මා ෆේස්බුක් ගිණුමක් සාදා ගත්තේ 2008 වසරේදීයි. එහෙත් ෆේස්බුක් යනු කුමක්ද ? එහි කල හැකි දේ මොනවාදැයි නොදැන කලක් ඔහේ බලා සිටියෙමි. මගේ හිතවතෙකු වන දිනේෂ් .............. නිතරම එවන ඉල්ලීම්(Request) නිසා ෆේස්බුක් යනු කුමක්දැයි හදාරන්නට මට අවශ්‍ය විය. මේ කාලය වනවිට අප තොරතුරු බෙදා ගත්තේ ඊමේල් පණිවුඩ එහා-මෙහා යැවීමෙනි. දිනක් "Dinesh .............. has written on your wall" යනුවෙන් සටහන් පණිවුඩයක් මගේ ඊමේල් ගිණුමට ලැබී තිබිණි. මට එක පාරටම සිහියට ආවේ බාලිකා විදුහල් තාප්ප වල ස්ප්‍රේ පේන්ට් වලින් වැකි ලියන කොලු කුරුට්ටන්ය. ඇත්තටම මෙය එවැනි ක්‍රියාවක්ද? මා හනික මගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් වී බැලුවෙමි. දිනේෂ් සටහහනක් තබා ඇති බව පෙනේ. ටික දිනක් යන්නට මත්තෙන් මා ෆේස්බුක් අන්තුවෙකු බවට පත් විය. මේ වනවිට විවිධ ෆෝරම් වල සහ ඊ මේල් ෆෝවඩ් කර ලැබූ සතුට හා දැනුම එක් තැන් කල ස්ථානයක් ලෙස ෆේස්බුක් හඳුනා ගතිමි.
ටික කලක් යද්දී එක් එක් සංවිධාන හෝ ආයතන වෙනුවෙන් සාදා ගන්නා ෆේස්බුක් පිටු සඳහා එකතු වන්නටද ඉල්ලීම් විය. මේ අතර කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ෆේස්බුක් පිටුවක් තිබෙන බව දැක මට මහත් දුකක් ඇති විය. ඒ මගේ පාසල සඳහා එවැනි සමූහයක් නැති බැවිනි. මා මොහොතක කල්පනාවකට වැටුණෙමි. මා පළමුව කළේ එවැනි දෙයක් මේ වනවිට ඇත්දැයි සොයා (Search) බැලීමයි. එහෙත් එවැන්නක් නැත. මම ආනන්ද මහා විදුහලේ ෆේස්බුක් පිටුවට එකතු වන්නට ඉල්ලීමක් කලෙමි. එය සාර්ථක වුයේ දින කිහිපයකට පසුවයි. මා එම පිටුවේ සැරිසරා එහි සිදුවන දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගතිමි. ආනන්ද පිටුවේ වම් කෙළවර පහල "Create a Page" යනුවෙන් දක්නා ලද අතර මොහොතක් නොසිතම මා ඒ මත ක්ලික් කර මගේ පාසල වන කළුතර මහා විද්‍යාලය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කළෙමි.
එහෙත් මා මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වුයේ, මේ සඳහා පාසලේ ලාංඡනය සොයා ගැනීමයි. එතෙක් කළුතර බෝ සමිදුන්, කළුතර නදිය, චෛත්‍ය රාජයා සහිත ඡායාරුපයක් අන්තර්ජාලයෙන් සොයා එක් කළෙමි. පාසල සමග කිසිදු සබඳතාවකා නැතිව එය කර ගැනීමට නොහැක. මට කදිම අදහසක් පහල විය. අස්වීමේ සහතිකය. ඔව් ඒකෙ තියෙනවනේ. මම විවේකී දිනයක අස්වීම් සහතිකය ගෙන මගේ ජංගම දුරකථනයෙන් විවිධ ස්ථාන වල තබා ඡායාරුප ගත්තද, එකක්වත් නිසි තත්වයක නොවිණි. එනිසා ඒ අදහස අතහැර දැමීමට සිදු විය. එහෙත් මා එය කාර්යාලය වෙත රැගෙන ගියේ ස්කෑන් කළහොත් කදිමට තිබිය හැකිය යන විශ්වාසයෙනි. මේ අතර අප විදුහලේම ආදී ශිෂ්‍යයෙකු වූ මංගල ගුණතිලකද සේවය කළේ මා සමගය. පාසලයේ ඉතිහාස කතා ගැන මා සවස වැඩ කරන සෑම සංධ්‍යාවකම ඔහු හා දොඩමළු වන පුරුද්ද කාලයක සිට සිදු වූවකි. මේ ෆේස්බුක් පේජ් යන්න ඔහුට හකුරුයි-පොලුයි මෙන් විය. නමුත් පාසල වෙනුවෙන් යමක් කරන බව දන ඔහු සතුටු විය.
දිනක් උදෑසන ෆේස්බුක් වෙත ලොග් වී බලනවිට පාසලෙහි පිටුවට එක් වීමට ඉල්ලීමක් කර තිබෙන බව දුටිමි. නමින් දර්ශන වීරකෝන් වූ ඔහුගේ ඉල්ලීම මා එක මවුස් ක්ලික් එකකින් අනුමත කළෙමි. ඉන් පසුව ඔහුගේ ප්‍රොෆයිල් එක බලා ඔහුට මිතුරු ඉල්ලීමක්(Friends Request) යැවීමි. මොහොතකින් එය අනුමත වූ අතර, තවත් මොහොතකින් ඔහු මා හා චැට් කිරීමට පටන් ගති. මගේ ස්කයිප් හැඳුනුම ඉල්ලා සිටියත් මා සිටින්නේ කාර්යාලයේ බැවින් එය කල නොහැකි විය. ටික දිනකින් ඔහු හා මා හොඳ මිතුරන් බවට පත් විය. තවත් දින කිහිපයකින් විදුර දන්තනාරායන නමැති පාසලේම ශිෂ්‍යයා එයට එක් විය. පාසලේ ලාංඡානක තිබූ අඩුව ඔහු සැපිරූ අතර, එම පිට අකාලයේ මිය යන තෙක්ම එහි තිබුණේ එම ලාංඡනයයි. ඒ අතරවාරයේ විදුහල පසුකර නිවාස කරා යන මොහොතක බස් රථයේදී මං ජංගම දුරකථනයෙන් ගන්නා ලද ඡායාරුපයක් ලාංඡනයේ අඩුව පිරවීය. මෙම පිටුවට පාසලෙන් ඇඩ්මින් වරයෙක් අනිවාර්යයෙන් සිටිය යුතු බව විශ්වාස කල මා විදුරට එම අවස්ථාව ලබා දුන් විට ඔහු ඉතා කැමැත්තෙන් එය භාර ගන්නා ලදී. පාසලේ මේ ගැන දැනුවත් කරන්නට යමක් කල හැකිදැයි මා ඔහුගෙන් විමසා සිටි අතර, ඔහුගේ අදහස වුයේ එවැනි දේ සඳහා පාසලේ ගුරුවරුන් ඉඩ නොතබන බවයි. අපේ කාලයේ වළක් ලෙස ප්‍රචලිතව තිබූ අප පාසල අද තිබෙන තත්වය ගැන මා සතුටට පත් වුයේ මගේ නැගණියගේ දරුවාද එම පාසලට යන බැවිනි.
දර්ශනද එහි ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගත් අතර අප තිදෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මාස දෙකක් ගත වනවිට එයට පාසලේ සිසු - ආදී සිසුවන් තිස් හතළිස් ගණනක් එක් කර ගන්නට හැකි විය. මගේම පංතියේ මිතුරෙකු වූ චන්දන පෙරේරා තවත් ටික කාලෙකින් එයට එකතු විය. පාසල වෙනුවෙන් සෑදු ෆේස්බුක් පිටුව නිසා කාලයක් මග හැරී සිටි මිතුරන් එකතු වීම ගැන මට අප්‍රමාණ සතුටක් ඇති විය. පාසලෙන් එක් වූ ජයාන් චාමිකර මාපලගම සහ විදුර අපගේ දිගින් දිගටම කියා සිටියේ අපගේ පාසලේ නිවැරදි නම "කළුතර විද්‍යාලය ජාතික පාසල" බවයි. නමුත් ෆේස්බුක් පිටවක නම වෙනස් කිරීමට ලබාදෙන කාලය ඒ වනවිට අප පසු කර ඇත. මේ වනවිට සාමාජිකත්වය පනහා දක්වා වැඩි වී ඇත. වෙන කළහැකි දෙයක් නැති නිසා මා නිතරම කලේ, පාසලේ වෝල් එක මත "Kalutara Vidyalaya National School" ලෙස ටයිප් කර බෙදා(share) හැරීමයි.
අප නොසිතුව වේගයකින් සාමජිකයන් සීය පසු කිරීමට හැකි විය. මේ අතර විදුරට තම උසස්පෙළ කටයුතු නිසියාකාරව කර ගැනීමට අවශ්‍ය නිසා ටික කලක් ඇඩ්මින් කටයුතු වලින් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි අතර මා ඒ වෙනුවට නිතරම අන්තර්ජාලයේ රැඳෙන තවත් පාසලේ මෙන්ම ස්ලිට් ආයතනයේ අධ්‍යාපනය ලබන ආදී සිසුවෙකු වූ කසුන් ශම්මික පත් කල අතර, එය ඔහු ඉතා උද්දාමයෙන් භාර ගන්නා ලදී. ජයාන්ද මේ වනවිට ඉතා හොඳ මට්ටමක ඉංග්‍රීසි දැනුමක් සහ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි නිසා ඔහුටද ඇඩ්මින් වරයෙකු වන ලෙස මා කල ඉල්ලීම ඉතා සතුටින් ඔහුද බාර ගන්නා ලදී. සාමාජිකයින් දෙසීය, පන්සීය ඉතා ඉක්මනින් අප ළඟා වූ අතර, බිග්-මැච් එක සඳහා සහභාගී වන්නැයි ජයාන් සහ විදුර මගෙන් නිතරම කල ඉල්ලීම විය. මා එහි යන්නම සිටියත් එය පහසු කටයුත්තක් නොවීය. එසේ ගියානම් මගේ පාසල් මිතුරන් මෙන්ම තවත් බොහෝ වැදගත් පිරිසක් සමග එක් වීමට අවස්ථාව උදා වනු ඇත. එහෙත් කසුන් සහ ජයාන් එම තරගයේ චායාරුප එක් කිරීම නිසා තවත් බොහෝ දෙනා අප පිටුව ලයික් කර තිබුණි.
තවත් කිහිප දිනකින් ප්‍රථම කාන්තාව අපේ පිටුවට එක් වීමට ඉල්ලීම් කර තිබුණි. ඒ ලක්මාලි ශිරෝමි ජයසේකරයි. ඇය මගේ පාසල් කාලයේ හොඳ මිතුරියක් වූ අතර, මෙලෙස ඇය හමු වීම මහත් සතුටක් ගෙන දුනි. ඉන් අනතරුව ඇය මගේ හොඳම මිතුරියක් බවට පත් විය. මේ වනවිට අපගේ ගම් පියසේම මල්ලී කෙනෙක් පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහුවද ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියාය. ඔහු නමින් රංග ගමගේ විය. මේ වනවිට සාමාජිකයන් දාහේ කඩයිම පසු කරන්නට අපට හැකි විය. රංග එක් වූ දිනයේ සිට මේ ගැන නිතරම ආදී ශිෂ්‍ය සංගමයට දන්වා, මා ගැන යම් සටහනක් එහි කර තිබුණි. මීට අමතරව මා ආදී ශිෂ්‍ය සංගමයට බඳවා ගන්නත් ඔහු ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. මගේ නිවසටම පැමිණ ෆෝම් පුරවාගෙන ගොස් මා එයට එක් කර ගන්නට අවශ්‍ය සියල්ල ඔහු ඉටු කළේය. එම වසරේද බිග්-මැච් බලන අවස්ථාව මට මග හැරිණි. මේ වනවිට එම පිටුවට දෙස්-විදෙස් බොහෝ දෙනෙක් එකතු විය. ඒ බොහෝ දෙනා මෙම පිටුව ආරම්භ කිරීම ගැන මට බොහෝ සෙයින් කෘතඥතාව පල කළෝය. මගේ මතකයට එන නම් අතරින් සුසන්ත ප්‍රදීප් හේවගේ ඉන් කෙනෙකි.
මගේ පරණ ඔෆිස් මිත්‍රයකු වූ අරුණ ගුණරත්නගේ කාර්යාලයේ සිටින මලිත රුවින්ද ඉතා දක්ෂ අයෙක් බවත් ඔහු මේ අඩවියට එක් කර ගතහොත් ඉතා හොද සේවාවක් ලබා ගත හැකි බව මට මිතුරා දැනුම් දුන් අතර, ඔහු සමග කළ කෙටි සාකච්ඡාවකින් ඔහුද එක් කර ගැනීමට අපට හැකි විය. එක් බිග්-මැච් එකක ලකුණු යාවත්කාලීන කරන්නට ඔහු සමත් විය. එමගින් බොහෝ දෙනා අපගේ පිටුවට එක් විය. මේ වනවටි මා අවුබෝධ කර ගත් එක් දෙයක් විය. ඒ ෆේස්බුක් පිටුවක් ප්‍රචලිත කිරීමට හොඳ ක්‍රමය වෝල් එක මත නිතර කිසිවක් සටහන් කිරීමයි නැතිනම් පින්තුරයක් ශෙයා කිරීමයි. එකල එසේ සටහන් කරන ෆේස්බුක් පිටු පිළිබඳ දර්ශන තිරයේ දකුණු පැත්තේ සටහන් වේ. හිතන්න ඔබ කළුතර විදුහලේ පිටුවට එක් වී ඇති මිතුරන් සිටින එම පාසලේ අයෙකු කියා, ඔබ තවමත් එක් වී නැතිනම් ඔබගේ දකුණු පස නොමිලයේ එම පිටුව පිළිබඳ වෙළඳ දැන්වීමක් (එකල) ප්‍රදර්ශනය කරයි. එවිට් ඔබ නිතැතින් එයට එක් වේ. මේ ආකාරයෙන් සාමාජිකයන් එක්දහස් පන්සීය අපට පසු කරන්නට ගත වුයේ තවත් සුළු කාලයකි.
එකල මේ පිටුව මගේම දරුවෙක් ලෙස මා ආදරය කළ කාලයයි. බොහෝ දෙනෙක් තම පාසල හැරගිය පසු එයට යම් සේවයක් කරන්නේ එක්කෝ තමන්ගේ දරුවා මේ වනවිට පාසලේ අධ්‍යාපනය ලබන නිසාය නැත්නම් ඉදිරියේදී පාසලට ඇතුළත් කිරීමට තම දරුවෙක් සිටින නිසාය. නමුත් මේ කාරණා කිසිවක් මට අදාළ නොවීය. මා එක් අතකින් ජීවත් වුයේ කොළඹය, මට සිටින්නේ දියණියක්ය. බොහෝ දෙනා මගෙන් විමසා සිටියේ මේ පිටුව ප්‍රචලිත කිරීමට එතරම් මහන්සි වන්නේ ඇයිදැයි කියාය. නමුත් මා පටන් ගත් දෙයක් අඩාල වන්නට නොදී පවත්වාගෙන යාම මගේ යුතුකම සහ වගකීම ලෙස මා විශ්වාස කල හෙයින් එසේ කරන බව ඒ සැමට මා දුන් පොදු පිළිතුර විය. මේ කාලයේදීම තවත් අන්තර්ජාලය බෙහෙවින් පරිහරණය කරන දර්ශන අනුරාධ මට හමු විණි. ඇඩ්මින් කෙනෙකු වීමට මා කල ඉල්ලීම ඔහු ඉතා කැමැත්තෙන් භාර ගත් අතර අවසානය දක්වාම ඔහු එයට සේවය කළේය.
සාමාජිකයන් දෙදාහක් !!! මෙය මා කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ දෙයක්. සාමජිකයි හත්සිය පනහක් වන කාලයේ මා වෝල් එක මත ශෙයා කල එක් වැකියක් මට අද මෙන් මතකය. ඒ "I think our page is in near saturation of menbership" යනුවෙනි. එහි තේරුම වනුයේ අපගේ පිටුව දැන් සාමාජිකත්වයෙන් සංතෘප්ත මට්ටමකට කිට්ටුව ඇති බවයි. මා එසේ සටහන් කළේ ඒ කාලයේ ෆේස්බුක් සමග එක් විය හැකි වයසේ සිටිය අය ගැන සිතමිනි. එහෙත් මගේ මතය වැරදි බව මට තේරුණේ ජංගම දුරකථන සහ වෙනත් උපාංග වලින් අන්තර්ජාලයට පිවිසෙන තත්වය තුළ ඉතා විශාල පිරිසක් ෆේස්බුක් වැළඳ ගන්නා බව වැටහීමෙනි. එයට සාපේක්ෂව කළුතර විදුහල් ආදී ශිෂ්‍යයන්ද පිටුවට එකතු විය. දෙදාහේ මට්ටම පසු කරනවිට තවත් එක් උද්යෝගී පාසල් සිසුවෙකු මට හමු විය. ඔහු ලේඛනට දක්ෂ මෙන්ම පාසලේ විවිධ පැරණි පොත් පත් පුස්තකාලයෙන් සොයාගෙන ඉදිරිපත් කළේය. මේ වනවිට ඇඩ්මින් වරයෙකු වූ රංගද කිහිප වතාවක් ඔහු ගැන මට පවසා සිටි අතර ඔහු ඇඩ්මින් කරමු යන යෝජනවා ආවේ ඔහුගෙන් පමණක්ම නොවිණි. මේ කොලු ගැටයාද තමන්ව ඇඩ්මින් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ නම මා කෙලින්ම මෙහි සඳහන් නොකරන්නේ ඔහුට යම් අගතියක් වේ යන අදහසින්ය. මේ වනවිට ඔහු පාසල හැර යන වයසේ විය යුතුය. ඔහුට මා යොදන අන්වර්ථ නාමය "ලසමා" යනුවෙනි. ඒ ඔහුගේ නම ඇසුරින් තනා ගත් නමකි.
රංජන් පරණවිතාන යනු අප පාසලෙන් ලක්මවට දායාද කල පරසිදු අය අතර තවත් වටිනා චරිතයකි. මට දිනක් ඔහු බසයේදී මුණ ගැසී තිබිණි. ඔහුද මේ වනවිට යම් තරමකට ෆේස්බුක් පරිහරණය කරන බව මට වැටහිණි. දින කිහිපයක් ඔහු හා කල චැට් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු එක් කර ගන්නට මට හැකි විය. මේ අතර මාධ්‍යකරනය ගැන වටිනා ඔවදන් බොහොමයක්ද ඔහුගෙන් ලබා ගන්නට මට හැකි විය. ඒ අනුව අපගේ පිටුව නවමු ආකාරයකින් ඉදිරිපත් කරන්නට මට හැකි විය. කියවීම පිළිබඳවද ඔහු ඉතා වටිනා අදහස් මා හට ලබා දුනි. එම පිටුව පවත්වාගෙන යාම ගැනද ඔහු මට ස්තුති කළේය.
අලුතෙන්ම ඇඩ්මින් කල ලසමා කළුතර විද්‍යාලය ජාතික පාසල යනුවෙන් වෙනත් කාණ්ඩයක් පවත්වාගෙන යන බව මට දැන ගන්නට ලැබුණේ මා ඔහුව මෙහි ඇඩ්මින් කර ටික කලකට පසුවය. ඇත්තටම එය ප්‍රධාන ඇඩ්මින් වරයකු නොකළ යුතු දෙයකි. ඔබ යම් අයෙක් ඔබගේ පිටුවේ ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නවානම් ඔහු ගැන හොඳ පෙර සෝදිසියක් ගැඹුරින් කල යුතුය. මේ සඳහා, අධ්‍යාපන මට්ටම, මානසික මට්ටම, සමාජීය හැසිරීම යන දේ දැන සිටිය යුතුය. නමුත් මා රංග මේ පාසැල් සිසුවා ගැන දුන් රෙකමදාරුව මත මා ඔහුට එම අවස්ථාව ලබා දුනි. ඔහු කල බොහෝ දේ නිසා මට බොහෝ තැන් වලදී ප්‍රසිද්ධ චරිත වලින් සමාව පවා අයැදීමට සිදු විය.
වරක් ඔහු "Greatest Old Boys of Kalutara Vidyalaya" නමින් ෆොටෝ ඇල්බම් එකක් එකතු කළේය. එයට පාසලේ ආදී සිසුවන් බොහෝ දෙනෙකුගේ ඡායාරූප එක් කර තිබුණි. නමුත් චැට් එක මගින් එක් වූ රංජන් අයියා පවසා සිටියේ "Greatest" යනුවෙන් සිටිය හැක්කේ එක් අයෙකු බවත් මෙය "Great" ලෙස නිවැරදි විය යුතු බවත්ය. මා එය එසැනින්ම නිවැරදි කළේ රංජන් අයියාට ස්තුතිය පුද කරන ගමන් සමාවද ඉල්ලමිනි. ඔහු මා ගැන කුමක් සිතන්නට ඇත්ද යන්න මගේ සිතට වදදුන් කරුණ විය. මෙහි පින්තූර තිබෙන අනු පිළිවෙළද මා වෙනසකට ලක් කළේය. ඕනෑම අඩවියක ප්‍රධානියාට සෙසු අය එක් කරන දේ නිවැරදි කිරීම හෝ සංශෝධනය කිරීමට අයිතියක් ඇත. ලසමා මේ පින්තූර ගොන්නෙන් මුල්ම ස්ථානයේ රඳවා තිබුණේ ඒ කාලයේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ පසු වූ චාමික සිරිමන්නවය. නමුත් පණ්ඩිත් අමරදේවයන්, නාරද දිසාසේකරයන්ට ඉදිරියෙන් තමන්ව තබා තිබෙන බව චාමික දැන ගත්තා නම් ඔහුවත් සතුටු වන්නේ නැති බව මට විශ්වාසය. එනිසා මා එම පැරැන්නන්ගේ පින්තූර ඉදිරියෙට ගෙන චාමිකව මදක් පහළට ගෙන ගොස් දැමීය. එහෙත් තවත් පැය ගණනික් එහි මාතෘකාව "Greatest" ලෙසද ඡායාරූප අනුපිලිවෙළද තිබුණ අකාරයටම පත්ව තිබිණි. මා කල වෙනස්කම මෙහි සිදු නොවීද ? යන සැකයේ සිට මා නැවතත් එය නිවැරදි කළේය. එහෙත් තවත් පැය ගණනකින් එය පෙරසේය.
මේ ඇල්බමය ඔහුගේ සමූහයේද මේ අකාරයෙන්ම පැවතීම මුලදී ගැටලුවක් වුවත්, පසුව ඔහු මෙය හිතා මතා කරන ප්‍රයෝගයක් බව මට වැටහිණි. ඒ මෙහි සිටින කෙනෙකු එතැනට එකතු කල (ග්රූප් වලට ඕනෑම කෙනෙකුට සාමාජිකයන් එකතු කල හැක) පසු වෙනසක් නොදැනෙන්නටය.
එසේ නොකරන ලෙස ඉල්ලා ලසමාට මා පණිවුඩයක් යැවීය. එහෙත් ඔහුගේ හිතුවක්කාර කම නොනැවතිණි. ඊළඟ චෝදනාව මට ආවේ දිගු ඊමේල් පණිවුඩයකිනි. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ දේශකයකුගෙනි. ඔහු අපගේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු ගැන සඳහනක් වත මෙහි නොවීම ගැන ඔහුගේ සිත් තැවුලට හේතු විය. මා ඔහුගේ ජංගම දුරකථනයට කථා කොට ඔහු අස්වසා, ඔහුගේ ඡායරුපයද එම ගොන්නට එකතු කරන්නට කටයුතු කළේය. මේ ඇල්බමය මට මහත් හිසරදයක් දෙන කාරණාවක් බවට පත් විය. මේ කාලයේ අපට සිත් යොමු කරන්නට තවත් වැදගත් කටයුත්තක් විය. ඒ පාසලේ වාර්ෂික පා ගමනයි. පාසල හැත්තෑවෙනි සංවත්සරය සමරන මොහොතේ සිදු කෙරෙන එයට අනිවාර්යනම සහභාගී වනලෙස ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමක් මට ලැබී තිබුණි.
"සෝමවංශ අයියාට සුභාෂ් අයියව හමු වෙන්න ඕනේ කිව්වා"
යනුවෙන් රංග කී විට මට නිහතමානි සතුටක් ඇති විය. ඒ සෝමවංශ අමරසිංහ යන ජවිපෙ දේශපාලන නායකයා අපගේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් මට කල ආරාධනාව නිසාය. මේ පිටුව මා නිර්මාණය නොකරන්නට එවැනි තත්වයක් මට උදා වන්නේ නැත.
මේ කාලය වනවිට තම අලෙවි ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් යොදාගත් කොකා-කෝලා වැනි බහු ජාතික සමාගම් මෙන්ම දේශීය පෙරේරා සහ පුත්‍රයෝ (Perera & Sons) භාවිතා කල Landing Tab සංකල්පය මගේ සිතේ තදින් කා වැදිණි. අන්තර්ජාලයෙන් උකහා ගත දැනුමෙන් මා නිර්මාණය කල කළුතර විද්‍යාලයේ පිටුවටත් මහජන බැංකුවේ පිටුවටත් මා භාවිතා කරන Ulead Photo Express ග්‍රැෆික් පැකේජය මගින් පින්තූර කිහිපයක්ම නිර්මාණය කළෙමි. මෙම landing tab දැමීමට යම් මට්ටමක ජාවා ස්ක්‍රිප්ට් දැනුමක්ද අවශ්‍ය විය. කෙසේ හෝ මා එයද සාර්ථකව නිම කරන්ට සමත් විය. වාසනාවකට මගේ පරිගණකයේ එම පින්තූර දෙක තිබුණි.
යම් පිටුවකට නව සාමාජිකයන් ආකාර්ශනය කර ගැනීමට එවකට තිබූ හොඳම ක්‍රමය මේ landing tab ය. එනිසා සාමාජිකයින් යොමු කෙරෙන තැනට එක් පින්තුරයක්ද, සාමාජිකයින් නොවන අයට තවත් පින්තුරක්ද නිර්මාණය කර ඇතුලත් කලෙමි. මගේ පිටුවට දැන් සාමාජිකයින් එක් වන්නේ ඉතා මන්දගාමීව බව මට වැටහුණු අතර, ලසමාගේ ප්‍රොෆයිල් එකට දිනෙන් දින මෙහි සාමාජිකයින් එකතු වන බව පැහැදිලිව පෙනිණි. තවත් දවස් කිහිපයකින් ඔහුගේ අරමුණ තේරුම් ගත් මා ඔහු ඇඩ්මින් තනතුරින් ඉවත් කලේ ඔහුට ඒ ගැන දන්වමිනි. හේතුව ලෙස මා දැක්වූයේ සමහර අය දැක්වූ අප්‍රසාදය බවය. ලාසමා මේ වනවිට සාමාජිකයින් දාහක් පසු කර එකතු කරගෙන තිබුණි. ඒ අතර විදේශීය අයද බොහොමයක් විය. ඉන් පසු තමා ඉවත් කිරීම ගැන ඉතාම සිත් තැවුලින් පසු වන බවද, එසේ කල එක අසාධාරණයක් බවද, තමා ඇඩ්මින් වූ පසු මේ පිටුව "රොක්" වූ බව තම මිතුරන් පවසූ බවද පවසා මට දිනකට පණිවුඩ දෙකක් පමණ එවමින් ආයාචනා ඉදිරිපත් කළේය. මේ අතර නිතරම මට දුරකථන ඇමතුම් දුන් රංගද පවසා සිටියේ
"අයියේ, බැරිද ආපහු ලසමව ඇඩ්මින් කරන්න. මේක නිසා කොල්ලා මාර අප්සට් එකේ ඉන්නේ"
"ඒක නම් කරන්න විදියක් නෑ මල්ලි. එයා මෙතන ඉඳගෙන එයාගේ ප්‍රොෆයිල් එකට මේකේ කට්ටිය බා ගත්ත එක කලේ. බොහෝ දෙනෙක් රැවටිලා එයාව ඇක්සෙප්ට් කළා"
"හරි අයියේ. කමක් නෑ. මං බැලුවේ කොල්ලා අප්සට් නිසා"
ඒ මොහොතේම මා ජයාන් අමතා
"මල්ලී මේ ලසමා මොන වගේ එකෙක්ද?"
"ඇයි අයියේ එහෙම අහන්නේ ?"
"නෑ. ටිකක් පිස්සු කෙලින චරිතයක් වගේ මට දැනුණා. මම ඇඩ්මින් වලින් අයින් කරා"
"මට අයියට කියන්න විදියක් නැතිව හිටියේ. ඒකා කොහොමත් ඔළුවේ අප්සට් එකක් තියෙන එකෙක්. එක පාරක් මගේ ෆොටෝස් වලට කුණුහරපෙන් කමෙන්ට් දාල තිබ්බා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. ඒ පාර වෙන ප්‍රොෆයිල් එකකින් ඇවිත් කුණුහර්ප දැම්ම. මම ඉස්කොලෙටම ගිහිං මුට ගහලා ආවා"
මේ වනවිට ලසමා ප්‍රොෆයිල් එක පවා හකුළා දමා ඇත. මා දරදඬු වුවා වැඩිදැයි මට සිතේ. එහෙත් මෙහි සිට වෙනත් කාණ්ඩයකට සාමාජිකයින් බා ගන්නට ඉඩ දී බලා සිටිය හැකිද ? මම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිත ගතිමි.
වෝක් එකේදී මේ සියලු දෙනා හමු වේ යන සතුටින් එයට සහභාගී වුණෙමි. පා ගමන ඉතා සාර්ථක විය. මා සෝමවංශ අමරසිංහ මහතා හමු වීමට ගියේ මගේ නැගණියගේ පුතාගේ කරට අතක් දමාගනිමිනි. රංග මා හඳුන්වා දීමෙන් පසු සෝමවංශ මහතා
"අපිට රට ඉන්න අයගේ ඊමේල් ඇඩ්රස් ටික හොයලා දෙන්න පුළුවන්ද ? අපි අලුත් ගොඩනැගීල්ලක් හදන්න යන්නේ. ඒකට ආධාරයක් ගන්න"
මා ඔහුට කැමැත්ත පල කර විශ්ව සමග ගෙදර ආවෙමි. සවස් වරුවෙම මා ලබා ගන්නාලද ඡායාරුප එක් කළෙමි. එහෙත් තවත් පැය ගණනකදී ලසමාගේ ග්රූප් එකේද එම ඡායාරුප ඇල්බමය ගෙඩි පිටින් පල වී ඇත. කාරණය දැන් මට හොඳටම පැහැදිලිය. එහි එක් ඡායාරුපයක් ඵල කර නොතිබිණි. ඒ ඇඩ්මින් වරුන් එකතුව ගන්නා ලද ඡායාරුපයයි.
එදින සවස චැට් කල විට මාලිංග බණ්ඩාරව ඡායාරූපයට හසු කර ගන්නට නොහැකි වීම ගැන මා රංජන් අයියාට පැවසුවෙමි.
"බලන්න ඔයා කරලා තියෙන දේ. අද දවසේ දාන්න තිබ්බ වටිනාම ෆොටෝ එක ඔයා මිස් කරගෙන. මුලින්ම දැක්ක ගමන් ෆොටෝ එකක් ගන්න. කොතැනක් ඉඳන් හරි. පස්සේ හොඳ ඒවා ගන්න පුළුවන්. එහෙමයි කෙරෙන්න ඕනේ"
තිලකරත්න දිල්ශාන් දක්ෂතා දක්වන විට ඒවා පිටුවේ ශෙයා කරන්න අමතක නොකරන්න යනුවෙන්ද ඔහු මට උපදෙස් දී ඇත. අපේ පිටුව මාකට් කිරීමට හැකි හොඳම පුද්ගලයා දිල්ශාන් බව නොරහසකි. මා ඔහුගේ ඔවදන් අකුරටම පිළිපැද්දේ, ඒවා අවුරුදු ගණනක් මාධ්‍ය ඇසුරු කොට ලබාගත් අත්දැකීම් බැවිනි. මේවා දේශන වලට සහභාගී වී ලබා ගත්තානම් කෙතරම් කාලයක් හා මුදලක් වැය වන්නේද? සැබවින්ම ඔහු දක්ෂ උපදේශකයෙකි.
තවත් මාස කිහිපයක් මෙසේ ගත විය. දැන් අපේ පිටුවට සාමාජිකයින් එකතු කිරීමට කිසිදු වෙහෙසක් අනවශ්‍යය. අඩුම වශයෙන් දිනකට දෙදෙනෙක් වත් එකතු වේ. දෙසැම්බර් මාසය එළඹිණි. නත්තල් දින උදාවත් සමග මා ඇඳේ සිටම නත්තල් පණිවුඩය ජංගම දුරකථයනයෙන් එකතු කරන්නට උත්සාහ කළෙමි. අපේ පිටුව ලෝඩ් වන්නේ නැත. මා නැවතත් අකුරු පරීක්ෂා කළෙමි.
www.facebook.com/kmv.lk
නැත. මා නිතරම ඔන් කර තිබෙන පරිගණකය වෙත පැන. පිරික්සා බැලීමි. අපේ පිටුවට කවුරුන් හෝ වැඩසටහනක් දී ඇත.
"This page hacked......:)"
යනුවෙන් එහි සටහන් වී ඇත. මට අපමණ දුකක් ඇති විය. මොහොතක් නිහඬව සිටි මා මුලින්ම කළේ මගේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වැඩි කිරීමය. පසුදා උදෑසන මා රංගට දුරකථන ඇමතුමක් දුනිමි.
"අපි ආයෙත් පටන් ගමු අයියේ"
රංග මා අස්වසලමින් කතා කළත්
"මොකටද මල්ලි. මගේ ළමයෙක් ඉස්කෝලේ දා ගන්නද ? මට ඕකෙන් කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි. දැනට මට තව පේජ් ගානක් තියෙනවා වැඩ කරන්න. අර ලසමගේ එක තියෙන්නේ. මේ වැඩේ කරන්න ඇත්තෙත් එයා වෙන්න ඇති. හැබැයි ලසමට ඔච්චර දෙයක් කරන්න බෑ"
මට ලසාමා ඔච්චම් කර ෆේස්බුක් පණිවුඩයක් ඒවා තිබේ. මා පිළිතුරු දුන්නේ
"කරපු කෙනාට දඬුවම් නිසි ලෙස ලැබෙයි"
යනුවෙනි. තවත් මාස කිහිපයකට පසු නැවතත්
"කෝ මොනවද කළේ ?"
යනුවෙන් පණිවුඩයක් එවා තිබුණද, මා පිළිතුරු යැවීමෙන් වැළකුණේ, කුඩා කොලුවකු හා ඔට්ටු වීම මට තරම් නොවන නිසාය.
_____________________________________________
පසු කාලෙක රංගගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි
"අයියේ ෆේස්බුක් එක කමියුනිකේෂන් එකකින් බලලා ලොග් අවුට් වෙන්න බැරි වුණොත්, පස්සේ යන කෙනාට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද ?"
"බොහෝවිට පුළුවන්. ඔයා වැරදිලා හරි Remeber me දාල තිබ්බොත්, අනිත් කෙනා බ්‍රව්සර් එක ඔන් කර ගමන් ඒක එනවා"
"හරි වැඩේ අයියේ, අපේ පේජ් එකටත් වුණේ ඒකමද කොහෙද, මම ඊට කලින් දවසේ කමියුනිකේෂන් එකකින් ලොග් වුනා OBA එකේ නිවුස් ටිකක් දාන්න. මම එතනින් යනකොට ලොගවුට් කරන්න බැරි වුණා. ලසමත් නිතරම එතනට එනවා"
මට සිදු වූ දේ පැහැදිලි විය. එයද සතුටට කාරනාවකි. මා මුලින් සිතුවේ විවිධ රට වල අය ලවා යම් යම් ක්‍රියාකාරකම් කරවාගෙන ෆේස්බුක් ගිණුම් හැක් කරදෙන අඩවියක් හරහා මෙය කරගෙන ඇත්ද ? යන්නය.
_____________________________________________
කෙසේ හෝ ඉතා ආදරයෙන් හදා වඩා ගත් ෆේස්බුක් දරුවා මෙසේ අකල් මරණයකට ගොදුරු වුයේ, වැරදි අය, වැරදි තැන් වලට පත් කිරීමට දඬුවමක් ලබා දෙමිනි. තවත් දින කිහිපයක් අවෑමෙන් මා බ්ලොග්කරණයට පිවිසියේය.