Tuesday, May 31, 2016

සහනාධාර : කාසියේ අනික් පැත්ත ...... Flood Relief - the other side of the coin ......

මේ දවස් වල කොළඹ දිස්ත්‍රික්කයට ගං වතුරය. අරණායක නාය ගොස් ඇත. එයට අමතරව තවත් බොහෝ පළාත් වලට නාය තර්ජන ඇත. මෙය ඇතිවුයේ නිරිතදිග මෝසම් තත්වය නිසා නොව, අහම්බෙන් ආ බෝනස් තත්වයක් නිසාය. එයට කියන නම නිශ්චිතවම මතක නැති. මුත් ඇමරිකාව හරහා ගිය කත්‍රිනා රීටා වැනි ඒවානම් ලංකාවේ අපිට හොඳාකාරව මතක තිබේ. හේතුව අපේ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල  උදවිය ඒවා හැඳින්වූයේම ඒ නම්වලින්ම බැවිණි. සුළං ගැන කථා කල මොහොතේ තවත් අතුරු කතාවක් නොකියාම බැරිය.

මා රිවරිනා හෝටලයේ ගිණුම් අංශයේ සේවය කළ අවධියේ, එහි යතුරුලියන සේවිකාව හදිසියේ එකදිගට නිවාඩු ගන්නට යෙදුණි. බොහෝ දෙනා සැක කළේ ඇය වෙනත් රැකියාවක් සොයාගෙන ඇති බවය. මෙවැනි කටකතා අප අතර පමණක් නොව අපගේ කළමනාකාරීත්වය දක්වාදා ගමන් ගන්නේ ලැව් ගිණි මෙනි. සමහරවිට එවැනි කතාවක් ආරම්භ වන්නේ කළමනාකාරීත්වය පැත්තෙනි. තවත් සමහරු වෙනත් කතාවක් කීහ. ඒ ඇය එහි ප්‍රධාන ඉංජිනේරුවා සමග ඇති සම්බන්ධය ගැනය. මේ ආයතනයේ ඉහළ ශ්‍රේණි වල කිසිවෙකු ස්ථිර සේවකයන් නොවූහ. ඔවුන් සේවය කලේ කොන්ත්‍රාත් පදනමෙනි. එනිසා ඔවුන් සේවය කරන වැඩිම කාළය අවුරුදු හතරකි. එසේ තමන්ගේ අවුරුදු හතර හෝ අට සම්පූර්ණ කල ඉංජිනේරුවා වෙනත් රැකියාවකට මාරු වී ගොසිනි. 

කටකථාවට අනුව යතුරුලියන්නියගේ අතුරුදහන් වීම එනිසා ඇති වූ සිත් තැවුල නිසාය. එකම වහලක් යට බිරින්දෑවරු හතරක් තබාගෙන සිටි බවට නිවාස පාළන අංශයේ කෙනෙකු මා සමග පැවසීය. ඒ ඔහුගේ බිරිඳ, නඩත්තු අංශයේ යතුරුලියන්නිය, පිළිගැනීමේ අංශයේ සුන්දර ලඳක් (එයා ගැන ලියැවුණු ලොල් කතාව ) සහ අපේ යතුරුලියන්නියය. 

නරකම නෑ නේද? මිනිහා හෙන හැන්ඩියා. ඒ වගේම ජේත්තු කාරය. ගානට ට්‍රිම් කරපු රැවුල, උසට සරිලන මහතා කාගේත් හිත් වසඟ කළා. ඇත්තටම අතුරු කතාවත් මේක නෙවෙයි මේක අතු-අතුරු කතාවක් ( විජේ  අන්කල්ගේ නාමරකණයට අනුව). ඇය විසින් ටයිප් ගසන්නට යෙදුනු බොහෝ දේ ලෝටස් සහ වර්ඩ්ස්ටාර් මගින් මවිසින් පරිගණක මුද්‍රණ ලෙස ලබා දෙන්නට යෙදුනු නිසා, ඇයට තනිකරම ලියුම් ටයිප් ගැසීම පමණක් ඉතිරි විය. ඇයගේ මේ හදිසි අතුරුදන් වීම සැලකිල්ලට ගෙන තාවකාලික අනුප්‍රාප්තිකයෙකු ලෙස සිල්වා නමැති රජයේ සේවය කොට විශ්‍රාම ගත් කළු, හීන්දෑරි මනුස්සයෙකු තාවකාලික පදනම මත සේවයට ගෙන තිබුණි. රජයේ සේවකයෙකු ලෙස කෙතරම් අත්දැකීම් තිබුණද, සංචාරක හෝටලයක වැඩ කෙරෙන අකාරය පිළිබඳව ඇති අල්ප දැනුම සහ සමහර යෙදුම් පිලිබඳ නොදැනුවත් නිසාම ඔහු මා සිටි කාමරය සහ ප්‍රධාන ගණකාධිකාරී වරයාගේ කාමරය අතර ඇති තල්ලු දොර ඇරගෙන මා සමග කතාවට පැමිණේ. රාජකාරි වෙලාවේ කතාබහ මෙවැනි ආයතන අනුමත කරන්නනේ නැත. නමුත් මාගේ පියාගේ වයසේ පසු වූ මේ පුද්ගලයාට මේවා පැහැදිලි කල නොහැක. දිනක් මාගේ රාජකාරි හැඳුනුම්පත අතටගත් ඔහු, මුලසිට අගට කියවා

"ආ පුතා ඔයාලා හරි පෝසත් කට්ටිය නේද, ගෙදරට ටෙලිෆෝනුත් තියෙනවා?"

"අනේ නෑ මිස්ට සිල්වා, ඔය තියෙන්නේ මේ ඔෆිස් එකේ නම්බර් එක"

දවසක් මේ මිනිසා සමග අල්ලාප-සල්ලාපයක යෙදුනු අපේ ගනකාධීකාරී වරයා, ඔහු සමග කථාවෙන් සතුටක් ලබන බව අපට පැහැදිලි විය. සිල්වා උන්නැහේ නිනව්වක් නැති  වක්කඩ කැඩුවා සේ කථාව කරගෙන යයි. මෙවැනි විටක ඇහෙන් සන් කර අප කැඳවීම ගණකාධිකාරී වරයාගේ සිරිතයි. ඒ වනවිට ඔවුන් දෙදෙනා ගූගෝල විද්‍යාව පිලිබඳ කථා කරයි. ඒ මදිවට ඉංග්‍රීසියෙනි. ලෝකයේ එක්-එක් රටවල ඇති චණ්ඩ මාරුත ගැන සිල්වා උන්නැහේ කියවයි. ඉන් මගේ මතකයේ තිබෙන්නේ "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" පමණය. ඉන්පසු දිනක එතැනින් යන ගණකාධීකාරී තැන 
"මිස්ටර් සිල්වා මොකක්ද අර වෙස්ට් ඉන්ඩීස් වල හමන හුළඟ ?" යනුවෙන් අසයි. ඒ හැමවිටකම කිසිම පැකිලීමක් නැතිව "හරිකේන් ඔෆ් වෙස්ට් ඉන්ඩීස්" නේ මිස්ටර් රත්නායක යනුවෙන් පවසන්නේ පන්තියේ ගුරුතුමාගේ පැනයට උත්තර දෙන දීප්තිමත් සිසුවෙකු මෙනි. අන්තිමට සිල්වා උන්නැහේට වැඩි දිනක් යන්නට මත්තෙන් හරිකේන් යනුවෙන් කාඩ් එකක් වැදිණි. රජයෙන් සපයන සාගත මල්ලද රැගෙන පැමිණෙන මේ කළු හීන්දෑරි මිනිසා ගැන මට ඇති වී තිබුණේ කම්පාවකි. අදද වයස හැට ඉක්මවා ගිය මිනිසුන් කොතැනක හෝ සේවය කරන විට මගේ හිතට අනුකම්පාවක ඇතිවේ. ඒ නිසි විශ්‍රාමික ක්‍රමයකට උරුමකම් නැති නිසා එසේ කඹුරන්නට සිදු වන නිසාය. සිල්වා මහතාගේ අවිවාහක දියණියන් දෙදෙනෙකු සිටින නිසා එසේ සේවයට පැමිණ ඇත. දිනක් අපේ කෑම කාමරයේ ආහාර අවසන් වී ඇති මොහොතක, එකවුන්ටන් තැනගේ කුඩා චිට් එකකින් රස-මසවුලක් භුක්ති විඳින්නට ලැබුණු විටෙක, "දේ ෆෙඩ් මී වෙල්" යනුවෙන් ඉතා සතුටෙන් පවසන විට අනුකම්පාවක් ඇරෙන්න කිසිදු හැගීමක් නොනැගින. අවසානයේ මර්සි නමැති අපගේ ටයිපිස්ට් පැමිණීම නිසා, ඔහුගේ වැඩ අවසන් වන දිනයේදී, ඔහුගේ මුහුණ දකින්නට දුකය. අතුරු කතාව එතැකින් නිමයි.

දැන් අපි සහනාධාර බෙදීමට යොමු වෙමු. සහනාධාර බෙදීමට මෙවර බොහෝ කණ්ඩායම් ඉදිරිපත් විය. මේ අතුරින් ෆේස්බුක් සමූහයන් කැපී පෙනුණු අතර සියලුම මාධ්‍ය ජාල මේවා තරගයක් මෙන් කරගෙන යති. විශේෂයෙන්ම රූප මාධ්‍ය විසින් සිදු කරන ප්‍රචාරණ දෙනෙතට කඳුළු නංවන සුළුය. ඉතාම සංවේදී ජනතාවක් සිටින රටක් මේවාට හොඳ තෝතැන්නකි. එසේ පවසා එකතු කරන ද්‍රව්‍ය ඔවුන්ගේ ලේබලය සහිත මල්ලක ගෙනගොස් දෙන්නේ විපතට පත්ව ඇති ජනතාව කෙරේ ඇති සැබෑ අනුකම්පාවෙන්මද යන්න සක සහිතය. එසේ ඔවුන් කරන ලද සමාජ සත්කාරය ගැන උදම්අනන්නටද ඔවුන් වග බලා ගනිති. මගේ දියණිය මේවා බලාගෙන හිඳ අපූරු ප්‍රශ්නයක් මගේ ඇසුවාය. ඒ 

"ඇයි තාත්තේ ඒ බඩු ගන්න මිනිස්සු දන්නේ නැද්ද, ඒගොල්ලෝ මිනිස්සු ගෙනැත් දෙන දේවල් අනිත් මිනිස්සු දීපු ඒවා කියලා. ඒගොල්ලෝ තැන්ක්ස් කරන්නේ ටී.වී. එකටනේ"

මේ ව්‍යසනය දැක හිත උණු වෙන ජනතාව මේ පරිත්‍යාගයන් කලේ ඇති කමකට නොවන බව අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ. කවුරුත් හැකි සහ නොහැකි පමණින්ද තමන්ගේ ආධාර එකතු කර මේ මාධ්‍ය වෙත ගෙනගොස් බාර දෙති. සමහරු මාධ්‍ය ඉදිරියේ පෙනීසිටීමට ඇති කැමැත්තෙන්ම මේවා කරන බවද පසක් වන්නේ ඒවා පෙන්වන විටදීය. කොහොමත් සාමන්‍ය ජනතාවට එම ප්‍රදේශ තහනම් කලාපයක් කල කල්හී, ඔවුන්දට විකල්පයක් නැත. එසේ කෙලින්ම ආධාර බෙදන්නට යම්කිසිවෙක් ඉදිරිපත් වූවානම් ඔවුන්ට ඒවා බෝට්ටු හරස් කර අත්පත් කරගන්නා මැති-ඇමති ගොල්ලන්ට බාරදී, පින් නැතිව ගෙදර එන්නට සිදු වූ අවස්ථාවන්ද වාර්තා වේ. 

මා කියන්නට යන්නේ මේ කිසිවක් නොවේ. මේවා සාමාන්‍ය සිද්ධීන් බව මෙය කියවන ඔබට පැහැදී ඇත. නමුත් සහනාධාර පිළිබඳ නොපෙනෙන සත්‍යය යම්කිසි මට්ටමකින් හෝ හෙළිදරව් කිරීම මගේ බලාපොරොත්තුවයි.  නිතරම නොවුණත්, මා අසල්වැසි දසනායකගේ කඩයට ගොඩ වූ විටෙක ඔහු සමාජයෙන් උකහා ගන්නා අපූරු තොරතු මා වෙත දිග හරී. පසුගිය සමයේ ලංකාවේ ඇස්ට්‍රා මාගරින් හිඟයක් පැවත ඇත්තේ, හොරණ ඇති එහි කර්මාන්ත ශාලාවේ ඇති වූ හදිසි ගින්නක් නිසාය. නමුත් ඔහුගේ කඩයේ සැචේ ප්‍රමාණයේ ඇස්ට්‍රා තිබේ. මේවා කෙලෙස ලැබුණේදැයි මගෙන් විමසා, පිළිතුරක් දෙන්නටද ප්‍රථම මෙසේ පවසාගෙන යයි

"කිව්වට විස්වාස කරන්න, මේ පාර ඇස්ට්‍රා ලංකාවට ගෙන්වලා තියෙන්නේ ඉන්දියාවේ ගහලා. ඒ ගෙනාපු පලවෙනි තොගේ කෙලින්ම සහනාධාර වලට දීලා තියෙන්නේ. ඒ බඩු ඊට පස්සේ කෙලින්ම ඇවිත් තියෙනවා පිටකොටුවේ තැනකට. මම එතැනින් ගත්තේ". මේ සහනාධාර වල එක් අතුරුපලයකි. ඒවා ලබන්නන් කරන එක දෙයක් වන්නේ අඩු මුදලට ඒවා විකුණා දැමීමයි. දසනායකට අනුව රුපියල් ලක්ෂයක දෛනික ආදායමක් ඇති, ගංවතුරට ආසන්නයේ වෙළඳ සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් තම ඥාති නිවසක සිට මේ ආධාර ගැනීමට සිටින්නේ කඩය තාවකාලිකව වසා දමාය. ඔහුගේ දිනක ලාභය රුපියල් දහදාහක් යයි සිතුවහොත්, මේ ලැබෙන මලු වලින් එක්කෝ ඊට එහා ආදයාමක් ඔහු ලබයි, නැතිනම් එසේ එකතු වන ද්‍රව්‍ය අඩු මුදලට ඩැහැ ගන්නට ඔහු එසේ කරයි.

කොහොමටත් සනහාධාර ලබන්නාට ඒවා ඒ හැටි වටිනාකමක් නැත. මන්ද ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගන්නේ ඔවුන් නොවන නිසාය. මේවා පරිත්‍යාග කල අයගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් හැර අන් සියල්ලන්ම ඉතා වෙහෙස මහන්සි වී මේවා උපයා ගනී. බඩු-මිල හෝ වැට් වැඩි වීම ගැන ඉතා තැවුලෙන් පසු වේ. නමුත් අනුන්ගේ දුකේදී හිත උණු වේ. ඉතිං හැකි පමණ සහ නොහැකි පමණ දන් දෙයි. තුර්කි ජාතිකයෙකු මුහුනුපොත හරහා කළ හෙළිදරව්ව එයට ලැබුණු හොඳම සහතිකය වේ. ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ පුදුමාකාර දනට - පිනට කැමති ජාතියක් වෙසෙන රටකය. 

දුකට පත් සියලු දෙනා මෙසේ සහනාධාර ඉල්ලාගෙන පැමිණෙන්නේ නැත. ඒවාට පුරුදු වූ පිරිසක් ඇත. ඔවුන් හැමදේම එසේ ලැබිය යුතු යයි විශ්වාස කරයි. කැළණි ගඟ අද්දර අනවසර ස්ථාන වල ජීවත් වූවන්ට නිවෙස් පවා ලැබී ඇතත් ඔවුන් ඒවා බදු දී යලිත් මේ අනාරක්ෂිත ප්‍රදේශ වලම කරක් ගසන්නේ සහනාධාර නිසාම නොවේ. නමුත් මෙවර ගංවතුරෙන් අනපේක්ෂිත ප්‍රදේශ කිහිපයක්ද යට වූ බව සත්‍යයකි. එහෙත් එම ප්‍රදේශ වල නිවාස ඉදිකිරීම් දෙස මොහොතක් බැලුවොත් ඉන් කීයක් අදාළ ප්‍රාදේශීය සභා වල අනුමත ගොඩනැගිලිදැයි ඔබට වැටහෙනු ඇත. 

සහනාධාර නොනැවතී ලබා දුන්නොත් ඔවුන් කිසි දිනෙක යලිත් ඔවුන්ගේ නිවෙස් වෙත යන්නේ නැති බව මා දන්නේ අද ඊයේ නොවේ. ඒ දකුණේ ප්‍රදේශ ගණනාවක සේවය කරන (වර්ල්ඩ් විෂන්) මගේ මිතුරියක් කල හෙළි දරව්වෙනි. නියං සහනාධාර ලබන කිසිවෙකු ඔවුන්ගේ නිවෙස් වල වහල ගසන්නේ නැති බවත්, එසේ නොකරන්නේ සහනාධාර අහිමි වන නිසා බවත් ඇය පවසයි. ඒවා දැන-දැනත් ඔවුන් තමන්ගේ ආධාර ව්‍යාපෘති කරගෙන යයි. මේ පෙදෙස් වල ජනයා වැස්ස වැටෙනවාට කැමති නැත.

සාමාන්‍යයෙන් අපේ ර‍ටේ මිනිසුන් කම්මැලි බව අප සියලු දෙනා පිළිගත යුතු සත්‍යයකි. නිකං ලැබෙන දේ තොග වශයෙන් එක්කාසු කර ගන්නන්ද සිටින බව නොකිවමනාය. ඒ පිලිබඳ කදිම ලිපියක් යාන්හැල්ල ලියන සුරංග කර ඇත. සියලු දෙනාම එය කියවන්නට ඇතැයි සිතමි. සහනාධාර ලබන්නාට එහි වටිනාකම අඩුය. ඔබ පේපර් සර්වියට් පැකට් එකක් එවැනි කෙනෙකුට ලබා දී ඔවුන් කරන දේ බලා සිටින්න. ගෙදරදී අප පේපර් සර්වියෙට් පැකට් එකක් රැගෙන ආවද, එය අමුත්තෙකු සිටින විට භාවිතා කරන්න ලබා දුන්නද, ඉතිරි ඒවා අරපරිස්සමින් තබන බව මා අත්දැකීමෙන් සහ නිරීක්ෂණයෙන් දනිමි. නමුත් ඔබ වෙනත් ස්ථානයක පේපර් සර්වියෙට් නොමිලයේ ලබා දී ඒවා භාවිතා කරන අයුරු බලා සිටින්න. ඔවුන් සපත්තු පොලිෂ් කරන්නද, පිගන් පිහින්නද, වාහනයේ වීදුරු පිස දමන්නද, කන්නාඩි පිරිසිදු කරන්නද ඒවා භාවිතා කරයි. හේතුව ඒවා මිලදී ගන්නට ඔවුන්ගේ පොකැට්ටුවෙන් සතයක් හෝ වැය නොවන නිසාය. 

සහනාධාර වල සරල කතාන්දරය ඉහත පේපර් සර්වියෙට් උදාහරණයෙන් පැහැදිලි වේ. ලබන්නා ඒවාට කරන වියදමක් නැති නිසා ඔවුන් නොමසුරුව ඒවා භාවිතා කරයි. තම මහන්සියෙන් රුපියලක් උපයාගත් පුත්‍රයා, තමාගේ පියා ලිපට එය විසි කල කල්හී හැසිරුණු ආකාරය කියවෙන කතාව මේ මොහොතේ සිහිපත් වේ. සහනාධාර ලබන්න්නා කම්මැලි වේ. උපයන්න උදාසීනය. කාගෙන් හෝ කඩාපාත් වනතෙක් බලා සිටී. පහුගිය සමයේ තමන්ට ඉන්න තැනක් නොමැති බවට ආණ්ඩුවට මැසිවිලි නගන අයුරු ඔබත් මාධ්‍යයෙන් දකින්නට ඇත. 

වරක් අප මතුගම ප්‍රදේශයේ එක් අසරණ පවුලකට නිවසක් සාදා දෙන්නට ඉදිරිපත් වූයෙමු.  වරින්වර කණ්ඩායම් වශයෙන් නිවාඩු දමා ගොස් ශ්‍රමදානයෙන් වැඩකටයුතු කළේ ඒ සඳහා දරන්නට වන බරපැන අවම කර ගැනීමටය. අප නිවසේ බිත්ති කඩමින් වයරින් කටයුතු වල යෙදෙද්දී, එම ගෙදර ගෘහ මූලිකයා වගේ-වගක් නැතිව සුපවයිසර් මෙන් බලා සිටියේය. නමුත් ඔහුගේ රැකියාව කුළී වැඩය. තමන්ගේ නිවසේ කෙරෙනේ කටයුත්තේදී ඔහු මෙයට වඩා යුහුසුළු වියයුතු නේදැයි අප අපිටම කියා ගත්තෙමු. 

මගේ කාර්යාලීය මිතුරා එක් පවුලකට මාසිකව යම් මුදලක් සපයයි. ඔහු ඒ තීරණයට එන්නේ එය ලබාදෙන්නට යෙදුනු කාලයේ එකී පවුලේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය. නමුත් අද තත්වය ගැන සලකා ඔහු මේ මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළහොත්, එයට මුහුණ දීමේ ශක්ශ්තිය එකී පවුලට නැත. මන්ද ඔවුන් අඩුවෙන් මුදල් ඉපැයීමට පුරුදු වී ඇති නිසාය. නැතිනම් යම් මුදලක් නාස්ති කිරීමට ඇබ්බැහි වී සිටීම නිසාය. 

අවසානයේදී මගේ විශ්වාසය නම් "සහනාධාර වහක්" බවය. ඒ මගින් මිනිසුන්ගේ උද්යෝගය හීන කරයි. මේ දිනවල විනාශ වූ නිවෙස් පිළිසකර කරගැනීමට හෝ පිරිසිදු කර ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම ඉතා හොඳ දෙයකි. නමුත් ලබන වසරේ ඔබ එයට ඉදිරිපත් නොවුනහොත් ඔවුන් මැසිවිලි නගනු නියතය.  මෙය සාමාන්‍ය තත්වයකි. මාගේ මේ ලිපියේ අරමුණ ත්‍යාගශීලී ජනතාව හෝ ස්වේච්චාවෙන් සේවය කරන ඔබ මන්දෝත්සාහී කිරීම නොව, සහනාධාර නමැති කාසියේ අනෙක් පැත්ත පිලිබඳ පෙන්වා දීමටය. 

මා ජීවත් වන කළුබෝවිල ප්‍රදේශයේ සුදර්ශි මාවත නොවැම්බර් මාසයේ කොළඹට වැටෙන මහා වැස්සට අඩියක් පමණ ජලයෙන් පිරී යාම සාමන්‍ය සිද්ධියකි. එසේ පිරෙන ජලය ගැන කිසිවෙකුට මැසිවිලි නොනගන ප්‍රදේශයේ ජනතාව, වතුර අස්කර ගැනීමද, වැසි ඇදහැලෙනවිට බඩු-භාණ්ඩ උස්තැන් වල තැබීමද, නිවෙස් වලට ගලාගෙන ආ මඩ හෝ කසල ඉවත් කර ගැනීමද, විෂබීජානුහරණය කර ගැනීමද කර ගනිති. මෙම ප්‍රදේශයේ බෑවුමක මේ පාර පිහිටා ඇත. ඇල අසලම ජීවත් වුවද, එයට ජලය රැගෙන යන කානු පද්දතිය අවහිර කර සමහරුන් තාප්ප ඉදි කර ඇත. තවත් කෙනෙක් තමන්ගේ නිවසේ මළපහ පද්දතියෙන් බටයක් එයට යොමු කර ඇත. උදෑසනක පාරට බටහොත් මෙකී පද්දති වල දුර්ගන්ධය ආග්‍රාහනය කරගත හැක. මෙසේ වැසිජලයෙන් වන විපතට බොහොමයක් දෙනා කුඩා බැම්මක් ඉදි කර අතුරු විසඳුමක් සිදු කලද, කිසිදු මාධ්‍යයක් මේවා වාර්තා කරන්නට එන්නේ නැත. වරක් මෙවැනි රජයේ අඩුපාඩු ගැන මහා දුකකින් වාර්තා කරන මාධ්‍යයක් මෙය ඔවුන්ගේ නාලිකාවේ පෙන්වීමට ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් පනස්දාහක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. අද කෙරෙන මාධ්‍යකරණය පිලිබඳ ඇතුල් පැත්තද එලෙසය. 

ඇඳුම් ලබා දෙන්නේ නම් පාවිච්චි නොකළ ඒවා දෙන ලෙස ජනතාවට අණ කරන්නේ ඇයිදැයි මට ගැටලුවකි. අඳින්නට පුළුවන් හොඳ තත්වයේ වෙනත් කෙනෙකුගේ ඇඳුමක් විපතට පත් මොහොතක අඳින්නට නොහැකි වන්නේ කුමන අරුමයක් නිසාදැයි මට පැහැදිලි නැත. හදිසියකට යාලුවෙකුගේ හෝ ඥාතියෙකුගේ ඇඳුමක් නොඇඳි කෙනෙකු සිටීදැයි නොදනිමි. ඒ දෙන ඇඳුම් තමන්ට අඳින්නට රිසි නොවේනම තෙත් වූ පොලොව මත දමා කකුල් පිස ගැනීමට හෝ භාවිතාව කල හැකිය. නමුත් දෙන්නාට මේ ගැන තිබෙන කැක්කුම ලබන්නාට නැතිබව මේ ප්‍රකාශ වලද ගැබ් වී ඇත. 

සහනාධාර ලැබූවෝ පසුකාලීනව ඔවුන්ට උදව්-පදව් කල අයට මැසිවිලි නගන අවස්ථාද සමාජයේ අසන්නට ලැබේ. අපිට එහෙම උදව් නොකළානම් අපි කොහොම හරි අපේ දේ කර ගන්නවා යන්න ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි. සත්‍යම කතාවද එයයි. මිනිසුන්ට උදව් කල යුත්තේ අන්ත අසරණ භාවයට පත් වී ඇතිබව ඔබට සක්සුදක් සේ පැහැදිලි නම් පමණක් බව මගේ විශ්වාසයයි. රැල්ලට දුවන්න ගියහොත් ඔබ කලදේ ගැන ඔබටම පසුතැවිලි වන්නට සිදුවනවා ඇත. අනේ අපි කලේ පිනට, එයාලා කළ දේ එයාලා අරගෙන යයි, කියන ප්‍රසිද්ධ බොදු වැකිය නිසා, අපේ රටේ මිනිසුන් පිං ලැබීම අරමුණු කරගෙන මෙසේ පරිත්‍යාග කරයි. නමුත් සහනාධාර බෙදු සැම අවස්ථාවකම ඒවා ගසා කෑ පුවතක් පසුව අසන්නට ලැබේ. 

මෙම සටහන තැබීමේ අරමුණ, සද් භාවයෙන් විපතට පත් ජනයාට උදව් කරන්නට ඉදිරිපත් වන ඔබ මන්දෝත්සාහී කිරීම හෝ හිතේ ඇතිවන කුහකත්වයක් නිසා නොවන බව මෙහි සටහන් කර තබමි. ඔබ යම් සද්කාර්යයකට මේ වනවිටත් එක් වී ඇතිනම් ඒවා දිගටම කරගෙන යන්න. නමුත් මේ යතාර්ථය දකින්න. 

30 comments:

  1. සුදීකගෙ කීමට මාත් 100%ක් එකඟයි. අසීරුතම අවස්ථාවලදි මිනිස්සුන්ට උදව් කළත් ඒ අසීරුතාවය පහ උනාට පස්සෙ ඒ වැඩ නවත්තන්න ඕන කියන මතයෙ තමයි මාත් ඉන්නෙ. ඕනනං පිරිසිදු කිරීම් වලට අවශ්‍ය භාණ්ඩ වලින් ඒ මිනිස්සුන්ට උදව්වක් කළාට කමක් නෑ.

    අරනායක නාය ගිය වෙලාවෙ වැල නොකැඩී මිනිස්සු ආවට දැන් ඒ පැත්තෙ කිසිම කෙනෙක් යන්නෙ නෑ කියල ඊයෙ ලංකාදීප ඔන්ලයින් එකේ තිබුණ. ඔය කොළඹ මිනිස්සුන්ගෙ ගෙවල් ඒ ගොල්ලන්ට හෝදගන්න දීල අර ගෙයක් දොරක් නැති මිනිස්සු ගැන බැලුවනං හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රසන්න. අරණායක වගේ අනපේක්ෂිත විපතකට මුහුණදුන් ජනතාවට යම් සහනයක් දිය යුතුයි. ඒ වගේම ඔවුන් ව්‍යාජ ලෙස ඉදිරිපත් වන්නේ නැති බවද විශ්වාස කල හැක.

      Delete
  2. ඉන්දියාවෙන් අැස්ට්‍රා ගේන කතාව ඇත්තද? මම අහපුවාම කිවුවෙ ඉන්දියාවෙ ඒවට එ‍ළඟිතෙල් දාන හින්ද අනික් බඩු ගෙන්නුවට ඇස්ට්‍රා ගෙන්නල මෙහේ දෙන්න බෑ කියලයි. නෝ සුප් එකත් ඊජිප්ට් වලින්ද කොහෙද ගෙන්නල තියෙන එක මෙහේ තියෙන එකට වඩා සුවඳින් වෙනස්.

    ReplyDelete
    Replies
    1. මම ඔය කියන ජාති දෙකම පාවිච්චි කරන්නේ නෑ. දසනායක බොරුවක් ගෙතුවා කියා සිතන්නට බෑ. ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙක්. ඔහු යම් දෙයක් ගැන සොයා ගන්නා අකාරය මා නිරීක්ෂණය කර ඇත. එනිසා ඔහුගේ අදහස පිළිගත හැක.

      Delete
  3. Replies
    1. Luckily you got me right. I thought otherwise since you are very much committed to social services.

      Delete
  4. මමත් ඔය කතාවට එකගයි.

    උදව් කල යුතු අවස්ථාවේදී උදව් කල යුතුයි. දිගින් දිගටම උදව් කිරීමෙන් වෙන්නේ ඒ අදාල පුද්ගලයන් උදාසීන වීමයි. කිසිම වගකීමක් නොගෙනෙ අනෙක් කෙනෙකුගෙන් යැපෙන්නේ කොහොමද කියා බලා සිටි.

    ReplyDelete
    Replies
    1. මෙය ඔබේ දාරුවන්ට පවා සත්‍යයක්. වැඩෙන දරුවාට ඔවුන්ගේ දේ තනිවම කරගැනීමට හුරු නොකළහොත්, ඔවුන් දෙමව්පියන්ගෙන් ඒ දේ සිදුවනතෙක් බලා හිඳීම සාමාන්‍යයි. මම මෙය මගේ නිවසේ සේවය කරන ගෘහ සේවිකාවගෙන්ද දැක ඇත. අප යම් දෙයක් අප විසින්ම කරගතහොත්, ඇය නැවත ඒ දේ අපට කර දෙන්නේ නැත.

      Delete
  5. කතාව ඇත්ත ඔය සහනාධාර කියන්නෙ නං වහ. අපේ මිනිස්සු ඔක්කොම නිකං හම්බෙනකල් බලා ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ ආධාර නැතුවම දොස් කියන්න බනින්න පුරුදු වෙලා තියෙන්නෙ ඔය වගේ සහනාධාර ගන්න ලෑස්ති වෙලා ඉන්න නිසයි.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක ටයිප් කරන මොහොතේ ප්‍රවෘති වලට යන්නේ අගමැති වරයා පැල්පත් වාසීන්ට නිවෙස් ලබා දෙනවා කියලා. කිසිදාක වැඩක් වෙන්නේ නෑ. ඔය මිනිස්සු ඔය ගෙවල් කුලියට දීලා ආයේ ඔතැනටම එනවා.

      Delete
  6. ඕවා ගැන කතා කරනවා නම් ඉතිං දවසක් උනත් කතා කල හැකි. ලංකාවනේ කියල ඉන්න තමා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේක පොදු මනුෂ්‍ය ලක්ෂණයක් කියලා. කිසිම කෙනෙකුට නිකං දේවල් දෙනකොට ඒවා තමන්ගේ වියදමෙන් ගන්න කැමති වෙන්නේ නෑ.

      Delete
  7. කතාව ඇත්ත කියන්නේ සුදික දැන් අප්‍රිකාවේ ඔය ප්‍රශ්නය සෑහෙන්න තියනවා නේ. සහනාධාර දීල දීල ඒ මිනිස්සු මුකුත් කරන්නේ නැහැ. සහනාධාර එනකන් ම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම රටක් වට්ටන්නත් පුළුවන් උවමනානම්.

      Delete
  8. ඉකොනොමැට්ට හොඳ මතක්කිරීමක් කරල තිබුනා.. මාළු දෙන්න එපා මාළු අල්ලන්න කියල දෙන්න.මාළු අල්ලන්න දන්න කෙනාට දැලක් ගන්න උදව් කරන්න කියලා.
    ඇත්තටම ගස්ලබ්බා විශ්වාස කරන්නෙ යමෙකුගේ ජීවන බර උසුලා යෑමේ කාර්යයට යම් සහනයක් ඔහුට හඳුන්වාදීම මිසක ඔහු වෙනුවෙන් වෙන කෙනෙක් බර ඇදීම සාර්ථක නෑ කියලයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව ඇත්ත. නමුත් ඒවා මොනිටර් කරන්නත් අවශ්‍යයි. නැතිනම් මාළු දැළ විකුණලා දවස් දෙකක් තුනක් ජීවත් වෙයි.

      Delete
  9. කතාව සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මම උදාහරණයක් කියන්නම්. රාජකාරියට වාහනයක් ලැබෙන කෙනෙක්(සහනාධාරයක් නොවීත්) වාහනයක් ගන්න උනන්දු වෙන්නේ නෑ. වාහනයක අවශ්‍යතාව එයාට පෙන්නේ නෑ. මොකද එයාගේ අවශ්‍යතාව ඉෂ්ඨ වෙන නිසා. අන්තිමට එයාට වාහනයක් මතක් වෙන්නේ රැකියාවෙන් ගියාම. මම මේ ඇස් දෙකෙන් දැක්ක දෙයක් කියන්නේ. සමහරුන්ට ලයිසනුත් නෑ. වයස නිසා ගන්නත් බෑ.

      Delete
  10. ඔය නිළ නිවාස වල ඉන්න සුළු සේවක පොරවල් පැන්ෂන් ගියාම ආන්ඩුවට බැන බැන තමා ගෙවල් වලින් යන්නෙ. නිකන් දුන්නම නාස්ති කරන එකට ටිෂූ හොඳම උදාහරනෙ. මම අහල තියෙනව එක් බැන්කුවක් අවුරුද්දකට මිලියන ගානක් ටොයිලට් පේප වලට ගෙව්ව නිසා, ඒක නවතල කියල.

    ReplyDelete
    Replies
    1. මම පෙරේරා ඇන්ඩ් එකට ගිය බොහෝ වෙලාට මේ ටිෂු සෙල්ලම දිහා බලාගෙන ඉන්නවා. රෝල්ස් දෙකක් ගත්ත කෙනා ටිෂු පහක් හයක් ගන්නවා. එහෙම නිදහසේ තියලා තියෙන්නේ එතැන. නමුත් මම ක්ලැසි, සෙන්-සාල් වගේ තැන් වලට ගියාම දකිනවා ඔවුන් අවශ්‍ය ටිෂු ප්‍රමාණය ගනුදෙනු කරුවාට දෙනවා. පීසා හට් එකට මේවා වැඩිපුර දුන්නට ගානක් නෑ. එක වෙලනදාමකදී පැකට් එකක මිලට වඩා ලාභ නිසා.

      ඇත්තටම නිල නිවාස හැර නොයා බලෙන් ඉන්න පිරිසුත් ඉන්නවා. ඒකට හේතුව තමයි ගිය දවසට වෙන දේ ගැන නොසිතීම.
      ලිබර්ටි ප්ලාසා, මැජෙස්ටික් සිටි වල වොෂ් රූම් යන්න අය කරන්නේ මේ නිසා. නමුත් ට්වින් ටවර්ස් වල නොමිලේ. ඒ වුණත් එන පිරිස සීමාසහිතයි. නමුත් ඒ අවශ්‍යතා සඳහාම එන පිරිසුත් ඉන්නවා.

      පාරකින් වල තත්ත්වෙත් මේකයි.

      Delete
    2. පාරකින් = පාකින්

      Delete
  11. ගොඩක් දෙනෙක් ආධාර දෙන්න බඩු ගත්තෙ සුපර් මාර්කට් වලින්. කෙනෙක් ලියල තිබුණා ඒගොල්ලො කිසිම ඩිස්කවුන්ට් එකක් දුන්නෙ නැහැ කියල. සුපාර්මර්කට් වලටත් මේකෙන් සෑහෙන්න වාසි වෙන්න ඇති. කීල්ස් වෙබ් සයිට් එකේ පිටරට අයට සහනාධාර ඕර්ඩර් කරන්න ලින්ක් එකකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කීල්ස් එකේ ඔය සර්විස් එක කාලෙක ඉඳලා තියෙනවා. තමන්ගේ ගෙදරට බඩු යවන්න. අපේ මිනිස්සු කලබල වෙච්ච පාරට බඩු ඔක්කොම ඉවර වුණා.

      Delete
  12. සහනාධාර වැඩි උනාමත් සමහරු ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්න පුරුදු වෙනවා.

    ReplyDelete
  13. සහනාධාර ඕනෑ අයට වගේම නැති අයටත් ලැබෙනවා.උදහරණයක් විදියට "තෙල්" දෙන්න පුළුවන්.මිනිස්සු සහනාධාර මත,අනුකම්පාවන් උඩ යැපෙන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ.තමන්ගේ හයියෙන් නැගිටින්න හැමෝවම දිරි ගන්වන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ පුරුද්ද නාගරික ජනතාවගෙන් ගිලිහී යමින් පවතිනවා. ගම්බද මිනිස්සු තරමක් ලැජ්ජාවක් දක්වනවා අත පාන්න.

      Delete
  14. සුදීක......ඔබේ කතාව හරි. මිනිස්සු එක අතකින් අරන් ඒක පිටිපස්සට කරගෙන අනිත් අතත් දික් කරන එක පුරුද්දක් වෙලා. හදිසි අවස්තාවකදි, ආපදාවකදි ඉදිරිපත්වෙන මිනිස්සු ඔය වගේ වැඩ නිසා කලකිරෙනවා. අපි කාලයකට පෙර පවුල් දෙකකට මාසිකව යම් මුදලක් යැව්වා. ඒවාට වෙච්ච දේවල් නිසාම නවත්තලා දැම්මා. අපිටත් තව දාහක් ප්‍රශ්න තියෙද්දි තමයි එහෙම ඉදිරිපත් වෙන්නේ. ඒකයි මම කිව්වේ කලකිරෙනවා කියලා. මෙවර ආපාදාවේදී නම් ලැබිය යුතු හරි තැන්වලට යොමු කලා.

    //////අදද වයස හැට ඉක්මවා ගිය මිනිසුන් කොතැනක හෝ සේවය කරන විට මගේ හිතට අනුකම්පාවක ඇතිවේ. ඒ නිසි විශ්‍රාමික ක්‍රමයකට උරු/////////////
    මේ කතාව ඇත්ත සුදීක. උදාහරණයකට... සෙකියුරිටි ගාඩ්ස්ලා හැටියට නයිට් අදින වයසක උදවිය දැක්කම අපේ රටේ සිස්ටම් එක ගැන තරහ යනවා. මේවා කවදා හැදෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ මිනිස්සු නිසා මුළු රටේම නම කැත වෙනවා. තව කෙනෙකුට නොදී තමන්ම බදා ගන්න කරන උත්සාහය ලැජ්ජාව උපදවනවා. මේ වගේ අතලොස්සක් නිසා මුළු රටේම නම කැත වෙනවා.
      අපේ ඔෆිස් එක ඉදිරිපිට තියෙන ගොඩනැගිල්ලේ ඔය වගේ කෙනෙක් ඉන්නවා. දැක්කම පුදුම අනුකම්පාවක් ඇති වෙනවා.

      Delete
  15. ඇස්ට්‍රා නම් නොකන තරමට හොදයි..පොඩි අයට මේවා ඉතාම අගුණයි...ගොඩාක් අය හිතාන ඉන්නෙ මේවා හදන්නෙ කිරි වලින් කියලා. අතලොස්සයි දන්නෙ හදන්නෙ එළවළු තෙල් වලින් කියලා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...