්වාස කලේ. දැන් මෙතනින් දවස ගානේ යනවා. මම සමහරක් වෙලාවට හවසත් ගිහින් මෙතන බලාගෙන ඉන්නවා. 

එක් දවසක් උදේ යනකොට කවුදෝ කෙනෙක් පුංචි කානුවක් කපලා මේ පාරට හැරෙන තැනම තියෙන අනිත් පාර වෙච්ච් මද්දෙවෙලා පාර අයිනේ තියෙන ලොකු කාණුවට. වතුර ටික සේරම බැහැල ගිහින් තිබුනත් මඩ ගතිය තවම තියෙනවා. ට්‍රැක්ටර් ගිය පාරවල් පේන්න තිබ්බා. එතන වැඩි වෙලාවක් ගත නොකර මම පාසල් ගියා. දවල් එත්දීත් මඩ ගොඩ දිහා මම සුපුරුදු සුපරීක්ෂාකාරී බැල්ම දැම්ම. එතකොට මම එක තැනක දැක්ක රබර් පටියක් වගේ තියෙනවා. හරියටම සෙරෙප්පුවක පටිය වගේ. මම නිකමට එතනට ගිහින් බැලුවා. "හරි මේ අපේ සෙරෙප්පුව තමයි", මගේ හිතට ආපු සතුට කියා නිම කරන්න බැරි තරම්. මම වටපිට බැලුවා කියන්න කව්රුත් නෑ. මම පුළුවන් වෙර දාල ඇද්දා එන්නේ නෑ. පටිය ඇදුනා විතරයි.

ළඟ තියෙන වැටෙන් කෝට්ටක් කඩාගෙන, මගේ පොත් ටිකයි සෙරෙප්පු දෙකයි පැත්තක තියලා හාරන්න පටන් ගත්තා. විනාඩි පහක් දහයක් යද්දී මට පුළුවන් වුණා මල්ලීගේ සෙරෙප්පුව එලියට ගන්න. මට දැන් ගෙදර ගිහිං මේක පෙන්වනකම් ඉවසිල්ලක් නෑ. මම තව ටික දුරක් ආවහම තියෙන ඇලෙන් සෙරෙප්පුව වගේම මගේ අත පයත් හොදා ගත්තා. කෙලින්ම ගෙදර දිව්වා. 

"මල්ලී මේ තියෙන්නේ ඔයාගේ සෙරෙප්පුව"

කලින් අරන් තිබ්බ එකයි මේකයි තමන්ගේ කකුල් දෙකේ දාගෙන රවුමක් ඇවිදින මල්ලීගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී සිනහවක්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. මගේ අලුත්ම පොස්ට් එක සිංහල බ්ලොග් කියවනයේ අප්ඩේට් වෙලා නෑ. පහල ලින්ක් එකෙන් ගිහිං බලන්න.

ඉන්දියාව ජයගත් IPL තරගාවලිය

Wednesday, May 15, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 30 - පාන් ගෙඩිය ......

මගේ කාර්යාලීය මිතුරෙක් ඉන්නවා ටිකක් අමතක වෙන ලෙඩේ තියෙන. ටිකක් නම් ඉතිං අපි කොයි කාටත් අමතක වෙනවානේ. ඒත් මේ කියන මගේ මිත්‍රයට ගොඩක් අමතක වෙනවා. මුලින්ම මිනිහට අමතක වෙච්ච එකක් දෙකක් මතක් කරන්නම්කෝ. ඒ දවස් වල අපේ නුගේගොඩ තිබ්බ ඔෆිස් එක පෝය දවසට නම් අනිවාර්යෙන්ම වහලා. එහෙම දවස් වලත් වැඩට ඇවිත් නමය, නමයහමාර විතර වෙනකම් බලන් ඉන්නකොට මතක් වෙනවා අද පෝය නේද කියලා. මද සිනහවක් මුණේ ඇඳන් ගෙදර යනවා. මිනිහගේ හොඳම ගතියක් තමයි මුහුණ දීපු අකරතැබ්බ අපිත් එක්ක කියලා මහා හයියෙන් හිනා වෙන එක. මේක කෙනෙකුට කලාතුරකින් පිහිටන හොඳ ලක්ෂණයක්.
පින්තුරය ගත්තේ : http://jdsrilanka.blogspot.com

තවත් දවසක් අනුරාධපුර රාජකාරි ගිහින්  ඉන්න දවසක මගේ මිත්‍ර ආනන්දත් අපේ කතානයාත් තව කිහිප දෙනෙකුත් උදේ නැගිටලා තේ එහෙම බීලා වැඩට යන්න සුදානම් වෙනවා. ආනන්ද හැම තැනම හොයනවා දත් බුරුසුව හම්බ වුනේම නෑ. අන්තිමට කඩේට යන්න හිතාගෙන කට්ටිය එකතු වෙලා දත් මදින තැනට ගියා කියන්න. මෙන්න අර අපේ කතා නායකයා සුදු පාට බුරුසුවකින් දත් මදිනවා. හරියට ආනන්දගේ එක වගේමයි.

ආනන්ද : සුරාජ් ඔය දත් බුරුසුව උඹේද ?

සුරාජ් : ඔව් මගේ, ඇයි ?

ආනන්ද : හොඳටම ෂුවර්ද ?

සුරාජ් : ආ උඹේද ? ආ ගනින්.

කියලා මැද - මැද හිටපු බ්‍රෂ් එක එහෙමම දීලා.

අන්තිමට මේක කරන්නම බැරි තැන මේ ගිය යාළුවො කට්ටිය ඒ කාලේ අමතක වෙන ලෙඩේට නැගලම යන බේතක් වෙච්ච memory+ ගන්න කියලා සුරාව එක්කන් ගියා ටවුන් එකට. අන්තිමට බර ගානක් දීලා පෙට්ටියක්ම අරන් ආවා. රෑ ඔන්න හැමෝම ඉස්සරහ එක කරලක් ගිල දැම්මා "මෙමරි ප්ලාස්" කියලා. උදේ ඔෆිස් ගිහින් ඉන්න කොට ආනන්ද අහලා මචන් මෙමරි ප්ලස් ගත්තද ? කියලා. එතකොට සුර කියලා "හරි වැඩේනේ බොන්න අමතක වුණා" කියලා.

දැන් අපේ කතාවට එමු. මේක වුනේ අපේ අර කලින් කියපු නුගේගොඩ ඔෆිස් එක තිබ්බ කාලේ. අපේ ඔෆිස් එක ළඟ තියෙනවා බේකරියක්. උණු උණුවේ පාන් බානවා හවසට. දවසක් අපේ සුරාජ් මහත්තයා එතනින් පාන් ගෙඩියක් ගත්තා. එක අරන් මිනිහා ඔෆිස් අරන් එන ලෙදර් බෑග් එකේ දා ගත්තා. ඔය ලෙදර් බෑග් වල දැම්මම ගෙදර යනකොටත් උණුසුම ආරක්ෂා වෙන නිසා මේකට නියම භාණ්ඩේ. හයිලෙවල් පාරට පයින්ම ගිහින් නුගේගොඩ සෙන් ජෝන්ස් එක ගාවින් තියෙන බස් හෝල්ට් එකෙන් අපේ මිත්‍රයා අතුරුගිරිය යන බස් එකකට ගොඩ වුණා. මේ බස් එකේ කට කපල සෙනග. නැග්ග තැනම තියෙන රාක්කෙ තමාගේ බෑග් එක දාලා සුරාජ් දැන් බස් එකේ යන්න සටනක් දෙනවා.

වාසනාවකට මහරගමට යනකොට එනත වාඩි වෙලා හිටිය පින්වන්තිය නැගිටලා බැස්සා. අපේ මිත්‍රයාට කරදරයක් නැතිවම ආසනය ලැබුණා. දැන් මිනිහා බස් එකේ දාලා තියෙන සින්දුව අහගෙන යනවා. මෙහෙම ටික දුරක් යද්දී අපේ මිත්‍රයා තද නින්දකට වැටුණා. අහන්න දෙයක් නෑ ඉතින් කවුරු වුනත් බස් එකේ යනකොට පොඩි නැප් එකක් දානවනේ.

අන්තිමට බස් කොන්දොස්තර උරහිසින් හොලවලා මහත්තයා බහින්න මේ අතුරුගිරිය කිව්වම අපේ මිත්‍රයා දනී-පැණි ගාලා නැගිටලා, කොන්දොස්තර මහත්තයාටත් ස්තුති කරලා බැස්ස. කොන්දොස්තර මහත්තයත් හැමදාම වගේ එන නිසා අපේ මිත්‍රයව දන්නවා. අපේ යාළුවා බස් එකෙන් බැහැල ඇඟමැලි කඩලා හෙමින් හෙමින් ගෙදරට ගියා. මේ කාලේ මිනිහා අලුතෙන් ගත්ත මිලේනියම් සිටි නිවාසේ තනියම තමයි අපේ මිත්‍රයා හිටියේ. ගෙදර යද්දී හයහමාර විතර ඇති. මිනිහා පරිප්පු හොද්දක් හදන්න කලමනා එහෙම ලැස්ති කරලා ඊට කලින් තේකක් හදාගෙන බිව්වා. අන්තිමට කොහොම හරි රෑ හතට විතර පරිප්පු හොද්දත් එක්ක ඔට්ටු වෙලා ඒකත් ලිපේ තියෙද්දීම බාත්රුම් එකට ගිහිං වොෂ් එකක් දා ගත්තා.

දැන් මිනිහා අර හදපු පරිප්පු එක මේසෙට අරගෙන, ටී.වී. එකත් දාලා පාන් කපන පිහියත් අරන් පාන් ගෙඩිය අරන් එන්න කාමරේට ගියා. හප්පා !!! එතකොටයි මතක් වුණේ බෑග් එක බස් එකේ රාක්කෙට දැම්මට ගන්න අමතක වුණා නේද ? කියල. ඒ පාර හනි-හනිකට ලැස්ති වෙලා, හන්දියේ ත්‍රීරෝද රථයක් කතා කරගෙන අර බස් එක අයිති කෙනාගේ ගෙදර හොයාගෙන ගිහින් බෑග් එක අරන් ආවේ රටක් රාජ්‍යයක් දිනා ගත්ත සෙන් පතියෙක් වගේ. අන්තිමට ත්‍රී වීල් ගාස්තුව රුපියල් හාරසිය පනහයි. මේ කතාවත් පහුවදා උදේම අපේ අයත් එක්ක කිව්වා.

"මචං එතකොට ඔය බෑග් එක කීයක් විතර වුණාද ?"

"රුපියල් හාරසීයකට ගත්තේ"

"ඉතිං බං උඹට තිබුනේ රෑ පාන් ගෙඩියක් අරං කාලා උදේ බෑග් එකක් ගන්නනේ. එහෙම කලත් උඹට යන්නේ රුපියල් හාරසිය තිහයි නේ (ඒ කාලේ පාන් ගෙඩියක ගාන)"

මේ කතාව අහලා අපි හිනා වෙද්දී සුරාජයත් මෙන්න බඩ අල්ලාගෙන හිනා වෙනවා.  

Monday, May 13, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ? පිළිතුරු .....


නිවැරදි පිළිතුරු

(1) Black Puma 

මුලින් ලින්ක් මගින් පින්තුරයක් දාල තිබ්බ Google+ එකේ. මගේ ඉල්ලීමට ඒක ඉවත් කළා. දැන් ඒක දාන්න කියල ඉල්ලා සිටිනවා. මට කොපි කර ගන්න බැරි වුනා. :(

(2) ඉඳුනිල් රාමදාස


එක සමාන පඩිපෙලාකාර  කොටස් 2 යි. එක කොටසක් 3 X 12 , 3 X 8, 3 X 4 ප්‍රමාණයේ කොටස් එකතු වෙලා එන හැඩය..
මුලින් විකර්ණ ගහගෙන ට්‍රයි කළා. හරි යන්නේ නැහැනේ , සැකේට ඒ වගේ ඇඳලා බැලුවා.
කමෙන්ට් එකක් දැම්මා.


(3) වී පොකුරේ වීයා ඊට පස්සේ හරි පිළිතුර මට ඊ-මේල් කළා

(4) පැහැදිලිම උත්තරේ දුන්නේ මාරයා 

ඕක ඒ හැටි දෙයක් නෙවෙයි නේද..? පඩි පේලියක හැඩේට කැපුවනං හරිනේ... අඩි 16ක් තියෙන පැත්තෙන් අඩි දොලහක් තියෙන තැනින් ඇතුලට( - )අඩි තුනක් කපලා ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|)කපලා ආයෙම අඩි තුනක් ( - )කපලා..ආයෙම අඩි හතරක් අනිත් පැත්තට (|) කපලා අවසානයට තවත් ( - ) කපලා දැම්මනං වැඩේ ඉවරයි... එක කට්ටයක් පන්නලා පුරුද්දලා වෙල්ඩිං කොරලා දැම්ම ඔය එන්න හතරැස් වෙලා... :D


ඔය වරහන් ඇතුලේ දාලා තියෙන්නේ කපන්න ඕන අත... මට ඕවට චිත්තර අදින්න කම්මැලියි... ගණීත හැකියාවනං අනේ මංදා...ඔව්වා අපි කොලේ වාහන ටිංකරිං කොරන කාලෙනේ... :D 
පසුව ඔහු මෙහෙමත් කමෙන්ට් කළා
NDT ත් නැත.. ගණීතයට ඇති අමුතු හැකියාවකුත් නැත... වැඩක් කොරන හැටි අහු මුලු නොතියා කියා දුන්න ගරාජ් බාසුන්නැහේලාට පින් සිද්ධ වේවා... :D 

මෙන්න මේ වැකිය මම අර අපි කොමස් කලේ, ගණන් වලට කවදත් කම්මැලියි, සඳුදට ඇවිත් බලන්නම් වගේ උත්තර දීපු අයගේ අවධානයට මම යොමු කරනවා. මෙන්න මෙහෙම කියමනක් මම අහලා තියෙනවා
"If there's a will, there's a way" - උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත

සයිලන්ට් සහන් මුල ඉඳලම ඉඳලම හොඳ උත්සාහයක යෙදුනා. නමුත් වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කර ගත්තා අඩියේ අඩියේ කොටු අඳින්න ගිහිං. ඒක දැක්කම මමත් පොඩ්ඩක් නොමග ගියා. මමත් ඒ වගේ එකක් ඇඳලා මේකට තවත් පිළිතුරක් තියෙනවද කියලා හොයන්න උත්සහ ගත්තා. සහන් සමහර විට උත්තරය හොයා ගන්න ඇති, නමුත් ඒක ඉදිරිපත් කරපු විදියේ යම් ගැටළුවක් තියෙනවා. 
තවත් දෙදෙනෙක් මේක කලින් දැනගෙන හිටියා කියලා කමෙන්ට් කරලා තිබුණා. මම හිතනවා ඒ අය ඒ ප්‍රකාශ කලේ අවංකවම කියලා. ඒ ශෂී සහ නදිනි. 

මොනවා වුනත් උත්සාහ කරපු හැමෝටම ස්තුතියි. 

Friday, May 10, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ?

මේ දවස් වල පුද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් ටිකක් කාර්‍ය බහුල වෙලා. ඒ නිසා දිග පොස්ට් එකක් දාන්න තරම් නිස්කලංකයක් නෑ. ඒ මදිවට ඇනෝ මහත්තයෙක් කතතන්දර බ්ලොග් එකෙක් මගෙත් එක්ක ඔට්ටු වෙනවා. එයා කියන්නේ නම් බ්ලොග් එකක් කරන කෙනෙක් වුණත් කෙලින්ම ඇවිත් උත්තර දෙන්න තියෙන කුලෑටි කම නිසා ඇනෝ දානවා කියලා. ඒ මදිවට එයා මගේ පරිඝනක දැනුමත් පරීක්ෂා කරනවා. මේ වගේ අයට උත්තර බඳින එක මගේ සිරිත් නොවුනත්, එයාගේ අහිංසක උත්සාහය පව් කියලා හිතෙන නිසා උත්තර දුන්නා. 

මම අද හිතුවා හොඳ ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්න. මේක ඇත්තටම නාවික හමුදාවකට නිලධාරීන් තෝරා ගන්න පරීක්ෂණයකදී අහපු එකක්. මට මේක දුන්නේ මම උසස් පෙළ ඉවර වෙලා බෙන්තොට බීච් හෝටලයේ සේවය කරන කාලේ එතන ෆෝමන් විදියට වැඩ කරපු, ගණිතයට ඉතා දක්ෂ (NDT ඉංජිනේරුවකු) අයෙක් වෙච්ච ගයාන් කැල්ලේපොත කියන මගේ මිත්‍රයා. එයා හරියට බටහිර ඉන්දීය කණ්ඩායමේ කාලයක් ක්‍රීඩා කරපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙච්ච කාල් හූපර් කියන ක්‍රීඩකයාට සමාන රුපයක් තියෙන කෙනෙක්. මේ දෙදෙනාටම මම එක වගේ ප්‍රිය කරනවා. ගයාන් එක්ක ඉන්නකොට ඇත්තටම දැනුමක් එකතු කර ගන්න පුළුවන් කල්‍යාන මිත්‍රයෙක්. මෙන්න මේකයි ගැටලුව.

එකතරා නැවක් මහා මුහුදේ ගමන් කරන අතරතුරදී එකේ ලොකු සිදුරක් ඇති වෙලා නැවට වතුර කාන්දු වෙන්න ගන්නවා. ඒ සිදුර ඇති වෙච්ච තහඩුවේ ප්‍රමාණය අඩි 12 x 12. වර්ග ප්‍රමාණය වර්ග අඩි 144ක්. නමුත් අවාසනාවකට මේ නැවේ තියෙන්නේ 16 x 9 ක තහඩුවක්. වර්ග අඩි 144 යි. අර සිදුර විතරක් වහලා දාන්න බෑ. ඒ තහඩුවම ඉවත් කරලා වෙනත් තහඩුවක් දාන එක තමයි පිළිගත් ක්‍රමය. මේ දෙක වර්ගඵලයෙන් සමාන නිසා මේ අය කල්පනා කරලා විසඳුමක් හොයා ගන්නවා. ඒ සමාන කෑලි දෙකකට මේක කපලා පාස්සන එක. අනිත් දේ තමයි කෑලි දෙකකට වඩා වැඩි ගණනකින් පාස්සන එක සවිශක්තියට ප්‍රශ්නයක් නිසා, කෑලි දෙකකට වැඩියෙන් කපලා පාස්සන්න බෑ. කොටින්ම මේ කපන කෑල්ලක වර්ග ප්‍රමාණය වෙන්නේ වර්ග අඩි 72යි. 


මට ගයාන් කිව්වෙත් ඔය විස්තර ටිකම තමයි. පැය 2 කදී මේ ගැටළුව විසඳන්න ගයාන් සමත් වෙලා තියෙනවා. මට නම් දවස් ගානක් කල්පනා කරන්න සිද්ද වුණා.

ආහ් ! තව දෙයක් කලින් මේ ගැන දන්නවානම් ඒ ගැන සඳහන් කරන්නත නිහතමානී වෙන්න. ඔබ උත්තරය සොයා ගත්තානම් කමෙන්ට් නොකලත් ඔබ දිනුම්. ඒ නිසා මම කමෙන්ට් සඟවනවා. හරි උත්තරය සඳුදා විතර බලමු. බ්ලොග් ලෝකේ සිරා maths කාරයෝ ඉන්න නිසා ඊට කලින් හරි උත්තරය ලැබෙන බව මට විස්වාසයි. අර මගෙත් එක්ක කකාගේ බ්ලොග් එකේ ඇර ගත්ත මහත්තයාටත් මේක විවෘතයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. : කමෙන්ට් කිරීමේ ගැටළුවක් තිබුණා කියලා දැනුම් දීපු ප්‍රවීන් ඉන්ද්‍රනාම මිතුරාට ස්තුතිය.

Sunday, May 5, 2013

ආර්.ආර්. සමග කැසිනෝවකට .......

ඒ 1994 දෙසැම්බර් මස 31 වෙනිදා නොහොත් එම වසරේ අවසන් දිනයි. සාමාන්‍යයෙන් ගමේ සිටි කාලයේ දෙසැම්බර් 31 දින රාත්‍රිය ගත කරන්නට අපි යොදා ගන්නේ බෙන්තොට(තර) වෙරළයි. අපේ කණ්ඩායමට 6-10 අතර පිරිසක් එකතු වේ. රාත්‍රී 9 වනවිට බෙන්තර වෙරළට ගොස් පසුදා උදෑසන 2-3 අතර කාලයේදී නිවසට ලඟා වීම සාමාන්‍ය පුරුද්දයි. එහෙත් 1994 දෙසැම්බර් 31 වනදින සවස පහ වනවිට මා සිටියේ අපේ ගමට ආසන්නම නගරය වන අලුත්ගමයි.
පින්තුරය ගත්තේ : www.casinoonlinesites.com

එසේ අලුත්ගමට වී සිටින්නට හේතු කිහිපයක්ම විය. ඒ රිවරිනාවේ වැඩකළ මගේ අතිජාත මිතුරා වන සේනාරත්න මුණ ගැසීමටයි(මා රිවරිනාවේ රැකියාවෙන් ඉවත් වුයේ එම වසරේ අප්‍රේල් මස මුල් කාලයේදීයි. මේ වනවිට මා රැකියා විරහිතව සිටියෙමි). ඔහු නොමැති දිනක නම් චන්දන හෝ වික්‍රම මුණ ගැසේ. මා අදත් මේ අය නියම මිතුරන් සේ සලකමි. මන්ද කෙනෙකුට දුකේදී සිටින මිතුරන් ප්‍රමාණය අල්ප වීමය. එසේත් නොමැති නම් මගේ තවත් හොඳ මිතුරකු වන ලාල් (ලාල් ටේලර්ස් අධිපති) සහ විජිත් අයියා(ජීවතුන් අතර නැත) සමග ලාල්ගේ කඩයට වී සල්ලාපයක යෙදී සිටීමි. මේ කිසිත් නැතිනම් අලුත්ගම විද්‍යාල ක්‍රීඩාංගනයට ගොස් එහි සිටින ගාමිණී ප්‍රියන්ත, සමරේ අයියා, චබ්බා ඇතුළු පිරිස සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනෙමි.

එහෙත් මේ කියන 31 වෙනිදා සවස මා සිටියේ මගේ මස්සිනාට අයිති ව්‍යාපාර ස්ථානයේය. ඒ වනවිට එහි අනුර නැමති මගේ මස්සිනාගේ මිතුරාද විය. ඔහු එම වෙළඳ සැලේ කළමනාකරු ලෙස සේවය කරයි. කුමක් හෝ කාරණයකට මෙතනට  ආර්.ආර්. යනුවෙන් කව්රුත් දන්නා සූදු අන්තුවා ගොඩ විය. අලුත්ගම නගරයේ අය ඔහුත් සමග එතරම් සුහද ගනුදෙනුවක් කලේ නැත. සුදු සරමකින් සහ දුහුල් සුදු කමිසයකින් නිතරම සැරසී සිටින ඔහුගේ කරේ බොහෝ විට රත්‍රං චෙන් එකක්ද වේ. ඇඳ සිටින කමිසයෙන් විනිවිද ඔහුගේ බැනියම පවා පෙනේ. එය එතරම් දුහුල් කමිසයකි. අත්දිග කමිසයේ අත් දෙපොටක් පමණ නමා ඇත. ඔහුගේ උඩු තොල සහ නහය අතර කර ඇති ශල්‍ය කර්මයක ප්‍රතිපලයක් නිසා ඔහුගේ කතාව මුක්කම් ස්වභාවයක් ගෙන තිබේ. ඒ කතාව අසා හිනා නොවී සිටීමට හැක්කේ පුරුදු කාරයෙකුට පමණි. මුලදී ඔහු කියන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට පවා අපහසුය. ඔහුගේ එක කකුලක් අහිමි වී ඇත්තේ මන්දැයි කියන්නට කලාතුරකින් ඔහු මුණ ගැසෙන්නෙකු වූ මම නොදනිමි. ඒ වෙනුවට ප්ලාස්ටික් කකුලක් යොදා ඇත. එසේ තිබියදීද කඩිසර ගමනින් යන්නේ ඔහුගේ මුක්කං කටින් දොරේ ගලන්නා සේ වචන ගලා ඒමට සමගාමීවය.

ආර්.ආර්. යනු ඔහුගේ නමේ මුලකුරුය. ආර්.ආර්. යන්නේ තේරුම කියන්නට ඔහුවත් දන්නවාදැයි සැකසහිතය. මන්ද ආර්.ආර්. යනු අකුරු දෙකක් නොව වචනයක් බවට පෙරලී ඇති නිසාය. නිතරම විහිලු සහ අවකැපෙන වචන කියන්නෙකු නිසා ඔහු සිටිනා විට කවුරුත් ඔහුට කථා කරන්නට ඉඩ හැර බලා සිටී. ඔහුගේ මුළු ජීවිතයම කැසිනෝ සහ රේස් ඔට්ටු සඳහා ගතකල බව බොහෝ දෙනා පවසයි. නිතරම රේස් ඔට්ටු ජය ගැනීමේ කලාව ඔහු දවසක් විස්තර කළා

"මං මචං එචඥ කොම්පියුචර් ගාඥ මල්ලී අල්ඥ් ඉන්ඥ්. ඌච පොජි සිග්ඥාල් එකක් දුන්නම ඌ ජානවා මං කියඥ ඥොකියෝ"
ඔහු මේ කියන්නේ එතන සිටින පරිඝනක ප්‍රවෙශකයා අල්ලාගෙන ටිකක් ප්‍රමාද වී තමන්ගේ අශ්වයන් අල්ලන බවය. එය කරන්නේ අර ප්‍රවේශයාගේ පරිඝනකයේ වෙලාව වෙනස් කිරීමෙනි. ඔහු කවදත් මෙවැනි දේට දක්ෂය. එක් වරක් ඔහු ලක්ෂ තිස් ගණනක් කැසිනෝ වලින් දිනාගෙන ඇත. කවුරුන් හෝ දුර බලා දුන් අවවාදයක් නිසා ඔහුගේ දරුවාගේ නමින් ඉඩමක් සහ නිවසක් මිලදීගෙන ඇත. නැතිනම් ඔහුට එම මුදල විනාශ කරන්න ගත වන්නේ සතියක් නැත්නම් දෙකක් පමණි. එම ඉඩම විකුණන්නට බැරි වුනත් එම නිවසේ තිබෙන සියලුම කොටස් ගලවා විකුණා සූදු කෙල ඇත. එහෙත් කව්රුන් දුරදිග බලා දුන් උපදෙස නිසා ඔහුට ඉඩම විකිණීමට නොහැක.

මේ කියන දවසේ හවස පහ විතර වනවිට කොහෙන්දෝ පැමිණ ඔහු පාත් වනවිට එදිනට එම ව්‍යාපාරික ස්ථානය වසන්නට සුදානම්ය. හනි-හනිකේ පැමිණි ආර්.ආර්. දුරකථන ඇමතුමක් ගන්නා ලද අතර අප අමතා
"අජ නිඥම ගමඥක් යමුජ චපිල අයිඥේ. අජ කැෂිඥෝ යෙකේ කෑඥාම බීම ඥියමයි"
අන්තිමට අපි දෙදෙනාත්, අනුර අයියාත් ආර්.ආර්. සමග ගමනට එකතු වීමු. දැන් වාහනය කොළඹ දෙසට ගමන් කරයි. මා එදින දමාගෙන සිටියේ රබර් සෙරෙප්පු දෙකක්. මෙය දුටු ආර්.ආර්. වහාම දෙහිවල හන්දියේ වාහනය නවත්වා රුපියල් හත්සිය ගණනකට මට ලෙදර් සෙරෙප්පු කුට්ටම අරන් දුනි. මට පුදුමාකාර සතුටක් ඇති වුවත් එය නොපෙන්වන්න වග බලා ගතිමි. රාත්‍රී හත වනවිට ගෝල්ෆේස් අසල ඇති රිට්ස් නමැති කැසිනෝවට ගොඩ වන්නට අපිට හැකි විය. කළුතර හරියේදී මටත් අනුර අයියාටත් සාක්කුවට දමා ගන්නට රුපියල් 25,000 බැගින් දුන්නේ ඇයිදැයි වැටහුනේ එයට ඇතුලත්වී විනාඩි 10 ක් පමණ ගිය විටය. ඇතුල්වන දොරටුව අසලදී ආර්.ආර්.

මේ ඉන්ඥනේ මගේ කච්චියක්. කෝ ගඥ්ඥ මල්ලි ශ්‍යල්ලි.
මට තිබූ ගැටලුව මගේ මස්සිනාගේ සාක්කුවට ඔහු මුදල් නොදමුයේ ඇයිද යන්නයි. ඇතුල් වූ ගමන්ම අප අත බෙන්සන් පැකට් එක බැගින් තබන ලද අතර  මා වටපිට බලනවිට විවෘත කර එක සිගරට්ටුවක් මදක් ඇද තිබූ සිගරට් පැකට්ටුව තුලට යලිත් එම සිගරට්ටුව ඔබා සාක්කුවේ දමා ගන්නා අනුර අයියා දැක මමද ඉතා අපහසුවෙන් එම ක්‍රියාව අනුගමනය කලෙමි. මෙවිට මැද්දට පැන්න ආර්.ආර්.
යපි කාඥා යිමු ඥේද ?
කීය. අපද දෙවරක් නොහිතාම ඔහු පසුපස ගමන් ගතිමු. එහි රෙස්ටුරන්ට් එක තරු පන්තියේ හෝටලයක ඇති රෙස්ටුරන්ට් එකකට සමානය. සියළුම වර්ග වල මත්පැන්ද, බියර් වර්ග සහ වයින් වර්ගදඑයට ඇතුලත්ය. අනුර අයියා මෙවැනි තැන් වලදී පසුබට නොවන්නෙකි. මුලින් බ්ලැක් ලේබල් විස්කිද, පසුව පිදුරුතලාගල වන් බත් පිඟානක්ද පුරවාගෙන වාඩි විය. 

කෑමෙන් අනතුරුව අප ක්‍රීඩා කරන පෙදෙසට ලඟා වීමු. අපේ සාක්කු වලින් මොහොතකට පෙර ඇදගත් මුදල් වලට ලබාගත් ටෝකන් වර්ගය දාදු කැටයක් ආදාරයෙන් ක්‍රීඩා කෙරෙන මේසයකට ගොස් එහි ඔත්තේ වලට රුපියල් 20000 ක ටෝකන් තැබුවා නම්, ඉරට්ටේ අංකයක් වෙනුවෙන්ද තවත් 15000 තබන්නට ඔහු අමතක නොකළේය. මේ අමුතුම පාහේ ක්‍රීඩාව දුටු එහි සිටි අනෙකුත් විදේශිකයන් වහා එම මේසයෙන් ඉවත් වියා. ආර්.ආර්. යනුවෙන් ඔහු අමතා "ප්ලේ ස්ලෝලි" යනුවෙන් පැවසුවද, ඔහු ගෙනා සියලුම මුදල් එකම මේසයේ, එක් රවුමකට තබා අවසානය. 

ඔහු දෙපහ්ත්තටම ඔට්ටු ඇල්ලු බැවින් සුළු මුදලක් ජය ගත්තද, සමස්තයක් වශයෙන් ඔහු ගෙනා මුදලින් භාගයකට වැඩි කොටසක් පරාජය විය. මීළඟට ඔහු ලඟා වුනේ අර කෝවක් වැනි කැරකෙන යන්ත්‍රය තිබෙන තැනටය. ඔහු අත ඉතිරි වූ සියළුම ටෝකන් එහි අංකයක් වෙනුවෙන් ඔට්ටු ඇල්ලීය. මෙවර ඔහු අන්ත පරාජයක් ලැබීය. මේ අතර වාරයේදී තවත් සිගරට් පැකට් එකක් ගෙනවිත් අප අත තැබීය. මා එවරද එය අකුලා සාක්කුවේ දම ගතිමි. රුපියල් පනස්දාහක් විනාඩි කිහිපයක පරාජය වුවද, සත පහක ගානක් ඔහුට නොවීය. මේ අතර මගේ මස්සිනා එහි වූ වෙනස් මේසයක පුංචි ඔට්ටු තබමින් යම් ටෝකන් ප්‍රමාණයක් දිනා තිබුණි. 

මෙය දුටු ආර්.ආර්. ඔහුගෙන් රුපියල් පන්දාහකට සරිලන ටෝකන් ණයට ඉල්ලා ගෙන නැවතත් පෙර මෙසයටම ලඟා විය. පෙර පරිදිම එහි සිටි සියළුම විදේශිකයන් පැත්තකට විය. ආර්.ආර්. ට මේ කැසිනෝ වලට ආධුනිකයෙකු නොවන බව මා දැන සිටියත් ඔහු කියන කතා පම්පෝරි යයි කලින් සිතා සිටියද, මද වෙලාවක් යන විට ඔහු කවුද යන්න වටහා ගත හැකි විය. මෙහි සිටි බොහෝ දෙස්-විදෙස් සූදුකරුවන් ඉතා හොඳින් සැරසී සිටි අතර, අප සිතනා තරම් පහත් මට්ටමේ පුද්ගලයන් යයි සිතිය නොහැක. කොටින්ම එය රස්තියාදුකරුවන්ගේ තිප්පොළක් යයි සිතා සිටි මගේ අදහස සම්පූර්ණයෙන් වෙනස් විය. වැදගත් සිතිය හැකි, සහ සැමියා සහ බිරිඳ පවා එකට ආ අය විය. ඇඳ සිටි ඇඳුමෙන් බැලුවා නම් එතනට නොගැලපෙන පුද්ගලයා මා විය. එහි පැමිණ සිටි බොහෝ දෙස් විදෙස් සූදුකරුවන් සන්ද්‍යා උත්සව ඇඳුමෙන් සැරසී උන්හ.

නැවතත් තම අත වූ රුපියල් පන්දාහකට සරිලනට ටෝකන් ප්‍රමාණයම එකවිට ඔට්ටු ඇල්ලූ ආර්.ආර්. එවර ජය ගති. මා හැරී බැලුවේ අනුර අයියා කොහෙද කියායි. ඔහුගේ අත බලන හැම මොහොතකම විස්කි වීදුරුවක් විය. සමහර මොහොතක ඔහු සිටිනා අන්තය බැලු කල ඔහු නොවීය. සැනෙකින් මා බැලූවේ මස්සිනා සිටිනවාද කියාය. ඔහු සුපුරුදු ස්ථානයේ කුඩා ටෝකන් ප්‍රමාණයක් සමගය. තවත් වරක් අත ඇති සියළුම මුදල් ඔට්ටු ඇල්ලු ඔහුට, ණයට ගත් රුපියල් පන්දාහද, ඔහු ගෙන ආ රුපියල් පනස්දාහද බේරා ගැනීමට හැකි විය. මේ වනවිට අනෙකුත් මේස වල සිටි අයද ඔහුගේ වික්‍රමය බැලීමට මේ මේසය වෙත ලඟා වී තිබිණි. තවත් සුළු මොහොතකින් නව වසර උදා වන නිසා එහි රැස්ව උන් සියලුම දෙනා ඉන් එලියට ආහ. ඒ මල්වෙඩි සංදර්ශනය බැලීමටය.

එහි අයිතිකරුගේ පුත්‍රයා පසුගිය සතියේ මරා දමා ඇති බවද, එසේ නොවන්නට කදිම මල් වෙඩි සංදර්ශනයක් සහ ආහාර පාන මෙහි දැකගත හැකි යයිද ආර්.ආර්. හෙළි කළේය. මට තවමත් ගැටළුව වී ඇත්තේ රුපියල් පන්දාහකින් රුපියල් පනස්පන්දාහක් වට තුනකට අඩු ගණනකින් ඔහු දිනා ගත්තේ කෙසේද යන්නයි. අදටද මෙය මට මහා ප්‍රහේලිකාවකි. ඔවුන් ගෙවන ආකාරය ගැන නොදැන ඒ ගැන සිතීම නිෂ්ඵලය. තවත් සුළු මොහොතකින් සියලුම දෙනාට කෙටි ආහාර සමග තේ පැන් සංග්‍රහයක් ලබා දුනි.

රයිච් යපේ ගාඥ හරි, අපි ජමු.
කී ආර්.ආර්.ගේ විදානයට අවනත වූ අප සියලුම දෙනා ඊළඟට නැවතුනේ මුදල් ගෙවන කවුන්ටරය වෙතය. ගෙනා මුදල් ප්‍රමාණය නැවතත් රහස් සාක්කුවක සඟවා ගත් ඔහු, කපිල අයියා දිනා ඇති ප්‍රමාණය විමසීය. ඔහු රුපියල් තුන්දාහක් යොදවා රුපියල් දොළොස්දහස දක්වා එය වර්ධනය කරගෙන තිබුණි. ඔහු දිනූ මුදලින් රුපියල් දාහක් මගේ අත තැබීය. අනුර අයියාටද දාහේ කොළ කිහිපයක් ලබා දුන් අතර මේ ගමනෙන් වඩාත්ම ඵල නෙලා ගත් පුද්ගලයා ඔහු විය. ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"මම එතන ඉන්න ගමන් බෙන්සන් පැකට් 12ක් වාහනයට ගෙනත් දැම්මා, විස්කි ෂොට් අටක් දා ගත්තා"
සත පහක වත් වියදමක් නැතිව ඉහත දේ ලබා ගන්නට ඔහු වාසනාවන්ත වී ඇත. මටද එය බෝනස් දවසක් විය. හොඳ ආහාර වේලක් සමග රුපියල් දාහක් මගේ අතද විය. ඊට අමතරව ලෙදර් සේරෙපු යුගලක්ද ලැබිණි. සමස්තයක් වශයෙන් අපි කවුරුත් පරාජය වී නැත. ආර්.ආර්. ගේ ගේම් ඒ වාගේය. නමුත් හිටපු ගමන් මග තොටකදී ආර්.ආර්. මුණ ගැසුණු විට, බස් එකේ යන්නට රුපියල් පනහක් ඉල්ලා ගන්නා ඔහු කිසි දිනක ඒවා ආපසු ලබා නොදෙන අතර, ඔහුත් මමත් බස් රථයක එකම වෙලාවක ආවා නම් ටිකට් ගත්තේ ඔහුය. බම්බලපිටියේදී ඔහු මුණගැහුණු විටක කඩයකට කැඳවාගෙන ගොස් ඇති පදම් කන්නට බොන්නට අරන් දීම ඔහුගේ පුරුද්දය. ආර්.ආර්. සූදු අන්තුවෙකු වුවද ඔහු තුල හොඳ පරිත්‍යාගශීලී මිනිසෙකු විය.

 එවැනි ස්ථානයකට ජීවිතයට යන්නට කිසිදා බලාපොරොත්තු නොවූ මා, එහි ගිය එකම සහ අවසන් වතාව එය වුවද, එම අවස්තාව ගැන අදටත් කිසිදු පසුතැවිල්ලක් නැත. අද මෙසේ ඔබ සමග බෙදා ගන්නට එම අත්දැකීම ලැබීම සතුටට කරුණකි. නමුත් ඉන් පසුව කිසිම දිනක මා කැසිනෝවකට පය තබා නැත. ඔබද යා යුතු නැත. මන්ද එය මිනිසුන් එක් රැයකින් හිඟන්නන් කරවන අරුමු පුදුම යන්ත්‍රයක් බැවිනි. එම ස්ථාන වල සේවය කරන සේවකයන්ට එම ක්‍රීඩාව වගේම ටෝකන් හැසිරවීම ගැන ඇත්තේ මනා නිපුනාතාවකි. පසුව එවැනි තැනක සේවය කල මගේ මිතුරකුගෙන් දන ගත්තේ එක රැයකට රුපියල් තිස් හතලිස් දාහක් වැනි මුදලක් සන්තෝසම් වශයෙන්ම සොයා ගත අවස්ථා ඇති බවය. නමුත් දිගින් දිගටම පරාජය වුවහොත් රැකියාව අහිමි වීමේ අවදානම ඇති බවද ඔහු පැවසීය. මේ ස්ථාන පාඩු ලබනවා නම් ඔයතරම් මහේශාඛ්‍ය ලීලාවෙන් ඕවා ක්‍රියාත්මක වන්නේ නැත.

ආර්.ආර්.ගේ වචන උච්චාරණය ඒ අකාරයෙන්ම මෙහි සඳහන් කලේ ඔහුට පරිභව කරන්නට නොව, මෙය කියවන ඔබට ඔහු ගැන නිවැරදි චිත්රයක් මවා ගන්නටය. 

Wednesday, May 1, 2013

මගේ ප්‍රථම රැකියාව ....

අද ලෝක කම්කරු දිනයයි. මෙහි ඉතිහාසය පිලිබඳ හැම කෙනෙක්ම දන්නවා ඇතැයි විශ්වාස කරමි. රටක සාර්ථකත්වයට හේතු වන්නේ ශ්‍රම බලකායයි. හැම කෙනෙක්ම කරන රැකියාව රටක, ආයතනයක ඉදිරි ගමනට බලපානවා. ඊයේ සවස මා රසවත් මාළුපාන් ගෙඩියක් මිලදී ගන්න Colombo City Hotel නමැති ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපස ඇති හෝටලයේ කෙටි කෑම කවුළුව වෙත් ගොස් සිටි වෙලාවේත් මගේ හිතට මේ අදහස ආව. ලොකු කුණු කුඩය පුරවා තිබෙන කා අවසන් පිලුණුද, වෙනත් අහක දමන දෑද පිරි එම කුණු  කන්දරාව පසෙකට ගෙන එය නැවතත් තවත් කුණු බෑගයක දමා, කුණු බඳුනට තවත් කුණු බෑගයක් දමා අර කුණු මල්ල කරේ තබාගෙන  පිටව ගිය පවිත්‍රතා සේවකයා පිටව ගියා. මේ මොහොතේ මගේ හිතට ආ කාරණය තමයි "හැම දෙනාගේ රැකියා එක ලෙස වැදගත් බව" ඒ එක්කම මගේ හිතට ආ තව කතාවක් මෙහි සඳහන් කරන්නම්.

මා වරක් "සේවා අනර්ඝතාව" නමැති අප ආයතනයේ සේවකයන්ට පැවැත්වූ පුහුණු සැසියකට සහභාගී වුණා. ඒ දේශකයා අපූරු කතාවක් කිව්වා. මෙහි කාලය දීපය දේශය ගැන කිසිම සඳහනක් නෑ. 

එක්තරා උසාවියක නඩු කාර උන්නාන්සේ පැමිණෙන විට මල් පෝච්චි වලට වතුර දමන සේවකයා දැක "Good Morning your Honor"  යනුවෙන් එතුමාට සෙස්සන් ආමන්ත්‍රණය කරන ආකාරයෙන් එම සේවකයාට සුබ උදෑසනක් පැතුවාලු. ඒ වගේම ඔහු දකින සෑම අවස්ථාවක එසේ ගෞරව කරන්නට එතුමා අමතක කරන්නේ නැතිලු. 
එසේ කිරීමෙන් අර නඩුකාර උන්නාන්සේ කරන්නේ සැමදෙනාගේ රැකියා වල වැදගත් භාවය පසක් කරන්නලු.  බොහෝ දෙනා රැකියාවේ තරාතිරම අනුව මිනිසුන් වෙන් කරන මේ කාලයේ අප හැමෝටම මෙහි හොඳ ආදර්ශයක් තිබෙනවා.  කුණු ගෙනයන නගරසභා සේවකයි සතියක් වැඩ නොකලොත් ? මුළු රටම කුණු ගඳින් පිරී ඉතිරී යනු ඇත. එලෙසම සෑම නිවසකම කුණු කන්දක් එකතු වනු ඇත. 

මෙය සරල පුංචි උදාහරණයක් පමණයි. අපේ රටේ තරාතිරම අනුව මිනිසුන්ට සලකන නිසා තමයි හැම දේකින්ම මිනිසුන් ලොකුකම පෙන්වීමට උත්සාහ කරන්නේ. ඇඳුම, ජංගම දුරකථනය සහ වෙනත් ආම්පන්න, මෝටර් රථය යන ආදී සියලුම දෙයින් තමන් ඉන්නවාට වඩා තත්වයක් පෙන්වන්න උත්සාහ කරන්නේ සමාජයේ විශේෂ සැලකිලි ලබා ගැනීමටයි. මේ රටේ පවතින ක්‍රමය තුල එසේ කිරීමේ වරදක්ද නැත. 

පහුගිය සටහනෙන් මා රජදහනි නමැති සුඛෝපභෝගී දුම්රිය මැදිරිය ගැන විස්තර කලා. එය ඔබට මතක ඇතැයි විශ්වාස කරමි. දෙහිවලින් දුම්රියට ගොඩ වත්දීත් මා පසු වුයේ තරමක චකිතයකිනි. එයට හේතුව බෙන්තොට දුම්රිය ස්ථානයෙන් මගේ දියණිය එක් කර ගැනීමට තිබීමය. කොතැනක් හෝ වරදක් සිදු වී ඇයට වෙලාවට දුම්රිය ස්ථානයට එන්නට නොහැකි වුවා නම් මා දුම්රියෙන් බැස ඇයත් සමග ආපසු යන්නට  තීරණය කර සිටියෙමි. එසේ දුම්රියට ගොඩ වූ මට කොහේදී හෝ දැක ඇති එක්තරා විශ්‍රාමික වයසේ පුද්ගලයෙක් පිටුපසම පේලියේ සිටිනා බව වැටහුණා. එහෙත් දියණිය ගොඩ වනතුරු මේ කිසිම දෙයක් ගැන මගේ සිතට නිනව්වක් ඇති වුණේ නෑ.

එහෙත් ඉන්නා අතරතුර මා ඔහු කවුදැයි සිතින් නිගමනයකට එන්නට උත්සාහ කලා. මොහු අනිවාර්යෙන්ම මහජන බැංකුවේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහුත් සමග නිතරම දොඩමලු වන අනෙක් පස අසුනේ සිටින පුද්ගලයාද එම වයසේම කෙනෙකි. මොවුන් කුමක් හෝ කරුණක් සඳහා මාතර බලා යනවා ඇත. ඔවුන් දෙදෙනා එහි සේවය කරන තරුණයන් දෙදෙනාගෙන නොයෙක් ප්‍රශ්න අසති. රත්මලානෙන් දුම්රියට ගොඩ වූ අනෙක් පුද්ගලයා ආ වෙලවාවේ සිට තමාගේ ටැබ්ලට් පරිඝනකයෙන් කුමක් හෝ කියවයි. ඔහුගේ බාහිර පෙනුමෙන් සරසවි ඇදුරු කෙනෙකු බව පසක් විය. ඊට් අමතරව මෙම මැදිරියේ සිටියේ අලුත විවාහ වූ දමිළ යුවලකි. 

අර පුද්ගලයා අඩුම වශයෙන් ජේෂ්ඨ කලමනාකරුවකුව සිට විශ්‍රාම ගත්තෙකු බව මට සිතුනේ, මෙවැනි මුදලක් ගෙවා ගමන් කරන්න නම් සාමාන්‍ය විශ්‍රාමිකයන් ඉදිරිපත් නොවන බැවිනි. විටෙක මට ඔහු අප නිවස පිහටි මාර්ගයේ ඉහල පෙදෙසේ සිටින කෝටිපති දමිළ ව්‍යාපාරිකයාදැයි සැක ඇති වේ. ඔහු මට මුණ ගැහෙන්නේ උදෑසන ඇවිදින්නට ගිය විටය. ඔහු කිසි දා මුහුණ බලා සිනාසේන්නෙකු නොවේ. මාද ඔහුගේ මුහුණ දෙස බැලුවද සිනා වන්නේ නැත. මේ ඔහුද ? මැදිරියේ ඇති වැසිකිලියට ගොස් එන අතරතුර ඔහු මා හා සිනාසුනි. මා කතා කලෙමි. විශ්‍රාමිකයන්ට විශේෂයෙන් සැලකීම මගේ සිරිතයි. 

මම : මම කොහේදී හරි දැකල තියෙනවා

ඔහු : ඔබතුමා කොහෙද වැඩ කරන්නේ ?

මම : මම මහජන බැංකුවේ. ඔබතුමා ?

ඔහු : මමත් මහජන බැංකුවේ.

මම : අනේ සොරි. මට එක පාරටම මතක් වුනේ නෑ. කොහෙද ? බ්‍රාන්ච් එක ?

ඔහු : හෙඩ් ඔෆිස් එකේ.

මම : මොකක්ද ෆ්ලෝර් එක ?

ඔහු : මම තුන්වෙනි තට්ටුවේ. 

මම කල්පනාවට වැටුනෙමි. තුවෙනි තට්ටුවේ තිබෙන්නේ කැන්ටිම සහ ජාතික සේවක සංගම් කාර්යාලයයි. ඊට අමතරව තවත් දෙපාර්තමේන්තුවක කොටසක් ඇත. අනිවාර්යෙන්ම මේ එම කොටසේ අයෙකි.

මම : තුන් වෙනි තට්ටුවේ ......

ඔහු : ආපන ශාලාවේ.

එක පාරටම මගේ මතකය අවධි විය. "මේ අර අප පානය කර තබන තේ කෝප්ප එකතු කර මේස අස්-පස් කරන අන්කල් නේ" යන්න මගේ හිතට ගලා ආවා. නමුත් ඔහුගේ පෙනුම හොඳ රැකියාවක් කර විශ්‍රාම ගත් අයෙකුගේ වගේය. මා වෙනසක් නොකර ඔහුත් සමග සංවාදය පවත්වාගෙන යන්න වග බලා ගත්තා.

මම : ඉතිං මේ කොහෙද යන්නේ ?

ඔහු : අතන ඉන්නේ ........(මහත්මයාගේ නම පවසයි). ඒ මහත්තයාගේ උදව්වට තමයි යන්නේ. රට ඉඳලා ආවේ. එහෙම ආවාම මාව තමයි එක්කන් යන්නේ. සර් කොහේද යන්නේ ?

මම : අපි යනවා කොග්ගල. අන්කල් දන්නවද අයි.ටී. ඩිපාට්මන්ට් එක. අර පලවෙනි තට්ටුවෙයි එකොලොස් වෙනි තට්ටුවෙයි තියෙන්නේ. ඒකෙන් ට්‍රිප් එකක් යනවා කොග්ගල. අනිත් අය බස් එකේ යනවා. මෙන්න මෙයාව ගන්න ඕනේ නිසා මම කෝච්චියෙන් ආවේ. 

ඔහු : අපරාදේ සර් යන්න තිබුනේ යාලට.

මම : අපි කලින් වතාවක් ගියා. ඒත් පොඩි අය වැඩි හින්දා වෙන්න ඇති කොග්ගල යන්නේ.

ඔහු තවත් බොහෝ දේ මා සමග කතා කළා. ඒවා මා කියාගෙන ආ කතාවට වැදගත් නැති නිසා මෙහි සඳහන් නොකරමි. නමුත් බාහිර පෙනුමින් මිනිසුන් මැනීමට යාම සහ යොදා ගන්නා දේ වලින් මිනිසුන් මනින අප වැනි රටක අයට අපූරු පාඩමක් කැන්ටිමේ අන්කල් උගන්වා ඇත. අප රටේ තිබෙන එවැනි මානසික තත්ත්ව නිසා කුඩා රැකියා කිරීමට බොහෝ දෙනා මැලි වේ. ඒ සමාජයෙන් සිදු වන දෙකේ පන්තියේ සැලකිලි නිසාය. නැතිනම් කවුරුත් උපයන්නේ මුදල්ය. බාහිර සමාජයේදී සියලු දෙනා පාරිභෝගිකයෝය. 

මා අසා ඇති පරිදි ඔස්ට්‍රේලියාව වැනි රටවල රාත්‍රී සමාජ ශාලා (Club) වැනි ස්ථාන වලදී රැකියා මට්ටමක් නැතිව කව්රුත් සුහදව බියර් වීදුරුවක් තොල ගාති. එහිදී ජෝන්ගේ ඩොලර් පීසා හලේ පීසා බෙදා උපයා ගත් ඒවාද ? පීටර්ගේ මුදල් බැංකුවක කළමනාකරු ලෙස උපයාගත් ඒවාද යන්න කිසිවකුට අදාල කරුණක් නොවේ. 

මේ ලිපිය ලියන්නට මට අදහස ආවේ සිංහල රාජ්ගේ වසබීම සහ වසදීම නමැති සටහන කියවන විටය. සාමාන්‍යපෙළ අවසන් වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කාලයේ මාද නගර සභාවේ සුළු රැකියාවක් කලෙමි. එය නිවාස ත්කසේරු කරන්නට යන රජයේ තක්සේරු කරුවන් සමග ගොස් නිවෙස් මැනීමට ටේප් එක කියවීමය. අප ගමන් කරන්නේ පාපැදි වලිනි. මා යන පාපැදිය සහ මා වැනිම ටේප් එකේ අනිත් කෙලවර අල්ලන අනෙක් සේවකයාගේ පාපැදි වල එම නිලධාරීන්ද නැගී අදාල මාර්ගයට ගොස් සියලුම නිවෙස් මැනගෙන එන්නෙමු. එකල මට එය රැකියාවකට වඩා සතුටට කාරනාවක් වුයේ එසේ යනවිට ලැබුන අත්දැකීම් නිසාය. කෙනෙකු මෙම නිලදාරීන් දැක සැඟවේ, තවත් සමහරු අඩු තක්සේරු අගයක් දමා දෙන ලෙස බැගෑපත් වේ. බොහෝ අය සංග්‍රහ කරයි. සංචාරක හෝටල් වලට ගිය විට දිවා අහාරය පවා ලබා දෙයි. 

එකල මා ලැබූ ආදායමෙන් උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පොත් පත්ද, ඇඳුම් සහ සපත්තු සහ මගේ මාසික වියදම පියව ගතිමි. මගේ මාසික වියදම ගැනද යමක් සඳහන් කල යුතුය. දයානන්ද අයියාගේ කඩෙන් ණයට විවිධ ආහාර සහ සිසිල් බීම මට සහ මගේ මිතුරන්ට ලබාගෙන මාසේ අවසානේ එය පියවීම ඒ කාලේ මගේ පුරුද්ද විය. දයානන්ද අයියා යනුවෙන් අප ඔහු ඇමතුවත් ඔහු නෑකමින් මට බාප්පා විය යුතු කෙනෙකි. ඔහු මගේ පියාද ඇසුරු කර ඇත්තෙකි. ඔහු බොහෝ වෙලාවට පවසන්නේ "මම තමුසෙලාගේ තාත්තාටත් මචං කියලා තියෙනවා දැන් තමුසෙට මචං කියනවා" යන්නයි.

මේ සියලු කතාවලින් මා පවසන්න උත්සාහ කරන්නේ. "මිනිසාට රැකියාව අනුව සලකන්නේ නැතිව මිනිසෙකු ලෙස සලකන ලෙසය" එවැනි යුගයකට අප ගියහොත් ඉදිරියේදී අපට රැකියා සොයා පිටරට නොයා කුමක් හෝ රැකියාවක් කර ජීවත් වීමට හැක. නමුත් ජීවන වියදම අඩු විය යුතුය. අඩු වැටුප් ලබන කම්කරුවටද ජීවත් විය හැකි සමාජයක් ඇති විය යුතුය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...