Monday, July 9, 2012

ඉර බැස යන දර්ශණයක් ..... An art on a sunset ......


"මේ මාතෘකාව ඔස්සේ පොස්ට් එකක් දාන්න ඔනෑ" කියලා හිතලා ගොඩක් කල්. ඒත් විවිධ හේතූන් ඒකට හරස් වුනා. හරස් වෙච්ච් හේතු මොනවද කියල කියනවට වඩා, මේක යලි යලිත් මගේ හිතේ ඉහලම ස්ථානයට ගෙන එන්න හේතු වුන කාරණා ටික කියන එක වැදගත් කියලා මට හිතෙනවා. මෙතනට එන බොහෝමයක් දෙනෙක් බ්ලොග් ලියන අය. එහෙම නොලියන අයත් ඉන්නවා. ඒත් බහුතරය ලියන අය. හොඳයි කවුරු හරි මෙතන ඉන්නවද පුරුද්දක් විදියට තමන් දාන පොස්ට් වලට මාතෘකා දාන්නේ නැති ? මං හිතන්නේ අතපහුවීමකින් නොවුනා නම් කවුරුවත් මාතෘකාවක් නැති බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ නෑ. මොකද දාන මාතෘකාව තමයි බොහෝ දෙනෙක් තමන් ලියන එක කියවන්න හේතු වෙන බව අපි හැමෝම දන්න කාරණයක්. ඕනෙම කෙනෙක් ආසයිනේ තමන් ලියන දේ අනිත් අය වට වෙලා බලලා ගුණ දොස් කියනවානම්. එහෙම නෑ කියල කවුරු හරි කියනවනම්, ඒක එහෙම කියන කෙනා තමන්ව රවටා ගැනීමක් හැටියටයි මට තේරෙන්නේ. මට තේරෙන විදියට නම මාතෘකා හා පින්තූරය බොහෝමයක් බ්ලොග් පෝස්ට් කියවන්නාට එය අවසානය දක්වා කියවාගෙන යන්න  හේතු සපයනවා. බ්ලොග් ලියන අපට වැදගත් පාඩමක් උගන්වපු මහත්මයෙක් ගැන සහ එම පාඩම ගැන තමයි අද මම  කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 

මම හත ශ්‍රේණියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ කලුතර ඥානෝදය මහා විද්‍යාලයේ. එය ඉතා ඉහල මට්ටමේ පාසලක් කියල මම බය නැතුව කියනවා. අධ්‍යාපනය අංක එක තැනේ තියලා වැඩ කරන පාසලක්. එම පාසලේ වාරය පටන් ගන්න දින වගේම වාරය අවසන් කරන දින දෙකෙත් මුළු කාළයම පංති වලා වැඩ කරනවා. ඒ තත්වයෙන් පාසල පවත්වාගෙන යන්න එවකට එම විදුහලේ විදුහල්පතියා වෙච්චි කන්නනන්ගර මහතා වග බලා ගත්තා. මතක් වෙන මොහොතක් පාසා මගේ හිතින් නමස්කාර කරන නියම ගුරු භවතෙක්. මගේ වාසනාවකට එම පාසලේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු කියල කියන්න පුළුවන් බොහොමයක් මුණ ගැහුනා. ඒක ලැයිස්තුවක් විදියට ඉදිරිපත් කලොත් දීර්ඝ එකක් වෙයි. ඒත් මගේ මතකයෙන් කවදාවත් ගිලිහෙන්නේ නැති කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන වෙන වෙනම පෝස්ට් දාන්න මම බලාපොරොත්තු වෙනවා ඒ ඒ කාළයට අදාල වෙන පරිදි. 

එයින් අර කියපු ඉතාම වැදගත්, කිසිදා අමතක නොවෙන නම් තමයි, එස්.ඒ. දිසානායක, එල්මෝ ප්‍රනාන්දු, මාලනි පෙරේරා, වර්ණකුල සර් ගුණවර්ධන සර්. මෙතන නම් ලිස්ට් එකෙන් කොටසයි.  මේ ඉන්න අයගෙන් මම අධ්‍යාපනයට වඩා ජීවිතයට වැදගත් පාඩම් ඉගෙන ගත්තා. හොඳයි මම මේ නම් වල ඉන්න අය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. 

එස්.ඒ. දිසානායක කියන්නේ මගේ ජීවිතේ වඩාත් සිත් ගත් ගුරුවරයා. ඔබට එක පාරටම මතකයට එන්නේ නැතු වුනත්. මිහිර, නවයුගය වගේ පත්තර වලට කාටූන් සැපයූ දක්ෂ  චිත්‍ර  ශිල්පියෙක්. එතුමා ඇඳපු කාටූන් අතර "යෝධය","බටකොල ආච්චි","බූ", "පඬිතුමා" සඳහන් කරන්න පුළුවන්. දැන් ඔබේ මතකය අළුත් වූවා කියල මම හිතනවා. මෙතුමා මගේ චිත්‍ර ගුරුවරයා වගේම පංති බා  ගුරුවරයා විදියටත් ඉඳල තියෙනවා. මගේ නිර්මාණශීලීත්වය එලියට ගත්තේ මෙතුමා කිව්වොත් නිවැරදියි.

එල්මෝ ප්‍රනාන්දු කියපු ගමන් ඔබේ මතකයට එයි බී.බී.සී. සන්දේශය ගෙන එන එල්මෝ ප්‍රනාන්දු මහතාව. නැහැ, මේ එයා නොවෙයි ඒත් මෙතුමාත් ඒ වගේම ලෝකයේ සිදු වෙන දෑ ගැන බොහොම විමසිල්ලෙන් හිටිය. අපිට ඉංග්‍රීසි භාෂාව මෙන්ම ගායනය, සහිත්‍ය වගේ බොහෝ දේ උගන්වපු අපූරු ගුරුවරයෙක්. මගේ පන්ති බාර ගුරුවරය ලෙස ඔහුත් සේවය කරා අවුරුදු දෙකකදීම. මෙතුමා සුනිල් ශාන්තයන්ගේ ගීත වලට අත්වැල් ගායනා කරපු පුද්ගලයෙක්. ඉතිං ඒ වගේ කෙනෙකුගේ ඇසුර ලැබීමත් මහත් භාග්‍යක් විදියට තමයි මා දකින්නේ. 

ගුණවර්ධන  මහතා අපිට සිංහල හා බුද්ධ ධර්මය උගන්වපු ගුරුතුමෙක්. මම සිංහල හරියට ඉගෙන් ගත්තේ එතුමාගෙන් කිව්වොත් මට සිංහල උගැන්වූ අනෙකුත් ගුරු බවතුන්ට කරන අසාධාරණයක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. දැන් මතක නැති උනත් (D ) උක්ත/ආඛ්‍යාත සම්භන්ධය, විභක්ති, න-ණ,ල-ළ වගේ දේවල් මම හරියට ඉගෙන ගත්තේ එතුමාගෙන්. එතුමා මගේ පියාගේ සමකාලීන ගුරු මිත්‍රයෙක්  මෙන්ම අපේ ගමේ ඉපැදුන පුද්ගලයෙක් නිසා අපේ කියන ගතිය එතුමාගේ තිබුනා. මම අද ලියන හැම අකුරකටම එතුමාට පින් දෙන්න ඕනෑ. සාමාන්‍ය-පෙළ සිංහලට මම ගත්ත විශිෂ්ඨ සාමාර්ථයෙන් වැඩි කොටසකට ගෞරවයත්  එතුමාට හිමි වෙන්න ඕනෑ. (මගේ පියත් මගේ සිංහල ගුරුවරයෙක් එතුමාගෙන් මට ලැබුන දේ ගැන අමුතුවෙන් මෙහි සඳහන් කරන්න අවශ්‍යද ?) 

මාලනී පෙරේරා මහත්මියත් එක අවුරුද්දක මගේ පන්ති භාර ගුරුවරිය වගේම මගේ සිංහල ගුරුතුමියක්. එතුමිය අපේ ජීවිත වලට ගුරුවරියකට වඩා මවක් වගේ ඉඳන් උපදෙස් දුන්නා. පාසලේදි මම ජයග්‍රහණ ලබා ගත් හැම අවස්ථාවකම එතුමය ආඩම්බරයෙන් කථා කලා. මට එසෙම්බ්ලි එකේදී කලන්තේ හැදුන මොහොතේ මට පවන් ගැහුවෙත් එතුමිය.  එනිසා එතුමියත් මට අමතක කරන්න බෑ. 

හරි ඔන්න මම මූලික හැඳින්වීම කලා ඒත් මෙතන තවත් ගුරු මහත්ම/මහත්මීන් ගොඩක් ඉන්නවා ඒ අය ගැන සඳහනක් නොකරන්නෙ මෙතන මාතෘකාවට ඒ දේවල අදාල නොවෙන නිසා. ඔබගේත් ජීවිත වලට මේ වගේ බලපෑම් කරපු අය අනන්තවත් ඇති. මතකද ඒ අයව ? එහෙනම් නිකමට අතීත මාවත් දිගේ සැරිසරන්න මොහොතකට. 

මම ඥනෝදයට ගිය මුල් අවුරුද්දේ අපේ පන්තියේ චිත්‍ර ගුරුවරය වුනේ අපේ තාත්තා. ඒ නිසා රෙද්ද බැනියම අඳින ඉතාම ප්‍රසන්න එස්.ඒ. දිසානායක කියන ළමා ලෝකයේ හිටිය වීරයගේ ඇසුර ලබන්න මට තවත් අවුරුද්දක් බලා ඉන්න සිදු වුනා. අට ශ්‍රේණියේදී ඔහු අපේ චිත්‍ර ගුරුවරයා පමණක් නොව පන්ති භාර ගුරුවරයාද වුනා. මෙය මා අමානන්දයට පත් කල කාරණයක්. එතුමා මුණ ගැහෙන තුරු මා සිටියේ දැඩි නොයිවසිල්ලකින්. එතුමා අපට මුලින්ම කියා දුන් පාඩම මට අද වගේ මතකයි. ඒ වර්ණ මිශ්‍ර කර වෙනත් වර්ණ සාදා ගන්නා ආකාරය. 

මුල වාරයේදී එතුමා චිත්‍ර ප්‍රදර්ශණයකට "නාන තොටක" චිත්‍රයක් ඇඳගෙන එන්නැයි අපට දන්වා සිටියා. කවුරුත් වගේම මාත් එකක් ඇඳගෙන ගියා. මගේ චිත්‍රය මටවත් තේරුම් ගන්න අපහසු මට්ටමට පත් වූයේ නිසි ලෙස පින්සල හැසිරීමට මා එදා නොදැන සිටීමත්, එවැනි දර්ශණයක් අඳින විට මා මුළු ගං තොටක සිදු වන සියළු දේ අඟල් 12 x 8 වැනි ඉඩකඩක පුරවන්නට යාමත් නිසාය. මා කාඩ්බෝඩ් 3-4ක්ම නාස්තිකර කොපමණ ඇන්දත් කිසිම චිත්‍රයක් අවශ්‍ය දේ පැහැදිලිව පෙනෙන මට්ටමකට ආවේ නෑ. කෙසේ වෙතත් තිබෙන ඒවායින් හොඳම චිත්‍රය මා පාසලට අරගෙන ගියා. එහෙත් චිත්‍ර වලට උපන් හපන්කම් දැක්වූ හරිතප්‍රිය, ප්‍රසාද් සහ දළුගොඩගේ චිත්‍ර අහලක තබන්නවත් මගේ චිත්‍රය  සමත් වුනේ නෑ. මට වඩා පහල පන්තියක මල්ලී කෙනෙක් ගෙනා චිත්‍රය දෙස මා හොරැහින් බැළුවා. ඔහු ඇඳ තිබුනේ ගඟක් වැනි තැනක බාල්දියකින් තම හිසට ජලය දමා ගන්නා කාන්තාවක් හා ගසක සිට ජලයට පනින කොළු පැටියෙක්. එම චිත්‍රය බොහෝ සෙයින් අගය කල දිසානායක සර් 

"සුභාෂ්, මෙන්න මේ වගේ තමයි චිත්‍ර අඳින්න ඕනේ. ලෝකේ තියෙන හැම දේම එක චිත්‍රයකින් පෙන්නන්න බෑ. මාතෘකාව කෙලින්ම පැහැදිලි වෙන ආකාරයට තමයි චිත්‍රය අඳින්නේ. මේ චිත්‍රයේ ගොඩක් දේ නැති වුනත් අවශ්‍ය දේ තියෙනවා. හොඳයි දැන් මේ ළමය පන්තියට යන්න. මම මේක ප්‍රදර්ශණයට යවන්නම්". 
එතනින් මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අඳින්න ඕනේ මොන විදියටද කියලා මට දැන් තේරෙනවා. 

මිනිස් සිරුරු, ගස් වගේ දේවල පාට කරන ආකාරය එතුමා ඉතා කදිමට කියලා දුන්නා. කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ගසක හෝ අතක එක් පැත්තක් අඳුරුවත්, අනිත් පැත්ත ඉතාම ලා පාටටත් අඳින්න ඉගැන්නුවා (Shading). ඒත් මම තව අවුරුද්දක් බලා ඉන්න එපැයි මේ වගේ අඳින්න. මට දැන් දිය සායම් වලින් චිත්‍ර අඳින්න පුළුවන්. පින්සල් නොමති විටක හෝ අවශ්‍ය විටෙක් වැටකෙයියා මුලකින් පින්සලක් තනා ගන්නා ආකාරයද එතුමා කියා දුන්නා. මට වැටකෙයියා මුලක් හොයා ගන්න එක ටොයිස් වැඩක්. ඒත් අපේ පන්තියේ සමහර ළමයින්ට ඒක අමාරු වුනා. මම නැති අයටත් එක්ක හීනි වැටකෙයියා මුල් අරගෙන ගියා. අතීතයේ චිත්‍ර ඇඳීම සඳහා යොදා ගන්න ලද ස්වභාවික වර්ණ සහ ඒවා සේදී යාම වලක්වා ගැනීමට යොදා ගත් කහට වර්ග ගැන එතුමා ඉතා උගන්වත්දී අප ඉතා උනන්දුවෙන් සවන් දුන්නා. මේ කාළය වෙද්දි මම කැමතිම විෂය වෙලා තිබුනේ චිත්‍ර. බිතු සිතුවම් අඳිද්දි වර්ණ ගන්වන ආකාරයත්. කොලාජ් නැමැති පාට පාට කඩදාසි වලින් තනා ගන්නා චිත්‍ර, පිඟන් කටු වලින් සෑදිය හැකි මොසායික් චිත්‍ර (දෙහිවල සත්තු වත්තේ ඇති ආකාරයේ), පේපර් පල්ප් වලින් මිනිස් හෝ සත්ව අනුරූ සාදා ගන්නා ආකාරයත් ඉගැන්නුවා. එතුමා කියා දුන් එහෙත් අපට පන්තියේදි කරන්න බැරි වූ එකම දේ වීදුරුවක චිත්‍ර කරන ආකාරයයි. ඒ කාලේ සැලුන් දොරවල් සැරසුවේ මේ වාගෙ ඒවා. 

දැන් එතුමාගේ ගුරු-හුරුකම් වලින් අලංකාරව චිත්‍රයක් සායම් කර ගන්න මටත් පුළුවන්. එක් වෙසක් මාසයක, වෙසක් සිරිය දැක්වෙන චිත්‍රයක් අඳින්න වාර මැද විභාගයකදී ඔහු ලබා දුන් ප්‍රශ්ණ පත්‍රය (කළු ලෑල්ලේ ලියූ) සඳහන් වූවා. මම දන්නා ශිල්ප හා වර්ණ යොදාගෙන මගේ හිතට සෑහෙන ඉතා අලංකාර චිත්‍රයක් නිමවන්නට මට හැකි වුනා. මගේ වම් පැත්තේ ඉන්න ඉරොෂ් ප්ලැටිග්නම් දෙකක් තියාගෙන මුළු චිත්‍රයම ඒකෙන් පාට කරනවා මම දැක්කා. ඔහු ළඟ තිබූ වර්ණ දෙක වුනේ කහ සහ දම්. "මූ නම් සර්ගෙන් හොඳ බැනුමක් අහ ගනියි" යන්න මගේ හිත කීවා. පහුවෙනි දිනයේම සර් චිත්‍ර වලට ලකුණු දමා නැවැතත් සියලු දෙනාගේ චිත්‍ර බෙදා දුන්න. එහෙත් ඉරොෂ්ගේ චිත්‍රය ආපසු නොදී පන්තියේ සියළු දෙනාට පෙනෙන පරිදි කළු ලෑල්ලේ කෙලවරක ඇමිණූ ගුරුතුමා කථා කරන්න පටන් ගත්තා. "දැන් ඉතිං ඉරෝෂයා ඉවරයි. මම හිමිහිට් ප්‍රසාද්ගේ කණට කෙඳිරුවා". මා අනුමත කරන ආකාරයට ප්‍රසාදුත් හිස වැනුවා. 

"හැමෝම මේ චිත්‍රය දිහා බලන්න. බලන්න කොයි තරම් ලස්සනට මේක පාට කරලා තියෙනවද කියලා"
මුළු කොලය පුරා දම් පාට උලලා(හරියට අර තුවාල වලට ගහන බෙහෙත් වගේ) සමහරක් තැන් ටිකක් කළු පාටයි. එක තැනක හඳ ඇඳලා තිබුනා කහ පාටින්. තව තැනක වෙසක් කූඩුවත් කහ පාටයි. ගෙවල් වල වහලත් එහෙමයි. මේ චිත්‍රය කොහොමද එච්චර ලස්සන. කිසිම දෙයක් පැහැදිලි නෑ. එහෙම චිත්‍රයක් කොහොමද ලස්සන වෙන්නේ. හැමදාම ලස්සටම අඳින ප්‍රසාද්ටයි හරිතප්‍රියටයි අට-අට දීලා තිබුනා, මට හතයි. එතකොට ඉරෝෂයට නමයක්. හප්පේ සර්ට ඉතිං කොහොම අඳින්නද කියල මට නම් තේරෙන්නෑ. මම හිතින් කියා ගත්තා. 

නමුත් නවය-දහය ශ්‍රේණි වලට එද්දි එතුමාට නැතිවම බැරි ගෝලයෙක් වෙන්න මම සමත් වුනා. ඒ මගේ සමාජශීලී ගතිය නිසා. ඒ කාළයේ අපේ පලාතේ මළ ගෙවල් වල බැනර් හා තොරණ් අඳින්න මමත්-පාලිත අයියාත් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වුනා. මට විතර හොඳට ලැකර් වලින් අකුරු අඳින්න කාටවත් බැරි වුනා. එක් නිවාඩු කාලයකදි මුළු පාසලම කල එලි කරන්න විදුහල්පති තුමා තීරණය කරා. හැම ගොඩනැගිල්ලක්ම පින්තාරු කරා. පාසලේ පාර දෙපැත්තේ බෝඩ් දෙක අඳින්න දිසානායක සර්ට බාර වුනා. අන්තිමේදි බෝඩ් එකේ අකුරු අඳින්න මම බාර ගත්තා. ඉතාම පැහැදිලිව බෝඩ් දෙක ඇඳ නිම කරන්න මට පුළුවන් වුනා. මම මේකෙදි පොඩි ප්‍රයෝගයක් දැම්මා. සර් ඒකට ඉතාම සතූටු වුනා. පරණ බෝඩ් එක මකන්න කලින් සව් කඩදාසි වලට අකුරු ටික ට්‍රේස් කර ගත්තා. පසුව පසුබිම වර්ණ ගැන්වූවායින් පසුව, කාබන් කොළ තබා නැවත පෙර තිබූ අකුරුම (අලංකාර) බෝඩ් එකට ගත්තා. ඉන් පසුව තමයි පාට කරේ. විදුහල්පති තුමා මේකට එසෙම්බ්ලි එකේදී හොඳ ස්තූතියක් ලබා දුන්නා. 

අපි දහය වසරෙදි පාසලේ උසස්පෙළ පන්ති පවා පරාජය කරමින් හොඳම සඟරාවට හිමි ත්‍යාගය දිනා ගන්න සමත් වුනෙත් දිසානායක සර්ගේ අනුශාසකත්වය ශක්තියක කර ගනිමින්. එහි සම - සඟරා සංස්කාරකවරයෙක් වෙන්න අද මේ ලිපිය ලියන සුදීක සමත් වුනා. එහිදීත් අප අනිත් අයට වඩා ඉදිරියෙන් හිටියේ පත්තර වල තිබෙන පින්තූර අපේ සඟරාවට ගන්න මම දාපු පුංචි, බොහෝ දෙනෙක් දන්න  ප්‍රයෝගයක් නිසා. මුලින්ම ඉටි පන්දමක් අරන් පින්තූරය දාන්න අවශ්‍ය ප්‍රදේශයේ හොඳින් ආලේප කරනවා, පසුව අර පින්තූරය එය මත තබා හොඳින් අතුල්ලනවා සුමට උපකරණයක් භාවිතයෙන්. එහෙම කලාම අර පිංතූර ඒ විදියටම එතන. දන්නේ නැත්නම් ට්‍රයි කරල බලන්න.

එක ඇසල පෙරහැරකට අපි අලි හිසක අනුරුවක් හැදුවා සර්ගේ යෝජනාවකට. ඒ හිස උණ පතුරු වලිනුත්, එහි සම වැනි කොටස තෙත් කර ගත් සිමෙන්ති කොල වලිනුත් සාදා, කඳ ප්‍රදේශයට සිසුන් දෙදෙනෙකු යොදා ගත්තා. මෙය හරියට චීන පෙරහැරවල් වල ගෙන යන මකරාට සමානයි. 

ඉතිං මේ ආකාරයට තමයි සර් අපිව නිර්මාණශීලී අය බවට පත් කලේ. මා කරන හැම නිර්මාණයක් පිටුපසම මේ නිර්ව්‍යාජ කලාකරුවා සිටිනවා කියලයි මට හිතෙන්නේ. හැබැයි මෙතන සඳහන් කලයුතුම සර් දීපු හොඳම අවවාදම මම තාමත් සඳහන් කලේ නෑ. ඒ තමයි.
 "කවදාවත් චිත්‍රයක් ඇඳලා මාතෘකාවක් දාන්න එපා, ඉර බැස යන දර්ශණයක් වගේ. චිත්‍රය බලන කෙනාට ඒකේ මාතෘකාව තේරුම යන ආකාරයටයි අඳින්න ඕනේ" 
එදා ඉඳන් මම හැමදාමත් මේ "රන්- නීතිය" (Golden Rule) අනුගමනම කලා. 





මේ පින්තූරය ගත්තේ එතුමා සම්පත් දායකත්වය සපයන http://lakdivapuvatha.org වෙබ් අඩවියෙනි.

එස්.ඒ. දිසානායක ගුරු පියාණන්ට දීර්ඝායු පතන ගමන් එතුමාට උපහාර පිනිස ලියා තබන ලදී.



6 comments :

  1. එස්.ඒ දිසානායක මහතාව මිහිර පත්තරයෙන් කුඩා කාලයේදීම හඳුනා ගත්තා. එතුමාගේ චිත්‍ර කතා පොත් විදිහට පළවෙලා තියෙනවාද ??

    ReplyDelete
  2. දක්ෂ ගුරුවරයෙකු යටතේ බිහිවුණු දක්ෂ සිත්තරෙක්.

    ReplyDelete
  3. අගෙයි "රන්- නීතිය" හ්ම්ම්..:)

    ReplyDelete
  4. @Hasitha : එතුමාගේ චිත්‍ර කතා පොතක් තියෙනවනම් ඒක මුලින්ම ගන්නේ මම. ඒත් සමහරවිට් තියෙන්න පුළුවන්. මෙතන දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @නිශාන් : මගේ හිතේ තාමත් නොවිසඳුනු ගැටළුවක් තමයි සිත්තාරා හා පින්තාරු කාරය කියන්නේ එක් කෙනෙක්ද? නැත්නම් දෙන්නෙක්ද ? කියන එක. මම හිතන්නේ දෙන්නෙක් කියල. මොකද සමහර අයට බෝඩ් අන්දින්න විතරයි පුළුවන්. කොපි කරන්න පුළුවන්. තවත් සමහර අයට තොරණ් අඳින්න පුළුවං. සමහරුන්ට මේ දෙකම අඩු-වැඩි වශයෙන් පුළුවං. මම අහු වෙන්නේ මේ මීටරයේ වැඩි පැත්ත පින්තාරුකාරයා කියන තැනට. හැබැයි මමම චිත්‍ර ඇඳල තොරණ් හදල තියෙනවා. බයිසිකල් වල ඉරි ඇඳල තියෙනවා. මම දන්නෑ ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හිරුහිමාවී : එහෙම හිතෙනවද? සතුටුයි.

    ReplyDelete
  5. මෙවන් ගුරැභවතුන් ලැබූවන් හිරේ විලංගුවේ නොවැටී ජීවිතය ගොඩ දාගත්ත වුන් වෙති.. මටද ඒ න්‍යාය පොදුය...එන්න කාමරයට වෙලාවක..

    ReplyDelete
  6. මෙන්න ගුරුවරු.. !

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...