Wednesday, May 2, 2012

ජවිපේ කම්කරු දින වේදිකාවේ අන්කල් සෑම්ගේ තොප්පිය ලොකුවට


මේ දවස් වල බීආර්සී පිටිය ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින වේදිකාව කඩි මුඩියේ සැකසෙමින් පවතිනවා. ඇත්තටම ජෙප්පන්ගේ වේදිකා වලට ගහන්න වේදිකාවක් මේ රටේ හොඳම හෝ ලොකුම වෙලඳ දැන්වීම් කරන ආයතනයට වත් ගහන්න බෑ. ඒක අවිවාදයෙන් පිලි ගන්න වෙනවා. ඒ වගේමයි ඔවුගේ පොස්ටර් ව්‍යාපාරයත්. එක් රැයකින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පොස්ටරයක් ගහනවා නම් ඉතිං ජෙප්පොම තමයි. ඒත් එගොල්ලොන්ට තාමත් අංක එකට එන්න බැරි වුන දේවල් මහ ගොඩක් තියෙන බවත් අපි පිලි ගන්න ඔනෑ. ඒ වගේම එගොල්ලෝ අංක එකට ඉඳල පහලම අඩියට වැටුන විෂයයන් මහ ගොඩක් තියෙනව. ඒවාට උදාහරණ මෙය කියවන ඔබ තමුන්නන්න්සෙලාම හිතා ගත්තොත් හොඳා. බ්ලොග් එකක් වගේ පොදු තැනක ඒව සකඡ්චා කරන්න ගිහින් මගේ රසික පිරිසකගේ හිත් රිදවන්න මම කැමති නෑ. මැයි දිනයක මා මුහුණ දුන් ඉතා ත්‍රාසජනක ඇත්දැකීමක් ලියන්නම් කාගෙත් හිත සුව පිනිස. ආහ් ! ඊට කලින් මාතෘකාවේ තිබෙන අන්කල් සෑම්ගේ තොප්පිය ගැන ලියන්න ඔනෑ. මේ පාර ජේවීපී එකේ  වේදිකවේ අන්කල් සෑම්ගේ තොප්පිය මහා සයිස් එකෙන් ගැසීමෙන් කඩාගෙන වැටෙන අන්කල් සෑම්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලභා දීමක්දෝ කියල මට හිතෙනවා. අද කාලේ ප්‍රචාරණය නෙගටිව් විදියට ලැබුනත් ප්‍රචාරණයම තමයි. ඒකට ගාස්තුවක් යන්නෙත් නෑ. හරියට දෙමල ජාති වාදී පක්ෂයක් මහ චන්දයකදි තමන්ට ලැබුන ආසන වලට ජාතික හෙල උරුමයට ස්තූති කලා වගේ. දැන් අපේ කතාවට බහිමු. 

මේක වුනේ හරියටම 2000දී කියලයි මගේ විශ්වාසය. 2000 අප්‍රියෙල් 30 වෙනිදා අපේ දෙපාර්තමේන්තුවේ වැඩි සාමාජිකයින් පිරිසක් එකට එකතු කරලා අපි සීගිරි ගල නගින්න හෙවත් සීගිරි ට්‍රිප් එකක් ගියා. ඒ ගමනේ වැඩි විශේෂත්වයක් නෑ. සීගිරි ගල නැග්ගා, බැස්සා, බෙලිමල් බිව්වා, අවුකන දැක්කා, වැවෙන් නෑවා. මේවා ඉතිං කවුරුත් සීගිරි ගියහම කරන දේවල්. අපේ ගමන නම් එතනින් කෙලවර වුනේ නෑ. එදා රෑම අපි එතැනින් ආගරපතන ඉන්න අපේ ඈතින් යාළුවෙක් වෙච්ච හර්ෂාන්ගේ එස්ඩී බන්ගලෝ එක බලා පිටත් වුනා. සීගිරියේන් අපි පිටත් වෙද්දීත් හවස හය පහු වුනා.  මේ වගේ ගමන් යන්න ඒ කාලේ අපිට තව නියම යාළුවෙක් හිටියා. මිනිහාගෙ නම සිසිල්. නම සිසිල් වුනාට ගින්දර වගේ. කොයි වෙලාවෙත් මල පැනල තමයි ඉන්නේ. හැබැයි ඔන කේන්තියක් පැය ගානකදී බැහැලා යනවා. මේක අපි දන්න හින්දා අපට ගානක් නෑ. මිනිහට කම්පැනි වෙහිකල් එකක් තිබ්බ නිසා ගමනගමන ප්‍රශ්ණයක් තිබ්බේ නෑ. මේ ගමනට සිසිල්, ඉරේෂා ඒ කියන්නේ සිසිල්ගේ බිරිඳ (ආ.... එයා තමයි අපේ ඔෆිස් එකේ. හී... හී... හී...) එයාලගේ දුව, ඊට පස්සේ මම, ආනන්ද, සුමිත්, පොඩි රවියා. එගොල්ලෝ ඉස්සරහා, අපි පස්සේ. ඒ කාලේ නැගල ගිය වාහනයක් වෙච්ච සෙරිනා එකකින් තමයි අපි මේ ගමන ගියේ. කොහොමින්-කොහොමින් හරි අපි ඔය කියන ආගරපතන බංගලාවට ලඟා වෙත්දී රෑ එකත් පහු. ඇයි ඉතිං පොඩි ගමනක් යැයි සීගිරියේ ඉඳලා ආගරපතනට. මට මතක විදියට ගිය පාර කුරුණෑගල,මාවතගම,නුවර,නුවර එලිය, ආගරපතන. අනේ මට මතක විදියට තමයි ඔය කිව්වේ. වැරදුනට හිනා වෙන්න එපා ඕං.  

පොඩි වාහනයක පිටිපස්සේ යනව කියන්නේ නිකං ට්‍රැක්ටර් එකක යනවා වගේ වැඩ්ක්. ගැස්සේන පාරට උදේට දවල්ට කාපුව කටට එනවා. අද වගේ කාපට් පාරවල් නොතිබුනත් එදා ඒ ගමන යත්දී මම වැඩි කාලයක් නිදාගෙන තමයි ගියේ. අන්තිමේදි නිදි මරගාතේ අර බංගලා එක මිදුලේ බැස්ස. බෑග් එකත් උස්සගෙන සීතලේ පහසත් විඳගෙන නැග්ගා අර බංගලාවට. ඒ වෙනකොටත් එතනට ලඟා වෙලා තිබ්බ ආනන්දගේ රේල්වේ මිතුරු කැල කාල බීලා සිංදු කියමිනුයි උන්නේ. අපි ගිය ගමන් රෑ කෑම කෑවා. ඒ බංගලා වල ඉන්න අප්පුලාට හොඳට උයන්න පුළුවං. බඩගින්නේ හා නිදිමරගාතෙම තිබ්බ දේවල් එක හුස්මට ගිලල දැම්මා. අපිත් එක්කම හිටිය හර්ශාන් (ඉතාම මිත්‍රශීලී පුද්ගලයෙක්, මට මීට කලින් ඔහු මුණගැසී තිබුනා) කථා කරන්න පටන් ගත්තා.

මචං අපි හිතා ගත්තෙ ඔක්කෝම ගෑණු කාන්ඩේ එක කාමරයකයි. කොල්ලෝ සෙට් එක අනිත් කාමර දෙකෙයි නිදා ගන්න. මෙහේ කාමර ලොකුයි, ඇඳන් වලත් හොඳට ඉඩ තියෙනව. තියෙන විදියට පොඩ්ඩක් ෂේප් එකක් දා ගමු.

එහෙම කියද්දි සිසිලාගෙ මූණ පසලොස්වක ඉඳලා අටවක වේගෙන එනවා මම දැක්ක. මැදැයි කොලා. සිසිල එක පාරටම නැගිට්ට.

ආනන්ද මොනවද බන් මෙ වැඩ. බලපන දැන් කොහොමදා මිනිස්සු නිදාගෙන ඉන්න කාමර වලා මෙයාල යන්නේ. මේක හැමෝටම එම්බැරසිං නේ. කියලා මහ හයියෙන් ගෝරණාඩු කරන්න පටන් ගත්ත. 

මචන් ඩොන්'ට් වොරි මචං යු ගෝ ඇන්ඩ් හෑව් එ ලුක්. එහෙම කිව්වේ හර්ෂාන්. ආනන්දය බිම බලාගෙන. උගේ මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ල වගේ වෙලා.  ඒත් සිසිලා සිසිල් වෙන පාටක් නෑ. 

අයි ඩොන්ට් ලයික් ඩිස්ටර්බින්ග් පීපල්. ගන්න මේයා බෑග් ලෙට්ස් ගො ඇන්ඩ් ෆයින්ඩ් අ රූම්. මල කෙලියයි මු යන්නද හදන්නේ. 

මචං මේ වෙලාවේ කොහෙවත් යන්න එපා. මම අපේ වයිෆ්වයි බබාවයි රූම් එකෙන් එලියට ගන්නම්. උඹලා ඒකේ හිටපං. 

මචන් බලපන් නිදාගෙන ඉන්න මිනිස්සු කාමරෙන් එලියට දාල අපි කොහොමද නිදියන්නේ. ඉට් ඉස් අ බිග් එම්බැරස්මන්ට් නෝ. එහෙම කියල මිනිහා වයිෆ්ගේ පැත්තට හැරිලා මෙහෙම කිව්ව. 

මම යනවා කාර් එකට ඔයා යශෝත් (දුව ) එක්ක ඔය රූම් එකේ නිදා ගන්න. 

එහෙම කියපු මිනිහා කථාවක් නැතුවම එලියට යන්න ගියා. ආනන්ද මේ වෙලාවේ කථා කරන්න හදනව වගෙ පෙනුනා. 

සි ... සි.. ල්, ම...චං... පො...ඩ්...ඩා..ක් .... එහෙම කියනකොට. දඩාං ගාලා කාර් එකේ දොර වහන සද්දෙත් ඇහුනා. ආනන්ද යන්න හැදුවත් හර්ෂාන් ඌව නැවැත්තුවා. 

දැන් උඹ කොච්චර කථා කලත් වැඩක් නැහැ. උදේට මම කථා කරන්නම්. ඔහොම ඉන්න ඇරපං. 

ඒත් මේ හීතලේ එලියේ ඉන්නෙ කොහොමෙයි ? කාගෙදෝ කටිං පිට වුනා.

උඹල මෙහෙට වෙලා හිටපල්ල. ඌනේ ඉන්නේ. මූ හදන්නේ ඌට පනිෂ්මන්ට් එක දෙන්න කියල මට නිකමට හිතුනා. 

ආනන්දය නිකං ණයා මැරිච්ච අහිකුන්ටිකය වගේ. උගේ මූණේ තිබ්බ ඉරියව් මට තවමත් මැවිල පේනව. 

මැදැයි මම කර ගත්ත දෙයක්. ඌ හූල්ලන ගමන් කිව්ව. 

දැන් හොඳටම රෑ වුනානේ. එන්න යං නිදාගන්න කියලා ඉරේෂාගේ(සිසිල්ගෙ වයිෆ්) අතින් අල්ලගෙන විරාගි අක්ක(හර්ෂාන්ගේ වයිෆ්) කිව්ව. අනේ හරිම හොඳ මිනිස්සු මම හිතිං හිතා ගත්තා. 

අපිත් පුළු-පුළුවන් විදියට නිදා ගත්තා. අපි නිදා ගත්තේ සාලේ එලා ගත්ත්ට මෙට්‍රස් උඩ. කොහොම නින්ද ගියද. මොනව වුනාද කියන්න දන්නේ නෑ. කාගෙදෝ දෙන්නෙක්ගෙ කටහඬ වගේම කෝප්ප වල හැඳි ගැටෙන හඬක් ඇහෙනවා. මම නැගිටල ඉස්සරහ පැත්තට හිමිං හිමිං ගියා. යකෝ. මේක හීනයක්ද ? ඊයේ රෑ දුම්මල වරම අතට අරගෙන හිටපු සිසිලා මෙන්න හර්ෂණයත් එක්ක එකට වාඩි වෙලා තේ බොනවා. ඒ මදිවට බර කයියකුත් ගහනවා. මම ඇස් දෙක පිහදාලා අයිත් සැරයක් බැළුවා. මම මේ හීනයක්ද දකින්නේ කියලා. නෑ මේ උන් දෙන්නම තමයි. මම හිතුවේ මූ එලි වෙච්ච ගමන් ගෑණිවයි, ළමයවයි කුදලගෙන තොලොංජි වෙයි කියල ඊයේ නටපු නාඩගමට. මෙහෙමත් ලෝකයක්. මූට ඊයෙම හිත හදාගෙන අපිත් එක්ක නිදා ගන්න තිබුණනේ. එක දවසක් බිම නිදා ගත්තයි කියලා ඌට මොන්වත් වෙනවද. උන් දෙන්නගේ බර කයිය නිසා මාව දැක්කේ නෑ. මම හෙමිහිට ආනන්දය ගාවට ගිහින් කණට කරල මිමිණුව. 

ආනන්ද .... ආනන්දා ... නැගිටපං ... නැගිටපන් මාර සීන් එක.

ඈ.. මො..ක... ද.. බං... පො...ඩ්...ඩ..ක්..නි...දා... ග...න්..න.. දී.. පං.

නැගිටපං ... නැගිටපන් .. මෙහෙ වරෙන් ඉක්මනට. ආනන්දයත් මගේ වදේට සරමත් ගැට ගහ ගන්න ගමන් එහෙට මෙහෙට අඩි තිය තිය ඉස්සරහට ආවා. 

හෙමිහිට එබිල බලපං මම කිව්ව. ආනන්දය එබිලා බැළුවා. 

ඈහ් #$$% මොනවා. උගේ නිදිමත කොහෙන් ගියාද නෑ. වරෙන් යන්න අපිත් කියාගෙන එතනට ගියා. පව් අහිංසකය කියල හිතාගෙන මාත් එතනට ගියා. 



එහෙන් මෙහෙන් ඉර පායාගෙන එත්දී සියළු දෙනාම නැගිටලා. මේ ඉර උදා වෙන්නේ තවත් ලෝක කම්කරු දිනයකට බව අපට මොහොතකට අමතක වෙලා තිබුණේ. ඒ වුනත් ගෙදර සේවයට යොදවල ඉන්න අප්පුල දෙන්නට නම් මේව ගැන නිනව්වක් නෑ. මේසේ පිරෙන්න කෑම. පෙරදා වුන සිද්දි සියල්ල අමතක කරලා දහ දොලොස් දෙනාම ඉතා ප්‍රීතියෙන් උදේ කෑම ගත්තා. කවුරු කවුරුත් හොඳින් සප්පායම් වුනා. කන අතරෙදිත් හර්ෂාන්-සිසිල් දෙන්නගේ කටවල් වලට බ්‍රේක් නෑ. හරියට අවුරුදු ගානකින් මුණ ගැහුණු හොඳ යාළුවෝ දෙන්නෙක් ආගිය කථා කතා කරනව වගේ. පුදුම යාළු කමක්නේ මේක. එකට ඊයේ රෑ. මොනව වුනත් හර්ෂාණයා අහිංසකයා. අරූගේ උද්දච්ච කම නිසානේ මේ සේරම මට හිතුණා. 


"මචං මේ අප්පුල දෙන්න තව පැය භාගෙකින් විතර යනව මේ ඩේ එකට. ඒ ගිහිල්ලා රෑ එනකොට අම්බානක ගහල එන්නේ. ඒක නිසා අපි නුවර එලිය පැත්තේ යං. එහේ තමයි කන්න කඩයක්වත් ඇරල තියෙන්නේ. අද දවල්ටයි රෑටයි අපි එහෙං කමු. අනිත් එක මුන්ට කියල නිදහසේ ඉන්න කියල තියෙන්නේ දවස් කීයද ? "

හර්ෂාන් එහෙම කිව්වට ඒ අප්පුල දෙන්නට කථා කරද්දි (දෙමළෙන්) සැරෙන් තමයි කථා කරන්නේ. මේක මට ලොකු ප්‍රෙහෙලිකාවක් වෙලා තිබුනේ. ආනන්දගේ අනිත් යාළුවෝ කට්ටිය අද ගමන ගැන කලින්ම දැනගෙන වගේ වාහනයක් සූදානම් කරගෙන. එක අතකට මේ වගේ දවසක මේ වගේ පළාතක ඒකත් ලේසි වැඩක් නෙවෙයි. මම කෙලින්ම බැළුවේ සිසිලගේ මූණ දිහා. ඊයේ කථා කරපු විදියට ඌ මේකටත් මොනව හරි කියයිද කියල. නමුත් මේ ඉන්නේ මී පැටිය වගේ කියල හිතනකොටම ඌ කට ඇරියා. හරි තමයි කියල මට හිතුනා.

"මචං එහෙනං ෆැමිලීස් දෙක අපේ වෙහිකල් එකට සෙට් වෙමු. උඹලට පුළුවන් නේ යාළුවෝ කට්ටියත් එක්ක ලොකු වෙහිකල් එකේ එන්න" සිසිලා එහෙම කිව්වේ අපේ මූණ දිහා බලාගෙන. මම හිතුවෙ ඌ ආයි පාරක් ගෙදර යන්න හදනව වත්ද කියල. අපි ඒකට එක හඬින් කැමති
වුනත්. මේ පාර ඒකට හරස් වුනේ හර්ෂාන්.

"බෑ. බෑ. විරාගි ඔයා බබත් එක්ක ඒ වෙහිකල් එකට යන්න. මම මුන් සෙට් එකත් එක්ක ආතල් එකේ එන්නම්".

ඒකට විරාගි අක්ක විරුද්ද වුනෙත් නෑ. අන්තිමේදි සිසිල්ගේ වෙහිකල් එකේ යන්න මටත් සිද්ද වුනා ආසන ප්‍රශ්නේ නිසා. කොහොම හරි තද වෙලා කොල්ලෝ සෙට් එකෙ යන වාහනේ යන්න පුළුවං වුනත් සිසිල්ගේ පෙරැත්ත කිරීමට මමත් නැග්ග ඒකට. ඌටත් මේ ගෑණු, ළමයි එක්ක යන එක බෝරිං වෙන්න ඇති. නුවර එලියට යන පාරේ වැඩිපුරම දකින්න ලැබුනේ මැයි දිනයට යන වාහන තමයි. අපේ පැති වල රතු,නිල්,කොල කොඩි දකින්න ලැබුනත් මේ වාහන වල වැඩි හරියක් ගහගෙන තියෙන්නේ ඉන්දියාවේ ජාතික කොඩියයි ඊට පස්සේ කුකුල ඉන්න කොඩිය, අනිත් එක හරියටම මතක නැති වුනත්, ලා-නිල්, මෙරූන් පාට දෙකෙන් හදපු එකක්. මේ පක්ෂ කොඩි වල විශේෂය තමයි ඒවා කුඩා තුන් හුලස් කොඩි වීම. මට මේවා දැක්ක ගමන් මතකයට ආවේ අර පන්සල් වල බොදියේ එල්ලලා තියෙන "සුනිල් පුතාගේ රාහු අපලය දුරු වේවා" වගේ වැකි ගහල තියෙන කොඩි. මේ ලංකාවේ මොකටද මේ ඉන්දියාවේ කොඩියක්. ඉන්දියාවෙන් ගෙන්වා ගත් වතු කම්කරුවන්ගේ තවමත් ඥාති සම්බන්දකම් පවා දකුනු ඉන්දියාව සමග පවතින බව දැන ගත්තේ මම පස්සෙ මේ ගැන ටිකක් හොයපුවාම. ඔවුන්ගෙ අද්‍යාත්මික නායකයා වශයේන් සලකන්නේ මහත්මා ගාන්ධි බවත් පසුව දැන ගත්තා. අර කොඩි වර්ග දෙකෙන් එකක් තොන්ඩමන්ගේ කම්කරු පක්ෂේ ඒවා. අනිත් එක චන්ද්‍රසෙකරන්ගේ පක්ෂේ ඒවා. නුවර එලියට යනකොට මග දෙපස තියෙන අසිරියයි සීත පරිසරයයි නිසා ගමන් විඩාවක් කොහෙත්ම දැනෙනේ නෑ. ඇත්තටම ඔය වගේ පෙළපාලි තියන්න ඕනේ මේ වගේ පරිසරයක නේද කියලත් මට හිතුනා. ඇයි දෙයියනේ අවුරුද්දේ දවස් 364ක්ම ගිණි අව්වේ කර වෙච්ච් මිනිසුන්ට මේ වගේ දවසක වත් නිදහසේ ඉන්න ලැබෙන්න එපැයි. ඔය වෘත්තීය සමිති නායකයෝ, පක්ෂ නායකයෝ ස්ටෙජ් වලට වෙලා කෑ මොර දෙද්දී ගිනි අව්වෙ දාඩිය පෙරාගෙන හුරේ දාන්න ඕනෙත් මේ අහිංසක මිනිස්සුම නේද කියන එක ඇයි ඒ නායකයොන්ට නොසිතෙන්නේ. මැයි පළවෙනිදාට සාම්ප්‍රදායිකව මේක සැමරුවහම විතරක් ඇතිද ? කම්කරුවාගේ සුභසාධනය වෙනුවෙන් අපි මොනවද කලේ කියල මේ නායකයෝ පොඩ්ඩක් හිතල බැලුවෙඔත් හොඳයි.


ඔය කල්පනා මැද කොහොමින් හරි නුවර-එලියටත් ආවා. සීතල හුලං පාරට ඇඟේ හිරි-ගඩුත් පිපෙනවා. විනාඩි දහයක් කළුවර වෙලා තිබ්බත් තව පොඩ්ඩකින් අව්ව වැටෙනවා. උඩහ පැති වල හීතල වගේම තමයි වැටෙන අව්වත්. පුදුම රස්නයක් තියෙන්නේ. වියලි පරිසරයේ ඒ වගේ රස්නයක් ආවහම දරා ගන්න බැරි අමාරුවක් එන්නේ. අපි එනකොට දවල් එකොලහට විතර ඇති. තාමත් එක එක පැති වලින් එන වාහන කොඩි දාගෙන, කෑ ගහහෙන යනවා. මොනවත් පැහැදිලි නෑ. බැස්ස ගමන්ම අපි දෙගොල්ලේ එකතු වෙලා කථා කලේ දවල් කෑම කොහෙන්ද කන්නේ කියල. මෙහෙම කථා කර කර ඉඳිදී අපේ වාහන තියෙන තැනම අර මැයි පෙළපාලියකට යන වාහනයක්  නැවැත්තුවා. උන් හොඳටම බීල තමයි පෙළපාලි යන්නේ.

"තාතේ මට අර කොඩියක්" එහෙම කිව්වේ හර්ෂාන්ගේ අවුරුදු තුනක් විතර වෙන පුතා. දෙමළෙන්ම ඒ වාහනේ ආපු අයට කථා කරපු හර්ෂාන් පොඩි එකාට කොඩියක් ඉල්ල ගත්තා. සුපුරුදු පරිදි හර්ෂාන් ටිකක් සරෙන් වගේ තමයි කථා කලේ. මම ඇහුවා

"මොකද මචං වතු වල එවුන්ට කථා කරද්දි සැරෙන් කථා කරන්නේ" කියල.

"මචං මේ වතු වල ඉන්න එවුන්ට ඕවා හොඳට පුරුදුයි. ඒ වගේ සැරෙන් කථා කරේ නැත්නම් උන් අපිව ගණන් ගන්නෙවත් නැතුව යනවා. ඒක මෙහේ සාමාන්‍ය දෙයක්"

ඔහොම තව ටික වෙලාවක් අපි ගන්න ඔන දේවල, ප්‍රමාණවල් ගැන සාකච්චා කර කර ඉන්න ඇති. අර කොඩිය දීපු මිනිහා අපේ පැත්තට ආවා. දෙමලෙන්ම කථා කරලා දීපු කොඩිය ආපහු ඉල්ලුවා. පොඩි එකා කොඩිය දෙන්න කැමති වුනේ නෑ. අර මිනිහත් යන්නේම නැතුව ඉල්ලනවා. මිනිහට ටිකක් තද වෙලා කැඩිච්චි සිංහලෙන් "

"අඩෙ යප්පා අපිලට පරක්කු වෙනවානේ. දෙන්ඩකෝ .. කොඩිය "

මේක අහල අපෙත් එක්ක හිටිය චන්ද්‍රතිලකට යකා නැග්ග

"කොඩිය... මොන කොඩියද... දෙනව උඹට කොඩියක්. පලයං, පලයං වද නොදී."

ඒක අහල අර මිනිහටත් තද වුනා. තද වෙලා මිනිහා දෙමලෙන් මොනවදෝ කියාගෙන කියාගෙන ගිය. චන්ද්‍රතිලක අර කොඩිය පොඩි එකාගෙන් අරගෙන දනිස්සට තියල තද කරලා ඒකේ ලීය කඩලා බිම දාලා පෑගුවා. මේක දැකල එහෙන් මෙහෙන් වට වෙච්චි පෙලපාලි නඩය වලියට ආව. මේ එක්කම එක පාරටම වැලි පුරවපු බෝතලයක් උඩින් ඇවිත් අපි ඉස්සරහම වැටිලා කුඩු වෙල ගියා. එන පොට හොඳ නැති බව අපිට තෙරුං ගියේ තව එහෙං මෙහෙං ගිය වාහන දෙක තුනක් එතන නවත්තපුවාම. ඒ අස්සේ හොඳටම කසිප්පු වලින් සප්පායම් වෙලා හිටිය එවුන් කීප දෙනෙක්ම අපිට යුධ ප්‍රකාශ කරගෙන එනවා. අපි දනි පනි ගාල වාහන වලට පැනල නැගල එතනිං මාරු වුනා. මේ වගේ මෝඩයොත් එක්ක ගමන් යනවට අපිට ගහන්න ඔනේ. මම එහෙම හිතා ගත්ත. අද නම් හොඳට්ම කන්න වෙනවා. මේ අතරේ මගෙ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා ආනන්දගෙන්

"මචන් වාහන දෙක තුනකින්ම අපි පස්සේ පන්නනව උඹල අපහු හරවගෙන ලිඳුල පොලීසියට පලයන්. ගිහින් කියපන්."

මම ඉක්මනටම සිසිල්ට පණිවිඩය කිව්වා. මොනවා වුනත් අපේම යාළුවෝ ටිකක් මැරුම් කන්න හදන වෙලාවක අපි ජීවිතේ ආරක්ෂ කරගෙන ඇති වැඩෙ මොකක්ද ? අපිත් දෙපාරක් නොහිතා වාහනය ආපහු හරවා ගත්තා. විරාගි අක්කගේ මූණ එතරම් හොඳ පාටක් නෑ. එයා මොනවත් කථා නොකරම හිටියා. අපි ආපහු කඩාගෙන යන අතරෙදි වාහන දෙකක් හරස් කරලා අපේ වාහනය නතර කරා ලිඳුලට හරවන තැනදී. අපේ වාහනේ ඇතුලට කීප දෙනෙක්ම එබිකම් කරා.

"නෑ මාත්තයා, මාත්තෙලා යන්න". යන්තම ජීවිතේ බේරුණා කියල මම හිතින් කියා ගත්තා. මොනව වුනත් මේ මිනිස්සු හොඳයි කියලත් මට හිතුනා. මේ වෙනකොට අපේ අනිත් කට්ටිය අම්බානකට කනවද දන්නෑ. අනේ දෙයියනේ මල ගෙවල් කීයකට යන්න වෙයිද? මේක තවත් ජාති වාදි අරගලයකට මුල වෙයිද? දෙයියනේ උතුරෙ කොටියි, මුන් ටිකයි එකතු වුනොත් නම් අපට ලංකාව දාල යන්න වෙනවා.


කිසිම එකෙක් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. මලා මුන්ට ඒක ගන්න තරම්වත් සිහි නැති වෙන්නම වැදිලද දන්නෑ. මම සද්ද නැතුව එලිය දිහා බැළුවා. මේ කථාව කිව්වොත් විරාගි අක්ක කලබල වෙන්න බැරි නෑ. හර්ෂාන් ඉන්නේ අනිත් වාහනේනේ. මම හිතින් දළධා මාලිගාවයි, ශ්‍රී මහ බෝධියයි මතක් කර ගත්තා. මොන පිස්සද මඳා පොලීසිය මෙච්චර දුර ගෙනිච්චේ. මනුස්සයෙක් හදිස්සියක් වුනාම කොහොමද පොලීසියට දුවන්නේ. තවත් විනාඩි දහයක් විතර ගියා පොලීසියට යන්න. මේ වෙනකොට අපේ වාහනයට වැරදිලා ගොඩ වෙච්චි අනිත් වාහනේ හිටිය මල්ලියි(නම මතක නෑ) මමයි දුවලා දුවලා ගිහින් විස්තරේ කියාගෙන කියාගෙන ගියා. පොඩ්ඩක් ඉන්න කියල අපිව නැවැත්තුව පොලිස් කොස්තාපල් වරය

"ආ ඔය වැඩේ දැන් ඉවරයි". මොනවා එහෙනම් ඉතින් හොස්පිටල් එකට තමයි යන්න වෙන්නෙ.

"ඒ කොහොමද රාලහාමි" එහෙම ඇහුවේ මගෙත් එක්ක ගිය මල්ලි.

"හොඳ වෙලාවට ස්පෙෂල් ඩියුටි ආපු කට්ටියක් මේක විසඳලා". අම්මේ ඇති යාන්තම් දැන් තමයි මගෙ ඇඟට  ලේ ටිකක් ඉනුවේ. අපි හැල්මේ දුවගෙන ආවා වාහනයට මේක කියන්න. කියලා, ආපහු පිටත් වුනේ පුදුමාකාර හිතේ සැහැල්ලුවකින්. මම අද අරූට දෙකක් කියනව. මේ වගේ පිට පලාතකටවත් ඇවිත් හැසිරෙන්න ඉගෙන ගන්න කියල.

පස්සේ පස්සෙ මේ සිද්දි මතක් කරල අපි සතුටු වුනත් ඒ වෙලාවේ මගෙ පපුවු ගැහිච්ච හැටියි, මගෙ හිතට ආපු දේවල් ටිකයි මතක් වුනාම මට හිනා වෙන්න ඔනේද නැත්නම් දුක් වෙන්න ඕනෙද කියලා තාමත් හිතා ගන්න බෑ. ඒ වුනාට ටිකක් හිනා යනවනේ.

ඊට ටික කාලෙකට පස්සේ අපේ ඔෆිස් එකේ ඉහල නිළධාරිණියක් වෙච්ච මිසිස් ජයවර්ධන එක්ක හර්ෂාන්(දෙන්න ඥාතියෝ) මේ කාථාව කියලා. මිසිස් ජයවර්ධන අහල කවුද කොඩිය පෑගුවේ කියල. අර අළුත්ගම පැත්තේ එක්කෙනෙක් කියල හර්ෂාන් කිව්වළු. අම්මෝ දිල්රුක්ද ? කියල මිසිස් ජයවර්ධන අහලා. ඊට පස්සේ මිසිස් ජයවර්ධන මම මොනව කිව්වත් මට මොනවත් කියන්නෑ. ඒකෙන් චාන්ස් එක වැදුනේ මට.

පින්තූරය ගත්තේ : http://www.lankatruth.com


7 comments :

  1. ලංකාවේ උනත් වෙනත් පලාතකට සංචාරයේ ගියොත්...හරි කල්පනාවෙන් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඔන..තැනට සුදුසු විදිහට හැසිරිනේ නැත්නම් මහ විනාසයක් වෙන්න තියෙන ඉඩ වැඩි

    ReplyDelete
  2. මදෑ ඔයිං ගියා තව පොඩ්ඩෙන් ඇත පය කඩාගෙන තමා එන්න වෙන්නේ.

    ReplyDelete
  3. ආගරපතන ඉස්සර amphibian collection එකක් තිබුන. ලස්සන පලාතක්,,,

    ReplyDelete
  4. ගං පෝරියල් එකකින් නූලෙන් බේරිලා තියෙන්නේ :D

    ReplyDelete
  5. මමත් ඔය වාහන යනවා දැකලා තියෙනවා. දෙවෙනි අවුරුද්දෙ බැච් ට්‍රිප් එක අපි ගියෙ නුවරඑළියෙ මැයි 01 සහ 02. මැයි පළවෙනිදා යන මඟ දිගටම ඔය වාහන මුණගැහුනා. වඩා හොඳ කතාව තමයි ඒ වෙනකොට නුවරඑළියෙ වසන්ත සැනකෙළිය අවසන් වුනා විතරයි. නුවරඑළිය නගරයේ ඒ කාලෙට විවිධ බෝ වෙන රෝග පැතිරෙනවා. හේතුව නුවරඑළියට වතුර ලැබෙන්නේ පහළින්. ඒ ජල පෝෂක ප්‍රදේශ නුවරඑලියට එන අධික ජනතාව නිසා අපවිත්‍ර වෙලා තියෙන්නේ ඒ වෙනකොට. දෙවෙනිදා රෑ වෙනකොට අපේ බැච් එකේ හිටපු 68 දෙනෙක්ගෙන් 43 දෙනෙක්ම රෝහල්ගත කරන්න වුනා බෝවන පාචන රෝගයක් වැළඳිලා.

    ReplyDelete
  6. මැයි කෙසේවෙතත් තව පොඩ්ඩෙන් අදෝ මැයි!!!

    ReplyDelete
  7. ඕවට තමයි ඉල්ලං පරිප්පු කනව කියන්නේ 🙂

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...