බ්ලොග් පොස්ට් එකක් ලියන්න අවශ්‍යතාව තිබූ සෑම මොහොතකම, මා ඉතා කාර්යබහුල විය. මා හට ඉඩක් ලැබෙන මොහොතක් වෙයිද, වෙනත් හේතු කාරණාවක් නිසා පරිගණකය ඉදිරියේ වාඩි වීමට නොහැක. එක්කෝ මාගේ දියණිය එය පරිහරණය කරයි. නැතිනම් රූපවාහිනියේ කුමක් හෝ මා කැමති වැඩසටහනක් විකාශණය වේ. ලියන්නට කදිම මාතෘකාවක් මාගේ මිතුරකු සපයා දී තිබියදීත්, එය කල් දම්මන්නට සිදු වුයේ කලින් සඳහන් කල කාරණාය. මා මේ බ්ලොග් සටහනක් දමන්නේ දවස් දහයක නිහැඬියාවකින් පසුවය. අදද මෙය සම්පූර්ණ කල හැකිදැයි විශ්වාස නැත.
පසුගිය සිකුරාදා තරම් මා චිත්තප්තාපයකින් ගෙවූ දිනයක මගේ මතකයට නොනැගේ. ඒ පසුගිය සතියේ ලොව කැළඹූ පිලිප් හියුස්ගේ ඛේදනීය මරණය නිසාය. එය වාර්තා වනවිට මා සිටියේ රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගනයේය. එදින වනවිට අපගේ සයසාමාජික ක්‍රිකට් තරගාවලියේ සිව්වන දිනය විය. හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් ලැබුණේ මේ මරණයයි. ඒ මොහොතේම තරගය මොහොතකට නවතා මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වා, ශෝකය පල කරන්නට අප කටයුතු කළේ ලෝකයේ කොහේ හෝ කෙළවරක සිදු වූ මේ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අපගේ සිත්සතන් කම්පනයට හේතු වූ නිසායා. එම සිද්ධිය පිලිබඳ සියලු තතු ඔබ සැම පසුගිය දිනවල මාධ්‍ය වලින් දකින්නට ඇත. නමුත් මා කියන්නට යන්නේ වෙනත් කතාවකි.
පෙරකී පරදීම එම සිදුවීමෙන් කම්පිත සිතෙන් කාර්යාලයේ කාලය ගත කරද්දී, කාර්යාලයේ හිතවතෙකු පැමිණ කල හෙළිදරව්ව මේ කම්පනය තවත් තීව්ර කළේය. මෑතක සිට ඔහු රාජකාරියට පැමිණෙන්නේ රත්නපුර සිට කොල්ලුපිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයකිනි. එවැනි කාර්යාල බස්රථ ඕනෑතරම් එහා මෙහා යනු අප දැක ඇත්තෙමු. කොළඹට ආසන්න නගර වල සිට හෝ තරමක් ඈතින් ඇති නගර වලසිට පැමිණෙන මේ බස් රථ මගින් සිදුවන සේවය ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත. පසුගිය සිකුරාදාද සිරිත් පරිදි මේ බස්රථය කඩුවෙල නගරය පසුකර කොල්ලුපිටිය බලා ගමන් ගෙන ඇත. මෙය සාමාන්‍යයෙන් සීඝ්‍රගාමී බස් සේවාවක් වුවද, එහි රියදුරු මද වේගයෙන් බසය ධාවනය කර ඇත.
කඩුවෙල නගරය පසුවත්ම ඇති නැවතුමේ බස්රථය නරත කල මොහොතේ අවුරුදු අටක නවයක පාසල් ඇඳුමින් සැරසීගත් දැරියක් දුවැවිත් බසයට ගොඩ වී ඇත. මේ අවස්ථාවේ ඉදිරි කවුළුවේ සිටි කොන්දොස්තර වරයා
"මාලඹෙන් එහා යන අය විතරක් නගින්න"
යනුවෙන් බෙරිහන් දී ඇත. මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ මා බොහෝදිනවල ගමන් ගන්නා ගල්කිස්සේ සිට පැමිණෙන ඉසුරුපාය බස් රථයයි. එහි කොන්දොස්තරවරයාද බත්තරමුල්ලෙන් මෙපිට කිසිවකුට ගොඩ වන්නට ඉඩ තබන්නේ නැත. යම් හෙයකින් නුපුරුදු කෙනෙකු ගොඩ වැදුනාද ? ඒ අසල සිට නෝක්කාඩු බසින් කියවන්නට පටන් ගන්නේ, එහි ගොඩවූ මගියාට යලිත් දිනක එහි නොයන්නට මතකයේ රැඳෙන ආකාරයකට. නමුත් කිසිදු හිත් රිදවීමක් ඇති නොවන අකාරයකට.
"මේක ස්ටාෆ් බස් එකක්. අපි අටහාමාර වෙන්න කලින් පැලවත්තට යන්න ඕනේ. ඉතිං අතරමග සෙනග බස්සන ගියොත් අපිට පරක්කු වෙනවා"
මෙය ඔහු කියවාගෙන යන්නේ දිව මතුරක් සේය. ඔහුට ඇතිවන්නේද නැත. මගීන්ට ඇති වන්නේද නැත. එමගින් බසයේ ගමන් ගන්නා සුපුරුදු මගීන්ගේ සිත් සතුටු වන බව ඔහු දනී. දියණිය බසයට ගොඩ වී මොහොතකින් පසුපසින්, එක් අතකින් කිහිලි කරුවක් දරා සිටි ඇයගේ පියාද බසයට ගොඩ විණි. මොහොතකින් තම දියණිය අසලට එන්නට ඔහුට හැකි විය. පෙනුමෙන් ඔහු ක්‍රියාන්විතයකදී අනතුරට පත්ව සේවයෙන් විශ්‍රාම ගත් අයෙකි. මේ දෙදෙනා අසලට කොන්දොස්තර වරයා ආ විට පියා
"අපි පිට්ටුගලට යන්නේ. දුවට අද විභාගේ තියෙනවා. නැත්නම් මේ බස් එකට නගින්නේ නෑ. පරක්කු වෙන නිසයි නැග්ගේ"යනුවෙන් ඉතා යටත්ව පවසා ඇත. කිසිත් නොපැවසූ කොන්දොස්තර වරයා එක් වරම මේ අබාධිත පුද්ගලාගේ කමිසයෙන් ඇද ඔහුට පහර දී ඇත. ඔහුද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.
"අනේ..... අපේ තාත්තාට ගහන්න එපා...."
අසරණ දියණිය කඳුළු පිරි දෙනෙතින් පවසා ඇත. මෙසේ ගුටි කෙළිය යත්දී එය නවත්වන්නට බසයේ කිසිවෙක් ඉදිරිපත් වී නැත. බොහෝ දෙනා මේ රියදුරු සහ කොන්දොස්තර වරයා හොඳින් හඳුනයි. අනෙක කොන්දොස්තරගේ මේ ගෝරනාඩුව ඔවුන් වෙනුවෙනි. ඒ වෙලාවට රාජකාරි සඳහා ඔවුන් රැගෙන එන්නය. එහු වූ බොහෝ අයද අර විශ්‍රාමික රණවිරුවාට නෝක්කාඩු බසින් කථා කර ඇත.
"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද ? මේක නවත්වන්නේ මාලඹේ කිව්වා ඇහුනේ නැද්ද ?"
වැනි වදන් වලින් ඔහුට බැන ඇත. මේ පුවත ඇසු මගේ හිත එතැනම කඩා වැටුණි. අවුරුදු පහකට පෙර මේ සිදුවීම වූවානම් රණවිරුවාට ලැබෙන ගෞරවය හිතා ගත හැකිද? අද ඔවුන් අලුයම ලූ කෙල පිඩක් සේ අමතක කර දමන්නට අප අකාරුණික වී ඇතිද ? ලංකාවේ සිටින්නේ කලගුණ නොදත් කුහක ජනතාවක් බව මින් පසක් නොවන්නේද? රණවිරුවන් ඇස්-හිස්-මස්-ලේ දන් දුන්නේ අප කවුරුත් වෙනුවෙන් නොවේද? මගේ සිත කෝපයෙන්ද, දෑස කඳුළු බිඳුවකින්ද නැහැවී යන්නට විය. තම දියණිය ඉදිරියේදී පියෙකුට පහර කෑමට ලක් වීමට සිදු වීම නිසා ඔහුගේ හදවත කෙතරම් කඩා වැටෙන්නට ඇත්ද ? තමා ආබාධිත බව අමතක කර ඔහු හා සටන් වැඩෙන්නට ඔහුට හිතෙන්නට ඇත්තේ, රණබිමේදී සටන් වැදීමට උප්පත්තියෙන්ම ලද මොරාල් එක නිසා වන්නට ඇත. මේ මොහොතේ බොහෝ කරුණු මගේ හිතට නැගේ.
ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදීයා සමග මුහුණට මුහුණලා සටන් කල ඔහු, අද වැටී ඇති අසරණ තත්වය තුල කොන්දොස්තර කෙනෙකුගේ වාග් සහ ශාරීරික ප්‍රහාරය හමුවේ අසරණ වී තිබේ. රණවිරුකම පැත්තකින් තබමු. අබාධිතයෙකුට පහර දීමට තරම් පහත් මට්ටමකට වැටීමට පිරිමියෙකුට හැකිද ? දරුවකු හඬා වැටෙද්දී පහර දෙන්නට ඔහුගේ අත එසවුනේ කෙසේද ? තලංගම ඩිපෝවට අයිති මේ කොන්දොස්තර වරයා ජඩයකු ලෙස හැරෙන්නට හඳුන්වන්නට හැකි වෙනත් විශේෂණ පදයක් මේ මොහොතේ මගේ සිතට නොනැගේ. මේ සමගම මගේ හිතට නැගෙන්නේ මගේ දියණියට වයස අවුරුදු තුනේදී පමණ මුහුණ දුන් අත්දැකීමකි.
එය සති අන්තයේ දිනයකි. දියණියගේ කොණ්ඩය කැපීමට අවශ්‍ය කාලයත් ඉක්ම ගොස් අත. අතේ තිබූ සීමිත මුදලද සහිතව සොයුරියගේ කාරයට ගොඩ වූ මමත්, සිනිගි දියණියත් නුගේගොඩ බලා පිටත් වූයෙමු. කොහුවල සිට නුගේගොඩ දක්වා ඇති සක්යා ආයතනය පසු කර යන පාරේ ඉතා ප්‍රවේසමෙන් රිය පැදවූ මා නුගේගොඩ කේ.එෆ්.සී. පැත්තට හරවනවාත්(මෙය අංශක 90ක වංගුවකි. වම්පස ඇත්තේ තාප්පයකි) සමග ඉදිරියෙන් පැමිණිරථයක් හා ගෑවිණි.වහාම ඉදිරියේඇති වාහනයෙන් බැසගත් පිරිමියෙකු මට රිවස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ මොහොතේ කාර් දෙකේ බෆර් ඇතිල්ලිනි. වාහනය පදවාගෙන විත් තිබුණේ කාන්තාවකි. ඔවුන් දෙදෙනාම එය මගේ වරද බවට චෝදනා නගන්නට විය. මා කිසිදු තර්කයක් නොකර අලාභය ගෙවන්නට පොරොන්දු වුයෙමි. මේ මොහොතේ දියණිය වාහනයේ බව පසක් වී ඈ රැගෙන එන්නට වාහනයට ගමන් ගතිමි. ඉහිං කනින් දාඩිය පෙරාගෙන සිටින ඇය දුටු විට මගේ සිතට විශාල දුකක් ඇති විය. අැයත් සමගම පැමිණ ඔවුන් සමග සාකච්ඡා කරන්නට හදන විට
"මහත්මයා ඔයා මේ ළමයාත් අව්වේ තියාගෙන මේවා කථා කරන්න ඕනේ නෑ. ඔයා සැලුන් එකට යනවා කිව්වා නේද? ඔයා ඒ ගමන යන්න. මම ටෙලිෆෝන් කරලා ගාන කියන්නම්"
පිරිමියා පැවසීය. ඔවුන්ට ස්තුතිවන්ත වෙමින් අප දෙදෙනා නුගේගොඩ සව්සිරියට ගමන් ගතිමු. ඇය කොණ්ඩය කපන අතරතුරත් මා කල්පනා කලේ ගෙවන්නට වන මුදල පිලිබඳවය. මේ මොහොතේ මා සතුව එතරම් මුදලක් නැති බව දැනී, යම් බියක් හිතට ඇතුළු විණි. මෙසේ වික්ශීප්තව බලා සිටිද්දී මගේ දුරකථනය නාද විය. ඒ ඔවුන්ය. ගැහෙන සිතින් මා පිළිතුරු දුනිමි. එවරදපිරිමියාගේ හඬ අවධි විය
මේ මොහොතේ මගේ දෑසට කඳුලක් නැගිණි. ඒ ඔවුන්ගේ කාරුණිකත්වය වෙනුවෙනි. මා දරුවකු සමග සිටින විට ඔවුන් හැසිරුණු ආකාරය බලන්න." මහත්මයා අපේ වාහනය හදන්න ඔයා වියදම් කරන්න ඕනේ නෑ. ඒක සුළු ටින්කරින් වැඩක් නේ. අපි හදා ගන්නම්"
ඉතිං ඉහත කී කොන්දොස්තර වරයා හැසිරුණු ආකාරය කොයි තරම් සාධාරණද ?