Saturday, August 4, 2012

ඔලිම්පික් සඳහා තරඟ තෝරා ගැනීම සාධාරණද ?


1896 දී  ග්‍රීසියේ ඇතන්ස් නුවරින් ඇරඹි ඔලිම්පික් තරගාවලියේ 30 වන පියවර ලන්ඩනයේදී මේ පොස්ටුව ලියන මොහොතේදීත් ක්‍රියාත්මක වේ. ඔලිම්පික් තරගාවලිය සඳහා තිබෙන බොහෝ තරග සඳහා දක්ෂතා දක්වන විශේෂ ජාතීන් වෙයි. මලල ක්‍රීඩා, බාස්කට්බෝල් සහ බොක්සිං  සඳහා කළු ජාතිකයන්ද, ජිම්නාස්ටික්, කිමිදීම්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, දුන්නෙන් විදීම, ඉලක්කයට වෙඩි තැබීම සඳහා නැගෙනගිර ආසියාතිකයන් සමත් කම් දක්වයි. යුරෝපීයයන් විශේෂයක් නොදක්වා මේ සියළු ක්‍රීඩා සඳහා දස්කම් දක්වයි. කෙටියෙන් කිවහොත් වැඩි කය ශක්තියක් ඇති කල්ලන් ශක්තිය සහ වේගය පදනම් වන ක්‍රීඩා ජය ගන්නා අතර, නම්‍යතාව සහ සංයමය අවශ්‍ය ක්‍රීඩා නැගෙනහිර ආසියාතිකයන් ජය ගනී. ශක්තිය යම් මට්ටමකටත්, නම්‍යතාව යම් මට්ටමකටත් ඇති යුරෝපීයයන් මේ දෙකටම මධ්‍යස්ථ දක්ෂතා දක්වයි. එහෙත් අප වැනි ශක්තිය හෝ නම්‍යතාව නැති දකුණු ආසියාතිකයන්ට කල හැකි ක්‍රීඩා මොනවාද ? 

දකුණු ආසියාතිකයන් වන අප පොදුවේ සෑම ක්‍රීඩාවක්ම කරන අතර, ඉඳහිට ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක ගත හැක. එහෙත් අප දිගුකාලීනව දක්ෂතා දක්වන ක්‍රීඩාවක් නැත. සමාවන්න ඔලිම්පික් ක්‍රීඩාවක් නැත. එහෙත් අපේ දකුණු ආසියාතිකයන් ඉහල දක්ෂතාවක් දක්වන ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් නොවන්නේ මන්ද ? ඔවුන් හිතා මතා අප මගහැර ඇද්ද? ඇත්තටම සමහර ඔලිම්පික් තරග තෝරා ගත්තේ කුමන පදනමකින්දැයි ප්‍රහේලිකාවකි. සාමාන්‍යයෙන් යම් ක්‍රීඩාවක් ක්‍රීඩා කරන රටවල් ගණන මේ සඳහා පදනම් වෙතැයි සිතුනද, එය එසේ නොවන බව පසක් වන්නේ මේ සඳහා තෝරාගෙන ඇති සමහර ක්‍රීඩා රටවල් කිහිපයකට පමණක් ආවේනික ඒවා වීමය. උදාහරණයකට ගෘහස්ථ සයිකල් තරග(Cycling - Track), අසුන් පැන්නවීම(Equestrian), කඩු සටන්(Fencing), බී.එම්.එක්ස්. බයිසිකල් තරග(Cycling - BMX) කිහිපයකි. අනෙක්වායින්ද කිහිපයක් ඉතා සීමිත ජන කොට්ටාශ ක්‍රීඩා කරන ඒවාය.

ඔලිම්පික් සඳහා තරග තෝරා ගන්නේ කෙසේද ? අන්තර්ජාලය ඇසුරින් සොයා ගත හොඳම පිළිතුර මෙසේ පරිවර්තනය කර ඉදිරිපත් කරන්නම්

  1. ඔලිම්පික් ක්‍රීඩාවක් වශයෙන් යම් ක්‍රීඩාවක් තෝරා ගැනීමට නම් ඒ සඳහා ජාත්‍යන්තර පාලන මණ්ඩලයක් (Governing Body) තිබිය යුතු අතර  ජාත්‍යන්තර ශුරතා තරගාවලියක් පැවැත්වෙන ක්‍රීඩාවක් විය  යුතුයි.
  2. එම පාලන මණ්ඩලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීතිරීති වලට අනුකුල විය යුතුයි. උදාහරණයකට  මත්ද්‍රව්‍ය භාවිතය පිටු දැකිය යුතුයි. 
  3. මහද්වීප හතරක රටවල් 75ක ක්‍රීඩා කරන ක්‍රීඩාවක් විය යුතුයි. කාන්තා අංශයටනම් මහද්වීප තුනක රටවල් 40ක ක්‍රීඩා කිරීම ප්‍රමාණවත්ය. මෙයින් අදහස් කරන්නේ එම රටවල් එම ක්‍රීඩාවේ යෙදෙනවාද යන්න නොවේ. එම රට අදාල පාළන මණ්ඩලයේ සක්‍රිය සාමාජිකයකු විය යුතු අතර, එම ක්‍රීඩාව එම රටේ ක්‍රීඩා වනවාද යන්න අදාල නොවේ. උදාහරණයකට අයර්ලන්තයේ කිසිම තැනක අයිස් හොකී ක්‍රීඩාව නොකලද ලෝක අයිස් හොකී සංගමයේ ඔවුන් සක්‍රීය සාමාජිකත්වය දරයි.
  4. තරගය සඳහා ශාරීරික දායකත්වය තිබිය යුතු අතර යන්ත්‍රසුත්‍ර වල දායකත්වයක් නොතිබිය යුතුය.
  5. අවම වශයෙන් ජාත්‍යන්තර තරගාවලි දෙකක් වත් පවත්වා තිබිය යුතුයි.

2016 ඔලිම්පික් තරගාවලියා සදහා ක්‍රීඩා 28ක් තෝරා ගනු ලබන අතර , මේ දක්වා යොදාගෙන නැති ක්‍රීඩා අටක් අතරින් 2ක් චන්ද විමසීමක් ඔලිම්පික් විධායක කමිටුව මගින් සිදු කරනු ඇත. 2020 සඳහා නිත්‍ය ක්‍රීඩා 25ක්ද පාවෙන ක්‍රීඩා 3ක්ද තෝරා ගනු ඇත. මෙම පාවෙන ක්‍රීඩා ඊළඟ අවස්ථාවේදී චන්ද විමසීම මගින් තෝරා ගන්නවා ඇත.

ඔලිම්පික් හා ක්‍රිකට් - "යා දෙක නොරත රත" වනු ඇද්ද?

ඉතින් දකුණු ආසියාතික අපේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ක්‍රිකට් කවදා ඔලිම්පික් තරග වලට ඇතුලත් කර ගන්නවාද යන්න මට මෙන්ම ඔබට ගැටළුවක් වී තිබුනා විය හැක. ඇත්තටම අතීතයේදී මේ ගැන සාකච්චා වී නැද්ද ? කෙටිම උත්තරය ඇත යන්නයි. 1900 දී ඔලිම්පික් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුම නොවන්නේද ? ඔව් 1900 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ඇතුලත් වූ අතර එහි එකම තරගය එංගලන්තය ප්‍රංශය අතර පවත්වා තිබෙනවා. ඒ සඳහා එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 12ක බැගින් ක්‍රීඩා කර ඇති අතර. රන් පදක්කම දිනා ඇත්තේ එංගලන්තයයි. 

ඇත්තටම ඔලිම්පික් සඳහා ඉන් පසුව ක්‍රිකට් ඇතුලත් නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ හැත්තෑ ගණන් වන තෙක්ම එය දින හයක් දක්වා දිවෙන් දිගු ක්‍රීඩා තරග වීමය. රටවල් දහයක් පමණ ඉදිරිපත් වුවහොත් ඔලිම්පික් තරගාවලියක් අවුරුද්දකට කලින් පටන් ගන්නට සිදු වනවා ඇත. එක්දින ක්‍රමය හඳුන්වා දුන් පසුවද එය ඇතුලත් කර ගෙන නොමැත. ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන රට සතුව ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි එක ක්‍රීඩාංගනයක්වත් තිබීම අත්‍ය අවශ්‍ය සාධකයක්ය. එහේත් එක්දින තරගවත් අඩුම ගානේ අයි.සී.සී. හී ලියාපදිංචි මුල් කණ්ඩායම් දොළහ සඳහා පවත්වා ඉවර කරන්නට අවශ්‍ය කාලය වැඩිය.  විස්සයි - විස්ස ක්‍රිකට් තරග හදුන්වා දීමත් සමග මේ පිලිබඳ බලාපොරොත්තු දල්වා ගත හැකි වූ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ඒ පිලිබඳ යම් යම් ඉඟි ලබා දී ඇත.

ඉහත මුලික අවශ්‍යතා හතර ගතහොත්
  1. ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර පාලක මණ්ඩලයක් ඇත. අන්තර්ජාතික තරගාවලියක් පැවැත්වේ.
  2. අවශ්‍ය පමණටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරයි.
  3. මහද්වීප හතරක එය ක්‍රීඩා කරයි. රටවල්  75ක් තවමත් ක්‍රීඩා කරනවාද ? ඇත්තටම දැන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන රටක් නැත. එහෙත් එය අත්‍යාවශ්‍ය සාදකයක් නොවේ. සක්‍රීය සාමාජිකත්වය තිබීම පමණක් සෑහේ.
  4. ඒ සඳහා යන්ත්‍ර සුත්‍ර දායකත්වයක් නැත.
  5. මේ වනවිට ජාත්‍යන්තර තරගාවලි දෙකකට වඩා පවත්වා ඇති මුත්, රටවල් 75 කට වඩා සාමාජිකත්වය ලැබූ පසු තරගාවලි දෙකක් පවත්වා තිබේද යන්නද ගැටළු සහගතය ?
    • ප්‍රධාන සාමාජිකත්වය දරන රටවල් 10යි
    • ආශ්‍රිත සාමාජිකත්වය දරන රටවල් 6යි
    • දෙවන මට්ටමේ ආශ්‍රිත සමාජිකයි 36ක්ද
    • අනෙකුත් රටවල් 60 කට වැඩි ප්‍රමාණයක්
අවසාන වශයෙන් සාමාජිකත්වය ලබූ රට වනුයේ රුසියාවයි. ඒ මේ වසරේදීයි.  එම නිසා මෙම වසරේ සිටි සලකනු ලැබුවහොත් ජාත්‍යන්ත්තර තරගාවලි 2ක් සපුරන්නට 2015 සහ 2019 ලෝක කුසලාන ගත හැකයි. ඒ අනුව ඉන් පසු එළැබෙන 2020 තරගාවලිය සඳහා තෝරා ගැනීම සඳහා තරමක් පමා වනු ඇත. මේ අනුව 2024 ඔලිම්පික් තරගාවලියෙදී ක්‍රිකට් ක්‍රීඩා කරනු දැකිය හැකිද ? 2024 තරගාවලිය සඳහා ඉදිරිපත් වන ප්‍රදාන ලංසු කරුවෙක් වන ප්‍රංශයට මෙම තරගාවලිය සංවිධානය කරන්නට අවස්තාව ලැබුනහොත් 1900දී ප්‍රංශයේ පැවැත්වූ තරගය සිහිගන්වමින් නැවතත් ඔලිම්පික් ක්‍රිකට් තරගයක් පැවැත්විය හැක.

මෙවර ඔලිම්පික් තරගාවලියට සමගාමිව 1900 ආකෘතියටම ක්‍රිකට් තරගයක් ප්‍රංශයේදීම පවත්වන්නට යයි. ඒ මේ මස 19 වැනිදායි. එම තරගාවලි දෙකේ ප්‍රචාරක දැන්වීම් පහතින් තිබේ.


පින්තුරය ගත්තේ : http://futurnow.tumblr.com



පින්තුර ගනු ලැබුවේ සහ ඒ ගැන වැඩිපුර විස්තර (පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්)


Thursday, August 2, 2012

අඳුරු යුගයේ මතකසටහන් - 2

ලිවීමට බොහෝ මාතෘකා ඇතත් සීග්‍රයෙන් අමතක වීගෙන යන මෙම මතකයන් ලියා හමාර කලා යුතුයි සිතුනා. එක් අතකින් මේ ලියැවෙන්නේ අසංක්ෂිප්ත සටහන්ය. අප මේ අත්දැකීම් වලට මුහුණ දුන් සමයේ කටු සටහනක් හෝ ලියා තබන්නට හැකි වූවානම් අද ඔබට ඒ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකි පොස්ට් එකක් දමන්න තිබුනා. ඒ කාලයේ කිසිදු සටහන් තබා පොතක් පතක් වත් නිවසක තබා ගැනීම ප්‍රඥා ගෝචර නොවීය. ඔබගේ නිවස පරීක්ෂා කරන විට එවකට ශ්‍රිලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රිය සෝවියට් දේශය වැනි සඟරාවක්  නිවසේ තිබුණා නම් අත් අඩංගුවට පත් වීමට එය හොඳටම ප්‍රමාණවත්ය. මා අසා ඇති පරිදි ගම්පෙරලිය පොත රැගෙන ගියා පුද්ගලයකු අත් අඩංගුවට පත් වී ඇත්තේ පෙරලිය යනු අරගලය යන්නට සමාන තේරුම් දෙන වචනයක් වූ බැවිනි. එකල විසූ තරුණයන්ගේ ආයු කාලය තීරණය කරන්නට මෙවැනි අධ්‍යාපන මට්ටමක් ඇති අයට පවරා තිබීම අභාග්‍යකි.

උසස් පෙළ ප්‍රතිපල අනුව මමද විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කලා. අයදුම්පත ලද බවට එවන කුඩා කාඩ්බෝඩ් තීරුව (Acknowledgement) තැපෑලෙන් ලද මා කෙතරම් බිය වීද යන්න දන්නේ මා පමණකි. එක් අතකින් එය ළඟ තබා ගත යුතු වැදගත් ලියවිල්ලක් වූ අතර තවත් අතකින් මරණයට අඩ ගසන කටු ඔටුන්නක්ද විය. එයට කුමක් කලයුතුද යන්න සිත සිතා සිටින විට මට කදිම අදහසක් පහල විය. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නිවෙස් පරීක්ෂා කරන්නේ ඉතා කලාතුරකිනි. එනිසා මට එය තැබීමට සුදුසුම ස්ථානය අපේ නිවසට තරමක් නුදුරින් සිටින පුංචි අම්මගේ නිවසේය. බාප්පා එක්සත් ජාතික පාක්ෂිකයකු වීම ඊට හේතුවයි. එහෙත් එකල අපි වැඩිපුර පාරේ ගමන් නොගත්තේ තරුණයන් සොයා පැමිණෙන ගාතකයන්ගේ පුතුන් මුණ ගැහුනහොත් ආයෙ ඉතිං  අම්මා උයන බත් ටිකක් කන්න නොලැබෙන බව හොඳින්ම දන්නා නිසාය. ඉතිං මම කොහොමද මේක බාප්පලාගේ ගෙදර ගෙනියන්නේ. මෙහෙම කල්පනා කර කර සිටින විට මට කදිම අදහසක් පහල විනි, "මම මේක ගෙනියනාවට වඩා හොඳයි ජයසේන බාප්පා මෙහෙ ආව වෙලාවක දෙන එක , හරි අන්න හරි එහෙම තමයි කරන්න ඔනේ, එත් ඊට කලින් අපේ ගෙදර චෙක් කලොත්. ඒකට මොනවද කරන්නේ." තවත් ටිකක් කල්පනා කලා මම එය හොදින් ඉටි කවරයක ඔතා කුස්සියේ පිඟන් තබන මෙසයේ ඉටි මේස රෙද්දට යටින් ඇති පත්තර පිටුවටද යටින් තැබීමි. 

පසුගිය අඳුරු යුගයේ මතකසටහන් -  1 වෙත දැමු කමෙන්ටු තුලින් මට අමතක වූ බොහෝ කාරණා පිලිබඳ මතකය අවධි විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, කැලෑ ආණ්ඩුව, සහෝදරවරුන්ගේ ආණ්ඩුව යන කුමන නමකින් හැඳින්න්වුවත් එහි පිටිපස සිටි පාළන බලවේගය රෝහණ විජේවීර , ගමනායක ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණයි. එය ආරම්භ කල කාලයේ හොඳ විනයක් ඇති සංවිධානයක් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත් බොහෝ වැඩිහිටියෝ ඔවුන් ගැන සඳහන් කලේ චේ ගුවේරා කාරයෝ කියාය. එසේ සඳහන් කිරිඉමට ප්‍රධාන හේතුව 71 කැරැල්ලේදී ඔවුන් සඳහන් කලා නාමය එයම වීමය. පාසලේ අන්තිම වසරේ ඉගෙනුම ලබද්දී මගේ පන්තියේ තිදෙනෙක් ප්‍රසිද්දියේම ජේ.වී.පී. දේශපාලන කටයුතු වලට සහභාගී විය. මොවුන්ට මා සහ ජනක එම කණ්ඩායමට එක් කර ගැනීමට උවමනා වුවද, ඒ කාලයේ කිසිම දෙයක් ගෙදර අවසරය නැතුව කරන්න මගේ හිත නොදුන්නේය. මම ගෙදර ගොස් හොරණ තිබෙන පන්ති වගයකට යන්නට යහළුවන් කතා කලා බව කිව් විට අම්මා එය මග අරින ලෙස මට උපදෙස් දුන්නාය. ජනකටත් එම උපදෙසම ලැබී අත. මෙය මග හරින්නේ කෙසේද? අපේ ලඟට අධාර ලැයිස්තුවක් අරන් ආ මහේන්ද්‍ර 

"උඹ දැන් පන්තියට එන්නේ නැද්ද ?"

"නෑ මචං මම ගමේනේ ක්ලාස් යන්නේ, මට හුඟක් දවස් වලට හවසට ක්ලාස්"

"උඹට එක දවසක් මග අරින්න බැරිද ?"

"බෑ මචං අම්ම බනිනවා"

"කවුද බං අම්මල තාත්තලා එක්ක ඕව කතා කරන්නේ. උබට දැන් අවුරුදු හා අටකටත් වැඩියිනේ"

"මට අම්ම කොහොවත් යන්න දෙන්නේ නෑ මචං"

"හරි ජනකයත් ඕකමයි කියන්නේ, උඹල දෙන්න පුලුවන්නම් මෙන්න මේ ආධාර පත්තරේට කීයක් හරි දාපල්ලා"

මමත් ජනකත්, "ජනක දිල්රුක්" යන නමින් රුපියල් විස්සක ආධාරයක් එම ලැයිස්තුවට ඒක කළෙමු. එය දුටු මහේන්ද්‍රගේ මුහුණේ සිහින් හිනා රැල්ලක් මතු විය. උඩු තොලට උඩින් ඇති දැලි රැවුල අසල මතු වේගෙන එන සිහින් දහඩිය පාර පිස දමා යන්නට ගියේ

"උඹල වගේ මිනිස්සුත් එක්ක මේ රට හදන්න බෑ" කියමිනි.

මේ කාලයේ ජවිපෙ කරන ලද දස්කම් ගැන අපි දැන ගන්නේ මේ තුන් කට්ටුවෙනි. එනම් චන්දන(අද ඉංජිනේරුවෙකි, කැනඩාවේ වාසය කරයි), මහේන්ද්‍ර(රජයේ රැකියාවක් කරයි, හවසට හොඳට සප්පායම් වී යන බව ආරංචී වුනි), සුසිල්(සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරයි). හැමදාම උදේ පන්ති ආරම්භ කරන්න පෙර කතා බහේදී

"ඊයේ උදේ වාද්දුවේ ගෙදරක මිදුලේ  සුට් කෙස් එකක් තිබිලා, ඒ ගෙදර මිනිස්සු ඇරලා බලන්න බය වෙලා, පස්සේ ඒ පැත්තේ කොල්ලෙක් ඇවිත් ඇරලා. කෑලි වලට කපපු මිනියක් තිබිල තියෙන්නේ, වැඩේ කියන්නේ උගේ අරක කපල කටේ ගහල තිබිල තියෙන්නේ. පස්සේ බලනකොට ගියා මාසේ ඒ ගෙදර කෙල්ලෙක්ව රේප් කරලා තියෙනවා.රේප් කරපු එකාව තමයි මරල තියෙන්නේ. ඒ ගෙදර අම්ම ඒ සිද්දිය වුන කාලේ විලාප තිය තිය ගම වටේ ගිහින් තියෙනවා. කොහොමහරි අපේ සහෝදරවරුන්ටත් මේක ආරංචි වෙලා. වැඩි දවසක් ගියේ නෑ."

"ඒවානම් හොඳ වැඩ"  කවුරුන් හෝ කියනු ඇසිනි.

"ඒ විතරක්ද දැන් ගම වල බීල කැ ගහගෙන යන එවුන්ගේ කටවල් කපනවා, චන්ඩින්ව මරල දානවා. පේනවා නේ"

"උඹලගේ ඔය ඔක්කොම කෙරුවාවල් කරන්නේ යුඑන්පී කාරයෝන්ටනේ" කෙනෙක් කීය. 

"මචං මෙතන යූඑන්පී,ශ්‍රී ලංකා කියල නෑ, වැරදි කරන එවුන්ට තමයි දඩුවම් කරන්නේ"

"කොරයි කොරයි බලන් හිටපල්ලා"

කතාවට විරාමය වැටෙන්නේ පන්ති පටන් ගන්නා විට නාද වන බෙල් එකටය. ඔවූන් සමාජ ශෝදනය වෙනුවෙන් සිදු කරන දේ මුවින් නොපැවසුවත් බොහෝ දෙනා හිතින් අගය කලා දෙයකි. එය එම සංවිධානය ආරම්භ කලා සමයේ සිදු වූ සිදුවීම්ය. පහු කාලීනව එය ජීවිතය සඳහා කරන මිනී මැරීම් බවට පත් විය. මගේ මතකයට නැගෙන ලොකුම සිදු වීම බේරුවල ප්‍රදේශයේ චන්ඩියකු වූ ඇඹුල්දෙනිය නම් ඉතා තරබාරු මිනිසා බේරුවල බෝ ගස අසල මරා බිම හිදුවා තබා තිබීමයි. අමු අමුවේ මිණී මැරීම් ආගන්තුක සමයක, මෙය ඔහුට පක්ෂ/විපක්ෂ සියලු දෙනාගේ හද සසල කරවන සිදු වීම් විය.  

එකල රජය ඔවුන් මර්දනය කිරිඉමට නිශ්චිත ව්‍යාපාරයක් ආරම්භ කොට නොතිබිණි. සියළු වැටලීම් සහ ප්‍රශ්න කිරීම් පොලීසිය මගින් සිදු කරන ලද අතර ප්‍රශ්ණ කිරීම් වලින් පසුව බොහෝ දෙනා නිදහස් කරන ලදී. මගේ පන්තියේ මිතුරන් තිදෙනාගෙන්ද කළුතර පොලීසියට අනුබද්ද රහස් පොලිස් නිලධාරියෙක් ප්‍රශ්ණ කිරීම් කොට අවවාද කොට නිදහස් කල බව දැනගන්නට ලැබුණි. ඉන්පසු ඔවුන් මීයන් මෙන් පාඩුවේ ඉන්නා ආකාරයක් දක්නට ලැබිණි. 

දිනක් කවුරුන්හෝ දුවගෙන දුවගෙන් විත් අලුත් පුවතක් කණ්ඩායම ඉදිරියේ තැබීය 

"මචං ඊයේ තංගල්ලේ කොල්ලෝ දෙන්නෙක් මරා දාලා. උන් දෙන්න පාඩම් කරන්න සෙට් වෙලා ඉඳල තියෙන්නේ, මදුරු කොයි එකක් ගන්න යනකොට තමයි උන් දෙන්නව අල්ලාගෙන තියෙන්නේ"

"මොන අපරාදයක්ද අපි වගේ එවුන් නේ. මචං අපි මේකට ශෝකය පල කරලා බැනර් එකක් දාමු" 

"කාටද අදින්න පුළුවන්"

"ඔය ඉන්නේ සුභාෂයා. මොනවද මචං ඕන කරන්නේ"

"බැනර් එකක් අඳින්න නම්, ඉටි රෙදි යාර දෙකක් තුනක්, ලැකර් ටින් එකකුයි, පින්සලකුයි"

"දීපං, දීපන් හැමෝම සල්ලි"

සියළු දෙන රුපියල දෙක එකතු කර රුපියල් විස්සක් විසිපහක් එකතු කර ගන්නා ලදී. 

"කවුද යන්නේ බඩු අරන් එන්න. කටුකුරුන්දේ හාඩ්වෙයාර් එකෙන් ගේපන්. කළුතර ගියොත් මොකටද කියල බලයි. තම්බිලාට ඕව ගානක් නැනේ"

"මචං ඔය සල්ලි මදි නං (කළුතර) බෝධිය  ගාවට ගිහින් බස් වලින් දාන සල්ලි ටිකක් එකතු කරන වරෙන්." 

ඒ කාලේ අපේ ඉස්කෝලේ කොල්ලන්ට චිත්‍රපටියක් බලන්න ඕන වුනොත් කළුතර බෝධියේ ආධාර වලින් තමයි බලන්නේ. බස් වලින් දෙන සල්ලි ඉල්ලන් කැටේට දන්නා වගේ ගිහින් අතේ ගුටි කර ගන්නවා. එතකොට බස් එක ගිහින් ඉවරයි. තීන්ත ගෙන්න ගිය එවුන්, හති හලමින් බයිසිකලයෙන් බැස්සේ පින්සල් පොඩි ඒවා නෑ, තියෙන්නේ ගෙවල් වල තීන්ත ගන්න තියෙන ඒවා.

"හරි සිගරට් ෆිල්ටර් එකක් හොයා ගනින්" මම කීවෙමි. සියළු දෙන විමතියෙන් මා දෙස බලා සිටියේ "සිගරට් ෆිල්ටර් එකෙන් කොහොමද චිත්‍ර අඳින්නේ ? " යන ප්‍රශ්නාර්ථය මුහුණේ රඳවාගෙනය (මා එස්.ඒ. දිසානයාක ගුරුතුමාගේ ගෝලයෙක් බව ඔවුන් දන්නේ නැත).  පෑනෙන් මුලික කටු සටහන ඇඳි මම් සිගරට් ෆිල්ටරය ලැකර් ටින් එකේ පොන්ගවාගෙන ගහෙන් සිතින් බැනරය ඇඳ නිම කලෙමි. මගින් මගට ඔත්තු බලන්නට පන්තියේ කොල්ලන් සිටි බැවින් මට බය වීමට හේතුවක් නැත.  එය පහතින් පෙනෙන රුපයේ තිබෙන ආකාරයේ එකක් විය.


මගේ මිතුරන් පසුව මෙය පාසැලේ ගාලුපාරට මුහුණලා තිබෙන ප්‍රධාන ශාලාවේ ඉදිරිපස එල්ල තැබිය. එහෙත් පහුවදාම ප්‍රධාන ශිෂ්‍යනායක රුවන් සිල්වා මාත් සමග සතුටු සාමීචියේ යෙදෙන ගමන් මට හීනියට ටොක්කක් ඇන්නේය. 

රුවන් කිව්වේ මොනවාද ?

ඊළඟ කොටසින් ---->



ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (10) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (15) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...