1896 දී ග්‍රීසියේ ඇතන්ස් නුවරින් ඇරඹි ඔලිම්පික් තරගාවලියේ 30 වන පියවර ලන්ඩනයේදී මේ පොස්ටුව ලියන මොහොතේදීත් ක්‍රියාත්මක වේ. ඔලිම්පික් තරගාවලිය සඳහා තිබෙන බොහෝ තරග සඳහා දක්ෂතා දක්වන විශේෂ ජාතීන් වෙයි. මලල ක්‍රීඩා, බාස්කට්බෝල් සහ බොක්සිං සඳහා කළු ජාතිකයන්ද, ජිම්නාස්ටික්, කිමිදීම්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, දුන්නෙන් විදීම, ඉලක්කයට වෙඩි තැබීම සඳහා නැගෙනගිර ආසියාතිකයන් සමත් කම් දක්වයි. යුරෝපීයයන් විශේෂයක් නොදක්වා මේ සියළු ක්‍රීඩා සඳහා දස්කම් දක්වයි. කෙටියෙන් කිවහොත් වැඩි කය ශක්තියක් ඇති කල්ලන් ශක්තිය සහ වේගය පදනම් වන ක්‍රීඩා ජය ගන්නා අතර, නම්‍යතාව සහ සංයමය අවශ්‍ය ක්‍රීඩා නැගෙනහිර ආසියාතිකයන් ජය ගනී. ශක්තිය යම් මට්ටමකටත්, නම්‍යතාව යම් මට්ටමකටත් ඇති යුරෝපීයයන් මේ දෙකටම මධ්‍යස්ථ දක්ෂතා දක්වයි. එහෙත් අප වැනි ශක්තිය හෝ නම්‍යතාව නැති දකුණු ආසියාතිකයන්ට කල හැකි ක්‍රීඩා මොනවාද ?
දකුණු ආසියාතිකයන් වන අප පොදුවේ සෑම ක්‍රීඩාවක්ම කරන අතර, ඉඳහිට ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක ගත හැක. එහෙත් අප දිගුකාලීනව දක්ෂතා දක්වන ක්‍රීඩාවක් නැත. සමාවන්න ඔලිම්පික් ක්‍රීඩාවක් නැත. එහෙත් අපේ දකුණු ආසියාතිකයන් ඉහල දක්ෂතාවක් දක්වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් නොවන්නේ මන්ද ? ඔවුන් හිතා මතා අප මගහැර ඇද්ද? ඇත්තටම සමහර ඔලිම්පික් තරග තෝරා ගත්තේ කුමන පදනමකින්දැයි ප්‍රහේලිකාවකි. සාමාන්‍යයෙන් යම් ක්‍රීඩාවක් ක්‍රීඩා කරන රටවල් ගණන මේ සඳහා පදනම් වෙතැයි සිතුනද, එය එසේ නොවන බව පසක් වන්නේ මේ සඳහා තෝරාගෙන ඇති සමහර ක්‍රීඩා රටවල් කිහිපයකට පමණක් ආවේනික ඒවා වීමය. උදාහරණයකට ගෘහස්ථ සයිකල් තරග(Cycling - Track), අසුන් පැන්නවීම(Equestrian), කඩු සටන්(Fencing), බී.එම්.එක්ස්. බයිසිකල් තරග(Cycling - BMX) කිහිපයකි. අනෙක්වායින්ද කිහිපයක් ඉතා සීමිත ජන කොට්ටාශ ක්‍රීඩා කරන ඒවාය.
ඔලිම්පික් සඳහා තරග තෝරා ගන්නේ කෙසේද ? අන්තර්ජාලය ඇසුරින් සොයා ගත හොඳම පිළිතුර මෙසේ පරිවර්තනය කර ඉදිරිපත් කරන්නම්
- ඔලිම්පික් ක්‍රීඩාවක් වශයෙන් යම් ක්‍රීඩාවක් තෝරා ගැනීමට නම් ඒ සඳහා ජාත්‍යන්තර පාලන මණ්ඩලයක් (Governing Body) තිබිය යුතු අතර ජාත්‍යන්තර ශුරතා තරගාවලියක් පැවැත්වෙන ක්‍රීඩාවක් විය යුතුයි.
- එම පාලන මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීතිරීති වලට අනුකුල විය යුතුයි. උදාහරණයකට මත්ද්‍රව්‍ය භාවිතය පිටු දැකිය යුතුයි.
- මහද්වීප හතරක රටවල් 75ක ක්‍රීඩා කරන ක්‍රීඩාවක් විය යුතුයි. කාන්තා අංශයටනම් මහද්වීප තුනක රටවල් 40ක ක්‍රීඩා කිරීම ප්‍රමාණවත්ය. මෙයින් අදහස් කරන්නේ එම රටවල් එම ක්‍රීඩාවේ යෙදෙනවාද යන්න නොවේ. එම රට අදාල පාළන මණ්ඩලයේ සක්‍රිය සාමාජිකයකු විය යුතු අතර, එම ක්‍රීඩාව එම රටේ ක්‍රීඩා වනවාද යන්න අදාල නොවේ. උදාහරණයකට අයර්ලන්තයේ කිසිම තැනක අයිස් හොකී ක්‍රීඩාව නොකලද ලෝක අයිස් හොකී සංගමයේ ඔවුන් සක්‍රීය සාමාජිකත්වය දරයි.
- තරගය සඳහා ශාරීරික දායකත්වය තිබිය යුතු අතර යන්ත්‍රසුත්‍ර වල දායකත්වයක් නොතිබිය යුතුය.
- අවම වශයෙන් ජාත්‍යන්තර තරගාවලි දෙකක් වත් පවත්වා තිබිය යුතුයි.
2016 ඔලිම්පික් තරගාවලියා සදහා ක්‍රීඩා 28ක් තෝරා ගනු ලබන අතර , මේ දක්වා යොදාගෙන නැති ක්‍රීඩා අටක් අතරින් 2ක් චන්ද විමසීමක් ඔලිම්පික් විධායක කමිටුව මගින් සිදු කරනු ඇත. 2020 සඳහා නිත්‍ය ක්‍රීඩා 25ක්ද පාවෙන ක්‍රීඩා 3ක්ද තෝරා ගනු ඇත. මෙම පාවෙන ක්‍රීඩා ඊළඟ අවස්ථාවේදී චන්ද විමසීම මගින් තෝරා ගන්නවා ඇත.
ඔලිම්පික් හා ක්‍රිකට් - "යා දෙක නොරත රත" වනු ඇද්ද?
ඉතින් දකුණු ආසියාතික අපේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ක්‍රිකට් කවදා ඔලිම්පික් තරග වලට ඇතුලත් කර ගන්නවාද යන්න මට මෙන්ම ඔබට ගැටළුවක් වී තිබුනා විය හැක. ඇත්තටම අතීතයේදී මේ ගැන සාකච්චා වී නැද්ද ? කෙටිම උත්තරය ඇත යන්නයි. 1900 දී ඔලිම්පික් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුම නොවන්නේද ? ඔව් 1900 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ඇතුලත් වූ අතර එහි එකම තරගය එංගලන්තය ප්‍රංශය අතර පවත්වා තිබෙනවා. ඒ සඳහා එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 12ක බැගින් ක්‍රීඩා කර ඇති අතර. රන් පදක්කම දිනා ඇත්තේ එංගලන්තයයි.
ඇත්තටම ඔලිම්පික් සඳහා ඉන් පසුව ක්‍රිකට් ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ හැත්තෑ ගණන් වන තෙක්ම එය දින හයක් දක්වා දිවෙන් දිගු ක්‍රීඩා තරග වීමය. රටවල් දහයක් පමණ ඉදිරිපත් වුවහොත් ඔලිම්පික් තරගාවලියක් අවුරුද්දකට කලින් පටන් ගන්නට සිදු වනවා ඇත. එක්දින ක්‍රමය හඳුන්වා දුන් පසුවද එය ඇතුලත් කර ගෙන නොමැත. ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන රට සතුව ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි එක ක්‍රීඩාංගනයක්වත් තිබීම අත්‍ය අවශ්‍ය සාධකයක්ය. එහේත් එක්දින තරගවත් අඩුම ගානේ අයි.සී.සී. හී ලියාපදිංචි මුල් කණ්ඩායම් දොළහ සඳහා පවත්වා ඉවර කරන්නට අවශ්‍ය කාලය වැඩිය. විස්සයි - විස්ස ක්‍රිකට් තරග හදුන්වා දීමත් සමග මේ පිලිබඳ බලාපොරොත්තු දල්වා ගත හැකි වූ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ඒ පිලිබඳ යම් යම් ඉඟි ලබා දී ඇත.
ඉහත මුලික අවශ්‍යතා හතර ගතහොත්
- ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර පාලක මණ්ඩලයක් ඇත. අන්තර්ජාතික තරගාවලියක් පැවැත්වේ.
- අවශ්‍ය පමණටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරයි.
- මහද්වීප හතරක එය ක්‍රීඩා කරයි. රටවල් 75ක් තවමත් ක්‍රීඩා කරනවාද ? ඇත්තටම දැන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන රටක් නැත. එහෙත් එය අත්‍යාවශ්‍ය සාදකයක් නොවේ. සක්‍රීය සාමාජිකත්වය තිබීම පමණක් සෑහේ.
- ඒ සඳහා යන්ත්‍ර සුත්‍ර දායකත්වයක් නැත.
- මේ වනවිට ජාත්‍යන්තර තරගාවලි දෙකකට වඩා පවත්වා ඇති මුත්, රටවල් 75 කට වඩා සාමාජිකත්වය ලැබූ පසු තරගාවලි දෙකක් පවත්වා තිබේද යන්නද ගැටළු සහගතය ?
- ප්‍රධාන සාමාජිකත්වය දරන රටවල් 10යි
- ආශ්‍රිත සාමාජිකත්වය දරන රටවල් 6යි
- දෙවන මට්ටමේ ආශ්‍රිත සමාජිකයි 36ක්ද
- අනෙකුත් රටවල් 60 කට වැඩි ප්‍රමාණයක්
අවසාන වශයෙන් සාමාජිකත්වය ලබූ රට වනුයේ රුසියාවයි. ඒ මේ වසරේදීයි. එම නිසා මෙම වසරේ සිටි සලකනු ලැබුවහොත් ජාත්‍යන්ත්තර තරගාවලි 2ක් සපුරන්නට 2015 සහ 2019 ලෝක කුසලාන ගත හැකයි. ඒ අනුව ඉන් පසු එළැබෙන 2020 තරගාවලිය සඳහා තෝරා ගැනීම සඳහා තරමක් පමා වනු ඇත. මේ අනුව 2024 ඔලිම්පික් තරගාවලියෙදී ක්‍රිකට් ක්‍රීඩා කරනු දැකිය හැකිද ? 2024 තරගාවලිය සඳහා ඉදිරිපත් වන ප්‍රදාන ලංසු කරුවෙක් වන ප්‍රංශයට මෙම තරගාවලිය සංවිධානය කරන්නට අවස්තාව ලැබුනහොත් 1900දී ප්‍රංශයේ පැවැත්වූ තරගය සිහිගන්වමින් නැවතත් ඔලිම්පික් ක්‍රිකට් තරගයක් පැවැත්විය හැක.
මෙවර ඔලිම්පික් තරගාවලියට සමගාමිව 1900 ආකෘතියටම ක්‍රිකට් තරගයක් ප්‍රංශයේදීම පවත්වන්නට යයි. ඒ මේ මස 19 වැනිදායි. එම තරගාවලි දෙකේ ප්‍රචාරක දැන්වීම් පහතින් තිබේ.
පින්තුරය ගත්තේ : http://futurnow.tumblr.com
පින්තුරය ගත්තේ : http://futurnow.tumblr.com
පින්තුර ගනු ලැබුවේ සහ ඒ ගැන වැඩිපුර විස්තර (පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්)

