Thursday, December 6, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - IV කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - I කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - II කොටස.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - III කොටස.

මා ආහාර ගන්නා හැම විටකම දියණිය සිහියට එයි. ඇය ආහාර ගත්තාද? බඩගින්නේද? බොහෝ පොඩි වුන් මෙන් ඇයද කෑමට හොරය. මේ මොහොතේ මෙහි සඳහන් කල යුතු මගේ මවගේ උතුම් ගුණයක් සිහියට එයි. ඉස්සර අපි කුඩා කාලයේ මගුල් ගෙදරකින් කනවා යන්න විශේෂයකි. එකල නිවසක ගන්නා ආහාරය මෙන් දෙතුන් ගුණයක් රසවත් ආහාරයක් මගුල් ගෙදරකදී භුක්ති විඳීමට ලැබෙයි. නිවසේ සාමාන්‍ය ආහාර වේලක් සඳහා සාමාන්‍ය එළවලු දෙක තුනක්, පලා වර්ගයක්, සහ මාළු හෝ කරවල වර්ගයකින් සමන්විත වේ. ආහාර හිඟයක් පැවති 70 වේ මුල් දශකය තුල එවැනි ආහාර වේලක් පවා රස මසවුලක් විය. අම්මාට මගුල් ගෙදරකින් ආහාර ගන්නා විට නිතැතින් අප සිහියට එන්නෙලු. එනිසා මගුල් ගෙදරක් සඳහා යාමට සිදු වන දිනකදී අම්මා අපටද ඊට නොදෙවෙනි ආහාර වේලක් පිස යයි.  මිලදී ගැනීමට තවත් බොහෝ දේ තිබුනත්, මොවුන්ට ඇති වී තිබෙන උන්මාදයට හොරකම් කරන කෙනෙකුට නම් පහසුය. දැන් තරගය ආරම්භ වී ඇත. දැන්නම් කිසිම දෙයක් නෑසෙන ගානට මෙහි සිටින ආධාරකරුවන් තරඟය රස විඳී. ඉන්දියාවේ වෙසෙන මිලින 1200 කට වැඩි මුළු ජනගහනයම මේ මොහොතේ රුප පෙට්ටිය දෙස දෑස් යොමාගෙන සිටිනු ඇත. මා පහලට බැස ත්‍රීරෝද රියදුරකුට අතින් සන්  කලෙමි. ඔහු ආ පසු එහි ගොඩ විය.
පින්තූරය ගත්තේ : dreamstime.com. මීටර තිබෙන තැන පෙනෙනවාද? එය අපේ මීටරයට වෙනස් මිකැනිකල් වර්ගයේ එකකි. 

 මා දැන් නවාතැන වෙත යායුතු මාර්ගය දන්නා බැවින්, පුරුදු කාරයෙකු මෙන් ඔහුට පාර කියයි. මා මුලින්ම ටුක්-ටුක් එකක් භාවිතා කලේ අද දින උදෑසන වුවත්, පසුගිය ලිපියහි මා ඒ පිලිබඳ වැඩි විස්තරයක් නොකළේ මෙම ලිපියෙන් ඉන්දියාවේ ප්‍රවාහනය පිලිබඳ විශේෂයෙන් යමක් ලිවීමේ අරමුණින්. මා මුලින්ම ඉනොර්බිට් මෝල් හී සිට වාෂි නමැති ප්‍රදේශයේ ඇති මා නවාතැන් ගත් සංචාරක හෝටලය දක්වා ගමන් ගත්තේද මෙම ටුක්-ටුක් රථයක් ආධාරයෙනි. මා එහි මීටරය දෙස බලා සිටියෙමි. මෙම මීටර අපේ පැරණි විදුලි මීටරයට හෝ රජයේ බස් කොන්දොස්තර වරු අත ඇති පැරණි ටිකට් මැෂිමට සමාන මිකැනිකල් වර්ගයේ එකකි. එහි ඩිස්ප්ලේ එකක් නොමැති අතර මීටරේ මනුව ක්‍රියාත්මක වනුයේ කැරකෙන රෝද ආධාරයෙනි. එම නිසා එම අගය දක්වන තහඩු කැරකෙන් ආකාරය දිස් වේ. එමෙන්ම ඒවා මාරු වන විට හඬක්ද ඇසේ. එහි තවත් විශේෂත්වයක් නම එම මීටර අපේ විදුලි මීටරයක් සිහි ගන්වන තරමටම විශාල එකක් වීම හා එය ගනුදෙනු කරුවා අසලින්ම රියදුරුගේ අසුන පසෙකින් සවි කර තිබීමයි. ගමනක් අවසන් වූ පසු මීටරය බින්දුව කිරීම සඳහා එක් ලීවරයක් අතින් උස්සා පහත් කල යුතුය(එවැනි ක්‍රියාවකි). මා ඔහුට ගමන් කලයුතු තැන පවසා එම මීටරය දෙස බලා එහි පෙන්වන අගය දෙස බලා උන්නෙමි. ගමන අවසානයෙහි එහි අගය රුපියල් 1ක් සහ පායිස් 80ක් ලෙසේ දිස් විය. අනේ මේ තරම් ලාබ ත්‍රීවිලර් සේවාවක් !! යයි මා සිතුවද  එහි අගය රුපියල් 29ක් බව රියැදුරා පවසා සිටි අතර මා ඔහු සමග තර්ක කලේ මෙහි පෙන්වන්නේ 1.80ක් බවය. නමුත් එය දුර බව ඔහු පැහැදිලි කළේය. මෙම දුර සඳහා ලංකාවේදී නම් අපි අවම වශයෙන් රුපියල් 70ක් වත් ගෙවිය යුතු වේ. නමුත් මෙම රුපියල් 29 අපේ මුදල් වලට පෙරලූ විට එහි අගය රුපියල් 76.85ක් එවකට පවතී පරිවර්තන අගයට අනුව ගණනය කල හැකිය. ඉතින් මෙය අපේ ගණනට බොහෝ සෙයින් සමානය. නමුත් ඉන්දීය ත්‍රී රෝද රථ රියදුරන් ගැන වචනයක් සඳහන් කල යුතුය. ඔවුන් සතුව කාසි මල්ලක් ඇත. ගමන අවසානයේ ඔබට ලැබිය යුතු අන්තිම සතය දක්වා ඔවුන් ගණන් බේරයි. එය පැසසුමට ලක් විය යුත්තකි. නමුත් ලංකාවේදී මාරු සල්ලි නැති බව පවසා අපේ රුපියල් තිහ හතලිහ පවා කඩා වඩා ගන්නා ත්‍රී රෝද රථ රියදුරන්ට වඩා ඔවුන් ඉතා ඉදිරියෙන් ඇත. ඉන්දියාවේ(බොම්බායේ) සියලුම ත්‍රී රෝද රථ එකම වර්ණ සංයෝගයකින් යුතු වන අතර මෙම මීටර් ක්‍රමය භාවිතා කරයි. කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රුපියල් 16ක් (ලංකාවේ මුදලින් 42.40ක් පමණ). නමුත් ඔවුන්ද මුල් කිලෝ මීටරය සඳහා වැඩියෙන් අය කරනවාදැයි නොදනිමි. ලංකාවේ ගාස්තු ක්‍රම කිහිපයක් ඇත එසේ වුවා නම් 50/30 ක්‍රමයට අනුව 77ක්ද, 50/35 ක්‍රමයට අනුව 81.50ක්ද, 50/40 ක්‍රමය අනුව 86ක්ද වෙයි. එනිසා ඔවුන් අය කරන 76.85(ඉන්දීය 29) අපේ මුදලට ඉතා කිට්ටු අගයකි. ඉන් පසු මාගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ ත්‍රී රෝද රථයයි. 


රික්ෂෝව ඉන්දීය උප මහාද්වීපයේ ජනප්‍රියම ප්‍රවාහන ක්‍රමයක් බවට ඉතිහාසය සාක්ෂි දරයි. මැක්ෂිම ගෝර්කි ලංකාවේ සංචාරය කල අවධියේදී රික්ශෝව භාවිතා කල බව ඔහු සඳහන් කරයි. මා එහි ගත කල කාලයේදී එකක් හෝ දකින්නට නොලැබුණි. නමුත් මේ අප සිටින්නේ එක්දහස් නවසිය තිස් ගණන් වල නොව, ඉන්දියාව ලෝකයට වාහන අපනයන කරන රටක් බවට පත් වූ යුගයක් බව සිහියේ තබා ගත යුතුය. මරුටි, මහින්ද්‍රා, ටාටා, ටී වී එස් ඉන් සමහරකි. සමහරවිට රික්ෂෝ භාවිතා වන ප්‍රදේශ තවමත් ඉන්දියාවේ තිබෙන්නට පුළුවන. නමුත් මේ වැඩවසම් ප්‍රවාහන ක්‍රමයට මා තරයේ විරුද්ධ බව සඳහන් කල යුතුය. එය දකින්නට නොලැබීම එක්තරා අකාරයකින් සතුටකි. 

පින්තූරය ගත්තේ : insightatlantic.com

මෙම ලිපිය ලිවීමේදී ඉන්දියාවේ බස් රථයක ගමන් නොගැනීම මහා අඩුවක් ලෙස හැඟුනි. එහෙත් මා පසුගිය ලිපියක ගුවන්තොටුපලේ සිට මා නවාතැන් ගත් හෝටලය වෙත ගමන් ගත්තේ කැබ් රථයකින් බව සඳහන් කළා ඔබට මතක ඇති. ගූගල් සිතියමට අනුව එම ස්ථාන දෙක අතර පරතරය කිලෝ මීටර් 23කි. ඒ සඳහා අය කල ගාස්තුව රුපියල් 900(ශ්‍රී ලංකාවේ මුදලින් 2385). ඒ අනුව එක් කිලෝ මීටරයක් සඳහා ගාස්තුව ඉන්දීය රුපියල් වලින් 36ක් (එම දුර කි.මී. 25ක් ලෙස ගත් විට). ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් 95කට කිට්ටු අගයකි. නමුත් එම වකවානුවේ 688688 හී කිලෝ මීටරයක් සඳහා ගාස්තුව රුපියල් 68කි. එහෙත් මෙය කිලෝ මීටර් සඳහා වූ ගමන් ගාස්තුවක් නොවන අතර එය ගමනාන්තය සඳහා එකඟ වූ ගාස්තුවකි(Flat Rate). එනිසා අප රටවල් දෙක අතර කැබ් ගාස්තු වල අගයයන් එතරම ලොකු පරතරක් නොපෙන්වනු ඇති බව මගේ විශ්වාසයයි. 

මා මේ සිටින්නේ ඉන්දියාවේ හොඳම හරියේ නොවන බව මට වැටහුනේ පළමු දින උදාසනදීමය. හෝටල් හිමියා සමග කෙටි පිළිසඳරක යෙදී සිටියදී මුම්බායි හී හදවත(Heart of Mumbai) කුමක්ද? එහි යා හැක්කේ කෙසේද යන්න මා ඔහුගෙන් විමසා සිටියා. ඔහු පවසා සිටියේ කිලෝ මීටරයක් පමණ ඈතින් ඇති දුම්රිය ස්ථානයට ගොස් VT වෙත පළමු පන්තියේ ටිකට් පතක් ගෙන යන්න කියාය. මා මුල්ම දිනයේ  පයින් ගමන් ගනිද්දී මේ දුම්රිය ස්ථානය ඇස ගැටුණි. මේ ගමනට ප්‍රථම ලංකාවේ කිසිදු දුම්රියක පළමු පන්තියේ මා ගමන් කර නැත. මා සිතින් මවා ගත්තේ සුඛෝපබෝගී සේවාවක්ය. අප්‍රේල් පළවැනි දින උදෑසන අටට පමණ මා ගෙනගොස් තිබු ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන කහ පැහැති ටී ෂර්ට් එකෙන් සැරසී පයින්ම එම කිලෝමීටරයකට ආසන්න දුර ගෙවා දැම්ම. මම පිට රටවලදී පයින් ඇවිදීම ප්‍රිය කරමි. එහෙත් ඉන්දියාවේ පයින් ගමන් ගත නොහැක්කේ අධික රස්නය නිසාය. හෝටල් හිමිකරු පැවසූ පරිදි පළමු පන්තියේ ටිකට් පතක් මිලදී ගතිමි. එහි අගය ඉන්දීය රුපියල් 108කි(ලංකාවේ මුදලින් රුපියල් 285ක් පමණ). එය සාමාන්‍ය දුම්රිය ස්ථානයකි. ඇතුලට ගිය මට කොටුව දුම්රිය ස්ථානය සිහි විය. නමුත් ඉන්දියාවේ දුම්රිය පද්දතිය අපට වඩා පුළුල්ය. ඒ වාගේම වැඩිම දුම්රිය අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේද ඉන්දියාවේය. මා නියමිත වේදිකාවට වී බලා සිටියෙමි. මෙම ස්ථානයේදී මා නිරීක්ෂණය කල දෙයක් නම් ඉතා ඉහල යයි පැවසිය හැකි අයද, ඉතා පහල පන්තියේ යයි සිතිය හැකි අයද එම දුම්රිය එනතුරු වේදිකාවේ බලා සිටින බවයි. 

මා මෙම දුම්රිය ස්ථානයේ චායාරුප කිහිපයක් මගේ ජංගම දුරකතනයෙන් ගත්තද දැන් ඒවා සොයා ගැනීම උගහටය. මෙම ටිකට් පත එවෙලාවේ මුද්‍රණය කර දෙන තර්මල් වර්ගයේ එකකි. ඒ අතින් අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්දියාව සිටී. මෙම දුම්රිය ස්ථානයේ වටපිටාවද ඉතා අපිරිසිදුය. බුලත් කෙල පාරවල් බොහෝ තැන්වල ඇත. මා හතරවෙනි වේදිකාවේ දුම්රිය එනතුරු බලා සිටියෙමි. එහි ඇති ඉලෙක්ට්‍රොනික් පුවරුවෙහි වෙලාවක් දක්වයි. එය 8.29 වේ. තවමත් මගේ දුරකථනය දක්වන වෙලාව 8.27ය. ඒ කියන්නේ තවත් විනාඩි දෙකකින් මෙතනට දුම්රියක් ආ යුතුය. හරියටම 8.29 වත්දී පව්ර්සෙට් වර්ගයේ දුම්රියක් එතනට ලඟා විය. එහෙත් මේ සියලු දුම්රිය විදුලියා අධාරයෙන් ක්‍රියා කරයි. ඉහලින් විදුලි රැහැන් ඇද තිබේ. මෙහි තිබෙන ලොකුම පුදුමය එහි තුන්වන පන්තියක් නොමැති වීමය. සෙනග තෙරපි තෙරපී නගින්න බසින්න පොරකන අතරේ මා පළමු පන්තිය ඇති පෙට්ටියක් අසලට ගියද, මා ගොඩ වීමට ප්‍රථම දුම්රිය පිට වී හමාරය. එය එහි තත්පර 10ක් වත් නවත්වා තිබුනේ නැත. 

තවත් විනාඩි 5-10 අතර කාලයකදී මීළඟ දුම්රිය එහි පැමිණි අතර, කලින් ඉගෙන ගත පාඩම නිසා බසින අය ගැන නොසිතාම මා දුම්රියට ගොඩ වීමට ලං වුවද, එය පළමු පන්තියේ දුම්රිය පෙට්ටියක් වුවද, කාන්තාවන් සඳහා වෙන් වූ පෙට්ටියක් බැවින් අවසාන තත්පරයේදී පය ආපස්සට ගත්තා. ඒ ගැන හිතින් හිනා වී, පුරුෂ පක්ෂය සඳහා වෙන් වූ පෙට්ටියක් වෙත දිව යත්දී මේ දුම්රියත් පිට වී ගියා. මීළඟ අවස්තාවේදී මා හරි දුම්රිය පෙට්ටිය අසලට ගිය අතර කිසිදු වෑයමකින් තොරව මා දුම්රිය ඇතුලට ගෙන ගොස් දැමීමට ඉන්දීය දුම්රිය මගීන් කාරුණික වුවා. මේ මොන පළමු පන්තියක්ද, මගේ සිහියට ආවේ කැළණි වැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ තෙරපි තෙරපි ගමන් ගත් ආකාරයය. ඉන්දියාවේ පළමු පන්තිය අපේ තුන්වන පන්තියට සමානය. දෙවන පන්තිහිද වෙනසක් තිබිය නොහැක. බොහෝ දෙනා මේ දිනවල තිබෙන ක්‍රිකට් තරග ගැන දොඩමලු වේ. මට හින්දි භාෂාව නොතේරුණත් ඔවුන් කතා කරන්නේ කුමක්ද යන්න කදිමට වැටහිණි. දෙදෙනෙක් කථා වුයේ මිස්බා උල් හක් සහ සමරවීර යනු එකම තාලයේ පිතිකරුවන් දෙදෙනක් යන්නය. එම කතාව සම්පූර්ණයෙන් ඇත්තය. ඔවුන් දෙදෙනා කඩා වැටෙන ඉනිමක් ගොඩ දැමීමට ඉතා ගැලපෙන ක්‍රීඩකයන්ය. 

මේ තදබදය ගැන කිසිවකුට නිනව්වක් නැත. ඔවුන් කිසිදු අසීරුතාවක් නැතුව කතාබහේ යෙදී සිටියි. සමහරු පත්තර බලයි. විවිධ වර්ග වලට අයත් කාර්යාල සේවකයන් යයි සිතිය හැකි අය මෙහි වෙති. එහෙත් මා හුස්ම ගත්තේද බොහෝ අපහසුවෙනි. එක් දුම්රිය ස්ථානයකදී තව පොඩ්ඩෙන් මාද දුම්රියෙන් එලියට ගොස් තබන්නට ඉන්දීය මගියන් කාරුණික වනවා. මා මහත් ආයාසයෙන් ඇතුලෙම සිටින්නට වග බලා ගත්තා. හොඳින් ඇඳ පැළඳ සිටින මහත්මයෙකු වන් තරුණයකු සමග මා දිගු සාකච්චාවක නිරත වුවා. ඔහු මට අවසාන තරගය සඳහා ටිකට් පතක් නොමැති වීම ගැන ඉතා කනගාටු වූ අතර සංචාරය රස විඳින ලෙස පවසා සිටියා. ඔහු ඉතා හොඳ මහත්මයෙකි. බොම්බායේ කාර්යලා පටන් ගන්නේ උදෑසන 11.00 ට වන අතර සවස හයට අවසන් වේ. පැය භාගයක දිවා විවේකයක් ඇත. එය කෙතරම් කදිම රාජකාරි වේලාවක්දයි මට සිතුනා. 

මීට අමතරව බොම්බායේ ලොරි වල සටහ අපූරු පාටයක් මතකයට ආවා. එය "හොර්න් ඕකේ ප්ලීස් "යන්නයි. එයින් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද ? එය දුටු මගේ මතකයට ආවේ අපේ ලොරි සහ බස් වල ගසා තිබෙන "දෙන්න හඬ - මෙන්න ඉඩ" කියමනයි. 
පින්තුරය ගත්තේ : mag.bewakoof.com. මෙහි මා ගත චායාරුප්ය සොයා ගැනීමට අපහසු බැවින් මෙම චායාරුපය සොයා ගත්තා. මෙවැනි චායාරුප දහස් ගණනක් ගූගල් සර්ච් එකට හසු වේ.

මෙම සංචාරයේ මට හමු වූ යේමන් ජාතිකයා මුළු ඉන්දියාව පුරා මාස කිහිපයක සංචාරයක් කර තිබුනා. ඔහු පවසා සිටියේ ඉන්දියාවට පැමිණෙන තෙක් ජරාම රියදුරන් සිටින්නේ අරාබියේ යන ඔහුගේ විශ්වාසය වෙනස් කර ගත් බවයි. ඔහු එසේ පවසා සිටියේ මාත්-ඔහුත් ඉනොර්බිට් බලා එකම ත්‍රී-රෝද රථයක ගමන් ගත විටෙකය. එහිදී ත්‍රී වීල් කරුවා දැමු වෙට්ටුවකට පසුව ඔහු මෙසේ පවසා සිටියා.  ඉන්දියාවේ එක් පැත්තකට මංතීරු හය බැගින් ඇති, ගුවන් පාලම් සහිත මාර්ග පද්දතියක් ඇතත්, එහි රියදුරන්ගේ විනය නම් ඉතා පහළ මට්ටමක පවතී. ඔවුන් එම හයි වේ වල පවා යූ ටර්න් ගසන්නට බිය නොවේ. 

අවසානයේදී එහි ඉන්ධන මිලද සඳහන් කිරීම වටී. ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 44ක් වේ එය අපේ මුදලින් රුපියල් 116කි. එය ඉතා මිල අධිකදැයි මම නොදනිමි. නමුත් දුමාරයෙන් පිරි නගරයත් වාහන තදබදයත් පවසන්නේ එය ඉතා ලාබ බව නොවේද ? නැතිනම් ඔවුන් ඉතා ධනවත් විය යුතුය. 

Tuesday, December 4, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - III කොටස.

තෙවන කොටස වෙනත් විදියකට (ෆේස්බූක් නෝට්ස් වශයෙන්) ලියා තැබූ එකක් නිසා මා මුලින්ම එය කියවා බැලුව. ඇත්තටම එය සජීවී අත්දැකීමට සමගාමීව ලියපු නිසා, එහි සඳහන් දින වකවානු නිවැරදියි. මා පසුගිය ලිපියෙන් ගුවන් යානයෙහි ගමන් වෙලාව රාත්‍රී 10.00 සහ 12.30 වශයෙන් සටහන් කලත් නිවැරදි වෙලාව වන්නේ ශ්‍රී ලංකාවෙන් රාත්‍රී 12.00ත් බොම්බායට රාත්‍රී 2.30ත් වශයෙන්. මෙහි රසවත් බවට ඉන් කිසි හානියක් නොවන නිසා එය මා නිවැරදි කරන්න යන්නේ නෑ. තවත් දෙයක් පළමු කොටසේ පිටත් වූ දිනය මාර්තු 28 වශයෙන් සටහන් කලත් නිවැරදි පිටත් වීමේ දිනය මාර්තු 29 විය යුතුයි. නමුත් එයිනුත් කතාවේ අන්තර්ගතයට හානියක් නෑ. ඒත් මා හැකි හැම විටම නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.

පළමු කොටසට සබැඳිය.

දෙවන කොටසට සබැඳිය.

Rooms
පින්තුරය ගත්තේ : http://www.hotelpushpak.com
මේ වගේ කාමරයක තමයි මා ඒ දින කිහිපය ගත කලේ. 
මා ගැස්සී ඇහැරුනේ කුමන හේතුවකටදැයි හිතා ගත නොහැකි විය. මා සිටින්නේ කොහිදැයි සිහි එලවා ගන්නට තවත් තප්පර කිහිපයක්ම නිසොල්මනේ සිට උත්සාහ ගතිමි. ඇඳ දෙපසට දෑත් යොමා මගේ දියණිය සෙවූයේ නිරායාසයෙනි. එහෙත් මොහොතකින් මා සිටින්නේ නිවසේ නොවන බවත්, ඊයේ රාත්‍රියේදී බොම්බායට ගොඩබට බවත් මතක් විය. මා නැගිට වායුසමන යන්ත්‍රය මදක් අඩු කර ජනේලයේ තිර මෑත් කර බැලීමී. අවම වශයෙන් උදෑසන අටවත් වී තිබිය යුතු බව වටපිට ආලෝකය දෙස බැලූ කල පසක් වුනත් මගේ ඔරලෝසුව දක්වන වෙලාව උදෑසන හයයි ගණනකි. මේ කාමරයෙන් පිටත් කුඩා මාවතක් ඇත. එය අපි කොළඹ දකින මාවත් තරම් සුන්දර නැත. එම මාවතෙන් ඔබ්බෙහි ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණයකි. එහි මේ වනවිට දකින්නට ලැබෙන්නේ නිවෙස් වල බාල සහ තරුණ ඇය පිටව ගිය පසු ඉතිරි වන වැඩිහිටියන්ය. අවම වශයෙන් එය තට්ටු විස්සක වත් ගොඩනැගිල්ලකි. තැනින් තැන සවි කර ඇති සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාත්, පිළිවෙලක් නැතිව එල්ලෙන වයර් රැහනුත්, තැනෙක දැල් ගසා තිබෙන ආකාරයත් එම ගොඩනැගිල්ල අශෝභන එකක් බවට පත් කර ඇත. මට නිතැතින් සිහියට ආවේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලයි. එය ගිනි ගන්නට කලින් තිබුනේ මෙවැනි පෙනුමකි.

රුපවාහිනිය ක්‍රියාත්මක කර නිවැරදි වෙලාව බලා ගන්නට නිෂ්පල උත්සාහයක නිරත වුයෙමි. අපේ මෙන් එහි තිබෙන චැනල් වල වෙලාව නොදක්වන්නේ ඒවා පැය 24 පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාතික නාලිකා වීමය. නමුත් උදෑසන හතට විකාශය වූ NDTV ප්‍රවෘත්ති නිසා තවමත් උදෑසන 7.00 බව තේරුම ගත හැකි විය. මා කල පළමු කාර්ය වුයේ ඔරලෝසුව නිවැරදි වෙලාට සකසා ගැනීමයි.මගේ ජංගම දුරකථනය ලංකාවේ වෙලාව නිවැරදිව දක්වයි. මා සුපුරුදු පරිදි නින්දෙන් පසු කරන පළමු කාර්යට මීළඟට යොමු වුනේ අද දින කරන වැඩ ගැන හිතමින්ය. බොහෝ දෙනා පිළිගන්නා පරිදි කොමෝඩ් එක මත වාඩි වූ පසු නිදහස් අදහස් ගලා එයි. එහෙත් ? කුමක් අරභයා මෙසේ අදහස් ගලා එන්නද? මේ මොහොතේ මා කලයුතු පළමු හා ප්‍රමුඛ කාර්ය වුයේ අවසාන තරගය සඳහා ටිකට් පතක් සොයා ගැනීමය.  වාසනාවකට මේ කාර්ය සඳහා මට ගත වන්නේ මිනිත්තු කිහිපයකි.

මීළඟට එම හෝටලයේ මෙනූ කාඩ් පත ගෙන උදෑසන ආහාරය සහ කිරි කෝපි ඇනවුම් කලෙමි. ඒ සඳහා ගත වූ මුදල රුපියල් 75කි. කිරි කෝපි එක සුපිරි මට්ටමකින් තිබුණි. හේතුව නැවුම් කිරි වලින් හදා තිබීමය. ප්‍රමාණය ගැනද සඳහන් කල යුතුය. එය ලොකු වීදුරුවක් පිරෙන්නම තිබුණි. එය මා ගෙදරදී ගන්නා ප්‍රමාණයට සමානය. මා ඊළඟට කලේ ඉතා කෙටි පිරිසිදු වීමක් කර උදෑසන ආහාරය ගැනීමයි. මා ඇනවුම් කලේ සැන්විච් වර්ගයකි. ඇත්තටම එහි වරදක් නැත. කුමක් හෝ එළවළුවක් ඌරච්චි කර පාන් පෙති දෙපස ආලේප කර(හරියට කොළ කැඳ වගේ) පසුව කුකුල් මස් තබා ටෝස්ට් කරන ලද ඒවාය. එය කෙනෙකුට ආහාරයට ගත් හැකි මට්ටමක පැවතිනි. මගේ ඊළඟ කාර්ය වුයේ ගෙදර සහ මගේ මිතුරා සුභාෂ් ඇමතීමයි. එහෙත් අපට ටිකට් ලභා දීමට පොරොන්දු වූ ගයාන්ගෙන් තවමත් සුභවාදී පිළිතුරක් ලැබී නැත. අතට අහු වූ ටී ෂර්ට් එකකින් සහ ෂෝර්ට් එකකින් සැරසී. ඩෙක්ස් සපත්තු කුට්ටම පැළඳ(පයින් ගමන් යාමට ගැලපේ) ඉනේ තද කරනා පොකට් එක තුල පාස්පෝර්ට් එක සහ අනෙකුත් වැදගත් දේ දමාගෙන. දෙතුන් ගමන කාමරය වසා ඇත්දැයි පරීක්ෂා කර ඉන් පිට වුනෙමි. මෙම ඉනේ ගැට ගසනා පොකට්ටුව විදේශගත වන ඕනෑම කෙනෙකු ළඟ තිබිය යුතු මෙවලමකි.

හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා රාත්‍රියේ සිටි තරුණයාමය. ඔහු තවමත් රාජකාරිය නිමා කර නැත. ඔහු මට වචන පිට නොකර ගූඩ් මෝර්නින් යන්න කීවේ ඇයිදැයි මට ඇති වූ ගැටලුවයි. මා කාමරයේ යතුර භාර දෙන ගමන් පිටුපස හැරී බැලීමි. එක්තරා තරබාරු තරුණයෙක් පඩිපෙළ යට, පැදුරක් එලා ඉස්ලාම් ආකාරයට යාඥා කරනු දැක, හඬක් පිට නොකර එලියට ආවා. මා එක පාරට පොරණුවකට ඇද දැමු කලෙක මෙන් රත් වී යනු දැනුනා. මෙවැනි උෂ්නාත්වයක් මෙතරම් පාන්දර ? මා මීට කලින් එවැනි උෂ්ණත්වයක් දරා නැත්තෙමි. "මුම්බායි හීට්" යන වචන පෙළ මගේ මනසට ආවේ නිතැතිනි. ඉදිරිපස බැලූ මා මහත් විමතියකට පත් වුයේ, ඇත්ත වශයෙන්ම පිස්සු හැදුනේ, ඉදිරිපස තිබෙන දසුන පිලිබඳ සිහි එලවා ගැනීමට නොහැකිවය. එහි ආරුක්කුවට ඇති කම්බි වල අමුණා ඇති මලකඩ කා, හැලෙන්නට ඔන්න මෙන්න ඇති අකුරු කියාව බැලීමි. මැ...ෆ්...කෝ...ර්... මා...ර්...ක...ර්..ට් . මැෆ්කොර් මාර්කට් යනු කොළඹ මැනින් මාර්කට් එකමය. අඩි දහයක පහළොවක් උස මහා බොම්බයි ළූණු ගොඩක්ද, පසෙක ලොරී වලින් ගෙනෙන ලද එළවලු ගෝණි බාන පිරිමින් සහ අවට ගැවසෙන කාන්තාවන්ද, වෙනත් පසක දොරටුවක ඇතුලත් වීමට තතනන ලොරි පෝලිමද සිහි ගැන්වුයේ මැනින් මාර්කට් එකමය. එහෙත් ඊට වඩා මහා පරිමානයෙන් මෙහි වෙළඳාම සිදු වනවා යන්න පැවසිය යුතු නැත.
පින්තුර ගත්තේ : lifeinnavimumbai.blogspot.com
පින්තුර ගත්තේ : lifeinnavimumbai.blogspot.com
දෙවියනේ, එහෙනම් මා ඉන්නේ එළවලු මාර්කට් එකක් මැදද? මුළු පෙදෙසම කුණු වූ එළවලු ගඳින් පිරී ඇත. යාබද වීදීය දිගේ ඇවිද ගිය මම මුලින්ම වම පැත්තට හැරී ටික දුරක් ගියා. අපේ ලංකාව කොච්චර හොඳද යන්න මගේ සිහියට ආවේ නිතැතින්මය. තැන තැන ඉතා විශාල වලවල් හාරා ඇත්තේ දැවැන්ත ටෙලිකොම් කේබල් වැළලීම සඳහායි. පාරේ තැන තැන කුණු වූ එළවලු දමා ඇත. මග දෙපස ඇති පේව්මන්ට් ගැන සඳහන් කල යුතුමය. මගේ ඇසේ මිම්මට අනුව අපේ පේව්මන්ට් එකක උපරිම උස අඟල් හතරකි. එහෙත් ඉන්දියාවේ ඒවා අඟල් අටත් අඩියත් අතර උසක ඇත. සමහරවිට වහින විට වීදී වැසි වතුරෙන් පිරී යනු ඇත. මේවා සකසා ඇත්තේ ඒවාට සරිලන්න විය යුතුයි. ඔබ මුම්බායි මාවතක ඇවිද යන්නේ නම් මාර්ගය ඉදිරිය දෙස ඉතා විමසිල්ලෙන් ගමන් ගත යුතුයි. මන්ද එහි සමහර තැන් වල කානුව වසන සිරප් බ්ලොක් ඉවත් කර ඇති බැවිනි. ඔබ අවට සිරි බලාගෙන ගියහොත් හොඳ නෑමක් නියතය. මා ගමන නවත්වා ඉදිරිය දෙස බැලීමි. වම පස මදක් ඉදිරියට වන්නට ඇත්තේ බස් නවතුම්පොලකි. එය පිටකොටුව ගුණසිංහපුර සිරි ගත්තත් ඊට වඩා පහල මට්ටමක ඇත යන්න සහතිකවම පැවසිය හැක. මා ආපසු හැරුනෙමි. මෙවර ඉදිරියට ගමන් කොට හරහා ගමන් ගන්නා හයි වේ මෙන් ඇති ඉතා පළල මාවතක් පසු කොට ඉදිරියටම ගමන් ගතිමි. එතනින් දකුණට හැරී  ඉදිරියේ තිබෙන ගොඩනැගිලි දෙස බලමින්ද, මාර්ගය ගැන විමස්ලිමත්වද දිගටම ගමනෙහි යෙදුනෙමි. අවසානයේ කිලෝ මීටර් හතරක් පමණ ගමන් ගත් විට සුරපුරයක් බඳු තැනක් හමු විය. එහි සඳහාව ඇත්තේ "ඉනොර්බිට් මෝල්" යනුවෙනි.  හරියට මැනින් මාකට් සිට ක්‍රෙස්කැට් ආව වගේය. මෙහි සියල්ල වෙනස්ය. තවමත් වෙලාව 8.15 පමණි. ඉතා හොඳින් ඇඳ පැළඳගත් තරුණ තරුණියන් මෙන්ම කාර්යාල සේවකයන්ද එයට ඇතුල් වීමට බලාගෙන සිටියි. එය ආරම්භ කරන්නේ උදෑසන 9.00ට විය යුතුයි.
පින්තුරය ගත්තේ : mouthshut.com : මේ තමයි Inorbit Mall එක.
එම ඇතුලත් වන දොරටුව ළඟ සිටින ආරක්ෂක නිලධාරියා දේශීය සියලුම පුද්ගලන්ගේ ගමන් මලු පරීක්ෂා කරයි. ඔහුගේ තීක්ෂණ ඇස පිලිබඳ මා තවමත් පුදුමයට පත් වන්නේ ඔහු මා හඳුනා ගත ආකයර ගැනය. මට කෙලින්ම සිනාසී ගුඩ් මෝර්නින් සර් යනුවෙන් පවසා කිසිදු පරීක්ෂාවක් නොකර ඇතුලට යන්න සැලැස්වීය. ශ්‍රී ලංකාවේදී පවා සමහර ඉන්දියානුවන් මා සමග හින්දි බසින් කථා කර ඇත. එහෙත් ඔහු මා විදේශිකයකු ලෙස හඳුනා ගත්තේ කෙසේද ? එහි ඇතුල සුර පුරයක් බඳු විය. මෙම නගරයෙහි ගත කල කෙටි කාලය තුලදී මා තේරුම් ගත සත්‍ය නම් "ඉන්දියාව තුල දිව්‍ය ලෝකයත් අපායත් යන දෙකම ළඟ ළඟ ඇත්තේය" යන්නයි. මා එහි කඩ සාප්පු වල සැරි සරා මට අවශ්‍ය මූලික දේවල් මිල දී ගත්තා. එහි පහලම මාලයේ තිබෙන ෆුඩ් සිටියෙන් සබන්/ෂැම්පු/රේසර් සහ ශේවින් ෆෝම් ආදිය මිලදී ගෙන එලියට ආ විට, එහි කෙලවරේ ඇති රට බීම සාප්පුව දැක මා එය වෙත ගියා. කෙලින්ම එහි හිමිකරුගෙන් මා විමසා සිටියේ බ්ලැක් ලේබල් විස්කි බෝතල් තුනක් මිලදී ගැනීමට කැමතිද යන්නයි. ඔහු එහි මිල සහ තිබෙන්නේ කොහෙද යන්න විමසා සිටියා. මා එකක් රුපියල් 4000ක් වන බව පවසා හෝටලයේ කාඩ් පත පෙන්නුවා. ඉන්පසුව ඉන්දීය භාෂාවෙන් දෙදෙනා අතර සංවාදයක් ඇති වුවා. පසුව ඔවුන් මිලදී ගන්නේ නැති බව පවසා සිටියා. 

ඇවිදින කුමන රටකින් වුවද සේරෙපු කුට්ටමක් මිලදී ගැනීම මගේ සිරිතක්. ඉන්දියාවෙන්, මැලේසියාවෙන් එසේ ගෙන ආ සෙරෙප්පු තවමත් අප නිවසේ ඇත. මෙවැනි ගමන් යත්දී මා ගෙනියන කුඩා නෝට් පොත තවමත් මා ළඟ ඇත. මා හරියටම වියදම් වූ ගණන් කියන්නේ ඒ පොත ආධාරයෙන්ය. ඉනොර්බිට් මොල්හී මහල් හතරක් ඇත. සියලුම බ්‍රෑන්ඩඩ් දේවල් මෙහි ඇත. උඩින් පල්ලෙන් එම කඩ සාප්පු වෙත් ගිය මා ඉහලම මාලයට ගොස් නැවතුනෙමි. එය ආහාර පාන වර්ග විකුණන වෙළඳ සල් වලින් පිරී ඇත. ඉන්දියාවේ ඇති සියලුම වර්ග වල ආහාර එහි ඇත. මා මුලින්ම එහි පලතුරු යුෂ විකුණන කුඩා වෙලන්දසැලකට ගොස් ඔවුන්ගේ මෙනු කාඩ් පත සම්පුර්ණයෙන්ම බලා කිවි යුෂ වීදුරුවක් ඇනවුම් කලෙමි. මෙය සාමාන්‍යයෙන් ඉන්දියාවට ආවේනික් පළතුරක් නොවේ යන්න අනුමාන කර එසේ කලෙමි. මන්ද ඉන්දියාවේදී බොහෝ බඩ ආශ්‍රිත රෝග වැළඳෙන්නේ පලතුරු වලින් බව කොහේ හෝ කියව තිබුණි. වෙළෙන්දා විශේෂිත වතුර බෝතල් වර්ගයක් පෙන්වා එයින් සාදන්නද යන්න මගෙන් විමසීය. එම වර්ගයේ වතුර බෝතලයක් රුපියල් විස්සකි(ලංකාවේ මුදලින් රුපියල් 60කි - මෙය මිලි ලීටර් 500ක හෝ 600ක එකකි) මා එය අනුමත කල පසු ඔහු එය සාදා දුන්නේය. එය සාමාන්‍ය මිලට වඩා රුපියල් විස්සක් මිලය. සාමාන්‍ය මිල ඉන්දීය රුපියල් 40ක් වන අතර විශේෂිත වතුරෙන් සෑදූ විට රුපියල් හැටකි. එය ප්‍රනීත පානයක් බවද කිව යුතුය. 

මා ඉන් පිට වී ටුක්-ටුක් එකක් ආධාරයෙන් මගේ නවාතැන වෙත ගියෙමි. මිල රුපියල් පනහකි. මීළඟ කොටසින් ඉන්දියාවේ ප්‍රවාහනය ගැන ලිවීමට අදහස් කර තිබෙන බැවින් මෙහි ඒ ගැන සඳහන් නොකරමි. කාමරයට ගොස් රුපවාහිනිය බැලීමි. වැදගැම්මකට ඇති යමක් නැත.  දිගු නෑමකින් පසුව අලුත් ඇඳුමකින් සැරසී එලියට ආවෙමි. එම හෝටලයට යාබදවද මත්-පැන් හලක් ඇත. මා එහි මුදල් අයකැමි වරයාටද මා සතු දේ ගැන පැවසුවත් ඔවුන් මිලදී නොගන්නා බව හිසින් සන් කළේය. "මොන පට්ට පල් බොරුවක්ද ? ඉන්දියාවේ විස්කි විකුණන්න පුළුවන් කියන්නේ. එකෙක් වත් ගන්නේ නෑනේ"  යයි සිතමින් මම හෝටල් හිමියාගෙන්ද විමසීය. කොහොමත් මුස්ලිම් වරයෙකු වූ ඔහු සිනාසී "අයි ඩෝන්ට් තින්ක් එනි වන් බයි දෙම්" කියා පැවසීය. මගේ විස්කි වෙළඳාම එසේ හමාර විය. මා නැවතත් ටුක්-ටුක් එකක් ආධාරයෙන් ඉනොර්බිට් ගියෙමි. එහි යනවිට දහවල් එක වන්නට ඇත. 

ආහාර වෙළඳ සැල් ඇති සිව්වන මහලේ එකම ගාල ඝෝට්ටියකි. එය ගාල ඝෝට්ටියකට වඩා ක්‍රීඩා පිට්ටනියක ඇති හුරේ පාරකට සමානය. දෑස අදහ ගැනීමටත් නොහැකිය. සියලුම ආසන ඉන්දීය කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් පිරී ඇත. ඒවා මේස වලින් වෙන් කර ඉදිරිපස ඇති   දැවැන්ත තිරය  අසලට ගෙන ගොස් ඇත. කිසිවකු ආහාර ගන්නා බවක් නොපෙනේ. ආසන මදි වූ තරුණ තරුණියන් බිම වාඩි වී ඇත. වෙළඳසැල් හිමියන්ටද එය ගානක් නැත. ඔවුන්ද වෙළඳාම පැත්තක තබා මේ තිරය දෙස දෑස් අයා බලා සිටියි. අද තීරණාත්මක දෙවන අවසාන පූර්ව තරගය ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වේ. එහෙත් මේ තරගය ආරම්භ කිරීමට තව බොහෝ වේලා ඇත. එසේනම් ඔවුන් මේ හැටියට බෙරිහන් දෙන්නේ මන්ද? මමද ඒ තිරය දෙසට දුව ගොස් බැලුවෙමි. තරගය ආරම්භ කිරීමට ප්‍රථම විවිධ ක්‍රීඩකයන්ගෙන්  විමසුම් කිරීම දැන් විලාසිතාවයි. මේ වනවිට නිවේදකයා අල්ලාගෙන සිටින්නේ සචින් තෙන්ඩුල්කාර්වයි. සචින් යනු ඉන්දීය ක්‍රීකට් ලෝලීන්ට දෙවියෙක් බඳු පුද්ගලයෙක්ය. ඒ සඳහා හේතු කිහිපයක්ම ඇත. ඒ සචින් ඉහල කුලයක අයෙකු වීම සහ ඔහු අවුරුදු දාහතේ සිට මේ දක්වා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර වාර්තා කිහිපයකටම හිමි කම් කීමයි. ඉන්දියානුවා තමන් බඩගින්නේ හිඳිමින් ධනවතුන්ගේ ක්‍රියාකාරම් දැක සතුටු වන ජාතියකි. අර මෙගා සීරීස් කතා කට ඇරගෙන බලා සිටින්නේ එනිසාය.

දැන් මා නිවසට ඇමතිය යුතු වෙලාවයි. මේ මගේ දියණිය පාසැල් ගොස් නිවාස බලා එන වෙලාවයි. රුපියල් 1000ක එයාර්ටෙල් කාඩ්පතක් රීලෝඩ් කරගෙන ආවේ ඈ වෙනුවෙන්මය. උදෑසන ගත් දුරකථන ඇමතුම් දෙක හැරෙන්නට කෙටි පණිවුඩ කිහිපයක් මේ වන විට යවා ඇත. වඩාත් පහසුවෙන් දියණිය ඇමතීමට මා යොදා ගන්නේ ඇය බලා ගන්නා සේවිකාවගේ ජංගම දුරකථනයයි. මගේ නිවසේ ඉහළම සූදානමක්(High Availability) ඇති දුරකථනය එයයි. මගේ සොයුරිය ඇගේ දුරකථනය හිතුන හිතුන තැන් වල තැබුවත්, මෙම වතු දෙමළ සේවිකාව එය මැනවින් චාර්ජ් කර ඇය අසලම තබා ගන්නේ ඇයටද තම දරුවන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන බැවිනි. ඇත්ත වශයෙන්ම ඇය නුවණැති සේවිකාවකි(ඒ ගැන පසු සටහනක් කරන්නම්). මා ඇයගේ දුරකථනය ඇමතීමි. එහෙත් අර ඝෝෂාව නැවතත් පටන් ගති. මෙවර කව්රුන් සමග සාකච්ඡාවක් සිදු වේද? මම එතනින් ඉවත්ව ඈතකට ගියෙමි. මෙවර එම හඬ මුළු ශාලාවම ගිගුම් දෙයි. මම එලිවේටරයට පැන පහලම මාලයට ආවෙමි. අහෝ ! එහිද මෙවැනිම මෙගා තිරයක් වටා මෙවැනිම රිලව් රැලක් වට වී ඇත. එලියට යා නොහැක්කේ කන් පැලෙන උෂ්ණත්වය නිසාය. මේ වනවිට සෙන්ටිග්‍රේඩ් 40ක පමණ උෂ්ණත්වයක් එළිමහනේ ඇත. මා ඒ අදහස ඇත හැර, නැවතත් ඉහළම මාලයට බඩ ගෑවේ බඩගින්න නිවා ගැනීමටය.  ආහාරපාන විකුණන වෙලේන්දන්ටද කිසි නිනව්වක් නැත. මා ආහාර අසා සිටි විට ඔවුන් නැසූ කන්ව තීරය දෙස කට ඇරන් බලා සිටිති. දෙතුන් ගමනක හඬ ගෑමෙන් පසු ඔහු මා ඉල්ලු අහාරය බෙදා  දුනි. ඒ අතරවාරයේද අර තිරයට ඇස් යොමන්නට ඔහු අමතක කලේ නැත.

ඊළඟ අභියෝගය ආහාර ගන්නට තැනකි. මගේ වාසනාවට වෙනත් කොනක බිමටම සවි කල සොපාවක් ආසන්නයේ තබා ඇති කුඩා මේසයක් අසල කෑම ගනිමින් හුන් තරුණ යුවල අහාරය නිමා කර නැගිට්ටේ මට අවස්ථාව ලබා දෙමිනි. එම අහාරය මගේ රුචියට නොගැලපුනත් කුසගින්න නිවා ගන්නට ගිල දැමීමි. එහෙත් එහි ඇති සමහර රසවල් අපිට ඝෝචාරය. මා ගත්තේ පාරාට වර්ගයකි. ඇත්ත වශයෙන්ම ඒවා නිකංම වුනත් ගිල දැමීමට හැකිය. මෙම ස්ථානයේ ආහාර ඉතා පිරිසිදු බැවින් බිය විය යුතු නැත. මෙහි මිල රුපියල් 120ක් විය යුතුය. එහි තිබෙන බොහෝ ආහාර 120-200ත් අතර මිලකට ලබා ගත හැක. ඔබට අවශ්‍ය වර්ගයක අහාර මෙහි ඇත. KFC, Pizza Hut  වෙළඳ හල් පවා ඇත. එහෙත් එකම ගැටලුව මේවායේ සේවය කරන්නේ ඉන්දියානුවන් වීම සහ අද ඔවුන්ගේ දෙවිවරු ක්‍රීඩා කරන දවස වීමය. ඒ ඔවුන්ගේ සදාකාලික හතුරා වන පාකිස්ථානයට එරෙහිවය. මීට ප්‍රථම පාකිස්තානය ලෝක කුසලාන වලදී හමු වූ හැම අවස්ථාවකම ඉන්දියාව ජය ගෙන ඇත. එනිසා ඉන්දියානුවන් සිටින්නේ මෙම තරගයද ජය ගත් අයුරින්ය. තරගය ආරම්භ වීමට ප්‍රථම ඉන්දීය ජාතික ගීය ගයන වෙලාවේ නැගී සිටීමටත්, මගේ කැප් එක ඉවත් කිරීමටත් මා වග බලා ගත්තත් ඔවුන් සමග එක් වී මා නොගයන විට කිහිප දෙනෙකුගේම දෑස් මා වෙත යොමු වනු දුටිමි. ඔවුන් මහා හඬින් ජන, මන, ඝන, අභි නායක ජය හේ.. කියද්දී මගේ ඇඟේද හිරි ගඩු පිපුනී. ඒ තරමටම තම ජාතිය උතුම් කොට සලකන රටක් ලොව ඇත්ද? ඉන්දියාවේ මා දුටු විශේෂත්වය නම් එහි සිටින මුස්ලිම් ජාතිකයන්ද ඉන්දීය වීම සහ ඉන්දීය කණ්ඩායමට සහයෝගය දැක්වීමය. අපේ මුස්ලිම් ජාතිකයන් එසේ කරනවාද ? එසේ නොවීමට හේතුව කුමක්ද ?
පින්තුරය ගත්තේ : mumbai77.com : මේ එහි ඇතුලත දර්ශනයක්.
අද පොස්ට් එකෙන් ලියා ඇත්තේ 2011 මාර්තු 30 වනදා හවස දෙක පමණ වන තෙක් අත්දැකීම්ය. ඉතිරි කොටස තවත් පොස්ට් එකක් තරමට දිගු වනු ඇත. එනිසා මෙම අත්දැකීම් පෙළ එක දිගට ලියා හමාර කරන්නම්.


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...