Wednesday, October 19, 2016

අපූරු කතා දෙකක් ......

මේ එක කතාවක් අපේ ඔෆිස් එකක වුණු දෙයක්. අනිත් එක දමිළ සමාජයේ පහුගිය කාලේ ජනප්‍රිය කතාවක්. හැමෝටම ඊ මේල් ලිපිනයක් නැති කාලේ ඔය අන්තර්ජාලේ තියෙන ෆෝම් පුරවද්දී බොහෝ දෙනෙක් ලේසියට ඔෆිස් එකේ ඊ මේල් ලිපිනය දෙන්න පොරොන්දු වෙලා තිබුණා. අන්තිමට මේක මහ කරුමයක් වෙන ගානටම මේල් පණිවුඩ ගලා ආවා. පස්සේ අපිට සිද්ධ වුණා ඒවාට වෙන වෙනම ප්‍රවේශ වෙලා, ඒවා අක්‍රීය කරන්න. නමුත් ඊ මේල් වලට හුරු නැති තරමක් වියපත් පුද්ගලයෙක් වෙච්ච ධර්මයා භාවිතා කලේ ඔෆිස් එකේ ලිපිනය. මිනිහා තමන්ගේ බිරිඳට අප්‍රමානෙට භයයි. ඒ වුණාට පොර ටෝක් විසේසඥයෙක්. විශේෂයෙන්ම දෙකක් දාගත්ත වෙලාවට. අනික නාරි දේහ විසේසඥයෙක්.ටිකක් ඩෝප් වෙච්ච වෙලාවට ඔෆිස් එකේ ඉන්න තරුණ කෙල්ලන්ගේ ඉඳලා, වයෝවෘද්ධ අයගේ ඉරියව් වගේම අංගෝපාංග ගැනත් විස්තර කරන්නේ අතැඹුලක් සේ තිබෙන දැනුම නිසා. මිනිහගේ මේ පොර ටෝක් තරම්ම නැති වුණත්, කාන්තා පාර්ශවේ එක්ක සබඳතා ඇති කර ගන්න මිනිහා දක්ෂයා. 

මහේෂා මේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනියක්. නිලධාරිනියක් කිව්වට අලුතෙන් එකතු වුණු කෙනෙක්. කෙටියෙන්ම කියනවනම්"අමු මෝල". මෙලෝ දෙයක් ගැන අවුබෝධයක් නෑ. ඉංග්‍රීසි වතුර වගේ වුණත්, සිංහල තේරෙනවා අඩුයි. මහේෂාට මේ ටෙලිෆෝන් වැඩේ හොඳටම කරන්න පුළුවන්. කඩ්ඩෙන් එන ඇමතුම් වලට කිසි ගේමක් නැතිවම කඩ්ඩෙන් කොටනවා. සිංහල ඒවා දෙපැත්තේ ඉන්න දෙන්නට තල්ලු කරලා බේරෙනවා. සිංහල කතා කරත්දී ඇදලා පැදලා කරන කථාව හරියට අපේ කොස්ගොඩ-බලපිටිය පැත්තේ ටෝක්ස් එකක් වගේ. එහෙම කිව්වේ තේරුම් කරන්න පහසුවට මිසක් ඒ පැත්තේ ජනතාව අවඥ්ඥාවට ලක් කිරීමේ අදහසින් නෙවෙයි. ඒ පැත්තේ මිනිස්සු හරි හිත හොඳ අය. බොක්කෙන්ම තමයි කරන-කියන දෙයක් කරන්නේ. ඒ නිසා ඉක්මනට තද වෙනවා. හරි අපි දැන් කථාවට එමුකෝ. දවසක් කළමනාකාර තුමා බඩ අල්ලගෙන හිනා වෙවී එයාගේ කූඩුවෙන් ආවා. ඒ අතේ තියෙන තනිරූල් කොලයක ලියපු ලියුමකුත් අරගෙන. ඒක ඉන් පස්සේ අතින් අත ගියා. වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමයි. ධර්මයා පත්තරේ තිබුණ මංගල යෝජනාවකට ලියුමක් දාලා. ඒකට ආපු පිළිතුරක් තමයි මේ හිනාවට හේතුව. ධර්මයා මේ වෙනකොටත් තලත්තෑනි මිනිහා. බැඳලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මිනිහගේ විනෝදාංශය තමයි ඔය මංගල දැන්වීම් වලින් ටිකක් සෙකන්ඩ් කොලිටියේ ඒවාට ලියන එක. මට හිතෙන්නේ සරු බිස්නස් එකක් වෙන්න ඇති. මැනේජර් මහත්තයාට හරිනම් තද වෙන්න ඕනේ. මොකද ධර්මයා ආයතනයේ ලිපිනය අවභාවිතා කරලා නිසා. නමුත් එතුමාගේ හිනාවට හේතුව ටික වෙලාවකින් හැමෝටම පැතිරුණා. හේතුව තමන් තැපැල් කන්තෝරුවේ පියුම් අයියලා ලියුම් වලට සීල් ගහනවා වගේ මහේෂා ඒ ලියුමටත් ලැබුණා සීල් එක ඇරලා දාලා.

දෙවෙනි කතාව මට කිව්වේ සිරයිවා. සිරයිවා මන්නාරම ප්‍රදේශයේ ඉපදුණු දමිළ තරුණයෙක්.මිනිහා මෑතකදී ප්‍රධාන කාර්යාලයේ සේවයට ආවේ. ආව මුල් දවස් වල සිංහල හකුරුයි - පොලුයි වගේ තිබුණට, දැන් යමක් - කමක් විස්තර කරන්න පුළුවන් තත්වෙට ආවා. අපේ තව ටැමිල් පොරක් ඉන්නවා මිනිහා අර කාලෙකට කලින් බොහොම ජනප්‍රිය වෙලා තිබුණ නොකියා ෆෝන් වලට ආපු පොඩි පින් චාජර් එකට කියන්නේ. බොඩි පින් සාජරේ කියලා. ගිය සති අන්තයේ අපි ගමනක් ගිහිං එත්දී මම ඔය කතාව කිව්වේ බෙන්ජා කියන හුරතල් නමින් හඳුන්වන අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බෙන්ජා වෙනත් වාහනයකින් අපි ගිය පළාතටම ඇවිත් වෙනත් අකරතැබ්බයකට මුහුණ දීලා. ඒක වෙනම කතාවක්. සිරයිවා කියපු බොඩි පින් සාජර් කතාව මෙහෙමයි.

එක්තරා දෙමළ ගමක, අවුරුදු 17-18 වගේ වයසක කෙල්ලක් එක පාර අතුරුදන් වුණා. ඒ කෙල්ල ඒ වෙනකොට තිබුණ ලව් පලහිලව්ව ගැන දන්නා හැමෝම කිව්වේ අහවලා එක්ක පැනලා යන්න ඇති කියලා. ගෙදර අයත් එහෙම හිතලා හිත හදා ගත්ත. තුන්වෙනි දවසට එලි වෙනකොට කෙල්ල ගෙදර දොරකඩ ළඟ. අම්මා තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා. මේ වැඩේ කරන්න බැරි නිසා තද වෙච්ච පාර අම්මා මෙහෙම කිව්වා. 

"උඹ මගුලේ ගියානම් ඒ ගිය තැනට වෙලා ඉන්නේ නැතිව මෙහෙ ආවේමොකටද ?"

 "අම්මේ එහේ තියෙන නොකියා චාජර් එක බොඩි පින්සාජර් එකක් නෙවෙයි. මම ආවේ මගේ චාජර් එක අරන් යන්න"

Monday, September 26, 2016

අමූදාගේ අරගලය ...... Amudha's Struggle ......

මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා. ඒත් මම දකින කියන දේ බෙදා ගන්න තවමත් මුහුණු පොතට වඩා බ්ලොග් හොඳයි කියන අදහස මා දරන නිසා යලිත් බ්ලොග් එකටම රිංගුවා.

අමුදා මට මුණ ගැහෙන්නේ අහම්බයෙන්. ඇත්තටම ඒක අහම්බයක්මද ? ඔව්. මම උවමනාවෙන්ම ඇය සොයා නොගිය නිසා එය අහම්බයක් ලෙස සටහන් කරන්න පුළුවන්. අමූදාව මම දැක්කේ මැලේසියාවේ, ක්වාලාලාම්පුර් නගරයේ, ඉම්බි කියන ප්‍රදේශයේ තියෙන ටයිම් චතුරශ්‍රයට ප්‍රවේශය සපයන ගුවන් පදික මාරුව අබියසදී. දැන් ඔබට මේ අමූදා කියන්නේ කවුද කියන එක ගැන ලොකු කුතුහලයක් ඇති වෙලා ඇති. නමුත් මා තුල සිටින සැඟවුණු මාධ්‍යවේදියා නිසා තමයි අද මේ සටහන තබන්න කරුණු-කාරණා ගොනු කර ගන්න ලැබුණේ. ඕනෑම දෙයකට හොස්ස පොවලා බලන එක සිංහලයාගේ සිරිත නිසාමදෝ මන්දා මමත් අමුදා ළඟ මොහොතක් නැවතුණා. 

මම තුන්වෙනි වතාවටත් මැලේසියන් භූමියට පය ගැහුවේ, පෙර පරිදිම ක්‍රිකට් සංචාරයක් සඳහා. අතරින් පතර ලැබෙන විවේකයේදී සාප්පු සවාරියේ යෙදෙන එක, මේ වගේ සංචාරයක වැදගත්ම කොටසක්. තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට, ඒ වගේම තමන්ට ඕනෑ කරන දේවල් ගන්නත් මේ වගේ විවේකී වේලාවන් කළමනාකරණය කර ගැනීම වැදගත්. මට මොනවද ගන්නේ කියන එක පිලිබඳ පැහැදිලි අදහසක් නැති වුණත්, මේ ටයිම් චතුරශ්‍රය ආශ්‍රිතව තිබෙන ලෝ-යැට් ප්ලාසා එකට හැම වතාවකම නොවැරදීම යන එක මගේ පුරුද්දක්. ඒ පරිගණක/ජංගම දුරකථන වලට නම ගිය ස්ථානය මේක නිසා. නිකං රවුමක් ගැහුවත්, අද ලෝකයේ තිබෙන නවීන තාක්ෂණය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මිලට වඩා අඩුවෙන් යමක් ගන්නත් පුළුවන්. හැබැයි මෙතැන ඉන්න බොහොමයක් වෙළෙන්දන් කයිරාටිකයෝ. මට මෙතනින් කර ගන්නම අවශ්‍ය වූ දෙය තමයි, මගේ අලුත් ටැබ්ලට් සහ නෝට්බුක් අතර ඇති උපකරණයේ තිරයට ආවරණය දා ගන්න එක. මොකද මේ ටච් ස්ක්‍රීන් ටිකක් අතපත ගානකොට ඉරි ඇඳෙන නිසා. කෝ අමුදා ? ඔබට හිතෙනවා ඇති. ඉන්න මම කියන්නම්.

මම අමූදා සිටින ස්ථානයට යනවිටත් හීන් බඩගින්නක් දැනීගෙන එමින් තිබුණා. ඉතිං මගේ ප්‍රමුඛතා අතර බඩ පුරවාගැනීමත් තිබුණා. මේ වනවිට මම අතින් කටින් බඩු මලු කිහිපයක් එල්ලාගෙන උන්නේ. ඔවුන් තමන්ගේ ජීවිකාව කරගෙන යන්නේ පෙරකී පඩිපෙළ යට තිබෙන හෙවනේ. මේ පදික මාරුවක් අපේ රටේ තියෙන ඒවාට වඩා තරමක් ඉහළින් තියෙනවා කියන එක තමයී මගේ විශ්වාසෙ. ඒ වගේම මේවායේ පඩි වලට අමතරව එලිවෙටර් එකකුත් තිබෙනවා. මේ පඩිපෙළ එක් අතකින් ඉම්බි ගුවන් දුම්රිය ස්ථානයට පිවිසුම සපයනවා. ඒ කියන්නේ අමුදා ඉන්නේ ඉම්බි දුම්රියපොළ යට. අපේ රටේ වගේ ඉතාම ජරාජීර්ණ වූ ස්ථානයක් ඔබේ මතකයට එනවාද ? නමුත් මේවා ඉතා පිරිසිදු ස්ථාන බව සඳහන් කරන්නම ඕනේ.  ලංකාවේ නම් මේ වගේ තැන් වල අපිට නවතින්න හිතෙන්නෙම නෑ. ඒ පික්-පොකට් තර්ජනය ප්‍රධාන හේතු ගණනාවක් නිසා. නමුත් පික්-පොකට් ගැහිල්ල අතින් මැලේසියාව අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටිනවා. ඒ මේ වගේ ජනාකීර්ණ තැන් වලදී ඔබේ පසුම්බියට විදීමෙන් පමණක් නෙවෙයි, ඔබට නොදැනීම ඔබේ මුදල් වලට හෙමිහිට විදින ක්‍රමත් ඔවුන් සතු නිසා. නොකියාම බැරි වුණත් ඒ කාරණයත් කියන්න ඕනේ.

මේ ටයිම් චතුරශ්‍රයයේ බිම් මහලේ තියෙන ආහාර අංගනයට මම අවස්ථාවක ගොඩ වුණේ, ඉතාම අධික බඩගින්නකින්. මම හිතන්නේ හවස තුනත් පහු වෙලා. එයාලගේ ළඟ ලෝකයේ බොහෝ රටවල රසයන්ගෙන් යුක්ත ආහාර සපයන කවුන්ටර ගණනාවක්ම තියෙනවා. මටත් උවමනා වුණා, ඉක්මනට බඩට මොනවා හරි දා ගන්න. මම ආහාර පිඟාන කැමති දේ වලින් පුරවාගෙන ගෙවන්න සුදානම් වුණාම තමයි තේරුම් ගියේ, ඔවුන් මුදල් ලබා ගන්නේ කලින් නිකුත් කල කාඩ් පතක් මගින් කියලා. ඉතිං මට සිදු වුණා, කෑම පිඟාන පැත්තකින් තියලා මේ කියන කාඩ් පතක් මිලදී ගන්න. ඒ සඳහා මැලේසියන් රිංගිට් විස්සක අවම මුදලක් ගෙවන්න සිදු වුණා. නමුත් මගේ කෑම වේල රිංගිට් නමයයි ගණනක්. මට බොන්න දෙයකුත් අවශ්‍ය නිසා මම විස්සේ කාඩ්පතක් ගත්තා. නමුත් මෙහි මිලදී ගැනීමේ හැකියාව දහනමයක් පමණයි. අත යටින් රිංගිට් එකකට විදලා. අපේ මුදලින් රුපියල් තිස් හතක් විතර. මේ වගේ ගනුදෙනු කරුවන් ගසාකන විවිධ ක්‍රම මේ ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ස්වදේශිකයන් මේවා ගැන දැනුවත්. ඔවුන් මේ පැතිවල කරක් ගහන්නෙත් බොහොම අඩුවෙන් බව මගේ මිතුරෙක්(මැලේසියානු) පවසා සිටියා.

අමුදාගේ පෝලිමේ සිටින තෙවන ගනුදෙනු කරු මම. මට කලින් සිටින්නේ සිරියානු කතක්. ඇය සිරියාව හැරපියා මැලේසියාව නිජබිම් කරගත් අයෙක්. මා ඇයත් සමග දොඩමලු වුණේ, එහි තත්වය පිලිබඳ පැහැදිලි අවුබෝධයක් ලබා ගන්න. මා පවසා සිටියා සිරියාව මුහුණ දුන් තත්වය පිලිබඳ අප ඉතා කනගාටු වූ බව. ඒ වගේම යුද්ධයේ අත්දැකීම් ඇති අප වැනි රටකට එය තදින් දැනෙන බව. ඇය දුන් පිළිතුර මා අන්ද-මන්ද කිරීමට සමත් වුණා.

"ඔබ සිතන්නේ මාධ්‍ය වල තිබෙන සියළු දේ සත්‍ය යයි කියාද ?" 

මේ පිලිබඳ යම් අවුබෝධයක් මා සතු නිසා, මා ඇයගේ අදහස හා එකඟ වුවා. යම් මාධ්‍යවේදියෙකු අහම්බෙන් ගොඩ වැදී ඉදිරිපත් කරන අදහසට වඩා බොහෝවිට සත්‍ය සහමුලින්ම වෙනස් බව අප අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් අද සමාජ මාධ්‍ය ජාලා ප්‍රධාන ධාරාව අභිබවා මේ කර්තව්‍ය සිදු කරන නිසා, සත්‍ය වේගයෙන් ලොව පොරා ගලා යනවා. 

අමූදාගේ තමන්ගේ ජීවන අරගලය ගෙන යන්න දෙන සටන ගැන මට එක්තරා ආඩම්බරයක් මෙන්ම දුකක් ඇති වුවා. ඇය තමන්ගේ රැකියාව කරන ගමන්ම චතුර ලෙස ඉංග්‍රීසි හසුරවමින් අප හා දොඩමලු වුණා. අයිස්ක්‍රීම් කෝටුවක, සිහින් නයිලෝන් නූල් පාට දෙකකින් යොදාගෙන ගනුදෙනු කරුවාගේ නම වියමින් කළ කී ටැග් නිෂ්පාදනය ඇයගේ ජීවන වෘත්තීය වී තිබෙන්නේ බොහෝ කලක පටන්. මම ඇයගේ අවසරයෙන් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් ලබා ගත්තේ බ්ලොග් ගැන සිහින් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින්. මා ශ්‍රී ලංකාවේ බව දැනගත් පසු ඇය පවසා සිටියේ, පාසල් අවධියේ ජනාධිපති ප්‍රේමදාස මහතා ඔවුන්ගේ පාසැලට ආ බවත්, ඈ හා කතා කොට ඇති බවත්ය. එතුමා ගැන ඉතා පැහැදීමකින් ඇය කථා කළා. ඒසමගම නොබෝ දිනකින මැලේසියානු නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් ප්‍රදර්ශනය සඳහා පුහුණු වන මිග් යානා ගමන් කරන හඬ ඇසුණා. ඒ ගැන සඳහන් කරමින් ඇය තමන්ගේ රටේ ජනාධිපති හෝ අගමැතිගේ ආර්යාව ගැන දැඩි විවේචනයක් එල්ල කළා. ඒ ඇයගේ වියදම් අධික බව පවසමින්. මගේ මුවගට සිනහවක් නැගුනත්, මා කිසිවක් පැවසූවේ නෑ. 

තමා මේ ශිල්පය උගෙන ගත්තේ පාසල් අවධියේ බවත්, අද සිටින දරුවන් මෙවැනි දෙයක් ඉගෙන ගැනීම වෙනුවට ජංගම දුරකථනයක් හසුරුවමින් සිටින බවත්  චෝදනාත්මක මුඛයෙන් ඇය පවසා සිටියා. මිනිත්තු කිහිපයක් වැනි කුඩා කලකින් එය සාදා නිම කරන්න ඇය සතුව ඇති නිපුණත්වය මා තුල පුදුමයක් ජනිත කළා. මන්ද එය මාගේ සිත පරිගණක (ඩොට් මෙට්‍රික්ස්) මුද්‍රණ තාක්ෂණය වෙත ගෙන ගිය නිසා. 7 x 5 ආකාරයෙන් තිත් යොදා ගනිමින් අකුරු නිර්මාණය වන ආකාරයටම ඇය මෙම නූල් කැබලි හසුරුවමින් අපුරුවට තම ගනුදෙනු කරුවන්ගේ නම් වියමන් කරන්නට සමත්. පහලින් තිබෙන පින්තූර වලින් වගේම වීඩියෝවෙන් එය සිදු වන ආකාරය පිලිබඳ යම් අදහස ගන්න පුළුවන්. 
,


මේ සඳහා ඇය යොදා ගන්නේ කතුරක් සහ ලයිටරක් පමණයි. මේ නූල් කෙලවර ලිහීම වලක්වන්න ඈ ලයිටරයෙන් පුච්චා සීල් කරනවා. කතුර යොදා ගන්නේ සමාන දිගට ඒවා කපා ගැනීමටයි. මෙහි තිබෙන ගනුදෙනුකරුවන්ගේ නම් සටහන් කරගන්නා පොත සහ නිමකර ඇති අනෙකුත් කී ටෑග් කිහිපය දුටු විට  ලෝකයේ විවිධ ජාතීන් වල  අය,  මේ නිෂ්පාදනය ආකාර්ශනය කරගෙන තිබෙන බව  පැහැදිලියි.



ක්‍රම-ක්‍රමයෙන් මා හා හිතවත් වූ ඈ, ඇගේ ජීවිත කතාවේ කටුක කොටස් කිහිපයක් හෙළි කළා.

"සහෝදරයා මගේ ස්වාමියා හමුදා නිලධාරියෙක්. එයාට මෙහෙම ඉරක් ඇන්දොත් කෙලින් තියෙන්න ඕනේ. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. ලොකු දෙන්නා දැන් වැඩිහිටියෝ. කොල්ලෝ දෙන්නා. ඒ දෙන්නාට රෑ දහයෙන් පස්සේ ගෙදර එන්න එයාගෙන් අවසර නෑ. දවසක් උන් දෙන්නාට අපේ එක්කෙනා මෙහෙම කිවුවා 
 "මම දන්නවා උඹලා ඉන්නේ ක්වාලා ලාම්පූර් වල කියලා. ඒ වුණාට රෑ දහයට කලින් ගෙදර ඉන්න ඕනේ"
මේ ළමයි කරන හැම වරදකට, එයා දොස් කියන්නේ තමුසේගේ දරුවෝ. මට අහන්න හිතෙනවා මගේ විතරක්ද කියලා. ඒ වුණාට මම අහන්නේ නෑ.
මම බැන්දේ ආදර සම්බන්ධතාවයකින්. බඳින්න කලින් මම මේ තරම් උස(අඟල් පහක් විතර දෑතින් පෙන්වයි) සපත්තු දාගෙන ක්ලබ් ගානේ ගිය කෙල්ලක්. නමුත් බැන්දට පස්සේ ඒ මොනවත් නෑ. නමුත් දවසක් මේ කතාවක් දිග්ගැස්සිලා, එයා මට 'පලයන් ගෙදර' කියලා කිව්වා. මමත් කඳුළු පුරෝගෙන අපේ ගෙදර ගියා. අපේ අම්මා මට දුන්නා නියම ලෙක්චර් එකක්.
"මේ අහගනින්, බැඳපු ගෑණියෙක් ගෙදර එනවනම් එන්න ඕනේ තමන්ගේ මිනිහත් එක්ක. මෙහෙම තනියෙන් ආවොත්, උඹට වෙන්නේ, ඒකාගෙන් දික්කසාද වෙලා වෙන මිනිහෙක් එක්ක යන්න. එහෙම ගිය දාක, ඒ මිනිහා උඹගෙන් අනිවාර්යයෙන් අහනවා, කලින් මිනිහා ගැන. ඒක ඉවර වෙන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා උඹ ආපු අතක් බලාගෙන පළයන්. එනවනම් වරෙන් මිනිහත් එක්ක"
සහෝදරයා, මම ආපහු ගෙදර ගිහිං, ඉකි ගහ-ගහ දවස් ගානක් ගත කළා. කොහොම හරි අපි දෙන්නා තවමත් එකට ඉන්නවා. අපේ පුත්තුන්ටත් මේ වැඩේ ටිකක් පුළුවන්. උත්සව කාලෙට ලොකු ඕඩර් එනවා. මහත්තයා දැන් පෙන්ෂන්. ඒත් මගේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න මම මේක කරගෙන යනවා.  
 මේ දුවට වයස කීයද ? එයා ටිකක් ට්‍රයි කරනවා නේද ?
අයියෝ සහෝදරයා, මෙයා මේක ඉගෙන ගනීද කියලා මට සැකයි. දැන් ළමයි මෙහෙම එකතැන ඉඳගෙන වැඩක් කරන්න කැමති නෑ. 
තවත් වෙලා ඇය සමග දොඩමළු වීමට අවශ්‍ය වුවත්, මට තිබෙන සීමිත කාළය කළමනාකරණය කරගත යුතු බැවින් ඇයගේ ගාස්තුව වූ රිංගිට් දහය ගෙවා පිටත් වූවෙමි.

එහි සිටි කාළය තුළ, ඇයට යාබදව මෙමරි කාඩ් වෙළඳාමක් කරන කම්මැලියා මට රජ ගහේ ඇණයක් විය. ඔහුගෙන් මෙමරි කාඩ්පතක් මිලදී ගන්නා ලෙස බොහෝ වාර ගණනක් ඇවිටිලි කලද, මා ඊට හසු වුයේ නැත. ඒ වෙනුවට මා ඔහුට රිච් ඩැඩ් පුවර්  ඩැඩ් පොත ඇසුරින් දේශනයක් දුන්නෙමි. ඒ අයිස් ක්‍රී වෙළෙන්දාගේ කඩදාසි කෝප්ප අවසන් වූවිට, යාබදව වොෆල් වෙළෙන්දාගේ මන්දගාමීව විකිනෙන වොෆල් ඉල්ලා, එයින් කෝන් සාදා, ඒ තුලට අයිස් ක්‍රීම් දමා විකුණා ගිය ගමන, අද ඔබ වෙතට පත් වන අයිස් ක්‍රීම් කෝන් එකෙහි මූලාරම්භය බව මගේ මතකයට ආ විටය. මා ඔහුට පවසා සිටියේ, මෙමරි කාඩ් පතක් මිලදී ගන්නේ නම්, අමුදාගෙන් නම් කිහිපයක් සාදා ගැනීමට අවස්ථාවක් සපයන බවට පවසා මෙමරි විකුණන ලෙසය. එය තේරුම් නොගත් ඔහු මා හට පැවසූවේ, කුඩා කල සිට තමා උනන්දු වුයේ බොක්සිං ක්‍රීඩාවට නිසා, තමාට මේ ඉරණම අත් වූ බවය.


Monday, August 8, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්‍රයන්ගේ මෛත්‍රීය ......

වැඩිපුර අනං - මනං ලියන්න වෙලාවක් නෑ. හැම පත්තකින්ම් කාර්ය බහුල වෙලා ඉන්න මොහොතක අසු වුණ එක කතාවක් නිසා මේ කතා ටික ලියලා දාන්න හිතුණා. 

පලවෙනි කතාව අපේ අම්මා මට කියපු කතාවක්. සමහරවිට ඇය ඉගැන්වූ පාසලේ වුණු සිද්ධියක් වෙන්නත් පුළුවන්. ගුරුවරු සහ සිසුන් එකයි තිහට පාසල නිමා වුණු ගමන් නික්ම ගියත්, විදුහල්පති තුමා සහ කාර්යාලයේ සේවකයෝ තරමක් ප්‍රමාද වෙලා තමයි පාසලෙන් යන්නේ. බොහෝ පාසැල් වල අයාලේ යන බල්ලෙක්, පූසෙක් වාසස්ථානය කර ගන්න එකත් සාමාන්‍ය දෙයක්. මේ කියන පාසලෙත්, මේ වගේ බල්ලෙක් නාවතැන් ගන්න පුරුදු වෙලා හිටියා. වැඩේ තියෙන්නේ මේකා විදුහල්පති තුමා එක්ක පුදුම විදියට ලෙන්ගතු වෙලා. මේ ඔෆිස් එකේ ලිපිකාරිණියක් විදියට කාන්තාවක් අලුතෙන් පත් වෙලා ඇවිත්. මේ විදුහල්පති තුමා මේ කාන්තාව එක්ක වැඩි ඇසුරට යන්නේ නැතිව අවශ්‍ය දේට පමණක් කථා කරගෙන ජාම බේරන් ගිහිං තියෙන්නේ, කලින් වැඩ කරපු කාන්තාව එක්ක ඇති වුණු හුටපටයක් දුරදිග ගිය නිසා. හැබැයි මේ කාන්තාවට මේක ඇල්ලුවේ නෑ. එයා හැම වෙලාවේම උත්සාහ කලේ විදුහල්පති තුමා එක්ක කුළුපග වෙන්න. මේ අතරේ අර බල්ලා විදුහල්පති තුමාගේ මේසේ යට රිංගගෙන එතුමාගේ ලේස් දෙකත් එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේ වෙලාට එතුමා ගෙට්-අවුට් කියනවා. එහෙම කිවුවත් කිසිම වෙලාවක ටොමියා එලියට යන්නේ නෑ. තමන්ගේ වැඩ වළට හිත යොමු කරන විදුහල්පති තුමාට ඒ ගැන වැඩි නිනව්වකුත් නෑ. තවත් දවසක් ටොමියා විදුහල්පති තුමාගේ මේසේ යටට ආවා. මේක අර ලිපිකාරිණිය දැක්කා. එයාටත් විදුහල්පති තුමා එක්ක කථාවට වැටෙන්න හොඳ අවස්ථාව නිසා මෙහෙම කිවුවා.
සර් අන්න අර ගෙටවුට් ආයෙත් ඇතුළට ඇවිත්" කියලා.
 මහින්දලාගේ පොමියා කිව්වම සිහියට එන අය බොහොමයක් දැන් ඉන්නේ මහින්දගේ විරුද්ධ පැත්තේ. නමුත් මේ කියන්න යන්නේ අපේ ගෙදර ඉස්සරහ ගෙදර මහින්දලාගේ දියුණුව ගැන කථාවක්. මහින්දලා බොහොම දුප්පත් විදියට හිටපු මිනිස්සු. එයාලගේ අක්කා පීටර් කියලා නාකි සුවිස් කාරයෙක් බැඳ ගත්තට පස්සේ මහින්දලාට හොඳ කලක් ගියා. මුලින්ම වහල හැදුවා. ඉන්පස්සේ වරිච්චි බිත්ති ටික කපරාරු කළා. ගෙට සිමෙන්ති දැම්මා. පේන්ට් කළා. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ කැසට් රෙකෝඩර් එකක් ගෙදරට ආවා. පස්සේ ටී.වී. එකකුත්. මේ කැසට් එක මහ හයියෙන් දවස පුරා දාන නිසා මට සිංදු නිකම්ම කට පාඩම් වුණා. ඒක වෙනම කතාවක්. පස්සේ වෑන් එකක් ගත්තා. ඉන් පස්සේ පොමනේරියන් වර්ගයේ බල්ලෙක් මේ ගෙදරට ආවා. අපිත් වැඩි ඇයි-හොඳැයියක් නැතිව හිටියත්, මේ හුරතල් බලු කුක්කාගේ වැඩසටහන බලන් උණ්නා. මහින්දලා එක පාරට උද ගිය නිසා එහෙන්-මෙහෙන් කඩ්ඩත් වන්න ගත්තා. මහින්දලාගේ ගේ තිබුණේ මහ පාරට මායිම්ව. ඒ කියන්නේ බිත්තියත් පාරත් අතර අඩි-දෙකක් වත් නෑ. බැම්ම අඩි තුණක් විතර උසයි. පඩියක් තිබුණා නැගලා යන්න. මේ බල්ලා හිටපු ගමන් පාරට දුවගෙන එනවා. ඒ වෙලාවට ගෙදර ඉන්න කවුරු වුණත් පාරට බැහැලා "ගෙටප්" කියනවා. එයාලා අදහස් කලේ "ගෙට - අප්" කියන එක නැතිනම් ගෙට ගොදවෙයන් කියන එක.

බ්‍රයන්ගේ මෛත්‍රී කතාව බොහොම කෙටි එකක්. මගේ එළු පැටියා විකල්පය බ්‍රයන් දන්නේ නෑ. බ්‍රයන් කියන්නේ ලංකාවේ ජාතික මට්ටම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩකයෙක්. මම එයාලගේ අම්මා ගැන ලියපු සටහන බොහෝ දෙනෙක් බලන්න ඇති. බ්ලොග් වලට ආපු මුල් කාලේ ලියපු කතාවක්. බ්‍රයන් කිව්වට, ලංසි සම්බවයක් තිබුණට, බ්‍රයන්ලා බොහොම හොඳ බෞද්ධ පවුලක්. පොඩි එකීට වයස අවුරුදු දෙකක් හෝ තුනක් ඇති. නිදි කරන්න කතා කියන්නේ බ්‍රයන්. දවසක් මොනවා කිවුවත් නිදි කරවන්න බැරි නිසා. අපි භාවනා කරමු කියලා, බ්‍රයන් මෙහෙම කිවුවා.

"දැන් ඇස් දෙක පියාගෙන අත්දෙක මෙහෙම තියා ගන්න"

පොඩි එකීත් එහෙම කළා.බ්‍රයන් දැන් මෙහෙම කියනවා

"මම නිදුක් වෙම්වා"

එතකොට පොඩි එකී මෙහෙම කියනවා

"මම නෙතුලි නිහන්සා"

කාලා වරෙන්කෝ.

මේ පොස්ට් එක දාන්න පටන් අරන් මාසයක් විතර ඇති. නින්දෙන් ඇහැරිච්චි වෙලාවේ මතක් වුණා තව කතාවක් මේ එක්ක කියලා දාන්නම් නැතිනම් අමතක වෙනවා. මේක වෙලා තියෙන්නේ පූස් රැලක. පොඩි පූස් පැටව් සෙට් එක දවස් කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කරලා තියෙනවා එයාලා නිදියන්න සෙට් වෙන වෙලාවට, එයාලට වඩා ටිකක් වැඩිමල් සෙට් එක රෑට හොරෙන් කොහේදෝ යනවා. පස්සේ දවසක කොහෙද යන්නේ කියලා දැන ගන්න මේ අය කථිකා කළා. කෙළින්ම පූස් අයියලාගෙන් මේ ගැන අහන්න එයාලා තීරණය කළා. දවසක් හවසක පූස් අයියලාගෙන් මල්ලිලා සෙට් එක මෙහෙම ඇහුවා

"අයියේ අපි මේ අහන්නමයි කියළා හිටියේ, අයියලා කොහෙද හැමදාම රෑ වෙත්දී යන්නේ"

එලෝ කෝටියට තද වුණු පූස් අයියා කෙනෙක් මෙහෙම පිළිවදන් දුන්නා

"අපි යනවා ** කන්න"

පූස් මල්ලිලාටත් හරි බඩගින්න නේ. එයාලට හිතුණා අපිටත් ඒ කෑම කන්න ඇත්නම් කියලා. ඉන් පස්සේ එක කටේ කිරි සුවඳවත් නොගිය  පූස් මල්ලි කෙනෙක් මෙහෙම කියනවා

"අනේ අයියේ අපිත් ආසයි ** කන්න. අපිවත් එක්කන් යන්න" කියලා

මේක හොඳ ෆන් වැඩක් තියෙයි කියලා හිතපු පූස් අයියලත් කිව්වලු.

"ප්‍රශ්ණයක් නෑ. අද රෑට අපි පස්සෙන් වරෙල්ලා" කියලා

ඔන්න අයියලා දැන් යන්න යනවා. පූස් මල්ලිලා සෙට් එකත් හෙමිහිට අයියලාගේ පස්සෙන් වැටුණා. ටිකක් දුර යත්දී දඩෝරි බල්ලෝ සෙට් එකක් මේ දෙගොල්ලේ පස්සේ පන්නන්න ගත්තා. මෙහෙම දුවගෙන ගිහිං පූස් අයියලා සෙට් එක එක ලොකු ගහක් වටේ දුවන්න ගත්තා. මල්ලිලත් එයාලාව ෆලෝ කරා. ** කන්න තියෙන ආසාවට. දැන් රවුන්ඩ්-අබවුට් එක වගේ වටේට පූසෝ සෙට් දෙක දුවනවා. බල්ලෝ එයාලගේ පස්සෙන් දුවනවා. මල්ලිලාට ටිකක් දුවනකොට හති වැටුණා. එක පූස් මල්ලි කෙනෙක් මෙහෙම කිවුවා

"අනේ අයියේ අපිට මහන්සියි. අයියලා දිගටමා ** කාගෙන යන්න. අපේ මේ වටේ ඉවර කරළා ගෙදර යනවා" කියලා.

** කැමති අකුරක් හෝ වචනයක් යොදාගෙන රසවිඳින්න. අපි ඕවට නෑ. 

Wednesday, July 13, 2016

ඔබේ නින්ද සමාන වන්නේ කුමන රටේ නිදාගැනීමටද ? ......

සිංගප්පූරු පිරිමියෙකු සාමන්‍යයෙන් දිනකට පය 7.3 නිදාගනු ලැබේ - නවතම අධ්‍යනයකට අනුව එය දුසිමකට අධික රටවල ජනතාවකට වඩා අඩුවෙනි.

මෙම නිද්‍රවලියේ (මා එකතු කල වචනයකි) අනිත් කොණේ සිටින්නේ ඕලන්ද කාන්තාවයි. ඔවුන් අඩුම තරමින් සෑම රාත්‍රියකම පැය 8.4ක නින්දක් ලබයි.

මෙම දත්ත ලැබෙන්නේ මිචිගන් සරසවිය විසින් සිදු කරන්නට යෙදුනු, නිදාගන්නා ආකාර පිලිබඳ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසිණි.මේ සඳහා රටවල් 20ක,  10,000ක පමණ පිරිස්ක් සහභාගී කරගත් ඇප් එකක් අනුසාරයෙන් තොරතුරු එක් රැස් කරගෙන තිබෙනවා. මෙම පර්යේෂකයන් විවිධ සංස්කෘතීන් අතර වෙනස්කම් හදුනාගෙන තිබෙන අතර, සමස්තයක් ලෙස කාන්තාවන් පිරිමින්ට වඩා අවම වශයෙන් මිනිත්තු 30ක් පමණ වැඩිපුර නිදා ගන්නා බවට තහවුරු කරගෙන තිබෙනවා.

පහතින් තිබෙන සටහනින් පැහැදිලි වනවා ලොව විවිධ ජාතීන්ට අයත් කාන්තා/පුරුෂ කොට්ඨාශ දෙක නින්දට යන සහ අවධි වන වේලාවන්.  පහතින් තිබෙන සබැඳියාවෙන් ගොස් ඔබ නිදන්නේ කවුරු වාගේදැයි වටහා ගත හැකි වනවා. එහිදී ඔබ නින්දට යන වෙලාවත්, අවධි වන වෙලාවත් සටහන් කලපසු එය අළුපාට කොටුවකින් පෙන්නුම් කරාවි, එයට අමතරව එය හරියටම සැසඳෙන්නේ කුමන රටේ, කුමන   පාර්ශවයේ නින්දටදැයි සටහන් කරාවි.
පින්තූරය කපා ගත්තේ : http://time.com/

මෙන්න මෙතනින් ගිහිං බලන්න.

http://time.com/ හී පලවූ Find Out What Country You Sleep Like ලිපියෙහි අසංක්ෂිප්ත පරිවර්තනයකි.

Tuesday, July 5, 2016

සිකුරිටි ලඳක් සිතින් කියූ කවි ......


Glass full of Mango juice Lady security looking outside kantha sikurity iwatha bala siteema

කුසගිනි උරුම අපහට ඇති සැනසිල්ල
අහරක් තනන විට හමනා පවන්රැල
මාසේ අගට දෑතට එන සොච්චම් මුදල
ගෙන එයි මගේ මුළු පවුලට හසරැල්ල
    
මිදුලේ අඹ ගහේ තවමත් ගෙඩිපිරිලාද
මහරෑ වවුල් මංකොල්ලය අඩුනැතිද
වවුලන් එලවන්න ටකය මුළු රෑ හොලවනවාද
ලණු වැල් ඇඳේ නොනිදන අප්පච්චිටහතිද

මුළු ගහ අපි දෙන්නේ දාහටදෙදාහට
එනමුදු මෙහේ ගෙඩියක් වැඩිවේසීයකට
අඹරා මේසයට එන මේවීදුරුවකට
නෝනලා ගෙවයි තුන්සීයක් නැතිවම කිසි ගානකට
     
සිසිලස සපිරි මේ සුවිසල් ශාලාවේ
අමුත්තන්ට දොර අරිනට මා මෙහිවේ
"ගුඩ් මෝනිං"ද පවසන්නට මට සිදු වේ
එනමුදු ඔවුන් නෑ ඒ ගැනතැකුවේ
     
කැමැත්තෙන්ම මා දොර මුරකරන්නේ
අහරක් දකින විට කාටද කෙළනූනන්නේ
අප වැන්නන්ට නැ මේවාදිරවන්නේ
නරියගේ මිදී ඔවදනයි හැමවිටසිහිවන්නේ
     
පොඩි නංගියේ මල්ලියේ සැමදා පාසල්යන්න
උනන්දුවෙන් හැම අකුරමඋගනින්න
අපවැනි අයට වෙන මග නෑ ගොඩ යන්න
කන්නන්ගර මැතිඳු දිවරෑ නමදින්න
  
කවි ලිවීමට මට හැකියාවක් නොමැති බව දනිමි. එහෙත් මාගේ මිතුරියකගේ මුහුනුපොතේ දුටු මේ ඡායාරූපය මගේ සිත සසල කරන්නට සමත් විය. මේ පිලිබඳ සටහනක් ලිවීම රස නැත. එයට සරිලන්නේ කවියක්ම පමණි. කවි ලියන අයට මෙහි තිබෙනා ආකාරයට කවිපද සැකසීමට අවශ්‍යනම් පහත සබැඳියාවෙන් එය පහසුවෙන් සිදු කර ගත හැක. 


http://siwpada.blogspot.com/#top




Wednesday, June 29, 2016

අමතක වන්නට පෙර II - සුදීකට සෝමවංශ අමරසිංහගෙන් කැඳවීමක් ......

මම ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කළුතර මහ විද්‍යාලය ලෙස එකල හැඳින්වූ, අද කළුතර විද්‍යාලය ජාතික පාසල නමින් හඳුන්වන, දැයට දක්ෂයන් රැසක් බිහිකළ විදුපියසෙන් බව මා කියවන ඔබට නොරහසකි. එම විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලය ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. මන්ද මා අධ්‍යාපනය කල කාලයේ විටෙක මුහුණ දුන් දුක් ගැහැට, සහ තවත් වරෙක නිදහසේ කෙළිදෙලෙන් ගතකළ ඒ සොඳුරු ගැටවර විය දෙස වැඩිහිටියෙකු ලෙස ආපසු හැරී බලන විට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. අධ්‍යාපනයට කිසිදු තරගයක් නොතිබූ එහි, කැමති අය කැමති දෙය කළ යුගයක් පසුකළ, ජීවිතයේ ඉවක්-බවක් නැතිව ඔහේ ගෙවුණු කාලය අලි-ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකිය. 
පින්තූරය : www.thinkworth.wordpress.com

මේ පසුතැවිල්ල පසු කාලයක එක්තරා විදියට වෛරයකට පෙරළිණි. අවසාන මා උගත් පාසලට ශාප කරන තත්වයකට පත් විය. ඒ උසස් අධ්‍යාපනය නිසි ලෙස සම්පූර්ණ කර ගැනීමට එහි වූ කණ්ඩායමට කිසිදු වගක් නොතිබුණද, අධ්‍යාපනය ලබා සරසවි වරම් ගන්නට සැබෑ උවමනාවකින් පසුවූ අතළොස්සක ඉදිරියෙන්ම වූ මා වැනි පුද්ගලයෙකුට අස්වැසිල්ලක් ලබන්නට එහි කිසිවක් නොතිබූ නිසාය. පළමු උත්සාහයේදී මා නියමිත ලකුණු සීමාවට පසුපසින් සිටියද, දෙවන උත්සාහක් ගැනීමට එය කාලය නොවන බව මගේ ළදරු විය ඉක්මවා ගිය පුංචි මොළයට අවුබෝධ වෙමින් පැවතිණ. කැම්පස් යනවාද, වලපල්ලට යනවාද එකල තාරුණ්‍යයේ පසු වූ අප නිතරම අපේ ඇතුළත සිටින පුද්ගලයාගෙන් විමසු පැනයයි. 

මේ වෛරය තවත් කාලයකදී එකල තාරුණ්‍යය මර්දනය කළ රජය වෙතද, තාරුණ්‍යය ප්‍රචණ්ඩත්වය කරා ඇදගෙන ගිය ජවිපෙය වෙතද දෝලනය විය. පසු කාලයකයදී මා හිත හදා ගත්තේ, අද අප ජීවත් වීමම, මදිද යන සිතුවිල්ලෙනි. මෙය "මට එහෙම නොවුනානම් අරෙහම කරන්න තිබුණා, මෙහම කරන්න තිබුණා" යන,  බොහෝ දෙනා සිත සනසාගන්නට කරන සාම්ප්‍රදායික ප්‍රයෝගය නොවේ. මා ගැන එවකට අනාවැකි පළකළ බොහේ දෙනෙකු විශේෂයෙන්ම පාසලේ සහ ඉන්පිටතදී අධ්‍යාපනය ලබාදුන්ම ගුරුවරු විමතියට පත්කළ, මාගේ ප්‍රතිඵලය ඒ තැන මා බොහෝකලක් රඳවා තබන්නට  සමත් විය. 

මා කොළඹට සංක්‍රමණය වූ පසු මගේ පාසැල හෝ මිතුරන් සමග තිබෙන සබඳතා සහමුලින්ම නැති වූ අතර, අතරින් පතර අහම්බෙන් මුණගැසුණු කෙනෙකු සමග අතීතයට යාම පමණක් සිදු කෙරිණි. බැංකුවේ රාජකාරියට ආ විගසම වාගේ කළුතර ශාඛාවට රාජකාරි කටයුතු වලට යාමට සිදු වීම එක්තරා අස්වැසිල්ලක් විය. කළුතර නගරයේ සියලු අහුමුලු අතැඹුලක් සේ දත් මාහට, රාජකාරි මිතුරන් සමග මේ ස්ථාන වල කරක් ගැසීමට හැකි විය. ඒත් නිකමට හෝ පාසැලට පිය නගන්නට හිත එකඟ කර ගැනීමට නොහැකි වූයේ මගේ සිතේ පැහැවමින් තිබුණු පෙරකී වෛරයයි. විශේෂයෙන්ම මාගේ භෞතික විද්‍යාව සඳහා වූ ප්‍රායෝගික සටහන් පොත සොරකම් කිරීම ගැන තිබුණු පසුතැවිල්ල වචනයෙන් විග්‍රහ කල නොහැකි එකකි. මගේ පියා විභාග අධීක්ෂණයට ගොස් එකතු කරගෙනවිත් තිබු ප්‍රස්ථාර කොළ එක් කරමින් මවිසින්ම බැඳී එම පොත සහ සියලු පොත් වලට මම අසීමිතව ආදරය කළෙමි. විශේෂයෙන්ම ඒවායේ ඇති අන්තර්ගතයට මම ප්‍රේම කළෙමි. පොත පතින් උගත් දේ ප්‍රායෝගිකව අත්දකින විට ලැබෙන සතුට මේ යයි කිව නොහැකිය. ඒ මා හුදෙක් විභාගය රවටා ඉදිරියට ගිය පුද්ගලයෙකුට වඩා, උගත යුතු දේ උගෙන, විභාගය යකාට ගියදෙන් කියා සිතූවකු බැවිනි.

වරක් පන්තියේ සියලු සිසුන් අධ්‍යාපනය හෝ ප්‍රායෝගික කටයුතු නොකරන කලෙක, මාගේ ගුරුභවතුන්ගේ ලබාගත් විශේෂ අවසරයකින් මා විද්‍යාගාරයට ගොස් තනිවම පරීක්ෂණ කළා අද මෙන් මතකය. නියත පීඩන උපකරණය අත්වැරදීමකින් පෙරළී මුළු විද්‍යාගාරය පුරාම ජලය විසිරුණු ආකාරයද, ඒ මොහොතේ එම විද්‍යාගාරයේම සාමාන්‍යපෙළ විද්‍යා සිසුන් සමග සකච්ඡාවක නිරත වූ විදුහල්පති තුමාගේ අවධානයට යොමු වූ කල්හී මා තරමක් භීතියට පත් වුවද, මා සැහැල්ලුවට පත් කලේ මගේ ගුරුවරියගෙන් මා පිළිබඳ විස්තර අසා සාමාන්‍යපෙළ සිසුන්ට ආදර්ශයට මා පෙන්වූ විටය.

සමාජ මාධ්‍ය ජාලාවලට අතීතය ප්‍රතිනිර්මාණය කළ හැකි බව මා වටහා ගත්තේ 2008 වසරේ අග භාගයේදීය. ඒ බොහෝදෙනා පිල්ලියක් සේ දකින ෆේස්බුක් ගිණුමක් ඇරඹීමත් සමගය. විවිධ වර්ග වල ඊ මේල් ගිණුම් අත්හදා තිබුණද, ඊ මේල් සමූහයන්ගෙන් යම් - යම් සමාජ බැඳීම් ගොඩනගාගෙන තිබු
ද, ෆේස්බුක් තරම් ඉතා වේගයෙන් අතීතය ප්‍රතිනිර්මාණය කරන වෙනත් මෙවලමක් නැතැයි මා බිය නැතිවම පවසන්නේ පසුකලෙක නයාට අඳුකොළ මෙන් පැවති පාසල සමග මා සෙනෙහෙන් එක් කරන්නට මේ කදිම මෙවලම සමත් වීම නිසාය. 

ෆේස්බුක් ගිණුම අරඹා ටික කලකින් එහි හතරකොන දිග් විජය කල මා හට වැටහුණේ, මගේ පාසැලට ෆේස්බුක් පිටුවක් ඇරඹුවහොත්, කාලයත් සමග ගිලිහී ගිය මිතුරන් එකෙකු දෙන්නෙකු හෝ සොයා ගත හැක යන සිතුවිල්ලයි. හිතට ආ දේ දෙවතාවක් නොසිතාම සිදුකළද, එය එතරම් ජනප්‍රිය වේදෝයි යන කුකුස මා තුළ විය. මෙම විදුහලෙන් අධ්‍යාපනය ලබා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින අතළොස්සෙන් කෙනෙකු වන මා එය ඉටු කල යුතු බව මට හැඟිණි. නොබෝ දිනකින්ම මේ සිතුවිල්ල මල්ඵල ගැන්විණි. ආදී සුසුන් මෙන්ම පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් එය සමග එක්කාසු වූවා පමණක් නොව, මගේ පුද්ගලික මිතුරන් බවටද පත් විය. 


පසුකාලීනව ආදී ශිෂ්‍ය සංගමයට මා එකතු කරගැනීමට එහි ක්‍රියාකාරිකයින් කටයුතු කරන ලද අතර, 70 වෙනි වර්ෂ පූර්ණ සැමරුම සඳහා සුදානම් කල පා ගමනට එකතු වන්නට මට සිදු වූයේ එවකට එහි ප්‍රධාන සංවිධායකත්වය උරදී කටයුතු කල සෝමවංශ අමරසිංහ මහතාට මා මුණගැසීමට ඇවසි බව ආදී ශිෂ්‍ය සංගමයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ රංග හරහා මා දැනුවත් කොට තිබීමය. මා එම හමුව ගැන පසු වූයේ යම් තැතිගැන්මකිනි. මා අතින් වරදක් සිදු වූවාදැයි මා නැවත-නැවතත් මෙනෙහි කළෙමි. 

ඒ වනවිට ෆේස්බුක් හරහාම යම් මිත්‍රත්වයක් ගොඩ නගාගෙන සිටි රන්ජන් (පරණවිතාන) අයියාගෙන් ඒ ගැන විමසා සිටි අතර, මා එයට සහභාගී වනවාට ඔහුද සතුට පළ කළේය. එය යම් තරමක දිරිගන්වීමක්ද විය. එදින ඉතා ආනන්දජනක උදෑසනක් විය. නමුත් මගේ සහභාගීත්වය මගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය. ඒ කොළඹ ජීවත් වෙමින්, දියණියක සිටින කෙනෙකු පාසල පිළිබඳ මෙතරම් උනන්දුවක් දක්වන්නේ මන්ද ? යන ගැටලුව නිසාය.  ඒ වනවිට මට මුණගැසුණු කිසිවෙකු ෆේස්බුක් ගිණුමකට හිමිකම් නොකීවේය. පා ගමනේදී මා පත්තර වාර්තාකරුවකුගේ රාජකාරියට පනපෙවුවේ මගේ පැරණි මිතුරෙකු වූ ජනක සමගය. රූපවාහිනියේ සේවය කල හෙතෙම පාගමන රූගත කළේය. මා ජංගම දුරකථනය ආධාරයෙන් චායරුපකරණයේ නිරත විය. 

ගමන අවසානයේ මෙහි ප්‍රධාන අරමුණ සිහි ගැන්වී රංග සොයාගෙන ගමන් ගත්තේ මාගේ බාල සොයුරියගේ පුතණුවන්ද සමගය. රංග මොහොතක් හෝ ප්‍රමාද නොවී මා සෝමවංශ අමරසිංහයන් වෙත කැඳවාගෙන යන ලදී. ජවිපෙය වැනි පක්ෂයක නායකයෙකු කුමන ආකාරයේ කෙනෙකුදැයි මට ඒ වෙනතුරු නිනව්වක් නොමැති විය. නමුත් ඉතා සැහැල්ලුවෙන් සිනහාමුසුව මා සමග දොඩමළු වූයේ කලෙක පටන් දන්නා කෙනෙකු සමග මෙනි. සොයුරියගේ පුතණුවන් දැක, මාගේ පුතාදැයි විමසා, 


"පුළුවන්නම්පිට 
මට පිටරටවල් වල ඉන්න අයගේ ඊ මේල් ඇඩ්‍රස් ටික එවන්නකෝ. මේ ඉස්කෝලේ වැඩ වලට පොඩි දඩයක් ගහන්න"යි සිනාමුසු මුහුණින්ම පැවසීය.

නිතරම රතු වස්ත්‍රාභරණයෙන් සැරසෙන ඔහු එදින කොළපැහැති ඇඳුමෙන් සිටිනු දකින මගේ සිත සිනහවකින් පිරවූවද, සොහුගේ නිහතමානී, සැහැල්ලු ඒ වාගේම කැපවීම දකින විට වෙනත් සතුටකින් මගේ සිත පිරී තිබුණි. අදද ඔහු මුණගැසීම මගේ දිවියේ සිදු වූ ගෞරවාන්විත සිදු වීමක් සේ හඟිමි. මන්ද ඒ ඔහුට මා මුණගැසීමට ඇවසි බව පණිවුඩයකින් දන්වා තිබු නිසාය. ඒ මා කළ සැඟවුණු මෙහෙයට ලැබුණු මහා ත්‍යාගය එය වූ නිසාය. 


සෝමවංශ අමරසිංහ නමැති කළුතර මහා විදුහලේ ආදී සිසුවාගේ අභාවය වෙනුවෙන් ලියන්නට යෙදුණු මේ සටහන පල කරන්නට පමා වීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. එතුමා වැනි සුන්දර මිනිසුන් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුමය. සොයුරාණනි ඔබට නිවන් සුව !!!

Monday, June 27, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 38 : අයියේ හොටෙල් එක තියෙන්නේ කොහෙද ? ...... Where is the hotel bro ?

දිගු නිහැඬියාවකට පස්සේ ලියන බ්ලොග් පොස්ට් එකක් වගේම, ලොල් කතාවක්. මේ කතාව අහලා බොහොම කලක් ගෙවුණත්, අද ලැබුණු විවේකයේදී ලියන්න හොඳ මාතෘකාවක් හිතට ආවේම නෑ. පස්සේ මගේ දියණියට ලැබුණු ත්‍යාග වවුචර් පතක් දැක්කම මට මේ කතාව මතයට ආවා. 

කාර්යාලයක සේවය කරන පිරිස වැඩි වශයෙන්ර රස කථා ගෙන එන්නේ තමන්ගේ ගමන් මාර්ගයේ දකින කියන, අත්විඳින්නට ලැබෙන අත්දැකීම් මාර්ගයෙන්. එයට අමතරම රියදුරු වරුන් ළඟ රස කථා බොහොමයක් තියෙනවා. මේ කාණ්ඩයට වැටෙන තවත් පිරිසක් තමයි ආරක්ෂක අංශයේ සේවකයන්. කාර්යාලයට යන එන පුදගයලන් වගේම, එතැනින් ගමන් කරන යාන වාහන වගේම, ජනතාව ගැනත් නිරන්තර ඇස යොමු කරගෙන සිටින පිරිසක් තමයි මේ ආරක්ෂක සේවකයන්. මේ අය අපත් සමග මේ කතාවන් බෙදා ගන්නේ දිවා ආහාර විවේකයේදී නැතිනම්, අපි වාහනයක් එනතරු බලාගෙන ඉන්න වෙලාවට. 

අපේ ඔෆිස් එකේ ඉන්න බොහොමයක් ආරක්ෂක නිලධාරීන් හමුදා සේවයෙන් විශ්‍රාම ගත්ත උදවිය. ඒ අය හමුදා කෑම්ප් වල අත්දැකීම් පවා අපත් සමග බෙදා ගන්නවා. ඒ සමහර කථා මෙහි සටහන් කර තබන්නට අවශ්‍ය පරිසාධන මට්ටමට පහල ඒවා. ඒවා හුදෙක් හමුදාවේ අත්දැකීම් නිසා නොවෙයි. ඒවායේ අන්තර්ගතය පිලිබඳ මා පනවාගෙන තිබෙන ස්වයං වාරණය. දැන් මට කියන්න එපා අනේ ඔන්න ඔහේ දාපං බං කියලා. වැඩි ආගත නාගත නැතිව අපි කෙලින්ම කතාවට බහිමු.

දවසක් උපහාසයත්, තැතිගන්මත් අතර මුහුණක් ඇතිව, තේකක් බී කඩයේ සිට එන අප වෙත දිව ආවේ අපේ සිකුරිටි ගාඩ්ලාගෙන් බාල වයස් කාරයා වෙච්ච නිලන්ත. මිනිහා මූණ රතු, කරගෙන හති අරින ගමන්, හිනාව මැඩ ගන්න උත්සාහ ගන්න ගමන් කතාවක් කියන්න හදනවා. නමුත් වචන පිට වෙන්නේ නැත්තේ අතරින් පතර බකස් ගාලා පණින හිනාව නිසා. මිනිහාට කොහොමත් එවරෙඩි ටයිප් මූණක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ සුචා වගේ මූණක්. මිනිස්සුන්ට අපහාස කරන්න නරක නිසා මම ඒ ගැන වැඩි විස්තරයක් කරන්නේ නෑ. අර සුචා ගැන විස්තරය කියෙව්වොත් ඒ ගැන දැන ගන්න පුළුවන්. 

සර්... සර්... හරි වැඩේනේ වුණේ. මම මෙතැන කොට්ටම්බා ගහ යටට වෙලා ඉන්නකොට කපල් එකක් ආවා. කොල්ලා මගෙන් ඇහුවා "හොටෙල් එක තියෙන්නේ කොහෙද" අයියේ කියලා. මම කිවුවා "ඔය අයිනේ තියෙන පාරෙන් යන්න" කියලා. තව විනාඩි පහකින් විතර උන් දෙන්නා මෙන්න ආපහු එනවා. මම ඇහුවා "ඇයි මල්ලි කාමර නැද්ද?" කියලා. ඒ පාර කොල්ලට තද වුණා. "කාමර ... අපිට ඔනැති කාමරයක් නෑ. අපි ආවේ ඔඩෙල් එකට යන්න. තමුසෙගෙ කුපාඩි කමට ඒක හොටෙල් වගේ ඇහිලා තියෙන්නේ" කියලා යන්න ගියා. ඇයි සර් මෙතැනට එන හුඟක් අය හිතන්නේ අපේ ඔෆිස් එක තමයි රෝලන්කා හෝටලේ කියලා. මොකද බෝඩ් එක තියෙන්නේ අපේ බිල්ඩිම අයිනේ නේ.

අපිට එතකොට තමයි වැඩේ මීටර් වුණේ. අපේ මිනිහට කපල් එක දැක්කම ඔඩෙල් හොටෙල් වගේ ඇහිලා. ඔන්න මම යටින් මැප් එක දානව. රතු පාටින් මාක් කරලා තියෙන්නේ රෝ ලංකා හෝටලය. මේ හරිය හොඳට දන්නා කට්ටියට නම් හොඳට වැඩේ මීටර් වෙයි.

Monday, June 6, 2016

ඔබේ දරුවාත් අකුරු ලියන්නේ අනික්‌ පැත්තටද ? ......

mirror writing examples akuru anika paththata liyana lamai
අවුරුදු පහක් වෙන මගේ දියණිය කඩසාසියේ වම්ද පැත්ත වෙනුවට කුණු පැත්තෙන් ලියන්න පටන් ගන්නේ. බොහෝවිට d අකුර p අකුර සමගත්, p අකුර q අකුර සමගත් පටලවා ගන්නවා, 6 සහ 9 ත්, 2 සහ 5ත් ඒ වගේමයි.ලියන්න ගියාම s,z,l,r,2,5,3,7 අනික් පැත්තට ලියනවා. වෙලාවකට  දර්පණ ප්‍රතිබිම්බය වගේ ලියනවා. සියලුම අකුරු ලියන්නේ දකුණේ ඉඳන් වමට, නැතිනම් ඉලක්කම් අනික් පැත්තට.

some kids writing letters opposite side samahara lamai akuru anik paththata liyanawa

ඩිස්ලේක්සියා ගැන සැලකිලිමත් වෙන්න තරමක් ඉක්මන් වැඩියි කියන කාරණය මම දන්නවා, හේතුව විද්‍යාඥයින් පිළිගන්නේ මොළය වම සහ දකුණ කියන සංකල්පය නිවැරදිව ගොඩනගාගන්න වයස පහත් අටත් අතර කාලයේදී වගේ නිසා. අනික් අතට ඩිස්ලෙක්සියා විශේෂඥයින් උපදෙස් දෙනවා පෙර පාසල් අවධියේම මේ ගැන නැඹුරුවක් ඇත්දැයි පරීක්ෂා කර මැදිහත් වී ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා සහයෝගයක් දෙන්න. කුඩා දරුවන්ට අකුරු ලිවීමත් ඒවා චිත්‍රයට නැගීමත් එක වගේ.  ඔවුන් මාළුවෙක්ගේ චිත්‍රයක් හෝ කටු සටහනක් ඇන්දොත්, මාළුවාගේ මුව වමටද, දකුණටද අඳින්නේ කියා ප්‍රශ්නයක් නෑ. මොකද මාළුවා මාලුවාමයි.

kids never mind drawing fish with birds lamai chithra wala maluwo saha kurullo

ඒක ප්‍රශ්නයක් වෙන්නේ අකුරු  ගත්තම. මේ සංකල්පය උකහා ගන්න යම් කාලයක් ගත වෙනවා. බොහෝ අවස්ථා වල ළමුන් තේරුම් ගන්නවා ඉංග්‍රීසි භාෂාවේ වචන මුද්‍රණය කර තිබෙන්නේ වමේ සිට දකුණට බවත්, s අකුර තිබෙන අත අනුව බලපෑමක් ඇති බව. පළමු පන්තියේදීම ගුරුවරුන් ළමුන් ලවා ඔවුන්ගේ වැරදි නිවැරදි කරවනවා, දෙවන පංතිය අවසාන වනවිට සියළුම ළමුන් වාගේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම අත හරිනවා. වයසින් වැඩීමත් එක්ක ඔබේ දරුවා මේ  දුෂ්කරතාව දක්වනවා නම්, ඔබට වෙනත්  කාරණාවන් පෙනෙන්න තිබෙනවානම්, අමතර උදව් ලබා දීම ගැන සලකා බලන්න කාලය උදා වෙලා. උගෙනීමේ මූලික අධියරයන් වලදී පවා, ඔබේ දරුවාට උදව් කිරීමේ ක්‍රමයක් තියෙනවා. 
workings that helps eliminate dyslexia anik pathtata akurku liyana lamainta abhyasa

අදහස් කිහිපයක්

  1. ඔබේ දරුවාට පොතක් කියවමින් සිටින විට, ඔබේ ඇඟිල්ලෙන් කියවන දිසාව පෙන්වමින් කියවන්න.
  2. ලිවීම පුහුණු වන්නට ඔබේ දරුවා දිරිමත් කරන්න. කිසිදු බාධාවකින් හෝ නිවැරදි කිරීමකින් තොරව, දරුවාට කිහිපවිටක් හෝ වරදමින් එය සිදු කරන්න නිදහස ලබා දෙන්න. 
  3. දරුවාගේ වැරදි නිවැරදි නොකරන්න. දරුවාටම තමන්ගේ වරදක් ඇති බව දැනී ඔබගෙන් ඒ පිළිබඳ විමසන්නේ නම් පමණක් වැරදි පෙන්වා දෙන්න, නමුත් එය විශාල ප්‍රශ්නයක් කර නොගන්න. දරුවා ලියන තරමට එය පහසු කටයුත්තක් වේවි. ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය නිතරම වැරදි පෙන්වා දෙන්නට යාමෙන් මොට කරන්න එපා.
  4. කඩදාසියේ හෝ පොතේ වම්පස ඉහළ කෙළවරේ කුඩා ස්ටිකර් එකක් අලවන්න. එමගින් දරුවාට ලිවීම ආරම්භ කළයුතු අන්තය ගැන ඉඟියක් සැපයේ.
  5. ඔබගේ දරුවා අසීරුතාවක් දක්වන්නේ එක්තරා අකුරක් සඳහානම්, ඉඟියක් මගින් සහය වන්න. උදාහරණයකට "b" අකුරට ඔබගේ බඩට(Belly) ඇඟිල්ලෙන් ඇන පෙන්වන්න. 
  6. ඔබ විසින් අඳින ලද අකුරු මත ලිවීමට දරුවා දිරිමත් කරන්න, නැතිනම් නිවැරදිව අකුරු ලිවීම පුහුණු වන්න  ලාභ අච්චුවක්(Template) ගෙනවිත් දෙන්න.
  7. එම අකුරු ලිවූ සෙල්ලම් කාඩ්පත්, පෝස්ටර් හෝ ඇරයුම්පත් සාදා අකුරු මත ලියන්න දෙන්න. 
  8. බිල්ඩින් බ්ලොක් වලින් රටා සාදා, ඒවා කොපි කිරීමට දරුවාට සලස්වන්න.
  9. අසමමිතික නිර්මාණ කරන්න එමගින් දරුවාට වෙනස් පැති දෙකක් ගැළපීමට උපකාරී වේ. 

කුඩා අවධියේ, ඇත්තෙන්ම සියලලුම දරුවන් ලිවීමේදී සහ කියවීමේදී මේ වැරදි කරනවා. ඇත්තටම චලනය නොවන වස්තූන් හඳුනාගැනීම සඳහා උපකාරී වන, සමමිතික දර්ශන පොදු බවට හරවා ගැනීමේ හැකියාව, දෘෂ්ටි පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක්. දරුවන් කියවීමට ඉගෙන ගනිත්දීම, "b" සහ "d" අකුරු වෙන්-වෙන්ව හඳුනා ගැනීමට නම් ඔවුන් අනික් පසට ඇති අකූරු පොදු දර්ශන ලෙසේ තේරුම් ගැනීම "පුහුණුව අතහැරීම"(Unlearn) කල යුතුය.   සමහර දරුවන්ගේ මේ පුහුණුව අත් හැරීම සඳහා  විකාශනයේ සිටම ලැබෙන නිරායාස හැකියාවම ඔවුන්ට හරහට හිටින අතර විශේෂ මූලාශ්‍රයකින් එය අවප්‍රමාණ කරවන බව පෙනේ.  ඒ පිළිබඳ වැඩි තොරතුරු ඉහත පෙන්වා ඇති පොතෙහි අඩංගු වේ.



http://slpzone.blogspot.com/ හී ඵල වූ "Backward - Mirror Writing in Young Children" ලිපියේ පරිවර්තනයකි.

මෙය සිංහල භාෂාවට කෙතරම් සාධාරණව ගැළපේද යන්න මා හටද විශේෂ අත්දැකීමක් නැත. හේතුව මගේ දියණියද අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලබන බැවිනි. නමුත් සිංහල උගෙනීමෙදී යට "ත", "ක" සහ "න" ද "ර" සහ "ට" ද පැටලුණ බව මතකය ඇත.



Tuesday, May 31, 2016

සහනාධාර : කාසියේ අනික් පැත්ත ...... Flood Relief - the other side of the coin ......

මේ දවස් වල කොළඹ දිස්ත්‍රික්කයට ගං වතුරය. අරණායක නාය ගොස් ඇත. එයට අමතරව තවත් බොහෝ පළාත් වලට නාය තර්ජන ඇත. මෙය ඇතිවුයේ නිරිතදිග මෝසම් තත්වය නිසා නොව, අහම්බෙන් ආ බෝනස් තත්වයක් නිසාය. එයට කියන නම නිශ්චිතවම මතක නැති. මුත් ඇමරිකාව හරහා ගිය කත්‍රිනා රීටා වැනි ඒවානම් ලංකාවේ අපිට හොඳාකාරව මතක තිබේ. හේතුව අපේ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල  උදවිය ඒවා හැඳින්වූයේම ඒ නම්වලින්ම බැවිණි. සුළං ගැන කථා කල මොහොතේ තවත් අතුරු කතාවක් නොකියාම බැරිය.

මා රිවරිනා හෝටලයේ ගිණුම් අංශයේ සේවය කළ අවධියේ, එහි යතුරුලියන සේවිකාව හදිසියේ එකදිගට නිවාඩු ගන්නට යෙදුණි. බොහෝ දෙනා සැක කළේ ඇය වෙනත් රැකියාවක් සොයාගෙන ඇති බවය. මෙවැනි කටකතා අප අතර පමණක් නොව අපගේ කළමනාකාරීත්වය දක්වාදා ගමන් ගන්නේ ලැව් ගිණි මෙනි. සමහරවිට එවැනි කතාවක් ආරම්භ වන්නේ කළමනාකාරීත්වය පැත්තෙනි. තවත් සමහරු වෙනත් කතාවක් කීහ. ඒ ඇය එහි ප්‍රධාන ඉංජිනේරුවා සමග ඇති සම්බන්ධය ගැනය. මේ ආයතනයේ ඉහළ ශ්‍රේණි වල කිසිවෙකු ස්ථිර සේවකයන් නොවූහ. ඔවුන් සේවය කලේ කොන්ත්‍රාත් පදනමෙනි. එනිසා ඔවුන් සේවය කරන වැඩිම කාළය අවුරුදු හතරකි. එසේ තමන්ගේ අවුරුදු හතර හෝ අට සම්පූර්ණ කල ඉංජිනේරුවා වෙනත් රැකියාවකට මාරු වී ගොසිනි. 

කටකථාවට අනුව යතුරුලියන්නියගේ අතුරුදහන් වීම එනිසා ඇති වූ සිත් තැවුල නිසාය. එකම වහලක් යට බිරින්දෑවරු හතරක් තබාගෙන සිටි බවට නිවාස පාළන අංශයේ කෙනෙකු මා සමග පැවසීය. ඒ ඔහුගේ බිරිඳ, නඩත්තු අංශයේ යතුරුලියන්නිය, පිළිගැනීමේ අංශයේ සුන්දර ලඳක් (එයා ගැන ලියැවුණු ලොල් කතාව ) සහ අපේ යතුරුලියන්නියය. 

නරකම නෑ නේද? මිනිහා හෙන හැන්ඩියා. ඒ වගේම ජේත්තු කාරය. ගානට ට්‍රිම් කරපු රැවුල, උසට සරිලන මහතා කාගේත් හිත් වසඟ කළා. ඇත්තටම අතුරු කතාවත් මේක නෙවෙයි මේක අතු-අතුරු කතාවක් ( විජේ  අන්කල්ගේ නාමරකණයට අනුව). ඇය විසින් ටයිප් ගසන්නට යෙදුනු බොහෝ දේ ලෝටස් සහ වර්ඩ්ස්ටාර් මගින් මවිසින් පරිගණක මුද්‍රණ ලෙස ලබා දෙන්නට යෙදුනු නිසා, ඇයට තනිකරම ලියුම් ටයිප් ගැසීම පමණක් ඉතිරි විය. ඇයගේ මේ හදිසි අතුරුදන් වීම සැලකිල්ලට ගෙන තාවකාලික අනුප්‍රාප්තිකයෙකු ලෙස සිල්වා නමැති රජයේ සේවය කොට විශ්‍රාම ගත් කළු, හීන්දෑරි මනුස්සයෙකු තාවකාලික පදනම මත සේවයට ගෙන තිබුණි. රජයේ සේවකයෙකු ලෙස කෙතරම් අත්දැකීම් තිබුණද, සංචාරක හෝටලයක වැඩ කෙරෙන අකාරය පිළිබඳව ඇති අල්ප දැනුම සහ සමහර යෙදුම් පිලිබඳ නොදැනුවත් නිසාම ඔහු මා සිටි කාමරය සහ ප්‍රධාන ගණකාධිකාරී වරයාගේ කාමරය අතර ඇති තල්ලු දොර ඇරගෙන මා සමග කතාවට පැමිණේ. රාජකාරි වෙලාවේ කතාබහ මෙවැනි ආයතන අනුමත කරන්නනේ නැත. නමුත් මාගේ පියාගේ වයසේ පසු වූ මේ පුද්ගලයාට මේවා පැහැදිලි කල නොහැක. දිනක් මාගේ රාජකාරි හැඳුනුම්පත අතටගත් ඔහු, මුලසිට අගට කියවා

"ආ පුතා ඔයාලා හරි පෝසත් කට්ටිය නේද, ගෙදරට ටෙලිෆෝනුත් තියෙනවා?"

"අනේ නෑ මිස්ට සිල්වා, ඔය තියෙන්නේ මේ ඔෆිස් එකේ නම්බර් එක"

දවසක් මේ මිනිසා සමග අල්ලාප-සල්ලාපයක යෙදුනු අපේ ගනකාධීකාරී වරයා, ඔහු සමග කථාවෙන් සතුටක් ලබන බව අපට පැහැදිලි විය. සිල්වා උන්නැහේ නිනව්වක් නැති  වක්කඩ කැඩුවා සේ කථාව කරගෙන යයි. මෙවැනි විටක ඇහෙන් සන් කර අප කැඳවීම ගණකාධිකාරී වරයාගේ සිරිතයි. ඒ වනවිට ඔවුන් දෙදෙනා ගූගෝල විද්‍යාව පිලිබඳ කථා කරයි. ඒ මදිවට ඉංග්‍රීසියෙනි. ලෝකයේ එක්-එක් රටවල ඇති චණ්ඩ මාරුත ගැන සිල්වා උන්නැහේ කියවයි. ඉන් මගේ මතකයේ තිබෙන්නේ "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" පමණය. ඉන්පසු දිනක එතැනින් යන ගණකාධීකාරී තැන 
"මිස්ටර් සිල්වා මොකක්ද අර වෙස්ට් ඉන්ඩීස් වල හමන හුළඟ ?" යනුවෙන් අසයි. ඒ හැමවිටකම කිසිම පැකිලීමක් නැතිව "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" නේ මිස්ටර් රත්නායක යනුවෙන් පවසන්නේ පන්තියේ ගුරුතුමාගේ පැනයට උත්තර දෙන දීප්තිමත් සිසුවෙකු මෙනි. අන්තිමට සිල්වා උන්නැහේට වැඩි දිනක් යන්නට මත්තෙන් හරිකේන් යනුවෙන් කාඩ් එකක් වැදිණි. රජයෙන් සපයන සාගත මල්ලද රැගෙන පැමිණෙන මේ කළු හීන්දෑරි මිනිසා ගැන මට ඇති වී තිබුණේ කම්පාවකි. අදද වයස හැට ඉක්මවා ගිය මිනිසුන් කොතැනක හෝ සේවය කරන විට මගේ හිතට අනුකම්පාවක ඇතිවේ. ඒ නිසි විශ්‍රාමික ක්‍රමයකට උරුමකම් නැති නිසා එසේ කඹුරන්නට සිදු වන නිසාය. සිල්වා මහතාගේ අවිවාහක දියණියන් දෙදෙනෙකු සිටින නිසා එසේ සේවයට පැමිණ ඇත. දිනක් අපේ කෑම කාමරයේ ආහාර අවසන් වී ඇති මොහොතක, එකවුන්ටන් තැනගේ කුඩා චිට් එකකින් රස-මසවුලක් භුක්ති විඳින්නට ලැබුණු විටෙක, "දේ ෆෙඩ් මී වෙල්" යනුවෙන් ඉතා සතුටෙන් පවසන විට අනුකම්පාවක් ඇරෙන්න කිසිදු හැගීමක් නොනැගින. අවසානයේ මර්සි නමැති අපගේ ටයිපිස්ට් පැමිණීම නිසා, ඔහුගේ වැඩ අවසන් වන දිනයේදී, ඔහුගේ මුහුණ දකින්නට දුකය. අතුරු කතාව එතැකින් නිමයි.

දැන් අපි සහනාධාර බෙදීමට යොමු වෙමු. සහනාධාර බෙදීමට මෙවර බොහෝ කණ්ඩායම් ඉදිරිපත් විය. මේ අතුරින් ෆේස්බුක් සමූහයන් කැපී පෙනුණු අතර සියලුම මාධ්‍ය ජාල මේවා තරගයක් මෙන් කරගෙන යති. විශේෂයෙන්ම රූප මාධ්‍ය විසින් සිදු කරන ප්‍රචාරණ දෙනෙතට කඳුළු නංවන සුළුය. ඉතාම සංවේදී ජනතාවක් සිටින රටක් මේවාට හොඳ තෝතැන්නකි. එසේ පවසා එකතු කරන ද්‍රව්‍ය ඔවුන්ගේ ලේබලය සහිත මල්ලක ගෙනගොස් දෙන්නේ විපතට පත්ව ඇති ජනතාව කෙරේ ඇති සැබෑ අනුකම්පාවෙන්මද යන්න සක සහිතය. එසේ ඔවුන් කරන ලද සමාජ සත්කාරය ගැන උදම්අනන්නටද ඔවුන් වග බලා ගනිති. මගේ දියණිය මේවා බලාගෙන හිඳ අපූරු ප්‍රශ්නයක් මගේ ඇසුවාය. ඒ 

"ඇයි තාත්තේ ඒ බඩු ගන්න මිනිස්සු දන්නේ නැද්ද, ඒගොල්ලෝ මිනිස්සු ගෙනැත් දෙන දේවල් අනිත් මිනිස්සු දීපු ඒවා කියලා. ඒගොල්ලෝ තැන්ක්ස් කරන්නේ ටී.වී. එකටනේ"

මේ ව්‍යසනය දැක හිත උණු වෙන ජනතාව මේ පරිත්‍යාගයන් කලේ ඇති කමකට නොවන බව අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ. කවුරුත් හැකි සහ නොහැකි පමණින්ද තමන්ගේ ආධාර එකතු කර මේ මාධ්‍ය වෙත ගෙනගොස් බාර දෙති. සමහරු මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීමට ඇති කැමැත්තෙන්ම මේවා කරන බවද පසක් වන්නේ ඒවා පෙන්වන විටදීය. කොහොමත් සාමන්‍ය ජනතාවට එම ප්‍රදේශ තහනම් කලාපයක් කල කල්හී, ඔවුන්දට විකල්පයක් නැත. එසේ කෙලින්ම ආධාර බෙදන්නට යම්කිසිවෙක් ඉදිරිපත් වූවානම් ඔවුන්ට ඒවා බෝට්ටු හරස් කර අත්පත් කරගන්නා මැති-ඇමති ගොල්ලන්ට බාරදී, පින් නැතිව ගෙදර එන්නට සිදු වූ අවස්ථාවන්ද වාර්තා වේ. 

මා කියන්නට යන්නේ මේ කිසිවක් නොවේ. මේවා සාමාන්‍ය සිද්ධීන් බව මෙය කියවන ඔබට පැහැදී ඇත. නමුත් සහනාධාර පිළිබඳ නොපෙනෙන සත්‍යය යම්කිසි මට්ටමකින් හෝ හෙළිදරව් කිරීම මගේ බලාපොරොත්තුවයි.  නිතරම නොවුණත්, මා අසල්වැසි දසනායකගේ කඩයට ගොඩ වූ විටෙක ඔහු සමාජයෙන් උකහා ගන්නා අපූරු තොරතු මා වෙත දිග හරී. පසුගිය සමයේ ලංකාවේ ඇස්ට්‍රා මාගරින් හිඟයක් පැවත ඇත්තේ, හොරණ ඇති එහි කර්මාන්ත ශාලාවේ ඇති වූ හදිසි ගින්නක් නිසාය. නමුත් ඔහුගේ කඩයේ සැචේ ප්‍රමාණයේ ඇස්ට්‍රා තිබේ. මේවා කෙලෙස ලැබුණේදැයි මගෙන් විමසා, පිළිතුරක් දෙන්නටද ප්‍රථම මෙසේ පවසාගෙන යයි

"කිව්වට විස්වාස කරන්න, මේ පාර ඇස්ට්‍රා ලංකාවට ගෙන්වලා තියෙන්නේ ඉන්දියාවේ ගහලා. ඒ ගෙනාපු පලවෙනි තොගේ කෙලින්ම සහනාධාර වලට දීලා තියෙන්නේ. ඒ බඩු ඊට පස්සේ කෙලින්ම ඇවිත් තියෙනවා පිටකොටුවේ තැනකට. මම එතැනින් ගත්තේ". මේ සහනාධාර වල එක් අතුරුපලයකි. ඒවා ලබන්නන් කරන එක දෙයක් වන්නේ අඩු මුදලට ඒවා විකුණා දැමීමයි. දසනායකට අනුව රුපියල් ලක්ෂයක දෛනික ආදායමක් ඇති, ගංවතුරට ආසන්නයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් තම ඥාති නිවසක සිට මේ ආධාර ගැනීමට සිටින්නේ කඩය තාවකාලිකව වසා දමාය. ඔහුගේ දිනක ලාභය රුපියල් දහදාහක් යයි සිතුවහොත්, මේ ලැබෙන මලු වලින් එක්කෝ ඊට එහා ආදයාමක් ඔහු ලබයි, නැතිනම් එසේ එකතු වන ද්‍රව්‍ය අඩු මුදලට ඩැහැ ගන්නට ඔහු එසේ කරයි.

කොහොමටත් සනහාධාර ලබන්නාට ඒවා ඒ හැටි වටිනාකමක් නැත. මන්ද ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගන්නේ ඔවුන් නොවන නිසාය. මේවා පරිත්‍යාග කල අයගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් හැර අන් සියල්ලන්ම ඉතා වෙහෙස මහන්සි වී මේවා උපයා ගනී. බඩු-මිල හෝ වැට් වැඩි වීම ගැන ඉතා තැවුලෙන් පසු වේ. නමුත් අනුන්ගේ දුකේදී හිත උණු වේ. ඉතිං හැකි පමණ සහ නොහැකි පමණ දන් දෙයි. තුර්කි ජාතිකයෙකු මුහුනුපොත හරහා කළ හෙළිදරව්ව එයට ලැබුණු හොඳම සහතිකය වේ. ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ පුදුමාකාර දනට - පිනට කැමති ජාතියක් වෙසෙන රටකය. 

දුකට පත් සියලු දෙනා මෙසේ සහනාධාර ඉල්ලාගෙන පැමිණෙන්නේ නැත. ඒවාට පුරුදු වූ පිරිසක් ඇත. ඔවුන් හැමදේම එසේ ලැබිය යුතු යයි විශ්වාස කරයි. කැළණි ගඟ අද්දර අනවසර ස්ථාන වල ජීවත් වූවන්ට නිවෙස් පවා ලැබී ඇතත් ඔවුන් ඒවා බදු දී යලිත් මේ අනාරක්ෂිත ප්‍රදේශ වලම කරක් ගසන්නේ සහනාධාර නිසාම නොවේ. නමුත් මෙවර ගංවතුරෙන් අනපේක්ෂිත ප්‍රදේශ කිහිපයක්ද යට වූ බව සත්‍යයකි. එහෙත් එම ප්‍රදේශ වල නිවාස ඉදිකිරීම් දෙස මොහොතක් බැලුවොත් ඉන් කීයක් අදාළ ප්‍රාදේශීය සභා වල අනුමත ගොඩනැගිලිදැයි ඔබට වැටහෙනු ඇත. 

සහනාධාර නොනැවතී ලබා දුන්නොත් ඔවුන් කිසි දිනෙක යලිත් ඔවුන්ගේ නිවෙස් වෙත යන්නේ නැති බව මා දන්නේ අද ඊයේ නොවේ. ඒ දකුණේ ප්‍රදේශ ගණනාවක සේවය කරන (වර්ල්ඩ් විෂන්) මගේ මිතුරියක් කල හෙළි දරව්වෙනි. නියං සහනාධාර ලබන කිසිවෙකු ඔවුන්ගේ නිවෙස් වල වහල ගසන්නේ නැති බවත්, එසේ නොකරන්නේ සහනාධාර අහිමි වන නිසා බවත් ඇය පවසයි. ඒවා දැන-දැනත් ඔවුන් තමන්ගේ ආධාර ව්‍යාපෘති කරගෙන යයි. මේ පෙදෙස් වල ජනයා වැස්ස වැටෙනවාට කැමති නැත.

සාමාන්‍යයෙන් අපේ ර‍ටේ මිනිසුන් කම්මැලි බව අප සියලු දෙනා පිළිගත යුතු සත්‍යයකි. නිකං ලැබෙන දේ තොග වශයෙන් එක්කාසු කර ගන්නන්ද සිටින බව නොකිවමනාය. ඒ පිලිබඳ කදිම ලිපියක් යාන්හැල්ල ලියන සුරංග කර ඇත. සියලු දෙනාම එය කියවන්නට ඇතැයි සිතමි. සහනාධාර ලබන්නාට එහි වටිනාකම අඩුය. ඔබ පේපර් සර්වියට් පැකට් එකක් එවැනි කෙනෙකුට ලබා දී ඔවුන් කරන දේ බලා සිටින්න. ගෙදරදී අප පේපර් සර්වියෙට් පැකට් එකක් රැගෙන ආවද, එය අමුත්තෙකු සිටින විට භාවිතා කරන්න ලබා දුන්නද, ඉතිරි ඒවා අරපරිස්සමින් තබන බව මා අත්දැකීමෙන් සහ නිරීක්ෂණයෙන් දනිමි. නමුත් ඔබ වෙනත් ස්ථානයක පේපර් සර්වියෙට් නොමිලයේ ලබා දී ඒවා භාවිතා කරන අයුරු බලා සිටින්න. ඔවුන් සපත්තු පොලිෂ් කරන්නද, පිගන් පිහින්නද, වාහනයේ වීදුරු පිස දමන්නද, කන්නාඩි පිරිසිදු කරන්නද ඒවා භාවිතා කරයි. හේතුව ඒවා මිලදී ගන්නට ඔවුන්ගේ පොකැට්ටුවෙන් සතයක් හෝ වැය නොවන නිසාය. 

සහනාධාර වල සරල කතාන්දරය ඉහත පේපර් සර්වියෙට් උදාහරණයෙන් පැහැදිලි වේ. ලබන්නා ඒවාට කරන වියදමක් නැති නිසා ඔවුන් නොමසුරුව ඒවා භාවිතා කරයි. තම මහන්සියෙන් රුපියලක් උපයාගත් පුත්‍රයා, තමාගේ පියා ලිපට එය විසි කල කල්හී හැසිරුණු ආකාරය කියවෙන කතාව මේ මොහොතේ සිහිපත් වේ. සහනාධාර ලබන්න්නා කම්මැලි වේ. උපයන්න උදාසීනය. කාගෙන් හෝ කඩාපාත් වනතෙක් බලා සිටී. පහුගිය සමයේ තමන්ට ඉන්න තැනක් නොමැති බවට ආණ්ඩුවට මැසිවිලි නගන අයුරු ඔබත් මාධ්‍යයෙන් දකින්නට ඇත. 

වරක් අප මතුගම ප්‍රදේශයේ එක් අසරණ පවුලකට නිවසක් සාදා දෙන්නට ඉදිරිපත් වූයෙමු.  වරින්වර කණ්ඩායම් වශයෙන් නිවාඩු දමා ගොස් ශ්‍රමදානයෙන් වැඩකටයුතු කළේ ඒ සඳහා දරන්නට වන බරපැන අවම කර ගැනීමටය. අප නිවසේ බිත්ති කඩමින් වයරින් කටයුතු වල යෙදෙද්දී, එම ගෙදර ගෘහ මූලිකයා වගේ-වගක් නැතිව සුපවයිසර් මෙන් බලා සිටියේය. නමුත් ඔහුගේ රැකියාව කුළී වැඩය. තමන්ගේ නිවසේ කෙරෙනේ කටයුත්තේදී ඔහු මෙයට වඩා යුහුසුළු වියයුතු නේදැයි අප අපිටම කියා ගත්තෙමු. 

මගේ කාර්යාලීය මිතුරා එක් පවුලකට මාසිකව යම් මුදලක් සපයයි. ඔහු ඒ තීරණයට එන්නේ එය ලබාදෙන්නට යෙදුනු කාලයේ එකී පවුලේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය. නමුත් අද තත්වය ගැන සලකා ඔහු මේ මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළහොත්, එයට මුහුණ දීමේ ශක්ශ්තිය එකී පවුලට නැත. මන්ද ඔවුන් අඩුවෙන් මුදල් ඉපැයීමට පුරුදු වී ඇති නිසාය. නැතිනම් යම් මුදලක් නාස්ති කිරීමට ඇබ්බැහි වී සිටීම නිසාය. 

අවසානයේදී මගේ විශ්වාසය නම් "සහනාධාර වහක්" බවය. ඒ මගින් මිනිසුන්ගේ උද්යෝගය හීන කරයි. මේ දිනවල විනාශ වූ නිවෙස් පිළිසකර කරගැනීමට හෝ පිරිසිදු කර ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම ඉතා හොඳ දෙයකි. නමුත් ලබන වසරේ ඔබ එයට ඉදිරිපත් නොවුනහොත් ඔවුන් මැසිවිලි නගනු නියතය.  මෙය සාමාන්‍ය තත්වයකි. මාගේ මේ ලිපියේ අරමුණ ත්‍යාගශීලී ජනතාව හෝ ස්වේච්චාවෙන් සේවය කරන ඔබ මන්දෝත්සාහී කිරීම නොව, සහනාධාර නමැති කාසියේ අනෙක් පැත්ත පිලිබඳ පෙන්වා දීමටය. 

මා ජීවත් වන කළුබෝවිල ප්‍රදේශයේ සුදර්ශි මාවත නොවැම්බර් මාසයේ කොළඹට වැටෙන මහා වැස්සට අඩියක් පමණ ජලයෙන් පිරී යාම සාමන්‍ය සිද්ධියකි. එසේ පිරෙන ජලය ගැන කිසිවෙකුට මැසිවිලි නොනගන ප්‍රදේශයේ ජනතාව, වතුර අස්කර ගැනීමද, වැසි ඇදහැලෙනවිට බඩු-භාණ්ඩ උස්තැන් වල තැබීමද, නිවෙස් වලට ගලාගෙන ආ මඩ හෝ කසල ඉවත් කර ගැනීමද, විෂබීජානුහරණය කර ගැනීමද කර ගනිති. මෙම ප්‍රදේශයේ බෑවුමක මේ පාර පිහිටා ඇත. ඇල අසලම ජීවත් වුවද, එයට ජලය රැගෙන යන කානු පද්දතිය අවහිර කර සමහරුන් තාප්ප ඉදි කර ඇත. තවත් කෙනෙක් තමන්ගේ නිවසේ මළපහ පද්දතියෙන් බටයක් එයට යොමු කර ඇත. උදෑසනක පාරට බටහොත් මෙකී පද්දති වල දුර්ගන්ධය ආග්‍රාහනය කරගත හැක. මෙසේ වැසිජලයෙන් වන විපතට බොහොමයක් දෙනා කුඩා බැම්මක් ඉදි කර අතුරු විසඳුමක් සිදු කලද, කිසිදු මාධ්‍යයක් මේවා වාර්තා කරන්නට එන්නේ නැත. වරක් මෙවැනි රජයේ අඩුපාඩු ගැන මහා දුකකින් වාර්තා කරන මාධ්‍යයක් මෙය ඔවුන්ගේ නාලිකාවේ පෙන්වීමට ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් පනස්දාහක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. අද කෙරෙන මාධ්‍යකරණය පිලිබඳ ඇතුල් පැත්තද එලෙසය. 

ඇඳුම් ලබා දෙන්නේ නම් පාවිච්චි නොකළ ඒවා දෙන ලෙස ජනතාවට අණ කරන්නේ ඇයිදැයි මට ගැටලුවකි. අඳින්නට පුළුවන් හොඳ තත්වයේ වෙනත් කෙනෙකුගේ ඇඳුමක් විපතට පත් මොහොතක අඳින්නට නොහැකි වන්නේ කුමන අරුමයක් නිසාදැයි මට පැහැදිලි නැත. හදිසියකට යාලුවෙකුගේ හෝ ඥාතියෙකුගේ ඇඳුමක් නොඇඳි කෙනෙකු සිටීදැයි නොදනිමි. ඒ දෙන ඇඳුම් තමන්ට අඳින්නට රිසි නොවේනම තෙත් වූ පොලොව මත දමා කකුල් පිස ගැනීමට හෝ භාවිතාව කල හැකිය. නමුත් දෙන්නාට මේ ගැන තිබෙන කැක්කුම ලබන්නාට නැතිබව මේ ප්‍රකාශ වලද ගැබ් වී ඇත. 

සහනාධාර ලැබූවෝ පසුකාලීනව ඔවුන්ට උදව්-පදව් කල අයට මැසිවිලි නගන අවස්ථාද සමාජයේ අසන්නට ලැබේ. අපිට එහෙම උදව් නොකළානම් අපි කොහොම හරි අපේ දේ කර ගන්නවා යන්න ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි. සත්‍යම කතාවද එයයි. මිනිසුන්ට උදව් කල යුත්තේ අන්ත අසරණ භාවයට පත් වී ඇතිබව ඔබට සක්සුදක් සේ පැහැදිලි නම් පමණක් බව මගේ විශ්වාසයයි. රැල්ලට දුවන්න ගියහොත් ඔබ කලදේ ගැන ඔබටම පසුතැවිලි වන්නට සිදුවනවා ඇත. අනේ අපි කලේ පිනට, එයාලා කළ දේ එයාලා අරගෙන යයි, කියන ප්‍රසිද්ධ බොදු වැකිය නිසා, අපේ රටේ මිනිසුන් පිං ලැබීම අරමුණු කරගෙන මෙසේ පරිත්‍යාග කරයි. නමුත් සහනාධාර බෙදු සැම අවස්ථාවකම ඒවා ගසා කෑ පුවතක් පසුව අසන්නට ලැබේ. 

මෙම සටහන තැබීමේ අරමුණ, සද් භාවයෙන් විපතට පත් ජනයාට උදව් කරන්නට ඉදිරිපත් වන ඔබ මන්දෝත්සාහී කිරීම හෝ හිතේ ඇතිවන කුහකත්වයක් නිසා නොවන බව මෙහි සටහන් කර තබමි. ඔබ යම් සද්කාර්යයකට මේ වනවිටත් එක් වී ඇතිනම් ඒවා දිගටම කරගෙන යන්න. නමුත් මේ යතාර්ථය දකින්න. 

Saturday, May 7, 2016

මගේ ක්‍රිකට් පිස්සුව අංක 1 : ටෙනිස් බෝලය ......

මගේ ක්‍රිකට් පිස්සුව කොයි තරම්දැයි අසා දැන ගත හැකි කිහිප පලක්ම වේ. ඒ මගේ දෙමව්පියන්, මගේ ගමේ අසල්වැසියන්, බෙන්තොට ග්‍රාමයේ ප්‍රදේශවාසීන්, පස් වසරක් මා නවාතැන් ගත් ගමගේ මහතාගේ නිවසේ අය, සහ මහජන බැංකුවේ මගේ සහෝදර සාමාජිකයින්ය. නමුත් කුඩා කලසිටම බොහෝ දෙනෙක් ඊට කිසිම සහයෝගයක් නුදුන්නෝය. ඒ අතර ඉහළින්ම සිටින්නේ මගේ දෙමව්පියන්ය. විදුහල්පති/ගුරු ජෝඩුවක් වූ ඔවුන්ට උවමනා වුයේ මා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වනු දැකීම නොව ඉංජිනේරුවකු වනු දැකීමය. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණ වුවත් මගේ හිත පාලනය කිරීම ඔවුන්ට කිසිසේත් කල හැකි දෙයක් නොවීය. ගමේ අසල්වැසියන්ගෙන් නම් ඊට නොමද සහයක් ලැබිණි. 

විශේෂයෙන්ම මගේ එවකට හොඳම මිතුරකු වූ සම්පත්ගේ නිවසින් මට කදිම සහයක් ලැබිණි. ඒ මගේ දෙමාපියන් හිතාමතාම මට සපත්තු කුට්ටමක්(ක්‍රීඩා කරන) ලබා නොදුන්නත්, සම්පත්ගේ සපත්තු කුට්ටම ඉල්ලාගෙන ගොස් ක්‍රිකට් ක්‍රීඩා කර නැවතත් ඔහුගේ කාමරයෙන් තබා යාමට මට දී තිබූ අවසරයි. එවකට සම්පත්ගේ මව වූ මාලිනී මිස් මා දුටුවේ දේව දූතියක් ලෙසය. එකටම ක්‍රිකට් හෝඩි පොතේ මුලකුරු කියවූ සම්පත්ගේද ඊට විරෝධයක් නොවිණි. එකල මා අධ්‍යාපනය ලැබූ පාසල කිසිවක ක්‍රිකට් ක්‍රීඩාව නොතිබිණි. නමුත් බෙන්තොට ක්‍රීඩා සමාජය එකල ඩේලි නිවුස් කුසලානය සඳහා ක්‍රීඩා කල ඉතා ප්‍රබල කණ්ඩායමක් විය. ඒ කෙසේද යත් අපගේ වැඩිහිටි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ සමරේ අයියා නොහොත් සමරසිරි ප්‍රනාන්දුට එවකට සිලෝන් ටීම් එකේ කැඳවීමක්ද ලැබී තිබුණි. නමුත් පුහුණුකරුවන් අල්ප යුගයක ඔහුගේ පන්දු යැවීමෙන් පසු ඉරියව්ව(Follow Through) අඩුපාඩුවක්(තණතිල්ල මත දිවීම) නිසා එම අවස්ථාව ගිලිහුණු පසුව අසන්නට ලැබිණි. එකල අප ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළේ ලණු පැදුර මතය. එනිසාම ඔහුට ඒ ගැන නිසි අවුබෝධයක් නොතිබෙන්නට ඇත. ගාල්ල රිච්මන්ඩ් විදුහලට ක්‍රීඩා කල චන්දන අමරසිංහ අයියා මගේ සිත්ගත් ක්‍රීඩකයා විය. 

මා ගිය ආත්මයේදීත් ක්‍රිකට් ක්‍රීඩා කල අයෙකු විය යුතු බව එකල මගේ ඇසුරේ සිටි සම්පත්ගේ බාප්පා කෙනෙකු වූ ඇල්ටන් අයියා(අංකල්)ගේ මතය විය. ඒ මා කුඩාකල කඩයට යනවිටත් පන්දු යවන ඉරියව්වක් අනුගමනය කරමින් යන නිසාය. මේවා ඔවුන් දැක ඇති ප්‍රමාණයට අනුව ඔවුන් මේ නිගමනය වලට එළැඹෙන්නට ඇත. එකල මා අනුගමනය කළේ ඩී.එස්. ද සිල්වාගේ පන්දු ඉරියව්වයි. කුඩාකළම නිසි පුහුණුවක් ලැබීම නිසා මා පා දඟ පන්දු යැවීමට නිපුණත්වයක් දැක්වූ නමුත් ඒ හා සමානවම කඩුලු රැකීමට හැකියාව මට තිබුණි. පුහුණුවීම් කල කාල වලදී මා තෝරා ගත්තේ කඩුලු රැකීමයි. 

අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨ කණ්ඩායම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරත්දී (ඔවුන් ක්‍රීඩා කළේ මගේ නිවසට ආසන්නව ඇති මහ ඉස්කෝලේ නමැති පාසලට අයත් ක්‍රීඩාංගනයේ මගේ නිවසට කිට්ටු කෙලවර දැලකින් වටකොට තනාගත් බාගතිල්ල්ක් {Half Pitch} මතය). ඔවුන්ගේ දෙවෙනි පෙළ වූ ටුටු අයියා ඇතුළු සමාගම (බර්නාඩ් අයියා, බේශාන් අයියා, රංජි බා, වසන්ත අයියා, වීරසේකර ලොකු අයියා, ප්‍රේමජයන්ත අයියා, ඉන්දු අයියා ) ටෙනිස් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කළෝය. මේ කණ්ඩායම මේ ක්‍රීඩාංගනයට අහම්බෙන් පාත් වූයේ, ගාමිණි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනය ඔවුන්ට භාවිතාව තහනම් කල පසුය. එයට පදනම් වූ කතාව තරමක් දිග මුත් මෙහි සඳහන් කිරීම වටී.

අපට තරමක් දුරින් ඥාතියෙකු වූ බන්දු සර් නමින් හඳුන්වන, ගාමිණි විද්‍යාලයේ පී.ටී. ගුරුවරයා කලක් අප ක්‍රීඩා සමාජයේ ක්‍රියකාරිකයෙකුව සිට ඇත. පසුව කුමක් හෝ විරසකයක් නිසා ඔහු එයින් ඉවත් වී ඇත. ඉන්පසු එතෙක් එම ක්‍රීඩාංගණයේ(එවකට දකුණු පළාතේ දෙවැනි විශාලම ක්‍රීඩාංගනය ලෙස පිළිගත්) ක්‍රීඩා කිරීම ඔවුන්ට තහනම් කර ඇත. එනිසා මහත් වියදමක් දරා නිමවන ලද ක්‍රිකට් පිච් එක පවා අතහැර ඔවුන්ට මේ ක්‍රීඩාංගනයට පල්ලම් බැසීමට සිදු විය. ඉන් පසු එම ක්‍රීඩාංගනය ගොඩ කරනවා යනුවෙන් සඳහන් කර තැනින් තැන මැටි ලෝඩ් අතුරන්නට යෙදිණි. පසුව තේරුණේ බන්දු සර්ගේ නිවසට යාබද කන්දක් කපා එම මැටි සපයාගෙන ඇති බවයි. අද කාලයේ සිදු වූවානම් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යාමට තරම් කාරණාවක් වනු ඇත. එයින් උරණ ඌ අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨයින් ඉන්පසු දිනක බන්දු සර්ට ඉදිමෙන්නට පහර දී තිබුණි.

කෙසේනමුත් එය මට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා ක්‍රිකට් ක්‍රීඩාවේ අයන්න - අායන්න හැඳින ගත්තේ මේ ක්‍රීඩාංගනයට ඔවුන් සම්ප්‍රාප්ත වූ පසුවය. මේ කාලයේ ලෙදර් පන්දු ක්‍රීඩාවට වඩා වැඩියෙන් ටෙනිස් බෝල් ක්‍රිකට් සිදු විය. අපට ඔවුන් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණේ, ක්‍රීඩාංගණයේ එතෙක් ක්‍රීඩා කල පිරිස ඔවුන්ට එකතු වීම නිසාය. එකල කුඩා දරුවන් වූ අපට ටෙනිස් බෝල් ක්‍රීඩාව සිහිනයක් විය. සම්පත්ලාගේ වත්තේ රබර් බෝලයෙන් අපි එවකට ක්‍රිකට් ක්‍රීඩා කළෙමු. නමුත් සම්පත්ගේ ආත්මාර්ථකාමී සහ කෝපාවිෂ්ට ක්‍රීඩා විලාසය නිසා එය අපට නීරස අත්දැකීමක් විය. මට ටෙනිස් බෝලයක් අල්ලන්ට අවස්ථාව ලැබුණේ එය අපේ වත්තට විසි වූ කලෙකය. ටෙනිස් බෝලයක ඇති මේ තරම් අරුමය කුමක්දැයි ඔබට මේ වෙලාවේ සිතෙනු ඇත. නමුත් අප කුඩාකල ටෙනිස් බෝල අදතරම් සුලභ නැත. කොටින්ම එය කඩයෙන් මිලදී ගන්නට හැකියාවක් නොතිබුණි.

මෙය ඇල්ලු මොහොතේ මා සිතා ගත්තේ මා ටෙනිස් බෝලයක් හදනවා යන්නයි. මගේ මිතුරන් මේ ගැන අදහස් දක්වන විට සඳහන් කළේ එම බෝලයට පුළුන් අලවා ඇති බවයි. අතට අසු වූ මොහොතකවත් වැඩි වෙලාවක් තබා ගන්නට නොහැකි බැවින්, මටද ඒ ගැන ඉන් එහා ගිය අදහසක් ගන්නට නොහැකි විය. නමුත් පරිසරය පාඩමේ උගත් පරිදි මේවා කෙරෙනවා ඇත්තේ බැටළු ලොම් වලින් බව මගේ විශ්වාසයයි. ලංකාවේ බැටළුවන් නැත. එකවිටම මගේ සිහියට ආවේ අපේ පූස් තදියායි. නිකං ඉඳන් බද පුරවා ගන්නා පූස් තදියාට පාඩමක් උගවන්නත් එක්කම උගෙන් මයිල් ගලවා ගනිමි යන්න අදිටන් කර ගතිමි. එහෙත් පූසාට කිට්ටු කර මවිල් ජුණ්ඩක් කපා ගන්නට හදන සෑම මොහොතකම ඌ වේදනාකාරී හඬක් පිට කරමින් පලා යයි. වෙනත් විකල්පයක් අහලපස්මාණයක  නැතිවිට පුළුං මා හට ඇති එකම විකල්පය විය.


කපු පුළුන් කෙසේ වෙතත්, අපගේ වැට මායිමේ ඇති කොට්ට පුළුන් ගසෙන් නොමිලයේ වැටෙන පුළුන් කදිම ආදේශකයක් විය.  අල්ලන්ට අවශ්‍ය පුළුන් සහ ගම් ස්වල්පයක් සපයා ගත්තද, එයට සරිලන බෝලයක් හොයා ගන්නේ කෙලෙසදැයි දස අතේ කල්පනා කළෙමි. එම ප්‍රමාණයට සමාන, බෝලයක් වැනි දෙයක් මා දුටුවානම්, ඒ අපගේ කෑම මේසයේ කකුලේ ඇති කැටයම් බෝලයයි. ගේ පිටුපස වරක් ඇවිදින මට, අත්හැර දමා ඇති මෙවැනි කකුල් තුනක මේසයක් හමු විය. මොහොතක් හෝ ප්‍රමාද නොවී, මන්නය අතට ගත් මම ඉන් එක කකුලක් ගලවාගෙන, රවුම් කොටස කපන්නට පටන් ගතිමි. එය හිතු තරම් පහසු කටයුත්තක් නොවීය. එක පැත්තක් අවසන් වනවිට මා අසලට පැමිණියේ මහින්දයි, ඔහුගේ සහයද ඇතිව බෝලය රවුම් කරගත්තේ මිනිත්තු ගණනක් රළු සිමෙන්ති පොළොවේද ඇතිල්ලීමෙන් පසුවය.


ඉන්පසුව වටේට ගම උලා, හෙමින්-හෙමින් පුළුං ඇලෙව්වෙමු. පසුව එය වේලෙන්නට ඉහළ තැනකින් තැබුවෙමු. නමුත් දවස් ගණනක් ගත වුවද එහි තිබූ ගම් වේලී තිබුණේ නැත. අවු රශ්මියට නිරාවරණය කළද ගම් ටික උණු වී වැක්කෙරෙනවා මිස සවි වන පාටක් නොවීය. ලීය මතුවන සෑම තැනකම ගම යොදා පුළුන් අලවා ගත්තද, බෝල අතට ගත් සාම විටම, එය ලිස්සා බිමට වැටෙන්නේ අතෙහි පුළුං සහ ගම් ඉතිරි කරමිනි. දවස් ගණනක පරිශ්‍රමයකින් පසුව එය පන්දුවක තත්වයට පත් කර ගත්තද, එය බිම ගසන විට ඉහළ නොයෙන තත්වය මත ප්‍රසිද්ධියේ එයින් ක්‍රීඩා කිරීම අපට ලැජ්ජාවට කරුණක් විය. පසුව සැලසුම් කරගත් පරිදි මහින්දත් මමත්, නිවාඩු දිනක පාන්දරින් පිට්ටනියට බැස එල්ලේ ගසන ආකාරය එයට පහර දුනිමු. පළමුව "පටාස්...." හඬක් නංවමින් එය අප අසලම කඩා වැටුණද, පහරවල් කිහිපයක් එල්ල කිරීමේදී, "දිරික් ...." හඬක් නංවමින් පිත්ත මිටෙන් කැඩී ගියේය. එම පන්දුව පිළිබඳ ඇති ආශාව එලෙස නිමා විය. "පිස්සොත් එක්ක සෙල්ලම් බෑ" කියන්නැහේ, හිතුණොත් කරන පුරුද්ද මා වෙත ලැබුණේ කුඩා සන්දීයේ සිටමය.

Tuesday, April 26, 2016

ගොවිපලේදී ...... තෙවන කොටස

දවසක් කටුම්බා ජෝ එක්ක මාව බලන්න ආවා. කාටෝගේ ඔළුව ගියාට පස්සේ, මට ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නම බැරි වුණා. මම වැඩියක්ම කාලේ ගත කළේ අම්මා නිසොල්මනේ අඬන වෙලාවට එයාගේ ඇස් වලින් කඳුළු ගලන විධිය බලාගෙන ඉන්න. ඇන්ටි කිට්ටුව-පාත ඉන්න වෙලාවක එයා ඉතාම පහත් හඬකින් කථා කරනවා ඇහුණා. 

"තාත්තා කිවුවා ඒ වැඩේ කරලා තියෙන්නේ ටොමාමා කියලා" ජෝ කිවුවා.

"මම දන්නේ නෑ" මම කිවුවා.

"එයාගේ ඔළුව ගන්න කාටෝට එයා ටොෆි/චොකලට් ටිකක් දෙන්න ඇති" කටුම්බා කිවුවා.

"තාත්තා කිවුවා එයා ඒ වැඩේ කරනවා පොලීසියට අහු වෙලා තියෙනවා කියලා, ඒ වුණාට ඒ හැම පාරම එයා පැනගෙන. එයා කිව්වා පිට කෙනෙක් කථා කළොත් ගණන් ගන්න එපා කියලා

"ඒත් ටොමාමා පිට කෙනෙක් නෙවෙයිනේ"

"පිට තමා. එයා මේ ගමේ දැන් ටික කාලෙක ඉඳලා නෑනේ, එයා එන්නේ ඔයා වගේ පුංචි අයගේ චූ එක කපාගෙන  යන්න, මන්තර  කාරියන්ට දෙන්න"

"ඒකයි එයා  පෝසත්"

"ඔව්. එයාගේ වෙළඳාම තියෙන්නේ ළමයින්ගේ ඔළුයි, චූ එකයි  එක්ක"

මම පොඩ්ඩක් හිතලා බැලුවා පිරිමි ළමයි දෙන්නා කියන දේවල් ගැන. ඒගොල්ලෝ කථා කරන්නේ මොනවද කියලා දෙවියෝ තමයි දන්නේ. මම එයාලගේ කථාව අහගෙන වාඩි වෙලා හිටියා. කාටෝගේ මරණෙන් පස්සේ අම්මගේ මුණේ චිත්‍රයක් මම හිතිං ඇඳ ගත්තා, කොහොමද එයා කෙහෙල් ඇවරියක් ළඟ තියාගෙන, නැවිලා ඔළුව ගහගෙන පැය ගාණක් ඉන්නේ කියලා, එයින් එකක් අරං ලෙලි ගහන්නැතුව.

"ඉස්සර වගේ එයා අපිට ටොෆි/චොකලට් දුන්නොත් මොකද කරන්නේ, අපි ඒවා ගන්න ඕනෙද ?"

"හා, කොලොප්පන්ද, ඔයාගේ දත් දෙක තුනකුත් නැති ඔය තඩි ඔලුගෙඩිය යයි කාට හරි සල්ලි වලට. ඔයා හැමතිස්සෙම සෙල්ලම් කරන චූ එකත් යයි, සමහරවිට ඊට යටින් තියෙන බෝල දෙකත් එක්කම" කටුම්බා හිනාවුණා. 

එයාලගේ වචන දරා ගන්න බෑ. අවුරුදු හයේදීත්, කටුම්බා දන්නේ නෑ, එයාගේ වචන වල තියෙන තේරුම් අනිත් අයට දැනෙන විදිහ. එයාගේ වචන මට තවත් එයාලත් එක්ක ඉන්න අපහසු කරවනවා. මම ගොවිපළට ගිහින් අපි තුන්දෙනා කාටෝත් එක්ක සෙල්ලම් කරපු හැම වතාවකම හිටිය කෙහෙල් ගාලක් ළඟින් වාඩි වුණා, අල වලින් කුරුල්ලෝ ඇවිත් කෙහෙල් පැල වෙන්නේ ඇයි කියන එකට හේතුව අපි හැම වෙලාවකම කල්පනා කරා, ඇයි ඒවා ඇට තවාන් කරලා ගන්නේ නැත්තේ, ඇයි පලතුරු  ආවම ගහ කපලා දාන්නේ. මම එතන වාඩි වෙලා පුදුමයෙන් කල්පනා කළා මට ආයේ කාටෝ  දකින්න වෙයිද කියලා, එයාගේ ඔළුවට ලැබෙන මුදල අම්මට ලැබේවිද කියලත්. අසිහියෙන් වගේ ජෝයි කටුම්බයි කියන දේවල් අහගෙන, මම කිසි දවසක දන්නේ නැති සිංදුවක් කියන්න පටන් ගත්තා. ඒක මගේ මගේ දිවට හඬක් එකතු කළේ නෑ; ඒක මගේ හදවතේ ඉතිරි වුණා, නැතිවුණ දයාබර සහෝදරයා වෙනුවෙන් ගැයුණු ගීතය ! මම ආපහු එනකොට, කොල්ලෝ දෙන්නා තවමත් කතා කරනවා. 

"නකාටෝ, අඬන්න එපා, තාත්තා අද ටොෆි චොකලට් මොනවා හරි ගෙනෙයි, මම ඔයාටත් ටිකක් දෙන්නම්

"මම ආයි ඕවා කන්නේ නෑ ජෝ" මම කිවුවා.

"ටොමාමාව අල්ලලා මරයි" කටුම්බා කිවුවා.

"මට ඒකෙන් වැඩක් නෑ, එහම කළාට කාටෝ ආයෙත් එන්නේ නෑ

කොල්ලෝ දෙන්නා කථා නැතිව උන්නා. කෙහෙල් අතු වලට හුළං හැමීම නතර වුණා. මගේ පපුව හරි උවමනාවකින් ගහන තොවිල් බෙරයක් වගෙයි. එක තණකොළපෙත්තෙක් ඉහළට පැන්නා ආපහු වැටෙන්න කලින්. මම මතක් කළා කටුම්බා එකෙක්ගේ ඔළුව ලේසියෙන්ම ගලවපු විධිය සාස්පානට දාන්න කලින්.  ටොමාමාගේ අතින් කාටෝව තණකොළපෙත්තෙක් වගේ වෙලා පහසුවෙන්ම ඔළුව ගැලවුණාද, නැත්නම් අපි නත්තල දවසේ බෙල්ල කැපෙනකොට සන්තෝස වුණ කුකුළාගේ වගේ වුණාද ? ගොවිපලේදී, ළමයින්ව කුකුල්ලු වෙනවද නැත්තං තණකොළපෙත්තෙක් වෙනවද ?

"ඒත් ඇයි එයාව ඒගොල්ලෝ නැවැත්තුවේ නැත්තේ ?" ජෝ ඇහුවා.

මෙහෙම කියන්න කලින් කටුම්බා හිනාවෙනවා මට ඇහුණා "ඒගොල්ලෝ එයාව නවත්වයි, එයාලට අල්ලගන්න පුළුවන් වුණු දවසක"

"ඒ දවස කවදද, හෙටද ?" මම ඇහුවා.

"මම දන්නේ නෑ, ඒ වුණාට කවදා හරි වෙයි"

මම දුක් වුණේ අම්මා ගැන, එයාට මුළු දවසම හරි අඬන්න පුළුවන්. තාත්තා හැම දවසකම වගේ නගරෙට ගියා, මම දන්නේ නෑ ඇයි එයා නිතරම එහෙම ගියේ කියලා. එයා තවමත් කාටෝව හොයනවද ? මම දැනන් හිටියේ නෑ. මම ප්‍රාර්ථනා කරේ තාත්තා කාටෝව ආපහු ගෙනෙයි කියලා. මගේ ප්‍රාර්ථනාව, වල දිහාවත් නොබලා මම වීසි කරපු පස් කුට්ටියට පුළුවන් වේවා කියලා එයාගේ ඔළුව කොහෙන් හරි ඇවිත් ඇඟට බද්ධ වෙන්න. තාත්තා හැමදාම නගරෙට යන එකේ බලාපොරොත්තුව කාටෝව හොයා ගන්න එකනම්, ඒක මට හොඳ ආරංචියක් වේවි, කටුම්බයි - ජෝයි මමත් එක්ක සතුට බෙදා ගන්න එකතු වේවි. ඒ වුණාට මගේ බලාපොරොත්තු සුන් කරපු සිදුවීමක් වුණේ, අම්මත් එක්ක තාත්තා අවසිහියෙන් වගේ හරිම හෙමිං කථා කරත්දී. අම්මගේ හඬේ ඉකි ගැසීමක් ඇහුණු වෙලාවක, මම ඇඬුවා. ටොමාමාව ගෝනි්යකුත් එක්ක, කාර් එකේ ලේ පැල්ලම් එක්ක අහු වෙලා කියලා තාත්තා අම්මට කියත්දී ඒක ලොකු සාක්කියක් නෙවෙයි කියලා, මට තේරෙන්නෑ මම මොනවද හිතන්න ඕනේ කියලා. මම මගේ හුදෙකලා ඇඳේ ගුලි ගැහුණා. කාටෝගේ මරණයෙන් ඇති වෙච්ච් හිඩැස ගොඩාක් ලොකු එකක්, අපි මව් කුසයේ නිවුන්නු විධියට එකට ඉඳීමේ ඉඳලා මේ වෙනකම් හිටියේ එකට - අලුතෙන් ඇති වෙච්ච මේ හිස් ගතිය දරා ගන්න බෑ. 

අම්මා තාත්තට කිව්වා හැම දෙයක්ම අත ඇරලා දාන්න කියලා. ඒත් තාත්තා ඉල්ලා හිටියේ එයා දිගටම මේ ගමන යන්නම් කියලා. එයා පොලීසියේ කෙනා ඉල්ලපු ගාන ගෙවනවා කිව්වා, ඒක කාටෝගේ ෆයිල් එක හුළඟට ගහගෙන යන්න නොදී තියාගන්න පුළුවන් ගල්ගෙඩියක් වගේ ඒක උඩ තියෙයි මේ පරීක්ෂණය ඉවර වෙනකන්. එයා සල්ලි ගෙවන්නේ ටොමාමාව ආපහු හිර ගෙදරට ගේන්න, එයාව අල්ල ගත්ත වෙලාවේ මුත්‍රා දාන්න කියලා ගිහිං එයා ඇවිත් නෑ. තාත්තට ඕනේ දකින්න මන්තර කාර දොස්තර පාපෝච්චාරණය කරනවා ටොමාමා එක්ක කරපු ගනුදෙනුව ගැන, පොලීසිය කියන්නේ ඒ වගේ උන්මත්තකයෙක්ගෙන් අහලා වැඩක් නෑ කියලා. 

මට ඇස් දෙක ඇරලා බලන්න ඕනේ වුණත්, රාත්‍රිය හරිම කළුවර වුණා. එය අන්ධකාරයක්. රාත්‍රිය හුඟාක් දිගයි. අවසිහියෙන් වගේ මට ඇහෙනවා කටුම්බා එක්ක ජෝ කරන කථාබහ. ඒ දෙන්නා ඇඳේදී මාව ඇහැරවලා තිබ්බා. උදෑසන වෙනකොට අම්මාගේ මූණ බර වෙලා තිබුණා. මට කටුම්බායි ජෝයි මුණගැහෙන්න තිබුණා. ජෝ කටුම්බාට වඩා වැඩිමල් වුණේ අවුරුදු දෙකකින් වුණත්, එයාගේ කථාවේ මුහුකුරා ගිය ගතිය තිබුණා. 
banana plantation in africa
පින්තූරය ගත්තේ : http://www.farmlandgrab.org/

කටුම්බාත්, ජෝත් එක්ක ගත කරන වෙලාවට මට මේ ප්‍රශ්න ටිකකට අමතක වුණා. කටුම්බා අපට උපදෙස් දුන්න මුකාසා මහත්ගේ වත්තට ගිහින් පැපොල් ටිකක් අරගෙන එමු කියලා. අපි හොරෙන් රිංගුවා මුකාසා මහත්තයාගේ වත්තට, එයාගේ හට් එකට වෙලා එයා මොනවා හෝ කරමින් උන්නේ, එයාගේ හට් එකට උඩින් අහසට නැගුණු සුදු දුමින් විතරක් එයා අපට අත වැනුවා. කටුම්බා හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් තෝරා ගත්තා. අපි ගොවිපලේ හුඟාක් ඈතට ගිහිං, එක තැනක නතර වුණා, එතැනට ඉර එලිය වැටෙන්න කෙසෙල් අතු කොහොමටවත් ඉඩ දුන්නේ නෑ. එතැන හරිම අඳුරුයි, ඒ වුණත් අපි එතැනට කැමති වුණා. අපේ ගමේ අඳුරු තැන් වලට අපි හුරු වෙලා හිටියේ. එතැන පොඩ්ඩක් සුද්ද කරත්දී, අපිට හමු වුණා එතැන වැහිලා තිබුණු තෙතමනය නිසා මොළොක් වෙච්ච කෙසෙල් අතු. අපි ඉඳ ගත්තා, කටුම්බා පැපොල් ගෙඩිය කැපුවා. අපි කෑවේ මෝඩ හිනාවක් දාන ගමන්. ජෝ නැගිට්ටා. අපි දැක්කා එයාගේ කකුල පොළවේ බහිනවා, එයා කකුල ආපහු ඉහළට ඇදගෙන අපිට දුවන්න කිවුවා. එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නේ නැති වුණත්, මම ත් ජෝ පස්සෙන් දුවගෙන ගියා මොකද මම ජෝව විශ්වාස කරපු නිසා. කටුම්බා එතනම ඉඳගෙන අපිට හිනා වුණා.

"මොකද ඕගොල්ලෝ දුවන්නේ" එයා ඇහුවා.

එයාගේ අත් වලින් එයා පස් හාරලා පිටිපස්සට විසි කළා. මම ටිකක් පස්සට වෙලා එයා ලඟින් හිටගෙන බලාගෙන හිටියා. ජෝ හිටියේ අපිට ගොඩක් ඈතින් හිටගෙන. කටුම්බා දිගටම හාරාගෙන ගියා එයාට ගෝනියක් දකිනකන්, එයා හිතපු දේ ඒකෙන් තහවුරු වුණා. මුකාසා මහත්තයා එතැන කෙසෙල් වළලලා. ගෝනියේ තැවරිලා තිබුණු පස්ස ඔක්කොම එයා පිහදාලා ඉවර වුණාම, එක පාරටම එයා ඒක ඇරියා, කහපාට කෙසෙල්ගෙඩි ටිකක් දකින ආශාවෙන්. එයා එකපාරටම පස්සට පැන්නා. මම දිහා බැලුවා, මට පෙනුණා එයාගේ ඇස් පළලට ඇරගෙන,  ඇස්ගෙඩි ලොකු වුණා.
african boy with his eyes open wider
පින්තූරය ගත්තේ : http://www.flickriver.com/

ජෝ මගේ ළඟට ආවා. අපි දෙන්නා කටුම්බා ළගට ගියා එයා දැක්කේ මොකක්ද බලන්න. වචනයක්වත් නොකියාම අපි දුවන්න පටගන් ගත්තා. අපි දිවුවා, අපි හුස්ම ටිකක් ගන්න එක තැනක නැවතුණාම, කටුම්බා කිව්වා, "එයාගේ ඔළුවට පණ තියෙනවා" කියලා.

"ම...ම... දන්නෑ" ජෝ කිවුවා.

"ඒක ඇත්ත ජෝ, මම ගෝනිය ඇරියම එයා මං දිහා බලාගෙන හිටියා"
african boy killed while his eyes open
පින්තූරය ගත්හේ : http://flickrhivemind.net/

"යන්න...යන්න...එයාට කථා කරන්න, එයාව එළියට අරන් අපි ගෙදර යමු" එයා ආයෙත් දුවන්න පටන් ගත්තා. කටුම්බා ජෝගෙයි, මගෙයි පිටිපස්සෙන් දිවුවා. මම දැකපු කිසිම දෙකට වඩා, ඒක හරිම භයංකාරයි. මම කාටෝගේ ඔළුව දකින්න කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ. ඇත්තටම කාටෝ පණපිටින්. එයාගේ ඇස් ඇරිලා. එයාට පේනවා, මම හෙමින් කිවුවා.  එයාට පැහැදිලිවම පේනවා, එකම ප්‍රශ්නේ එයාට කථා කරන්න බැරි එක විතරයි. මේ වෙලාවේ එයාගේ කටහඬ ඇහෙන්නේ නෑ. කාටෝට පේනවා, ඒත් එයාගේ කටහඬ. මුකාසා මහත්තයාගේ හට් එක පැත්තට දුවන අතරේ මම එක-එක දේවල් කිව්වා, ඒත් ඒවා මම දැනගෙන හිටියේ නෑ; අපිට කාගේ හරි උදව් ඕනෑ වුණා.

අවසානෙට අපි දැක්කේ ගෝනියෙන් එළියට පැන්නා ලොකු රිදී කුරුසයක්.

"එයා දාගෙන හිටිය ඒ කුරුසේ , අපිටත් වැටෙන්න පුළුවන්" ජෝ කේන්තියෙන් කිව්වේ දුවන ගමන්ම.

"ඔව්, අපි හැමෝටම වැටෙන්න පුළුවන්" මම කිවුවා, මම කියන්නේ මොනවද කියලා හරියටම නොදැන.

"මම හිතන්නේ එයාව මරන්න කලින් එයා අඬලා" ජෝ කිවුවා.

"වෙන්න පුළුවන්"

"කාට හරි ඇහුණානම් එයාට උදව් කරන්න ඉඩ තිබුණා"

"කාටෝගේ කටහඬ හරිම බාලයි, කාටවත් ඇහෙන්නේ නෑ. අනික මෙතන හරිම අඳුරුයි, අපි ඉන්නේ ගොවිපලේ, කාටවත් කොහොමටවත් මේක පෙන්නේ නෑ"

කටුම්බා අපිට වඩා හයියෙන් අපිට කලින් දිවුවා, අපි දැක්කා එයා මුකාසා මහත්තයාගේ ගෙදරට ඇතුල් වෙනවා. අපිත් එයාගේ පස්සෙන් ගියා; අපි දොර ගාවට යනකොට, එයා ආපහු එමින් හිටියා. එයා කිව්වා මුකාසා මහත්තයාගේ ගෙදර බෝතල්වලට ලේ පුරවලා තියෙනවා එයා දැක්කා කියලා. අපි මොනවත් අහන්න කලින් එයා ආපහු දුවන්න ගත්තා. අපි එයා පස්සෙන් දිවුවා, මම හැරිලා කෙළින්ම ගෙදරට දුවන්න කලින්.

මම ගෙදර එනකොට තාත්තා උළුවස්සට හේත්තු වෙලා හිටියා. මම දන්නේ නෑ මම මොනවද එයාට කිවුවේ කියලා. ඒ වුණාට මට ඇහුණා එයා කියනවා, "මම ගිහිං ඒක අරගෙන එන්නම්" කියලා. මම දන්නේ නෑ එයා කියන්නේ කොයිකද කියලා, ඔළුවද නැත්නම් බෝතල්ද? මට මවාගන්න බෑ, තාත්තගේ අතේ කාටෝගේ ඔළුව තියෙනවා.

මම මගේ ඇඳේ පෙරළිලා ඇස් දෙක වහ ගත්තා මට කාටෝගේ ඔළුව ආයේ නොපෙනෙන්න. මුකාසා මහත්තයයි, ටොමාමායි කාටෝගේ ඔළුව මිරිකලා ලේ ගන්න එක හිතුවම, මම පොරෝනේ විකා ගත්තා. මට හට් එක උඩට නැගලා බිමට පනින්න ඕන වුණා. මම ඇඳේ වැතිරිලා බලාගෙන හිටියා තාත්තා මොනවද අරගෙන එන්නේ කියලා. මම එකදිගට රහසින් කිවුවා, තාත්තා  කාටෝගේ ඔළුව හයි කළාම අපිට ආයි එකට ඉන්න පුළුවන් කියලා. 

http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

Friday, April 22, 2016

ගොවිපලේදී ...... දෙවන කොටස

පලවෙනි කොටස >>>

අපේ අම්මාට කුකුල් සුප් හදන්න ඕන වුණාම, කුකුල්ලු මරන්න පාවිච්චි කළෙත්, අපි සෙල්ලම් කරන ඒ ලස්සන පිට්ටනියේ හරියටම එතැන. එයා ඒ වැඩේට හරි දක්ෂයි. එයා මුලින්ම එක කකුලකින් පාගනවා කුකුළගේ අත්තටු දෙක, ඉන් පස්සේ අනිත් කකුලෙන් උගේ කකුල් දෙක පාගනවා,  දකුණු අතේ පිහිය තියා ගන්නවා. වම් අතින් අල්ල ගන්නවා කුකුළාගේ ඔළුව. තනි පහරෙන් සතාගේ බෙල්ල කපනවා. ඉන් පස්සේ එයා ඌට ඔළුව නැතිව පියාඹන්න අරිනවා. ඊට පස්සේ ඌ ඉවරයක් නැතුව අතන මෙතන වැදෙනවා. බෙල්ලෙන් ලේ වැක්කෙරෙනවා. මමයි කාටෝයි එතැන හිටගෙන කුකුළාගේ මේ දැඟලිල්ල බලාගෙන ඉන්නවා, අන්තිමට ඌ නතර වෙනකම්, ඊට පස්සේ අම්මා කරන්නේ ඌව උණු වතුර එකක බස්සලා පිහාටු උගුල්ලන එක. 

අපි මිදුල පැත්තට එනකොට දැනගත්තේ එතනට මිනිස්සු එකතු වෙලා ඉන්න බව. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. පිරිමි උදවිය වාඩිවෙලා එයාලගේ ඔළුව බිමට නවාගෙන. හැම ගෑණු කෙනෙක්ම වගේ හිටියේ ඇතුළේ, ඒගොල්ලන්ගේ ඇස් වලින් කඳුළු ගලනවා. ගේ ඇතුළෙන් එක කටහඬක් විතරක් ඇහුණා. ඒක මට හොඳට හුරුයි. මම සෙනග අස්සේ තෙරපිලා දොර ගාවට ආවා, මට අම්මගෙන් අහගන්න ඕනේ වෙලා හිටියේ මොකද අපේ මිදුලේ හැමතැනම මිනිස්සු පිරිලා ඉන්නේ කියලා. ඒ වුණාට දොරෙන් ඇතුළට රිංගන්න බෑ, ඒ තරමට හිර වෙලා, ඇන්ටි දොර ගාවට ඇවිත් මාව අරගෙන මිදුලේ කෙළවරට ගියා, එයත් අඬනවා. මම කටේ ඇඟිල්ලක් දා ගත්ත මට එයාගෙන් මොනවත් අහන්න බෑ. මම කල්පනා කරේ අම්මයි තාත්තයි නැති වෙලාවනම්, ටොමාමා ගාවට ගිහිං මාවයි කාටෝවයි නගරෙට අරං යන්න කියලා ඉල්ලන්න, අම්මයි තාත්තයි නැතුව මට ගමේ ඉන්න බෑ කියලා. මම දැක්කා ඈතින් මුකාසා මහත්තයා සෙනගට එක්කහු වෙනවා. එයාගේ මූණ එක්කෝ හිනාවෙනවා වගේ නැත්නම් අඬනවා වගේ, මට කියන්න බෑ ඒ කොයිකද කියලා. එයා එයාගේ කොන්දට එක අතක් තියාගෙන අනිත් අතින් හැරමිටියත් අරගෙන  ඉදිරියට නැමිලා ගියේ. ඒ ඉරියව්ව රඟපාලා පෙන්නන්න කාටෝ හරිම කැමතියි.
small black african girl crying while her finger in her mouth
පින්තූරය ගත්තේ : http://nairobiwire.com/

"ඒ කාටෝ" ඇන්ටි කඳුළු අතරින්ම කිව්වා. මම එයාගේ ඇස්දෙකට එබිලා බැලුවා කාටෝට මොකක්ද වුණේ කියලා එයාටම කියන්න, ඒත් ඒ වෙනුවට එයා ඔළුව පහළට නැමුවා, එයාගේ ඇහෙන් වැටිච්ච උණු කඳුළු කැට මගේ අත්වලට වැටුණා.

"කාටෝ කොහේද ?" මම ඇන්ටිගෙන් ඇහුවා.

"එයාගේ ඔළුව ගලෝලා ගිහිං"

ළු !!! මම මටම කියා ගත්තා. එයාගේ ඔළුවට මොකද වුණේ ? එයා මොකටද ඔළුවට යන්න දීලා බලාගෙන හිටියේ. ඇන්ටි දැන් කියන දේ ගැන එයාට විශ්වාස ඇති. "කාටෝගේ ඔළුව ගිහිං" මොකක්ද ඒකෙ තේරුම ?

ඇඬීම අස්සෙන් එයා මෙහෙම මුමුණනවා මට ඇහුණා "මම හිතනවා ඔයාගේ තාත්තා මේක බාර ගන්න ඇති කියලා" එයා ඉකි ගැහුවා. මගේ ඇස් කඳුළු වලින් පිරිලා ගියා, ඒ වුණාට මම අඬන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. සමහරවිට ඇන්ටි අඬන නිසා වෙන්න ඇති ? හැබැයි එයා කිව්වා දේ නම් මට අඬන්න තරම් දෙයක් නෙවෙයි. කාටෝගේ ඔළුවා ගියා නම්, ඒක ආපහු එයි. ඒක කාටෝව හොයාගෙන හයි වේවි, අපිට ආයේ කෙසෙල් කොටුවේ හුඟාක් දුරට තියෙන අඩි පාරේ දුවන්න පුළුවන් වේවි, අපිට ජෝවයි, කටුම්බාවයි හමු වේවි, බොහෝවිට අපි වෙනද වගේම මුකාසා මහත්තයාගේ පැපොල් වගාවෙන් හොරාකන්න සැලසුම් කරලා, හොරෙන් කඩාගෙන අරං ඇවිත් අපේ පිළිකන්නේ ඉඳගෙන කාවි.

මම ඇස් දෙක ඇරියම, කඳුළු වැටුණා. මම දැක්කා ජෝයි කටුම්බයි තවමත් අපේ මිදුල ළඟ තියෙන පාරේ හිටගෙන ඉන්නවා; ඉස්කෝලේ ඉඳලා ආවට පස්සේ එයාලා තවමත් ගෙදර ගිහිං නෑ. ඇන්ටි දිගටම අඬනවා.

"මම දැනගෙන හිටියා ඔයාගේ තාත්තා වැරදියි කියලා, එයාට තිබුණේ කන් විදින්න ඉඩ දෙන්න"

ඇන්ටි පැහැදිලි කළා, එයා කම්පාලා ඉන්නකොට; එයා දැකපු ගොඩාක් පෝස්ටර් වල දෙමව්පියන්ට අවවාද කරලා තිබුණ බව ළමයින්ව බිලි දෙන්න දඩයම් කරන මන්තර කාරයන්ගෙන් බේරගන්න කියලා. මන්තර කාරයෝ හිතන්නේ, මනුස්සයෙක් බිල්ලට දුන්නම එයාලගේ ව්‍යාපාරේට ලොකු ධනස්කන්ධයක් එක්කාසු කර ගන්න පුළුවන් කියලා. මට ඇන්ටි කියන දේ පැටලිලා තියන්නේ, අවසානේදී එයා කිව්ව කාටෝව මරලා කියලා. මගේ මොළේ වැඩ කරන්නේ නැතිව ගියා ඒක ඇහුවම. මට හැම කෙනෙකුවම ඈතින් තියෙන මීදුමක් වගේ පේන්න ගත්තා. මට ඇන්ටිගෙන් ලිස්සලා යන්න ඕනේ වුණා, මට බිම පෙරළි-පෙරළි අඬන්න ඕනේ වුණා, ඒත් එයා මාව තදින් අල්ලාගෙන හිටියා.

දවස් දෙකක්ම අම්මයි මමයි වචනයක්වත් කථා කළේ නෑ. මට උවමනා වුණා මොනවා හරි කියලා, අකාල වැස්සක් කඩා වැටුණා වගේ තියෙන අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න. මට ඕනේ වුණා කියන්න ටොමාමා කම්පාලා ඉඳලා ආව හැම වෙලාවකම අපිට ටොෆි ගෙනත් දුන්න බව කියන්න, ඒත් මට තේරෙන්නෑ කොහොම ඒක කියන්නද කියලා. මට ඕන වුණා එළි කරන්න අපි ඉස්කෝලේ ඇරිලා එත්දී, ටොමාමාගේ කාර් රෝද පාරවල් පස්සේ ගිය කතාව. කොහොම වුනත්, එයාට කථා කරන්න මට තිබුණ උවමනා වුණත්, අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න මට බැරි වුණා.

මට එයා දිහා බැලුවම, මතකයට ආවේ එයා නත්තලට කුකුල්ලු මරපු විදිය. එයා උන්ගේ බෙල්ල කැපුවත්, උන් උඩට පියාඹලා ගිය විදිහ. හයියෙන් ලේ බේරෙනකොට, මමයි කාටෝයි හිනා වෙච්ච විදිහ. ඒ මතකයත් එක්ක මම බොහෝ දුරට හිනා වුණා වගේ. කාටෝගේ බෙල්ල කපන්නත් ඒ පිහියම පාවිච්චි කරන්න ඇති, මොකක්දෝ  දෙයක් අමුතු හුළඟක් වගේ ඇවිත් මගේ උගුරේ හිර වුණා. මට හුස්ම වැටුණේ නෑ. නොපෙනන අත් වලින් මගේ බෙල්ල මිරිකන නිසා මගේ ඇස් වලින් කඳුළු ඇවිත් මගේ කම්මුලට පෙරලුනා. මම අඬනකොට අම්මා පිස්සුවෙන් වගේ මොර දුන්නා.

තුන්වෙනි කොටසට >>

___________________________________________
http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

Tuesday, April 19, 2016

ගොවිපලේදී ...... පළමු කොටස

මට තවමත් මතකයි ඒකෙ තිබුණ පැණිරහ, එයා ඒවා අපිට දුන්න වෙලාවේ. කෙහෙල් කොටුවේ අපි සෙල්ලම් කරනකොට, ටොමාමාට අපිව හමු වුණේ. අපි වැහිකාලෙට අපේ ගමේ මතු වෙන තණකොළ පෙත්තෝ ජාතියක් වෙච්ච ස්නෙනෙනේලාව හොය-හොයා හිටියේ. අපි උන්ව හෙවුවේ බිමයි, ඇකිලිච්චි කෙහෙල් කොළ අස්සෙයි. අපි මුළින්ම ඒවා කෑවේ, කම්පාලා ගිහින් එන ගමනේ ඇන්ටි අරගෙන ආපු වෙලාවේ. 

"නකාටෝ එන්න කාටෝත් එක්ක, මෙන්න මම රස කෑම ජාතිය අරං ආවා" එයා කෑ ගැහුවා. අපි ගේ පිටිපස්සේ තියෙන, වහලට තණකොළ දාපු මඩුවේ ඉඳගෙන, උන්ගේ කකුලුයි, පිහටුයි ඉගිල්ලුවා. ටොපි ජාතිය එක-එක පාටයි. මම සුදුපාට ඉටිකොළේ ගලවලා, එකක් මගේ කටට දා ගත්තා. කටේ ඇලෙන පැණි රහකින් මගේ කටම පිරිලා ගියා, මම ඒක ගිල්ලා. 

අපි ජෝගේ ගෙදරත් පහුකරගෙන කටුම්බාගේ ගෙදරට දිවුවා එයාට ස්නෙනේලාව කන්න දෙන්න. කාටෝ හති හලමින් උන්නා. අපිට ඕන වුණේ කටුම්බාට විස්තරේ කියලා ඉක්මනට ආපහු ගෙදර දුවන්න. අම්මා අපි කටුම්බා එක්ක සෙල්ලම් කරනවට කැමති වුණේ නෑ. එයා කියනවා කටුම්බාට නරක පුරුදු තියෙනවා කියලා. කටුම්බා අපි ඉස්සරහ  එයාගේ පිරිමි අවයවයත් එක්ක සෙල්ලම් කරන්න ආසයි. 

"කටුම්බා අපේ ඇන්ටි ආවා කම්පාලා ඉඳලා" කාටෝ එයාට කිව්වා, එයා වාඩි වෙලා හිටිය සිසිල් හෙවනේදීම.  එයා ස්නෙනේලාගේ කකුලුයි,  අත්ටටුයි උගුල්ල-උගුල්ල හිටියේ. කෙසෙල් අතු අස්සෙන් පුංචි හුළඟක් හැමුවා, ඒකට කෙසෙල් අතු පැත්තෙන් පැත්තට වැනෙන්න ගත්තා. "එයා අපට ටොපි වගයක් ගෙනාවා". කටුම්බාගේ අතේ තිබුණ සාස්පාන බිම වැටුණා. කාටෝ ටොපිය කටින් දෙකට කැඩුවා, ඒවා හරියට පුංචි ගල් කෑලි දෙකක් වගේ, එකක් දුන්නා කටුම්බාට.

"කන්න".

අම්මාගේ තහංචිය නොවෙන්න ඒ දෙන්නා හොඳ යාලුවෝ. කටුම්බා එයාගේ භාගේ කටට දා ගත්තා. ඉන් පස්සේ එයා කට ඇරියා, තොල් දෙක ඇඹරුවා, ඊට පස්සේ කට හැදුවා හරියට හෝල් එකක් වගේ පේන්න. එයාගේ යට ඇන්දේ දත් දෙකක් නෑ, ඒ අස්සෙන් අපිට හොඳට පේනවා එයාගේ දිව කැරකෙන විදිය. ඒකට අපිට හිනා ගියා.
Black boy smiles while snenene in his teeth
පින්තූරය ගත්තේ : www.dreamplango.com

කටුම්බා හිනාවෙලා කියනවා "ඒක හොඳට ඉදිච්ච කෙසෙල් වගේ රසයි".

කාටෝ කිව්වා "ඔව්, ජැනට් ඇන්ටි කිව්වා ඒවා ළමයින්ගේ දත් වලට හොඳයි කියලා

එක අහපු ගමන් කටුම්බා ඉතිරි වෙලා තිබුණ කොටස අරගෙන එයාගේ රෝස පාට වීදුරුමහේ අතුල්ලන්න පටන් ගත්තා, ඒකට අපිට තවත් හිනා. කටුම්බාගේ ගෙදරත්, අපේ ගෙදරත් යා කරන කෙහෙල් කොටුව මැදින් තියෙන පාර දිගේ අපි දුවගෙන ගියා. ඒකේ අයිතිකාරයා වුනේ වයසක මුකාසා මහත්තයා. එයාගේ ගොවිපලේ පැත්තක දොඩම් සහ පැපොල් වගා කරලා තිබුණා. අපේ පලතුරු ගස් හිස් වෙච්ච ගමන් අපි එයාගේ ගස් වලින් හොරෙන් කඩා ගන්නවා. අම්මා හොරකං කරන්න කිසිම බුරුලක් නොදීපු නිසා, අපි හොරෙන් කඩා ගන්නේ එයා කොහේ හරි ගිය වෙලාවට.

අපි ගෙදර එනකොට, ඇන්ටි අම්මට නගරය ගැන කියා-කියා හිටියා. එයා කිව්වා ටොමාමාගේ ව්‍යාපාර වලින් එයා නගරයේ ඉන්න ලොකුම පොහොසතෙක් වෙලා කියලා. එයාට තියෙන ධනස්කන්දෙන් ඕනෙනම් ගමක්ම  ඒකෙ තියෙන අනික් දේවලුත් එක්කම සල්ලි වලට ගන්න පුළුවන් කියලා. 

එදා උදේ ඇන්ටි එයා නගරයෙන් ගෙනාපු සියුම් ලෝහ උපකරණය අරගෙන ආවා. ඒ අපේ කන් විදින්න. ඇන්ටි අපේ කන් විදින්න එන්න කියලා කථා කළා. ඒකෙදී අපට ළමා කාළයේ චර්ම-ඡේදනයෙදී කරන කන්නලව් කරන්න හිතුණේ නෑ. පිරිමි ළමයින්ගේ කන් විදිනවාට තාත්තා විරුද්ධ වුණා, ඔහු කියන්නේ එකෙන් ඔවුන්ව පියරු බබාලා වගේ වෙනවා කියලා. ඉතිං ඇන්ටිත් අම්මත් මගේ කණ් විද්දත් කාටෝගේ විද්දේ නෑ. ඒක වේදනාකාරීයි, ඒත් ඇන්ටි කිව්වා ඒක සුව වුණාම, මට දිලිසෙන, කර ගාවටම එල්ලෙන ලස්සන කරාබු දාන්න පුළුවන් වෙයි, ඒකෙන් ඔයාව ලස්සනට පෙනෙයි කියලා. 

කටුම්බයි, ජෝයි ගෙදර ආවාම, අපි පැපොල් ටිකක් කඩා ගන්න හෙමිහිට රිංගුවා මුකාසා මහත්තයාගේ ගොවිපලට. පැපොල් ලැබුණ ගමන් අපි දිව්වේ ගේ පිටිපස්සට, එතැන ඉන්නකොට අපිව කාටවත් පේන්නේ නෑ. ගොවිපල තිබුණේ අපි ගමේ ඉඳන් අපි යන ඉස්කෝලෙට දුවන පාර ළඟ. ඇන්ටි කම්පාලා ඉඳලා එන්නෙත් මේ පාරෙමයි.  අපේ පිට්ටනියෙදී, අපි පැය ගණන් වාඩි වෙලා ඉන්නවා, වැඩිම දුරට ගල් ගහන්න පුළුවන් කාටද කියලා තරග කරන ගමන්. සමහර වෙලාවට අපි හරිම පුංචි දේවල් වලට සන්ඩු කර ගන්නවා. ඊට පස්සේ අපි එකම තැනකට එක්-රැස් වෙනවා.  පිට්ටනියෙදී අපි කථා වෙනවා අනාගතේදී කවුරැ වෙන්නද කැමති කියලා. කාටෝ හීන මවන්නේ ජනපති වෙන්න, ජෝ හීන දකින්නේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න, කටුම්බා හිතන්නේ ඉස්කෝලේ විදුහල්පති වෙන්න. මමත් හීන දැක්කේ මගේම පාසලේ ගුරුවරියක් වෙන්න, ප්‍රධාන ගුරුවරිය වෙන්න වගේම මිස් ජෝන් වගේ කණ්නාඩි කුට්ටමක් දාගන්න. 

ටොමාමා ඒ පාරේ ආවා. එයා අපිට අත වනලා කථා කරා. එයා ඉන්න පැත්තට අපි දිවුවා. එයා මොනවා දෙයිද කියලා අපි හිතෙන් මව-මවා හිටියේ. අපි එතැනට ගියාම, කළුපාට ප්ලාස්ටික බෑග් එකකින් එලියට ගත්තු ටොෆි එයා අපට දුන්නා. ඒ ගමන්ම අපි හරිම සන්තොසයනේ ඒවා කන්න පටන් ගත්තා. එයා ඉස්සරහට එලවාගෙන ගියා. අපි එයාගේ පස්සේ වැටිලා දුවන්න පටන් ගත්තා. හෙවනකට වෙලා කාඩ් සෙල්ලම් කරමින් හිටිය මිනිස්සු කට්ටියකටත් ජනේලය පාත් කරලා මොනවා හරි දුන්නා. එයා මෙහෙම කෑ ගහගෙන එතැනින් ගියා "මුකුළු - මුකුළු ලොකු මිනිහා, ලොකු මිනිහා". ගමේ පහළට ගිහිං නොපෙනී යනකං අපි එයාගේ පස්සේ දිගටම දිවුවා. එයාගේ කාරය නිසා ඇවිස්සුණු දූවිල්ල දිහා අපි හිටගෙන බලාගෙන හිටියා. කටුම්බා කිවුවා කාරයෙන් පිට වෙන සුවඳට එයා හරි ආසයි, ඒවාත් එක්ක පාන් කනවා වගේ හැඟීමක් එයාට එනවා කියලා. 

 ඊළඟ දවසේ අපි ඉස්කෝලේ ඉඳලා ආපහු ගෙදර එත්දී, ටෝමාමාගේ කාර් එකෙන් සටහන් වෙච්චි ටයර් පාරවල් පස්සේ අපි ආවේ. කටුම්බාත් මමත් දකුණු පැත්තෙන් එනකොට, ජෝ ආවේ වම් පැත්තෙන්. කාටෝ එදා ඉස්කෝලේ ආවේ නැත්තේ, ඇඟට ටිකක් හරි මදි හින්දා. අම්මා තීරණය කළා එයාව ගෙදර තියලා, වත්තේ පැල වලට සාත්තු කරන්න යන්න. ආපහු එත්දී අපිට එයා නැති අඩුව දැනුණා. ඒ වුණාට අපි වෙනදා වගේම සෙල්ලම් කළා. අපේ ගේ පිටිපස්සට ගියාම, කටුම්බා දැක්කා වැල්ලේ රතු පාට මිශ්‍ර වෙච්ච දෙයක්. 

"ඒ ලේ" එයා කිව්වා.

"නෑ ඒ මුකාසා මහත්තයාගේ පැපොල්" එහෙම කියපු ජෝ හිනාවුණා.

"අද අපේ අම්මා කුකුල් මස් උයලා" මම කිව්වා.


දෙවෙනි කොටසට >>>

http://africanwriterstrust.org/ විසින් පල කරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට ඔයෙට් සිස්ටෝ ඕෂන් විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...